Saturday, September 19, 2015

349. සොඳුරු ආවර්ජනා සමඟ සුබ ප්‍රාර්ථනා...

අර ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දක ටෙක් කෝස් එකක් කරල ඒ එක්කම මම ගියා නෙව මහ වන මැද රස්සාවකට.එතන දැහැමෙන් සෙමෙන් ( දහැමෙන් සෙමෙන් කිව්වෙ ධාර්මිකව සහ ඒ එක්කම මගෙ සෙම් අමාරුවක් තිබ්බ එක ඔය කැළේ මැද ඉන්දැද්දි ටිකක් විතර වැඩි වුනා..අන්න ඒ හින්ද ) දසක එකහමාරක් රක්සාව කරගෙන ඉන්න කොට මෙන්න අපිට ආව චාන්ස් එකක් වන්දියක් කාරිය අරගෙන සේවයෙන් ඉවත් වෙලා යන්න. 

එකල්හි ඒ වලෙහි ( වල = වනය නොහොත් කැළේ ) ගත කරපු ජීවිතේ බොහෝසේ ආතල්ජනක වුවද මට ඉතින් හිතුන දැන් මේකෙ හිටිය හොඳටම ඇතිය කියල.එහෙම හිතල අර දුන්නු ගාණත් අරගෙන එතනින් ආව. ඇවිල්ල ඊට පස්සෙ තමයි අර කුකුළේ, එතකොට පස්සර , එතකොට අර චීන කොම්පැණියෙ එහෙම හිටියෙ.



කාලයාගේ ඇවෑමෙන් ඔහොම එහෙ මෙහෙ දුවල පැනල අන්තිමටම මම වැඩ කලේ නුගේගොඩ කිට්ටුව කාර්යාලය පිහිටලා තිබ්බ ඉදිකිරීම් සමාගමක. මේ සමාගමේ මම අවුරුදු හතරකට ආසන්න කාලයක් සේවය කළා.දැනට මගේ දශක තුනකට අධික වෘත්තිය ජීවිතයෙදි මම ඉතාම සතුටෙන් වැඩ කලේ ඔය කියපු සමාගමේ වැඩ කරද්දි.අපේ බොස්ල වගේම සම මට්ටමේ නිලධාරිනුත් බොහොම සුහදව වැඩ කලේ එක පවුලෙ සහෝදර සහෝදරියො වගෙ. හෙහ්..එහෙම කියන එකත් හරි නැහැ එක අතකට. මොකද බොහෝ වෙලාවට සහෝදර සහෝදරියො අතර තමයි ගහ මරා ගැනිලි එතනින් ගියහම කුඩුකේඩුකම් සිද්ද වෙන්නෙ වැඩිපුරම.

අපේ දවල් ආහාර විවේක වෙලාව කියන්නෙ තනිකරම රස ගුලාවක්. ආතල් කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ. අපේ බොස්ලත් බොහෝවිට ඔතනට සහභාගි වෙනව. දිවා ආහාර පැය කිව්වට ඇත්තම කිව්වොත් ටයිම් ලිමිට් එකක් නෑ. බොහෝවිට 12.30 ට වගෙ පටන් ගත්තම 1.30 නැත්නම් 2.00 දක්වා ඇදෙනව ඔය ලන්ච් අවර් ආතල් එක. ඔතන ඉතින් කෑම ගන්න අතරවාරෙ සාකච්ඡා නොකෙරෙන දෙයක් නෑ. මේ ඉර හඳ යට ඇති සියලු මාතෘකා සහ ඊටත් එපිට ඇති සමහර මාතෘකා අපි සාකච්ඡා කරනව ඔතනදි. අඹු-සැමි අර්බුද, දරුවන්ගේ ප්‍රශ්න, කාලීන සමාජ ආර්ථික ගැටළු, දේශපාලනය, ආගම, ක්‍රීඩා...හෙහ්..අපි කතා කලේ නැත්තෙ මොනවද? 

ආ..අර සියපත පතක බැඳි බත..ඒ සිද්ධිය වුනෙත් ඔය කෑම මේසෙම තමයි...හෙහ්,හෙහ්,

ඔය විද්වත් සභාවෙ මුල්තැනක් ගන්නෙ අපේ රණේ. සුලෝහිත විද්‍යාලෙ මට වසර කීපයක් පස්සෙ ඉගෙනුම ලැබුව රණේ කියන්නෙ තනිකරම චරිතයක්. මම අර කලින් දවසක කියපු දෙයියෝ සාක්කි බතුත් කනවද? කතන්දරේ ඔය අපේ දිවා ආහාර සාකච්ඡා සභාවෙදි කිව්වෙ රණේ තමයි.

රයිට් මේ රණේත් පැත්තකට සම්බන්ධ තවත් ඒ වගෙ කතන්දරයක් අපේ ඔය දිවා ආහාර විවේකයෙදි සිද්ද වෙච්චි. හැබැයි මේ කතාවෙ ප්‍රොටෑගනිස්ට් නොහොත් ප්‍රධාන භූමිකාව රඟපාන්නෙ සමරේ. සමරේ අපෙ ඒ දවස්වල හිටිය එකවුන්ට්ස් ක්ලාක් කෙනෙක්. හරිම හිත නොඳ මනුස්සය. ඒත් ටිකක් විතර ඔය කොමන් සෙන්ස් කියන එක අඩුයි. ඒ වගේම විතර කලබල කාරය. 

මම මේ කියන සිද්ධිය වුනේ 2008 අවුරුද්දෙ වගෙ මතක. දවල්ට කන අතර අපි සුපුරුදු පරිදි රටේ ලෝකෙ විත්ති විචාරය කරගෙන ගියා. ඒත් එදා ප්‍රධාන මාතෘකාව වුනේ එදාම උදේ සිද්ධවුනු දේශපාලකයෙක්ගෙ මරණයක්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. නම අපි කියමු එඩී කියල.

" මාර වැඩේ නේද ? එඩිය වල කජ්ජ ගහල නේ? " 

අපේ කෑම කන පෑන්ට්‍රි එකට ඇතුල්වුනේම මම එහෙම මාතෘකාව ඩිලිවර් කරගෙනමයි. ඒ වෙනකොටත් ගෙදරින් කෑම අරගෙන එන දෙතුන් දෙනා කෑම පාර්සල් දිග ඇරගෙන. ගම් පළාත් දුර බැහැර වෙච්චි අපි ම්ම්ම්ම්.... ඉන්න බලමු ගණං හදල..... මගෙ කාමරේ මං විතරයි අල්ලපු කාමරේ එක්කෙනයි. ඉස්සරහ කාමරේ දෙන්නයි. හරි ඔක්කොම හතරයි. අපි හතර දෙනෙක් අපේ ආයතනයෙ හිමිකාර මහත්මයෙකුගෙ නිවස පිටිපස්සෙ හදපු චමරියක නැවතිලා හිටිය. ඒ ඇවිල්ල පිට කෝට්ටෙ.

ඒ චමරියෙ රෑට අනිවාර්යයෙන්ම ඉව්ව. දවල්ට සමහරවෙලාවට උයන්ට හොඳ ගෝලයෙක් හිටිය කාලවල උයනව. නැත්නම් ඊටිං ද බුටික් තමයි. ඒ කිව්වෙ කඩෙං කනව. නුගේගොඩ නාවල පාරෙ ඒ කාලෙ තිබ්බ වැලි පාක් එක කියල එකක්. වැලි ලොරි ඇවිල්ල ඔතන තමයි පාක් කරගෙන ඉන්නෙ. ඔය වැලි පාක් එක ගාවම තිබ්බ හොඳ හෝටලයක්. හොඳ කියන්නෙ ආයෙ මස් හොද්දට එබිල ඔලුව පීරගන්ට පුලුවන් . එච්චරකට තෙල්. මම මේ මගෙ දෑහිං දැක්ක දෙයක්. පාරෙ යන කොල්ලො එහෙම ඇවිල්ල මස් හොද්ද දාල තිබ්බ බේසමට එබිල ඔලුව පීරගෙන යනව. 

ඉතිං උදේට දවල්ට ඔය හෝටලෙන් බුදල තමයි මට හාට් ඇට්රෑක්ෂන් එකකුත් ආවෙ. ඒ තව මාස කීපයක් අනාගතේ. දිනේ කිව්වොත් 2008 -08-08 හරියටම බෙයිජිං ඔලිම්පික් සමාරම්භක උළෙල දවස. ඔලිම්පික් සමාරම්භය මම බැලුවෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ ඉඳල.රයිට් ඒ හාට් ඇටෑක් එක ආපු වෙලාවෙ මගෙ මරණාසන්න අත්දැකීම් ගැන වෙනම දවසක ලියන්නංකො.

හරි ඉතිං ඔය ප්‍රස්තුත දවසෙ මට හරියට මතක නෑ දවල්ට මම කඩෙංද කෑවෙ නැත්නම් චමරියෙං කෑම එකක් ඔතාගෙන ආවද කියල. හරි කොහොම හරි මමත් මේසෙට ඉඳගෙන බත් එක දිගඇරගත්ත. අපේ මේසෙ වටේ දවල් කෑම ටයිම් එකට කොයි වෙලාවෙත් හවුස් ෆුල්. මොකද කාල ඉවරවෙන මනුස්සය උනත් විද්වත් මණ්ඩපේ සාකච්ඡාවට සහභාගී වෙන්ට රැඳිල ඉන්නව. ඒ කාලෙ වෙනකොට එකම මානවිකාවියයි අපේ ආයතනයෙ වැඩ කලේ. එතුමිය ඉතිං කලින්ම කාල කරල අහවරයි. ඒත් නැඟිටල යන්නෙ නෑ. අර මං කලිං කිව්ව වගෙ මෙතන විද්වත් මණ්ඩපයට සහභාගි වෙන්ට රැඳිල ඉන්නව.

" ඒකනෙ බං බලපංකො මාර වැඩේ නේද? ඊගාවට කවුද දන්නෙ නෑ ලිස්ට් එකේ ඉන්නෙ? " එහෙම කිව්වෙ රණේ...." ඒයි උඹට දෙන්නද කරවිල? " 

" උයලද බැදලද? " 

" උයල බං…. ඇයි උඹ කරවිල උයල කන්නෙ නැද්ද? " 

" නෑ නෑ කනව කනව.." 

" ඉතිං එහෙනං බම්බුවටද ඇහුවෙ උයලද බැදලද කියල? " 

" හෙහ්...ඒ නිකමට බං…" 

" කෝ මෙහාට කරපං බත් එක…" රණේ මගෙ බත් එකට කරවිල කෑලි තුන හතරක් දැම්ම. 

ලිස්ට් එකේ ඊලඟට ඉන්නෙ කවුද කියල ෂුවර් එකටම දන්නෙ චන්දිකය. මුලු ලංකාවෙම දිස්ත්‍රික් ලිස්ට් වල ඊලඟට ඉන්නෙ කවුද කියල චන්දිකය හරියටම දන්නව. මැතිවරණ කොමසාරිස් වුනත් හරියටම ෂුවර් නැත්තං ඕකගෙං තමයි කතාකරල අහගන්නෙ.

ආ...පොගොට් නෙව..පාඩන්..පාඩන්...චන්දික කියන්නෙ අපිත් එක්ක වැඩ කරපු සහෝදර නිලධාරියෙක්. 

" කාල ඉවරවෙලා චන්දිකයට කෝල් එකක් දීල අහන්ට ඕනෙ." රණේ එහෙම කියල බත් පිඟානත් අරගෙන නැඟිට්ට. 

" ඒයි කාලත් ඉවරද? " මම ඇහුව. 

" ඔව් බං…මම දැන් ගොඩක් වෙලා කන්ට පටන් ගෙන . " 

මට එහායිං ලංකාදීප පත්තරේ බල බල හිටියෙ සමරෙ. ඔය දවස්වල තිබ්බ ඩයලොග් සමාගමට පොඩි ගාණක් මට මතක විදිහට මාසෙටම රු. 30 වගෙ ගෙව්වම කැඩෙන බිඳෙන ප්‍රවෘත්ති ඒ කිව්වෙ මේ බ්‍රේකිං නිව්ස් SMS එකක් මාර්ගයෙන් මොබයිල් එකට එන ක්‍රමවේදයක්. හුඟ දෙනෙක් ඕක ගැන සැලකිල්ලක් නොදැක්වුවට මම ඕකට දායක වෙලයි හිටියෙ. ත්‍රස්තවාදය පරාජයකිරීම එහෙම තව අවුරුද්දක් අනාගතයෙ තිබ්බ ඒ කාලෙ බෝම්බ භීතිකාව තදටම තිබ්බ නිසා නිතර ගමනාගමනයෙ යෙදෙන මට ඒ වගෙ නිව්ස් ඇලර්ට් සේවාවක් බොහොම ප්‍රයෝජනවත් වුනා.

බීප්..බීප්...බීප්..මගෙ මොබයිල් එකට SMS එකක් ආව. 

දකුණතින් බත් අනන ගමන්..හෙහ්..බත් අනනව කිව්වට මම කවදාවත් බත් අනල කන්නෙ නෑ..ඔන්න මෙහෙමයි මගෙ මෙතඩොලොජි එක. බත් ටිකක් පීඟානෙම එක තැනකට කලා. තියෙන මාලු වෑංජං ඔය ඔක්කොගෙම්ම ටික ටික අරගෙන අර වෙන් කරපු බත්පිඬ උඩිං තිබ්බ. ඔක්කොම අරගෙන කටේ දාගත්ත. ඊට පස්සෙ හැබැයි ඔය ඔබ තමුන්නාන්සේලා අනුගමනය කරන ක්‍රියා පටිපාටියම තමයි. හපල ගිල්ලා. අර මම කියාපු මානවිකාවිය ඉන්නව නේද? ඒ අම්මණ්ඩි ඔය මම බත් අනන ක්‍රමේට කියන්නෙ රෙදි නමනව කියල....හෙහ්,හෙහ්,

හරි හරි...ආයම කතාවට...බීප්...බීප්...බීප්...ඉතින් රෙදි නමන ගමන්ම මම වමතින් ෆෝන් එක අරගෙන බැලුව. මෙසේජ් එකේ තිබ්බෙ මියගිය එඩී මන්ත්‍රීතුමාගේ මෘතදේහය අහවල් දවසෙ පාර්ලිමේන්තුවට ගේනව කියල ගෞරව දැක්වීම පිණිස. 

මගෙ වම් පැත්තෙ හිටිය සමරෙ පත්තරෙං ඔලුව උස්සල මගෙ ෆෝන් එකට එබුන. " මොකෝ බං කේස් එක? " 

" අම්මට උඩු මාර කෙළියනෙ…" මම ඇස් දෙකත් ලොකු කරගෙන මේසෙ වටේ ඉඳගෙන හිටපු එවුංගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බැලුව. 

" මොකද බං? බයවෙලා වගෙ බලාගෙන ඉන්නෙ? කියපංකො." සමරෙ මගෙ උරෙස්සට ඇන්න. 

" අඩේ එඩියගෙ මරණෙ මිනී මැරුමක්ය කියන්නෙ." 

" නෑහ්?..." සමරෙගෙ කටත් එක්ක ඇරුන අප්පල්ලෙ වගෙ. ටිකක් කිට්ටු වෙලා එබිල බැලුවනං කුඩා බඩවැල හිටං පේන සයිස් එකට.

" නැත්තෙ නෑ බං මේ කියන්නෙ..කෝ ඉඳපං බලන්ට..ම්ම්ම්ම්..පාර්ලිමන්ට්...පාර්ලිමන්ට්? ආ...පාර්ලිමන්ට් එකේ උඩ තට්ටුවෙන් පල්ලෙහාට වැටිල තමයි මනුස්සය මැරිල තියෙන්නෙ.." මම සමරෙ මඟ ඇරල රණේ දිහා බලල ඇහැක් ගැහුව. හෙහ්...ඌත් යන්තමට හිනාවීගෙන මගෙ දිහා බලා හිටිය. ඕක කොහොමත් දන්නව මම මේ අන්ඩරයක් දෙන්නෙ කියල. 

" මුගෙ බොරුද කොහෙද? කලිං කිව්වෙ බං හොස්පිට්ල් එහෙක මලා කියලනෙ " සමරෙට තාම සැකයි. 

" හරි බං එක පාරට ඔහොම සීන් එකක් කිව්වම මිනිස්සු කලබල වෙනවනෙ. ඒකයි කලිං අරම කියන්ට ඇත්තෙ " රණෙත් වැඩේට එන්ටර් වුනා.

" ආ..උඹට සැකයිනෙ..මෙන්න බලාපං…" මම මෙසේජ් එක ඩිස්ප්ලේ වෙලා තියන මොබයිල් ෆෝන් එක ඌට යන්තමට වගෙ පෙන්නුව. " මේ බලපං එඩී... එතකොට මේ තියෙන්නෙ පාලිමන්ට් කියල. " 

ඒ පාර සමරෙට විස්වාසයි වැඩේ.." අම්මට උඩු මාර කේස් එකනෙ. මොකද දන්නෙ නෑ නේද වුනෙ? " 

" ආ..මේ තව තියනව.පොලිස් සස්පෙක්ට් ෆවුල් ප්ලේ ඇන්ඩ් සම් සස්පෙක්ට්ස් ආ බීං ඉන්වෙස්ටිගේටඩ්. අප්පට සිරි කොහොමද සෙල්ලම? මිනීමැරුමක් කියලලු සැක කරන්නෙ." 

" දෙයියෝ සාක්කි කවුද බං ඉතිං ඔහොම දෙයක් කරන්ට ඇත්තෙ? " ඒ රණේ. 

" අපරාධයක් උනහම ඉස්සෙල්ලම සැක කරන්නෙ ඒ අපරාධෙං වාසි වෙන අය. කවුද ලිස්ට් එකේ ඊලඟට ඉන්නෙ? " ඒ අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥ අති ගරු මම තුමා.....

" ආහ්හ්..අපි අහමු චන්දිකයගෙං.." රණේ චන්දිකයට කෝල් එකක් ගත්ත. " චන්දික කවුද එඩී ගාවට ලිස්ට් එකේ ඉන්නෙ? ආ..එහෙමද? හරි හරි ...ඒයි ඊලඟට ඉන්නෙ අර ගුණවර්ධන ලු බං.." 

" අම්මට සිරි එහෙනං බඩුම තමයි. ඕකා හෙණ මැරය." සමරෙ ඔලුවත් හොල්ලල කිව්ව.

එදා ඉතිං තව විනාඩි පහළවක් තරම අපි විද්වත් සාකච්ඡා සභාවක් පවත්වගෙන ගියා ලාංකීය දේශපාලනය වැටිල තියන අන්තිම පහත් තත්වය ගැන. පාර්ලිමේන්තුවට ඇවිල්ල නිකං වගෙ දෙන කෑම එක කන්ට මන්ත්‍රී කෙනෙක් මරල දාන්ට තරම් ..ෂිහ්..අන්තිම නරකයි...සාකච්ඡා සභාව විසිරිල ගියෙ අන්න ඒ විදිහට බොහොම කළකිරුණු සිතින්. 

මම ඒ කාලෙ සති මැද දවස් දෙකක් ගෙදර යනව. සඳුද පාන්දර නුවරින් 5.00 ට පිටත්වෙන මාතර කෝච්චියෙ කොළඹ ආහම සඳුද චමරියෙ නවතිනව. අඟහරුවාද හවස සෙංකඩගල මැණිකෙට මරදානෙන් නඟිනව. රෑ අට වෙනකොට ගෙදර. ආපහු පහුවදා පාන්දර කෝච්චියෙ බෑක් ටු වර්ක්. ඒ කියන්නෙ බදාදා. එදා රෑ ආයම චමරියෙ. බෘහස්පතින්දා හවස ආයම ගෙදර යනව. සිකුරාද උදේ ආපහු වැඩට එනව. එදා රෑ ආයම පිටකෝට්ටෙ චමරියෙ ඉන්නව.

සෙනසුරාද වරුවයි වැඩ. ඒත් මම හවස 3.00 වගෙ වෙනකල් වැඩ කරල සෙංකඩගල මැණිකෙ එකේ ගෙදර යනව. ඉරිදා ගෙදර. සඳුදා ආපහු සේම් ප්‍රොසීඩියර්. ඔය වැඩේ ඇඟට හෙන මහන්සියක් වුනාට ඒකෙන් ලොකුම ප්‍රයෝජනේකුත් වුනා. කාලාන්තරයක් තිස්සෙ අරගෙන කියවගන්ට වෙලා නැතුව මේස උඩයි, කාඩ්බෝඩ් පෙට්ටි ඇතුලෙයි රාක්ක උඩයි ගොඩ ගහල තිබ්බ පොත් කන්දරාවෙන් සීයට අනූවක් විතර ඔය ඒ සතියකට තුන්වරක් පේරාදෙණිය - නුගේගොඩ අතර ගමනාගමනය කරපු අවුරුදු දෙක ඇතුලත කියවල ඉවර කර ගත්ත...හෙහ්,හෙහ්,

ඉතිං අපේ වැඩ ඇරෙන්නෙ හවස 5.00 ට වුනාට ගෙදර යන දවස් දෙක මම 3.30 ට වගෙ ඔෆිස් එකෙන් යනව. ඒකට හිලව් වෙන්ටත් එක්ක කොළඹ ඉන්න දවස්වල රෑ 7.30 වගෙ වෙනකල් වැඩ කරනව.අනික චමරියට ගියයි කියල කොරන්ට දේකුත් නෑනෙ. වල්පල් ටිකක් කියවල බුදියගන්නව මිසක.

අපේ ඔෆිස් එකේ ඉඳල මීටර් සීයක වගෙ මානයෙ තිබ්බ රෙස්ටුරන්ට් එකක්. සවරීන් ජර්මන් රෙස්ටුරන්ට් ඒකෙ නම. අපේ ආයතනයෙ හිමිකරුවන් බොහෝවිට හවස වැඩ ඉවරවෙලා ඔතන පොඩි අඩියක් කාරිය ගහල රිලැක්ස් වෙන සිරිතක් තිබ්බ. ඔහොම යනවට අපි කියන්නෙ ජර්මනියට යනව කියල. ඉතිං එහෙම යනකොට අනිවාර්යයෙන් ඔෆිස් එකේ ඉන්න අයටත් කතා කරනව. සමහරවිට රෑ එතෙක් ගෙදර නොගිහින් ඉන්න සහෝදර නිලධාරීන් ඉන්නවනම් ටෙලිෆෝන් කරල " ඒයි මිගාර ගෙදර යන්ට පරක්කු නැත්තං එන්න ජර්මන් එකට"  කියල කැඳව ගන්න සිරිතකුත් තිබ්බ අපේ බොස්ලගෙ. හෙහ්..අන්න එහෙමයි අපේ බොස්ල. තේරුනා නේද? ජාති ජාතිත් වාසනාවන් එහෙම සේවා යෝජකයො.

ඉතිං ප්‍රස්තුත දවසෙත් සුපුරුදු පරිදි ලොක්කා ඒ කිව්වෙ සොයිසා මහත්තය මගෙ කාමරේට ඔලුව දැම්ම රෑ හතට වගෙ..සොයිස මහත්තය කියන්නෙ ලංකාව පුරාම ඉදිකිරීම් ව්‍යාපෘතිවල දීර්ඝ කාලයක් සේවය කරල අත්දැකීම් ඇත්තෙක්. වයස අවුරුදු හැත්තෑවක් වගෙ ඇති. 

" රවී මොකෝ තවම වැඩද?...අදට ඔය මදැයි....යමු නේද ජර්මන් එක පැත්තෙ." 

" යමු බොස් " කියන පරක්කුවට මාත් කම්පියුටරේ ඕෆ් කරල නැඟිට්ට.

මගෙ කාමරේ තිබ්බෙ උඩ තට්ටුවෙ. පල්ලෙහාට බහිනකොට මෙන්න කවදාවත් නැතුව සමරෙත් ඉන්නව.

" ආ සමරෙ මොකෝ මේ රෑවෙලා ? " සොයිස මහත්තය ඇහුව.

" අර හලාවත ප්‍රොජෙක්ට් එකේ ඉන්වොයිස් ටික ෆයිල් කලා බොස්. ඒක හෙට උදේට ඕන කියල කිව්ව එකවුන්ටන්ට්." 

ඔය කාලෙ අපි හලාවතට පොඩ්ඩක් එහා උඩප්පුවෙ කෝවිලක් හැදුව.

" ආ ….වැඩේ ඉවරද? " 

" ඉවරයි ඉවරයි.." 

" හරි එහෙනං යමු ජර්මන් එක පැත්තෙ..රණේ යමු නේද? " සොයිස මහත්තය රණේගෙ කාමරේටත් ඔලුව දැම්ම.

අපි ඉතිං ඔන්න පොඩි කයියකුත් ගහගෙනම හෙමීට පයින්ම ගියා ජර්මන් එකට. අපිටම රිසර්ව් කරල වගෙ තියනව ඕකෙ මුල්ලක හත් අට දෙනෙකුට ඉඳගන්ට පුලුවන් මේසයක්.හැමදාම ගිහිල්ලම ආය වේටර්ලත් නිකං අපේ සහෝදරයො වගේ.මේසෙ වටේ අපි ඉඳගත්ත. සොයිස මහත්තය, ඊලඟට සමරෙ, ඊට මෙහා රණේ අන්තිමට මම. තව කවුදත් දෙන්නෙක්ද කොහෙද හිටිය. මට හරියට මීටරේට එන්නෙ නෑ මේ වෙලාවෙ. අපි ඉඳගත්තු තැනම උඩ බිත්තියෙ ගහල තිබ්බ ටී.වී. එකක්..

අපේ ඔය සොයිස මහත්තය ප්‍රවෘත්ති ගැන බොහොම උනන්දුයි." ආ ප්‍රවෘත්ති ඇති නේද මේ වෙලාවට?...ජයන්ත... පුතා දාන්නකො නිව්ස්...මේ වෙලාවට සිරස නේද? " ජයන්ත කිව්වෙ ජර්මන් එකේ වේටර් කෙනෙක්.

ජයන්තත් රිමෝට් එකෙන් සෙට් එක ඔන් කරල සිරස දැම්ම. දැම්ම ගමං මෙන්න එඩී මැරිච්ච් එක යනව. පාර්ලිමේන්තු මන්ත්‍රී එඩී මහතා අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාව…

" මුං බොරු කියන එකේ සීමාවක් නෑනෙ" සමරෙ එහෙම කියල අපේ ඕඩර් එක එන්ට ඉස්සර ගෙනත් තියපු පාන් ටෝස්ට් කෑල්ලක් කටේ දාගත්ත. 

ටී.වී. එක දිහාවෙ බොහොම උනන්දුවෙන් බලා හිටපු අපේ සොයිස මහත්තය සමරෙ දිහාට හැරුන. " ඈ...මොකක්ද සමරෙ ඒ කිව්වෙ? මොකක්ද බොරුව? " 

" බොරුව කියන්නෙ බොස් එඩී මැරිච්ච විදිහ. " 

" ඈ? ඒ කිව්වෙ? එතකොට මනුස්සය මැරුනෙ අර කියන විදිහට ප්‍රයිවට් හොස්පිට්ල් එකක නෙවෙයිද? " 

" මොන පිස්සුද බොස්? ඒ අමූලික බොරුවක්නෙ.." සමරෙ මගෙ මූණ දිහා බැලුව. මම හෙමිහිට ඔලුව හරවල රණේ දිහා බැලුව. රණේ තොල හපාගෙන බිම බලාගෙන ඉන්නව.

ඔය වෙනකොට මේ කතාව ඇහෙන මානෙ ඉන්න වේටර්ල දෙන්නෙකුත් අපි ගාවට කිට්ටු වුනා. හොඳ වෙලාවට අපි හිටපු අහල පහල වෙන කවුරුවත්ම හිටියෙ නෑ.

" ඈ සමරෙ එතකොට ඔය මනුස්සය මලේ කොහොමද? " සොයිස මහත්තය හරි කැමතියි පාන් ටෝස්ට් වලට. එයා හින්දමයි එව්ව ඕඩර් කරන්නෙ. ඒත් එදා මනුස්සයට පාන් ටෝස්ට් ගැන වගේ වගක් නෑ. 

" එඩී මැරිල තියෙන්නෙ බොස් පාර්ලිමේන්තුවෙ උඩ තට්ටුවෙං පල්ලෙහාට වැටිල.." 

" මොකක්? කවුද දැං ඔහොම කතාවක් කිව්වෙ? මම මේ ඔහොම එකක් ඇහුවමයි…" සොයිස මහත්තය කෙලිම්ම ටුෂ්නිම්බූට් වුනා. ඉංගිරිසියෙන් කිව්වොත් මෙහෙමයි. Mr. Zoysa straight tushnimbooted.

" කවුරුවත් කියල නෙවෙයි..දවල් ආව නිව්ස් ඇලර්ට් එකක්.අනික වැටිලයි කිව්වට වැටිලමත් නෙවෙයි. තල්ලු කරල කියලයි පොලීසිය සැක කරන්නෙ. " 

" මොනවා?... සමරෙ මේ...කටකතා පතුරවන එක සෙල්ලමක් නෙවෙයි හොඳද? කෝ දැන් කාටද ඔය නිව්ස් ඇලර්ට් එක ආවෙ ? ඔයාටමද? "

" ආ..මේ නෑ මට නම් නෙවෙයි ..කාටද ආවේ...ඒ ඒ ඒ? " සමරෙ නළලත් රැලි කරගෙන කල්පනා කරනව. 

" සොයිස මහත්තය මම ටොයිලට් එකට ගිහිල්ල එන්නං " මම සද්ද නොනැඟෙන විදිහට පුටුව පස්සට කරල නැඟිට්ට. 


************************************

රයිට්....ඇත්තටම මම මේ කතන්දරේ ලිව්වෙ ප්‍රවේශයක් හැටියට. ඒ කිව්වෙ මම අද මේ සටහන ලියන්නෙ ඇත්තටම වෙනත් කාරණයක් හේතු කරගෙන. මම ඔය කතාවෙදි කිව්ව නේද අපේ ආයතනයෙ සේවය කරපු එකෝම එක මානවිකාව ගැන. අර මම බත් අනන විදිහට රෙදි නමනව වගෙ කියල උපහාසයට ලක් කලේ. හරි ඒ මානවිකාව වනාහී නිදහස් සිතුවිලි වියුණුවෙහි නිර්මාතෘවරිය වන රන්දිල් මහත්මියයි. සත්‍යය වශයෙන්ම වියුණුවක් ලිවීමට මා පෙලඹවූයේ ඇයයි. එබැවින් මෙතෙක් පස් වසරකට ආසන්න කාලයක් වියුණුවක් ලිවීමෙන් මා ලැබූ අපමණ තෘප්තියටද එසේම මවිසින් ලියවුනු දෑ කියවීමෙන් දයාබර පාඨක ඔබ යම් වින්දනයක් ලැබූයේ නම් එයටද ගෞරවය හිමිවිය යුත්තේ අනිවාර්යයෙන්ම ඇයටයි. 

අද එනම් සැප්තැම්බර් 19 වන දින ඇගේ උපන් දිනයයි. 

ඔබට සුබ උපන් දිනයක් දයාබර රන්දිල්!!!





73 comments:

  1. හෑ...............උඩප්පුවේ කෝවිල හැදුවා? 2006 දී අයි වෝස් හන්ටින්ග් ෆෝර් 'LTTE ත්‍රස්තවාදීස්' ඉන් උඩප්පුව. වැරි ඩෑන්ජරෝස් ඒරියා. හ්ම්......

    චන්දිකයගෙන් කියන එක කියවුනේ චන්දියකාගෙන් කියලා. කොහොමටත් ඔවුන් යක්කුනේ.

    මැතිනියට මගෙන් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      අඩේ අපි ඔය උඩප්පුවෙ කෝවිල හැදුවෙත් ඔය කාලෙම තමයි. මම දැන් පරණ ෆයිල් ඇදල බැලුව.

      ශ්‍රී පර්තසාරතී කෝවිල- උඩප්පු අපි එකේ වැඩ කරල තියෙනව 2006 මැයි ඉඳල සැප්තැම්බර් වෙනකල්. මමත් ගියා හත් අට පාරක්. ඒත් බොහෝවිට උදේ පාන්දර ගිහිල්ල හවස ආපහු එනව.

      Delete
    2. ඔතනට ආසන්නව LTTE safe house තිබුණා. ඔය කෝවිලත් ආරක්‍ෂිත ස්ථානයක් හැටියට පාවිච්චි කරන බවට තොරතුරු තිබුණා. ඉන්දියාවෙන් ගෙනෙන හොරබඩු බාන්නේ ඔය හරියේ. අපිට අහුවුනා අලුත්ම මෝටර් බයිසිකල්, බෝට්ටු එන්ජින්, වාහන අමතර කොටස්, තව විවිධ දේවල්.

      හොඳට මතක් කරලා බලන්න අර කලපුව කඩාගෙන යන තැන හදන්න අකමැතියි ඒගොල්ලෝ. එතන රහසක් තිබුණා. අනික ඒ මිනිස්සු වැඩිය පෞද්ගලික දැන හැඳුනුම්කම් තියාගන්න කැමති නැහැ.

      Delete
    3. ස්තුතියි විචාරක :)

      Delete
  2. නිදහස් සිතුවිලි නිර්මාතෘවරියට සුබ උපන් දිනයක්!....
    මම ඒත් බැලුවා තව අවුරුද්දකට ඇඩ් දාන්න තහනම් කරපු ( අර පරිවර්තනය ඉවර වෙනකල්) බ්ලොග් එකේ මොකද මේ පරණ කතන්දරයක් යන්නෙ කියලා. මම හිතන්නෙ රවී මේක පිටින් දාලා හිරි ඇරගත්තද කොහෙද?

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      හා එහෙමද නෝනෙ? ඔහේ මට එහෙනං ඉන්ජන්ක්ෂන් එකක් ඉෂූ කරලයි තියෙන්නෙ...එහෙමද? හෙහ්

      Delete
    2. ස්තුතියි සඳ වියමන් :)

      Delete
  3. සුබම සුබ උපන් දිනයක් රන්දිල්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් :)

      Delete
  4. //සොයිස මහත්තය කෙලිම්ම ටුෂ්නිම්බූට් වුනා// ඔය වෙලාවට Reboot කරලා ගත්තම හරි යනවා නෙහ්. මට මතක නෑ ඒක කරන්ඩ ඔබන්ඩ ඕන බටන් එක. එහෙම කෙරුවය ? :D

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඕකට තියෙන්නෙ පොඩි ලීවර් එකක්. ඒක ඇද්දම හරියනව. :D :D

      Delete
    2. කොහොමත් රවිට එහෙම ඇත්තෙ පොඩි ලිවර් එකක් තමා, බීල තියෙන කොත්තමල්ලි ප්‍රමාණය සලකන කොට

      Delete
    3. සොයිසා මහත්තයා මේ දවස් වල ‍ෆුල් ටුෂ්නිම්බූටඩ්... :)

      Delete
  5. හැපි බෝත් ඩේ එකක් කිව්වා..

    සෑ වෙලා හැප්පි හැප්පි සමරන්නයි තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්. ;)

      Delete
  6. හෙක්... සත්ගුණවත් රවී උතුමාණන් විසින් වල් පල් දොඩවා පාඨකයන් අමන්දානන්දයට පත් කරන ලද නිදහස් සිතුවිලි නම් බ්ලොග්ගයේ නිර්මාතෘ රන්දිල් නෝනාට වාසනාවන්ත සුබ උපන්දිනයක් පතනවා.
    රන්දිල් නෝන මේ බ්ලොග්ගෙ ආරම්භ කරනකොට රෙදි නවපු මනුස්සය ඒකට මේ වගේ සන්තෑසියක් කරයි කියල හීනෙන්වත් හිතන්න නැතුව ඇති. :D

    අම්මප මේ වගේ මිනිස්සු. හොස්පිටල් මැරිච්ච එකත් මිනීමැරුමක් කරන.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙම අරකව අන්දවන්නම කියල හිතාගෙන නෙවෙයි මම ඒ කතාව කිව්වෙ. නිකම් ඔය කටට ආවට කිව්ව..ම්ම හිතුවෙ ඒකා කුණුහබ්බෙකුත් කියල " පළයන් ***** යන්ට, අල්ලෙ පැලවෙන පච කෙලින්නෙ නැතුව " කියල කියාවිය කියල..කොහෙද? හෙහ්,හෙහ්

      Delete
    2. ස්තුතියි ප්‍රසන්න. හැබෑට බලාගෙන ඉන්න වටින වැඩක් ඔය රෙදි නැමිල්ල. :D

      Delete
  7. ආයි මොකුත් නෑ.. සොයිස මහත්තයා වගේ මාත් //straight tushnimbooted// :) වෙන මොහොකටවත් නෙවෙයි.. මේ ඉංගිරිස් වලට..අර සියපත් සීන් එකේ ඒ බත් අන්කල් ආයි ආවේ නැත්තේ රන්දිකා නෝනගේ ප්‍රශ්න පත්තරේ අමාරු නිසා වෙන්ටෑ..

    ඔය වගේ ටුශ්නිම්බූට් පොස්ට් එකක් මුණු පොතේ දැකල එයැයිට නම් කලින් විශ් කොලා..

    ReplyDelete
    Replies
    1. ඔය බත් අංකල්ගේ සීන් එක රන්දිකා නෝනාත් කාලෙකට කලින් ලිව්ව කලින් බ්ලොග් එකේ ලිව්වා. හැබැයි කෝණය වෙනස්. අප ජිවත්වන මේ සමාජයේ මිනිසුන් කරනා රැවටිලි ගැන ලිව්ව විස්තර එකතුවක ලිව්වා වගේ තමයි මතක. :D

      මල් හතයි ඈ එදා. බලන්න එපැයි තේක්ක සියපත් පත‍ේ බත් කෑ අයගේ මූණත්තහඩු ... :D කොහෙද ඒ කාලේ අපේ අතේ තිබුණේ නොකියා තිස්තුනයි දහයේ ෆෝන් නේ. අද වගේ නං බත් අංකල් එක්ක මුලින් ගහනවා මුළු ඔෆිසියම එකතු වෙලා සෙල්පියක්. 'මෙවන් අමිල වූ මිලකට මෙවන් වූ සියපත් පත් බතක් දෙන මනුස්ස පරාණයක්' කියලා දානවා ෆේස් බුක් එකේ බත් එක දිගෑරලා බලන්නත් කලියෙන්. ඊට පස්සේ කාලා ඉවර වෙලා දානවා කාපු අයගේ මූණත්තහඩු ටික.

      Delete
  8. ලේ ටිකක් පිරිසිඳු කළාට පිං. රන්දිල් නෝනාට සුභ උපන්දිනයක් වේවා. අර අස්වැද්දුමයිස් වගේ ඉංග්‍රීසි ශබ්ද කෝෂයට යායුතුම වචනයක් tushnimbooted

    ReplyDelete
    Replies
    1. සොයිසා මහත්තයා දන්නවා නං...:D

      ස්තුතියි මිතුර

      Delete
  9. දැන් එහෙනම් කුලියක් මලියක් ගෙවාගෙන ඉන්න එක නරකද ආ?

    සුබ උපන්දිනයක්. ලස්සන පවුලේ පින්තුරයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා

      Delete
  10. සුබ උපන්දිනයක්...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එදිරි

      Delete
  11. විද්වත් සභාව නැගලා ගිහින් වගේ. රන්දිල් නෝනට ශුභ උපන්දිනයක්!

    ඔය නාවල හන්දිය කිට්ටුව ජර්මන් රෙස්ටොරන්ට් එක මමත් කාලයක් ආගිය තැනක්. ඔරිජිනල් ජර්මන් කපල් එකක්මනේ කලේ. දාපු මුල කාලේ වැඩියම සෙනඟ හිටියෙත් නැහැ. වැලි පාක් එක ළඟ කඩේ නම් හරියටම මීටර් නැහැ. හැබැයි ඔය වගේ මස් කරිනම් මතකයි.

    //අඟහරුවාද සෙංකඩගල මැණිකෙට මරදානෙන් නඟිනව. රෑ අට වෙනකොට ගෙදර. ආපහු පහුවදා පාන්දර කෝච්චියෙ බෑක් ටු වර්ක්. ඒ කියන්නෙ බෘහස්පතින්දා.//

    කැලැන්ඩරේ බදාදා තිබුණේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉකොනොමික්ස්,

      තැන්ක්යු, තැන්ක්යු, බදදා හැලිල නෙව.මයි බිස්ටේක්, බයි මිස්ටේක්...ව.ක්‍රී.ප. නි. කළෙමි.

      ජර්මන් එක අපෙ බොස්ලගෙ ෆේවරිට් තැන. ඊට අමතරව නාවල හන්දියෙ ස්ටීම් බෝට් එක, නුගේගොඩ ජුබිලි කණුව පාරෙ සන්හිඳ, එයිටි ක්ලබ් එක.බී.ආර්.සී.එක ..ඔය තැන් වලටත් ගියා බොස්ලගෙ පස්සෙ එල්ලිල.

      Delete
    2. ස්ටීම්බෝට් එකේ ඩ්‍රෙස්කෝඩ් ගහල තියෙනවා දැකල දවසක් අපි හැරිලා ආවා ලැජ්ජාව පැත්තකින් තියලා.ඇයි දෙයියනේ නිදහසේ බොන්න එපැයි..

      Delete
    3. ස්තුතියි ඉකොනොමික්ස්,

      Delete
  12. සුභ උපන්දිනයක් රන්දිල් මැතිණියනි. එතකොට FB එක බොරු කියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩූඩ්. එෆ් බී එක කොහෙද අනේ බ‍ොරු කිව්ව‍ේ. මං උපන්දිනේ අයින් කරලා තියෙන්නේ.

      Delete
  13. රන්දිල් නෝනෙට සුභ උපන් දිනයක් වේවා !!!!!!!
    2008.8.8 වෙනිද කියන්නෙ අපේ කිරි අම්ම නැතිවෙලා හරියටම අවුරුදු විස්සක්, වගේම මම සිගරට් එකක් බීපු 20 වෙනි අවුරුදු සංවත්සරේ.

    ReplyDelete
  14. රන්දිල් නෝනෙට සුභ උපන් දිනයක් වේවා !!!!!!!
    2008.8.8 වෙනිද කියන්නෙ අපේ කිරි අම්ම නැතිවෙලා හරියටම අවුරුදු විස්සක්, වගේම මම සිගරට් එකක් බීපු 20 වෙනි අවුරුදු සංවත්සරේ.

    ReplyDelete
    Replies
    1. එක ඩබල් කරල දාන හැටි මටත් කියල දෙනවද?

      Delete
    2. ඕක ඔය කම්මලයට තියෙන හඳුනානොගත් සුවකළ නොහැකි රෝගයක් හැලපෙ.

      Delete
    3. ස්තුතියි කම්මල

      ආච්චි මැරුණු දුකට සිකරැට් බොන්න පටන් ගත්ත මුණුබුරෙක් දුටුවාමද කොහිද :D

      Delete
  15. රවිගෙ ලෑන්ඩ් ලේඩිට සුබ උපන් දිනයක් වේවා!! ගේ කුලියට දෙද්දි මෙහෙම සන්තෑසියක් වෙයි කියල හිතුවද නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප කඩේ.

      සන්තෑසිය කෙසේ වෙතත් මේ නිවැසි මහත්මයා නොවන්නට මේ වෙන කොට දරුණු ව්‍යවස්ථා තියෙන සියලුම සින්ඩි වලින් නිදහස් සිතුවිලි උසික්කා වෙලා

      Delete
  16. ඇයට සුබ උපන්දිනයකුත්, ඔබලාට සොඳුරු අනාගතයකුත් පතමි.

    එහෙනම් මේ වලවල් (=කැලේ ) කපන්න එපා කියන්නේ ඒකයි!

    ReplyDelete
    Replies
    1. මේකත් නොලියා ගියොත් හරි නැහැ. රවී අර තෙල් එකෙන් බලාගෙන කොල්ලන් කොන්ඩේ පීරුවේ, මස් එකෙන්ම තෙල් ගාගෙනද?

      Delete
    2. රයිගම්,

      වරදවා වටහා ගත්තේනම් නිවැරදි කිරීමට අවසර...ඉහත ඡායාරූපයේ සිටිනුයේ රන්දිල්, ඇගේ සැමියා වාසනා සහ දරුවන් දෙදෙනාය....:)

      Delete
    3. ස්තුතියි රයිගම්. වරදවා වටහා ගත්තා නං දැන් නිවැරදි වෙලා ඇති නේද? ;)

      Delete
  17. සවරින් එක ළඟ ඉඳන් මීටර් සීයක් ඇතුලත තිබ්බේ කළුතොට කන්ස්ට්‍රක්ෂන් එක තමා මතක විදිහට , හැමදාම සවරින් යන්න චාන්ස් ලැබෙනවා කියන්නේ මාරයිනේ .
    රන්දිල් සහෝදරියට සුබ උපන්දිනයක් පතනවා .

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      කළුතොට එක තිබ්බෙ ජර්මන් එකේ ඉඳල නාවල හන්දිය පැත්තට මීටර් සීයක් වගෙ යනකොට තමයි, පාරෙ අනික් පැත්තෙ.

      ගෙදර නොගිය දවසට හැමදාම වගෙ රෑට ජර්මනියට යන්න චාන්ස් එක ලැබුනා...හෙහ්,හෙහ්,

      Delete
    2. ස්තුතියි ඉවාන්.

      ඒ වුණාට අපි කලුතොට නෙමෙයි. ;)

      Delete
  18. රන්දිල් මැතිණියටත් පවුලේ සැමටත්, රවිටත් සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      උඹේ අර අහවල් තැන ගාන්ට ඕන ගාලික් පේස්ට්..මගෙ අහවල් උපන් දිනයක්ද බොල?

      Delete
    2. ගාලික් පේස්ට් නැත්නම් සිද්ධාලේප ටිකක් හරි කමක් නෑ.. :)

      Delete
    3. මූ ඩ්‍රැකී හින්ද හොඳ කොච්චි මිරිස් තලියක් ඇර වෙන දෙයක් හරියන එකක් නෑ.

      Delete
    4. කළ්‍යාණ සහ ප්‍රසන්න.

      නෑ බන්ස් මූ ඩ්‍රැකී ජූනියර් හින්ද තමයි මම කිව්වෙ සුදුලූණු අඹරපුව තලියක් ගෑවනම් හරිය කියල. ඩ්‍රැකීල පරාණ බයයි සුදුලූනු මල් වලට. මල් හොයාගන්නෙ කොහෙන්ද ආය? ඒ හින්ද සුදුලූනු තලල ටිකක් යහමින් අත බර කරල ගාල බලමු....:)

      Delete
    5. ස්තුතියි. ඩ්‍රැකී. හැම දිනම උපන්දිනයක් යන කොන්සෙප්ටුව යටතේ සුභ පැතූ ඔබටත් සුභ උපන්දිනයක්!

      Delete
    6. හිනා වෙලා හිනා වෙලා හුස්ම හිරවුනා. පස්සෙ හැමෝටම රිප්ලයි කරන්නං ඈ...!

      Delete
    7. රවි,
      ගාහං බුදු අයියේ... ටිකක් හිමීට... ලතාවකට වගේ...

      ප්‍රසන්න,
      කොච්චි මිරිස් නෙවෙයි බොලං, නයි මිරිස් කරල් හත අටක්...

      කමි,
      සිද්ධාලේප ගෑවොත් එතකොටඅර කාසල් එකේ ඇඳං වල ගැහුව වගේ ඒකත් “සිද්ධාලේප වෙදමහත්තයගෙ වැඩක්“ වෙයිද දන්නෑ...?

      රන්දිල්,
      ටැංකිව් අනේ ටැංකිව්...!!!

      Delete
  19. එයැයිට ශුභ උපන් දිනම්..!! රවී අයිය ෆීල්ඩ් එකේ ගියපු පාරට වඩා පොඩ්ඩයි ගස්ලබ්බා යන පාර වෙනස් වෙන්නෙ.සයිට් ජීවිතේ ගැනත් ඉතිං ලිව්වොත් වටී...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පපායා :)

      Delete
  20. සුභ උපන් දිනයක් රන්දිල්

    ReplyDelete
  21. ඔය මානවිකාවිය බ්ලොග් එක සින්න වෙන්න ඇරල පොතක් පතක් ලියාගෙන පාඩුවේ ඉන්නවාය කියලා තීරණය කරලා ඉන්නේ නේද දැන්... කමක් නැහැ "සුභ උපන් දිනයක් වේවා" කියලා ප්‍රාර්ථනා කරනවා...

    කැඩෙන බිඳෙන ප්‍රවෘත්ති... හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර. ඒ වැඩෙත් මං අල්ලලා දාන්න කියලා කම්පනා කළේ. දැන් මේ නිවැසි මහත්මයාත් පොත් පෙරළන වැඩේට අතගහගෙන එන්නේ. එයා අත ගැහැව්වා කියන්න‍ේ ඉතිං අපි කැලේ. කැලේනුත් එහා වෙලේ. :)

      Delete
  22. සුභම සුභ උපන් දිනක් ඔයාට රන්දිල් අක්කේ.

    චේතන් භගත්ගේ කථාව දිගටම ලියනවා නේද? හුඟක් ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හේමමාලි. චේතන් භගත්ගේ කාර්යය රවීතුමාගේ වැඩක් කියලා දන්නවා නේද?

      Delete
  23. රන්දිල්ට belated wishes..
    මගෙ පුතාගෙ ඊයෙ..
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හර්ෂ. පුතා සුභ උපන්දිනයක් වේවා!

      Delete
  24. රන් දිල් එන්න පමා වුණා සුබ පතන්නට. ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි. ස්තුතියි රවි මේ ගැන මතක් කළාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන් අයියා.

      Delete
  25. HBD..........can i know the e mail of Ravi

    ReplyDelete
  26. ස්තුතියි මිස්ටර් රවී. උපන්දිනය බොහොම අමාරුවෙන් මතක තියාගෙන ඉඳලා, කාල වේලාව ‍හොයාගෙන සුභ පැතුම් ලිපියක් සටහන් කළාට.

    අර රණේ කියලා තියෙන්නේ මගේ බොස් වෙන්න ඕනෑ. ඉතිං ඔන්න ඊයේ පෙරේදා මං රණේට කිව්වා මිගාර ගැන කතාවක් අන්තර්ජාලේ තියෙනවාය කියලා. :P

    ReplyDelete
    Replies
    1. / ස්තුතියි මිස්ටර් රවී. උපන්දිනය බොහොම අමාරුවෙන් මතක තියාගෙන ඉඳලා, කාල වේලාව ‍හොයාගෙන සුභ පැතුම් ලිපියක් සටහන් කළාට. /

      මතක තියාගෙන නොයිද ඉතිං ආය මේකෙ වසන්ටය?

      / අර රණේ කියලා තියෙන්නේ මගේ බොස් වෙන්න ඕනෑ. ඉතිං ඔන්න ඊයේ පෙරේදා මං රණේට කිව්වා මිගාර ගැන කතාවක් අන්තර්ජාලේ තියෙනවාය කියලා. :P /

      ඔව්..ඔව්..ඒකා තමයි..ඔහෙගෙ බොසා තමයි...රණේට කිව්වට නං කමක් නෑ මිගාරට කිව්වොත් නම් මම සියරට ඇවිල්ලත් ඉවරයි. ඕකගෙ ගෙවලුත් කටුනායක කිට්ටුවනෙ..මතකයිනෙ?

      Delete
  27. ඇයි රවීයියේ අර දුමින්දයා ඔලුව කුඩු වෙන්න වෙන්න වෙඩි කාපු සිද්දියේදී කොළඹ ලැයිස්තුවේ ඊගාවට හිටිය හාදයා වෙච්චි "චන්දන ක්‍රස්ත්‍රිආරච්චි" කතරේ ගිහින් දුක කිව්වාලු ආයෙමත් පාර්ලිමෙන්තුවේ කැන්ටිමෙන් පිනට කන්ට ආසයි කියලා හිටං.

    කොහොම වෙතත් රන්දී අක්කාට happy belated b'day......!!!

    ReplyDelete
  28. හැපී පරක්කු වෙච්ච උපන්දිනයක් වේවා රන්දිකා... කොහොම උනත් මේ රවියා ඇවිල්ලා මේ බ්ලොග් එකෙන් ඔයාව විස්තාපනය කරලා දාපු එක වැරදියි කියල මතක් කරලා ඒ වගේම රවියා වගේ පොරක් වෙනුවෙන් බ්ලොග් එක කැපකිරීමේ පිනෙන් මහත්පල මහානිසංස ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා ඔන්න..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...