Tuesday, May 12, 2015

318. කුකුළේගඟ මතක - 6 - මට්ටයො, මරං වාඩි, ලිප්ටන්ස් සීට්, හනුමන්තා සහ පිං සිද්දවෙයි අර පල්ලෙහායිං නාපං

ගිය පාර කතාවෙදි හිනිදුමය මෙහෙම කිව්වනෙ.


/ කියන්ට ආවෙ එක දවසක් ආපහු කෑම්ප් එකට එද්දි මට මාර වැඩක් වුනානෙ බොස්. එදා ඔන්න යන්තමට තරු එළිය විතරයි. අමාවකද කොහෙද... මම ඔන්න එනව අර මට්ටයිංගෙ මරං වාඩි තියෙන්නෙ අන්න ඒ හරියෙ. එක පාරටම අර මහ වංගුව පහුවෙනවත් එක්ක මම දැක්ක මා ඉස්සරහට අලියෙක් එනව. /

ඔය මට්ටයො සහ මරංවාඩි ගැන එතන කියන්ට ගියානං හින්නගෙ අලිකතාව කියන්ට වෙන එකක් නැති නිසා මම මෙහෙම කිව්ව.

/ මට්ටයො සහ මරංවාඩි ගැන බොහොම විස්තර කියන්ට තියනව ඒත් අද හිනිදුමයා සහ වල් අලියා කතන්දරේ කියන්ටම ඕන නිසා ලබන පාර ඒ විස්තරේ කියන්නංකො.../

හැලපානියා ඔතානියා එහෙමත් අහල තිබ්බනෙ ඊළඟට මට්ටයො සහ මරංවාඩි ගැන කියනව නේද? කියලත්. එනිසාවෙන් මම කල්පනා කලා ඒ විස්තරේ කියලම ඉමුය කියල.

ඔය අපි හිටපු හරියෙ කැළේ මැදින් පාරක් තිබ්බ සෝමාවතියට. ත්‍රිකෝණමඩුව හරහා වැටිච්ච ඒ පාර ඉවර වෙන්නෙ මහවැලි ගඟේ විල්ලුවකින්. විල්ලුවක් කියන්නෙ ගඟකින් වගෙ වතුර පිටාරගලල ලොකු බිම් ප්‍රදේශයක් නොගැඹුරු විලක් වගෙ උනහම. සෝමාවතියට යන්ට ඔය විල්ලුවෙන් එගොඩ වෙන්ට ඕන. ඔරුවලින් ඔය ගමන යමුය කියලා අපි අනන්ත කතාවුනත් එහෙං හදිස්සියෙම එනකලුත් ඒ ආසාව ඉස්ට කරගන්ට බැරි වුනා. ඔය සෝමාවතිය පාර දෙපැත්තෙම පායන කාලෙ අල්ලල කැළේ වාඩි ගහගෙන දර කපනව ඕඩමාවඩි, කල්කුඩා, වාකරේ දිහා ඉඳල එන මුස්ලිම් මිනිස්සු.

ඒ මිනිස්සුන්ට කියන්නෙ මට්ටයො කියල. මම කොහෙහරි පොතක කියෙව්ව ඔය නැගෙනහිර පළතෙ මුස්ලිම් වැසියන්ට ඔය මට්ට කියන නම පාවිච්චි කරනවයි කියල.මම දකින හැමවෙලේම ඒ හැමෝම අඟල් බාගයක් වගෙ වෙන්ට කොණ්ඩෙ කොටටම කපල හිටියෙ. මට ඔය හිතුනම කොණ්ඩෙ කපනව නම්බර් නෝට් එකට. නම්බර් නෝට් එකට කපන්ට කිව්වම බාබර් දන්නව කොයි ගාණටද කපන්ට ඕන කියල. එතකොට නම්බර් නෝට් තලේ තමයි හෙයාර් ක්ලිපර් එකට දාන්න. මම ඔහොම නම්බර් නෝට් එකට කොණ්ඩෙ කපාගෙන ආහම අපෙ උන්දැකියන්නෙ " ආ..ඔය කපල තියෙන්නෙ මට්ට ගෙඩිය වගෙ ...දැං හොඳයි. හැබැයි කොණ්ඩෙ ටිකක් විතරවත් වැවෙනකල් මා එක්ක එන්ට එපා පාරෙ බැහැල යන්ට. " අන්න එහෙම.

මම පස්සර පැත්තෙ වැඩකලා අවුරුද්දක් තරම.ඒ ඔය කැළේ මැද රස්සාවෙන් අයිං වෙලා ඇවිල්ල කුකුළේගඟටත් පස්සෙං පහු.මගෙ යාලුවෙක් එක්ක තේ පැට්ටරියක් හදන්ට කොන්තරත් එකක් කලා.ඒ 2004 අවුරුද්දෙ. 2004 අප්‍රේල් මාසෙ රනිල් අගමැතිවෙලා හිටපු යූ.එන්.පී. ආණ්ඩුව චන්ද්‍රිකා නෝනා විසිරුවල ඇරල මහ මැතිවරණයක් තිබ්බ මතකයි නේද? අන්න ඒ දවස්වල මම හිටියෙ පස්සර. බහුතර බලය සන්ධානෙට තිබ්බට කතානායක තෝරන චන්දෙන් පත්වුනේ යූ. ඇන්. පී. එකේ විජමු ගොයිය. ඒ චන්දෙදි තමයි ආචාර්ය දුටුගැමුණු සිල්වා අර හෙළ උරුමෙ හාංදුරුවංගෙ අර මොකක්ද එකක් මිරිකල උන්නාන්සෙ ඉස්පිරිතාලෙත් දවස් ගාණක් හිටියෙ.

රයිට්..පස්සර ගැනනෙ කියන්ට ආවෙ. ඉතිං ඔය පස්සර මොණරාගල පාරෙ අපි වැඩ කරපු හරියෙ ( ඒ හරියට කියන්නෙ තොළබෝවත්ත...එතන ඉඳල බඩල්කුඹුරට තියෙන්නෙ කිලෝ මීටර් අටක් දහයක් වගෙ ) ගමේ මිනිස්සු හරිම බයයි මට්ට කොල්ලට. මට්ට කොල්ලයි කියන්නෙ මුස්ලිම් කොලුවෙක් එහෙම නෙවෙයි... යකෙක්. මට්ට කොල්ල දැකපු මිනිස්සු කියන්නෙ මූණ රවුම්, බොහොම අහිංසක පෙනුමක් තියන අඩි දෙකක් වගෙ උස පොඩි එකෙක්ය කියලයි. කකුල් බකල ගගහ එනවලු පස්සෙං, මොනව හරි කියව කියව. එහෙමට දරුණු වැඩ නම් කරන්නෙ නැතිලු.ඒත් මිනිස්සු බය වෙලා අඩිය ඉක්මන් කරල යන්ට යනකොට දුවල ඇවිදිං රවල බලනවලු ඇස් දොඹගෙඩි වගෙ කරගෙන ඒකට බයවෙලා මිනිස්සුන්ට සිහි නැතිවෙනව. ඊට පස්සෙ සෙත්සාන්තියක් කරල තමයි සනීප කරගන්ට වෙන්නෙ.

අපි නැවතිලා හිටියෙ ෆැක්ටරියෙම උඩ තට්ටුවෙ. වැහි අඳුර නැති හඳත් නැති රෑට ඔය ෆැක්ටරියෙ උඩ තට්ටුවෙ ගරාදි වැට ගාවට වෙලා නැගෙනහිර / දකුණ පැත්ත බලාගෙන ඉන්නකොට හිටපු ගමං පේනව ටෝච් එකක් පත්තු කරල අහසට ගහනව වගෙ එළියක්. ටිකකින් ඒ එළිය හෙමීට කරකැවිල ඊට පස්සෙ නැතිවෙලා යනව. ආයම විනාඩි දෙක තුනකින් වගෙ ඒ විදිහටම පේන්ට ගන්නව. ඒ ෆැක්ටරියත් එක්කම පල්ලෙහා තිබ්බ කඩේ මුදලාලි කිව්වෙ ඒ මඩකලපුව පැත්තෙ මූදෙ එළිය කියල. ඒත් ඒ මඩකලපුව පැත්ත වෙන්න බෑ. ඒ එළිය පෙනුනු දිශාව අනුව ඒ එක්කො මහා රාවණා ප්‍රදීපාගාරය හෝ කුඩා රාවණා ප්‍රදීපාගාරය වෙන්න ඕන.

ලංකාවෙ සුප්‍රසිද්ධ ඔබ්සර්වේෂන් පොයින්ට් එකක් නැත්නම් නීරීක්ෂණ ස්ථානයක් තමයි පූනාගල කන්ද මුදුනෙ පිහිටල තියෙන ලිප්ටන්ස් සීට් නොහොත් ලිප්ටන්ගේ ආසනය. ලෝක ප්‍රසිද්ධ ලිප්ටන්ස් තේ ව්‍යාපාරයෙ නිර්මාතෘ ශ්‍රීමත් තෝමස් ලිප්ටන් ඔහුගේ තේවතු අධිරාජ්‍යය නැරඹීමට මේ ස්ථානයට පැමිණියා කියල කතාවක් තියනව. මෙතන ඉඳල මීදුම රහිත පැහැදිලි දවසක නැගෙනහිර, ඌව,  මධ්‍යම සහ සබරගමු පළාත් දකින්නට පුළුවන්. දිස්ත්‍රික්ක නම් 7 ක් කියලත් කියවෙනව. මම එක් වරක් ලිප්ටන්ගේ ආසනයට ගිහිල්ල තියනව. හැබැයි එදා අවාසනාවකට වගෙ මීදුම නිසා එතරම් පැහැදිලි දර්ශනයක් දැක බලාගන්ට බැරිවුනා.චන්ද්‍රිකා වැව, හඳපානාගල, උඩ වලව ජලාශය, වැඩිහිටි කන්ද සහ හම්බන්තොට වරායත් මෙතනට පෙනෙනවයි කියල කියනවා.

View From Lipton's Seat

හරි ආයම මට්ටයො ගැන....:)

ඔය මට්ටයිංගෙ දර වාඩි වලට කියන්නෙ මරං වාඩි කියල. මරං කියන්නෙ දෙමළෙන් දර වලට.මේ මට්ට මිනිස්සු  දිග අං දෙකක්, එතකොට විසාල මොල්ලියක් එහෙම තියෙන සුදුපාට ගොන්නු දෙන්නෙක් බැඳපු බර කරත්තවල නැඟල එවුංගෙ ගම්වල ඉඳල එනව ඔය මම කිව්ව සෝමාවතියට යන පාර අයිනෙ කැළේට. ඇවිල්ල කැළේ ගස් කපල ඒ කොට වේලල කරත්තවල පටෝගෙන අරගෙන යනව. කොට කිව්වට එච්චරම විසාල එව්ව නෙවෙයි ඒ අය කපන්නෙ . වට අඩි දෙක තුන වගෙ එව්ව තමයි උපරිම. මොකද ඔව්ව පළල ගන්නව කියන්නෙ පාන් පෝරණුවලට, එතකොට උයන්ට, දරට අන්න ඒ වගෙ එව්වට.

එක නඩේකට එනව කරත්ත හතළිහක් පණහක් විතර. ඔක්කොම එක ගමක අසල්වැසි කට්ටිය. සීයට අනූනමයක්ම ළඟම නෑදෑයො.ඉතිං එක පාරක් ආපුවාම කැළේ ඉන්නව මාසයක් විතර.කොට කපල වේලල සමහර ලොකු කොට මෙහෙදිම කුට්ටි කරනව. මට්ටයො එනකොට ගමෙන්ම අරගෙන එනව හාල්, තුනපහ, කරවල එහෙම පුලුවන් තරම. වාඩි ගහ ගන්ට පොල් අතුත් අරගෙන එනව.

මට්ටයිංගෙ වාඩි බත පුදුම රහක්. මම හිතන්නෙ එයාලගෙම කුඹුරුවල අළුත්ම වී කොටපු බත් නිසා වෙන්න ඕන. ඒ වගේම තමයි කට්ට කරවල හොද්දකුයි, කීරමින් බැදුමකුයි හදනව පිස්සුම හැදෙනව. කඩල මිටි කිරෙං හින්දවල.... එතකොට හුරුල්ලො කරවල පුච්චල දාපු පොල් සම්බෝලෙ.... මම සහසුද්දෙන්ම දන්නෙ මමයි සෝමෙ අයියයි ( සෝමෙ අයිය තමයි අර මම කාලෙකට ඉස්සර ලියපු ඕලු මලේ කතන්දරේ ප්‍රධාන චරිතය ) සතියකට දවසක් වත් ඔය මරංවාඩිවලින් බත් කාපු හින්ද. සෝමෙ අයියට නියමෙට දෙමළ පුලුවන්. ඒ හින්ද එයාල එක්ක කතාබහ කිරිලි අවුලක් වුනේ නෑ. මට දෙමළ භාෂාව බැරිකම ගැන මම අනන්ත වාරයක් දුක්වෙලා තියනව.අපේම රටේ අපි ඇරුණම අනෙක් ජනවර්ග දෙකේම මව් භාෂාව අපිට අඩුගානෙ කතාකරන්ටවත් බෑ කියන එක ඇත්තටම ලැජ්ජාවට කාරණයක්.

අපි දෙන්නා ඒ කිව්වෙ සෝමෙයි මායි ඔය හවස් අතක යනව මරං වාඩි පැත්තෙ. මරංවාඩි වලට මෙහා පැත්තෙන් තිබ්බ කොන්ක්‍රීට් වලින් හදපු ඇලක්. තවම මිනිස්සු පදිංචි කරල කුඹුරු ඉඩං දීල නැතිවුනාට කුඹුරු කරන කාලෙකට වතුර අරගෙන එන්ට මාදුරුඔය ජලාශෙ ඉඳලම ඇළවල් ඒ වෙනකොටත් හදලයි තිබ්බෙ. මම කලින් දවසකත් කිව්ව ඒ ඇළ මාර්ග හැදුවෙ ZD කියන අමරිකන් සමාගම. ඔය ඇළවල්වල කටකපල වතුර. 

" මල්ලි යමං නාගෙන එහෙම මරංවාඩි පැත්තෙත් ගිහිල්ල එන්ට. …." පිටිපස්සෙං සරම උස්සගෙන උඩට මොකවත් නැතුව තුවාය විතරක් උරේ දාගෙන සෝමෙ අයිය මගෙ කාමරේට එබෙනව. වෙලාව හවස පහමාරට විතර ඇති.

" ඒයි උඹල දෙන්නත් යමල්ල.." වික්‍රමේයි සිරායි දෙන්න ඒ වෙලාවෙ හවස තේ බොනව..

"හා යමං ...හැබැයි මම නං නාල ආපහු එනව..මරං වාඩි දිහාවෙ යන්ට නං බෑ.." වික්‍රමේ කවදාවත් අපි එක්ක මරං වාඩි බත කන්ට ආවෙ නෑ.

" මාත් නාල ආපහු එනව…." සිරාත් කිව්ව. 

සිරා කිව්වෙ සිරිතුංග..ඕකගෙ ගම ඉමදූව. සෝමෙ එක්ක එකටම සෑහෙන කාලයක් තිස්සෙ වැඩ කරපු එකෙක්. සිරා ඒ වෙනකොට බැඳල මාස හයක් විතර ඇති.කොයි වෙලාවෙත් මනෝ පාර ගහගෙන ඉන්නෙ වයිෆ් ගැන හිත හිත.

" යකෝ ඔච්චර මොනවද ඕක ගැන හිතන්ට තියෙන්නෙ? නිවාඩුවක් දාල ගෙදර ගිහිල්ල වර….." සිරා පුටුවෙ දිගාවෙලා උඩ බලාගෙන ඉන්න දිහාවෙ ටිකක්වෙලා බලා ඉඳල සෝමෙ මට ඇහැක් ගහල කියනව.

" නෑ සෝමෙ අයිය. එහෙම දෙයක් නෑ. මම මේ…… මම මේ…..." සිරා ලැජ්ජාවෙන් බිම බලා ගන්නව.

ඒත් මේ ගිය සුමානෙ නැත්තං ඊට කලින් සුමානෙ. රෑට කාල එහෙම සෝමෙයි සිරායි මිදුලෙ වීරගහ යට බංකුවෙ ඉඳගෙන. සෝමෙ විටක් එහෙම ලෝඩ් කරගෙන කතාව. ඔය සෝමෙට කතාකරන්ට තියනවනං අය වෙන මොකවත් ඕන නෑ. විටකුත් කටේ පුරවගෙන එළිවෙනකල් කතා කරයි එක සීරුවට.විටේ හැපෙන්ට හැපෙන්ට ඕකා බෙල්ල නවාගෙන ඔලුව පස්සට ඇලකරගෙන කතාකරන ආකාරය බලන්ට ලස්සනයි. ඉතිං ඔය කියන දවසෙ වික්‍රමෙයි මායි සාලෙ දොර ලඟම ඇඳි පුටු දෙකේ ඉඳගෙන සොලිටෙයර් ගේම් එකක් සෙල්ලං කරනව.සෝමෙ හෙණ කතාවක්. කනේ තිබ්බ වගෙ අපිට ඇහෙනව. සිරා හූ මිටි තිය තිය අහගෙන ඉන්නව.

එදා සෝමයගෙ කතාව එක එක දෙවිවරුංගෙ වාහන ගැන..

" මල්ලි ඔය කතරගම දෙවියංගෙ වාහනේ ඇවිල්ල මොණරා. එතකොට ගණ දෙවියංගෙ වාහනේ මීයා..ඔය වගේ හැම දෙවියෙකුටම තියනව වාහනයක්……"

" හ්ම්ම්ම්ම්……………" සිරා වෙලාවට හූමිටි තියනව. 

" එතකොට ඊස්වර දෙය්යංගෙ වාහනේ…."

" හ්ම්ම්ම්............"

" ගුරුලා කියන කුරුල්ල තමයි……"

" හ්ම්ම්ම්ම්……" සිරාගෙ හූමිටි තිවිල්ල නියමෙට කෙරීගෙන යනව.

වික්‍රමේ හාරත පොරව තිබ්බ හාරත හේරා යටිං ඒ කරල මිදුලෙං සෝමෙගෙ කට අඬ ඇහෙන දිහාවට ඉඟිමරල මා දිහාට නැමුන. " සෝමය බැහැල කතාව දුන්නට සිරා ඉන්නෙ දැං උගෙ ලෝකෙ. ඉමදූවෙ..ඔය හූ මිටි තියන එව්ව හිතල නෙවෙයි කරන්නෙ..ඉබේටම කියවෙන්නෙ.... "

" හිහ්,,හිහ්...ඔව්....ඔව්....ඔව්…." මමත් හිනාවෙලා ඔලුව වැනුව.

එළියෙ සෝමෙගෙ කියවිල්ල දිගටම යනව. සිරාත් අරින්නෙ නෑ හූමිටි තියනව. වික්‍රමෙයි මායි එළියෙ කතාවටත් එක කණක් දාගෙන මෙහෙ කාඩ් ගේම ගහනව. දෙයියංගෙ වාහන වලින් සෝමෙ කොහොමහරි මාරු වුනා රාම-රාවණ යුද්දෙට. 

" රාවණ රජ්ජුරුවො ගිහිල්ල සීතා කුමාරි පැහැරගෙන ආවනෙ………….." 

" හ්ම්ම්ම් "

" ඒ පාර රාම කුමාරය සීතා ඉන්න තැන හරියටම බලාගෙන යන්ට ලංකාවට එව්ව හනුමන්තා………"

ඔන්න එක පාරට සිරා සිහින ලෝකෙන් මිදුනා. " සෝමෙ අයියා……"

" මොකෝ? " සෝමෙ තරහින් වගෙ ඇහුව..මම හිතන්නෙ කතාවට බාදා කලාට සෝමෙ එච්චර කැමති වුනේ නෑ.

" එතකොට සෝමෙ අයියා හනුමන්තා කාගෙ වාහනේද? "

සෝමෙට මම හිතන්නෙ උතුර දකුණ මාරුවුනා.." හනුමන්තද? හනුමන්ත  උඹෙ අම්මගෙ වාහනේ. "

සෝමෙ දිඩිස් ගාල නැඟිටින්ඩ ඇති බංකුවෙං..මම කලින් කිව්වනෙ ඒ බංකුවෙ එක පැත්තක ඉඳගෙන ඉන්න මනුස්සය එක පාරට නැඟිට්ටොත් බඩුම තමයි ලෑල්ල පෙරළිල අනික් පැත්තෙ ඉන්න එකාගෙ පස්ස බිම ඇනෙන එක ඇනෙනවමයි. සෝමේ අයියා කියල සිරා කෑගහනවත් එක්කම දිඩිං ගාල කවුරුහරි බිම ඇදගෙන වැටෙනව ඇහුන. ඒ එක්කම සරමත් පිටිපස්සෙං උස්සගෙන සාලෙ හිටිය අපි දෙන්න දිහාවත් නොබලම සෝමෙ අයියා දිඩි දිඩි ගාල උගෙ කාමරේට ගිහිල්ල ඩීං ගාල දොර වගගත්තු පාර මුළු සාලෙමත් එක්ක හෙල්ලිල ගියා. සොලිටයර් ගේම අතෑරල දාල වික්‍රමෙයි මායි තත්පර තිහක් විතර මූණෙං මූණ බලාගෙන හිටිය. ඊට පස්සෙ ඇස් වලින් කඳුළු පයිනකල් හිනා වුනා.

ඉතිං ආපහු යමු නාන්ට ගිය කතාවට....

" ඒයි උඹල දෙන්නත් යමල්ල………" වික්‍රමෙයි සිරායි දෙන්න ඒ වෙලාවෙ හවස තේ බොනව..

" හා යමං ...හැබැයි මම නං නාල ආපහු එනව..මරං වාඩි දිහාවෙ යන්ට නං බෑ." වික්‍රමේ කවදාවත් අපි එක්ක මරං වාඩි බත කන්ට ආවෙ නෑ. 

" මාත් නාල ආපහු එනව………." සිරාත් කිව්ව.

" හරි හරි ඕන එකක් කරපල්ල..උඹල නාල ආපහු වරෙල්ලකො. වීරෙයි මායි මරංවාඩි වාඩි පැත්තෙ ගිහිල්ල එන්නංකො..නැද්ද මල්ලි? " සෝමෙ මං දිහා බලල හිනාවුනා.

කුඹුරු තාම කෙරෙන්නෙ නැතිනිසා ඔය කොන්ක්‍රීට් ඇලේ වතුර පාවිච්චි වෙන්නෙ නෑ. ඒ හින්දම හැමෝම නාල වතුර ජරාවෙනව. ඇල කෙළවර පොඩි හොරොව්වක් තිබ්බ. හොරොව්ව කියන්නෙ වතුර පිටකරන ගේට්ටුවක් වගෙ එකට. ඕකෙ ඉබියතුරු අපි ඉල්ලගෙන තියාගෙන හිටියෙ. ගේට්ටුව උස්සල අපිරිසිදු වතුර යන්ට ඇරල ආයෙම ගේට්ටුව පාත් කලාම පැය බාගයක් වගෙ යනකොට අලුත්ම වතුර ඇලේ ආයෙම පිරෙනව කට මට්ටං.

අපි නෑවෙ මේ වගෙ ඇළක
එදත් අපි හොරොව්ව ඇරල වතුර හිස්කරල ආයෙම හොරොව්ව වහල ඇළේ වතුර පිරෙනකල් ඇළ ඉවුරෙ වාඩි වෙලා ඔහෙ කයියක් ගහගෙන හිටිය.සෝමෙ අයිය ඔන්න හිටපු ගමං නැඟිටල හෙමීට කැළේ පැත්තට ගියා. 

" ඔය කොහෙද දන්නවද ඕකා ගියෙ?" වික්‍රමේ ඇහුව. 

" සෝමෙ අයිය ඔය ගියේ ජංගල් බොගක් දාන්ට…" සිරා හිනාවෙලා කිව්ව. 

සෝමෙගෙ ගෙවල් ඔය රාජාංගනේ පැත්තෙ බොහොම පිටිසර දිහාවක. පොඩි කාලෙ එවුං වැව්පිටිවල එහෙම බොග දාල තියෙන්නෙ. ඒ හින්ද දැං උනත් ඔය කැළෑවක එහෙම රෙන්ට චාන්ස් එකක් ආවොත් සෝමෙ අත අරින්නෙ නෑ. 

" මල්ලි හුලං පාරක් එහෙම වැදි වැදි තුත්තිරි ගහක් ගලවල දත් දෙක අස්සෙ හිරකරගෙන වැව් පිටියක නැත්තං ලන්දක රෙනකොට තියෙන ආතල් එක මල්ලි දන්නෙ නෑ මල්ලි " සෝමෙ අයිය එහෙමයි මා එක්ක කියන්නෙ.

" හා එහෙමද? වෙලාවක මාත් එහෙම කරල බලන්ට ඕන.." මමත් ඉතිං එහෙම කියනව…

ඉතිං කැළේ පැත්තෙ ගිය සෝමෙ ආපහු එනකොට ඇළේ වතුරත් පිරිල අපි ෆුල් ආතල් එකේ බැහැල නානව.

" කොහෙද සෝමෙ අයිය ගියේ? ……." දෙතුං පාරක් වතුරෙ ගිලිල මතුවෙලා මම කෑගහල ඇහුව.

" නෑ මල්ලි මම අර මරං වාඩි පැත්තට ගියා නිකමට වගෙ "

" ආ මේ සෝමෙ අයියෙ ....මරං වාඩි පැත්තට ගියාට කමක් නෑ උඹ ඔන්න මේ හරියෙං එහෙම වතුරට බහින්ට එපා. පිං සිද්ද වෙයි... අන්න අර පල්ලෙහායිං නාපං " සිරා එහෙම කියල සබං ගාන්ට ගොඩට ගියා. 

වික්‍රමේටයි මටයි නේද? හිනා වෙලා වතුර පෙවෙන්නෙ නැතුව බේරිච්ච එක ඇති!!!


**************************

කුකුළේගඟ මතක කියල ටයිටලේ තිබ්බට දැං මේකෙ ලියවෙන්නෙ වෙන අනං මනං. ඒත් ඇත්තටම කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ මගෙ අත්දැකීම් ගැන ලියන්ටයි මම මේ ලිපි පෙල පටන් ගත්තෙ. කුකුළේ ගඟ තමංගෙ ගම් ප්‍රදේශය වෙච්චි කෙනෙක් ඒ වගෙ මුල්ම කුකුළේ ගැන ලිපියට අපූරු කමෙන්ට් එකක් ලියල තිබ්බ. ඒ තමයි සුරංග. ඊට පස්සෙ සුරංගත් බ්ලොග් එකක් ලියන්ට පටන්ගෙන. යාං හෑලි ඒ බ්ලොග් එකේ නම. හරි මම විස්තර කියන්ට ඕන නෑ ඕගොල්ලොම ගිහිල්ල බලන්ට එහෙනං.

81 comments:

  1. /* කුකුළේගඟ මතක කියල ටයිටලේ තිබ්බට දැං මේකෙ ලියවෙන්නෙ වෙන අනං මනං. */

    මා දන්නා තරමින් කුකුළේ ගඟ කියන්නේ කළු ගඟේ අතු ගංගාවක්. ඒක ගිනිගත්හේන පැත්තේ ඉඳලා ගලාගෙන ඇවිත් මතුගම කලවාන අතර තියෙන කුකුළේගම හරහා ගිහින් කළු ගඟට එකතුවෙනවා.

    මං හිතන්නේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටිය රූගත කළේ කුකුළේ ගඟ අයිනේ කියළයි. මං එතැනට ගිහින් තියෙනවා. ජීවිතේටම රා බීපු එකම දවස එදා. මං හිතන්නේ බ්‍රෝඩ්ලන්ඩ්ස් ද මොකක්ද ප්‍රොජෙක්ට් එකක් තිබුණා.

    අපි පොඩි කාලේ මතුගම කුකුළේගම හරහා කලවානට යන්න බෑ. බස් එක කුකුළේගමින් අවසානයි. එතැනින් පාරුඬක නැගලා ගඟෙන් එහොඩ වෙලා අනිත් පැත්තේ හරියටම ඒ වෙලාවට නවත්වලා තිේ‍රන බස් එකේ නැගලා සැතපුම් හතරක් දුර තියෙන කලවානට යා යුතුයි. මේ නිසා අපි පොඩි කාලේ කලවානේ ආච්චීලා ගේ ගෙදර ගියේ රත්නපුර හරහායි. රත්නපුර සිට කලවානට දුර සැතපුම් විසිතුනයි.

    ReplyDelete
    Replies
    1. රසික, බ්‍රිජ් ඔෆ්ද රිවර් කවායි රූ ගත කලේ කිතුල්ගල. යටියන්තොටට ටිකක් එහා. වයිට් රාෆ්ටින් වලටත් ප්‍රසිද්ධයි. ඒ හරියෙන් ගලන්නෙ කැළණි ගඟ.

      Delete
    2. ඔය පාලම හදපු තැන මම බලන්න ගියා වෙන ට්‍රිප් එකක් යන ගමන් මේ තියෙන්නේ විස්තරේ
      http://biththiya.blogspot.com/2013/05/2.html

      Delete
    3. රසික,

      / මං හිතන්නේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටිය රූගත කළේ කුකුළේ ගඟ අයිනේ කියළයි. මං එතැනට ගිහින් තියෙනවා. ජීවිතේටම රා බීපු එකම දවස එදා. මං හිතන්නේ බ්‍රෝඩ්ලන්ඩ්ස් ද මොකක්ද ප්‍රොජෙක්ට් එකක් තිබුණා. /

      ක්වායි ගඟේ පාළම චිත්‍රපටයට අදාල පාළම ඉදිකරල තියෙන්නෙ කැළණි ගඟේ ශාඛාවක්වන මස්කෙළිඔය හරහා. බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය ඉදිවෙන්නෙත් ඒ කිට්ටුවම.අප්‍ර කුකුළේ ගඟ ව්‍යාපෘතියෙ සේවය කරද්දි එහෙ වැඩ කරපු සේවකයින්ගෙ ලොකු බලාපොරොත්තුවක් තිබ්බ කුකුළේගඟ ව්‍යාපෘතිය කරපු ස්කන්ස්කා සමාගමටම ඉහළ කොත්මලේ සහ බ්‍රෝඩ්ලන්ඩ්ස් දෙකෙන් එකක් හෝ ලැබෙයි කියල. ඒත් ඉහළ කොත්මලේ ජපන් සමාගමකටත් බ්‍රෝඩ්ලන්ඩ්ස් චීන සමාගමකටත් ලැබුනෙ.

      ක්වායි ගඟේ පාළම චිත්‍රපටය වෙනුවෙන් ඉදිකල පාලමේ ආකෘතියක් විදුලි බල මණ්ඩලය විසින්යලි ඉදිකරන්නට යනවයි කියල මේ ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා.

      Delete
    4. මාධවී,

      ඔය හරියෙ වයිට් වෝටර් රාෆ්ටිං කරනව පෞද්ගලික සමාගම් දෙක තුනක්ම.

      Delete
    5. පැතුම්,

      හෙහ් උඹල ගියේ හුනස් ෆෝල්ස්ද? මගෙ යාලුවෙක් ඕකෙ හනිමූන් ගිහිල්ල බාත් රූම් එකේ දොර ලොක් කරගෙන අන්තිමට මේන්ටනන්ස් එකෙන් ඇවිල්ල දොර ඇරියෙ. උං දෙන්න අවුරුදු දහයක් වගෙ ලව් කරල බැන්ද නිසා කෙල්ල දන්නව බුවා කවුද කියල. ප්‍රොපෝසල් එකක් එහෙමනං දීගෙ අතෑරෙන්නෙ එදාමයි..හෙහ්,හෙහ්,

      Delete
    6. ///අපි පොඩි කාලේ මතුගම කුකුළේගම හරහා කලවානට යන්න බෑ. බස් එක කුකුළේගමින් අවසානයි. එතැනින් පාරුඬක නැගලා ගඟෙන් එහොඩ වෙලා අනිත් පැත්තේ හරියටම ඒ වෙලාවට නවත්වලා තිේ‍රන බස් එකේ නැගලා සැතපුම් හතරක් දුර තියෙන කලවානට යා යුතුයි. ///

      කකා, මේ කියන්නේ කොයි වකවානුවෙද. කුකුළේ තියෙන පාළම හැදුවේ ඔය කියන කාලෙට පස්සෙද.
      මම දන්න කාලේ කුකුළේ ගඟ හරහා පාලම පාරු දෙකක් තිබ්බා. ඒ "මෝල්කාව" කියන ප්‍රදේශයේ. එතනින් යන්න පුළුවන් මෝල්කාව හරහා බුලත්සිංහල පැත්තට. ඒ පාරේම තමයි පාහියන්ගල තියෙන්නෙත්.
      දැන් ප්‍රධාන පාලම් පාරුව ඉවත් වෙලා හොඳ පාලමක් සහ කාපට් පාරක් පහළ වෙලා තියෙනවා.
      හන්දිය කිට්ටුවම තිබ්බ අනෙක් පාලම් පාරුව අදටත් තියෙනවා. මම ටික දවසකට කලින් ඒකෙ නැගල ගියා යාළුවෙක්ගේ වැඩකට.

      ඉස්සර කුකුළේගඟ ප්‍රොජෙක්ට් එක කරන්න කලින් බස් ගියේ මොල්කාවට විතරයි.
      එතනින් එහා මාකෙළි ඇල්ල බලන්න එහෙම යනවනම් කැලේ මැද්දෙන් යන පොඩි අඩි පාරක් තමයි තිබ්බේ.
      කෙලින්කන්ද ට බස් තිබුනට ඒවා ආවේ කලවාන පැත්තෙන්. ඒ බස් එක නතර කරන තැන ඉඳලා සෑහෙන දුරක් පයින් එන්න තිබුනා ඒ පැත්තෙනුත් දිය ඇල්ල බලන්න යනවනම්...

      Delete
    7. අපි ගියේ ටි-ෆැක්ටරි. හුනස් ෆෝල්ස් තමයි පැණි හඳට ගියේ

      Delete
    8. පැතුම්,

      යස් මලේ..හොනිමෝං එකට ගිය තැන තමයි මම ඇහුවෙ හුනස් ෆෝල්ස්ද කියල...ඇනිවසරි එකට ගිය කඳපොල හොටේල් එක ටී ෆැක්ටරිනෙ. ඒකෙ දැන් නම හෙරිටන්ස් ටී ෆැක්ටරි. ඒකෙ තියනව බොලාටම තේ කඩල, වංගෙඩියෙ දාල කොටල, වේලල පැකට් කරල ඒවම ගෙදර ගෙනියන්ඩත් දෙනව. ඒ ආතල් එකට සැට්වුනේ නැත?

      අහ්හ්හ්..මම මේ කියන්ටමයි හිටියෙ..හූනස් ෆෝල්ස් එකේ හනිමුන් පැකේජ් එක ගත්තු අයට තියනව ස්පෙෂල් ඔෆර් එකක්.දෙවෙනි පාරත් හනිමූන් එක එහාටම එනවනම් 50% ඩිස්කවුන්ට් එකක් දෙනව. But only for the Groom.

      නුවර ටවුන් එකේ හොටේල්ස් වලින් ඔහොම ස්පෙෂල් ඔෆර් එකක් දෙන්නෙ තිලංකා එක විතරයි. ඒ හින්දමයි මම ටිකක් ගාණ වැඩිවුනත් එතනටම ගියේ. ඒත් හොටේල් එකේදි අපෙ උන්දැ ඇහුව " ඇයි අනේ මෙතන ගාණ වැඩිත් එක්ක තියෙද්දි ඔයා මෙතනම බුක් කලේ?" කියල මම ඉතිං මගේ අර තියන අවංක කමට ඇත්තම කිව්ව.....කිව්ව තමයි!!!

      Delete
    9. //මම ඉතිං මගේ අර තියන අවංක කමට ඇත්තම කිව්ව....// බුහ්.හා..හා..හා... හඳෙන් පැනි බේරෙන්න ඇති එව්ලේ ඉඳන්..

      Delete
  2. අපේ පැත්තෙනං නෝට් එකෙන් ගාන්න කිව්වම ප්ලේට් නැතිව තමා ගාන්නෙ. රැවුල කපන්න හොඳ ක්‍රමේ. මොකද ඔය කාන්තා පක්සෙ කැමතිනෙ රැවුල් කොට කොට තියෙනවට.
    ඊෂ්වර දෙයියො කොටි හමක් උඩ ඉන්නවා මිසක් වාහනයක යනවා මම දැකලා නෑනෙ. ඔන්න විෂ්ණු දෙයියන්ගෙ වාහනේනම් ගුරුලා තමා. එතකොට රවී අයිය දන්නවද නාමල් දෙයියන්ගෙ වාහනේ?

    හැබෑටම ඔය සෝමෙගෙ කැකිල්ල කූරු එහෙම ඇනිලා නැද්ද රවී අයියෙ.

    ReplyDelete
    Replies
    1. නාමල් දෙයියන්ට එක වාහනයක් කියලා නෑ මචෝ. ලම්බෝගිනි නැත්නම් අනර්කලී වගේ වාහන තමයි පදින්නේ.

      Delete
    2. මාධවී,

      / මොකද ඔය කාන්තා පක්සෙ කැමතිනෙ රැවුල් කොට කොට තියෙනවට. /

      හෙහ්..හෙහ්..ආයෙත් අහල...මම කාලයක් එහෙම හිටිය හැමදාම යන්තමට රැවුල් කොට සහිතව. ඒකට කියන්නෙ ඩිසයිනර් ස්ටබ්ල් කියල. ජෝජ් මයිකල්,ඩේවිඩ් බෙකම්, ජෝජ් ක්ලූනි සහ ජේසන් ස්ටේතම්....සුප්‍රසිද්ධ පුද්ගලයො Designer Stubble සහිත. හැබැයි ඔය ඩිසයිනර් ස්ටබ්ල් එකෙන් අමාරුවෙ වැටෙන්නෙ කාන්තා පක්ෂය. එයාලට ටිකක් විතර ඇවිදින්න අපහසු වෙන්ට ඇහැකි....:)

      / ඊෂ්වර දෙයියො කොටි හමක් උඩ ඉන්නවා මිසක් වාහනයක යනවා මම දැකලා නෑනෙ.  /

      වීදාගම හාමුදුරුවො ලියපු බුදුගුණාලංකාරෙ ඊෂ්වරයා ගැන මෙහෙමයි කියවෙන්නෙ.

      ‘තිසුලවි ගත් කරින්
      කළු පැහැ රැගත් උගුරින්
      හන් සළු ගත‘ඹරින්
      අඩක් උමයඟන ගත් සිරුරින්

      දළැ අඩ සඳ බඳින
      ගොර සප් හරක් පලඳින
      රහ කරන දිනැ දින
      මහලු ගොන් වාහනෙන් ඇවිදින

      තිශූලය කරේය. උගුර කළුපාටය. බාරියා උන්දෑ ( උමයංගනා ) බාගෙට උස්සාගෙන ඉඳී. අඩ හඳ ජටාවේ සවිකරගෙන සිටී. සර්පයෙක් ගෙලවටා ඇත. ඔෆීෂියල් වෙහිකල් එක නාකි ගොනෙකි.

      හින්දු භක්තිකයො හරකා පූජනීය සතෙක් කියල සලකන්නෙ ඒ නිසානෙ. එයාලගෙ නම්බර් වන් දෙයියගෙ නිල වාහනේ.

      / හැබෑටම ඔය සෝමෙගෙ කැකිල්ල කූරු එහෙම ඇනිලා නැද්ද රවී අයියෙ. /

      කැකිල්ල කූරුනම් මන්දා බං..ඒත් තුත්තිරි ගාලක අවුට්ඩෝ බොගිං එකේ තියනව අමුතුම මෙව්ව එකක්. තුත්තිරි එහෙම් මෙහෙන් ආංවේදී ඉස්තාන වල ඇනෙනෙකොට අම්මේහ්...කියල වැඩක් නෑ ආතල් එක...:)

      Delete
    3. //ඔය ඩිසයිනර් ස්ටබ්ල් එකෙන් අමාරුවෙ වැටෙන්නෙ කාන්තා පක්ෂය. එයාලට ටිකක් විතර ඇවිදින්න අපහසු වෙන්ට ඇහැකි....:)//

      ඒ කිව්වෙ?

      Delete
    4. රාජ්,

      ඒක වෙන්නෙ මෙහෙමයි මලේ....ඔය ඩිසයිනර් ස්ටබ්ල් ගානට රැවුල කැපුවම දවසක් දෙකක් යනකල් මූණ නිකං වයර් බ්‍රෂ් එකක් වගෙ තමයි. ( වයර් බ්‍රෂ් දන්නවනෙ නේද? යකඩ කම්බිවල එහෙම මලකඩ අරින්න ගන්නෙ..) ඉතිං බොලේ නිකමට හිතහං වයර් බ්‍රෂ් එකක් අර වගෙ බොහොම සංවේදී තැනක ඇතුල්ලුවම මොකද වෙන්නෙ කියල. ඇවිදින්ට වෙන්නෙත් බොහොම අමාරුවෙන්...හෙහ්,හෙහ්,

      Delete
  3. නාමල් දෙයියන්ගෙ වාහනේ ලැම්බොකිනිය

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඒ කාලෙ ගියා මම හිතන්නෙ...:)

      Delete
  4. ZD ඇලවල් සත්තුන්ටත් මිනිස්සුන්ටත් මාරකයක් වුණා ඒ කාලේ. ඇලේ V හැඩය නිසා වැටුන කෙනෙකුට ගොඩ එන්න අමාරුයි. වැලිකන්දේ ZD ඇලක් හැදීමේ උප කොන්ත්‍රාත් අරන් හිටිය සමාගමක (Jayasinha & Company?) සේවකයකු ගිලිලා මාලා. ඔහුගේ සිරුර ගොඩගන්න මගේ සොල්දාදුවන් රැයක් පුරා වෙහෙසුනා කොටි තර්ජන මැද්දේ.

    ත්‍රිකෝණමඩු වලදී ඉතා කටුක යුද අද්දැකීම් රාශියක් ලැබුවා 1985 වගේ කාලයේදී.

    ReplyDelete
    Replies
    1. ZD ඇලවල් කියන්නේ ඇයි?

      Delete
    2. නැවත කියවා බලද්දී හේතුව අහුවුනා :)

      Delete
    3. විචාරක,

      / ZD ඇලවල් සත්තුන්ටත් මිනිස්සුන්ටත් මාරකයක් වුණා ඒ කාලේ. ඇලේ V හැඩය නිසා වැටුන කෙනෙකුට ගොඩ එන්න අමාරුයි. /

      ඔව් කොහොමත් ZD සමාගම හදපු මාදුරුඔය වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගය සහ අතු ඇළවල් ඔක්කොම කොන්ක්‍රීට් ආස්තරණය කලා. ජලය අපතේයාම අවම කර ගැනීම සහ නඩත්තු කටයුතු පහසුව එහෙම කරන්ට ප්‍රධාන හේතු. කොන්ක්‍රීට් ආස්තරණය ( Concrete Lining ) හොඳට මැදලා නිමකරන නිසා සහ ආනතිය ( Side Slope ) වැඩි නිසා සතෙක් වැටුනොත් ආයම ගොඩ එනව බොරු.

      මුවෝ ගෝන්නු වගෙ සත්තුන්ට නම් ඇලේ තැනින් තැන ඉදිකරල තිබ්බ නිර්මිතයක් ලඟට පීනල ගියානං ඒ තැන්වලින් අමාරුවෙන් උනත් ගොඩ වෙන්න තිබුනා. ඒත් මුවන්ට ගෝන්නුන්ට එහෙම ගොඩ වෙන්ඩ දෙන්නෙ කොහෙද අපේ අයියල.

      අලින්ට නම් එහෙමත් බෑ. එවුං කරන්නෙ ඇළේ පතුල දිගේ එහාටයි මෙහාටයි නැට්ටයි හොඬයි උස්සගෙන කිලෝ මීටර් ගානක් දුවන එක. මිනිස්සුන්ට ෆුල් ආතල්. බයිසිකල් වල හෝන් ගහගෙන මිනිස්සු ඇළ ඉවුර දිගේ අලිය පස්සෙ පන්නනව පොලීසියෙන් ඇවිල්ල එලවන කල්. අලි ගොඩ එන්ට ට්‍රයි කරලම උංගෙ සමහර වෙලාවට නියපොතු ගැලවිලාම යනව.

      අන්තිමට වෙන්නෙ දවස් දෙක තුනකින් අර අලියා හාමත් උනහම ඔන්න වනජීවී එකෙන් ක්‍රේන් එකක් ගෙනල්ල අලියට නිර්වින්දන බෙහෙත් විදල ලණු දාල උස්සල ගන්නව ඇලෙන් ගොඩට. ඔය අලි බේරාගැනීමේ මහා මෙහෙයුමත් ලස්සන කතාව... ආයම ලියන්නං ඒ ගැන.අපේ අර මම කලින් කිව්වෙ සී.එස්.ඕ. ඇල්ෆ්‍රඩ් ..මනුස්සයත් සම්බන්ධ මරු කතාවක් තියනව ඔය ඇලේ වැටිච්චි අලියෙක් ගැන...හෙහ්,හෙහ්,

      පලි - ඇලේ කට කපල වතුර තිබ්බ කාලෙක අපේ ජිප් එකක් ඇළට වැටිල ඒකෙ රියදුරා මියගියා..:(

      / ත්‍රිකෝණමඩු වලදී ඉතා කටුක යුද අද්දැකීම් රාශියක් ලැබුවා 1985 වගේ කාලයේදී. /

      85 වගෙ මම ඒ හරියෙ හිටියෙ නෑ...ඊට මෙහා මඩකලපු-පොළොන්නරු පාර කිට්ටුවම කෑම්ප් එකක ඒ කාලෙ හිටියෙ.

      Delete
    4. පැතුම්,

      ඒ ඇලවල් හදපු අමරිකන් කොන්ත්‍රාත් සමාගමේ ( Zachry Dillingham ) කෙටිනම - ZD

      මදුරුඔය වම් ඉවුර ප්‍රධාන ඇල හැමෝම හැඳින්නුවෙ ZඪD ඇළ කියල

      Delete
  5. මං හිතන්නෙ අර කියපු විදිහට කොණ්ඩෙ කපනවා ඇත්තෙ වයිෆ් සාප්පු සවාරියක් එහෙම යන්න කිට්ටු වෙනකොට වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. සඳමාලි,

      ඔන්න කිව්ව කතාවක්...හෙහ්..හොඳට හිටියි..මුද්දරේ ඇලෙව්ව වගෙ මම පස්සෙම්ම ඉඳලත් උන්දැව කොන්ටෝල් කරගන්නෙ බොහොම අමාරුවෙන්. තව තනියම ඇරපල්ලකො ෂොපිං......හම්මේ..ඇඟත් එක්ක හීතල වෙනව....

      Delete
  6. හහා.. ආසාවෙන් කියෙව්ව රවී සහෝදරයා.. ඔය ජංගල්බොග ගැන කිව්වම මතක් උනේ. මගෙත් යාලුවෙක් ඉන්නවා. ට්‍රිප් එකක් එහෙම ගියාම ඌ ජීවිතේට ටොයිලට් එකක බොග දාන්න යන්නෙ නෑ. ඌ ටවුමෙ ජීවත් වෙන එකා. ඌ කියන්නෙ "හැමදාම ටොයිලට් යන අපි වෙනසකට ට්‍රිප් එකක් ආවම වත් ඒ වෙනසත් අත්විඳින්න ඕන" කියල. බලාගෙන ගියාම ඌ කියන කතාවත් ඇත්ත.
    එකපාරක් රිවස්ටන් ගිහිං නකල්ස් කැලේ වනජීවී කෑම්ප් සයිට් එකේ ( එහෙම කියල තමා මතක. වනජීවී කාර්යාලෙකුත් තිබ්බ එතන උඩින්, එතනින් අවසට අරගෙන ගඟ, ගඟ කිව්වට ඔයක්ද මන්ද, අයිනෙ ගල් තලාව උඩ) කූඩාරම් ගහගෙන හිටිය. පහුවදා උදේ කට්ටිය නානකොට අපි ඔටෝමොබයිල් ට්‍රේනින් ගිය ආයතනයෙ මැනේජ්මන්ට් ඒකත් ඇවිල්ල තිබ්බ ට්‍රිප් එකක්. උනුත් එතනින් නෑව. මම සහ යාලුවෝ දෙතුන්දෙනෙක් ඒ උදවිය එක්ක කතාකරකර ඉන්නකොට මං දැක්ක අපේ අර "බොග යාළුවා" ඈතින් ගඟේ ඉහත්තාවෙන් ගලකට මුවා වෙවී වතුරට බහිනවා. ඌට පහලින් නනා හිටපු අපේ කොම්පැණියේ ආධුනිකයන් භාර මැනේජර් එක්ක හෙන කොක්කක් තිබ්බ. මට වැඩේ මීටර්. මම දඩිබිඩි ගාල වතුරෙන් ගොඩ උනා. මට මැරෙන්න හිනා. අරූ කොම්පැණියේ මැනේජ්මන්ට් එක හරහා ජංගල් බොග ෆ්ලෝටින් බොගක් බවට පරිවර්තනය කරලා ඇරියස් එක පාකරල ඇරිය... කොහොම නමුත් කොම්පැණියේ සෙට් එකට වැඩේ තේරුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      හෙහ්..මරු වැඩේනෙ යාලුව කරල තියෙන්නෙ....අවුට්ඩෝ බොග කියන්නෙ බොහොම අපූරු අත්දැකීමක්. බොගදාන්න හොඳම ඉරියව්ව තමයි ඔය Squatting නොහොත් උක්කුටික ඉරියව්ව. නැත්තං කෙළිං කටිං ඉන්න එක. එහෙම ඉන්නකොට කළවා වලට බඩ තදවෙලා බඩවැල් ඔක්කොම මිරිකිලා තියන ඔක්කොම බෲස් යන අනුකරණයෙන් පිටවෙනව. බඩ වැලේ පිළිකා, මල බද්ධය වගෙ කිසිම ලෙඩක් හැදෙන්නෙ නැහැල්ලු.අපි ඔය කොමෝඩ් එකේ ඉඳගත්තම එහෙම වෙන්නෙ නෑ.

      හැබැයි බං එකක් තියනව..අවුට්ඩෝ බොගිං වලට තියනව ඇක්සෙප්ටඩ් ප්‍රොසීඩියර් එකක්. ඒක ෆලෝ නොකලොත් ජලා හුටා තමයි...හෙහ්,හෙහ්,

      අනික් කාරණේ හීතල හුළඟ වදිනකොට මාරම ආතල්..පොඩි සිංදු කෑල්ලක් එහෙම කියවෙන්නෙ ඔටෝ...සිහිල් සුළං රැල්ලේ..ඒ..ඒ...ඒ..ඔබේ සුවඳ මුසුවේ....

      Delete
    2. මේ අවස්ථාවේ මගේ මතකය දිව යනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයේ තනුවට ගැයෙන ගීයේ බොගින් ප්‍රොසීඩියර් එක වෙත. හැක් හැක්...

      Delete
    3. නැතුව නැතුව... ඉබ්බ කොටඋඩ නැග්ග වගේ ඉන්නෙ ඔය.. :D

      Delete
  7. //කුකුළේගඟ මතක කියල ටයිටලේ තිබ්බට දැං මේකෙ ලියවෙන්නෙ වෙන අනං මනං.// ඕක අපිට අරුමයක් නෙමෙයිනෙ. ටයිටලේට අනුව ලියඋනොත් තමයි රවියට මොකක් හරි අසනීපයක්ය කියල අපිට හිතන්න වෙන්නෙ.
    මරංගහවෙලටත් ඔයවගේ දර වල සම්බන්ධයක් තියෙනවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / ටයිටලේට අනුව ලියඋනොත් තමයි රවියට මොකක් හරි අසනීපයක්ය කියල අපිට හිතන්න වෙන්නෙ. /

      ඒකනෙ බං එක පාරක් අර මලිති නෝන මහත්තැං ඔහොම්මම ඇහුව නෙව. අද මොකෝ මේ පඳුරු තැලිල්ල අඩු? අසනීපයක් වද්ද? කියල හිට...:)

      / මරංගහවෙලටත් ඔයවගේ දර වල සම්බන්ධයක් තියෙනවද දන්නෑ. /

      ඇති ඇති නැතිවෙන්ට බෑ...මේ කොහෙද ඔය මරංගහවෙල තියෙන්නෙ...බදුල්ල පැත්තෙ කියල මතකයක් වගෙ තියනව...

      Delete
    2. මරංගහවෙල තියෙන්නෙ බෙලිහුල්ඔයට පොඩ්ඩක් උඩහැයින්. ඔය සුරතලී ඇල්ල තියෙන්නෙත් එහේ තමයි. ‍අපේ කොල්ලෙක් ඒ හරියෙ පයිනස් ගලෝන කෑල්ලක වැඩ කළා. මට නම මතක තියෙන්නෙ ඒ හින්ද.

      Delete
  8. හෙහ් හැමදාම වගේ යන්නෙ කොහෙද පොල්ලෙ මල්
    හිහි
    ඒ වුණත් කියවන්න එපා වෙන්නෙ නැනෙ බලමු යාං හෑල්ලත් කියවල

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ස්තූතියි මල්ලි.....:)

      Delete
  9. පහළ ඌව බෑවුම් බලන්න තවත් හොඳම තැනක් තමයි Buildings Department එකේ සංචාරක බංගලාව. නමුණුකුල .කන්දෙ මැද හරියෙ තියෙන්නෙ රෑට බැලුවම පැල්වත්ත බුත්තල දිහා බලන්න ලස්සනයි. දෙකක් දාගෙන හුළං වැදි වැදි ... කියල වැඩක් නැහැ මතක් වෙනකොට.. මතක් කළාට ස්තුතියි රවි....

    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ,

      අහ්හ්හ්හ්..එහෙම තැනකුත් තියනවද? තුමුල නමුනුකුළ ගිරිහිස මැද හරියෙ එතකොට ඔය කියන තැන තියෙන්නෙ..නේද?

      You are welcome...Harsha.....:)

      Delete
  10. රවි අයියත් එක්ක කුකුළේ ගඟ යන්න ඉස්සල්ලා මට කුකුළේ ගඟ යන්න සිද්දවෙනව රාජකාරියකට යන ගමන්.
    කැලේ බොග දාද්දි කිවුවෙ කැලේට රුන්ඩ ගියා ගියා කියල, මොකද ඒ කාලෙ බොග කියන වචනෙ තිබුනෙ නෑ. වෙල ඉහත්තෑවෙ ලඳු කැලේ සෙල්ලං කරපු කාලෙ කැලේ රුන්නෙ ඉබ්බන්ට රසවත් ආහාරයක් වේවා කියල මෙත් සිතින්.
    රවි අයියට පොඩිකාලෙ සරස්වතී තෙල දීලද කොහෙද මෙච්චර මතක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොඩිකාලෙනං මෙන තෙල දුන්නද දන්නෑ හැබැයි දැන්නං පාවිච්චි කරන්නෙ වෙන තෙලක්. :D

      Delete
    2. කම්මල,

      / වෙල ඉහත්තෑවෙ ලඳු කැලේ සෙල්ලං කරපු කාලෙ කැලේ රුන්නෙ ඉබ්බන්ට රසවත් ආහාරයක් වේවා කියල මෙත් සිතින්. /

      අම්මප ඉබ්න් බතූතාලගෙ ස්ටේපල් ඩයට් එකක් ජංගල් බොග නේද? උඹ බලාගෙන බං..ළඳු අස්සෙ බොග දාද්දි පිටිපස්සෙං ඉබ්සන් ඇවිල්ල බොග නෙවෙයි ආය....හෙහ්,හෙහ්,

      ඔය ජා-ඇළ කටාන පැත්තෙ හදන ඌරොත් ඔය වැඩේට ප්‍රසිද්දයි. එහෙ නෑනෙ ඔය බාල්දි කකුස්සවල්..කෙලිම්ම සූකර තෙමේ ඉන්නෙ කකුස්සෙ ලෑලි තට්ටුව යට...

      / රවි අයියට පොඩිකාලෙ සරස්වතී තෙල දීලද කොහෙද මෙච්චර මතක තියෙන්නෙ. /

      තෙල් දුන්නෙ නෑ බං ..ඒත් තලගොයි දිව කෑව සතියකට සැරයක් විතර...මතක සක්තිය බලා ඉද්දි වර්දනය වෙනව කියනවනෙ තලයහෙ දිවට...:)

      Delete
  11. ඔය මට්ටයින්නෙ රහමෙර පාවිච්චියක් නෑ නේද රවී.

    ReplyDelete
    Replies
    1. මට්ටයන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
      මල් පැණි බී බඹරු වගේ මරං කපන්න..

      Delete
    2. හැලප,

      / ඔය මට්ටයින්නෙ රහමෙර පාවිච්චියක් නෑ නේද රවී. /

      අනේ නෑ බං ..උං කටේ තියන්නෙ නෑ...ඒකටත් එක්ක කංසා මරුවො...උයන එව්වටත් ( ඔය මස් වලට වගෙ ) දානව..මම හිතන්නෙ මස් මෙලෙක් වෙලා රහ වැඩිවෙන්ට ඒකත් එක හේතුවක්...

      Delete
    3. ප්‍රසන්න,

      / මට්ටයන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
      මල් පැණි බී බඹරු වගේ මරං කපන්න.. /

      වරේවා...මරු..මරු...හා..හා....කැරකිල දෙකට නැවිල...කැරකිල දෙකට නැවිල...

      මට්ටයන්ට පුරුදු කරමු මල් පැණි බොන්න
      මල් පැණි බී බඹරු වගේ මරං කපන්න..

      හා..හා...මරං කපන්න...හා...හා...මරං කපන්න

      Delete
  12. >>නම්බර් නෝට් එකට කපන්ට කිව්වම බාබර් දන්නව කොයි ගාණටද කපන්ට ඕන කියල. එතකොට නම්බර් නෝට් තලේ තමයි හෙයාර් ක්ලිපර් එකට දාන්න.<<
    මචං. ක්ලිපර් එකේ තලේ නෙවෙයි බං ඒකට මාරු කරන්නේ
    comb එක (හරි, සමහර ඒවයේ තියෙනවා මාරු නොරක සීරුමාරු කන්න හැකි adjustable comb එකක්)

    ReplyDelete
    Replies
    1. Dude,

      / මචං. ක්ලිපර් එකේ තලේ නෙවෙයි බං ඒකට මාරු කරන්නේ ...comb එක /

      හෙහ්..එහෙමද බං? කරණවෑමිය " බොස් මොකෙන්ද කපන්නෙ? නෝට් ද වන්ද ටූද? " කියල අහල මොකක්ද එකක් මාරු කරනව..මම හිතුවෙ ඒ තලේ කියල...:)

      මෙහෙ කොණ්ඩෙ කැපිල්ල තමයි බං කොණ්ඩෙ කැපිල්ල...මගෙ ඇති කොණ්ඩෙකුත් නෑ..ඒත් යනව පැයකට එහා පැත්තෙ. ආ....මම රැවුලයි කොණ්ඩෙයි එකටම කපන්නෙ. ක්ලෙන්සිං ක්‍රීම් එකක් ගාල පොඩි ෆේෂල් එකක් වගෙ කරනව. නහ පොල්ලට ප්ලාස්ටර් අලවල එක පාරට ඇදල ගලෝල දානව. මම නේද මර හඬ තියනව. කං දෙකෙං අල්ලල ඔලුව කරකවනව දෙපැත්තට වන් එයිටි ඩිග්‍රීස් වලට. ජරස් කියල බෙල්ල කැඩෙන සද්දෙ ඇහෙනකල් කරකෝනව කී පාරක් හරි.

      මසාජීස් එකක් දෙනව අප්පට සිරි ඒක තමයි මසාජීස් එක...තනිකරම ඇඬෙනව. කොඳු ඇට පෙල මසාජ් කරනව...කිව්වට විස්වාස කරපං මචං කසේරුකා එකක් නෑර එළියට ගන්නව. ඉඳපංකො මගේ කරණවෑමි කතා..කියල සීරිස් එකක් ලියන්ටයි මම හිතාගෙන ඉන්නෙ ...හෙහ්,හෙහ්,

      Delete
    2. //ඉඳපංකො මගේ කරණවෑමි කතා..කියල සීරිස් එකක් ලියන්ටයි මම හිතාගෙන ඉන්නෙ ...හෙහ්,හෙහ්,//
      පිං සිද්දවෙයි,පටන් අරං තියෙන කතා සීරීස් දුසිමක් හමාරක් විතර ඉවර කරල ඉඳින්.

      Delete
  13. ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ. ඔය කියන ප්‍රදේශය තමයි අපේ වර්තමාන වාසස්ථානය තියෙන්නේ. දැන් නම් මේ පැතිවල පදිංචි කරපු මිනිස්සුන්ගේ 3-4 පරම්පරාවල් තමයි යන්නේ. මතට වාඩියත් නෑ මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. වීරේ,

      කතර අතෑරල යන්ටම ගියා එහෙනං?

      කොළකණවාඩියෙ අර ෆොටෝ එකක් දාල තියෙන්නෙ රේල්පාර මඩකලපු පාර හරහ මාරුවෙන තැන පහුවෙනවත් එක්කම ගත්තු එකක් නේද? එතන සබ් පෝස්ට් ඔෆිස් එක තාම තියනවද? ඔතනම පොඩ්ඩක් ඉස්සරහිං වමට හැරිල මීටර් 200 වගෙ ඇතුලට ගියාම තමයි මම මුලින්ම වැඩ කරපු ඔෆිස් එක තියෙන්නෙ.

      අර අන්තිමට වගෙ තියන නිලනිවාස ( අපි ඔව්වට කිව්වෙ ග්‍රේඩ් ත්‍රී ක්වාටර්ස් කියල ) කොහෙ එව්වද? මුතුවැල්ලද? කන්දකඩුවද? මම මහවැලිතැන්නෙත් වැඩකලා.

      / මතට වාඩියත් නෑ මගේ හිතේ /

      මරං වාඩි දැන් නැතුව ඇති. කැළෑ කපන්ට දැන් අවසර දෙන එකක් නෑ. ඒ දවස්වල ඔය මුස්ලිම් අයට දර කපාගන්ට අවසර දුන්නෙ කොහොමත් කුඹුරු ඉඩං වලට ඒ හරියෙ කැළෑව සුද්ද කරන හින්ද. මූ. අරුක්ගොඩ කියල මතකද ඔය මුතුහරසඟරාව ගහපු ලේඛකයෙක් හිටිය. එයත් ඔය මහා පරිමාණ කැළෑ කැපීම් කොන්ත්‍රාත් එකක් අරගෙන වැඩේ කරගෙන යද්දි කොටි වෙඩි තියල මැරුව.

      බොහොම ස්තූතියි වීරෙ....ඒ ෆොටෝස් දැක්කම කාලෙකින් පරණ හිත මිත්‍රයෙක් මුණ ගැහුන වගෙ දැනෙනව..:)

      Delete
    2. හෙන්රි,

      උඩ කමෙන්ට් එකේ ලින්ක් එකේ බලපං..අන්තිම හරියෙ තියනව අර උඹල හිටපු ක්වාටර්ස්...අර කවුද උඹලගෙ ප්‍රින්සිපල් මඩ පුවක් දාල තිබ්බෙ කොමෝඩ් එකේ...හෙහ්,හෙහ්,

      Delete
  14. මට්ටයෝ කියන්නේ මම හිතන විදියට මාළු අල්ලන් තම්බි.. අපි ඉතින් ඉස්සර් කට පුරා කිව්වේ තම්බි කියලා නේ.. තම්බි තුන් හතර දෙනෙක් එනවා වෙළඳාමේ.. රෙදි තම්බි, තොරොම්බල් තම්බි. තම්බින්ගෙන මක්කම ගිය උන්ට කිව්වේ හජ්ජියාර්ලා කියලා.. උන් ඉස්සර සුදු සරමයි සුදු බැනියමයි ඊට උඩින් සුදු කෝට් එකයි අඳලා, තුර්කි තොපියක් දානවා. අපේ අම්මගේ මහ ගෙවල් ගාල්ලෙ නේ. වටේටම ඉන්නේ තම්බිලා. මැණික් බිසිනොස් කරන හජ්ජියාර්ලත් වැහි වැහලා.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      / මට්ටයෝ කියන්නේ මම හිතන විදියට මාළු අල්ලන් තම්බි. /

      වෙන්නත් ඇති සමහරවිට මාතා.....අනික ඔය මට්ටයො එන්නෙ කල්කුඩා පැත්තෙ ඉඳල. ඒ හරියෙ හරියට තියනව වැව් මාලු එහෙම විකුණන්ට. කොටි කචල් අඩු කාලෙ ( ප්‍රේමෙ ජනාධිපතිවෙලා කොටි එක්ක සාකච්චා කරපු කාලෙ ) අපි පාසිකුඩා බීච් එකට ගිහිල්ල එන ගමං වැව් මාලු අරං එනව කල්කුඩා හරියෙං.

      / මැණික් බිසිනොස් කරන හජ්ජියාර්ලත් වැහි වැහලා. /

      නලීම් හජ්ජියාර් මට මතකයි..මිනිහනං හැබැයි බේරුවල නේද?

      Delete
  15. දැන් බලං ගියාම තමුන්නැහැ ගිය ගිය තැන මාත් ගිහිං. පහුගිය පළාත් සභා මැතිවරනෙදි (මහ රජ්ජුරුවො එලෝපු එකට කලිං එක) මං ඡන්ද වැඩට ගියේ ඔය තොළබෝවත්ත විජ්ජාලෙට. මං තමයි නං අඬගැහුවෙ.
    “කරුපයියා නන්ද කුමාර්“
    “සුප්පයියා වේලායුදන්“
    “සිත්ති ආමිනා උම්ම්ම්....මා“
    කියල එහෙම.
    එහෙ බුවාල චන්ද පෙට්ටිය අරං යනකොට ‘රතිකද්කදා‘ පත්තු කොරනව. පාරෙ මග ඉන්න එවුංනුුත් ‘රතිකද්කදා‘ පත්තු කරල චන්ද පෙට්ටිය ගෙනියන වෑං එක ඉස්සරහට දානව. තා පොඩ්ඩෙං ඌල මගෙ බයිසිකලේ ඉස්සරහටත් ‘රතිකද්කදා‘ දානව.
    තේ පැට්ටේරියක් හැදුවලු නේද.... හ්ම්.. එහෙනං මං තේ පැට්ටේරියෙ කොරපු රස්සාවත් ලියන්න වෙයි වගේ.
    තම්බිද.... හුහ් අපේ ඔපිසියෙ උන්න රියල් තලේබාන් පොරක්, ඌ කියන හැටියට සත්තු හැදිල තියෙන්නෙ මිනිස්සුන්ට කන්ට, සතුන්ට පන දීල තියෙන්නෙ ‘ඔය තරං සත්තු ගොඩක් නරක් නොවී තියාගන්න තඩි පිරිජ් එකක් නැති හිංද‘
    වැසිකිළි නේද... ඉස්සර අපේ ගෙදර තිබුනෙ වල වැසිකිලියක්. වැහිදාට ඔය “කක් කිචන්“ එකේ කට ලඟටම වතුර පිරෙනව.
    ලිප්ටන් සීට් එකට නං යන්න බැරි වුනා. ඔය වගේම ලස්සනට දකුණු පළාත බලන්න පුළුවං හපුතලේ, බෙරගල අතරදි. පෙලක් දාට අපි වැහි බීරමේ හීතලේ වෙවුලන ගමන් හපුතලේ පල්ලම බහිද්දි ඈත වැල්ලවායට ඉර පායල තියෙන හැටි පේනව. සමහර වෙලාවට වැහි අඳුර වටේම වහගෙන තියෙද්දි. ඒකෙ මැදිං කපොල්ලක් කැපිල ‘කොස්ලන්ද‘ දිහාවට අව්ව වැටිල තියෙනව. දවසක පොටෝ එකක් දාඥ්ඥං.
    මගෙ බොලොග් එක සඳහා සාදර දැන්වීම් අනුග්‍රහය දැක්වූවාට මාගේ බලවත් මෙව්ව එක පිළිගන්න

    ReplyDelete
    Replies
    1. Suranga,

      /  මං ඡන්ද වැඩට ගියේ ඔය තොළබෝවත්ත විජ්ජාලෙට.  /

      විද්‍යාලයක් නම් මතක නෑ බං..සබ් පෝස්ට් ඔෆිස් එක නම් මතකයි. ඒ හරියට ටෙලිපෝං සිගනෑල් ඒ දවස්වල බොහොම හිඟයි. තේ පැට්ටේරිය පිටිපස්සෙ කන්ද උඩට නඟින්ට ඕන.ඒකෙත් තැන් දෙක තුනකට විතරයි සිග්නල් තියෙන්නෙ. ඒ තැංවල අපෙ වැඩ කරපු කොල්ලො බෝඩ් ලෑලි එල්ලල තිබ්බ ගස් වල මොබිටෙල් මෙතන ඩයලොග් මෙතන කියල. ඔය පොයියංගම කොරන්ට බැරි හින්ද මම කරන්නෙ සන්බ් පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ල කෝල් ගන්නව.සබ් පෝස්ට් මිස්ට්‍රස් බොහොම ප්‍රියමනාප අංගනාවියක් කියලත් නොකියම බෑ.....හෙහ්,හෙහ්.

      / පෙලක් දාට අපි වැහි බීරමේ හීතලේ වෙවුලන ගමන් හපුතලේ පල්ලම බහිද්දි ඈත වැල්ලවායට ඉර පායල තියෙන හැටි පේනව. සමහර වෙලාවට වැහි අඳුර වටේම වහගෙන තියෙද්දි. ඒකෙ මැදිං කපොල්ලක් කැපිල ‘කොස්ලන්ද‘ දිහාවට අව්ව වැටිල තියෙනව. /

      හෙහ්..මම ඔය තොළබෝවත්තෙ ඉන්නකොට තමයි දැක්කෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දුවන වැස්ස කියන එක. පැට්ටරියෙ උඩ තට්ටුවට යස අගේට පේනව. ඈත කඳු යායෙ එක පැත්තක් තනිකරම ඉර පායල. අනික් පැත්තෙ ඔන්න වැස්ස වැහැගෙන යනව ඒ කෙලවරේ ඉඳල මේ කෙලවරට. ඒ පස්සෙන්ම ඉර එළිය වැටීගෙන යනව. ආයම ටිකකිං වැහැගෙන යනව . ඔන්න ඒ පස්සෙම්ම ආයෙත් ඉර එළිය පන්නගෙන එනව. ඒ ඔක්කොම අස්සෙ වළාකුල්වල හෙවනැල්ලත් කඳු බෑවුමේ එහාට මෙහාට දුවනව. ෂිහ්..වීඩියෝ කැමරාවක් අතේ නොතිබ්බ එක ගැන මම් දුක්වුනු වාර අනන්තයි අප්‍රමාණයි.

      / දවසක පොටෝ එකක් දාඥ්ඥං.  /

      අන්න නියමයි..විජහට..විජහට....

      / මගෙ බොලොග් එක සඳහා සාදර දැන්වීම් අනුග්‍රහය දැක්වූවාට මාගේ බලවත් මෙව්ව එක පිළිගන්න /

      අයියෝ ඒක මොකක්ද?....මම බොහොම කැමැත්තෙන් ඒ වැඩේ කලේ...උඹෙ ලිවිල්ල මරු....දිගටම වැඩේ කරගෙන පලයං...හෙහ්,හෙහ්,

      Delete
    2. සුරා.. ගිය සෙනසුරාද බදුලු යන ගමන් ඔය කියන පොට්ටෙකේ නතර කරල ගැහුවා කරඳමුන්ගු ටී එකක්.. එකක් නෙවෙයි හම්මේ දිවිය ලෝකේ රහයි ඒ ටී එක සීනි සීනි කියල බැලුවේ නෑ ගැහුවා දෙකක්ම.. සැක්.. එද පැය කාලකට වැඩිය ඔතන හිටියට මීදුම බැස්සෙම නෑනේ.. ගෙදර යන්නම ඕනි නිසා ගියා..

      Delete
  16. // කුකුළේගඟ මතක කියල ටයිටලේ තිබ්බට දැං මේකෙ ලියවෙන්නෙ වෙන අනං මනං.//

    අපි මේ ගැන කිසිම දෙයක් කියන්නේ නෑලූ ඔන්න..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      මට ඉවසන්න බැහැ මේ මුණිවත ඔබේ.....හෙහ්,හෙහ්,

      Delete
  17. ඔය පිට්ටනි බොගේ පොඩි කොස්සක් තියෙනව... පොඩි පැළෑටි තියනකොට හරිම පරිස්සමෙන්... මොකද හදිස්සියට ඇණතියා ගන්නකොට ඔය පැළයක් පෑගුනොත් නැගිටිනකොට අර පැළය බඩුත් එක්කම කෙළින් වෙනවා .....ස්ප්‍රේ එක කොහාට වදියිද කියල දෙයියො තමා දන්නෙ.. :)


    හර්ෂ

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි මචෝ පුරාණ ඉසිවරු කියලා තියෙන්නේ බල්ලා බැබිල ගහේ රුන්නා වගේ කියලා

      Delete
    2. නිර්නාමික 1 සහ නිර්නාමික 2 ,

      / ඔය පිට්ටනි බොගේ පොඩි කොස්සක් තියෙනව... පොඩි පැළෑටි තියනකොට හරිම පරිස්සමෙන්... මොකද හදිස්සියට ඇණතියා ගන්නකොට ඔය පැළයක් පෑගුනොත් නැගිටිනකොට අර පැළය බඩුත් එක්කම කෙළින් වෙනවා .....ස්ප්‍රේ එක කොහාට වදියිද කියල දෙයියො තමා දන්නෙ.. :) ඒකට තමයි මචෝ පුරාණ ඉසිවරු කියලා තියෙන්නේ බල්ලා බැබිල ගහේ රුන්නා වගේ කියලා /

      මම අහල තියෙන්නෙ බැළතණ ගහේ රුන්න වගෙ කියල. අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර මම ලිව්ව කවිකාරියකගේ ප්‍රේමය කියල කතා මාලාවක්. ඒකෙ එක කොටසක ඔය එළිමහන් බොග ඇතුළුව බැලතණ බොග පිලිබඳව මම ලිව්වෙ මෙහෙමයි.

      විජිතය බාගෙට ඔලුව හරවල හොරැහිං වගෙ මගෙ දිහා බලල ආපහු ඉස්සරහ බලාගත්ත.මම බෑ කියද්දිම මේ කෙල්ල මට මුණ ගස්සල ඌ කර ගත්තෙ අර බැළතණ ගහේ රුන්න වගෙ වැඩක් වත්දෝ කියල මේ ටිකටම ඌට හිතිල බව මට තේරුං ගන්ට අමාරුවක් උනේ නෑ. 

      බැලතණ කේස් එක දන්නව නේද? හරි දු.දැ. ස. - බැළතණ කියන්නෙ පොඩි වල් පැලෑටි ජාතියක්. කොලේ පලලයි. බොහොම හයියයි. තෙපුල් දෙනව බොහොම අපූරුවට. තෙපුල් දෙනව කියන්නෙ ළමයි නම්‍ය ශීලී නැත්තං ෆ්ලෙක්සිබල්...වැව් පිටිවල බොග දාල නැත්තං ඉතිං ඔය බැලතණ කේස් එක ගැන දැනගන්ට විදිහක් නෑ. ඔය ගෙවල් ඇතුලෙ අර කොමෝඩ් මඟුලෙ රෙන වෙලාවෙ බොලල්ලා ඉඳහිටල ඉරිදාකවත් ළමයි බමයි ඔක්කොම එක්ක ගිහිල්ල කොහෙ හරි ඇලක් අයිනෙ, එහෙම නැත්තං බඩ වැටියක, ලන්දක, අඩුම ගනනෙ හිඟුරු පඳුරක් යටට වත් ගිහිල්ල Open Air Bogging පුරුදු කරපල්ල. 

      ඒකෙ තියන ආතල් එක කියන්ට බෑ විඳලම බලන්ට ඕන. හීතල හුළඟ හමල ඇවිත් ඔන්න, අදෝ මුකය කූල් කරනව. සිහිල් සුලං රැල්ලේ...අදෝ මුකය කූ...ල්වේ ඒ ඒ….... දමනා විට බොග තුත්තිරි පිටියේ....දෙව්ලොව සැප මතුවේ..ඒ ඒ......තුත්තිරි ගාලක බොග දාන එකනං ආය කියල වැඩක් නෑ...හෙහ්, හෙහ්, 

      In life some things are undescibable.They are simply undefined. They are to be felt only. ජීවිතයේ සමහර හැඟීම් විස්තර කිරීම ඉතා අපහසුය. එවන් හැඟුම් අත්විඳීමෙන්ම පමණක් වටහාගත යුතුය. ආය දෙකක් නෑ මටනම් බුදු ෂුවර් මේ පඬි ටෝක් එක දුන්නු බුවා අනිවා තුත්තිරි පිටියක බොග දාල තියනව. 

      අම්මට වූඩු..තාත්තට ගෝයා..බැළතණ පඳුරු තැලිල්ල බොහොම දුරදිග ගියා නේද? තවම අරුං තුං දෙනා බස් එකට නැඟපු ගමං නේද? හරි ඩබල් එකේ එහෙනං බැළ තණ කතාව කියල ආයෙම සුජාගෙ කතාවට හරිද? 

      ඉතිං ඔය වැව් පිටි මල පහ ක්‍රියාවලියෙදි බැලතණ පඳුරක් උඩට බොග දැමීමෙන් සපුරා වැළකිය යුතුයි. නැත්තං මොකද දන්නවද වෙන්නෙ? කෙළිං කටිං ඉඳගත්තම පස්චාත් බාගයට යට වෙලා බැළතණ පඳුර නැවෙනව. හැබැයි කැඩෙන්නෙ නෑ. ඉතිං ඒක උඩ බොග දාල නැඟිට්ට ගමං දුන්නෙ දුනුදිය කැඩුනැහෙ බැළතණ පඳුර කෙලිං වෙනව. ආය මොනවද ඉතිං...කැටිපෝලෙං විද්ද වගෙ අරව ඔක්කොම කෙලිම්ම පිට මැද..හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ අප්පා...වරුවක් නාන්ට උනා මට එක පාරක්... 

      ඕක තමංගෙ බොගනං ඔහෙ ඕන මඟුලක් කියල ඉවසුවෑකි. දෙන්නෙක් පිටිපාල ඉඳගෙන බොග දාල එකෙක් කලිං නැඟිට්ටම තමයි වැඩේ කිරිමෙල්. හැබැයි මෙහෙම කේස් එකකුත් තියනව. ඒ වගෙ ආස පොලෝ නුහූලන අපරාදයක්  වෙන්ට තව කාරනයක් සම්පූර්නවෙන්ට ඕමනයි. අනික් එකා බොග්ලිං වැඩේට පාත් වෙද්දි බැළතණ පඳුර විරුද්ද පැත්තට නැවෙන්ට ඕන. එහෙම වෙනව බොහොමත්ම අඩුයි. ඒත් එහෙම වෙලා තියනව කියල මම දන්නව.අපෙ විමලෙ අයිය O.A.B. වැඩේට කප් ගහපු එකා. ඕකගෙ ඒ සම්බන්ද කතා දෙක තුනක් තියනව වාං පතුල් සීරීස් එක ආයෙම පටංගත්තම එව්ව කියන්නංකො හොඳද?

      ආ... ඔය කෙලිං කටිං බොග දැමීම කියන එක සරීර සවුක්කියටත් බෝම හොඳයි කියනව. ඒ කියන්නෙ බොලේ බොග දැමීමේ ස්වාබාවික ඉරියව්වනෙ ඔය කෙලින් කටින් ඉඳගෙන ඔය වැඩේ කොරන එක. මිනිස්සු කියන ජාතිය ඉතිං දන්නවනෙ. ස්වාබාව දර්මයා නියම කරල තියෙන ඉරියව්ව නැතුව වෙනත් නොයෙක් නොයෙක් ඉරියව් වලින් නෙව ඔය කොයි වැඩෙත් කොරන්ට හදන්නෙ.හෙහ්, හෙහ්... 

      දැං බලන්ට කෙලිං කටිං ඉඳගත්තම කලවා දෙකට බඩ ප්‍රෙස් වෙනව අපූරුවට. එතකොට මොකක්ද වෙන්නෙ? මහ බඩවැල හොඳට ප්‍රෙස් වෙලා ඇතුලෙ තියන මල ඔක්කෝම එලියට එනව බුරූස් ගෑවිල්ලෙ. මහ බඩවැලේ මල ඉතිරිවෙන එක පිලිකා වලට හේතුවක්ය කියල කියනව.කෙලිං කටිං ඔය වැඩේ කලාම ඔය කිසි අසනීපයක් නෑ. අනික වියායාමෙ. බඩට, කලවා වලට, කෙන්ඩා වලට, වලලු කරට ඔක්කොටම හොඳයි ඒ වැඩේ. හැබැයි ඉතිං කෙලිං කටිං කොහොම වෙතත් කොමෝඩ් එකෙත් දැනටත් බොහොම අමාරුවෙං ඉඳ ගන්න උදවියටනම් කරන්ට දෙයක් නෑ.කෙලින් කටිං ඉඳගත්තොත් ඉඳගත්තම තමයි කියල හිතෙන අය දිගටම කොමෝඩ් එකම පාවිච්චි කරන්ට ..අවුලක් නෑ...හෙහ්, හෙහ් 

      අර චෙන්නෙයි වල එහෙම වෙරලෙ මිනිස්සු එක දිගට ඉඳගෙන සමූහ බොග දාන්නෙ මොකද දන්නවද? ආන්න..ඒ මිනිස්සු දන්නව ඒකෙ අගේ..අපේ මේ මෝඩයො කරන්නෙ උංට පස් පඩංගුවෙ බැණ අඬගහන එක නෙව. කාගෙං උනත් හොඳ දේවල් ඉගෙන ගන්ට ඕන..නැද්ද? 

      Delete
    3. ඔය පරිසරයට බොග දානවා කියන්නේම පරිසර දුෂණයක්.ඔන්න අපි දන්නේ නැහැ පරිසර දුෂණයට ඉඩ දීලා මෛත‍්‍රී ජනපති විධායක බලය පාවිච්චි කරලා මොනාවා හරි කෙරුවොත් හිටං.

      Delete
    4. Manoj,

      / ඔය පරිසරයට බොග දානවා කියන්නේම පරිසර දුෂණයක්. /

      පිස්සුද බං? ඔන්න කිව්ව ඉතිං කතාවක්..බොග කියන්නෙ 100% කාබනික ද්‍රව්‍ය, සත්තුන්ට ආහාරයක්. ගස් වැල් වලට පොහොරක්.එහෙම නැතිවුනත් බොහොම පහසුවෙන් ජීර්ණය වෙනව. අනික බොග කියන්නෙ මොකක්ද? BOG - Bio-Degradble Oraganic Gastric-excreta

      ඒ කියන්නෙ වියෝජනය වෙලා නැවත පරිසරයටම එකතුවෙනව.එහෙම පරිසර හිතකාමී විදිහට එළිමහනෙ බොග නොදා අපිමයි මේ කකුස්සවල්, මනුබිල්, පූතික ටැංකි, මල අපහරණ පද්ධති (Sewage Treatment Systems) හදාගෙන අනවශ්‍ය සම්පත් නාස්තියක් කරන්නෙ. වහාම මේ විකාරෙ නවත්වන්න ඕන. අර නලින් ද සිල්වට උපදෙස් දෙන නාත දෙයියො කියලත් තියනව වහාම සියලු ලක්වැසියො කකුස්සවල් පාවිච්චිය නවත්තල OAB ( Open Air Bogging ) වලට පුරුදුවෙන්ට ඕන කියල.දිවියලෝකෙ එක කකුස්සක් වත් නැතිලු. දෙයියො දිවියාංගනාවො ඔක්කොම එක පොදියට නඳුන් උයනෙලු ඒ වැඩේ කරන්නෙ.

      Give back to the nature what you take from it. You would feel nature speaking to you, thanking you, when you are squatting under an ever green tree, It's voice reverberating from the bottom of your bowels, rumbling from the very core of yourself. Feel it..just enjoy giving back. there is no joy greater in this life.

      Delete
    5. හෑ,එහෙනම් එකක්ද ?
      බලහං රවීයියේ මේ රෙද්දේ සදාචාරේ නිසා අපි පරිසරයට හොඳ කාබනික පොහොර ලබා නොදෙන හැටියක්.වහාම පොඩි ප්‍රේමේ ඇමතිතුමාට කියන්න ඕනේ නිවාස ණය දෙනකොට වැසිකිළි ඉදි කිරීමට යන ඇස්තමේන්තුව කපා දාලා ණය දෙන්ට කියලා හිටං.:D

      Delete
  18. මරං වාඩි ගැන සහසුද්දෙන්ම දැන ගත්තේ රවීයියාගෙන්.මම හිතං හිටියේ ඔය "මරං වාඩි" කියලා කිව්වේ මරා ඉන්න වාඩි ගැන කියලා නොව.ඒ ජාතියේ "මරා වාඩියක්"තියේ නාරාහේන්පිට අභයාරාමේ හිටං.
    නාරාහේන්පිට අභයාරාමේ කිව්වාම මතක් වෙන්නේ මුරුත්තෙත්ටුවේ හාමුදුරුවෝ.
    මුරුත්තෙත්ටුවේ හාමුදුරුවෝ. කිව්වාම මතක් වෙන්නේ හෙද සංගමය.
    හෙද සංගමය කිව්වාම මතක් වෙන්නේ නර්ස් නෝනලාව.
    නර්ස් නෝනලා කිව්වාම මතක් වෙන එක්කෙනක් තමයි රවීයියා
    රවීයියා ගේ නර්ස් නෝනා සරෝජා හැබෑට කෝ දැන් උන්දැ ?

    මේ අර වගේ ඇලක නාන්න ඇත්නම්.

    ReplyDelete
    Replies
    1. //මේ අර වගේ ඇලක නාන්න ඇත්නම්.//
      ඒ වගේ ඇලක නානකොට උඩ ඉඳල බොගග් දාන්න ඇත්නම් :D

      Delete
    2. මනෝජ්,

      / මම හිතං හිටියේ ඔය "මරං වාඩි" කියලා කිව්වේ මරා ඉන්න වාඩි ගැන කියලා නොව.ඒ ජාතියේ "මරා වාඩියක්"තියේ නාරාහේන්පිට අභයාරාමේ හිටං. /

      අම්මාපල්ල නියම කතාව ඒක..අබයාරාමෙ = මරා වාඩිය..හෙහ්,හෙහ්..තැන්කියු...තැන්කියු..මලේ..මරා වාඩිය ගැන ලියන්ට ඕන පොඩි විස්තරයක්...

      / රවීයියා ගේ නර්ස් නෝනා සරෝජා හැබෑට කෝ දැන් උන්දැ ? /

      සරෝජා නෙවෙයි බොල තලෝජිනී..අනික් එක්කෙනා අතෝකා..ඉන්නව ඉන්නව දෙන්නම හොඳ සනීපෙට ඉන්නව. කොහෙද ඉතිං උඹලමනෙ මට ඒ අම්මන්ඩිල ගැන ලියන්ට නොදෙන්නෙ? දැන් බලපං මරා වාඩිය කියල එකක් කියල මගෙ ඔලුව නරක් කලා. ඉතිං කොහෙද නේස් නෝනල ගැන ලියන්නෙ එක හිතකිං...:(

      Delete
    3. @ ප්‍රසන්නයියා

      අපෝ ඊඊඊඊඊඊඊඊඊඊ ..යායායා.:D

      @ රවීයියා

      //දැන් බලපං මරා වාඩිය කියල එකක් කියල මගෙ ඔලුව නරක් කලා. ඉතිං කොහෙද නේස් නෝනල ගැන ලියන්නෙ එක හිතකිං.//

      අර හැලපයියා උඩින් දාපු කමෙන්ට් එක දැක්කේ නැතිද බොලා.:D

      //පිං සිද්දවෙයි,පටන් අරං තියෙන කතා සීරීස් දුසිමක් හමාරක් විතර ඉවර කරල ඉඳින්.//

      Delete
  19. මුක්කුවා ජාතිකයින් ගැන අහල තියනවද?
    වෙනම නීතිත් තිබුන ඔවුන්ට

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      මුක්කරු ගැන වෙන්න ඕන ප්‍රා කියන්නෙ. සබරගමුව, වෙල්ලස්ස පැතිවල තමයි ඔය මුක්කරු ගැවසුනයි කියන්නෙ. මැණික් ගැන හොඳ දැනුමක් තිබුනයි කියන මුක්කරු ප්‍රධාන වශයෙන් මැණික් මිළදී ගැනීමෙ නිරතවුනයි කියල තමයි සඳහන් වෙන්නෙ.

      මුක්කරු කියල හැඳින්නුවෙ කවුද මුක්කරු ආවෙ කොහෙන්ද කියල මම දන්න විදිහට එකඟතාවයක් නෑ විද්වතුන් අතරෙ. ඔවුන්ගෙ මුල් නිජබිම අරාබිකරය, පර්සියාව, කේරලය සහ මලබාරය කියල මත කිහිපයක් තියනව. මොරොක්කෝවෙන් පැමිණි නිසා මුක්කරු කියනව කියල එක මතයක්. පර්සියාවෙ මුඝර් ප්‍රදේශයෙන් පැමිණිය නිසා එහෙම හඳුන්වනව කියන එක තව මතයක්.මට මතක විදිහට එක්කො John Still ගෙ Jungle Tide හෝ W.T.Keble ගෙ Ceylon:Beaten Track පොත් දෙකෙන් එකක මුක්කරු ගැන කියවෙනව ඔවුන් මලබාරයෙ ඉඳන් පැමිණි සංක්‍රමණිකයින් කොට්ඨාශයක්ය කියල.

      සබරු ගැන ප්‍රා දන්නවද? සබරගමුවට ඒ නම ලැබුනෙ සබරු නිසා කියල කියනව.

      Delete
    2. මුක්කුවාවරුන් ලංකාවෙ සාමාන්‍ය පදිංචියනම් නැගෙනහිර :-
      http://en.wikipedia.org/wiki/Mukkuvar

      වෙනම නීති පද්ධතියකුත් තිබුන
      //There are different systems of law, namely, the Roman Dutch Law, the English Law, the Common Law, the Kandyan Law, the Muslim Law, Thesavalamai, the Mukkuwa Law, etc., and each has its own jurisprudential principles.//
      //The Mukkuwa Law gradually fell into disuse and the Tamils of the Eastern Province were thereafter governed by the Roman Dutch Law. However, traces of the Mukkuwa Law can be seen in the Kudi System followed by the Muslims of the Eastern Province.// :-

      //http://www.island.lk/2005/02/06/features5.html

      සබරා/හබරා ගැන විවිධ මත තියනවා ...බලංගොඩ මිනිසා, වැද්දා, දඩයම්කරුවා සහ තවත් කුතුහලය දන්වන මත

      Delete
    3. P.S. මුක්කුවාවරුන් අයිතිහාසිකව - බටහිර හා නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශ

      Delete
    4. Pra,

      මුක්කුවාර් සහ මුක්කරු කියන්නෙ කට්ටි දෙකක්ද මන්ද....එහෙමත් වෙන්ට බෑ නේද?

      Delete
  20. අපේ OAB අත්දැකීම් ඔයිට ටිකක් වෙනස්.. ගෑනු මිනිස්සු කළබලෙන් වගේ තේ පඳුරු අස්සෙන් බැරෑරුම් බැල්මක් දාගෙන යනවා.. ඔන්න හිටි ගමන් අතුරුදහන් වෙලා ආයිම බොහොම සැහල්ලුවෙන් උඩ මතුවෙලා තේ පඳුරු අස්සෙන් කිසි කිසි ගාල පල්ලම් බහිනවා.. තේ වතුවල 'වල බහින්ඩ' ගත්ත මුල් කාලවල අපිට ඕක හෙන කුතුහලයක්.. පස්සෙනේ දන්නේ ඒකෙ රඟේ.
    තොලබෝවත්ත ගමේවෙල පැත්තේ ඔය මට්ට කොල්ල කියන කතාව කනින් කොණිං අහල තිබ්බට හරි විස්තරයක් දැක්කේ අද තමයි. රවී අයියට හැබෑට සෙට් වුනේම නැද්ද මෑන් ඔහේ ඉන්නකම්?
    යාං හෑලි අඳුන්වා දුන්නට වෙනම මේ ප්‍රණාමය!..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / තොලබෝවත්ත ගමේවෙල පැත්තේ ඔය මට්ට කොල්ල කියන කතාව කනින් කොණිං අහල තිබ්බට හරි විස්තරයක් දැක්කේ අද තමයි. රවී අයියට හැබෑට සෙට් වුනේම නැද්ද මෑන් ඔහේ ඉන්නකම්? /

      අන්න බං මට අමතක වෙලා තිබ්බ අනික් නම ..ගමේවෙල...තොලබෝවත්තට උඩිං බිබිල පාරෙ තියනවලු ලස්සන දිය ඇල්ලක්..පීස්ස ඒකෙ නම. ඒ දියඇල්ල පිටිපස්සෙ තියනවයි කියනව මහා නිධානයක්. බදුල්ලෙ රජ්ජුරුවොහංගපු එකක්ය කියනව ඒ වස්තුව. අර මම කියපු කඩේ මුදලාලි ( මට දැන් මනුස්සයගෙ නම මතක නෑ ) තමයි මට ඔය විස්තරේ කිව්වෙ.

      බදුල්ලෙ හිටපු රජ්ජුරුවොය කියන්නෙ මම හිතන්නෙ මනහුවර රජකරපු දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ සහෝදරයෙක් වෙච්චි කුමාරසිංහ වෙන්න ඕන. වෙන බදුල්ලෙ රජ කෙනෙක් මම දන්නෙ නෑ.දෙවෙනි රාජසිංහගෙ අනික් සහෝදරය මාතලේ රජකලා. නම විජයපාල. මාතලේ නගරය කිට්ටුව තියෙන විජයපාල විද්‍යාලය නම් කරල තියෙන්නෙ එතුමා සිහිවෙන්ට.

      මට්ට පොඩි එකා නම් හම්බ වුනේම නෑ බං. ඒ හරියෙ ඒ කාලෙ තිබ්බෙම මචං රවුං ගල් එක. ඒක ඇවිල්ල හිඟුරානෙ ගහන එක. සංස්ථා හතරැස් එක එහෙට එන්නෙ නෑ. අපි හිටපු හරියට කිලෝ මීටරයක් වගෙ බඩල් කුඹුර පැත්තට වෙන්ට තිබ්බ පොඩි බාර් එකක්. රෑ දෙගොඩහරියෙත් අපි සමහරවෙලාවට යනව පට්ට හීතලේ ඔතනට බඩු මදිවුනාම. ඒ වෙලාවට මට්ටය ගැන ගානක්වත් නෑ. උදේට බඩු හිඳුනම තමයි ඇඟේ ලේ වතුර වෙන්නෙ.

      " යකෝ ඔය අපි පහුකරල ගිය වංගුවෙ මට්ටය ඉන්න තැනක්ය කියල ගමේ මිනිස්සු කියනව. "මගෙ යාලුව කියනව.

      " නෑහ්??? මල කෙලියයි ආය නං මට කතා කරන්ට එපා රෑ තිස්සෙ බඩු ගේන්ට යන්ට.."මම එහෙම කියනව

      ඒත් එදා රෑත් එහෙමයි..හෙහ්,හෙහ්,

      / යාං හෑලි අඳුන්වා දුන්නට වෙනම මේ ප්‍රණාමය!.. /

      සුරංගගෙ ලිවිල්ල මරු..බලනකොට බොලායෙ ගමේ දැං ඉන්නෙ නේද?...හෙහ්,හෙහ්,

      Delete
  21. මට්ට කොල්ල විතරක් නෙමෙයි තව කොට අද්භූත අය ගැන කතා සහ/හෝ විශ්වාසයන් තියනව. ගොපල්ලා, මිට්ටා ( හවසට දියපාරවල් ලඟ හෝ පාරවල් අයිනේ ) සහ තවත් වර්ග ගණනාවක් රවි අහල තියනවද (මං හිතන්නෙ මට්ට කොල්ලා ගැන තමයි. හෝර්ටන් තැන්න අවට. Not sure. Have to check ) මිනිස්සුන්ගේ කකුල් දෙක අස්සෙන් දිව යන ගමන් family jewels කඩාගෙන යන අඟුටු මිට්ටෙක් ගැන?.

    ReplyDelete
    Replies
    1. ස‍ුදු ඇදගත්, මිටි , එනවිට සීනු හඩක් එන,රිදී කෙන්ඩියක් එකතකින් සැරයටියක් අනිත් අතින් අරගෙන පාන්දර වැස්සියන්ගෙන් කිරි දොවන්න එන ගොපල්ල ගැන අපේ සීය කියල තියනව. සද්ද කරල එයාගෙ කිරි දෙවීමට බාධා කලොත් රිදී සැරයටියෙන් එළදෙනට ගහනවලු එතකොට එළදෙන කිරි වරනවලු. සැරයටිය කිරි දොවන වෙලාවට විතරක් බිමින් තියන වෙලාවට ඒක ගත්තොත් කප්පම් විදිහට රන්, මුතු , මැණික් ගන්න පුලුවන්ලු.
      තව මම A/ L කරන කාලෙ ගෙදරින් පාඩම් කරනව කියල මාළු අල්ලන එවුන් එක්ක ආදො අල්ලන්න යනව. ( ඒක වෙනම ශිල්පීය ක්‍රමයක් තියන වැඩක් ) මටනම් ජීවිතේට එකෙක් අහුවෙලා නෑ. දවසක් ඔයේ දැලක් ගගහ යනව රෑ 12 ට විතර. එකතැනකදි මාළු ගොඩක් දැලට පැටලුනා ,එතනම තුන් පාරක් දැල ගැහුවම එකම විදිහට අසාමාන්‍ය විදිහට මාළු පැටලුනා, දැල ගහපු එකා කතාවක් නොකර මාළු ඔක්කොම හලල ගොඩක් දුරකට ආවට පස්සෙ. දැන් කියපු පෙරේතයගෙද,, භූතයගෙද නම මතක නෑ " තව ටිකක් ඉස්සරහට දැල ගැහුවනම් හරි මාළු ටික අරන් අපි ආපහු ආවනම් හරි අපි දෙන්නම සිහිනැතිව වතුරට වැටිල මැරිල ඉදියි" කිවුව එවලෙ ආ..... ඌ කිවුවෙ දිශ්ටියක් කියල.

      Delete
    2. Pra,

      / මිනිස්සුන්ගේ කකුල් දෙක අස්සෙන් දිව යන ගමන් family jewels කඩාගෙන යන අඟුටු මිට්ටෙක් ගැන?. /

      මළ කෙලියයි මහරජ කිව්වලු..එක පාරක් මගෙ කකුල් දෙක අස්සෙං ඔහොම එකෙක් දිව්ව නේන්නං..ඔන්න දැනුයි මතක් උනේ. මටත් වැඩේ දීලද දන්නෙ නෑ..බඩ හින්ද හුඟ කාලෙකින් දැක්කෙත් නෑනෙ..ඉන්න ..ඉන්න ප්‍රා බලන්ට ...කණ්ණාඩි කෑල්ලක්වත් අල්ලල..ආ..නෑ..නෑ..තියනව...තියනව...නාත දෙයියංගෙ සහ ඩියල්ය් සම්‍යක් දෘස්ටික දෙවිවරුන්ගෙ පිහිටෙන් නිරුපද්‍රිතව තියනව...අවුලක් නෑ...හප්පේ දැනුවත් කිරීමට ස්තූතියි ප්‍රා.....:)

      Jokes apart Pra, I have never heard about a diminutive family jewels plucker before…..

      Delete
    3. කම්මල,

      / සැරයටිය කිරි දොවන වෙලාවට විතරක් බිමින් තියන වෙලාවට ඒක ගත්තොත් කප්පම් විදිහට රන්, මුතු , මැණික් ගන්න පුලුවන්ලු. /

      ගොපළු යකා නැත්තං ගොපළු දෙයියො අතේ තියෙන්නෙ කෙවිටක් කියලයි මම අහල තියෙන්නෙ. ඔය ගොපලු යකා ගැන උදයකාන්ත වර්ණසූරිය ෆිල්ම් එකකුත් ගැහැව්වෙ රන් කෙවිට කියල ..මතකද?

      හූනියම් දේවතාවා ගැන ඈ අත්තම්ම මට කියල තියනව. හූනියම් දේවතාව වඩිනකොට සමන්පිච්ච මල් සුවඳ හමනවයි කියලයි උන්දැ කිව්වෙ.

       / දැන් කියපු පෙරේතයගෙද,, භූතයගෙද නම මතක නෑ " තව ටිකක් ඉස්සරහට දැල ගැහුවනම් හරි මාළු ටික අරන් අපි ආපහු ආවනම් හරි අපි දෙන්නම සිහිනැතිව වතුරට වැටිල මැරිල ඉදියි" කිවුව එවලෙ ආ..... ඌ කිවුවෙ දිශ්ටියක් කියල. /

      ඔය කැළෑබද පලාත්වල දඩයමේ යන මිනිස්සු මාලු අල්ලන මිනිස්සුන්ගෙ ඔහොම විශ්වාස තියනව. දඩයම් වෙනදට වඩා සුලභව ලැබෙනවනම් ඒ වගේම මාලු බහුලව අහුවෙනවනම් ඒ යක්ෂ බැල්මකින්ය කියල තමයි කියන්නෙ. ඒ වෙලාවට ඒ හමබ වෙච්චි ඔක්කොම එහෙම්මම අතෑරල දාල වහාම ආපහු ගෙදර ආවෙ නැත්තං ලොකු අනතුරක් වෙනවයි කියලයි කියන්නෙ.

      Delete
  22. කුකුලේගඟ කතා හරියට සමහර කඩවල මාළුපාන් වගේ. මොකද එහෙම කිව්වේ මාළුපාන් කිව්වට එව්වයේ මාළු නෑ තියෙන්නේ අලයි ගම්මිරිසුයි ලුණුයි . මේකෙත් කුකුලේගඟ ගැන ඇරෙන්න අනිත් හැමදේම ලියල. ඒත් හරිම රහයි.. සමහර තැන් කියවද්දී මට මායා රන්ජන්ගේ 'දිගාමඩුල්ලේ ආශ්චර්යය'පොත මතක් වුනා

    ReplyDelete
    Replies
    1. තිලක්,

      හෙහ්,හෙහ්..කඩේට ගිහිල්ල මාලු පාන් කියල ඉල්ලනකොට අපි කවුරුත් ඇතුලෙ මාලු තියෙයි කියල බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ. මුදලාලිගෙ ඇඟට ගොඩවෙන්නෙත් නෑනෙ " කොයි මනුස්සයො මේකෙ මාලු? " කියල....හෙහ්,හෙහ්,..

      අනික් අතට බැරිවෙලාවත් මාලු තිබ්බොත් ඔන්න අවුලක්...ඒ වගෙ තමයි තිලක් මේකත්...මේකෙ දැන් වෙලා තියෙන්නෙ මාතෘකාවෙ විදිහට ලිව්වොත් ඔන්න හැමෝම අහන්ට ගන්නව " මොකෝ බොල? අසනීපයක්වත්ද? " කියල.

      තිලක්ගෙ අදහසත් නියමයි. මාලුපාන් කතා කියල නම වෙනස් කරන එක ගැන සලකල බලන්ට වටිනව.බොහොම ස්තූතියි තිලක් ප්‍රශංසාවට....:)

      Delete
  23. නමෙන් ගමෙන් මාතෘකාවෙන් වැඩක් නැහැ රවී අයියේ, උඹ මොනවහරි කුරුටු ගාල පලයන්. ඒ ඇති...
    නිට්ටෑවෝ ගැනත් ඔය මට්ට කොල්ලා ගැන වගේම කතා කියවෙනවා නේද...

    මට්ටයෝ ගැන මම මුලින්ම කියෙව්වේ පරණ සිංහල පෙළපොතකින්, ඒකෙ පත්තරේක ගිය ලිපියක් උපුටලා දාල තිබ්බ වගේ මතකයි, 1956 හරි ඒ ආසන්නයේ ඇති වෙච්ච ගංවතුරක් වෙලාවේ වෙච්ච සිද්ධියක්. පත්තරෙන් ගියපු කවුරුහරි ගංවතුරට කොටු වෙලා වගේ සීන් එකක්.
    අද ගෙදර ගිහින් ඒ පොත හොයාගෙන බලල හරියටම කියන්නම්. ඒක අපිට කලින් තිබ්බ පෙළපොතක් උනාට මම ලැබිච්ච දවසේ ඉඳල පරිස්සම් කරලා තියා ගත්තා.

    ඒ කතාවේ මට්ටයෝ ගැන කියවෙනවා මෙන්න මෙහෙම. උන් වතුරට යට වෙච්ච පාරේ තැන තැන වලවල් කපල තියනවලු. පාරේ යන වාහන ඒවායේ වැටෙන්න.
    ඊට පස්සේ වාහන තල්ලු කරලා දීල ගාණක් කපා ගන්නවලු.
    ඔය මට්ටයෝ කියන ජාතිය "මට්ට කොල්ලට" වඩා භයානකයි ඒ අතින් බැලුවහම...

    ReplyDelete
  24. මේ සීරීස් එක අදයි ඇහැ ගැටුනෙ. මං මේ කොටස් හයම කියවල ඉවර උනා විතරයි. ආයෙ මොකුත් නෑ මල් හතයි. සඳරුගේ හිස් අහස කියෙව්ව වගෙයි. ජයසේන ජයකොඩිගෙ නවල් එකක් කියෙව්ව වගෙයි.

    ඔබේ අතීත ස්මරණයන් සමඟ අපිත් ජීවත් වෙනව වගෙයි දැනෙන්නෙ. වනගත ජීවිතය ඒ රැකියාව අන් සියල්ලට වඩා සුන්දරයි. ත්‍රාසජනකයි. හීනී හුලං පාරක් වැදි වැදි තරු අහස යට ඌරු මස් කෑල්ලක් එක්ක මයියොක්කා හැලියක් ලංකරගෙන ඉන්න තියෙන ජීවිතේර වඩා සුන්දර අන් යමක් තියෙයිද...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...