Sunday, June 19, 2022

676. තෙල් අර්බුදයට හෝම් මේඩ් විසදුං...

මයි පෙන්ස්...දැම්මේ තෙල් අර්බුදේ නිමාවෙන දවසක් පේනතෙක් මානෙක නෑ....ඉතිං මට පේන විදිහට හොඳම විසඳුම ධ්‍යාන වඩවා සෘධි බල උපදවා ගැනීම...

අවුරුද්දකට විතර ඉස්සෙල්ල අපේ ගෙදරට එන පාර දෙපැත්තෙ තියන අඩි 25 විතර උස තාප්ප දෙකක් කපරාරු කෙරුව. ඒ වැඩේට උවමනා  පලංචි ගෙනල්ල ගහන්න මාර කට්ටක් කෑවෙ..

ඒ මොකද කියනවා නම්..... (ඔය ඒ මොකද කියනවා නම් කියන කෑල්ල මම අල්ල ගත්තෙ කැලෑ ජෝන්ගෙ කතා වලින්..දන්නවනෙ කැලෑ ජෝන් නේද? කැලෑ ජෝන් නිතරම ඔය ඒ මොකද කියනවානං කියන කෑල්ල කියනව කතා පවත්වනකොට..කැලෑ ජෝන්ගෙ අයියල දෙන්න ලන්ඩන් ජෝන් සහ කොළඹ ජෝන්..ලන්ඩන් ජෝන් ඉගෙන ගන්ට රුසියා..පොර අන්තිමට ලන්ඩන් ගිහිල්ල තමයි පෙරකදෝරු විබාගෙ එහෙම පාස් උනේ ..ඒ නිසා එයා ලන්ඩන් ජෝන්..ඊලඟට කොළඹ සෙන් තෝමස් එකේ ඉගෙන ගත්තු එක්කෙනා කොළඹ ජෝන්..බාලයත් සෙන් තෝමස් ගියාට වැඩිපුර කලාය කියන්නෙ කැළේ පැනපු එක ඒ හින්දා එයා කැළෑ ජෝන්..)



මිස්ටර් කැළෑ ජෝන්....


හරි දැන් ආපහු එමු තාප්ප කපරාරු කතාවට...ඔය පලංචි ගහන්න අපි හෙණම කට්ටක් කෑව කියමුකො.. ඒ මොකද කියනවානං ගෙදරට එන පාර තියෙන්නෙ හෙණ බෑවුමක..ගෙදරට එන පාර කිව්ව පණිවිඩ හත අටක් යැව්ව ඒත් තාම ආවෙ නෑනෙ ආවෙ නෑනෙ ආවෙ නෑනෙ මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා..ඒ අපූරු ගීතය කියන්නෙ චන්ද්‍රානි ගුණවර්ධන..තුං තුඹමල් තුඹමල් රෙද්ද ඇඳල බණ්ඩි වළලු දෑත දමාලා..  



බණ්ඩි වළලු පැළඳි යුවතියක්...

ඉතිං ආයම ප්‍රස්තුත කතාවට ආවොත් එහෙම ඔය බෑවුමේ නොහොත් සොලොප් එකේ පලංචි හිටවන්ට හරිම අමාරුයි.."අනේ මහත්තය වරුවක් යනවනෙ මේ පලංචි ගැහිල්ලට..."  වැඩේ බාර ගත්තු හෙඩ් බාසුන්නැහේ කෙඳිරි ගානව..

ඒ කාලෙ මේ පේස් බුක් එකේ ෂෙයාර් උනා ඔය අපේ හාන්දුරු කෙනෙක් දාපු ප්‍රචාරක දැන්වීමක්..ඒකෙ තිබ්බෙ ලක්ස තුනක් හරි හතරක් හරි ගානකට සතියක් ඇතුලත ඒ හාන්දුරුවො ඕනම කෙනෙකුට සෘද්ධි බල උපදවා ගන්න විදිහ කියල දෙනවයි කියල..මම ඉතිං අර කෙඳිරි ගාන බාසට ඕක පෙන්නල කිව්ව "යකෝ ඉන්න ඉඩම කඩම හරි උගස් තියල මෙන්න මේ හාන්දුරුවො ඉන්න පන්සල හොයාගෙන ගිහිල්ල අර අහසින් යන සාස්තරේ ඉගෙන ගං..ඊට පස්සෙ බොලාට පලංචි මොන කෙහෙම්මලක්වත් ඕන වෙන එකක් නෑ..කෙලිම්ම බාස් මේසෙං හැන්දයි මට්ටං ලීයයි අරගෙන ගුවන් ගත වෙනව..ඒ පස්සෙම්ම ගෝලය බදාම තාච්චිය අරගෙන ගුවං ගත වෙනව..අදාල තැනට ගිහිල්ල අහසේ පළක් බැඳ වාඩිවෙලා එහෙම කපරාරුව ගහනව..හැබැයි මතක ඇතුව අලුත් ජොක්කු ඇඳගෙන වරෙල්ල..."  කියල..

උං මගෙං අර හාන්දුරුවංගෙ නොම්මරේ එහෙමත් ඉල්ල ගත්ත..ඒත් එතෙන්ට හොයාගෙන ගියාද නම් මන්ද..මම ඉතිං ඔය ගොසිප් සයිට් එහෙම බලනකොට එතකොට අදද රෙණ ප්‍රවෘත්ති එහෙම බලනකොට උනන්දුවෙන් බලනව "ඉර්දි බලයෙන් ගුවන් ගතවී කපරාරු කරන පැණිදෙණියේ මේසන් දෙවිවරු...අති පෞරාණික හෙළ යක්ඛ ගුප්ත ශාස්ත්‍රයන්හි තවත් වික්‍රමයක්වගෙ ප්‍රවෘත්තියක් එහෙම යයිදෝ කියල... ම්හුම්..තාම නම් දැක්කෙ නෑ.....

ඉතිං ඔය ඔය හාමුදුරුවො ගැන මතක් වෙලා මම මේ පහුගිය දවස් ටිකේම හෙව්ව එතුමාගෙ ඇඩ් එක කෝල් එකක්වත් දීල බලන්ට..කොහෙද ඔහෙ නෑ හම්බවුනේ..

ඒත් එහෙම හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න බොලේ මට හම්බ වුනා කියහල්ලකො මුම්බායි වල එහෙම අහසින් යාමේ ක්‍රම වේදය උගන්නන ආස්‍රමයක් ...එතන පාඨමාලා ගාස්තුවක් ගැන නම් සඳහනක් නෑ.. ඒත් මුම්බායි වලට ගුවන් ගාස්තුනම් මම හිතන්නෙ උපරිම ලක්ස එකහමාරක් වගෙ වෙයි රිටර්න් ටිකට් එක..ඕක මොකක්ද පෙට්‍රල් ලීටර් 400 වගේනෙ වෙන්නෙ..ඒ වගේද ආය ජීවිතේට පෙට්‍රල් පෝලිමක ඉන්න වෙන්නෙ නෑ..ඕන්නම් අහසිං ගිහිල්ල පෝලිමේ ඉස්සරහ තව වාහන කීයක් තියනවද වගෙ ඉම්පෝටඩ් විස්තර පස්සෙම ඉන්න අයට කියල  ආදායකුත් හොයා ගත්තෑකි...


සෘද්ධි බල ලැබීම.......

22 comments:

  1. රහත් වෙච්ච සමන්තබඩ්ඩටත් තාම සෘධි බලයෙන් අහසින් යන්න ලැයිසොං ලැබිලා නැති කොට, ඊට පහලින් ඉන්න සකෘදාගාමී, අනාගාමී, සෝවාන් අයට නං අබ සරණයි.

    ලැයිසොං ලැබුනා උනත්, උඩින් යද්දී සෘධි බලයට මොනවා හරි උනොත්, දබෝස් ගාලා බිමට වැඩමවයිද කියන බයට තමයි සියලුම ගමන් බිමන් ලෑන්ඩ් කෘසර් එකෙන් වඩින්නේ!

    ReplyDelete
    Replies
    1. sam,

      පොර රහත් විතරක් නෙවෙයි බුදු උනාය කියලනෙ කියන්නෙ...රහත් වෙනව කිව්වම සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි අහසින් යන බලය ඒ එක්කම ලැබෙනවයි කියන එක..කොහොම හරි ගම්බද උපාසක මහත්තුරු නෝන මහත්තුරු එහෙමයි හිතාගෙන ඉන්නෙ.."මේ කොලුව දැං මෙතන හිටියනෙ..යකෝ සාක්කලේ මේ ඩිංගට කොහාට රහත් උනාද මන්ද.." ඔහොමනෙ කියන්නෙ..

      හමන්ට බඩ්ඩ නම් කියන්නෙ රහත් උනාම, බුදු උනාම අහසිං යන බලයක් ලැබෙනවයි කියන එක බොරු කතාවක් කියල.."කෝ දැං මම බුදු උනානෙ..මට එහෙම බලයක් ලැබුනද නෑනෙ.." පොර එක වංගියක් එහෙම කිව්ව..

      දැං කොහොම හරි පොර ඒ බුදු සීන් එක දාන්නෙ නෑ..අර අඹවල තිබ්බ පොරගෙ පිළිමත් අයිං කරලලු..අවුරුද්දකට හමාරකට ඉස්සෙල්ල මල්වතු ලොක්ක එන්ටෙයි කියල පොරට සත්තමක් දැම්මනෙ ඔය විකාර අතෑරල දානව..නැත්තං සිවුර ගලෝනව කියල..කලිං මල්වතු අස්ගිරි ලොක්කො දෙන්නටම ගේම ඉල්ල ඉල්ල හිටියට පොර ඊට පස්සෙ ඒ ගැන සද්ද වහල ඉන්නෙ..ඒ වෙනුවට තමයි දැං ඔය කටරොලු බත්, දෙල් සහ පෝක් අල්ලගෙන දඟලන්නෙ..

      Delete
  2. සුද්දො කොන්ක්‍රීට් දාල වහපු සීගිරියෙ හැල රාවණා අදිරාජයාගෙ හැල ලැබ්බෙක ඇරගත්ත නං රතු රසදිය හදල හැල දඬුමොනර, දඬුකපුට, දඬුමයින, දඬුඇටිකුකුල බාවිතා කලෑකි නේද?

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      සීගිරියෙ ඔය පුරාණ හෙල දැනුම ගබඩා කරපු සංරක්ෂණාගාරයක් තිබ්බයි සුද්දො ඒක වහල දැම්මය කියන කතාව පුරාවිද්‍යා මාස්ටර්ස් කරපු එවුං හිටං විස්වාස කරනව..

      මම සංස්කෘතික ත්‍රිකෝණයෙ වැඩ කරන කාලෙ සීගිරියෙ වැඩ කරපු රීසර්ච් ඔෆිසර් කෙනෙක් මා එක්කම එහෙම කිව්ව...මම ඉතිං ඒ කාලෙ පොඩි එකානෙ..ඒ බුවා එක්ක තර්ක කරන්ට ගියේ නෑ..හැබැයි මම ඇහුව මෙහෙම..දැං එහෙම එකක් තිබ්බයි කියන්ට පුරා විද්‍යාත්මක සාක්ෂි තියනවද? කියල..ඒ පාර මිනිහ කියනව සුද්දො ඒ සාක්ෂි ඔක්කොම විනාස කලාලු..

      මෙතන වැඩේ කියන්නෙ ඔය වගෙ කිසිම පදනමක් නැති ඒත් පොදු ජනතාව පිළිගන්නා හිතලු වලට විරුද්ධව කෙලින්ම කතා කරන්ට ඕනම බුද්ධිමතෙක් බයයි..හොඳම උදාරණයක් තමයි පරණවිතාන මහත්තය කියපු අර බුදු හාමුදුරුවො ලංකාවට වැඩියාය කියන්ට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ කියන එක..එයා උනත් ඒක එක පාරයි කිව්වෙ..පස්සෙ ඒ ගැන කිසිම දෙයක් කියන්නෙ කරන්නෙ නැතුව සද්ද වහල හිටිය..

      Delete
  3. මුංබායි වලදි වැඩේ කම්ප්ලීට් වෙනවනං මොකටද බොල රිටන් ටිකට් ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      සෘද්ධි බල ලැබුනා උනත් තුන් මාසයක් යනකල් ඉන්ටර්නැෂනල් අහසිං වැඩිලි වඩින්ට බෑ..තුම්මාසෙක ප්‍රොබේෂන් පීරියඩ් එකක් තියනව..ඒ කාලෙදි ලෝකල් අහසිං වැඩිලි පුලුවන්..

      International irdhi travels are strictly prohibited during 3 months probation period. Iridhi power of violators will be withdrawn with immediate effect..

      Delete
  4. මේ දවස්වල නිල් කට්රොල්ස් ෆේමස් වෙලා තියෙන එකේ අර පරණ කොට ටික ඇදල දැම්මනං නරකද?

    ReplyDelete
    Replies
    1. Prasanna & Sandawathi,

      හමන්ට බඩ්ඩයා ඔය නිල් කටරොලු මල අල්ලගෙන නාඩගමක් නටන්නෙ මගෙ කතන්දරේ කියවලාද කියලත් වෙලාවකට හිතෙනව..

      ඇත්තටම ඒ කතාව ඉවරකරල දැම්මනම් හොඳයි නේද? (අහල් යා ගෙ කතාව)

      කලින් මම ලියපු කොටස ඉවර උනේ මෙහෙමනෙ.. :)

      දෑස් පියාගත්වනම මකරන්ද සුගන්ධය විඳිමින් හුන් ඔහුගේ දැහැන් එක්වරම බිඳීගියේ නුදුරින් ඇසුණු සිහින් හඬින් ගැයුණු ගීයක හඬිනි. එකෙනෙහිම දෑස් හැර එදෙසට සෙමෙන් හිස හැරවු ඔහුගේ දෙනෙතට ලක්වූයේ ගීයක් මුමුණමින් දෑතින් ඔසවාගත් කුඩා මැටි කළයක් වැන්නකින් කටරොළු මල් යායකට ජලය වත් කරන පැහැපත් යුවතියකි. ලෝහිත වර්ණ රෙදි කඩකින් තුඟු පියයුරු තරව බැඳගත් ඕ දෙදණ යන්තමට ආවරණය වන පරිදි නොයෙක් වර්ණයෙන් රටා මැවුණු වස්ත්‍රයක් හැඳ හුන්නාය.

      අනපේක්ෂිත මේ දර්ශනයෙන් වික්ෂිප්තවූ ඔහු ඇසිපිය නොහෙලා ඈ දෙස බලා සිටින්නට වූයේය.තමා දෙස යමෙකු බලාසිටින බව සවනේන්ද්‍රියයකින් මෙන් වැටහුණු හෙයින්දෝ ඕ කරමින් හුන් කාර්යය නතරකොට හිස ඔසවා බැලුවාය. කිසිදින නොදුටු අමුත්තකු කඩුල්ල අසල සිට තමා දෙස ඇසිපිය කොහෙලා බලා හිඳිනු දුටු ඈඑක්වරම තැතිගත් නමුදු ඒ බවක් නොපෙන්වා කතා කළාය.

      " තමුන් කවුද? මොකද මෙතන කරන්නෙ? මොකක්ද උවමනාව? "

      කොතෙකුත් ඇසිපිය නොහෙලා ඈ දෙස බලා හිඳීම කිසිසේත්ම ආචාරශීලී නොවන බව දත් අමුත්තා එවර කතා කලේ ඉවත බලාගනිමිනි.

      " සමාවෙන්න, වරදක් සිදුවූයේනම්..මම බොහොම දුර බැහැර ඉඳල පැමිණෙන්නෙක්…"

      " එතකොට මෙහි පැමිණියේ කුමන අවශ්‍යතාවයකටද? "

      සුරතෙහි වූ කුඩා කළයක්වන් භාජනය කටරොළු ගොමුව ආවරණය වන පරිදි ඉදිකල ලී මැස්ස මත තැබූ ඕ එසේ විමසූයේ දෙබැම හකුළුවා ගනිමිනි.

      " මා මෙහි පැමිණියේ ගම් දෙටුවා හමුවීමටයි. "

      " ඒ මගේ පියාණන්...ඔහු යම් කාර්යයකට බැහැරක ගොසින්. එහෙත් තව හෝරා දෙකකින් පමණ ආපසු පැමිණෙන බව නිසැකයි. එතෙක් ඔබට පොරොත්තු විය හැකිනම් අර පෙනෙන ඇහැල ගස සෙවණේ තනා ඇති මැස්සක්. එහි ඔබට රැඳී සිටිය හැකියි මපියාණන් පෙරලා පැමිණෙනතෙක්. "

      " එහෙමයි, නැඟණිය. මම ඔබගේ පියාණන් පෙරලා පැමිණෙනතෙක් රැඳී සිටින්නම්. මම බොහෝ දුර බැහැර සිට පැමිණෙන්නෙක්. මට ඔහු හා සමග සාකච්ඡා කොට මා මෙහි පැමිණි කාරණය පිළිබඳව යම් තීරණයකට එලඹ මිස ආපසු යා නොහැකියි. "

      " ඔබෙන් මෙසේ විමසීම නොතරම් නොවේනම් ඔබට මපියාණන් හමුවන්නට අවශ්‍ය කාරණය මම දැනගැනීමට කැමතියි. "

      " අහෝ එහි කිසිසේත්ම සැඟවියයුතු යමක් නැහැ. පිදුරංගල විහාරයෙහි ලෙන් වල බිතු සිතුවම් අඳිනු උදෙසා ගම් දෙටුවා සිත්තරෙකු සොයමින් සිටින බව මට සැලවුනා. මා පැමිණියේ ඒ කාර්යය ඉටුකරදීමේ වගකීම මට පවරාගත හැකිබව පවසා ඊට ඔහුගෙන් අවසර ලබා ගැනීමටයි."

      එවර ඈ ඔහු වත දෙස දෑස් ඔසවා බලා සිටියේ මන්දස්මිතියකින් දෙතොල විකසිත වෙද්දීය.

      " ඔහෝ..ඔබ එසේනම් සිත්තරෙක්? ඔබ චිත්‍ර කලාව උගත්තේ කොහිද කියා විමසීමට..නැහැ , නැහැ සමාවන්න..මම එසේ විමසීම අයුතුයි..මපියාණන්ගේ අවශ්‍ය දෑ ඔබෙන් විමසාවි. එසේනම් ඔබ මා මීට ප්‍රථම පැවසී පරිදි අර ඇසළ ගස සෙවණෙහි විවේක ගන්න."

      එසේ පවසා ඕ තොමෝ යලිදු ජල බඳුන අතට ගත්තාය.

      " ඔබට බොහොසේ ස්තූතියි නැඟණියනි..ඔබගේ නම කුමක්දැයි විමසීමට මට අවසර.."

      " මම අහල්‍යා…"

      හිස ඔසවා ඔහු දෙස බලා සිනාසුනු ඈ යලි හිස පහතට නවා කටරොළු මල් ගොමුවට ජලය ඉසින්නට වූවාය.

      " අහල්‍යා?? "

      එවදන ඔහුගේ මුවින් පිටවූයේ දුනුදියෙන් නික්මෙන්නාවූ හීයක් මෙනි. යලි හිස එසවූ ඈ උදක් ඔහුගේ වත දෙස බලා සිටින්නට වූයේ විමසුම් බැල්මක් දෙනෙතට නඟා ගනිමිනි. විළියෙන් බරව හිස පහතට නවාගත් ඔහුගේ දෑසට ලක්වූයේ ජලබිඳු පතිතව ප්‍රාණවත්ව එකිනෙකාට රහස් කොඳුරමින් සිනහසෙන්නාක් බඳු නිල් කටරොළු මල් සමූහයකි.

      Delete
  5. මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා නැතුවට කමක් නෑනෙ, ඔරැකල් වලින් ඉලන්දාරියෙක් වැඩියනෙ. දැන් ඔය මහදැනමුත්තගෙ රෝල් එක ප්ලේ කරගෙන ඉන්නෙ- විදේශ විනිමය වහාම හොයන්න, ඉන්ධන විධිමත්ව බෙදන්න කියලා උපදෙස් දෙමින්.

    බයිදවේ මේ පෝස්ට් එක abruptly ended කියලා මට හිතෙන්නෙ. යක්ඛ පුත්ථු ගැන ලියමින් ඉන්න අතරෙ ස්වයංක්‍රීයව සෘද්ධි බල උපදවාගෙන රවි ගුවන්ගත වුනාවත්ද.

    ReplyDelete
    Replies
    1. Lotus,

      /විදේශ විනිමය වහාම හොයන්න, ඉන්ධන විධිමත්ව බෙදන්න කියලා උපදෙස් දෙමින්.../

      අන්න ඒකනෙ ..කොහොමද ඒ උපදෙස් පොජ්ජ? රටක් වටිනව නේ? ජනාපෙති ඉන්ධන බෙදා හැරීම ගැන උපදෙස් දෙන්ට එනවයි කිව්වම කට්ටියම දත මැදගෙන යන්ට ඇති ( කොහොමත් ඉතිං යන්ටම එපාය ) මේ මිනිහ ඇවිල්ල "මම හෙට මෙච්චරක් ඩොලර් දෙන්නම්..ලබන සතියෙ අච්චරක් ඩොලර් දෙන්නම්..එතකොට ඒ සල්ලි වලින් මෙච්චරක් තෙල් ගේන්ට පුලුවෙනි..මට කියන්න ඔයාල කොහොමද ඒ තෙල් බෙදන්ට හිතාගෙන ඉන්නෙ..තව අදහස් තියනවද? අපි මෙහෙම කරමු.."

      අන්න එහෙම සාකච්ඡාවක්වත් තියෙයි කියල හිතාගෙන..මොන? ඒ යකා ඇවිල්ල කිව්වලු ...ඔයිට වඩා සල්ලි නෑ..ඒ හින්ද ලැබෙන තෙල් ටික ක්‍රමවත්ව බෙදන්ටෙයි කියල.. ;) ඉතා ලොල්යැ...

      Delete
  6. මෙන්න කාලෙකින් මේ පැත්තේ මකුළු දැල් කඩලා!
    රවී, මේ වගේ ඉර්දි කතා හරි ලියන්නකෝ අප්පා අපට කම්මැලිකමට කියවන්න. පරණ කතා ගැන අපි ඉතින් මතක් කරන්නේවත් නැහැ, වැඩක් නැහැනේ.
    අර නිල් බත්, කිරිබත් ඉඳි ආප්ප දැක්කාම මට නම් තියෙන ප්‍රශ්නේ තමයි ඇයි එහෙම කරන්නේ කියන එක. කද්දී පාට අදාළ නැති බව දන්නවා උනත් මට නම් හිත හදාගෙන නිල් පාට බත් පිඟානක් හොදි මාළු එක්ක අනාගෙන කන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මලී,

      /මෙන්න කාලෙකින් මේ පැත්තේ මකුළු දැල් කඩලා!/

      හයියෝ ඒකනෙ මැඩම් වෙලා තියෙන්නෙ...අර නොරට ඉඳං සතියට දවස් හයක් වැඩ කරන කාලෙ ලිව්ව මාසෙට අඩුම ගණනෙ පෝස්ට් හයක් හතක්වත්..

      ඔන්න විදේස රැකියාවට සදහටම ආයුබෝවන් කියල පෙරලා දිවයිනට සැපත් උනාය කියමුකො (ඔය පෙරලා කතාව මට පොඩි කාලෙ හරිම අන්දොස්..ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණෙති..මම ඉතිං දහ අතේ කල්පනා කරනව යකෝ මුංට රට ගිහිල්ලවත් එක හැටියකට ඉන්ට බැරි හැටියක්..එතනත් මොකක් හරි පෙරලල කියල)

      මම ඉතිං හිතාගෙනම ආවෙ දැං නිවාඩු තියනවනෙ සතියකට පෝස්ට් දෙක තුනක්වත් ලියන්ට ඕමනාය..එතකොට මගෙ තියනව ඒ කාලෙ ඉඳං නිවාඩුවක් ලැබුනහම කියවන්ට ඕනය කියල හිතාගෙන එකතු කරපු පොත් මහ කන්දරාවක්..එව්ව ඔක්කොම එකිං එක පිලිවෙලට කියවන්ට ඕනය කියල..

      මොන කෙහෙම්මලක්ද? එව්ව එකක්වත් කරන්ට උනේ නෑ..අපේ උන්දැ එක්ක කොහෙද එව්ව කොරන්නෙ? දවසම එවුන්දැ පස්සෙ වැටිල එයයි කියන කියන එව්වට හූමිටි තිය තිය පාද පරිචාරිකාවෙ යන එක තමයි ඔන්න දැං අවුරුදු දෙකහමාරක් තිස්සෙම කලේ..(පාදපරිචාරිකාව කියන එක අහල තියනවනෙ නේද? ඒ කියන්නෙ භාර්යාවට තවත් නමක්..තම ස්වාමියා පසුපස ඔහුගේ පියවර සටහන් ඔස්සේ ගමන් කරන්නිය තමයි ඒකෙ තේරුම ..හැබැයි ඉතිං තම භාර්යාව පසුපස ග්මන් කරනා ස්වාමියාට කියන්ට වෙන වචනයක් ඇති නේද? හොයල බලන්ට ඕමනයි )

      /මේ වගේ ඉර්දි කතා හරි ලියන්නකෝ අප්පා අපට කම්මැලිකමට කියවන්න. පරණ කතා ගැන අපි ඉතින් මතක් කරන්නේවත් නැහැ, වැඩක් නැහැනේ./

      හරි හරි..මෙව්වගෙ එව්වත් ලියන්නං..අර පරණ කතා දෙක තුනත් වහාම ඉවරයක් කරල දාන්ට ඕන..දයා මහත්තයත් මට මේ ගිය සතියෙද කොහෙද චැලේන්ජ් එකක් දුන්න..ඔන්න මමත් ලියනව මගෙ බ්ලොග් එකේ..රවී ඔයත් ලියන්න..මොකද කියන්නෙ? කියල.. :)

      /අර නිල් බත්, කිරිබත් ඉඳි ආප්ප දැක්කාම මට නම් තියෙන ප්‍රශ්නේ තමයි ඇයි එහෙම කරන්නේ කියන එක./

      ඒ යෝදයට ඔය වගෙ පොඩි පිස්සුවක් තියනව..කාලයක් බුදු උනාය කියල පිළිම එහෙම හදාගෙන දැඟලුව..ඒ ගමන මල්වත්තෙ ලොක්කා එන්ට කියල සිවුරු හැලෙන්ට දෙකක් කිව්වලු. ඊට පස්සෙ බුදු වෙච්චි සීන් එක අතෑරල දාල දැං ඔය කෘසිකරුමයක් අල්ලගෙන දඟලනව...

      ඔය වගෙ පිස්සුමත් නොවෙන සුට්ටි ලූස් ගතියට අපෙ අත්තම්ම කිව්වෙ නුහුගුණේ කියල.."ඒ මනුස්සයට පොඩ්ඩක් නුහුගුණේ ගතියක් තියනව සුට්ටි පුතේ..." එහෙමයි උන්දැ කියන්නෙ ;)

      Delete
  7. උයන සොමිය ගන්නට දැන් ගෑස් නැත
    මන්ද පෝෂනෙත් ඉහළට ගිහින් ඇත
    අරහත් වෙලා විතරක් නං වැඩක් නැත
    පාලක රොත්ත පිරිනිව්වොත් සෙතක් වෙත!

    ReplyDelete
    Replies
    1. Nidi,

      තෙල් පෝලිමේ ඉන්නා නෙක දනන් වෙත,
      මාලුපාන් දෙන්නට කල් එළඹ ඇත,
      පලා ගියොත් චිත්තර ඇඳපු කොල්ලන්සේ මුං ටිකද,
      තෙල් පෝලිම් නැතිකල වීරයා ලෙස,
      නිදි ඉතිහාස ගතවනු ඇත සැකක් නැත.

      Delete
    2. විසඳුම එකකි දැන් නං ඉතිරිව ඇත්තේ
      කරනව නං ඒකයි අපි කළ යුත්තේ
      රැස්වුණ වෙලාවක දියවන්නා පැත්තේ
      හිර කර ගහමු විස දුම්වත් මේ වැත්තේ

      Delete
  8. Replies
    1. නීල නුවන්.

      නීල නුවන් යුග කවියක් විය ඔබගේ....

      ස්තූතියි ඔබට ..:)

      Delete
  9. Lipiya wagema illustration ekath mare maru.Kalekin le pirisidu wena post ekak baluwa.Thank you.

    ReplyDelete

  10. ඔන්න ඔහොම මොනවහරි ලියන්න ලොක්ක මේ අංජ බජල් වෙලා පිස්සු ඩබල් ට්‍රිබල් වෙලා දියවන්නාවේ පඩත්තර #කයන්ට පැය විසිහතරේම උන්ගේ මෑණියන්ලගේ ගුණ ගායනා කරමින් ගෑස් පැස්ටෝල් කිරිපිටි කනබොන දේවල් හොයාගන්න නැතිව ඉන්නවෙලාවේ හුස්ම ඩිංග වැටෙනවා හරි දැනගන්න පුළුවන් වෙන්නෙ ඔන්න ඔයවගේ දෙයක් කියවන්න තියෙනවනම් තමයි ඒ නිසා දවසකට දෙකකට සැරයක්වත් ඔය මොනවහරි කොටල දානවනං ලොකු පිනක් ලොක්කා

    ReplyDelete
  11. thanks sir https://www.blogger.com/blog/post/edit/5203089222074801019/1198484413126950813

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...