Friday, March 16, 2018

572. දෛවය සමඟ ගේම ඉල්ලූ ඉස්ටීවන් අයියාගේ නික්මයාම…

Stephen Hawking - One of the Greatest Minds of Our Time

පලි - (මෙතන පලි කියන්නෙ පසුව ලියමි කියල නෙවෙයි පළමුව ලියමි කියල හොඳද? ) 

බූරා මලය තමයි මට කිව්වෙ අර අනන්‍යාගෙ උරචක්‍රමාලෙ පොඩ්ඩකට පැත්තකිං තියල හෝකිං ගැන ලියාපන්ය කියල. කොහොමත් මම හෝකිං ගැන ලියන්න තමයි හිටියෙ. අර උරචක්‍ර මාලෙට වෙලා තියෙන්නෙ බං ඒක දැං අතාරින්ට බැරිකම නෙව. එහෙම බලනවනම් උරචක්‍ර මාලයක්ය කියනවට වඩා ගැලපෙන්නෙ ඒකට කොටි වලිගයක්ය කියන එක...හෙහ්,හෙහ්,

**********************************

මම මුලින්ම ඉස්ටීවන් අයියා කෙනෙක් ගැන දැනගන්නා විට මගේ වයස දහයකට දොලහකට වඩා වැඩි නැත්තේය. ඒ දවස්වල අපි හිටියේ කෑගල්ලේය. කාල වකවානු සහිතව කිව්වොත් එහෙම පසුගිය සියවසේ අටවන දසකයේ මැද බාගයේය. එහෙමත් නැත්තං හැත්තැ තුන හෝ හතර වගේ කාලයේය. 

කෑගල්ල ටවුම පිහිටා ඇත්තේ ප්‍රදාන වසයෙන් කොළඹ - නුවර මහා මාර්ගය දෙපස බව කෑගල්ල ගැන දන්නෝ දන්නවා ඇත. හරියටම මේ ටවුම මැද හරියේම මහ තැපැල් කන්තෝරුව ඉස්සරහම වගේ පාරෙන් අනික් පැත්තට පොඩි අතුරු පාරක් මම කියන මේ අතීතයේ තිබුනාය. ඒ පාරේ යාර (ඒ දවස්වල පාරවල්වල දුර මැන්නේ මීටර් කිලෝමීටර් වලින් නොව යාර, පර්ලොම් සහ සැතපුම් වලිනි.) තුන්හාරසීයක් වගෙ දුරක් ගිය තැන තනිකර කලු ගලින් නිමවුනු පල්ලියක් තිබ්බාය. හැමෝම ඊට කිව්වේ ගල් පල්ලිය කියාය. 

ඔන්න ඔය ගල් පල්ලිය පහුකරල කන්දක් නැඟල බැස්සම තිබ්බ පොඩි ගම්මානයක්. මට දැන් හරියකට මතක් වෙන්නෙ නෑ නම. ඒත් රතඹලකන්ද වගෙ නමක්ය කියල පොඩි මතකයක් තියනව. ඔය ගම්මානෙ නිජබිම කරගෙන හිටිය ඒ කාලෙ චණ්ඩියෙක්. නම ස්ටීවන්. හැමෝම කිව්වෙ ඉස්ටීවන් අයිය කියල. 

ඒ කාලෙ චණ්ඩි ඔය දැන් ඉන්න දෙකයි පණහෙ බොරු ෂෝ කාරයො වගෙ නෙවෙයි. වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම චණ්ඩි. මෝටර් සයිකලේ පිටිපස්සෙ පිලියන් ඉඳගෙන ඇවිල්ල ටී පණස් හයකිං පට පට ගාල තියාගෙන තියාගෙන ගිහිල්ල "යමාං යමාං පාගල යමාං" කියල පස්ස නොබල පලායන ඔය අද ඉන්න ජාතියෙ චණ්ඩි නෙවෙයි එදා හිටියෙ. පේස් ටු පේස් ගේමට බැහැල අතිං පයිං ගහ ගත්තු චණ්ඩි. 

අනික ඒ කාලෙ ඔය ඉස්ටීවන් අයිය වගෙ මිනිස්සු උනත් එහෙමට අසාදාරන වැඩ කලේ නෑ. වෑවලදෙණියෙ පන්සලේ පෙරහැර දවසෙ එහෙම නැත්තං බස් ස්ටෑන්ඩ් එක (මම මේ කියන්නෙ කෑගල්ලෙ ඔර්ලෝසු කණුව ගාව තියන පරණ බස් ස්ටෑන්ඩ් එක ගැන) ඉස්සරහ මුත්තු මාරි අම්මන් කෝවිලේ තේරුව වීදි සංචාරය කරන දාට ඔය පොලිසියෙ රාලහාමිලා එක්ක වලියක් දෙකක් දාගත්ත තමයි. මම හිතන්නෙ ඒ වලි පොලීසියෙ කස්ටියත් බලාපොරොත්තුව හිටියෙ. එහෙම වලියක් දෙකක්වත් නැත්නම් නිකං හිතට හරි නෑ වගෙ ගතියක් තිබ්බෙ. මගෙ හොඳම යාලුවෙකුගෙ තාත්ත පොලීසියෙ සාජං මහත්තයෙක් හින්ද මට ඒ ගැන කැට තියල කිව්වැහැකි. 

ඒ කාලෙ පොලිස් රාළහාමිල ඇන්දෙ දණිස්ස ගාවට තියෙන බාජු කොට කළිසම. කළු සපත්තු. දනිස් ගාවට කාකි පාට මේස් දාල. මේ මේස් එකක කාබන් පෑනක් ගහගෙන හිටියෙ. බොහෝවිට මේ පෑන තැඹිලි පාට බික් වර්ගයේ පෑනක්. පොලීසිය ඇතුලෙ බොහෝමයක් වෙලාවට උඩට ඇඳල හිටියෙ මේස් බැනියමක්. ජීප් තිබ්බෙ ලෑන්ඩ් රෝවර්. බොහෝවිට EN කාණ්ඩෙ එව්ව. මට මතකයි ඔය ජීප් හතර පහක් හැමදාම කෑගල්ල පොලීසිය ඉස්සරහ තිබ්බ බෝ ගහ යට එක පෙලට නවත්තල තියනව පාර පැත්තට මූණ දාල. 

ඉතිං ඔය මම කිව්වෙ ජීවිතේ මම දැනගෙන හිටපු එක ඉස්ටීවන් අයියා කෙනෙක් ගැන. 

තව මං දන්න ඉස්ටීවන් අයියල දෙන්නෙක් ඉන්නව. ඒ දෙන්න මම අඳුනගත්තෙ අර කෑගල්ලෙ ඉස්ටීවන් අයිය ගැන දැනගත්තට බොහොම පස්සෙ කාලෙක. දෙන්නම පොත් ලියපු අය. පුදුම වැඩේ කියන්නෙ දෙන්නගෙ නම් දෙකත් බොහොම සමානයි. එක්කෙනෙක් ඉස්ටීවන් කිං අනෙක් එක්කෙනා ඉස්ටීවන් හෝකිං. 

ඉස්ටීවන් කිං කියන්නෙ නවකථා කරුවෙක්. මගෙ ප්‍රියතම ලේඛකයෙක්. 

ඉස්ටීවන් හෝකිං ලේඛකයෙක් වෙනවට අමතරව ලෝක ප්‍රසිද්ධ Theoretical Physicist කෙනෙක්. එහෙම නැත්නම් න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙක්. 

මේ ඉස්ටීවන් අයිය සැලකෙන්නෙ ලෝකෙ මෙතෙක් පහල වෙච්චි අග්‍රගන්‍ය බුද්ධිමතෙක් හැටියට. කොටින්ම ඇස් දෙක පියාගෙන අයිසැක් අයියගෙයි ඇල්බට් අයියගෙයි එක පලෝලෙ තියන්ට පුලුවන් මට්ටමේ ගොබිලෙක් හැටියටයි අපේ මේ ඉස්ටීවන් අයිය සැළකෙන්නෙ. අයිසැක් අයිය කිව්වෙ අයිසැක් නිව්ටන් ගොයියට. එතනින් ගිහාම ඇල්බට් අයිය කිව්වෙ ඇල්බට් අයින්ස්ටයින් ගොබිලට. 

ඒ එක්කම එහෙනං අයිසැක් අයිය ගැන මේ කතාවත් ලියලම ඉන්නංකො. ඔය අයිසැක් අයිය ජීවිතේටම බැන්දෙ නැහැලු. ඒ තියා ජීවිත කාලෙටම ලිංගික කාය කර්මයෙ යෙදුනෙත් නැහැය කියලයි කියන්නෙ. හැබැයි ඔක්කොම වෙන්නෙ හොඳටෙයි කියල කියනවනෙ. බැරිවෙලාවත් අයිසැක් අයිය බැඳල හිටියනම් ගුරුත්වාකර්සනේ තවම හොයාගෙන නැතිවෙන්ටත් තිබ්බ. 

ඔන්න අපි හිතමු අයිසැක් අයිය බැඳල හිටියය කියල. එහෙනම් මෙහෙමයි අර ඇපල් සීන් එක සිද්ද වෙන්නෙ. ඔන්න ඇපල් ගහයට ඉඳගෙන ඉද්දි අයිසැක් අයියගෙ ඔලුවට ඇපල් ගෙඩිය පත බෑවෙනව. මිනිහ නැඟිටල දනිපනි ගාල ගෙදර දුවල අයිසැක් අක්කට මෙහෙම කියනව. 

"ඒයි ඒක නෙවෙයි බල්ලනකො වෙච්චි දේ.. මම අර අතන ඇපල් ගහ යට ඉඳගෙන ඉද්දි මගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනනෙ." 

"ඉතිං?" අයිසැක් අක්ක අහනව. 

"දන්නවද ඒකෙං අපිට හිතාගන්ට පුලුවන් දේ?" 

"හ්ම්ම්ම්...මම දන්නව…" අයිසැක් අක්ක මූන හපුටු කරගෙන කියනව. 

"මොකක්? ඔයා දන්නව? මොකක්ද ඔයා දන්නෙ?" අයිසැක් අයියට පුදුමයි අයිසැක් අක්කටත් ගුරුත්වාකර්සනේ ගැන අයිඩියා එක ඇවිල්ලද කියල 

"මොකක්ද කියන්නෙ? අදත් තමුං උදේම යන්ට ඇති ඇපල් ගහ යට ඉඳගෙන අර එහා ගෙදර තේඋඩිච්චි එක්ක කොමල කරන්ට...." 

"ඔයයිට පිස්සුද අනේ?..." 

"පිස්සු?....පිස්සු මට නෙවෙයි. මම දන්නව උදේ ඉඳල ඔතන ඇපල් ගහයට මොකද කරන්නෙ කියල...මේ මගෙං හැඳිපාරක් කන්නෙ නැතුව මේ ගෙට වෙලා ඉන්නව. කරන්ට වැඩක් නැත්තං අර සාලෙ පුරහම ගොඩ ගහල තියෙන්නෙ පොත්. එව්වයෙ දූවිලි පිහදාල දානව. ඔන්න මම නොකිව්වයි කියන්න එපා. ආයම දවසක් ඔය ඇපල් ගහයට ඉඳගෙන ඉඳල මට අහුවුනොත් එහෙම මම......." 

"හරි හරි මදැයි ඔය ගෝරනාඩුව. මම පොත් පිහදාන්නංකො…" 

අයිසැක් අයිය සාමකාමී මනුස්සය. ඒ හින්ද අක්ක කියාපු විදිහට එදා දවසම පොත්වල දූවිල්ල ගැසුව. හැබැයි එකක් තියෙන්නෙ අයියට තදටම තියනව ද පිනෑන්ස් නොහොත් පීනසේ. දූවිල්ල නහේට ගිහිල්ල එදා රෑ වෙනකොට මනුස්සයට ඔන්න සහලවලා පීනසේ. දවස් තුනක් ඇඳේ ඉඳලයි ඔන්න කොටිම්ම ආපහු නැඟිට්ටෙ. 

හැබැයි එකක් තියෙන්නෙ පීනස් අමාරුව හින්ද මනුස්සයට අර ඇපල් ගෙඩිය ඔලුවට වැටිච්චි සීන් එක සහමුලින්ම අමතක වෙලා ගියා. පහුවදයි අනික් පහුවදයි ඇඳේ හාන්සිවෙලා ඉන්න ගමං මිනිහ මතක් කරන්ට ෆුල් ට්‍රයි කලා මොකක්ද වැදගත් දෙයක් මට කල්පනා උනා නේද කියල. 

ඒත් එහෙම කල්පනා කරනව දැක්කම අයිසැක් අක්ක කෑගහන්ට ගත්ත "යකෝ ලෙඩ ඇඳේ ඉඳගෙනත් අර අල්ලපු ගෙදර දහදුරාවි ගැන නෙවද කල්පනා කරන්නෙ?" කියල. 

මේ මල වදේ හින්දම අයිසැක් අයිය ඒ ගැන කල්පනා කරන එකත් අත ඇරලම දාල නිකා හිටිය. ගුරුත්වාකර්සනේ හොයා ගැනිල්ල එතනිම්ම හබක් වූ සේක! 

ඔන්න ඔහොමලු අයිසැක් අයිය බැඳල හිටියනං සිද්ද වෙන්ට නියමිත වෙලා තිබ්බෙ. තේරුණෙයි ඔහෙලට? 


මෙම කාටූනයේ දැක්වෙන අයුරු ඇපල් ගෙඩියක් නොව නිව්ටන්ගේ
ඔලුවට පතිතවී ඇත්තේ කුරුල්ලකුගේ වසුරු පිඩකි. ඔහුගේ
සේවකයකු මෙසේ පවසමින් ඔහු සනසයි.
"හරි හරි ගණන් ගන්න එපා බොසා..ගුරුත්වාකර්සනේද
මොකක්ද එක හොයාගත්ත එකනෙ වැදගත් වෙන්නෙ.
අර අලජ්ජි කුරුල්ල රුන්න එක කියන්ට ඕන නෑනෙ.
අපි හැමෝටම කියමු බොසාගෙ ඔලුවට ඇපල් ගෙඩියක්
වැටුනයි කියල..වඩියුසේ? ඕකේ?"

ඉතිං ඒ අතුරු කතාවෙන් අනතුරුව ආපහු ප්‍රදාන කතාවට නොහොත් අපේ ඉස්ටීවන් අයියා ගැන කතාවට නැවත ප්‍රවිස්ට වෙමු. 

අපේ මේ ඉස්ටීවන් අයිය සැලකෙන්නෙ ලෝකෙ මෙතෙක් පහල වෙච්චි අග්‍රගන්‍ය බුද්ධිමතෙක් හැටියට. ඒ වාක්‍යය ඇත්තටම කිව්වොත් වැරදියි. සැළකෙන්නෙ නෙවෙයි හරියටම කිව්වොත් සැළකුනේ වෙන්න ඕනෙ. ඒ කියන්නෙ ඒ ඉස්ටීවන් අයියා වැඩි දොහක් එහෙම නෙවෙයි මේ පහුගිය මාර්තු දාහතරවෙනිද අභාවප්‍රාප්ත වුනා නොහොත් මියගියා. 

1942 අවුරුද්දෙ උපන් මේ ඉස්ටීවන් අයියට වයස යන්තම් 22, 23 වගෙ වෙනකොට බොහොම කලාතුරකින් කෙනෙකුට වැලඳෙන බරපතල රෝගයක් වැලඳුනා. Motor neuron disease නමින් හඳුන්වන මේ ලෙඩෙන් කරන්න අපේ ශරීරයෙ ක්‍රියාකාරකම් පලනය කරන ස්නායු පද්ධතියෙ තියන නියුරෝන අක්‍රියාකාරී කරන එක. එහෙම උනහම අපේ සිරුරේ අවයව ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන. අන්තිමට ආහාර ගිලීම හුස්ම ගැනීම වගෙ ක්‍රියාවලීනුත් අඩපණවෙලා රෝගියා මියයනව. 

ඉතිං වෙලාව කියන්නෙ අපේ ඉස්ටීවන් අයියටම මේ ලෙඩේ හැදුන එකනෙ. 

"ඇයි මටම මෙහෙම වෙන්නෙ?" නැත්නම් "WHY ME?" 

එහෙමයි එහෙම වෙලාවට අපි කෑගහල අහන්නෙ? එක්කො අපි අදහන දෙයියෙක්ගෙං. දෙයියෙක් අදහන්නෙ නැත්තං තමන්ගෙන්ම. 

ඔය "Why me?" ප්‍රශ්ණෙට අපූරු පිළිතුරක් දීල තිබුන එක පාරක් අමරිකානු ටෙනිස් ශූර ආතර් ඈෂ්. ආතර් අයිය තමයි විම්බ්ල්ඩන් ටෙනිස් ශූරතාවය දිනපු පළමු කල්ලා. ඒ 1975 අවුරුද්දෙදි. පස්සෙ කාලෙක හාට් බයිපාස් සැත්කමක් කරද්දි ඔහුට වැරදීමකින් HIV අසාදිත ලේ පාරවිලයනය කරල තිබ්බ. ඒ හින්ද ඔහුට ඒඩ්ස් වැළඳුනා. 

පුවත්පත් වාර්තාකාරයෙක් ඔහුගෙන් මෙහෙම ඇහුව. 

"ආතර්...ඔබට කවදාවත්ම කෑගහල අහන්ට හිතිල නැද්ද Why me? කියල" 

ඒ ප්‍රශ්නෙට ආතර් අයිය මෙහෙම උත්තර දෙනව. 

"මම යූ.එස්. ඕපන් දිනුව. විම්බ්ල්ඩන් දිනුව පළමුවන කල්ලා වුනා. ලෝකෙ අංක එකේ ටෙනිස් ක්‍රීඩකය වුනා. මිලියන ගණනක් හම්බ කලා. ඒ කොයිම වෙලාවකවත් මම Why me? කියල ඇහුවෙ නෑ. ඒ හින්ද මට මේ වෙලාවෙත් Why me? කියල අහන්න අයිතියක් නෑ." 

මට හිතෙන්නෙ අපේ ඉස්ටීවන් අයියගෙන් උනත් ඔය වයි මී ප්‍රශ්නෙ ඇහුවනම් ඔය උත්තරේම ලැබෙන්ට තිබ්බ ෂුවර් ඇන්ඩ් ෂොට්. 

තව කාරණයක් කියන්නද? ඔහොම රුධිර පාරවිලයනක් හින්ද ඒඩ්ස් හැදුනු ලංකාවෙ කමලිකා අබේරත්න වෛද්‍ය තුමිය මතකද? දිවයින පුරා අඩු ආදායම් ලබන දුප්පතුන්ට නොමිලේ වෛද්‍ය සායනයන් පැවැත්වූ එතුමිය හම්බන්තොට පැත්තෙ එවන් සායනයකට යද්දි රිය අනතුරකට ගොදුරුවෙලා සැත්කමක් කරන්නට සිදුවුනා. ඒ සැත්කම වෙලාවෙදි H.I.V. වෛරස් සහිත රුධිරය ලබා දීම නිසා ඇයට ඒඩ්ස් වැලඳුනා. මට මතක විදිහට 1996 නැත්නම් 97 වගෙ ඇය ඒඩ්ස් රෝගයෙන් මියගියා. ඒකත් බොහොම අවාසනාවන්ත ඛේදවාචකයක්. 

සාමාන්‍යයෙන් මේ Motor neuron disease රෝගයට ගොදුරුවුන කෙනෙක් උපරිම අවුරුදු 2-3 පමණයිලු ජීවත් වෙන්නෙ. අවුරුදු 10 පන්නල ජීවත් වෙන්නෙ බොහොමත්ම කලාතුරකින් කෙනෙක්ය කියලයි කියන්නෙ. හෝකිංටත් කියල තියෙන්නෙ උපරිම ජීවිත අපේක්ෂාව අවුරුදු දෙකයි කියල. ඒත් මේ මනුස්සය අවුරුදු පණස් පහක් ජීවත් වුනා. ඒක ඇත්තටම ආශ්චර්යයක්. 

අනික් අතට බලාගෙන යනකොට මේ ආශ්චර්යයට හේතුත් තියනව. අපේ ඉස්ටීවන් අයිය ධනවතෙක්. ලෝක පූජිත පුද්ගලයෙක්. ඒ හින්ද ලෝකෙ ඒ වෙනකොට තියන දියුණුම ප්‍රතිකාර සහ හොඳම මට්ටමේ Professional care giving ඔහුට ලැබුන. තවත් හේතුවක් මට හිතෙන්නෙ ඔහුට ජීවිතේ ඉලක්කයක් අපේක්ෂාවක් තිබුන. මම මේ දේ කරන්න ඕනමයි කියල. ඔයවගෙ පූර්ණ අකර්මණ්‍යතාවයට හේතුවන රෝගයකට ගොදුරුවුනු එහෙම සුවිශේෂී ඉලක්කයක් නැති අය මට හිතෙන්නෙ බොහොම ඉක්මනටම මිය පරලොව යනව. 

ඒ මොනව උනත් අවුරුදු 55 රෝද පුටුවකට සීමා වෙලා ගත කරපු ජීවිත කාලෙදි ඔහු කල කී දෑ අනන්තයි අප්‍රමාණයි. විශ්වයේ උපත පිළිබඳව මහා පිපුරුම් න්‍යාය අපේ ඉස්ටීවන් අයියා නව මානයකින් ඉදිරිපත් කලා. ඒ වගේම කළු කුහර සහ සාපේක්ෂතාවාදය ගැන ඔහු ඉදිරිපත්කල න්‍යායයන් ලොව පුරා ප්‍රසාදයට ලක්වුනා. ඔහුට නොබෙල් ත්‍යාගය නොලැබුනේ ඔහු ඉදිරිපත් කල න්‍යායයන් කිසිවක් මෙතෙක් නීරීක්ෂණාත්මකව ඔප්පු කිරීමට නොහැකිවූ නිසාලු. කළු කුහරයක් කවුරුත් තාම දැකල නැහැ. න්‍යායාත්මකව එහෙම එව්ව තියෙන්න පුළුවනි කියල විතරයි කියන්න පුලුවන්. 

ඉතිං කොහොම හරි අපි හැමෝටම කවදක හරි යන්ට වෙන ගමන ඉස්ටීවන් අයියා ගියා. 

ඔබට සුබගමන් ඉස්ටීවන් අයියේ!!! 

රෝද පුටුවේ සිට අඩ සියවසකට අධික කාලයක් මනසින් සැරිසැරූ කළු කුහර,නිහාරිකා,මන්දාකිණී අතර සැබවින්ම කල්පාවසානය තෙක් සිත්සේ සරන්නට ඔබට සුබ ප්‍රාර්ථනා!!! 

ඉස්ටීවන් අයිය ගැන වැඩිදුර විස්තර දැනගන්ට ඕමනා නම් පල්ලෙහයින් තියනව වීඩියෝ ක්ලිප්ස් කීපයක්....

                                            තම පියා පිළිබඳව ලුසී හෝකිංගේ ආවර්ජනා...

 
දෙවියන් පිළිබඳව......

                                                       පිටසක්වලින් බුද්ධිමත් ජීවීන්ගේ ආගමනය පිලිබඳව 
                                                                                     ඔහුගේ අදහස්...

                                                                                      Worm holes පිළිබඳව........

                                                                     මහා පිපුරුම් න්‍යාය පිළිබඳව ඔහුගේ අදහස්....

30 comments:

  1. ගමේ චන්ඩි කියල දැං ඔහොම ෆේස් ටු ෆේස් ගහගෙන පොලීසියෙන් පැනල වෙඩි තියනකොට චන්ඩිය පැත්තක ඉන්දැද්දි අයින් වෙලා පයින් යන මනුස්සයෙකුට වැදිල ඌ සුවාස් උනාම අර චන්ඩියගෙ නම්බුවට මොකෑ වෙන්නෙ කියලද ඔහේ හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ කාලෙ රාළහාමිලට ගිණිඅවි දුන්නෙ නෑ බං. ඒ හින්ද වෙඩි තිබිල්ලක් ගැන ප්‍රශ්නයක් එන්නෙ නෑ. චන්ඩිත් අතින් පයිං ගහගත්ත මිසක වෙඩි තියාගත්තෙ නෑ.

      මරුසිරා, අග්ගොන චන්දරේ, චීනා වගෙ ක්ලාස්වන් චණ්ඩි අතේ විතරයි ගිණිඅවි තිබ්බෙ. එව්වත් බෝර 12 ෂොට්ගන්ස්...

      රාළහාමිලට ඉෂූ කරල තිබ්බෙ කලුවර බැටන් පොලු. එව්වයෙ තිබ්බ අල්ලන මිට කෙළවර හම් පටියක් වගෙ එකක්.බැටන් පොළුපාර දෙනකොට පොල්ල අතින් ලිස්සල යයි කියල ඒ හම් පටිය අතේ පටලව ගන්නව....

      Delete
  2. තමන්ට යම් දෙයක අරමුණක් තියෙනකොට මරණය පමා කරන්න පුලුවන් වෙන්න ඉඩ තියෙනව.

    සුබ ගමන් ස්ටීවන් ලොක්ක.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔව් ඔබ හරි...

      පර්සියානුවන් පරද්දල ග්‍රීකයින් ජයගත්තයි කියල පණිවිඩේ දෙන්න නොකා නොබී එක දිගටම දුවගෙන ඇවිල්ල අර කවුද සෙබළෙක් "අපි දිනුවා" කියල මැරිල වැටුනයි කියන්නෙ. මැරතන් තරඟ පැවැත්වෙන්නෙ ඒ සිද්ධිය අනුස්මරණය කරන්නලුනෙ. ඒ සෙබලා දුවපු දුර ප්‍රමාණය තමයි අදත් මැරතන් තරඟයෙ දුර..සැතපුම් 26 යි යාර 385යි.

      පලි - මම අහල තියනව බොහොමයක් මුදලාලිල එන්ට තියන ණය ඔක්කොම අයකරගන්නකල් මැරෙන්නෙ නෑ කොහොමහරි එල්ලිල ඉන්නවයි කියල...:)

      Delete
  3. ස්තූතියි මේ සටහනට අයියේ. න්‍යයයන්ගෙන් විතරක් නෙවෙයි, ජීවිතයෙන්ම ලෝකයට යමක් උගන්වාපු එතුමාට සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඒකනෙ බොලේ කියන්නෙ...පුදුම ධෛර්යයක් කැපවීමක් තිබුණු මනුස්සයෙක්..

      Delete
  4. කතාව පරිවර්තනය කරලා දාන්න පටන් ගන්නකොටම මම නං දැනගෙන හිටිය උඹට ඔහොම කියන්න වේවි කියල කවදාහරි. හෝකින්ස් ට මම සුබ ගමන් පැතුවා බුකියේ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      එව්ව එහෙම තමයි බං..

      අපි ඇත්තටම කල්පනා කරල බැලුවොත් ජීවිතේ සීයට අනූනමයක්ම කොටි වළිග තමයි. මං දන්නෙ නෑ..මටනම් එහෙමයි හෙහ්,හෙහ්..

      ඒත් එහෙමෙයි කියල අපි අතාරින්නෙ නෑනෙ දිගටම එල්ලිල ගේම් එකේ ඉන්නව. මේකත් එහෙමම තමයි. අරින්නෙ නෑ මල්ලි......

      Delete
  5. තිස් සෙම ලිපිවලින් දැණුමක් ලබන්නෙමී
    දස් කම් ඔහුගෙ අද මෙතැනින් උගත්තෙමී
    හුස් මක් යවා ගිය ඔහු සිහි කරන්නෙමී
    ඉස් ටීවන්ට සුභ ගමනක් පතන්නෙමී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී ...:)

      Delete
  6. උන්නැහැගෙ මරණෙ ගැන නං අනේ අපරාදෙ හිතුනා. මොලයක් නෙවැ. අනේ මැරෙන්ට එපා කවදාවක්ම කියල කියන්න පුළුවන් තව ස්ටීවන් කෙනෙක් ඉන්නව. ඒ තමය් ස්ටීවන්සන් ස්පිල් බර්ග්. ඒ මනුස්සයා නොහිටින්න මේ සියවසේ විශිෂ්ඨතම සජීවීකරණ චිත්‍රපටිය බලන්න බැරි වෙනව.

    අපේ ගෙවල් පැත්තෙත් ඔය නම තියෙන කෙනෙක් හිටියා. මිනිහට නං ගමේ අය කිව්වෙ "ඉස්ටුවං" කියල. චන්දරෙ මාමලෑ නැන්ද විතරයි ඒ මනුස්සයගෙ නම "ඉස්ටීවන්" කියල කියෙව්වෙ.

    ReplyDelete
    Replies
    1. Suranga,

      /ඒ මනුස්සයා නොහිටින්න මේ සියවසේ විශිෂ්ඨතම සජීවීකරණ චිත්‍රපටිය බලන්න බැරි වෙනව. /

      වට්ස් දැට්?

      Delete
    2. The Adventures of Tintin: The Secret of the Uni corn (2011)
      දෙටිංගේ හපංකං: එක්සත් ඉරිඟු කරලේ රහස (2011)

      Delete
    3. සුරා,

      අම්මට වූඩු තාත්තට ගෝයා..එහෙමත් එකක් නේ?

      අපි නම් කොල්ලො ටිංටිංස් ඇඩ්වෙන්චර්ස් පොත් තමයි බැලුවෙ. දැට් වෝස් ඩියුරිං මිඩ් සෙවන්ටීස් ටූ..

      එක්සත් ගල්තැලුමේ රහස කියලත් කිව්වැහැකි හෙහ්..හෙහ්...

      Delete
  7. කලාතුරකින් පහලවන ආශ්චර්යමත් පුද්ගලයෙක්... අපමණ අපහසුතා එක්ක අරමුණ කරා ගමන් කිරීම කිරීමට අපහසු දෙයක්..

    ReplyDelete
    Replies
    1. අරු,

      ඔබ හරි විශිෂ්ඨ පුද්ගලයෙක් වගේම අපේ යුගයේ මහා ප්‍රාඥයෙක්...

      Delete
  8. ඔන්න ඔය මඟුල අතඇරලා දාහං බං.. බලහං උඹ දැන් අවුරුදු කීයක් තිස්සෙ ඕක ලියනවද? එක්කො එක තිරික්කමක් ඇතුව ලියලා අහවරයක් කරලා දාන්ට ඕන.. එහෙමත් නෑ..

    ReplyDelete
    Replies
    1. බූරා,

      එහෙම අතෑරල දාන්ටත් බෑනෙ බොල..මේක කියවන පාටක/පාටිකාවියං ඉන්නවනෙ..ඒ හින්ද ඇදගෙන යන්ටම වෙනව.

      යස් ඔබ හරි..ටිකක් පිළිවෙලක් ඇතුව ලියන්ට ඕමනයි කතන්දරේ...හෙහ්..හෙහ්..

      බයි දවේ..තිරික්කමක් ද තිරිත්තමක්ද හරි වචනෙ? මම හිතන්නෙ තිරිත්තමක්...

      Delete
  9. අපේ කාලේදී ලොව පහළ වූ ස්ටීවන් හෝකිං මහා විද්‍යා චින්තකයාගේ අභාවය ගැන කණගාටුයි. ඔහුට පිට සක්වල ආශ්චර්යමත් තවත් බොහෝ දේ දැක ගැනීමට සුබ ගමන්.ඔහු වසර 76 ක් ජීවත්වෙලා එයින් වසර 56 ක්ම සිටියේ රෝද පුටුවක.ඒ රෝද පුටුවේ ලොව තිබෙන ඉස්තරම්ම කථන තාක්ෂණ උපකරණ සහ වෙනත් ජීවිතයට අවශ්‍යවන බොහෝ දේ සවිකර තිබුනා නේද? සමහර විට ඔහුගේ න්‍යායයන් නුදුරු අනාගතයේදීම ප්‍රායෝගිකව ඉදිරිපත් විය හැකියි.
    ඉතාමත් කාලින සහ වටිනා විස්තරය ගැන ඔබට මාගේ ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයා මහත්මයා,

      ඔව් ඔබ හරි ඔහු අපේ කාලයේ මහා විද්‍ය චින්තකයා කිසිදු සැකයකින් තොරව..

      Delete
  10. අරමුණ නිසා ස්ටීවන් හෝකිං පුරෝකථනය කළාට වඩා කාලයක් ජීවත් වුනා වගේ, බුරුසුවා දවසක මළත්, අනන්‍යා -ක්‍රිෂ් යුවළගෙ කතා වස්තුව ඉවර කරන තෙක් රවි වීරසිංහ දර්ඝායුෂ ලබා වැජඹේවා!

    ReplyDelete
  11. නිව්ටන් ගොයියා බැන්ඳෙ නැතිව මලාට , මිනිහගෙ නියම තාමත් අපිට අහවල් වැඩේ කරනවය කියල physics ඇනගත්ත උන් වගයක් බුකියෙ ෂෙයා කරලා තිබුනා 😊.

    වැදගත් විස්තරයක් වෙලාවක් ආවම වීඩියෝ ටිකත් බලන්නෝනෙ. ජයවේවා !

    ReplyDelete
  12. ඉස්ටීවන් අයියගෙ නෝනා ලියපු පොතට අනුව හදපු the theory of everything පින්තූරය ගැනත් කිව්ව නං හොදා. මට මතක විදියට 2014 වගෙ. ඒ නලුවා රෙඩිමෑන්ද කව්ද ඒකට හොදම නලු බට්ටා ඔස්කාර් බට්ටත් ගත්තා. Thathu.com එකෙ ඉස්ටිවන් අයියා ගැන පෝස්ටුවක් ගියා දවස් දෙකකට විතර කලින්. මාත් අයියා ගැන ලියන්න ගත්තා ජනවාරි වල. කරුමෙටද මන්ද මට හිතුනා පොර යනකල්ම ඒක අහවර කරන්න බැරි වෙයි කියල.. චියර්ස්

    ReplyDelete
  13. Ravi ayya Dan wanpathul katha liyanne nedda aththtama???

    ReplyDelete
  14. Ravi ayya Dan wanpathul katha liyanne nedda aththtama???

    ReplyDelete
  15. මමත් කැමතිම විද්‍යාඥයෙක් රවියා . මේ දවස් වල මගේ හොඳම යහළුවෙකුටත් ඔය ලෙඩේම හැදිලා. මේ රටේ බෙහෙත් නැහැ. ආයුර්වේද වෙදකම් නුත් කරනවා. බටහිර ඒවත් කරනවා. තව අවුරුදු තුනයිලු කාලය දීල තියෙන්නේ. මම කිව්වා ඕව අමතක ක රල ජිවත් වෙයන් කියල. දුකයි තමා . නමුත් කවුද දන්නේ තව අවුරුදු දෙකකින් බෙහතක් හොයා ගත්තොත්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...