Friday, February 15, 2013

162. තාරාවාගෙන් ඇරඹි මතක මංපෙතේ තව දුරටත්....බොස්ගෙ ගෝණා නොහොත් ටාසන්…


අර තාරාස්ගෙ කතාව මම ඉවරයක් කලේ බොස්ගෙ ගෝණා ගැනත් සෝක් කතාවක් තියනව ...එකත් ළඟදිම කියඤ්ඤංය කියලනෙ...රස්නෙ පිටම යකඩෙ තැලුවෙ නැත්තං වැඩේ හරියන්නෙ නෑ. ඒකනෙ ඔය කම්මල් කාරයො ඉහිං කණිං දාඩිය පොල්ල පෙරාගෙන උඩ පැන පැන තලන්නෙ ගිණියං වෙච්ච යකඩෙට. ඉතිං මටත් හිතුන මේ මතක සැමරුම් උල්පත එක පාරටම අහම්බෙං වාගෙ මතු වෙච්චි එකේ ගෝණගෙ කතාවත් කියලම දැම්මනං ඉවරයි කියල. 

ලොක්ක ගාව හතර පස් දෙනෙක්ම ගෝණ පැටව් හිටියට අලි ගෝණ නාම්බෙක් හිටියෙ මම මේ කියන්ට යන කතාවෙ පක්ෂධරයා ( Protagonist නොහොත් ප්‍රධාන නළුවා )විතරමයි. මූ ලොක්ක ගාවට ආවෙ අපෙ කෑම්ප් එකට කිලෝ මීටර් හතරක් විතර එහා ඉඩෝරෙට හිඳිච්ච වැවක බන්ට් එක පල්ලෙ වැටිල කකුලක් කැඩිල ඉන්දැද්ද අපෙ ගෝලයො වගේකට ඇහැ ගැහිල. ඒ කිට්ටුව අපි ඩෝසර් දාල කැළේ එලි කලා. ඒ අලුතෙන් පදිංචි කරන මිනිස්සුන්ට කුඹුරු කරන්ට කට්ටි කරල දෙන්ට.හෙක්ටෙයාර් එකයි එක පවුලකට. අක්කර නම් හරියටම 2.47 යි. 

ඔය දවස්වල හික්කඩුව අම්බලංගොඩ දිහාවෙ හිරිගල් කැඩිල්ල හින්ද සමුද්‍ර ඛාදනය බොහොම ජයටම සිද්ද වෙනවය කියල මහ හා හූවක් ගියා දිවයින පුරා. දන්නවනෙ අපේ රටේ ඉන්නවනෙ ජාතියේ පිනට පහල වෙච්ච නායක නායිකාවො.. එදත් හිටිය අදත් ඉන්නව....ඔන්න ඒ දවස්වල හිටිය කුශාග්‍ර බුද්ධිමත් ඥාණවෘද්ධ පාලකයො කොරපු වැඩේ ව.ක්‍රි.ප. ( වහාම ක්‍රියාත්මක වන පරිදි ) තහනං කලා හිරිගල් කැඩිල්ල.ඉතිං එහෙම නිකම්ම තහනං කරල අත පිහදා ගන්ටත් බැහැ නෙව. ඒ මිනිස්සුන්ට මොනව හරි ජීවන මාර්ගයක් සලසල දෙන්ටත් එපාය. ආන්න එවුං ඔක්කොම ලොරිවලයි කෝච්චි වලයි පටෝල එව්ව මේ කැළේට. ඒ කරල කුඹුරු අක්කර දෙකහමාරෙ හතර මායිං පෙන්නල කිව්ව දැං අස්සද්දාපිය මේක කියල. 

මං හිතන්නෙ ලොක්කො හිතාන ඉඳල තියෙන්නෙ අර බුදු හාමුදුරුවො ඒ කාලෙ ඒහි භික්ෂු භාවයෙන් මහණ කලේ. එව මහණ කිව්වම හිස රැවුලු ඔක්කොම මුඩු වෙලා, සිවුරු පෙරවිලා, පාත්තර අතට ලැබිල එතකොට ධර්ම ඥාණය පහල වෙල පරිපූර්ණ භික්ෂුවක් වෙන්නෙ...ආන්න ඒ වගේ කුඹුරු ඉඩමෙ හතර මායිම් පෙන්නපුවම ඒ මිනිස්සුන්ට කුඹුරක් අස්වද්දන හැකියාව, දැනුම, පළපුරුද්ද ඒ ඔක්කෝටම වැඩිය ඒ වැඩේට කැමැත්ත ස්වයංක්‍රීයව පහළ වෙලා උං සර්ව සම්පූර්ණ ගොවියො වෙනවයි කියල වෙන්න ඇති. 

මොන විකාරද?...ඒ ආපු අයගෙං සියට තිහක් වගෙ නම් අළුත් ජීවිතේට බොහොම කැමැත්තෙං හැඩ ගැහුන. ඉතිරි අය කලේ සහනාධාර දෙන දවසට ඇවිල්ල ඒ ටිකත් පොදි බැඳගෙන ඊලඟ කෝච්චියෙ ආපහු ගම් රටවල් බලා යන එකයි.කොයි වැඩක් උනත් අලුතෙන්ම පටන්ගන්නකොට ඔය වගෙ අඩු ලුහුඬුකම් සිද්ද වෙනව. හැබැයි ඒ වැරදීම් වලින් පාඩමක් ඉගෙන ගෙන පස් සෙ පස් සෙ ඒ පදිංචි කිරීමේ වැඩේ බොහොම සාර්ථකව කෙරුන. ඇත්ත කියන්ට එපාය.... 

හරි කොහෙන්ද මම මේ හිරිගල් කඩන කතාවක් කියන්ට ආවෙ?..ආ..හරි අර ගෝණ නාම්බා වැව් කණ්ඩියක් පල්ලෙ වැටිල හිටිය කියල කියන්ට ගිහිල්ල නේද?...ඔව්... 

ඔය ගෝණා වැව් කණ්ඩිය පල්ලෙ වැටුනෙ කොහොමද දන්නවද?...නෑ..නෑ..කකුල ලිස්සල එහෙම නෙවෙයි...දඩයම් බල්ලො රෑනකිං බේරෙන්ට දුවද්දි තමයි ඔහොම වෙලා තියෙන්නෙ..හරි හරි...බොරු කියන්නෙ මොකටද බොලව් මම?...ලංකාවෙ කොහෙද කැළෑ දඩයම් බල්ලො කියල ඇහුව?...ඔව් .නෑ තමයි. ඒත් මෙවුං ඇවිල්ල ගෘහාශ්‍රිත නෝමල් බල්ලො.වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි. මම ඉතිං ඔව්ව ගැන පොඩ්ඩක් විතර උනන්දු නිසාවෙන් ඔය ගැන ගැන නිකං ඉන්න ගමන් හොයාල බැලුව. 

ඔය දවස්වල ජනවාර්ගික අර්බුදය බොහොම උග්‍ර කාලෙ. ඔන්න හිටපු ගමං ආරංචි වෙනව කොටි අරෙහෙට ගැහැව්ව, මෙහාට ගැහැව්ව, අතන අච්චරක් මැරුව , මෙතන මෙච්චරක් මැරුව කියල...අනේ ඉතිං මේ අහිංසක මිනිස්සු අතට අහුවෙන මොනව හරි පොදි ගහගෙන ඔන්න යනව මහ පාර අද්දර ඉස්කෝලෙකට ..සරණාගත කඳවුරු.....ඔව්වයෙ මාසයක දෙකක් ඉඳල ආයෙම ආපහු එනව. ඉතිං ඔහොම යද්දි බල්ලොත් අරං යන්ට බෑනෙ. එවුං මොකද කරන්නෙ ආයෙ?...මාස දෙක තුනකට පස් සෙ මිනිස්සු ආපහු එනකල් උඩු බුරමින් ඉන්ටයැ..එවුනුත් පණ රැකගන්ට කැළෑ වදිනව. 

කැළෑ වැදිල පටන් ගන්නව දඩයම. කොහොමත් කාලෙකට ඉස්සර කරපු වැඩේ නෙව. බොහොම ඉක්මනටම අල්ල ගන්නව. ඔහොම කැලෑ වැදුනු බල්ලො විස්සක විතර රංචුවක් ඒ දවස්වල එහෙ හිටිය.මෙවුං නං කවුරුවත් හිතාමතා කැලේට යැව්ව බල්ලො නෙවෙයි.වෙන කරන්ට දෙයක් නැතිකමටම කැලෑ වැදිච්ච උදවිය. 

ඒත් දන්නවනෙ අපේ දේශපාලන නායකත්වයට බොහෝම ඩිංගිත්තක් පහලින් ඉන්නෙ බුද්ධිමත්භාවය අතිං අපේ නිලධාරි පැලැන්තිය.මේ සුනඛයින් නැවත වනගත කිරීමේ මෙහෙයුමක් ගැන අසමසම සංකල්පයක් ඉදිරිපත් කල අපේ කාලේ විරයෙක් ගැන අජිත් ලියාපු සටහනක්. 

ඔය අර්ධ වනගත බල්ලො දඩයං කරනව බලා ඉන්ට ආසයි.උං ඔක්කොම එක පාර මුවා හරි ගෝණා හරි පස් සෙ එලවන්නෙ නෑ. කට්ටිය කට්ටිය බෙදිල වැඩේ කරන්නෙ. මම පස් සෙ කාලෙක අන්තර්ජාලයෙ දැක්ක වල් බල්ලොත් ( I mean wild dogs; not any other kind. please don't misunderskirt ) එහෙමමලු ඒ වැඩේ කරන්නෙ. 

අඩේ ආයෙම කැලේ පැන්න නෙවද?..සමාවෙන්න...සමාවෙන්න...හරි ඔන්න ආයෙම ගෝණගෙ කතාවට. ඉතිං ඔන්න අර ගෝණ නාම්බා අරං ආව බොසා ගාවට. බොසා මොකද කලේ බොහෝමත්ම දුකෙං ඇස් දෙකේ කඳුලු එහෙමත් පුරවගෙන අර ගෝණ තඩිය බාරගත්ත ඔළුව එහෙමත් අත ගාල. අර ඔය කිට්ටුවම තියන මුස්ලිම් ගම්මානෙ ගැන මම කිව්ව මතකෙයි ඔහෙලට?...රයිට් ඔය ගමේ හිටිය හොඳ කැඩුං බිඳුං වෙදෙක්..මිනිහව උදේ හවා ගෙන්නල තෙල් පත්තු බැඳල ඔන්න කොහොමහරි ගෝණව සනීප කලා. ඒත් ඒකගෙ ඒ කකුල ටිකක් කොට උනා. පොඩි නොන්ඩියක් ඇතුව තමා ඌ ඇවිද්දෙ... 

සනීප උනාම ගෝණව ආයෙම කැළේට යවන්ට ලොක්ක හිතාගෙන හිටියට මේ නොන්ඩි කේස් එක නිසා ඒ වැඩේ අල්ලල දැම්ම. මොකද මූ ඔය නොන්ඩියත් එක්ක කැළේට ගිහිල්ල දැම්ම කියන්නෙ අර බල්ලො රංචුවට ඉතිං රජ මඟුල් තමයි. 

ගෝණ තෙමේ ඉතිං කෑම්ප් එකේම නැවතුනා. හැමෝගෙම හුරතලා උනා. අපෙ විමලෙ එක්ක බුදු පිට්. ගෝණ අපේ ක්වාටස් එක පැත්තෙ ආවොත් විමලෙ ඌට දෙනව සීනි අහුරක්. 

" යකෝ ඔවුන්ට ඔය නුපුරුදු කෑම දෙන්ට එපා බං. ඕකගෙ නාහෙං කටිං පණුවො ඇවිල්ල වල කජ්ජ ගහපු දාට බලාපං ලොක්ක උඹේ රස්සාවටත් කෙලවල තෝ ගෙදර ඇරල තමයි පස්ස බලන්නෙ.." 

විජේ කොච්චර හරි ඔහොම කෑගැහුවට තඹ සතේකටවත් ගණං ගත්තෙ විමලෙය එහෙම නෙවෙයි. 

ගෝණගෙ අං තට්ටුව එහෙම හොඳට හැදිල ඌ බොහොම තේජස්වී උනා කෙරේමයෙං. ඒත් අපිට ඇල්ලුවෙම නැති සීන් එක තමයි ඒක රෑ තිස්සෙට ජරස් බරස් කියල අහල පහල ගස් වල අං තට්ටුව මදින්ට පටං ගත්තු එක. මොන විදිහට වත් බෑ නිදා ගන්ට. මොනව කොරන්ටද? ලොක්කගෙ ගෝනනෙ කියල කොට්ටෙං ඔලු ගෙඩිය වහගෙන නිදාගන්ට ට්‍රයි කරන එක විතරයි අපිට කරන්ට ඉතුරු වෙලා තිබ්බෙ...පස්සෙ කාලෙක රූපවාහිනියෙ රොබින් හුඩ් කතාව පැල් බැඳගෙන බලද්දි අර රොබින්ගෙ ආරක්ෂක දෙවියො හර්න් දකිද්දි මට හැමදාම මතක් උනා ඔය අපෙ ලොක්කගෙ ගෝන තඩියා... 

ඔය කතාවෙ මතකද රොබින්ගෙ කට්ටිය ඔක්කොම වටේට වාඩිවෙලා ඉන්දැද්දි රොබින් වයින් කුසලානක් දෑතිම්ම උඩට උස්සල " To Hearne " කියල ඉවර වෙල ඒකෙං පොඩ්ඩක් බීල ඊට පස්සෙ ලඟින් ඉන්න නසියර්ට, විල්ට එහෙම නැත්තං ලිට්ල් ජෝන්ට දෙනව. අපෙ නංගිගෙ පොඩි එකාට ඔය රොබින් හුඩ් කතාව යන කාලෙ අවුරුදු හතරක් නැත්නම් පහක් විතර ඇති. ඒකා ඔය කතාවට වහ වැටිල හිටියෙ. ඔන්න මම ගෙදර ගිහාම රෑට කන්ට වාඩි උනාම මූට ඕන වෙනව රොබින් හුඩ් ඇට් කරන්ට. නංගි සුප් එහෙම හදල මේසෙට තිබ්බම මම ඕක උඩට උස්සල " To Hearne" කියල පොඩ්ඩක් බීල ඌට දෙන්ට ඕන. ඌත් ඒක උඩට උස්සල මොනවද අපබ්බ්‍රංසයක් කියල පොඩ්ඩක් බොනව. ඒ වෙලාවෙ උගෙ මූණෙ තියෙන බරෑරුම් පෙනුම දැක්කම අපි බොහොම අමාරුවෙං හිනාව තද කරගෙන ඉන්නෙ... 

ඔන්න මම නැති දවසක ඔහොම කරන්ට ගිහිල්ල ඌට මරු සීන් එකක් වෙලා..හරි ඒකත් අර ඉස්සරහට කියන කතා පයිල් එකට..කෝ මේ රූ මැඩම්...ඔන්න ඔයාගෙ ලිස්ට් එකට තව කතාවක්...හෙහ්, හෙහ්, 

ගෝණට නම දාල තිබ්බෙ ටාසන් කියල...ටාසන්..ටාසන් කිව්වම ඌ ලඟට එන්නත් පුරුදු වෙල හිටිය... 

ලොක්ක ටාසන්ටම වෙනම ගෙනාව කර පටියක් සහ රතු පාට නයිලෝන් ලණුවක්. කෑම්ප් එක පුරාම ලයිට් කණුවල වීරගස්වල පළුගස්වල බැඳල ටාසන් තණකොල උලාකනව අපිට ඉතාම සුපුරුදු දර්ශනයක් වෙලා තිබුණෙ ඒ දවස්වල. 

ඔන්න ඔය කාලෙ චක්‍රලේඛයක් ආව අපේ හෙඩ් ඔෆිස් එකෙන්, අනියම් කම්කරු, මුරකරු වගෙ තනතුරු වලට පුළුවන් තරම් ඒ අහල පහල ගම් වල පදිංචි තරුණයො බඳව ගන්ටය කියල.ඒ අනුව කිට්ටුවම තිබ්බ මුස්ලිම් ගමෙං ඔන්න ඉස්සරෝම බන්දව ගත්ත මුස්ලිම් කොල්ලො හත් අට දෙනෙක්.අවුරුදු විසිදෙක, විසි හතර වගෙ...එවුංට සිංහල තේරෙනව. ඒත් හොඳටම බෑ.ඔයිං එකෙක් අපේ චමරියෙ උයන්ට ඇවිල්ල වෙච්ච මරු සීන් එකක් තියනව ඒකත් අර පසුව කියන කතා යටතට දාගත්ත හොඳද?..නැත්තං මේ ගෝණ කතාව අද ඉවරයක් කරනව බොරු. 

ඔහොම බඳව ගත්තු එකෙක්ගෙ නම මුර්තලා. ඕක ගත්තෙ අනියම් මුරකරු හැටියට. කොටි කේස් නිසා අපෙ හැම ගෙදරකටම ෂොට් ගන් එක ගානෙ දීල තිබ්බ. ඒ වගේම අනියම් ස්ථිර භේදයක් නැතුව මුරකරන හැමෝන්ටමත් ෂොට් ගන් එකක් දුන්න.මොකද කොටි ආවොත් වෙඩි තියන්නෙ අනියම්ද ස්ථිරද කියල අහල බලල නෙවෙයි නෙව... 

ඔන්න එදා මුර්තලා රාජකාරි කරන පළවෙනිම දවස. ඩියුටි තිබ්බෙ හවස හයේ ඉඳල උදේ හය වෙනකල් ෂිෆ්ට් එක. මිනිහට ඉහේ මල් පොකුරක් පිපුණු ගානයි, ඇයි දෙයියෝ සාක්කි අනියම් උනත් ආණ්ඩුවෙ රස්සාවක්ය කියන්නෙ සුළුපටු දෙයක්ද? 

සන්තෝසෙ වැඩිකමටම මිනිහට නින්ද ගිහිල්ලත් නෑ,. තුවක්කුවත් මිරිකගෙන වොචර් හට් එකේ ඉඳගෙන ඉඳල තියනව බොහොම හෝදිසියෙං...ආ, මට කියන්ට බැරිඋනා නෙව මිනිහ ඩියුටි හිටියෙ අපේ ඔෆිස් එකේ වොචර් හට් එකේ. කෑම්ප් එකේ ඉඳල තියනව දුර මීටර් තුන්සීයක් තරම.පාන්දර වගෙ වෙනකොට ඔන්න මිනිහට එක පාරට ඇහුනලු සර සර ගාන සද්දයක්..ඔය අපෙ ඔෆිස් එකේ වත්ත පුරාම ඒ දවස්වල වවල තිබ්බ බඩ ඉරිඟු..බෝම සාරෙට හැදිල තිබ්බ,. අඩි හය හතක් උසට. කරල් යන්තමට මෝදුවෙලා කිරි වැදීගෙන එන කාලෙ. ඔය බඩ ඉරිඟු වගාව මැදින් මුර්තලා දැක්ක යාන්තමට තිබ්බ හඳ එළියෙ තඩි ගෝනෙක්. ඇස් දෙක දිළිසෙනව තරු කැට දෙකක් වගෙ. ඇහැ දීගෙනම ඉන්නව ටෝච් එළියට. අප්පට සිරි, දෙයියන්ගෙම පිහිටයි. මේක තමයි කියන්නෙ දෙන දෙයියො ගෙට ගෙනවිත් දෙනවා කියල නැත්නම් ටොකු ඇණ ඇණ දෙනවයි කියල. මුර්තලා ඇවිල්ල දඩයමේ එහෙම ගිහිල්ල පලපුරුදු මනුස්සය. මිනිහ පොඩ්ඩක්වත් කලබල උනේ එහෙම නෑ. හෙමිට හොඳට හුස්මක් කාරිය අරගෙන තුවක්කුව උස්සල හරියට තරු වාගෙ දිළිසෙන ඇස් දෙක මැදට ඉලක්කෙ අල්ලල තිබ්බ වෙඩිල්ල. 

ඩීං !!!!!!!!!!!! 

අපෙ ඔෆිස් එකටම අල්ලපු වත්තෙ තිබුනෙ මේන් ස්ටෝර්ස් එක. ඕකෙ එදා මුරට ඉඳල තියෙන්නෙ නාසර්. ඌත් එදාම වැඩට ගත්තු මුර්තලාගෙම ගමේ යාළුවෙක්. 

" අයිය එන්නප්පා?....මොක්කද ඒ වෙඩිල්ල? " 

නාසර් දුවගෙන ආව. 

" පෙරිය ෂතා, තම්බි...වාෂනාව තමා. යමංකො බලන්ට." 

දෙන්නත් එක්ක ගියා ගෝන ලඟට. මෙන්න වැටිල ඉන්නව බඩ ඉරිඟු යාය මැද...මොනවද ආයෙ?..ඔන් ද ස්පොට් පහුවදා මලා කියන්නෙ... ආන්න එහෙම තමයි...ඔන්න දෙන්නත් එක්ක අං තට්ටුවෙං අල්ලල අදින්ට ට්‍රයි කලා ගෝන බඩ ඉරිඟු කෑල්ලෙං එළියට ගන්ට. මොන මේකා එන්නෙම නැ. 

" හෑ??????.... මොක්කද තම්බි මූ මෙච්චර බරද?....." 

ආයෙම දෙන්නත් එක්ක ෆුල් ඩම් දාල ඇද්ද. කොහෙද ගෝන එතනමයි.... 

" ඉන්ට අයියා මම ටෝච් එක ගේන්නං ..." 

නසර් ගිහිල්ල ටෝච් එක ගෙනල්ල ගැහුව. දෙයියෝම සාක්කි, සීවරං දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..මෙන්න ගෝනගෙ කරේ පටියක්…. ඒ මදිවට රතු පාට නයි ලෝං ලණුවකිං ඌව ඒ ළඟම තිබ්බ ගරාජ් එකේ කණුවක බැඳල...කොච්චර ඩම් දාල ඇද්දත් ඉතිං ඌ එන්නෙ නැති එක පුදුමයක්ද? 


මුර්තලා කටත් ඇරගෙන නසර් දිහාවෙ බලා හිටිය. නසර් ඇස් දෙකත් ලොකු කරාන මුර්තලා දිහාවෙ බලා හිටිය. 

දහය එකොළහ වගෙ වෙනකොට වලක් කපල ටාසන්ව භූමදාන කලා.අපි ඔක්කොමල වල වටේ ඉඳගෙන ටාසන්ගෙ ගුණ සිහිකලා.අන්තිමටම වල ලඟින් ආවෙ මමයි නිමලෙයි. 

" ඒයි නිමලෙ..මගෙ හිතට හරි නෑ බං..ටාසන්ට නියම විදිහට අවසන් කටයුතු කෙරුනෙ නෑ කියලයි මට හිතෙන්නෙ. " 

නිමලෙ ඔලුව හෙල්ලුව. ඊට පස්සෙ කතා කලේ ටාසන්ගෙ වල දිහාවෙ බලාගෙන… 

" මටත් එහෙම හිතෙනව මහත්තය. ඉන්ටකො අපි රෑවෙලා බලමු පාංසුකූලෙවත් දෙන්ට. " 

එදා මම වැඩ ඇරිල එනකොට ටිකක් හවහ උනා.මඟදිම ආරංචි උනා ලොක්ක දෙකට විතර නිවාඩු දාල ගෙදර ගියයි කියල. 

මම ගෙදර ඇවිල්ල ඇඳුම් මාරු කරල අපෙ ගේ පිටිපස්සෙ ටැංකියෙං නාගෙන ඉවර උනා විතරයි. 

" මහත්තය, නිමලෙ අන්න මහත්තයට එන්නෙයි කිව්ව…" 

එහෙම කිව්වෙ ජයවර්ධන…. අපෙ උයන්ට හිටි ගෝලය. මමත් ෂෝටකට බැහැල ගියා නිමලයගෙ ගෙවල් පැත්තෙ. 

අර තාරා කේස් එක දවසෙ වගේමයි. සිමෙන්ති උරේක දාපු බෝතලෙයි පත්තෙරේකිං වහපු ප්ලාස්ටික් කෝප්පෙයි නිමලය මගෙ අතට දුන්න. 

මම වචනයක්වත් කතා කලේ නෑ..ඒ දෙකත් අරගෙන ආපහු ආව. 

එදත් යාන්තමට හඳ පායල තිබ්බ. එදා හිටියෙ විජෙයි මායි විතරයි. මිදුලෙ වීර ගහ යට රවුම් මේසෙ උඩ බෝතලේ. ඒ ලඟම මස් දීසිය.ෂොට් එකක් නොදා සෑහෙන වෙලාවක් අපි දෙන්න එහෙම්මම හිටිය. 

ටික වෙලාවකින් මම නැඟිටල මස් එක අරගෙන ගිහිල්ල හැලුව එතනම තිබ්බ පැපොල් ගහ යටට.විජේ මා දිහා බලා හිටිය මොකවත්ම කියන්නෙ නැතුව. 

" ජයවර්ධන පුතා ඔය පපඩමක් දෙකක් බැදල ගෙනෙං බං ඩබල් එකේ…" 

මම හේ දිහාට හැරිල කෑහැහුව. 

" පපඩම එනකල් එකක් දාගමු. " 

විජෙයි මායි වීදුරු උස්සල හෙමීට තට්ටු කලා. 

" නිවන් සැප ලැබේවා!!! .." 


**************************************** 

සමාවෙන්ට ඕමනයි කට්ටියම. දඩයක්කාරයගෙ අන්තිම කොටස ලියල නම් ඉවරයි. ඒත් කූට ප්‍රාප්තිය නිසා තව දෙතුන් පාරක් කියවල සංශෝධනය කරන්ට වෙනව. විශේෂයෙන්ම දඩයක්කාරය කියවන්ට බලවත් ආසාවෙන් පුල පුලා බලාසිටින මා හිතවතුන් වන හෙන්රි ඇන්ඩ් තිසර ..please bear with me :( :( 

47 comments:

  1. හ්ම්ම්... තාරාවට ගෞරව කරපු විදිහ නම් මට හිතට අල්ලලා ගියා... ඒත් ඉතිං මේකට මුකුත් කියලත් බෑ... හැබැයි මට එකක් තේරුණා... සතා ලොකු වෙන තරමට ගෞරවේ වැඩියි... හාල්මැස්සෙක් ගැන කවදාවත් මේ වගේ හැඟීමක් එනවද? නෑනේ. ඒත් සද්දන්ත අලි වැටුනහම අනේ අපොයි කියලා අපිට හිතෙනවනේ. හැබැයි අයියා කලින් කතාවෙ කිව්ව වගේ ඒ දැනෙන ගෞරවේ පරිමාණයට දක්වන්න ගියොත් නම් අමාරුවේ වැටෙනවා තමයි. ඒ නිසා මේ වගේ අමාරු කේස් වලදි පපඩම් වඩා සුදුසුයි කියලා මාත් තීරණය කලා. අනික් කට්ටිය නියම විදිහට ගෞරවේ දක්වන්න ඇති.

    //please bear with me//

    අනේ අයියේ ඉක්මනට ලියපංකෝ ඒ වලහා ගැනත්...

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම මතක් කරලා තියෙන්නෙ තිසර. මූ වලහා කියලා තියෙන්නෙ අපි දෙන්නටද නැතිනං ඌටමද? ඌත් එක්ක ඉන්න වලහෙක් ගැන නේද කියන්නෙ? මම හිතන්නෙ රූම් මේට් වෙන්නැති.අනේ

      ඔව් බං ඉක්මනට ලියහං. මම හිතන්නෙ සිංහල බ්ලොග් අවකාශෙ ස්වර්නමය යුගයක් ගැන සුදීක කතාකලා විතරයි, වැඩේ පත්තු වුනා වගේ.

      Delete
    2. Thisara,

      / සතා ලොකු වෙන තරමට ගෞරවේ වැඩියි... හාල්මැස්සෙක් ගැන කවදාවත් මේ වගේ හැඟීමක් එනවද? /

      ඔන්න බොලේ අලියෙක් මරල බයිට් එකට හදාගෙන බොන ගමන් කතාකරන්න ඕන ප්‍රශ්නයක්....ඒ එක්කම පැත්තක කට කපල බූලියක් තියෙන්ඩත් ඕන….

      සතා ලොකු වෙන තරමට ඝාතනයෙන් සිද්ධ වෙන අකුශලය සමානුපාතිකව වැඩි වෙනවද? නැත්නම් දේහ ප්‍රමාණය මොකක් උනත් අකුසලය එක ප්‍රමාණයමද? මේ සාකච්ඡාව දර්ශනය, ආචාර ධර්ම, හොඳ නරක ඔය හැම දෙයක් ගැනම ගැඹුරින් සලකා බැලෙන විචාර මණ්ඩපයක් වේවි නිසැකවම.

      සාකච්ඡා සභාවේ ප්‍රාමාණිකයා ( Moderator ) හැටියට මම දෙන්නම් බොහොම ලිහිල් මාර්ග සූචක ( Liberal Guidelines) කීපයක්

      1. මිනිසාට තමන්ට අන්තරායකර සතුන් නසා දැමීමට නිරපේක්ෂ අයිතියක් තිබේද?

      2. මිනිසුන් පොළව මත තවත් එක සත්ව කොට්ඨාශයක් පමණක්ද?

      3. ඉහත ප්‍රශ්ණයට පිළිතුර ඔව් නම් අනෙක් සියළු සතුන් තම ප්‍රයෝජනය පිණිස තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට බලතල ඔහුට ලැබුණේ කෙලෙසද?

      4. පිලිතුර නැත නම ඒ සුවිශේෂී තත්වය සාධාරනීකරණය ( Justify ) කිරීමට හේතු සාධක මොනවාද?

      පින් පව් ගැන කතා කරන්න ප්‍රවේශයක් විතරයි මේ...

      Delete
    3. @ Henry,

      / ඔව් බං ඉක්මනට ලියහං. මම හිතන්නෙ සිංහල බ්ලොග් අවකාශෙ ස්වර්නමය යුගයක් ගැන සුදීක කතාකලා විතරයි, වැඩේ පත්තු වුනා වගේ. /

      උඹ දඩයක්කාරයටත් එක්ක මාරම තරහක් නෙව තියෙන්නෙ..හෙහ්, හෙහ්,

      ********************************

      ඔන්න එක සුප්‍රසිද්ධ ලේඛකයෙකුට කෝල් එකක් ආව සාහිත්‍ය සම්මාන උළෙලක් පවත්වන රාජ්‍ය නොවන සංවිධානයකින්,

      " හෙලෝ..මම අහවල් පදනමේ සභාපති. අපි මේ පාර අපේ සාහිත්‍ය උළෙලේ සිංහල සාහිත්‍යය වෙනුවෙන් පහුගිය වසරේ කල අනුපමේය මෙහෙවර උදෙසා පිරිනැමෙන ත්‍යාගය ඔබතුමාට පිරිනැමීමට තීරණය කලා, "

      " ඈ???? මම පහුගිය අවුරුද්දෙ එකම පොතක්වත් ලිව්වෙ නෑනෙ…."

      " ආන්න ඔබ තුමාට තේරුණා යස අගේට, ...ඒ හින්දම තමයි ඔබතුමාට ඒ තෑග්ග දෙන්ට අපි තීරණය කලේ...."

      Delete
    4. හැබෑටම මදුරුවෙක් මරුවමයි මිනිහෙක් මරුවමයි සිද්ධ වෙන පවේ වෙනසක් තියනවද?

      මම අහල තියෙන්නේ ඔය පව තියෙන්නේ හිතේ කියලයි. ගානක් නැතුව මදුරුවෙක් මැරුවට මිනිහෙක්ව මැරුවොත් ඒක හිතට අවුල්. ඒ කියන්නේ ගානක් නැතුව මිනිහෙක් මරන්න පුළුවන් අයට එහෙම කරාට කමක් නැද්ද?

      මට දැනෙන්නේ මෙච්චරයි. සතා බුද්ධි මට්ටමෙන්/ ප්‍රමාණයෙන් වැඩි වෙන තරමට ඌට මරණයේදී දැනෙන වේදනාව වැඩි ඇති. ඒ වගේම පැටවුන් බිහි කිරීමේදී දැනෙන වේදනාව, පැටවුන් සහ දෙමව්පියන් අතර ඇති සබඳතාවය වගේ දේවලුත් වැඩියි. මරණ බිය අනිත් සතුන්ට වඩා ඔවුන්ට දැනෙනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම සතෙක් මරණ එකට අපි ස්වභාවයෙන්ම ප්‍රතිරෝධයක් දක්වන්න පුළුවන් මදුරුවෝ වගේ සතුන් මරනවට වඩා.

      Delete
  2. ඩබල් එකේ කියන්නේ ආමි එකේ. ඔයා මේ මොත්තේ දදා ලියන්නේ ආමි එකටත් සම්බන්දයක් ඇතුව නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, යස් ඕක බොහෝ වෙලාවට හමුදාවලට සම්බන්ධ වචනයක් තමයි. මම මුලින්ම ඕක ඇහුවෙ ඉස්කෝලෙ සිස්ස බට බලකායෙ ඉන්දදැද්දි. අපේ සේර් හිටියෙ ආමි වොලන්ටියර් මේජර් කෙනෙක්...හප්පා අටේ දහයෙ පොර...වොයිස් එක නිකං දුරුත්තෙ හෙණ ඝහන්න වාගෙ,

      පිටැන්න වටේ දුවල හති වැටෙද්දි අපි ඔන්න ටිකක් ස්ලෝ වෙනව . සේර් පිට්ටනිය මැද්දෑවෙ ඉඳල ඉනට අත් දෙකත් තියාගෙන යටි ගිරියෙං කෑගහනව අපි බයටම දුවනව නෙවෙයි දිව වෙනව.

      " ඩබලාප්..ඩබලාප්...යූ ලේසි බගර්ස්..ඩබලාප්...ඩබලාප්… "

      ඒත් මගේ නම් ආමි එකට සම්බන්ධයක් නෑ. :) :)

      Delete
  3. අර තාරාවගේ වගේ නෙමෙයි ගෝනා ගැන කියනකොට හිතට ආවේ දුකක්. ඔයා පපඩම් කාපු එක හොඳයි. හිතේ දුකටත් එක්ක සද්ද කරන්නේ නැතිව පපඩම් හැපුවලුද?

    අර වනයේ බල්ලෝ කොහොම දඩයම් කරන්ට ඇතිද කියලා හිතෙනවා දැන් කාලේ බලු දඩයම් බලද්දි...:)

    ReplyDelete
    Replies
    1. කොහේද දැං ඔය බලු දඩයං දැක්කෙ?...ඩිංගෝලගෙද?

      Delete
  4. තිසරයි පොඩ්ඩියි කියපු එක හින්දා මට පොඩි කතාවක් මතක් උනා.. ඒකත් කියලා දාන්නං... මේක මට මතක විදියට අවුරුදු 10දි විතර මුතුහරක තිබිලා කියෙව්වේ...

    ඔන්න එකෝමත් එක කාලෙක.... නෑ නෑ... එච්චර පරණ නෑලු... ඉස්සර ඔය පිටරටවල එක එක උත්සව වලට ගන්නවලු එක එක සත්තු ජාති.. නත්තලට කළුකුම් විශේෂයි වගේ... ඔහොම එක ගෙදරකට ගෙනාවලු කාපයෙක්... ( මං හිතන්නේ කාෆ් කෙනෙක් වෙන්න ඇති...) දැන් මෙයාව ටැංකියක දාලා තියනවලු අවශ්‍ය දවස වෙනකම්.. ඔය අතරදි ගෙදර ඉන්න ළමයි දෙන්නා මේ මාළුවත් එක්ක හොඳටම යාලු වෙනවා.. මෙයාට නමකුත් දානවා... ( මට දැන් නම මතක නෑ...) ඉස්කෝලෙ ඇරිලා ඇවිත් මෙයාලා දෙන්නා ටැංකිය ගාවට එද්දි කාපයාත් පීනගෙන මෙයාලා ළඟට එනවා.. ඔහොම ටික දවසක් යනකොට ලොකු අයියට මතක් උනා තව ටික දවසකින් මෙයාව මරනවා නේද කියලා... ඉතිං අයියයි නංගියි දෙන්නා මෙයාව බාල්දියක දාගෙන, ආමාරුවෙන් උස්සගෙන ගිහින් වෙන ගෙදරක ඉන්න නෝනා කෙනෙකුට දෙනවා අම්මලට කියන්න එපා, මෙයාව මෙහෙ තියන්න කියලා... ඉතිං හවස තාත්තා ගෙදර ඇවිත් මේක දැනගත්තාම, ළමයි දෙන්නට බැනලා ආයිත් අරං එනවා.. රෑ කෑම මෙසෙදි තාත්තා කියනවා “ ඔයාලා දන්නවානේ කාපයෝ ඉන්නේ අපිට කන්න කියලා... එයාලා හුරතල සත්තු නෙවෙයි.. ” කියලා... ඒත් ළමයි දෙන්නට හිතට දුකයි... ඉතිං මාළුවව මරන දවසේ ළමයි දෙන්නා වෙන ගෙදරකට ගිහින් ඉන්නවා උදේ ඉඳන්ම... රෑ කෑම මේසේ තියෙනවා අර කාපයගෙන් හදපු රස කෑම... ඒත් ළමයි දෙන්නා අතවත් තියන්නේ නෑ...

    අවුරුදු ගානකට පස්සේ නංගි, ආච්චි කෙනෙක් වෙලා මේ කතාව කියද්දි කියනවා “ අද මගේ මිණිබිරියෝ සුපර් මර්කට් එකෙන් ටින් කරපු කාප් මාළු ගේනවා.. ඒත් එයාලා අදටත් දන්නේ නෑ එයාලගේ ලොකු සීයා ජෝර්ජුයි, ආච්චියි ඇයි කවදාවත් ඒවා කන්‌ෙන් නැත්තේ කියලා... ”... මේ කතාවේ නම මට මතක විදියට අපේ හුරතල් මාළුවා...

    මට රවිගේ කතාව කියෙව්වම එකපාරටම හිතුනේ නොදන්න ගෝණෙක්ගේ මස් කියලා කිව්වට වඩා ටාසන්ගේ මස් කිව්වම දැනෙන වෙනස කොච්චර ලොකුයිද කියලා.... අවුරුදු ගානකට කලින් අපේ හුරතල් මාළුවා කියෙව්වම ඇතිවෙච්ච හැඟීම අදත් ඒ විදියටම ඇති උනා....

    ReplyDelete
    Replies
    1. ඔන්න හිරු මට තව කතාවක් මතක් කලා...

      චිත්‍රපටියක් තියනව බියොන්ඩ් බෝඩර්ස් කියලා... ප්‍රධාන චරිත කරන්නේ ඇන්ජලීනා ජොලී සහ ක්ලයිව් අවන්. ඔහු රඟපාන්නේ අප්‍රිකාවේ රටක යුද්ධය දරුණුවටම සිදුවෙන ප්‍රදේශයක සිටින දොස්තර කෙනෙක් හැටියට. මේ වැඩ වලට මූල්‍යාධාර සපයන ධනවතෙක්ගේ බිරිඳ තමා ඇන්ජලීනා. කවදාවත් මේ දොස්තර ඇයගේ නමෙන් ඇයව අමතන්නේ නෑ... ඇය ඒ ගැන විමසුවහම, ඔහු කියනවා ඔහු ප්‍රතිකාර කල, ඔහුට සමීප වෙච්ච දරුවෙක් ගැන... ඊට පස්සෙ මෙහෙම කියනවා...

      The point is... he was my friend. He had a name. So now I HAVE to remember him. If everybody I lose has a name...

      ...
      අරූ ටාසන් නොවී නිකම්ම ගෝණෙක් උනා නම් රවී අයියලා කයි පපඩම්....

      Delete
    2. අනේ තව කතාවක් කියන්නකෝ! :) :)

      Delete
    3. @ හිරු සහ තිසර,

      කතාව ඇත්ත, අපිට ඒ හැඟීම සංවේදීකම එන්නෙ ඒ අදාල සත්වයාට තියෙන සමීපතාව සම්බන්ධතාව අනුවයි.මනුස්සයෙක් ගැන උනත් එහෙමනෙ. ගමනක් යද්දි පාරෙ මනුස්සයෙක් වැටිල හිටියොත් අපි නවත්තල ඒ මනුස්සයට අවශ්‍ය උදව් උපකාරයක් කරනව වෙන්න පුළුවන්. ඒත් ඒ මනුස්සය අපි දන්න අඳුනන කෙනෙක් නම් අපේ ගමන කල් දාල හරි අවශ්‍ය වැඩිදුර දෙයක් හරි කරන්න අපි පෙළඹෙනව. ඒක තමයි මිනිස් ස්වභාවය. ඒ තත්වය නැතිකරල ලෝකෙ හැම මනුස්සයටම එක විදිහට ලෝකෙ හැම සතාටම එක විදිහට සලකන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ.

      ඒත් අපිට එහෙම බෑ. බුදු හාමුදුරුවො එහෙම කරපු කෙනෙක්. තමන්ගෙ එකම පුතාගෙ මූණ බලල " මොහුට මාතුල ඇති ආදරය සහ දයාව සකල ලෝක වාසී සියළු සත්වයන් කෙරෙහි එකහා සමානව පතුරවන්නෙමි." කියලයි අභිනිෂ්ක්‍රමණය කලේ.

      Delete
  5. මේ නම් සොඳුරුම බ්ලොග් අඩවියක්නේ...අදයි නෙත ගැටුණේ.. මේ ටාසන් කතාවෙන්ම මගේ හිත ඇදිලා ගියා.. කියවන්නම් අනෙක් පසු ගිය කතා ටිකත්...ස්තුතියි මිත්‍රයා..
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් ඔබටත්.... නිදහස් සිතුවිලි වලට සාදරයෙන් පිළිගනිමි මෙම වියුණුවෙහි සමාරම්භක වූද වත්මනෙහි මෙහි Co-Writer වූද රන්දිල් මැතිනිය ද වෙනුවෙන්.

      Delete
  6. ගෝනා ගැන නම් දුක හිතුන. උදේ හවස දැකපු එකා වෙච්චි කොට විසි කරන්නේ නැතුව වෙන දෙයක් කරන්න හිත හදා ගන්න බෑ තමයි.. දඩයම් බල්ලො අරගෙන අපේ ගම පැත්තේ ඉස්සර කැලෑ අඹනවා කියල එකක් කරනවලු දෙමල මනුස්සයෙක්.
    මට මේ පැත්තට පාර කිව්වේ සෙන්නා..

    ReplyDelete
    Replies
    1. කැළෑ අඹනව නැත්නම් අඹවනව කියන්නෙ බල්ලො අරං දඩයමේ යන එකට තමයි. අඹවනව කියන වචනෙ තේරුම පස්සෙං පන්නනව කියන එකයි. කැලෑ ගම්වල ඒ දවස්වල හිටපු දඩයම් බල්ලො කලේ ගෝන්නු මුවෝ වගෙ සත්තු මරපු එක නෙවෙයි. දඩයක්කාරය තුවක්කුවත් තියාගෙන රැකල ඉන්දැද්දි එතනට සත්තු එළෝගෙන එන එකයි. ඔය වචනෙ හැදිල තියෙන්නෙ අන්න එහෙමයි.

      මම මේ කියන බල්ලො වෙනස්. සතා පස්සෙ පන්නල ඒක හොඳටම හෙම්බත් උනාම මුං ආයෙ නෑ කෙලිම්ම බෙල්ලට පැනල සතා මරනව

      Delete
  7. එතකොට ගෝනා බඩේ...? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යස්, එහෙම තමයි උනේ..ඒත් මම නම් කෑවෙ නෑ :(

      අනික මොකක්ද බං රජෝ උඹේ මේ සුබ වේවා රජ සම්පත් ලැබේවා කතාව. ගෝනා කාපු එවුන්ටත් උඹ එහෙමමද ප්‍රාර්ථනා කොරන්නෙ ? ඈ?

      උඹත් හරියට අපේ හිටපු ජනාධිපතිතුමා වගේ. ඩී බී. විජේතුංග මහත්තය. උන්නැහැ අපෙ ගෙවල් කිට්ටුවනෙ. කවුරු හරි ඇවිල්ල ඕන එකක් කියාපං " ආ, බොහොම සංතෝසයි බොහොම සංතෝසයි මට හරිම සතුටුයි " කියලලු එතුමා කියන්නෙ.

      දවසක් මනුස්සය කිරි ගාලෙ කිරි දොවනවලු. යස.... ජනාධිපති උනාම උනත් ගෙදර හිටියොත් උදේම කිරි දොවන්නෙ එයාමලු. හුඟක් ඔය වැදගත් රාජ්‍ය ලේඛන එහෙම අත්සන් කලෙත් වැස්සිගෙ පිට උඩ තියලයි කියල ඒ දවස්වල කට කතාවක් වගෙ පැතිරුන. හැබෑ බොරුනං අනේ මන්ද...ඉතිං ඔන්න කිරි දොවමින් ඉන්නකොට ගමේ කොල්ලෙක් දුවගෙන ආවලු. අනේ හාමුදුරුවනේ ඊයෙ රෑ පස් කණ්ඩියක් ගෙට පාත් වෙල අපෙ අම්මයි අප්පච්චියි දෙන්නම මියෑදිලා කියාගෙන විලාප දීගෙන. ලොක්ක කිරි දොවන ගමන්ම කිව්වලු ඔලුවව උස්සන්නෙවත් නැතුව " ආ, බොහොම සන්තෝසයි බොහොම සන්තෝසයි මට හරිම සතුටුයි " කියල

      Delete
    2. හැහ් හැහ් හැහ්... ඒක මරු වැඩේ..."බොහොම සන්තෝසයි බොහොම සන්තෝසයි මට හරිම සතුටුයි "

      හරකගෙ පිට උඩ තියන් අත්සන් කිරීම ! ජාති !!!

      ප්‍රේමදාස මහත්තයා කරපු තවත් එක හොඳ වැඩක්.. එයාව අගමැති කිරීම.. ඒකට දැන්.

      Delete
  8. අනේ... පව්, මුලින් කියපු වැල්වටාරං ටික හිනාවෙවී කියෙව්වට අන්තිම හරියෙදි දුක හිතෙනව...

    ReplyDelete
    Replies
    1. හුහ්, වැල්වටාරං..මොනවද බොල වැල් වටාරං?....මම කිව්ව කියල හිතාගං....වැ...ල්....ව..ටා...රං......

      එහෙම තමයි මැඩම් කථාවක් කූට ප්‍රාප්තිය කරා Build up කරන්නෙ..තේරුණාද?....අවසානයෙ ඇතිවන ශෝක රසය හොඳින්ම ඉස්මතුවෙලා දැනෙන්නෙ අපි කලින් හිනාවෙලා සැහැල්ලු සිතින් ඉන්න නිසයි..තේරුණෙයි බොට?

      Delete
  9. "ටික වෙලාවකින් මම නැඟිටල මස් එක අරගෙන ගිහිල්ල හැලුව එතනම තිබ්බ පැපොල් ගහ යටට.විජේ මා දිහා බලා හිටිය මොකවත්ම කියන්නෙ නැතුව. "



    මචන් මේ සීන් එක ගැන නම් දුකයි බන් ..
    වැරදි වැඩේ බන් ..මොකද එකට ඉඳල ,
    කන්න බොන්න දීල හදපු සතා මැරුණම ,

    වලෙන් ගොඩ අරන් කනවා කියන්නේ ?

    අනේ මන්ද බන් ...

    ( uba newe anik aya gana kiwe..)

    ReplyDelete
    Replies
    1. නෑ සහන් මම උනත් අර කලින් නිමලෙට අරම කිව්වෙ දැං ඉතිං ඔහෙ මැරිච්ච සතානෙ මස් ටිකක් කෑහම මක් වෙනවද කියල හිතල තමයි.

      " චේතනා භික්ඛවේ කම්මං වදාමී. චේතනාවම කර්මයට මුල් වේ. "

      මම මස් ටික පැපොල් ගහ මුලට හැලුව කියල වැඩක් නෑ. මස් කෑව හා සමානයි ඒ පාපය ඔක්කොම මටත් උරුමයි.හිත කියන එක එහෙම තමයි සහන්. උදේ අරම කිව්වට මස් උයල තියනව දැක්කම ඒ කෑල්ලක්වත් කට හරියෙ තියන්ට මට හිත එකඟ කරවාගන්ට බැරිඋනා.

      Delete

    2. අන්න රවී මම හිස නමා ආචාර කරණ තැනක්..ඔබට ඕනේ නම් තිබ්බා
      බොරු සුචරිත වාදියෙක් වෙන්න " ඔව් මාත් එපාම කිව්වා එයාලට " කියල ..

      ඒ අතින් ඔබ මෙවැනි බ්ලොග් එහෙකදී උනත් වැරද්දක් උනා නම් , ඒක නිහතමානීව
      පිළිගත්තා සුදු හුණු ගාගැනීමකින් තොරව ..

      අන්න ඒක වටිනවා , අදට උනත් guilty feeling එකකින් ඔබ ඒ ගැන මේ සටහන තබන්නේ ඒකයි , ඒකමයි සුදු හුණු ගා නොගන්නෙත් තමන් කළ ක්‍රියාව ගැන..

      මට ඔය වගේ guilty feeling ගොඩක් තියෙනවා .ඒ නිසා මාත් ඔය දේ ගැන හිතට දැනෙන පීඩනය දන්නවා..ඒ පීඩනය එක්ක ලෝකෙටම කියන්න හිතෙනවා රෙද්ද කඩල ...

      ------------------------------------------------------------------------
      \\\මම මස් ටික පැපොල් ගහ මුලට හැලුව කියල වැඩක් නෑ. මස් කෑව හා සමානයි ////

      නමුත් ඔබ මෙලෙස සිතන්න එපා රවී .ඔබ අඩුම තරමේ දන්නවා එහි ඇති වරදකාරී හැගීම ගැන..ඉතින් ඔබෙන් තවත් එවැනි ක්‍රියා වෙන්නේ නැහැ මතුවට ,නමුත් ඔබේ අනික් සගයන් තවමත් මිණි වළේ නේද ! ඔබ ඉන්නේ පොලොව මතු පිට , ඉතින් සතුටු වන්න මිත්‍රයා..

      අනික් කරුණ ඔය දේ ගැන තව දුරටත් හිතන්න එපා .ඔබට වඩා පාපකාරී මිණි ගොඩ ගෙන අදටත් කන පුද්ගලයන් ඇති තැනක ඔබ වැන්නෙක් දෙවි කෙනෙක් හා සමානයි , මන්ද අවම වශයෙන් ඔබ සිටින්නේ වල තුල නොව පොළොව මතයි ..
      ( වළ තුල ඇත්තෙක්ට ඔබ දෙවි කෙනෙක් මෙන් පෙනෙනු ඇත..එයද ඇස් ඇත්තන්ට පමණි !)

      Delete
    3. February 15, 2013 at 6:47 PM
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
  10. ඇත්තෙන්ම මචං. නමක් ඇතුව හෝ නැතුව තමන් ඇති කරපු සතා කුකුලා, තාරාවා, කලුකුමා, ඌරා හෝ මොකා හෝ මරාගෙන කන එක කොහොම කරනවද කියලා මටත් හිතාගන්න අමාරුයි.

    පනපිටින් ඉන්න හරකගෙ ගාතේ කපාගෙන යන උන් ඉන්න රටේ ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද?

    ReplyDelete
    Replies
    1. / ඇත්තෙන්ම මචං. නමක් ඇතුව හෝ නැතුව තමන් ඇති කරපු සතා කුකුලා, තාරාවා, කලුකුමා, ඌරා හෝ මොකා හෝ මරාගෙන කන එක කොහොම කරනවද කියලා මටත් හිතාගන්න අමාරුයි. /

      ඔය ඔක්කෝටම මුල ආකල්ප නෙව හෙන්රි, සත්තු හැදිල ඉන්නෙ මිනිස්සුන්ගෙ ආහාරය පිණිසයි කියන හිතුවිල්ල මුල් උනාම ඔය මොනම දේක උනත් ඒ හැටි අවුලක් නෑ.

      / පනපිටින් ඉන්න හරකගෙ ගාතේ කපාගෙන යන උන් ඉන්න රටේ ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද? /

      ඒක නම් මචං මෙහෙමලු. ඔය සත්තු මරන වෙලාවෙ ඇතිවෙනවලු මරණබිය හින්දම ලේ වල කෙමිකල් එකක්. ඒක මිනිස් සිරුරට බොහොම විසයිලු. අර කවුද ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ඔය කතාව දාල තිබ්බනෙ පත්තරේ.... ඊට පස් සෙ තමයි ඔය හරක් නොමරා ගාත් කපාගෙන යන සීන් එක පටන් ගත්තෙ.ඔන්න අර හාමුදුරුවො කොරපු වැඩෙං අන්තිමට උනේ වෙන දෙයක්...විද්දෙ හාවට වැදුනෙ පඳුරට :(

      Delete
  11. රවි අයියේ, මම කළින් පෝස්ට් එක බාගයයි කියෙව්වේ. මේක බාගයක්වත් කියෙව්වෙ නෑ. අර දඩයක්කාරයගෙ කතාව ඉවර කරනකල් මම ආයෙ කමෙන්ට් දාන්නෙත් නෑ!

    ReplyDelete
    Replies
    1. ආ..එහෙමද?...උඹ දන්නවද දණ්ඩ නීති සංග්‍රහයෙ තුන්වන පරිච්ඡේදයෙ 4.3. ආ වගන්තිය අනුව උඹේ මේ තර්ජනය දඬුවම් ලැබිය හැකි වරදක්ය කියල.

      යම් කර්තව්‍යයක් හෝ ක්‍රියාවක් කිරීමට හෝ කිරීමෙන් වැලකී සිටීමට කරනු ලබන තර්ජනයක් හේතුවෙන් යම් තැනැත්තකු හෝ තැනැත්තියක කරනු ලබන නීත්‍යානුකුලවූ යම් කටයුත්තකින් ඔහු හෝ ඇය වැළැක්වීමට කරනු ලබන උත්සාහයක් මේ අනුව දඬුවම් ලැබිය යුතු සාපරාධී ක්‍රියාවක් වන්නේය.

      ඉඳපන් උඹව දහ අට මාසෙකට වැලිකඩ මහ උළු ගෙදර කූරු ගනින්ට යැව්වෙ නැත්තං බලාගං....සිත්තරාට හැමදාම දවල්ට බත් එකක් අරගෙන උඹෝව බලන්ට එන්ට වැඩේ කරඤ්ඤං මං ඉඳහං ඔහොම...

      Delete
  12. මුර්තලාට කේස් එකක් වුනේ නැද්ද බොසාගෙ ගෝනව මරලා...

    මේ මුස්ලිම් උන් දෙන්නා කැඩිච්ච සිංහලෙන් කතා කරන්නෙ ඇයි ? :)

    අරක "Hearne protect us ! " කියලා නේද කිව්වෙ ?

    අර ඉස්සර ඔබා මාමා කියනවා වගේ පදුර වටේ තලලා තියනවා තැලිල්ලක් ආයේ නැති වෙන්න.

    ReplyDelete
    Replies
    1. / මුර්තලාට කේස් එකක් වුනේ නැද්ද බොසාගෙ ගෝනව මරලා… /

      අනේ නෑ සෙන්නා....ඔන්න බලාපං අපේ බොසා ඒ අතිං මොන තරම් අගේ ඇති මනුස්සයෙක්ද කියල...අරූට එක වචනයක් කියල නෑ අපේ ස්ටාෆ් එකට කිව්වලු මිනිහගෙ වරැද්දක් නෑ ඒ මිනිහ දන්නෙ නෑනෙ ගෝනා ගැන. ඔයාල පොඩ්ඩක් මිනිහට කියල තියන්ඩ තිබ්බනෙ කියල..ඒ එක්කම කිව්වලු දැං මොනව කරන්නද ඒ සතා ගෙනාපු ආයුස ඉවර වෙල තමයි කියල

      මුර්තලා බය වෙච්ච පාර තුවක්කුවත් දාල ගෙදරම ගිහිල්ල අපේ එවුං ගිහිල්ල බොහොම අමාරුවෙං ආපහු එක්කරගෙන ආවෙ. පස්සෙ මිනිහට ස්ථිර පත්වීමකුත් හම්බ උනා. මම එහෙං මාරුවෙලා එනකල්ම එතන වැඩකලා.

      / මේ මුස්ලිම් උන් දෙන්නා කැඩිච්ච සිංහලෙන් කතා කරන්නෙ ඇයි ? :) /

      ඒ බං..උංව සේවයට ගන්නකොටම පත්වීමෙ ලියුමෙ තිබ්බ කොන්දේසියක්...

      රාජකාරි කොන්දේසි-අංක 8

      ඔබ ආයතනයෙහි රාජකාරියෙහි යෙදී සිටිනා සම්පූර්ණ කාලසීමාව තුල සිංහල භාෂාවෙන් කථාකල යුතුයි. මේ කොන්දේසිය කඩ කිරීම පලමුවරට දින තුනක වැටුප් රහිත නිවාඩුවකටද දෙවන වර දින සතක වැටුප් රහිත නිවාඩුවකටද හේතුවන අතර තෙවන වර කිසිදු වන්දි මුදලකින් තොරව සේවයෙන් පහ කිරීමටද හේතු වේ.

      / අරක "Hearne protect us ! " කියලා නේද කිව්වෙ ? /

      අඩේ හරි නෙවෙන්නං එහෙම තමයි රොබින් කියන්නෙ..ස්තූතියි මතක් කිරීමට

      / අර ඉස්සර ඔබා මාමා කියනවා වගේ පදුර වටේ තලලා තියනවා තැලිල්ලක් ආයේ නැති වෙන්න. /

      ඔබා මතක් වෙනකොටත් දුකයි බං...

      වටේ තලන්න ඕන බං නැතිවෙන්න..එහෙම තමයි වැඩේ වෙන්න ඕන..සමහරවිට වටේ තැලිල්ල ඉවරයක් වෙනකොට වැඩේට කාලයක් නැතිවෙන්න පුළුවං. ඒක වෙනයි... අඩු ගානෙ තලන එක තැලුව වටේ මදියි නොකියන්න කියල හරි සන්තෝස වෙන්න බැරිය බොල...හෙහ්, හෙහ්,

      Delete
    2. ෂහ් මාර මතකයක්නෙ රවී අයියට තියෙන්නෙ.. දණ්ඩ නීති සංග්‍රහය, රාජකාරි කොන්දේසි කට පාඩමින් දෙන්නෙ ඈ...

      ප්‍රීතියි පුරෝහිත ප්‍රීතියි.. ! :-)

      >> ඔබා මතක් වෙනකොටත් දුකයි බං... <<

      ඒකනම් එහෙම තමයි රවී අයියා.. මට මේ අද දෙවෙනි පාර ඔබා මාමව මතක් වුනේ.. අනික ඩූඩ්ගෙ පරණ පෝස්ට් එකක් බලලා..

      Delete
  13. ane ammapalla nikan hari oya mas kellak kewa kiyala liyala tibuna nam,............. hm :(

    ReplyDelete
    Replies
    1. පිස්සුද ළමයා..මම ආය බොරු ලියනවද?....කෑව නං කෑවයි කියනව...නැති හින්ද තමයි නෑය කිව්වෙ...

      Delete
  14. මටත් හිතුනා රවියා හමුදාවෙ පොරක් වෙන්නෝනි කියල.

    ජය !

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සෑම්....මම ඔය කෑම්ප් එක කෑම්ප් එක කියල කියන නිසා වෙන්න ඇති එහෙම හිතෙන්න ඇත්තෙ..නෑ... කැලේ මැද අපි පදිංචි වෙලා හිටපු තාවකාලික නිවාස සමූහයට කිව්වෙ කෑම්ප් එක කියලයි..

      Delete
  15. අඩේ ගෝනා පවු නේ????????

    ReplyDelete
    Replies
    1. එහෙනං, එහෙනං. පව් නේන්නං.

      Delete
  16. අනේ පව් ඌට ටාසන් කියලා නම දැම්මේ මොකද?

    ඇති කරපු සතෙක් කන එක අමාරුම වැඩක්. අර සෙන්නගේ සැවුලා පෝස්ට් එක මතක් උනා මට. එස් එෆ් එකේ කට්ටියටනම් පුරුදු කරනවලු නේද තමන් ළඟ හැදෙන බල්ලව මරාගෙන කන්නත්?

    ReplyDelete
    Replies
    1. හා හා.. ටාර්සන් ටාර්සන්...හැමදාම කියන්න ඕනා මේ මිස්ට.. :)

      Delete
    2. හිහි..ඒකනේ මම කිව්වේ ඌ පව් කියලා. ටාසන් බාප්පාගේ නමනේ දාල තියෙන්නේ :ඩි

      Delete
    3. හොඳ වෙලාවට ඩිඩිටී දැක්කේ නෑ තාම

      Delete
    4. @ සයුරි,

      අපෙ ලොක්කම තමයි ඔය නම දැම්මෙ :)

      Delete
  17. ඕ..මෙන්න මං ඉන්නෙවෝ..
    ඊළඟ දවසේ ඉඳන් මගේ කොමෙන්ටුවට පස්සෙ අර ලිස්ට් එක පබ්ලිෂ් කරන්න හිතුවා..රවීගේ නිර්මාණශිලි හදවතෙන් පැන නැගී ධමනි ඔස්සේ පැමිණ කේශ නාලිකා වලින් නවතින ඔය වටිනා කියන කතන්දර ටික අපතේ යන්න දෙන්න හොඳ නෑ..චාර්ජ් කරලා හරි එළියට ගන්නෝනැ..


    ටාසන් ගෝනා ගැන නම් දුකයි..ඊටත් වැඩිය දුක හිතුනෙ අමනුස්ස සතා ගැන මින්ස්සු හිතපු විදිහ ගැන..

    ReplyDelete
    Replies
    1. ආහ්..හැබෑට මේ ඉන්නේ..රූ නෝන මහත්තැං...හෙහ්, හෙහ්,

      හරි හරි ඉන්නකෝ චාජ් කරල හරි ගමු ගමු එළියට. :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...