Tuesday, January 19, 2021

666. උඳුපියලිය මල්….....



උඳුපියලිය මල්

අපේ ගේ ඉස්සරහ තියනව පොඩි තණකොළ පිටැන්නක්. පිට්ටනියට පිටැන්න කියන්නෙ දකුණෙ ඈයො නොහොත් ගෝල් ග්ලැඩියේටර්ස්ල. පනිට්ටුව, සාළුව එව්ව දකුණෙ ඈයො බාවිතා කරනවයි කියල හැමෝන්ම දන්න වචන නෙව. සෑනා කියල දකුණු රටේ කස්ටිය සතෙකුට කියනව අහල තියද ඔහෙල?

පිටැන්න කිව්වට මේ අඩි පහක් වගෙ පළල එතනින් ගිහාම අඩි හතළිහක් වගෙ දිග කෑල්ලක්. පර්චස් දොළහක් අරගෙන ඒකෙනුත් පර්චස් තුනක් විතර ගෙදරට එන පාරට ගියාම ඉතුරු කෑල්ලෙ ගේ හදපුවහම ඔය ඉතිං මිදුලක්ය කියල ඉතුරු වෙච්චි හරිය තමා..මක්ක කොරන්නෙයි?

ඉතිං පහුගිය දවසක උදේ අටාමාරට විතර මම ඔය පිටැන්නෙ ඇවිද ඇවිද හිටිය එහාට මෙහාට. අර සක්මන් කරනව කියන්නෙ. "සක්මන් කරන මලුවේදී බැඳි හාද...දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද?"...ඔය දස්කොන් හිටියයි කියන්නෙ හඟුරන්කෙත..පහුගිය අවුරුද්දෙ දෙසැම්බර් 22 වෙනිද මම තවත් මිතුරන් හතර දෙනෙකුත් එක්ක ගියා හඟුරන්කෙත ඔය දස්කොන් හොයාගෙන..දස්කොන් හොයාගෙන කිව්වට ඇත්තටම ගියේ ගල් බෝලයක් හොයාගෙන...හෙහ්..හෙහ්..ඒ කතාව මෙහෙමයි...

ඔය උඩරට රාජධානිය තිබ්බ කාලෙ රාජද්‍රෝහී චෝදනාවට වැරදි කාරියන් වෙන රදළ කුලයේ කාන්තාවන්ට දුන්නු දඬුවම තමයි දියේ ගිල්වා මරණයට පත් කිරීම..
අර ඇහැලේපොල කුමාරිහාමි එහෙම මැරුවෙ කකුලට ගලක් බැඳල බෝගම්බර වැඩේ ගිල්ලවල  කියලනෙ කියන්නෙ...ඉතිං ඔය එහෙම වැඩවලට පාවිච්චි කරපු ගල් බෝලයක් හඟුරන්කෙත තියනවයි කියල ඒක හොයන්නයි අපි ගියේ..

නිදිගේ පංචතන්තරේ ලියන නිමල් ගොයියයි, ප්‍රා උන්නැහෙයි, නිදිගෙ අතිජාත මිත්‍රයෙක් වන නෙවිල් ලොක්කයි..එතකොට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිරිබිරිස් මලයයි..අපි කට්ටිය තමයි ඔන්න ඔය ගල් බෝල එක්ස්පෙඩිෂන් එකට ගියේ..මාර ජොලි ගමන ඒක...ගල් බෝලයක්නං අපිට හොයාගන්ට බැරිවුනා..නිදි අවුරුදු විස්සකට වගෙ ඉස්සර එහෙම එකක් දැකල තියනව ඔය දස්කොන් ගැන හොයන්ට හඟුරන්කෙත ගියපු වෙලාවක..

සිරිබිරිස් ලංකාවට ආපු වෙලාවක (සිරිබිරිස් හොඳ එකා..ඕකා තමයි අර සිබිල් වෙත්තසිංහ මහත්මිය හම්බවෙන්න ගිහිල්ල මම පොඩි කාලෙ එතුමියගෙ තදබල රසිකයෙක්ය එහෙම කියල එතුමියගෙ කුඩහොරා පොතේ "ආදර රවි පුතාට.." කියල සටහනක් එහෙම ලියවගෙන මට ගෙනත් දුන්නෙ..) ඉතිං ගිය දෙසැම්බරේ සිරා ලංකාවට ආපු වෙලාවෙ මාව බැහැ දකින්නම ඕනය කියපු පාර නිදියි ප්‍රායි දෙන්න තමයි ඔය නුවර එන ගමන ලෑස්ති කරල තියෙන්නෙ..ඒ පාර දඹුලු සහ තලගොයි වගේ ඒත් එක්කම අර ගල් බෝල ගැනත් හොයමුකො බලන්න කියලයි හඟුරන්කෙත ගියේ.

හරි කොහොම හරි එදා තකහනියක් ගියාට ගල් බෝල හම්බවුනේ නම් නෑ. පස්සෙ අපි අපේ ගෙදර ඇවිල්ල පොඩි අඩියක් ගහන අතරෙ  උඩරට ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක්වන ප්‍රාගෙ යාලුවෙකුගෙන් කෝල් කරල ඇහුවම කිව්වෙ එහෙම දෙයක් ගැන නම් අහල නැතය, බොහෝවිට ඔය බොහොම සුමටව මට්ටම් කරපු ගල් බෝලනම් එකත් එකටම කාලතුවක්කු උණ්ඩ වෙන්ට ඇතිය කියල. පස්සෙ අපිටත් හිතුන එහෙම තමයි වෙන්ට ඇත්තෙ කියල. අනික කාගෙ හරි කකුලක බැඳල දියේ ගිල්ලපුවහම  ඔය ගල්බෝලෙ එදා ඉඳල වැවේ හරි ගඟේ හරි ඒ ගිල්ලවපු තැන ජලාසයෙ පතුලෙනෙ තියෙන්නෙ. එහෙම එකක් ඔය විදිහට සුමටව බෝලයක් වගෙ හදන එකේ කිසිම තේරුමක් නැතිය කියලත් අපි කතා වුනා.

හැබැයි අනික අතට එහෙමම කියන්ටත් බෑ. දැං බලමුකො ඔය අනුරාධපුරේ එහෙම පරණ සංඝාරාමවල තියෙන කැසිකිළි. මුත්‍රා කරන්ට පාවිච්චි කලාට එව්වයෙ තියෙන කැටයම් දැක්කම පිස්සු හැදෙනව.ඒ කාලෙ ඉතිං රාජ අණනෙ. අරම කරපිය මෙහෙම කරපිය කියල රජ්ජුරුවො කිව්වම "හා ඒ මොකටද? ඒකෙ කිසිම තේරුමක් නෑනෙ.." අය එහෙම කියන්ට පුලුවන්ය. "එහෙයි දේවයන් වහන්ස" කියල කියපු හැටියට කරන එකයි තියෙන්නෙ. 

හරි ඔය අපේ හඟුරන්කෙත චාරිකාව ගැන ලියන්ටම ඕමනය කියල එදා ඉඳලම හිතගෙන ඉන්නව ඔන්න බලමු ඒකෙත් හැටි හරියටම අවුරුද්දකුත් ගියා තාම ඒ වැඩේ කෙරුනෙ නැහැ නෙව. වෙලාවකට මට හිතෙනව ඒ කාලෙ වගෙ රජ කෙනෙක් ඉඳල "එම්බල ලියාපිය ඒ විස්තරේ දවස් තුනක් ඇතුලත. නැත්තං තගේ හිස ගසා දානවා බල දැනගිය..." කියල රාජාඥාවක් නිකුත් කලානම් ඔන්න බොහෝවිට වැඩේ කෙරෙයි..හරි හරි පුලුවන් ඉක්මනට ඒ විස්තරේ ලියන්නම්කො..

හරි ආය එමුකො අපේ ගේ ඉස්සරහ පිටැන්නට. මම කිව්වනෙ පිටැන්නෙ මම සක්මන් කරමින් හිටියයි කියල. ඔය පිටැන්නෙ අර මොනවද ඕස්ට්‍රේලියන් තණකොළද මැලේසියන් තණකොළද කියල ජාතියක් වවල තිබ්බට දැං ඒ තණකොළ අතර සෑහෙන්න උඳුපියලියත් වැවිල තියනව. ඒ අතර තව රටේ නැති වල පැල ජාතියි ඇඹුල් ඇඹිලිය එහෙමත් වැවෙනව. මම ඉතිං සති දෙහෙකට විතර සැරයක් ඇඟට ව්‍යායාමෙකටත් එක්ක හොඳයිනෙ කියල ඔය වැවිල තියෙන අනවශ්‍ය පැළෑටි අතිම්ම ගලවල දානව.පොඩි තණකොළ කපන මැසිමක් තිබ්බට අතිං ගලවල දාන එක ලේසියි. ඇඟටත් හොඳයි.

හැබැයි ඉතිං විනාඩි හතර පහක් නැමිල වල් ගලවනකොට දණිස් දෙක කැක්කුං අල්ලනව. ඒ වෙලාවට පොඩ්ඩක් කොන්ද දිගඇරගෙන එහෙම ඉඳල ආයම වැඩේ පටං ගන්නව..වැඩේ කියන්නෙ දණිස් එතකොට කොන්දට එහෙමත් මගේ වයසමනෙ..ඒකයි අවුල..මක් කරන්නෙයි ඉතිං?

හරි අර මම සක්මන් කරමින් හිටියයි කිව්වෙ උදේ පාන්දර උඳු පියලිය ගොල්ලක වැටිච්චි පිණි මතින් සක්මන් කරන එක හොඳයි කියනව නොයෙක් ලෙඩ රෝගවලට..ඇත්තද නම් මන්ද..වැඩේ ආතල් හින්ද මම ඉතිං ඔහෙ කොරනව...

ඉතිං පහුගිය දවසක මම උදේම ඔය උඳුපියලිය ගොල්ලෙ සක්මන් කරන්ට ආහම මෙන්න යකෝ මුලු පිටැන්නම දම්පාට සුට්ටි සුට්ටි මල් වලින් පිරිල..ඒ ඇවිල්ල උඳුපියලිය මල්..බලන්ට ලස්සනයි..ඒ දම්පාට මල් අතරෙ පාන්දර වැටිච්චි පිණි කැට දිලිසෙනව උදේ ඉර අව්ව වැටිල..ඔහොම පුංචි පුංචි මල් පිපිච්ච පිට්ටනියකට ඉංගිරිසියෙන් කියන්නෙ බ්ලූම්ෆීල්ඩ් (Bloomfield) කියල...(උඩ පින්තූරෙ බලන්ටලාකො...)

බ්ලූම්ෆීල්ඩ් කියල ක්‍රිකට් ක්ලබ් එකක් තියනව දන්නව නේද? 77,78,79 කාලෙ විතර අපේ ප්‍රියතම ක්‍රිකට් ක්ලබ් එක ඇවිල්ල ඔය බ්ලූම්ෆීල්ඩ් එක. ඒකට ප්‍රධානම හේතුව බ්ලූම්ෆීල්ඩ් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් බහුතරයක් ආදි නාලන්දීයයන්. බන්දුල වර්ණපුර, ලලිත් කළුපෙරුම, ජයන්ත සෙනෙවිරත්න..අපි ඒ කාලෙ සති අන්තයෙ බ්ලූම්ෆීල්ඩ් මැච් එකක් තියනවනං කොහොම හරි ටියුෂන් ක්ලාස් කට් නොවෙන්ට පැය දෙකක් වත් ගිහිල්ල මැච් එක බලනව. අපිට ඒ කාලෙ හරිම ප්‍රශ්ණයක් තිබ්බ මේ බ්ලූම්ෆීල්ඩ් කියන වචනෙ තේරුම මොකක්ද කියන එක....

හැබැයි ඉතිං ඔය කොච්චර බ්ලූම්ෆීල්ඩ් ටීම් එක ගහන මැච් බැලුවත් බ්ලූම්ෆීල්ඩ් කියන වචනෙ තේරුම නම් අපි දැනගෙන උන්නෙ නෑ කිව්වම මොකද?

අන්තර්ජාලෙ තියා ජංගම දුරකථනවත් නොතිබිච්ච ඒ කාලෙ ඔය වගෙ නොදන්න වචනෙක තේරුම වගෙ දෙයක් දැනගන්ට තිබ්බ එකම ක්‍රමේ තමයි ඒ ගැන මනා අවබෝධයක් තියෙන වැඩිහිටියෙක්ගෙන් නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහල දැනගන්න එක. අර බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත පඬිවරු කියල පරණ පොත්වල කියන්නෙ..ආන්න එහෙම කෙනෙක් හොයල අහල දැනගන්න එක..

අන්තර්ජාලය හින්ද ඇත්තටම දැන් ඒ බොහෝ ඇසූ පීරූ බහුශ්‍රැත උදවියට තියන තැන නැතුව ගිහිල්ල..අන්තර් ජාලය - තොරතුරු සුපිරි මාවත (ඉන්ටෙර්නෙට් - Information superhighway) අන්න එහෙමයි 1993 විතර අන්තර්ජාලය ලංකාවට ආපු දවස්වල අන්තර්ජාලය කියන්නෙ මොකක්ද? ඒකෙං ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවද? කියල හඳුන්වල දුන්නු ජාතික රූපවාහිනී වැඩසටහනක අන්තර්ජාලය හඳුන්වල දුන්නෙ. 

වැඩ සටහනේ නම "අන්තර්ජාලය ඔබේ නිවසට" මෙහෙයවූයේ ටී.එම්.ජී.චන්ද්‍රසේකර... ඒ දවස්වල මට මතක විදිහට රූපවාහිනියෙ වැඩ සටහන් සම්පාදකවරෙයෙක්. එයාට තමයි අර මතකද ආචාර්ය මර්වින් සිල්වා රූපවාහිනියට පැනල යකා නටල ගැහුවෙ එහෙම. ඒ වෙනකොට එයා රූපවාහිනියෙ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ද කොහෙද...

හරි ආයම බ්ලූම්ෆීල්ඩ් එකට ආවොත් අපි අන්තිමට ඒ වචනෙ තේරුම අහගත්තෙ අපේ ඒ දවස්වල ඉංග්‍රීසි මාස්ටර් මිස්ටර් නෙල්සන් මෙන්ඩිස් මහත්මයාගෙන්. අපි එක අවුරුද්දක් (අවුරුද්දක් කිව්වට මාස හතරක් විතර ඇත්තම කිව්වොත්) ඒ ලෙවල් වෙනුවට සමගි පෙරමුණු ආණ්ඩුවෙ නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව හඳුන්වා දීපු ජාතික උසස් අධ්‍යාපන සහතිකපත්‍ර පංතියෙ ඉගෙන ගත්තනෙ. ඒකට කෙටියෙන් කිව්වෙ H.N.C.E. කියල. විෂයයන් අටක් තිබ්බ. ඉංග්‍රීසිත් එක විෂයයක්. අපිට ඉංග්‍රීසි ඉගැන්නුවෙ නෙල්සන් මෙන්ඩිස් මහත්මයා. එතුමා වඩාත්ම ප්‍රසිද්ධ දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට. ඒ කිට්ටුවම වගෙ එතුමා ගුරු සේවයෙන් ඉවත්වෙලා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් කළමණාකාර වගෙ තනතුරකට ගියා. එතුමාගෙ වැඩිමහලු සහෝදරය තමයි ආනන්දෙ උගන්නපු ලයනල් මෙන්ඩිස් මහත්මයා.

ඔන්න බලමු තණකොළ පිට්ටනියෙ පිපිල තිබ්බ උඳුපියලිය මලෙන් පටන්ගත්තු කතන්දරේ අන්තිමට කොහෙ කොහෙ ගිහිල්ලද නතර උනේ? නැද්ද?..මෙහෙම කතා ලියන එකට සමහර උදවිය පඳුරු තලනවයි කියලත් කියනව.. ඒත් මම වඩාත්ම කැමති අර තිස්ස අබේසේකර මහත්මය එතුමාගෙ හරිම අපූරු පොතකට දාල තියන නම දාන්න මේ වගෙ කතන්දර ශෛලියකට.."අයාලේ ගිය සිතක සටහන්."..හෙහ්..හෙහ්...හෙහ්..

46 comments:

  1. පිටැන්න කිව්වට මේ අඩි පහක් වගෙ පළල එතින් ගියාම අඩි හතළිහක් වගෙ පළල කෑල්ලක්.

    ඔන්න Quantity surveyor කෙනෙක් වර්ග පලයද මොකක්ද එක විස්තර කරන හැටි.

    ReplyDelete
    Replies
    1. kumra,

      වරද පෙන්වාදීම පිළිබඳව සහ එමෙන්ම ඉතා සාවධානයෙන් කියවීම පිළිබඳව ඔබට මගේ ස්තූතිය! :)

      Delete
    2. අපි දන්න කුමාර කෙනෙක් ද? 🤔

      Delete
  2. ඉතාල කතාව හින්ද අමෙක මතක් වෙන්න ඇති මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. Ajith,

      ඉතාලි කතාව????

      Delete
    2. මොකද්ද මම ලිව්වේ කියල මටම කියව ගන්න බැහැ , ෆේස්බුක් එකේ ඉතාලි කතාවක් වෙන්න ඇති

      Delete
  3. සෑහෙන තරමක් කියවනකල් මට අර වචනෙ කියවුනේ ම "ගල් බෝලයක්" කියල නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. මමත් සෑහෙන දුරක් කියවනකම් හිතාගෙන හිටියේ ගල් බෝතලයක් හොයන්න ඔච්චර දුර යන්න උනේ මොකද කියලයි. කොහොම උනත්, ලේ වල ඇල්කොහොල් ටිකක් හරි තියන අයට ඔය වචනයේ මිසිං වෙලා තියන "ත" යන්න ඇඟෙන්ම එනවා වාගේ!

      Delete
    2. ඕක පාරම්පරික, සංසාරගත පුරුද්දක්...

      Delete
    3. Drackey & Sam,

      අඩේ එහෙම හිතාගෙනද කියෙව්වෙ?....

      ගල් බෝල නැතිවුනාට ඒ ගල්බෝල සයිස් එකේ ඉඹුල් කිරිබත් ගෙඩි දහයක් දොළහක් විතර හදාගෙන ඇවිල්ල තිබ්බ අපේ මිස්ටර් නිදි...හප්පේ එකක් කාගත්තෙත් බොහොම අමාරුවෙන්..ඉතුරු වෙච්චි හතර පහක් අපේ ෆ්‍රිජ් එකේ දාල තිබිල අමතක වෙලා මාසෙකට විතර පස්සෙ දැක්කෙ..අපරාදෙ...

      Delete
    4. ගල් බෝල ගැන කොහෙද තිබ්බේ, රවියයි නිදියි තව මම දන්නේ නැති සිරිබිරිස් කෙනෙකුයි ගල් බෝතලයක් හොයන්න රෑ පානේ ගිය හැටි නෙවේද තියෙන්නේ

      Delete
    5. ආාාන්න තවත් සාමාජිකයෙක්...

      Delete
    6. නෙද්දකිං මම දාන්න අපු කොමෙන්ට් එක මේ වල් දැති හුලහ දාලනෙ. අම්මපෝයි මටත් ඒක කියවුනේම ගල් බොතලයක් කියලනෙ.

      Delete
    7. Dracky, sam, Ajith & Prasanna,

      බොලා ඔක්කෝටම දෙයියංගෙ හාල් කැවිල...You all have eaten God's rice..No other explanation I can think of...

      Delete
  4. සන්තෝසයි ආයේ අකුරු ටිකක් කියවන්න ලැබුණ එකට..

    ReplyDelete
    Replies
    1. Kush,

      මොනව කියනවද මල්ලි? මටත් සතුටුයි මොකව හරි ලියාගත්ත එකට...:)

      Delete
  5. මම මුල ටික කියවලා කල්පනා කලා ගල් බෝතලයකුයි රදළ කුලයේ කාන්තාවන් දියේ ගිල්වන එකයි අතරේ තියන සම්බන්ධය ගැන. පස්සේ මම හිතුව, "ගල් බෝතලයක් කිවුවට ඒක පෞරාණික මත්පැන් බෝතලයක් වෙන්න ඇති, කෙනෙකුව දියේ ගිල්වා මරණ එක වගේ දරුණු දෙයක් සිහියෙන් ඉඳන් කරන්න අමාරු නිසා, මරණ දඬුවම දෙන තැනැත්තා පොඩි ෂොට් එකක් දාගන්නවා ඇති" කියල. පස්සෙ මීටර් වෙලා මම ආපහු කියෙවුවා ඔක්කොම. ඔන්න බලන්නකෝ ඔබතුමාගේ දණිස් දෙක වගේ මගේ ඇස් දෙකත් වයසට ගිහින්.

    ඒක නෙවෙයි, ඔය සංඝාරාම වල වැසිකිළි ගල් වල තියන කැටයම් ගැන අපිට සාමාන්‍ය පෙළ චිත්‍ර වලට ඉගැන්නුවා. එතකොට කියපු විදියට, සංඝාරාම වල අනිත් කොටස් වල කැටයම් නැතිලු. වැසිකිලි ගල් වල ගොඩක් සැරසිලි තියනවලු. ඒකෙන් පෙන්නන්නේ, අපේ ලෞකික ජීවිතය තුල අපි දකින, විඳින සුඛ විහරණ, සැරසිලි හා ඒවාට ඇති කරගන්නා බැඳීම්, හරියට වැසිකිළි අපද්‍රව්‍ය වගේ බැහැර කළ යුතු, හොඳක් නැති, දෙයක් බව ලු. පාඩමේ තිබුණු විදියට, ලෞකික ජීවිතයේ නීරස බව තමයි මේකෙන් කියවෙන්නේ. ඉතිහාසය හා සෞන්දර්යය හොඳින් දන්නා කෙනෙක් ඉන්නවා නම්, මේක තව ලස්සනට පැහැදිලි කරලා දෙයි. :)

    උදේ පාන්දර උඳුපියලිය පාගන එක හොඳයි කියලා මමත් අහලා තියනවා. හැබැයි අර සෑනා කියන සතා ගැන නම් අහල නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක්ස් මානවික්ස්,

      හප්පේ දකින්ට ලැබුණු එකත් සතුටක්..ඉතිං කොහොමෙයි? සෝ හව්..හව්? Are you enjoying the indefinite total lockdown?

      /කෙනෙකුව දියේ ගිල්වා මරණ එක වගේ දරුණු දෙයක් සිහියෙන් ඉඳන් කරන්න අමාරු නිසා, මරණ දඬුවම දෙන තැනැත්තා පොඩි ෂොට් එකක් දාගන්නවා ඇති" /

      අහ්..ඒක නියම අදහස...

      /ලෞකික ජීවිතයේ නීරස බව තමයි මේකෙන් කියවෙන්නේ. /

      අඩේ මම එහෙම කතාවක් ඔය ඇහුවමයි..ඒ ගැන ඇත්තටම අහන්න ඕන මගෙ සංස්කෘතික ත්‍රිකෝණයෙ වැඩ කරන කාලෙ හිතවත්තු කාගෙන් හරි..

      /හැබැයි අර සෑනා කියන සතා ගැන නම් අහල නෑ./

      අපි එක පාරක් මල ගෙදරක ගියා වළස්මුල්ලෙ...එහෙ දවල්ට කන්න ලෑස්තිකරල තිබ්බෙ අල්ලපු ගෙදර..ඒ ගෙදර හිටිය බූල් බහුල පූස් තඩියෙක්..ඌට ඒ ගෙදර කට්ටිය කිව්වෙ සෑනා කියල...:)

      Delete
    2. //සෝ හව්..හව්? Are you enjoying the indefinite total lockdown?//

      Not really enjoying, but surviving the lockdown hehe.

      //අපි එක පාරක් මල ගෙදරක ගියා වළස්මුල්ලෙ...එහෙ දවල්ට කන්න ලෑස්තිකරල තිබ්බෙ අල්ලපු ගෙදර..ඒ ගෙදර හිටිය බූල් බහුල පූස් තඩියෙක්..ඌට ඒ ගෙදර කට්ටිය කිව්වෙ සෑනා කියල...:)//

      ඒ පූසගෙ නම "සෑනා" වෙන්නැති මයෙ හිතේ. :D

      Delete
    3. මානවිකා,

      නෑ බං අපි පස්සෙ අපේ යාලුවගෙන් ඇහුව ඒ පැත්තෙ පූසන්ට විසේසයෙන් මයිල් බහුල තඩි පූසන්ට කියන්නෙ සෑනා කියලලු.

      Delete
  6. ඇති යන්තම්...කාලෙකට පස්සේ මේක දැකල නිකන් බ්ලුම්ෆීල්ඩ් ගතියක් ආවා එක පාරටම....

    රවියයි, ප්‍රාජේයි, නිදීයි එක්ක ඔය වගේ රස්තියාදුවක් යනවා කියන්නේ හෙන ආතල් ගමනක් වෙන්න ඇති...

    බ්ලුම්ෆීල්ඩ් කියන වචනේ ඔය ක්‍රීඩා සමාජේ ගැන ඉස්සර ලංකාවේදී අහපු දෙයක් ඇර අද තමා ඇහුවේ සහ තේරුම දැනගත්තේ...

    කොහොම උනත් උඳුපියලිය පෑගුවට පස්සේ හරි අර පුවක් ලෙඩේ හොඳ වුනොත් ඇති...



    ReplyDelete
    Replies
    1. Pathum,

      /රවියයි, ප්‍රාජේයි, නිදීයි එක්ක ඔය වගේ රස්තියාදුවක් යනවා කියන්නේ හෙන ආතල් ගමනක් වෙන්න ඇති.../

      ආය මොනවද නියම ජොලි ගමන..නිදි කියන්නෙ කතන්දර පැක්ටරියක්....

      යනකං එනකල් අනික් තුන්දෙනා නිමල්ට නෝන්ඩිය දැම්ම අර ඒ කාලෙ තමයි ගොට්ට ජනාදිපතිවෙලා තාප්පවල චිත්‍ර අඳින රැල්ලක් රටපුරා පැතිරිල ගියේ..මහරගම නිදිලගෙ ගෙවල් කිට්ටුව එහෙම චිත්‍ර ඇඳපු කොල්ලො කට්ටියකට නිදි මාළුපාං සීයකුයි රෝල්ස් සීයකුයි අරගෙන ගියාය කියල..

      ඒක මරු කතාව..ඉඳහංකො ඒ චාරිකාව ගැන ලියනකොට සවිස්තරව ලියන්නං...

      /කොහොම උනත් උඳුපියලිය පෑගුවට පස්සේ හරි අර පුවක් ලෙඩේ හොඳ වුනොත් ඇති.../

      පුවක් එෂැණිං ලෙඩේ නේද?...:)

      Delete
  7. පිටැන්න අදමයි ඇහුවෙ.
    කෝ ඉතිං බ්ලූම්ෆීල්ඩ් කියන්නේ මක්කැයි කිව්වයැ.
    දම්පැහැ මලින් පිරි තණනිල්ල, a field carpeted with blooming violets
    තවත් උදුපියලිය වර්ගයක් තියෙනවා කහ පාට මල, කොළ පියළි දම්පාට වර්ගයත වඩා ටිකක් ලොකුයි.

    ReplyDelete
    Replies
    1. Mr. Deen,

      /පිටැන්න අදමයි ඇහුවෙ./

      පිට්ටනියට පිටැන්න කියල කිව්වෙ මම මහවැලියෙ ඉන්න කාලෙ හිටපු අපේ බොස් කෙනෙක්..කොට්ඨාශ කළමනාකාර මහතෙක්...උන්නැහැගෙ ගම ඇවිල්ල ඔය දකුණෙ ගොන්නෝරුව දිහාවෙ.. තව මනුස්සයගෙ තිබ්බ අපූරු වචන සැට් එකක්..අපි බතකුයි සම්බලේකුයි කියල කියන එකට එයා කියන්නෙ බතකි සම්බලකි..එතකොට ඉදලකි කොස්සකි...

      /කෝ ඉතිං බ්ලූම්ෆීල්ඩ් කියන්නේ මක්කැයි කිව්වයැ./

      ඇයි මම කිව්වනෙ ..මේ තියෙන්නෙ..

      /ඔහොම පුංචි පුංචි මල් පිපිච්ච පිට්ටනියකට ඉංගිරිසියෙන් කියන්නෙ බ්ලූම්ෆීල්ඩ් (Bloomfield) කියල...(උඩ පින්තූරෙ බලන්ටලාකො...)/

      /දම්පැහැ මලින් පිරි තණනිල්ල, a field carpeted with blooming violets/

      දම්පාට මල් කතාවක් මට අහුවුනේ නෑනෙ..එහෙමනම් උඳුපියලිය මල් තියෙන්නෙ බ්ලූම්ෆීල්ඩ් එකකම තමයි..:)

      Delete
  8. අතීත කතා ලියන කියවන එකට මමත් බොහොම ප්‍රිය කරනව .මොකද කියන්නෙ ඒකෙන් nostalgia ව විදින්න පුළුවන් නිසා .
    තවත් අතිතාවර්ජන ලියනවනම් හොදයි .

    ReplyDelete
    Replies
    1. town arachchi,

      ඔබ හරි..අතීත මතක කියන්නෙ හරිම සුන්දරයි..මිහිරි අමිහිරි මතකයන් දෙවර්ගයම...සෝක සැනසුම් වේදනාවන්..කියලනෙ කියන්නෙ...හෙහ්..හෙහ්...

      ස්තූතියි මහත්මයා..තව ලියන්නම්...ලියන්නම්..

      town arachchi කිව්වහම මට මතක්වෙන්නෙ මහවැලියෙ තනතුරක් තිබ්බ Town Officer කියල.සිංහලෙන් නගර නිලධාරී...දෙහිඅත්තකණ්ඩියෙ ටවුන් ඔෆිසර් හිටියෙ මගෙ හොඳ යාලුවෙක්..අපි ඌට කිවෙ "ටවුමා" කියල..

      Delete
  9. කාලෙකට පස්සේ මෙහෙ ආවා...

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      වෙල්කම් වෙල්කම්..

      ආ..මේ ඒක නෙවෙයි..සම්ටයිම්ස් මම කොළඹ පැත්තෙ එවෙයි ලබන මාසෙ විතර..අර උඹේ මොකක්ද පොටි බිරියානිද මක්කද එකක් කන්න එන්නං හොඳද? තාම වැඩේ කරගෙන යනවනෙ නේද?

      මම ඒත් හැමදාම වගෙ ප්‍රවෘත්ති බලනකොට හිතනව ඔන්න අදනං යයි..

      "මෙන්න බ්‍රේකිං නිව්ස්..පිළියන්දල ප්‍රදේශයේ කිසිදු සනීපාරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකොට ඉතාම අපිරිසිදු ලෙස පවත්වාගෙන ගිය කේටරිං සර්විස් ස්ථානයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා එහි හිමිකාරිය යැයි කියාගන්නා තැනැත්තියක් සහ තවත් සිව් දෙනෙකු අත් අඩංගුවට ගනී. මෙහිදී මෙම තැනැත්තිය එහෙම කොහොමද ඔයගොල්ලො මාව ඇරෙස්ට් කරන්නෙ? මම ජනප්‍රිය බ්ලොග් රචිකාවියක් යයි පවසා පලායාමට උත්සාහ කල නමුදු ඊට මහජන සෞඛ්‍ය පරීක්ශකවරු ඉඩ නොදුන්හ.."

      ඔන්න ඔහොම නිව්ස් එකක් යාවිය කියල මම හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්නෙ...හෙහ්..හෙහ්..

      Delete
    2. හක හක ...ආච්චිගේ සෙද්ද තමා...

      Delete
  10. මං පොඩි කාලේ අපේ මිදුලේ සෑහෙන්න තිබුණා ඇඹුල් ඇඹිලිය. ඒකේ ආවේ පොඩි කහ පාට මලක්. අයියා මේ කියලා තියෙනවා වාගේ තමයි, කොළ පාට ඇතිරිල්ල උඩින් පුංචි කහ මල් පිපුණාම, හරි ලස්සනයි.

    ගල් බෝලය මටත් මුළින් පෙනුණේ ගල් බෝ'ත'ලය වගේ තමයි. බාගයක් දුර කියවලා, ආයෙ මුළ ඉඳං කියවගෙන එන්න වුණා හරියටම කතාව ආපහු හිතේ මවාගන්න. :D :D :D

    'අන්තර්ජාලය ඔබේ නිවසට' වැඩසටහන මට මතකයි. වැඩසටහනට එන හැමෝම ඒ නිවේදක මහත්මයාව ආමන්ත්‍රණය කළේ 'ටීඑම්ජී' කියලා. ඒ ඇරෙන්න, ගුවන් විදුලියෙත් හැම සතියෙම විකාශය වුණා 'ඉන්ටනෙට් සම්පත් භාවිතය' කියලා වැඩසටහනක්. ඒ වැඩසටහන් දෙකම ඒ කාලේ අපේ ගෙදර නොවැරදීම බලන, අහන වැඩසටහන් දෙකක් වුණා.

    'අයාලේ ගිය සිතක සටහන්' මේ දවස්වල අපේ නගා කියවන පොත. මාත් කියවන්න හිතාගෙන ඉන්නේ. මේවා තමයි අයියෙ 'නිදහස් සිතුවිලි'. මෙහෙම ලියමන් කියවන්න අපි හරි කැමතියි. 🙂

    ReplyDelete
    Replies
    1. /මං පොඩි කාලේ අපේ මිදුලේ සෑහෙන්න තිබුණා ඇඹුල් ඇඹිලිය./

      අපි පොඩි කාලෙ අපේ මිදුලෙත් තිබ්බ පළාතක්ම වහගෙන ඇඹුල් ඇඹිලිය..මම පොඩි කාලෙ ඔව්ව කන්ට හරිම ආසයි..

      අපෙ අත්තම්ම දැක්කම ඉතිං කෑගහනව.."ඔව්ව ඔහොම්මම කන්ට එපා සුට්ටි පුතේ..හෝදල කන්ට..බල්ලො බළල්ලු හුජ්ජ කරලත් ඇති.."

      "හරි හරි අත්තම්මෙ කෑගහන්ට එපා ඉතිං..මම හෝදන්නං.."

      "හෝදනව තමයි..බඩේදි වෙන්ට ඇති හෝදන්නෙ..දැං බඩේ අමාරුවක්වත් හැදුනහම අම්මගෙං මට තමයි බැණුං අහන්ට වෙන්නෙ.." අත්තම්ම සුටු පුටු ගගා කියව කියව මා දිහාට එනව..

      /ගල් බෝලය මටත් මුළින් පෙනුණේ ගල් බෝ'ත'ලය වගේ තමයි/

      යකෝ මේක මාර කෙළියක්නෙ..බොලා ඔක්කොටම ඒක පෙනිල තියෙන්නෙ ගල් බෝතලය කියලද එතකොට?

      /'අන්තර්ජාලය ඔබේ නිවසට' වැඩසටහන මට මතකයි./

      අපේ වයසෙ හුඟක් අය ඉන්ටනැට්ට ගැන දැන ගත්තෙ ඔය වැඩසටහනෙන් තමයි..TMG අපූරුවට ඒක කලා..:)

      /'අයාලේ ගිය සිතක සටහන්' මේ දවස්වල අපේ නගා කියවන පොත. මාත් කියවන්න හිතාගෙන ඉන්නේ./

      තිස්ස මහත්තයගෙ තව අපූරු පොත් දෙකක් තියනව "Roots,reflections & reflections" සහ "In my kingdom of the sun and the holy peak" කියල

      /මේවා තමයි අයියෙ 'නිදහස් සිතුවිලි'. මෙහෙම ලියමන් කියවන්න අපි හරි කැමතියි. ��/

      ඒක තමයි අනේ...තව කප්පරක් හිතේ තියනව...වීසා කැන්සල් වෙන්නෙ ඉස්සර ලියල දාන්න ඕන..:)

      Delete
  11. මෙච්චර පැහැදිලිව බෝලය කියන එක කට්ටිය බෝතලය, බෝතලය කියලා කියෙව්වෙ රවීගෙ reputation එකේ හොඳකම නේද (just kidding).

    ReplyDelete
    Replies
    1. Lotus,

      ඒකනෙ බොලේ කියන්නෙ..:)

      අපි මහවැලියෙ ඉන්න කාලෙ ජීප් එකක් යනව සතියකට සැරයක් බඩු ගේන්න කදුරුවෙල..ඕකෙ ඩ්‍රයිවර්ට අපේ උයන්ට හිටිය ගෝලය (ගෝලය කිව්වට පොරට වයස 45 වගෙ ඇති) සල්ලිදීල බුදුසරණ පත්තරයක් ගේන්න කියල..ඩ්‍රයිවර්ට පත්තර කඩේට ගිහාම නම අමතක වෙලා සරණ කෑල්ල විතරක් මතකයිලු.

      ඒ පාර පොර හිතල මේ මාස තුනකට සැරයක්නෙ ගෙදර යන්නෙත් (චෙක් රෝල් හිටපු කම්කරුවො ඒ කාලෙ ගෙදර යැව්වෙ මාස තුනකට සැරයක්..ඒකට කියන්න් සර්විස් කඩනව කියල) මේයකා ගේන්ට කියන්න ඇත්තෙ නවසරණ වෙන්නැති කියල ඒකක් ගෙනල්ල..(නවසරණ කියන්නෙ ඒ කාලෙ තිබ්බ ඔය ලිංගික ක්‍රියාකාරකම් ගැන තියන පත්තරයක්)

      ඩැනිය (ඩැනිය කියන්නෙ අපේ ගෝලය) අර ඩ්‍රයිවරයගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර බැන්න සතියක් විතර..:)

      Delete
  12. අනේ රවී මහත්තයෝ, කොරෝනා ආවේ නැතිනං මම ආයෙ පාරක් හරි හඟුරන්කෙත යනවමයි.... අම්මපා. එදා මිෂන් එක අසාර්ථක වුණාට වැඩිය දුකයි තවමත් අහන කතන්දර අටෝරාශීය ගැන.

    නෙවිල් අපේ ගෙදරට ආව වෙලාවක් මම උන්දැට බලෙන්ම හරි ඔයාගේ මේ පෝස්ටුව කියවන්න සලස්වනවා. ඊට පස්සේ මට ෂුවර් ඒ හාදයා ඔයාව හම්බ වෙන එයි... මට මඩ ගස්සවන්න.

    දෙසැම්බර් 23 දෙල්තොට WindLoft එකට ගියා ඔයාලගේ ඉසව් පහු කරගෙන.

    මගේ කීර්ති නාමය ආරස්සා කරගන්ඩ ඕනි නිසා ඔන්න දැන්මම දිවුරා කියනවා, අවුරුදු 25කට විතර ඉස්සර මං වහන්සේ දස්කොන් ගැන තොරතුරු හොයන්ඩ හඟුරන්කෙත ගියාමය. හඟුරන්කෙත වැව ගොඩ කරන වෙලාවේ, වැවෙන් ගොඩ දැමූ රවුම් මටසිලුටු තඩි ගල් බෝලයක් දැක්කාමය. ඒ විස්තර මට කියූ ලොක්කා දැන් ආයෙම ඉපදිලා 15 පැනපු හාදයෙක්වත් වෙන්ට ඕනිය. ගල් බොලේ තිබ්බේ හඟුරන්කෙත පන්සල ඉස්සරහ ගෙවල් පේලියේ ගෙදරකය. ඒ ගෙදර ඒ දවස්වල දර මඩුවකුත් තිබුණේය.(ඒ සේරෝම විස්තර ඒ දවස්වලම මගෙන් කියැවුණේ ප්‍රකට කාටූන් ශිල්පී- අංජන ඉන්ද්‍රජිත් මහතාටය. දස්කොන් කතාව උන්නැහේගෙ'පිවිතුරු' පත්තරේට ලියන්නට කිව්වේ එයාය.) මේ පොස්ටු කියවන, කමෙන්ට්ස් කියවන ඒ පැත්තේ තොරතුරු දන්නා කෙනෙකු ඉන්නවා නං, මෙන්න වැන්දා.... ඒ ගැන හොයා බලා දන්වන්ඩ කියා ඉල්ලමි...(සීරියස්ලිමය.)

    සිරිබිරිස් උන්නැහේ, අර ලොක්කාගේ කතාව තිබුණු මිනි ටේප් පටිය අහන්ඩ පුළුවන් තත්තවෙකට ගන්න ඇහැකි වුනාද කියලත් දැන් නම් අහන්නටම වෙනවාය.

    රවී මහත්තයෝ, බනිස් අරන් ගිය කතාව ලියනවා නම්, කියන්නම ඕනිය. ඒ තාප්පයේ එක කෙළවරක ඇඳපු චිත්‍රවලින් කොටු හතරපහක් දැනටම මකා දමා ඉවරය. අනෙක් කොනේ බාගෙට ඇඳපු ඒවා තවමත් එහෙමමය. මට වෙන්නෙම අලකලන්චිය! ගිහින්-ගිහින් බෙල්ල තියන්නෙම දුවන කෝච්චියකටය!

    ReplyDelete
    Replies
    1. නිදි,

      උඹැහෙලා මෙහෙ ආවෙ පහුගිය 2019 උඳුවප් මහේ විසිදෙවන ඉරුදිනය. ඊට දවස් තුනකට පසු එළඹුනු නත්තල් දොහේ රෑ අපේ ගෙදරට අල්ලාපු ගෙදරට අල්ලාපු ගෙදර සිටි මහතෙක් මියගියේය. 1990ට කතාකලේ මමය. ඉන්පසු ඒ මහතාගේ මෘත දේහය ගිලන් රථයට පැටවීමටද ගිලන් මැස්සේ පැත්තක් ඇල්ලුවේ මාය.ඒ වනවිටත් ඔහු මියගොස්ය.

      නමුත් ඔහුගේ ඥාතීන්ට ඒ බව නොකියා මෘත දේහය පේරාදණිය රෝහලට අරගෙන ගියේය. අපේ නිවස ඔබට මතක ඇතැයි සිතමි. පාරේ සිට සෑහෙන උසකින් පිහිටි අපේ නිවස සේම එම මියගිය මහතාගේ නිවසද පිහිටියේ දැඩි බෑවුමකය. ඒ බෑවුම දේගේ මෘත දේහය පහලට ගෙන එද්දී ගිලන් මැස්සේ ආන්තිය වැඩිවී මනුස්සයා බිමටම පත බෑවුනි. හොඳ වෙලාවට ඝ්නාතීන් කිසිවකු එය දැක්කේ නැත.

      ඒ කතාවද ඔබතුමාගේ සුමට ගල් බෝල සොයා යෑමේ කතාව ලියා ඉනික්බිති ලියන්නට සිතා සිටිනවාය. ඒ මෘත දේහයේ කතාව මතක් වුනේ එවුන්දෑගේ මලගමේ වර්ෂ පූර්ණ නිමිත්තෙන් අපිටද කේක් යනාදිය එවා තුබුනු නිසාය ( ඒ උදවිය කතෝලිකයෝය )

      ඒ කේක් කමින් අපේ ගෙදර උන්දෑ "අනේ අවුරුද්දකුත් ගියාද ඒ මරණෙ වෙලා? ඒයි මතකද ඊට දවස් දෙකතුනකට ඉස්සෙල්ල නේද අර ඔයාගෙ බ්ලොග්ද මොනවද කෙහෙම්මලක් ලියන යාලුවො හතර දෙනෙක් කොළඹ ඉඳල ආවෙ? අර ඉඹුල් කිරිබත් එහෙම ගෙනාවෙ?" කියා ඇසූ නිසාය..

      Delete
    2. හොඳ වෙලාවට ඒ නෝනා මහත්තයාට ෆ්රයින් ෆෑන් එකේ හැදූ මාළු ඇඹුල් තියල් කතන්දරේ මතක නැතිවා වගෙයි! පොත් කාමරේ අස් කරලා ඉවරයිද කියලාත් අහනවාට කමක් නැහැනෙ... රවී.

      Delete
  13. ඔය වැසිකිලි වලවල් වල එකේක ජාතියෙ කැටයං දාන්නෙ ඒ කාලෙ ඕක ඇතුලෙ ගිහිල්ල ඔබන්න දැං වගේ ස්මාට් පෝං තිබ්බෙ නැති නිසා රෙන වෙලාවට ඔය කැටයං දිහා බලාගෙන මනෝ පාරක් දාගෙන ඒ වැඩේ ආතල් එකේ කරන්නය කියල ඔහේට හිතෙන්නැද්ද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..හාමුදුරු ගොල්ල එහෙම වැඩ කරයිද බාං?..සෙක්...

      Delete
  14. ඒ කාලෙ නයිටීඑන් එකේද කොහෙද 666 කියල ටෙලි නාට්ටයක් තිබ්බය ඒකෙ ත්‍රිබල් සික්ස් කිත්ත කියල පොරක් හිටියය ඒකගෙ වැඩ මේමය කියන ටික මේ පෝස්ට් එක දාන්න ඔහේට මිස් වෙලා රවි අයියෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      666 කියල ටෙලි චිත්‍රපටයක්නම් මතක නෑ බං..ඒත් ෆිල්ම් එකක් නම් මතකයි "666 The child" කියල. බයිබලයෙ 666 කියන්නෙ සාතන්ගෙ අංකයලු. සාතන් වැහිච්චි යක්ස කොලුවෙක් ගැනයි ඒ කතාව. ඒකෙ මුල් කොටස් දෙක "The Omen" සහ "Damien Omen 2"

      Delete
    2. එහෙම නාට්ටියක් තිබ්බා... මට මතක විදියට ගෙදර ඇඩ්රස් එක 666... ඉස්සර දවල් ටීවී එකේ ගියා .. ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ඕක දාගෙන බැලුවා මතකයි... කතාව මොකක් ද කියල නම් කිසිම දෙයක් මතක නැහැ .. හැබැයි බැදපු මාළු එක්ක බත් කාපු හැටියි කාපු බත්වල රහයි නම් තාමත් දැනෙනවා වගේ ... හෙහ් හෙහ් ..

      Delete
    3. තිබුණා එහෙම නාටකයක්. ගමන, ප්‍රමාද වැඩියි නාට්‍ය ටයිප් එකේ, ඒ වගේ ම නලු නිලියෝ හිටපු එකක්

      Delete
  15. සිතක අයාලේ ගිය සටහන්!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...