Saturday, October 15, 2016

449. සිව්වසරකට පසු - 4 - පෝටොස් එක අවසානයේ අනුමත වීම, කැන්ඩි සිටි සෙන්ටර් එකේ සරසවි පොත් හල සහ අමතක නැති අඩි පාරවල්



Kandy City Center

සිව් වසරකට පසු 1 - Here we go around the mulberry bush.

සිව් වසරකට පසු 2 - කෙට්ටු කොලූ, Full metal jacket...


සිව් වසරකට පසු 3 - උරායා හීප්, ප්‍රේම කතාවක....

සල්ලි ආපහු දෙන්න කියල කිව්වහම කෙට්ටය ටිකක් කලබල වුනා. "ආ..නෑ...නෑ..සර් අපි එහෙනම් කෝට් එක නැතුව ගමු. උරහිස් එක මට්ටමට වගෙ තියාගෙන හිටියොත් මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ."

අර හම්පඩ කෝට් බෑය අඳිනව තියා කොටින්ම මම ඒක එල්ලල තිබ්බ කාඹරේ පැත්ත පළාතෙවත් ගියේ නෑ. ලේන්සුවෙන් මූණෙ දාඩිය පිහගත්ත. තියෙන කෙස්ගස් දෙක තුන අතිම්ම තලල දැම්ම. ලක ලැහැත්තිවීම එපමණයි. 

"හරිද?" කෙට්ටය ඇහුව.

"හරි හරි මෙහෙම ගමු" මම කිව්ව. 

ආයම කෙට්ටය අර සුදු කුඩ එහෙම අටවල මාව ස්ටූල් එකේ ඉන්දවල ආපහු පෝටොස් දෙක තුනක්ම ගත්ත.

"දැංවත් හරියයිද?" මම ස්ටූල් එකෙන් නැඟිටල සාක්කුවෙං ලේන්සුව එළියට ගන්න ගමං ඇහුව. දාඩිය පිහලම ලේන්සුව දැන් තෙතබරියං වෙලා.

"හරියයි බොහෝවිට, අපි බලමුකො" 

ආයම ඔන්න කෙට්ටය කම්පියුටරේ ඉස්සරහ ඉඳගත්ත. මම කමිසෙ මේ පාර බොත්තං ඔක්කොම ඇරිය. ඔලුව නැවුව පාතට. "ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්..."

ඔහොම විනාඩි දෙකක්, තුනක්, හතරක් වගෙ ගෙවිල ගියා. කෙට්ටය පරිගණක තිරේට එබීගෙන ඉන්නව දත්මිටි කාගෙන.

"ඔලුවෙ සයිස් එක නම් හරි" කෙට්ටය හිනාවෙලා උඩ පැනල කිව්ව."හෙඩ් සයිස් ඇප්රූව්ඩ්"

"හප්පා යන්තං ඇති.ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...මම මේ ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ ඔලුව ලොකු කරගන්නෙ කොහොමද කියල.....ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්....ඔන්න ලොකු වැඩියි කිව්ව නම් දඬු අඬුවකට අල්ලල තද කරල සුමානයක් දෙකක් තියල හරි ඔලුව පුංචි කරගන්ට තිබ්බ. ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...දෙයියෝ සාක්කි. ඒත් ඔලුවක් ලොකු කරගන්නෙ කොහොමද?"

"හරි හරි උරහිස් ලෙවලුත් හරි…"

"දෙයියංගෙ පිහිටයි..ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්."

කෙට්ටය පුටුවෙ ඉඳගෙනම කකුල් දෙකෙන් වාරු අරගෙන රෝද තුන උඩ ලිස්සගෙන මාගාවට ඇවිල්ල පහක් දැම්ම. ඊට පස්සෙ ආපහු ගියා කම්පියුටරේ ගාවට.

"කං දෙක...ම්ම්ම්ම්..කං දෙක..ඉන්ට බලන්ට.."

"ඈ මොකද බොලේ..කං දෙක ඇප් රූව් උනේ නැද්ද? ෆූස්..ෆූස්...ෆූස්. මාර කෙලියක්නෙ..ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. උපංදා ඉඳං තිබ්බ මගෙ අගේ ඇති කංදෙක.."මම කන්දෙක බොහොම ආදරෙන් අතගාලත් බැලුව. 

"මොකද එහෙං කියන්නෙ? කං ලොකු වැඩියි කියනවද? ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. පොඩි වැඩියි කියනවද?"

"ඉන්ඩබලමු......ආ..නෑ...නෑ...කංදෙකත් අනුමතයි."

"එහෙමද හප්පා යතං ඇති.ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්...ෆූස්. උපංදා ඉඳල තියන මගෙ මේ කං දෙක කපන්ට එහෙම උනානං වස වැරැද්දයි. දැං අවුලක් නෑ. දෙයියො මගෙ මූණ බැලුව. නෑ..නෑ..කංදෙක දිහා බැලුව"

දැං මට ඕන වුනේ ඇසැප් නොහොත් හැකි විගස මේ ආච්චිගෙ රෙද්දෙ උඩුගත කිරිල්ල අහවරයක් කරගෙන මේ ඉහිං කණිං දාඩිය ගලන ගුබ්බෑයමෙං එළියට පනින්ට. ඒ හින්ද මම කෙට්ට කොලූ අමතා මෙහෙම කිව්ව.

"ප්‍රිය දරුව , එසේ හෙයින් සියලු අවයව අනුමත වූ මේ අනගි අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගෙන වහා මා ඡායාරූපය උඩුගත කල මැන..." කෙට්ටය ඔලුව හරවල මා දිහා බැලුව. 

මම හිතුවෙ "සර් මේ ප්ලීස්... සිංහලෙන් කියනවද කියන මඟුලක්" වගෙ මොනව හරි ඌ කියයි කියල. එහෙම වුනේ නෑ. ඌටත් යමක් කමක් තේරෙනව. 

"එසේය මහතාණනි. එසේය" එහෙම කියල කොලුව ආපහු පරිගණකෙ දිහාවට හැරුන.

"ෆොටෝ එක අප්ලෝඩ්  කරල තියෙන්නෙ. දැන් තියෙන්නෙ එහෙං වැඩේ හරි කියල නිල නිවේදනය දෙන්ට විතරයි. එතකොට වැඩේ ක්ලෝස්."

"හරි හරි බං ඕන මඟුලක්. විජහට ඔය කරන මඟුලක් කරපං"

"හරි සර්..." කොලුව කිව්ව. 

මමත් එතනම තිබ්බ ස්ටූල් එහෙක වාඩිවෙලා පරිගණක තිරේට එබුන. අප්පටසිරි ඔය ඉන්නෙ මිස්ටර් රවී නිකං කිං පයිසාල් වගෙ..හෙහ්,හෙහ්, 

"හරි සර් තව මිනිත්තු දෙකයි වැඩේ ගොඩ...හෙහ්,හෙහ්" කොලූ තෙමේ බොහොම සන්තෝසෙං හිනා වුනා. "ෂිට්" ඒත් එක්කම ඌට කියවුනා. 

"ජලා හුටා" කියල මට කියවුණා. මොකෝ දන්නවයි හේතුව? දඩස් ගාල ලයිට් ගියා. පරිගණකය අර බීප්..බීප්..නාදය නිකුත් කරන්ට ගත්ත. 

මම නැඟිටල ජනේලෙ ගාවට ගියා. මොන? ඒක අරින්ඩ බෑ, සීල් කරල තියෙන්නෙ. සීල් කරල කියන්නෙ ඔය ලොකු සිරා බිරා වැඩ මොකවත් එහෙම නෙවෙයි හොඳද? ඇණ හත අටක් ජනෙල් පියනට ගහලයි සීල් කරල තියෙන්නෙ..හරි ඉතිං ඒ කොහොම වෙතා ජනේලෙ අරින්ට නම් බෑ මේක ඇතුලෙ එකෙක්ගෙ පණ ගියත්. 

"හරි වැඩේනෙ සර් උනේ" කොලුවත් නැඟිටල ආපි. 

"ඒ කියන්නෙ පුතා මගෙ වැඩේ කෙරුනෙ නැද්ද?"

"ඒකතමයි මටත් ෂුවර් නැත්තෙ. ෆයිනල් කන්ෆර්මේෂන් එක දීල විනාඩි තුන හතරක් ගිහිල්ලනෙ ලයිට් ගියේ. ඒ හින්ද එයාලගෙ වෙබ් සයිට් එකට අප්ලෝඩ් වෙන්න වෙලාවනම් ඇති හොඳටම. ඒත් කියන්ට බෑනෙ" කොලුව එතන තිබ්බ පත්තරේ අරගෙන පවං ගහගන්ට ගත්ත.

"මොකද ඉතිං දැං කරන්නෙ?" මම ඇහුව. 

"මොක කරන්ටත් සර් ලයිට් එනකල් ඉන්ටම වෙනව. ඊට පස්සෙ අප්ලෝඩ් වෙලා තිවුනෙ නැත්තං ආයම අප්ලෝඩ් කරන්ට වෙනව"

"හරි හරි ඒක ඔයා කරගන්ඩ. මම ඇහුවෙ ආයම පොටෝස් අල්ලන්ට ඕන නෑනෙ නේද?"

"නෑ..නෑ..ආය ඕන නෑ." කොලුව හයියෙං හිනාවුනා.

ඔහොම මිනිත්තු එක පහක් හයක් හතක් වගෙ ගතවුනාය කියමුකො. දැන්නං අර පෝරණේ අස්සෙ ඉන්ටම බැරි සයිස්.

"මොකෝ පුතා...වෙනදත් මෙහෙම ලයිට් යනවද?"

"ඔව්..මේ එක ලයින් එකක් තියනව, කොහොමත් දවස් දෙක තුනකට පාරක් ලයිට් යනවම තමයි"

"හෙහ්, එහෙමද ? එහෙමත් නැත්තං බොලා ලයිට් බිල ගෙවල නැතුව ලයිට් කැපුවද දන්නෙත් නෑ..හෙහ්,හෙහ්"

"නෑ..නෑ..අපි වෙලාවට බිල් ගෙවනව. මමමයි මේ පෙරේද නැත්තං ඊට කලිං දවසෙ ගිහිල්ල සල්ලි ගෙවල ආවෙ" කෙට්ටය කිව්ව. 

"හරි හරි මේ එහෙනං මෙහෙම කරමු. ම මෙතන මේ ඉහිං කනිං දාඩිය පෙරාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑනෙ. ඒ හින්ද මම යන්නං..ආ..එතකොට අර මොකක්ද රිසිට් එකක් දෙනව කිව්වනේද පාස්පෝට් කන්තෝරුවට ඇප්ලිකේෂන් එකත් එක්ක අමුණල දෙන්ට"

"ආ..ඔව්..ඔව්..දැං මොකද කරන්නෙ? ම්ම්ම්... මෙහෙම කරමු. ලයිට් ආවට පස්සෙ මම හරියටම කන්ෆර්ම් කරගන්නං සර්ගෙ ෆොටෝ එක හරියට අප්ලෝඩ් වෙලා අනුමත වෙලාද කියල. විස්තරේ කියල මම කෝල් එකක් දෙන්නම්. හෙට වගෙ ඇවිල්ල සර්ට රිසිට් එක අරගෙන ගිහෑකි අදම බැරි වුනොත්."

"හරි හරි බං හදිස්සියක් නෑනෙ. රිසීට් එක හෙමීට ගම්මුකො" මම එහෙම කිව්වෙ කොහොමත් එක දවසකින් පාස්පෝට් එක ගන්න මම හිතාගෙන හිටපු හින්ද. වන්ඩේ ඉන්ටර්නැෂනල් ඒකට කියන්නෙ හෙහ්,හෙහ්,"

"හරි එහෙනං අපි ගියා මගෙ නම්බර් එක තියනවනෙ. වැඩි විස්තර කියල කෝල් එකක් එහෙනම් දෙන්න හොඳද?" එහෙම කියල මම පෝරණුවකිං එළියට පනින්නැහෙ ඉස්ටුඩියෝ එකෙං එළියට බැස්ස.

ඔර්ලෝසු කණුව ඊමම තමයි ඔය මම කියන පෝටොස් සාප්පුව තිබ්බෙ. එතනිං එළියට බැහැල දළඳා වීදිය දිගේ මම උඩහට ගියා. මට යන්ට ඕන වුනේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියන සරසවි පොත් සාප්පුවට.

සරසවියට යන්ට මට ලොකුම ඕනකමක් තිබ්බ. ඒ වෙන මොහොකටවත් එහෙම නෙවෙයි පොතක් ගන්ට. මගෙ ඔය බෝම හිතේසිවන්ත ලලනාවියක් මේ පහුගිය දවසක පොතක් ගැහැව්වනෙ. අන්න ඒ පොත තමයි මම ඔය තකහනියක් ගන්ට ගියෙ.

අප්පා ඒ ලලනාවි නම් මා එක්ක කිව්වෙ "අනේ අයියෙ මේ ඒකකට කියනව එහෙම නෙවෙයි මගෙ පොත විකිණෙන්නෙ අවුරුදු කාලෙ උණු කැවුං විකිණෙනව වගෙ. කොළඹ කොහෙවත් හොයාගන්ට නෑ පොත.හිහ්,හිහ්, ඔන්න ඇත්තම කිව්වොත් අයියට දෙන්ට කියල මම තියාගෙන හිටිය එක පොතක්. ඔන්න අහන්ටකො වෙච්චි වැඩේ... දවසක් පාන්දර වෑන් එකක් හයර් කරගෙනම ඔය කොහෙද දුර පලාතක ඉඳල කට්ටියක් ගෙදරටම ඇවිල්ල ඉල්ලුවනෙ ඔය පොතක්. අනේ නෝනා අපි ඉල්ලන ගානක් දෙන්නං අපිට පොතක් දෙන්ට කියල. පොතක් දුන්නෙ නැත්තං ගෙදර ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවය කියලත් කිව්ව. ඒ පාර වෙන මොකක් කරන්ටද අයියට දෙන්ට කියල තියාගෙන හිටපු පොත ඒ අයට දුන්න"

මමත් ඉතිං වෙන මොකක් කියන්ටද? බනින්ටය? හා..හොඳයිය. ඒකත් එහෙමදය කියල නිකා හිටිය. ඉතිං ඔච්චර ජනප්‍රිය වෙන්ට මොකක්ද මේ පොතේ මෙයාකාර තියන විසේසෙ කියල බලන්ට පොතක් ගන්ට මට ලොකුවට ඕනකම තිබ්බ. ආං ඒකට තමයි ඔය මම තකහනියක් සරසවියට ගියේ.

ඉතිං සිටි සෙන්ටර් එකේ සරසවි පොත්හලට මම ගිහාම වෙච්චි දේ තමයි මේ. නාට්‍යනුසාරයෙන් ඒ සිද්ධිය මම ලිව්වෙ.

ස්ථානය - මහනුවර සිටි සෙන්ටර් සරසවි පොත්හල. 

පාත්‍ර වර්ගයා - 

1. ගරු කටයුතු රවී මහතා 

2. පොත්හලේ වෙළඳ සේවකයෙක්, 

ගරු කටයුතු රවී මහතා - (පොත්හලට ඇතුලුවෙමින් බොහෝ ගාම්බීර කටහඬකින් වහා ඉදිරියට පැමිනෙන වෙඳ සේවකයා අමතයි.) "මේ..අර...අමතක නැති අඩි පාරවල් පොත තියනවද?" 

වෙලඳ සේවක - (පුදුමයෙන් මෙන් දෑස් විදහාගෙන මඳ වේලාවක් බලා සිට) "සර් ආයම කියන්න බලන්න මොකක්ද කිව්වෙ කියල?" 

ග.ක.ර.ම. - "ඇයි හලෝ කං ඇහෙන්නෙ නැද්ද? මම ඇහුවෙ අමතක නැති අඩි පාරවල් පොත තියනවද කියල" 

වෙ.සේ. - "සර් මේ අර කැලේට ගිය අඩි පාරවල් පොත ගැන එහෙම නෙවෙයිනෙ නේද ඔය සර් අහන්නෙ?"

ග.ක.ර.ම.- "පිස්සුද අයිසෙ? ඒ පොත මා ගාව තියනව. ඒක නෙවෙයි මම අහන්නෙ අමතක නැති අඩි පාරවල් පොත ගැන"

වෙ.සේ. - "සර් කිව්වට විස්වාස කරයිද මන්දා. අද මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මේ අවස්තාව සෙලිබ්‍රේට් කරන්ට අපි සෙල්පියක් ගමු.කමක් නෑ නේද?" 

ග.ක.ර.ම.- "ආ..ඒකටනම් මක් වෙනවද? මොකෝ සෙල්පියක් ගත්තය කියල මගෙ කෑල්ලක් අඩු වෙනවය?...හෙහ්,හෙහ්"

වෙ.සේ.- "අනේ සර් තෑන්ක් යූ, තෑන්ක් යූ, තෑන්ක් යූ" (සෙල්පි කොක්ක ගෙනවිත් පෝං එක එහි අමුනා සෙල්පියක් ගනියි.)

ග.ක.ර.ම. - "හරි දැන් ඔහෙගෙ මනදොල සපිරුනානෙ. සෙල්පිය ගත්තනෙ. දැන් කියනව බලන්ට මොකක්ද මෙහෙම මේ සෙල්පි නාඩගමක් නටන්ට හේතුව? "

වෙ.සේ.- "දැං ඔය සර් ඉල්ලපු පොත තියනව නේද?"

ග.ක.ර.ම - "තියනවද? තවම ඔහේ ඒක තියනවද කියල කිව්වෙ නෑනෙ. අර සෙල්පි කොක්කක් දිග ඇරගෙන ජවුසමක් නැටුව මිසක"

වෙ.සේ - "නෑ..නෑ..සර් බය වෙන්ට එපා ඔය පොත් විස්සයි මුලින්ම ආවෙ. දැන් අවුරුද්දක් වගෙ කිට්ටුවෙන්ට ආව. අපරාදෙ කියන්ට බෑ ඇස් වහක් කටවහක් නෑ. ඒ පොත ලියපු මිසීට රතනත්තරේ පිහිටයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්සාවයි.එක පොතක්වත් විකුණුනේ නෑ"

ග.ක. ර.ම. - "නෑහ්?"

වෙ.සේ - "නෑහ් නෙවෙයි සර් ඕව්හ්. විකුනුනේම නෑ කියන්ටත් බෑ. ඇත්තම කිව්වොත් දෙකක් විකිනුනා. හැබැයි පහුවදාම ඒ අරං ගිය ඈයො පොත් දෙක ගෙනල්ල දීල වෙන පොත්වලට මාරු කරගත්ත."

ග.ක.ර.ම. -"හපොයි.."

වෙ.සේ - "ඒකනෙ කියන්නෙ...දැන් සර් මොකටද ඔය පොත ගැන ඇහුවෙ? "

ග.ක.ර.ම. - "පොතක් ගැන අහන්නෙ ආය වෙන අහවල් බිබික්කමකටද යෝදයො? පොත ගන්ට මිසක."

වෙ.සේ - "හප්පේ ඔය ඇත්තමද සර්? අපේ මැනේජර් මහත්තය හිටියනම් ඉහේ මල් පොකුරක් පිපුන වගෙ තියෙයි" (දුක්මුසු මුහුනින්) "ඒත් ඒ මහත්තය අද කොළඹ ගියානෙ සර්. ඉන්ටකො මම මහත්තයට කෝල් එකක් දාල විස්තරේ කියන්ට" (දුරකථනය වෙත ගොස් ඇමතුමක් ගනී.බොහෝ ප්‍රීතියෙන් සිනාසෙමින් මිනිත්තු තුන හතරක් පමණ කථාකරමින් සිට ආපසු එයි.)

වෙ.සේ - "හප්පා බොහොම සන්තෝස වුනා. අපේ මුලු ස්ටාෆ් එකටම සර් එක්ක ඉඳල ගෲප් ෆොටෝ එකක් ගන්ටත් කිව්ව. සර්ගෙ අතේ අර සර් ගන්නවයි කියපු අමතක නැති අඩි පාරවල්  පොත කැමරාවට හොඳට පේන්ට ඒ පැත්තට හරවල අල්ලගෙන ඉන්ට ඕන කියලත් කිව්ව. හැබැයි සර් තව එක ප්‍රශ්නයකුත් නම් තියනව."

ග.ක.ර.ම. - "ඒ මොකක්ද ඒ පාර? "

වෙ.සේ - "මම අපේ ලෝයර් මහත්තයට කෝල් කරන්නං. සර් පොරොන්දු පත්‍රයක් අත්සන් කරන්න ඕන මේ පොත ආපහු ගෙනල්ල වෙන පොතක් ඉල්ලන්නෙ නෑ කියල."

52 comments:

  1. ෆොටෝ ගැහිල්ල කියන්නෙ දැං බත් කනව වගේ වැඩක්.
    මාස ගාණකට කලින් මට රසිකගෙන් තෑගි ලැබුණ සෙල්ෆි ස්ටික් එකක් මුලින්ම ගමට ගෙනිච්චා.ගමේ කොල්ලොන්ට මැජික්.
    හැබැයි දැන් ගමේ හැම එකාම ළඟ ඔය ස්ටික් තියෙනව

    ReplyDelete
    Replies
    1. උඩුවා,

      ඒත් බං දැං සෙල්පි ගැහිල්ල මාරාන්තික ක්‍රීඩාවක් වෙලා තියෙන්නෙ.

      සති දෙකකට වගෙ ඉස්සර ඕමාන්වල ලංකාවෙ ගෑණු ළමයි දෙන්නෙක් සති අන්තෙ කොහෙදෝ වෙරළකට ගිහිල්ල ගලක් උඩ නැඟල සෙල්පි ගහන්ට ගිහිල්ල ලිස්සල මූදට වැටිල දෙන්නම මියගියා.

      එතකොට මේ පහුගිය දවසක අම්බලන්ගොඩ හරියෙ මට මතක විදිහට ලංකාවෙ සංචාරයකට ආපු චීන යුවතියක් කෝච්චියෙ දොර ගාව ඉඳල සෙල්පි ගහන්ට ගිහිල්ල එළියට විසිවෙල ඒත් මියගියා.

      Delete
  2. මේකේ මුල කොටස් ටික හොයල ලින්ක් ටික දන්න බැරි ද? ඔළුවේ පොට යනවා පරණ සීන් මතක් කරගෙන අවස්ථා සම්බන්ධය ගලප ගන්න ගියාම..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      දෙයියම්පල්ල උඹ වගෙ කුසීතයෙක්. ඇයි බොල පොළොස් කොට්ටෝරුවො අර බ්ලොග් එකේ දකුණු පැත්තෙ පල්ලෙහට ගිහාම ප්‍රවර්ග යටතෙ තියනවනෙ " සිව් වසරකට පසු..." කියල වෙනම කැටගරි එකක්. ඒකෙ තියනව කලින් ලියපු තුනම.

      හරි හරි ඒකෙං කමක් නෑ උඹ ඇවිල්ල වියුණුලොව ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයෙක්නෙ. ඒ හින්ද උඹ යමක් කිව්වම ඒක එළෙසම ඉටුකරන්ට අපි වගෙ කණිෂ්ඨයො එකහෙලාම බැඳිල ඉන්නව. එනිසාවෙන් ඔන්න පෝස්ට් එකේ මුලටම පසුගිය කොටස් තුනේම ලින්ක්ස් දැම්ම.

      සැරද අප ජේෂ්ඨයාණනි!

      Delete
    2. සැරද කිව්වට අනේ, පැතුම් පොඩ්ඩක්වත් සැර නෑ. අපි දන්නවනේ.

      Delete
    3. නෑ නෑ වැඩිය සැර නෑ. හොඳ ගානට රස.

      Delete
    4. විචා,

      හෙහ්..ඇත්ත තමයි. පැතුම ඇවිල්ල බොහොම ධාර්මික නෝමල් පොර. ඕකගෙ කොට්ටෙ යට නිතරම බෝ කොළ හත අටක් තියනවමයි.ලංකාවට ඇවිල්ල යද්දි බෝ කොළ පෝරගෝනි බාගයක් විතර ඕකා ගෙනියනවමයි.

      පැතුමට අර ගෞරව නාමය ප්‍රදානය කිරීමේ ගෞරවය හිමිවෙන්ට ඕනෙ ඔබතුමාට. මම කිව්වෙ මේ ශ්‍රේෂ්ඨ ජේෂ්ඨ යන විරුදාවලිය.

      Delete
    5. මානවික්ස්,

      වෙල්කම් වෙල්කම්...සීත කාලෙ ආවද? තාම නැද්ද?

      Delete
    6. මේ දවස් වල ගිම්හාන කාලේ සුදු වැලි තලා.
      තාම ගොඩක් ගස් වල කොළ හැලුනේ නෑ රවී තුමා.. ටිකක් සීතල වේගෙන එනවා.

      Delete
    7. මේකේ තියෙන කැටගරි වල නම් කියවන එක වෙනම පෝස්ට් එකක් කියවනවා වගේ.. මට ඒ ටික පෙන්නේ මෙන්න මේ වගේ.. හෙහ් හෙහ්

      අංක 14 කුටියට යාබදව තිබු අභයාරාමයේ විත්ති ගැන විපරම් කෙරු රවීගේ සිතුවිලි අභයගිරි මතක සටහන් අතරින් ඕලු මලේ කතන්දරයේදී හමුවූ ආදර නිල් දෑසක් ඇති කවිකාරියගේ ප්‍රේමය සහ ඇගේ කවි අතර නැවත තනිවිය.

      සිව් වසරකට පසු කුකුලේගඟ මතක සහිත ජිවිතයෙන් බිඳක් යලි මතකයට නගා ගත් ඔහු කොලරා කාලේ ආලය බඳු වූ සිය ගුරුවරියක සමග ජීවිතයෙදී නොහැඟවූ ආදරය සෙනෙහස මගේ නමින් කෙටි කතාවකට පරිවර්තනය කිරීමට සිතා ගත්තේය.

      විශ්වයම නිහඬ වූ ඉක්බිති කිරුල සහ සෙනෙහස සහිත සිව්සියවසක පෙම්කතාව, සචිනි සහ අජන්තගේ කතාව හෝ විමලෙගෙ වාං පතුල් කතා පොතක මහිම ලෙස අලුතින් ලියන්නට ද කල්පනා කළේය.

      නමුත් කෝසල සිහින සහ දඩයක්කාරයාගේ කතාව නිසා රන්දිල් ගේ සිතුවිලි අවුල් වේ දැයි කල්පනා කල ඔහු ගුවන් විදුලියේ විකාශය වූ හද බැඳී ගී ඇසීම පසෙක ලා හදිසියේ විකාශය වූ පුවක් එෂැණිං තිරය දෙස බලා ඒ වන විට බාගෙට අවසන් වී තිබු ගල් අරක්කු බෝතලයම එකවර කටේ හලා ගත්තේය..

      Delete
  3. ඔහේට තිබුනෙ අර ස්ටුඩියෝ කොල්ලට කියන්නනෙ පත්තරක් අරං පවං ගහන්නය කියල. මොකට නිකං පිඹ පිඹ මහන්සි උනාද?

    අනික ඔය කං දෙක කපල දැම්මයි කියල වැඩි ‍අවුලක් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කං කපල දැම්මොත් මගේ කං ඇහීමයි ඇස් පෙනීමයි දෙකම නැතිවෙනව..:)

      Delete
  4. යකෝ විනාඩි දෙකක්වත් වැඩකරන්නැති යූපීඑස් එකක් දාගෙන ඉන්නවට වැඩිය හොඳයි ඒක බෙල්ලෙ එල්ලගෙන නුවර වැවට පැන්නනං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අඩේ කිව්වත් වාගෙ ලයිට් ගියාට අඩුගානෙ විනාඩි විස්සක් වගෙ වැඩ කරනව නේද කම්පියුටර් යූ.පී.එස්. එකක් තියනකොට.මට ඒක අහන්ට අමතක මතක බැරි වුනානෙ..ෂෙහ්..

      Delete
    2. ඔය හොඳයි. මම දැකල තියන ගොඩක් UPS කරන්ට් යනකොටම ඕෆ් වෙනව.

      Delete
    3. මානවික්ස්,

      එහෙම කරන්ට් යනකොටම ඕෆ් වෙන UPS වල UPS කියන එකේ තේරුම ඇවිල්ල හිට Uge ammage Power Supply.

      Delete
  5. Replies
    1. ප්‍රසන්න,

      සී.ටී.බී කියන එකට අපි පොඩි කාලෙ කිව්වෙ සිලෝන් ටකරං බස් කියල.

      Delete
  6. ඉතිං ඔහේට අර පොත කියෙවුවට පස්සෙ සියදිවි නසා ගැනීමේ ආසාවක් වගේ එකක් ආවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒ පොත ගැන මෙහෙම ආවට ගියාට කියල බෑ. ඒ ගැන ලියන්ට වෙනව ඇට් ලීස්ට් ෆෝ ඕ ෆයිව් එපිසෝඩ්ස්..ඕ යස් ඕ යස්...

      "අමතක නැති අඩි පාරවල් " පිළිබඳ කෙටි සටහනක්...:)

      Delete
  7. ඔයිට වඩා ලේසි නැද්ද බං බෙල්ල ගලෝලා පාස්පෝට් ඔෆිස් එකට පෝස්ට් කරානං.

    ReplyDelete
    Replies
    1. අරූ,

      යර්ස්, එහෙම කරන එක ලේසියි කියල මටත් හිතෙනව.

      ඔය සිරිසඟබෝ රජ්ජුරුවොත් ඔලුව ගලවල දුන්නයි කියන්නෙ දඹදිව යන්ට පාස්පෝට් එක ගන්ට වෙන්ට ඕනය කියලත් මට වෙලාවකට හිතෙනව.

      Delete
  8. සකල ලෝවැසි දෙවි දේවතාවන්ට ස්තූති වේවා! පාස්පෝර්ට් එකට උඩුකය චායාරූපයක් පමණක් ප්‍රමාණවත් වීම පිළිබඳව :D

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      උඩුකමයත් නෙවෙයි බොල, ඔලු ගෙඩියයි උරහිසයි විතරයි ඕන.

      ඇත්තටම අර කිව්වත් වගෙ මුළු සරීරෙම පොටෝ එකක් ඕනය කිව්වොත් පාස්පෝට් අරං හමාරයි.

      මම අහල තියනව ඔය කොහෙද රටක පාස්පෝට් එක ගන්ට නිදාගෙන ඉන්න ෆොටෝ එකක් ඉදිරිපත් කරන්ට ඕනය කියල.

      Delete
    2. එතකොට අංග විකල වෙච්චි කෙනෙක් පාස්පෝර්ට් එක ගන්නවානම් විශේෂ අනුමැතියක් ගන්න වෙයිද ? පවු අසරණයා .......

      Delete
  9. ඔය පොටෝවලට පෙනී ඉන්න සමහරුංගෙ උරිස්, ඔලු, කං, නාහෙ එහෙම අනුමත උනේ නැතුවම ඉතිං එව්වා හරියට අනුමත වෙන්න හරිගස්සන ප්ලාස්ටික් සැත්කම් කරන තැන් එහෙම ඔය අහල පහල ඇති නේද. ඔය වාහන දුම් පරික්ෂණ කරන තැං අවට තියෙන ගැරිජ් වගේ.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      කොළඹ පාස්පෝට් කන්තෝරුව ගාවනං එහෙම තිබ්බ මට මතකයි. මම මේ කියන්නෙ පුංචි බොරැල්ලෙ තැන. මම ගියෙ එතනට.

      ඊට පස්සෙ පාස්පෝට් කන්තෝරුවයි අයිඩෙන්ටිටි කාඩ් කන්තෝරුවයි දෙකම එක වහළක් යටට අරගෙන යනව කිව්ව ඔය පැළවත්ත පැත්තෙ මොකක්ද අපායකට. ඔය තියෙන්නෙ අපායවල් හැට හුටාමාරක් සව්සිරි අපාය, සෙත්සිරි අපාය, ඉසුරු අපාය, ඔන්න ඔය වගෙ. එව්වයිං එකකටද කොහෙද..එතනට අරං ගියාද කොහොමද මොකද නොදනිමි.

      Delete
  10. මං මේ කල්පනා කළේ කවදහරි දවසක රවී මාමා මාව දැක්කොත් මටත් කෙට්ටයා කියයිද කියල..))

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,

      අඩේ උඹත් එහෙමද? එහෙනං මට කියන්ට වෙන්නෙ කෙට්ටයා නෙවෙයි කෙට්ටී කියල...:)

      ඔය විස්ස විජ්ජාලවල සහන මිලට බත් දෙනව. එතකොට තව අඩු ගන්ටත් පුලුවන්ලු. එහෙමවත් ටිකක් හරිය බත් කාල (හරිය කියන්නෙ ගොඩක් කියන එකට පර්යාය පදයක් - මගේ දයාබර අත්තම්මාගේ අනුග්‍රහයෙනි) මස් ටිකක් දාගනිං ඇඟට.නැත්තං ඕං කොල්ලෙක්වත් අල්ලගන්ට ලේසිවෙන එකක් නෑ.අපි එහෙම දන්නෙ නෑ ඔන්න..:)

      Delete
    2. හහ්.. අපි ඔය අලි තඩි කෙල්ලෝ වගේ නෙමේ.. සිහින් සිරුරැති රෑමත් යුවතියෝ හරිය..)))

      Delete
    3. කෙට්ටු කෙල්ලෝ හොඳා ...... හී...... හී......

      Delete
  11. මතකද අර 'විනෝද සමය' වැඩසටහනේ හාමු මහත්තයා, පොත් සාප්පුවකට ගිහින් අහනවා, අහවල් පොත තියනවද, අර පොත තියනවද, මේ පොත තියනවද කියලා. එක සැරයක් අහනවා 'රොටි කරත්තය' (ව්‍යංගයෙන් හඳුන්වන්නේ මැටි කරත්තය පොත) තියනවද කියලා. කඩේ මුදලාලි වන අමාරිස් අයියාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් ඉන්නේ. මිනිහා උත්තර දෙනවා, 'රොටි කරත්තය අරන් ගියා තේ කඩේට' කියලා.

    ReplyDelete
    Replies
    1. විචා,

      මේකත් මේ පොත් සාප්පුවක වෙච්චි දෙබසක්. පාරිභෝගිකයකු සහ පොත්හලේ වෙළඳ සේවකයකු අතර..

      "මේ අර වස්සානෙට අත වනලා පොත තියනවද?"

      "නෑ.."

      "එහෙනං ප්‍රේමයේ සුළි සුළඟ?"

      "ම්හු එහෙම එව්ව අපි ගාව නෑ.."

      "හරි හරි එහෙනං මට දෙන්ටකො මා හදේ හිමපතනය."

      "සැරයක් කිව්වනෙ මහත්තය එහෙම එව්ව අපි ලඟ නෑ.."

      "මොකෝ ඔය හැටි මල පනින්නෙ ඔහෙට පොතක් ගැන ඇහුවම? එතකොට ස්නේහයේ යමහල විදාරණය විය..ඒකවත් තියනවද?"

      "මම එක පාරක් කිව්වනෙ සිංහලෙං..ඔය වගෙ පොත් අපි ගාව නෑ. මහත්තය යන්ට කරුණාකරල කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට"

      Delete
  12. 'නයෙක් කතා කරයි' කියලා රචනාවක් ලියන්ඩ කිව්වොත් ඔන්න නියම විදිහ - ෆූස් ෆූස් ෆූස් ෆූස් :D

    ආ මං කියෝලා තියෙනවා ඔය ට. ක. ර. ම. හොයලා තියෙන පොත. :P

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ට්‍රැක්ටරයක් කතා කරයි...දන්නව නේද?

      ආ..අර පොත ඔය ළමයත් කියවල තියනවය? මරු පොත නේ?

      Delete
  13. මේක ලියපු එක හොඳයි රවී තුමා, දේශපාලු විවේචන ලියනවට වඩා. හිනාවෙවී කියෙව්වා.
    කෙට්ටු මිනිස්සුන්ට නම් පටබැඳීම, දැඩිව හෙලා දකිනවා, ඔව්.

    ReplyDelete
    Replies
    1. මානවී,

      දේසපාලු එව්වත් ඔය ඉඳහිට ලියවෙනව බං…

      ඉඳහිට හමුවෙන මේ පුංචි වෙලාවේ….
      ඇයි මේ ඔය තරමට අගය හිනාවේ

      ක්ලැරන්ස්ගෙ ඒ සිංදුව අහල තියද?

      / කෙට්ටු මිනිස්සුන්ට නම් පටබැඳීම, දැඩිව හෙලා දකිනවා, ඔව්. /

      හපොයි, උඹත් අර වැසි දැරිවිගෙ මොඩල් එකේද?

      මම කියන්ටද? තුං වේලටම බඩ පුරා සුෂි බස්සපං..මාසයක් යනකොට ඇඟ හැදෙයි අර සුමෝ ක්‍රීඩකයෙක් මගෙ..

      Delete
    2. //කෙට්ටු මිනිස්සුන්ට නම් පටබැඳීම, දැඩිව හෙලා දකිනවා, ඔව්.// 2

      අපි කෙට්ටුවෙලා ඉන්නේ බොහොම මහන්සි වෙලා.:D

      Delete
  14. ඇති යාන්තන් මේ කොටහ දැම්ම.... ඉතින් අර ග්‍රූප් පොටෝ කෑල්ලත් ගත්තද:d...

    ReplyDelete
  15. ඒ කියන්නේ දැන් මේ රවියට තියෙන්නේ ආණ්ඩුවෙන් අනුමත වෙච්ච මුණක්.. හෙහ් හෙහ්.. අර කාටද ඇමතියෙකුට පිස්සු නෑ කියල වෛද්‍ය වරුන්ගේ සහතිකයක් ගත්තා වගේ ආණ්ඩුවෙන් අනුමත වෙච්ච මුණක් තියෙන එකම බ්ලොග් කාරය එතකොට රවිය ද?

    ReplyDelete
  16. සිව් වසරකට ලිපි හතරම කියෙව්වා . බඩ අල්ලගෙන හිනා වුණා . ආයෙ කල්පනා කළා. ආයෙ හිනාවුණා . අර අපි මෙහෙමයි දත් මදින්නෙ සින්දුවෙ තාලෙට අපි පොඩි කාලෙ සෙල්ලමක් කලා, කාගෙ වත්තෙ මල් කඩන්නෙ කියලා .

    ReplyDelete
  17. ඔය කියන පොත් කඩේට ගිහින් තමයි මං දන්නා ඇන්ටි කෙනෙක් අහලා තියෙන්නේ මාරිටින් වික්‍රමසිංහ ගේ ගොළු හදවත පොත තියේ ද කියලා!

    ReplyDelete
    Replies
    1. ඇයි අර තව තියෙන්නේ ඔය වගේ පොත් ගාමිණී වියන්ගොඩගේ -බල්ලෙකුගේ හදවත.

      Delete
  18. නියම ග.ක.ර.ම මොඩ්ල් කථාවක්. ++++

    ReplyDelete
  19. ඔය කියන පොත හොයන්න මමත් බැලුවා කෝ හරි ගියේ නැහැනේ.

    ReplyDelete
  20. පෝසට් එකට හපන් කමෙන්ට්, හිනා වේවි කියවන්න පුලුවන්..රවී පොතේ කතාව මීට හපන් වෙයි වගේ....

    ReplyDelete
  21. අපේ කොලුවට පාස්පෝට් හදන්න ගිහිනුත් ඔහොමමයි. ඉස්සෙල්ල ගෙදර ඉඳන් ගත්ත පින්තූරු වගයක් ගෙනිච්චා... ඒවා හරි නෑලු, කණ පෙන්නේ නෑ, හිනා වෙනවා, අඬනවා, ඔලුව මදි, උරහිස් පෙන්නේ නෑ... අන්තිමේ හරි ගිය ෆොටෝ එකේ කොලිටිය මදිලු... ඒ ගමන ෆොටෝ ගහන තැනකට ගෙනිච්චා.. මෙන්න ඒ ගෑනි කියපි කොල්ල දඟලනවා ෆොටෝ ගන්න බැරිය කියලා... අන්තිමේ කොල්ලව බය කරලා යන්තම් එකක් ගත්තා... පාස්පෝට් එකේ ඌ ඉන්නෙ ගල් ගිල්ලා වගේ.

    ReplyDelete
  22. පාස්පෝර්ට් ෆොටෝ කොහොම ගත්තත් වස කැතයි.

    ReplyDelete
  23. උඩු ගත කරන එක මෙච්චර අමාරුයි කියල දැනගත්තේ අද යකෝ. - අර දී පාර පොත මොකක්ද කියල හිතා ගන්නවත් බැහැ නෙව.

    ReplyDelete
  24. ඒක මරු කතාව...අප්පා මටත් දැන් ඔය උඩුගත කිරිල්ල කරන්න වෙනවා ලංකාවට ගියාම...ඕක සෙල්ෆියක් ගහල ගෙදරදීම කරගන්න හැදුව නම් මක් වෙනවද...

    ඒ මදිවට දැන් පාස්පෝට් කන්තෝරුව බත්තරමුල්ලට ගෙනිහින් මං හිතන්නේ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...