Thursday, May 21, 2015

විශ්වයම නිහඬ වූ මොහොතක.....

Painting - Danny O'Conner

රෑ පුරා ගුගුරමින් ඇද වැටුනු වර්ෂාව හිමිදිරියත් හා සමඟ තුරල් කල නමුදු විටින් විට සුළඟත් සමඟ මුසු වී වැගිරෙන පොද වැස්ස අවම වශයෙන් වරුවක් පමණ හෝ පැවතේයයි සාලයේ ජනේලයෙන් ඉවත බලා සිටින ඔහුට එක්වරම හැඟිණි.

මුහුණ දී සිටින තත්වයේ බැරෑරුම් ස්වභාවය අනුව වර්ෂාව වරුවක් පවතීද දවස පුරා පවතීද වැනි වෙනත් දිනයකදී කිසිසේත්ම හිතට නොගන්නා ප්‍රශ්නයකට පිළිතුරක් සෙවීමට තම සිත උත්සුක වීම එක්වරම ඔහුගේ දෙතොලට සිහින් සිනහවක් ගෙන ආවේය.

" හෙහ්, වරුවක් වැස්සත්, දවසම වැස්සත්, හත් දොහක් වැස්සත් මට මොකද? " ඔහු තොලමැතිරීය.

එහෙත් එක් අතකට එහි අරුමයක්ද නැත.ජීවිතයේ අතිශය බැරෑරුම් අවස්ථාවන්ට මුහුණ දෙනවිට කොතෙකුත් ඒ ගැන මෙනෙහි කිරීමෙන් මානසික සමබරතාවය ගිලිහී යා නොදී රැක ගැනීමට මෙවන් නොවැදගත් දේ සම්බන්ධව මෙනෙහි කිරීමට සිත පෙළඹීම නිරායාසයෙන් සිදුවන්නක් බව කොහේ හෝ කියවූ මතකයක් ඔහු සිතට නැඟිනි.

එක්වරම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහු ඉක්මන් ගමනින් නිවසේ එකම නිදන කාමරයට ඇතුලු විය. තනි ඇඳක්, කුඩා මේසයක් හැරෙන්නට එහි වූයේ මුල්ලකට හේත්තු කල අඩි තුනක් පමණ උස් තැනින් තැන රසදිය අවපැහැ ගැන්වුනු රාමුවක් රහිත කන්නාඩියක් පමණි.

කන්නාඩිය ඉදිරියේ සිටගත් කල දර්ශනය වූයේ සිරුරේ උදර ප්‍රදේශය දක්වා පමණක් වුවද, අවශ්‍ය කාර්යයට ඒ හොඳහැටි  ප්‍රමාණවත් වූ බැවින්, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැතිව, කැඩපතෙහි පිලිබිඹු වූ තම ප්‍රතිබිම්බය පරීක්ෂාකාරීව නරඹා අව පැහැගැන්වුනු සුදු පැහැ කමිසය හොඳින් කලිසමට යට කොට සකස් කරගත් හෙතෙම අවසන් වරට කාමරය සිසාරා බැල්මක් හෙලූයේ කිසිවක් අතපසු නොවූ බව ස්ථිර කොට ගැනීමටය.

දොර අගුළු දමා යතුර ඒ අසලම වූ ජනේලයෙන් නිවස තුලට වීසිකොට පහත් වී ඉදිරිපිල මත වූ අබලන් කළු පැහැති කාන්තා කුඩයක් අතට ගත් තරුණයා මද වැස්සේම කුඩය දිගහැර නිවෙස ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය කරා දිවෙන අතුරු මාර්හයට පිළිපන්නේය.

අතුරු මාර්ගය ප්‍රධාන මාර්ගය හා හමුවන ස්ථානයේ පිහිටි තෝස කඩය වෙනදා මෙන්ම බොහෝ ජනාකීර්ණ ස්වභාවයක් ඉසිලීය. එදෙස නොබලා පියමං කිරීමට උත්සාහ කලද, තෝස කඩයෙන් නිකුත්ව, තෙත් බරිත උදෑසන වායු ගෝලයට එක්වන වඩේ බැදෙන විට තෙල් තාච්චියෙන් නිකුත්වන නැහැය සිය දහස්වරක් විඳ සුපුරුදු සුවඳ මුලින් ඔහුහේ ගමන් වේගය බාලකොට අවසන ඔහු නතර කරවීය.සිත කැළඹවූ අවිනිශ්චිත හැඟුම් සමුදායක ප්‍රතිඵලයක් පරිදි නිකුත් වූ දිගු සුසුමකට පසු ආපසු හැරී තෝස කඩයට ඇතුලු වී තම සුපුරුදු කෙළවර අසුනට බරදුන් ඔහු ඉදිරියේ තෝස දෙකක් සම්බල සහ වඩ දෙකක් කෙසෙල් කොලයක තැබූ රිදී පැහැ තැටිය වේටර් කොලුවා ගෙනවිත් තැබුවේ ඇණවුමකින් තොරවමය.

බොහෝ වේලාවක් ඒ දෙස නිසොල්මනේ බලා සිටි ඔහු කැබලි වලට කැඩූ වඩ හා මිශ්‍ර කොටගත් සම්බල සමඟ ඉතාමත් සෙමෙන් තෝස අනුභව කලේ හැකිපමණ වේලාවක් ආහාර ගැනීම උදෙසා ගත කිරීමට ඉටාගත් කලෙක මෙනි.

තෝස කඩයෙන් පිටවූ ඔහුගේ කුස පිරී තුබූ අතර දකුණතෙහි කඩදාසි බෑගයක බහාලූ වඩ දෙකක් විය.

මේ වන විට වර්ෂාව නැවතී තිබුනු නමුදු, ඔහු අබලන් කුඩය තවමත් ඉහලාගෙන සිටියේ උඩුකය තෙත් වේදෝ යන බියෙන් ද, නැතහොත් මුලු ලොවෙන්ම සැඟව සිටීමේ අටියෙන් ද, එසේත් නැතහොත් මේ අරමුණු දෙක නිසා ද, යන්න දැන සිටියේ ඔහුම පමණකි.

ප්‍රධාන මාර්ගයෙන් හැරී සුවිසල් අතු පතර විහිදී ගිය මාර ගසින් සෙවණ ලැබූ පටු මඟකට අවතීර්ණ වූ ඔහු, පසුකර යන කිසිවකු දෙස නෙත් යොමු නොකොට බිමට හරවාගත් නෙතින් යුතුව, සමාන පරතරයෙන් යුතුව, රිද්මයකට පා තබනා සොල්දාදුවකුගේ ගමනින් පියවර තබන්නට විය. වරින් වර හමන සුළඟින් අතු පතරින් ගිලිහුනු වැහි බිඳු, පොද වැස්සක් මෙන් කුඩය මත පතිත වුවද ඒ ඔහුට ඇසුණිද නො එසේනම් දැනුණිද යන්න පවා සැක සහිතය.

පටු මඟ අවසානයේ වූයේ නගර මධ්‍යයේවූ උද්‍යානයෙහි පසුපස දොරටුවයි.අඩක් විවෘතව තිබූ දොරටුවෙන් උද්‍යානයට පිවිසි ඔහු, උද්‍යානය හරහා පසුපස දොරටුවේ සිට ප්‍රධාන දොරටුව දක්වා දිවෙන, කළුගල් ඇල්ලූ පෙත් මඟ ඔස්සේ පෙර ලෙසම සොල්දාදු පියවරින් ගමන් කල නමුදු, පියවර තබනා සංඛ්‍යාතය මෙන්ම පියවර දෙකක් අතර දුර ප්‍රමාණයද ක්‍රමයෙන් අඩාල වූයේ ඔහු ද නොදැනුවත්වමය.

උද්‍යාන මධ්‍යයෙහිවූ, හිරු මඬල ගිනිගෙන දැවෙන මධ්‍යාහ්නයෙහි පවා අඳුර පූර්ණව පහව නොයන,රූස්ස තුරු වදුලට වටා ගමන් කරන පෙත් මඟ, තුරු වදුලේ එහා අන්තයේදී තරමක් පළල් වී උද්‍යානයේ ඉදිරිපස මාර්ගයට විවෘතවන ප්‍රධාන දොරටුව දක්වා දිව යයි.

තුරු වදුලෙන් නිබඳ නැඟෙන කපුටු නාදය ද වැසි බර කාළගුණය හේතුකොටගෙන ඇසුණේ ඉඳහිටය. පෙත් මඟෙහි නැම්මට ළඟාවූ ඔහු, එක්වරම නැවතී යාර පණහකට පමණ ඔබ්බෙහි පිහිටි, උද්‍යානයේ ප්‍රධාන දොරටුවට මුහුණ ලා, තුරු වදුල අද්දරම සවිකර තිබූ ගලින් කල ආසනය දෙස නෙත් හෙලීය. ප්‍රධාන දොරටුව දෙසට මුහුණ ලා හිඳ සිටින ඇයගේ ගෙල සහ හිසෙහි පසුපස කැරළි ගැසුනු කෙස් වැටිය දෙස අනිමිස ලෝචනයෙන් මොහොතක් බලා සිටි ඔහු, දීර්ඝ සුසුමක් හෙලා සෙමින් පා නඟමින් පෙත් මඟ ඔස්සේ ගොස් ,ඇය අසලම ආසනයෙහි හිඳ ගත්තේය.

හිස සෙමෙන් හරවා ඔහු දෙස නෙත් යොමු කල ඇගේ සහ ඔහුගේ නෙත් එකිනෙක පැටළිනි.

සෙමින් සුරත දිගුකොට ඇගේ වමත අල්ලාගත් ගත් ඔහු ඒ තම උකුල මතට ගෙන පිරිමදින්නට වූයේ, ඇගේ වත වෙත යොමුවූ දෑස ඉන් මුදාගෙන උද්‍යානයෙහි ප්‍රධාන දොරටුව වෙත යොමු කරමිනි.

ඇයද නැවතත් ඇගේ දෑස එදෙසටම යොමු කලේ ඔහුගේ සුරත දැඩිව මිරිකා ගනිමිනි.

තව නොබෝ වේලාවකින් මේ ප්‍රධාන දොරටුවෙන් පිටවී, ඔහු ඇගෙන් සදහටම වෙන්වී යන බව ඔවුන් දෙදෙනම දැන සිටියහ.

වැහි වලාවකට මුවා වී තිබූ හිරු එක් වරම ඉන් මිදුනෙන්, කහ පැහැ මළානික ආලෝකයක් උද්‍යානය පුරා විහිදී ගියේය.එක් වරම ඇගේ අත අත්හල ඔහු, ආසනය මත තිබූ තෙල් පැල්ලම් ගැහුණු කඩදාසි බෑගය ඈ වෙත දිගු කළේය. විමසුම් බැල්මක් හෙලමින් ඒ සුරතට ගත් ඇය එතුලට අත යවා වඩයක් පිටතට ගෙන ඉන් කැබැල්ලක් ඔහු වෙත දිගු කලේ පපුවෙන් නැඟ ආ ඉකියක් වලක්වා ගනිමිනි.

ඔහු සෙමින් දෙපසට හිස වැනූයේ සුසුමක්ද හෙලමිනි. ඇසට නැඟි කඳුලක් පිස දැමූ ඈ, නැවතද ඔහු වෙත වඩේ කැබැල්ල දිගු කලාය. එවර ඇගේ දෑස දෙස මොහොතක් බලා සිට ඔහු ඒ අතට ගත්තේය.

" දුක් වෙන්න එපාය කියන්න මට අයිතියක් නෑ.....මම ඒක දන්නව...ඒත් අපි මුල ඉඳන්නම දැනගෙන හිටිය මේ අපෙ ඉරණම කියල...... මම ඔයාට අපේ මේ කතාව ඉවර වෙන්නෙ මේ විදිහටයි කියල අනන්ත වාරයක් කියල ඇති, "

ඔහු කතා කලේ අතෙහි තැවරුනු තෙල් කඩදාසි බෑගයෙහි පිසදමමිනි. එහෙත් ඉන් සිදුවූයේ බෑගයෙහි වූ තෙල් ඔහු අතෙහි තැවරීමයි. නොරිස්සුමින් නලල රැළි කොට අත්ල විහිදුවා ඒ දෙස මොහොතක් බලා සිටි ඔහු අත්ල එකිනෙක පිරිමදින්නට වූයේ ඈ දෙස බලා යලි මද සිනහවක් පාමිනි.

යම් අනපේක්ෂිත දෙයක් සිදු වූ කල ඔහුගේ දෑස් සිහින්වී නළල රැළි ගැසෙන අන්දම හොඳින් පුරුදු ඇයට ද නොදැනුවත්වම සිනහවක් පහල විය.

වළාකුළු එකින් එක පහව යමින් තිබූ අතර ඒ අතරින් පෙරී ආ හිරු එළිය මදින් මද අඳුර දුරු දුරු කිරීමට තැත් දැරීය.

" මම දන්නව.....මම ඒ ඔක්කොම දැන ගෙන තමයි හිටියෙ මුල ඉඳල.........ඒත් එහෙමෙයි කියල ඒ වේදනාව අඩු වෙන්නෙ නෑ......ඒ වේදනාව දරා ගන්න බෑ............ඒකෙ වෙනසක් නෑ........." 

ඇගේ දෑස නැවතද කඳුලින් බර වන්නට වූයෙන් ඈ දෑස තදින් පියා ගත්තාය. තදින් පියවුනු ඇසිපිය අතරින් ගිලිහුණු කඳුළු බිඳු දෙකක් කොපුල් තල දිගේ රූරා බසින්නට වූයෙන් ඈ නොඉවසිල්ලෙන් ඒ පිටි අත්ලෙන් පිස දැම්මාය.

එක්වරම තිගැස්සුණු ඈ මඳ සිනහවක් පාමින් ඔහු දෙස බලා තම නෙරා ආ උදරයට අතක් තබා ගත්තාය.

" දැනුනද ? " 

ඔහු ඇසුවේ පහත්වී ඇගේ අත මත තම අත තබා රහසින් කොඳුරමිනි.

ඇය තවමත් සිනහ තැවරි දෙතොලින් යුතුව හිස වැනුවාය.

" ඔව් දැන් දවස් තුන හතරක ඉඳල......"

නැවතත් නිහඬ තාවයේ වෙලී ගිය මිනිත්තු කිහිපයකට පසු, ඔහු වෙත ඇදී ආ ඇය උරහිසෙහි හිස හොවා ඔහුගේ දෑතම තරයේ අල්ලා ගත්තීය.අපරිමිත සෙනෙහසින් පහත්වූ ඔහු ඇගේ නළලත සෙමින් සිප ගත්තේය.

මෙතෙක් මද පමණ හෝ රැස් විහිදූ හිරු, නැවත කළු වළාවකට වැසී නොපෙනී ගියේය. එක්වරම හමා ආ සීතල සුළං රැල්ලක් ඔවුන් ගතෙහි හිරිගඩු නංවා ලීය.ඈ තවත් ඔහුට තුරුළු වූයේ නැවත කිසිදිනෙක ඔහු අත් නොහරින ලෙසකින් වුවද ඒ මොහොතකට සිතට සුව දෙන මායාවක් බව ඔවුන් දෙදෙනාම නොදැන සිටියේ නොවේ.

මහා භද්‍ර කල්පයක් සේ ඔවුනට දැනුනු මිනිත්තු දහයක පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය.

එක වරම ජංගම දුරකථනයක් නාද වන රාවයක් මතුවූයේ ඔහුගේ කලිසම් සාක්කුවෙනි.

ඇගේ හිස සෙමින් ඉවත් කල හෙතෙම දුරකථනය අතට ගෙන ඇමතුමට කන් දුන්නේය.

එක් වරක් පමණක් ඔහුගේ මුහුණ බැලූ ඇය, තම උකුල මත රැඳි දෑත දෙස නෙත් යොමු කර ගත්තීය.

ඇමතුමට බොහෝ කාලයක් ගත නොවිනි. මිනිත්තුවකටද වඩා අඩු කාලයකදී " හරි " පැවසූ ඔහු දුරකථනය ක්‍රියා විරහිත කොට සාක්කුවේ ඔබා ගත්තේය.

ඉනික්බිති අවසන් වරට ඇය වැළඳ ගත් ඔහු, ඇගේ නලලත ද, පහත්වී උදරය ද සෙමින් සිපගෙන ආසනයෙන් නැගිට, ඇගේ දිලිසෙන දෑස දෙස මොහොතක් බලා සිටියේය. පුදුමයකට මෙන් ඇගේ දෑස දීප්තිමත්ව බැබලුනේ කඳුළු වලින් නම් නොවේ.හඬන්නට තවත් කඳුළු ඉතිරිව නොමැත්තේද නැතහොත් කඳුළු හෙලීමෙහි කිසිදු අරුතක් නොමැති බව ඈ වටහා ගත්තේද යන්න හරි හැටි කිව නොහැකි නමුදු ඇගේ දෑසෙහි මේ වනවිට කඳුළු වියළී තිබිණි.

" මම ඔයාට ආදරෙයි " ඔහු ඇගේ දෑසට පැවසීය......." එදා ඔයා දැක්ක මුල් දවසෙ ඉඳල අද වෙනකල්.........මගෙ ජීවිතේ තියනකල්......." මෙහිදී ඔහුගේ හඬ මඳක් වෙව්ලා ගිය නමුදු ඔහු නැවත විගස මහත් ආයාසයකින් හඬ පාලනය කොට ගත්තේය....." නෑ මම මැරුණට පස්සෙත් මම ඔයාට ආදරෙයි........"

" මමත් එහෙමයි ...." ඇයද සිහින් හඬින් පැවසූයේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටිමිනි.

ඔවුන්ගේ දැහැන බිඳ දැමූයේ උද්‍යානය වටා දිවෙන ප්‍රධාන මාර්ගයේ ඈත කෙළවරින් ඇසෙන්නට වූ වාහන අනතුරු හැඟවීමේ සයිරන් නලා නාදයකිනි.

වාව්......වාව්...වාව්......වාව්...වාව්......වාව්,

වහා ඒ දෙස හැරී බැලූ ඔහු, නැවත  හිස හරවා ඇය දෙස  මොහොතක් බලා සිට, ඇයට පිටුපා ප්‍රධාන දොරටුව දෙසට සෙමින් පියවර තබන්නට විය.

එක දිගටම නැගෙමින් කෙමෙන් කෙමෙන් ආසන්න වන ඒ අප්‍රියකර මූසල නාදය මධ්‍යයේ සෙමින් පියවර තබමින් ඔහු ඇගෙන් වෙන්ව යනු ඇය බලා සිටියාය.ඇසිපිය නොහෙලා බලා සිටියාය.

උද්‍යානයේ ප්‍රධාන දොරටුව අසල වූ සිව් මං සල අසලදී, සියලුම වාහන අනිවාර්යයෙන්ම වේගය අඩාල කල යුතුය. ප්‍රභූ ආරක්ෂක රියපෙළ, වේගය අඩුකරගනිමින් සිව් මංසල වෙත ළඟා වෙමින් තිබිණ. ප්‍රධාන දොරටුවෙන් පිටවූ ඔහු පදික වේදිකාව කෙලවරට ළඟා වූයේ, හරියටම රිය පෙළ එතැනට පිවිසෙනවාත් සමඟමය.

අසුරු සැනකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය........... සවන් බිහිරිකරවන ඒ දැඩි නිහඬතාවය මධ්‍යයේ ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙනා හඬ පමණි. ඇයට ඇසුණේ ඔහුගේ හද ගැහෙනා හඬ පමණි.

ඇය අසුන්ගෙන සිටි ආසනයට සෙවන දුන් තුරු ගොමුවෙහි, උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය.

දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය.

ඉන්පසු සෙමින් හිඳ සිටි අසුනින් නැඟිට, උද්‍යානයෙහි ප්‍රධාන දොරටුව අසල කෙමෙන් උත්සන්න වන ව්‍යාකූලතාවයට පිටුපා, අඩ හෝරාවකට පමණ පෙර ඔහු පියනැඟි පෙත්මඟ ඔස්සේ සෙමින් සෙමින් පිය මනින්නට වූවාය.


***************************************

යුද ජයග්‍රහණයේ හයවෙනි සැමරුමත් එක්කල ත්‍රස්තවාදීන් ගැන පොදුවේ ලොකු කතාබහක් ඇතිවෙලා තියනව මේ දවස්වල. මේ මම කාලෙකට ඉස්සර ලියපු ත්‍රස්තවාදියෙක් ගැන කතාවක්.

26 comments:

  1. /අසුරු සැනකදී කාලය නැවතී ගියේය..........විශ්වයම එක් වරම නිහඬ විය/

    කියවද්දී බිඳුවකට හද නතර විය!

    ReplyDelete
    Replies
    1. මලිති,

      ස්වයං ඝාතක බෝම්බකරුවකුගේ අන්තිම දවසෙ ඒ මනුස්සයට නැත්නම් ගැහැණියගෙ හිතේ මොන වගෙ හැඟීම් ඇතිවෙයිද කියන ප්‍රශ්ණෙ මගෙ හිතට සෑහෙන කාලයක් වද දුන්න. සාමාන්‍යයෙන් ඔය කියන විදිහට ඩ්‍රග්ස් වලින් හරි වෙන මොනව හරි මත්ද්‍රව්‍ය වලින් හිත අකර්මන්‍ය කරපු පුද්ගලයෙක් ගැන නෙවෙයි මම මේ කියන්නෙ ( අනික එහෙම කිව්වට ඒ කතා හරිද වැරදිද කියලත් කවුද දන්නෙ ) සාමාන්‍ය අපි වගේම ලෙයින් මසින් හැදුනු පෘථග්ජන පුද්ගලයෙකුට.

      මිනිස්සුන්ගෙ අනාදිමත් කාලෙක ඉඳල පැවත එන මූලිකම සහජාශයක් ( Instinct ) ස්වයං ආරක්ෂාව නැත්නම් Self Preservation or Survival. සමහරවිට අනිත් ඔක්කොම සහජාශයන් ඒකට යටයි. ඒ අතික්‍රමණිත සහජාශය ( Over-riding Instinct ) පරදවල තමන් විනාශ කරගන්ට මිනිස්සු පෙළඹෙන්නෙ ඇයි?

      සාමාන්‍ය දිවිනසාගැනීමක් නෙවෙයි මේක.ජීවිතේ එපාවෙලත් නෙවෙයි.යුද්දෙට යනව, එල්ලුම් ගහට නියමවෙලා ඉන්නව වගෙත් නෙවෙයි. Suicide Bomber කියන්නෙ අමුතුම මානසික තත්වයක්. එහෙම කෙනෙකුගෙ අන්තිම දවස ගැන හිතල මගෙ හිතට ආපු අදහස් අකුරු කල ප්‍රතිඵලය තමයි මේ...:)

      Delete
  2. කණ්ණාඩියෙන් බලාගෙන කල අවශ්‍ය කාර්යය මුලදි ගැටලුවක් වුණා. යම් කිසි සමාජ අසාධාරණයක් නිසා වෛරයකින් පසුවුණත් ඒ වෛරය නිසාම මොවුන් උන්මත්තකයන්ගේ මනෝරාජ්‍යය ගොඩනගන්නට බිලිවුණු ඉත්තන් වුණා. මේ හැමෝටම තමන්ගෙ කියලා ජීවිතයක් ආදරයක් තිබිලත් එකම අරමුණකට ඒ සියල්ල බිලිදීම? අනේ මන්දා...
    බොහොම කැමති ආකාරයේ කතාවක්. ප්‍රහේලිකා පුරවපු කතාවලට මාත් කැමතියි. අවසානය නොසිතන තැනකදි සංඛෙතාත්මකව ක්ලයිමැක්ස් එකට ගිහින්. සාරථක හොලිවුඩ් හොරර් ෆිල්ම් එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. මධුමාධවී,

      / යම් කිසි සමාජ අසාධාරණයක් නිසා වෛරයකින් පසුවුණත් ඒ වෛරය නිසාම මොවුන් උන්මත්තකයන්ගේ මනෝරාජ්‍යය ගොඩනගන්නට බිලිවුණු ඉත්තන් වුණා. මේ හැමෝටම තමන්ගෙ කියලා ජීවිතයක් ආදරයක් තිබිලත් එකම අරමුණකට ඒ සියල්ල බිලිදීම? අනේ මන්දා.. /

      ඔබ කියන දේ ඇත්ත.....මෙහෙම දේවලුත් ඒ කාලෙ වෙන්න ඇති. ඒකයි මට කියන්න ඕන කලේ...

      Delete
  3. මේ වගේ ෆිල්ම් එකක් බැලුව මට හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. හැලප,

      සිංහල චිත්‍රපටයක් නම් මම දන්න තරමින් මේ තේමාවෙන් තිබ්බෙ නෑ. හැලප බැලුවෙ ඉංග්‍රීසි එකක්ද?

      Delete
    2. කසුන්.May 21, 2015 at 3:27 PM

      Kannathil muttamittal එකෙත් ඔයිට සමාන දර්ශණයක් තියෙනවා. හැලප බැලුවෙ ඒකද දන්නෙ නෑ.

      http://www.baiscopelk.com/kannathil-muthamittal-2002-sinhala-subtitle/

      Delete
    3. ස්තූතියි කසුන්...:)

      Delete
  4. Replies
    1. එළ ද බ්‍රා මෙන්ඩා,

      වට්ස් අන්ඩර් ද බ්‍රා ද එළම වේවා!!!

      Delete
  5. සෙමින් සුරත දිගුකොට ඇගේ වමත අල්ලාගත් ගත් ඔහු ඒ මත වඩයක් තැබීය කියයි කියලයි මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්...එහෙමත් පුලුවන් තමයි..නේද?

      Delete
  6. 321 මිසින්ග්.. ඒ සමහරවිට කාලෙකට කලින් ලියපු එකක් නිසාද දන්නේ නෑ.. කතාව කියවල්ල ඉවර වෙනකොට මාවත් මිසින්ග්. ඒ සමහරවිට කාලෙකට කලින් අත්දැකපු කුරිරු සංවේදනා නිසාද දන්නෙත් නෑ..
    //දෑස් තදින් පියාගත් වනම බිම බලාසිටි ඇය, දෑස් නොහැරම සුරතෙහි දබරැඟිල්ලෙන් නලලත රැඳුනු තිලකය මකා දැමුවාය//
    ඇට් වචන හොයමින් මොනවහරි කියන්න..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ..

      / 321 මිසින්ග්../

      මොකක්ද බංමේ 321? බොලාගෙ නේවි කෝඩ් එකක්වත්ද?

      Delete
    2. අයියෝ ඔයත් ටියුබ් ලයිට් නේ. අන්තිමට ලියපු පෝස්ට් එකේ අංකේ කීයද මෙයා?

      Delete
    3. කළ්‍යාණ,

      / අන්තිමට ලියපු පෝස්ට් එකේ අංකේ කීයද මෙයා? /

      අම්මට උඩු නයා..පෝස්ට් එකේ අංකය ගැනද ඒ කිව්වෙ? ඔන්න බලපං මට එහෙම හාංකවිසියක්වත් නිහිතිච්ච හැටි අම්මාපල්ල..හෙහ්,හෙහ්,...නෑ බං නොට් අ මිස්ටේක්. මම අන්තිමට කියල තියෙන්නෙ මේ කතන්දරේ කාලෙකට ඉස්සර ලියල පබ්ලිෂ් කරපු එකක්ය කියල. එනිසාවෙන් අංක නොයෙදුවෙමි...:)

      උඹට කියන්ට " 321 Missing " කියල මම සර්ච් පාරකුත් දැම්ම.පංච මහා විලි ලැජ්ජහේ බෑ....හෙහ්,

      Delete
    4. //321 මිසින්ග්.. ඒ සමහරවිට කාලෙකට කලින් ලියපු එකක් නිසාද දන්නේ නෑ..// මටනම් ඒක මිස් උනෙත් නෑ.. අර සර්ච් කතාව මං කාටවත් කියන්නෑ හොඳේ.. (ඕනිමනම් පෝස්ට් එකක් ලියන වෙලාවක පොඩියට මතක් කරන්නම්.. හැක්.)

      Delete
  7. සුයිසයිඩ් බෝම්බකරුවන් වැඩිදෙනා ඔයතරම් සංසුන් මානසික තත්වයක ඉන්න එකක් නෑ නේද?

    පලස්තීන ත්‍රස්තවාදීන් ගැන නම් අධ්‍යයනය කරල තියනව.
    http://science.howstuffworks.com/suicide-bomber4.htm
    අපේ එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. http://www.idsnews.com/article/2014/10/expert-speaks-on-psychology-of-suicide-bombers

      Delete
    2. Pra,

      / සුයිසයිඩ් බෝම්බකරුවන් වැඩිදෙනා ඔයතරම් සංසුන් මානසික තත්වයක ඉන්න එකක් නෑ නේද? /

      එහෙම නැතුව බැහැනෙ ප්‍රා, බොහොම සන්සුන් මානසික තත්වයක හිටියෙ නැත්නම් ආරක්ෂක නිලධාරීන්ගෙන් සහ මහජනයාගෙ ඇස්වලින් ගැලවිලා ඉලක්කයට ලඟාවෙන්නෙ කොහොමද? ඔය කාලෙ අපි හැමෝම බස්වල කෝච්චිවල යද්දි ඇහැ කණ ඇරගෙන ඇලර්ට් එකේ තමයි හිටියෙ. මම දන්නෙ නෑ මම නම් එහෙමයි. ඒ නිසා හිත කලබල මනුස්සයෙක් ටක් ගාල මීටර් වෙනව.මම හිතන්නෙ ඔය ස්වඝාතක බෝම්බ කරුවන්ට එහෙම ඕනම බැරෑරුම් අවස්ථාවක සිත සන්සුන්ව තබාගැනීම ගැන පුහුණුවක් වගෙ දෙන්ටත් ඇති...

      සබැඳි වලට බොහොම ස්තූතියි...Pra... සෑහෙන දෙයක් දැනගත්ත එව්වයින්...

      Delete
  8. අැග හිරිවැටෙන්න ලියලා තියෙනවා..... මේවා අැත්තට ම වෙන්නත් අැති..... මාර ගැලපීමක්.... අගෙයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු ........:)

      Delete
  9. හරිම අපූරුයි..... හිත හිරිවට්ටන සිදුවීමක් උනත් කතාව ලියලා තියෙන අපූරුව නිසාම අද දවසට මේක තුන්පාරක් කියෙව්වා..... මේ කතාවෙ මම දකින විශේෂත්වෙ හැම ජේදකම වගේ තියෙන වචනයක් හරි දෙක තුනක් අවසානයත් එක්ක තියෙන සම්බන්ධතාව.
    අවශය කාර්යට සෑහුන කණ්නාඩිය
    දොර වසා යතුර නැවතත් නිවස තුලටම විසි කිරීම
    වඩේ සුවදට දැක්වූ ප්‍රතිචාරය
    වැස්ස නතර උනත් කුඩය ඉහලාගෙන යාම
    ප්‍රභූ වාහනයට පෙර ආ සයිරන් හඩ
    ඔහුට ඇසුනේ ඇගේ හද ගැහෙන රාවය පමණි
    කපුටන් කෑ ගසා ඉගිල යාම
    නළැලත තිලකය මකා දැමීම

    හ්ම්... කොයි තරම් අපූරු නිර්මාණයක්ද... කුකුළේ ගඟ මතක අමතකම වෙලා ගියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳමාලි..ඔබගේ අගය කිරීම මට මහත් සතුටක්!!!

      Delete
  10. හ්ම්,ස්වයං ඝාතකයෙක්ව ලේසියෙන් නතර කරන්න බැහැ වගේනේ.නැතිනම් තමන්ගේ බිරිඳට හෝ පෙම්වතියට දරුවෙක් ලැබෙන්න ඉන්න කොට වුනත් ඒ ස්වයං ඝාතකයා ක්‍රියත්මක වුනේ එකනේ.
    මම නම් සම්පුර්ණ වශයෙන් විරුද්ධ සංකල්පයක් ඕක.මිලේච්චත්වයේ උපරිම තැනක් තමයි ඔය ස්වයං ඝාතක ක්‍රියාවලිය.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / හ්ම්,ස්වයං ඝාතකයෙක්ව ලේසියෙන් නතර කරන්න බැහැ වගේනේ.නැතිනම් තමන්ගේ බිරිඳට හෝ පෙම්වතියට දරුවෙක් ලැබෙන්න ඉන්න කොට වුනත් ඒ ස්වයං ඝාතකයා ක්‍රියත්මක වුනේ එකනේ. /

      ඇත්තටම මේ වැඩේ අල්ලල දාල දෙන්නත් එක්ක කොහෙහරි යන්ට ඝාතකයටත් හිතෙන්ට ඇති. ඒත් පළිගැනීමේ චේතනාව, එතකොට තමන්ගෙ පරමාර්ථයට කැපවීම, තව සමහරවිට ඝාතකයාගෙන් භාරදුන් කාර්යය හරිහැටි ඉටුකර ගැනීමේ ඇපයක් වශයෙන් රඳවාගන්නා ඥාතීන් වගෙ නොයෙක් කාරණා නිසා ඔහුට තම ඉලක්කය සපුරාගන්නවාට වඩා වෙන දෙයක් කරන්නට නොහැකිවෙන්න පුලුවන් නේද?.. A Thousand and one possible scenarios...

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...