Friday, December 30, 2016

469. The Story Of My Marriage - 29 - My First Client Mrs. Sreenivas & Lunch At Sangeetha Restaurant


චෙන්නයිහි සංගීතා රෙස්ටොරන්ට්
නමැති ආපන ශාලාව


"ශ්‍රී යුනිවසිටි ගියාද?"

"ඔව් සර් මම කොයිම්බටෝර් යුනිවසිටි සර්, මට උපාධියට ඩිස්ටින්ක්ෂන් එකක් තියනව"

"හොඳයි, බොහොම හොඳයි, ඉතිං මොකද මේ ටොයිලට් එකට යන්ට මගෙං පර්මිෂන් ඉල්ලන්නෙ?"

"එහෙම තමයි මෙහෙ පිළිවෙල සර්, "

"හරි අද ඉඳල ඒ පිළිවෙල අපි වෙනස් කරමු. කිසි කෙනෙක් මීට පස්සෙ ටොයිලට් එකට යන්න මගෙන් අවසර ගන්න අවශ්‍ය නෑ.තේරුණා නේද? අනික් අයටත් කරුණාකරල කියන්න."

"හොඳයි සර් බොහොම ස්තූතියි සර්….."

අනුයාත දෙහෝරාව මුලුල්ලේ මම බාලක්‍රිෂ්ණන් මහතා මවෙත ලබාදුන් වාර්තාවන් කියවීමි. ඒ සෑම වාර්තාවකම වැඩි ඉඩකඩක් වෙන්වූයේ තමන් කරන්නේ කුමක්ද? සහ එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට තම දැනුම ප්‍රදර්ශනය කිරීමේ ඒකායන අරමුණින් සකස් කෙරුණු මූල්‍ය ආකෘතීන්ටය. බහුතරයක් මෙම වාර්තා සම්පාදනය කළෝ එම්.බී.ඒ. උපාධිධාරීහු වූහ.

(මූල්‍ය ආකෘතියක් (Financial model) යනු යම් ආයෝජනයක හෝ වත්කමක අනාගත ක්‍රියාකාරිත්වය පුරෝකථනය කරනු උදෙසා නිර්මාණය කරනු ලබන්නකි)

එක් වාර්තාවක් පූර්ණ වශයෙන් පදනම්වූයේ අන්තර්ජාල සේවා සපයන සමාගම්හි මූල්‍ය වටිනාකම සහ එහි වෙබ් අඩවියට පිවිසෙන්නන් සංඛ්‍යාව පිළිබඳව දත්ත ඇතුලත් කොට පිළියෙල කල සවිස්තරාත්මක වගුවක් මතය. වාර්තාව පිළියෙල කල විශ්ලේෂකයා අධ්‍යයනයට භාජනය වූ සියළු සමාගම් සමාගමේ වටිනාකම සහ එහි වෙබ් අඩවියට පිවිසෙන්නන් සංඛ්‍යාව අතර අනුපාතය අනුව අනුයාතව පෙලගස්වා තිබිණි. ඒ අනුව අදාල අනුපාතය අවමවූ සමාගමෙහි කොටස් මිලදීගැනීම වාර්තාවෙන් දැඩිව නිර්දේශකොට තිබිණි. "වහාම මිළදී ගන්න" යනුවෙන් වාර්තාව අවසානයේ ඉතා විශාල අකුරින් සඳහන් විය. එම වාක්‍යය අවසානයේ විශ්මයාර්ථ ළකුණු පහක් ද යොදා තිබුනේ එම වාක්‍යය දුටු වහාම දිවගොස් අදාළ සමාගමේ කොටස් මිලදී ගැනීමට ආයෝජකයින් පෙළඹවීම වහා ආරම්භ කලයුතුයැයි සිටි බැංකුවේ කාර්ය මණ්ඩලයට කල නියෝගයක් පරිද්දෙනි. එහෙත් සමාගමේ වෙබ් අඩවියට පිවිසෙන්නන් බහුතරයකගෙන් අදාල සමාගමට කිසිදු ගෙවීමක් හෝ ලාභයක් නොලැබෙන බව විශ්ලේෂකයා හිතා මතාම හෝ නොදැනුවත්කම නිසා නොසළකා හැර තිබිණි.

"සර් සමාවෙන්න…" එක් වරම ශ්‍රී මගේ කුටියේ දොරටුවෙන් හිස රුවා පැවසුවාය. ඇය සිය වැසිකිළි ගමන නිමකොට පෙරළා පැමිණ ඇති බව සක්සුදක්සේ පැහැදිළිය.

"ඔව්..ශ්‍රී කියන්න…. මොකක්ද ප්‍රශ්ණෙ?" මම ආසනයේ පසුපස ඇන්දට වාරුවෙමින් විමසීමි.

"සර් මේ..මගේ හොඳ කස්ටමර් කෙනෙක් ඇවිල්ල ඉන්නව. මම එයාව එක්කලා එන්නද සර් ගාවට? "

"හරි හරි... එක්ක එන්න එක්ක එන්න."

"සර් මේ තමයි මිසිස් ශ්‍රීනිවාස්...." පණස් වියැති පමණවූ වූ දරුණු අපරාධකරුවන්ට යොදන විශාල මාංචු බඳු පළලැති රන් වළලු දෙකක් බැගින් දෑතෙහිම පැළඳි පිරිපුන් සිරුරකින් යුත් කාන්තාවක් මගේ කුටියට කැඳවාගෙන පැමිණි ශ්‍රී ඇය මට හඳුන්වා දුන්නාය.

"එන්න මිසිස් ශ්‍රීනිවාස්…….." මම අසුනින් නැඟිට ඇය බැංකුවේ ප්‍රවේශ ශාලාවෙහි (Lobby) පනවා තිබූ සුව පහසු කවිච්චියක් වෙත කැඳවාගෙන ගියෙමි. තම ගනුදෙනුකරුවන්ගේ මුදල් පැහැරගන්නා අතරම ඔවුනට හැකි පමණ පහසුකම් සැපයීම ද සිටි බැංකුවේ චිරාත්කාලයක සිට පැවත එන ප්‍රතිපත්තියකි.

"මිස්ටර් ක්‍රිෂ් අයි.අයි.ටී. එකේද?" ශ්‍රීනිවාස් මහත්මිය මා දෙස දෑස් සිහින්කොට බැල්මක් හෙලමින් විමසුවාය.

(අයි.අයි.ටී. පිළිබඳව කිසිත් නොදන්නා පාඨකයින්ගේ පහන් සංවේගය උදෙසා ඒ පිළිබඳව කෙටියෙන් පැහැදිලි කළහොත් මැනවැයි හඟිමි. අයි.අයි.ටී. නොහොත් ඉන්දීය තාක්ෂණ ආයතන ඉන්දියාවේ තාක්ෂණ අධ්‍යාපනයෙහි ඉහළම ස්ථානයෙහි වැජඹෙන අතර ඊට ප්‍රවේශ වීමට පවා ඉතාම තරඟකාරී විභාගයකින් සමත්විය යුතුය)

"ඔව්.....මැඩම්...." ශ්‍රීනිවාස් මහත්මියගේ ඇඟේ ගැසිය යුත්තේ කුමන සමාගමේ කොටස්දැයි කල්පනාකරමින් මම පිළිතුරු දුනිමි.

"මගෙ මුණුබුරාත් අයි.අයි.ටී. එන්ට්‍රන්ස් විභාගෙට ලෑස්ති වෙනව" ශ්‍රී නිවාස් මහත්මිය තද කළු කේශකලාපයකින් යුත් ඇගේ හිස සොලවමින් සිනාසුණාය. හිස සොලවන වාරයක් පාසා ඇය හිඳ සිටි කවිච්චිය ඉහළින් බිත්තියෙහි සවිකොට තිබූ ප්‍රතිදීප්ත පහනින් නිකුත්වූ ආලෝකය පතිතව ඇගේ හිසකෙස් දිළිසුනේ එහි යහමින් ආලේප කොට තිබූ පොල්තෙල් හේතුකොටගෙනය.

"අනේ බොරු කියන්න නම් එපා මැඩම්..අයි.අයි.ටී. එන්ට්‍රන්ස් එග්සෑම් එක ලියන මුණුබුරෙක් ඉන්න තරමට ඔයාට වයසක් නෑ…" මම හඬනඟා සිනාසුනෙමි. 

ශ්‍රීනිවාස් මහත්මිය ප්‍රීතියෙන් සිනාසුනාය. ශ්‍රී ද ඇය හා එක්ව සිනාසුනාය. නොදැනුවත්වම හබක වෙත පියමනින සාවියක මෙන් ඇය අපට අවශ්‍ය මනෝභාවය (Mood) වෙත කෙමෙන් ළඟාවෙමින් සිටියාය.

"අනේ නෑ අයියෝ මට හොඳටම වයසයි. හැබැයි ඇත්තම කිව්වොත් මුණුබුරා තාම හයේ පන්තියෙ ඉන්නෙ..හිහ්,හිහ්." ඇය සුරතින් මුව වසාගෙන කුඩා දැරියක මෙන් යලි සිනාසුනාය.

"මේ.... මේ මැඩම්ගෙ එකවුන්ට් එකේ බැලන්ස් එක කීයක් තියනවද?" මම ශ්‍රී දෙස හැරී පහත් හඬින් විමසුවෙමි. 

"එක්කෝටි විසි ලක්ෂයයි………" ශ්‍රී ද එළෙසම පහත් හඬින් පිළිතුරු දුන්නාය. 

මම මොහොතක් දෑස පියාගෙන ගණනය කලෙමි. ශ්‍රීනිවාස් මහත්මියගේ ගිණුමෙහි ඇති මුදලට සමාන මුදලක් ඉපයීමට මම මේ රැකියාවෙහි අවම වශයෙන් වසර තිහක් නිරතවිය යුතුය. "හ්ම්ම්ම්..මේ මනුස්සයට මොකටද මෙච්චර සල්ලි? එයිං ටිකක් අපි ගත්තම මක් වෙනවද?" එසේ මටම පවසමින් මම  සිත එකඟකොට ගතිමි.

"මැඩම් මීට කලින් කොටස් වෙළඳපොලේ එහෙම ආයෝජනය කරල තියනවද?"

"කොටස් වෙළඳපොලේ?.........." ඇගේ දෑසට නැඟුනේ බියමුසු පෙනුමකි. "අනේ නෑනෙ…………"

"ඒක තමයි. අපි මෙහෙම කරමු. මේ දවස්වල ඉන්ටර්නෙට් සමාගම්වල කොටස් මිළ හොඳටම බැහැලයි තියෙන්නෙ. ඒ හින්ද මට බය නැතුව නිර්දේශ කරන්ට පුලුවනි එහෙම සමාගමක දෙකක කොටස් ගත්තට කිසිම පාඩුවක් වෙන්නෙ නැහැය කියල. මොකද මැඩම් කියන්නෙ?" මම මගේ මුවට නඟා ගත හැකි උපරිම සුහද සිනහව නඟාගෙන ශ්‍රීනිවාස් මහත්මියගේ දෑස් දෙස එක එල්ලේ බලාගත්වනම විමසූයෙමි.

ශ්‍රීනිවාස් මහත්මිය මාදෙස කනස්සලුසහගත බැල්මක් හෙලුවාය. "අනේ මම දන්නෙ නෑ. මගෙ පුතා අමරිකාවෙ ඉන්ටර්නෙට් කම්පනි එකක වැඩ කරන්නෙ. එයා මේ පහුගිය සතියෙත් මට කිව්වෙ තත්වය එච්චරම හොඳ නැහැ, එහෙ ඉන්ටර්නෙට් කම්පනි ඔක්කොම වැහෙයි බොහෝවිට කියල"

"හරි හරි මැඩම් ඒ අමරිකාවෙනෙ. එහෙ එහෙම වෙන්ඩ ඇති. ඒත් අමතක කරන්න එපා මේක ඉන්දියාව. ඉන්දියාවෙ ජනගහණය බිලියනයක්. ඒ කියන්නෙ කෝටි සීයක්. එතකොට ඒ කියන්නෙ ඇස් කීයක්ද?"

ශ්‍රීනිවාස් මහත්මිය මුව මඳක් විවරකොටගෙන මා දෙස බලා සිටියා විනා පිළිතුරක් නොදුන්නාය. 

"හරි මමම කියන්නංකො එහෙනං. බිලියනයක් මිනිස්සු කියන්නෙ ඇස් බිලියන දෙකක්. ඒ කියන්නෙ කෝටි දෙසීයක්. ඔය ඇස් කෝටි දෙසීයම නොවුනත් ඔයින් සෑහෙන කොටසක්... අඩුගානෙ බාගයක්වත් ඉන්ටර්නෙට් බලනව ඇතිනෙ. ඉතිං නිකමට හිතන්නකො..... කවදාවත් ඉන්දියාවෙ ඉන්ටර්නෙට් කම්පනීස් වල අනාගතය නරක් වෙන්නෙ නෑ. අනික අපේ බැංකුවෙ තියනව පොදු අරමුදලක්. ඒ හින්ද ඔබ තුමියට එකම වෙලාවෙ කම්පනි කීපයක ආයෝජනය කරන්නටත් පුලුවන්. ඒකෙන් අවදානමක් තියනව කියල හිතනව නම් ඒ අවදානමත් අඩුවෙනව"

ශ්‍රී සහ මම ශ්‍රීනිවාස් මහත්මිය සමඟ මිනිත්තු දහයක පමණ කාලයක් සාකච්ඡා කළෙමු. එම්.බී.ඒ. පාඨමාලාව හැදෑරීමෙහිදී අලුයම වන තෙක් නිදි වරමින් අනන්‍යා සමඟ වණපොත් කල බොහෝ බරපතල වදන් මම මෙහිදී ශ්‍රීනිවාස් මහත්මිය පෙළඹවීම උදෙසා භාවිතා කළෙමි. උපායමාර්ගික ලාභය (Strategic Advantage), සමාගමක පහළ මායිම සහ ඉහළ මායිම, (Bottom Line vs. Top Line) ආදී කළමණාකාරිත්ව අධ්‍යයනයේදී භාවිතාවන පාරිභාෂික වදන් නිතර යොදමින් මම සාකච්ඡාව මෙහෙයවද්දී ශ්‍රී සහ ශ්‍රී නිවාස් මහත්මිය සෑම වදනක් පාසාම ඔවුන්ගේ හිස් සිරස්ව සොළවමින් අර්ධ වශයෙන් විවරකොටගත් මුවින් යුතුව මා දෙස බලා සිටියෝය.

අවසානයේදී ශ්‍රීනිවාස් මහත්මිය අන්තර්ජාල සමාගම් කිහිපයක ආයෝජනය කිරීමට කැමැත්ත පළ කලාය.

"හරි මැඩම්. අපි එහෙනං පොඩි මුදලක් ඉස්සෙල්ලම අයෝජනය කරල බලමු... මොකද කියන්නෙ? ලක්ෂ දහයක් වගෙ... කැමතිද?" සිටි බැංකු ජීවිතයේ මගේ පළමු ගණුදෙනුව හැකි විගස නිමා කරනු රිසියෙන් මම ශ්‍රීනිවාස් මහත්මියගෙන් විමසීමි.

"පහක් ...අනේ පහක්... පහක් ඇති... පහක් ඇති" ශ්‍රීනිවාස් මහත්මිය දෑත් සොළවමින් කෑගැසුවාය. ඇගේ දෑතෙහි වූ මාංචු මෙන් විශාල රන් වළලු එහා මෙහා දුවමින් එකිනෙක ගැටෙමින් සිළිං බිළිං යනුවෙන් රාවයක් නැංවූයේය.

අවසානයේදී අපි පළමු පියවර ලෙස රුපියල් ලක්ෂ පහක මුදලක් ආයෝජනය කිරීමට අදාල ගිවිසුම් අත්සන් කලෙමු. ශ්‍රී ප්‍රීතියෙන් ඔකඳ වූවාය. ගතවූයේ යන්තමින් එක් වරුවකි. මම ඔවුන් සියල්ලන්ගේම ප්‍රියතම පාරිභෝගික සේවා කළමනාකරු බවට පත්වී අවසානය.

බාලක්‍රිෂ්ණන් මහතා එදින දිවා ආහාර විවේකය ඇරඹෙනු හා සමඟම මගේ කුටියට පැමිණියේය. "ක්‍රිෂ් යමු…. අද පළවෙනි දවසෙ මගෙ ගානෙ ලන්ච් එක" 

ඔහු මා රැගෙන ගියේ චෙන්නයිහී සුප්‍රසිද්ධ ආපන ශාලාවක්වූ සංගීතා රෙස්රටොන්ට් වෙතය. ඉතා රසැති තෝස සඳහා සංගීතා රෙස්රටොන්ට් ප්‍රසිද්ධියක් උසුලන බව අනන්‍යා වරක් මා සමඟ පැවසූ බව මගේ මතකයෙහි රැඳී තිබිණි.

"මොන මොන තෝසද ඔය ගොල්ලො ගාව තියෙන්නෙ?" අප අසලින් විදුලියක් මෙන් දිවයන වේටර් කොලුවකු නැවැත්වූ මම ඇසූයෙමි. 

"තෝස ජාති අසූ පහක් අපි හදනව" කොලුවා අත දිගු කොට ඒ අසල බිත්තියක එල්ලා තිබූ විශාල දැන්වීම් පුවරුවක් පෙන්වා යලි විදුලියක් මෙන් අතුරුදන්විය.

දැන්වීම් පුවරුව අසලට ගිය මම එහි සඳහන් තෝස වර්ගවල නම් කියවන්නට වීමි. ඉතිහාසයේ පළමුවරට මානවයින් ආහාර පිසීම ඇරඹූ දා සිට අනුභව කල සියලුම ආහාර වර්ග යොදා තැනූ තෝස එහිවූ බව ප්‍රිය පාඨකය මට කිසිදු සැකයකින් තොරව දිවුරා ප්‍රකාශ කල හැක.

"ක්‍රිෂ් නිවිති තෝස කාල බලන්න. ඒක හරිම රසයි. එහෙම නැත්තං කෙසෙල් තෝසත් නරකම නෑ" බාලක්‍රිෂ්ණන් මහතා මා පත්වූ අර්බුදයෙන් ගලවා ගැන්මට වහා ඉදිරිපත්විය.

"ඉතිං තරුණයා කොහොමද ඔයාගේ හිතට දැනෙන්නෙ? ජීවිතේ පළමුවෙනි වරට ඔයා ආයෝජනයක් සංවිධානය කලා. කොහොමද ඒ ෆීලිං එක? නිකං හදවත මහා ආඩම්බරේකින් පිරිල වගෙ දැනෙන්නෙ නැද්ද?" අප ඇණවුම් කල තෝස ගෙනෙන තුරු මුල්ලක වූ මේසයක් දෙපස හිඳ සිටිනා අතර බාලක්‍රිෂ්ණන් මහතා මගෙන් විමසීය. 

"මේ යකා මොනව කියවනවද මන්ද..කෙහෙම්මල් ආඩම්බරේ.....මගෙ පපුව වේදනාවෙන් පිරිල. මේ වෙනකොට මම චෙන්නයි ඇවිල්ල පැය පහළවක් ගත වෙලා. ඒත් තවම මට අනන්‍යා එක්ක එක වචනයක් කතා කරගන්න බැරිවුනා. පුලුවන් ඉක්මනට මොබයිල් ෆෝන් එකක් ගන්න ඕන..ම්ම්ම්..එකක් නෙවෙයි දෙකක්..." මම තොල මතුරාගතිමි.

වේටර් කොලුවා තෝස ගෙනවිත් අප ඉදිරියේ තැබීය. "හරි හරි... කාල ඉමු... කාල ඉමු" බාලා තෝස කැබැල්ලක් කඩා සාම්බාර් හොද්දේ ගිල්වමින් පැවසීය. 

"ක්‍රිෂ් මම මේ ඇත්තමයි කියන්නෙ තේරුණාද? ඔයා දැක්කම මට මතක් වෙන්නෙම මගෙ තරුණ කාලෙ. ඇරපු අතක් නෑ ඔයා මම ඒ කාලෙ වගේමයි."

"ඈ?" මම හිස ඔසවා බාලා දෙස බැලීමි. "මේ මනුස්සය මොන කෙහෙම්මලක් කියවනවද මන්ද..මම එයා තරුණ කාලෙ වගේය කියන්නෙ. අනෙ අප්පේ මටනම් එයා වගේ වෙන්න කිසිම උවමනාවක් නෑ" එසේ සිතමින් මම ආහාර ගන්නට පටන් ගතිමි.

අනන්‍යාගේ නිවසෙහි ස්ථාවර දුරකථන අංකය මම දනිමි. එහෙත් ඇය රැකියාවෙන් පසු නිවසට ලඟාවන්නේ බොහෝවිට රාත්‍රී හතේ කණිසම ද පසුවීය. ඇය රාජකාරී සඳහා බොහෝවිට කාර්යාලයෙන් බැහැරව යන බැවින් කාර්යාල දුරකථනයට ඇමතීමෙන්ද කිසිදු පළක් නොවේ. 

අහ්මදාබාද් හි අප ඉගෙන ගන්නා සමයෙහි බොහෝ විට දිවා ආහාරයෙන් පසු අප දෙදෙන මගේ කුටියෙහි සයනය මත තුරුළුවී සිනාසෙමින් වල්පල් දොඩවමින් සිටියෙමු. ඒ සොඳුරු කාලය සිහිව මසිත ශෝකයෙන් බරවිය. දිගු සුසුමකින් ශෝකය මඳක් තුනී කොටගැන්මට මම උත්සාහ කළෙමි. මගේ සිත පෙලනා ශෝකය පිළිබඳව වගේ වගක් නොමැතිව බාලා ඒකපාර්ශ්විකව කතාකරයි.

"ක්‍රිෂ්, මේ බැංකු රස්සාව කියන්නෙ මහ පුදුම එකක්. ඔන්න බලන්න දැං මම මේ රස්සාව කරන්ට අරගෙන අවුරුදු විස්සකට වැඩියි. ඒත් තවම උදේ රස්සාවට මම එන්නෙ බොහොම නොඉවසිල්ලෙන්. හරියට කොයි වෙලේද බැංකුවට අඩිය තියන්නෙ කියල මගෙ රෝම කූප පවා නලියනව වගේ. මේ ඇත්තමයි පුතා..." බාලා කතාව මඳකට නවත්වා වතුර වීදුරුව ගෙන උගුරු කීපයක් පානය කලේය. මම එක වචනයක් හෝ නොදොඩා ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි.

"මට මේ ඊයෙ වගෙ මතකයි ඉස්සෙල්ලම මගෙ බොස් මාව ලන්ච් එකකට එක්කගිය දවස..හේ..ක්‍රිෂ්..මොනවද ඔයහැටි කල්පනා කරන්නෙ? දැං මේ ලන්ච් වෙලාව. රාජකාරි ගැන හිතන්න එපා මේ වෙලාවෙ"

"නෑ..නෑ..එහෙම එකක් නෙවෙයි." මම නින්දෙන් අවදිවූවාක් ලෙස පුටුවේ හරිබරි ගැසී බාලා ඇමතුවෙමි. "මේ...මිස්ටර් බාලක්‍රිෂ්ණන්….එච්.එල්.එල්. ඔෆිස් එක තියෙන්නෙ ගොඩක් දුරද?" 

(අනන්‍යා සේවය කරනුයේ එච්.එල්.එල්. සමාගමේ බව ඔබට මතක ඇතැයි මම උපකල්පනය කරමි මා හිතවත් පාඨකය)

"ඇයි? එච්.එල්.එල්. එකේ කවුරුහරි අපේ ඉන්වෙස්ට්මන්ට් වලට යොමුකරගන්ට පුලුවන්වෙයි කියල ක්‍රිෂ්ට හිතෙනවද? "

මෙලොව මිනිස් වර්ගයා පවතිනුයේ සිටි බැංකුවේ චෙන්නයි ශාඛාවේ තම මුදල් තැන්පත් කිරීමට සහ සිටි බැංකු කාර්ය මණ්ඩලය නිර්දේශ කරනා සමාගම්වල තම මුදල් ආයෝජනය කරනු උදෙසා පමණි යනුවෙන් බාලා සිතන්නේද යනුවෙන් බලවත් සැකයක් මසිත තුල හට ගත්තේය.

"සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්" මම පැවසීමි. බැංකුවක රැකියාවක් කීරිමේ එක් ධනාත්මක ලක්ෂණයක් නම් කටේ තොලේ නොගෑවී අසත්‍යයන් ප්‍රකාශ කිරීමට මෙන්ම ඒ පිළිබඳව කිසිසේත්ම පසුතැවිලි නොවීමටද ඔබ නොදැනුවත්වම හුරුවීමයි.

"එච්.එල්.එල්. ඔෆිස් එක තියෙන්නෙ නුංගම්බක්කම්වල. හරියටම කිව්වොත් ඒපෙක්ස් ප්ලාසා බිල්ඩිං එකේ"

වේටර් වරයා සාම්බාර් ගෙනවිත් අපගේ භාජන පිරවීය. ඔහු ඒ සමඟම කෙසෙල් තෝසය බැගින් අපගේ අහාර ගන්නා තැටිවලට දමා ඉවත්ව ගියේය. යම්තමට පැණි රසකින් යුක්තවූ කෙසෙල් තෝස මට සිහි ගැන්වූයේ මගේ මව පිළියෙල කරනා පෑන්කේක්ය.

"ඒ කියන්නෙ එච්.එල්.එල්. ඔෆිස් එක තියෙන්නෙ මම නැවතිල ඉන්න හරිය කිට්ටුවමයි නේද? "

"ඔව් සිටි බැංකුවෙ චමරිය. මගෙ මුල්ම ගෙදර...ක්‍රිෂ් දන්නවද මම රස්සාවට ඇවිල්ල ඉස්සෙල්ලම නැවතුනෙත් ඔය චමරියෙ" බාලා ඉදිරියට නැවී මගේ උරහිසට තට්ටුවක් දමමින් පැවසීය.

ඇත්ත වශයෙන්ම මට ඉතා හොඳ ප්‍රධානියකු ලැබී ඇත. ඒ පිළිබඳව සතුටුවියයුතු නමුදු මගේ අවාසනාවටදෝ මට එවන් කිසිදු සතුටක් නොදැනුනි. ආපසු කාර්යාලයට එන අතර මම කල්පනා කලේ පළමුව එච්.එල්.එල්. කාර්යාලයට දුරකථන ඇමතුමක් දෙන්නේද නැතහොත් සේවය අවසන්වූ පසු එච්.එල්.එල්. කාර්යාලයට ගොස් අනන්‍යා පිළිබඳව විපරම් කොට බලන්නේද යනුවෙනි.

සවස්කාලයේ මම තවත් අපගේ ගණුදෙනුකරුවන් කිහිප දෙනෙකු හමුවීමි. එහෙත් මට උදය වරුවේ ශ්‍රීනිවාස් මහත්මිය හා සමඟ කල සාර්ථක ගණුදෙනුව වැන්නක් යලි කල හැකි නොවීය. ඉතා ගතානුගතික සහ සම්ප්‍රදායානුකූල දෙමළ ජාතිකයින් ආයෝජනයක්වන් යම් අවදානමක් ඇති කාර්යයකට පොළඹවා ගැනීම ඉතා අසීරු බව මට වැටහෙන්නට විය.

"ෆික්ස්ඩ් ඩිපොසිට්.. ෆික්ස්ඩ් ඩිපොසිට්" ආයෝජනයන් පිළිබඳව කථාකරන සෑමවිටම ඔවුන්ගෙන් බහුතරයක් මන්ත්‍රයක් මෙන් ජපකලේ එසේය.

සවස තුනේ කණිසම පසුවූවා පමණි. මට දුරකථන ඇමතුමක් ඇතිබව ශ්‍රී පැවසුවාය. 

"සර්…. සර්ට කෝල් එකක්" එසේ පවසා ඇය ඇමතුම මගේ මේසය මත ඇති දුරකථනයට මාරු කලාය.

මම රිසීවරය එසවීමි. "Hello, Good evening, this is city bank Chennai, what can I do for you?"

"Hi, I'd like to open a priority account, with my hot-shot sexy banker "

"අනන්‍යා?..." මම ප්‍රීතියෙන් ඉපිලෙමින් කෑගැසීමි. "ඔයා කොහෙද ඔය ඉන්නෙ? කොයි වෙලාවෙද අපි මුණ ගැහෙන්නෙ? මම එන්නද එච්.එල්.එල්.ඔෆිස් එකට? අනේ බලන්නකො හරි වැඩේනෙ උනෙ. ඊයෙ මගෙ ෆ්ලයිට් එක ඩිලේ උනානෙ…"

27 comments:

  1. Replies
    1. Yasith,

      Yep it seems to be you are first...:)

      Delete
  2. //බැංකුවක රැකියාවක් කීරිමේ එක් ධනාත්මක ලක්ෂණයක් නම් කටේ තොලේ නොගෑවී අසත්‍යයන් ප්‍රකාශ කිරීමට මෙන්ම ඒ පිළිබඳව කිසිසේත්ම පසුතැවිලි නොවීමටද ඔබ නොදැනුවත්වම හුරුවීමයි// මේ ගැන දැනගත්තඑක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත

      Delete
    2. මල්,

      දැං කවුද බැංකුවක රස්සාවක් කරන්නෙ? උඹද නැත්තං උඹේ XXXX? .....:)

      Delete
    3. ගනේෂ්,

      අන්න ඒකනෙ... උඹ දන්නව සීන් එක...හෙහ්,හෙහ්,

      Delete
    4. නෑ බං. මම කොරන බැංකු රස්සාවක් නෑ. මේකෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මුන් අපිව අන්දන්නෙත් මේ විදිහටමනේ.

      Delete
  3. යාඩවනේ මුරුගා... අනන්‍යා ඇවිල්ලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අදද ඇහැරුනේ. ඇයි මීට කලින් කොටස බැලුවෙ නැද්ද?

      Delete
    2. ගස්,

      යාඩවනේ නෙවෙයි ලබ්බො, ආඬවනේ..ආඬවනේ

      Delete
    3. ප්‍රසන්න,

      ඒකනෙ බං ගස්ට පහුගිය හෙනහුරාද දාපු පෝස්ට් එක මඟ ඇරිල

      Delete
  4. දැන් මෙහෙ කඩවලත් තොසේ ජාති හැට හුටාමාරක් විතර තියෙනවා.හැබැයි ඒ තොසේ වලින් අර ඉස්සර ආපු සුවඳ රස එන්නේ නැහැ අප්පා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      හරි බං එව්ව එහෙම තමයි.. මේ ලෝකෙ තියෙන සියලුදේ වෙනස් වන සුළුය. "මහණෙනි මෙලොව සියලුදේ නිරතුරු වෙනස් වන සුළුය. ඒ සනාතන ලෝක ධර්මතාවයකි" බුදු හාමුදුරුවො බොල අන්න එහෙමයි කිව්වෙ.

      නැතුව "මහණෙනි මෙලොව තෝසේ සුවඳ සහ රස හැරුනුකොට අන් සියලුදේ වෙනස්වන සුලුය" කියල එතුමා කිව්වෙ නෑනෙ..වඩියුසේ? ඇග්‍රීඩ් ඕ නොට්?

      Delete
  5. ඔහෙට අර අම්මණ්ඩිගෙ වලල්ලක්වත් ගලෝගන්න බැරි උන නිසා වැඩේ සාර්ථක නෑ.

    අනික බොසා ගානෙ නිකං කන්න දෙන එකේ ඇදල අරින්නනෙ තිබුණෙ මේ ගෑනියෙක් ගැන හිතන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /ඔහෙට අර අම්මණ්ඩිගෙ වලල්ලක්වත් ගලෝගන්න බැරි උන නිසා වැඩේ සාර්ථක නෑ./

      අන්න ඒකනෙ බං...එහෙම සීන් එකකුත් දැම්මනම් මල් හතයි. පහන් දාහතරයි. කොහෙද මේ බඝට් ගොයියට හරියට කතන්දරයක්වත් ලියාගන්ට තේරෙනවය?

      මට පුදුම මේ යස්සයගෙ පොත් මෙච්චර විකිණෙන එක..දෙයියම්පල්ල.....

      Delete
  6. ප්‍රශ්ණයි උත්තරයි අතරින් ලක්ෂ පහට අනින්නේ
    චෙන්නයි වලදි ක්‍රිෂ්ගේ වැඩ වැඩි වැඩියෙන් පෙනෙන්නේ
    කන්නයි රහට තෝසෙ කඩෙන් බොසත් එක්ක දුවන්නේ
    යන්නයි යන්නෙ අනන්‍යාව මතු කොටසින් බලන්නේ..........

    ජයවේවා!!!

    ReplyDelete
  7. සංගීතා රෙස්ටොරන්ට් හි තෝසේවල මිහිරි රසය ගැන චේටන් භගට් සමග එකහෙලා එකඟ වෙමි.

    ReplyDelete
  8. දැන් හරි පහුවදා ඉඳලා වැඩ කරයි වගේ:D...

    ReplyDelete
  9. My hot-shot sexy banker....

    රහයි...රහයි...වෙනද වගේම කතාව රහයි...

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනවා...

    ReplyDelete
  10. රවීගේ පෝස්ට්ස් තුන හතරක් මට මගහැරිලා තියෙන්නේ. අපිත් එක්ක යාලුවෝ දෙන්නෙක් ඉන්නවා දවස් දහයකට. ඉතින් නිදහසේ කියවන්න අමාරුයි.

    ඔබ සියලු දෙනාට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  11. Ravi

    Needs a help. What is the most suitable translation for "professional development" in Sinhala?

    ReplyDelete
    Replies
    1. kumara,

      වෘත්තීමය සංවර්ධනය?

      Delete
    2. රවි

      මට මෙන්න මේ දෙකෙන් කොයික හරිද කියන ගැටලුවයි තියෙන්නෙ? ඔය ටීචර්ලට එහෙම තියන්නේ සේවාස්ථ පුහුනු. ඒවාට කියන්නෙ P.D. කියල නේද?

      වෘත්තිමය සංවර්ධනය/ප්‍රවර්ධනය

      ස්තුතියි

      Delete
  12. Hi Ravi


    Wish you a very happy new year

    ReplyDelete
  13. Hi Ravi


    Wish you a very happy new year

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...