3. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 3......මදුරු සංහාර මෙහෙයුම
ඔය අපි සෙනෙහෙං බැඳිල ඉන්න කාලෙ උදේට බස් එකේ හම්බ උනාම උන්දැ මට දෙනව අලි බත් ගෙඩියක්…
අර කොළපතක පට්ට ඇරල, තවල කාරිය හිට, බත බෙදනව කොළපතට. මාළුපිණි කෙහෙල් කොල වල ඔතල ඇන්න බත උඩින් තියනව. ඒ කරල කොළපොත නවනව ගෙඩියක් වගෙ වෙන්ට. ගෝණි මහන අර පත ඉදිකටු දන්නවද? අන්න එහෙකකට කෙහෙල් පට්ට අඹරල දාල ඒකෙං මහනව අර බත් ගෙඩිය. අන්තිමට අඩි දෙකක් විතර දිග කෙහෙල් පට්ටෙකම එල්ලනව . හොඳ හයිය ලීයක කෙලවර ඔය බත් ගෙඩිය එල්ලල අර ලීය කරේ තියාගන්නව. දෙපැත්තෙං ඔන්නං බත් ගෙඩි දෙකක් එල්ලල කදක් වගෙ අරගෙන යන්ටත් පුළුවෙනි.
හෙහ්, හෙහ්, ඔහොම තමයි නියම කෙරේමෙට බඳිනවනං බත් ගෙඩියක් බඳින්නෙ.මට අපෙ අත්තම්ම තමයි ඔය විස්තරේ කිව්වෙ..
" සුට්ටි පුතේ මේං මෙහෙමයි ඒ දවස්වල අපි හීං එවුං කාලෙ වන්දනාවෙ යනකොට එහෙම බත්ගෙඩි බැඳගෙන ගියෙ "
අපෙ අත්තම්මගෙ මුල් ගම රඹුක්කන කිට්ටුව. එහාට කියන්නෙ කංසලගමුව කියල. උන්දැල පොඩි කාලෙ; මේ කියන්නෙ නමසිය දහයෙ වගෙ වෙන්ට ඕන; අළුත් නුවර දේවාලෙ වඳින්ට එහෙම ඔහොම බත් බැඳගෙන ගියාය කියාල මා එක්ක කියනව කෑගල්ලෙ අපෙ ගෙදර පිළේ ඉඳගෙන, අර තිබ්බ රවුං කුළුණකට එහෙම හේත්තු වෙලා.
ඒ දවස්වල අළුත්නුවර දේවාලෙ මංගල්ලෙට ගමේ කට්ටියම එකට යනවළු උදේ හිමිදිරියෙ යාන්තමට ඇස් මානෙට පේන්ට පටන් ගන්නකොට පිටත් වෙලා පයිම්ම. ඉතිං කොහෙ හරි ඉඩ පාසු මඩුවක් වගෙ තියන ගෙදරකට එකතුවෙලා බබලත්තු රෑ පානුපැයිං පටං ගන්නවලු ඉවිල්ල. ඒ කරල කට්ටියටම දවල් බතට සෑහෙන්ට බත් ගෙඩි හත අටක් හදාගෙන අර මම කලිං කිව්වැගෙ කත් ලීවල එල්ලල පිරිමි තුං හතර දෙනෙක් ඔය කත් අරගෙන ඉස්සර වෙනව. බබලත්තු සුදු ඇඳගෙන තෙල් මලුත් ඇන්න ඒ පස්සෙ වැටෙනව.
ගමේ කට්ටියම සම්මාදං වෙලා සූජානං කරගත්තු පූජා බාන්ඩ තියෙන්නෙ නඩේ ගුරා විදිහට යන වැඩිහිටියගෙ බාරෙ. අපෙ අත්තම්මගෙ හීං අප්පච්චි කෙනෙක්ලුය අත්තම්මට මතක ඇති තාක් කල් ඔය නඩේ ගුරාගෙ වැඩේ කලේ.
" සුට්ටි පුතේ..ඔය බත් ගෙඩියට මාළුපිණි මොනවයි දන්නවය අපි හදන්නෙ?..ඔන්න සම්බෝලයක් මලෝනව උම්බලකඩ එහෙම දාන්නෙ නෑ... හොඳද?...එව්ව කිළි....එතකොට පරිප්පු හොඳටම හින්දෝල තෙල් දානව.එතනිං ගිහාම මුකුණුවැන්න වගෙ මැල්ලුමක් හදා ගන්නව. අල තෙල් දානව..ඔව්ව තමයි ඉතිං "
" ඔක්කොම ජාති තෙල් දාලනෙව..ඇයි අත්තම්මෙ හොද්දක් මොකවත් හදාගන්නෙ නැද්ද?..."
මම උන්දැගෙ කට දිහා බලාගෙන ඉඳල අහනව.මම හරිම ආසයි ඒ දවස්වල උන්දැ කතා කරනව බලා ඉන්ට. කට අඹරවනව, හිනාවෙනව මහ හයියෙං ..ඇස් නටෝනව..එක වැඩයි...හෙහ්, හෙහ්.
අපෙ අත්තම්මගෙ ආසම දෙයක් තමයි කිරි හොද්ද...කහම කහ පාටට ...උම්බලකඩ කෑලි ආය නෑ කරුමෙට වත් හැපුවෙ එහෙම නැත්තං ආය දෙකක් නෑ උගුර හරහට හිරවෙලා වල කජ්ජ ගහනව ආය ඒකෙ දෙකක් එහෙම නෑ...ඒ තරමට මහ විසාලයි එව්ව...
" මේ අම්ම එක්ක නං බෑ මේ වැඩේ කරන්ට..කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ..කූපන් පොතකට දැං දෙන්නෙ උම්බලකඩ අවුන්ස දෙකයි..මේ මාසෙටම තිබ්බ උම්බලකඩ ටික ඔක්කොම අම්ම දාල මේ හොද්දට…"
දාවල් එකට වැඩ ඇරිල ගෙදර ආපු අම්ම කුස්සියෙ හොදි හට්ටිය ඇරල බලල ගෝරනාඩු කරනව.මම අත්තම්මගෙ මූණ බලල හිනාවෙනව. උන්දැ කුස්සිය පැත්තටකට ඇද කරල දකුණු අතිං කට වහගෙන හිනා වෙනව. අම්ම කෑගහන එකත් සාදාරනයි. ඒ ඇවිල්ල හැත්තෑවෙ දශකය. සිරිමාවෝ මැතිණියගෙ ආණ්ඩුව. හාල්, පරිප්පු, සීනි, උම්බලකඩ, අල, සැමන් ඔය ඔක්කොම දුන්නෙ සලාකයකට. හාල් පොත, කූපං පොත කියල කිව්වෙ ඒකට. සමූපකාරෙං පෝලිමේ ඉඳල බඩු ගන්ට ඕන.උදේ පාන්දරම මමත් ගිහිල්ල ඉඳල තියනව පෝලිමෙ.දවල් වෙනකොට අම්ම හරි මාම හරි ලොකු කෙනෙක් එනව. එතකොට මම යනව ආපහු ගෙදර. ඒ තමයි හැත්තෑව දශකයේ ආශ්චර්‍යය නොහොත් පෝළිං යුගය..හෙහ්, හෙහ්,
" අඩේ බලාගෙන බං... ඔය සරමෙං අදින්ට එපා..ඕක ඉරිල ගියොත් කෙලියා බොල...එක සරමමයි තියෙන්නෙ හාල් පොත වාගෙ "
අන්න එහෙමයි ඒ දවස්වල හාල් පොතට තිබ්බ සැලකිල්ල..අනික ගෑණු දරුවෙක් දීග ගියාද, නැන්දම්ම බලන්නෙ රිදී රත්තරං වලට වැඩිය හාල් පොත ගෙනාවද කියලයි..
" බුදුන්ගෙ සරණයි..සියළු දෙවු දේවතාවුංගෙ පිහිටයි, වැඩි වැඩියෙං කිරි උතුරන්ට ඕනෙ..හ්ම්ම්ම්ම්...කෝ දියංකො මයෙ දුවේ උඹේ හාල් පොත මෙහාට.."
අලුත් ලේළි දණගහල වැන්දහම නැන්දම්ම ලේළිව නැඟිට්ටවන්නෙ ඔන්න ඔහොම කියලයි
ඉතිං මම " ඇයි අත්තම්මෙ ඔක්කොම ජාති මලවන්නෙ නැත්තං තෙල් දාන්නෙ? " කියල ඇහුවම...
" පාන්දර තුනට විතර උයාපුව පුතේ අපි කන්නෙ හවස දෙකට විතරනෙ..එහෙම තෙල් දැම්මෙ නැත්තං මාළුපිණි පිළුණු වෙනවනෙ. ඒකයි.." උන්දැ කියනව..
" ඉතිං එතකොට උදේට කන්නෙ මොනවද? "
" උදේට කන්ට වෙනම ගෙනියනව ඉඹුල් කිරිබත්...අපි මාඔයෙං එගොඩ වෙලා ඔය අයිනෙ කුඹුක් ගස් යට ඉඳගෙන ඉඹුල් කිරිබත් කනව..පුතා ඉඹුල් කිරිබත් කාල තියනව නේද? "
" ඔව්..අත්තම්ම හදල දීල තියනව..ඒත් මට ආය කන්ට ආසයි අත්තම්මගෙ විස්තරේ ඇහුවම... හෙට හදමුද? " මම රහසෙං වගෙ අහනව.
" හා. හෙට උදේට මම හදල දෙන්නං.."
" මා ඔය අයිනට යන්ටත් ඕන හැබැයි ඉඹුල් කිරිබත් කන්ට…"
" හිහ්..හිහ්..හී .."…...උන්දැ හිනා වෙන්නෙ එහෙම තමයි
" හිහ්..හිහ්..හි..මා ඔයට යන්ට නම් බෑ..සුට්ටි පුතේ..හරි අපි මෙහෙම කරමු..අර වත්ත පල්ලෙහා වතුර පාරක් ගලන්නෙ ඒක අයිනට ගිහිල්ල ගලක් උඩ ඉඳගෙන හෙට උදේ ඉඹුල් කිරිබත් කමු. "
අපි හිටපු රජයේ නිල නිවාසෙට තිබ්බ අක්කර දෙක තුනක වත්තක්..ඕකෙ පල්ලෙහා කෙලවරේ ගලා ගෙන ගියා පොඩි වතුර පාරක්. වැහි කාලෙට ටිකක් සැරට වතුර තිබ්බට පායන්ට ගත්තම වතුර පාර යාන්තමට තෙතමනයක් විතරක් ඉතුරු වෙනකල් හිඳිලම යනව.
උදෙම්ම ඉඹුල් කිරිබත් හදල අත්තම්මයි මායි අර හිඳිච්ච දොල පාර අයිනට ගිහිල්ල ගලක් උඩ ඉඳගෙන කෑව. එතනට යන්ට ඕන පල්ලමක බැහැල. අපෙ අත්තම්ම කොටයි මහතයි..මම උන්දැට අත දීල පල්ලමේ බස්ස ගත්ත.
" මේ අම්මත් ඕන නැති එව්ව කියල දීල කරගන්න දේවල්...කකුල ලිස්සුවොත් එහෙම මම දන්නෙ නෑ කොහේ නතර වෙයිද කියල.." අම්ම උඩ ඉඳගෙන කෑගැහුව.
ඔන්න දවස් දෙක තුනකට පස්සෙ මට හිටපු ගමං මතක් වෙච්චි කොලපතේ බත් ගෙඩිය..
" හෙට දවල්ට මට කොලපතේ බත් ඕන... අත්තම්මෙ... ඇහුණද? "
අත්තම්ම මං දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්.." හා බැරිය ඉතිං ඕක…"
" අර දේවාලෙට යද්දි උයාපු දේවල් ඒ විදිහටම උයලත් ඕන.... බත් ගෙඩිය ලීයක ගැටගහන්ටත් ඕන.."
" ඇයි කරේ තියාගෙන යන්ට එපාද? " ඒ පාර එහෙම ඇහුවෙ අපෙ අම්ම..
" මොකද නැතුව? අත්තම්මල වන්දනාවෙ ගියාවගෙ මාත් යන්ට ඕන තමයි බත් ගෙඩිය කරේ තියාගෙන. "
පහුවදා අත්තම්ම අර විදිහටම කොලපත් බත් ගෙඩියක් මට බැඳල දුන්න. වන්දනාවෙ තනියම යන්ට බැරිනිසා මම ඒ ගමනට නංගිල දෙන්නත් එකතුකරගත්ත.
" සාදු! සාදු!! සාදූ!! " මම බත් ගෙඩිය කරේ තියාගෙන ඉස්සරහිං යනව..නංගිල දෙන්න " සාදු! සාදු!! " කිය කිය පස්සෙං එනව..
වත්ත වටේ හතර පස් පාරක් වන්දනාවෙ ගිහිල්ල අපි බත් ගෙඩිය ලිහාගෙන කෑව. ජීවිතේ තියනකල් අමතක වෙන්නෙ නෑ..මම මෙතෙක් කාලෙකට කාපු රහම බත...හෙහ්, හෙහ්,
අම්ම කම්මුලකට අතකුත් තියාගෙන බලාගෙන ඉන්නව. ඒත් යාන්තමට හිනා රැල්ලක්...අත්තම්ම..හෙහ්, හෙහ්, අත්තම්ම අර මම කිව්ව රවුං කුළුණට හේත්තු වීගෙන ඉඳගත්තු පාර බඩ උඩ දම දම හිනාවෙනව.." හිහ්..හිහ්..හිහ්..හී….."
මදැයි වෙච්චි දෙයක්..අපෙ උන්දැගෙ බත් ගෙඩිය ගැන කියන්ට ඇවිල්ල මතක මං පෙත ඔස්සේ යන්ට උනා නෙව රිවර්ස් ගියර් එකේ..හෙහ්, හෙහ්..හෝව්..හෝව්..හෝව්....බෙරේක්..බෙරේක්..බෙරේක්...මම මේ ලියල තියෙන්නෙ මිත්තණියක සමඟ මගේ ජීවිතය කථා මාලාවේ එක කථාංගයක් නෙව හැබැහැටම?....බලමුකො ඒකෙත් හැටි...කමක් නෑ නැද්ද?...වන්නාටය!!!..වෙච්ච දේට එන්න සෙය්යරදු කියලත් කියනවනෙ..හරි බෑක් ටු ද මේන් ස්ටෝරි .....
ඉතිං අපෙ උන්දැ ගේනව අලි බත් ගෙඩියක්..මොකද මගෙ තව යාලුවො ඉන්නවනෙ තුන් හතර දෙනෙක්..එවුංටත් එක්කලා. බෝම රහයි...මයෙ මිත්තරයො ඉතිං අපෙ උන්දැගෙ සූප ශාස්ත්‍ර නිපුනතා ගැන සහතික නිකුත් කරමින් දෙසා බානව බත් ගෙඩිය. මට ඉතිං හිනා..මමනෙ දන්නෙ එවුන්දැගෙ සූප සාස්තරේ. හැබැයි ඇස්සහක් කටවහක් නෑ..උන්දැ මට නමෝ විත්තියෙම්ම කියාහිටියනෙ ඇත්තම..මතකනෙ මම කලින් සැරේකුත් කිව්ව..
" මේ ..මට ඔය උයන්ට එහෙම නං බෑ...ඒ නිසා එක්කො ඔයාට උයන්ට වෙයි නැත්තං තුං වේලම කඩෙං තමයි….."
අන්න එහෙමයි උන්දැගෙ හැටි ආය නෑ. කියන්ට තියන එක කියනව මහ රජ්ජුරුවන්ට උනත් මූනටම...ලබ්භශෛලමස්තකරූඪව විදාරණය කියල අර කියන්නෙ..ආන්න එහෙමම තමයි..
ඔය බත් ගෙඩිය උයල දෙන්නෙ එයයිලගෙ අම්මා. මයෙ සදාදරණීය නැන්දම්මා..උන්දැගෙ ඉවිල්ලට ගහන්ට ඉවිල්ලක් නෑ ආය අහල ගං හතක...ඒ වගේම තමයි ඔය උඳු වැල්...අළුවා..වැලිතලප වගෙ රස කැවිලි හදන්ටත්...
අපි බැන්දට පස්සෙ තමයි මෙවුන්දැ හරියකට කියල ඉවුම් පිහුම් පටන් ගත්තෙ. එතකල් ගෙදර බඩ පිස්සි නෙව..ඔහෙ එහාට මෙහාට දඟල දඟල හිටිය මිස එහෙමට වැඩක් පලක් කරල එහෙම නෑ...
ඔන්න අපි බැඳල නිල නිවාසෙට ආවයි කියමුකො. මේ අර මදුරු සංහාර මෙහෙයුමෙං එහෙම පස්සෙ ඔන්න. අර ඇඳ එහෙමත් හදල ගත්ත කකුල් කෙටි එහෙම උස් කරල..ඒ දවස්වල එහෙ පොළ තිබ්බෙ බදාදා...උන්දැ ඉස්කෝලෙ යනව පාන්දරම. මම එයයිව බස් එකට දාල එමිං ගමන යනව පොළට...ඔය එළවළු දෙක තුනක්...එහෙම ගන්ට...වැඩිය මොකවත් ගන්නෙ නෑ..ඒ දවස්වල අපිට අයිස් පෙට්ටියක් තිබ්බෙ නෑ.
පොළෙං මම අනිවාර්යයෙං ගන්නව දුවන පුහුල්.... දන්නව නේද?...හෙහ්, හෙහ්..අර උපදේසක කවියක් එහෙම තියෙන්නෙ... දුවන පුහුල් දැක නොදමං නෙලූ පළා කියල...ඒ කියන්නෙ දුවන පුහුල් එක්ක හොඳටම ගැලපෙන්නෙ පළා මැල්ලුමක්ය කියන එක. ඔය උපදේසෙ නොමැකෙන විදිහට තිබ්බ මයෙ හිතේ එදා ඉඳලම..ඒ නිසා මුකුණුවැන්න මිටි දෙහෙකුයි දුවන පුහුල් කිලෝ එහෙකුයි අනිවාර්යයෙන්ම පොළෙං ගන්නවා ගන්නවාමයි.
ඒ කරල ඔන්න ගෙදර ඇවිල්ල දුවන පුහුල කපනව පොඩි කෑලිවලට..කහ, ගම්මිරිස් සහ ලුණු දාල තම්බනව. ඒ වැඩේ ඉවරයක් වෙලයි මම රාජකාරියට යන්නෙ.හවස වැඩ ඇරිල ඇවිල්ල දුවන පුහුල බදිනව තෙල් බොහොම සුට්ටක් දාල. මොකද පුහුලෙ තෙල් ඇති ඕනවටත් වැඩිය...හෙහ්, හෙහ්,
අපෙ උන්නැහැලගෙ ගෙදරට හප්පා..කුකුල විතරයි මසක් කියල ගන්නෙ.හරක්, ඌරු, පැත්ත පළාතෙ ගේන්නෙ නෑ..ගෙදර ඔක්කොමල සුර එහෙම එල්ලගෙන ඉන්නෙ...අනික ඔය යන්තර මන්තර ගුරුකම් එහෙම හරියට විස්වාස කරනව. නලලෙ අළු ටිකක් ගාගෙන කටේ උලක් ගහගෙන එහෙම නැත්තං මොණර පිලක් දෙපරැන්ද අස්සෙ ගහගෙන ඔන්න මොකෙක් හරි රටේ නැති පල් හොරෙක් ආවද ඌට දෙයියන්ට වගෙ තමයි සලකන්නෙ...හෙහ්, හෙහ්,...මම ගෙදර ඉන්නවනම් වැඩිය එව්ව නෑ. දන්නව මම එයාල එහාට මෙහාට වෙනකල් ඉඳල අරුංට පස් පඩංගුවෙ බැණල පන්නල දානව කියල.
අපේ ගෙදර උනත් සූකර සහ මහිෂ මාංශ ගෙනාවෙම නෑ දන්න කාලෙක ඉඳල. අපි පොඩි කාලෙ නම් ගෙනාව මතකයි. පස්සෙ මොකක් හරි හේතුවක් නිසා ඒක නැවතුනා. ඒත් මම අර කැළේ මැද රස්සාවට ගිහාම වෙච්ච වැඩේ ඔව්ව තෝර තෝර කන්ට ගියොත් බඩ ගින්නෙ තමයි ඉන්ට වෙන්නෙ. අනික ගවනර් ජෙනරල් තමයි එහෙ ලාබම. ඒ නිසා නැචුරලි ඒකට පුරුදු වෙන්ට උනා.
මම ඇවිල්ල කාටත් ගරු නම්බු දීල කතා කරන මනුස්සය වෙච්චි. ඒ නිසා මම අපෙ උන්නැහැගෙන් අහන්නෙ මෙහෙමයි……" මේ ඒයි අද ගේන්ටද ගවනර් ජෙනරල් පන්සීයක්…" එහෙම නැත්තං " අද රෑට උයමු සූකර මද්දව.." එහෙම ගරු නම්බු දීල ඇමතුවෙ නැත්තං මම කියල තියෙන්නෙ කන කෑමක් උනත් ඇඟට අල්ලන්නෙ නෑ කියල. අන්තිමට අපෙ උන්නැහෙත් ඒකට එකඟ උනා.
ඉස්සොරෝම ඔන්න සූකර මද්දව පිළිබඳව ඔන්න පොඩි ප්‍රශ්නයක් ආව. මගෙ ප්‍රියතම ආහාරයක්නෙ. හැබැයි අපෙ උන්නැහැ කටේ තියන්නෙ නෑ.
" රයිට්..." මම කිව්ව. " ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්ට එපා. මට හැමදාම සූකර ඕන නෑ. ඒත් සතියකට දෙහෙකට සැරයක් මම ගෙනල්ල මමම උයා ගන්නං. ඔයා ඒකට කිසිම විදිහකිං සම්බන්ධ වෙන්ට ඕන නෑ..."
ඔන්න ඒ අන්ඩස්ටෑන්ඩිං එක උඩ පලවෙනි දවසෙ මම සූකර මද්දව ගෙනල්ල උදේ තම්බල තියල හවස බදින්ට ගත්ත. හප්පා..සූකර්ස් ගානට පහේ වැටිල එහෙම බැදෙනකොට මොන යකාටවත් බෑ ඉවසං ඉන්ට. ඔය යක්කු හිටං එනවයි කියනවනෙ ඒ සුවඳට.
කුස්සියෙ දොර වහගෙන මම සූකරය බැද්දෙ...මොකද හරි නැහැනෙ මොනව උනත්..මෙන්න විනාඩි දෙකක් ගියේ මේ උන්දැ එනව දොර ඇරගෙන...
" මොකද ඒයි? …" මම ඇහුව...සූකර තෙමේ එහාට මෙහාට පෙරලන ගමං
" ආ, නෑ නෑ මොකවත් නෑ..මම මේ නිකමට වගෙ බලන්ට ආවෙ මාර සුවඳයි නෙ..."
" ඇත්තද? මේ..... ළමයා මම කියන්ටද?... පොඩි කෑල්ලක් කාලම බලන්ටකො.."
" එතකොට මේ සුරේ?....." උන්දැත් ඇබිත්තං සුරයක් එල්ලං හිටිය බෙල්ල වටේ..
" හරි හරි ඔන්න ඕක ගලවල දාල කෑල්ලක් කන්ට...උදේට ඕනම නං ටොයිලට් එහෙම ගිහිල්ල ආපහු සුරේ දාගන්ට බැරිය?..."
" ඒහ්හ්හ්..එහෙම කමක් නැද්ද ඒයි?..."
" ආයෙ කමක් නැද්ද කියලත් අහනව..කිසි අවුලක් වෙන්නෙ නෑ. අද්දුටුවයි සත්තයි ප්‍රත්තියාක්සයි…."
අන්තිමට කිව්වට විස්වාස කරනු මැන මා සහෘදයිනි / සහෘදිනියනි එහෙමම තමයි උනේ..හෙහ්, හෙහ්,
" එක්කො මේ සුරේ ඕනම නෑ අනේ..මගේ අපල ඔක්කොම දැං ගෙවිල ඇත්තෙ මට හිතෙන්නෙ.."
සති දෙහෙකට විතර පස්සෙ මගෙ සූකර ව්‍යාපෘතිය නරඹන අතරෙ උන්දැම කිව්ව.
" හෙහ්, හෙහ්, කවද ඉඳලද ඒ? අපි බැඳපු දවසෙ ඉඳලද? " මම ඇහුවෙ කෝකටත් කොහාට හරි පැනගන්ට සූදානමිං.
" ඔව් එහෙමත් වෙන්ට ඇති..කෝ දෙන්ටකො මම බදින්නං ඉතුරු ටික…" උන්දැ කිව්වෙ මගෙං තෙල් හැන්ද ගන්න ගමං.
මතු සම්බන්ධයි......
//ඔය අපි සෙනෙහෙං බැඳිල ඉන්න කාලෙ//
ReplyDeleteබඳින්ට කලින් ඉතින් මෙහෙමලුනේ.:)
කන දේ ගැන ලියනව නම්, මොනවා කරන්ට බැරිද? අර කොළපත, සුද්ද කරගන්න හැටි තව ටිකක් කියලා දුන්නානම්...
මටත් හිතයි රවි ගොය්යා උයන කෑම වේලක් කාලා බලන්ට. බත් ගෙඩියක් බඳින්ට ඕනි නෑ. උයලා පිගානකට බෙදලා දුන්නාම ඇති.:D
/ අර කොළපත, සුද්ද කරගන්න හැටි තව ටිකක් කියලා දුන්නානම්… /
Deleteමට පැහැදිලි මතකයක් නම් නෑ බොලේ කිව්වම මොකද?..කොලපත වතුරෙ පොඟවනව පැයක් දෙකක්..ඒ කරල අර පිටිපස්සෙ තියෙන හයිය හම වගෙ එක අයින් කරනව හූරල. අපෙ අත්තම්ම මට මතක විදිහට පාවිච්චි කලේ ගිරයක්...
කොලපොතක් අරගෙන වතුරෙ දාල පොඟවනව පැයක් දෙකක්. එහෙම නැතුවත් පුළුවන් හැබැයි කෑම එක ඔතන්න නං පොඟවල මෘදු කරගත්ත එකක් තමයි හොඳ. ඊට පස්සෙ ඝනකම කාඩ්බෝඩ් එකක් ගලවන විදියට ගලවන්න පුළුවන්. හැබැයි ස්ථර දෙකක් ඉතිරි වෙන්න ගලවන්න බෑ. පිටිපස්සෙ තියන ඝන කොටස අඟල් කාලෙ වගේ මහත කෑලි වලින් ඉරල අයින් කරන්න ඕන. ඒ කෑලි වලින් පුළුවන් බැඳීමේ වැඩ කරන්න. ඒ වගේම මේ සුද්ද කිරිල්ල කරන්න ඕන දිග අතට(හරස් අතට බෑ). අන්තිමට ඉතිරි වෙන හොඳපැත්ත සහිත කොලපොත තමයි මේකට ගන්නෙ.
Deleteපොඩ්ඩි දැකල තියනවද පැණිමුල්? කොලපොතේ දාපු පැණි කාලයක් තියාගන්න පුළුවන්. ඒකත් නියම සාත්තරයක්.
නැත්තං හිතුනද දන්නෙ නෑ, මීට වඩා අපලයක් කොයින්ද කියලා...
ReplyDeleteමාත් ඔය කොළපොතේ බත් එක කාලා තියේ... අර කෙහෙල් කොලේ වගේ ඉරෙන්නේ නෑනේ.. අන්තිම බින්දුව තෙක්ම කන්න පුළුවන්... අපි වැඩ කරන තැන සැට් එක එක්ක දවසක් කතා වුනා කෙහෙල් කොලේ බත් බැඳගෙන එන්න... හාමිනෙයි මායි ඒ කාලෙ එකම තැන වැඩ කලේ. අපි ඔක්කොම ඔන්න කෙහෙල් කොලේ බත් බැඳගෙන ගිය... මෙන්න එකෙක් ඇවිත්, කෙහෙල් කොලේ උඩින් බත් කොලේ තියලා, ඒකට බත් බෙදලා බැඳගෙන...
/ නැත්තං හිතුනද දන්නෙ නෑ, මීට වඩා අපලයක් කොයින්ද කියලා… /
Deleteහෙහ්, හෙහ්, වෙන්ටත් ඇති මල්ලි බොහෝ විට...උන්දැ කම්පනා කොරන්ට ඇති.." යකෝ..පොඩි කාලෙ ඉඳල එල්ලං ඉන්න මේ සුරෙං කිසි වැඩක් උනාය...මට මේ තරං අපලයක් වෙනකල් මේ කෙහෙල්මලට බැරිඋනානෙ මාව ඒකෙං ආරස්ස කොරන්ට..ඕනම නෑ මේ මඟුල" ...ඔහොම හිතල සුරේ ගලවල විසික්කලා වෙන්ටත් පුලුවෙනි....:)
/ අපි ඔක්කොම ඔන්න කෙහෙල් කොලේ බත් බැඳගෙන ගිය... මෙන්න එකෙක් ඇවිත්, කෙහෙල් කොලේ උඩින් බත් කොලේ තියලා, ඒකට බත් බෙදලා බැඳගෙන… /
අපි ඉස්කෝලෙ යන කාලෙ මරදානෙ තිබ්බ මචං සයිවර් කඩයක්. මට නම මතක නෑ..ඒකෙ තෝස එහෙම කාල ඉවරවෙලා කෙහෙල් කොලෙත් කන්ට ඕන. නැත්තං කේස්
ආ..ඒක නෙවෙයි…..නෙළුං කොලේ බත් කාල තියනවද?...අන්න මල්ලි ...ෂෙහ්..පු..දු..ම්...ම්..ම රහක් බාං..පුදුම රහක්..ඔය මම අන්තිමට ලංකාවෙ වැඩ කරපු කොම්පැනියෙ ඉන්දැද්දි දවල්ට නෙළුං කොලේම තමයි බත් කෑවෙ.
නෙළුම් කොලේ බත් මාර රසයිනේ . මෙහෙත් තියෙනව නෙලුම් ඇට සහ බත් එකට නෙලුම් කොලේම ඔතල උයලා . ටිකක් ඇලෙන බත් වුනාට හරිම රසයි. කොරියාවෙත් තියෙනව එහෙම බතක් .
Deleteඋපරිමට දැනෙන්න ලියනවා හරිම ලස්සනයි මුල් ටික කියවද්දී හිතුනෙම අනේ දැන් කාලේ පොඩි එවුන් මොන පවක්ද ගෙවන්නේ කියලා , ඔබ තුමාට ආත්තම්මා කියලා දුන්න එව්වා අපිට කියලා දුන්නේ අපේ සියා. හදිසියේම මහගෙදරට ගොඩ වැදුනාම රසම රස සම්බෝලයක් එක්ක දරලිපේ පුච්චපු කරවලත් එක්ක උණු උණු බත් ලැබෙනවා අම්මේ ඉතිං දිවිය බොජුන් පරාදයි
ReplyDelete/ අනේ දැන් කාලේ පොඩි එවුන් මොන පවක්ද ගෙවන්නේ කියලා , /ඔබ තුමාට ආත්තම්මා කියලා දුන්න එව්වා අපිට කියලා දුන්නේ අපේ සියා. හදිසියේම මහගෙදරට ගොඩ වැදුනාම
Deleteඒකෙ මෙහෙම දේකුත් නම් තියනව මල්ලි,අපි පොඩි කාලෙ අපෙ තාත්තල, මාමලත් එහෙම හිතන්න ඇති. මොකද එයාල උදේ ඉස්කෝලෙ ගියා. එනගමං ඔය කැලේ කොලේ ඇවිදල සෙල්ලං කරල, ඇලේ දොලේ පැනල නාල ගෙදර ආව තියන දෙයක් කාල නිදාගත්ත. බොහොම සැහැල්ලු ජීවිතේ...
අපේ කාලෙ ඊට ටිකක් වෙනස්නෙ. හවස ආවම පාඩං කරන්න ඕන..ටියුෂන් යන්ට ඕන..ඒ උනාට අපිට ඒකෙ ගානක් නෑ..අපි පුරුදු වෙච්චි විදිහනෙ ඒක..දැං උනත් එහෙමයි..අපි හිතුවට අනේ දැං ඉන්න පොඩි එවුං මොන පවක්ද ගෙවන්නෙ කියල ඒ අපි හිතන විදිහ..අපේ පොඩි කාලෙ එක්ක සංසන්දනය කරලයි අපි එහෙම කියන්නෙ..ඒත් අද ඉන්න පොඩි එවුන්ට ඒකෙ ගානක් නෑ. එහෙම යුග දෙකක් සැසඳීම එතරම් සාධාරණ නැහැ කියලයි මගෙ මතය.
/ රසම රස සම්බෝලයක් එක්ක දරලිපේ පුච්චපු කරවලත් එක්ක උණු උණු බත් ලැබෙනවා අම්මේ ඉතිං දිවිය බොජුන් පරාදයි /
කීරමිං හුරුල්ලො තමයි ඔය පිච්චිල්ලට මරු..දෙහි ඇඹුල් ජුංඩකුත් වැටුනම ආය නා තව්තිසාව තමයි. මම අද උනත් ගෑස් එකට අල්ල කරවල පුච්චනව බාබකිව් යකඩ කූරක ගහල.:)
හෙට අනිද්දට බාබකිව් එකක් දානවා හොයාගෙන පුච්චන්න ඕනි කිරමින් කරෝල
Deleteඅම්මේ ඔය කොලපතේ බත් කතන්දරේ මුලින්ම කියෙව්වේ හපනා පොතේ.. අර අමාරිස් ලස්සනට කට හද හද කියන සීන් එක කියෝලා මටත් මාර ආසාවක් ආවා ඔහොම කන්න... එතකොට 8 වසරේ විතර ඇති... හොඳ වෙලාවට අපේ අම්මයි ආච්චියි ඕක ටිකක් දැනං හිටිය... ඉතිං ඊළඟ දවසේ ඔය විදියට ඔක්කොම ජාති තෙල් දාල,... අපේ ගෙදර තෙල් ජාති තහනං තත්වයක් තමයි ඉස්සරත් තිබ්බේ, මාත් රතු හාල් සහ හොදි පෙන්නන්න බැරි ජාතියේ, .. හදලා දුන්නා කොලපතක් හොයලා... අන්න කෑම.. එදා නං අලි බත් ගෙඩියක් ගිල්ල වෙනදට බත් එක අතගගා ඉඳලා වෑංජන ටික පිඟාන වටේ ඉතුරු කරන එකා වෙච්චි මාත්....
ReplyDeleteමට පෙන්නෙ රවියයියව මේ තරමට හදලා අරන් තියෙන්නේ අත්තම්මද කොහෙද... අර එක දවසක් කිව්වේ අත්තම්මා සීයට දවල් බත් ගෙඩිය දුන්න හැටි අහල ඒ විදියට කන්න ඕනේ කියපු කතාව... හි හි...
බැන්දට පස්සෙ ගෙදර උන්දැ මස් මාංශ කන්න ගත්ත හැටි කියෙව්වම මට මතක් උනෙ, දැන් අවුරුදු 3කින් මං මස් මාංශ උයලා නෑ ඔන්න.. දැන් නං උයන හැටිත් මතක නෑ... කලාතුරකින් මාලු ටිකක් ගෙනල්ලා හොඳට මිරිසට හදාගෙන පොල් ටිකක් ගාගෙන කාල දානවා ආසාවටම.... ගෙදර ඉන්න කාලේ නං අඩු ගානේ සතියකට දෙසරයක්වත් කුකුල් මස් සහ මාලු හදනවා... දැන් කරවල හාල්මැස්සෝ පමණයි... බොරු කියන්නෙ මොකටද, අපේ නැන්දම්මලෑ ගෙදර ඉන්න බෑ කියලා මං බඳින්න කලින් ඉඳලම කැරලි ගහන්න පටන් ගත්ත ලොකුම හේතුව එහෙ ඔක්කොම වෙජිටේරියන් හින්ද ... අඩුගානේ උම්බලකඩයක්වත් ගේ හරියට ගේන්නේ නෑ.. මට ඕනෙ එකක් ඔට්ටුයි හැබැයි පොල් සම්බෝලෙටයි කට්ට සම්බෝලෙටයි උම්බලකඩ නැතුව නං කෑවත් නොකෑවා වගේ තමා... ඔන්න මට වෙච්චි දේ...
ඔන්න ඇත්තම කිව්ව ආයෙ මොකටද
Deleteආත්තම්ම හිරුගෙ නෑ කෙනෙක්වත් ද?
Deleteහි..හී..
හි..හී..
හි..හී..
හි..හී..
හි..හී..
හි..හී..
හිරූස්,
Delete/ අම්මේ ඔය කොලපතේ බත් කතන්දරේ මුලින්ම කියෙව්වේ හපනා පොතේ /
අඩේ..ඒකෙත් තියනවය එහෙම සීන් එකක්..මට ඉලංගරත්න මහත්මය පස්සෙ කාලෙක ලියපු පෙරළිය පොතේනම් ඔය බත් ගෙඩි කතාවක් තියනව වගෙ මතකයි.එතුමා ඇවිල්ල ගලගෙදර නෙව. අත්දැකීමෙන්ම ලියන්ට ඇති.
හපනා කිව්වම තව එකක් මතක් උනා.පොඩිම කලෙ මම ඔය පොතට හරිම බයයි. හපනා කිව්වම මගෙ හිතට එන්නෙම කවුරුහරි දත් විලිස්සගෙන මාව හපන්ට පනින සීන් එකක්..හෙහ්, හෙහ්,
Childrens Adventures කියල මම මුලින්ම කියෙව්වෙ හපනා .ඊට පස් සෙ ආව ඩබ්ලිව්. එල්.ඒ. දොන් පීටර් පියතුමාගෙ වනගත ළමෝ,හොල්මන් දූපත පොත් දෙක.
/ මට පෙන්නෙ රවියයියව මේ තරමට හදලා අරන් තියෙන්නේ අත්තම්මද කොහෙද... අර එක දවසක් කිව්වේ අත්තම්මා සීයට දවල් බත් ගෙඩිය දුන්න හැටි අහල ඒ විදියට කන්න ඕනේ කියපු කතාව... හි හි… /
අම්මප ඇත්ත. උන්දැ මගෙ ජීවිතයට ලොකුම බල පෑමක් කලා. හෙහ්, හෙහ්, ඒකත් ඔය බත් ගෙඩියක් කෝටුවක ගැට ගහල කෝච්චියට අල්ලගෙන ඉන්න සීන් එකක්නෙ. මම කලේ කෝච්චිය වෙනුවට මගෙ පුංචි බයිසිකලේ පැදගෙන ඇවිල්ල බත් ගෙඩිය අර ගන්න එක..:)
/ අපේ නැන්දම්මලෑ ගෙදර ඉන්න බෑ කියලා මං බඳින්න කලින් ඉඳලම කැරලි ගහන්න පටන් ගත්ත ලොකුම හේතුව එහෙ ඔක්කොම වෙජිටේරියන් හින්ද ... අඩුගානේ උම්බලකඩයක්වත් ගේ හරියට ගේන්නේ නෑ.. මට ඕනෙ එකක් ඔට්ටුයි හැබැයි පොල් සම්බෝලෙටයි කට්ට සම්බෝලෙටයි උම්බලකඩ නැතුව නං කෑවත් නොකෑවා වගේ තමා... ඔන්න මට වෙච්චි දේ... /
මේ ගැනනම් මැඩම් කරන්න වෙනව සුට්ටං විශ්ලේෂණයක්..මේක මට පේන්නෙ අර උභතෝකෝටිකය ( Paradox ) කියන සංකල්පයට අපූරු උදාරණයක්.
ඒ කියන්නෙ මෙහෙමයි, කොහොමද?..දැං ඔය මස් මාංශවල තියනව ඇමයිනෝ අම්ල, අපේ මොලය නිසි පරිදි වර්ධනයට ඔය කියන ඇමයිනෝ අම්ල නිසි මාත්‍රාවකින් ලැබීම ඉතාම වැදගත්..තේරුණාද? ඇමයිනෝ අම්ල ශාක ආහාර වලින් ලැබෙන්නෙ නෑ. උදාහරණයක් තමයි මිනිස් ශිෂ්ඨාචාරය හිටි හැටියේ සීඝ්‍ර දියුණුවක් ලැබුවෙ මාංශ ආහාරයට මිනිස්සු පුරුදු උනායින් පස්සෙ.
ඇමයිනෝ අම්ල ආහාරයට එකතුවෙන්නෙ නෑ කියන්නෙ පැහැදිලිවම මොලේ වර්ධනය බාල වෙනව. එතකොට වෙන්නෙ තම සහකරුවා / සහකාරිය ලෙස ඉතාම ප්‍රශස්ත කෙනෙකු තෝරාගැනීමේ හැකියාව අඩු වෙනවා. එහෙම තමයි මෙතන වෙලා තියෙන්නෙ මට පේන විදිහට.ඉතිං දැං මැඩම්ට වැටහුනා නේද මෙතන තියන පැරඩොක්ස් එක. එතුමාලගෙ උදවිය පූර්ණ සාක බක්සකයිං වීම ගැන විස්සෝප වෙන්ට නෙවෙයි මැඩම් ඕන දෙයියන්ට ඉස්තූති කරන්ට....
අනික ඔය මස් මාංස එහෙම ඔහෙ කෑවට කමක් නෑ. එතුමට එහෙම යාන්තමටවත් මුහුවෙන්ටවත් දෙනව එහෙම නෙවෙයි..මොනවයිං මොනව වෙයිද කියල උඩ ඉන්න දෙයියො තමයි ඔන්න දන්නෙ...
අම්මප අපිම ඉන්ට ඕන මෙව්ව කියල දෙන්ට හෙහ්, හෙහ්...
ද ඌරාස් මාළු.. ඌරාස් පිටම තබා කට් කිරීම...ස්......
Deleteඅති සුන්දර චරිතයක් උන මහාචාර්ය නන්දදාස කෝදාගොඩ හාට් ඉස්පැසලිස්. එයයි දිවිය ළෝකේ යන්න කලින් හාට් ඔපරේසොන් එකක් කලා. ඊට පස්සේ ටැලිවිසොන් එකේ ඉන්ටවීව් එකකට ආවහම. නිවේදකයා ඇහුවා. ඔබ තුමා නිතරම කියනවා නේද, තෙල් කෑම අගුනයි කියලා. ඒත් අපිට ඔබ තුමාගේ ගෙදරින් අහන්න ලැබුනේ වෙන කතාවක්.. ඊට පස්සෙ හිනා උන දොස්තර මහත්තයා මෙහෙම කියනවා. මම දොස්තර කෙනෙක් විදියට කියන්නේ එහෙම තමයි. ඒත් මම ගමේ හැදිච්ච මනුස්සයා. පොල් සම්බලේ හිටන් නියම රහ එන්න නම් තෙල් ටිකක් දාලා තාච්චියට දාලා ගන්න ඕන කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත. ඕනම කෑමකට තෙල් ටිකක් දාලා ගත්තහම දිවිය ළෝක රහයි.
Deleteමාතලන්,
Deleteමහාචාර්ය කෝදාගොඩ මහත්මයා හෘද විශේෂඥයෙක් නම් නෙවෙයි. ඔහුගේ විෂයය උනේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ( Forensic Medicine )
//ඇමයිනෝ අම්ල ආහාරයට එකතුවෙන්නෙ නෑ කියන්නෙ පැහැදිලිවම මොලේ වර්ධනය බාල වෙනව. එතකොට වෙන්නෙ තම සහකරුවා / සහකාරිය ලෙස ඉතාම ප්‍රශස්ත කෙනෙකු තෝරාගැනීමේ හැකියාව අඩු වෙනවා. එහෙම තමයි මෙතන වෙලා තියෙන්නෙ මට පේන විදිහට.//
Deleteමේකනේ රවියයියේ ඔය තියරිය වැරදෙන තැන.. එකක් තමයි උන්දැලගේ ගෙදර මස් මාංශ අනුභවය නැවතිලා තියෙන්නේ දෙදාස් මුල ගනං වල... අනිත් එක අපෙ මහත්තයා වෙජිටේරියන් නෙවෙයි... එයා වෙජිටේරියන් උනා නං මං වෙන එකෙක් හොයාගන්නවා සහසුද්දෙන්ම.. මට ඔය එක්කෙනෙකුට එක විදියකටයි තව කෙනෙකුට තව විදියකටයි දෙපාරක් උයන්න බෑ හැම වේලකටම... හි හි
හිරු,
Delete/ අනිත් එක අපෙ මහත්තයා වෙජිටේරියන් නෙවෙයි… /
හපොයි බං එහෙමද? උන්දැ ටෝටලි වෙජිටේරියන් නම් සමාවක් දෙන්ට තිබ්බ අර ඇමයිනෝ අම්ල හිඟය තමයි හේතුව මේ වගෙ මෝඩ වැඩක් කරන්ට කියල .
ඒත් උඹම කියනව නං උන්දැ වෙජිටේරියන් නෙවෙයි කියල අනේ මන්ද මොනව කියන්ටද කියල...මම මේ හැදුවෙ උන්දැට එක්ස්කියුස් එකක් අරන් දීල ෂේප් කරන්ට. ඒත් උඹම කියනවනම් උන්දැ එහෙම නෙවෙයි කියල අනේ මන්ද බොලේ...ඔන්න මම එහෙම නෙවෙයි හොඳද? මගෙ ඇඟට එහෙම ගොඩ වෙන්ට ඔට්ටු නෑ හරිය?
මට නම් මතක අර විදියටයි.. එයාගේ පුතා නම් කවදා හරි නීතීපති වෙයි..
Deleteරවී,
Deleteඒ වුනාට එයා (නන්දදාස කෝදාගොඩ මහතා) ඉස්සර හැමදාම හදවත ගැනමනෙ උපදෙස් දුන්නෙ.
මාතලන්,
Deleteඔව් යසන්ත කෝදාගොඩ කවදහරි නීතිපති වෙයි.ඒක ෂුවර්.
මාතලන් / සෙන්නා,
නන්දදාස කෝදාගොඩ මහත්මය හෘදය ගැන උපදෙස් දෙන්නත් ඇති….. ඒත් එයා හෘද විශේෂඥයෙක් නම් නෙවෙයි. අධිකරණ වෛද්‍ය විද්‍යාව තමයි එයාගෙ Specility එක.
රවී..ඔබ හරි ෆොරෙන්සික් තමයි ස්පෙශලිටි එක.
Deleteහරිම සුන්දර අතීතයක් හිතට දැනෙන විදියට වචන කරලා තියනවා.. කතාව කියවගෙන එද්දී මට මැවිලා පෙනුන අත්තම්මල වන්දනාවේ යන හැටි.. බොහොම ඉස්තුතියි ඔබේ මතකයන් බෙදා හදා ගන්නවට..
ReplyDeleteමගේ මතක කියවීමට එක්වීම සහ ඒ පිළිබඳව ඔබේ ප්‍රතිචාරය සටහන් කිරීම පිළිබඳව ඔබටත් ස්තූතියි මගේ සරම...
Deleteඅපේ හාමිනෙත් එව්වා උයන්නේ නැ . මම උයපුවහම හොදි පොඩ්ඩක් කනවා
ReplyDeleteඋඹ එක කෑල්ලක් වත් ඉතුරු නොකර ඔක්කොම කෙලල ඇරියම ඒ අසරණී ඉතුරු හොදි පොඩ්ඩ නොකා වෙන මක්ක කොරන්නද?
Deleteමං මේ කල්පනා කරේ රවි අයියගේ වට්ටෝරුව හදාගන්න කොරමයක්.
ReplyDeleteමොන වට්ටෝරුවද බං ?
Deleteඔන්න රවි මතක් කරපු නිසා කොළපොතේ සහ කෙහෙල් කොළේ බත් ගෙඩියක් කන්න දොළදුකක් ඇතිවෙනවා...හපොයි ඉතිං මෙහෙ කොළපත් හොයන්න නෑනෙ කෙහෙල් කොළ නං ඉන්දියන් කඩවල තියෙයි.
ReplyDeleteඅර සූකර මද්දව ව්‍යාපෘතිය ඊට පස්සෙ ලොක්කිම ස්වේච්ඡාවෙන් භාරගන්න ඇති නේද රවි.
හෙහ්, හෙහ්..මොනව කියනවද?...ඊට පස්සෙ එවුන්දැගෙං බේරුමක් නැතුව ගියා. සතිය ගානෙම ඒ පාර D.P. තමයි.
Deleteකැරට් දාල, ගෝව දාල, අල දාල... ඔන්න ඔහොම හත් අට විදිහකට ඌර්ස් හදන්ට පටං ගත්තනෙ මේ මනුස්සය හෙහ්, හෙහ්....අර සුරේ ඉම්පස්සෙ කරේ දැම්මෙ එයාලගෙ ගෙදර යනකොට විතරයි. හෙහ්, හෙහ්, අම්ම ඔය ඌරු කේස් එක දැනගනියි කියල මෙවුන්දැ පණ බයේ හිටියෙ.ඕක අම්මත් එක්ක කියනවයි කියල ඒ දවස්වල මම සෑහෙන්න එයයිව කළුතැපැල් කලා.
මාරම ගති! පැණි වළලු වගේ!
ReplyDeleteස්තූතියි සිංදුවා...:)
Deleteමේක තමයි මම බ්ලොග් එකකට ඇවිල්ල කැමැත්තෙන්ම කියවන කතා සීරීස් එක. පඳුරු වටේ තලන ගමන් ඉලක්කයට යන්න උඹට තියෙන්නෙ පුදුම හැකියාවක්.
ReplyDeleteබොහොම ස්තූතියි රාජ්...:)
Deleteමේ ලිපිය කියවමින් මම මගේ ළමා කාලයට ගියා. මම පුංචි කාලේ පාසලෙන් ගිය අධ්‍යාපන චාරිකා වලට ගියේ ඔය වගේ බත්ගෙඩි බැඳගෙන. හැබැයි ඒ බත්ගෙඩි බැන්දේ කෙසෙල් කොලවල. පරිප්පු තෙල් දාලා, පොලොස් ඇඹුල්, අල බැදුම්, කට්ට කරවල තෙල්දාලා තිබුනා. සුවඳ සහ රසය දැනුත් දැනෙනවා වගේ. ඇත්තෙන්ම අපි අපේ ළමයින්ට මෙවැනි අත්දැකීම් දෙන්න ඕනේ. පයින් ඇවිද්දවන්න ඕනේ. අපේ අතීතය පෙන්වා දෙන්න ඕනේ. වල කක්කුස්සියට ගිහින්, පුක හෝදලා සරමෙන් ඇත පිහදාලා, අඟුරු පලා දත් මැදලා මූණ හේදුවේ ගෙදර ඉඳලා මීටර් 100 ක් විතර ඈතින් තිබුන ලිඳෙන් බවත්, නෑවේ කිලෝමීටරයක් විතර ඈතින් තියන ඔයෙන් බවත් කියන්න ඕනේ. (හැබැයි දැන් ඒ ආකාරයට වැසිකිලි යවන්න, මූණ හොදවන්න අවශ්‍ය නැහැ. ඔයේ නැව්වටනම් කමක් නැහැ) මමත් ඉපදුනේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උඳුගොඩ මොරදන ගමේ. හැදුනේ වැදුනේ කෑගල්ල නගරයේ. ඔබේ අත්තම්මාගේ ගම වන රඹුක්කනට ආසන්න දළුග්ගලේ විහාරෙට මම කුඩා කාලයේ වාර ගණනාවක් ගිහින් තියනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හෙහ්, හෙහ්, මමත් පොඩි කාලෙ හිටියෙ කෑගල්ලෙ..මේ කතාවෙ ලියල තියෙන්නෙත් ඔය කෑගල්ලෙ ඉන්න කාලෙ වෙච්චි සිදුවීම්...උඳුගොඩ සහ මොරොන්තොට මට ඉතාම සමීපයි. මගෙ පුංචි මාමා ඒ තැපැල් කන්තෝරු දෙකේ වැඩකලා හැත්තෑව දශකයෙ මුල්ම කාලෙ.
Deleteඊට පස්සෙ මේ මෑතක කසාද බැන්දට පස්සෙ ඔය පැත්තෙ යැවෙනව මොකද අපෙ හාමිනේගෙ පුංචි අක්ක බැඳපු ඒ අයිය බුලත්කොහුපිටියෙ, ඒ නිසා. මට මතකයි මොරදන..පාර අයිනෙ ඉස්කෝලයක් තියනව බෝඩ් එකේ තියෙන්නෙ කෑ / මොරදන මහ විදුහල. ඔතනින් යනකොට අපි හිනා වෙනව කෑමොරදෙන මහ විදුහල කියල.
කොළපොතේ බත් කාලානං නැති උනාට කොළපොත පට්ට ගහලා ඒකෙන් බත් ගෙඩිය බඳින විදිය මං බලං හිටලා තියේ.. ඒ පහුගිය කාලේ මං බෝඩිං වෙලා හිටිය තැනම බෝඩිං වෙලා හිටිය සංගීත ගුරුන්නාන්සේ කෙනෙක් ඕක කරන හින්දා..
ReplyDeleteමං නැවතිලා හිටියේ බෙම්මුල්ල ස්ටේෂන් එක අයිනෙම නවාතැනක.. එතැන ගේ පිටිපස්සේ පුවක්ගාල.. නිතර කොළපත් වැටෙනවා.. මෑන් තරුණ පහේ බොහෝම ප්‍රියමනාප ගුරුවරයා.. බොහෝම චාම් බුවා... හවහට සංගීත භාණ්ඩයක් එහෙම හීනියට වාදනේ කරගෙන හරි සැනසිල්ලේ හිටිය කෙනෙක්... මෑන් විතරයි බෝඩිමේ උයන් කන එහෙකුටත් හිටියේ.. අනිත් උන් එහෙං මෙහෙං කෑවේ.. පස්සේ මාත් එතැනට ගියාට පස්සේ උයන්න සැට් උන හින්දා අපි දෙන්නා ඉතිං කයියක් ගහං උයනවා... ඔන්න ඔය විදියට තමා මෑන් ඉස්කෝලේ යන්න බත් එක බදින හැටි මං බලං හිටියේ... ඒක බොහෝම ලස්සනට පිළිවෙලට කොරන්න මෑන්ට හැබෑ දස්සකමක් තිබුනා...
සූකර මද්දවය ගැන කියනවනං මගේත් ඉතිං පිරියතම මාංශය... ඉස්සරනං ඉතිං මට පේන්න බැහැ..මට මතකයි මට වයස හයේ විතර කාලෙදී මගුල් ගෙදරකදී ඔයින් කෑල්ලක් කාලා මට වමනෙත් ගියා... ඒත් ඉතිං රවි අයියට වගේම තමා මටත් උනේ.. හමුදාවට ගියාට පස්සේ කෑම තෝරන්න ගියොත් සදා බඩගින්නේ තමා... පස්සෙන් පහු මාත් නෙලන්න ගත්තා නැති වෙන්නම... හරක් මස් ඇති පදං කන්න හුරු උනේ පොලොසියේදී.. ඌරා හමුදාවෙදී...
දුවන පුහුල්.. ගොඩ පුහුල් වගේ නාම නං දනිමි..ගවනර් ජෙනරල් නම වැටුන හැටිත් කිව්වනං ආයිබෝං...
මාරෙ ඔන්න ඔය කොළපොත පට්ට ගහන හැටි පොඩ්ඩිට කියල දෙන්න පුලුවන්ද,කොලපොතක් හොයාගෙන තියන් ඉන්නවලු පට්ට ගහන විදිය දන්නේ නැතිව
Deleteමේ මොනවා කියනවද හැලප අයියා.. ගෑල්ලමයින්ට ඔව්වා කියා දෙන්න නෙව අපි මේ සැදී පැහැදී බලා ඉන්නේ... :D
Deleteආයේ ඉතිං මංනං ලෑස්තියි කියා දෙන්න...
/ ඒත් ඉතිං රවි අයියට වගේම තමා මටත් උනේ.. හමුදාවට ගියාට පස්සේ කෑම තෝරන්න ගියොත් සදා බඩගින්නේ තමා /
Deleteහමුදාවක හරි ඔය කොහෙ හරි කැලේක ටික කාලයක් හරි රස්සාවක් කරන එකේ වාසිය අන්න ඒකයි මාරෙ මලේ..ඕනම දෙයක් කන්ඩ පුරුදු වෙනව...නැත්තං ඉතිං ෆුල් ටයිම් නෝම්බි තමයි.අපරාදෙ කියන්ට බෑ මට බොම්බයි ලූණු ගෙඩියක් තිබ්බනං ඇති ලුණු පොඩ්ඩක් ඉහගෙන බත් ඩිංග කන්ට.
/ දුවන පුහුල්.. ගොඩ පුහුල් වගේ නාම නං දනිමි..ගවනර් ජෙනරල් නම වැටුන හැටිත් කිව්වනං ආයිබෝං /
ඒකෙ විසේස මොකවත් නෑ බං...ඔය නිකං මම හදා ගත්තු නමක්..නිකම්ම හරක් මස් හරක් මස් කියනවට වැඩිය..ගවයා කියන එකෙන් මම හදාගත්ත ගවනර් ජෙනරල් කියල..සූකර මද්දව කියන එකත් එහෙමයි. දිය කුකුළා ගස් ගෝනා එහෙම උඹ දන්නව ඇති නේ?
//හමුදාවක හරි ඔය කොහෙ හරි කැලේක ටික කාලයක් හරි රස්සාවක් කරන එකේ වාසිය අන්න ඒකයි මාරෙ මලේ.//
Deleteමේ කතාව නං සහතික ඇත්ත... අපේ මහත්තයත් ගෙදර ඉන්න කාලේ කන්න ගියාම තෝරනවලු මාර තේරිල්ලක්... එයාලගේ අම්මා හතර දෙනාට හතර විදියකට කෑම හදලා කලින්දා ඉතුරු වෙලා තියෙන බත් ටිකක් රත්කරගෙන කන ජාතියේ... හොඳ වෙලාවට මෙයා අවුරුදු 4ක් සෞදි හිටියා... ඒකෙන් දැන් මට ලේසියි.. අම්ම දැන් පුදුම වෙනවා මෙයා හැමජාතියම කනකොට... ( එහෙම නැති උනානං ඉතිං උන්දැ හාමතේ තමයි... හි හි)
දියකුකුල? මුහුදු කුකුල නම් දන්නව. පට්ට කතාව ලොක්කා(අයියා)
Deleteඑදිරි,
Deleteදිය කුකුල කියන්නෙ බන් ඉබන් බතූතා නොහොත් අති ගරු ඉබ්බා මහතා..හෙහ්,හෙහ්, උඹ කාල තියද?
ඉබ්ස්ට හරියන්නෙම මල්ලි , වට්ටක්කා දළු මැල්ලුම සහ ආනමාළු මුද්දරස් පලම් එහෙම දාල පෙරපු සුදුවා..හෙහ්, හෙහ්...පිස්සුම තමයි.
හිරු.
Delete/ ඒකෙන් දැන් මට ලේසියි.. අම්ම දැන් පුදුම වෙනවා මෙයා හැමජාතියම කනකොට... ( එහෙම නැති උනානං ඉතිං උන්දැ හාමතේ තමයි... හි හි) /
අන්න එහෙම තමයි බං ඉන්ට ඕන..ඔය පිරිමි කියන කියන සෙල්ලං දාන්ට ඉඩ දෙන්ට එපා ඇහුනද?.හොද්දක් නැතුව කන්ට බෑ..කෝ අද හැදුවෙ නැද්ද පිළිහුඩුවක්? අපෙ අම්ම නම් තක්කලි සම්බලයක් වත් හදනව...එව්වට සැලන්ඩර් වෙන්ට එපා හොඳද? කෙලිම්ම කියාපං...මේ මම උයල තියෙන්නෙ මට පුළුවං විදිහට කන්ට පුළුවන්නං කන එකයි ඇත්තෙ. බැරිනං ගිහිල්ල බුදිය ගන්න එකයි.අම්මගෙ තක්කලි සම්බලේ ගෙදර ගිය වෙලාවක හදා ගන්ට අම්මටම කියල
මටත් වෙලා තියෙන්නෙ ඔහොම තමයි කියන එක වෙනම කතාවක්..හෙහ්, හෙහ්, ඒ කොහොම උනත් වැඩේ ඇත්තනෙ.
අනික දෙකක් දාගන්න මනුස්සයෙක් කසාද බඳින එකේ වාසිය අන්න ඒකයි.
" මේ කොහොමද ඒයෙ රෑ කෑම ?" උදේම එයයි අහනව.
" මරු..මාර රහයි...ඔයාගෙ නූඩ්ල්ස් කොහොමත් නියමයිනෙ. "
" ඈ නුඩ්ල්ස්? මම ඊයෙ රෑට හැදුවෙ ෆ්‍රයිඩ් රයිස්නෙ. "
" ආ..ඒ ෆ්‍රයිඩ් රයිස්ද? කලින් කියන්ට එපාය... කවුද දන්නෙ?.....හරි, හරි..මොක හරි..නූඩ්ල්ස් මොකද ෆ්‍රයිස් රයිස් මොකද? ඔයාට ඒ දෙකම නියමෙට පුළුවන්නෙ.." ආන්න මම ස්ථානෝචිත ප්‍රඥාව භාවිතා කරල තත්වය සමනය කරගන්නව...හෙහ්, හෙහ්...
මාර රසවත් විදියට ලියල තියෙන්නෙ. රාජ් කියල තියෙනව වගේ පඳුරු තළල ගානට පොයින්ට් එකට එන්ටර් වෙලා තියෙනව.
ReplyDeleteකසාදයක් බැඳගත්තට පස්සෙ ආයෙ සුරයක් බැඳගෙන ඉන්නෙ මොකටද? :D
පසුගිය කොටසෙන්....
/ ඉතිං අසිත කොලුවට කොමෝඩ් එක පාවිච්චි කරනහැටි පෙන්නුවද? /
ගුරුවරියක සමග මගේ ජීවිතය ...4 ඔබගේ පැණයට පිළිතුරු සපයනු ඇත.
මේ 3 1/2 වෙන්ටැ මං හිතන්නෙ. :D :D
හෙහ්, හෙහ්..මම හිතුව උඹ ඕකට අවි අමෝරා ගනියි කියල..හරි හරි මේ වතාවට සමාව දීපං..ඊලඟ පාර ඒ සීන් එක අනිවා ඩෙෆා ලියනව ලියනව ලියනවමයි.
Deleteඉතාමත් ලගන්නා සුළු බස් වහරකින් ලියන ලද මේ ලිපිය කියැවීමෙන් අමුතුම ආශ්වාදයක් ලැබිමි. කටු කිතුල් කොළපොතේ බත් බැදන් දැරණියගලින් සිරිපා ගිය ගමනක් මට සිහි වුණා මේ සමග.
ReplyDeleteනොලිය ඉන්නට-කිමද කාරනා
Deleteනූරිය කන්ද පැත්තේ එහෙම ගියේ නැතෙයි.
Deleteස්තූතියි නලීන්....අර කිව්වත් වගෙ ලියන්නකො ඒ විස්තරෙත්...:)
Deleteඒ ගැන මතකය පමණයි ඇත්තේ සේයා රු එකක්වත් නොමැත අතේ.. දැරණියගල සිට පයින් එකල තිබු රජ මාවතක් සොයමින් දැරණියගල ගම්වාසීන් 200ක විතර පිරිවරක් එක්කය ඒ ගමන ගියේ මෙය්ට වසර 10කට පමන පෙර.
Deleteආය මඟුලක් කතා කරනව ..අහවල් ඡායාරූපද බං?...ලියපංකො ඡායාරූප වලට වලට වැඩිය අපූරුවට හිතේ ඇඳෙන්ට..හෙහ්, හෙහ්, අම්මප මට එහෙම ඔහොම අත්දැකීමක් තිබ්බනං ලියනව එක්දිගට එපිසෝඩ් දහයක විතර සීරීස් එකක්....:)
Deleteඔය ජාතියෙ බත් ගෙඩියක්නම් මටත් කවදාවත් කන්න ලැබිලා නෑ.. කතාවනම් පන්කාදු පහයි.
ReplyDeleteමොනවද සූකර මද්දව කියන්නෙ ?
>> ඔය අපි සෙනෙහෙං බැඳිල ඉන්න කාලෙ <<
දැන් වෛරෙන්ද බැඳිලා ඉන්නෙ ?
එතකොට ගවනර් ජෙනරල් ?
Delete/ මොනවද සූකර මද්දව කියන්නෙ ? /
Deleteසූකර මද්දව කියන්නෙ සෙන්නා බුදු හාමුදුරුවො පිරිනිවන් පාන්ට ඉස්සරවෙලා අවසන් වරට වලඳපු වෑංජනය කියලයි කියන්නෙ. චුන්ද කර්මාර පුත්‍ර කියල ඌරු කොටු හිමිකරුවෙක්ය කියනව ඒ දානය පූජා කලේ. ඔතන සූකර මද්දව කියන්නෙ හරියටම මොකක්ද කියල මත භේදයක් තියනව. එක මතයක් තමයි ඒ කියන්නෙ ඌරු මස් නෙවෙයි ඌරු කොටු අසල හැදෙන හතු වර්ගයක්ය කියල.
ඒ මොක හරි ඒ සූකර මද්දව වෑංජනේ වැළඳුවට පස් සෙ තමයි බුදු හාමුදුරුව්න්ට ලෝහිත පක්ඛන්ධිකා නොහොත් ලේ බඩයාමේ රෝගයක් වැළඳිල අපවත් උනාය කියන්නෙ. මම ඉතිං කොයි වෙලාවෙත් ඌරු මස් ඌරුමස් කියනවට වැඩිය සූකර මද්දව කිව්වම නිකම් පොඩි ගතියක් තියන හින්ද එහෙම කිව්ව එච්චරයි...නතිං එල්ස්...
/ දැන් වෛරෙන්ද බැඳිලා ඉන්නෙ ? /
හෙහ්, හෙහ්, ඔන්න කිව්ව එකක්..එහෙම එකක් කවුද බොල කිව්වෙ?...ඒත් අරම කිව්වම එහෙම අර්ථයකුත් ගන්න පුළුවන් නම් තමයි.
Genuine love ends in marriage කිව්වම බැඳපු ගමන් ආදරය අවසානයි කියලත් කියන්න පුළුවන් නම් තමයි. :)
/ එතකොට ගවනර් ජෙනරල් ? /
ඒකෙ විසේස මොකවත් නෑ බං...ඔය නිකං මම හදා ගත්තු නමක්..නිකම්ම හරක් මස් හරක් මස් කියනවට වැඩිය..ගවයා කියන එකෙන් මම හදාගත්ත ගවනර් ජෙනරල් කියල
බඩ පිනුම් ගහන ලෙවල් එකට ලියලා තියෙන්නේ.පාන් භාගයයි,පරිප්පු එකයි,ප්ලේන්ටී එකයි.දැන් පුලුවන් ඉතුරු ටික කියවන්න.
ReplyDeleteස්තූතියි අරූ....:)
Deleteසූකර තරම් රහ කෑමක් තියෙනවද ආයිබෝවන්ඩ. එයා ඒක බදින අතරේ ගල් සීයක් විතර දෙසරෙකට උගුරට හලා ගත්ත නම්.. අම්මේ..... එක්කෝ ඕන නෑ.. (බොන්න නරකයි.. ඒකයි උගුරට හලා ගන්න කිව්වේ)
ReplyDelete70 දශකයේ ජිප්සීස්ලගේ ජනප්‍රියම සිංදුවක් වෙච්චි "අම්මා අම්මා මේ මට...." සින්දුවෙත් අන්තීමට තියෙන්නේ "මොනවා නැතත් මට... හාල්පොත නම් ඕනෑ...." කියලා. නැත්තං ඉතින් බත් කන්නය.
ඔය ඌරා හොඳට මිරිස් තුනපහ දාලා හින්දලා ගත්තම, තැරවෙන, තැරවෙන තැන කන්න පුළුවන්. මස් කෑලී ඕන නෑ. මේ දව්ස්වල නම්, ඕකගේ වනචර එකා ඇද බානවා ඇතිවෙන්න. සිඃරාජ මායිමේ නේ ඉන්නේ.. අර මම කියපු ඌඋරූ ඉස්ටුවත් එක්ක. මැනියෝක් හරි රෝස් පාන් හරි කන්න පුළුවන් ආයොබෝවන්ඩ බුරි උන්වෙනකං. හැබයි ගල් කාලකුත් තිබුන නම් තමා නැගලම යන්නේ.
/ තැරවෙන, තැරවෙන තැන කන්න පුළුවන්../
Deleteඅපිනම් කියන්නෙ බොලේ තැවරෙන තැවරෙන කියල...හෙහ්, හෙහ්
/ ඕකගේ වනචර එකා ඇද බානවා ඇතිවෙන්න. සිඃරාජ මායිමේ නේ ඉන්නේ../
දෙයියෝම සාක්කි..යකෝ ලෝක උරුම වන සූකර ...උංද මේ දවස්වල ආහාරය?...හෙහ්, හෙහ්
මේ පෝස්ටුව කියවන්න එද්දි මුලින්ම මේ වගේ වැකියක් දැම්මෙ නැති එකට මගේ බලවත් අමනාපය..
ReplyDelete//කරුණාකර ටිෂු බොක්ස් එකක්හෝ ලේන්සු පෙට්ටියක් ළඟ තබාගෙන මෙය කියැවීමෙන් පසුව ඇතිවන (උදා. කෙල පෙරීම නිසා ඇතිවන) අපහසුතා මගහරවා ගත හැකිය.
ෂික් අම්මප..මේ අංගනාවියොංගෙං නෙව මොක කරලවත් බේරෙන්ටම බැරි? පුදුම කෑමරුචියක්නෙව අනෙ අම්මප මෙවුන්දලට තියෙන්නෙ.....
Deleteපට්ට කතාව ලොක්කා(අයියා) එක හුස්මට කියෙව්ව :D
ReplyDeleteස්තූතියි එදිරි.....:)
Deleteවෙනද වගේම රසයෙන් පිරිල.අත්තම්මයි,අම්මයි ගෙ මැච් බැලිල්ලත් කියෙව්ව ආශාවෙන්.
ReplyDeleteකොලපොතේ බත් කාල නැහැ.කෙසෙල් කොලේ බත් මුලනම් කියල වැඩක් නැහැ.
කොලපොත කියන්නෙ අපි පොඩි කාලේ ඉදගෙන කාට හරි කියල වැල්ලෙ ඇදන් ගිය පුවක් අත්ත කියල දැනුනෙ කොමන්ට් කියෙව්වාම.
ඉස්සර උදේට කන්න ඉදි ආප්ප සමග කන්න පොල් සම්බල්/මැල්ලුම සමග ආච්චි හදන කිරි හොදි සුවද මතක් වුනා මේ ලිපිය කියවද්දී.
පිට උඩ තියල කපන එකාගෙ කෑම මගෙත් ප්‍රියතම.අපි දෙන්න තනියම ඉද්දි එක එක විදියට හද හදා කෑව.දැන් නැන්දම්ම අප සමග වාසෙ නිසා ගෙදර ගෙන ඒම තහනම් කරල.කුකුළු,එළු,බැටළු කියන ළු මාංශ පමනයි.එළියෙන් කද්දී නම් ඇදල අරිනව ඇරියස් එක්ක.
නිතරම අපගේ අතීත සිහිවටන මතක් කිරීම ගැන ඔබට තුති.!
ස්තූතියි ඔබටත් කෙන්ජි...:)
Delete//ඔය අපි සෙනෙහෙං බැඳිල ඉන්න කාලෙ//
ReplyDeleteඇයි අප්පා දැන් බැදිලා ඉන්නෙ මොකෙන්ද එතකොට?
ඔය කොලපොතේ බත් බදින විදිය ගැන හපනා පොතෙත් කියලා තිබුනා වගේ මතකයි. ඒක නෙමෙයි, අර උඩින්ම දාලා තියන පින්තූරේ තේරුම මොකද්ද හැබෑටම? පෝස්ට් එකට ගලපගන්න හැදුවා හැදුවා..ම්හු හරි ගියේ නෑ.
/ ඇයි අප්පා දැන් බැදිලා ඉන්නෙ මොකෙන්ද එතකොට? /
Deleteදැං බැඳිල ඉන්නෙ බොල " අනන්තානුගත සංසාරික චාරිකාන්විත වජ්‍රාන්විත බන්ධනය " ආන්න ඒකෙං
/ ඒක නෙමෙයි, අර උඩින්ම දාලා තියන පින්තූරේ තේරුම මොකද්ද හැබෑටම? පෝස්ට් එකට ගලපගන්න හැදුවා හැදුවා..ම්හු හරි ගියේ නෑ. /
හෙහ්, හෙහ්, ඒ බං මම සූකර මද්දව බදින දිහා අපෙ උන්නැහැ කම්මුලේ අතකුත්තියාන බලා ඉන්නවනෙ ඒ තියෙන්නෙ..
නෑ අනේ ඒ බොරු....ඇත්තම ඇත්ත කියන්නද බොට?...
බ්‍රහස්පතින්ද රෑ ඔය පෝස්ට් එක දානකොට මහ රෑ දොළහටත් කිට්ටුයි. සිකුරාද නිවාඩු දවසෙ ටිකක් දවල් වෙනකල් නිදිය ගන ඕන නිසාම රෑ කීයට හරි දාලම නිදියනව කියල හිතාගෙනයි හිටියෙ. ඒ වෙනකොට නිදිමතයි අර තවත් එක මතකුයි කලවං වෙල අඤ්ඤකොරොස් වෙලයි හිටියෙ.
පෝස්ට් එකට හරියන අත්තම්මෙකුයි මුණුබුරෙක්ගෙයි ෆොටෝ එකක් මම බාගත කරගෙන තිබ්බ. ඒ ළඟමයි මේ ළමිස්සිගෙ ඉමේජ් එකත් තිබ්බෙ. වැරදිල මම උඩුගත කරල තියෙන්නෙ මේක. ඒ වෙලාවෙම මම ඕක දැක්ක.ඒත් ඔන්න ඔහෙ තිබ්බාවෙ කාටවත් ඕක මීටර් වෙන එකක් නෑය කියල තියෙන්න ඇරිය. හෙහ්, හෙහ්, එව්ව කොහෙද අපි එක්ක නැද්ද මැඩම්? :)
Monolog:
ReplyDelete"ආ රවියා පෝස්ට් එකක් දාලද?"
"හනේ අම්මේ මේකා වගේ එකෙක් නම්...!"(කම්මුලට අත තබාගෙන)
"අර මනුස්සයා කොහොම ඉන්නවද දන්නේ නෑ මේකත් එක්ක." (කම්මුලට අත තබාගෙන)
"එක අතකට මේකා මිඩ්ල් ඊස්ට් ඉන්න එක නිසා අර ළමයට කනක් ඇහිලා ඉන්න පුලුවන් ඇති."
"අනේ අම්මේ මෙහෙම කටක් නම්!" (කම්මුලට අත තබාගෙන)
"කෝ බලමු බලමු ඒකට මොනවා කියයිද කියලා."
"මේකගේ කට තමයි කට."
"ඕනෙ එකක් කියාපං, මේකට තියෙනවනේ ඒකට උත්තරයක්!"
"අනික කතන්දර ගොඩ! ඕනෙ එකකට තියෙනවනේ කතන්දරයක්!"
"මේකා නම් අපේ අයියගෙයි ඔයාගෙයි ගතිගුණ මිශ්‍ර වෙලා හැදුණු එකෙක්!"
(ඔලුව වනමින්) "හැබැයි ඒවගේම නොදන්න මංගල්ලෙකුත් නෑ!"
/ "එක අතකට මේකා මිඩ්ල් ඊස්ට් ඉන්න එක නිසා අර ළමයට කනක් ඇහිලා ඉන්න පුලුවන් ඇති." /
DeleteA Dialogue….. Say around say 2-3 months ago.
'' මේ ඔයා මේ අවුරුද්ද අන්තිමට රස්සාවෙං අස් වෙලාම එනවද? "
" ඔව්..ඒයි එහෙම තමයි හිතාගෙන ඉන්නෙ මදැයි දැං හිටියනෙ මෙහෙ සෑහෙන කාලයක්..ඇයි එහෙම ඇහුවෙ?.."
" නෑ මම මේ නිකමට ඇහුවෙ..මේ ඒක නෙවෙයි..දැං ඔහෙ අවුරුදු ගානක් වැඩකලාට පස්සෙ මොකවත් නැද්ද ඔයාලට බෙනිෆිට් එකක් එහෙම? "
" මොන වගෙ එකක් ගැනද ඔයා කියන්නෙ? ග්‍රැටිවිටි එකක් දෙනව ඉතිං එච්චරයි. "
" නෑ මේ මම කිව්වෙ වයසට ගියාට පස්සෙ රස්සාවෙනුත් අස්වෙලා ඉන්න මහළු නිවාසයක් වගෙ එකක්. "
" ඈ??? ඒ මොකටද එහෙම එකක්? රස්සාව කරල ඉවර වෙලා ආපහු තම තමංගෙ රටවල් වලට යනව මිසක ආය මොකටද මහළු නිවාස? "
" නෑ මට මේ නිකමට හිතුනෙ එහෙම තිබ්බනං කොච්චර හොඳයිද නේද කියල. ඔයාලගෙ ඔහෙ තියනව නේද මොකක්ද ඇසෝසියේෂන් එකක් එහෙම? බැරිවෙයිද ඒකෙං වත් යෝජනාවක් ඉදිරිපත් කරන්ට. "
" ඔහොම යෝජනා ඉදිරිපත් කරල කස පහර දීල තමයි මෙහෙං පිටුවහල් කරන්නෙ…"
'' නෑ මේ මම කිව්වෙ..නිකමට වගෙ ඉල්ලල බලන්ටකො. "
My goodness, I was racking my grey cells day & night trying to comprehend what did she meant ….At last …Thanks Deejay ..so its true, isn't it after all, what they say ? .... It takes a woman to understand another woman..
>>It takes a woman to understand another woman...<<
DeleteAnd a twin.
And we can forget about that expensive DNA test, dude. These ARE twins.
Yeah, Henry and hoping to meet you two very soon heh, heh, very soon indeed & definitely looking forward to hearing the twins comparing notes...heh, heh, that would be something I wouldn't miss for anything in this world :)
Deleteහප්පා බඩ රිදෙනව බන් හිනා වෙලා.උබගෙ ආත්තම්මනම් වාසනාවන්.මටත් මතක් වෙනව අපෙ අත්තම්ම ඉන්න කලෙ ගල් වන්ගෙඩියෙ කොටල හදල දෙන පොල්සම්බොලේ.මාර රසයි.වවුලගෙ මගුල් ගෙදර ආව වගෙ වයිෆ් ගානට සෙට් වෙලා නෙ.පොස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවපුවම කදුලු පිරිල බඩ කොරවෙලා හයියූ අමාරුයි අප්පා
ReplyDelete/ අපෙ අත්තම්ම ඉන්න කලෙ ගල් වන්ගෙඩියෙ කොටල හදල දෙන පොල්සම්බොලේ.මාර රසයි. /
Deleteආපෝ..ගල් වංගෙඩි වල සම්බෝල කෙටුවම ගල් කුඩුත් එක්ක තමයි කන්ට වෙන්නෙ....හෙහ්, බොරු හොඳද?
/ වවුලගෙ මගුල් ගෙදර ආව වගෙ වයිෆ් ගානට සෙට් වෙලා නෙ /
එව්ව මල්ලි දැනගන්ට ඕන ක්‍රම සහ විධි....නියෝග පනවන්ට ගියොත් වැඩේ හරියන්නෙ නෑ..ගානට දෙන්ට ඕන එයාටම තීරණයක් ගන්ට දැඩි බලපෑමක් කරන්නෙ නැතුව..
හෙහ්, අපරාදෙ කියන්ට බෑ අපෙ උන්නැහෙත් ඔය සාස්තරේ කෙල පැමිණිල ඉන්නෙ. මට අඹරන්නෙත් ඔය නූලම තමයි. මම දන්නව...ඒත් එහෙම උනාට කිසිම අවුලක් නෑ එයාටත් ඉඩ දෙනව යම් ප්‍රමාණයක්. එහෙම නැතුව බෑ. සම්මුතිය කියන්නෙ ආන්න ඒකයි.
හෙහ්, හෙහ්..ස්තූතියි දමිත්...:)
ඇ යකෝ උඹ අපිට හිත හදාගෙන ඉන්න තැනක රස්සාවක් කරගෙන ඉන්න දෙන්නේ නැද්ද. බලපන් මේ මඟුල් පොස්ට් කියවපු ගමන්ම හිතෙන්නේ ආයෙත් දවස් 10 කට හරි ලංකාවට ගිහින් එන්න. මේ මඟුල් රටේ කොහෙද උරු මස්. ඔක්කොම අගහිග එවුන් ඉන්න හින්දා ඔය වචනේ කියන්නත් හරාම්.
ReplyDeleteඅපේ ගෙදරනම් තාමත් ඔය පුවක් කොලේ කෑම ඔතනවා. හොඳ ලොකු පුවක් කොලයක් ගත්තම මිනිස්සු 6-7 දෙනෙකුට බතක් ඔතන්න පුළුවන්.ෂාහ් ...කොහොමද ඔකටම දවස් දෙකක් විතර අඟුරු උඩ තියපු පොලොස් ඇඹුලකුත් සෙට් උනානම්. මේ සැරේ යන ගමන්ම අටමගේ ගෙවල් පැත්තෙන් වත් යන්න ඕන අපේ ගේ හරියට ගෙන්න තහනම් නියෝගයක් එවුවා නොවැ පොඩි එකාට බෙරෙයක් එල්ලුවා කියලා.
ගෙදර උන්දා මොකට අය සුර එල්ලන් ඉන්නවද උපදිනකොටම සුරයක් එල්ලිලා තියන එකෙක් ඉන්න කොට.
එහ්..උඹ ඉන්නව ඇත්තෙ එහෙනං දැඩි මතධාරී රටක වෙන්න ඕන..මෙහෙනං බොලේ දැං අවුරුද්දක වගෙ ඉඳල මත්පැන් බලපත්‍රය තියන අයට මත්පැන් තියෙන තැනම වෙනම ඔව්ව ස්ටෝල් එකක් දැම්ම. එතනිං තමයි අපි ගන්නෙ..
Deleteහෙහ්, හෙහ්, අග හිඟ..ඒක මම ඇහුවමයි..:)
කොලපතේ බත් නම් කාල නැහැ . හැබැයි අපේ ගමේ අදටත් ඉඹුල් කිරිබත් හදද්දී කොළපත තමයි ගන්නේ .
ReplyDeleteකෙතෙක් කොලේ බත් නම් මදි නොකියන්න කන්න ලැබුණ ළමයි ලැබෙන්න හිටි කාලේ .කට්ටිය තරගෙට බත් ගෙනත් දෙන්නේ .අනික තනියම කාගන්න කොහොමත් බැහැ. එතරම් ලොකුයි.
රවිගේ කතා එක්තරා විදිහට අතීත ශ්‍රී ලංකාව ගැන පර්යේෂණ පොත් සිය ගානකට වඩා විස්තර අහුලා ගන්න පුළුවන් . හදිසියේ ආවේ . ආයේ එන්නම් මාතෘකාවට අදාලව කමෙන් එකක් දාන්න
/ කෙතෙක් කොලේ බත් නම් මදි නොකියන්න කන්න ලැබුණ ළමයි ලැබෙන්න හිටි කාලේ .කට්ටිය තරගෙට බත් ගෙනත් දෙන්නේ /
Deleteදොළ දුක් ගැනත් මගෙ තියනව අපූරු මතක සටහනක්..ඔය ලොක්කි මට කොක්ක ගහපු අළුත.ඔය කාලෙ ඉතිං දන්නවනෙ සක්වල ගලෙං එපිට අනෝතත්ත විලේ මල් ගෙනත් දෙන්ට කිව්වත් ඕකේ මැඩම්, නෝ ප්‍රොබ්ලම් ඇටෝල් කියල වැඩේ ඉස්මුදුනිං බාරගන්න කාලෙ නෙව.
අපෙ උන්දැගෙ පුංචි අක්කට ආව ඔයකාලෙ දොළ දුක් ගායක්...අර මොනවද බං..අර තියෙන්නෙ..ඔන්න බලාපල්ලකො මට මතක නැති හැටියක්..පොඩි ගෙඩි ...කොළ පාට...මොන බටුද කියල වගෙ මතක...වෑංජනේ උයල කන්නෙ අර...හරි ඒක මොක හරි..මතක් උනාම කියන්නං..නැත්තං හෙට උදේට එයයිගෙම්ම අහල කියන්නංකො.
මේ වෙලාවෙ කතා කරන්ට බෑ..දෙගොඩ හරියෙ නෙව. දැන් කතා කලොත් ඒ නම නං කියයි. ඒත් ඊට කලිං මගෙ කං පිරෙන්ට දේසනාවක් දීල පැය බාගෙකට නොඅඩු. හෙහ්, හෙහ්,
ඉතිං හපොයි ඔය කිව්ව එව්ව සප්ලයි කොරන්ට කොන්තරාත්තුව බාරගෙන මම විඳපු කරදරයක්...ඒක ගැන ලියඤ්ඤං වෙනම.."දොළ දුක් සංසිඳවීමේ මගේ අප්‍රතිහත ව්‍යායාමය නොහොත් අපොයි...ඒ කාලෙ නොකරන දේකුත් තියනවද?"'
බොහොමත්ම ස්තූතියි බින්දි :)
තිබ්බටු මම හිතන්නෙ
Deleteනෑ බං තුඹ කරවිල....මට බටු කතාවක් මතක තිබ්බට බටු කියල එකක් නෑ ඒකෙ...:) :)
Deleteමොන ඉලව්වක් වේලා ද මට මේ අපුරු බ්ලොග් එකයි පොස්ට් ටිකයි මඟ ඇරුනෙ.... අපුරුයි සහොදරයා.. ආස හිතෙන තරම් ලස්සන අතීතයක් අත්දැකීම් ගොඩක් හැංගිලා තියෙන ව නේද ජීවිතේ... ඔක්කොම බෙදා ගමු හොදේ..?
ReplyDeleteස්තූතියි පැන්ඩා.....Welcome :)
Deleteමම මෙච්චර දවසක් දැනං හිටියෙ නෑ රවි බ්ලොග් ලියන බවක.් ඒත් සමහර වෙලාවට රවී වෙනත් බ්ලොග්වල දාන කමෙන්ට් කියෙව්වෙ සමහර වෙලානවට අපිට හිතන්න යමක් ඒ කෙමෙන්ටුවේ තිබුණ නිසා. ඒක සමහර වෙලාවට අපූර්වත්තවයක් ඒ බ්ලොග් එකට ආලෝකයක් සපයන සටහනක් බව දැනං හිටියේ. ඒ කොහොම වුණත් සේරටම මුල බ්ලොග් ලෝකේ ඇවිදින්න තියෙන වෙලාව සොයාගැනීමේ අපහසුව. කොහොමිං කොහම හරි අස්වැන්නට දාල තිබුණ සටහනක් නිසා විවේකි දවසක් නිසාත් අද බ්ලොග් ලෝකෙ රවුමක් ගැහුවෙ අහම්බෙන් වගේ. දැන් හරි.
ReplyDeleteවර්තමානය අපි "ලන්ච් ෂිට්" වලට කොටු වුණත් මගෙත් පුංචි කාලෙ රජරට ජීවිතය ගෙවූ දවස්වල මේ බත්ගෙඩියේ අත්දැකිම් එමටයි.අපේ අත්තම්ම හදපු ඉඹුල් කිරිබත් ගෙඩියත් එහෙමයි උදේට එකක් දාගත්තාම වරුව ගෙවෙන්නෙ දන්නෙම නැතුව.
ඉස්සර කොච්චර අටමස්තානෙ වැන්දත් පොසොන් පෝයට ඔය අටසම්ථානේ අර සෙනග තලේ හිර වෙවි වඳනින යන එකනම් ජීවිතේ ලැබුව හොඳ අත්දැකිමක්. ගෙදරින් පාන්දර හදා දෙන බත් ගෙඩියට ඔය රවී කියපු පොල් සම්බෝලෙ, අල තෙල්දැමිම, පරිප්පු තෙලට දැමිමත්, ඉඳහිටල තිබ්බටු මැල්ලුමත් එකතු වුණාම ඒ හැර වෙනත් රසයක් ලොවේ තිබුණද කියලත් හිතෙනවා.
ඒත් දැන් අපි යාන්ත්‍රීකරනය වෙච්ච මිනිස්සු දැන් කොයින්ද ඒවගේ පිනක් ඉදහිටල අනුරාධපුරේ ගියාමයි ඒ අතීතයට ආයෙ පිය මනින දවසක් හමුවෙන්නේ.
ස්තූතියි දයා..බොහොමත්ම ස්තූතියි..මටත් වෙලා තියෙන්නෙ ඕකම තමයි..හැම බ්ලොග් එකක්ම කියවන්ට කාලයක් නැති එක...ඒ නිසා මම කරන්නෙ මම තෝරාගත්තු බ්ලොග් කීපයක් විතරක් කියවන එක..ඒකෙන් ඇත්තටම හොඳ බ්ලොග් රාශියක් මට මඟ ඇරෙනව. ඒත් වෙන කරන්ට දෙයක් නෑ…
Deleteපොඩි යෝජනාවක් කරන්නද? ඔබේ බ්ලොග් එකේ අළුත් සටහන් ඊ මේල් මඟින් ගෙන්වා ගැනීමේ පහසුකම ඇති කලොත් මොකද?ඒක කාර්ය බහුල මම වගෙ බොහෝ දෙනෙකුට ලොකු පහසුවක් වේවි.
එතකොට අනුරාධපුරේ ගැන කිව්වොත් මගෙ ජීවිතේ සොඳුරු මතක සටහන් බොහොමයක් අනුරාධපුරේට සම්බන්ධ එව්ව. මම කාර්මික විද්‍යාල අධ්‍යාපනය ලැබුවෙ එතකොට මුල් රැකියාවල් දෙකම කලේ අනුරාධපුරේ. බත් මුල් බැඳගෙන වට වන්දනාවෙ යාම මෙන්ම යාළුවො එක්ක බයිසිකල් වලින් පොසොන් කාලෙට මිහින්තලේ යාම මගෙ ජීවිතේ නොමැකෙන අත්දැකීම්...
සුට්ටි පුතා අම්මා කොච්චර ගෝරනාඩු දැම්මත් අත්තම්මා හිටිය නිසා බය නැතුව හිටියා නේද..??
ReplyDeleteහැමදාම කියනවා වගේ ආසාවෙන් කියෙවුවා රවී.., ලස්සනයි..
ස්තූතියි සඳා...:)
Deleteඅපෝ මේ ඔක්කොම කරලත් මේකා හැදිලා තියෙන්නෙම නරක තාලෙට නේ....
ReplyDeleteමේකෙන් ගත හැකි ආදර්ශය :
දෙමවුපියන්ගේ වැරැද්දක් නැත..... ළමයි ලොකු වූ පසු එව්වා ගැන කතා කර වැඩක් නැත!!
ඇත්ත බං ඇත්තම ඇත්ත...දෙමව්පියො හොඳයි බං අපේ තමයි වැරැද්ද..හෙහ්,හෙහ්...
DeleteIf there is anything worthwhile in me the credit should go to my parents, Every shortcoming is entirely my doing
ඒ වගේම මෙහෙම කතන්දරත් තියෙනව බොල හරිය?
ලොකු හාමුදුරුවො බඩ පැලෙන්ඩ දානෙ කාරිය වලඳල සුට්ටක් සැතපිල කාරිය අහක වෙලා හවස් අතේ ගියා පන්සල් වත්ත පල්ලෙහා ඇවිදින්ට. මෙන්න බොලේ සිරිසේන කොළුව ඉන්නව රන් තැඹිළි ගහ යට තැඹිලි ගෙඩි දෙකකුත් කරේ එල්ලගෙන... අතටම මාට්ටු හාමුදුරුවන්ට...සිරිසේන කියන්නෙ පංසලේ දායක සබාවෙ සබාපතිගෙ කොලුව..හාමුදුරුවො පැනපු ගමං අල්ල ගත්ත කොලුවගෙ කණෙං
" සිරිසේ..න..එහෙනං මේක තමයි වැඩේ නේද?....තාත්ත පංසලේ දායක සබාවෙ සබාපති..පුතා මෙව්වයි කරන්නෙ නේද?....ඉඳපංකො මම තාත්තට හම්බ උන වෙලාවක කියල දෙන්නංකො පුතණ්ඩියගෙ තරම…"
" අනේ හාමුදුරුවනේ..මගෙ කණ..ඌයි....ඔබ වහන්සෙට තාත්තට කියන්ටම ඕන නං තව ටිකකිං තාත්ත බැස්සම කියන්ට ..තාත්ත තමයි ගහ උඩ ඉන්නෙ!!! "