Tuesday, April 28, 2015

314. පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම. ....1


Cartoon by Awantha Artigala

පහුගිය පෝස්ට් එකට මනෝජ් මල්ලි මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බනෙ. 

/ මහින්දට අල්ලස් එක මගහැරලා යන්න දෙන්න හොඳ නැහැ.පපුවට ගගහා කෑගැහුවේ විදුලි පුටුවේ වුනත් ඉන්නවා කියලා ප්‍රකාශයක් දෙන්න එන්ට කිව්වාම පිස්සු බල්ලෙක් වගේ දගලනවා. /


මගේ උත්තරේ මෙහෙමයි.

/ මරා විදුලි පුටුවට බය නෑ බං..උඹ දන්නවද රුසියාවෙ සාර් රජ කාලෙ හිටිය රස්පුටින්ට තුන් හතර පාරක් වහ දීලත් මරන්ට බැරිවුනාලු. එහෙම වුනේ රස්පා ඔය සීන් එක දැනගෙන ටික ටික වහ කාල පුරුදුවෙලා හිටපු නිසා කියලයි කියන්නෙ. මරා ගොයියත් ඔය විදුලි පුටු කේස් එක හින්දම දැන් අවුරුදු තුන හතරක් පුකට කරන්ට් වද්දගෙන පුරුදු වුනාලු. අතේ බැටරි පැක් එකක් තියාගෙන ඒකෙ දෙපැත්තට වයර් දෙකක් අමුණල ඔය  කාල්ටන් එකේ අරලිය ගහ මන්දිරේ නිකං ඉන්න ගමං පුකට අල්ලල කරන්ට් වද්දගන්නව. අන්න එහෙමයි වැඩේ ගිහිල්ල තියෙන්නෙ. ඒ නිසා පොර විදුලි පුටුවලට කිසිම බයක් නෑ. ඒත් කොමිසමට ගෙනල්ල ප්‍රශ්න කිරිල්ල වෙනම කේස් එකක්නෙ. පොරගෙ බොක්ක රත්වුනා ඒක ඇහුවම..අන්න ඒකයි මෙතන වුනේ..යූ අන්ඩර්ස්කර්ට් මනෝජ්? හෙහ්,හෙහ්, /

/ PS - ඔය කරන්ට් අල්ල ගෙන පුරුදු වෙච්ච සීන් එකත් මරු කතාව. ඉඳහන් ආයම වෙලාවක ඒක ලියන්නං /

අරක ලියඤ්ඤං මේක ලියඤ්ඤං කියල පොරොන්දු දැං බර ගණනාවක් පෙන්ඩිං තියන වෙලාවෙ මට හිතුන මනෝජ්ට වෙච්චි පොරොන්දුව මේ ගමන්ම ඉෂ්ඨ කරානං ඒකවත් ඉවරයක්නෙ කියල. 

දවසට එක හත අටක්වත් පළාත් සබා මැතිවරන රැස්වීම් අමතා කතා පවත්වන එතුමා ගෙදර එන්නේ රෑ දෙගොඩ හරියේය. අරලිය මැදුරේ ඉස්සරහ තනකොල පිටැන්නට හෙලිකොට්ටරේ හරියකට බාන්ටත් ඉස්සර රෙද්ද කරටගත් එතුමා සාටකේ අනික් අතිං අල්ලාගෙන බිමට පැන්නේය. 

දෙදාස් පහේ චන්ද කාලේ අර කොන්ඩෙ බෙල්ලට එනකල් වවාගත්තු හාදයා අපිට ඕනෙ පන ඇති මිනිහෙක් කියල බෙරිහං දෙනකොට ඔය වගෙ දූවගෙන දූවගෙන ගිහිල්ල ඈත ඉඳලම අත්දෙකත් උස්සල ඉස්ටේජ් එකට දබෝරියං ගාල පයින සීන් එකක් ටී.වී. වල ඇඩ් එහෙකට දැම්මෙ අර කටඇරියොත් අහස පොලව නුහූලන චේතිය බොරු කියන පනාපුත්තරයාගේ උපදෙස් අනුවය.බුදු හාමුදුරුවො ලොක්කාගෙ ලඟම නෑයොය කියල කටේ තොලේ නොගෑවී කිව්වෙත් ඔය ගස් ගෝනාය. ඒ අත් උස්සාගෙන ඉස්ටේජ් එකට පයින සීන් එක වැඩකරයි කියල එතුමාටම ඒ හැටි විස්වාසයක් තිබ්බෙත් නැතිවුනාට චන්දෙ දෙන ජහමනයාටත් ඕන වුනේ රාජ්‍ය නායකයෙකුට වඩා සර්කස් කාරයෙක් ද කොහෙද නිසාවෙන් එතුමා බොහොම සුලු වැඩි චන්ද ගනනකින් කප් එක ගැහුවේය.

මොනතරම් නං තමන් ගැන පුරාජේරු ගැහුවත් මේ ලෝඩ් බුද්ධාස් ඩිසෙන්ඩන්ට් සීන් එකට නං එතුමාටත් ටිකක් මොකදෝ මොකදෝ වගේ හිතුනේය. නිකං මේ සුට්ටං විලි ලැජ්ජාවක් වගේය. 

" එහෙම කියන එක හොඳද බං? "

එතුමා එහෙම ඇහුවේ ටෙම්පල් ට්‍රීස් එකේ කරදිය පූල් එක අබියස ඩෙක් චෙයාර් එහෙක ඉඳගෙන ගල් ෂොට් එකක් ගසන අතරදීය. කවදත් එතුමාගේ පානය ගල්ය. මම මුල අමතක කරන මිනිහෙක් නෙවෙයි බං එතුමා නිතරම එහෙම කියන්නේය.එතුමා කට ඇරියොත් සීයට අනූනමයක් කියන්නෙ පට්ට කෙබර උනාට මේ මුල අමතක නොකරන කතාව නම් අමූලික ඇත්තය.

ඒ කාලේ එතුමාගේ වලව්වේ දරදිය ඇද්ද ඔක්කෝටම හොඳහැටි හතරවරං ගහන්ට, ආන්ඩුව ගානෙ දෑතිම්ම කන්ට චෑන්ස් එක අරංදුන්නෙ ඒ මුල අමතක නොකරන ගතිය හින්දාය. ගිව් ද ඩෙවිල් හිස් ඩියු කියලා සුද්දත් කියල තියන නිසා මොනවා වුනත් හොඳට හොඳ කියන්ට ඕමනාය. ඤාතීංට සැලකීම අතින්ද එතුමා කප් එක ගැහුවේ වට දෙකතුනක් තියාය. ( ඥාතීං කියලා ලියන්ට ගන්නේ අර පූසෝ ඤාව් ගාන ඤා එකද නැත්තං ඥාණකතා ඥා එකද කියලා මට හරියට මතක නම් නැත. ඒ කෝක හරි කමක් ද නැත. හරි එක දන්නා අය ඒක මෙතනට ආදේස කලාට මගෙං වැරැද්දක්ද කොහෙත්ම නැත. ඤාව් කියල කියාගන්ට දන්නෙ නැති ටීචර් කෙනෙක් ළමයි පූසෝ කෑගහන්නේ කදව් කදව් කියලා යනුවෙන් උගන්වපු කතාවක් කොහේ හරි පත්තරේක මම දැක්කාය. )

ඉතිං අර පනාපුත්තර නම් සට්ටැඹියාගේ කතන්දරේට ආයෙම ආවොත් " එහෙම මම බුදුහාමුදුරුවන්ගෙන් පැවත එන කෙනෙක්ය කියලා කියන එක හොඳද බං? " කියලා එතුමා ඇසූවිට සට්ටඹියා අතකිං තට්ටෙත් අතගගා ඇස් ගෙඩි දොඹගෙඩි සයිස් නෙරවලා කිව්වේ " එහෙමයි ,එහෙමයි, ඔබ තුමා කොහොමත් බුදුහාමුදුරුවංගෙ පරම්පරාවෙ බව අංග ලක්ෂණ වලින්ම පේනවා " කියලාය.

" යකෝ ඔහොම ඇස් නෙරවල කතා කරන්ට මේක රනවිරු රියල් ඉස්ටාර් වත් දොරමඬලාව වත් නෙවෙයි ඒ නිසා නෝමල් විදිහට කියන දෙයක් කියාපන් " එතුමා පනාපුත්තරට උදහස්වී වදාලෝය. " මේකා ගෙදර ගෑනු මනුස්සය එක්ක කතාකරන්නෙත් මේ විදිහටමද මන්දා.." ආයෙමත් සුටුසුටු ගෑ එතුමා " හරි බුදු හාමුදුරුවන්ට තිබ්බ මොන අංග ලක්සනේද බං මගෙ තියෙන්නෙ? " ටිකක් කූල් ඩවුන් වී ඇසුවෝය.

බුදු හාමුදුරුවන්ට තිබ්බය කියන දෙතිස් මහා පුරුස ලක්සන ගැන සට්ටඹියා කල්පනා කලමුත් අර නෙලුම් මලේ කෙමිය වගෙ මොකක්ද එකකුත් ඒ අතර තියන බව කල්පනාවී ඔව්ව කියන්ට ගිහිල්ල ආය අහක යන නයි මොකටද ...කියා කල්පනා කොට දෙපැත්තම ෂේප් වෙලා යන්ට මෙසේ කිවේය. " සර්..බුදු හාමුදුරුවන්ගෙ කණ දිගයි කියනවනෙ උරහිස ගාවට..ලම්බකර්ණ කියලයි ඒකට කියන්නෙ. ඉතිං ඔබ තුමාගෙත් කණ දිගයිනෙ ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබතුමාත් ඒ වංසෙම තමයි " තට්ට හිස අතගාමින් සට්ටඹියා හිනාවුනේය.

" මූ දන්නවය මගෙ කං දික්වුනේ පොඩි කාලෙ ගණං බැරුව අර පෝරිසාද ගණං මාස්ටර් කොච්චරවත් මගෙ කණෙං ඇදපු හින්දය කියල " හිතයටින් හිනාවුනු එතුමා නැඟිටලා ගිහිල්ලා තව ගල් ෂොට් එකක් වක්කරගෙන ආවේය. 

" මේ අන්න අර හෙට යන රැස්වීමෙ සංවිදායක පලාත්සබා මන්ත්‍රී ඇවිල්ල ඉන්නව. " ඒ අස්සේ ආර්යාව මැද සාලෙන් එලියට ඔලුව දමා කිව්වාය. 

" ආ එළබට්ටද? ඩස්පියාද? වල් අමරෙද? " 

" මංදා කවුද කියල.....අන්න ඉන්නව එලියෙ බෝනික්කෙකුත් තියාගෙන..."

" බෝනික්කෙක්? ඒ මොකටද? "

" මම දන්නෙ කොහොමද මනුස්සයො? ....එන්ට කියන්ටද එපාද? අන්න ඒක විතරක් කියනවා ...මට තව වැඩ තියනවා. "

" හරි හරි එන්ට කියන්ට එන්ට කියන්ට.." එතුමා කිව්වේ " හපොයි මේ ගෑණු..." කියමින් දත්මිටි කමින්ය.

ඒ එක්කම මැද සාලේ දෙපලු දොරෙන් පිටවී එතුමා  අසලට ආවේ වල් අමරේය. ආර්යාව කිව්වත් වගේම ඔහු අතේ ලොකු සයිස් එකේ බෝනික්කෙක්ද සිටියේය.

" මොකද්ද බං ඔය? බෝනික්කෙක් නේද? ඔය මොකටද? ..." එතුමා ඇහුවේ සාටකේ බෙල්ල වටේ තදට ඔතාගනිමිනි. මූද බෝම කිට්ටු නිසා පූල් එක ගාවට සැරට හුළං එන එක නවත්තන්ට ක්‍රමයක් හොයාගන්ට තවම බැරිවුනාය. " කොහෙද මේ යක්කු..නෙදකිං විතරක්...එකෙක්වත් ඉන්නවය වැඩකට ඇති එකෙක් " තොල් මතුරමින් එතුමා ආයමත් අමරේ දිහාට හැරුනේය. 

" හැබෑට මොකටද බං ඔය බෝනික්කෙක්? හෙට රැස්වීම තියෙන්නෙ ළදරු පාසලකවත්ද? හක් ..හක්..."

" නෑ බොස්..එහෙම එකකට නෙවෙයි. අද රැස්වීමෙ ඔබ තුමා ළමයි වඩාගත්ත විදිහයි කිචි කැව්ව විදිහයි එච්චර හරි නෑ. අනික අර දෙවෙනි ළමයගෙ ඔබ තුමා කම්බුල් මිරිකුවෙත් නෑ. "

" පිස්සුද බං? මොකද කම්බුල් මිරිකුවෙ නැත්තෙ? මම මිරිකුවා.. "

" ඒ වුනාට ඒ මදි බොස්...දුර ඉන්න මිනිස්සුන්ට පේන්ටත් එක්කල ළමය දෙතුන් පාරක් උඩ දාන්ටත් ඕන. එතකොට තමයි ඔබ තුමා ජාතියේ ආඩම්බරකාර තාත්තාමයි කියල මිනිස්සු පිළිගන්නෙ...හැබැයි මතක ඇතුව ළමය උඩ දාල ආපහු අල්ලන්ට ඕන. අර ගිය සුමානෙ රැස්වීමෙ වගෙ කරන්ට එහෙම එපා. "

එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි. බරපතල අනතුරක් නොවූයේ එතුමාගේ ආරක්ෂකයකු වහා ඉදිරියට පැන අනික් ළමයා සුරැකිව අල්ලාගත් බැවිනි.

" මේ අමරේ..බැරිද ඔය ළමයින්ට කියල අත්දෙක උස්සල ජයවේවා..ජයවේවා කියල කෑගහන්ට පුරුදු කරවන්ට. අන්න එහෙම කරන්ට පුලුවන් නම් මල් හතයි. ඔය ළමයිංගෙ අම්මලාට කියල බලාපංකො. කියපං රුපියල් දාහ වෙනුවට පන්දාහක් දෙනව කියල එහෙම පුරුදු කරන්ට පුලුවන් නං.."

" මම හිතන්නෙ නෑ බොස්..මේ අවුරුද්දක හමාරක පොඩි එවුං ලව්වා ජයවේවා කියල කියවන එක කරන්නෙ කොහොමද? "

" හරි හරි එහෙනං ඒක අතෑරල දාපං...මම කතාවෙදි කියන්නං ළමයි එහෙම කිව්වයි කියල. "

" හිහ්,හිහ්...මිනිස්සු විස්වාස කරයිද බොස්? "

" බයවෙන්ඩ එපා මිනිස්සු විස්වාස කරනව බං..මිනිස්සු විස්වාස කරනව..ඇස් දෙක දොඹගෙඩි වගෙ කරගෙන අපෙ හාමුදුරුවනේ කියල පටන්ගෙන කිව්වොත් ඕන එකක් මිනිස්සු විස්වාස කරනව..මම ඒක දන්නව ටක්කෙටම. "




මතු සම්බන්ධයි.............

Tuesday, April 21, 2015

313. විජයාවතරණය, ඇම්ඩා, දියවන්නාවේ බම්මන්නංගේ තුට්ටු දෙකේ විගඩං සහ ලොක්කා දැන්නං හොඳටෝම ඇති.

ඡායාරූපය - ලංකාදීප අන්තර්ජාල පුවත්පත

ජීවිතේ හැමදාම අපි ඉගෙන ගන්නව. අවුරුදු විස්සක් තිහක් වගෙ දීර්ඝ කාලයක් තිස්සෙ දැඩිව විශ්වාස කරපු දෙයක් ඊට විරුද්ධව පිළිගත හැකි සාධක ගැන දැනගන්ට ලැබුණොත් අසුරු සැණෙන් බිඳවැටෙන්ට පුලුවනි. ඒ වගේම තමයි එතරම්ම දීර්ඝ කාලයක් විශ්වාස නොකල දෙයක් ඒ සංකල්පය නැත්නම් සිද්ධිය සම්පූර්ණ ඇත්තක් කියල නොබිඳිය හැකි සාක්ෂි ලැබුණොත් විශ්වාස කරන්ට වෙනව. ඇත්තම කිව්වොත් මට එහෙම දෙයක් වුනා.


" ඔන්න දරුවනේ...ඉතිං සිංහබාහු රජ්ජුරුවන්ටයි සිංහ සීවලී බිසවටයි දරුවො 32 ක් ලැබුනා. වැඩිමල්ම පුතා තමයි විජය කුමාරයා. මේ කුමාරයා ලොකු වෙනකොට හරිම හිතුවක්කාරයි. තමන් වගේම යාලුවො කණ්ඩායමකුත් හදාගෙන මංකොල්ලකන්න පටන් ගත්ත. රජ්ජුරුවන්ගෙ පුතාය කියල මිනිස්සු ඉවසල ඉවසල බැරිම තැන සිංහබාහු රජ්ජුරුවො ගාවට ගිහිල්ල තමන්ගෙ දුක කිව්ව. රජ්ජුරුවො බොහොම කෝප වෙලා විජයයි යාලුවොයි අල්ලගෙන එන්ට කියල නියම කලා. ඊට පස්සෙ නඩු අහල විජයට මරණ දඬුවම නියම කලා. ඒත් සිංහසීවලී බිසව අඬල දොඩල බැගෑපත් උනහම රජ්ජුරුවො හිත වෙනස් කරගෙන මරණ දඬුවම වෙනුවට විජයගෙයි එයාගෙ පිරිස හත්සීයකගෙයි හිස බාගයක් බූගාල නැවක පටවල යැව්ව ආයෙ සිංහපුරයට පා තැබීම තහනම් කියල නියෝගයකුත් කරල."

" ඉතිං දවස් ගාණක් මූදෙ පාවෙලා ආපු විජයයි යාලුවො කණ්ඩායමයි ඔන්න අන්තිමට එක ගොඩබිමකට ගොඩ බැස්ස. එයාල අත්ලට බරවෙලා වෙරළෙ ඉඳගෙන ඉඳල නැඟිටල බැලුවම අත්ල තඹපාට වෙලා තිබ්බ. ඒ නිසා ඒ දේශයට තම්බපණ්ණී කියල නම තිබ්බ. ඉතිං ඊළඟට මේ ගොල්ල පිපාසෙ හින්ද වතුර හොයාගෙන යද්දි දැක්ක බැල්ලියක්. බැල්ලියක් ඉන්නව කියන්නෙ මනුස්ස වාසයක් කිට්ටුවම තියෙන්ට ඕනය කියල හිතල........."

ඒ 1973 අවුරුද්ද, හයේ පන්තිය. ඒ කාලෙ අද වගෙ වසර කතාවක් තිබ්බෙ නෑ. 1 ශ්‍රේණිය ඉඳල 9 ශ්‍රේණිය වෙනකල් අවුරුදු නවයක් ඉගෙන ගෙන අපි 9 වෙනි අවුරුද්ද අන්තිමට විභාගෙට ලිව්ව. හරි මම මේ කියන්න ආවෙ ඒ ගැන නෙවෙයි. හයේ පන්තියෙ සමාජ අධ්‍යයනය විෂයය අපිට ඉගැන්නුවෙ ජයසේකර මහත්තය. කලිනුත් දවසක් අර නිල් කට් රොල් මල් ලියද්දි මම මේ ජයසේකර මහත්තය ගැන කිව්ව.තමන් කරන කාර්‍යයය දේව කාර්‍යයයක් විදිහට සළකල ඇත්තටම ගන්න වැටුප වගෙ දෙගුණයකට ප්‍රමාණවත් වෙන විදිහට, ඉගෙන ගන්න ශිෂ්‍යයින් තමන්ගෙම දරුවන් විදිහට උපකල්පනය කරල රාජකාරිය කරපු ඒ වගෙ මහත්තුරු අද විතරක් නෙවෙයි එදා උනත් බොහොම හිඟයි.

ප්‍රොජෙක්ටර්, වයිට් ස්ක්‍රීන්ස්, කලර් ස්ලයිඩ්ස් ගැන අසා හෝ නොතිබුණු එදවස ජයසේකර මහතා විජයාවතරණ පාඩම විස්තර කිරීමට උපකාරී කොට ගත්තේ ලී රාමුවක රැඳවූ කළු ලෑල්ලේ ඉහළ දාරය මත රැඳවූ අඩි 3 x අඩි 3 පමණවූ ප්‍රමාණයේ චිත්‍ර සටහන් කිහිපයකි. එදවස බොහෝ මධ්‍යම පාන්තික නිවෙස් හි සාලයෙහි ප්‍රමුඛස්ථානයක රාමුකොට එල්ලා තිබෙනු දක්නට ලැබුණු සෝලියස් මෙන්දිස් මහතාණන් වීසින් කැළණි විහාරයෙහි කල සුප්‍රසිද්ධ බිතුසිතුවම් පිටපතක් නිතැණින්ම සිහිගැන්වූ ජයසේකර මහතා උපයෝගී කොටගත් එම චිත්‍ර සටහන් බොහෝවිට විෂයය විස්තර කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ඉගැන්වුම් ආධාරක යෙදවුම් විය හැක.ඊට බොහෝ පසු කලෙක ගුරුවරියක සමඟ පාසල් නිල නිවාසයක මගේ ජීවිතය ගතවුණු සමයෙහි ඉගැන්වුම් ආධාරක යෙදවුම් පිලිබඳව මම බොහෝ දේ දැනගතිමි.

ඒ හයේ පන්තියෙ පොඩි කොල්ලෙක් උනත් මට ඒ කාලෙත් නිකං හිතට හරි නෑ හරි නෑ වගෙ විජය, ඒ කියන්නෙ සිංහලයින්ගෙ ආරම්භකයා හොරෙක්, මංකොල්ල කාරයෙක්, දාමරිකයෙක් වීම ගැන. හැබැයි විජයගෙ සීයා සිංහයෙක් වීම සහ සිංහයෙකුට දාව ගැහැණියකට දරුවෙක් ලැබෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ගැන මට මතක විදිහට එහෙමට විචිකිච්ඡාවක, කුකුසක් ,ගැටලුවක් නම් මයෙ හිතේ තිබ්බෙ නෑ. මොකද ඒ වයසට දරුවෙක් ඇතිවෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි අදහසක්..පැහැදිලි නෙවෙයි ඇත්තටම කිව්වොත් අපැහැදිලි අදහසක්වත් තිබ්බෙ නෑ. කොටින්ම මම ඒ ගැන හිතලවත් තිබ්බෙ නෑ. 

ඒ අතිං අපි ඇවිල්ල අර ඇම්ඩන් කොලූට වඩා නම් බොහොම අහිංසකයි..දන්නවනෙ ඇම්ඩා නේද? ඇම්ඩගෙ අම්මට ඔන්න බබෙක් ලැබෙන්නයි හදන්නෙ. ඇම්ඩ පොඩි කොල්ල.... වයස දොළහයි. හරියටම මේ කතාවට අදාල කාලෙ මං පොඩි එකාගෙ වයස. ඒත් ඇම්ඩා මංවගෙ සුකොමල ලද බොළඳ පොඩි එකෙක් නෙවෙයි. ඇම්ඩෙක්ම තමයි.

ඔය වස අමාරුකාර තක්කඩියන්ට ඇම්ඩන් කියල කියන්නෙ මොකද දන්නවද? හරි ඒක දිග කතාවක්...පස්සෙ කියමුකො.

දැන් මේ අම්මට බබෙක් හම්බවෙන්ට ඉන්න සීන්ස් එක ඇම්ඩට කියන්ට එපාය. තාත්තා දවසක් ඇම්ඩව පැත්තකට කතා කලා. උගුරෙ රැල් බුරුල් එහෙමත් ඇරියා..

" හ්ම්ම්...හ්ම්ම්...ඇම්ඩන් සුදු පුතේ..පුතාට කාරණයක් කියන්න කියලයි මම මේ හදන්නෙ. "

තාත්තා කල්පනා කලා මේක කොහොමද මේ පොඩි එකාට කියන්නෙ කියල. පස්සෙ ඔන්න මතක් වුනා අර කොකෙක් පොඩි ළමයි ගෙනල්ල දානවයි කියල තියන කතාව. හරි එහෙම කියනවා..තාත්තා හිතුවා.

" පුතා දන්නවනෙ පුතේ අර මහ විසාල කොකෙක් චුට්ටි ළමයි හොටෙං අරගෙන රෑට ජනේලෙං පියාඹගෙන ඇවිල්ල......." .

" හරි හරි තාත්තෙ මට මතකයි..ඉතිං ? …" ඇම්ඩා ඇහුව..

" නෑ මම මේ කියන්ට ගියේ මේ දවස්වල අන්න ඒ කොකා රෑට රෑට අම්මගෙ කාමරේ ජනේලෙ ලඟ.." 

තාත්තට එච්චරයි කියන්ට හම්බවුනේ.....ඇම්ඩා ඔලුවෙ අත ගහ ගත්තා..

" ඇයි ඇයි පුතේ? …….." තාත්ත කලබල වෙලා ඇහුව.

" මල කෙලියයි තාත්තෙ.අම්මට බබෙක් හම්බවෙන්ටයි ඉන්නෙ. දැං ඔය කොකා ද මොකාද එකා රෑට ජනේලෙං එබෙනව දැකල අම්ම බය උනොත් එහෙම බබා හම්බවෙයි එතනම......."

සිංහල ජාතියෙ සමාරම්භකයගෙ ඉඳල ඉහලට පරම්පරා තුනකම කට්ටියට අද හිටියනං ඉන්ට වෙන්නෙ වැලිකඩ හිරගෙදර කූරුගණංකර කර කියන එකත් ඒ කාලෙ මට එච්චර තේරුනේ නෑ.

1. විජය - මංපැහැරීම සහ ද්වේශ සහගතලෙස බිරිඳ සහ දරුවන් අත්හැර දැමීම

2. සිංහ සීවලී සහ සිංහ බාහු - ව්‍යාභිචාරය

3. සුප්පාදේවී - තිරිසනකු සමඟ ලිංගිකව හැසිරීම.

හත වසරෙ සෞඛ්‍යය සහ ස්වස්ථාව විෂයට අදාලව තිබ්බ ප්‍රජනනය කියල පාඩමක්. අවුරුද්ද මුලදි අපි ඉතිං ඔය පෙළපොත් ඔක්කොම පෙරලල බලනවනෙ. අම්මට වූඩු..මෙන්න බඩු...ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති රූප සටහන් සහිතව...සික්...ඒත් බොලේ සෞඛ්‍යය පොතේ 123 වෙනි පිටුවෙනෙ ප්‍රජනනය ගැන තියෙන්නෙ. පොතේම පිටු තියෙන්නෙත් 135 යි. සික්..එහෙම බැලුවම ප්‍රජනනය පාඩම කෙරෙන්නෙ නොවැම්බර් අග නැත්තං දෙසැම්බර් මුල වගෙ තමයි. හපොයි එච්චර කල් ඉවසන්නෙ කොහොමද?

අපිට හත වසරට සෞඛ්‍යය කලේ මැඩම් කෙනෙක්. ඔන්න අන්තිමට අවුරුද්ද පුරා පුල පුලා බලාසිටි ඒ අසිරිමත් දිනය උදාවිය. 7 A පංතියට ප්‍රජනනය පිළිබඳ පාඩම් කියාදෙන දවස. මං හිතන්නෙ එදා තමයි පංතියෙ ළමයි ඔක්කොම ඉස්කෝලෙ ආපු එකම දවස. හැබැයි එදා ප්‍රජනන පාඩම නම් බොහොම සංවේගජනකයි. කොටින්ම දර්ශීය අව ප්‍රාප්තියේ උපරිමය ( A Typical Anti-climax ). මැඩම් බොහොම හදිස්සියෙන් පාඩම උඩිං පල්ලෙං කරල ලිස්සල ගියා...හෙහ්,හෙහ්,...ඒ ගැන වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න.

ඉතිං ආයෙම අදාල කතාවට ආවොත් එදා ඉඳල මේ ඊයෙ පෙරෙයිද වෙනකල් මම ඔය විජයගෙ කතන්දරේ පිළිගත්තෙම නෑ. ඒ කියන්නෙ ලැජ්ජ නැතුව කටක් ඇරල කියතැහැකිද අපි පැවත එන්නෙ පට්ට මංකොල්ලකාරයෙක්ගෙන්ය කියල. ෂික්...ඒත් අර මුලින්ම මම කිව්ව වගේ ප්‍රතික්ෂේප කල නොහැකි සාක්ෂි ( Irrefutable Evidence ) කොහෙන් හරි ඉස්මතුවෙනවනම් කරන්ට දෙයක් නෑ අවුරුදු හතලිහකට වැඩි කාලයක් උනත් අපි එක හිතින් විශ්වාස කරපු දේවල් අලුයම ලූ කෙළ පිඩක් මෙන් අත්හැරල දාන්ට වෙනව. ප්‍රතික්ෂේප කරන්ට වෙනව. යථාර්තය පිළිගැනීම කියන්නෙ අන්න ඒකයි.

ඉතිං දැං ඔන්න වෙලා තියෙන්නෙ අන්න ඒක. විජය කියන මංකොල්ලකාරයගෙං අපි පැවත එනව කියල මතය පිළිගන්ටම වෙලා තියෙනව. පේන්නෙ නැද්ද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය කියන බම්මන්නො නඩේ නටන විගඩම.මහින්ද රාජපක්ස හිටපු ජනාධිපති කට උත්තරයක් ගන්ට අල්ලස් කොමිසම ඉදිරියට කැඳෙව්ව විතරයි. මෙන්න හොරු හතළිහ කුලප්පු වෙලා.හෙහ්,හෙහ්, ඒකෙ වරදකුත් නෑ බලාගෙන ගියාම අලිබබාව උසාවි ගෙනියනකොට හොරුන්ට බොක්ක රත්වෙන එක අහන්ටත් දෙයක්ය... නැද්ද? 

දැන් අහන්ට දකින්ට තියනවනෙ දවසින් දවස බොහොම පැහැදිලිව අලිබබා සහ එයාගෙ නෑදෑ, හිතමිතුරු, අන්තේවාසික හැත්ත බුරුත්ත ආණ්ඩුවෙ ආයතන සතු සම්පත්, පොදු මහජන දේපල කොල්ල කාල තියෙන රඟ. බිලියන ගාණක් යටි මඩි ගහල තියෙන්නෙ. සෙල්ලං ගාණක් එහෙම නෙවෙයි බිලියන ගාණක්.ඉතිං ඒවගෙ නිලකාස හොරෙක් ආයම රටේ අගමැති කරන්ට ඕනය කියන වෘෂභයො එක්කො මොලේ අමාරුකාරයො වෙන්න ඕන. එහෙම නැත්තං අර විජය කියන පල්හොරාගෙ නායකත්වය යටතෙ ලංකාවට ආපු හොර නඩෙං පැවතගෙන එන එවුං වෙන්න ඕන. ඔන්න ඔය හින්දයි මම කිව්වෙ සිංහලයො පැවතෙන්නෙ විජයගෙංය කියල මට දැං ෂුවර් ඇන්ඩ් ෂොට්ය කියල.

පාර්ලිමේන්තුවෙ විරෝධය ගැන කියන්ට තියෙන්නෙ වැලිකඩ ජම්පරේ ඇඳගෙන ඉන්ට ඕන මිනිස්සු නැෂනල් ගහගෙන දියවන්නාවට ගියාම ඔහොම දේවල් නොවුනොත් තමයි පුදුම වෙන්ට ඕන. මේ වගෙ මීම්මු දියවන්නාවට යවපු ජහමනයත් මෙව්වට වගකියන්ට ඕන.

අනික අලිබබයි ගෝලයොයි ස්ටේජ් දෙදරන්ට කෑගහල ඉල්ලපු එක තමයි ඔය කරල තියෙන්නෙ. " කෝ ජනාධිපතිවරණයෙදි කරපු චෝදනා? ඇයි එව්වට පරීක්ෂණ නොකරන්නෙ? අපිත් බලාගෙන ඉන්නෙ ඒ පරීක්ෂණ පටන් ගන්නකං ..." එහෙමනෙ කිව්වෙ. ඒත් දැං පරීක්ෂණ පටං ගත්තම මෙන්න රෙද්ද උස්සගෙන මරහඬ තියනව..ඇයි මේ?... අර කියමනක් තියෙනව මම හිතන්නෙ අලිබබා සහ සෙට් එක අහල නැතුව ඇති.." Be careful of what you wish for..you just might get it "

දැං වෙලා තියෙන්නෙ රට බේරාගත් වීරයාගෙං රට බේරාගන්ටයි..හෙහ්.හෙහ්, පුදුම වැඩේ තමයි ඒක...

" ගරු හිටපු ජනාධිපතිතුමනි! ඔබට ගෞරවාන්විතව ඉවත්ව යාමට ලැබුණු මහඟු අවස්ථාව මඟ නොහරිනු මැන! රජෙකු, ඔටුන්න හිමි කුමරකු හෝ රජ පරපුරක් අපට අවශ්‍ය නොවේ! කරුණාකර ඉතිහාසයේ ඔබට හිමිව ඇති ස්ථානය එළෙසම ආරක්ෂා කරගනිමින් පිටව යනු මැන! "

ජනාධිපතිවරණෙ ඉවරවෙලා සතියකින් හරියටම කිව්වොත් ජනවාරි 15 වෙනිද මම එහෙම කිව්වෙ.එහෙම කිව්වට එතුමා අහන හැඩක් නෑ වගෙ. එතුමාට සුපුරුදු බාසාවෙන්ම කියලවත් බලමු එහෙනං...නැද්ද? 

" ලොක්කා...දැං හොඳටෝම ඇති ඔහේගෙ විගඩං බැලුවා. යකෝ මේක අද නවතියි හෙට නවතියි කියල හිතුවට එන්ට එන්ටම වැඩිවෙනව මිස අඩුවෙන පාටක් නෑනෙ ඔහේගෙ මේ ජවුසෙං නැටිල්ල......එක පාරක් ඔහේව එළෙව්වෙ ආපහු ගෙන්න ගන්ට නෙවෙයි. අන්න ඒක හොඳට හිතේ තියාගෙන උණුවතුර ටිකක් කාරිය නාල හතර පෝයට අර අබයාරාමෙවත් සිල් අරගෙන දැංවත් යන තැනකට මොනවහරි කරගන්ට. ආ..ඊට කලින් කරුණාකරල ඔය කොහෙංහරි කාමර දෙහෙකුයි කුස්සියකුයි එක්ක ගෙවල් කෑල්ලක් හොයාගන්ට.ඔහෙගෙ ඔය ගෙවල් හෙවිල්ලෙ නාඩගමත් දැං අපිට තිත්තෙං තිත්ත වෙලයි තියෙන්නෙ. "

Friday, April 17, 2015

312. කුකුළේගඟ මතක - 3 - චාල්ස් - ඩයනා විවාහ මංගල්‍යෝත්සවය, රඹුටන් සහ දූරියන් සමඟ හිනිදුමගේ කතාව.


Google images
කුකුළේ ගඟ මතක ලියද්දි ප්‍රස්තුත කථාව නොහොත් කියන්ට ආපු කතාව ඉවරයක් කරන්ට ඕන හින්ද ඒ අතරමඟ ඇදිල ආපු අතුරු කතා දෙකක් මම පස්සෙ කියන්නම්ය කියල මඟ ඇරල ආව.

ඔන්න වැඩේ හැටිය කියන්නෙ ඒ පාර මෙවුං මට වගපල කියන්ට ගත්තෙ නැද්ද ඒ අතුරු කතා කිව්වෙ නැතය කියල. ඒ මදිවට අර මලිති නෝන මහත්තැං ගත්කටටම ඇහුව නෙව මොකෝ මේ අසනීපයක්වද්ද කියල. ඉතිං කාටෙයි මේ අවනඩු කියන්නෙ? හෙහ්,හෙහ්,


ඉතිං ඔන්න ඔය හින්ද සකලජන වෙත පතලාවූ මහා කරුණාගුණය කරණකොටගෙන මම තීරණය කලා ආපහු සරෝජිනී සහ අසෝකා යන ළමයින්ගෙ වගතුග ගැන විස්තරේ ලියන්ට පටං ගන්ට ඉස්සරවෙලා ජේ.ආර්. සහ ඩයනාගේ මඟුල කතාවයි අර අලි ගැන කතාවයි කියලම ඉන්නවයි කියල. ආ..පොඩ්ඩෙන්නම් අමතක මතක බැරිවෙනව. අපේ කළ්‍යාණ ගොයිය ඇහුවනෙ කුකුළෙ සේෆ්ටි ප්‍රොසීඩියර්ස්  ගැන මොකවත් ලියන්ටෙයි කියල. රයිට් මේ එක්කම ඒ ගැනත් පොඩ්ඩක් විතර ලියන්ට ඕන.

ඔන්න එහෙනං අපි ආපහු යනව වැන්ද මට විස්තරේ කියන තැනට..ස්ථානය - කුකුළේගඟ අපේ ඔෆිස් එක....කාලය වසර 14 කට පෙර.

" අනේ බොස් අර ජේ.ආර්.ගෙ කතාව කියල ඉන්ටකො...නැත්තං ඕක මට අහගන්ට අමතක වෙනව.අනික මගෙ පොඩි එකා ඉන්නෙ දෙක වසරෙ. සතියකට දෙපාරක් උන්ට තියනව කතන්දර පැයද මොකක්ද කියල කෙහෙල් මලක්. ඒකට පන්තියෙ ළමයි හැමෝම අළුත් කතන්දරයක් කියන්ට ඕන. ඒකා ඇවිල්ල අහන්නෙ මගෙන්..කාටද බොස් ඔයහැටි කතන්දර මතක? මගෙ ඔලුව නරක් වෙනව.." 

" අඩේ මේ.... උඹට පිස්සුද? මේ කතන්දර එහෙම පංතිවලට ගිහිල්ල කියන්ට පුලුවන් කතන්දර නෙවෙයි. උඹෙ පොඩි එකාවත් ඉස්කෝලෙං දොට්ට දාල උඹවත් පොලිසියෙ කූඩු වෙන වැඩක් ඒක. අර ඇම්ඩ වඳුරො කූඩු හදපු කතාව කියල වෙච්චි එකේ අනික් එක වෙයි උඹේ පොඩි එකාට...." 

" ආ..ඒ ඇම්ඩගෙ කතාව නම් මම දන්නව..."

හප්පා යන්තං ඇති මේ හෝතඹුව ඒ කතාව හරි දන්න එක. නැත්තං ඒකත් මමම කියන්ට එපාය...හෙහ්,හෙහ්, ...මටම එහෙම කියාගෙන මම වැන්ද දිහාට හැරුන.

" කේතලේ ගහපං බං තව නෙස්කැෆේ එකක් බොමු. උගුර කටත් වේලිල වගෙ. "

වැන්ද කෝපි හදනකල් මම කතාව පටන් ගත්ත. 

" ඩයනගෙයි චාල්ස් කුමාරයගෙයි මඟුල මතකයි නේද උඹට? "

" මතකයි..හැත්තැගණංවල නේද තිබ්බෙ? "

" නෑ නමසිය අසූඑකේ...හරි ඒ මඟුලට ජේ.ආර්. ගොයියයි ප්‍රේමදාස ලොක්කයි දෙන්නම ගියානෙ. ඔය මංගල්ලෙට ආරාධනා කලේ රටේ රාජ්‍ය නායකයට විතරයි. එගෙම උනාම නිල වශයෙන් යන්න ලැබෙන්නෙ ජේ.ආර්. ට විතරයි.ප්‍රේමදාස ගොයිය එතකොට අගමැති. මනුස්සයටත් යන්ට ඕන වුනා චාලිස්ගෙ මංගල්ලෙට. කතාව රට පුරා පැතිරුනෙ ඇත්තටම ප්‍රේමෙට නෙවෙයි මේ මඟුල් දොලදුක ඇතිවුනේ හේමාවෝ ප්‍රේමදාස මැතිණියට කියලයි. "

" හෙහ්..වෙන්න ඇති..එක පාරක් මමත් ගියානෙ ඔන්න ඔය බුත්තලද කොහෙද තිබ්බ ගංඋදාව බලන්ට. අන්තිම දවසෙ හේමා නෝනගෙ ටීම් එකයි රෝසි සේනානායකගෙ ටීම් එකයි නෙට්බෝල් ගැහැව්වනෙ. අම්මාපල්ල ඒක තමයි බලන්ට වටින වැඩේ.බලයෙන් ඉදිමුණහම ගෑණු / මිනිස්සු කරන අමන වැඩ...." වැන්දා එහෙම කිව්ව.

" ඔව් මට මතකයි ඔය හේමා එක්ක නෙට්බෝල් ගහනකොට අනික් පිලේ ක්‍රීඩිකාවන්ට තිබ්බ කොන්දේසි මාලාවක් දාල. ආර්යාවගෙ ඇඟේ හැප්පෙන්ට බෑ, ආර්යාව බෝලෙ අරං යනකොට බෝලෙ ගන්ට බෑ, ගරු ආර්යාවනි කියලයි කතා කරන්ට ඕන..ගරු ආර්යාවනි ෂූට්, ෂූට්...ගරු ආර්යාවනි, පාස් පාස්..ගරු ආර්යාවනි හියර් ඊස් ද බෝල්..අන්න ඒ වගෙ. තව තිබ්බ ස්ටෑන්ඩිං ඕඩර්ස් කීපයක්. දාඩිය දාන්ට ඔට්ටු නෑ..දාඩිය දැම්මත් ගඳ ගහන්ට ඔට්ටු නෑ. ගඳ ගැහැව්වත් ආර්යාවට ගඳ දැනෙන්ට අරින්ට ඔට්ටු නෑ...අන්න ඒ වගෙ. "

වැන්ද දුන්න නෙස්කැෆේ එකේ උගුරක් බොන ගමං මම කිව්ව.

ඉතිං අනිවාර්යයෙන්ම වෙන්ට ඇත්තෙ ප්‍රේමදාසගෙ එක කෙස් ගහක් එහා මෙහා නොවෙන්ට පීරල තියෙන කොණ්ඩෙ කෙලින් වෙනකල් හේමාවෝ රෑ දවල් නැතුව බෙලිකටු මල්ල හොල්ලන්ට ඇති. අයිසෙ තමුසෙ මේ රටේ අගමැති නේද? ඉතිං මේ මංගල්ලෙට ආරාධනාවක් ගෙන්න ගන්ට තමුසෙට බෑය කියන්නෙ හතර විලි ලැජ්ජාවයි නේද? අනේ ඉතිං මොකටද තමුසෙගෙ ඔය කෙහෙල්මල් පට්ටන්තරේ? දානව ඕක බල්ලට...දන්නවනෙ බබලත්තුන්ට මොකක් හරි ලබාගන්ට ඕන උනහම ආය නෑ ඉතිං..ලෝකෙ පෙරලල හරි ඒ ආසාව ඉස්ට කරගන්නවනෙ. 

ඉතිං ප්‍රේමෙ කරේ මොන ජිල්මාල් එකක් හරි දාල ආරාධනාවක් ගෙන්න ගත්ත එක. බ්‍රිටිෂ් ඇම්බැසඩර්ට නොවඳිනා වැඳුම් වඳින්ට ඇති එකත් එකටම. එහෙම නැතුව ආය වසන්ටය? චාලිස් ඩයනා කපල් එක මුණුබුරංගෙ මූණු දකිනකලුත් හේමාවෝ උදේ හවස කෑමට පෙර කියවයි ඕක..ආය මොනවද? ඉතිං කොහොම හරි ප්‍රේම් ඇන්ඩ් හේමා කපල් එකත් ගියා රෝයල් වෙඩිං එකට.මට මතකයි ඩේලි නිව්ස් එකේ මුල පිටුවෙ දාල තිබ්බ ෆෝටොස් එකක් භෝජන සංග්‍රහයෙදි මේසෙ ඈත කෙළවරක දෙන්න ඉන්නව. ඉතිං ඔය ඩයනගෙ මඟුල, අපේ ජේ.ආර්.සහ ප්‍රේමදාස සම්බන්ධ කරල කතන්දර තියනව බර ගාණක්. යාන්ස් කියන්නෙ අන්න එව්ව. සිංහලෙන් යාං හෑලි.

1. රත්තරන් හැන්දේ කතාව

2. මම උඹට පවුං පණහක් දෙන්නං..ඔය විදිහට රුන්නෙ කොහොමද කියල මට කියපං - I will give you fifty pounds , just tell me how did you shat like that…

3. We have a population of 345 million people.

4. රඹුටං සහ දූරියං

ඉතිං මෙතනට අදාල වෙන්නෙ රඹුටං සහ දූරියං කතාව..කතාව මෙහෙමයි. එංගලන්තෙට පිටත් වෙන්ට කලින් ප්‍රේම් ගියා ජේ.ආර්. හම්බවෙන්ට. 

" සර් මොනවද වෙඩිං ප්‍රසන්ට් එකක් විදිහට අරගෙන යන්නෙ? "

" ප්‍රේමදාස..මේකනෙ ඔය මිනිස්සුන්ට ආය සල්ලි බාගෙ වටිනා බඩු මුට්ටුවල අඩුවක්ය? එව්ව නැති මිනිස්සුය? ඒ නිසා මම කල්පනා කලේ එහෙ නැති නෝමල් මොනවහරි ගිහිල්ල දෙන්ට. "

" ඒ කිව්වෙ සර්? මොන වගේ දෙයක්ද? "

" මම හිතාගෙන ඉන්නෙ හොඳවයිං රඹුටං ටිකක් ගිහිල්ල දෙන්ට.."

" ආ ඒක හොඳයි.."

ප්‍රේම් එහෙම කියල ගෙදර ඇවිල්ල මේ විස්තරේ හේමාවෝට කිව්ව. 

" මම මේ කල්පනා කලේ හේමා.... ලොක්ක රඹුටං අරන් යනකොට අපි මොනවද ගෙනියන්නෙ කියල. අපි එයාලට දෙවෙනි වෙන්ට ඕන නෑනෙ."

" මම කියන්නද? අපි අරං යමු හොඳවයිං දූරියං ගෙඩි තුන හතරක්. " 

" ඒකත් හොඳ අදහස ....." කියල ඔන්න ප්‍රේමෙත් එකඟ වුනා කියමුකො.

ඔන්න දැන් දෙගොල්ලම මඟුලට ගිහිල්ල රාජ භෝජන එහෙම භුක්ති විඳල ඊට පස්සෙ ආව ගෙනාපු තෑගි බෝග බාරදෙන වෙලාව. රැජින ඒ කිව්වෙ එළිසබෙත් අක්ක තමයි තෑගි බාරගන්නෙ. ඔන්න ජේ.ආර්.ගෙ වාරෙ ආව. ලොක්ක කාමරේ ඇතුලට ගිහිල්ල අර ගෙනාපු රඹුටන් පාර්සලේ දුන්න රැජිනි අතට. එතුමිත් පාර්සලේ ලිහුව. අම්මට සිරි, රැජිනට තද වුනා. මෙච්චර වටින රන් රිදී මුතු මැණික් තෑගි ලැබෙන අව් අස්සෙ මොනවද මේ නාකි ලොක්ක ගෙනල්ල තියෙන්නෙ?..මයිල් මයිල් වගෙ තියන ගෙඩි ජාතියක්.

" What the bloody hell is this ? " රැජින ඇහුව ටිකක් සැරෙන්. 

" These are a kind of fruit from my country your majesty, very tasty and good for your bowels too " ජේ.ආර්. ලොක්ක ටිකක් පස්සට වෙලා කිව්ව. 

රැජිනට මල පැන්නා අසූතුන් කෝටියට..එතුමී අඩි හැප්පුව පොළවෙ... 

" Ok right.... it is very obvious that you have insulted me and my country by bringing this worthless shit as a gift. " රැජින කෑගැහුව,

ඊටපස්සෙ මූණ ජම්බෙ වගෙ කරගෙන මුර භටයින්ට මෙහෙම අණ දුන්න. " Lay this cunning rascal on the floor and shove all these bloody fruits up his arse. That would teach him an unforgettable lesson. Anyway he says that they are good for bowels so shove them up all the way to his bowels. "

මුර භටයොත් ආය ඉතින් කිසි කතාවක් නෑ. ජේ.ආර්. එතනම මුණිං අතට  හරහ දාල රැජිණ කියපු විදිහටම වැඩේ කරන්ට ගත්ත. ජේ.ආර්. ලොක්ක ටික වෙලාවක් දත්මිටි කාගෙන ඉඳල එක පාරටම මහ හයියෙං හිනාවෙන්ට ගත්ත. රැජිණිට මහ පුදුමයක් මේක. 

" With all this stuff being shoved up your arse you are still laughing..I don't understand. Why? "

ජේ.ආර්. ලොක්ක හිනාවෙනව නවත්තගන්ට බැරුව. " Premadasa is next. He is outside the door waiting and..and..and he Is bringing some Duriyans.."

ඔන්න ඕකයි ළමයි ජේ.ආර් ඩයනගෙ මඟුලට ගිහිල්ල වෙච්චි සීන් එකක් ගැන මම පහුගිය පෝස්ට් එකේදි කිව්වෙ.

දැන් එහෙනං දෙවෙනි කතාව..............

" හෙහ්, අලි කියනකොට මට මතක් වුනේ. මම කාලයක් ඔය වැලිකන්දට එහා වැඩ කලානෙ කැලේ මැද. ඒ කාලෙ නං අලිත් එක්කම තමයි ජීවිතේ ගෙවුනෙ.අපේ වොචර් කෙනෙක්ට වෙච්ච මරු වැඩක් තියනව වල් අලි කේස් එකක්…." මම මැදින් පැනල කිව්ව

" අනේ බොස් ඒ කතාවවත් කියන්ට.." වැන්දා බැගෑපත් වුනා. 

" පිස්සුද බං?....මඟුලක් කතා කරනව. ඒක මෙහෙම කියන්ට පුලුවන් එකක් නෙවෙයි. පසුබිම සකස්කරන්ටම මයෙ හිතේ යයි විනාඩි දහයක් විස්සක්. ඒ හින්ද නොවැරදීම පස්සෙ දවසක කියන්නං..මට මතක් කරපංකො.."

රයිට් අලි කතාව මෙහෙමයි........

මිනිස්සු පදිංචි කරල අලුතින් ජනාවාස ඇතිකරන්ට අපි කැලේ මැද්දෑවෙ පාරවල්, ඇලවල්, පාලම්, බෝක්කු එහෙම හැදුව. ඊට පස්සෙ පදිංචි කරන මිනිස්සුන්ට කුඹුරු කරන්ට ඉඩං දෙන්ට එපාය. එක කුඹුරු කට්ටියක් හෙක්ටෙයාර් එකක්. අක්කරවලින් නම් 2.47. මම කලින් දවසක කිව්ව මේ කුඹුරු කට්ටි උදෙසා කැළේ සුද්ද කිරීම ගැන. අර කේබියගෙ ගර්ත් එක මැනිල්ල ගැන කිව්වෙ. ආන්න එදා...හෙහ්,හෙහ්,

ඉතිං ඔය චීන්නු කැලේ සුද්ද කරල සල්ලිත් අරගෙන ගියානෙ.ඊට පස්සෙ අපි ගෝලයො ( ගෝලයො කියල පොදුවෙ හැඳින්නුවෙ චෙක් රෝලෙ වැඩ කරන අනියම් කම්කරුවො. චෙක් රෝල කියන්නෙ අනියම් කම්කරු පැමිණීම් සටහන් ලේඛනයට ) දම්මල එවුං ගොඩ ගහපු මහ ගස් කොටං ගොඩවල් ගිණි තිබ්බ. ඔහොම ගිණි තිබ්බම දවස් දෙක තුනක් තිස්සෙ ඇවිලෙනව. ඊටත් පස්සෙ අර මහ විසාල අළු ගොඩවල් තුනී කරල දානව. එකක් එහෙම නැත්තං අර අළුගොඩ තියන තැන කුඹුරු කට්ටිය හම්බවෙච්ච මිනිහ අනාථයි. අනික ඔය අළු හොඳ පොහොරක්.

මේ කතාවට අදාල නොවුනත් තව කාරණයක් කියන්ට ඕමනයි. බක් මහ උළෙල ගැන කියනකොට අපි අළුත් අවුරුදු සහ අලුත් අවුරුදු කියල දෙවිදිහටම ලියනවනෙ. ඒත් අළුත් අවුරුදු කියල ලිව්වම සම්පූර්ණයෙන්ම වැරදියි කියල කියල තිබ්බ ඩී.එෆ්. කාරියකරවන මහත්තය. නිවැරදි වචනෙ අලුත් අවුරුදු වෙන්න ඕන කියලයි එතුමා කියන්නෙ. ආණ්ඩුවෙ සිළුමිණ පත්තරේ ඒ කාලෙ ඉඳලම කියවන්ට කියල වැදගත් දේකට තිබ්බෙ පුන්කලස අතිරේකය විතරයි. දැන් ඒකෙ නම ඇවිල්ල සත්මඬල.

ඉතිං අර අළු තුනීකරන්ට අපේ ඩෝසර් දෙක තුනක් දාල තිබ්බ. ඔය මම කියන දවස් වෙනකොට ඒ ඩෝසර් තිබ්බෙ අපේ කෑම්ප් එකේ ඉඳල කිලෝමීටර් එක පහක් හයක් වගෙ කැළෑව මැද්දෙ.දවල් දවස තිස්සෙ වැඩකරල හවස අපේ ජීප් එකක් ගිහිල්ල ඔපරේටර්ස්ලව එක්ක එනව. ඒ යනකොට වොචර් කෙනෙක් එක්ක යනව රෑ එළිවෙනකල් මුරකරන්ට. මනුස්සය ඉතිං කෑලි පහේ ටෝච් එකකුයි, පොරවන්ට ගනකම කම්බිලියකුයි, කෑම එකයි, වතුර කෑන් එකක් එහෙම අරගෙන යනව. 

අපි හිටපු තනිකඩ නිලනිවාසෙ එක්කම වාගෙ පිටිපස්සෙන් තිබ්බ සුළුසේවක නේවාසිකාගාරයක්. ඕකෙ හිටිය හිනිදුම කියල වොචර් කෙනෙක්. මට හරියටම මතකයක් නෑ මිනිහගෙ නම ද ගමද හිනිදුම කියල. කොහොමහරි හැමෝම කතාකලේ හිනිදුම කියල

හිනිදුමය ලෝක ආනාදියා.ඒ වගේම පණ්ඩිතයා. නොදන්න කෙහෙල්මලකුත් නෑ ඇත්තම කිව්වොත්. ඒ වගේම නොම්මරේ එකේ කතා කාරයා.

ඔන්න හිනිදුමය වැටුන අර කැලේ මැද්දෙ ඩෝසර් මුර කිරිල්ලෙ රාජකාරියට. ඔය කාලෙ වෙනකොට ආණ්ඩුවයි කොටියි අතරෙ පොඩි එකඟතාවක් වගෙ ඇවිල්ල තිබ්බ. ඒ හින්දම දෙගොල්ල මරාගත්තෙ නෑ. Unofficial Truce එකක් ක්‍රියාත්මක උනාය කිව්වනම් බොහෝදුරට හරි.

එහෙම උනාට අපි හැමෝම ටිකක් විතර බයෙන් වගෙ තමයි ජීවත් වුනේ. ඒ මොක උනත් අපි කාටවත් කොටි හානියක් එහෙම කලේ නෑ. හැබැයි පස්සෙ කාලෙක අපෙ නිලධාරීන් දෙන්නෙක් වගෙ කොටි ඝාතනය කලා. ඒකත් වැරදීමකින් කියලයි ආරංචි වුනේ. ඒ වෙනකොට මම එහෙන් ඇවිල්ල...... අර මතකද? ගොවි ජනපදයෙ........අන්න එහෙ සේවයට.

ඔය කොටි අපිට කිසිම කරදරයක් නොකලෙ මොකද කියල දන්නවද?...අපෙ යාලුවෙක් හිටිය මිනිහට දෙමල පුලුවන් යස අගේට. ඒ පැත්තට හිටපු ප්‍රාදේශීය කොටි නායකය...මට දැන් නම මතක නෑ..මේ...බාලෝ ද කොහෙද?..හරි...හරි..බාලෝ තමයි...ඉතින් මගෙ අර කියපු යාලුව බාලෝ එක්ක හිතවත් වුනා. බාලෝම තමයි මිනිහට කියල තියෙන්නෙ උඹල කිසිදේකට බයනැතුව වැඩ කරගෙන පලයල්ල. අපෙං උඹලට කිසිම කරදරයක් නෑ.කියල. පස්සෙ ඒ ඇයි එහෙම කියන්නෙ කියල ඇහුවම බාලෝ මොකක්ද දන්නවද කියල තියෙන්නෙ?

කවදකහරි මේ හරිය ඔක්කොම අපේ රාජ්ජෙ. උඹල මේ වැව්, ඇළවල්, පාලං හැදුවට මෙව්ව උඹලට යන දවසක ගලවගෙන යන්ට බෑනෙ.එතකොට ඒ ඔක්කොම අයිතිවෙන්නෙ අපිට. ඉතිං නොමිලේ අපිට මෙච්චර දේවල් දීල යන්ට ඇවිල්ල ඉන්න උඹලට කරදර කරන්නෙ අපි අහවල් දේකටද?

ඉතිං ඔය අපේ ඩෝසර් වැඩකරපු හරිය කොටි ඉන්න සීමාවට ඉතාම ආසන්නයි. ඔය හින්ද හිනිදුමය කලේ රෑ නමය වගෙ වෙනකල් ඉඳල ගෙනිච්ච බත් එකත් කාල ආපහු පාදපරිචාරිකාවෙ එනව කෑම්ප් එකට.ටිකක් අඩිය ඉක්මන් කරල එනකොට ඔය කිලෝමීටර් 6 පැයකින් වගෙ එතහැකි. ආයම උදේ ඩෝසර් ඔපරේටර්ස්ල එක්කගෙන යනවනෙ ජීප් එක හතහමාරට අටට වගෙ. නයිට්වොච්මන්වත් ආපහු එක්ක එන්නෙ ඒ ජීප් එකේමයි. හින්නා කරන්නෙ උදේ හයට වගෙ එළිය වැටීගෙන එනකොට ආපහු යනව අර කිලෝමීටර් හය ගෙවාගෙන. ගිහිල්ල ඉන්නව කම්බිලියත් පොරවාගෙන..රෑ තිස්සෙ ඇහැක් වගෙ ඩෝසරේ මුරකරපු එකා වගෙ...හෙහ්,හෙහ්,

" ආ...හිනිදුම ඊයෙ රෑ නින්ද ගියාද? " ජීප් එකේ යන අපේ ලොක්කා සමරසිංහ බොස් අහනව. 

" මොන නින්දක්ද මහත්තය..එලිවෙනකල් මදුරුවො තැලුව ඒ මදිවට හීතල…" හින්නා ඔලුවත් පාත්කරල කියනව. 

" හරි හරි බං මාසෙ අන්තිමට උඹලට සෑහෙන ඕ.ටී. එකක් හම්බවෙනවනෙ පඩිය වගේම. " බොස් කියනව හිනාවෙලා. 

" ඒක නම් එහෙම තමයි" හින්නා මා දිහාවෙ බලල කට කොණකින් හිනාවෙනව.  ඕකගෙ ඔය ඔපරේෂන් බෑක් ටු ද කෑම්ප් සීන් කෝන් එක මම දන්නව කියල ඕකත් දන්නව.

පලි - සාතිශය සංවේගයෙන් වුවද මතු සම්බන්ධයි යනුවෙන් සඳහන් කිරීමට සිදුව ඇත. හිනිදුමගේ කතාව සහ කුකුළේගඟ සුරක්ෂිතතා පූර්ව උපක්‍රම ( Safety Precautions කියන එකේ පරිවර්තනය මම මෙහෙම ලිව්වෙ. කළ්‍යාණ මල්ලි, හරි නේද? ) පිළිබඳව ඉදිරි සටහනෙහි ලියමි.


Thursday, April 9, 2015

311. කුකුළේගඟ මතක - 2 …..වැන්දා The Storyteller

ආච්චි අම්මගෙ ගෙදර මේ වගෙ -  Google Images

" වැන්ද දන්නවද දැනට අවුරුදු විස්සකට විසිපහකට වගෙ ඉස්සෙල්ල ඔය කවිකොල මාර ජනප්‍රියයි.මම අනුරාධපුරේ ඉන්දැද්දි ඉරිද පොළට ගියොත් කොහොම හරි අම්මට කෙඳිරි ගාල ඔය කවිකොලයක් ගන්නවමයි. මට හොඳටම මතක කවිකොලයක් තමයි මතුගම සමන් කුමාර මිනීමැරුම ගැන ගහපු කවි කොලේ. ඒ කාලෙ හෙණ ප්‍රසිද්ධ වෙච්ච මිනීමැරුමක් තමයි මතුගම සමන් කුමාර කේස් එක..වැන්දට මතක ඇතිනෙ ඒක නේද? "

අසූව දශකයෙ මුල්භාගෙ දිවයින පුරා ලොකු ආන්දෝලනයක් කල මිනී මැරුමක් ඔය මතුගම සමන් කුමාර සිද්ධිය. කප්පම් ඉල්ලා පැහැරගෙන ගොස් සිසුවකු මරා දැමුනු දිවයිනේ පළමු සිද්ධිය එය ලෙස ලංකා අපරාධ ඉතිහාසයට එක් වෙලයි තියෙන්නෙ.


" හප්පෝ...ඒක මතක නැත්තෙ මොකද බොස්? මේ කිට්ටුව විතරක් නෙවෙයි ලංකාව පුරාම මාර විදිහට ප්‍රසිද්ධ වුනානෙ ඒ කේස් එක. මම ඒ කාලෙම වගේනෙ ඔය හෝටල්වල බාමන් රස්සාවට එහෙ මෙහෙ යන්ට පටං ගත්තෙ, හික්කඩුව, ගාල්ල, අම්බලංගොඩ දිහා එහෙම. ඒ පැත්තෙ මිනිස්සු උනත් මම මතුගම කිව්වම නිකං අමුතුවිදිහට තමයි බලන්නෙ......"

" ඒ කියන්නෙ නිකං මේ මතුගම එවුං ඔක්කොම අංගුලිමාල ටයිප් වසවර්තියො, මිනීමරුවො වගෙ තමයි රබර් ඇහැ දාල බලන්නෙ...එහෙමද?...හෙහ්..හෙහ්…"

" අන්න හරි බොස් කියල වැඩක් නෑ..ඉන්ටකො මම මරු කතාවක් කියන්න..මටම වෙච්චි එකක්. මේක වුනේ මම හිතන්නෙ ඔය මතුගම සමන් කුමාර මිනීමැරුමට අවුරුද්දකට හමාරකට වගෙ පස්සෙ. ඒ දවස්වල මම වැඩ කලේ බෙන්තොට. කොහොමහරි ගෙස්ට්ල අඩුවෙලා ( වැන්දා මෙතන ගෙස්ට්ල කියල කිව්වෙ සුද්දන්ට, එහෙම නැත්තං ටුවරිස්ට්ලට ) මැනේජර් අපිට කතා කරල කිව්ව දැං ගෙස්ට්ල අඩුනිසා කට්ටිය අඩුකරන්ට වෙනවය..ඒ හින්ද තියන පඩි අරං යන්ටය, මාසෙකින් වගෙ ආපහු ඇවිදිල්ල බලන්ටය කියල. ඉතිං වෙන මොකක් කරන්ටද? අපි දෙන්න හිඟ පඩිත් අරගෙන එන්ට ආව.."

" අපියි කිව්වෙ?..... ආය කවුද? "

" ආ..මගෙ මස්සිනා...නැන්දගෙ පුතා..ඌත් එතනම ස්ටුවර්ඩ් කෙනෙක් විදිහට වැඩකලා.ගෙදර ඇවිල්ල ඊලඟ සතියක් හමාරක් තරම බැලුව ජොබ් එකක් හොයාගන්ට වාද්දුව, කළුතර, අළුත්ගම ඔය හැමතැනම ඇවිද්ද කිසිම දෙයක් හම්බ වුනේ නෑ. ලොක්කයියෙ..මේක හරියන්නෙ නෑ බං...මට නම් මේ රස්සා හෙවිල්ල දැං ඇතිම වෙලා..දවසක් කළුතර උදේ ඉඳම්ම රස්තියාදුවෙලා හවස ගෙදර ගාව බස් එකෙන් බහින ගමන් සිඩ්නි කිව්ව."

" සිඩ්නි කිව්වෙ අර උඹගෙ මලයද? "

" යස් බොස් ද සේම් ද සේම්…" කාලයක් හෝටල්වල සුද්දො එක්ක වැඩ කරල වැන්දගෙ කඩ්ඩ ෆුල් පොලිෂ්.

" එතකොට ලොක්කයිය කිව්වෙ? "

" ඒ මට…. සිඩ්නි පොඩි කාලෙ ඉඳන්ම මට කිව්වෙ ලොක්කයිය කියල "

" ඉතිං?"

" රයිට් මම කියන්නද?....අපි යමු හෙට උදේම කල්කුඩා...උඹට මතකද මම ගිය සීසන් එකේ මාසයක් විතර කල්කුඩා ගිහිල්ල හිටිය. එහෙ බීච් රෙසෝට් එකක් තියනව. මැනේජර් මගෙ හොඳ යාලුවා…පොරට කිව්වනං මොනවහරි රස්සාවක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.අඩුගානෙ සතිදෙහෙකට මාසෙකට වගෙවත්,"

" රයිට් මම ඉල්ලං එන්නං මගෙ යාලුවෙක් මේ ගිය සුමානෙ ගත්තා CD 125 එකක්…ඒක….ඌ මම ඉල්ලුවොත් අනිවා දෙනව.." සිඩ්නි එක පයින් කැමතිවුනා වැඩේට…

" රයිට් එහෙනං වරෙං උදෙන්ම ….කුකුළත් අරගෙන පිටත් වුනොත් දවල් එක දෙක වෙනකොට කල්කුඩා ගිහෑකි දෙයියංගෙ පිහිටෙන්…"

" ඉතිං බොස් පහුවදා උදෙන්ම අපි පිටත් වුනා කියමුකො ඔන්න කල්කුඩා යන්ට. "

" කොහෙන්ද උඹල ගියේ? බිබිල පැත්තෙන්ද? "

" ඔව් බිබිල පදියතලාව මහඔය පාරෙ. "

" ඉතිං? "

" ඉතිං තමයි මුල ඉඳලම බයික් එක ලෙඩ දුන්න. එන්ජින් එක හරියට රේස් වෙන්නෙ නෑ. හිටපු ගමං එතනම හිටිනව. මම ඉතිං සිඩ්නියට රටේ නැති කුණුහරප කිය කිය ගියෙ මග දිගට. ඔන්න ඔය කොහෙදිද ගරජ් එකකට දාල ස්පාර්ක් ප්ලග්ස් මාරුත් කලා. ඒත් හරිගියේ නෑ. රෑ අට නමය වෙනකොටත් අපි මග. ඒ වෙනකොට මහ ඔය එහෙම පහු කරල. ඔන්න එක පාරට බයික් එක හිට්ටෙ නැතැයි හුටස් ගාල. කලිනුත් ඔහොම උනාට ආයෙම ස්ටාට් වුනා. මේ පාර මොන? ස්ටාට් වෙන්නෙම නෑ."

" මොකද අයියෙ දැං කරන්නෙ? සිඩ්නිය මගෙං ඇහුව... මොනව කරන්ටද බං? තල්ලු කරමු දෙන්නත් එක්ක. එක්කො ආයම ගරාජ් එකක් හම්බවෙනකල් නැත්තං ඔය පාර අයිනෙ ගෙදරකට කතා කරල පිලේවත් එලිවෙනකල් ඉඳල උදේට මොනව හරි බලමු. වෙන මක් කරන්නද? ඒ හරිය මාර පාලු පැත්තක්. තැන් තැන් වල පොඩි කටුමැටි ගෙවල් තිබ්බට ඒ එකකවත් පානක්වත් පේන්ට තිබ්බෙ නෑ."

" අපි ඒ නිසා එව්වට තට්ටු කරන්ට ගියෙ නෑ. මාරුවෙන් මාරුවට බයික් එක තල්ලු කරගෙන ගියා ඉස්සරහටම. යන්තමට හඳ තිබ්බ නිසා පාරනම් පෙනුන. මෙන්න එක පාරට සිඩ්නි හිනා වෙන්ට ගත්ත. මොකද යකෝ හිනාවෙන්නෙ? මට තද වුනා අසූහාරදාහට...නෑ අයියෙ මම මේ කල්පනා කලේ කොහොමද අපි 185 නැත්තං 200 එකක එහෙම ආවනං..අනේ මේ මගෙං මොකවත්...මම ඌ දිහාවෙ රවාගෙන හිටිය එහෙම්මම නැවතිලා..."

( මෙතන පොඩි පැහැදිලි කිරීමක් කල යුතුයි..විශේෂයෙන් යතුරු පැදි මාදිලි ගැන නොදන්නා වනිතා පක්ෂය උදෙසා. 125, 180, 200 කියන්නෙ බයිසිකලේක එන්ජින් ධාරිතාවය. එන්ජින් ධාරිතාවය වැඩිවෙන්ට වැඩිවෙන්ට සමානුපාතිකව බයිසිකලේ සයිස් එක වැඩිවෙනව. ඒ කියන්නෙ 180, 200 වගෙ බයික් එකක් තල්ලු කරන එක කොන්ද ඇදෙන වැඩක් ) 

" හෙහ්,හෙහ්, හරියට අර ජේ.ආර්. ඩයනගෙ මඟුලට ගිහිල්ල වෙච්ච සීන් එක වගෙ.." මම එහෙම කියල නැඟිටල අතේ පයේ හිරි ඇර ගත්ත. 

" මොකක්ද බොස් ඒ කතාව? මම අහල නෑනෙ.. "

" ඕක දැංකියන්ට ගියොත් උඹේ කතාව අද ඉවරයක් වෙන්නෙ නෑ..මම පස්සෙ ඒක කියන්නං..මට මතක් කරහංකො මතක ඇතුව.." ඒ.සී. එක ඕෆ් කරන ගමං මම කිව්ව. අපේ ඔෆිස් එකේ හයිකරල තිබ්බ ඒ,සී. එක මාර සීතලයි. විනාඩි විස්සකින් තරම ඕෆ් කරල අපි ආයෙම දානව රස්නෙ වෙනකොට. නැත්තං හීතලට ගල්ටික් වෙලා මැරෙන්නෙ ඒක ඇතුලෙම. එහෙමත් නැත්තං බ්ලැන්කට් ගෙනල්ල පොරවගෙන ඉන්න ඕන.අපෙ අත්තම්ම බ්ලැන්කට් වලට කිව්වෙ බුලංකේට්ටු කියල.

" ඉතිං බොස් ඔන්න ඔහොම අපි යනව බයික් එකත් තල්ලු කරගෙන. හිටපු ගමං පොඩි කඳුවගෙත් අහුවෙනව. එව්වයෙ තල්ලු කරන එක කොන්ද ඇදෙන වැඩේ. ඒත් මොනව කරන්ටද අර ******** ට බැණලම කුණුහරපත් ඉවරවෙලා. ඒ හින්ද දාඩිය දාගෙන තල්ලු කලා කිලෝ මීටර් හතර පහක් වගෙ මයෙ හිතේ. වෙලාව බලනකොට රෑ එකොළහයි. මේ හරියෙ අලි එහෙමනම් නෑ මට මතක විදිහට. ඒත් අපෙ වෙලාව ඒ තරං හොඳ හින්ද කොළෑ වෙච්චි අලියෙක්වත් හිටපු ගමං මතුවෙයි කියල මම පණ බයේ ඔන්න ගියේ. "

" හෙහ්, අලි කියනකොට මට මතක් වුනේ. මම කාලයක් ඔය වැලිකන්දට එහා වැඩ කලානෙ කැලේ මැද. ඒ කාලෙ නං අලිත් එක්කම තමයි ජීවිතේ ගෙවුනෙ.අපේ වොචර් කෙනෙක්ට වෙච්ච මරු වැඩක් තියනව වල් අලි කේස් එකක්…." මම මැදින් පැනල කිව්ව

" අනේ බොස් ඒ කතාවවත් කියන්ට.." වැන්දා බැගෑපත් වුනා. 

" පිස්සුද බං?....මඟුලක් කතා කරනව. ඒක මෙහෙම කියන්ට පුලුවන් එකක් නෙවෙයි. පසුබිම සකස්කරන්ටම මයෙ හිතේ යයි විනාඩි දහයක් විස්සක්. ඒ හින්ද නොවැරදීම පස්සෙ දවසක කියන්නං..මට මතක් කරපංකො.."

" ඔන්න ඔහොම තුම්මුනිං දාඩිය දාගෙන අර දරහැවත් තල්ලු කරගෙන යද්දි පාරෙං යාර විස්සක් තිහක තරම ඈතිං තිබිච්ච එක කටු මැටි ගේක මම දැක්ක එළියෙ පිලේ එළියක් වගෙ මොකක්ද පත්තුවෙනව. ඒයි අර අතන ගෙයි මොකක්ද එළියක් පත්තුවෙනව. යමං ගිහිල්ල බලමු. මටනං දැං මේ මඟුල තල්ලු කිරිල්ල එපාම වෙලයි තියෙන්නෙ.යන්තමට ඔහෙ පිලේ හරි වැටිල ඇහැ පියාගන්ට තිබ්බනං මට වෙන මොකවත් ඕනැන්නෙ නෑ. එහෙම කියල මම පාර අයිනෙ ඇරල දාල තිබ්බ කඩුල්ලෙං වත්තට ඇතුල් වුනා. සිඩ්නියත් බයික් එක තල්ලු කරගෙන මයෙ පස්සෙං ආව. "

" ඒ අපි පාරට දැකපු එළිය පිල උඩ පත්තුවෙන ලොකු කුප්පි ලාම්පුවක්. හුළං සැරේට නිවෙයි කියල බාගෙට පතුරු ගැලවිච්ච පරණ කුල්ලකින් හුළං අත මුවා කරලයි තිබ්බෙ."

" ගෙට ගොඩ නොවීම මම කතාකලා..ගෙදර කවුද? ..ගෙදර කවුද? සිඩ්නි බයික් එක ඒ ලඟම තිබ්බ ගහක් යට ස්ටෑන්ඩ් එක ගහල හිටවල එතනම කෙළිං කටිං ඉඳගෙන හති දාන්ට ගත්ත."

" ඒත් එක්කම වහල තිබ්බ දොර ඇතුලෙං ඇරෙනව ඇහුන. පොඩි චිමිනි ලාම්පුවක් අරගෙන ඇරිච්ච දොරෙං එළියට ආවෙ වයසක ආච්චි කෙනෙක්. රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳල තව චීත්තයක් වගෙ එකක් දෙවුර වැහෙන්ට දාගෙන. ....කවුද ඔය? උන්දැ ලාම්පුව උඩට උස්සල මිදුලෙ හිටපු අපි දිහා ඇස් හීං කරල බැලුව..කවුද උඹලා? අනේ ආච්චි අම්මෙ ..අපි මේ කල්කුඩා යන ගමං..බයිසිකලේ මඟ නැවතුනා. පස්සෙ ඉතිං මේ දෙන්නත් එක්ක තල්ලු කරගෙනම යනව."

" හප්පෝ..සුවල්ප දුරක්ද? උඹලට එලිවෙනකල් ඕක තල්ලු කලත් එහාට යාගන්ට බැරිවෙයි. වෙන මොනව කරන්ටද ආච්චි අම්මෙ? මඟ නවතින්ට අපි දන්න අඳුනන තැනක් වත් තියෙන එකක්ය? සිඩ්නිත් මා ගාවට ඇවිල්ල කිව්ව. ආ.. නවතින එකනම් මොකද්ද? ඔය පිලේ උනත් බැරිය මාගලක් එලාගත්තම. ඒ වයසක මනුස්සය එහෙම කියල චිමිනි ලාම්පුව බිත්ති කණ්ඩිය උඩිං තියල එතනම තිබ්බ බංකු කබලක ඉඳගත්ත. හ්ම්ම්ම්..මෙහෙ ඉන්නෙ මායි මගෙ පොඩි පුතයි විතරයි. පුතා එනකොට තව රෑවෙයි. කිව්වට අහන්නෙ නෑ ඌ යනව උගෙ යාලුවො එක්ක හැලි අරක්කු බොන්ට. මම අර කුප්පි ලාම්පුවක් පත්තු කරල පිළේ තියල තියෙන්නෙ රෑ දෙගොඩ හරියෙ ඕකා එනකොට කලුවරේ කොහෙ හරි හැපිල අතපය කඩා ගනියි කියල."

" ඔය වෙනකොට සිඩ්නියි මායි දෙන්නත් ගේ ඉස්සරහ යාලත්තක් බාල වගෙ තිබ්බ කෑල්ලට ගොඩ වෙලා ආච්චි අම්ම ඉඳගෙන හිටපු බංකුවට එහායිං තිබ්බ තව බංකු පුංචක වාඩි වුනා.හරි අතන කෙහෙල් පඳුර එහායිං ඇති ළිඳක්. එතනම ඇති ලණුවයි බාල්දියයි. උඹල දෙන්න එහෙනං ගිහිල්ල මූණ කට කාරිය හෝදගන්නවනං හෝදගෙන වරෙල්ල. මම කේතලේ ලිපේ තියන්නං කහට එකක් හදන්ට. අනේ ආච්චි අම්මට පිංසිද්ද වෙනව.අපි දෙන්න එහෙම කියල බයික් එකේ ගැටගහල තිබ්බ ට්රැවලිං බෑග් එකෙං සබං පෙට්ටියයි තුවායයි අරගෙන ලිඳ ගාවට ගියා. මේ ලාම්පුවත් අරගෙන පලයල්ල. ආච්චි අම්ම අර පිලේ කුල්ලෙං වහල තිබ්බ කුප්පි ලාම්පුව පෙන්නුව. "

" හම්මා ඇඟට වතුර දෙකක් වැටෙනකොට තියෙන සනීපෙ. කෙහෙල් ගස් අස්ස නිසා කාටවත් පේන්නෙත් නෑ අපි දෙන්න ලන්කට් පිටින්ම කරේ නෑව. ඒ කරල ඇඟත් පිහදාගෙන ඇවිල්ල අර බංකු කබලෙ ආයෙම ඉඳගත්ත. ආච්චි අම්මට පිංසිද්ද වෙනව ආච්චි අම්මෙ.අපි මේ මොනව කරන්ටද කියල හිතාගන්ට බැරුව හිටියෙ. ඒ මනුස්සය අපිට කහට දෙකකුත් ගෙනල්ල දුන්න සීනි බෙලෙක්කෙකුත් එක්ක. වෙලාවෙ හැටියට අමුර්තෙ වගෙ. උඹලට බඩගිනිත් ඇතිනෙ. මම රොටි දෙකක්වත් හදන්ටද? අපෙ එකාගෙ බත් එකනං තියනව අර මඩක්කුවෙ. ඒත් ඕක ඇවිල්ල මේ දෙගොඩහරියෙ බඩගිනියි කිව්වොත් මම ආයෙ බත් උයන්ටද? ඒ හින්ද ඒක දෙන්ට නම් බෑ. අපෝ එපා ආච්චි අම්මෙ.. අපිට නිදාගන්ට තිබ්බනං ඇති. අපි එලිය වැටෙනකොටම යන්නං..මම සිඩ්නිය දිහා බලල කිව්ව. අර වසවර්තියගෙ බත් එක කාල ඊටපස්සෙ ඕක ඇවිල්ල මෙතන ආවේස උනොත් පිලේ වැටිල නිදාගන්ට තියෙන එකත් නැතිවෙනව. "

" නෑ,,නෑ.බඩගින්නෙ බුදියෙන්ට පුළුවනිය? ඉන්ට මම රොටි දෙකක් පුස්සන්නං විගැහිං..මනුස්සයොනෙ අපි කවුරුත් සතා සීපාවටත් කුස ගින්දර දැනෙනවනෙ. එහෙම කියාගෙන ආච්චි අම්ම ගෙට ගියා. අපි දෙන්න එහෙමම බංකුවෙ ඉඳගෙන කකුල් දිගඇරගෙන පිටිපස්සෙ තිබ්බ බිත්ති කණ්ඩියට හේත්තුවෙලා ඇස් පියාගත්ත, හප්පා දිවියලෝක සැප තමයි බොස්..." 

වැන්දා කතාව නවත්තල නැඟිටල ගිහිල්ල ඔෆිස් එකේ දොර ඇරල එබිල බැලුව.

" අද මොකෝ ලන්ච් ට්‍රාන්ස්පෝට් එක පරක්කු? කීයද බොස් වෙලාව? "

" ම්ම්ම්ම්...ඉඳහං බලන්ට...එකොළහයි හතළිහයි.."

" ඒකනෙ අද කෑම පරක්කුයි."

ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන හැමෝගෙම කෑම දොලහමාර වෙනකොට ලඟටම ගිහිල්ල දෙනව. අපි හිටපු කෑම්ප් එකේ උඩහම තමයි මෙස් එක තිබ්බෙ.ඒ මෙස් එක කලේ කුමාර වෙල්ගමගෙ ( ඒ දවස්වල නියෝජ්‍ය ඇමති කෙනෙක් ) ප්‍රධාන ගෝලයෙක්. මෙස් එකෙන් කෑම පාර්සල් අරගෙන එක එක ඔෆිස් වලට බෙදාගෙන යනව. ඉස්සෙල්ලම තිබ්බෙ අපේ ඔෆිස් එක. ඒනිසා එකොලහමාර වෙනකොට අපිට කෑම එනව. 

උදේ අට වෙනකොට එදාට ඉන්න ගානට ලිස්ට් එකක් හදල ඉස්සරහින් මස්ද, මාලුද, බිත්තරද, කියලත් කතිරයක් ගහල දෙන්ට ඕන. ඒ ලිස්ට් එක අනුව තමයි දවල් කෑම ගෙනෙන්නෙ. ඔය රාජකාරිය ටයිම් කීපර්ට අයිති එකක්. ඒ කියන්නෙ වැන්දට. වැන්ද ඒ වෙලාවට නොහිටියොත් මම ඒක කරනව. ඔය කෑම සීන් එකේදි මරු ආතල් කෑලි වෙනව. කුකුළේ ගැන ආයෙමත් ලියනකොට කියන්නං හොඳද? අද එව්ව ඔක්කොම ලිව්වොත් මේ වැන්දගෙ කතාව ඉවරයක් කරගන්ට වෙන එකක් නෑ. 

" මෙහෙ වරෙං බං...කෑම එන්නෙ නැතෑ එන වෙලාවක.අනික අරුං ටනල් එකෙන් එලියට එන්නෙ දොලහමාරටනෙ.එතකොට කෑම තිබ්බම මදැයි...ඇවිල්ල කියාපං කතාව, "

මට මුගෙ කතාව අහගන්නකල් ඉවසිල්ලක් නෑ.

" ආච්චි අම්ම කියවනව කුස්සියෙ තනියම. අපිටත් එහෙං මෙහෙං ඇහෙනව. මටනං නින්ද යාගෙනත් ආව. මිනිස්සු උනාම මිනිස්සුන්ට උදව් කරන්ට එපාය. එහෙම නැතුව සත්තු උදව්කරන්ටද ආය? ඒත් සමහර මිනිස්සු ඉන්නව තිරිසනුන්ටත් අන්ත එවුං..අර අහිංසක කොලු පැටිය කැලේ මැද මරල දාපු එවුං..අනේ අම්මපා උං මිනිස්සුද? තිරිසන්නුද? මතුගම එවුං...නෑ..තිරිසන්නුන්ටත් එහා...උංට නං හොඳක් වෙන්ට එපා..උංට විතරක් නෙවෙයි උංගෙ ගෑවිච්චි එකෙකුටවත් හොඳක්නං වෙන්ට එපා..මට බොස් යන්තමට හීනෙං වගෙ ඇහෙනව ආච්චි ගේ ඇතුලෙ ඉඳගෙන දෙස් දෙවොල් තියනව. කවුරු ගැනද මේ කියන්නෙ කියලත් මට හරියටම නිච්චියක් නෑ. ඒ එක්කම අච්චි අම්ම දොරකඩට ආව. මේ ළමයි කොහෙ කියලද කිව්වෙ? ඒ සැණින් මට මීටර් උනා මේ මනුස්සය මේ දෙස් දෙවොල් තියන්නෙ අර සමන් කුමාර කේස් එක ගැනය කියල. ඒ එක්කම මට තේරුනා අපි මතුගම කිව්වොත් වැඩේ හබක් කියල. අපි මේ.... කියල කොහෙ කියලද කියන්නෙ කියල මම හිතනකොට සිඩ්නිය අඩ නින්දෙන් ඇහැරල එක පාරටම කියාපි ගහෙං ගෙඩි එන්න වගෙ අපි මතුගම කියල. "

" ඈ......????? ආච්චිගෙ කටත් ඇරුන..උඹල මතුගම? උඹලද එතකොට අර අහිංසක කොලුවා මරාගත්තෙ? උඹලටනං හොඳක් වෙන්ට එපා දෙයියනේ...මිනීමරුවො....දෙයියම්පල්ල බොස් මට ඒ වෙලාවෙ ආපු කේන්තියෙ හැටියට සිඩ්නියගෙ බෙල්ල මිරිකන එක බොහොම සුළු දෙයක්. අපි මතුගම කිට්ටුව තමයි ආච්චි අම්මෙ. ඒත් මතුගමට එහා.අනික අපි ඔය මැරිච්ච ළමයවත් මරපු මිනිස්සුවත් කිසිකෙනෙක් අඳුනන්නෙ නෑ. මේ එව්වයිං මට වැඩක් නෑ. උඹල දෙන්නම මිනීමරුවො...ඒ වගෙ අහිංසක පොඩි කොල්ලෙක් මරන්ට පුලුවං එවුන්ට මං වාගෙ නාකි ගෑණියෙක් මරල දාන එක මහ දෙයක් නෙවෙයිනෙ. අදරෑ උඹල මෙහෙ හිටියනං එහෙමත් වෙන්ට තිබ්බ තමයි.අපි අර කාටවත් වැරැද්දක් නැති හින්ද දෙයියො මගෙ මූණ බැලුව. මේ..මම හොඳිං කියන්නෙ දෙන්නම බැහැපල්ල දැම්මම දොට්ට. "

" අනේ ආච්චි අම්මෙ මේක පොඩ්ඩක් අහන්ටකො..අපි ඒ මොහොකටවත්......මොන ඒ ගෑණිට බොස් දෙයියංගෙ හාල් කැවිච්චි හාණයි. පරල වෙලා වගෙ කෑගහන්ට ගත්ත. බැහැපල්ල..බැහැපල්ල..දැම්මම දොට්ට.මගෙ දෑහැට නොපෙනී යන දිහාක පලයල්ල. අනේ ආච්චි අම්මෙ අපිට මේ පිලේ බුදියගන්ටවත්..මම සැරයක් කිව්ව නේද? පලයල්ල යන්ට පලයල්ල පලයල්ල..මේ ගෑණිගෙ කටේ සද්දෙටද කොහෙද පාර දිහායිං බල්ලෙකුත් බුරන්ට ගත්ත. ඒ එක්කම පාරෙං එහා පැත්තෙ තිබ්බ තවත් ගෙදරක එළියක් පත්තුවෙන්ට ගත්ත. මේ යකෝ..මෙතන තව හිටියොත් සමන් කුමාරට වෙච්චි එකේ අනික් එක අපි දෙන්නට වෙන්නෙ. යමං යමං විජහට. ඒ වනකොටත් අර ආච්චි අම්ම ගෙට ගිහිල්ල දොර වහගෙනත් ඉවරයි. ඇතුලෙං සොයිබයක්ද මොකක්ද දාල ඒ එක්කම දොර පොල්ලකුත් දානව අපිට ඇහුන. "

" යමං ඔය කෙහෙල්මලත් තල්ලු කරගෙන...පිල්කණ්ඩිය උඩ වනල තිබ්බ තුවායත් කරේ දාගෙන මම ඉස්සර වුනා. විනාඩි පහළවක් වගෙ යනකල් මම කිසිම කතාවක් නැතුව ආවෙ සිඩ්නි එක්ක තිබ්බ තරහ හින්ද මට මොනව කියවෙයිද කියල කියන්ට බැරි හින්ද. ඒත් හීතල හුළඟ හින්ද මගෙ කේන්තිය ටික ටික නිවිල ගියා."

" මෙන්න ඒත් එක්කම පාර මැදම නැවතිල සිඩ්නිය ආයෙම හිනාවෙන්ට ගත්ත. දැං මොකද බං උඹ හිනාවෙන්නෙ? මම දත්මිටි කාගෙන ඇහුව. නෑ ලොක්කයියෙ අපි මතුගම කියල මට ඒත් එක්කම කියන්ට හිතුන අර සමන්කුමාර කේස් එකේ මිනීමරුව ලොක්කයියගෙ මල්ලිය කියල. මොකක්? තොට පිස්සුද බූරුවො? මම කෑගහපු සද්දෙ මම හිතන්නෙ අර වයසක ආච්චිටත් ඇහෙන්ට ඇති ෂුවර් එකටම."

" ඉතිං ඔන්න ඕකයි බොස් කතාව.."

" හෙහ්, නියම කතාව බං...කියල වැඩක් නෑ..ඉතිං ඊට පස්සෙ උඹල මොකද කලේ?.."

" හෙහ්..මම පණ බයෙං ගියේ ඔන්න..මට හිතුනෙම අර වයසක ආච්චි අම්ම අපි පිටත් වුනාට පස්සෙ ගමේ ගෙවල්වල මිනිස්සු ඇහැරවල විස්තරේ කියල ඊට පස්සෙ ගමේ මිනිස්සු කඩු පොලු අරගෙන අපි පාරෙ පන්නගෙන එයි කියල.ඕක සිඩ්නියට කිව්වම ඒ පකිරින්තුව ඒක විහිලුවට ගත්ත. ලොක්කයියෙ අඩි සද්දක් නං ඇහෙනව කවුද දුවගෙන එනව වගෙ. බයික් එක තල්ලු කරන මං දිහා හොරැහිං බලල ඌ කියනව..හෙහ්,හෙහ්,...පස්සෙ මම හොඳ කුණුහබ්බ දෙකක් කිව්වට පස්සෙ තමයි උගෙ කෝචොක් කිරිල්ල නැවතුනෙ."

" ඉතිං එදා රෑ දිගටම උඹල දෙන්න…………...? "

" නෑ බොස් එහෙම කොහෙ තල්ලු කරන්ටද එලිවෙනකල්?..... එහෙම කරන්ට ගියානං අපි දෙන්න එදා එහෙ පාරෙදිමයි මැරිල යන්නෙ. තව පැය බාගෙකට වගෙ පස්සෙ පාර අයිනෙ තිබ්බ අතෑරල දාපු පරණ මඩුවක් වගෙ එකක්. ඒකෙ පිළේ ඉඳගෙන අපි දෙන්න යන්තමට ඇහැපියාගත්ත. පහුවදා එලිය වැටුනට පස්සෙ ආපු වී ලොරියක පිටිපස්සෙ බයික් එක දාගෙන ගරාජ් එකකට අරගෙන ගිහිල්ල හදාගෙන දෙයියනේ කියල එදා දවල් එකොලහ වගෙ වෙනකොට කල්කුඩාවලට ගියා. "

ඒ එක්කම ඔෆිස් එක ඉස්සරහ වාහනේක හෝන් සද්දයක් ඇහුන. 

" ආ කෑම ලොරිය ඇවිල්ල වගේ. බොස් තරහ නැතුව අතන ඇති අද කෑම ලිස්ට් එකේ කොපියක්. ඒක අරං බලල මට කියන්ට අද ඕඩර් එක කොහොමද කියල " වැන්ද අපේ කෑම අරං එන කවර් කරපු කැන්ටර් එක ගාවට ගියා.

" බිත්තර කෑම හතරායී, චිකන් කෑම දහතුනායි, ,එලවළු කෑම එකායි. ඔක්කොම දහ අටායි. " මම ඔෆිස් එකේ දොර ගාව ඉඳල කෑගැහුව වැන්දට ඇහෙන්ට.

ඒ එදා අපේ බ්ලාස්ටිං ටීම් එකේ ගාණ. වැන්දා කෑම පාර්සල් දහ අට දාපු ෂොපිං බෑග් දෙක උස්සගෙන එනකොටත් මම අත්දෙක ඔලුවෙ ගහගෙන හිනාවෙනව.

" බැහැපියව් මිනීමරුවො එළියට...හෙහ්,හෙහ්,හෙහ්, "

Monday, April 6, 2015

310. කුකුළේගඟ මතක - 1 ......Memoirs of Skanska, Headrace Tunnels, Main Accesses, Blast Through Predictions & වැන්දා The Storyteller


Image - Sunday Observer Online
මේ පහුගිය සිකුරාදා දවාලෙ යාලුවෙක් කතා කලා. මේ දවස් ටිකේම බොහොත් බිසීවෙලා හිටියට මනුස්සය එක්ක මිනිත්තු පහක් දහයක් වගෙ කතානොකරම බැරිවුනා.මොකද මගෙ කිට්ටුම මිත්‍රයෙක්.... මාස එකහමාරක් විතර නිවාඩුවකට ලංකාවට ගිහිල්ල පහුගිය සතියෙයි ආපහු ආවෙ..මනුස්සයගෙ ගෙවල් පන්නිපිටියෙ..දෙව්රම් වෙහෙර කිට්ටුව..." දෙව්රම් වෙහෙරේ.... හිමි වැඩ සිටි සමයේ.... මා සිටියානම්.." කියල වික්ටර් කිව්වලු.ඒ ඔය කොහෙද ගම් උදාවක අවසාන රාත්‍රියෙ සංගීත ප්‍රසංගයෙදි. " හුහ්, උඹ හිටියනං?... උඹ හිටියනං කොරයි..." කියල කිසිම අංගපුලාවකට නැති වරත්තු කොල්ලෙක් කෑගහල කිව්වලු.

" ඉතිං..මල්ලි කොහොමද නිවාඩුව? "


" නියමයි රවි අයියෙ... කියල වැඩක් නෑ......මරු....දැං අවුරුදු හතර පහක ඉඳලම නිවාඩුවකට ගියාම අනුරාධපුරේ යන්ට කියල හිතාගෙන උන්නට ඒ වැඩේ කොහොමින් කොහොමින් හරි මඟ ඇරුන. "



" ඉතිං බං .මේ පාරවත්…………"

" ඔව්..ඔව්..මේ පාර දැම්ම දවස් දෙකක අනුරාධපුරේ ට්‍රිප් එකක්..පොඩි දෙන්නට මාර සතුටුයි….."

මේ පහුගිය අවුරුද්ද වෙනකල් එරන්ද ( යාලුවගෙ නම එරන්ද ..මම කලිං කිව්වෙ නෑ නෙවද ? ) පොඩි දෙන්නයි බිරිඳයි එක්ක මෙහෙ හිටියෙ. මම ඉන්න එපාට්මන්ට් එකේ ඉඳල පාද චාරිකාවෙන් මිනිත්තු පහයි වූ හිටපු එපාර්ට්මන්ට් එකට. ( ඌ කියන වචනෙ වෙනුවට සමහර අය වූ කියල කියනව අහල තියද ? )

ලොකු දුව ඉස්කෝලෙ දාගන්ට වයස සම්පූර්ණ උනහම එරන්දගෙ භාර්යා තොමෝ දරු දෙදෙනාද කැටුව පෙරළා ලංකාව බලා ගියාය. පොඩි කාලෙ දිනමිණ පත්තරේ මෙහෙම සිරස්තලයක් තිබ්බම මට මාර ප්‍රශ්නයක් " චීනයේ සංචාරයකට ගිය ඇමතිතුමා පෙරළා දිවයිනට පැමිණේ." අප්පටසිරි ඇමතිතුමා චීනෙදි මොනවහරි පෙරළන්ට ඇති ඒ හින්ද මනුස්සය කලින්ම ආපහු එව්වද දන්නෙත් නෑ. " ඔන්න මට තිබ්බ පුරස්න....

මැදපෙරදිග රැකියාකරන තමන්ගෙ සුතනඹුවන් ( සුතනඹුවන් කියන්නෙ කුණුහරුපයක් වගෙ උනාට එහෙම එකක් එහෙම නෙවෙයි හොඳද? කලිනුත් දවසක මම කිව්ව මම හිතන්නෙ ..සුතනඹුවන් කියන්නෙ අඹුදරුවන් කියන එක..ඊටත් සරලව කිව්වොත් බිරිඳ සහ දරුවන් ) හා සමඟ මෙහෙ පදිංචි වෙලා ඉන්න කට්ටියට දරුවො ඉස්කෝලෙ යන්ට වයස සම්පූර්ණ උනහම තෝරගන්ට විකල්ප තුනක් තියනව. එකක් තාවකාලිකව හෝ ස්ථිරව මැද පෙරදිගට සමුදීල ලංකාවෙ පදිංචියට යන එක. 

එහෙම යන අය බොහෝවිට අවුරුදු තුනහතරකින් ආපහු එනව තමන් විතරක්. දෙවෙනි විකල්පය භාර්යා තොමෝ සහ දරුවන් ලංකාවට පිටත් කරන එක. අවසාන විකල්පය තමයි මෙහෙදිම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන එක.විගමණික ශ්‍රමිකයින්ගෙ දරුවන් උදෙසාම පවත්වාගෙන යන ඉහළම මට්ටමේ අධ්‍යාපන ආයතන බොහොමයක් මෙහෙ තියනව. ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්ම පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයකුත් තියනව. ඔය Sri Lankan School එකේ නිර්මාතෘ ඇවිල්ල අපේ අරූගෙ බොහෝම ඉස්සර පැරණි යාලුවෙක්...අරූ ඔබ්රෝයි ඉන්න කාලෙ...

අරූ මතකයි නේද? ඔව් ඔව් වූ තමයි..අර පවුල් අවුල් වන්නට පෙර ද මොකක්ද කියල බයිල වගයක් ලිව්වෙ ඒ දවස්වල. මිනිහ දැං ඒ අටල්පහුර ලියන්නෙ නැත්තෙ මනුස්සයට පොඩි කේස් එකක් වෙලා. ටිකක් වැඩි වෙච්ච දවසක බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩට නැඟල කෑගහල දෙකක් වෙන්ට.චාලිස්ට එලිසබෙත් අක්ක රජකම දෙන්නෙ නෑය කියල තමයි අරූ දෝස්මුරේ දාල තියෙන්නෙ.ඔය චාලිස් ඇවිල්ල අරූගෙ බොහොම හිතේසිවන්තයෙක්ය කියනවනෙ. ඉතිං දෙන්න හවහට සෙට් වෙනවයි කියන්නෙ හයිඩ් පාක් එකේ තියනව දාර සයිස් ඕක් ගහක්. අවුරුදු තුන් හාර සීයක් පරණ රජ බඩුවක්. ඔන්න ඕක යට.

ඔහොම සෙට් වෙච්චි වෙලාවක චාලිස් කියල අරූට තමංගෙ දුක්ගැනවිල්ල..මමී රජකම දෙන පාටක් නැතය..අවුරුදු 63 ක්ම ඔ.හි.කු. වෙලා ඉඳල එපා වෙලාය තියෙන්නෙය,,,අරකද? මේකද? සියලු පට්ටන්තරේ දිගඇරල.අපෙ ඔය අරූස් ඉන්නව නේද? හිත හොඳ ගොබිලා. යාලුවෙක් වෙනුවෙන් පිත්තාසෙ උනත් දෙයි මේං කියල. අරූ ඒ පාර කියල උඹ නාඩ ඉඳිං එච්. ආර්. එච්. උඹට රජකම අරන්දෙන සැටි මම දනිම්වේදැයි හයිඩ් පිටිය එකනින්නාදවන අයුරු සිහනද පවත්වාලාපියා....පවත්ලාපියා..තිලාපියා...හරි ඊට පස්සෙ..ඊට පස්සෙ ගිහිල්ල බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩ නැඟල මාළිගාව දෙකක් වෙන්ට කෑගහල..අඩෝ..එළිසබෙත් ..මේ අහපං...උඹ චාලියට රජකම දෙනවද නැත්තං..නැත්තං..නැත්තං....

පස්සෙ එලිසබෙත් අක්කගෙ ආරක්සක බල සේනාව ඇවිල්ල වූ ගේට්ටුවෙං බස්සගෙන අරගෙන ගිහිල්ල කූඩු කරල.. තාම නඩුව යනව..මේ දවස්වල ඕක අර පවුල් අවුල් වන්නට පෙර ලියන්නෙ නැත්තෙ අන්න ඒකයි. ඔය කේස් එකේ තව සීන් කෝන් බොහොම තියනව. වෙන වෙලාවක ලියන්නංකො අරූට වෙච්චි දේ කියල තනිකර පෝස්ට් එකක්ම...හෙහ්,හෙහ්,

අම්මටවූඩු කොහොමද පාරෙන් පිට පැනල තැලුව පඳුරු තැලිල්ල?...පිස්සු හැදෙයි යළි හොඳවෙයි ආයෙ හැදෙයි කිව්වලු...හෙහ්...හෙහ්...රයිට් බෑක් ටු ද මේන් ස්ටෝරි..ආපසු ප්‍රස්තුත මැයට එළඹෙමු.

ඉතිං එරන්ද මට කෝල් එකක් දුන්නය කියල මම කිව්වනෙ නේද? රයිට් ඒක කිව්ව...

" ඉතිං බං? වෙන කොහෙවත් එහෙම ගියේ නෑ? "

" ආ...ඉඳපංකො කියන්ට..මේ මෙහෙ එන්ට දවස් තුනකට ඉස්සෙල්ල අයියෙ, අපි හතර දෙනයි මල්ලිගෙ ෆැමිලි එකයි ..අපි දෙගොල්ල ගියානෙ කුකුලේගඟ හොලිඩේ රෙසෝට් එකට.."

" නෑ?....කොහොමද නියම පොට් එක නේද? "

" අප්පට සිරි...කියල වැඩක් නෑ බං ..මාර ලස්සනයි.."

" උඹල ගියේ කොහොමද? කලුතරට ගිහිල්ලද? "

" හෙහ්, ඒ මොකටද බං කලුතර යන්නෙ? සදර්න් හයිවේ එකේ ගිහිල්ල දොඩංගොඩ ඉන්ටර්චේන්ජ් එකෙන් මතුගම, අගලවත්ත පහුකරල අපි ගියෙ…"

" රයිට් ඊට පස්සෙ බදුරලිය, ලත්පඳුර...මට මතකයි...."

" ඒක තමයි …….මට මතකයි අයිය කලින් කුකුලේ වැඩ කලාය කියල...මම ඒත් එහෙදිත් කිව්ව සංජීවනී එක්ක අර රවි අයිය කලින් මෙහෙ වැඩ කරල තියනවය කියල. " සංජීවනී වූ කලී එරන්දගේ භාර්යා තොමෝ වන්නීය. 

" ඕකෙ පවර් ස්ටේෂන් එක අන්ඩග්‍රවුන්ඩ්. උඹල ඇතුලටත් ගියාද? "

" ඇතුලටනම් දැන් යන්න දෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් පවර් ස්ටේෂන් එකට යන ටනල් එක පටන් ගන්න තැනට ගියා. "

" අඩේ ඔය ටනල් එක පටන් ගන්න තැනම එලියෙන් තමයි අපේ ඔෆිස් එක තිබ්බෙ. ඔය ටනල් එකට ඒ දවස්වල කිව්වෙ මේන් ඇක්සස් ටනල් කියල අපේ ඔෆිස් එකට කිව්වෙ මේන් ඇක්සස් ටනල් ඔෆිස් එක කියල."

ඒ දෙදහස් එක වසරයි.විවාහපත්ව සිව්වසරක් ගෙවුනු ඉක්බිති, වසර සතක් වන මැද සහ එමෙන්ම ඉන්පසුව වසර අටක් ගොවි ජනපදයක කල සේවයෙන් පසුව 1994 වසරේ බලයටපත් පොදු පෙරමුණු රජය විසින් ක්‍රියාත්මක කල ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වන්නන් හට වන්දි ලබා දීමේ වැඩ පිළිවෙලින් උපරිම ඵල නෙලාගත් මම වසර පහළවක රාජ්‍ය සේවයෙන් ඉවත්වූයෙමි.ඉනික්බිති කටුගස්තොට-අලවතුගොඩ සහ පේරාදෙණිය- ගම්පොළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතීන් හා සම්බන්ධව වසරකට මදක් අධික කාලයක් සේවය කොට දෙදහස් එක වසරේ ජනවාරි මස කුකුලේගඟ ව්‍යාපෘතියෙහි සේවයට බැඳුනෙමි.

මිහිකත අභ්‍යන්තරයෙහි ඉදිකල මෙගවොට් 80 ක ධාරිතාවයකින් යුතු කුකුළේගඟ ජලවිදුලි බලාගාරයට ජලය සැපයෙනුයේ කිලෝ මීටර 7.5 දිගු උමඟකිනි. ඒ ජල සැපයුමේ ආරම්භය කලවානේ මීපාගම ඉදිකල අමුණකින් කුකුළේගඟේ ජලය හැරවීමෙනි.ජල විදුලි නිෂ්පාදනයෙන් පසුව තවත් කිලෝ මීටර් 1.6 දිගු උමඟක් හරහා එම ජලය මාකෙළි ඇල්ල අසලදී යලි කුකුළේගඟටම එකතුව කළුගඟ ඔස්සේ කළුතර බෝධිය අසලින් සත් සමුදුරට එකතුවේ. ඒ උදෙසාම ජලාශයක් ඉදිනොකොට, අමුණක් මඟින් ගලායන ජලය හරවා ජලවිදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කල ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතිය කුකුළේ ගඟ ව්‍යාපෘතියයි. ඒ ඉංගිරිසි බසින් හැඳින්වෙනුයේ Run Of The River Project ලෙසිනි. මේ මෑතක ඉදිකිරීම් නිමවී ජාතික විදුලිබල පද්ධතියට එක්වූ ඉහළ කොත්මලේ ව්‍යාපෘතියද ඒ මාදිලියේ තවත් ව්‍යාපෘතියකි.

ඉදිකිරීම් ක්ෂේත්‍රය තම ජීවනෝපාය ලෙස තෝරාගත්තෙකුට පොළව අභ්‍යන්තරයෙහි උමං කැණීම් කටයුතු කෙරෙන  ව්‍යාපෘතියක සේවය කිරීමට ලැබීම සත්‍යය වශයෙන්ම දුර්ලභ ගණයේ භාග්‍යයයකි..පුරා වසරකට මඳක් අධික කාලයක් පුරා ලබාගත් ඒ මිලකල නොහෙනා අත්දැකීම, මගේ ජීවිතයේ තවත් එක් ස්මරණයෙන් කිසිදින ගිලිහී නොයනා සංසිද්ධියකි.

කුකුළේගඟ ව්‍යාපෘතියෙහි ගතකල කාලය අළලා සවිස්තර සටහනක් ලිවීමට අපේක්ෂාකොටගෙන සිටිමි. එබැවින් ඒ වෙනුවෙන් වැඩිමනත් කාලය වැය නොකොට එහිදී මවිසින් අසන ලද එක් සිද්ධියක් පමණක් මේ සටහනෙහි ලියන්නෙමි.

කුකුළේගඟ අපිට නැවතිල ඉන්ට වෙනම කෑම්ප් එකක් හදල තිබ්බ.ප්‍රධාන ගබඩාව පැත්තක තිබ්බ කඳු ගැටය විවිධ මට්ටමින් එකදිගට, එකට ඈඳල හදල තිබ්බ එක පේළියක කාමර 12 වගෙ තියන කාමර පේළි. කාමරේ පිටිපස්සෙත් ඒ වගේම තව කාමරයක්. ඒ කියන්නෙ එක පේළියක කාමර 24 තියනව. කාමරේක දෙන්නයි. ඇඳන් දෙකයි, ඇඳුම් දාගන්ට දීල තිබ්බ පොඩි යකඩ අල්මාරි දෙකයි දැම්මම ආය කාමරේ වෙන ඉඩක් නෑ. ඉදිකිරීම් ඉවරවුනාට පස්සෙ කුකුලේ ජලවිදුලි බලාගාරයෙ ආරක්ෂාවට යොදවල තිබුණු හමුදා අනුඛණ්ඩයෙ නිලධාරීන් නවාතැන් ගත්තෙ ඒ අපි හිටපු කාමරවලය කියල පස්සෙ කාලෙක කවුද මට කිව්ව.

ඔය හයිටි රටට එහෙම යැව්වනෙ එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාවට අනුයුක්ත කරල අපේ හමුදාවෙ අය. ඒ ගොල්ලන් එහෙම යවන්ට කලින් විශේෂ පුහුණුවක් දුන්නයි කියන්නෙත් ඔය කුකුළේගඟ කඳවුරේ. එතකොට අර මේ කතාව පටන්ගද්දි මගෙ යාලුව එරන්ද කිව්වෙ කුකුළේගඟ හොලිඩේ රිසෝට් එකක් ගැන. කුකුළේගඟ නිවාඩු නිකේතනය. ඒක දැන් පිහිටවල තියෙන්නෙ ඉදිකිරීම් කරන කාලෙ ස්කන්ස්කා සමාගමේ සේවය කරපු ස්වීඩන් ජාතිකයො නැවතිල හිටපු නිවාස සංකීර්ණයෙ. අපි ඒ කාලෙ ඒකට කිව්වෙ Expat Camp කියල.

ස්කන්ස්කා කියන්නෙ ස්වීඩනයෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්. ඒ ගොල්ල ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි උමං හෑරීම් කටයුතු වලට. ඒ වගේම පොළව අභ්‍යන්තරයෙ පිපිරවීම් වලට. මතකනෙ ඩයිනමයිට් හොයාගත්තෙත් ස්වීඩන් ජාතිකයෙක්නෙ. ඇල්ෆ්‍රඩ් නොබෙල්.

ස්කන්ස්කා ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුලින්ම ඇතුලුවුනේ කොත්මලේ ජලාශය නිර්මාණය කරල. ඉක්බිති රන්දෙනිගල රජ මාවත, කළුතර පාළම වගෙ එව්වත් කලේ ස්කන්ස්කා සමාගම.ඊටත් පස්සෙයි කුකුළේගඟ ව්‍යාපෘතියට එයාල සම්බන්ධ වුනේ. අපි ඔය කුකුළේගඟ ඉන්න කාලෙ එහෙ වැඩකරපු අය බොහොම බලාපොරොත්තු තියාගෙන හිටිය ඉහළ කොත්මලේ සහ බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතුත් ස්කන්ස්කා සමාගමට ලැබෙයි කියල. ඒත් එහෙම වුනේ නෑ. ඉහළ කොත්මලේ කලේ ජපන් කම්පනි එකක්. කුමගායි ද කොහෙද මට මතක විදිහට. බ්‍රෝඩ්ලන්ඩ්ස් මේ දවස්වල කෙරීගෙන යනව. ඒක කරන්නෙ චීන්නු.

හරි ස්කන්ස්කා සමාගම ගැන, කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන තව බොහොම දේවල් කියන්ටතියනව. එව්ව පස්සට. දැන් අර කියනවයි කියල කියාපු කතාව කියල ඉන්නංකො එහෙනං...හොඳද?

උමං හෑරීම කෙරුනෙ ජෙලිග්නයිට් යොදල පිපිරවීම් කරල. බ්ලාස්ටීන් ටීම්ස් දෙකක් ෂිෆ්ට් දෙකක් වැඩකලා. දවල් වැඩ මුරය  උදේ 7.00 - සවස 6.00 සහ රාත්‍රි වැඩ මුරය සවස 6.00 - උදේ 7.00. ඒ හින්ද උමං හෑරීම දවසෙ පැය 24 පුරාම අනවරතව සිදු වුනා. සති දෙකකට සැරයක් සෙනසුරාදා සහ ඉරිදා නිවාඩුයි. ඒකට කියන්නෙ ෂට් ඩවුන් එක කියල. අනික් අතරමැද සතියෙ සෙනසුරාද වරුවයි ඉරිදයි නිවාඩුයි. 

වැඩ කරපු ෆෝර්මන්ල, චාජ්හෑන්ඩ්ස්ල, ඩ්‍රිලර්ස්ල 95% විතරම ස්කන්ස්කා එකේ කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරල පළපුරුදු අය. මේ ගොල්ලන්ගෙන් මම බොහොම ප්‍රයෝජනවත් දේවල් ඉගෙන ගත්ත, කුකුළේ ගතකරපු කාලය තුල. ඉතින් ඔහොම ෂිෆ්ට් දෙකට වැඩ කරපු ටීම් වලට වෙන වෙනම ටයිම් කීපර්ස්ල දාල හිටිය. කණ්ඩායමේ සාමාජිකයින්ගෙ පැමිණීම පිටවීම සටහන් කිරීම ඒ වේලා සටහන්කරුවන්ගෙ ප්‍රධානම රාජකාරිය.ඊට අමතරව ටනල් එකේ බ්ලාස්ට් එකක් කලාම ඒ වෙලාව සහ ලොකේෂන් එක සටහන් කර ගන්න එක.

මා එක්ක වැඩ කරපු එක ටයිම් කීපර් කෙනෙක් සුවිශේෂී පුද්ගලයෙක්. කොටින්ම මිනිහගෙ නමේ ඉඳලම..නම ඇවිල්ල රමණි.අපි ඉතින් මිනිහට කතාකලේ රමණි කියල නෙවෙයි. රමණි කියන්ට පුලුවන්ය හැබෑටම පිරිමියෙකුට ? . මිනිහට අපි කතා කලේ වැන්දා කියල. වැන්දා ඇවිල්ල මිනිහගෙ වාසගම කෙටිකරල හදාගත්තු නමක්. ඔය වැන්දා වෘත්තියෙන් බාර්මන් කෙනෙක්. 

බාර්මන් කියන්නෙ හෝටල්වල එහෙම මද්‍යසාර අඩංගු බීමවර්ග ඒ නියමිත අනුපාතයට මිශ්‍ර කරල සර්ව් කරන්නා. කුකුළෙ රස්සාවට මිනිහ ඇවිල්ල තියෙන්නෙ ඒ කාලෙ වෙනකොට සංචාරකයින්ගෙ පැමිණීම තරමක් අඩුවෙලා තිබුනු නිසයි කියලයි වැන්ද මා එක්ක කිව්වෙ. වැන්ද මරු කතා කාරයා.මිනිග කළුතර, වාද්දුවෙ, අහුංගල්ලෙ, හික්කඩුවෙ, ඔය හැම තැනම හෝටල්වල වැඩ කරල තියනව. ඊට අමතරව ආරුගම්බේ,නිලාවෙලි, කල්කුඩා වගෙ නැහෙනහිර වෙරළ තීරයෙත් කාලයක් වැඩ කලයි කියල මා එක්ක කිව්ව.

ඔෆිස් එකේ ඔන්න බොහොම වෙලාවට ඉන්නෙ අපි දෙන්න විතරයි. මම ඔන්න කම්පියුටරේ බ්ලාස්ටිං රිපෝට් එකේ විස්තර ටික එන්ටර් කරල ඉවර වෙලා පුටුව හරවල වැන්ද දිහා බැලුව. වැන්ද ඊයෙ ටයිම් කාඩ් ටික පොතේ එන්ටර් කරනව. 

මම හාපුරා කියල කම්පියුටර් එකක වැඩ කලේ කුකුළෙ රස්සාවට ආවට පස්සෙ. අර කැළේ මැද රස්සාවට ආයුබෝවන් කියල ආවට පස්සෙ මම හිතුව මේ වැඩේ හරියන්නෙ නෑ. කම්පියුටර් කෝස් එකක් කරන්ටම ඕනය කියල. මොකද ඒ වෙනකොටත් කම්පියුටර් භාවිතය හැම ක්ෂේත්‍රයකම වගෙ ව්‍යාප්ත වෙමින් පැවතුනෙ. ඉතිං හොඳ තත්ත්වයෙ රැකියාවකට පරිගණක දැනුම අත්‍යාවශ්‍යය වෙමින් තිබුනෙ ස්ලෝලි බට් ෂුවර්ලි.ඒපාර මම නුවර තිබ්බ N.I.B.M. ආයතනයෙ ( ජාතික ව්‍යාපාර කලමණාකරන ආයතනය ) තුන්මස් පරිගණක සහතිකපත්‍ර පාඨමාලාවක් කලා. ඒ කෝස් එක කලාට හරියට පරිගණකයක් පාවිච්චි කරන්නට ලැබුනෙ ඔය කුකුළෙ රස්සාවට ආවට පස්සෙ.

වැන්දා ඔන්න වැඩේ ඉවරවෙලා පුටුවෙන් නැඟිටල අතපය දිග ඇරල හිරිඇරගත්ත. 

" බොස් අර හෙඩ්රේස් ටනල් එකේ අර මොකක්ද තරඟෙට දැම්මද? "

හෙඩ්රේස් ටනල් එක කියන්නෙ මීපාගම අමුණෙ ඉඳල ජල විදුලි බලාගාරයට වතුර අරගෙන එන උමඟ. හෙඩ්රේස් ටනල් එක අමුණෙ ඉඳල පහලටයි, ජලවිදුලි බලාගාරයෙ ඉඳල උඩහටයි දෙපැත්තෙන්ම බ්ලාස්ට් කරගෙන ගියා. ඔය මම කියන දවස්වෙනකොට දෙපැත්තෙං හාරාගෙන එන උමඟ හාවෙන්ට තිබ්බෙ තව මීටර් දෙසීයක් විතර. අන්තිමට දෙපැත්ත හාවෙනවට කියන්නෙ බ්ලාස්ට් තෲ කියල. ඔය බ්ලාස්ට් තෲ එක වෙන්නෙ හරියටම කොයි වෙලාවටද කියල අනුමාන කරන්ට ව්‍යාපෘතියෙ සේවකයො අතරෙ තරඟයක් තියනව. ඒක ඇවිල්ල සම්ප්‍රදායක්. 

තරඟෙදි තමන් අනුමාන කරන Blast Through වෙලාව ඒ අනුමත පත්‍රිකාවක ලියල සංවිධායක මණ්ඩලේට භාරදෙන්ට ඕන.පත්‍රිකාවක මිල මට මතක විදිහට රු. 100 වගෙ ගාණක්. නිවැරදි හෝ ආසන්නම වෙලාව අනුමාන කරපු තරඟ කරුවාට හෝ තරඟ කාරියට අර පත්‍රිකා විකුණල එකතුවෙච්චි මුළු මුදලම ලැබෙනව ජයග්‍රාහී ත්‍යාගය විදිහට. මම ඔය කියන පාර තෑග්ග රුපියල් 12,100 වගෙ ගාණක් හම්බ වුනා.

" නෑ බං තව දවස් තියනවනෙ. අනිද්ද දවල් දොලහ මම හිතන්නෙ ක්ලෝසිං ටයිම්. මම ඊට කලින් වෙලාව ලියල දෙනව. "

ආ..තව එකක් කියන්න ඕමනයි. ඔය මම කියපු හෙඩ්රේස් ටනල් එකේ ඒ දවස්වල ෆෝමන් කෙනෙක් විදිහට වැඩකලා රොෂාන් පිලපිටියගෙ අයියා. රොෂාන් පිලපිටිය දන්නවනෙ නේද? අර නළුවා......අයිය කියන්නෙ එක්කුසේ උපං බාප්පගෙ පුතා...හෙහ්..හෙහ්..බොරු හොඳද? රොෂාන්ගෙම අයිය. මේ දවස්වල හිරු ටී.වී. එකේ යන දේවී කතාවෙ රොෂාන් දකිනකොටම මට මතක්වෙන්නෙම මිනිහගෙ අයිය චතුර.

" බොස් කෙස්කැෆේ එකක් බොනවද? "

වැන්දා ආයෙම ඇහුව අපෙ තේ, කෝපි, සීනි එහෙම තියන පොඩි කබඩ් එක අරින අතරෙ. ඒ දවස්වල අපිට දුන්නෙ ස්විඩන් වලින් ගෙන්නපු නෙස්කැෆේ..අම්මට සිරි එව්ව තමයි නෙස්කැෆේ..බොරැල්ලෙ නෙස්කැෆේ එක හදනකොට මරදානට සුවඳ ගහනව. 

" හදපං බං හදපං...අර නැද්ද බිස්කට්?.."

බිස්කට් ජාතියකුත් ස්වීඩන්වලින්ම ගෙනල්ල අපිට දුන්න. මට දැන් එව්වයෙ නම මතක නෑ. ලිබෙනෙට්ස් ද ලීබෝර් ද මොකක්ද ඔන්න ඔය වාගෙ නමක්.

" තියනව..තියනව..මම ඊයෙ මේන් ස්ටෝස් එකෙන් ගිහිල්ල ගෙනාව.."

බිස්කට් හපමින් කෙස්කැෆේ තොලගාමින් වැන්දයි මායි ඔහෙ එක එක දේවල් කතා කරකර හිටිය.

" බොස් දන්නෙ නෑනෙ...පෙරෙයිද අපේ ගම පුරාම කැලෑ පත්තරයක් ගහලනෙ…"

වැන්දගෙ ගම වැලිපැන්න කිට්ටුව. දැන් ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ එක ඉන්ටර්චේන්ජිං පොයින්ට් එකක් තියනව වැලිපැන්නෙ. 

" නෑහ්?? ඒ මොනව ගැනද? "

" හෙහ්..අපේ ගමේ කඩයක් කරනව ගෑණු කෙනෙක්. මනුස්සය මැරිල..ඒ හැටි වයසකුත් නෑ..තිස් පහක් වගෙ ඇති වැඩිම උනොත්.අනික හොඳ පෙනුම තියන ඉස්තිරියාව. ඒ මනුස්සය අපේ ග්‍රාමසේවක එක්ක සැට්වෙලයි කියලයි කවිකොලේ ගහල තියෙන්නෙ. "

" මම හිතුවෙ නෑ ඔය කැලෑ පත්තර කාරයො තවමත් ඉන්නවයි කියල. "

" බොස් දන්නෙ නෑ... මේ අපේ ගමේ එව්වොද? පුදුම ජාතියක්...අනික මේ කැලෑ පත්තරේ ගහල තියෙන්නෙ කවියෙන්.."

" නෑහ්..අඩේ මට ගෙනත් දියංකො වැන්දා ඒ කවි කොලයක්.."

" හරි මම බලන්නං බොස් …" වැන්දා නැඟිටල මගෙ කෝප්පෙත් ඉල්ල ගත්ත හෝදල තියන්ට.

ඒ කොහොම හරි වැන්දා මට ඒ කවි කොලේ ගෙනත් දුන්නෙ නම් නෑ. අමතක උනාද නැත්නම් වෙන හේතුවක්ද මන්දා කොහොමහරි වැඩේ සිද්ද වුනේ නම් නෑ. එච්චරයි මම දන්නෙ...

කෝප්ප හෝදල පිහදාල කබඩ් එක ඇතුලෙ මුනිං නවල ඇවිල්ල වැන්දා ආයෙම මා ඉස්සරහ ඉඳගත්ත.ඕකා බාර්මන් හින්ද ඒ චාරිත්‍ර වාරිත්‍ර අකුරට කරනව. දවසට දහපාරක් විතර මේස පිහදානව. අතුගානව. මට වෙලාවකට විකාරෙ හැදෙනව.

" වැන්ද දන්නවද දැනට අවුරුදු විස්සකට විසිපහකට වගෙ ඉස්සෙල්ල ඔය කවිකොල මාර ජනප්‍රියයි..මම අනුරාධපුරේ ඉන්දැද්දි ඉරිද පොළට ගියොත් කොහොම හරි අම්මට කෙඳිරි ගාල ඔය කවිකොලයක් ගන්නවමයි. මට හොඳටම මතක කවිකොලයක් තමයි මතුගම සමන් කුමාර මිනීමැරුම ගැන ගහපු කවි කොලේ. ඒ කාලෙ හෙණ ප්‍රසිද්ධ වෙච්ච මිනීමැරුමක් තමයි මතුගම සමන් කුමාර කේස් එක..වැන්දට මතක ඇතිනෙ ඒක නේද? "

අසූව දශකයෙ මුල්භාගෙ දිවයින පුරා ලොකු ආන්දෝලනයක් කල මිනී මැරුමක් ඔය මතුගම සමන් කුමාර සිද්ධිය. කප්පම් ඉල්ලා පැහැරගෙන ගොස් සිසුවකු මරා දැමුනු දිවයිනේ පළමු සිද්ධිය  ලෙස එය ලංකා අපරාධ ඉතිහාසයට එකතුවෙලයි තියෙන්නෙ.

" හප්පෝ...ඒක මතක නැත්තෙ මොකද බොස්? මේ පැත්තෙ විතරක් නෙවෙයි ලංකාව පුරාම මාර විදිහට ප්‍රසිද්ධ වුනානෙ ඒ කේස් එක. මම ඒ කාලෙම වගේනෙ ඔය හෝටල්වල බාමන් රස්සාවට එහෙ මෙහෙ යන්ට පටං ගත්තෙ, හික්කඩුව, ගාල්ල, අම්බලංගොඩ දිහා එහෙම. ඒ පැත්තෙ මිනිස්සු උනත් මම මතුගම කිව්වම නිකං අමුතුවිදිහට තමයි බලන්නෙ......"

" ඒ කියන්නෙ නිකං මේ මතුගම එවුං ඔක්කොම අංගුලිමාල ටයිප් වසවර්තියො, මිනීමරුවො වගෙ තමයි රබර් ඇහැ දාල බලන්නෙ...එහෙමද?...හෙහ්..හෙහ්…"

" අන්න හරි බොස් කියල වැඩක් නෑ..ඉන්ටකො මම මරු කතාවක් කියන්න..මටම වෙච්චි එකක්. මේක වුනේ මම හිතන්නෙ ඔය මතුගම සමන් කුමාර මිනීමැරුමට අවුරුදු පහක් වගෙ පස්සෙ. ඒ දවස්වල මම වැඩ කලේ බෙන්තොට. කොහොමහරි ගෙස්ට්ල අඩුවෙලා ( වැන්දා මෙතන ගෙස්ට්ල කියල කිව්වෙ සුද්දන්ට, එහෙම නැත්තං ටුවරිස්ට්ලට ) මැනේජර් අපිට කතා කරල කිව්ව දැං ගෙස්ට්ල අඩුනිසා කට්ටිය අඩුකරන්ට වෙනවය..ඒ හින්ද තියන පඩි අරං යන්ටය, මාසෙකින් වගෙ ආපහු ඇවිදිල්ල හිට බලන්ටය කියල. ඉතිං වෙන මොකක් කරන්ටද? අපි දෙන්න හිඟ පඩියත් අරගෙන එන්ට ආව.."

මතු සම්බන්ධයි............

කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන පොඩි විස්තරයක් බලන්ට කැමතිනම් මෙන්න පල්ලෙහා තියනව වීඩියෝ එකක්.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...