Saturday, June 22, 2019

634. Julia Roberts, දේව පාමුල, පින්න මලේ සුද සහ එක දවසක් පළඟැටියෙක්....


Julia Roberts as Pretty Woman

මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම. 

ආන්න එහෙමයි පහුගිය පෝස්ට් එකට කලින් පෝස්ට් එක මම පටන් ගත්තෙ..මතකයි නෙවද? 

ඒ ඔය මේ දවස්වල රූපවාහිනී චැනල් කීපයකම විකාශය වෙන යස අපූරු ටෙලි චිත්‍රපට (එව්වට ටෙලි නාට්‍ය කියල කවුරු කිව්වත් මම නම් කියන්නෙ ටෙලි චිත්‍රපට කියල. එව්ව නාට්‍ය නොවෙන කොට මොන කෙහෙල්මලකටද එව්වට නාට්‍ය කියල කියන්නෙ?..වැරදි දෙයක් ජනසම්මත වුනාය කියල ඒ වැරැද්ද නිවැරදි වෙනවද? නෑනෙ...මම කලින් දවසක ඔය ටෙලි නාට්‍ය කියන බහුබූත වචනෙ උපත ලබපු හැටි ගැන සවිස්තරව කියල තියෙන හින්ද ආය අදත් ඒ ගැන කියන්න යන්නේ නැත) කීපයක් ගැන පොඩි විස්තරයක් කරල කාරිය වැඩේ අහවරක් කරල දාන්නම්ය කියල හිතලයි වැඩේ පටන් ගත්තෙ. ඒත් අන්තිමට සිද්ද වුනේ අර කලාතෙ මීමා බලන්නෙම මඩට පනින්ට කිව්වැහෙ පරණ පුරුදු විදිහට චිරාත් කාලයක් පටන් පැවත එන මගෙ පඳුරු තැලීමේ ක්‍රියාපටිපාටියට නොදැනුවත්වම පිවිසෙන්ට සිද්ද වුන එක. 

හරි හරි එහෙනං වෙච්චි දේට එන්න සෙයියරදු කියල පටන් ගත්තු කතන්දරේ කියල ඉන්නංකො ඔක්කෝටම කලිං. 

රායිට් කලින් දවසෙ කතන්දරේ කැලේ පැන්න තැන ඔබ තමුන්නාන්සේලාට අමතක මතක බැරිවෙලා ඇතිය කියල උපකල්පනය කරල හිට මම ඒඅදාල තැනින්ම අද කතාව පටන් ගන්නව ඔන්න එහෙනං... 

පසුගිය සතියෙන් උපුටනය / 

"සූඩයොද? කීරමින්ද? කට්ට කරවලද?" පොදුවෙ කරවල කෝකටත් ආසයි උනාට ඒ තමයි මගෙ ෆේවරිට් කරවාඩු ත්‍රී කැටගරීස්... 

"මොන ජාතියද කියල නම් මන්දන්නෙ නෑ අනේ...ඔය තියන මොනව හරි එක්ක කන්නකො.." ඇය කිව්ව.. 

"හරි හරි ඒකෙ අවුලක් නෑ...මට කරවල මොනව උනත් එකයි"  මමත් කිව්ව. 

"මේ ඒ කරවල කතාව අල්ලල දාමුකො..මට ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න වෙලා තියනව.." 

"හරි හරි ඉතිං මොකක්ද කියන්නකො.." 

"මේ දවස්වල අර දේව පාමුල කියල පත්තරවල එහෙම ඇඩ් එකක් යන්නෙ ..ඔයා ඒක දැක්කද? " 

"දැක්ක..දැක්ක..අප්පච්චියේ නොදකින්නෙ කොහොමද? හැම පත්තරේම වගෙ ෆුල් පේජ් ඇඩ් එකක් දානවනෙ ඔය දේව පාමුල කට්ටිය...හෙහ්..හෙහ්.. " 

/ උපුටනය අවසන් 

"ආ දැක්කනෙ.. එහෙනම් මේකයි ඕන උදව්ව…" 

"Yes tell me..At your service always Madam…" 

"ඔය දේව පාමුල කට්ටිය හැම අවුරුදු දෙක තුනකටම සැරයක් ලංකාවට එනව.." 

"ඔව් මට මතකයි ...ඉතිං?

"ඉතිං අපෙ අම්ම ඔව්ව හරියට විස්වාස කරනව.." 

"ආ..ඇත්තද?.." 

"ඔව්නෙ.." 

"එතකොට ඔයත් ඔව්ව විස්වාස කරනවද? " 

"මම නම් ඔව්ව ගැන විස්වාසයක් නෑ…." ඈ කිව්වෙ මා දිහා බලල හිනාවෙන ගමන්... 

එදා ඔය එහෙම කිව්වට ඇත්තම කිව්වොත් ඒ අම්මණ්ඩි උන්දගෙ මව් තුමියට වඩා බොහොම සුට්ටයි පස්සෙන් ඉන්නෙ ඒ අංසෙන් බැලුවොත්...හෙහ්..හෙහ්..ආය ඉතිං ඇත්තම කියන්ට එපාය...

මම අනම් මනම් කියන හින්දම බැන්දට පස්සෙ ටිකක් කොන්ට්‍රෝල් වුනා. ඒත් ඔය හිටපු ගමං එක එක පිස්සු විකාරවලට අහුවෙලා එව්ව පස්සෙ දුවනව. ඒත් එව්ව හරියට අර සෝඩ බෝතලේ කැඩුව වගෙ කියන්නෙ...අන්න ඒ වගෙ බොහොම ටික කාලයයි. එහෙ දිව්ව මෙහෙ දිව්ව..මොන මොනව හරි විසිවිත්තර ටිකක් කලා. බොහොම ඉක්මනට එව්ව නැතිවෙලා ගිහිල්ල යතා තත්වයට එනව... 

ඔය සෝඩ බෝතලේ කැඩුව වගෙ කියන උපහැරණෙට මේ දවස්වලනම් ඊට වඩා බොහොම අපූරු උපහැරණයක් තියනව. තිසර පෙරේරාගෙ බැටිං වගෙ. කියල කිව්ව නම් නියමයි. ඔන්න තිසර පෙරේරා ආව. පලවෙනි නැත්නම් දෙවෙනි බෝලෙට හයයි.. ඊලඟ බෝලෙට හතරයි.. ඊට පස්සෙ බෝලෙ ඔන්න විකට්. එහෙම නැත්නම් කැච්... 

එතුමියගෙ මේ සෝඩ බෝතල් සීන් එකට උදාහරණයක් ගත්තොත් මේ අවුරුදු හත අටකට වගෙ ඉස්සර එවුන්දැට වැහුන අර පෙංසුයි කියල විකාරයක් තියෙන්නෙ..ආං ඒ පිස්සුව..එතුමියගෙ අතිජාත මිතුරියකගෙ මාර්ගයෙන් තමයි අසනීපෙ බෝ වුනේ..ඒ කරල අර ආසිරි වනිගරත්න කියන පට්ට හොරාගෙ පෙන්සුයි වැඩ මුලු දෙකකට කොහේදත් ගියා ඔන්න ඔහෙ...එක එක පෙන්සුයි පිළිම, පෙන්සුයි නැව්, පෙන්සුයි ගස් එහෙමත් ගෙනල්ල ගේ පුරා තැන් තැන්වල තියල තිබ්බ. 

හැබැයි අපරාදෙ කියන්න බෑ..ඔය එක එක අටමගල් ගන්ට ඉස්සෙල්ල මගෙං අහනව.."මේ ඒයි අර පෙන්සුයි අහවල් එක මම ගන්නද?" කියල..මමත් ඉතිං ඉස්සෙල්ලම අහන්නෙ "කීයද ඔය අහවල් එකේ ගාණ?" කියල...බලනකොට ඒ හැටි ගාණක් එහෙමත් නෑ..අනික කොහොමත් එතුමී ඔය මිල අධික එව්ව ගන්නෙත් නෑ අපරාදෙ කියන්න නම් බෑ ඉතිං.... "හා එහෙනං ගන්නකො.." කියල මම කිව්වම ඔන්න අරගෙන ඇවිල්ල ඒ එක්කම දෙන උපදෙස් පත්‍රිකාවෙ තියන විදිහට ඒ නියමිත දිශාව බලල තැන්පත් කරනව.

මමත් ඉතිං ඔය සාලෙ තියන පුටු මේස සැටි එහෙම එහාට මෙහාට අදින්ට උදව් කරල සහයෝගය දෙනව. සහජීවනය කියන්නෙ ඒක නෙව. අනික ඉතිං මට ඒ මනුස්ස දූගෙ සිතුම් පැතුම් අදහස් උදහස් තනිකර කණපිට ගහල වෙනස් කරන්ට ඇහැකිය? එහෙම පුලුවන් උනත් මම එහෙම කරන්ට යන්නෙ නෑ. 

අර ජුලියා රොබට්ස් (Of Pretty Woman Fame) යෝදි කියල තියන අපූරු කතාවක් ඔබ තමුන්නාන්සෙල අහල ඇති නෙවද? 

"Women...You Are Not Rehabilitation Centers for Badly Raised Men. It's Not Your Job to Fix Him, Change Him, Parent or Raise Him. You Want a Partner. Not a Project" - Julia Roberts 

ජුලියා නංගි මෙතන කියන්නෙ කාන්තාවො කියන්නෙ නැහැදිච්චි පිරිමි හොඳ මාර්ගයට ගැනීම තම ඒකායන අපේක්ෂාව කොටගත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන නෙවෙයි කියලයි...හෙහ්...හෙහ්..ඒ එක්කම කියනව කාන්තාවන්ට අවශ්‍ය වන්නේ ජීවන සහකරුවෙක් මිස තම ජීවිතය ඒ වෙනුවෙන් කැපකල යුතු ව්‍යාපෘතියක් එහෙමත් නෙවෙයි කියල...කොහොමද කතාව?... සම්පූර්ණ ඇත්ත නේද? 

ඉතිං ජුලියගෙ මේ කතාව පොඩ්ඩක් විතර වාගෙ වෙනස් කලොත් මටත් ඕන කලේ මට ඕන විදිහට මකවල අලුතින් අඹල ගන්ට පුලුවන් මැටි රූපයක් නෙවෙයි. කොටින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාට්නර් කෙනෙක්. ඒ හින්ද ඒ යෝදිගෙ ඔය පොඩි පොඩි Idiosyncrasies මට කවදාවත් ප්‍රශ්ණයක් උනේ නෑ. ඇත්තම කිව්වොත් ඒකෙන් උනේ අපේ ජීවිතේ තවත් රසවත් වුනු එක...

(ඔය Idiosyncrasies කියන වචනෙට මධුර ගොයිය නම් කියන්නෙ නිජසම්මිලතිය කියල. අනේ මන්ද කොහෙන් හොයාගත්තු එකක්ද කියල...මධුර කියන අනෙක් වචනෙ ස්වචාරය..ඒකනම් ටිකක් විතරවත් ගැලපෙනව ) 

හරි ජුලියා ගැන ඒ ඇති ආයම එමු අපි දෙන්නගෙ දේව පාමුල පිළිබඳ සාකච්ඡාවට… 

"හ්ම්ම්ම්..ඒක හොඳයි..මම නම් ඔය බහුබූත සත පහකට විස්වාස කරන්නෙ නෑ...හරි හරි ඒ ගැන පස්සෙ කතා කරමු..දැන් කියන්නකො මොකක්ද ඕනය කියපු උදව්ව?" 

"මීට අවුරුදු දෙහෙකට වගෙ කලින් ඔය කට්ටිය ලංකාවට ආපු වෙලාවෙ බෝගම්බර පිට්ටනියෙත් ඔය දේව මෙහෙයක් තිබ්බ. මම තමයි අම්මව එක්ක ගියේ ඒකට. රෑ එකොළහවගෙ වුනා වැඩේ ඉවරවෙනකොට. ඊට පස්සෙ අපේ ලොකු අයිය ඇවිල්ල හිටිය අපිව එක්ක යන්ට. රෑ ඒ පාර හන්තානෙ එයාගෙ ක්වාටර්ස් එකේ ඉඳල පහුවදා ගෙදර ගියා..." 

ඒ යෝදිගෙ ලොකු අයිය වැඩ කලේ හන්තානෙ තේ පර්යේෂණායතනයෙ. 

"ඉතිං?" 

"ඉතිං වැඩේ කියන්නෙ මේ පාර ඒ කට්ටිය නුවරට එන්නෙ නෑ. කොළඹ විතරයි.." 

"හරි, හරි, අයි අන්ඩර්ස්ටෑන්ඩ්...අම්ම මේ පාරත් යන්න ඕනය කියල කියනව..එහෙම නේද?" 

"ඔව් අනේ...මම මේ කල්පනා කලේ මොකක් කරන්නද කියල..අයියටත් එන්න විදිහක් නෑ ..අයියගෙ වයිෆ්ට බබෙක් හම්බවුනේ මේ පහුගිය මාසෙ...පොඩි අයිය මේ දවස්වල බදුල්ලෙ ගිහිල්ල මොකක්ද රාජකාරි වැඩකට.." 

උන්දැගෙ පොඩි අයියත් වැඩ කලේ තේ පර්යේෂණායතනයෙමයි.

"හරි ඉතිං දැන් මොකක්ද ඔයාගෙ අයිඩියානන්ද එක නොහොත් යෝජනාව?" 

ඇගේ අදහස කුමක්ද යන්න සක්සුදක්සේ පැහැදිලි වුවද මම ඇගේ වදනින්ම ඒ අසනු රිසියෙන් පිළිවිසියෙමි. 

"රයිට් මට කියන්න ඕන කලේ මේකයි..ඔයාට බැරිද අම්මයි මායි එක්කල ඔය වැඩේට යන්ට එන්ට?" 

"ඒ කියන්නෙ කීයටද ඕක තියෙන්නෙ? මම ඔය පත්තරේ ඇඩ් දැක්කට ඒ වෙලාවල් කලාවල් බැලුව ඇති එකක් නෑ..මට වැඩක් නැති හින්ද…"

"රෑ හතට පටන් ගන්නෙ..ඉවර වෙන්ට නියමිත වෙලාවක් නෑ...සමහරවිට රෑ එක දෙක වෙන්නත් පුලුවන්.." 

"ඈ?" 

"නෑ..නෑ..අපි එච්චර වෙලා ඉන්න ඕන නෑ ඔය දහය එකොළහ වගෙ වෙනකොට එමු." 

"හරි ඒත් දැන් රෑ එකොලහට එතනින් පිටත් වුනාය කියන්නෙ කොටුවට එනකොට එකොලහමාරවත් වෙනව. අනික ඔය යක්කු ගස් යන වෙලාවට බස් තියෙන්නෙත් සී.ටී.බී. විතරයි ඒකත් පැය බාගෙකට එකක් වගෙ. එතකොට දොළහමාරට කොළඹින් ආවත් නුවරට එනකොට තුනවත් වෙනව. ඔය ගොල්ලො කොහෙද එතකොට රෑ ඉන්නෙ?" 

"මාතලේට යන්ට ඒ වෙලාවට කොහොමත් බස් නෑ. අපේ ලොකු අම්මකෙනෙක්ගෙ පුතෙක් ඉන්නව කෙහෙල්වල...කොළඹ-නුවර පාර අයිනෙම වගෙ..පාරෙ ඉඳල ඕනනම් මීටර් පණහක් ඇති. අම්මයි මායි හිතාගෙන ඉන්නෙ එතන බැහැල ඒ අයියලගෙ ගෙදර යන්ට.." 

කෙහෙල්වල තියෙන්නෙ කොළඹ-නුවර පාරෙ පිළිමතලාවයි පේරාදෙණියයි අතර. වැඩිය කිට්ටු පේරාදෙණියට. පේරාදෙණියට කෙහෙල්වල ඉඳල තියෙන්නෙ කිලෝමීටර් තුනක් තුනහමාරක් වගෙ. 

"හරි හරි ඔයාලට එහෙම යන එකේ අවුලක් නෑනෙ නේද? මම කිව්වෙ ඔය මහ රෑ පාන්දර තනියම යන එක?" 

"නෑ..නෑ..කිසිම අවුලක් නෑ..අපි පොඩි කාලෙ ඉඳල නිතරම එහෙ ඇවිත් ඉඳලම එහෙ දැන් ගම වගේ පුරුදුයි..ඒ හින්ද කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ..ඔයාටත් පුලුවන්නෙ ඔයාලගෙ ගෙවල් ගාවින් බහින්න නේද? නැත්නම් අපිත් එක්ක යමු අර මම කිව්ව අයියලගෙ ගෙදර.." 

"නෑ..නෑ..මට පුලුවන් අපේ ගෙවල් ගාව හන්දියෙන් බහින්න..අනික එහෙම ඇවිල්ල රැයක් ඉන්න එකත් හරි නැහැනෙ...ගෙවල් වලින් එහාට මෙහාට ඇවිල්ල ගිහිල්ල වැඩේ එකලාසයක් වෙලානම් ඔන්න ඒත් කමක් නෑ...හෙහ්..හෙහ්…" 

අපේ ගෙවල්  තියෙන්නෙ පිළිමතලාවටත් කිලෝ මීටරයක් වගෙ කොළඹ පැත්තට වෙන්න.. ඒ කියන්නෙ මට තමයි ඉස්සෙල්ල බහින්න වෙන්නෙ….. 

අපේ ඔය සම්බන්දෙ ගැන ඒ වෙනකොට අපෙ අම්ම අප්පච්චි එහෙමත් යන්තමට දැනගෙන හිටිය. යන්තමට කියල කිව්වෙ මගෙ මෙහෙම පලහිලව්වක් තියනව වගේය කියල මිසක් ඒ ගැන ඉස්තිරේට මොකවත් මම කියල තිබ්බෙ නෑ. ඒ හින්ද මට කෙලින්ම අම්මට මේ ගැන කියන්ටත් මහ මොකක්ද වගෙ… 

අනික ඒ දවස්වල ජම්බුගහපිටියෙ ඉන්න අපෙ ලොකු අම්ම බලන්ට සති අන්තෙක යමුය කියල අම්ම මා දැක්ක කීප පාරක්ම කියල තිබ්බ. ඒ උනාට ඒ සති අන්ත දෙක තුනේම වගෙ මට හදිසි වැඩ රාජකාරි යෙදුන හින්ද ගෙදර එන්ට බැරි වුනා. 

ඔය මහ කන්නෙ ගොයම පූදින කාලෙ වතුර ඕන වෙනව යහමින්. ඒ කාලෙ යෝද ඇලෙන් ගලාගෙන එන වතුර සොච්චම මුර ක්‍රමයක් හදල බෙදල දෙන්ට ගියාම ඔන්න මණ්ඩලේ කචල්. මේ අල්ලපු කුඹුරුවල එවුං මරාගන්ට යනව. තමන්ගෙ ජීවනෝපායට තර්ජනයක් වෙනකොට මිනිස්සුන්ගෙ අර පපුවෙ තියන යහපත් ගතිගුණ යටපත් වෙලා දුෂ්ඨ අදහස් සහ කල්පනා එලිපෙහෙලියට එනවය කියන එකට ඊට වැඩි හොඳ උදාහරණයක් තවත් නැහැ කියලයි මට හිතෙන්නෙ. 

අනික් අතට ඒක තමයි නොනැසී පැවතීමේ සහජ ඉව නොහොත් "Survival Instinct" කියන්නෙ. මනුස්ස වර්ගයා මේ අද ඉන්නා තත්වයට ආවෙ තනිකරම ඔය Survival Instinct එකේ ප්‍රබලත්වය හින්දය කියලයි මානව විද්‍යාඥයො එහෙම දහ අතේ දිවුරල කියා හිටින්නෙ.. 

කොත්මලේ ජලාසයෙ වතුර මට්ටම අඩුවෙලා ජල විදුලිය නිෂ්පාදනය කරන එක අඩු කලොත් බකමූණෙ අපිට කෙළවෙනව. ඒ කියන්නෙ කොත්මලේ ජල විදුලිය නිෂ්පාදනය කරල පිටාර යන වතුර තමයි ඔය දුර කතර ගෙවාගෙන බකමූණෙ අත්තනකඩවල එතකොට දියබෙදුමෙ අපෙ කුඹුරු වලට ගලාගෙන එන්නෙ... ඒ කියන්නෙ කොටින්ම කිව්වොත් ආණ්ඩුවට කුඹුරු ගොවිතැන් ගැන කිසිම වගේ වගක් තිබ්බෙ නෑ. ප්‍රමුඛස්ථානය දුන්නෙ ජල විදුලි බල නිෂ්පාදනයට. 

මොකද එදත් අදත් හැම දාමත් දේසපාලුවොය කියන කාළකන්නි මුල් තැන දෙන්නෙ මනාපෙට. බකමූණෙ අත්තනකඩවල කුඹුරු මැරුණට එච්චර අවුලක් නෑනෙ. මට මතක විදිහට ජී කලාපෙ (මහවැලිය කලාප වලට බෙදල තිබ්බනෙ..ඉංග්‍රීසියෙන් කිව්වෙ System කියල. System A- කන්තලේ, System B-වැලිකන්ද, System C- දෙහිඅත්තකණ්ඩිය/ගිරාඳුරුකෝට්ටේ, System G-බකමූණ, System H-තඹුත්තේගම / මහ ඉලුප්පල්ලම, System L-වැලිඔය... ඊට අමතරව තිබ්බ මහවැලි විශේෂ බල ප්‍රදේශය - උඩ වළව කියල එකකුත්. ඒ ඔය ඇඹිළිපිටිය දිහාවෙ) බකමූණෙ ඒ කාලෙ හිටියෙ ගොවි පවුල් 5000 විතර ගාණක්. ඉතින් එක පවුලකින් ඡන්ද 4 ක් වුනත් එතන තියෙන්නෙ ඔක්කොම ඡන්ද 20,000 වගෙ. ඒ වගේද කුඹුරුවලට වතුර දීල වතුර ඉවරවෙලා ජල විදුලිය නිෂ්පාදනය කරන්ට වතුර නැතිවෙලා ලයිට් කපන්ට උනොත් එහෙම ඒ හින්ද ඡන්ද කීයක් නැති වෙයිද? අනික කුඹුරු මැරුණම කියමුකො.. විසඳුම Very very very simple නෝ?... 

මැරිච්චි කුඹුරු හෙක්ටෙයාර් ගාණ ගනං කරල දෙනව වන්දි මුදල්. එහෙම දෙන්ටත් මිලියන තුන හතරක් වියදම් කරල තියන මහා උත්සවයක්. අහල ගං හතක්ම සරසනව රැලි පාලම් එහෙම දාල. ඒ උත්සවේ සංවිධාන කටයුතු වලිනුත් සෑහෙන ගාණක් මාටියා ගහනව. සංගීත කණ්ඩායමක් එහෙමත් ගෙන්නනව. 

"ආ දෙන්ඩ බලන්ඩ ඔය කුඹුරු මැරිල බොහොම සංවේගප්ප්‍රාප්තව ඉන්න මාමල නැන්දල පුංචි අම්මල බාප්පල එහෙම රෙදි කරට අරගෙන හොඳ හූවක්…"

සංගීත කණ්ඩායමේ නායකය මලක් එහෙම ගහල උඩ පැනල අත් උස්සගෙන එහෙම කියනව..

"හූ.....හූ.....හූ...හූ.... " 

පලාතම දෙවනත් වෙන හූ සද්දෙ අර මැරිච්චි කුඹුරු සිසාරා පැතිර යනව... 

කාටවත් කිසිම අවුලක් නෑනෙව..ඔය ඔක්කෝටම වන්දි වලටයි උත්සව වලටයි සංගීතයටයි ඔක්කෝටම ගෙවන්නෙ ආණ්ඩුවෙ සල්ලි..ආණ්ඩුවෙ සල්ලි කිව්වට ඉතිං මොකෝ ඔය ඇමතිල මන්ත්‍රීල ගෙවල් වලින් ගෙනාපු සල්ලිය? නෑනෙ අපේම සල්ලි තමයි.. 

ඉතිං මම මේ කියාගෙන ආවෙ ඔය මුර වතුර ප්‍රශ්න හින්ද මට සති අන්ත දෙක තුනක්ම ගෙදර එන්ට බැරි උනාය. ඒ හින්ද අම්මත් එක්ක ලොකු අම්මලයෙ ගෙදර යන්ට බැරි වුනාය කියලනෙ.. 

"මේ දවස්වල හදිසි වැඩ වගයක් තියන අම්මෙ. ඒ හින්ද මම කියන්නද ලබන ඉරිද වගෙ යමු ලොකු අම්මලගෙ ගෙදර.." 

මම එහෙමයි කියල තිබ්බෙ. ඉතිං වැඩේ කියන්නෙ එහෙම කියල මම කොහොමද කියන්නෙ මම මේ අරයයි එයයිලගෙ අම්මයි දේව පාමුල බලන්ට කොලඹ එක්කල යනවයි කියල. 

අම්ම එකත් එකටම හිතයි "දැක්කද මූ වගෙ ගුණේ නැති එකෙක්..මෙච්චර කල දෑහේ මූනේ තියල හදල වඩල මූට මම අපෙ අක්කව බලන්ට යමුය කියල කියනකොට ඒක බෑ හදිසි වැඩ තියනවලු. ඒත් මේ ඊයෙ පෙරේද හම්බ වෙච්චි අරකියි ඒකිගෙ අම්මයි දෙයියො පෙන්නන්ට කොළඹ එක්ක යන්ට පුලුවනි. එතකොට අර හදිසි රාජකාරි මොකවත්ම නෑ හුහ්..මදැයි මමත් පුතෙක් හැදුව.." 

ඔහොම හිතන එකත් හිතවම තමයි. අම්මල කොහොමත් පුත්තු බඳින්ට යනකොට ඊරිසියයි. විශේෂයෙන්ම එකම පුතා උනහම ඒ ඊරිසියාව තවත් උග්‍රයි. මම වගෙ ගුණ යහපත් එකම පුත්‍ර රත්නයක් උනහම ඒ ඊරිසියාව දෙගොඩ තලා යනව අනිවාර්යයෙන්ම. ආය ඒකෙ දෙකක් එහෙම නෑ... 

ඉතිං මොනවටද මගෙ දයාබර මව් තුමියගෙ රුධිර ධාතුව කෝප කරවන්නෙ කියල හිතල මම අම්මට මෙහෙම කිව්ව… 

"අම්මෙ මේ ලබන සෙනසුරාද මම වැඩ ඉවරවෙලා එහෙම්මම කොළඹ යනව හොඳද? (අපිට ඒ කාලෙ සෙනසුරාද වරුවක් වැඩ) අපේ අර යූනියන් එකේ හදිසි රැස්වීමක් කැඳවල තියනව. හවස පහට. ඒක ඉවරවෙලා මගෙ යාලුවෙක් ඉන්නව බොරැල්ලෙ. එහෙ ගිහිල්ල රෑට කාල රෑ කීයට හරි තියන බස් එකක ගෙදර එනව..අම්මල ඇහැරින්න ඕන නෑ. මගෙ කාමරේ දොරේ යතුර තියනවනෙ. මම දොර ඇරගන්නම්..." 

අපේ ගෙදර හදනකොට මම ඉස්සරහ පැත්තෙ මගෙ කාමරේට පිටින් දොරක් දාගත්ත. ඒ හින්ද ඕන රෑ ජාමෙක අම්මලට ඇහැරවන්නෙ නැතුව මට ඇවිල්ල හෙමීට කාමරේ දොර ඇරගෙන බුදිය ගත්තෑකි. දුර දිග කල්පනා කරල මම එහෙම කරපු එක පස්සෙ කාලෙක බොහොම ප්‍රයෝජනවත් වුනා.. කිව්වම මොකද?..හෙහ්..හෙහ් 

ඉතිං ඔය විදිහට එයයිතුයි (එයයිතුයි කියන්නෙ දකුණු ලංකාවෙ වචනයක්) එයයිතුයිලගෙ අම්මයි..ආ..අන්තිම මොහොතේ එයයිතුයිලගෙ පුංචි අක්කත් ගමනට එකතුවුනා ..මම ඒ තුන්දෙනා එක්කල ගියා තිඹිරිගස් යායෙ හැව්ලොක් පාක් එකට. අපි යනකොට හයයි කාලට වගෙ ඇති. අප්පේ ඒ වෙනකොටත් හත් අට දාහක් වගෙ සෙනඟ..කොහොම හරි හතාමාර වෙනකොට පටන්ගත්ත ආතල් එක..ආය මොනවද අර Mass Hysteria නොහොත් සමූහ මෝහනය කියන්නෙ...අන්න ඒකනෙ ඔය නාඩගම් වලදි වෙන්නෙ..ගෑණු බලන්ට එපාය වැඩේ කොණ්ඩ කඩාගෙන ඔලුව කරකවනව මෙලෝ සිහියක් නැතුව. උඩ පනිනව කැරකෙනව. බිම පෙරලෙනව එක පොයියංගමයි. 

එදා එතන හැව්ලොක් පාක් එකේදි සෑහෙන්න හාස්කම් සිද්ද උනා මයෙ මේ දෑහිම්ම දැක්ක ...ඇත්ත කියන්න එපාය..

ගොළුවො ඇවිද්ද විතරක් නෙවෙයි පුට්බෝල් හිටං ගැහැව්ව.....

අන්ධයො බස බස ගාල තොර තෝංචියක් නැතුව කතා කරන්ට ගත්ත. 

කොරුන්ට පෙනීම ලැබිල දේව පාමුල ඉස්ටේජ් එකේ ගහල තිබ්බ බැනර් එක හෙණ දුර ඉඳල මහ හයියෙං කියෙව්ව "එන්න අප ස්වාමිදරුවාණන් හා එක්වන්න. අවසාන විනිශ්චය ඉතා ආසන්නය. එදිනට අප ස්වාමි දරුවාණන් ඉදිරියේ ඔබේ මෝක්ෂය සළසාගන්න ආමේන්!...." 

මම ඉතිං ඔය නාඩගම් බල බල පිට්ටනිය පුරා එහෙ මෙහෙ ඇවිද්ද. පිට්ටනියෙ එක මායිමක් වෙච්ච ඉසිපතන මාවත පැනල එහා පැත්තෙ තිබ්බ ඒ කාලෙ මම සේනාරත්න සර්ගෙ අශෝකාරාමෙ ක්ලාස් ගිහිල්ල නාවල බෝඩිමට යන්ට බස් එක එනකල් හිටපු බස් හෝල්ට් එක ඇතුලට වෙලා ඉඳගෙන ඒ අතීතයට නැවත පිවිසුණා. ඊට පස්සෙ ඒ ලඟම තිබ්බ හෝටලේකින් රෑට කන්න පොල් රොටීයි ආප්පයි අරං ආව. 

කොහොම හරි වැඩේ ඉවරයක් වෙන්ට කලින් දහය දහයාමාරට වගෙ අපි හැව්ලොක් පාක් එකෙන් පිටත් වුනා. නුවර බස් එකේ එද්දි මම බොහොම අමාරුවෙන් ඇහැ ඇරගෙන ආව. ඇයි අප්පේ නින්ද ගියොත් එහෙම මොන දෙයියන්ට කියන්ටද? ඒ තුන්දෙනානම් මට ඉස්සරහ සීට් එකේ කට කපල නිදියගත්ත. පිළිමතලාවට කලින් අපෙ ගෙවල් ගාව හෝල්ට් එකේ බහිද්දි මම එයයිව කීද්දුව.. 

"මේ… මම බහිනව ඉස්සරහ හෝල්ට් එකේ. ආයම නින්ද යයි බලාගෙන.. ඇහැරලම ඉන්න..නින්ද යයි වගේනම් හිටගෙන යන්න..." මම එහෙම කියල බැහැගත්ත.

"හරි අනේ බොහොම ස්තූතිය…" එයයි කිව්ව.. 

"හරි මල්ලි තෑන්ක්ස්…" එයාලහෙ අක්ක කිව්ව.. 

"හරි පුතා එහෙනම් පරිස්සමින් යන්න..අපිත් හෙට දවල් වෙලා ගෙදර යනව .." අම්ම කිව්ව.

ඉතිං ඔය හැව්ලොක් පාක් එකේ දෙවන මතක සටහන මෙතෙකින් නිමියේය.. 

ඊගාවට තව මේ දවස්වල ප්‍රචාරය වෙනව සුදු ඇඳගෙන කළු ඇවිදින් කියල තවත් අපූරු ටෙලි චිත්‍රපටයක්... 

මම කැමති ඒකෙ පරිසරයට..කතාවෙ හැටියටනම් මැදව්ච්චියට එහා ගමක්… 

මම අනුරාධපුරේ ටෙක් එකට යන කාලෙ අපේ පන්තියේ හිටිය එකෙක්...ගම ඇවිල්ල හිට කුංචුට්ටුව..කුංචුට්ටුව තියෙන්නෙ මැදවච්චියෙන් කැබිතිගොල්ලෑවට ගිහිල්ල එතනින් තවත් යන්ට ඕන සෑහෙන දුරක්. අපි ටෙක් යන කාලෙ සහ ඊට පස්සෙත් සති අන්ත දෙක තුනක්ම ඔය කුංචුට්ටුවෙ ඒකගෙ ගෙදර ගිහිල්ල ඉඳල තියනව. පොරට හොඳට සිංදු කියන්ට පුලුවනි. පෙනුමත් ටිකක් විතර එඩ්වඩ් ජයකොඩි වගෙ..අපි ඒ කාලෙ කිව්වෙත් එඩා කියල... 

මට අද වාගෙ මතකයි ඒ ගිය පාරක බෝතලේකුත් අරගෙන ගිහිල්ල උංගෙ ගමේ වැව් පිටියෙ තියන ගල් තලාවක් උඩ ආතල් එකක් අරගෙන එඩ්ව්ඩ්ගෙ සිංදු කියපු හැටි. ඒ කාලෙ සුනිල් සහ එඩ්වඩ් තමයි අපේ ජනප්‍රියම ගායකයො දෙන්න...පින්න මලේ සුද..සිරි යහනේ ළණු ඉහිරී...කැරකෙන රෝදේ...නිල් නුවන් පෙඟෙන...වසන්තයේ අග...නිම් තෙරක් නුදුටු මේ ලෝකයේ...සංතාප මාවතේ...තිරය ඇරෙනවා... 

එතකොට සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාවෙ තියන ශුෂ්ක පරිසරයට මම කැමති තවත් හේතුවක් තියනව. එයැයිතුයි මමයි බැඳල අපි ඉස් ඉස්සෙල්ලාම පදිංචියට ගියේ බකමූණට කිලෝ මීටර් හත අටක් එහායින් තියෙන අත්තනකඩවල කියන දිහාවෙ. අත්තනකඩවල අර ටෙලිචිත්‍රපටයෙ පරිසරය තරමටම ශුෂ්ක වියළි කලාපීය නොවුනට වැස්ස නැතුව නියඟයක් ඇල්ලුවම ඒ වගේම තමයි. ඉතිං ඔය ශුෂ්ක පරිසරයෙ අපි දෙන්න යුග දිවිය අරඹපු ආකාරයත් හරිම අපූරු කතාවක්..එහෙනම් ඊලඟ කොටසින් ඒ කතාව කියන්නම්..එහෙම හොඳයි නේද? 

සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාවෙ තේමා ගීතය මෙහෙමයි..... 

එක දවසක් පළඟැටියෙක් සිතුවමක් ඇන්දා 
සිතුවමක් වගේ සිතියමක් ඇන්දා 
සිතියමේ උන්නු සමණලයා මංමුලාවුනා මල් හොයලා... 

ගහ කොළ විතරයි පේන මානේ 
සුළඟ හමනවා..සුවඳක් නෑනේ... 
සිතියමේ උන්නු සමණලයා මංමුලාවුනා මල් හොයලා... 

බොරුව ලඟ වැඩියි මේ ලෝකේ...
ඒක zoom කරලා අපි බලලත් නෑනේ 
සිතියමේ උන්නු සමණලයා...

එක දවසක් පළඟැටියෙක් සිතුවමක් ඇන්දා 
සිතුවමක් වගේ සිතියමක් ඇන්දා 
සිතියමේ උන්නු සමණලයා මංමුලාවුනා මල් හොයලා... 


24 comments:

  1. Replies
    1. නිජලසම්මුතිය?

      Delete
    2. Pra,

      නිජලසම්මුතිය නෙවෙයි බොලේ නිජසම්මිලතිය, නිජසම්මිලතිය...:)

      ඔව්..ඔව්..ප්‍රසන්නයටත් එහෙම එකක් වගේ තමයි පේන්නෙ...:)

      Delete
    3. ප්‍රසන්න,

      ඈ බොල උගුඩුවො..තෝ අර අලුතෙන් දාපු පෝස්ට් එකේ ගිහිල්ල කෝ පරණ එකට දාපු කමෙන්ට්ස් වලට උත්තර කියල උඩ පැන්නෙ මේ කමෙන්ට් එක ගැනද?

      නෙද්දකිං විතරක්...

      Delete
  2. Gunayahapathya qwa??? Ehemei?

    ReplyDelete
    Replies
    1. ගීතිකා,

      එහෙම තමයි... ඇයි මොකද?

      Delete
  3. ගොළුවො ඇවිද්ද විතරක් නෙවෙයි පුට්බෝල් හිටං ගැහැව්ව.....

    අන්ධයො බස බස ගාල තොර තෝංචියක් නැතුව කතා කරන්ට ගත්ත.

    කොරුන්ට පෙනීම ලැබිල දේව පාමුල ඉස්ටේජ් එකේ ගහල තිබ්බ බැනර් එක හෙණ දුර ඉඳල මහ හයියෙං කියෙව්ව "එන්න අප ස්වාමිදරුවාණන් හා එක්වන්න අවසාන විනිශ්චය ඉතා ආසන්නය. එදිනට අප ස්වාමි දරුවාණන ඉදිරියේ ඔබේ මෝක්ෂය සළසාගන්න ආමේන්!...."

    අම්මපා මේ හාස්කම් මෙහෙමම වුනාද?

    ReplyDelete
    Replies
    1. කුමාර,

      ආය මොනවද? එහෙම්මම වුනා..මයෙ මේ දෑහිම්ම දැක්ක නෙව...:)

      Delete

  4. මේ දවස් වල බ්ලොග් කතන්දර මධ්‍යගත වෙලා තියෙන්නේ හැව්ලොක් පාර්ක් එකට වගෙයි. ඔයාගේ ඇපොලෝ සර්කස්, ඊට පස්සේ 'නිදි' ගේ රොක් ෆෙස්ටිවල්, නැවතත් ඔයාගේ 'දේව පාමුල දේව මෙහෙය' ඔක්කොම එතැන. ඒ පිටැන්න ගැන ලියන්න ඉතුරුවෙලා තියෙන්නේ 1977 ජූලි චන්දෙට දින දෙකකට පෙර විපක්ෂ නායක ජේ ආර් ගේ 'සත් වසරක ශාපයේ අවසානය' ලෙස නම් කෙරුණු, ඒ දක්වා දේශපාලන රැස්වීමකට පැමිණි විශාලතම ජනකාය බවට අවිවාදිත, අවසාන චන්ද රැස්වීම ගැන විතරයි නේද??

    //ගොළුවො ඇවිද්ද විතරක් නෙවෙයි පුට්බෝල් හිටං ගැහැව්ව.....

    අන්ධයො බස බස ගාල තොර තෝංචියක් නැතුව කතා කරන්ට ගත්ත.

    කොරුන්ට පෙනීම ලැබිල දේව පාමුල ඉස්ටේජ් එකේ ගහල තිබ්බ බැනර් එක හෙණ දුර ඉඳල මහ හයියෙං කියෙව්වා.//

    මේ විදියේ ප්‍රාතිහාර්යය නම් මටත් කරන්න පුළුවන්.

    ReplyDelete
  5. කලු ඇඳගෙන සුදු ඇවිත් එක කොටසක් බැලුවා. පසුතල ඇරුනම කතාවනම් කොලිටියක් නෑ. රඟපාන නලු නිලියොත් ඕනෑවට වටා රඟපාන්ඩ ට්‍රරයි කරනවා. කිසිම ස්වභාවික ගතියක් නෑ.

    ReplyDelete
  6. ඔය වගේ සීන් එකක් තමයි මම හිතන්නෙ "ඝරසරප" ෆිල්ම් එකේ තිබුණෙ. හැබැයි ඒකෙ ඉන්නේ ගොළුවො අන්ධයෝ නෙවෙයි, කළු කුමාර උන්නැහේ වැහුණු ගැහැණු ළමයෙක්.

    පුතාල විතරක් නෙවෙයි, දූලා දෙන්නත් අම්මල ලෝභයි, ඒක නේ බඳිනකම් නිවනක් නැතුව, මනමාලයෝ හොය හොය, බැඳපන් බැඳපන් කිය කිය ඉන්න අම්මල, දුව බඳින දවසට පොලවේ හැපි හැපී අඬන්නෙ.

    //ඉතිං ජුලියගෙ මේ කතාව පොඩ්ඩක් විතර වාගෙ වෙනස් කලොත් මටත් ඕන කලේ මට ඕන විදිහට මකවල අලුතින් අඹල ගන්ට පුලුවන් මැටි රූපයක් නෙවෙයි. කොටින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාට්නර් කෙනෙක්. ඒ හින්ද ඒ යෝදිගෙ ඔය පොඩි පොඩි Idiosyncrasies මට කවදාවත් ප්‍රශ්ණයක් උනේ නෑ. ඇත්තම කිව්වොත් ඒකෙන් උනේ අපේ ජීවිතේ තවත් රසවත් වුනු එක...//

    මේ කතාව ඇත්ත, අපේ විදියටම කෙනෙක් මවන්න බැහැනෙ, ඇරත් ඒ විදියට එකම වගේ දෙන්නෙක් උනාමත් සමහර වෙලාවට කම්මැලියි, සහ නැති ප්‍රශ්න.

    ReplyDelete
  7. පුදුම කට්ටක් නෙව කාලා තියෙන්නෙ "එයැයි" හින්දා. :D

    ReplyDelete
  8. “My view on feng shui: don’t put your bed in front of the door because you won’t get in.”
    ― Jonas Eriksson


    "If we are not able to ask skeptical questions, to interrogate those who tell us that something is true, to be skeptical of those in authority, then, we are up for grabs for the next charlatan (political or religious) who comes rambling along."
    - Carl Sagan

    ReplyDelete
  9. සු.ඇ.ක.ඇ. එකේ තියනව පට්ට දෙබස් සමහර වෙලාවට.. හැබැයි.. ඒ නාටකීය දෙබස් ඕවර් යූස්ඩ් කියලත් හිතෙනවා. හැම චරිතයකම රඟපෑම් අන්තිම ඉහල තලයක තියන නාට්‍යයක්... අර අලුත්ම කොල්ලො කෙල්ලො ටිකේ ඉඳන්... ඉතුරු ටික ගැන නං ඉතින් කියන්න තියෙන්නේ "උඹලත් පුදුම ගංකාරයො තමයි" කියලා.. හුහ් අපි නම් තෙමෙයි වැස්සට...

    ReplyDelete
  10. එයයිතුයි කිව්වම මතක් වුනේ ... මේ ලඟදි අපි මේ පොඩි ට්‍රිප් එකක් ගියා. යද්දී මුහ්ද මැද්දෙන් දාපු පාලමක් උඩින් යද්දී කියනවා මේ පාලම යටින් නැව්තුත් යනවා කියල ....හෙහ් හෙහ් ... කොහොම හැදුනු බාසාවක් ද මන්ද ඒක නම්

    සුදු ඇඳ ගෙන කළු ඇවිදින් තාම බලන්න බැරි වුනා . මේ දවස් වල විරය ගෙද‍ර ඇවිත් බලනවා

    ReplyDelete
    Replies
    1. එක පාරක් මගේ යාලුවෙකුත් කිවුව "හයියෝ ඒ ෆොටෝ පේස්බුකුත් දානවා කිවුව අනේ" කියල.

      Delete
  11. මැච් එකෙන් කැඩුණු හිත හදාගන්න පුලුවන්ද කියල බලන්න මේ පැත්තට ආවා..

    මහ පුදුම ගං කාරයෝ තමයි මෙහෙම කරනකොට හිත හැදුනනෙ 😊
    ඔය සිංදුව අහලා මං මේවෙනකන් කොටස් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරල බැලුව. ස්තූතියෙ තියන විදිහට දර්ශන ටික බකමූණ අවටම තමයි
    චරිතත් එක්ක බැලුවම දෙබස් හරි බරයි අතාත්විකයි වගේ ඒත් ඒ හිංදම මං ඒකට කැමතියි ඒකේ අමුතුම ගතියක් තියනව.
    දැනට මේකයි වී.ගෙ.ඇ. එකයි බලනව තව මොනා හරි තිබුණොත් අපිවත් දැනුවත් කරන්න.
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. මැච් එකෙන් කැඩුණු හිත හදාගන්න අපිත් ආව මේ පැත්තට. :D

      Delete
    2. මේක බලල ගිහින් මම ඒ කතාව බැලුව පොඩ්ඩක්. දැන් නතර කරන්න හිතෙන්නේ නැහැ. වීරය ගෙදර ඇවිත් බලන එකත් නතර වුනා. :)

      තව මොනා හරි තිබුණොත් අපිවත් දැනුවත් කරන්න X 2

      Delete
    3. ලයිව් කියන එකකුත් හම්බුනා ඒකත් අහලම බලන්න
      ලින්ක් හදන්න කම්මැලයි


      https://m.facebook.com/story.php?story_fbid=10156782659398736&id=723433735

      Delete
  12. අද ගතියක් නෑ වගේ බං

    ReplyDelete
  13. idiosyncrasies වචනෙට හොඳටම ගැලපෙන්නේ රවී (අත්තම්ම)ගෙ නුහුගුණේ කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...