Thursday, April 9, 2015

311. කුකුළේගඟ මතක - 2 …..වැන්දා The Storyteller

ආච්චි අම්මගෙ ගෙදර මේ වගෙ -  Google Images

" වැන්ද දන්නවද දැනට අවුරුදු විස්සකට විසිපහකට වගෙ ඉස්සෙල්ල ඔය කවිකොල මාර ජනප්‍රියයි.මම අනුරාධපුරේ ඉන්දැද්දි ඉරිද පොළට ගියොත් කොහොම හරි අම්මට කෙඳිරි ගාල ඔය කවිකොලයක් ගන්නවමයි. මට හොඳටම මතක කවිකොලයක් තමයි මතුගම සමන් කුමාර මිනීමැරුම ගැන ගහපු කවි කොලේ. ඒ කාලෙ හෙණ ප්‍රසිද්ධ වෙච්ච මිනීමැරුමක් තමයි මතුගම සමන් කුමාර කේස් එක..වැන්දට මතක ඇතිනෙ ඒක නේද? "

අසූව දශකයෙ මුල්භාගෙ දිවයින පුරා ලොකු ආන්දෝලනයක් කල මිනී මැරුමක් ඔය මතුගම සමන් කුමාර සිද්ධිය. කප්පම් ඉල්ලා පැහැරගෙන ගොස් සිසුවකු මරා දැමුනු දිවයිනේ පළමු සිද්ධිය එය ලෙස ලංකා අපරාධ ඉතිහාසයට එක් වෙලයි තියෙන්නෙ.


" හප්පෝ...ඒක මතක නැත්තෙ මොකද බොස්? මේ කිට්ටුව විතරක් නෙවෙයි ලංකාව පුරාම මාර විදිහට ප්‍රසිද්ධ වුනානෙ ඒ කේස් එක. මම ඒ කාලෙම වගේනෙ ඔය හෝටල්වල බාමන් රස්සාවට එහෙ මෙහෙ යන්ට පටං ගත්තෙ, හික්කඩුව, ගාල්ල, අම්බලංගොඩ දිහා එහෙම. ඒ පැත්තෙ මිනිස්සු උනත් මම මතුගම කිව්වම නිකං අමුතුවිදිහට තමයි බලන්නෙ......"

" ඒ කියන්නෙ නිකං මේ මතුගම එවුං ඔක්කොම අංගුලිමාල ටයිප් වසවර්තියො, මිනීමරුවො වගෙ තමයි රබර් ඇහැ දාල බලන්නෙ...එහෙමද?...හෙහ්..හෙහ්…"

" අන්න හරි බොස් කියල වැඩක් නෑ..ඉන්ටකො මම මරු කතාවක් කියන්න..මටම වෙච්චි එකක්. මේක වුනේ මම හිතන්නෙ ඔය මතුගම සමන් කුමාර මිනීමැරුමට අවුරුද්දකට හමාරකට වගෙ පස්සෙ. ඒ දවස්වල මම වැඩ කලේ බෙන්තොට. කොහොමහරි ගෙස්ට්ල අඩුවෙලා ( වැන්දා මෙතන ගෙස්ට්ල කියල කිව්වෙ සුද්දන්ට, එහෙම නැත්තං ටුවරිස්ට්ලට ) මැනේජර් අපිට කතා කරල කිව්ව දැං ගෙස්ට්ල අඩුනිසා කට්ටිය අඩුකරන්ට වෙනවය..ඒ හින්ද තියන පඩි අරං යන්ටය, මාසෙකින් වගෙ ආපහු ඇවිදිල්ල බලන්ටය කියල. ඉතිං වෙන මොකක් කරන්ටද? අපි දෙන්න හිඟ පඩිත් අරගෙන එන්ට ආව.."

" අපියි කිව්වෙ?..... ආය කවුද? "

" ආ..මගෙ මස්සිනා...නැන්දගෙ පුතා..ඌත් එතනම ස්ටුවර්ඩ් කෙනෙක් විදිහට වැඩකලා.ගෙදර ඇවිල්ල ඊලඟ සතියක් හමාරක් තරම බැලුව ජොබ් එකක් හොයාගන්ට වාද්දුව, කළුතර, අළුත්ගම ඔය හැමතැනම ඇවිද්ද කිසිම දෙයක් හම්බ වුනේ නෑ. ලොක්කයියෙ..මේක හරියන්නෙ නෑ බං...මට නම් මේ රස්සා හෙවිල්ල දැං ඇතිම වෙලා..දවසක් කළුතර උදේ ඉඳම්ම රස්තියාදුවෙලා හවස ගෙදර ගාව බස් එකෙන් බහින ගමන් සිඩ්නි කිව්ව."

" සිඩ්නි කිව්වෙ අර උඹගෙ මලයද? "

" යස් බොස් ද සේම් ද සේම්…" කාලයක් හෝටල්වල සුද්දො එක්ක වැඩ කරල වැන්දගෙ කඩ්ඩ ෆුල් පොලිෂ්.

" එතකොට ලොක්කයිය කිව්වෙ? "

" ඒ මට…. සිඩ්නි පොඩි කාලෙ ඉඳන්ම මට කිව්වෙ ලොක්කයිය කියල "

" ඉතිං?"

" රයිට් මම කියන්නද?....අපි යමු හෙට උදේම කල්කුඩා...උඹට මතකද මම ගිය සීසන් එකේ මාසයක් විතර කල්කුඩා ගිහිල්ල හිටිය. එහෙ බීච් රෙසෝට් එකක් තියනව. මැනේජර් මගෙ හොඳ යාලුවා…පොරට කිව්වනං මොනවහරි රස්සාවක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.අඩුගානෙ සතිදෙහෙකට මාසෙකට වගෙවත්,"

" රයිට් මම ඉල්ලං එන්නං මගෙ යාලුවෙක් මේ ගිය සුමානෙ ගත්තා CD 125 එකක්…ඒක….ඌ මම ඉල්ලුවොත් අනිවා දෙනව.." සිඩ්නි එක පයින් කැමතිවුනා වැඩේට…

" රයිට් එහෙනං වරෙං උදෙන්ම ….කුකුළත් අරගෙන පිටත් වුනොත් දවල් එක දෙක වෙනකොට කල්කුඩා ගිහෑකි දෙයියංගෙ පිහිටෙන්…"

" ඉතිං බොස් පහුවදා උදෙන්ම අපි පිටත් වුනා කියමුකො ඔන්න කල්කුඩා යන්ට. "

" කොහෙන්ද උඹල ගියේ? බිබිල පැත්තෙන්ද? "

" ඔව් බිබිල පදියතලාව මහඔය පාරෙ. "

" ඉතිං? "

" ඉතිං තමයි මුල ඉඳලම බයික් එක ලෙඩ දුන්න. එන්ජින් එක හරියට රේස් වෙන්නෙ නෑ. හිටපු ගමං එතනම හිටිනව. මම ඉතිං සිඩ්නියට රටේ නැති කුණුහරප කිය කිය ගියෙ මග දිගට. ඔන්න ඔය කොහෙදිද ගරජ් එකකට දාල ස්පාර්ක් ප්ලග්ස් මාරුත් කලා. ඒත් හරිගියේ නෑ. රෑ අට නමය වෙනකොටත් අපි මග. ඒ වෙනකොට මහ ඔය එහෙම පහු කරල. ඔන්න එක පාරට බයික් එක හිට්ටෙ නැතැයි හුටස් ගාල. කලිනුත් ඔහොම උනාට ආයෙම ස්ටාට් වුනා. මේ පාර මොන? ස්ටාට් වෙන්නෙම නෑ."

" මොකද අයියෙ දැං කරන්නෙ? සිඩ්නිය මගෙං ඇහුව... මොනව කරන්ටද බං? තල්ලු කරමු දෙන්නත් එක්ක. එක්කො ආයම ගරාජ් එකක් හම්බවෙනකල් නැත්තං ඔය පාර අයිනෙ ගෙදරකට කතා කරල පිලේවත් එලිවෙනකල් ඉඳල උදේට මොනව හරි බලමු. වෙන මක් කරන්නද? ඒ හරිය මාර පාලු පැත්තක්. තැන් තැන් වල පොඩි කටුමැටි ගෙවල් තිබ්බට ඒ එකකවත් පානක්වත් පේන්ට තිබ්බෙ නෑ."

" අපි ඒ නිසා එව්වට තට්ටු කරන්ට ගියෙ නෑ. මාරුවෙන් මාරුවට බයික් එක තල්ලු කරගෙන ගියා ඉස්සරහටම. යන්තමට හඳ තිබ්බ නිසා පාරනම් පෙනුන. මෙන්න එක පාරට සිඩ්නි හිනා වෙන්ට ගත්ත. මොකද යකෝ හිනාවෙන්නෙ? මට තද වුනා අසූහාරදාහට...නෑ අයියෙ මම මේ කල්පනා කලේ කොහොමද අපි 185 නැත්තං 200 එකක එහෙම ආවනං..අනේ මේ මගෙං මොකවත්...මම ඌ දිහාවෙ රවාගෙන හිටිය එහෙම්මම නැවතිලා..."

( මෙතන පොඩි පැහැදිලි කිරීමක් කල යුතුයි..විශේෂයෙන් යතුරු පැදි මාදිලි ගැන නොදන්නා වනිතා පක්ෂය උදෙසා. 125, 180, 200 කියන්නෙ බයිසිකලේක එන්ජින් ධාරිතාවය. එන්ජින් ධාරිතාවය වැඩිවෙන්ට වැඩිවෙන්ට සමානුපාතිකව බයිසිකලේ සයිස් එක වැඩිවෙනව. ඒ කියන්නෙ 180, 200 වගෙ බයික් එකක් තල්ලු කරන එක කොන්ද ඇදෙන වැඩක් ) 

" හෙහ්,හෙහ්, හරියට අර ජේ.ආර්. ඩයනගෙ මඟුලට ගිහිල්ල වෙච්ච සීන් එක වගෙ.." මම එහෙම කියල නැඟිටල අතේ පයේ හිරි ඇර ගත්ත. 

" මොකක්ද බොස් ඒ කතාව? මම අහල නෑනෙ.. "

" ඕක දැංකියන්ට ගියොත් උඹේ කතාව අද ඉවරයක් වෙන්නෙ නෑ..මම පස්සෙ ඒක කියන්නං..මට මතක් කරහංකො මතක ඇතුව.." ඒ.සී. එක ඕෆ් කරන ගමං මම කිව්ව. අපේ ඔෆිස් එකේ හයිකරල තිබ්බ ඒ,සී. එක මාර සීතලයි. විනාඩි විස්සකින් තරම ඕෆ් කරල අපි ආයෙම දානව රස්නෙ වෙනකොට. නැත්තං හීතලට ගල්ටික් වෙලා මැරෙන්නෙ ඒක ඇතුලෙම. එහෙමත් නැත්තං බ්ලැන්කට් ගෙනල්ල පොරවගෙන ඉන්න ඕන.අපෙ අත්තම්ම බ්ලැන්කට් වලට කිව්වෙ බුලංකේට්ටු කියල.

" ඉතිං බොස් ඔන්න ඔහොම අපි යනව බයික් එකත් තල්ලු කරගෙන. හිටපු ගමං පොඩි කඳුවගෙත් අහුවෙනව. එව්වයෙ තල්ලු කරන එක කොන්ද ඇදෙන වැඩේ. ඒත් මොනව කරන්ටද අර ******** ට බැණලම කුණුහරපත් ඉවරවෙලා. ඒ හින්ද දාඩිය දාගෙන තල්ලු කලා කිලෝ මීටර් හතර පහක් වගෙ මයෙ හිතේ. වෙලාව බලනකොට රෑ එකොළහයි. මේ හරියෙ අලි එහෙමනම් නෑ මට මතක විදිහට. ඒත් අපෙ වෙලාව ඒ තරං හොඳ හින්ද කොළෑ වෙච්චි අලියෙක්වත් හිටපු ගමං මතුවෙයි කියල මම පණ බයේ ඔන්න ගියේ. "

" හෙහ්, අලි කියනකොට මට මතක් වුනේ. මම කාලයක් ඔය වැලිකන්දට එහා වැඩ කලානෙ කැලේ මැද. ඒ කාලෙ නං අලිත් එක්කම තමයි ජීවිතේ ගෙවුනෙ.අපේ වොචර් කෙනෙක්ට වෙච්ච මරු වැඩක් තියනව වල් අලි කේස් එකක්…." මම මැදින් පැනල කිව්ව

" අනේ බොස් ඒ කතාවවත් කියන්ට.." වැන්දා බැගෑපත් වුනා. 

" පිස්සුද බං?....මඟුලක් කතා කරනව. ඒක මෙහෙම කියන්ට පුලුවන් එකක් නෙවෙයි. පසුබිම සකස්කරන්ටම මයෙ හිතේ යයි විනාඩි දහයක් විස්සක්. ඒ හින්ද නොවැරදීම පස්සෙ දවසක කියන්නං..මට මතක් කරපංකො.."

" ඔන්න ඔහොම තුම්මුනිං දාඩිය දාගෙන අර දරහැවත් තල්ලු කරගෙන යද්දි පාරෙං යාර විස්සක් තිහක තරම ඈතිං තිබිච්ච එක කටු මැටි ගේක මම දැක්ක එළියෙ පිලේ එළියක් වගෙ මොකක්ද පත්තුවෙනව. ඒයි අර අතන ගෙයි මොකක්ද එළියක් පත්තුවෙනව. යමං ගිහිල්ල බලමු. මටනං දැං මේ මඟුල තල්ලු කිරිල්ල එපාම වෙලයි තියෙන්නෙ.යන්තමට ඔහෙ පිලේ හරි වැටිල ඇහැ පියාගන්ට තිබ්බනං මට වෙන මොකවත් ඕනැන්නෙ නෑ. එහෙම කියල මම පාර අයිනෙ ඇරල දාල තිබ්බ කඩුල්ලෙං වත්තට ඇතුල් වුනා. සිඩ්නියත් බයික් එක තල්ලු කරගෙන මයෙ පස්සෙං ආව. "

" ඒ අපි පාරට දැකපු එළිය පිල උඩ පත්තුවෙන ලොකු කුප්පි ලාම්පුවක්. හුළං සැරේට නිවෙයි කියල බාගෙට පතුරු ගැලවිච්ච පරණ කුල්ලකින් හුළං අත මුවා කරලයි තිබ්බෙ."

" ගෙට ගොඩ නොවීම මම කතාකලා..ගෙදර කවුද? ..ගෙදර කවුද? සිඩ්නි බයික් එක ඒ ලඟම තිබ්බ ගහක් යට ස්ටෑන්ඩ් එක ගහල හිටවල එතනම කෙළිං කටිං ඉඳගෙන හති දාන්ට ගත්ත."

" ඒත් එක්කම වහල තිබ්බ දොර ඇතුලෙං ඇරෙනව ඇහුන. පොඩි චිමිනි ලාම්පුවක් අරගෙන ඇරිච්ච දොරෙං එළියට ආවෙ වයසක ආච්චි කෙනෙක්. රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳල තව චීත්තයක් වගෙ එකක් දෙවුර වැහෙන්ට දාගෙන. ....කවුද ඔය? උන්දැ ලාම්පුව උඩට උස්සල මිදුලෙ හිටපු අපි දිහා ඇස් හීං කරල බැලුව..කවුද උඹලා? අනේ ආච්චි අම්මෙ ..අපි මේ කල්කුඩා යන ගමං..බයිසිකලේ මඟ නැවතුනා. පස්සෙ ඉතිං මේ දෙන්නත් එක්ක තල්ලු කරගෙනම යනව."

" හප්පෝ..සුවල්ප දුරක්ද? උඹලට එලිවෙනකල් ඕක තල්ලු කලත් එහාට යාගන්ට බැරිවෙයි. වෙන මොනව කරන්ටද ආච්චි අම්මෙ? මඟ නවතින්ට අපි දන්න අඳුනන තැනක් වත් තියෙන එකක්ය? සිඩ්නිත් මා ගාවට ඇවිල්ල කිව්ව. ආ.. නවතින එකනම් මොකද්ද? ඔය පිලේ උනත් බැරිය මාගලක් එලාගත්තම. ඒ වයසක මනුස්සය එහෙම කියල චිමිනි ලාම්පුව බිත්ති කණ්ඩිය උඩිං තියල එතනම තිබ්බ බංකු කබලක ඉඳගත්ත. හ්ම්ම්ම්..මෙහෙ ඉන්නෙ මායි මගෙ පොඩි පුතයි විතරයි. පුතා එනකොට තව රෑවෙයි. කිව්වට අහන්නෙ නෑ ඌ යනව උගෙ යාලුවො එක්ක හැලි අරක්කු බොන්ට. මම අර කුප්පි ලාම්පුවක් පත්තු කරල පිළේ තියල තියෙන්නෙ රෑ දෙගොඩ හරියෙ ඕකා එනකොට කලුවරේ කොහෙ හරි හැපිල අතපය කඩා ගනියි කියල."

" ඔය වෙනකොට සිඩ්නියි මායි දෙන්නත් ගේ ඉස්සරහ යාලත්තක් බාල වගෙ තිබ්බ කෑල්ලට ගොඩ වෙලා ආච්චි අම්ම ඉඳගෙන හිටපු බංකුවට එහායිං තිබ්බ තව බංකු පුංචක වාඩි වුනා.හරි අතන කෙහෙල් පඳුර එහායිං ඇති ළිඳක්. එතනම ඇති ලණුවයි බාල්දියයි. උඹල දෙන්න එහෙනං ගිහිල්ල මූණ කට කාරිය හෝදගන්නවනං හෝදගෙන වරෙල්ල. මම කේතලේ ලිපේ තියන්නං කහට එකක් හදන්ට. අනේ ආච්චි අම්මට පිංසිද්ද වෙනව.අපි දෙන්න එහෙම කියල බයික් එකේ ගැටගහල තිබ්බ ට්රැවලිං බෑග් එකෙං සබං පෙට්ටියයි තුවායයි අරගෙන ලිඳ ගාවට ගියා. මේ ලාම්පුවත් අරගෙන පලයල්ල. ආච්චි අම්ම අර පිලේ කුල්ලෙං වහල තිබ්බ කුප්පි ලාම්පුව පෙන්නුව. "

" හම්මා ඇඟට වතුර දෙකක් වැටෙනකොට තියෙන සනීපෙ. කෙහෙල් ගස් අස්ස නිසා කාටවත් පේන්නෙත් නෑ අපි දෙන්න ලන්කට් පිටින්ම කරේ නෑව. ඒ කරල ඇඟත් පිහදාගෙන ඇවිල්ල අර බංකු කබලෙ ආයෙම ඉඳගත්ත. ආච්චි අම්මට පිංසිද්ද වෙනව ආච්චි අම්මෙ.අපි මේ මොනව කරන්ටද කියල හිතාගන්ට බැරුව හිටියෙ. ඒ මනුස්සය අපිට කහට දෙකකුත් ගෙනල්ල දුන්න සීනි බෙලෙක්කෙකුත් එක්ක. වෙලාවෙ හැටියට අමුර්තෙ වගෙ. උඹලට බඩගිනිත් ඇතිනෙ. මම රොටි දෙකක්වත් හදන්ටද? අපෙ එකාගෙ බත් එකනං තියනව අර මඩක්කුවෙ. ඒත් ඕක ඇවිල්ල මේ දෙගොඩහරියෙ බඩගිනියි කිව්වොත් මම ආයෙ බත් උයන්ටද? ඒ හින්ද ඒක දෙන්ට නම් බෑ. අපෝ එපා ආච්චි අම්මෙ.. අපිට නිදාගන්ට තිබ්බනං ඇති. අපි එලිය වැටෙනකොටම යන්නං..මම සිඩ්නිය දිහා බලල කිව්ව. අර වසවර්තියගෙ බත් එක කාල ඊටපස්සෙ ඕක ඇවිල්ල මෙතන ආවේස උනොත් පිලේ වැටිල නිදාගන්ට තියෙන එකත් නැතිවෙනව. "

" නෑ,,නෑ.බඩගින්නෙ බුදියෙන්ට පුළුවනිය? ඉන්ට මම රොටි දෙකක් පුස්සන්නං විගැහිං..මනුස්සයොනෙ අපි කවුරුත් සතා සීපාවටත් කුස ගින්දර දැනෙනවනෙ. එහෙම කියාගෙන ආච්චි අම්ම ගෙට ගියා. අපි දෙන්න එහෙමම බංකුවෙ ඉඳගෙන කකුල් දිගඇරගෙන පිටිපස්සෙ තිබ්බ බිත්ති කණ්ඩියට හේත්තුවෙලා ඇස් පියාගත්ත, හප්පා දිවියලෝක සැප තමයි බොස්..." 

වැන්දා කතාව නවත්තල නැඟිටල ගිහිල්ල ඔෆිස් එකේ දොර ඇරල එබිල බැලුව.

" අද මොකෝ ලන්ච් ට්‍රාන්ස්පෝට් එක පරක්කු? කීයද බොස් වෙලාව? "

" ම්ම්ම්ම්...ඉඳහං බලන්ට...එකොළහයි හතළිහයි.."

" ඒකනෙ අද කෑම පරක්කුයි."

ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන හැමෝගෙම කෑම දොලහමාර වෙනකොට ලඟටම ගිහිල්ල දෙනව. අපි හිටපු කෑම්ප් එකේ උඩහම තමයි මෙස් එක තිබ්බෙ.ඒ මෙස් එක කලේ කුමාර වෙල්ගමගෙ ( ඒ දවස්වල නියෝජ්‍ය ඇමති කෙනෙක් ) ප්‍රධාන ගෝලයෙක්. මෙස් එකෙන් කෑම පාර්සල් අරගෙන එක එක ඔෆිස් වලට බෙදාගෙන යනව. ඉස්සෙල්ලම තිබ්බෙ අපේ ඔෆිස් එක. ඒනිසා එකොලහමාර වෙනකොට අපිට කෑම එනව. 

උදේ අට වෙනකොට එදාට ඉන්න ගානට ලිස්ට් එකක් හදල ඉස්සරහින් මස්ද, මාලුද, බිත්තරද, කියලත් කතිරයක් ගහල දෙන්ට ඕන. ඒ ලිස්ට් එක අනුව තමයි දවල් කෑම ගෙනෙන්නෙ. ඔය රාජකාරිය ටයිම් කීපර්ට අයිති එකක්. ඒ කියන්නෙ වැන්දට. වැන්ද ඒ වෙලාවට නොහිටියොත් මම ඒක කරනව. ඔය කෑම සීන් එකේදි මරු ආතල් කෑලි වෙනව. කුකුළේ ගැන ආයෙමත් ලියනකොට කියන්නං හොඳද? අද එව්ව ඔක්කොම ලිව්වොත් මේ වැන්දගෙ කතාව ඉවරයක් කරගන්ට වෙන එකක් නෑ. 

" මෙහෙ වරෙං බං...කෑම එන්නෙ නැතෑ එන වෙලාවක.අනික අරුං ටනල් එකෙන් එලියට එන්නෙ දොලහමාරටනෙ.එතකොට කෑම තිබ්බම මදැයි...ඇවිල්ල කියාපං කතාව, "

මට මුගෙ කතාව අහගන්නකල් ඉවසිල්ලක් නෑ.

" ආච්චි අම්ම කියවනව කුස්සියෙ තනියම. අපිටත් එහෙං මෙහෙං ඇහෙනව. මටනං නින්ද යාගෙනත් ආව. මිනිස්සු උනාම මිනිස්සුන්ට උදව් කරන්ට එපාය. එහෙම නැතුව සත්තු උදව්කරන්ටද ආය? ඒත් සමහර මිනිස්සු ඉන්නව තිරිසනුන්ටත් අන්ත එවුං..අර අහිංසක කොලු පැටිය කැලේ මැද මරල දාපු එවුං..අනේ අම්මපා උං මිනිස්සුද? තිරිසන්නුද? මතුගම එවුං...නෑ..තිරිසන්නුන්ටත් එහා...උංට නං හොඳක් වෙන්ට එපා..උංට විතරක් නෙවෙයි උංගෙ ගෑවිච්චි එකෙකුටවත් හොඳක්නං වෙන්ට එපා..මට බොස් යන්තමට හීනෙං වගෙ ඇහෙනව ආච්චි ගේ ඇතුලෙ ඉඳගෙන දෙස් දෙවොල් තියනව. කවුරු ගැනද මේ කියන්නෙ කියලත් මට හරියටම නිච්චියක් නෑ. ඒ එක්කම අච්චි අම්ම දොරකඩට ආව. මේ ළමයි කොහෙ කියලද කිව්වෙ? ඒ සැණින් මට මීටර් උනා මේ මනුස්සය මේ දෙස් දෙවොල් තියන්නෙ අර සමන් කුමාර කේස් එක ගැනය කියල. ඒ එක්කම මට තේරුනා අපි මතුගම කිව්වොත් වැඩේ හබක් කියල. අපි මේ.... කියල කොහෙ කියලද කියන්නෙ කියල මම හිතනකොට සිඩ්නිය අඩ නින්දෙන් ඇහැරල එක පාරටම කියාපි ගහෙං ගෙඩි එන්න වගෙ අපි මතුගම කියල. "

" ඈ......????? ආච්චිගෙ කටත් ඇරුන..උඹල මතුගම? උඹලද එතකොට අර අහිංසක කොලුවා මරාගත්තෙ? උඹලටනං හොඳක් වෙන්ට එපා දෙයියනේ...මිනීමරුවො....දෙයියම්පල්ල බොස් මට ඒ වෙලාවෙ ආපු කේන්තියෙ හැටියට සිඩ්නියගෙ බෙල්ල මිරිකන එක බොහොම සුළු දෙයක්. අපි මතුගම කිට්ටුව තමයි ආච්චි අම්මෙ. ඒත් මතුගමට එහා.අනික අපි ඔය මැරිච්ච ළමයවත් මරපු මිනිස්සුවත් කිසිකෙනෙක් අඳුනන්නෙ නෑ. මේ එව්වයිං මට වැඩක් නෑ. උඹල දෙන්නම මිනීමරුවො...ඒ වගෙ අහිංසක පොඩි කොල්ලෙක් මරන්ට පුලුවං එවුන්ට මං වාගෙ නාකි ගෑණියෙක් මරල දාන එක මහ දෙයක් නෙවෙයිනෙ. අදරෑ උඹල මෙහෙ හිටියනං එහෙමත් වෙන්ට තිබ්බ තමයි.අපි අර කාටවත් වැරැද්දක් නැති හින්ද දෙයියො මගෙ මූණ බැලුව. මේ..මම හොඳිං කියන්නෙ දෙන්නම බැහැපල්ල දැම්මම දොට්ට. "

" අනේ ආච්චි අම්මෙ මේක පොඩ්ඩක් අහන්ටකො..අපි ඒ මොහොකටවත්......මොන ඒ ගෑණිට බොස් දෙයියංගෙ හාල් කැවිච්චි හාණයි. පරල වෙලා වගෙ කෑගහන්ට ගත්ත. බැහැපල්ල..බැහැපල්ල..දැම්මම දොට්ට.මගෙ දෑහැට නොපෙනී යන දිහාක පලයල්ල. අනේ ආච්චි අම්මෙ අපිට මේ පිලේ බුදියගන්ටවත්..මම සැරයක් කිව්ව නේද? පලයල්ල යන්ට පලයල්ල පලයල්ල..මේ ගෑණිගෙ කටේ සද්දෙටද කොහෙද පාර දිහායිං බල්ලෙකුත් බුරන්ට ගත්ත. ඒ එක්කම පාරෙං එහා පැත්තෙ තිබ්බ තවත් ගෙදරක එළියක් පත්තුවෙන්ට ගත්ත. මේ යකෝ..මෙතන තව හිටියොත් සමන් කුමාරට වෙච්චි එකේ අනික් එක අපි දෙන්නට වෙන්නෙ. යමං යමං විජහට. ඒ වනකොටත් අර ආච්චි අම්ම ගෙට ගිහිල්ල දොර වහගෙනත් ඉවරයි. ඇතුලෙං සොයිබයක්ද මොකක්ද දාල ඒ එක්කම දොර පොල්ලකුත් දානව අපිට ඇහුන. "

" යමං ඔය කෙහෙල්මලත් තල්ලු කරගෙන...පිල්කණ්ඩිය උඩ වනල තිබ්බ තුවායත් කරේ දාගෙන මම ඉස්සර වුනා. විනාඩි පහළවක් වගෙ යනකල් මම කිසිම කතාවක් නැතුව ආවෙ සිඩ්නි එක්ක තිබ්බ තරහ හින්ද මට මොනව කියවෙයිද කියල කියන්ට බැරි හින්ද. ඒත් හීතල හුළඟ හින්ද මගෙ කේන්තිය ටික ටික නිවිල ගියා."

" මෙන්න ඒත් එක්කම පාර මැදම නැවතිල සිඩ්නිය ආයෙම හිනාවෙන්ට ගත්ත. දැං මොකද බං උඹ හිනාවෙන්නෙ? මම දත්මිටි කාගෙන ඇහුව. නෑ ලොක්කයියෙ අපි මතුගම කියල මට ඒත් එක්කම කියන්ට හිතුන අර සමන්කුමාර කේස් එකේ මිනීමරුව ලොක්කයියගෙ මල්ලිය කියල. මොකක්? තොට පිස්සුද බූරුවො? මම කෑගහපු සද්දෙ මම හිතන්නෙ අර වයසක ආච්චිටත් ඇහෙන්ට ඇති ෂුවර් එකටම."

" ඉතිං ඔන්න ඕකයි බොස් කතාව.."

" හෙහ්, නියම කතාව බං...කියල වැඩක් නෑ..ඉතිං ඊට පස්සෙ උඹල මොකද කලේ?.."

" හෙහ්..මම පණ බයෙං ගියේ ඔන්න..මට හිතුනෙම අර වයසක ආච්චි අම්ම අපි පිටත් වුනාට පස්සෙ ගමේ ගෙවල්වල මිනිස්සු ඇහැරවල විස්තරේ කියල ඊට පස්සෙ ගමේ මිනිස්සු කඩු පොලු අරගෙන අපි පාරෙ පන්නගෙන එයි කියල.ඕක සිඩ්නියට කිව්වම ඒ පකිරින්තුව ඒක විහිලුවට ගත්ත. ලොක්කයියෙ අඩි සද්දක් නං ඇහෙනව කවුද දුවගෙන එනව වගෙ. බයික් එක තල්ලු කරන මං දිහා හොරැහිං බලල ඌ කියනව..හෙහ්,හෙහ්,...පස්සෙ මම හොඳ කුණුහබ්බ දෙකක් කිව්වට පස්සෙ තමයි උගෙ කෝචොක් කිරිල්ල නැවතුනෙ."

" ඉතිං එදා රෑ දිගටම උඹල දෙන්න…………...? "

" නෑ බොස් එහෙම කොහෙ තල්ලු කරන්ටද එලිවෙනකල්?..... එහෙම කරන්ට ගියානං අපි දෙන්න එදා එහෙ පාරෙදිමයි මැරිල යන්නෙ. තව පැය බාගෙකට වගෙ පස්සෙ පාර අයිනෙ තිබ්බ අතෑරල දාපු පරණ මඩුවක් වගෙ එකක්. ඒකෙ පිළේ ඉඳගෙන අපි දෙන්න යන්තමට ඇහැපියාගත්ත. පහුවදා එලිය වැටුනට පස්සෙ ආපු වී ලොරියක පිටිපස්සෙ බයික් එක දාගෙන ගරාජ් එකකට අරගෙන ගිහිල්ල හදාගෙන දෙයියනේ කියල එදා දවල් එකොලහ වගෙ වෙනකොට කල්කුඩාවලට ගියා. "

ඒ එක්කම ඔෆිස් එක ඉස්සරහ වාහනේක හෝන් සද්දයක් ඇහුන. 

" ආ කෑම ලොරිය ඇවිල්ල වගේ. බොස් තරහ නැතුව අතන ඇති අද කෑම ලිස්ට් එකේ කොපියක්. ඒක අරං බලල මට කියන්ට අද ඕඩර් එක කොහොමද කියල " වැන්ද අපේ කෑම අරං එන කවර් කරපු කැන්ටර් එක ගාවට ගියා.

" බිත්තර කෑම හතරායී, චිකන් කෑම දහතුනායි, ,එලවළු කෑම එකායි. ඔක්කොම දහ අටායි. " මම ඔෆිස් එකේ දොර ගාව ඉඳල කෑගැහුව වැන්දට ඇහෙන්ට.

ඒ එදා අපේ බ්ලාස්ටිං ටීම් එකේ ගාණ. වැන්දා කෑම පාර්සල් දහ අට දාපු ෂොපිං බෑග් දෙක උස්සගෙන එනකොටත් මම අත්දෙක ඔලුවෙ ගහගෙන හිනාවෙනව.

" බැහැපියව් මිනීමරුවො එළියට...හෙහ්,හෙහ්,හෙහ්, "

93 comments:

  1. රවී අයියේ පෝස්ට් එක දාලා තත්පර 25 යි කියලා බ්ලොග් රෝලේ තියෙනවා , මට හොඳටම රෑ හෙට උදේ එන්නම් කියෝලා ඔළුව කුරුවල් කරලා යන්න..

    සුබ දවසක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔමා,

      ඕකේ මැඩම්..යූ ආර් වෙල්කම් ඇන්ඩ් තෑන්ක්ස්!!!

      Delete
    2. ඊයේ රෑ නින්ද ගියේ නැහැ බය හිතෙන හිනදැක්කේ නැගිටිද්දී මහන්සි, අපරාදේ මේක කියෝලා නිදාගත්තා නම් හිත සතුටින් එකක් කියලා හිතෙනවා දැන්.

      කතාව පුරාම තියෙන හැම සිද්දියක්ම හරිම රසවත් අයියේ.
      ගෑණු උදවිය වාහන වල ඇන්ජින් ධාරිතා ගැන දන්නවා හොඳේ . අපි පුරුදු වුණෙත් cb4 එකකින් හරිය.

      දැන් වෙන සිද්දි එක්ක බැලුවම කවිකොළ දවසගානේ ගහන්න පුළුවන්.. දැන් ලෝකේ දියුණුයි,, ඉස්සර වගේ කාලෙකට එක මිනීමැරුමක් නෙමේ වෙන්නේ,, හි හි මං කවිකොළ කාරයෝ දැකලා තියෙන්නේ පරණ සිංහල ෆිල්ම් වල විතරයි, ඒත් අපේ ගෙදර තිබ්බා කවිකොළ කීපයක්ම,, අර ලිත් වගේ ලොකු ඒවා..

      මට හිතුණා ආච්චිගේ සීන් එක කියද්දී හොල්මනක් වත් ද දන්නේ නැහැ කියලත්..

      වැන්දා කියලා කොලපාට තණකොළ පෙත්තා වගේ සතෙක් ඉන්නවා නේද.

      වාන් පතුල් කතා මට මිස් වෙලා නිසා ආයේ කියවුවේ නැහැ, මේ කතා නම් ශෝක්,, තැන්ක්ස් අයියේ..

      (දැන් මට මන්නොක්කා කියලා හරියට ලියන්න පුළුවන් )

      Delete
    3. මේ මේ අර ජේ ආර් ගේ කතාවයි .. අලියෝ ගැනයි ලියන්න ඈ අපි එනෝ කියවන්න..

      Delete
    4. උඹ දැන් මන්නොක්කා කියලා ලියනවනේ ගින්දර වගේ දැන්! රවියා ගුරු මුෂ්ඨි නැතුවම කියාදීලා තියෙන්නේ!

      Delete
    5. Oma,

      / ගෑණු උදවිය වාහන වල ඇන්ජින් ධාරිතා ගැන දන්නවා හොඳේ . අපි පුරුදු වුණෙත් cb4 එකකින් හරිය. /

      අප්පා...උඹ ඉතිං මොකද?

      / වැන්දා කියලා කොලපාට තණකොළ පෙත්තා වගේ සතෙක් ඉන්නවා නේද. /

      වැන්දා නෙවෙයි බොල වන්දා..උගෙ පෙනුම හරියටම නිකං වැඳගෙන ඉන්නව වගෙ..ඒකයි වන්දා කියල කියන්නෙ. තව ඉන්නව සතෙක් හරියටම දරමිටියක් වගෙ. ඌට කියන්නෙ දරමිටියා කියල

      / වාන් පතුල් කතා මට මිස් වෙලා නිසා ආයේ කියවුවේ නැහැ,/

      වාංපතුල් කතාවල ආය පිළිවෙලක් කියල එකක් නෑ. මගෙ ජීවිතේ එක් එක් එක කාලවල මුහුන දුන්නු සිද්ධි තමයි ඔය වාංපතුල් කතා කියල මම ලිව්වෙ...:)

      / මේ කතා නම් ශෝක්,, තැන්ක්ස් අයියේ..  /

      You are most welcome!

      / (දැන් මට මන්නොක්කා කියලා හරියට ලියන්න පුළුවන් ) /

      ආය මොනවද? ඔය ලියල තියෙන්නෙ නියමෙට..අම්මාපල් මදැයි මමත් ඉඳල ඉඳල ගෝලයෙක් හැදුව. පේනවනෙ අර හෝතඹුවා. හෙන්රිය දාල තියන නක්කලේ...සික් අම්මප..හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක..මේ අර හෙන්රිය දකින්ට ඉස්සර මේකවත් කොපි කරල දාපං ඔන්න මාත් දන්නව දැං කියල - මඤ්ඤොක්කා.....කොහොමද? මඤ්ඤොක්කා...ආයම ලියාපං බලන්ට...මඤ්ඤොක්කා...

      Delete
    6. මං ඉස්කෝලේ යනකාලේ යාළුවො එන්නේ නෑ මං ලඟට මොකුත් අහගන්න ,මොකද එයාලගේ පොත්වල ඉස්පිලි ,පාපිලි වැඩි එවුවා අඩු ඒවා දකිද්දී මට කේන්ති යනවා. ඒක අදටත් තියෙනවා . ඒ නිසයි ලැප් එකේ කොච්චර කෙටුවත් එන්නේ නැති මහප්‍රාණ අක්ෂර තියෙන වචන වෙනුවට ඒවා නැති වචන පාවිච්චි කරන්නේ,, උදාහරණ ඔයා දන්නවනේ
      මඤ්ඤොක්කා.-- බතල වැනි අල වර්ග ...
      හි හි දැන් හරි යුනිකොර්ඩ් කන්වර්ටර් එකෙන් ඕනේ එකක් පුළුවන් ..

      Delete
    7. //වාංපතුල් කතාවල ආය පිළිවෙලක් කියල එකක් නෑ. මගෙ ජීවිතේ එක් එක් එක කාලවල මුහුන දුන්නු සිද්ධි තමයි ඔය වාංපතුල් කතා කියල මම ලිව්වෙ...:)//

      වාන්පතුල් කතාවල වාන්පතුල් ඇරෙන්න අනිත් හැම එකම තියනවා..ඒ හින්දා අවුලක් නෑ, ඕන තැනකින් පටන් අරන් කියවගෙන යන්න පුළුවන්. හරියට අර සිරස TV එකේ යන මෙගා ටෙලි වගේ. ඕන තැනකින් පටන් අරගෙන බැලුවට අවුලක් නෑ, හොඳට තේරෙනවා කතාව.

      Delete
    8. Sayuri,

      / වාන්පතුල් කතාවල වාන්පතුල් ඇරෙන්න අනිත් හැම එකම තියනවා..ඒ හින්දා අවුලක් නෑ, ඕන තැනකින් පටන් අරන් කියවගෙන යන්න පුළුවන්. හරියට අර සිරස TV එකේ යන මෙගා ටෙලි වගේ. ඕන තැනකින් පටන් අරගෙන බැලුවට අවුලක් නෑ, හොඳට තේරෙනවා කතාව. /

      You are absolutely correct madam. Spot on...They are a separate, unique & distinctive genre called " stand alone stories " ...:)

      Delete
  2. අයියෙ උඹට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නෙ නම් නෑ මළාට... උඹ දැනටමත් බාගෙට කියලා තියන කතා මදිවට තව කොට දෙකකුත් එකතු කරලා... දැන් ඉතිං ජේ.ආර්. ඩයනගෙ මගුලට ගිය කතාවයි, වල් අලි කේස් එකයි දෙකම උඹේ සංසාරෙට එකතු වෙනවා. මේකෙන් වෙන්නේ උඹේ සංසාරේ තවත් දික් වෙන එක විතරයි.

    //පසුබිම සකස්කරන්ටම මයෙ හිතේ යයි විනාඩි දහයක් විස්සක්//
    හිනා කාල මැරෙනවා...

    ReplyDelete
    Replies
    1. තිසර,

      / අයියෙ උඹට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නෙ නම් නෑ මළාට... .....මේකෙන් වෙන්නේ උඹේ සංසාරේ තවත් දික් වෙන එක විතරයි. /

      අවුලක් නෑ මල්ලි...උඹ කියවල තියද පරාක්‍රම කොඩිතුවක්කුගෙ කවිපොතක් " සංසාරෙට මං ආසයි" කියල..අන්න ඒ වගෙ මල්ලි මමත් සංසාරෙට ආසයි...හෙහ්,හෙහ්,

      Delete
    2. මචං, ඔය හුඟාක් හොල්මන් අවතාරවල අතීත කතාව වචන හතරට සංක්ෂිප්ත කලොත් They have unfinished business!

      Delete
  3. //පිස්සුද බං?....මඟුලක් කතා කරනව. ඒක මෙහෙම කියන්ට පුලුවන් එකක් නෙවෙයි. පසුබිම සකස්කරන්ටම මයෙ හිතේ යයි විනාඩි දහයක් විස්සක්. ඒ හින්ද නොවැරදීම පස්සෙ දවසක කියන්නං//

    මොකද මේ කවදාවත් නැතුව? අසනීපයක් වත් ද? :P

    ReplyDelete
    Replies
    1. මලිති,

      / මොකද මේ කවදාවත් නැතුව? අසනීපයක් වත් ද? :P /

      ඔන්න ඉතිං ඕකනෙ මැඩම්ල එක්ක බැරි මේ රාජ්ජෙ කරන්ට ( උඹත් එක්ක නං මට බැරිවෙයි මේ රාජ්ජෙ කරන්ට...හෙහ්..ඒ අපේ අභාවප්‍රාප්ත මිත්තණියගෙ ව්‍යවහාරයක් ) කතන්දර ඉවර කරන්නෙ නෑ කියල එහෙං පස් පඩංගුවෙ බයිනව. අතුරු කතා අතඇරල ප්‍රධාන කතාව ඉවර කලාම අහනව මොකද මේ අසනීපයක්ද කියල...

      Delete
  4. සිඩ්නියව අහවල් එකෙන් එල්ලලත් මදිනේ මේ කරපු ගොන් වැඩේට...

    ඈ බං රවී අයියේ, උඹ මේ කතා කොහෙද බං මතක තිබාගෙන ඉන්නේ.
    උඹේ ඔළුවේ තියෙන පරණ ඒවා කොහේහරි බැකප් විදිහට සේව් කරලා තියෙනවද
    මටත් පරණ සිද්ධි මතක තියෙනවා, ඒත් මේ උඹට වගේ... මොන පිස්සුද

    මටත් මතකයි ඔය සමන් කුමාරගේ සිද්ධිය, ප්‍රේමවතී මනම්පේරි ගේ සිද්ධිය ඒ දවස්වල විරිඳු විදිහට හදල රේඩියෝ වල එහෙම නැත්නම් කැසට් පටි විදිහට අපේ අහලපහළ ගෙවල් වල යන හැටි
    මගේ ගාව මේ දැනුත් ඒ ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා
    ඒවා අහද්දී දන්නේ නැතුවම අතීතයට යන ගතියක් දැනෙනවා. ඒක පුදුම හැඟීමක්...

    ආච්චි අම්මගේ ගෙදර මේ වගේ කියල දාල තියන ගේ වගේ පොඩි ගෙයක් තිබ්බා අපේ ගෙදරට පහළින්. අපේ ගෙදර ඉඳල ඒ ගෙදරට මීටර් 75 ක් වත් නැහැ. ඒ මීටර් 75 ගැන පෝස්ට් එකක් දාන්න ඕනේ...
    උඹට ගොඩක් ස්තුතියි රවී අයියේ මට ඒ ගේ මතක් කරලා දුන්නට...

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් මිනීමරුවෙක්.. බැහැපිය එළියට හොඳ හිතින්.. හැක්..

      Delete
    2. Lokka,

      / සිඩ්නියව අහවල් එකෙන් එල්ලලත් මදිනේ මේ කරපු ගොන් වැඩේට.../

      ඒකා මෙලෝ දෙයක් දන්නෙ නෑනෙ අර ආච්චිගෙ මූඩ් එක ගැන.( මම කිව්වෙ ඇන්ටි මතුගම මූඩ් එක ගැන ) ඉතිං නින්දෙන් ඇහැරෙනකොටම උඹල කොයි පළාතෙද කියල අහනව ඇහුන. වළහැඩිය ගත්කටටම අපි ආච්චියෙ මතුගම කියාපි..මචුගම තමයි..මචුගම..හෙහ්,හෙහ්,

      / ඈ බං රවී අයියේ, උඹ මේ කතා කොහෙද බං මතක තිබාගෙන ඉන්නේ. /

      කතන්දරේ සාරාංශයක් හෙවත් ස්ට්‍රක්චර් එක නම් එදා ඉඳලම හිතේ තියනව. නොයෙක් ඩිටේල්ස් මතක් වෙන්නෙ බොහෝවිට ලියන්ට පටන්ගත්තම..ඒකත් මහ පුදුමයි..මම හිතන්නෙ බං අපි ආයෙම හිතින් ඒ අවස්ථාවෙ ජීවත්වෙනකොට අමතක වෙලා හිතේ කොණක හැංගිලා තිබ්බ විස්තර මතක් වෙනව ඇති. උදාහරණයක් විදිහට අර උං දෙන්නා කෙසෙල් පඳුර ගාව ළිඳෙන් නාපු එක මට මතක් වුනේ ඊයෙ කතාව ලියද්දි.ඔය ජීවිතේට අත්‍යාවශ්‍ය නොවන ඩිටේල්ස් ඔටෝ අම්තක කරවන එක අපේ මෙමරි කැපෑකුටි එක අඩුනොවී පවත්වාගෙන යන්ට නිර්මාණය වෙච්චි යාන්ත්‍රණයක් වෙන්ට ඕන. කැපෑකුටි කතාව දන්නව නේද? බොහොම ප්‍රසිද්ධ කතාවක්...:) :)

      / මටත් මතකයි ඔය සමන් කුමාරගේ සිද්ධිය, ප්‍රේමවතී මනම්පේරි ගේ සිද්ධිය ඒ දවස්වල විරිඳු විදිහට හදල රේඩියෝ වල එහෙම නැත්නම් කැසට් පටි විදිහට අපේ අහලපහළ ගෙවල් වල යන හැටි /

      ඊටත් කලින් ඔය වගෙ ප්‍රසිද්ධ වෙච්චි මිනීමැරුම් තමයි, තිස්මඩ උපාධිධාරිනිය ඝාතනය ( තිස්මඩ තියෙන්නෙ අපේ ගෙවල් කිට්ටුව, පිළිමතලාවෙන් හැරිල යන්ට ඕන ) ගාල්ලෙ දොස්තර කුලරත්න කේස් එක,( නමසිය හැටගණංවල ) ඇඩ්ලින් විතාරණ ඝාතනය ( දඩයම ෆිල්ම් එක ).....මෙව්ව ටිකක් පරණ එව්ව. හැට හැත්තෑ ගණංවල..

      ඊට පස්සෙ අසූව දශකයෙ මට හොඳටම මතක අපරාධ නඩු විභාගු තමයි එකක් මැතිව් පීරිස් සහ ඩැල්රීන් ඉන්ග්‍රම් ද්විත්ව ඝාතන නඩුව සහ පානදුර චන්ද්‍රසේකර ඩයස් ඝාතන නඩුව. හැත්තෑව දශකයෙ දිනමිණ පත්තරේ සම්පූර්ණ පිටු දෙකක් විතර පලවුනා ඔය ප්‍රසිද්ධ අපරාධ නඩුවල සාක්කිකාරයින්ගෙන් අහපු ප්‍රශ්නයි එව්වට දුන්නු පිළිතුරුයි එක්ක සම්පූර්ණ විස්තරයක්.මම බොහොම ආසාවෙන් කියවනව ඕක.

      / ආච්චි අම්මගේ ගෙදර මේ වගේ කියල දාල තියන ගේ වගේ පොඩි ගෙයක් තිබ්බා අපේ ගෙදරට පහළින්. අපේ ගෙදර ඉඳල ඒ ගෙදරට මීටර් 75 ක් වත් නැහැ. ඒ මීටර් 75 ගැන පෝස්ට් එකක් දාන්න ඕනේ...උඹට ගොඩක් ස්තුතියි රවී අයියේ මට ඒ ගේ මතක් කරලා දුන්නට.../

      අම්මට වූඩු..අනිවා සෙනෙහසක් වෙන්න ඕන..අනිවා සෙනෙහසක් වෙන්න ඕන..ලියාපං..ලියාපං..ලියාපං..:)

      Delete
    3. ඒ උඹ කිව්ව මතකේ ආපහු ගන්න ගෙවල් වල ඉඳල බැහැ, තනියෙන් ඉන්නවනම් ගොඩ...
      ඒත් දැන් මොළේ අළුපාට සෛල සෑහෙන දිනපතා දන්දෙන නිසා ඒකත් ෂුවර් නැහැ... හෙහ්
      ඉස්සර මම දිනපොත් ලියනවා අමුතු ක්‍රමේකට, ඒවට දිනපොත් කියල කියන උන්ටයි මචං ගහන්න ඕනේ
      මම මාස දෙකේ තුනේ ඒවා ලියනවා බං රිවස් එකට මතක් කර කර, දැන් කොහෙද ඒවා...
      ඇඩ්ලින් විතාරණ සිද්ධිය මගේ ඔළුවේ හොඳට තියෙන්නේ විල්පත්තු කැලේ නිසා...
      අපි ඔය සිද්ධිය වෙච්ච තැනින් එහේ මෙහෙ යන මිනිස්සු නෙවැ...

      අර මීටර් 75 ත් එක්තරා ආකාරයක ලව් එකක් තමයි, ඒ ටික දුරේ තිබ්බ පරිසරේට තිබ්බ ලව් එකක්...
      ඒ ටික ලියන්නම වෙනවා රවී අයියේ තේරුම් ගන්න...
      මීටරෙන් මීටරේට මම ලව් කරලා තියෙනවා කියල තේරෙන්නේ අද...
      කරුමය කියන්නේ ඒවා අකුරු කරන්න අවශ්‍ය කරන නිදහස මට අද නැහැ
      හැමතැනම ඉන්නේ නිදහස කන්නෝ...
      ආපහු රට යන්න හිතෙනවා වෙලාවකට...

      Delete
    4. ලොකු පුතා,

      / කරුමය කියන්නේ ඒවා අකුරු කරන්න අවශ්‍ය කරන නිදහස මට අද නැහැ /

      ජීවිතේ බහුතරයක් දේවල් එහෙම තමයි බං..අපිට ඕන විදිහට නෙවෙයි සිද්ද වෙන්නෙ..මොනව කරන්නද? අපි අවට ඉන්න අය, අපේ ළබැඳියො, සහෘදයො වෙනුවෙන් අපිට නොයෙක් කැපකිරීම් කරන්න වෙනව. What to do ..mate ? …That's Life…:(

      Delete
    5. ඔය සෙට් එකම ඇන්ටන් ජෝන්ස් දෙන්නෙ දොබෙන්ම

      Delete
    6. තිස්මඩ උපාධිධාරිනිය ඝාතනය ගැන මේ ලඟදි ලංකාදීප පත්තරේ තිබුනා.

      Delete
    7. ඇඩ්ලින් විතාරණ ඝාතනයත් මේ ලඟදි ලංකාදීප රිවිර අතිරේකයේ කොටස් වශයෙන් පලවී තිබුණ.

      Delete
  5. උඹ මේ මුළු කතාවක්ම එක පෝස්ට් එකේ දාපු මුල්ම පාර. යකෝ බොට සිඩ්නියගෙන් කතාව අහගන්ට තිබ්බ ආසාවම අපිටත් නැතෙයි කියලද හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ රවියගෙ කතා ටික සිඩ්නියට නොකිය හිටි හන්දනෙ. නැත්තං ඉතිං පසුබිම හදනකොට සිඩ්නියට කුකුළෙ ඉඳල පයින්ම ආපහු කල්කුඩා වලට ගිහිල්ල එන්න තිබ්බ.

      Delete
    2. Indika,

      / උඹ මේ මුළු කතාවක්ම එක පෝස්ට් එකේ දාපු මුල්ම පාර. /

      නෑ බං..මීට කලිනුත් වන්ඩේ කතා ලියල තියනව..:)

      / යකෝ බොට සිඩ්නියගෙන් කතාව අහගන්ට තිබ්බ ආසාවම අපිටත් නැතෙයි කියලද හිතන්නෙ? /

      සිඩ්නියගෙන් නෙවෙයි වැන්දගෙන්....... දෙයියම්ප..බෘහස්පතින්ද දෙවෙනි කොටස දානවයි කියල උඹට පොරොන්දුවුන හින්දමයි ඊයේ යක්කු ගස්යන වෙලාව වෙනකල් නිදිමරාගෙන කතාව ලියල පබ්ලිෂ් කලේ.

      Delete
    3. ප්‍රසන්න,

      සිඩ්නි නෙවෙයි බොල වැන්දා...වැන්දා..කතාව මට කිව්වෙ වැන්දා..සිඩ්නි උගෙ මස්සිනානෙ..:)

      Delete
    4. //දෙයියම්ප..බෘහස්පතින්ද දෙවෙනි කොටස දානවයි කියල උඹට පොරොන්දුවුන හින්දමයි ඊයේ යක්කු ගස්යන වෙලාව වෙනකල් නිදිමරාගෙන කතාව ලියල පබ්ලිෂ් කලේ.//

      මචෝ, මේක මට ලැබුන සුළු පටු ගෞරවයක් කියලද හිතන්නෙ. අවංකව බොක්කෙම්මයි කියන්නෙ රවියො, ඒ වචන ටිකට මාර හැපි හරිද.

      උඹෙ මේ බ්ලොග් ඉතිහාසෙම සරමක් කරපු ඉල්ලීමකට ඇහුක්නදුන්නමද මන්ද? කොහොම උනත් මගේ ඉල්ලීම අහල උඹ මේක දැම්මයින් මා කෙරෙහි දැක්වූවාවූ කාරුණික අනුග්‍රහය ගැන හද පිරි මෙව්ව එකය..!!!!!

      ඔය සමන්කුමාරගෙ කේස් එක වෙච්චි කාලෙ ගමේ යනකොට අම්ම පෙන්නාව "ආන්..අන්න අර කන්දෙ තමා සමන් කුමාර හංගං ඉඳල තීන්නෙ, දැක්කනෙ, ඕක තමයි ඕගොල්ලන්ටත් කියන්නෙ කිසි කෙනෙක් එක්ක කොහෙවත් යන්න එපා අම්මලට නොකිය කියල.."

      අපි ඉතින් ඒ මහ ගල් කන්දෙ කැලේ දිහා බලාන භයෙන් ඔළුව වන්නව. ඇයි හත්දෙය්යනේ අර ගල්ක් කන්දෙ නගින්න කියන එකම මදෑ මැරෙන්න.

      ඇත්තටම අම්ම පෙන්නන්නෙ කුමාර හංගපු කන්ද නෙමේ කියල දැනගත්තෙ සෑහෙන කාලෙකට පස්සෙ ඔය වළල්ලාවිට කොළනිය පැත්තෙ සෙට් එකක් එක්ක ඔඅ කියන බෝපිටි කන්දෙ බොන්න ගිය දාක..හෙක් හෙක්...එහෙමෙයි කියල මං අම්මගෙන් ඕක හගිස්සවන්න ගියෙ නෑ, මොකොද අපි රත්මලානෙ මිසක්ක කොටකෙතනෙ නෙමෙයිනෙ...

      Delete
    5. ඉන්දික,

      / උඹෙ මේ බ්ලොග් ඉතිහාසෙම සරමක් කරපු ඉල්ලීමකට ඇහුක්නදුන්නමද මන්ද? /

      :)

      Delete
  6. අනේ බං උඹට මේ ටික එකදිගට කියන්න බැරිහැටි $&^%&$! $&^%&$ කිව්වමයි මතක් උනේ උඹ අර කුකුලගෙ කතාව කියනව කියල &^%&^(*^&^$. ඔන්න &^%&^(*^&^$ කිව්වම මට මතක් උනා තව කතාවක්.......

    ඔන්න ඔය තාලෙටයි මම දවසක උඹට අමතන්නෙ.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      හරි මල්ලි හරි හරි..කාම් ඩවුන්..කාම් ඩවුන්..රාජ්‍ය සේවකයො උනහම ඔහොම මල පැනල ඇහැක්ද?

      හරි බං ලියමු...ලියමු...ලියමු!!

      Delete
  7. අපේ තාත්තගේ ගම මතුගම. අපි ඉස්සර හැම අවුරුද්දට ගමේ යනවා සීයව බලන්න. සමන් කුමාරගේ සිද්ධිය මට හොඳට මතකයි. සමන් කුමාර මට වඩා අවුරුදු දෙක තුනක් වගේ වැඩිමල් කියලා තමයි මට මතක....! මුළු මතුගමම තක්කු බික්කු වෙලා තිබුනේ ඒ කාලේ....! මට මතක හැටියට අවුරුද්දට් කිට්ටු කාලෙක තමයි ඔය සිද්ධිය උනේ.....! ඒ සිද්ධියෙන් පස්සෙ එලඹිච්ච අවුරුදේ ගමේ කවුරුත් අවුරුදු කෑවේ නෑ වගේ තමයි මට මතක.

    මතුගම පාන්තිය පැත්තට හිටපු එකම සාමධාන විනිසුරු වරයා මගේ සීයා. හැමදාම හවසට ගමේ දහ පහලොස් දෙනෙක් තාත්තලගේ මහ ගෙදර පෝටිකෝවේ යට වාඩි වෙලා, සීයා හාන්සි පුටුවේ ඈඳි අරගෙන ඔය සිද්ධියට සම්බන්ධ කතා කරනවා මට තාම මතකයි.

    අප්පේ අම්මලා, නැන්දලා ඒ කාලේ අපිට ඇහැ මායිමෙන් එහාට මෙහාට වෙන්න දුන්නෙම නෑ...

    ReplyDelete
    Replies
    1. දුමී,

      / සමන් කුමාර මට වඩා අවුරුදු දෙක තුනක් වගේ වැඩිමල් කියලා තමයි මට මතක....! මුළු මතුගමම තක්කු බික්කු වෙලා තිබුනේ ඒ කාලේ....! මට මතක හැටියට අවුරුද්දට් කිට්ටු කාලෙක තමයි ඔය සිද්ධිය උනේ...../

      ඔබ හරි දුමී. .ඒ අවාසනාවන්ත සිද්ධිය වුනාය කියන්නෙ 1984 අප්‍රේල් 8 වෙනිදා. අවුරුද්දට දවස් 6 ක් තියෙද්දි.

      / මතුගම පාන්තිය පැත්තට හිටපු එකම සාමධාන විනිසුරු වරයා මගේ සීයා../

      මහවැලියෙ මාත් එක්ක බොහොම දෙනෙක් හිටිය මතුගම අහල පහල උදවිය..පාන්තිය, අවිත්තාව, ඉත්තෑපාන, ඕමත්ත...ඒ කාලෙ හිටපු මතුගම මන්ත්‍රී රෙජිනල්ඩ් විජේගුණරත්න එක්ක මට මතක විදිහට ගාමිණී දිසානායකගෙ කිට්ටු හිතවත්කමක් තිබ්බ. ඒනිසා මතුගම අවට බොහොම දෙනෙකුට මහවැලියෙ රැකියා ලැබුනා.

      Delete
    2. හරි 84 අප්‍රේල් කියන්නේ මට අවුරුදු 10 ලබලා නෑ.....! සමන් කුමාර ඒ වෙනකොට අවුරුදු 12 ක් විතර මගේ හිතේ....!

      ඔව්, මගේ පොඩි බාප්පා (අපේ තාත්තාගේ බාලම මල්ලි ) වැඩ කලෙත් මහවැලියේ, පස් පරීක්ෂකයෙක් විදිහට......!

      Delete
    3. දුමී,

      /  සමන් කුමාර ඒ වෙනකොට අවුරුදු 12 ක් විතර මගේ හිතේ....! /

      ඒ වෙනකොට සමන් කුමාරට අවුරුදු 14 කියල ඒ ලිපියෙ තියනව.

      / ඔව්, මගේ පොඩි බාප්පා (අපේ තාත්තාගේ බාලම මල්ලි ) වැඩ කලෙත් මහවැලියේ, පස් පරීක්ෂකයෙක් විදිහට......! /

      දුමී මම දන්න විදිහට මහවැලියෙ නම් Soil tester කියල තනතුරක් තිබ්බෙ නෑ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ නම් තිබ්බ..

      Delete
    4. මේ ලගදී පොර නිදහස් උනා කියලා පත්තරේ දැක්කා දඩුවම් කාලෙ ඉවර වෙලා

      Delete
    5. .නිදහස් වුනාද .ඕකනේ කියන්නේ අපේ රටේ හරිහමන් නීතියක් නැහැ කියල. ඔය මිනීමරුවා අර ආච්චිට බාර දුන්න නම් ඔයිට හොඳට යුක්තිය ඉටු කරන්න තිබ්බ.

      Delete
    6. Bindi,

      / නිදහස් වුනාද .ඕකනේ කියන්නේ අපේ රටේ හරිහමන් නීතියක් නැහැ කියල. ඔය මිනීමරුවා අර ආච්චිට බාර දුන්න නම් ඔයිට හොඳට යුක්තිය ඉටු කරන්න තිබ්බ. /

      ඔය වගෙ අපරාධකාරයින්ට මම කියන්නෙ නම් කෙලින්ම මරණ දඬුවම දෙන්ට ඕන. සැළසුම් සහගතව කල මනුෂ්‍ය ඝාතන වලට මරණ දඬුවම අනිවාර්ය කරන්ට ඕන. ඔය මිනිස් අයිතිවාසිකම් එතකොට මරණ දඬුවම දීමෙන් අපරාධ අඩුවෙන්නෙ නෑ කියන මතය..එව්ව ඔක්කොම හරි වෙන්න ඇති. ඒත් චේතනාන්විතව සැලසුම් සහගතව සහ සාධාරණ හේතුවකින් තොරව කල මිනිස් ඝාතනවලට කැපිටල් පනිෂ්මන්ට් එක දෙන්නම ඕන.

      අම්මාපල්ල..ආච්චිට බාර දුන්නනං මොනව කරයිද උන්දෑ?

      Delete
  8. //තුම්මුනිං දාඩිය දාගෙන// යාලත්තක් බාල වගෙ// කරේ නෑව.// මඩක්කුවෙ// අර දරහැවත් තල්ලු කරගෙන// දෙයියංගෙ හාල් කැවිච්චි// ඒ පකිරින්තුව// රවී අයියා.. මේව තමයි මට උඹේ කතාවල තියෙන මැණික් කැට.. ඔය 'කරේ නෑවා' කියන්නේ ඇඟ හේදුවා කියනෙකද? ඔයි වගේ වචන පැටලිල්ලක් නිසා මට තාමත් පොඩි විචිකිච්චාවක් තියෙනවා. අපි පොඩි කාලේ ඉඳල හුරු වෙලා හිටියේ ඇඟ සෝදනවා, මූණ සෝදනවා, අතපය හෝදනවා වගේ ඇඟේ කෑල්ල කියල හෝදනවා කියන්න.. බැන්දට පස්සේ අපේ උන්දලෑ පැත්තෙ උන් ඔය ඔක්කෝටම කියන්නේ නිකම්ම 'සෝදනවා' කියල.. ඒක මට ඇහෙන්නේ නිකන් කුණුහබ්බයක් වගේ.. කාටවත් කියන්නත් බෑ.. මාර සීන් එක අවුරුදු ගානක් ගිහින් තාම ඒ වචනෙට හුරු වෙන්නත් බැරි උනා.. හැක්.
    කාලෙකින් මෙයා කතාවක් ඉවර කරලා.. හැබැයි අළුත් දෙකකටම ප්ලෑන් ඇඳල.. ඔන්න ප්ලෑන් ඇපෲ හවුසින් ලෝන් එකත් එක පාර දෙනවා හැබැයි පුතෝ කතා දෙකම 'හැකි ඉක්මණින්' ලියල පෙන්නන්න ඕනි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කරේ නානවා කියන්නෙ ඇඟ සොදනවට තමා බං. අපි නානවට ඒ මිනිස්සු කියන්නෙ ඔළුවේ නානවා කියල. මම ඕව ඇහුවෙ මැදවච්චියෙන්. තව එහෙ වචන තියනවා ."මුස්නේ අල්ලනවා" කියන්නෙ ඉවා අල්ලනවට. බල්ලෝ එහෙම මෙහෙ ඉව ඇල්ලුවට එහෙ අල්ලන්නෙ "මුස්නේ" . මෙගේ ගැහුවට එහෙ ගහනවට කියන්නෙ "ගසනවා". මෙහෙ ගසනවා කියන්නෙ බොනවටනේ. දවසක් එහෙ ඉද්දි වහින්න වගේ හුළං අත මාරු උනා කියන එකට මනුස්සයෙක් කිව්වා " අද නං වායුව කරකෝනවා" කියල. බැලින්නං හුළං එන දිශාව වෙනස් උන එක ඒ කියල තියෙන්නෙ. අමුතු වචන ඒ ඒ ප්‍රදේශ වල. රාජ් ගෙ කතා විලාසේ කියවන්න ආසා හිතෙනවා...

      Delete
    2. කළ්‍යාණ,

      / ඔය 'කරේ නෑවා' කියන්නේ ඇඟ හේදුවා කියනෙකද? /

      සජ්ජා හරි, කරේ නානව කියන්නෙ අපි ඇඟ හෝදනව කියන එකට තමයි. කරට නැත්තං උරහිසට වතුර වක්කරගන්නව කියන එකයි ඒකෙං කියවෙන්නෙ.

      ඔය නොයෙක් වචන මම අහුලගන්නෙ ක්‍රම කීපයකට මල්ලි. 1. මයෙ අත්තම්මගෙ වචන 2. පොඩි කාලෙ ඉඳං කියවපු නොයෙක් පොත්වල තිබුනු වචන. 3. ලංකාවෙ හතර දිබ්බාගෙම වගෙ අවුරුදු ගානක් වැඩකරල ඒ පළාත්වල ව්‍යාවහාරය නිකම්ම ඇඟට පත්තියං වෙලා. 4. අන්තිමට මා එක්ක වැඩකරපු දහස් සංඛ්‍යාත හිතවතුන් / හිතවතියන් ව්‍යාවහාර කරපු වචන...ඉතිං ඔන්න ඔය ඔක්කොගෙම සාම්බාරුවක්, අච්චාරුවක්, සලාදයක් මම ලියන එව්ව...හෙහ්,හෙහ්,

      ස්තූතියි මල්ලි...:)

      Delete
    3. ඉන්දියන් කාරයෝ ඇඟ සෝදන එකටත් කියන්නේ බාත්. අපි නම් ඉතින් බාත් කිව්වොත් ඔළුවේ හිටන් නානවනෙ. මම මුලදී පුදුමත් වුණා . මුන් හැමදාම නානවනෙ කියලා. පස්සේ තමයි තේරුණේ .

      Delete
    4. බින්දි,

      ඒකට කියන්නෙ කරේ බාත්.....:)

      Delete
  9. මම නම් කියන්නේ නෙලුම් යායේන් මේ යකාට සම්මානයක් දීලා වැඩේ කා ගත්තා .. අර සරෝජිනිගේ සීන් එක ගානට කරගෙන ට්‍රැක් එකේ යද්දී සම්මානේ දුන්න .. ඊට පස්සේ ආයේ ලොවෙත් නැති වෙන්න ට්‍රැක් එක පැන්නා .. දැන් ඉතින් මම හිතන්නේ නෑ ආයේ කාලෙකට ගොඩ යයි කියල ... :D

    ඔය පැනපු වෙලාවෙම අර ජේ . ආර් . ඩයනාගේ මගුල් ගෙදර ගිය සින් එක කියලම දාන්න .. නැත්නම් ඉතින් ඒවා බොල් ණය වෙනවා ...

    ඔය මතුගම සීන් එකක් නම් මම අහල නෑ .. හැබැයි කවි කොල ගැන යාන්තම් මතකයක් තියෙනවා ..
    ඉස්සර මරණයක් වෙනවා කියන්නේ සැහෙන ලොකු දෙයක් වුනාට දැන් නිකන් කුකුල්ලු මැරෙනවා වගේ සීන් එකක් වෙලා නේද මිනිස්සු මැරෙන එක ..

    අද උදේ වැඩට එද්දිත් මෝටර්සයිකල් එකක ගිය කෙනෙක් ද කොහෙද හැප්පිලා ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා දැක්ක ..

    අපිත් ඉතින් කොයි වෙලාවෙද කියල ෂුවර් නැති හොඳ අයියා වගේ ඔය වරහන් ටික වහල දාන්න නැත්නම් කතා අහන්න ප්‍රිය වූ මළ පෙරේතයෝ වෙලා කවද හරි රවී අයිය්යලගේ ගෙවල් පැත්තේ කැරකෙයි .. :D

    ReplyDelete
    Replies
    1. හා හා ගෙවල් පැත්තේ කැරකුණාට කාරි නැහැ. බ්ලොග් එක පැත්තේ එහෙම කැරකෙන්න තියා හිතනවාවත් එහෙම නෙමෙයි.

      අල්ලලා බෝතලේක දාලා කට තද වෙන්න ගැට ගහලා උසික්කා කරනවා ටොයිලට් වලට! :D :D :D

      Delete
    2. රවී අයිය හින්ද රන්දිල් නෝනට වෙන්නෙ බ්ලොග බේරගන්න තොයිලයක් නටන්න තමයි. :D

      Delete
    3. Pathum,

      / මම නම් කියන්නේ නෙලුම් යායේන් මේ යකාට සම්මානයක් දීලා වැඩේ කා ගත්තා .. /

      හෙහ්..නියම කතාව ඒක..කාලෙකින් ඇහුවෙ නෑ එහෙම කතාවක්...:)

      / ඔය පැනපු වෙලාවෙම අර ජේ . ආර් . ඩයනාගේ මගුල් ගෙදර ගිය සින් එක කියලම දාන්න .. නැත්නම් ඉතින් ඒවා බොල් ණය වෙනවා  /

      එසේමය, එසේමය..මේ ගැම්මටම ඒ කතා දෙකත් ලියලම ආපහු යමු සරෝජිනී ළමය බලන්ට..ආ තව තියනව...කළ්‍යාණට මම පොරොන්දු වුනා කුකුළේ සේෆ්ටි ප්‍රොසීඩියර්ස් ගැන ලියනවය කියල. ඒකත් පොඩ්ඩක් ලියන්ට ඕන...

      / අපිත් ඉතින් කොයි වෙලාවෙද කියල ෂුවර් නැති හොඳ අයියා වගේ ඔය වරහන් ටික වහල දාන්න නැත්නම් කතා අහන්න ප්‍රිය වූ මළ පෙරේතයෝ වෙලා කවද හරි රවී අයිය්යලගේ ගෙවල් පැත්තේ කැරකෙයි .. :D  /

      අම්මාපල්ල ඒකත් කියන්ට බෑ තමයි..කියනකොටත් සරුවාංගෙම මයිල් කෙලිං වෙනව හමට එක්සෑක්ට්ලි නයින්ටි ඩිග්‍රීස්...යකෝ මට ගෙදර ගිහිල්ලත් විසුමක් නැතිවෙයිද මන්ද..

      " මේ ඒයි කවුද මන්ද සුදුපාට ඡායාවක් අර එළියෙ එහෙ මෙහෙ යනව කෙඳිරි ගගා.."ප්‍රියම්බිකා තොමෝ තැතිගත් හඬින් මා අමතා පැවසුවාය. භීතියෙන් ඇගේ දෑස විසල් වී තිබිණි.

      " ඈ??? මොනව කියලද කෙඳිරි ගාන්නෙ? "මම සන්සුන් ලෙස විමසූයේ ඇගේ බිය දුරුකරන අටියෙනි.

      " ක..ත..න්..ද...ර..කෝ?......ක….ත….න...ද….ර ...කෝ? ...ඔන්න ඔහොම කියකිය අනේ කෙඳිරි ගාන්නෙ,"

      Delete
    4. කතන්දර දැන් නැහනේ,දැන් රසිකලොජිනේ!

      Delete
  10. අපොයි අර පැරත් මතුගම නේද

    ReplyDelete
    Replies
    1. අටම්,

      එහෙනං එහෙනං....

      පැරාත් එහෙ තමයි. :)

      Delete
  11. හොඳ වෙලාවට අර ආච්චිගෙ වසවර්ති කො‍ළුව නොහිටියෙ. නැත්තං සිඩ්නියයි, වැන්දයි ආයෙ ඔය කතාව කියන්න ඉතුරු වෙන එකක් නෑ.
    ජේ ආර් ඩයනගෙ මඟුලට ගියානං එහෙම වැන්දත් වර්තමානෙට එකතුවෙලා ඉන්න ලිස්ට් එකේ තවත් චරිතයක් වෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / හොඳ වෙලාවට අර ආච්චිගෙ වසවර්ති කො‍ළුව නොහිටියෙ. නැත්තං සිඩ්නියයි, වැන්දයි ආයෙ ඔය කතාව කියන්න ඉතුරු වෙන එකක් නෑ. /

      හෙහ්, ඒක ඇත්ත, ඒකට අහුවුනානං උං දෙන්නට තාම ගහනව..:)

      Delete
  12. එක කතාවක් අහවර කොරන්නෙ තවත් කතා දෙක තුනකට වැඩ අල්ලලා.ඉතිං වාන් පතුල් කවද කියන්නද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      / එක කතාවක් අහවර කොරන්නෙ තවත් කතා දෙක තුනකට වැඩ අල්ලලා.ඉතිං වාන් පතුල් කවද කියන්නද? /

      මං කලිනුත් කිව්වෙ බං මේක හරියට අර අග මුල නැති වැලක් ගලවනව වගෙ...හෙහ්,හෙහ්,

      Delete
  13. AC ඕෆ් කරන්නේ මොකටද බං? ඕකෙ තිබ්බේ නැද්ද Temp control එකක්?

    මට දුක අර රොටිය කන්න බැරි වෙච්ච එක මාර දුකයි බං. ඇත්තෙන්ම කිව්වොත් මට දුකම ඒක ගැන.

    බයික් එකට මොකද බං හැදිලා තිබ්බ ලෙඩේ?

    ReplyDelete
    Replies
    1. Dude,

      / AC ඕෆ් කරන්නේ මොකටද බං? ඕකෙ තිබ්බේ නැද්ද Temp control එකක්? /

      ඇත්තටම..මට මේ උඹ කිව්වමයි මතක් වුනේ..ඒ ඒ.සී. වල එහෙම එකක් තියෙන්ට නැතුව ඇති. 2000 වගෙනෙ මම ඔය කියන්නෙ..ඈ බං ඒ දවස්වලත් එව්ව තිබ්බද?

      / මට දුක අර රොටිය කන්න බැරි වෙච්ච එක මාර දුකයි බං. ඇත්තෙන්ම කිව්වොත් මට දුකම ඒක ගැන. /

      හෙහ්…….මමත් ඔහොම කිව්ව වැන්දට..

      " මේ උඹට තිබ්බෙ ආච්චිට කියන්ට අනේ ආච්චි අම්මෙ, අවුලක් නෑ..ආච්චි අම්ම යන්ට කියනවනං අපි යන්නං..අනේ ඒත් ඔය හදන්ට ගත්තු රොටි දෙක පුච්චල දෙන්ට..අපි යන ගමං ඔබ තුමීට පිං දිදී කන්නං "කියල..

      වැන්ද මා දිහා බලා හිටිය බැලිල්ලක් මගෙ මයිල් කොයිල් වුනා..

      " බොස්ට මම කිව්වය කියල හිතාගන්ට…"අන්තිමට එහෙම කියල ඌ ඔෆිස් එකේ දොර ඇරගෙන එලියට බැහැල යන්ට ගියා...හෙහ්,හෙහ්,

      / බයික් එකට මොකද බං හැදිලා තිබ්බ ලෙඩේ? /

      හෙහ්,හෙහ්...මිනිස්සු කොහොමත් තමන් උනන්දු සබ්ජෙක්ට් එක ගැන තමයි විස්තර අහන්නෙ නේද? මේ සති දෙකෙකට වගෙ ඉස්සර හැලප ලියපු හෙණ දිග පෝස්ට් එකක එක ෆොටෝ එකක තිබ්බ කුඹුරු වලට වතුර දෙන කොන්ක්‍රීට් ඇළක්..අර විස්තරේ ඔක්කොම කියවල මම උගෙං අන්තිමට ඇහුවෙ මචං අර දෙවෙනි පින්තූරෙ තියෙන ඇළ වාරිමාර්ගෙං කරපු එකක්ද? නැත්තං ගොවිජන සේවා එකෙන් කරපු එකක්ද? කියල...හෙහ්,හෙහ්,

      හැලපයත් ඒ වෙලාවෙ කිව්ව මදැයි උඹත් අහපු එක කියල. ඒ එක්කම ඌ ඒ ගැන දන්නෙ නෑ කියලත් කිව්ව මට මතක විදිහට. උඹේ ප්‍රශ්නෙට මට කියන්ට තියෙන්නෙත් හැලපය දුන්නු උත්තරේමයි. I don't know Henry….මම වැන්දගෙන් ඒ ගැන විස්තර ඇහුවෙ නෑ. :(

      Delete
    2. //AC ඕෆ් කරන්නේ මොකටද බං? ඕකෙ තිබ්බේ නැද්ද Temp control එකක්?//

      අනේ මන්දා අපි මේ දැනුත් AC වැඩි නම් කරන්නේ ඔෆ් කරලා ආයෙමත් පස්සේ දාන එක.

      Delete
    3. හුඟ දෙනෙක් ඔය උෂ්ණත්ව පාලකය පාවිච්චි කරන්නේ නෑ. මොන හේතුවක්ද මම දන්නේ නෑ. හුඟක් වෙලාවට ඕක තියෙන්නේ 16යේ. සමහරු 13ටත් දාගෙන දුක් විඳිනවා, ඕක ඇත්තෙන්ම 22ට වගේ දාගත්තාම ආතල් එකේ ඉන්න පුලුවන්. සමහරවිට ඒ ගානට දැම්මාම මහන්තත්ත කමට මදිකමක් කියලා හිතලද මන්දා සමහරු ඕක ආපහු 16ට දාලා යනවා.
      එතකොට ප්ලේන් වලත් ඕක දානවනේ වෙව්ලන්න. ගමන දුර වෙනකොට මාර සීතලයි. හුඟ්හ දෙනෙක් කරන්නේ අර උඩින් තියෙන තමන් දිහාට හැරුනු වෙන්ට් එක කරකවලා වහන එක. කොච්චර සීතලද කිව්වොත් අපිට කලින් බ්ලැන්කට් අරං පෙරවාගන්නේ සීත රටවල සුද්දෝ.

      Delete
    4. හෙන්රි,

      / හුඟක් වෙලාවට ඕක තියෙන්නේ 16යේ. සමහරු 13ටත් දාගෙන දුක් විඳිනවා, /

      හාපෝ..මතක් කරන්ට එපා. මතක් වෙනකොටත් මේ බලාපං මගෙ හිරිගඩු පිපෙනව..අපෙ කම්පනි එකේ හිටිය සුද්දියක්..Business Development Manager..., ඒ මහගෙට ඕන අංශක 14 ට 15 ට අර උඹ කිව්ව වගෙ. කිව්වට විස්වාස කරපං පලවෙනි දවසෙ මම වෙව්ලුවා.මම ගිහිල්ල වැඩිකරනව. ඒ අම්මණ්ඩි ඇවිල්ල අඩුකරනව. ඕක කොයිවෙලෙත් කරතැහැක? පහුවදා මම ගියේ ස්වේටර් එක දාගෙන ඊට උඩින් ජැකට් එකත් ඇඳගෙන. සති දෙහෙකට කලින් උන්දැ අස්වෙලා ගියා. දැන් අවුලක් නෑ.

      Delete
    5. සමහර හයිවේ බස් වල කොළඹ ඉඳන් මාතරට යනකොට වෙව්ල වෙව්ල බහින්නෙ.හෙණ ගහනවා වගේ කණට මයි වදින්නෙ.කොන්ට්‍රෝල් කොරන්න බෑ.. කෑලි බෑලි ඔකොම කඩලා හිල විතරයි දැන් ඉතිරි.

      Delete
  14. අදත් ආසාවෙන් කියෙව්වා. අර කිව්වත් වගේ ආච්චිගෙ කොල්ලා හිටියෙ නැති එක හොඳට ගියා. නැත්තන් යන්න වෙන්නෙ අතපය ගලෝගෙන. ඌත් එන්නෙ හතර ගාතෙන් වෙන්නැති නෙ.

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      / අදත් ආසාවෙන් කියෙව්වා. /

      බොහොම ස්තූතියි චාන්දි,

      / අර කිව්වත් වගේ ආච්චිගෙ කොල්ලා හිටියෙ නැති එක හොඳට ගියා. නැත්තන් යන්න වෙන්නෙ අතපය ගලෝගෙන. ඌත් එන්නෙ හතර ගාතෙන් වෙන්නැති නෙ. /

      ආච්චිගෙ කොල්ල ආවනං සමහරවිට තත්වෙ බොහොම හොඳ වෙන්නත් තිබ්බ. බහුතරයක් ඔය කන බොන මිනිස්සු බොහොම හිත හොඳ අය. මිනිහ සමහරවිට අම්මටත් කෑගහල මුං දෙන්නට එහෙ බුදියල පහුවදා උදේම යන්ට අවස්ථාව සලසල දෙන්ටත් තිබුන. …..

      " අම්මට පිස්සුද අම්මා? මතුගම ඉන්නෙ ඔක්කොම මිනීමරුවො නෙවෙයි. අනික මේ රෑ මේ දෙන්න කොහෙ යන්නද? ඔන්න ඔය කෑගැහිල්ල නවත්තල අම්ම ඔය රොටි දෙක පුච්චන්ට. මම මේ වල් ඌරු මස් ටිකකුත් අරගෙන ආව. මචංලා ..ඔය අම්ම කියන එව්ව ගනං ගන්ට එපා..වරෙල්ල රොටියි වල් ඌරයි කාල ෂපාන් එකේ පිලට වෙලා බුදියගෙන උදේම පලයල්ල දෙයියන්ගෙ පිහිටෙං "

      Delete
  15. කාලෙකට කලින් හෝකන්දරටත් මිනිස්සු ඔහොම බය උනේ අර 6 දෙනාගෙ මිනිමැරුම් නිසා,,මොනා උනත් ඒ කාලේ මිනිස්සු ඔය වගේ අපරාධයක් උනාම රටම දුක් උනා,,ඒත් අද ඕකෙ අනික් පැත්ත

    ReplyDelete
    Replies
    1. ඩිලාන්,

      දැන් වෙලා තියෙන්නෙ කම්මලේ බල්ලට හෙණ ගැහුවට ගාණක් නෑ වගෙ ...:)

      Delete
  16. මේ වැල්වටාරම්වල නියම රසය විඳීමට මෙන්ම ඇස්වලටත් පහසුවීම සඳහා පොතක් ලෙස පලකරනමෙන් 15 විතර වතාවටත් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. 17 වෙනි වරටත් එය අනුමත කරමි.

      Delete
    2. ප්‍රා සහ මනෝජ්,

      හැකි විගස ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට 19 වන වරටත් තරයේ සටහන් කොට ගතිමි.

      Delete
  17. රවියියා අහලා තියෙනවාද හඳට ගල් ගහපු කතාවක් ඔය මතුගම පැත්තේ ඈයෝ හිටං.

    ඈ බං රවීයියේ ඔය "සිඩ්නි" කියන්නේ ඔස්ට්‍රේලියාවේ නගරයක් නේ ඉතින් ඔය වගේ නම් කොහොමද අපේම නම් වගේ අපිට සමීප."සිඩ්නි"කියන නමට තව තේරුම් තියේද දන්නේ නැහැනේ.

    ඉස්සරහට සමහරවිට "නිව්යෝක් ජයරත්න" "බොස්ටන් සිල්වා"වගේ නමුත් උප්පැන්න සහතික වල එන්ට බැරි නැහැ නේ .:D

    ReplyDelete
    Replies
    1. මනෝජ් හදට ගල් ගහපු අය ඉන්නෙ මතුගම නෙවෙයි මොරවක

      Delete
    2. මනෝජ් සහ සඳ වියමන්,

      ඔය වගෙ ගම් තියනව ලංකාවෙ හැම පැත්තෙම. එකම කතාසෙට් එක ඒ හැම ගමක් ගැනම ප්‍රසිද්ධයි. හඳට ගල් ගහපු එක, ළිඳේ හඳේ ඡායාව දැකල හඳ ගොඩගන්ඩ ලිඳ ඉහපු එක, කොට ගෙනියන කරත්තෙ මහ විසාල ගහක් යටටම ගෙනල්ල ගහ කෙලින්ම කරත්තෙ උඩට වැටෙන්ට කපාපු එක...ඔය වගෙ තව කතන්දර හත අටක්ම තියනව. නුවර කිට්ටුව තියන තුම්පනේ එහෙම ගමක්.

      මනෝජ්, කියන මතුගම පැත්ථෙ ගම මම අහල තියනව.මගෙ යාලුව වැන්දලගෙ ගම කිට්ටුව ගමක් ඒක. වැන්ද මට ඒ ගැන ඒ කාලෙ කිව්ව. ගමේ නම මට දැන් මතක නෑ.

      සඳ වියමන් කියන මොරවක පැත්තෙ ගමත් එහෙම එකක් වෙන්නැති.

      Delete
    3. මතුගම ඕවිටිගල කියන දිහාව තමා ඔය හඳට ගොරක පොළු ගහපු උන් ඉන්නෙ. තුම්පනේ තමා ගෝණ වලදැම්ම කියන්නෙ දානෙට ගන්නෙ.

      Delete
    4. ඉන්දික,

      අන්න හරි බං..ඕවිටිගල තමයි..ඕවිටිගල තමයි...අපේ එහෙ වැඩ කරපු ඕවිටිගල එවුං ගම ඇහුවම ඕවිටිගල කියල කියන්නෙ නෑ..ඒ කිට්ටුව වෙන ගමක් කියන්නෙ. " අනේ බං..උඹලද? හඳ බිම දාන්ට කියල පොළු ගහපු එවුන්නෙ බං උඹල..." වැන්දා කටත් ඇද කරල එහෙම කියනව බලන්ට ලස්සනයි...:)

      Delete
    5. මනෝජ්,

      / ඈ බං රවීයියේ ඔය "සිඩ්නි" කියන්නේ ඔස්ට්‍රේලියාවේ නගරයක් නේ ඉතින් ඔය වගේ නම් කොහොමද අපේම නම් වගේ අපිට සමීප."සිඩ්නි"කියන නමට තව තේරුම් තියේද දන්නේ නැහැනේ./

      සිඩ්නි කියන්නෙ මල්ලි එංගලන්තෙ ජනප්‍රිය පුද්ගල නාමයක්. ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි නගරයට ඒ නම තිබ්බයි කියන්නෙත් ඉස්සෙල්ලම එතන මිනිස්සු පදිංචි කරන්ට ප්‍රමුඛ කාර්යභාරයක් කරපු එංගලන්තෙ සිඩ්නි සාමිවරයගෙ නමින්. ඕස්ට්‍රේලියාවෙ තව ප්‍රධාන නගරයක් තියනව ඇඩිලේඩ් කියල. ඒක ගෑණු නමක්.

      Delete
    6. බ්‍රැවන් කියන මිනීමරණ මාමව මරපු මාමගේ නම සිඩ්නි ඒත් එයාට හැමෝම කිවුවේ සික්නියා කියලා, බ්‍රැවන්ට කිවුවේ බැවන් කියලා

      Delete
    7. Oma,

      Sorry Madam, No Underskirt At All, Totally At Sea...:)

      Delete
    8. ඕවිටිගල කස්ටිය එක පාරක් කාටත් වඩා ලොකු පන්දමක් හදන්න කියල පොල් ගහක රෙදි ඔතල පත්තුකලාය කියල අහල තියෙනව.....ආයෙම මේ මෑත කාලෙ වෑන් එකක් ගෑරෙජ් එක අතුලෙ තියාගෙන හයිරෑෆ් කොරල එලියට ගන්න බෑරුව ගෑරෙජ් එකේ දොර කෑඩුවලු....

      Delete
    9. හඳට ගල් ගැහුවා කියලා අපි අහල තියෙන්නෙත් මොරවක් කෝරලේ සෙට් එක තමා

      Delete
    10. Alaya,

      / ඕවිටිගල කස්ටිය එක පාරක් කාටත් වඩා ලොකු පන්දමක් හදන්න කියල පොල් ගහක රෙදි ඔතල පත්තුකලාය කියල අහල තියෙනව..../

      ඔය පන්දං කතාව තුම්පනේටත් තියනව. එහෙ ගොයං එහෙම කපල ඉවරවෙලා මහ වෙල්යායෙ ශාන්ති කර්මයක් වගෙ එකක් කරනවලු දෙයියන්ට ස්තූති කරන්ට. පන්දං පත්තු කරල තමයි එළිය ගන්නෙ.එක පාරක් සංවිධායක මණ්ඩලේ කල්පනා කලාලු අහල ගං හතකටම පේන්ට මහ විසාල පන්දමක් පත්තු කරන්ට ඕනය කියල. පස්සෙ මහ විසාල පුවක් ගහක් ගෙනල්ල ඒකෙ රෙදි පාංකඩ ඔතල කැකුණ තෙලින් එහෙම පොඟවල කෙලින් කරල හිටවල පත්තු කරාලු. ආය මොනවද? පන්දම පත්තුවෙන්ට ගත්තලු එක සීරුවට. එකෙකුට අහල පහල යන්ට බැරිතරං රස්නෙ..පස්සෙ එදා අර සාන්ති කර්මෙ තියන්ට බැරිවුනාලු. පන්දම පත්තුවෙලා නිවිල යනකල් කට්ටිය දුරට වෙලා බලාගෙන ඉඳල ගෙවල් වලට ගියාලු. සාන්ති කර්මෙ තිබ්බෙ පහුවෙනිදලු.

      / ආයෙම මේ මෑත කාලෙ වෑන් එකක් ගෑරෙජ් එක අතුලෙ තියාගෙන හයිරෑෆ් කොරල එලියට ගන්න බෑරුව ගෑරෙජ් එකේ දොර කෑඩුවලු..../

      හෙහ්..අඩේ හරි නෙවෙන්නං..ඔය ගරාජ් එක ඇතුලෙ හයිරූෆ් කරල ඊට පස්සෙ වාහනේ එලියට ගන්ට උළුවස්ස ගලවපු කතාව වැන්දා කිව්වනෙ මාත් එක්ක. ඔන්න දැන් තමයි මතක් වුනේ.....හෙහ්,හෙහ්,

      Delete
    11. සයුරි,

      / හඳට ගල් ගැහුවා කියලා අපි අහල තියෙන්නෙත් මොරවක් කෝරලේ සෙට් එක තමා /

      මොරවක් කෝරලෙත් ඔහොම ආතල් වලට ප්‍රසිද්දයි නේද? :)

      Delete
  18. වාන් පතුල් කතා කියවන්න ට්‍රයි එකක් දුන්නට හරි ගියේ නෑ. යාන්තම් වන්දා නම් ආපස්සට එක පෝස්ට් එකක් බලලා හොයාගත්තා.

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      වාං පතුල් කථා එක දිගට ගලායන කතා නෙවෙයි. මගෙ ජීවිතේ සිද්ධ වෙච්ච එක් එක් සිදුවීම් පෙළක් පමණයි....:)

      Delete
    2. හිතට දුකක් කරදරයක් දැනුනම කියවන්නකෝ, මේ තියෙන්නේ වාන් පතුල් කතා.. :)

      http://ranrandil.blogspot.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%99%E0%B6%9C%E0%B7%99%20%E0%B7%80%E0%B7%8F%E0%B6%82%20%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F.....

      Delete
    3. මානවිකා,

      Thank You So Much Madam!!! :)

      Delete
  19. රවි, මොනාද බං වාං පතුල් කියන්නෙ ඇත්තට?

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      වාංපතුල් කියන්නෙ බං ඔය කැළෑබද ගම්වල මිනිස්සු දඩයමට එහෙම නැත්තං මී කඩන්ට කැලේ යද්දි දාගෙන යන පදං කරපු මුව හෝ ගෝන හම් කෑල්ලකිං හදපු සපත්තුවක් වගෙ පාවහනට. කෙණ්ඩෙ මැදකට වෙන්ට කරල ඕක හම්පටියකින්ම ගැටගහනව.

      අපි එක්ක වැඩකරපු විමලෙ අයියගෙ ගෙවල් ඔය නිකවැරටියට එහා. ඒකා සපත්තු සෙරෙප්පු දෙකටම කියන්නෙ වාංපතුල් කියල. රබර් සෙරෙප්පු වලට සබර වාංපතුල්....ඔය වගෙ මරු වචන අටෝරාසියක් තියනව ඕකගෙ. දවසක් ඕකා එක්ක ගිහිල්ල වෙච්චි අලකලංචියක් කියන්ට තමයි මම මුලිම්ම විමලෙගෙ වාංපතුල් කතා පටං ගත්තෙ. කොහෙද? තවම මට ඒ කියන්ට ආපු කතාව කියාගන්ට බැරිවෙච්චි හැටියක් ....අම්මාපල්ල....:(

      Delete
    2. හෙහ් හෙහ්...බොහොම ස්තූත්යියි උඹට මේ අපේ වදන් කොස්ස පුරෝනවට. මම ඔය වචනෙ දැනගෙනම හිටියෙ නෑනෙව!!

      ඕක ඇහුවම මතක් උනේ පරණ කතාවක්

      තාත්තෙ, පාදපරිචාරිකාව කියන එකේ තේරුම ලියාන එන්න කිව්ව ටීචර්.

      සෙරෙප්පුදෙක කියල ලියාගනින් පුතේ.

      //තවම මට ඒ කියන්ට ආපු කතාව කියාගන්ට බැරිවෙච්චි හැටියක් ....අම්මාපල්ල....:(//

      එපා බං, ඉන්පස්සෙ මේකටත් අර පවුල් සංවිධාන සංගමේට වෙච්චි එක වෙයි. එ නිසා ඒක නොකිය ඔහොමම යමං.

      Delete

  20. මටත් දුක අර රොටිය ගැන. කට නිසා මාළුවා නහිනවනේ. සමන් කුමාරගේ සිද්ධිය මටත් හොඳට මතකයි. ඊට අවුරුදු කීපයකට පස්සේ මිනිස්සු මැරුණ හැටියට සමන් කුමාර නිකන්ම අතීතයේ වැලලුනා.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / ඊට අවුරුදු කීපයකට පස්සේ මිනිස්සු මැරුණ හැටියට සමන් කුමාර නිකන්ම අතීතයේ වැලලුනා. /

      අපි පොඩි කාලෙ ඔය වගෙ මිනීමැරුං වලට කවිකොලත් ගැහැව්ව. පස්සෙ පස්සෙ වෙච්ච එව්වයෙ හැටියට ගහන්ට වෙන්නෙ කවිකොල නෙවෙයි කවිපොත්...

      Delete
  21. ඉස්සර අපේ ගෙදෙට්ටත් සෙනසුරාද පොලෙං කයි කොළයක් ගේනව. මං දැකපු අංතිම කයි කොලේ දෙකයි සත විසිපහක්ද කොහෙද. ඕක කියවන්න ගන්නෙ රෑට කාල එහෙම ඉවර වෙලා. අම්ම ගෙයි කාමර දෙක වෙං වෙන තැන උලුවස්ස උඩ ඉඳං කුප්පි ලාම්පුව පුටුවක් උඩ තියල ඒකෙ එළිය හෙම ඩිංගක් වැඩි කොරල ඇහැට කිට්ටු කොරල අල්ලගෙන ඕං කියනව
    “සසිරිබරින් පිරි සිරි ලංකාවේ හිඟුරක් ගොඩයයි නම කියනා“
    “පවුලක් සිටියා කරදරයක් නෑ අඟහිඟකං කොතෙකුත් තිබුනා“

    ඔය ආදී වශයෙං ගම වරණනා කිරීම පවුලෙ පසුබිම කියල අහවර වෙලා උච්චතම අවස්ථාව තමයි කඩුවෙන් කොටපු හරිය, පිහියෙං ඇනපු හරිය හෙම කියනකොට. ඒ වෙලාවට උංදැ කුප්පි ලාංපුව ගන්නව අතට කවි කොළේ පිච්චෙන ගාන්ට කිට්ටු කොරනව.

    “අහිංසකයි ඒ මොළකැටි දියණිය එළිපත්තේ ඉඳගෙන උන්නා“
    “පැනපු ගමං ඒ තිරිසන් මිනිහා දරුවට කැති පාරක් දුන්නා“

    ඕං ඔය අවස්ථාවෙ කුප්පිය බිමිං තියල නිකටට අත තියාගෙන උන්දැ පටං ගන්නව

    “කිරි අප්පේ ශිහ් ශිහ් ශිහ් ශිහ් ....... මේ වගේ කාලකන්නි ජාතියක්. මුං ඉපදෙන රටකවත් උපදින්න නාකයි. මුන්ටත් ඉරහඳ පායනවනෙ අම්ප. මෙවුං එල්ලන්න ඕනි එල්ලුං ගහේ හත් මාසෙයක්“

    “හත් මාසෙයක් එල්ලල තියන්න ඕන්නෑ ඕයි එල්ලුං ගහේ මිනිට්ටු පහක් තිබ්බ නං මැරෙනව. මාස ගණං තියල කරෝල වේලන්නයැ“ අපෙ අපුච්ච කියනව. “ඕං ඔය හෑල්ල නවත්තල බුදිය ගන්නව“

    පහුවදාට මාත් ඕක අරං බලනව ‘ගමක් හැඬවූ බේදවාචකය‘ කියල ඒකෙ ලොකු අතුරිං උඩිංම.
    මියගිය සිඟිති දියණිය කියල අර මොට්ටු කුප්පියෙ ඉන්න බබා වගේ ලමයෙක්ගෙ ඡායාවක් තියෙනව. ඊටත් යටිං ‘මාරක කැත්ත‘ කියල නං කරපු කං හැන්දක් වගේ එකක ඡායාවකුත් තියෙනව. තව පොලිස් අධිකාරී අසුවල් මහතා කියල කිරිමරාජ පැකට් එකේ ඉන්න ලිවේරිස් අමරතුංග වගේ කෙනෙක්ගෙ ඡායාවකුත් තියෙනව. ඒ කාලෙ බාල මුද්‍රණ යන්ත්‍රවල හැටි වෙන්ටැ. ඒ උනාට අපෙ ගමේ කාන්තාවන්ට නං ඒ කැත්තෙ මුවාත විතරක් නෙමෙයි ලේ බිංදුව පවා යස අගේට පේන්න ඒ පින්තූරෙ හොඳටම ඇති. යටිංම හීං අකුරෙන් ලියල තියෙනවා “අසුවල් ලිපිනයේ පදිංචි කවි කීර්ති අසුවල් කුමාර වන මා විසින් අහවල් තැන පිහිටි කැප්ටන් මුද්‍රණාලයේ මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදී“ කියල.

    හවස් වෙනකොට චන්දරෙ මාමගෙ ගෙදර නෝනක්ක ඇවිල්ල ඒක ඉල්ලං යනව.

    ඔය වගේ කවි කොලේකට ප්‍රස්ථුත වෙච්චි දෙයක් අපේ ගමේ උනා. ලමයි දෙන්නටත් වහ පෝල තාත්තත් වහ බිව්ව. ගෑනි මහ සක්කර වට්ටමක් හිංද එහෙම උනා කියලයි අපෙ ආච්චි අම්ම යගිරල උන්දැයි, රංඔල ආච්චි අම්මයි එක්ක කිව්වෙ.
    කොහොම හරි ඔය තුංදෙනාගෙ මරණෙ ගැන කවි කොලත් ගැහුව. මැරිච්ච ලමයි ගැනත් මිනිහ ගැනත් වගේ වගක් නැති ගෑනි සිද්ධියෙං සති ගානකට පස්සෙ පොලේ ගියා. ආපහු එනකොට අපේ නැන්දත් එක්ක බස් එකේ එක සීට්ටෙකේ තමයි උන්දැ වාඩිවෙලා ඉඳලත් තියෙන්නෙ. ඔය බස් එක පැයකට වඩා ඉස්ටෑං එකේ නවත්තල තියෙන ඩිංගට වඩේ, කඩල, ලමා පත්තර, සාර විට, ආදී නොයෙක් වෙලෙංදො බස් එකට නැගල වෙළඳං කොරනව. ඔය අස්සෙ කවි කොළ කාරයෙකුත් අර සිද්ධියට අදාල කවි කොලෙත් අරං බස් එකට නැගල ඉස්සරහ දොර හරියෙ ඉඳං උඩ පොල්ල අල්ලගෙන තනි අතින් කවි කොලේ දිගෑරගෙන කියනව මේං මෙහෙම

    “නෝනාවරුනි මහත්වරුනි, මුළු මහත් ධරනීතලයම කම්පා කරමින් කලවාන, කුකුළේගම නාරගල්පිටිය ගම්මානය හැඬවූ ඒ අනුවේදනීය කතා ප්‍රවුර්තිය අසන්න.“

    “දරු දෙදෙනෙක් සමගින් ඒ පියතුම“
    “මරුවගෙ තුරුලට ගිය අයියෝ“
    “අම්මට මේ ගැන කිසි ගානක් නැත“
    “වැදුවේ නැතිද උඹ මේ දරුවෝ“

    මේං මේ වෙලාවෙ මේ බස් එකේ අර කාන්තා රත්නය ඉන්නව කියල මේ අසරණ කයිකොළ කාරය දන්නවයැ. ඉතිං පිංවතුනි මේ ගෑනි වෙඩිල්ල වගේ නැගිටල හිස් ටිං බෙලෙක්ක රැසක් එක පැහැර නාද කරන්නාසේ අර කවිකොල කරුට මෙහෙම කියනව

    “කාපිය, කාපිය, විකුණගෙන ඕකත්“

    පස්සෙං පහු අපේ නැන්ද තමයි කවි කොළකාරයට කියා තියෙන්නෙ ඔය ඉන්නේ අසුවලා බව.

    ReplyDelete
    Replies
    1. කවී කොළ කාරයට වහ කන්න හිතෙන්න ඇති හිටං.

      Delete
    2. සුරංග,

      ෂෙහ්..නියමයි බං..උඹේ ලිවිල්ල මල් හතයි...මට අපෙ අත්තම්ම මතක් වුනා. උන්දැ නං ආය කවිකොල කියෙව්වෙ නෑ. උන්දැට මලපොතේ අකුරක් බෑ.කවි කොල එතනිං ගිහාම පොත් එහෙම උන්දැට ඇහෙන්ට කියෙව්වෙ මම. ඔය ආර්.එල්.ස්පිට්ල් මහත්තයගෙ වනකතා පොත් ඔක්කොම විඩෙං විඩේ මම කියෙව්ව උන්දැට ඇහෙන්ට.

      කෑගල්ලෙ අපෙ ගෙදර කුස්සියට යන්ට තිබ්බ දිග කොරිඩෝවෙ දෙපැත්තෙ තිබ්බ කුලුනකට හේත්තු වෙලා උන්දැ ඉන්නව කකුල් දෙකත් දිගඇරගෙන. මම එතනම බිම වාඩිවෙලා.

      බඩසයින් පීඩිතවූ දරුවන් කෙඳිරිගෑමට හෝ සවියක් නොමැතිව තැන තැන වැටී සිටිනු තවත් බලාසිටිය නොහැකිවූ ගෝඹිරා ඇණබා හුන් තැනින් නැඟිට ගල්ලෙනට සෙවණ දුන් කොහොඹ ගසෙහි පහත අතුපතරෙහි සඟවා තිබූ තම දුනු හී අතර ගත්තේය. බලනතලාව දෙසට වැටුණු අඩිපාර ආසන්නයේ වූ ගල්තලාව අසල දිගාවූ හඳුනා අමතා ඉන්පසු ඔහු කතාකලේ පහත් හඬිනි.

      " වරෙං හඳුනා...බකිනිහෙල පැත්තටවත් ගිහිල්ල බලන්ට. අද හෙට ගෝනෙක් මුවෙක්වත් තලාගන්ට බැරිවුනොත් මේ හීං එවුං විතරක් නෙවෙයි අපටත් මොනව වෙයිද මන්දා.."

      " යං මාමා. ....."

      පසළොස් හැවිරිදි හඳුනා තම සුදුවන් දසන් පෙන්වා සිනාසෙමින් නැඟිට්ටේය. වැද්දන් සිනාසෙම්න්නේ ඉතා කලාතුරකිනි. එහෙත් හඳුනා කුඩා කල සිටම නිතරම පසුවූයේ සිනාමුසු මුහුණිනි.මේකා අපේ එකෙක් නෙවෙයි වෙන්ට ඇති. මහලු කොම්බී එසේ පැවසුවේ වරක් දෙවරක් නොවේ. තම ආත්තම්මාගේ එබසටද හඳුනා කලේ සිනාසීම පමණකි.

      ඉතිං ඔය කොටස අත්තම්මට ඇහෙන්ට කියවල මම පොඩි පැහැදිලිකිරීමකුත් කරනව..

      " දන්නවද අත්තම්ම? වැද්දො හිනා වෙන්නෙ නැතිලු "

      " ආ එහෙමද? ඒ ඇයි කියල පොතේ කියල නැද්ද සුට්ටි පුතා? "අත්තම්ම අහනව.

      " තවමනම් එහෙම ඇයි කියල කියල තිබ්බෙ නෑ. අපි බලමු පස්සෙ සමහරවිට තියෙයි. "

      ( එහෙම කිව්වට මම දන්නව වැද්දො හිනාවෙන්නෙ නැත්තෙ ඇයි කියල පොතේ කොහෙවත් කියල නැති බව. මම මේ පොත කියවල ඇති තුන් හතර පාරකට වැඩිය. එහෙම කියල තියනවනං මම දන්නෙ නැද්ද? ...)

      " හරි ඉතිං අර කවුද අර දෙන්න......"අත්තම්මට ඉවසිල්ලක් නෑ කතාව අහගන්නකං...හෙහ්

      " මේ.. ගෝඹිරයි, හඳුනයිනෙ.."

      " අන්න හරි ඒ දෙන්න දඩයමේ ගියාද? "

      " ඉන්ටකො ඒ ටික මම මේ කියන්ටයි යන්නෙ."

      පලි - සුරංග ..මොකද කියන්නෙ?...සිතියම බ්ලොග් එකේම හරි කමක් නෑ ලියන්ට පටන් ගමු...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...