Thursday, February 7, 2013

160. එක්තරා දඩයක්කාරයකුගේ කතාව.........The Saga of A Hunter....32


සැඳෑ හිරුගේ රත්වන් ආලෝකය මද අඳුරක ගිලීයමින් තිබූ වනස්පතියෙහි පරිශාඛාවන්ගෙන් සීමා නිර්ණයවූ මණ්ඩපයක් වන් භූමි භාගයට වැද එතුල විහිදවූ ආලෝකය මධ්‍යයේ ඒ අපූර්ව පුරුෂයා නිසොල්මනේ හිඳ සිටියේය. දඩයක්කාරයාගේ විවරකල දෙනෙතට එක්වරම ඒ රූපකාය දර්ශනය වූයේ මණ්ඩපය තුල දසත පැතිරි ආලෝකය ඉන් විහිදෙන්නාක් මෙනි. 

අඳුරු කසාවත් හැඳි ඒ අපූර්ව පුරුෂයාගේ පියවුණු නෙත් යුග කෙරෙහි ඇසිපිය නොහෙලා දඩයක්කාරයා බලාසිටියේ ඉහලට ගත් හුස්ම පහළට හෙලීමට පවා අමතක වූ ලෙසිනි. එලෙස අනිමිස ලෝචනයේ යෙදී හුන් ඔහුගේ දෑස කෙමෙන් පියවෙන්නට වූයේ ඔහුටද නොදැනීමය. 

කෙමෙන් දෑස් පියවී යන්නා හා සමඟම දඩයක්කාරයාගේ සිතෙහි සියළු ඉම්පෙදෙස් සිසාරා පැතිර යන්නට වූයේ මහත් සුවදායක එමෙන්ම සුපසන්වූ හැඟීම් සමුදායෙකි. සිත සියළු සිතුවිල්ලෙන්, සංවේගජනක හෝ තෘප්තකර වෙනසක් නොමැතිව සියළු සිතුවිල්ලෙන් විනිර්මුක්තවූ අවස්ථාවක් පිළිබඳව මොහොතකට සිත යොමු කල මැනවි.එවන් අවස්ථාවක් පිළිබඳ උපකල්පනය පවා උභතෝකෝටික ගැටළුවක් බව මම දනිනි.ඔබ එවන් අවස්ථාවක් සිතට නඟාගැනීමට තැත් කිරීමම හුදෙක් සිතෙහි යම් සිතුවිල්ලක් හට ගැනීමට හේතුවේ.එසැණෙන් සිත සියළු සිතුවිලිවලින් විනිර්මුක්ත කිරීමේ කොන්දේසිය බිඳ වැටෙනු ඇත. 

එසේමය .සියළු බැඳීම් වලින් තොරවූ ඒ උත්තරීතර තත්වයට පත්වීමෙහි පලමු පියවර වූ සිත කිසිදු සිතුවිල්ලකින් තොරව පවත්වාගැන්ම කිසිසේත් පහසු කාර්යයක් නොවේමය. 

දඩයක්කාරයා ප්‍රත්‍යක්ෂ කලේ එවන් අනුභූතියක මූලික අවස්ථාවකි. එසේ වූයේද බොහෝ දුරට දියුණු කල තවත් සිතක මඟ පෙන්වීම මතය. තම සිත නියාමනය කරමින් ඊට මාර්ගෝපදේශකත්වය සපයන්නාවූ විශිෂ්ඨ වූ මනසක බලපෑම යටතේ දඩයක්කාරයාගේ සිත නිවී පහන්ව ගියේය. 

ඔහු සය හෝ සත් හැවිරිදි කුඩා දරුවකුව සිටියදී මෑණියන්ගේ අකල් මරණයෙන් පසු පියාණන්ගෙ මඟ පෙන්වීම යටතේ සිත් කියවීමෙහි මෙන්ම වදනින් තොරව සිතුවිලි මඟින් අදහස් හුවමාරු කර ගැන්මෙහි තාක්ෂණය සහ ක්‍රියා පටිපාටිය උගත්තේය. වෙනත් ඕනෑම ශාස්ත්‍රයක් මෙන්ම එහිද නිපුණත්වය රඳා පවතිනුයේ හුදෙක් සතතාභ්‍යාසය ( නිතර පුරුදු පුහුණු කිරීම - Constant practice ) මතමය. එසේ හෙයින් පියාණන්ගෙ අභාවයෙන් පසු ඒ නිපුණතාව ඒ හැකියාව කෙමෙන් දඩයක්කාරයා කෙරෙන් ගිලිහී ගියේය. යලිදු ඒ පිළිබඳ අංශුමාත්‍රක වූ සොඳුරු මතකය නාඳුනන අපූර්ව පුරුෂයාගේ මඟ පෙන්වීම ඔස්සේ දඩයක්කාරයාගේ සිතට වන්නේ ඔහු සිත මහත් වූ ප්‍රමෝදයකින් පුරවා ලමිනි. 

අඳුරු පඬුපැහැ වස්ත්‍රාධාරී ඒ අපූර්ව පුරුෂයා සහ දඩයක්කාරයා අතර වූ අන්තර්ක්‍රියාවන් බොහෝ කොටම සිදුවූයේ සිතුවිලි මාර්ගයෙනි. දෑස් ලිහිල්ව පියාගත්වනම එකිනෙකා ඉදිරියේ බද්ධ පර්යංකයෙන් ( cross legged ) හිඳ සිටිනා ඔවුහු වදනින් අන්තර් ග්‍රහණය කොට ගැනීමට වඩා වේගයෙන් එමෙන්ම පැහැදිලිව තම අදහස් සිතුවිලි මාර්ගයෙන් බෙදා ගත්තෝය. 

අවම වශයෙන් දෙදිනකට වරක් හෝ මේ ප්‍රමෝදජනම එමෙන්ම සිත් සනහාලන සුළු චිත්ත සංවාදයනට සහභාගී වීම උදෙසා වාළිඹේගල ගිරි හිස තරණය කිරීමට දඩයක්කාරයා අමතක නොකලේය. ජීවිතය පිළිබඳ ඔහුගේ සිත තුල වද දුන් ගැටළු බොහොමයකට තෘප්තිමත් විය හැකි අයුරු පිළිතුරු මේ සංවාදයන්හිදී දඩයක්කාරයාහට ලැබිණ.එසේ වූ හෙයින් අන් කවරදාකටත් වඩා ඔහු ජීවිතය පිළිබඳ උපේක්ෂාසහගත වූයේය. 

දඩයක්කාරයා තුල ඇතිවූ මෙම වෙනස පිළිබඳව යම් අවබෝධයක් සුද්දියට ඇතිවිනිද යන්න අපැහැදිලිය. එසේවූවද ඈ ඒ පිළිබඳව නාමමාත්‍රික වූ ඇඟවීමක් පවා කිසිසේත්ම නොකළාය. 

බොහෝ කලකට ප්‍රථම ජීවිතයේ අරුණෝදයෙහිදී මනා කොට ප්‍රගුණ කල නමුදු ඉනික්බිති ඔහු කෙරෙන් ගිලිහුනු අන්‍ය සිත් කියැවීමෙහි පරිචය ඒ භාවනානුයෝගී යතිවරයාණන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් සහ සහායෙන් සති කිහිපයක් තුල දඩයක්කාරයා යලි උගත්තේය. 

එහෙත් පළමුව යතිවරයාණෝ සිත් කියැවීමෙහි පරිචය යලි ලබාගැනිමෙහිලා දඩයක්කාරයාහට සහාය දැක්වීමට එපමණ උනන්දුවක් නොපෙන්වූවෝය. 

" දරුව...ජීවිතයේ අපට අවශ්‍ය බොහෝ දේ මෙන්ම අනවශ්‍ය බොහෝ දේ ද ඇත.හැකියාවන් පිළිබඳවද ඒ ධර්මතාවය එළෙසම සත්‍යය වේ.ප්‍රමුඛතාවය නොදිය යුතු එමෙන්ම අර්ථයකට වඩා අනර්ථයක් වන ආකාරයේ පරිචයන් ප්‍රගුණ කිරීම බොහෝ විට අනතුරු දායක විය හැකිය. අනුනගේ සිත් කියැවීමෙහි හැකියාව බොහෝ විට ද්විත්ව මුවහතින් යුතු තියුනු සැතක් දැරීම හා සම විය හැකිය.ඉන් සැත දරා සිටිනා ඔබගේ හස්තයම අනතුරට පත්වීමෙහි හැකියාව පිළිබඳවද බොහෝ සේ ප්‍රවේශම් විය යුතුය. " 

මේ ඊට හේතු විමසූ කල දඩයක්කාරයා ලද පිළිතුරයි.එහෙත් කුඩා අවදියේ ඔහු සතුව තිබූ ඒ අපූර්ව හැකියාව යලි ලබා ගැන්මට දඩයක්කාරයා මහත්සේ ඇළුම් කලේය. 

ඒ හැකියාව ඔහු ක්‍රමයෙන් ප්‍රගුණ කලේ ප්‍රථමයෙන් තිරිසන් සිත් කියවීමෙනි. එහෙත් කිසි දිනෙක ඔහු දඩයමක් කිරීමට ප්‍රථම උපහටයා ( Victim ) ගේ සිත කියැවනු වස් තැත් නොකලේය. 


මිනිස් සිතකට පිවිසීමෙහි හැකියාව තමනට ඇතැයි උදක්ම හැඟුනු ඉක්බිති ඔහු එක් අහස වැහි වළාවන්ගෙන් මුළුමනින්ම වැසී අඳුර දසත රජ කරමින් තිබුණු දිනයෙක පිල් කඩෙහි දිගඇදුනේ ගෙතුල දරුවන් දෙදෙන පරක් කරමින් හුන් සුද්දීගේ සිතට ප්‍රවේශ වනුවස් තැත් කළේය. 


මතු සම්බන්ධයි........ 

23 comments:

  1. ඊලග එකත් කියෝලම කමෙන්ට් එකක් දාන්නං..

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි...ස්තූතියි......:)

      Delete
  2. //( ඔන්න තව එකම එක පාරයි මතු සම්බන්ධයි කියල දාන්නෙ...පොඩි කාලෙ අර දිවේ කතිරෙ ගහල පොරොන්දු වෙන්නෙ..ඔන්න මමත් එහෙම දිවේ කතිරෙ ගහලම පොරොන්දු උනා..හරිය? ) //

    155 කතාවේ අගට ඔන්න ඔහොම එකක් තියනව දැකල, ඉපිල ගිහින් හිටියේ... බැලින්නං ඡන්ද පොරොන්දු.....

    ReplyDelete
    Replies
    1. හරි බොලේ 155 කතාවෙ අන්තිමට එහෙම කිව්ව නම් තමයි. එතකොට මම හිතාගෙන හිටියෙ තව කොටස් දෙකයි එල්ලාම් මුඩිංජි කියලයි. ඒත් අර හාංදුරුවො මුලිච්චි වෙන සීන් කෝන් එක එපිසෝඩ් එහෙකින් ඉවරයක් කොරන්ට බැරි උනා නෙව..ඒ නිසා කොටස් තුනකට කතාව ඇදුන නොවැලැක්විය හැකි හේතූන් මත...ඒත් හිත කලබල්කරගන්ට එපා බොලේ..තව එකයි!..තව එකයි!!...තව එකම එකායි!!!

      Delete
  3. ෙම් දවස්වල මම දඩයක්කාරයාෙග් කතාව කියවනව බං. සයිමන් නවතගත්ෙත්ගම මහත්තයෙග්..

    සිරා, ජය ෙව්වා.. !

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...හැබෑටම?....ආන්න කතා...කියවහං...කියවහං මලේ...කියවහං...:)

      Delete
    2. මෙන්න නියම සුසංයෝගයක්. දෙන්නම ආසා දඩයක්කාරයෝ ගැන ලියන්න. මොකද බොලව් බොලා දෙන්නම දඩයමට ඔච්චර ආසා?

      Delete
    3. මොකෝ හෙන්රි අයිය ආස නැත දඩයමේ යන්න ?? ?? ;)

      Delete
    4. @ හෙන්රි,

      දඩයම බං අපි අවුරුදු මිලියන ගානක් කොරාපු වැඩේ නෙව. මේ ඊයෙ පෙරෙයිද රෙදි ඇඳල විලි වහගත්තට අපෙ ඇතුලෙ ඉන්න දඩයක්කාරය තවම අන්තර්ධාන උනේ නෑ.දඩයමට ආයුධ හදාගන්න ඉස්සරවෙලා අර්ධ වානර මානවයා අනෙකුත් සත්තු එක්ක තරඟ කරලයි ගොදුරු මරා ගත්තෙ...ඒ වැඩේ මල්ලි තනියම බෑ..කණ්ඩායමක් විදිහට සංවිධානය වීම බොහොම වැදගත්. අදත් මේ අතඇරගන්ට බරුව තියෙන කල්ලි වාදය, ගෝත්‍රික හැඟීම ආරම්භ උනේ එතනින්...

      ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද? පාපන්දු..ඇයි එහෙම උනේ...අඩු පිරිවැය වගෙ වෙනත් නොයෙක් හේතු අතර අපි මොහොතකට වෙනත් කණ්ඩායමක් සමඟ ආහාර උදෙසා සටනේ යෙදෙන අතීත වනචාරී දඩයක්කාරයො බවට පත්විමට ඇති හැකියාවත් බොහෝ දුරට හේතු වෙනව ඇති. අවිඥාණිකව.

      Delete
  4. නැගලම යයි වගේ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රජතුමනි..ඔබටද එසේම වේවා!!!

      Delete
  5. ඔන්න එදාට තමා දඩ්ට කෙලවෙන්නෙ.. ගෑනුන්ගෙ හිත්ඔලට එබිලා බලන්ට ගොහිල්ලා මේකා මොන වංකගිරියක හිරවෙයිද මන්දා.?? ඔවුවා ඇතුළෙ අඳුරු අහුමුළු අම්බානකටළු.. :D

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, අනේද කියන්නෙ බූර්ස් මල්ලි...අපි මේ මුන්දල කටිං කියන එව්ව අහල ඔල්මොරොංදං වෙල ඉන්නෙ...අර මෝඩය ලෑස්ති අර අම්මණ්ඩිගෙ හිත අස්සෙ රිංගල බලන්ට....කාටද මෙව්ව කියන්නෙ?

      Delete
    2. ඒකම තමයි මටත් කියන්න තියෙන්නෙ...දඩයක්කාරයට පිස්සු හැදිල නැවතුනොත් ඇති..

      Delete
  6. කාලෙකින් ආව මමත්.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, වෙල්කම් බෑක් මැඩම්...වෙලාවට ආවෙ...තව එක කොටසයි ...මහා පතරංග ජාතකය එතෙකින් නිමියේය...:)

      Delete
  7. මොකද මේ අද චුට්ටක් :(

    ReplyDelete
    Replies
    1. මෙතනින් එහාට අන්තිම කොටස යසිත්..ඒ නිසා මෙතනින් නවත්තන්න උනා...:(

      Delete
  8. මට ගොඩක් දවසකින් මේ පැත්තේ එන්න ලැබුනේ.. මේකේ කලින් කොටස මඟ ඇරිලා.. ඔන්න ඒකත් එක්කම මේකත් බැළුවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්....:)

      Delete
  9. හතිලව්වේ මේ ඉලව්ව තවමත් තියනවැයි....... ???? මාස දෙකකට විතර පස්සෙ ආවෙ අහවර වෙලා ඇතිය කියල හිතාගෙන. හපෝයි ..... !!!!!!

    ඊලන්න කොටහෙන් මේක අහවර කොරන්නෙ මේ දඩයක්කාරය අංගොඩ නවත්තල නේද ? නැත්නං අහවල් දෙයකටෙයි ගෑණුංගෙ හිත් කියවන්න හදන්නෙ ??

    ReplyDelete
    Replies
    1. කොහෙද බං උඹ යන්නෙ?....කණ කැස්බා විය සිදුරෙං පුන් සඳ දකින්නැහෙ ඕං හිටපු ගමං එනව..ආය අන්තර්දාන වෙනව...හෙහ්, හෙහ්,

      අංගොඩ කියනකොට සෝක් කතාවක් මතක් උනා..අන්තර්දාන වෙන්ට ඉස්සර ඒකත් කියවලම පල...:)

      ඔන්න කවුරුහරි ලොක්කෙක්.... කියාපංකො සවුක්කිය ඇමතිය කියල.... ගියාලු පිස්සු කොටුවෙ ටුවර් එකක්..ඔන්න එක තැනක මනුස්සයෙක් පුටුවක වාඩි වෙලා ඉන්නවලු ඈත බලාගෙන කිසිම කතාබහක් නැතුව. අඩුගානෙ ඇහිපිය හෙලන්නෙවත් නෑලු. ඇමතිය මේ මනුස්සය දිහා බොහොම වෙලා බලා ඉඳල පිස්සු කොටුවෙ ලොකු දොස්තර දිහාට හැරිල ඇහුවලු...

      " මොකෝ මෙයාට වෙලා තියෙන්නෙ? "

      " මෙයාගෙ කතාව බොහොම දුක්බර එකක් සර්..මේ මනුස්සය අවුරුදු දහයක් විතර කෙල්ලෙකුට ලව් කරල..දෙන්න බොහොම ආදරෙං ඉඳල තියෙනව..පස්සෙ අර ගෑණු ළමය කිසිම හේතුවක් නැතුව මෙයාව අත ඇරල වෙන මනුස්සයෙක් කසාද බැඳල..ඒ ගැන කල්පනා කරලම මිනිහ පිස්සෙක් වෙලා…"

      මිනිහ දිහා බොහොම අනුකම්පාවෙන් ටික වෙලාවක් බලා ඉඳල ඇමති ගියා එතනිං ඉස්සරහට..අප්පට සිරි..මෙන්න වැඩේ...යකඩ කූරු ගහපු කූඩුවක ඔන්න දාල ඉන්නව තවත් මනුස්සයෙක්...මේ මනුස්සය යකෙක් වගේ..ඇසුත් රතු වෙලා..කොණ්ඩෙත් අවුල් වෙලා..යකඩ කූරු ඔක්කොම පෑඩ්ස් දාල කවර් කරලයි තියෙන්නෙ. ඒ නිසා අනතුරක් නම් නෑ. ඒත් මේ යකා හිටු කියල ඔළුව ගහ ගන්නව අර යකඩ කූරු වල...එ අතරෙ අමු කුණු හරප කියනව...ඇමති තුස්නිම්බූත වෙලා බලා හිටිය මේ දිහාවෙ කෝකටත් ටිකක් ඈතට වෙලා...

      ඒ කරල දොස්තර දිහාවට හැරුන..මොනවත් අහන්න ඉස්සරම දොස්තර පැහැදිලි කලා..

      " මෙයා තමයි සර් අර මම කලින් කියපු ගෑණු ලමය බැඳපු මනුස්සය.. "

      කතාවක ආදර්ශයක් නැත්නම් මොරාල් එකක් තියෙන්න ඕනමයි කියල හිතන අය කැමති විදිහට මේකෙන් ආදර්ශයක් ගත්තට මගේ කිසිම විරුද්දත්වයක්, තරහක්, අමනාපයක් කොහෙත්ම නැත.

      Delete
    2. හත්ඉලව්වේ, නවමා දැකපු කල්................

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...