Thursday, February 28, 2013

165. ඝාතනයක් ඔස්සේ අතීතයට...මොරමළු, වැඩවර්ජන සහ වෙනත් වැල් වටාරං……


මේක මේ සතවර්ස වලින් කිව්වොත් කාලකට එහා පැත්තෙ වෙච්චි දෙයක්...මම ඒ කාලෙ වැඩ කරපු ආයතනයෙන් ඔන්න එක පාරටම ගහෙං ගෙඩි එන්නැහෙ කියාපි බොලාට බොලාගෙ රස්සාව හරියට කොරන විදිහ ගැන වැඩිදුර පුහුණුවක් දෙන්ටයි අපි මේ තනන්නෙ ඒ නිසාවෙන් ලෑස්ති වෙයල්ල ලබන සුමානෙ තුම්මාසෙක පුහුණුවකට යන්ට කියල.සේකියුලර් එක ආහම ඔන්න අපි දනිපනි ගාල ගිහිල්ල බැලුව නෝටිස් බෝට් එකේ. අපි හතර දෙනෙක් අපේ වැඩපලෙං තේරිලා...මයෙ නම තියනව මුලිම්ම... 

මයෙ ප්‍රාණ සම මිත්තරයත් තේරිල වැඩේට... කුමාර….එදා රෑ කෑම කන ගමන් කට්ටිය කතාව ඒ ගැන තමයි... 

" මොකක්ද බං මේ ලොක්ක අර කිව්ව කතාව?...රස්සාව හරිහැටි කරන්න පුහුණුවක් දෙන්නයි හදන්නෙ කිව්වෙ?..එතකොට මෙච්චර කල් අපි මේ රස්සාව කලේ වැරදි විදිහට කියලද ඒ කියන්නෙ?මට හිතෙනව මේක දමල ගහල නිකං ඉන්න….." 

අපෙ ඔය ලොක්ක හිටපු ගමං ඔය වගෙ කතා කියනව..සිරාද නිකං ජොලියටද කියල හිතාගන්නවත් බැරි සයිස් එකට... 

එක පාරක් ඔන්න දීප වියාප්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාසයට පත් කරල තිබ්බ එක් දින.....අපිටත් ඕකට සහබාගි වෙන්ටය කියල අපෙ වෘත්තීය සමිතියෙන් දන්නල තිබ්බ.සහබාගි වෙනවද නැද්ද කියල අපි හිටියෙ දෙගිඩියාවෙං මොකද ඔය වැඩ වර්ජන ගැන අපෙ ඒ තරම පැහැදීමක් තිබ්බෙ නෑ. ඔය අතරෙ අපෙ එකෙක් හිටිය ලොක්කට පේන්ට බැරි, වැඩක් බාර දුන්නොත් කවදාවත් හරියට කරන්නෙ නෑ ....ලෝක කම්මැලිය කියල ලොක්ක ඌට පළු යන්ට බැන බැන හිටියෙ. ඔන්න වැඩේ හැටි කියන්නෙ මේ මනුස්සය මූලිකත්වය ගත්ත මේ වැඩේට. වර්ජනේට සහබාගි වෙන්ටම ඕනමය කියල එක හෙලා කියා හිටිය...පොලවෙ පස් කෑව. අන්තිමට " ආ, එහෙනං උඹම ගිහිල්ල ලොක්කට කියාපංකො අපි හෙට වර්ජනේ කරනවයි කියල " එහෙම කියල අපි ඌව පිටත් කලා ලොක්කගෙ ගෙදරටම. 

ඔන්න මූත් ගියා " හා, මම කියන්නං මොකද එයාට බයේද?...වැඩ වර්ජනය කිරීම අපේ මූලික අයිතියක්… " ඔන්න ඔහොම කියව කියව... 

ඕන්න හැරෙන තැපෑලෙං මූ ආපහු ආපි ගියාට වැඩිය ඉක්මනට. " මොකද බං උනේ ?...උඹ කිව්වද? ලොක්ක මොකද කිව්වෙ?....." අපි ඇහුවට මූ නෝ කතා නෝ සිනා.කෙලින්ම කාමරේට ගිහිල්ල දොර වහ ගත්ත. ටික වෙලාවකිං උගෙ හොඳම යාලුව යවලයි අපි විස්තරේ දැන ගත්තෙ. හිනා වෙලා මැරුන අපි ඒක අහල. 

ඔන්න මු යනකොට ලොක්ක සාලෙ ඉඳගෙන ඉන්නවලු පත්තරේකුත් බල බල. මූ වීරය වගෙ ලඟටම ගෙහුං කිව්වලු " බොස් අපි හෙට ස්ට්‍රයික් කරන්නයි හිතාගෙන ඉන්නෙ " කියල.ලොක්ක පත්තරේ පැත්තක තියල කන්නාඩිය එහෙම පාත් කරල මූ දිහා බලාගෙන හිටියලු ටික වෙලාවක්. " මචං....ලොක්කගෙ ඒ බැලිල්ල තමයි බං කාල ඉන්ට බැරි. අන්තිම නෝන්ඩි විදිහට මයෙ දිහා බැලුවෙ. " ඌ ඔය කතාව කියපු උගෙ යාලුව එක්ක කියල තියනව. රයිට්. ලොක්ක ඊලඟට කියපු ටික කියන්ට ඌට දෙන්ට වෙනව නමක්. හරි අපි කියමු මහින්ද කියල... 

ලොක්ක කණ්ණාඩිය උඩිං මූ දිහා බලාගෙන ඉඳල කට කොනකිං හිනා උනාලු.ලොක්කගෙ තියනව එහෙම හිනාවක්. ආය හොදි ඕන නෑ... 

" ආ, මහින්ද....ඇත්තෙයි මහින්ද?....හෙට ඉඳල වර්ජනේ කරන්ටද යන්නෙ...ආ, හොඳා හොඳා..බොහොම හොඳා..ඒත් මහින්දට කියන්ට මහින්ද මම මේ වෙනකල් හිතාගෙන හිටියෙ මහින්ද මේ ඔෆිස් එකට ආපු දවසෙ ඉඳලම වැඩ වර්ජනය කරලයි ඉන්නෙ කියල...." 

කොහොමද අපෙ ලොක්ක?...එල පවුසි නේද? 

මහින්දට ඊට පස්සෙ ලොක්කගෙ නම කිව්වත් ඇති දත්කූරු කන්නෙ බර බර ගාල…. 

හරි ඒ ලොක්කගෙ කතා මදෑ ….ආයෙම අර අපෙ පුහුණු කේස් එකට...ඉතිං මගෙ යාලුව...උගෙ නම කුමාර....එහෙම කිව්වනෙ...ලොක්ක මොකක්ද ඒ කියපු කතාව මට නං යන්ට හිතෙන්නෙත් නෑ ඔය කෝස් එකට අරකද මේකද කියල. 

මම කිව්ව " යකෝ පිස්සු නොකෙල යමං ..මොර මල්ලකුත් හම්බ වෙන එකේ..කොළඹ පැත්තෙ මාස තුනක් ඉඳල ඔය කෙල්ලෙක් දෙන්නෙකුට පාණියක් කාරිය දාල එමු " කියල. මොර මල්ල කියල අපි ඒ දවස්වල හැඳින්නුවෙ හදිසි ධන ලාභ, ඔය මේ ලොතරැයි වගෙ එව්ව නම් නෙවෙයි . එව්ව කොහෙද අපිට ඇදෙන්නෙ....මම හිතන්නෙ මම දැනට අරගෙන ඇති මතක ඇති කාලෙක ඉඳල ලස්සම දෙහෙකට කිට්ටු වෙන්ට රුපියල් වලිං ටිකට්..ලොකුම ගාන කීයද දන්නවද ඇදිල තියෙන?...පන්දාහයි..පන්දාහයි...ඒකත් ඇදුනට වඩා හොඳයි අනෙ අම්මප....අතිං කාල හරක් බලන වැඩක් ඔන්න මට උනේ.ඕක උනේ අපි බැඳපු අලුත. නුවර ගිය වෙලාවක මාකට් එක ඉස්සරහ ලොතරැයි පලෙං ඔන්න මාස ගානක ටිකට් බැලුව ඇදිලද කියල එකිං එක,.....හප්පා. එතන ටිකට් වල නොම්බර බලන එකත් එක විදිහක යුද්දයක්...පොරකන්ඩ ඕන ඒකටත්. 

ඔන්න මා ළඟ තිබ්බ එක ටිකට් එහෙකට ඇදිල තිබ්බ එදා පංදහක්..අම්මප මට විස්වාස කරන්ටත් බෑ..ඒ වගෙ ගානක් ඔය මට ඇදුනමයි.ඒ දවස්වල පංදාහ කියන්නෙ සෑහෙන ගානක්. ටිකට් එක පෙන්නුවම ඔන්න එතන එලවුන්ස් කරන පොරක් ඉන්නවනෙ මයික් එක කටේ ගහගත්තු ගමං. ඕං ඌ ලෑස්ති වෙච්චි අර නුවර ටවුමෙ දෙනෝ දහක් මැද ගිණි මද්දහනෙ මගෙ විස්තර කියන්ට. හතර විළි ලැජ්ජාවෙ පස්වෙනි එක. මේ ඕයි වචනයක් වත් කියනව එහෙම නෙමෙයි ඔන්න. තොගෙ බෙල්ලත් මිරිකල මගෙ බෙල්ලත් මිරිකගෙන මම මැරෙනව මෙතනම නොකිව්වයි කියනට එපා ඔන්න..ඔන්න ඔහොම කියල තර්ජනේ කරල තමයි යන්තම් ඒ විකාරෙ නවත්ත ගත්තෙ. 

ඔන්න යන්තං වදෙං පොරෙං පන්දාහත් අරගෙන එතනිං සේප් උනයි කියමුකො.ඔන්න දැං අපි දෙන්න යනව දළඳා වීදිය දිගේ උඩහට. ඔය දවස්වල මම ෆ්‍රිජ් එකක් අරගෙන තිබ්බ සිංගර් එකෙං වාරික දහයකිං ගෙවන්ට. පොඩි පොළියකුත් ගෙවන්ට වෙනව ඒකට. ඔය නිසා මම හිතාගෙන හිටියෙ මේ නොහිතූ වීරූ හදිසි දන ලාබෙං දෙයියනේ කියල ඒ ලෝං එක ගෙවල හිට අහවරයක් කරල දාන්ට. ඒකත් හිතට එක නිදහසක් නෙව. 

" මේ ඒයි....." 

ඒ අපේ උන්දැ… 

" යස් මැඩම් ….මොකද? " 

" දැං මොකද ඔය පන්දාහට කරන්න හිතාගෙන ඉන්නෙ?...." 

" ඇයි එහෙම අහන්නෙ?..." 

මට ඇල්ලුවෙ නෑ මේ එන පිළිවෙල… 

" මම හිතුවෙ අර ෆ්‍රිජ් එකේ අපි ගෙවන්ට ඕන සල්ලි ටික ගෙවල ඉවරයක් කරල දාන්ට එතකොට ඒක ඉවරයිනෙ. " 

" හ්ම්ම්ම්ම්...එහෙමද?....." 

ඔන්න ඊට පස් සෙ මෞන ව්‍රතය රකිමින් ගෙවුන විනාඩි පහක් හයක් තරම... 

" එහෙම නෙවෙයි ඒයි…" 

ඔන්න ආයෙමත් ඒ විඩේ සද්දෙ බොහොම අඩු කරල... 

" එහෙනං කොහොමද ඒයි?....." 

මමත් ඒ විදිහටම ඇහුව රහසක් කියනව වගේ. 

" විහිළු නෙවෙයි ඒයි...අපි මෙහෙම කරමු…" 

මම මොකවත්ම කිව්වෙ නෑ. උන්දැගෙ ඔය අයිඩියාස් ගැන බොහොම හොඳට දන්න නිසා මම වචනයක් වත් කිව්වෙ නෑ.මම මොකවත් කිව්වය නැතුවය කියල එයයිට ගානක් නෑ.කතා කරගෙන ගියා එක දිගටම. 

" ගිය සුමානෙ ස්වර්ණ මහල් එකේ මම දැක්ක හරිම ලස්සන බ්‍රේස්ලට් එකක්.මෙ සල්ලි අපිට නොහිතපු වෙලාවකනෙ මේ හම්බ උනේ. කොහොමත් ෆ්‍රිජ් එකට අපි හිතාගෙන හිටියෙ ඔයාගෙ පඩියෙං වාරික විදිහට ගෙවන්ටනෙ. ඒක ඒ විදිහට කරමු. මේ හම්බ උන සල්ලි වලින් අර බ්‍රේස්ලට් එක ගම්මු.ඒක කොහොමත් ඉතිරියක්නෙ. " 

ඔයයිගෙ තර්ක ඔහොම්මම තමා. ආය එව්ව බිඳින්ට ලේසි නෑ. බොහොම තර්කානුකූලව තමයි අදහස් ඉදිරිපත් කරන්නෙ.මමත් ඉතිං කම්පනා කලා. ඇත්ත තමයි මුන්දැ කියන කතාව. මේ හදිසි ධනලාභෙන් අර ණය ගෙව්වොත් ඒක එතනිං ඉවරයි. ඒත් ඔය මොනවහරි රත්තරං බඩුවක් ගත්තොත් දෙයියනේ කියල ඒක ඉතුරුවක්. අතේ සතේ නැතුව හිඳිලම ගිය වෙලාවට බැංකුවෙ තියන්ඩ හරි බැරුවය.... 

" හා එහෙනං යමුකො...." 

මම කිව්වා… 

අම්මද බොල බලන්ට එපාය හිනාව. වොට් දාහෙ බලුප් එකක් පත්තු කලා වගෙ... 

" ආ..මිස් එන්න එන්න….." 

සාප්පුවෙ හිටපු කොලුව අපෙ උන්දැව පිළිගත්තෙ කාලෙකට පස්සෙ  නෑනව දැක්ක මස්සිනා වාගෙ. 

" හරි වැඩේනෙ මිස් ..එදා මිස් බලපු බ්‍රේස්ලට් එක නම් දැන් නෑ. ඒත් මේ ඊටත් වඩා ලස්සන තව බැච් එකක් ආව...." 

ඔන්න වීදුරු පෙට්ටිය ඇරිල මෙරූන් පාට විල්ලූද පෙට්ටිය එළියට ආව.බ්‍රේස්ලට් එකින් එක ඒකෙ පිළිවෙලට අඩුක් කරල.. 

" අනේ ඒයි ....මේක ලස්සනයි නේද? " 

" හ්ම්ම්ම්...කොච්චරක් වෙනවද ඕක?..." 

ඒකනෙ වැදගත් ප්‍රශ්නෙ... 

කඩේ එකා බ්‍රේස්ලට් එකේ එල්ලල තිබ්බ ලේබල් එකක් හරවල බලල කැල් එකක් අරගෙන ඔබන්ට පටං ගත්ත. 

" මිස් මේක රුපියක් අටදාස් හාරසීයක් වෙනව. " 

හප්පච්චියෙ ඉතිං මොකේද දං වළඳන්නෙ?...හදිසි ධන ලාභය ඔක්කොමත් රුපියල් පන්දාහයි. 

" ආයෙම ටිකට් එකක් ඇදෙනකල් ඉන්න තමයි වෙන්නෙ. " 

එලියට බැහැල මම කිව.. 

" හ්ම්ම්ම්.... " 

එයා කිව්ව අහක බලාගෙනම… 

" මේ ඕක දැං ඕනමද?....." 

මම එතනම නැවතිලා ඇහුව. එයා යන්තමට හිනා උනා.. 

" ඉතිං ඒ උනාට සල්ලි නෑනෙ.......නේද? " 

" මගෙ පොතේ සල්ලි ටිකක් ඇති. ඕනම නම් ඒකෙං ඉතුරු ගාන අරගෙන ගමු…" 

" හා........" 

එයාට හිනාගියා. 

" ඒත්....ඒ ටික අරගෙන කමක් නැද්ද?....එච්චරම නේද තියෙන්නෙ හදිස්සියකටවත්…" 

" කමක් නෑ. මේකත් හදිස්සියක් තමයි...." 

පන්දාහක් ඇදිල අතිං කාල හරක් බලන වැඩක් මට උනේ කියල මම කලින්ම කිව්වෙ ඒකයි. මොර මලු ගැන කියන්ට ගිහිල්ලනෙ මේ රටේ නැති හෑලි කියන්ට උනේ...හරි ආයෙම මොර මලු ගැන. මොර මල්ලක් හම්බ වෙනව කියල අපි ඒ දවස්වල කිව්වෙ හදිසි ධන ලාභ වලට. අපේ ඔය වාර්ෂික වැටුප් වර්ධක එහෙම එන්නෙ අවුරුද්දකට විතර පස්සෙ ඒකත් හෙඩ් ඔෆිස් එකට ලියුම් තුන හතරක් යැව්වට පස් සෙං පහු. හැබැයි වර්ධකේ අනුමත වෙල ආහම ඇරියසුත් එක්ක හම්බ වෙනව. එහෙම එව්වට තමයි අපි කිව්වෙ මොර මළු කියල. මේ කෝස් රාජයා කොරන කොට කොළඹ නැවතිලා ඉන්ට වෙන නිසා ඒ සම්පූර්ණ කාලසීමාවටම ගෙව්ව අපිට යැපීම් දීමනා..සබ්සිස්ටන්ස් නොහොත් පරණ ව්‍යාවහාරයෙ හැටියට ඒකට කිව්වෙ බටා..ඒකයි මම අර කලින් කිව්වෙ මොර මල්ලක් හම්බ වෙනව කියල මේ වැඩේට කියල...හෙහ්, හෙහ්, 

ඉතිං ඔන්න මමයි කුමාරයි ඔන්න ආව කොලඹ අර පාඨමාලාවට. පැවැත්වුනේ රත්මලාන කාර්මික විද්‍යාලයෙ. ඉදිකිරීම් පුහුණු සහ සංවර්ධන ආයතනය තමයි පාඨමාලාව සංවිධානය කලේ.කුමාරගෙ නැන්දල කට්ටියක් ඉන්නව බොරලැස්ගමුව කිට්ටුව. මිනිහයි මායි එහෙ නැවතුනා. රත්මලානට යන්ටත් ලේසියි නෙව. දෙහිවල හන්දියට විනාඩි විස්සයි . එතන ඉඳල රත්මලානට ඒත් තව විනාඩි පහළවයි. 

මාසයක් විතර කෝස් එක කරගෙන යද්දි අපිට ආරංචියක් ආව ඔන්න අපේ යාලුවෙකුගෙ තාත්ත නැතිවෙලයි කියල. මලගෙදර ඇවිදිල්ල හිට පොතුහැර. දන්නවනෙ නේද?.කුරුණෑගලයි පොල්ගහ වෙලයි අතර මැද්දෑවෙ.ඔන්න එක දවසක් නිවාඩු ඉල්ලගෙන අපි දෙන්න ඒ කිව්වෙ කුමාරයි මායි ගියා මලගෙදරට සහබාගි වෙන්ට. කුරුණෑගල පොල්ගහවෙල පාරෙනුත් හැරිල තව කිලෝ මීටරයක් තරම යන්ට ඕන ගම මැදට. දවල්ට එහෙම්ම කාල ඔන්න අපි දෙන්න ආව පාරට අපහු කොලඹ එන්ට. 

පාර අයිනෙ බස් හෝල්ට් එක කිට්ටුවම තියනව තේ කඩයක්, අපි දෙන්න බලාගෙන හිටිය කඩේ මොකක් හරි කලබලයක්. කුරුණෑගල් පැත්තට යන බස් වලින් බහින අයත් ඔන්න කඩේට ගොඩ වෙනව. මිනිස්සු කාණ්ඩ ගැහිල බොහොම කලබලෙං මොනවද කතා කරනව. 

" ඒයි මොකක්ද කේස් එකක් වගෙ. " 

ඔය භීෂණය පටන් ගත්තුම කාලෙ වගෙ.එහෙම් මෙහෙන් ඝාතනයක් දෙකක් උනා විතරයි. පූර්ණ භීෂණය පටන් ගත්තෙ තව පහුවෙලා. ඒත් හිතේ සැකේ නිසා අපි කඩේ ගාවට කිට්ටු කලා. 

" මේ... මොකද වෙලා තියෙන්නෙ? " 

අපි ඇහුව එතන හිටපු අපේ වයසෙ වගෙ එකෙක්ගෙං 

" විජයට වෙඩි තියල....." 

" නෑහ්!!!!!!..." 

" අද දවල්......දැං ඔය රේඩියෝ එකේ කියන්නෙ……" 

විජය කුමාරණතුංග.....මම මුලින්ම බලපු විජයගෙ චිත්‍රපටය තුෂාරා....ඒත් මට හොඳින්ම මතක තියෙන්නෙ වසන්ත ඔබේසේකරගෙ දියමන්ති..ඊට පස්සෙ බඹරු ඇවිත් පාර දිගේ .... 

විජය දේශපාලනයට එකතු උනාම මුලින්ම මගෙ හිතේ ඇති උනෙ සතුටක්. විජය යාපනේ ගිහිල්ල එල්.ටී.ටී.ඊ. නායකයො එක්ක සාකච්ඡා කරපු වෙලාවෙ ඒ සතුට ගෞරවයකට හැරුනා. ඒ දවස්වල තිබ්බ යුදමය වතාවරණය පසුබිමේ විජය කරපු ඒ වැඩේ මගෙ යාලුවො අතර කොහොමවත්ම ජනප්‍රිය උනේ නෑ. විජය වෙනුවෙන් කතාකරපු මම ජනප්‍රිය උනෙත් නෑ කියල අමුතුවෙන් කියන්ට දෙයක් නෑනෙ නේද?...විරුද්ධ මතයක් ඉවසා දරාගන්ට කොහෙත්ම හැකියාවක් නොතිබ්බ මගෙ සමහර සඟයො නිසා විශේෂයෙන්ම මත්පැන් සාද වගෙ අවස්ථාවල ඔය ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් මම වැළකිල ඉන්ට පුරුදු උනා පහු වෙනකොට. විජය කරපු ඒ වැඩේ අල්ලල ගියේ මම හිතන්නෙ මටත් වැඩිය මා තුල හැංගිලා හිටපු සම්මතයට විරුද්ධව උඩු ගං බලායන්නට කොයි වෙලෙත් සැදී පැහැදී උන්නු රැඩිකල් මත ධාරියාට.... 

එක්සත් ජාතික පක්ෂයෙ දුර්දාන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ගැන අප්‍රසාදයෙන් ඒ වගේම විපක්ෂයේ අකර්මන්‍යතාවය ගැන කලකිරීමෙන් හිටපු මම වගෙ අයට විජයගෙ ආගමනය ලොකුම ආශ්වාදයක් උනා කිව්වොත් වැරදි නැහැ මම හිතන්නෙ. 

එදා බස් එකේ කොළඹ එද්දි හැමෝම වගෙ කතාව ඒ ගැන. දවස් දෙහෙකට විතර පස්සෙ කුමාරයි මමයි පොල්හේන්ගොඩ මලගෙදරත් ගියා. ඒ භීෂණ සමයෙ නිරපරාදෙ ඝාතනය කරපු සිය දහසක් දෙනා අතරින් විජය එක් පුද්ගලයෙක් පමණද? නැත්නම් ඔහු ජීවත්ව හිටියනම් ලංකාවෙ අනාගතයෙ යම් වෙනසක් කිරීමට ශක්තියක්, උවමනාවක් සහ හැකියාවක් තිබූ මහා පුරුෂයෙක්ද?..මෙව්ව උත්තර නැති ප්‍රශ්න.අපිට උපකල්පනයක්, අනුමානයක් කරන්න විතරයි පුලුවන්. 

අනික් අතට විජය ඒ විදිහට ඝාතනය නොවී රටේ නායකය උනා නම් සමහරවිට ඔහු ගැන අපිට අද කතාකරන්න වෙන්නෙ වෙනම දෘෂ්ඨි කෝණයකින් බලල වෙන්නත් බොහොම ඉඩ කඩ තියනව. මොකද අපි දාහක් බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිස්සු/ගෑණු අන්තිමට ඒ බලාපොරොත්තු විනාස කරල දැම්මෙ මත් ගජිඳෙකුගේ පයට පෑගුණු මකුළු හුයක් වගේ නිසා. ආය වැඩිදුර යන්න ඕන නෑ..විජයගෙ ප්‍රියම්බිකාව...චන්ද්‍රිකා තමයි හොඳම උදාහරණය. 

නමසිය අනූ හතරෙ ජනාධිපතිවරණෙට චන්ද්‍රිකා ඉදිරිපත් උනාම අපේ සගයො බහුතරයක් ( උං ප්‍රබල යූ.ඇන්. පී. කාරයො ) චන්ද්‍රිකාට කිව්වෙ විස්කි මැඩම් කියල. රටේ ඒ දවස්වල පැතිරිච්ච මතයක් චන්ද්‍රිකාට විස්කි නැතුවම බෑ කියල. 

" මචං උඹ දන්නවද?...චන්ද්‍රිකා දවසට විස්කි බෝතලයක් ගහනවලු තනියම….." 

එහෙම කිව්වෙ ඔය දවස්වල කොළපාට ෂර්ට් එක බුදියනකොටවත් ගැලෙව්වෙ නැති මගෙ යාලුවෙක්... 

" ඉතිං බලාපං..මේ උඹල අපි ගල් කාලක් ගැහුව ගමං ඔළුව සාක්කුවෙ. ඒ මනුස්සය දවසට විස්කි බෝතලයක් ගහල කෙලින් ඉන්නව කියන්නෙ නම් බාං ජනාදිපති කමට හරියන්නෙ එවුන්දැම තමයි....." 

ප්‍රතිරූප වන්දනාව අතෑරගන්ටම බැරි අපිට හොඳම පාඩමක් නොමිලෙම කියල දීල චන්ද්‍රිකාවෝ අවුරුදු දොළහකට පස්සෙ ගෙදර ගියා. 

මේ මතක මංපෙත ඔස්සේ අතීතයට යන්ට සිද්ද උනේ පහුගිය පෙබරවාරි 16 වෙනිදට විජය ඝාතනය කරල අවුරුදු 25 ක් සම්පූර්ණ වෙච්චි නිසාවෙන්. විජය නිසා මතක සැමරුම් පටන් ගත්තට ලියල ඉවරවෙලා බැලින්නං වැඩිහරියක් මාතිං ලියවිලා තියෙන්නෙ වෙන අනං මනං වැල් වටාරං...හෙහ්, හෙහ්, මක්කොරන්නෙයි ඉතිං ..එව්වයෙ හැටි එහෙම තමයි.....හෙහ්, හෙහ්, 

Tuesday, February 26, 2013

164. අසුරු සැණින් පාදස්ථලවල වඩා හිඳුවන්නෝ ද එලෙසම ඊටත් වඩා විගසින් බිමට ඇද දමන්නෝ ද ඔවුහුමය. From the top of the pedestal to the dusty earth in just four sentences.


මගෙ ජීවිතේට මම හීනෙං වත් හිතුවෙ නෑ මෙහෙම වියුණු සටහනක් ලියන්ට වෙයි කියල.ඒත් හැමදාමත් වෙනව වගෙ සිතුදේ නොම වේ නොසිතු දෙයක් වේ..හෙහ්, හෙහ්, 

ප්‍රභාකරන්ගෙ බාල පුතා බාලචන්ද්‍රන්ගෙ ඡායාරූප කියල කීපයක් පහුගිය දවස්වල ප්‍රසිද්ධ උනා. මුල් ඡායාරූපවල ඒ දරුවා විස්කෝතු කමින් ඉන්නව සහ අවසාන ඡායාරූපයෙ වෙඩි පහරවල් කීපයක් සහිතව මැරිල ඉන්නව. මේ ඡායාරූප ඇත්තද එහෙම නැත්නම් නිර්මාණය කරපු එව්වද? එතකොට ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ ලංකාවට උත්තර බඳින්න වෙලා තියන අල්ල පනල්ලෙ මෙව්ව එලියට ආවෙ ඇයි කියන ප්‍රශ්න ගැන මම කතා කරන්නෙ නෑ. ඒ ගැන මගේ මතයක් තියනව. ඒත් මේ කතාකරන්න යන දේට එව්ව කොහොමවත් අදාල වෙන්නෙ නෑ. 

මම කතාකරන්න යන්නෙ ඊට පස්සෙ ඒ සිද්ධිය ගැන මාරයා ලියාපු පෝස්ට් එහෙකට ඇල්කෙමියා ලියාපු කමෙන්ට් එකක් සම්බන්ධව ඇති වෙලා තියන හෙයියම්මාරුව ගැන. 

“කියන්න වදන් නෑ… සහතික ඇත්ත….වඳ පීදිච්ච කෙහෙල් ගහක් ගලවනකොට වටේ ඉන්න මොටෙයියොත් ගලවන්නෙ ඒවා ලොකු වුනත් හැදෙන ගස් වඳ පීදෙන නිසා….මම දන්නෙ එච්චරයි.”. 

ඔන්න ඔහොමයි ඇල්ගෙ කමෙන්ට් එක. දැං වෙලාතියෙන්නෙ නියම ආතල් වැඩක්. අන්න ඒ වාක්‍ය හතරෙ කමෙන්ට් එක ගැන වචන දෙතුං දාහක බ්ලොග් පෝස්ට් එකක්ම ලියල උත්තර බඳින්න වෙලා ඇල්කෙමියට. කට්ටිය හිටු කියල නෙලනව ඇල්ට…. ඔයා හරිම නරකයි ඇල්...අපි ඔයා ගැන හිතාගෙන හිටියෙ ඔහොම නෙවෙයි. ඔබ වනාහී සුවඳ විහිදෙන රෝස කුසුමකි. අඳුර දුරලන තාරුකාවකි. අරකද මේකද රටේ නැති එව්ව... 

දැන් පොඩ්ඩක් හිතල බලන්න මෙතන තියෙන්නෙ ත්‍රස්තවාදය නෙවෙයිද කියල....ත්‍රස්තවාදය කියන්නෙ තුවක්කුවක් ඔලුවට තියල උඹ අරම කරපං නැත්තං අපි/මම මෙහෙම කරනව කියල කියන එකම නෙවෙයි. 

" උඹ ලියපුව ඉල්ලා අස්කරගනිං... නැත්තං මම / අපි උඹව නංවල තියන පරමාදර්ශී මහා පුරුෂ තනතුරෙං වහාම ක්‍රියාත්මක වන පරිදි අයිං කරල දානව…" 

අන්න එහෙමයි වැඩේ වෙන්නෙ...ඔහොම කෙලින්ම කියන්නෙ නෑ. ඒත් හැඟවෙන්නෙ ඕකයි. 

මහත්මා ගාන්ධි කලෙත් ඕකම නේද?....එතුමා අනුගමනය කලේ අවිහිංසා ත්‍රස්තවාදය...උඹල මෙහෙම කලේ නැත්නම් , මම කියන විදිහට මෙව්ව මෙව්ව මේ විදිහට කලේ නැත්නම් මම නොකා නොබී ඉඳල මැරෙනව.ඔය අවිහිංසා ත්‍රස්තවාදය භයානකයි කෙලින්ම ඩිරෙක්ට් ත්‍රස්තවාදයට වඩා. ඩිරෙක්ට් ත්‍රස්තවාදයෙදි ත්‍රස්තවාදියගෙ ඉල්ලීම් ඉටු කලේ නැත්නම් සමහරවිට වෙඩි තියල අපිව මරල දායි. එතනිං වැඩේ ඉවරයි. ඒත් අවිහිංසා ත්‍රස්තවාදයෙදි වැඩේ ඊට වැඩිය බොහොමත්ම සීරියස්. රයිට්, ඔන්න මෙහෙම හිතන්න...ඉල්ලීම් දෙන්නෙ නැතුව අර මනුස්සය නොකා නොබී ඉඳල මැරුණයි කියමු. අප්පට සිරි...අපිත් ඒ එක්කම මලා නම් දාහෙං සම්පතයි කියල හිතෙයි ඔන්න. මොකද අර රටක් වටින මනුස්සය මලේ තමුසෙ මේ ඉල්ලීම් නොදුන්න නිසාය. උඹ අන්තිම අසප්පුරුස මිනිස්මරුවෙක්ය ( මිනීමරුව කියන වචනෙ වැරදියි. මිනිස්මරුවයි කියල යෙදුවෙ ඒ හින්දයි ) කියල රටේම ඉන්න කොල්ලොයි බල්ලොයි ඔක්කොම ඇඟට ගොඩ වෙන්නෙ නැද්ද බලන්න..මොනවද ඔට්ටු? 

ඔය කොල්ලො කෙල්ලංගෙ ලව් හුරස් පරස් වලදි අම්මල තාත්තල කියන්නෙ අනේ දුවේ ..නැත්නං මයෙ පුතේ උඹ ඔය කටයුත්ත කොරගත්තොත් මම වහ බොනව, එල්ලිල මැරෙනව ඔන්න ඔහොම..ඒත් ඔය ත්‍රස්තවාදයෙම එක පිලිබිඹුවක්ම තමයි. ගාන්ධි කලෙත් ඒක, අර පේම පලහිලව් වලදි අම්ම තාත්ත කරන්නෙත් ඒක, මෙතන මේ කට්ටිය කරන්නෙත් ඒක. තමන් ගොඩ නඟා ගත්තු යම් සිවිල් බලයක් සමාජ පිළිගැනීමක් තියනවනම් ඒක යොදවල කෙනෙක් ලවා තමන් අකමැති දෙයක් බලෙන් කරවීම. 

මට තේරෙන්නෙම නැත්තෙ තව කෙනෙක්ගෙ තමන්ගෙ මතයට විරුද්ධ මතයක් දැරීමේ අයිතියට ගරු කරන්න ඇයි මෙච්චරම අමාරු කියල. අන්තවාදයට විරුද්ධයි කියල අඬබෙර ගහන මිනිස්සුම තමයි බලාගෙන ගිහාම මේ අවිචාරශීලී වැඩේ වැඩිපුරම කරන්නෙ..අන්න ඒකයි මට කණගාටු..... 

මේ ඔක්කොටම මුල මට හිතෙන්නෙ ප්‍රතිරූප හදා ගැනිල්ල. එහෙම කරන එකේ අවුලක් නෑ. වියුණුවක් ලියන කෙනෙක් ලියන දේවල් අනුව අපේ හිතේ ඉබේම එහෙම චිත්‍රයක්, පිළිරුවක්,ඇඳෙනව තමයි. ඒකෙ අවුලක් නෑ. ඒත් වැඩේ ඕනවට වඩා දුර දිග ගෙනිච්චොත් ඔන්න කේස්. විශේෂයෙන්ම පාදස්ථල හදල එව්ව උඩට නංගවන්න ලෑස්ති උනොත් ඔන්න වැඩේ කිරිමෙල්.එහෙම උනාම එදා ඉඳල අපිට අමතක වෙනව බ්ලොග් ලියන්නෙ සාමාන්‍ය අපි වගේම මනුස්සයෙක්ය කියන එක. මොකද ප්‍රතිරූපය ලියන එව්ව කියවන්නයි අපි බලාගෙන ඉන්නෙ. අනික් එක ඒ ප්‍රතිරූපය ලියන්න ඕන අපිට ඕන විදිහට විතරයි. සුට්ටක්වත් රෝං ගියොත් කැති පොලු අරගෙන එන්නෙ දෙඤ්ඤං උඹට බැටේ කියල හුහ්, බලාපල්ල මේකා කියන එව්ව..මූට වටිනවද මෙහෙම කතා කියන්න..ඔහොම නෙවෙයි මෙහෙමනෙ කියන්න ඕන..හිටු තෝ කකුල් කෙටි දෙකෙන් අල්ලල පරසක්වල ගහන්ට...ආන්න නිදහස් මතධාරීන්ගෙ ක්‍රියා පිලිවෙල... 

අපේ රටේ තියෙන්නෙ අන්ත පසුගාමී අන්තිම ගෝත්‍රික සමාජයක්ය කියන එක ආයෙම පාරක් ඔප්පු කලේ අන්තවාදීන් කියල හංවඩු ගැහිච්ච අය නෙවෙයි අන්තවාදයට විරුද්ධ ලිබරල්වාදියොයි කියල කියාගන්න අය වෙච්චි එකයි මට තියෙන ලොකුම කණගාටුව... 

අඳුරු බිම්ගෙය කෙළවර ඉතා කුඩා ආලෝකයක් හෝ දක්නට නැත!!! 

“If everyone is thinking alike, then no one is thinking.” ― Benjamin Franklin 

Freedom is always, and exclusively, freedom for the one who thinks differently.” ― Rosa Luxemburg 

“In a number of cases dissenting opinions have in time become the law” - Charles Evans Hughes quotes (American Jurist and Statesman. 1862-1948) 

Wednesday, February 20, 2013

163. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....33


ගෙපැල පසුපස වන බූටෑවේ මධ්‍යයට ආසන්නයේ වර්ධනය වී පළාතක් ආවරණය කල රූස්ස නුග ගහ සෙවණේ ඇණ තබා හිඳගෙන සිටි දඩයක්කාරයාගේ දෑස පියවී තිබිණි. එහෙත් ඔහු නිද්‍රාවෙහි ගැලී සිටියේද නැතහොත් දිවා කාලයෙහි බොහෝ කොට ගත කිරීමට ඔහු ඉතාම ප්‍රිය කල මනෝ රාජික සිහින දකිමින් නිද්‍රාවත් අවදියත් අතර වූ මායිම් සීමාවන් එක් වරම පැහැදිළිව හඳුනා ගත නොහැකි අවස්ථාවක ගත කරනුයේද යන්න අවම වශයෙන් ඔහු හෝ දැන සිටියා ද යන්න කිසිවෙකු නොදන්නා කරුණෙකි. 

ඔහුගේ නැවුණු දෙදණ මත රැඳවුනු දෑත ඉදිරියට දිගුවී ඇඟිලි පහලට එල්ලි තිබිණි. ඝනව වැඩී හැඩපළු ගෙතී දෙවුර අඩකට අධික ප්‍රමාණයක් වසා පැතිරුනු තඹවන් පැහැගැණුනු කෙස් කළඹින් කෙස් රොදක් හෝ දෙකක් නුග ගස වසා මධ්‍යාහ්නයේ පවා දුරුව නොයා පැතිර පවත්නා මඳ අඳුර විනිවිද හමා පැමිණි සුළඟ කරන කොටගෙන ඉපිලී ගියද යළි ආපසු දෙවුර මතටම පතිත විය. 

ඔහුට ඉතා ආසන්න වූවකුට යම් නොපැහැදිලි අව්‍යාක්ත වදන් කිහිපයක් නොනවත්වා පහත් ස්වරයෙන් මඳ වශයෙන් විවරවූ සිහින් තොල් අතරින් පිටවනු ඇසිය හැකි වුවද මේ ප්‍රස්ථුත මොහොතේ ඒ මිමිණීම ඇසීමට ප්‍රමාණවත් පමණ ආසන්නයේ සිටියේ දිවා කල දැඩි හිරු රශ්මියෙන් මිදෙනු වස් ආවරණයක් සොයා නුග සෙවණට ක්‍රමයෙන් ලඟා වෙමින් සිටි තලගොයින් යුවලක් පමණකි. 

වසරකට ආසන්න කාලයකට පෙර මවිසින් දඩයක්කාරයාගේ කතාව අරඹන ලද්දේ ඉහත අයුරිනි. ඒ දඩයක්කාරයා තම ගෙපැල අසල වූ වනස්පතිය සෙවෙණෙහි ඇණ තබාගත්වනම හිඳිනා අයුරු ඔබට විස්තර කිරීමෙනි. 

එතැන්සිට දඩයක්කාරයාගේ අතීත කථාව මම වසරක් පුරා ඔබට පැවසුවෙමි. නැවත අවසානයේ වසරක් ඉක්ම ගිය පසු ප්‍රිය සහෘදය/සහෘදිනිය අප , ඔබ සහ මම නැවත වනස්පතිය සෙවණට සැපත්ව සිටින්නෙමු.ඉදින් දඩයක්කාරයාගේ කථාව නිමා කිරීමට මේ කාලයයි..නැත, සත්‍යය වශයෙන්ම මේ කථාව නිමා කලයුතු අවධිය ඉකුත්වී ඇති බව මම හොඳින්ම දන්නෙමි. නොයෙකුත් කරුණු කාරණා හේතු කොටගෙන එසේ අවසන් කිරීමට මම අපොහොසත් වීමි. වන්නාටය. මෙතෙක් දඩයක්කාරයා සහ මා සමඟ මෙදුර පැමිණියා වූ ඔබ සැම ඔහුගේ කථාවෙහි අවසානය තෙක් රැඳී හිඳිනු ඇතැයි උදක්ම අපේක්ෂා කර සිටිමි. 

හිටිපියම නතරව මොහොතක් දඩයක්කාරයා දෙස දෑස් විදහා බලාහුන් තලගොයිහු ඔහු කෙරෙන් භීතියට පත් විය යුතු කිසිදු අන්තරායක යටත් පිරිසෙයින් නාම මාත්‍ර සළකුණකුදු නොදුටුවෝ යලි හිස් පොළවට නමා ගත්තෝ සිය ද්විත්ව විභේදිත ජිහ්වයන් වරින් වර දිගු කෙරෙමින් හාත්පස පරිසරය කෙරෙහි දැඩි අවධානයෙන් යුක්තව ගොදුරු සොයමින් වනස්පතිය සෙවණට වැද අන්තර්ධාන වූවෝය.ඔවුනගේ අට පා යට මැඩෙන, වනස්පතියෙන් ගිළිහී දිවාකල දැඩි සූර්ය රශ්මියෙන් වියළී භංගුර තත්වයට පත්වූ පඬුවන් පත්‍ර කෙරෙන් නිකුත් වූ සර සරාණුකරණ නාදය මධ්‍යාහ්නයෙහි වන වදුල වසා පැතිරගත් දැඩි නිශ්ශබ්දතාවය මොහොතකට බිඳ දැම්මේය. 

කඩින් කඩ ඇසුණු ඒ නාදය ද ක්‍රමයෙන් මැකීගිය ඉක්බිති වනස්පතිය සෙවණෙහි පැතිර ගියේ දැඩි නිශ්ශබ්දතාවයකි.අහස මුදුනත දැවෙන සූර්යයාගේ චණ්ඩ වූ රශ්මියෙන් නිරතුරු තැවෙනා මේ මධ්‍යාහ්නයෙහි මේ නිහඬතාවය එතරම් අරුමයක් නොවූයේ අපා, දෙපා සිව්පා සියළුම සත්වයෝ ගත මෙන්මැ සිතද දාහයෙන් පීඩිත මේ හෝරාවන් කිහිපය ගෙවනුයේ කොහේ හෝ තුරු වදුලක සෙවණෙහි විම කරණකොටගෙනය. 

ඒ අවට පරිසරය වෙලාගත් දැඩි නිශ්ශබ්දතාවය මධ්‍යයේ වුවද දඩයක්කාරයාගේ සිත ගිණි වැදී තිබිණි.කිසිදුවිටෙක ජීවිතයේ කිසිදු ගැටළුවෙක් හමුවේ බිඳකුදු සසල නොවූ ඔහුගේ සිත මේ වනවිට පොළොව අභ්‍යන්තරයේ බුබුළු දමමින් පැසී මතුපිටට ගලාවිත් මහ හඬ නංවමින් විදාරණය වන්නට නොඉවසිල්ලෙන් පසුවනා ලොහොදිය දහරක් වැර වෑයමෙන් මැඩ පවත්වාගනිමින් පසුවනා යමහලක් සදිසි වූ බව පැවසුවහොත් ඒ කිසිදු අයුරකින් අසත්‍යයක් නම් නොවේමය. 

දඩයක්කාරයා ඇණතබාගත්වනම හිඳසිටින වනස්පතිය සහ ගෙපැල අතර වූයේ පියවර සැටකට පමණ නොඅඩු වූ දුරෙකි. ඒ දුර ප්‍රමාණයෙහි මධ්‍යයට පමණ ආසන්න වූ ස්ථානයක වූයේ පොළවේ සිට අඩි පසළොසක් පමණ ඉහලදී අතු බෙදී ගිය සේරු ගසකි.කිසිදිනෙක දැඩි වර්ෂාකාලයේ වුවද පත්‍ර බහුල නොවූ එහි වූ අඩක් පඬු පැහැ ගැන්වුණු පත්‍ර කීපය විටින් විට හමා එන උණුසුම් සුලඟේ සෙලවුණේ ඉතා අලස අයුරිනි. 

ඒ ගස යට උර දක්වා වැඩුණු, දුහුවිල්ලෙන් නැහැවීගිය අවුල් වූ කෙස් කළඹින් යුතුව යම් ක්‍රීඩාවක නිරත වෙමින් හුන්නේ දඩයක්කාරයාගෙ දරු දෙදෙනාය.වසර සතරකට ආසන්න වයසක පසු වූ නිවුන් දරුවන් දෙදෙනා පිරිසිදුව තබා ගැන්මට සුද්දී කොපමණ උත්සාහ කලද දඟකාර කෙළිලොල් වියේ පසුවන ඔවුහු නිතැනින්ම ගෙමිදුලේ හාත්පස වසාගත් දුහුවිල්ලටම ඇදෙන්නේ මවගේ ඇණුම් බැනුම් නොඇසූ කණ් ඇතිවය. 

ඔවුනගේ ක්‍රීඩාව අඩවන්වූ දෙනෙතෙහි ඇසි පිය අතර වූ පටු විවෘත තීරුවෙන් නරඹමින් හුන් දඩයක්කාරයාගේ ඇසිපිය එක්වරම පියවී ගියේ නෙත පුරා නැඟුනු කඳුලු හේතුවෙනි. දෙනෙත තදින් පියාගත්වනම, ඉණූ කඳුලට ඇස් කෙවෙනි ඔස්සේ ඉවත ගලා යාමට ඉඩ හල ඔහු ළය පුරවාගත් හුස්ම පහළට හෙලූයේ දීර්ඝ සුසුමකිනි. යලි තදින් එක් වරක් පියා ඒ සමඟම විවෘත කල ඔහු දෙනෙතට එකෙණෙහිම ලක් වූයේ සුද්දීය. 

ඇය උඩුකය නවා දරු දෙදෙනාහට යමක් පහත් එහෙත් තරවටු හඬින් පවසන බව කඩින් කඩ ඔහුගේ දෙසවනට වන් අපැහැදිලි වදන් කිහිපය දඩයක්කාරයාහට පසක් කලේය. දරුවන් ඔහු සිටින දෙසට අත් දිගු කරමින් කිසිවක් පැවසීමට තැත් කලමුත් ඒ කිසිසේත් නොසැලකූ ඇය ඔවුන් දෑත් තරව ගත්තේ යුහු යුහුව ගෙපැල වෙත පිය මැන්නීය. 

දඩයක්කාරයා නුග ගහ සෙවණෙහි එලෙසම ඇණ තබාගෙන හුන්නේය. 

ඔහු එහි හිඳින බව සුද්දී දන්නා බව මෙන්ම ඔහු නෙත් මඟ අහැරීමට ඇයට දැඩි අවශ්‍යතාවක් ඇති බව ද දරුවන් ඔහු දෙසට අත් දිගු කරමින් යමක් පවසද්දී වුවද ඇය ඔහුට පිටුපාගත් වනම පසුවීමෙන් දඩයක්කාරයා මනාව වටහාගත්තේය. 

දසතින් කෙමෙන් ගලාවිත් කැටි ගැසෙනා සැඳෑ අඳුර මධ්‍යයේ රත්පැහැ සිත්තමක් වූ අවරදිග අහස පසුබිම් කොට වැල නොකැඩී නැගෙනහිර වෙරළ දෙසට පියා සලන වවුලන් රෑන් දෙස හිස් බැල්මෙන් ඔහු බලා සිටියේය. 

ගෙපැලේ බළල්ලෑවෙන් කහවන් මළානික ආලෝකයක් දිස්වන්නට වූ ඉක්බිති දඩයක්කාරයා සෙමෙන් නැඟිට සිටියේය. 

ගෙපැල පසුපස කටුමැටි බිත්තියටම යාව පිහිටි යාලත්ත පියස්සේ ඔහු ඊටම වෙන්කොට තනාගත් ඉඩවරයෙහි සුරැකිව තිබූ ගිණි අවිය සුරතට ගත් දඩයක්කාරයා එහිම පසෙක වූ පතරොම් බහා ලූ ඝන රෙදි මල්ලට වමත රුවා පතරොම් දෙකක් ගෙන ඉණ බැඳි රෙදි කඩෙහි දවටා ගත්තේය. 

මාස කිහිපයකට ඉහත අවශ්‍යවූ ආහාර කළමනා මිලදී ගැන්ම උදෙසා ඝනව වැඩුණු බැම සඟලක් ඇත්තා වෙත ගිය විටකදී ක්ෂණිකව පහල වූ අනපේක්ෂිත සිතුවිල්ලකට ඉඩදෙමින් සුද්දී ඉසිඹුවක් ලද්දාවූ විටෙක ගෙපැලෙහි කටුමැට්ටෙන් නිර්මිත බිත්තිවල පිටත හෝ ආලේප කරන්නෙමැයි සිතමින් සුදුහුණු උරයක් ගෙන ආවාය. එදින සිට ඒ යාලත්ත යට ගෙනැවිත් දැමූ ස්ථානයේම තිබියේ මේ වන විට අඩක් ඝන වූ ස්වභාවයකට පත්වීය. ඉන් හුණු ස්වල්පයක් සුරතේ දබරැඟිල්ලට ගත් දඩයක්කාරයා ගිණි අවියෙහි කෙළවර වූ මානමෙහි ඒ තැවරීය.ඝන අඳුරෙහි කෙරෙන දඩයමක යෙදීමට ඔහු බලාපොරොත්තුවන බව ඉන් හැඟවිණි. 

හාත්පස වසාගත් දැඩි අඳුර පසුබිම් කොටගෙන කහවන් වූ මළානික ආලෝකයක් පමණක් අඩක් විවෘත වූ දොරකඩින් දිස්වූ පැල්පතට පිටුපා දඩයක්කාරයා ගෙමිදුලෙහි වූ කොහොඹ ගස පසුකොට කඩුල්ල ද පියමන් කලේ මහ වනයට ඇතුළු වූයේය. 

ඇසට ඇඟිල්ලකින් අනිතද නොපෙනෙනා පමණ වූ ඝන අන්ධකාරය වන පෙත වසා පැතිර තිබියද දෑස් තදින් පියාගෙන වුවද තමනට අවශ්‍ය ස්ථානයට නොවරදින පරිදි ගමන් කිරීමෙහි සමතෙකු වූ දඩයක්කාරයාහට ඒ කිසිදු අයුරකින් බාධාවක් නොවීය. 

ඔහුගේ ගමනාන්තය වූයේ එපමණ දුර බැහැරක ද නොවේ. කුඩා කල සිටම සිත් කරදරයක් තැවුලක් වූ කල්හි ඔහු සිත් නිවා සනහාලන ක්ෂේම භූමියක් වූ ගෙපැල අසලම ඇස ගැටෙනා මානයේ වූ ගල් තලාව මතකයට කැඳවා ගත් මැනව මා ප්‍රිය සොයුර, සොයුරිය. ඝන අන්ධකාරය මැදින් ස්ථිර වූ අධිෂ්ඨානශීලී පියවරින් ඔහු සැපත් වූයේ උක්ත ගල් තලාවටය. 

එකිනෙකා පසුපස හඹායන කණමැදිරි ආලෝකය මධ්‍යයේ ගල්තලාව මතට ගොඩනැඟුනු දඩයක්කාරයා එහි හිඳ ගත්තේය.එහෙත් සුපුරුදු උක්කුටිකයෙන් හිඳගැන්ම වෙනුවට ඔහු දෙදණ නවා බද්ධ පර්යංකයෙන් හිඳ ගත්තේ මෙතෙක් සුරතෙහි දැඩිව මිරිකාගෙන හුන් ගිණි අවිය ද ඔහු අසලම ගල්තලාව මත සීරුවෙන් තබමිනි. 

හාත්පස හෝම්පලක වූ නිශ්ශබ්දතාවයෙහි වෙලී තිබියදී දඩයක්කාරයා සිය සිත මුදා හලේය. මෑත අතීතයේ වාළිඹේගල පර්වත මස්තකයෙහි අහඹුලෙස හමුව ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් කල ඒ අපූර්ව පුරුෂයාණන් සෙවණෙහි ලත් මනා පරිචය හේතු කොටගෙන සිත මඳ සුලඟේ සැහැල්ලුවෙන් පාව යන්නාවූ විහඟ පියාපතක් සේ ඉහිල් කොට බැමි සිඳ මුදා හරීම ඔහුට ඉතා පහසු කාර්යයක් වූයේය. 

අන්‍ය සිත් කියවීමෙහි පරිචය ඔහු වෙත ලබාදීමට ඒ තුන්කල් දක්නා නුවණැති මහා ප්‍රඥාවන්තයා පැකිලුනේ මන්ද යනු ඔහුට මේ වන විට මොනවට වැටහී අවසානය. 

" දරුව...ජීවිතයේ අපට අවශ්‍ය බොහෝ දේ මෙන්ම අනවශ්‍ය බොහෝ දේ ද ඇත.හැකියාවන් පිළිබඳවද ඒ ධර්මතාවය එළෙසම සත්‍යය වේ.ප්‍රමුඛතාවය නොදිය යුතු එමෙන්ම අර්ථයකට වඩා අනර්ථයක් වන ආකාරයේ පරිචයන් ප්‍රගුණ කිරීම බොහෝ විට අනතුරු දායක විය හැකිය. අනුනගේ සිත් කියැවීමෙහි හැකියාව බොහෝ විට ද්විත්ව මුවහතින් යුතු තියුනු සැතක් දැරීම හා සම විය හැකිය.ඉන් සැත දරා සිටිනා ඔබගේ හස්තයම අනතුරට පත්වීමෙහි හැකියාව පිළිබඳවද බොහෝ සේ ප්‍රවේශම් විය යුතුය. " 

ඊට එකඟවීමට පෙර එතුමෝ දඩයක්කාරයා දෙස බලා මන්දස්මිතියෙන් යුතුව පැවසුවෝය.එහෙත් අවසන දෛවය අනුව සිදුවන්නට නියමිතව ඇත්තේ යම් දෙයක්ද ඒ එසේම සිදුවීම වැළැක්වීමට සමතෙක් මෙදියත නොමැති බව යළිදු පසක් කොටගත් සේ එතුමෝ දඩයක්කාරයා හට ඒ ඥාණය ලබාදුන්නෝය. 

එසේම තම දෛවය එමෙන්ම තම ඉරණම පිළිබඳව තීරණ ගැන්ම මෙන්ම ඒ හැඩගස්වා ගැන්මද හුදෙක් එකිනෙක පුද්ගලයා සතුකාර්යයක් බවද ඊට අයුතු බලපෑම් කිරීමෙහි කිසිදු අයිතියක් හෝ හැකියාවක් වෙනත් කිසිවෙකුට හෝ නොමැති බව වසර දෙදහස් පන්සියයකට ඉහත ස්ව අවබෝධයෙන් දේශනා කොට වදාල තම ගුරුවරයාණන් ද වූ ඒ අසමසම ශාස්තෘවරයාණන්ගේ ධර්මය අනුව ක්‍රියාකිර්‍රිමට ඉටාගත් යති වරයාණෝ දඩයක්කාරයාගේ ඉරණම විසඳා ගැන්ම මෙන්ම තමන් ගමන් කලයුතු මාර්ගය තෝරාගැන්මද ඔහුටම භාර කොට නිහඬ වූවෝය. 

දඩයක්කාරයා මේ වනවිට පසුවන චිත්ත විප්‍රවකාරී තත්වයට සාකල්‍යයෙන්ම හේතු වනුයේ ඔහු ප්‍රගුණ කල අනුන් සිත් කියැවීමේ හැකියාවය. වඩාත් නිවැරදිව පැවසුවහොත් සුද්දීගේ සිත කියැවීමට ඔහු දැරූ උත්සාහයයි.අනෙකෙකුගේ සිතක් කියැවීමට හෝ සිතකට පිවිසීමට උත්සාහ දරණ කල්හි ඉලක්කවූ සිත් ඇත්තාට ඒ පිළිබඳ යම් සංජානනයක් හට ගන්නා බව දඩයක්කාරයා නොදැන සිටියා වුවද ඒ සත්‍යයකි. ඒ සංජානනය ඔස්සේ සුද්දී ඔහුගේ උත්සාහයට අවිඥාණිකව හැකිපමණ ප්‍රතිරෝධයක් දැක්වූවාය. එහෙත් දඩයක්කාරයා අවසන ජය ගත්තේය. 

ගල්තලාව මත හිඳ සිටි දඩයක්කාරයා එක්වනම නැඟිට සිටියේය. 

මේ වනවිට අහසෙහි සුදු වන් වළාකුලු පසුබිම් කොට අඩ සඳක් පායා තිබුණ ද ඒ තුරු වදුලෙන් ආවරණය වූ වන පෙතෙහි දැඩි අඳුර දුරු කිරීමට කිසිසේත් සමත් වූයේ නොවේ. 

එවර දඩයක්කාරයාගේ ගමනාන්ත ඉලක්කය වූයේ හීං ඇළේ වක්කලමට එපිටින් පිහිටි මහ කුඹුක් සෙවණයි. කුඹුක් සෙවණට ආසන්න වත්ම ඒ තුරු වදුලේ පැවති දැඩි අන්ධකාරයෙන් නිකුත්ව ඔහු සවණට වන්නේ සුසුම් සහ කෙඳිරිලි හඬකි. 

කඩින් කඩ ඇසුනු ඒ කෙඳිරිලි හඬ ඔහුගේ සිත එක් වරම අතීතයට කැඳවාගෙන යාමට සමත් වූයේ නිතැණිනි.හිටි පියම ඉද්ද ගැසුවාක් මෙන් නතරවූ දඩයක්කාරයා සුරතෙහි රැඳි ගිණි අවිය දැඩිව මිරිකාගත්තේ ඇඟිලි වලින් මතුවූ සිහින් වේදනාවක් සිය ගත පුරා පැතිර යනු ද නොදත්තේය. 

වියළි පරඬලාවක් පවා යටි පහු නොවන සේ වන පෙතේ නිතොර සරා සුපුරුදු දඩයක්කාරයාහට ඔවුනට නොදැනෙන සේ සුවිසල් කුඹුක් ගහ එපිටින් වූ බඹ තුන හතරක වපසරියක පැතිරි ගල් තලාවට ගොඩ වීමෙහි කිසිදු අපහසුවක් නොවීය. 

ගල්තලාව මත ඔහු හිඳගත්තේ බද්ධ පර්යංකයෙනි. ඒ ද අවිඥාණිකවය. එහෙත් ඔහුගේ සුරතේ රැඳි තුවක්කුව එලෙසම මිරිකී තිබිණ.කුඹුක් ගහ යට ඝන අඳුර රජයමින් තිබුණද රාත්‍රියේ ඉතා මඳ ආලෝකයෙන් වුවද මනා දෘෂ්ටියකින් යුත් ඔහු දෑසට ආලිංගනයේ වෙලී හුන් යුවල හඳුනා ගැනීමේ කිසිදු අපහසුවෙක් නොවීය. 

" සුද්දී මට ඔයා නැතුව ඉන්ට බෑ." 

ඝනව වැඩුනු බැම සඟලක් ඇති වෙළඳ ව්‍යාපාරිකයාගේ තරුණ පුත්‍රයා පැවසූයේ ඇය වැළඳ ගනිමිනි. ඇය ඔහුගේ ආලිංගනය මුවින් නොබැණ ඉවසූයේ දිගු සුසුමක් හෙලමිනි. 

" ඔයා ඔය මනුස්සය දාල එන්න, දරුවො දෙන්නත් එක්කම..අපි අපේ ගමට යමු." 

ඔහු පහත් හඬින් පැවසූයේ නැවතද ඇය සිප ගැන්මට උත්සාහ දරමිනි. ඇය ඔහුගෙ ආලිංගනයෙන් මිදෙමින් දෑත ළය මත බැඳගත් වනම හිස පහත් කර ගත්තීය. 

" මම දන්නෙ නෑ අනේ….මට මොකවත් හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ...." 

දඩයක්කාරයාගේ සුරතේ දැඩිව මිරිකී තිබුනු ගිනි අවිය කෙමෙන් එසවුනේ ඔහුටද නොදැනීමය. 

අච්චු වල්ල දකුණු උරහිසට කිටි කිටියේ සිරවිය. තැවරූ හුණු බිඳ හේතු කොටගෙන ශ්වේත වර්ණයෙන් මනාව දිස්වන ගිනි අවිය අග පිහිටි මානම කුඹුක් ගස යට එකිනෙකාට ඉතා ආසන්නව හිඳිනා තරුණ යුවල අතර එහා මෙහා ගමන් කලේ කිසිදු හදිසියකින් තොරව ඉතාම සෙමිනි. දඩයක්කාරයාගේ ආශ්වාස ප්‍රශ්වාසය වේගය කෙමෙන් අඩුව ගියේ ඔහුගේ හෘද ස්ඵන්දනයද ක්‍රමානුකූලව ඒ සමානුපාතිකව පහත හෙලමිනි.සුරතේ දඹරැඟිල්ල ගිනි අවියේ කොකා වටා කෙමෙන් එතෙමින් තිබුණේ ඉතාම අල්ප තෙරපුමක් ඒ මත යොදවමිනි. 

දඩයමක් කිරීමට, ප්‍රාණ ඝාතයක් සිදු කිරීමට ප්‍රථම දඩයක්කාරයා පත්වන සුපුරුදු සම්මෝහනීය තත්වයට දඩයක්කාරයා පත්වෙමින් සිටියේය.අවසානයේදී ගිනි අවියේ කොකා තද කිරීමට එක් නිමේශයකට ප්‍රථම දඩයක්කරයා පත්වන ඔහු සහ දඩයම පමණක් ශේෂව අනෙක් සියලු සතුන් සහ ගහකොළ යනාදිය මිහිදුමක් මෙන් බොඳවී යන තත්වයට ඔහු ළඟා වෙමින් සිටියේය. ඒ අවසාන මොහොතේ මෙලොව ඉතිරිව සිටියේ දඩයක්කාරයා සහ සුද්දී පමණකි. ඔහුගේ සුරතේ දඹරැඟිල්ල කෙමෙන් කොකා තෙරපමින් තිබිණි. එකවරම සුද්දී හිස ඔසවා බැළුවාය.ඈ එක එල්ලේ ඔහුගේ දෑස් දෙස බලා සිටියාය. 

ඈ ඔහු නොදුටු බවට කිසිදු සැකයක් නොවුනද ඈ එක එල්ලේ බලා සිටියේ ඔහුගේ දෑස් දෙසය.ඇගේ දෑස් තුල ඔහු දිය පහරේ ගසාගෙන පැමිණි ඈ දිවි බේරාගත් දින සිට මෙතෙක් ඈ හා ගතකල දිවියේ සියලු අවස්ථා එක්වනම දුටුවේය.මෙතෙක් සිරකොටගෙන හුන් ප්‍රශ්වාසය එක වරම ඔහුගේ ළය හිස් කරමින් නිකුත් වූයේ ගිණි අවිය දරා සිටි දෑතේ ග්‍රහණයද ඒ හා සමඟම ලිහිල් කරවමිනි. 

ඔහුගේ ජීවිතයේ මෙතෙක් ප්‍රධාන භූමිකාවන් රඟ පෑවෝ ඒ සමඟම ඔහු දෑස් ඉදිරියේ දර්ශනය වූයේ සජීවී ලෙසිනි. කලකට පෙර මිය ගිය ඔහුගේ දයාබර මෑණියන් සහ පියාණන් ඔහු ඉදිරියේ සිනා මුසු මුහුණින් පෙනී සිට අතුරුදන් වූවෝය. කිසිවක්ම නොපැවසූ මුත් ඔවුන් තමාට ආශීර්වාද කල බව දඩයක්කාරයා නිසැකවම දත්තේය. 

අවසානයේදී මිහිදුම් අතරින් දිස්වූයේ අඳුරු කසාවත් හැඳි ඒ යතිවරයාණෝය. 

" දරුවා... ඔබේ ජීවිතය ගැන තීරණය ගත යුත්තේ ඔබමය. තමන් කරන කියන සියලුදේහි ඵලවිපාක ලැබෙනුයේ තමන්ට බව යම්සේ සත්‍යයක් වේද එසේම ඒ සියලුදේහි වගකීමද තමන්ටමය. " 

එසේ පැවසූ එතුමෝ එකෙණෙහි අතුරුදන් වූවෝය. 

ජීවිතයේ කිසිදිනෙක අත්නොවිඳි සැහැල්ලු එමෙන්ම සුවදායක හැඟීමක් සිත පුරා ලය පුරා මුළු මහත් සිරුරේ ලේ මස් ඇටනහර පුරා අත්විඳිමින් දඩයක්කාරයා නැඟී සිටියේය. 

ඝන අඳුර අතරින්ම ගල් තලාවෙන් බැස ගත් ඔහු හීංඇළ ඉක්මවා ගමන් කරන්නට වූයේ ජීවිතයේ සැහැල්ලුව, සතුට ශාන්තිය සහ විමුක්තිය ඇතැයි ඔහු නිසැකවම දන්නා එකම පුද්ගලයා හමුවීම උදෙසාය. 

එක්තරා දඩයක්කාරයකුගේ කතාව මෙතෙකින් නිමියේය. 

Friday, February 15, 2013

162. තාරාවාගෙන් ඇරඹි මතක මංපෙතේ තව දුරටත්....බොස්ගෙ ගෝණා නොහොත් ටාසන්…


අර තාරාස්ගෙ කතාව මම ඉවරයක් කලේ බොස්ගෙ ගෝණා ගැනත් සෝක් කතාවක් තියනව ...එකත් ළඟදිම කියඤ්ඤංය කියලනෙ...රස්නෙ පිටම යකඩෙ තැලුවෙ නැත්තං වැඩේ හරියන්නෙ නෑ. ඒකනෙ ඔය කම්මල් කාරයො ඉහිං කණිං දාඩිය පොල්ල පෙරාගෙන උඩ පැන පැන තලන්නෙ ගිණියං වෙච්ච යකඩෙට. ඉතිං මටත් හිතුන මේ මතක සැමරුම් උල්පත එක පාරටම අහම්බෙං වාගෙ මතු වෙච්චි එකේ ගෝණගෙ කතාවත් කියලම දැම්මනං ඉවරයි කියල. 

ලොක්ක ගාව හතර පස් දෙනෙක්ම ගෝණ පැටව් හිටියට අලි ගෝණ නාම්බෙක් හිටියෙ මම මේ කියන්ට යන කතාවෙ පක්ෂධරයා ( Protagonist නොහොත් ප්‍රධාන නළුවා )විතරමයි. මූ ලොක්ක ගාවට ආවෙ අපෙ කෑම්ප් එකට කිලෝ මීටර් හතරක් විතර එහා ඉඩෝරෙට හිඳිච්ච වැවක බන්ට් එක පල්ලෙ වැටිල කකුලක් කැඩිල ඉන්දැද්ද අපෙ ගෝලයො වගේකට ඇහැ ගැහිල. ඒ කිට්ටුව අපි ඩෝසර් දාල කැළේ එලි කලා. ඒ අලුතෙන් පදිංචි කරන මිනිස්සුන්ට කුඹුරු කරන්ට කට්ටි කරල දෙන්ට.හෙක්ටෙයාර් එකයි එක පවුලකට. අක්කර නම් හරියටම 2.47 යි. 

ඔය දවස්වල හික්කඩුව අම්බලංගොඩ දිහාවෙ හිරිගල් කැඩිල්ල හින්ද සමුද්‍ර ඛාදනය බොහොම ජයටම සිද්ද වෙනවය කියල මහ හා හූවක් ගියා දිවයින පුරා. දන්නවනෙ අපේ රටේ ඉන්නවනෙ ජාතියේ පිනට පහල වෙච්ච නායක නායිකාවො.. එදත් හිටිය අදත් ඉන්නව....ඔන්න ඒ දවස්වල හිටිය කුශාග්‍ර බුද්ධිමත් ඥාණවෘද්ධ පාලකයො කොරපු වැඩේ ව.ක්‍රි.ප. ( වහාම ක්‍රියාත්මක වන පරිදි ) තහනං කලා හිරිගල් කැඩිල්ල.ඉතිං එහෙම නිකම්ම තහනං කරල අත පිහදා ගන්ටත් බැහැ නෙව. ඒ මිනිස්සුන්ට මොනව හරි ජීවන මාර්ගයක් සලසල දෙන්ටත් එපාය. ආන්න එවුං ඔක්කොම ලොරිවලයි කෝච්චි වලයි පටෝල එව්ව මේ කැළේට. ඒ කරල කුඹුරු අක්කර දෙකහමාරෙ හතර මායිං පෙන්නල කිව්ව දැං අස්සද්දාපිය මේක කියල. 

මං හිතන්නෙ ලොක්කො හිතාන ඉඳල තියෙන්නෙ අර බුදු හාමුදුරුවො ඒ කාලෙ ඒහි භික්ෂු භාවයෙන් මහණ කලේ. එව මහණ කිව්වම හිස රැවුලු ඔක්කොම මුඩු වෙලා, සිවුරු පෙරවිලා, පාත්තර අතට ලැබිල එතකොට ධර්ම ඥාණය පහල වෙල පරිපූර්ණ භික්ෂුවක් වෙන්නෙ...ආන්න ඒ වගේ කුඹුරු ඉඩමෙ හතර මායිම් පෙන්නපුවම ඒ මිනිස්සුන්ට කුඹුරක් අස්වද්දන හැකියාව, දැනුම, පළපුරුද්ද ඒ ඔක්කෝටම වැඩිය ඒ වැඩේට කැමැත්ත ස්වයංක්‍රීයව පහළ වෙලා උං සර්ව සම්පූර්ණ ගොවියො වෙනවයි කියල වෙන්න ඇති. 

මොන විකාරද?...ඒ ආපු අයගෙං සියට තිහක් වගෙ නම් අළුත් ජීවිතේට බොහොම කැමැත්තෙං හැඩ ගැහුන. ඉතිරි අය කලේ සහනාධාර දෙන දවසට ඇවිල්ල ඒ ටිකත් පොදි බැඳගෙන ඊලඟ කෝච්චියෙ ආපහු ගම් රටවල් බලා යන එකයි.කොයි වැඩක් උනත් අලුතෙන්ම පටන්ගන්නකොට ඔය වගෙ අඩු ලුහුඬුකම් සිද්ද වෙනව. හැබැයි ඒ වැරදීම් වලින් පාඩමක් ඉගෙන ගෙන පස් සෙ පස් සෙ ඒ පදිංචි කිරීමේ වැඩේ බොහොම සාර්ථකව කෙරුන. ඇත්ත කියන්ට එපාය.... 

හරි කොහෙන්ද මම මේ හිරිගල් කඩන කතාවක් කියන්ට ආවෙ?..ආ..හරි අර ගෝණ නාම්බා වැව් කණ්ඩියක් පල්ලෙ වැටිල හිටිය කියල කියන්ට ගිහිල්ල නේද?...ඔව්... 

ඔය ගෝණා වැව් කණ්ඩිය පල්ලෙ වැටුනෙ කොහොමද දන්නවද?...නෑ..නෑ..කකුල ලිස්සල එහෙම නෙවෙයි...දඩයම් බල්ලො රෑනකිං බේරෙන්ට දුවද්දි තමයි ඔහොම වෙලා තියෙන්නෙ..හරි හරි...බොරු කියන්නෙ මොකටද බොලව් මම?...ලංකාවෙ කොහෙද කැළෑ දඩයම් බල්ලො කියල ඇහුව?...ඔව් .නෑ තමයි. ඒත් මෙවුං ඇවිල්ල ගෘහාශ්‍රිත නෝමල් බල්ලො.වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි. මම ඉතිං ඔව්ව ගැන පොඩ්ඩක් විතර උනන්දු නිසාවෙන් ඔය ගැන ගැන නිකං ඉන්න ගමන් හොයාල බැලුව. 

ඔය දවස්වල ජනවාර්ගික අර්බුදය බොහොම උග්‍ර කාලෙ. ඔන්න හිටපු ගමං ආරංචි වෙනව කොටි අරෙහෙට ගැහැව්ව, මෙහාට ගැහැව්ව, අතන අච්චරක් මැරුව , මෙතන මෙච්චරක් මැරුව කියල...අනේ ඉතිං මේ අහිංසක මිනිස්සු අතට අහුවෙන මොනව හරි පොදි ගහගෙන ඔන්න යනව මහ පාර අද්දර ඉස්කෝලෙකට ..සරණාගත කඳවුරු.....ඔව්වයෙ මාසයක දෙකක් ඉඳල ආයෙම ආපහු එනව. ඉතිං ඔහොම යද්දි බල්ලොත් අරං යන්ට බෑනෙ. එවුං මොකද කරන්නෙ ආයෙ?...මාස දෙක තුනකට පස් සෙ මිනිස්සු ආපහු එනකල් උඩු බුරමින් ඉන්ටයැ..එවුනුත් පණ රැකගන්ට කැළෑ වදිනව. 

කැළෑ වැදිල පටන් ගන්නව දඩයම. කොහොමත් කාලෙකට ඉස්සර කරපු වැඩේ නෙව. බොහොම ඉක්මනටම අල්ල ගන්නව. ඔහොම කැලෑ වැදුනු බල්ලො විස්සක විතර රංචුවක් ඒ දවස්වල එහෙ හිටිය.මෙවුං නං කවුරුවත් හිතාමතා කැලේට යැව්ව බල්ලො නෙවෙයි.වෙන කරන්ට දෙයක් නැතිකමටම කැලෑ වැදිච්ච උදවිය. 

ඒත් දන්නවනෙ අපේ දේශපාලන නායකත්වයට බොහෝම ඩිංගිත්තක් පහලින් ඉන්නෙ බුද්ධිමත්භාවය අතිං අපේ නිලධාරි පැලැන්තිය.මේ සුනඛයින් නැවත වනගත කිරීමේ මෙහෙයුමක් ගැන අසමසම සංකල්පයක් ඉදිරිපත් කල අපේ කාලේ විරයෙක් ගැන අජිත් ලියාපු සටහනක්. 

ඔය අර්ධ වනගත බල්ලො දඩයං කරනව බලා ඉන්ට ආසයි.උං ඔක්කොම එක පාර මුවා හරි ගෝණා හරි පස් සෙ එලවන්නෙ නෑ. කට්ටිය කට්ටිය බෙදිල වැඩේ කරන්නෙ. මම පස් සෙ කාලෙක අන්තර්ජාලයෙ දැක්ක වල් බල්ලොත් ( I mean wild dogs; not any other kind. please don't misunderskirt ) එහෙමමලු ඒ වැඩේ කරන්නෙ. 

අඩේ ආයෙම කැලේ පැන්න නෙවද?..සමාවෙන්න...සමාවෙන්න...හරි ඔන්න ආයෙම ගෝණගෙ කතාවට. ඉතිං ඔන්න අර ගෝණ නාම්බා අරං ආව බොසා ගාවට. බොසා මොකද කලේ බොහෝමත්ම දුකෙං ඇස් දෙකේ කඳුලු එහෙමත් පුරවගෙන අර ගෝණ තඩිය බාරගත්ත ඔළුව එහෙමත් අත ගාල. අර ඔය කිට්ටුවම තියන මුස්ලිම් ගම්මානෙ ගැන මම කිව්ව මතකෙයි ඔහෙලට?...රයිට් ඔය ගමේ හිටිය හොඳ කැඩුං බිඳුං වෙදෙක්..මිනිහව උදේ හවා ගෙන්නල තෙල් පත්තු බැඳල ඔන්න කොහොමහරි ගෝණව සනීප කලා. ඒත් ඒකගෙ ඒ කකුල ටිකක් කොට උනා. පොඩි නොන්ඩියක් ඇතුව තමා ඌ ඇවිද්දෙ... 

සනීප උනාම ගෝණව ආයෙම කැළේට යවන්ට ලොක්ක හිතාගෙන හිටියට මේ නොන්ඩි කේස් එක නිසා ඒ වැඩේ අල්ලල දැම්ම. මොකද මූ ඔය නොන්ඩියත් එක්ක කැළේට ගිහිල්ල දැම්ම කියන්නෙ අර බල්ලො රංචුවට ඉතිං රජ මඟුල් තමයි. 

ගෝණ තෙමේ ඉතිං කෑම්ප් එකේම නැවතුනා. හැමෝගෙම හුරතලා උනා. අපෙ විමලෙ එක්ක බුදු පිට්. ගෝණ අපේ ක්වාටස් එක පැත්තෙ ආවොත් විමලෙ ඌට දෙනව සීනි අහුරක්. 

" යකෝ ඔවුන්ට ඔය නුපුරුදු කෑම දෙන්ට එපා බං. ඕකගෙ නාහෙං කටිං පණුවො ඇවිල්ල වල කජ්ජ ගහපු දාට බලාපං ලොක්ක උඹේ රස්සාවටත් කෙලවල තෝ ගෙදර ඇරල තමයි පස්ස බලන්නෙ.." 

විජේ කොච්චර හරි ඔහොම කෑගැහුවට තඹ සතේකටවත් ගණං ගත්තෙ විමලෙය එහෙම නෙවෙයි. 

ගෝණගෙ අං තට්ටුව එහෙම හොඳට හැදිල ඌ බොහොම තේජස්වී උනා කෙරේමයෙං. ඒත් අපිට ඇල්ලුවෙම නැති සීන් එක තමයි ඒක රෑ තිස්සෙට ජරස් බරස් කියල අහල පහල ගස් වල අං තට්ටුව මදින්ට පටං ගත්තු එක. මොන විදිහට වත් බෑ නිදා ගන්ට. මොනව කොරන්ටද? ලොක්කගෙ ගෝනනෙ කියල කොට්ටෙං ඔලු ගෙඩිය වහගෙන නිදාගන්ට ට්‍රයි කරන එක විතරයි අපිට කරන්ට ඉතුරු වෙලා තිබ්බෙ...පස්සෙ කාලෙක රූපවාහිනියෙ රොබින් හුඩ් කතාව පැල් බැඳගෙන බලද්දි අර රොබින්ගෙ ආරක්ෂක දෙවියො හර්න් දකිද්දි මට හැමදාම මතක් උනා ඔය අපෙ ලොක්කගෙ ගෝන තඩියා... 

ඔය කතාවෙ මතකද රොබින්ගෙ කට්ටිය ඔක්කොම වටේට වාඩිවෙලා ඉන්දැද්දි රොබින් වයින් කුසලානක් දෑතිම්ම උඩට උස්සල " To Hearne " කියල ඉවර වෙල ඒකෙං පොඩ්ඩක් බීල ඊට පස්සෙ ලඟින් ඉන්න නසියර්ට, විල්ට එහෙම නැත්තං ලිට්ල් ජෝන්ට දෙනව. අපෙ නංගිගෙ පොඩි එකාට ඔය රොබින් හුඩ් කතාව යන කාලෙ අවුරුදු හතරක් නැත්නම් පහක් විතර ඇති. ඒකා ඔය කතාවට වහ වැටිල හිටියෙ. ඔන්න මම ගෙදර ගිහාම රෑට කන්ට වාඩි උනාම මූට ඕන වෙනව රොබින් හුඩ් ඇට් කරන්ට. නංගි සුප් එහෙම හදල මේසෙට තිබ්බම මම ඕක උඩට උස්සල " To Hearne" කියල පොඩ්ඩක් බීල ඌට දෙන්ට ඕන. ඌත් ඒක උඩට උස්සල මොනවද අපබ්බ්‍රංසයක් කියල පොඩ්ඩක් බොනව. ඒ වෙලාවෙ උගෙ මූණෙ තියෙන බරෑරුම් පෙනුම දැක්කම අපි බොහොම අමාරුවෙං හිනාව තද කරගෙන ඉන්නෙ... 

ඔන්න මම නැති දවසක ඔහොම කරන්ට ගිහිල්ල ඌට මරු සීන් එකක් වෙලා..හරි ඒකත් අර ඉස්සරහට කියන කතා පයිල් එකට..කෝ මේ රූ මැඩම්...ඔන්න ඔයාගෙ ලිස්ට් එකට තව කතාවක්...හෙහ්, හෙහ්, 

ගෝණට නම දාල තිබ්බෙ ටාසන් කියල...ටාසන්..ටාසන් කිව්වම ඌ ලඟට එන්නත් පුරුදු වෙල හිටිය... 

ලොක්ක ටාසන්ටම වෙනම ගෙනාව කර පටියක් සහ රතු පාට නයිලෝන් ලණුවක්. කෑම්ප් එක පුරාම ලයිට් කණුවල වීරගස්වල පළුගස්වල බැඳල ටාසන් තණකොල උලාකනව අපිට ඉතාම සුපුරුදු දර්ශනයක් වෙලා තිබුණෙ ඒ දවස්වල. 

ඔන්න ඔය කාලෙ චක්‍රලේඛයක් ආව අපේ හෙඩ් ඔෆිස් එකෙන්, අනියම් කම්කරු, මුරකරු වගෙ තනතුරු වලට පුළුවන් තරම් ඒ අහල පහල ගම් වල පදිංචි තරුණයො බඳව ගන්ටය කියල.ඒ අනුව කිට්ටුවම තිබ්බ මුස්ලිම් ගමෙං ඔන්න ඉස්සරෝම බන්දව ගත්ත මුස්ලිම් කොල්ලො හත් අට දෙනෙක්.අවුරුදු විසිදෙක, විසි හතර වගෙ...එවුංට සිංහල තේරෙනව. ඒත් හොඳටම බෑ.ඔයිං එකෙක් අපේ චමරියෙ උයන්ට ඇවිල්ල වෙච්ච මරු සීන් එකක් තියනව ඒකත් අර පසුව කියන කතා යටතට දාගත්ත හොඳද?..නැත්තං මේ ගෝණ කතාව අද ඉවරයක් කරනව බොරු. 

ඔහොම බඳව ගත්තු එකෙක්ගෙ නම මුර්තලා. ඕක ගත්තෙ අනියම් මුරකරු හැටියට. කොටි කේස් නිසා අපෙ හැම ගෙදරකටම ෂොට් ගන් එක ගානෙ දීල තිබ්බ. ඒ වගේම අනියම් ස්ථිර භේදයක් නැතුව මුරකරන හැමෝන්ටමත් ෂොට් ගන් එකක් දුන්න.මොකද කොටි ආවොත් වෙඩි තියන්නෙ අනියම්ද ස්ථිරද කියල අහල බලල නෙවෙයි නෙව... 

ඔන්න එදා මුර්තලා රාජකාරි කරන පළවෙනිම දවස. ඩියුටි තිබ්බෙ හවස හයේ ඉඳල උදේ හය වෙනකල් ෂිෆ්ට් එක. මිනිහට ඉහේ මල් පොකුරක් පිපුණු ගානයි, ඇයි දෙයියෝ සාක්කි අනියම් උනත් ආණ්ඩුවෙ රස්සාවක්ය කියන්නෙ සුළුපටු දෙයක්ද? 

සන්තෝසෙ වැඩිකමටම මිනිහට නින්ද ගිහිල්ලත් නෑ,. තුවක්කුවත් මිරිකගෙන වොචර් හට් එකේ ඉඳගෙන ඉඳල තියනව බොහොම හෝදිසියෙං...ආ, මට කියන්ට බැරිඋනා නෙව මිනිහ ඩියුටි හිටියෙ අපේ ඔෆිස් එකේ වොචර් හට් එකේ. කෑම්ප් එකේ ඉඳල තියනව දුර මීටර් තුන්සීයක් තරම.පාන්දර වගෙ වෙනකොට ඔන්න මිනිහට එක පාරට ඇහුනලු සර සර ගාන සද්දයක්..ඔය අපෙ ඔෆිස් එකේ වත්ත පුරාම ඒ දවස්වල වවල තිබ්බ බඩ ඉරිඟු..බෝම සාරෙට හැදිල තිබ්බ,. අඩි හය හතක් උසට. කරල් යන්තමට මෝදුවෙලා කිරි වැදීගෙන එන කාලෙ. ඔය බඩ ඉරිඟු වගාව මැදින් මුර්තලා දැක්ක යාන්තමට තිබ්බ හඳ එළියෙ තඩි ගෝනෙක්. ඇස් දෙක දිළිසෙනව තරු කැට දෙකක් වගෙ. ඇහැ දීගෙනම ඉන්නව ටෝච් එළියට. අප්පට සිරි, දෙයියන්ගෙම පිහිටයි. මේක තමයි කියන්නෙ දෙන දෙයියො ගෙට ගෙනවිත් දෙනවා කියල නැත්නම් ටොකු ඇණ ඇණ දෙනවයි කියල. මුර්තලා ඇවිල්ල දඩයමේ එහෙම ගිහිල්ල පලපුරුදු මනුස්සය. මිනිහ පොඩ්ඩක්වත් කලබල උනේ එහෙම නෑ. හෙමිට හොඳට හුස්මක් කාරිය අරගෙන තුවක්කුව උස්සල හරියට තරු වාගෙ දිළිසෙන ඇස් දෙක මැදට ඉලක්කෙ අල්ලල තිබ්බ වෙඩිල්ල. 

ඩීං !!!!!!!!!!!! 

අපෙ ඔෆිස් එකටම අල්ලපු වත්තෙ තිබුනෙ මේන් ස්ටෝර්ස් එක. ඕකෙ එදා මුරට ඉඳල තියෙන්නෙ නාසර්. ඌත් එදාම වැඩට ගත්තු මුර්තලාගෙම ගමේ යාළුවෙක්. 

" අයිය එන්නප්පා?....මොක්කද ඒ වෙඩිල්ල? " 

නාසර් දුවගෙන ආව. 

" පෙරිය ෂතා, තම්බි...වාෂනාව තමා. යමංකො බලන්ට." 

දෙන්නත් එක්ක ගියා ගෝන ලඟට. මෙන්න වැටිල ඉන්නව බඩ ඉරිඟු යාය මැද...මොනවද ආයෙ?..ඔන් ද ස්පොට් පහුවදා මලා කියන්නෙ... ආන්න එහෙම තමයි...ඔන්න දෙන්නත් එක්ක අං තට්ටුවෙං අල්ලල අදින්ට ට්‍රයි කලා ගෝන බඩ ඉරිඟු කෑල්ලෙං එළියට ගන්ට. මොන මේකා එන්නෙම නැ. 

" හෑ??????.... මොක්කද තම්බි මූ මෙච්චර බරද?....." 

ආයෙම දෙන්නත් එක්ක ෆුල් ඩම් දාල ඇද්ද. කොහෙද ගෝන එතනමයි.... 

" ඉන්ට අයියා මම ටෝච් එක ගේන්නං ..." 

නසර් ගිහිල්ල ටෝච් එක ගෙනල්ල ගැහුව. දෙයියෝම සාක්කි, සීවරං දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..මෙන්න ගෝනගෙ කරේ පටියක්…. ඒ මදිවට රතු පාට නයි ලෝං ලණුවකිං ඌව ඒ ළඟම තිබ්බ ගරාජ් එකේ කණුවක බැඳල...කොච්චර ඩම් දාල ඇද්දත් ඉතිං ඌ එන්නෙ නැති එක පුදුමයක්ද? 


මුර්තලා කටත් ඇරගෙන නසර් දිහාවෙ බලා හිටිය. නසර් ඇස් දෙකත් ලොකු කරාන මුර්තලා දිහාවෙ බලා හිටිය. 

දහය එකොළහ වගෙ වෙනකොට වලක් කපල ටාසන්ව භූමදාන කලා.අපි ඔක්කොමල වල වටේ ඉඳගෙන ටාසන්ගෙ ගුණ සිහිකලා.අන්තිමටම වල ලඟින් ආවෙ මමයි නිමලෙයි. 

" ඒයි නිමලෙ..මගෙ හිතට හරි නෑ බං..ටාසන්ට නියම විදිහට අවසන් කටයුතු කෙරුනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. " 

නිමලෙ ඔලුව හෙල්ලුව. ඊට පස්සෙ කතා කලේ ටාසන්ගෙ වල දිහාවෙ බලාගෙන… 

" මටත් එහෙම හිතෙනව මහත්තය. ඉන්ටකො අපි රෑවෙලා බලමු පාංසුකූලෙවත් දෙන්ට. " 

එදා මම වැඩ ඇරිල එනකොට ටිකක් හවහ උනා.මඟදිම ආරංචි උනා ලොක්ක දෙකට විතර නිවාඩු දාල ගෙදර ගියයි කියල. 

මම ගෙදර ඇවිල්ල ඇඳුම් මාරු කරල අපෙ ගේ පිටිපස්සෙ ටැංකියෙං නාගෙන ඉවර උනා විතරයි. 

" මහත්තය, නිමලෙ අන්න මහත්තයට එන්නෙයි කිව්ව…" 

එහෙම කිව්වෙ ජයවර්ධන…. අපෙ උයන්ට හිටි ගෝලය. මමත් ෂෝටකට බැහැල ගියා නිමලයගෙ ගෙවල් පැත්තෙ. 

අර තාරා කේස් එක දවසෙ වගේමයි. සිමෙන්ති උරේක දාපු බෝතලෙයි පත්තෙරේකිං වහපු ප්ලාස්ටික් කෝප්පෙයි නිමලය මගෙ අතට දුන්න. 

මම වචනයක්වත් කතා කලේ නෑ..ඒ දෙකත් අරගෙන ආපහු ආව. 

එදත් යාන්තමට හඳ පායල තිබ්බ. එදා හිටියෙ විජෙයි මායි විතරයි. මිදුලෙ වීර ගහ යට රවුම් මේසෙ උඩ බෝතලේ. ඒ ලඟම මස් දීසිය.ෂොට් එකක් නොදා සෑහෙන වෙලාවක් අපි දෙන්න එහෙම්මම හිටිය. 

ටික වෙලාවකින් මම නැඟිටල මස් එක අරගෙන ගිහිල්ල හැලුව එතනම තිබ්බ පැපොල් ගහ යටට.විජේ මා දිහා බලා හිටිය මොකවත්ම කියන්නෙ නැතුව. 

" ජයවර්ධන පුතා ඔය පපඩමක් දෙකක් බැදල ගෙනෙං බං ඩබල් එකේ…" 

මම හේ දිහාට හැරිල කෑහැහුව. 

" පපඩම එනකල් එකක් දාගමු. " 

විජෙයි මායි වීදුරු උස්සල හෙමීට තට්ටු කලා. 

" නිවන් සැප ලැබේවා!!! .." 


**************************************** 

සමාවෙන්ට ඕමනයි කට්ටියම. දඩයක්කාරයගෙ අන්තිම කොටස ලියල නම් ඉවරයි. ඒත් කූට ප්‍රාප්තිය නිසා තව දෙතුන් පාරක් කියවල සංශෝධනය කරන්ට වෙනව. විශේෂයෙන්ම දඩයක්කාරය කියවන්ට බලවත් ආසාවෙන් පුල පුලා බලාසිටින මා හිතවතුන් වන හෙන්රි ඇන්ඩ් තිසර ..please bear with me :( :( 

Tuesday, February 12, 2013

161. තාරාවෙක් සමඟ මතක මංපෙත ඔස්සේ.....


පහුගිය සිකුරාද සතියටම එන එකම නිවාඩු දවසෙ අපි තාරාවෙක් හැදුව. හැදුවය කිව්වෙ අල,ලූණු මාළු එහෙම තම්බල ඉඟුරු, සාදික්ක. කරාබු නැටි, කොත්තමල්ලි කොල එහෙම දාල පොඩ්ඩක් තෙම්පරාදු කරල තාරාව ඇතුලට පුරවල ඉදිකට්ටක් අරගෙන මැහුව. ආ...ඊට කලින් දොඩම් පෙති කපල ඇතුරුව...පස් සෙ මීපැණි, සෝයා සෝස්,දොඩම් යුෂ යාන්තමට රත් කරල බුරුසුවකින් තැවරුව. අන්තිමට අවන් එකේ පැය දෙකක් දෙපැත්ත හරවල බේක් කරල ගත්ත. හප්පා..අත්හදාබැලීමක් හැටියට කලත් වැඩේ බොහොම සාර්ථකයි. 

ඉතින් මේ සාර්ථක මහා තාරා මෙහෙයුමෙන් නොහොත් Operation Duck Roast එකෙන් පස්සෙ දිවා ආහාරයට ඉස්සෙල්ල අපි පොඩි දෙකක් ළඟ ළඟ නවා ගත්ත. ( එහෙම කිව්වම දන්නවනෙ නේද?....කොටින්ම පොඩ්ඩක් වෙන්න පානය කලා..වෙන දේකට නෙවෙයි එහෙම නොකලනම් ඒ අර තාරාවට කරන අගෞරවයක්...අන්න ඒකයි ) 

" තාරාවගෙ වැඩේ නියමෙට ආව නේද?.... " 

ඒ මගෙ යාලුව....පොඩි එකක් දාගන්න ගමන්. 

" නියමයි....ඔයාට කියන්ඩ මීට කලින් මම එකම පාරයි තාරාව කාල තියෙන්නෙ. ඒත් මේ කුකුල උයනව වගෙ කරි හදල....කුකුලට වඩා ටිකක් හයියයි කියල තමයි මට මතක...ඉන්නකො...ෂෝක් කතාව ඒක..ඔන්න මෙහෙමයි උනේ…" 

ඉතින් හීන්වට දෙක තුනක් නවා ගන්න ගමන් මම කතාව කිව්වා. ඒ කියාපු කතාව තමයි ළමයි මේ.... 

මීට කලින් මම ජීවිතේට තාරාවා කාල තියෙන්නෙ එකම එක පාරයි.දන්නවනෙ ඒ කොහෙදිද කියල කියන්න ඕන නෑනෙ..එක්කොත් ඔන්න ඔහෙ කියලම දාමු...අර බණ කතා පටන්ගන්න විදිහ අහල තියනව නේද?...එකල බරණැස බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන සමයේහි අප මහ බෝසතාණෝ..........අන්න ඒ වගෙ .....එසඳ මම්තුමාණෝ උත්තර මධ්‍යම සහ පෙරදිග යන දෙපළාත් සීමාවෙහි එක් අර්ධ රාජ්‍ය ව්‍යාපෘතියක සේවය කරන සමයේහි......... 

මම මේ කියන සිද්ධිය වෙච්චි කාලෙ හිටපු අපේ බොස් සත්තුන්ට පුදුම විදිහට ආදරෙයි.කාලෙන් කාලෙට කැලේ අතරමං වෙලා හිටපු, එහෙම නැත්නම් උගුල් වලට අහුවෙලා අම්ම නැතිවෙච්චි මුව පැටව් ගෝන පැටව් හත් අට දෙනෙක්ම අපෙ ලොක්ක ඇති කලා. සමහරු හිටපු ගමන් අන්තර්ධාන වෙනව.දෙතුන් දෙනෙක් ලෙඩ හැදිල මැරුන. මම හිතන්නෙ බොහෝවිට උංට පෙව්ව පිරි කිරි අල්ලන්නෙ නැතුව ඇති.එක පාරක් ලොක්ක ගෙදර ගිහිල්ල එනකොට අරං ආව තාරාවො හත් අට දෙනෙක්.... 

ආ...අර එළුවො ජාතියක් ඉන්නෙ බොහොම උසස් වර්ගයෙ...ජමුනපාරි කියල...ඔයිං එළුවො ජෝඩුවකුත් හිටිය කාලයක්...ඒ එළුව බලන්ට එපාය...හෙන රැස්පොට්... ලොක්කගෙ එළුවය කියල ඌ දන්නව මයෙ හිතේ. ඒකගෙ රැවුල තිබ්බ අඟල් හයක් විතර. දෙතුන් පාරක් අපේ ක්වාටස් එක පිටිපස්සෙ ගෝලය ( අපිට උයන්ඩ ක්වාටස් එකකට එක්කෙනා ගානෙ ආණ්ඩුවන් දීල හිටපු එකාව පොදුවෙ හැඳින්නුවෙ ගෝලය කියලයි.මම කලින් කතාවකත් මේක කිව්ව මතකයි...අපෙ එවුන් යාළුවෙලා ඉන්න කෙල්ලියන්ට කිව්වෙත් ගෝලය කියල. මොන හේතුවක් නිසාද කියල නම් අලේ මල්ලල්ලෑ...)  හිටවල තිබ්බ බෝංචි කොටුව ඔක්කොම විනාස කරල දැම්ම. ලොක්කගෙ සතා නිසා අපි මීක් කියන්නෙ නැතුං හිටිය.

අපි ඔය හවසට එලියෙ පුටු තියාගෙන පොඩි ආතල් එකක් ගන්න වෙලාවට ඕක එනව ලොක්කගෙ ගේ දිහාවෙ ඉඳල බොහොම බරට අඩි තිය තිය. ඇවිල්ල රැවුල කාරිය හොල්ල හොල්ල අපි දිහා බලා ඉන්නව ඩෝන්ට් කෙයාර් තාලෙට. 

ඔන්න මයෙ තව යාලුවෙක් හිටිය එදිරිය කියල. ඕකා මනමාලියක් බලන්ට යන්ටද කොහෙද සුමානයක් නිවාඩු ඉල්ලල ලොක්ක ගත් කටටම බෑ කියල...මූ එදා හිටියෙ ලොක්ක එක්ක බුදු මලෙන්...ඔන්න එදත් අර අජ උතුමාණෝ ඇවිල්ල අපි දිහාවෙ බලාන හිටිය ඔළු ගෙඩියත් හොල්ල හොල්ල...ඔය කාලෙ පුදුම වැඩේ කියන්නෙ අපෙ බොසාත් යටි රැවුල වවල හිටිය ඇරපු අතක් නෑ..අර එළුවාණෝ වගේමයි. 

එලූස් දිහාවෙ රවාගෙන බලා හිටිය එදිරිය එකක් උගුරටම හලාගත්ත. කෙල පාරක් එහෙම ගහල ගේ පැත්තට හැරිල කෑගැහුව. 

" මේ ජයවර්ධන අරං වරෙංකො කොල්ලො ඔය පොල් කොල ටිකක් වත් පත්තු කරල..මේ ******** ගෙ පුතාගෙ රැවුලට මට ගිණි තියන්ට, මුගෙ ලොකු අයියට උණ ගැනෙන්ට....බලාපල්ලකො බලාගෙන ඉන්න හැටි විතරක්...අපි උගෙ යටත් වැසියො කියලයි මූ හිතාගෙන ඉන්නෙ මම හිතන්නෙ...." 

ඒ දවස්වල අපේ උයන්ට හිටපු ගෝලය තමයි ඔය ජයවර්ධන... 

හරි..ඒ එලු කතාව එතනිං ඉවරයි..ආයෙම තාරාස් ගැන...ලොක්ක ඔය තාරාවන්ට හැදුව වෙනම පොඩිවට පොකුණක්...ඒ කිට්ටුවම අඩි තුනක් වගෙ උඩින් වටේට කුකුල් දැල් ගහල ලෑලි වලින් හැදුව උන්ට ලගින්ට කූඩුවකුත්. ඕකට යන්ට දාල තිබ්බ ලෑල්ලක්...හප්පා හවස් වෙනකොට අර තාරාවො එකා පස්සෙ එකා පස්සත් හොල්ල හොල්ල කුවැක් කුවැක් ගගා ලෑල්ල දිගේ කූඩුවට යනව බලන්ට ලස්සනයි. අපි කට්ටිය පෙලක් වෙලාවට ඕක බලන්ටම යනව පොකුණ ගාවට කළුවර වැටෙන වෙලාවට කිට්ටු කරල... 

" ඒයි ලොක්කගෙ තාරා කූඩුවට ඊයෙ නරියෙක්ද කොහෙද පැනල…" 

එක දවසක් උදේ අපි ඇහැරුනේ විමලෙගෙ ගෝරනාඩුවට. විමලෙය තමයි අපි ඔක්කෝටම කලින් නැඟිටින්නෙ...ඕකට නින්ද යනව බොහොම හොරයි.උංගෙ ගම අලි විමානෙ...ඕක ගෙදර ඉන්දැද්දි රෑ තිස්සෙ ඇහැරගෙන අලි වෙඩි දානවලු උං පන්නන්ට. ඒ නිසාම ඕකට කොහෙ ගියත් නින්ද යනව හොරයි කියලයි අනික් එවුං කියන්නෙ...හැබෑ බොරුනම් අනේ මන්ද ඔය කතාවල.... 


ඔය වල් අලි…. ( සමාවෙන්න..Current accepted term is වන අලි ) ..වන අලි ටෙලිපෝන් මාර්ගයෙන් පන්නන මයෙ යාලුවෙකුත් ඉන්නව. ඒ සීන් එක නම් හැබැයි මේ බොහොම මෑතක...හරි ඒ කතාවත් පස්සෙ කියන කතා පයිල් එකට දාමුකො දැනට... 

හරි..ඔන්න විමලයගෙ ගෝරනාඩුවට අපි ඔක්කොම ඇහැරල සරං ඇඳ ඇඳ ආව එළියට.... 

" හප්පට සිරි....යමල්ල යමල්ල බලන්ට...." 

ඔක්කොම ගියා තාර කූඩුව ළඟට ඔන්න ඉන්න තරමක් කෑම්ප් එකේ සෙනඟ එතන වට වෙලා...ලොක්කත් ඉන්නව මූණත්තහඩුව නිකං ගල් පතයක් උඩට දෙරි ගහච්ච වැලයක් වගේ හදාගෙන.... 

තාරාවො තුන් දෙනෙක් අඩුයි.....අනික් එවුන් අහල පහල පඳුරු අස්සෙ ගල් ගොඩවල් අස්සෙ ඉඳල හොයාගෙන...තාර කූඩුවෙ පැත්තක කුකුල් දැල ඇදල අයිං කරල දාල... 

" දැං සෑහෙන කාලයක් තිස්සෙ නරින්ගෙ සද්දයක් නම් ඇහුණෙ නෑ නේද?..." 

ඔන්න එකෙක් කිව්ව......කූඩුව වටේ පරීක්සා කරන ගමන්.... 

" අනික නරි ආවනං අඩි තියෙන්න එපාය..මොකෝ උං පියාඹලා එන්නෙ නෑනෙ..... " 

ඒ දවස්වල පැලෙන්ට පායනව.. 

" මේ කට්ට පොළවෙ කොහෙද අඩි හිටින්නෙ....." 

උත්තර දුන්න තව එකෙක්...විද්වත් සබාවෙ විමර්සනේ නැඟල ගියා.වැඩට යන එක ටිකක් පරක්කු කරල මොනව හරි රටේ නැති වල් පල් ටිකක් කියෝ කියෝ ඉන්ට තියනම් අපේ එවුන්ටත් ඊට වඩා දෙයක් ඇත...හෙහ්, හෙහ්,අනික ලොක්කගෙ තාරාවො තුන් දෙනෙක් නැතිඋනාය කියන්නෙ සෙල්ලං කෙළියක්ද එක අතකට..වෙන තැනක නං දවසක් නිවාඩු දෙනව අය දෙකක් නැතුව...ඔය පොඩ්ඩක් මොනවහරි පාවිච්චි කරල දුක්ඛ දෝමනස්සයන් හිරු දුටු පැණි බිඳු මෙන් පහකරගන්ට... අපෙ කොහෙද එහෙම......

" නරි කියල ෂුවර්මද?..." 

මම ඇහුව් වටේ පිටේ ඉන්න එවුංගෙ මූණු බලන ගමං...මම විතරක් මොකටද කට වහගෙන ඉන්නෙ?...විද්වත් අදහසක් මොකවත් ප්‍රකාස කලාම මොකද ආය...නැද්ද හොඳයි? 


" කතන්දරේකවත් මම නම් අහල නෑ නරි තාරාවො අරං යනව කියල…" 

" අනේ මේ...උඹ මේ ලෝකෙ තියෙන ඔක්කොම කතන්දර කියවල තියනවද?...අනික් අතට නරි කරන ඔක්කොම දේවල් කතන්දර වල ලියවෙනවද?..." 

සමරෙ මට එගේන්ස්ට් එකට ආව. 

" හරි ඒක අල්ලල දාමුකො...මොකෝ මේ අහල පහලකවත් තට්ටක් නැත්තෙ?....මුගටියො එහෙම කුකුලො අල්ලගෙන ගිහාම ඒ ගිය පාර පුරා තටු..." 

මම ආයෙම කිව්වා. ඒ කතාව ඇත්ත. මම පොඩි කාලෙ අපේ ගෙදර කුකුලො ඇතිකලා. ඒ දවස්වල මට මතකයි මුගටි කුකුලො අල්ලං ගිහාම අපි ඒ පාර දිගේ තටු එකතු කර කර යනව. 

" ඔය කිව්වෙ ..ඔන්න කිව්ව..යකෝ..ඒ මුගටි කුකුලො ඇල්ලුවමනෙ..මෙතන මේ ඉන්නෙ නරියෙක්. අනික ඌ අල්ලල තියෙන්නෙ තාරාවෙක්. එතකොටත් තටු ගැලවෙන්නම ඕනය කියල කියන්නෙ කොහොමද උඹ..හා කියාපං බලන්ට…"' 

සමරෙගෙ ඒ තර්කයට ප්‍රති තර්කයක් මට හිතාගන්න බැරිඋනා. ඒ නිසා ඌටම දිනුම දීල මම නිකා හිටිය. 

එදා වැඩට ගිහිල්ල ඇවිදිල්ල පොඩ්ඩක් ඔය ටී.ටී. පාරක් එහෙම ගහල නාල කියල කාරිය මම මිදුලෙ වීර ගහයට පිට පළුවකින් හදල තිබ්බ බංකුවෙ ඉඳගෙන පොතක් කියෝ කියෝ උන්න. අපෙ කෑම්ප් එක කිට්ටුවම තිබ්බ සාමාන්‍ය තරමෙ වැවක්. අර මම කාලෙකට ඉස්සර කියාපු උපන්දින මතක සැමරුම් කතාවෙ කියවෙන්නෙ ආන්න ඒ වැව තමයි.හවස මේ වෙලාවට ඒ ලඟ තිබ්බ මුස්ලිම් ගමේ කෙල්ලො එනව වැවට නාන්ට. ඉතිං ඔය වෙලාව අල්ලල පොතකුත් අරගෙන අර බංකුව උඩ තැම්පත් වෙන එක මගෙ සම්ප්‍රදායානුකූල සිරිතක් වෙලයි තිබ්බෙ...හෙහ්, හෙහ්, 

මම ඔහොම බංකුව උඩට වෙලා තනි ඇහෙං පොත කියවමින් ඉඳිද්දි ඔන්න විජේ ආව එළියට. ඌ හවස් වරුව කම්මැලියි කියල බුදියගෙන හිටියෙ. 

" ඒයි වීරෙ..මොකද බං ඔතන කරන්නෙ? " 

ඌත් මා ලඟ ඇවිල්ල ඉඳගත්ත. හීතල හුළඟක් හමාගෙන ආව වැව දිහාවෙ ඉඳල. ඇඟේ හීගඩුත් පිපුන කොටිම්ම. 

" ඒයි මාර හීතලයි. පලයංකො නිමලයගෙං ඉල්ලං වරෙංකො බෝතලයක්...." 

විජේ අත් දෙකත් පොරෝගෙන කිව්ව. 

" සල්ලි නෑ මචං…" 

ඒ මාසෙ අන්තිම හරිය. නැට්ටටම හිඳිල අපි ඔක්කොම හිටියෙ. 

" මම දැන් නිමලයගෙං බෝතල් තුනක්ද කොහෙද ණයට අරං තියනව.ඒත් ඉල්ලුවොත් ඕක බෑ කියන්නෙ නෑ. ඒත් මට මහ මොකක්ද වගෙ..උඹ ගිහිල්ල ඉල්ලං වරෙං..පඩි ලබන අඟහරුවාදනෙ..සල්ලි හම්බ උන ගමන් ගෙවල දාමු. " 

හා එහෙනං කියල මාත් නැඟිට්ට. වෙනදට මේ වෙලාවට නාල යන කෙල්ලො රංචුවත් අද පේන්ට නැති එකේ මම ගියා නිමලය හම්බ වෙන්ට. නිමලය අපෙ චෙක් රෝලෙ හිටියෙ. ( චෙක් රෝල ගැන නොදන්න ඈයින්ගේ දැනුම් පිණිස - චෙක් රෝල යනු අනියම් සේවකයින්ගෙ වැටුප් ගෙවීම උදෙසා පවත්වාගෙන යනු ලබන පැමිණීමේ ලේඛනයයි.) ඔය නිමලයව අපි යොදවල හිටියෙ හුදෙක් සුමිහිරි පානේ ආසවනය කිරීම උදෙසාම.වියදම් මිනිහ ගානෙ. අපිට බඩු දුන්න බොහොම සහන මිලකට...වියදම් විතරක් කවර් වෙන්ට...අර මම කලින් කිව්වෙ වැවක් ගැන. ඕකෙ එහා කෙලවර තමයි ඔය වැඩේ කෙරුවෙ. 

" ඒයි නිමලෙ..බෝතලයක් දියං බං...පඩි ගත්තම සල්ලි දෙන්නං... " 

නිමලය නාගෙන එනව දැකල මම මඟදිම කිව්ව. 

" හරි මහත්තය...ඒක කොහොම කරගන්ට බැරිද?..ඉන්ඩකො මම ගේන්නං…" 

නිමලය ගෙට ගියා. මම ඉස්තෝප්පුවෙ තිබ්බ පුටු කබලෙ වාඩි වෙල බලා හිටිය. 

" මහත්තය..පොඩි බඩුවක් තියනව...." 

නිමලෙ සිමෙන්ති උරේකින් හදාපු බෑග් එහෙම දාපු බෝතලෙත් එක්ක පත්තර පිටුවකින් වහපු ලොකු ප්ලාස්ටික් කෝප්පෙකුත් මට ගෙනත් දුන්න. 

" මොනවද බං?....." 

මම පත්තරේ ටිකක් උස්සල බැලුව. 

" කුකුල් මස්ද? …" 

" අරං යන්ඩකො මහත්තය..කාලම බලන්ටකො…" 

විමලෙ හිනාවෙවී කිව්ව. 

ඔයිට කලින් දවසක මම නිමලෙට කියල තිබ්බ මොණර මස් එහෙම හම්බ උනොත් මට ටිකක් දීපං..කාල බලන්ට ආසයි කියල..ඔය වැව හතීකොණ උං බයින්ඩිං වයර් වලින් උගුල් අටෝනව. වළි කුකුල්ලු, එතකොට මීමින්නො හාවො වගෙ පොඩි සත්තු එහෙම හරියට අහු වෙනව. 

" මොණරද බං?...." 

නිමලෙට මම කලින් කියල තිබ්බ කතාව මතක් වෙල මම ඇහුව. ඒකා ආයෙම හිනා උනා. 

" කාල බලලම කියන්ටකො ……" 

මම ඉතිං බෝතලෙයි මස් කෝප්පෙයි දෙකම අරං ආව. මස් එක නියමෙට තිබ්බ.දුරු මිරිස් එහෙම ආය නෑ හොඳ ගානට. ඒකෙං බාගයක් එක්ක බෝතලේ ගැහැව්ව විජයය, මමයි , සමරෙයි.විමලෙ එහෙමට බොන්නෙ නෑ.ඔය හිතක් හිතුනොත් තමයි. 

" මොනවද බං මේ?......" 

බොන ගමනුත් විජේ ඇහුව මස් කෑල්ලකුත් හප හප. 

" දන්නෙ නෑ මචං නිමලය කිව්වෙ නෑනෙ...මොණරා මම හිතන්නෙ. මම කලින් දවසක ඕකට කියල තිබ්බ මොණරෙක් අහු උනොත් මටත් ටිකක් දීපං කියල…" 

මම උගුරට එකක් හලාගෙන මූණ ඇඹුල් කරගෙන කිව්ව. 

ඔයිට සතියකට දෙහෙකට විතර පස්සෙ දවසක්...එදා ක්වාටස් එකේ හිටියෙ මම විතරයි. අනික් ඔක්කොම ගෙවල් වලට ගෙහුං හිට...නිමලෙය හවස ආව බෝතලේකුත් අරගෙන. 

" අපෙත් අද ඉන්නෙ මං විතරයි මහත්තය.අනික අද මගෙ උපං දිනේ. අද මා ගානෙ පාටිය....." 

එදා වැඩි මොකවත් තිබ්බෙ නෑ සරුසාරෙට හපන්ඩ. බිත්තරයක්ද දෙකක්ද කොහෙද ඔම්ලට් දාල ගත්ත. 

" එදා අර උඹ දුන්නු බයිට් එක තමා බයිට් එක..පුදුම රහක් නෙව...මොනවද බං හැබෑටම ඒ? " 

බෝතලේ බාගයක් විතර හිස් වෙනකොට මම ඇහුව..නිමලෙ අහක බලාගෙන හිනාඋනා. 

" මහත්තයට හිතාගන්න බැරි උනාද ඒ මොනවද කියල. " 

ආයෙම මගෙ දිහා බලල ඇහුව. 

" ඒකනෙ බං...කුකුල නං නෙවෙයි..අපි ඒත් කතා උනේ මොණර මස් වෙන්නැති කියලයි.." 

" නෑ මහත්තය...කාටවත්ම කියන්න එපා හොඳද?...ඒ තාරා මස්!!! " 

" හෑ????????? " 

මගෙ කටත් ඇරුන මම හිතන්නෙ හක්කෙ චාර්වක දත් හිටං පේන තරමට. 

" උඹව තියන්න වටින්නෙ නෑ නෙව. යකෝ ලොක්ක ඇහේ ඉඳං පට්ට ගහයි තාරාවො මැරුවෙ උඹය කියල දැන ගත්තොත් එහෙම. " 

" ඔන්න ඉතිං මහත්තය මට කියන්න දෙන්නෙ නෑනෙ.මම මරාපු තාරාවෙක් නෑ…..පාන්දරම තාරාවො කෑගහන සද්දෙට මම ගියා ටෝච් එකත් අරගෙන. එතකොටත් නරිය තාරාවො දෙන්නෙකුත් අරගෙන ගිහිල්ල. එකෙක් අර පිටිපස්සෙ මයිල ගහ යට වැටිල හිටිය. එතකොටත් මැරිල. බොස් අනිවාර්යයෙන් ඕකා වලලන්ටෙයි කියන බව දන්න නිසා මම හෙමිහිට ඒකව ගෙනල්ල කුස්සියෙ රාක්කෙ යට හැංගුව.හවස් අතේ කට්ටිය එහෙ මෙහෙ ගිහාම දොරත් වහගෙන සුද්ද කරල ඉව්ව. ඔන්න දැං මහත්තය විතරයි මේක දන්නෙ..කියන්න එහෙම එපා කාටවත්. " 

මගෙ නෑනෙ ඔය කාගෙවත් රහස් අතන මෙතනෙ කියන පුරුද්දක්. මම එහෙං එනකලුත් කටේ කෙල පොදක් බිම හැලුවෙ නෑ ඒ ගැන.ඒත් නිමලෙය කියපු දේ ඇත්තමද කියල නම් විඩෙං විඩේ මයෙ හිතට හැකයක් ආව.නරියෙක්ගෙ පිට දාල මූම කූඩුව කඩන්ඩ තරං නං හිතුවක්කාර වෙයි කියල නං හිතන්ට අමාරුයි.ආය මට හිතුන උදේ නරිය කූඩුවට පැනල කියල දැක්කම නරිය පිටම දාල මේකම තාරාව මැරුව වත්ද කියල. ඒත් ඔය වෙලාවෙ කලබල අස්සෙ ඔහොම දෙයක් එක පාරටම කල්පනා වෙන්ට තියන ඉඩකඩත් බොහොම අඩුයි. ඒ නිසා අන්තිමට මම තීරණය කලේ නිමලෙය කියන්ට ඇත්තෙ ඇත්තම වෙන්ට ඕනෙ කියලයි. 

ලොක්කගෙ ගෝණා ගැනත් තියනව ජොලි කතාවක්...ආයෙම වෙලාවක කියඤ්ඤංකො හොඳේ ළමයි........

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...