රාජගිරිය පැත්තෙන් මහ වැස්සක් වැහැගෙන එනව පළාතම කළු කරගෙන.ලා නිල් පාටට පේන උස ගොඩනැඟිලි දෙක මට හිතෙන්නෙ රෝයල් පාර්ක් අපාට්මන්ට්ස් වෙන්න ඕන. අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මේ ආසනයෙම ඉඳගෙන සතියට දවස් හයක් දවසට අඩුම ගානෙ පැය දහයක්වත් පරිගණක තිරයෙන් ඔළුව ඉස්සුවාම පෙනෙන්නෙම ඒ එකම දර්ශනය. ඒත් ඒ ගොඩනැඟිලි හරියටම මොනවද කියල දැනගන්න මම කවදාවත් උත්සාහ කලේ නෑ.ජීවිතේ හැටි එහෙමයි. අපිට අනවශ්‍ය විස්තර හොයල මොකටද නිකං නිස්කාරණේ ඔළුව පුරවගන්නෙ?
වැස්ස කිට්ටු වෙනවත් එක්කම කාමරේ අඳුරු උනා. පරිගණක තිරෙන් නික්මෙන ආලෝකය අඩ අඳුරෙ ඇහැට දරන්න තරම අමාරු නිසා ඇස් පිටිපස්සෙං හීං රිදුමක් වගෙ ඔළුව ඇතුලෙ කකියන්න ගත්ත.උපැස් යුවල ගලවල මම දෑතින්ම නළල දෙපැත්ත පිරිමදින්න ගත්ත.ඒත් ඔලුව ඇතුලෙ හීන් රුදාව අඩු නැතිනිසා මම නැඟිට්ටෙ උපැස් යුවල සාක්කුවෙ දාගෙන. කාමරේ විදුලි බුබුල දල්වන්න අත දිගු කරලත් ආය මොකටද කලුවරේ පොඩ්ඩක් ඉන්න එක ඔලුවෙ අමාරුවටත් හොඳයිනෙ කියල හිතල මම වීදුරු බිත්තිය ළඟට ගියා.
කාමරේ එක බිත්තියක් තනිකරම වීදුරු..දුඹුරු පාට තිරය පැත්තකට ඇදල දාල මම වීදුරුවට අත්ල තියාගෙන හිටගත්ත. වැහිබිඳු එක දෙක වීදුරුවට වැටෙන්ට පටන් අරගෙන.ඇලේට වීදුරුවට වැදෙන වැහි බිංදුව දිග ඉරක් වගෙ වතුර පැල්ලමක් වීදුරුවෙ ඉතිරි කරල හෙමිහිට පාතට ගලාගෙන යනව. ඒ ගලාගෙන යන පාර දිගේ මම හෙමිහිට දකුණු අතේ දබරැඟිල්ල දිවෙව්වා.
කුරුණෑගලින් පිටත් වෙනකොටත් අහස කළු කරල වගෙ තිබුනට ගලගෙදර පොලීසිය ලඟ කන්ද මුදුනෙ හෝල්ට් එකේ බස් එක නතර කලාම තමයි එක පාරටම වහින්න ගත්තෙ.හරියට වතුර කොරහක් එක පාරටම මුනිං නැව්ව වගෙ. වැහි බිංදු වීදුරු ජනේලෙට වදින්ට ගත්තෙ ගල ගහන්න වගෙ. එයා හිටියෙ ජනේලෙ අයිනෙ.පිටිපස්ස සීට් එකේ හිටපු මනුස්සය ජනේලෙ වීදුරුව වහල දැම්ම. ඒත් කළුපාට රබර් බීඩිම එක තැනක පළුදු වෙල එතනින් වතුර උතුරන්න ගත්ත ඇතුලට. මුලින්ම වීදුරුව දුවන කාදුවට පිරිල ඊටත් පස් සෙ එතනිනුත් උතුරල සීට් එකට ගලන්ට පටන් ගත්ත.
ඈ කළුපාට වතුර පාරෙන් බේරෙන්ට මගෙ පැත්තට තල්ලු වෙලා මගෙ ඇඟට හේත්තු උනා.ඇගේ සිරුරින් නැඟි සමන් පිච්ච විලවුන් සුවඳ මගෙ නාස්පුඩු තුලින් ඇතුලුවෙල මුලු පපුව පුරහටම පැතිරිල ගියා. මීට ඉස්සර සිය දහස් වරක් ඒ සදාදරණීය සුවඳ මගෙ පපුව පුරා පැතිරිල ගිහිල්ල තිබුණට එදා ඒ මොහොත මගෙ හිතේ ගලේ කෙටුව වගෙ නොමැකී තියෙන්නෙ ඒ ඇය හමුවූ අවසාන දවස නිසා වෙන්න ඇති. ඔව්..ඒ ඇය මගෙන් සමුගෙන වෙන්ව ගිය දවස....
ඒ සමන් පිච්ච සුවඳ ඇගේ ප්‍රියතම විලවුන් වර්ගය...ඊට පස්සෙන් පහු මේ ගතවුනු මුළු කාලයෙම සමන් පිච්ච මල් පඳුරක් ළඟින් ගියත් මට ඒ සොඳුරු අතීතය මතකයට එන්නෙ අනායාසයෙන්ම.
ඉකි ගසා හඬන අතීතයක,
කඳුලු එක්ක ගනුදෙනු කරනා,
මට මගේ නොවන…. මගේම ආදරයක් තිබුණා...
ආයෙමත් ඒ සුවඳ මගෙ පපුව පුරා පිරිල..මම දෑස් පියාගෙන වීදුරු බිත්තියට අත් තද කරගත්තු ඉරියව්වෙන්ම ඔළුව උඩට උස්සල පපුව පුරා පිරෙන්ඩ හුස්මක් ගත්ත.කාලෙකට පස් සෙ දෑස් තෙත් වේගෙන ආවෙ ඉබේටම.වීදුරු බිත්තිය අතඇරල අඩියක් පස්සට වෙලාමම ආයෙම නලල දෑතින්ම පිරිමදින්න ගත්ත. ඒ එක්කම මට තේරුනා මේ මල් සුවඳ මගෙ හිතේ හෝදිසියට දැනෙන එකක් නෙවෙයි...ඇත්තටම මගෙ නහයට දැනෙන එකක් කියල.
මම හෙමිහිට ආපහු ඔළුව හරවල බැලුවෙ හීනෙන් වගෙ.
මගෙ කාමරේ දොර සාමාන්‍යයෙන් කොයිවෙලාවෙත් වහලයි තියෙන්නෙ.ඩෝ ක්ලෝසර් එකක් තියෙන නිසා අනිවාර්යයෙන්ම දොර ඉබේම වැහෙනව. ඒත් මම හැරිල බලනකොට දොර බාගෙට ඇරිල.... දොරට අතක් තියාගෙන මා දිහා බලා හිටියෙ....
" සුබා????.............."
මගෙන් හඬ පිට උනේ නෑ. පපුවෙන් පටන්ගෙන උගුර දිගේ උඩහට ඇවිල්ල මැදක් හරියක් එනකොට ඉබේම නැතිවෙලා ගියා.ඒත් ඒ හඬ එක්ක ආපු උණුසුම් ගුලිය උගුරත් පහුකරගෙන දෑස් දවාගෙන ගින්දර වගෙ පිට උනා.
ඇයත් මාත් අඩ අඳුරේ එකිනෙකා දිහා බලාගෙන ගතවුනු නිමේශයකට පසු......
" මොකද රවී මේ කළුවරේ?..ලයිට් එක දාන්නකො....."
කියමින් දොර සම්පූර්ණයෙන් විවර කොට කාමරයට පිවිසියේ මා සේවය කල සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සමරවික්‍රම මහතාය. ජංගම දුරකතනය සවණට ළංකොටගත්වනම ඊට පිළිතුරු දෙමින් ඔහු දොර අසලවූ ස්විචය ක්‍රියාත්මක කොට විදිලි පහන දැල්වීය.
අඩ අඳුරේ ගිලී තිබුණු කුටිය එක්වරම සැණෙකින් ආලෝකයෙන් පිරීයත්ම මගේ දෑස් පියවුණේ නිතැනින්ම.ආයෙම මොහොතකට ප ස්සෙ මම ඇස් අරිනකොටත් මිස්ට සමරවික්‍රම තවම ෆෝන් එකේ කතාව.
" නෑ..නෑ..මම කිව්වනෙ..අද හවස මම චෙක් එක එවන්නම් වරද්දන්නෙ නැතුව..ඔයා මම කිව්ව විදිහට බඩු ටික යවන්නකො තිස්සමහාරාමෙට...."
උඩ සාක්කුවෙ තිබ්බ උපැස් යුවල මම හෙමිහිට පැලඳ ගත්ත.අඩ අඳුරෙ උනත් මගෙ ඇස් මට බොරු කරල නෑ. දොර ගාව හිටියෙ සුබානම් නෙවෙයි. ඒත් ඒ..ඒත් ඒ...සුබාගෙ ඇස් දෙක...ආත්ම ගානක් මැරි මැරී ඉපදුනත් මට අමතක නොවෙන ඒ ඇස් දෙක...ඒ ඇස් දෙකේ පිරිල තිබ්බෙ කුතුහලයක්..විශ්මයක්.....
" හරි එහෙනං එහෙම කරන්න..හොඳද?....වරද්දන්න එහෙම එපා…"
දුරකථන සංවාදය හමාර කරල සමරවික්‍රම මහත්තය මා දිහාට හැරුනෙ ජංගමය සාක්කුවට දාගන්න ගමන්.
" රවී මේ අපේ අළුත් ඇසිස්ටන්ට් එකවුන්ටන්ට්....සචිත්‍රා....ගමත් ඔන්න ඔයාලගෙ පැත්තෙමයි...නුවර කිට්ටුව..කොහෙද කිව්වෙ ඔයාගෙ ගම? "
සමරවික්‍රම මහත්තය අන්තිම ප්‍රශ්නෙ ඇහුවෙ ඒ යුවතියගෙන්...ඇගේ ඇස් දෙක ආයෙම හිනාඋනා…
" ගුණ්ණෑපානෙ සර්….."
ඇය එහෙම කියන්න කලින්ම උත්තරේ මොකක්ද කියල මම දැනගෙන හිටිය.
"නුවර පැත්තෙ කිව්වෙ මේ..මිස්ට රවීගෙ ගෙවල් හරියටම කොහෙද? "
ඈ ආයෙම මාදිහාට හැරිල හිනාවෙලා ඇහුව.
" මම පැණිදෙණියෙ......"
මම කලින් කිව්වෙ නැහැනෙ අපෙ ඔෆිස් එක තට්ටු දෙකයි, මගෙ කාමරේ තිබුනෙ උඩ තට්ටුවෙය කියල. මුදල් අංශය තිබ්බෙ පල්ලෙහා තට්ටුවෙ. වෙනද නම් මම දවසට දෙතුන් පාරක් පල්ලෙහා තට්ටුවට යනව ඔය කට්ටිය එක්ක පොඩි සතුටු සාමීචියක යෙදිල එන්න. ඒත් අනෝරා වැසි ඇදහැලුනු ඒ උදේ වරුවෙ මම පහලට ගියේම නෑ. ආයෙම අර යුවතියගෙ ඒ ඇස් දෙක දිහා බලන්න මට කොහෙත්ම හැකියාවක් තිබ්බෙ නෑ....වෙන ඕනම දෙයක් වගේම හිත කියන එකට දරාගන්න පුළුවන් සීමාවක් තියනව නෙව....
කාලය සියළු සිත්වේදනා සමනය කරයි නැත්නම් Time is the best healer කියල බොහොම සුප්‍රසිද්ධ හතර අතේ පට්ට ගහපු කතාවක් නම් තියනව තමයි.මාත් ඔය කොච්චරවත් ඔය කතාව පණ්ඩිතය වගෙ කියල තියනව, ඒ වගේම ලියලත් තියනව. ඒත් අර වණේ තියන මිනිහයි ඒකෙ අරුමෙ දන්නෙ කියනව වගෙ මගෙ හිතේ තුවාලය , තැල්ම නම් දැන් සෑහෙන කාලයක් ගතවෙලා ගියත් සුවවෙන පාටක්වත් නෑ. අර තුවාල වල උඩින් කබොල්ල ඇවිල්ල වැහිල තියෙන්නෙ. බැලූ බැල්මට තුවාලයක් තියනවද කියල කියන්ටත් අමාරුයි. කොටින්ම කිව්වොත් අපිටම උනත් අමතක වෙනව තුවාලයක් තියෙනව නේද කියල.ඒත් තුවාලෙ තියනව. ඒක අනිවාර්යයයි.
ඉදින් ඒ අදිසි වණය හුදෙක් ළය තුල සැඟවී පවතිනු මතු නොව ඔබ සිහිනයෙන් පවා අපේක්ෂා නොකරන අනපේක්ෂිත නිමේශයකදී ඉතා නොවැදගත් සිදුවීමකින් හෝ දසුනකින් යලි ඔද්දල්ව ඔබට රිදුම් දෙන්නේය.
ඔබට දෑස් පියාගත්වනම ඔබගේ අවසාන රුපියල පවා ඒ උදෙසා පරදුවට තැබිය හැක. You could bet your bottom dollar on it with eyes shut..
දොළහමාරට විතර මේසෙ උඩ තිබ්බ දුරකථනය වදින්ට ගත්ත.
" මචං මොකද කොරන්නෙ?..අද කන්නෙ නැද්ද උඹ? "
ඒ පල්ලෙහා තට්ටුවෙ මයෙ අතිජාත මිත්‍රයෙක්....රණේ......වෙනදා අපි ඔක්කොම එකට දවල් කෑම කන්නෙ...ඔය දවල් කෑම කන වෙලාව අපෙ ඔෆිස් එකේ එක විදිහක සෝෂල් ඉවෙන්ට් එකක් එහෙම නැත්තං සමාජීය ක්‍රියාකාරකමක් වගෙ වෙලයි තිබ්බෙ.ඒ වෙලාවෙ ඔෆිස් එකේ ඉන්න ඔක්කොමලා එකතුවෙලා එදා දවසෙ වෙච්ච හාස්‍යජනක සිදුවීම්....වැඩබිම්වල වෙච්චි දේවල්..එහෙම මොකවත්ම නැත්තං මොනව හරි හදල හරි...දේශපාලනික, ආර්ථික සමාජීය නව ප්‍රවනතා...ඔය රටේ නැති අටමගල් ඔක්කොම කතාවෙන්නෙ දිවා ආහාරය ගන්නා අතර තමයි.බොහෝවිට අපේ අධ්‍යක්ෂ මණ්ඩලයත් ඊට එකතුවෙනව ඔෆිස් එකේ හිටියොත් අනිවාර්යයෙන්ම.හෙහ්, පඳුරු තැලිල්ලක් කරන්ට පුළුවනි අනෙ අම්මප නැතිවෙන්ට අපේ ඔය භෝජන ශාලාවේ කථා කියන මාතෘකාවෙන්..හරි එව්ව ඇරිච්චාවෙ..මේ අද කියන කතාව එහෙම පඳුරු තැලිල්ලකට උචිත කතාවක් නෙවෙයි...
" උඹල කාපල්ලා..මම මේ හදිස්සි වැඩක්....මේක ඉවරයක් කරලම මම කන්නං...."
ගොඩක් කාලෙකට කලින් ලියාපු කවියක් ආයෙම කියවන අතරෙ මම උත්තර දුන්නා.....
සෙමෙන් සපැමිණි නුඹ,
ඇරයුමකුදු නොමැතිවම,
කොඳුරමින් මඳනල ලෙස,
ඇතුලු විය විවර වී තිබු හදට,
ඊලඟ දවස් දෙකේම අඟහරුවාදා සහ බදාදා මට අපේ ව්‍යාපෘති වැඩබිම් දෙහෙකට යන්ට සිද්ද උනා.ඒ නිසා අර ඇස් දෙක ගැන ඒ හැටි වදවෙන්ට උනේ නෑ. ඊටත් පහුවදා මම හදිසි වැඩකට ගිහිල්ල ආපහු ඔෆිස් එකට ආවෙ දෙකත් පහුවෙලා. ආපු ගමන් බත් එක දිග ඇර ගත්තෙ උදෙත් හරි හමං කෑමක් නැතුව හාමත් වෙල වගෙ හිටපු නිසා.ඒ වෙලාවෙ අපෙ සිවා ( සිවා කිව්වෙ අපෙ ඔෆිස් එක බලා කියාගෙන අතු පතු ගාගෙන තේ කෝපි කාරිය හදාගෙන උන්නු හාදය..උන්නු කිව්වට මිනිහ තාමත් ඉන්නව ) බත් එකක් ගෙනල්ල තිබ්බ මේසෙ උඩ.
" කාටද බං?.... "
මම බත් කන ගමං බල බලා හිටපු පත්තරෙං ඔළුව උස්සන්නෙ නැතුවම ඇහුව.
" මේ අර අළුතෙං ආපු මිසීට මහත්තය. …"
සිවා දොර ඇරගෙන යන ගමං ආපහු හැරිල කිව්ව.
මම එහෙමම ඔළුව පාත් කරගෙන බත් කන අතරෙ පත්තරෙත් බැලුව. පෑන්ට්‍රි එකේ දොර ඇරෙනවයි මා ඉස්සරහ පුටුව පස්සට ඇදෙනවයි එක්කම සමන් පිච්ච මල් සුවඳ ආයෙම පාරක් මගෙ පපුව පුරහට ඉතිරිලා ගියා. මම ඔළුව උස්සල හිනා උනා.
"හෙලෝ, ඉතිං කොහොමද?...."
" වරදක් නෑ මිස්ට රවී …"
ඇය හිනාවෙලා බත් එක දිගඇරගත්තා.
මම කනකොට බත් සහ මාළු එකට අනන්නෙ නෑ. කොයි ලෝකෙං පුරුදු උනාද නං මන්ද අනාදිමත් කාලෙක ඉඳල එහෙම තමයි මගෙ පුරුද්ද. ඒ හින්දම මට ඔය කෑමට වැඩි කාලයක් යන්නෙ නෑ. බත් ටිකක් අරං වෙනම තිබ්බ. තියන වෑංජන වලිනුත් පොඩ්ඩ පොඩ්ඩ ඒක උඩම තිබ්බ. ඔක්කොම එකට අරං කෑව. එච්චරයි..මගෙ ඔය අතිජාත යෙහෙළියක් ඔය බත් කන අපූරු ක්‍රමේට කියන්නෙ රෙදි නමනව කියල. දශක දෙහෙකට විතර ඉස්සරවෙලා ඇයත්.... ඒ පිච්ච මල් සුගන්දයෙන් පිරි යුවතියත්.... බත් කන්ට ඉඳගත්තම ඉස්සෙල්ලම කරන්නෙ මම කන හැටි බලා ඉඳල හිනාවෙන එක.
බත් එක දිගඇරගත්ත මිසක කිසිම සද්දයක් බද්දයක් නැති නිසා මම ඔළුව ඉස්සුවා. ඇය ඇසි පිය නොහෙලා මගෙ බත් එක දිහා බලාගෙන ඉන්නව. දෙතොලග මඳ සිනහවක් යාන්තමට පිපිලා.මම බලාඉන්නව දැනිල වෙන්න ඕන ඇය මා දිහා බලල හිනා උනා.
" සොරි.........."
බත් කොලේ ගුලි කරල ඩස්ට්බින් එකට දාල ෆිල්ටරෙන් වතුර එකකුත් වීදුරුවකට පුරවගෙන මම ඇවිල්ල අයෙම ඉඳගෙන පත්තරේ බලන්න පටන් ගත්ත.
" පුරුදු කියන එව්ව අවුරුදු විස්සක් තිහක් නෙවෙයි මුළු ජීවිත කාලයක් ගියත් වෙනස් වෙන්නෙ නෑ නේද මිස්ට රවි? "
සචිත්‍රා කාල ඉවරවෙලා නැඟිටල අත හෝදන ගමන් ජනේලෙන් එළිය බලාගෙනම මගෙන් ඇහුව. මම පත්තරෙන් ඔලුව උස්සල බැලුව.
" ඔව්, අපි පතාගෙන එන දේවලුත් එහෙමයි මිස්...."
ඇය ආපහු හැරිල දිග සුසුමක් හෙලල ඔලුව හෙල්ලුව..
" ඔව් ඒක හරි…"
ඔය සිද්ධිය උනේ බෘහස්පතින්ද...මම සාමාන්‍යයෙන් සෙනසුරාදත් දොළහමාරට ඕෆ් උනාට තුන විතර වෙනකල් වැඩ කරනව. ඒ කරල කොටුවෙන් 4.10 සෙංකඩගල මැණිකෙ තමයි ගෙදර යන්නෙ. සිකුරාද උදේ සමරවික්‍රම මහත්තය මගෙ කාමරේට ආව.
" රවී අද හවස ඔයා ගෙදර යන්න. අර සචිත්‍රත් අද ගෙදර යනවනෙ. ඒ ලමය ඔය බස් කෝච්චි ගැන ඒ හැටි දන්නෙ නෑ මම හිතන්නෙ. එයාගෙ අප්පච්චි උදේ මට කෝල් කරල කිව්ව. ඒ නිසා රවීට පුළුවන් නේද අදට එයාත් එක්ක යන්න. නුවර ස්ටේෂන් එකට එයාලගෙ අප්පච්චි එන්නම් කිව්ව. "
සචිත්‍රාගෙ පියා සමරවික්‍රම මහතාගේ කිට්ටු හිතවතෙක්ය කියල මම ඒ වෙනකොට දැනගෙන හිටිය.
" හරි මිස්ට සමරවික්‍රම මට ප්‍රශ්නයක් නෑ...."
සතියෙ දවස් වලට සෙංකඩගල මැණිකෙට මරදානෙන් නඟිනව කියන්නෙ සෑහෙන ඉහල මට්ටමේ ක්‍රියාන්විතයක්…Major operation එකක් ඔන්න කොටිම්ම කිව්වොත්. සිකුරාදට තත්වය වඩාත් දරුණුයි. සඳුද උදේම ඇවිල්ල කොළඹ නැවතිලා ඉන්න ගෑණු පිරිමි ඔක්කොම ඕකෙ පැටවිලා තමයි සති අන්තෙ ගෙවල් බලා යන්නෙ.
යාන්තමට කෝච්චි පෙට්ටිය ඇතුලට යන්ට හම්බ උනේ රාගමදි. සචිත්‍රාට නම් මම දැක්ක වේයන්ගොඩ හරියෙදි සීට් එකක් ලැබෙනව. පොල්ගහවෙලින් එහාට නම් ආය නෑ බුදියගෙනත් ගිහෑකි.රඹුක්කනදි මගෙ ලඟ සීට් එක හිස් උනා. සචිත්‍රා ඇවිල්ල මා ලඟ ඉඳගත්ත.
" මාර සෙනඟක්නෙ ඉන්නෙ... හැම වීක් එන්ඩ් එකේම මිස්ට රවී මේ විදිහටද යන්නෙ? "
ඇය ඇහුවෙ අර දිලිසෙන දෑස් විදහාගෙන ...ඒ දිහාවෙ එක පාරක් බලල මම ජනේලෙන් එපිට ගණ අඳුරේ දුම් රිය පහුකරගෙන දුවන ගස් වැල් ලයිට්කණු රේල් පාර අයිනෙ පොඩි ගෙවල්වල දැල්වෙන විදුලි එළි දිහාවෙ බලා හිටිය.
" නෑ මිස්..මම සාමාන්‍යයෙන් සෙනසුරාදටයි ගෙදර යන්නෙ..එතකොට සෙනඟ නෑ. අනික මම කොටුවෙන් නඟින්නෙ. එතකොට කොහොමත් සීට් එකක් ගත්තෑකි. "
මම මොකවත්ම නොකිය හිනා උනා.....
" වඩේ..වඩේ...වඩේ........"
රඹුක්කන සහ බලන අතර දුම්රියේ වෙළඳාම් කරන මහත මැදිවියේ කාන්තාවගේ සුපුරුදු හඬ ඇසෙන්නට වූයේ ඇය මැදිරියේ එකා කෙළවරේ සිටියදීමය. මහනුවරින් උදෑසන පහට පිටත් වන මාතර දුම් රියේ ඉඳිආප්ප, ආප්ප සහ කඩල විකුණන ඇය සවස සෙංකඩගල මැණිකේට තැම්බූ මඤ්ඤොක්කා, වඩේ සහ එහෙමත් දවසක තෝසේ වැන්නක් ගෙන එයි.
අවුරුදු විසි පහකට එහා තරම ඇය.... මා සිත්ගත් ඒ සොඳුරු යුවතිය...මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙ සේවාස්ථ පුහුණුවක් කරන කාලෙ මාස දෙකක් විතර හැම සිකුරාදාවකම මේ දුම්රියේම අපි සවස නුවරට ආපු අන්දම එක පාරටම මතක් උනේ මම හිතන්නෙ අර කලින් කිව්ව අනපේක්ෂිතව රිදුම් දෙන වණ කැලල ආයෙම පෑරුන නිසා වෙන්න ඇති. එතකොට වඩේ වෙළඳාම කලේ තැනින් තැන් පැසුණු උඩු රැවුලක් පැලඳි මැදිවියේ පුද්ගලයෙක්...
" රවී මට වඩේ ඕන.."
ඇය එහෙම කිව්වෙ දුම්රියේ අපි ආපු පළවෙනි දවසෙ. කඩදාසි බෑග් එහෙකට බොම්බයි ලූණු රවුම් කපල දාල ඒකටම අමු මිරිස් කරල් දෙක තුනකුත් ලියල දාල පොඩි රවුම් වඩේ දහයක් දාපු බෑග් එකක් එතකොට නම් රුපියල් තුනක් නැත්නම් හතරක්ද කොහෙද...ඒ මැදිවියේ පුරුෂයා මේ උස මහත කාන්තාවගෙ කවුද කියල විමසන්න මම හැමදාමත් හිතාගෙන හිටියත් කවදාවත් මට ඒකට අවස්තාවක් ලැබුණෙ නෑ.
වඩේ දහයෙ මළු දෙකක් ගත්තු මම එකක් සචිත්‍රාට දිගු කලා....
" තෑන්ක්ස්...මම හරිම ආසයි වඩේ වලට…"
ඇය සිනාසුණා..
" මම දන්නව…"
ඇය මා දිහා ඇසිපිය නොහෙලා ටික වෙලාවක් බලා හිටිය මිසක කොහොමද දන්නෙ කියල ඇහුවෙ නෑ..එහෙම ඇහුවත් කියන්න තරම් දෙයක් මට තිබුණෙත් නෑ.
රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රියෙන් යද්දි කන්ද පල්ලෙහා පෙනෙන දර්ශනය මට සිය දහස් වාරයක් දැක්කත් කවදාවත් එපාවෙන එකක් නෙවෙයි.දවල් වෙලාවක ඉර එළිය තියෙනවනම් පල්ලෙහා කුඹුරු, ගෙවල්, පාරවල් පුංචි සෙල්ලම් බඩු වගෙ පේන හැටි, වැස්ස දවසක ඒ නිම්නයම මිහිදුමින් වැහිල ගිහිල්ල හිට වරින් වර පෙනී නොපෙනී යන හැටි... මේ වගෙ රෑක නම් කඳුවල පිහිටි නිවෙස් වල විදුලි පහන් එළි නිවි නිවී දැල්වෙමින් වේගයෙන් අප පසුකරයන හැටි...මම බලා ඉන්නෙ නොසිඳෙන ආසාවකින්.මම හෙමිහිට වඩේ එකින් එක කමින් ඒ දර්ශනය දිහාවෙ ආයෙම බලා හිටියා.
" සුබා කියන්නෙ මගෙ ලොකු අප්පච්චිගෙ දුව....."
සචිත්‍රා මගෙ ලඟම සීට් එකේ හිටියත් මට ඇගෙ කටහඬ ඇහුනෙ කොහෙද මම ඈතකින් ඇහෙනව වගෙ.
වඩේ මල්ල එක අතකට ගුලි කරගෙන මම සීට් එකේ ඇන්දට ඔළුව හේත්තු කරල ඇස් දෙක තදින් පියාගත්ත.
" රවී…. අපෙ හීං අප්පච්චිගෙ පොඩි එකීට ගවුං දෙක තුනක් අරගෙන යන්න ඕන..ඒකි මට පණ ඇරල…"
ගුරු වෘත්තියෙන් මුල්ම වැටුප ලැබුණු දවසෙ දළඳා වැඳල ආපහු එන ගමන සුබා කිව්වෙ මගෙ අතක් අල්ලගෙන..
" හෙහ්, වයස කීයක් විතර ඇද්ද? "
" අවුරුදු හයක්....."
" හ්ම්ම්..එහෙනං කොළඹ වීදියෙ ශිවාජීස් හරි පලයකාට්ස් හරි තමයි යන්න ඕන…"
අපි සමුගත්තට පස්සෙ වැඩි කාලයක් ගියේ නෑ..සුබා විවාහ වෙලා සැමියත් එක්කම විදේශ ගත උනා. ඊට පස්සෙ එයා ආපහු ලංකාවට ආවද තාම ඒ ගිය දිහාද කියල මම හරියටම දන්නෙ නෑ. මම ඒ ගැන හොයා බැලුවෙත් නෑ..
" සුබා අක්ක මට හරිම ආදරෙයි. එයාල ලඟ මම අවුරුදු පහක් විතර හිටිය. එහෙ යුනිවසිටි එකකට මාව ඇතුල කරවල ඔක්කොම වියදම් කලෙත් සුබා අක්ක. "
මෙච්චර වෙලා හතිදමමින් බලන කන්ද නැග්ග සෙංකඩගල මැණිකෙ ඔන්න කඩුගන්නාව ස්ටේෂන් එකට ලඟාඋනේ බරපතල කාර්යයක් ඉවර කරල ටිකක් ඉසුඹු ලබනගැහැණියකගෙ ස්වරූපයෙන්. මොකදෝ මන්ද මට හැමදාම මතක් වෙන්නෙම දරුවෙක් වදල සැනසුම් සුසුමක් හෙලන මවක්…
කඩුගන්නාවෙ ඉඳල පිළිමතලාවට එනකල් අපි අතර කිසිම කතාබහක් ඇතිඋනේ නෑ. සුබාට කොහොමද? එයා සන්තෝසෙන්ද?...දරුවො කී දෙනෙක් ඉන්නවද?..ආයෙ ලංකාවට එන්නෙම නැද්ද?...මම ඒ ප්‍රශ්න මොකවත්ම ඇහුවෙ නෑ...මිස්ට රවී ඔයාට සුබා අක්ක ගැන දැන ගන්න ඕන නැද්ද? සචිත්‍රා එහෙම ඇහුවෙත් නෑ. මම එහෙම අහයි කියල එයා බලාපොරොත්තු උනාද නැද්ද කියලනම් මට හරියටම කියන්න බෑ. ඒත් එකක් කිව්වැහැකි. එයා එහෙම අහයි කියල මම බලාපොරොත්තු උනේ නෑ...
පේරාදෙණිය දුම්රිය ස්ථානය පේනතෙක් මානෙට ආහම මම සචිත්‍රා දිහාට හැරුණා.
" මිස් මම පේරාදෙණියෙන් බහිනව.."
" ඔව්…. මම දන්නව තෑන්ක්ස් මිස්ට රවී..අප්පච්චි ඇවිල්ල ඉඳියි නුවර ස්ටේෂන් එකට. "
ඇය එහෙම කියල මගෙ ඇස් දිහා එක එල්ලේ බලා හිටිය.
" මට මිස්ට රවීට කාරණා දෙකක් කියන්න තියනව. එකක් සුහද ඉල්ලීමක්..අනික අවසර පැතීමක්. "
මම මගෙ ට්‍රැවලින් බෑග් එක ඇරල ටෝච් එක එලියට අරගෙන සුචිත්‍රා දිහාවෙ නළල රැළි කරගෙන බලා හිටිය.
" මුලින්ම ඉල්ලීම…. මම ඔයාට අයිය කියල කියන්නද? "
" හරි…. කිසිම ප්‍රශ්නයක් නෑ.."
මම හිනා උනා..
" දැන් එහෙනම් අවසර පැතීම...මම රවි අයියගෙ ටෙලිෆෝන් නම්බර් එක සුබා අක්කට දෙන්නද? "
දුම්රිය හති හලාගෙන ඇවිල්ල පැණිදෙණියෙ නැවැත්තුව..
" කමක් නෑ සචිත්‍රා..එයා ඉල්ලුවානම් විතරක් මගෙ නම්බර් එක සුබාට දෙන්න .."
මම එහෙම කියල දුම්රියෙන් වේදිකාවට බැස්සා.
ඉකි ගසා හඬන අතීතයක,
කඳුලු එක්ක ගනුදෙනු කරනා,
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
හීනෙන් හිනැහී තුන්යම මා රවටා,
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා,
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා,
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා,
උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා,
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා.............
ලස්සන කතාවක්....
ReplyDeleteස්තූතියි ගයිජින්...:)
Deleteඋදේ පාන්දර දුක හිතෙන කතාවක් කවදා හරි මටත් ඔහොම වෙයිද කියලා බයයි
ReplyDeleteබයවෙන්න දෙයක් නෑ..එහෙම වෙන එකක් නෑ...:)
Deleteරවිට තියෙන්නෙ මාරම මාර අතීත සමරුම්නෙ.
ReplyDeleteමම හරිම ආසයි ඔබගෙ මෙවැනි කතා කියවන්න.
මම මේ කල්පනා කෙරුවෙ රාජගිරියෙ තට්ටු දෙකේ බිල්ඩිම මොකක්ද කියල.මට මතෙකට ආවෙ ප්‍රීමා බිල්ඩිම විතරයි.
මොකද මම නාවල කොස්වත්තෙ.
අප්පට සිරි 200 මතක් වුනෙ පල්ලෙහ කොමන්ට් දැක්කමනේ.
Delete200ට මගෙනුත් සුභ පැතුම් රවී...!!!
Kenji,
Delete/ මම මේ කල්පනා කෙරුවෙ රාජගිරියෙ තට්ටු දෙකේ බිල්ඩිම මොකක්ද කියල /
තට්ටු දෙකේ නම් නෙවෙයි කෙන්ජි..මම මේ කියන්නෙ එක ලඟ තිබුනු ගොඩනැඟිලි දෙකක් ගැන..තට්ටු ඇති මට හිතෙන්නෙ පහලවක් වත් අඩු ගානෙ...
මට මතක විදිහට අර සුප්‍රසිද්ධ මිනීමැරුමක් එහෙම උනෙත් ඔය බිල්ඩිං දෙකෙන් එහෙක...මම මේ කියන්නෙ අවුරුදු අටකට දහයකට ඉස්සරවෙලා වගෙ ස්වීඩන් ගෑණු ලමයෙක් මරල දාල හිටියෙ. ඒ නඩුවෙ අවසන් තීන්දුව දුන්නෙ මේ පහුගිය අවුරුද්දෙද කොහෙද...
සුබ පැතුමට සහ පැසසුමට දෙකටම ස්තූතියි කෙන්ජි...:)
මම කිව්වෙ කිව්වෙ රවී විදුරු බිත්තියට අත ගහගෙන කල්පනා සයුරෙ ගිලිල හිටපු බිල්ඩිම:).
Deleteඅහ්හ්හ්...වරදවා වටහා ගැනීම ගැන මගේ කණගාටුව...
Deleteඒ මම කිව්ව තට්ටු දෙකේ ගොඩනැඟිල්ල තියෙන්නෙ රාජගිරියෙ නෙවෙයි බොලේ...නාවල ඉඳල නුගේගොඩ පාරෙ....එතන මගෙ කාමරේට කෙලින්ම පේන්නෙ ඔය රෝයල් අපාට්මන්ටස් ගොඩනැගිලි දෙක....
ද්විත්ව ශතකයෙන් ලස්සන සංවේදී සටහනක්. අයියා කිව්ව එක ඇත්ත. මේ කතාව පඳුරු තැලිල්ලකට ගැලපෙන්නෙ නෑ. ඊට වඩා මේ තියෙන ගැඹුරු සංවේදී බව, ඒ ගණයටම අයිති වෙන ගීතයත් එක්ක හොඳින්ම ගැලපෙනවා. ද්විත්ව ශතකයට සුභ පැතුම් අයියේ. තව තවත් මේ වගේ සොඳුරු සටහන් ලියන්නට ඔය දෑතටත්, ඒ සිතුවිලි මැවෙන ඔය හිතටත් දිගාසිරි ලැබේවා!
ReplyDeleteබොහොම ස්තූතියි හිච්චි නඟේ...
Deleteමේ වියුණු ලිවිල්ලෙ රාජකාරිය පටංගන්නකොට පොඩි එවුං නාන්ට ගෙනියන්ට හදනකොට දාහකුත් එකක් එක්ස්කියුසස් දෙන්නෙ අන්න ඊට හපං මම.
අපෙ රන්දිල් නෝන මහත්තැන්ට කං කෙඳිරිගෑව නාහෙං අඬ අඬ..අනේ ඔය හැටි මොනව ලියන්ටද?..අනික මේ තියන සුමෙත් එක්ක ඔව්ව ලියන්ට කොහෙද වෙලාවක්..අරකද?..මේකද? රටේ නැති එව්ව.
හෙහ්, දන්නවනෙ ඒ අම්මණ්ඩි එක්ක කොහෙද ඒ සෙල්ලං...දැඩි ලෙස අණ කර කියා හිටිය..එව්වයෙං කමක් නැත.නාහෙං ඇඬිල්ල පැත්තක තියල වහාම ලියන්ට පටංගන්ටය කියල...
ඉතිං අප්පේ මං කියල මොකක් කරන්ටද?...එහෙමයි..මහා රාජිණියනි කියල වැඩේ පටංගත්ත..ඇත්තම කිව්වොත් බාං දෙසීයක් තියා විසිපහක් ලියාගත්තොත් ඉහටත් උඩිංය කියල හිතලයි වැඩේ මුලිම්ම ආරම්බ කලේ...ඊට පස්සෙනෙ බොල වැඩේ..මෙන්න වක්කඩේ කැඩුවහෙ එන්ට පටංගත්ත, අත්තම්මගෙ අම්මගෙ අප්පච්චිගෙ මතක සැමරුම්, එතනිං ගිහාම රමණි අක්කල, වසන්තිල,විමලෙ අයියල....හෙහ්, හෙහ්,
කොහොමහරි ඔන්න බොලා ඔක්කෝටම බොහොම ස්තූතියි. මට සවියක්, ධෛර්යයක් උනේ බොලේ උඹල....:)
ඔයින් මෙයින් ගිහින් ලියලා තියන 200ට වඩා ලියන්ට පොරොන්දු වෙච්චි කතන්දර ගාන වැඩියිද කොහෙද..!!
Deleteරූ,
Deleteඅම්මප මේ කාන්තාවියොත් එක්ක බැරි හැටියක්..හිතට මොකක් හරි වැටුනොත් ආය නෑ අර කූඩැල්ල දත ගැහුව වගේ නෙව...ඒකමයි කියන්නෙ..ඒකමයි කියන්නෙ..:) :)..ඉඳපං ඉඳපං ඔය කිව ඔක්කොම ලියනව ලියනව....
200 වෙනි සටහනට සුබ පැතුම්.
ReplyDeleteලස්සන අතීත සැමරුම් ටිකක්.
ස්තුතියි Praසන්ன :)
Delete"සමන් පිච්ච මල් සුවඳ", " තෑන්ක්ස්...මම හරිම ආසයි වඩේ වලට…"
ReplyDeleteහැම දෙයක්ම හිතට සමීපයි. ඒ මගේ කතාවෙන් කොටසක්ද කියල හිතුනා.
ස්තූතියි ඔබටත් ...:)
Deleteඔය පොඩි පොඩි සිද්ධි අපි හැමෝගෙම ජීවිතවල තියනවා..ඒක තමයි ඇත්ත...
කතාව ලස්සනට ලියල තියනවා.කෝච්චියේ උදේ ඉඳිආප්ප සහ සවස වඩේ විකුණන ගැනු මනුස්සය මම ගිය සිකුරාදා දිනදීත් නුවර කෝච්චියේදී දැක්කා.
ReplyDelete200 පොස්ට් එකට මගේ සුභ පැතුම්ද එක කරමි. වැඩි වැඩියෙන් ලියනා ශක්තිය සහ ධෛර්ය ලැබේව.
අඩේ ඒ මනුස්සය තාම ඉන්නවද? ආයෙ හම්බ උනාම හෙමීට අහන්න මාව මතක ඇති ෂුවර් ඇන්ඩ් ෂොට්....
Delete" මේ අර ඔහෙගෙං දවස් දෙකක් වඩේ ණයට කාල සල්ලි නොදී පැනල යන්ට හැදුව උස මූණ පුරා රැවුල වවාගත්තු හාදය මතකද? අර ඔහෙ බෙල්ලෙං අල්ලගෙන අඩෝ මහත්තය..මේ...ලැජ්ජ නැද්ද හැබෑටම කාපු බීපුවගෙ සල්ලි නොදී ඉන්ට...කලිසම ඔලුවෙං ගලවන්ට කලිං දෙනවද නැද්ද හොඳ හිතිං මගෙ සල්ලි කියල සත්තම දැම්මම පහුවදාට සල්ලි ගෙනත් දෙනකල් අතේ තිබ්බ ඔරලෝසුව ඇපේට ගලෝල දුන්නෙ?.."
ආන්න එහෙම අහන්නකො මතක නැතිවෙන්ට බෑ..හෙහ්, හෙහ්
ස්තූතියි wmk......:)
ඔහ් ... පපුව නිකන් ඩෝන් ගෑවා වගේ උනා නේ අප්පා......
ReplyDeleteපුද්ගලිකව මම නම් කියන්නේ පරණ ආදර කතා වල සුන්බුන් ටික මහවැලි ගඟට දාන්න ඕනේ කියලයි..... මොකද ඒවා අපිව ගෙනියන්නේ අපිටම පාලනය කරගන්න බැරි අනාගතයකට....
/ පුද්ගලිකව මම නම් කියන්නේ පරණ ආදර කතා වල සුන්බුන් ටික මහවැලි ගඟට දාන්න ඕනේ කියලයි..... /
Deleteඔය කිව්වෙ..ඔය කිව්වෙ..ඔන්න කිව්ව එකක්.....
එහෙම මහවැලියට මතකය ගුලිකරල දාන එක එච්චර ලේසි නෑ අර අමරසිරි ගොයිය ඔය කටේ තොලේ නොගෑවී කිව්වට......අනික අමරසිරියි ඔයැයියි දෙන්නම හිතාගෙන ඉන්නෙ මහ වැලි ගඟ කියන්නෙ ඔහෙලගෙ පරණ පේම අපද්‍රව්‍ය බහාලන කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයක් හරි මොකක් හරි කියලද?
අනික එහෙම කරන එක පුල් කිරිමෙල් කේස් එකක් ….උපේක්සා හදන්නෙ මාව හයමාසෙකට බෝගම්බර අරින්න. දැකල නැද්ද මහවැළි ගඟ දෙපැත්තෙ මීටර් සීයෙන් සීයට බෝඩ් ගහල තියනව.
ආරක්ෂිත කලාපයකි.මහවැලි ගඟට ඔබගේ අපද්‍රව්‍ය හෝ කැලි කසල දැමීම ජලාරක්ෂිත වෘක්ෂලතා ආරක්ෂිත පණතේ හතරවන වගන්තිය අනුව අවම වශයෙන් සයමසක සිරදඬුවමක් නියම කලහැකි වරදකි.
අනික බොල... එහෙම කරල පොලෝසියට අහු උනෙ නෑ කියමු. ඒත් ඔව්ව ඔක්කොම ගිහිල්ල හිරවෙන්නෙ කොහෙද පොල්ගොල්ලෙ වේල්ලෙ. ඊට ප ස්සෙ එව්ව සුද්ද කරන්ට ලක්ස ගනන් ගෙවන්නෙත් අපේම සල්ලිවලින්.
මම එක පාරක් සෑහෙන කාලෙකට ඉස්සට රාජ්‍ය සේවයෙ ඉන්දැද්දි ඔය පොල්ගොල්ල ඩෑම් එක සුද්ද කරන එක අධීක්ෂණය කලානෙ. මොනවද..සීයට අනූවක් තිබ්බෙ ඔය පරන ප්‍රේමකතාවල සුංබුං තමයි.....වැඩිපුරම දෙපලු වෙච්චි හදවත් කෑලි.....
Congratulations, Blog landlady and tenant both!
ReplyDeleteමචං. මාත් බත් කන්නේ ඔහොමයි. තවත් විස්තර තියෙනවා නමුත් මේ පෙම් කතාවක් අස්සේ ඒක කියන එක හරි නෑ හරි නෑ වගේ.
ඔය පෙම් සබඳතා ලිව්වහම... එක්කෝ ඕනෙ නෑ.
ඒහ්?? උඹත් බත් කන්නෙ එහෙමෙයි?...ඔන්න බලාපං ඒකෙත් හැටි.. මෙච්චර කාලෙකට ඔහොම බත් කන එවුං මම දන්නෙ මේ මං විතරමයි..මම ඉතිං හිතාහිටියෙ ඒ මට විතරක් තියන ලෙඩක් වෙන්ට ඇතිය කියල.
Deleteකිව්වට විස්වාස කරපං ඔන්න අදම දෙන්නෙක් හම්බ උනා මගෙ මොඩල් එකේ. එක්කෙනෙක් උඹ. අනික් එක්කෙනත් මට කියාපි අඩේ මාත් එහෙමනෙ කියල.හැබැයි අපි තුන්දෙනාටම තියනව එක ප්‍රධාන මහා පොදු සාධකයක්...මොකක්ද දන්නවද?...ෆුල් ටයිම් නුහුගුණේ නොහොත් කන්ටිනුවස් අරපයිත්තියනිස්ම්...:) :)
Thanks Henry.....
මචං, මම ඔය විදියට කෑමට අමතරව මේ වගේ ක්‍රම අනුගමනය කරනවා. මේ මම මගේ ඩෙනිමට රසිකාවියක් දාපු කමෙන්ට් එකකට දීපු පිළිතුරකින් කොටසක්:
Deleteමම අර විදියට බත් නම් කනවා. ඒ කියන්නේ හිතමු බෝංචියි පරිප්පුයි කරවලයි බතුයි කියලා. ඒක බ්‍රේක් ඩවුන් කරනවා මෙහෙම කටවල් වලට:
බෝංචි + බත්
පරිප්පු + බත්
කරවල + බත්
බෝංචි + පරිප්පු + බත්
බෝංචි + කරවල + බත්
පරිප්පු + කරවල + බත්
බෝංචි විතරක්
පරිප්පු විතරක්
කරවල විතරක්
කොහොමද එක කෑම වේලෙන් රස ගනනාවක් ලබා ගන්න හැටි!
හරිම සංතෝශයි මචං එකම විදියට කන එකම ගුණේ තියෙන බොක්කක් නැවත හඳුනාගන්න ලැබීම ගැන.
PS:
Deleteමචං ඒ රසිකාවි ඔය උඩින් කමෙන්ට් කරපු එකී, උපේක්ෂා. :D
කවුද බං අපේ දෙන්නා වගේ කන අනිත් එකා/එකී? ජනුච්චි වත්ද? නුහුගුණේ කිව්වාම මට හිතුනේ එහෙම.
/ කොහොමද එක කෑම වේලෙන් රස ගනනාවක් ලබා ගන්න හැටි! /
Deleteමම එහෙම වෙන වෙනම එක එක වෑංජනේ එක්ක බත් කන්නෙ නම් නෑ බං..ඔක්කොගෙම්ම පොඩ්ඩ පොඩ්ඩ බත් සුට්ට උඩට ගොඩ ගැහුව. අරං කටේ දාගත්ත එච්චරයි....හෙහ්, හෙහ්,….තව එකක්. මම වැඩිය හපන්නෙත් නෑ. ඇත්තටම ඒක එච්චර හොඳ නෑ නං තමයි. ඒත් මොකෑ කොරන්නෙ? මම පුරුදු වෙලා තියෙන්නෙ එහෙමයි..ඔන්නං දෙපාරක් ඒ හක්කෙං මේ හක්කට තල්ලු කලා..බෲඌඌඌස්ස්ස්ස්.... කෙලින්ම බඩට....
අඩේ ..ඔන්න දැං මට මතක් උනේ..රොබට් නොක්ස්ගෙ එදා හෙලදිව පොතේ තියනව දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො රාජ භෝජනය ගන්න හැටි..අම්මප ඔය උඹ කරන ක්‍රමයටමයි. පොඩි වෙනසක් තියෙන්නෙ උඹ වගෙ රජ්ජුරුවො වෑංජනයි වෑංජනයි කන්නෙ නෑ..
එක වේලට හදනවලු වෑංජන 32 ක්. රජ්ජුරුවො ඉස්සරහ රන් ආලේප කරපු තැටියක් තියල ඒකට කෙහෙල් කොලයක් එලල බත් වඩන නිලමේ ඔන්න බත් ජුංඩක් දානවලු. රජ්ජුරුවො පෙන්නනවලු තමං කැමති වෑංජනේ..ඔන්න ඒකෙං පොඩ්ඩක් අර බත් එකට දානවලු. රජ්ජුරුවො ඒ ටික කෑහම කෙහෙල් කොලේ අයිං කරනව. දියවඩන නිලමෙ වතුර පොඩ්ඩක් රිදී බඳුනකට පිළිගන්නනව. රජ්ජුරුවො ඒක බොනව. තව භාජනයකට වතුර ටිකක් ගේනව, රජ්ජුරුවො අතත් හෝද ගන්නව.ඒ කරල ආයෙම බත් ටිකක් බෙදනවලු. ආයෙම රජා වෑංජනයක් පෙන්නනව. The process would be repeated until the King is satisfied....
අඩේ මට මේ කල්පනා උනේ උඹට තියනවද මන්ද අපේ උඩරට රජ පරපුරට නෑදෑකොමක් වත්..හෙහ්, හෙහ්, උඹේ නමේ හැටියට ඔව්ව කියන්ටත් බෑ....ජයවර්ධන කියන්නෙ බං නායක්කර් නමක්. අපෙ ජේ. ආර්. ලොක්ක මතකද? ඒ දවස්වල හෙන හාහූවක් තිබ්බෙ උන්දැගෙ පරම්පරාව පැවත එන්නෙ කේරලයෙ කොරමැන්ඩල් පලාතෙන්ය කියල.ඔහොම පොතක් ගැහුවය කියල කාටද නඩුවකුත් දැම්ම.මට මතක මලල්ගොඩ බන්ධුතිලකට වගෙ.
/ හරිම සංතෝශයි මචං එකම විදියට කන එකම ගුණේ තියෙන බොක්කක් නැවත හඳුනාගන්න ලැබීම ගැන. /
අපි දෙන්නම එකම ක්‍රමේට කන හින්ද ගුණේ කොහොම වෙතත් මල්ලි බොක්ක නං එක වෙන්ට පුළුවන්ය කියල මටත් හිතෙනව...හෙහ්, හෙහ්
/ මචං ඒ රසිකාවි ඔය උඩින් කමෙන්ට් කරපු එකී, උපේක්ෂා. :D /
Deleteඅම්මප??..මේ අපේ නුවර කුමාරිද?...බලාපං මචං ඔය යෝදි මාව හිරේ අරින්ට නෙව හැදුවෙ..ගමේ කමටවත් සලකපං..එහෙමත් නෑනෙ..සික්...
/ කවුද බං අපේ දෙන්නා වගේ කන අනිත් එකා/එකී? ජනුච්චි වත්ද? නුහුගුණේ කිව්වාම මට හිතුනේ එහෙම. /
දෙයියෝ සාලේ..කට වහගෙන හිටු..නැත්තං ඒ යෝදි හිතයි මම උඹට විස්තරේ හොරෙම්ම කිව්වය කියල....හෙහ්, හෙහ්...
එතකොට උඹ එහෙමයි අපෙ ජානුස් ගැන හිතාගෙන ඉන්නෙ නෙවද?....:) :)
ඔන්න ඉතින් ඩුඩ් අය්ය වැඩේ කැවා ! හික් හික්..... මම මේ කට පියන් හිටියේ මගේ කෑම ගැන කියන්න ගිහින් කලින්ම වැඩේ අනා ගත්ත හින්දා.... ඒත් ඉතින් මෙව්වගෙ කතාවක් ඇහෙනකොට කොහොමද කොමෙන්ටුවක් නොදා ඉන්නේ ඈ ??
Deleteගඟට දාන්න කිව්වේ ඉතින් පොඩියට ඉරලා, පොඩි කරලා, දිය කරලා වගේ.... අමරසිරි උන්නැහේ තමයි මටත් ඕක කියා දුන්නේ..... මක් කරන්නද ඉතිං .... එයා කියන විදියට වැඩ කොරපු කාලයක් තිබ්බ නොවැ .... "කාලය කොතරම් නපුරුද.." කිව්වම ඒ උනාට තාමත් පපුව "කිං ..." ගානවා.... කොච්චර තෙල් බෙහෙත් ගෑවත් අඩුවක් නැහැ නොවැ.....
එක්කෝ ඔන්න ඔහේ ඔව්ව ටික එකපොදියට ගැට ගහල නිදන් හොරුන්ට අහු නොවෙන තැනකවත් වල දාලා දාන්න අය්යු....... ඔන්න මම කිව්වා එහෙම කියන්න එපා හරී... නැත්තම් ගමේ කමට උදව් කරන්න ගිහින් මට පොලිසි ගානේ යන්නවෙයි අප්පා...
ජයවර්ධන කොහොමද නායක්කාර් වුනේ ??
DeleteSenna,
Deleteඒ කතාව අර පොතකද නැත්නම් පත්‍රිකාවකද කොහෙද කියපු කතාවක් සෙන්නා...ඒක ඇත්ත කියල මම කියන්නෙ නෑ.. එහෙම හාහූවක් ඒ දවස්වල රටේ තිබ්බය කියල මට මතකයි.
චන්ද්‍රිකා නෝනගෙ පරම්පරාව ගැනත් ඔහොම පොතක් ගැහුව මයෙ හිතේ. එයාලගෙ ආදි මුතුන් මිත්තා නවගමුවෙ දේවාලෙ කපුවා විදිහට වැඩ කරන්ට ගෙන්නපු දෙමල ජාතිකයෙක්ය කියල. නම මේ නීල පෙරුමාල්ද මොකක්ද.....
200 වෙනි පෝස්ටුවට සුබ පතනවා රවී... දිගින් දිගටම ලිපි ලියන්න..හැකි සෑම විටකම බලනවා... ජය පතනවා ..!
ReplyDeleteබොහොම ස්තූතියි සහන්..ඔබේ දිරි ගැන්වීම මම බොහෝසේ අගය කරනවා...:)
Deleteපිය සටහන්.. මැකී නොමැත තව.. මා ආ දිගු ගමනේ..
ReplyDeleteමගේම පියවර මත පිය තබමින්..
ඔබ එනු දුටුවෙමි මා.. ලුහුබඳිමින්..
සුපිරිමි සුපිරියි බං රවි අයියෙ.. ඕන්න මට ආයෙමත් මතක් වෙනවා චුට්ටි මැණිකෙ පාර්ට් 2.. අර උඹ හැමදාම ලියඤ්ඤං ලියඤ්ඤං කිය කියා මගාරින්නෙ.. අනේ බං, ඔය ගොමු තැලිලි බල්ලන්ට වීසි කරලා ආන්න ඒ කතාව ලියන්ට පට්ටාං ගනිං බං..
/ පිය සටහන්.. මැකී නොමැත තව.. මා ආ දිගු ගමනේ..
Deleteමගේම පියවර මත පිය තබමින්..
ඔබ එනු දුටුවෙමි මා.. ලුහුබඳිමින්.. /
අම්මප ඇත්තම ඇත්ත...උඹ මා පස්සෙමනෙ බං මලේ අර චුට්ටි මැණිකෙගෙ කතාව ලියන්ටෙයි කියල කියල පෙරැත්ත කොර කොර......හෙහ්, හෙහ්.
හරි මලේ..ලියන්නං ලියන්නං...බොලා මෙහෙම බොහොම උනන්දුවෙං ඉල්ලා හිටිනකොට නොලියා කොහොමෙයි?..තෑන්ක්ස් බූර්ස් මල්ලි…The best incentive to write something is the knowledge that someone somewhere is waiting to read what you write…thanks again
බිල්ඩින් දෙක Fairway and Fairmount
ReplyDeleteThanks for the information :)
Deleteදෙසීයට සුබ පැතුම්
ReplyDeleteරන්දිකාටයි රවීටයි දෙන්නටම ...!
දෙසීය මෙයාගෙ විතරනෙ ?? අරයා තාම එකසිය ගනන්..
Deleteනිශ්,
Deleteස්තූතියි නිශ් මල්ලි......:)
සෙන්නා,
Deleteඅඩේ මලේ…. එවුන්දැගෙ මෝටිවේසොං ( මෝටිවේසං කියල නේද බං කංදොස්කිරියාවට කඩ්ඩෙං කියන්නෙ? ) එක නැහ්නං ඔය දෙසීයම නෑ බොල. ඒ නිසා ඒ ඉස්තුතියෙං වැඩි කොටසක් ඒ අම්මණ්ඩිට තමයි අයිති...:)
පට්ට කතාවක් ආ .
ReplyDeleteසිංදුවත් එක්ක මාරම ෆීල් වෙන කතාවක් .
හෙහ්, හෙහ්..ඇත්ත ඇත්ත...මගෙ අතිජාත සහෘදිනියක් ඔය ගීතය මට එව්වෙ..මේං අහල බලාපං කියල..ඕක ඇහුවම මට ඉහිලුං නැතුව ගියා බොල.... ඒ පාර ලියවෙච්ච කතන්තරේ තමයි ඔන්න මේ...
Deleteස්තූතියි වයලීනෝ....
මුලින්ම ඇනෝ ඇවිදින් කමෙන්ට් කරන එක ගැන සමාව අයදිමි.ඔය කතාව ඔය විදියටම නැතත් මගේ ජීවිතයටත් ගොඩක් සමීපයි.නුවර,වීදුරුවට වැටෙන වැහි බින්දු,පිච්ච මල් සුවඳ,අමතක කරන්ඩ හැදුවත් තාමත් බැරිඋන මතකයක් ඒක....
ReplyDeleteඉකි ගසා හඬන අතීතයක,
කඳුලු එක්ක ගනුදෙනු කරනා,
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
දිගටම ලියන්ඩ සුබ පැතුම්!!!
බොහොම ස්තූතියි ඔබට...:)
Deleteමගෙ අත්දැකීම් ඇසුරින් ලියවුනු සටහනක් තවත් මා වැන්නකුගේ මතක සටහන් පහන් සිල දල්වා ලීමට හේතු උනයි කියන කාරණයම මට මහත් සතුටක්....
නිර්නාමිකව ප්‍රතිචාර දැක්වූවාට සමාව අයදීමක් කොහෙත්ම අවශ්‍ය නැත..ඒ ඔබේ කැමැත්ත මෙන්ම අයිතියයි...:)
කතාව සමීපයි, රිදෙන තරමට. ආව දිග ගමනටත් යන්න තියෙන දිග ගමනටත් සුභ පැතුම්!
ReplyDeletep.s Time IS a great healer, it just takes time..
/ p.s Time IS a great healer, it just takes time.. /
DeleteYeah, right the only problem is the term Time…how do you interpret time?.... It could be six months, three years, twenty years or a life time, well for that matter it could be even beyond life…
මේක මගෙත් ආසම ආස සින්දුවක්.. මම අඩුම ගානෙ සතියට සැරයක්වත් ඕක අහනවා.. පද වැල්, සංගීතය, ගායන විලාශය උපරිමයි...
ReplyDeleteකතාව කියවන්න පස්සෙ එන්නම්..
අමරසිරි පීරිස්ගෙ පෞරුෂය සහ ගායන විලාසය තමයි මම හිතන්නෙ ඒ හෘදයාංගම බවට ප්‍රධාන හේතුව....
Deleteඊට අමතරව සෙන්නා මම හිතන්නෙ අපි හැමකෙනෙක් තුලම ඉන්නව දුකට සහ වියෝවට ඇළුම් කරන Alter Ego එකක්. අපි මේ වගෙ ගීත වලට ප්‍රියකරන්නෙ ඒ නිසාවෙන්න ඕන.
මුලින්ම රවීගේ 200 වැනි පෝස්ටුවට සුභපැතුම් පැතුම් එක්කරන ගමන්ම තව තවත් ඉදිරියට ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
ReplyDeleteරවීගේ ආදර කතා නම් ඉතිං හදවතේ පතුලටම වදිනවා... මේ කතාවත් හරිම සංවේදියි..
" පැණිදෙණියේ".. "පැණියෙක්" ද රවී ඔයා ...?? :)(තරහ නැහැනේ..?? )
මට හිතෙන්නේ රවී හරිම "ආදරණීය" පුද්ගලයෙක් වෙන්න ඕන...
මොනවට තරහ වෙන්නද සඳා......:) :)
Deleteබොහොම ස්තූතියි හොඳේ.........
කතාව කියෙව්වා... ඒත් කියන්න දෙයක් නෑ අප්පා...
ReplyDeleteබැරිවෙලාවත් සුබාව බැන්දනම් එහෙම අද සුබා ගැන මෙහෙම කතාවක් නොලියවෙන එක ගැනමයි මම කල්පනා කළේ... අපිට හැමවෙලේම නැතිදේම වටින්නෙ ඇයි ?
සෙන්නා,
Delete" සෑම ප්‍රේමයක්ම විවාහයෙන් කෙළවර නොවිය හැක "මේ කතාව අහල තියනවද?..බොට කවදාවත් හිතුනද මේ කතාවෙ අර්ථ දෙකක් තියනවයි කියල." පෙම්වතුන් දෙදෙනෙකු විවාහ නොවූවද ඔවුන්ගේ ප්‍රේමය සිඳී නොයයි" ඒ තමයි බැලූ බැල්මට පෙනෙන අර්ථය. උත්ප්‍රාසාත්මක අර්ථය ඇවිල්ලා මල්ලි මෙහෙමයි...හෙහ්, හෙහ්...." ප්‍රේමවන්තයින් දෙදෙනෙක් විවාහ වුවද ඔවුන් අතර ප්‍රේමය සිඳී නොගොස් පැවතිය හැක "
මේ මම කාලෙකට ඉස්සර " වචන සීයකින් කතාවක් "බ්ලොග් එකට ලියපු කතාවක් " ප්‍රේමයක් නිමාවූ සඳ "
දෙසීයට සුබ පැතුම් !!
ReplyDeleteස්තූතියි සෙන්නා....:)
Deleteහරිම ලස්සනය් අය්යෙ ලියල තියෙනවා..ඉතින් සුභා කතා කලෙ නැද්ද ඊට පස්සෙ.. මන් මුලින්ම අය්යගෙ ලිපි කියවන්න ගත්තෙ 35 ඉඳන්, ඊට පස්සෙ පරන එවාත් ඔක්කොම කියෙව්වා..දන්නෙම නැතිව 200කුත් වෙලා..තව 2000කටත් වඩා මේ වගෙ එවා ලියන්න මුලු හදවතින්ම සුභ පැතුම්..
ReplyDelete//බත් ටිකක් අරං වෙනම තිබ්බ. තියන වෑංජන වලිනුත් පොඩ්ඩ පොඩ්ඩ ඒක උඩම තිබ්බ. ඔක්කොම එකට අරං කෑව. එච්චරයි.// මන් හිතුවා ඔහොම කම්මැලි කමට කන්නෙ මන් විතරය් කියලා..බලනකොට තව අය ඉන්නව නෙ.. :D
Mekuwi,
Deleteමුලින්ම බොහොම ස්තූතියි කියල ඉන්නම්...මෙකුවීස්.....හෙහ්, හෙහ්, මයෙ යාවජීව රසිකාවිය.....
රයිට් දැන් ප්‍රශ්නෙට උත්තර..
/ ඉතින් සුභා කතා කලෙ නැද්ද ඊට පස්සෙ.. /
නෑනෙ බං :)
හරි ප්‍රශ්නෙට උත්තර දුන්නනෙ..එහෙනම් මේ ටිකත් කියඤ්ඤංකො..අහගං...හෙහ්, හෙහ්...මේ අපේ වත් ගොයියගෙ බ්ලොග් එකෙන් උපුටා ගත්තු කෑල්ලක්...
"Art is something that lies in the slender margin between the real and the unreal." කලාව වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි ඉතා පටු කඩඉමෙහි පවතින්නකි.. (Chikamatsu Monzaemon)
/ මන් මුලින්ම අය්යගෙ ලිපි කියවන්න ගත්තෙ 35 ඉඳන්, /
ආහ්, එහෙමද?..ඒත් බං මට උඹව මතක අර ආදර නිල් දෑසේ කතාවෙ මුල්ම කොටසට කමෙන්ට් එකක් දාල රන් රෝස පොත ගැන අහපු එකෙන්..:) :)
/ මන් හිතුවා ඔහොම කම්මැලි කමට කන්නෙ මන් විතරය් කියලා..බලනකොට තව අය ඉන්නව නෙ.. :D /
අම්මප..උඹත් එහෙමද?...මේ ඊයෙ වෙනකල්ම මම හිතාන උන්නෙ ඔය මොඩල් එකේ මේ ලෝකෙම ඉන්නෙ මම විතරයි කියල..දැං ඔන්න තව තුං දෙනෙක්ම හම්බ උනා..සන්තෝසයි..සන්තෝසයි..අප්‍රමාණ සන්තෝසයි…Welcome to the Club Dear Madam..Welcome!!!.... බත්මාලු නොඅනන්නන්ගේ සංගමයට ඔබතුමිය ඉතා සාදරයෙන් පිළිගනිමි.....හෙහ්, හෙහ්...
ape amma kanneth ehemai.
Deleteඇත්තට ම ලස්සණ කතාවක්. අපේ දෛවය, ඉරණම තීරණය වෙන්නෙ මහ පුදුම විදිහට කියලා වෙලාවකට හිතෙනවා.
ReplyDeleteඇත්ත දිලිනි..සම්පූර්ණ ඇත්ත...ස්තූතියි...:)
Deleteමම මේ බ්ලොග් එක ගොඩක් කාලෙක ඉදන් උඩින් පල්ලෙන් දැකලා තියෙනවා. නමුත් ඇත්තටම අද මට හිතුනා වෙලාව පොඩ්ඩක් ගියාට කමක් නෑ මුල ඉඳලම ලිපි ටික කියවන්න ඕන කියලා. කතාව නම් ගොඩක් හොඳයි.... ඒ වගේම 200 ට සුභ පැතුම්.
ReplyDeleteබොහොම ස්තූතියි.....OCee.
Deleteරවී අයිය තවත් ප්‍රේම පුරාණයක් දිග ඇරල තියෙන්නෙ...අම්මප මේකා බොරු කියනවාවද්ද??
ReplyDeleteමෙහෙමයි බං කේස් එක.....අර මෙකුවිට දාපු කමෙන්ට් එක බලාපං....
Deleteකලාව වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි ඉතා පටු කඩඉමෙහි පවතින්නකි.. (Chikamatsu Monzaemon)
මවිසින් ලියූ ප්‍රේම පුරාණෝක්ති කිසිවක් හුදු ප්‍රබන්ධ නොවන අතර මගේ අත්දැකීම් ආශ්‍රයෙන් කල නිර්මාණ බවට ඔබට සහතික වෙමි...:)
මගේ ප්‍රියතම ලයින් එකක් තමයි Time is THE healer. ඒකෙ තියන හොඳම දේ තමයි, කාලය නොනැවතී ගමනේ යන එක. ඒ කියන්නේ කවදා හරි අපි heal වෙනවමයි. මම ඕක ගත්තෙ කොලෝනියල් කසින්ස්ලගේ "ක්‍රිෂ්ණා" කියන සිංදුවෙන්.
ReplyDeleteඅමරසිරි පීරිස්ගෙම සින්දුවක් තියනවා ඕක පැහැදිලි කරන... "සොඳුරිය.. කාලය කොතරම් නපුරුද".. ඒකෙ කාලය විසින් ඒ දුක තුනී කල එක ගැන කාලයට දොස් කියනවා. ඒ කියන්නෙ අපිට කොච්චර හිතේ එල්ලගෙන ඉන්න ඕනෙ උනත්, කාලය අපිට ඒකට ඉඩ දෙන්නෙ නෑ.
ප්‍රේමය, ඉතිහාසය, හාස්‍යය, අත්දැකීම් ආදී මෙකී නොකී හැම දෙයක්ම අපිත් එක්ක බෙදාගන්න එකට බොහොම ස්තූතියි. සාමාන්‍යයෙන් නිතර කියන්නෙ නැති උනාට, අපිට රස විඳින්න, අතීතයට යන්න, හිනාවෙන්න, විරුද්ධ වෙන්න, විවේචනය කරන්න දේවල් ලියන එක බොහෝම අගය කරන බව මේ පුංචි කඩඉමේදි සටහන් කරලා තියන්නම්.
අමරසිරි පිරිස් ගේ ඔය සින්දුව තමයි අය්යෝ..... ඔන්න පපුවත් එක්ක 'කිං.....' ගෑවා !
DeleteThisara,
Delete/ අමරසිරි පීරිස්ගෙම සින්දුවක් තියනවා ඕක පැහැදිලි කරන... "සොඳුරිය.. කාලය කොතරම් නපුරුද".. ඒකෙ කාලය විසින් ඒ දුක තුනී කල එක ගැන කාලයට දොස් කියනවා. ඒ කියන්නෙ අපිට කොච්චර හිතේ එල්ලගෙන ඉන්න ඕනෙ උනත්, කාලය අපිට ඒකට ඉඩ දෙන්නෙ නෑ. /
අඩේ ඒ සිංදුවෙ එහෙම තේරුමකුත් තියනවද?....
දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය.
මේ කොටස තමයි මගෙ හිතට වැදුනෙ..ඒ නිසා මේ කියන්නෙ කාලයාගේ ඇවෑමෙන් මියගිය ප්‍රේමයක් ගැන කියලයි මම හිතා හිටියෙ..තිසර මලය කියන අයිඩියා එක ගැනත් ගැඹුරට කම්පනා කොරන්ට වෙනව...අද පොඩිවට එකක් නවාගෙන මැච් එක එහෙම බලල ඔය ගැන විමර්ශනය කොරන්ට ඔන්න සටහන් කර ගතිමි...ස්තූතියි තිසර...හෙහ්, හෙහ්,
/ මම ඕක ගත්තෙ කොලෝනියල් කසින්ස්ලගේ "ක්‍රිෂ්ණා" කියන සිංදුවෙන් /
අන්න මල්ලි සිංදු... අනූව දශකයෙ මම ඕක මුලින්ම ඇහුවෙ රූපවාහිනියෙ යාත්‍රා වැඩ සටහනකින් ..තනිකරම ඔළුව නරක් උනා බං ...හෙහ්, හෙහ්...
Krishna nee begane baro
Krishna nee begane baro
Darkness coming round
And everybody fighting with their brothers
Everybody wants control
Don't hesitate to kill one another
So come back as Jesus
Come back and save the world
That's all the future
Of every boy and girl
Come back as Rama
Forgive us for what we've done
Come back as Allah
Come back as anyone
Krishna nee begane baro
krishna nee begane baro
Religion is the reason
The world is breaking up into pieces
Colour of the people
Keeps us locked in hate please release us
hmm..
So come down and help us
Save all the little ones
They need a teacher
And you are the only one
We can rely on
To build a better world
A world that's for children
A world that's for everyone
Krishna nee begane baro
Krishna nee begane baro
=========================
Time is the healer
Time moves on
Time don't wait for anyone
You tell you'll be back
But that will take some time
I'm waiting...
ahh......
I'm waiting...
Waiting...
I'm waiting...
=====================
I'm waiting
Yea.... Yea...
Come back as Jesus
Come back and save the world
We need a teacher
You are the only one
Come back as Rama
Forgive us for what we've done
Come back as Allah
Come back as anyone
Krishna nee begane baro
Krishna nee begane baro
Jesus!
Come back and save the world
That's all the future
Of every boy and girl
Come back as Rama
Forgive us for what we've done
Come back as Allah
Come back for everyone
තිසර,
Delete/ ප්‍රේමය, ඉතිහාසය, හාස්‍යය, අත්දැකීම් ආදී මෙකී නොකී හැම දෙයක්ම අපිත් එක්ක බෙදාගන්න එකට බොහොම ස්තූතියි. සාමාන්‍යයෙන් නිතර කියන්නෙ නැති උනාට, අපිට රස විඳින්න, අතීතයට යන්න, හිනාවෙන්න, විරුද්ධ වෙන්න, විවේචනය කරන්න දේවල් ලියන එක බොහෝම අගය කරන බව මේ පුංචි කඩඉමේදි සටහන් කරලා තියන්නම්. /
සමාවෙන්න..ඔබට මගේ හද පත්ලෙන්ම නැඟෙනා ගෞරවනීය ස්තූතිය පුද කිරීමට අමතක වීම පිලිබඳව...බොහොම ස්තූතියි මල්ලි....පැසසුමට වගේම හේතු පාඨයටත් එක්කම....
උපේක්ෂා,
Delete/ අමරසිරි පිරිස් ගේ ඔය සින්දුව තමයි අය්යෝ..... ඔන්න පපුවත් එක්ක 'කිං.....' ගෑවා ! /
මොනවද බං උඹේ මේ සද්ද?....එක පාරක් පපුව ඩෝං ගෑව කිව..දැං කීං ගෑවලු...අම්මප උඹව යවන්න තියෙන්නෙ අර ටයි මහත්තයගෙ රූපවාහිනී හඬ දෙකැවි ඒකකයට.....
රයිට් අමරසිරි ගොයියට උඹ බොහොම කැමති නිසා මේ මම එයයිගෙම තව අපූරු ගීතයක් ගැන ලියාපු සටහනක්...
ඔන්න අයියේ උඹ මගේ පිස්සුව ඇවිස්සුවා. මම කොලෝනියල් කසින්ස්ලගේ කසින් කෙනෙක් කියලා තමයි ඒ දවස් වල හිතාගෙන හිටියේ. මම ටියුෂන් නොයා ඒ සල්ලි වලින් උන්ගේ පලවෙනි කැසට් එක ගත්තේ. හෙන ආසයි අර ලෙස්ලි ලුවිස් වගේ කොණ්ඩේ චූටි චූටි කැරලි ගොතලා අගට පබළු ටිකක් එල්ලගන්න. කොහෙද ඉතිං ඉස්කෝලෙ යනවනෙ. මධුමාධවයා නම් මට මතකයි ඕක කලා.
Deleteමම ඔය ක්‍රිෂ්ණා සිංදුව ගැන මෙහෙම කතාවක් කොහෙ හරි කියෙව්වා. ඒකෙ තියෙන්නේ ජේසුට, ක්‍රිෂ්ණාට, අල්ලාට ඇවිත් ලෝකෙට සතුට සාමය උදා කරන්න වගේ පණිවිඩයක්නේ. ඕකේ අයිඩියා එක ඇවිත් තියෙන්නෙ මෙහෙමලු... ඔය දෙන්නෙගෙන් කාගෙ හරි පවුලක පොඩි එකෙක් හිටියලු ක්‍රිෂ්ණා කියලා. හෙන හුරතල් එකෙක්. ඌ යන්තං ඇවිදින්න පටං ගත්ත කාලේ පවුලේ ඔක්කොගෙම වැඩේ ඌව තමං ලඟට ගෙන්න ගැනීමලු. ඉතින් කෑ ගහනවලු 'ක්‍රිෂ්ණා' කියලා පොඩි එකාව ලඟට ගෙන්න ගන්න. ඉතිං ඒ පොඩි එකා නිසා ගෙදර සතුට සාමය පිරිලා තියනවා නේද කියලා හිතිලා, පරණ කන්නඩ චිත්‍රපටියකින් ගත්ත "ක්‍රිෂ්ණා නී බේගනේ බරෝ" කියන ක්‍රිෂ්ණා ඉක්මනට එන්න වගේ තේරුමක් තියන වචන සැට් එකත් අරං සිංදුව ලියලා තියෙන්නේ.
ඔය මුල්ම තැටියේ ගොඩක්ම ජනප්‍රිය උණේ ක්‍රිෂ්ණායි Sa Ni Dha Pa සිංදුවයි. ඒත් ගොඩාක්ම ජනප්‍රිය නොවුනත් මම තව ආස කරන සිංදු කීපයක් මේකෙ තිබ්බා.. මේ Indian Rain කියන එකත් පට්ට සිංදුවක්.
Feel Alright සිංදුවටත් ආසයි... ඒකයි මධුමතී චිත්‍රපටියේ Chadh Gayo Papi Bichhua සිංදුවයි අතර සමානකමක් දැනෙනවද?
ඔන්න එකම මෙලඩි එක තියන සිංදු දෙකක්, එකක් ඉංග්‍රීසි, අනික හින්දි.
Forever Yours Forever Mine
Teri Meri Aankhon Mein
අපොයි තිසර.....
Deleteමමත් ඔයාගේ බෝට්ටුවේම කෙනෙක් තමයි එහෙනම්.... මමත් ඔය Indian rain එක සින්දුව අහන්න ඇති සිය පාරක් දවසකට.... මම එයාලගේ සින්දු වලට හරිම ආසයි... කොහෙද ඉතින් එයාල ලංකාවට එනකොට අපි හෙන පොඩි නේ... නැත්තම් හොරෙන් වත් යන්න තිබ්බ concert එක බලන්න...
@Ravi
අනේ ඉතින් මට ඔලුවට එන්නෙම එක එක සද්ද නේ අප්පා..... අම්මෝ ඊනම් මමත් එව්වා ඉගෙන ගත්තේ ටයි මාමාගෙන් වෙන්න ඇති... තවමත් මම ටයි මාමගේ cartoon වල ජීවත් වෙන කෙනෙක්...
රායිට් අපි දැන් බලමු අමරසිරි පීරිස්ගේ "සොඳුරිය" ගීතය ගැන...
Deleteසොඳුරිය.... කාලය කොතරම් නපුරුද
දිවිහිමියෙන් කඳුලැළි පුරවාගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
පෙරුම්පුරා දුකසේ ගලපාගත්
කවිය ඔබම වී නැලවුණ යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය
ලොවට හොරා විළිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුණ දවසක
බෙදාහදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
ස්ථායී කොටසට කලින් අපි අන්තරා කොටස් දෙක සලකලා බැලුවොත්.. දැන් මේ කියන්නේ, සෑහෙන කට්ට කාල සෙට් කරගත්ත ලව් එක නැගලා යන කාලේ, හිතේ තියෙන්නේ කෙල්ලගෙ රූපෙ විතරයි. ඔය චිත්‍රපටිවල පෙන්නන්නේ දකින දකින හැම කෙල්ලෙක්ම තමන්ගේ කෙල්ල වගේ පේන කැමරා ට්‍රික්ස්. ආන්න ඒ වගේ. ඒත් දැන් අඩුමගානේ හීනෙකවත් නෑ ඒ මිහිරි රූපය. අයියෝ කාලය කොතරම් නපුරුද?
දෙවෙනි අන්තරා කැල්ලේ තමයි ඉස්ටෝරිය තියෙන්නේ... ගෙවල් වලට, නැදෑයන්ට හොරෙන් කොහොම හරි ගෙනිච්ච ලව් එක, එක පාරට හබක් වෙනවා. දැන් තියෙන්නේ විරහ දුකෙන් ගත කරන කාලේ. හප්පේ විරහ ගීතවල ගැලපෙන කෑලි හොයලා පොත් වල කුරුටු ගාන්න තියනවා. පරණ මතක සටහන් දිහා බලලා හූල්ලන්න තියනවා. ඇඳට වෙලා දහ අතේ කල්පනා කරන්න තියනවා. රෑට නින්ද යන්නෙ නෑ. පණිවිඩ කාරයෝ එහෙට මෙහෙට පණිවිඩ අරං යනවා. ම්ම්හු.. හරි යන්නේ නෑ. මේ දුක ඉතින් දෙන්නටම පොදුයි, සිරා ලව් එකක් තිබ්බා නං. මොනා උනත් ඒ විරහ දුක ඇතුලේ තියෙන්නේ උන් දෙන්නගේ මතක, උන්දෙන්නගේ ලව් එක.. දෙන්න තවම දෙන්නා ගැන හිතනවා කියන එක. අඩුම ගානේ ඒ දුකවත් අද නෑ කියන්නේ, කාලය ඉගිල්ලිලා ගිහින් දැන් ඒ ගැණ මතක් කරනකොට දුකක්වත්, කණගාටුවක්වත් දැනෙන්නේ නෑ, ඒක නිකම්ම නිකං මතකයක් විතරයි. ඉතිං කාලය නපුරුයි නේද?
මුලින්ම කොටසින් කියන්නේ, ඔය ලව් එක කැඩුනට පස්සේ "මම ජීවිතේට වෙන කාවවත් බඳින්නේ නෑ, වෙන කාටවත් ආදරේ කරන්නෙ නෑ" කියලා හිතාගෙන අර පරණ ලව් එකම හිතේ තියාගෙන කඳුලින්ම ජීවත්වෙමියි කියලා හිතාගෙන හිටිය ප්‍රේමවන්තයාට තේරිලා, ඒක කරන්න බැහැ කියලා. හැබැයි ඌ බනින්නේ හරි වග උත්තර කාරයට.. කාලය... ඒ ආදරය උදුරාගෙන ගියේ කාලය තමයි. කාලය එහෙම කලා කියලා චෝදනා කලාට, මේකෙ ලාවට හැංගිලා තියනවා, එහෙම උනාට ඌ කැමතියි කියන හැඟීමත්. ඒ නිසා තමයි ඌ කියන්නේ සොඳුරිය මම නෙමෙයි මේක කලේ, කාලය කියලා.
කාලයේ මේ සුවපත් කිරිල්ලෙන් කාටවත් ගැලවීමක් නැහැ. කාලය ඔය හැම වේදනාවක්ම සුවපත් කරනවාමයි. TIME IS THE HEALER!!!
@උපේක්ෂා
DeleteRain Clouds in the sky, I Don't know why
They make me blue, when I'm thinking of you
Maybe they want to cry, As I walk on by
Hiding my tears, in a world of good byes
ගගන රැඳි වැහි වළා
හදවත පාරවයි මගේ
නුඹ ගැන මතකයන් අවදි කර
නොදැනිමි ඒ මන්දැයි කියා
සමුගැනීම් පිරුණු ලොවක
ඇවිදයමි කඳුළු සඟවාන
හඬන්නට මා නමින්
ඔවුන් සිතුවා වගේ.....
මේකෙ පද වලයි, සංගීතෙයි තියන ශෝකී රාවයට මම හරිම කැමතියි. රවි අයියා නම් දෙයි නියම පරිවර්තනයක්... අපි කැලේ...
තිසර,
Deleteස්තූතියි තිසර ....ඔබේ ගැඹුරු විවරණයට...එහෙම බලනකොට බොලේ කතාව ඇත්ත තමයි....ඔබ හරි...නැවත මේ ගීතයට සවන් දෙනවිට මට කලින් නොදැනුනු අමුතු චමත්කාරයක් දැනේවි නොවැරදීම....:)
තිසර :
Deleteස්තුති අප්පා.... කොච්චර කාලයක් තිස්සේ ඉදන්ද අනේ ඔය ගීත මගේ හිතේ පිස්සු නටන්නේ.....
බලනකොට ඒවගේ අය ඉන්නේ අප්පා මේ ඕනේ තරම්!
පඳුරකට දුසිමක් විතරද? හි.. හි...
මම හිතුව දැන් ඉන්නෙම අර ඉරාජ් ගේ සීනිබෝල වගේ සිංදු වලට කැමති, මෙලෝ රහක් නැති පෙම්බර පද පුළුවන් තරම් වැඩ දාල කලවම් කරලා හදන සම්බෝල වලටයි කැමති මිනිස්සු කියල.
සින්දුව නම් මම අහපු මුල් දවසෙම මගේ හිතේ ගලක කෙටුව වගේ රැඳුන සින්දුවක්. සමහර වෙලාවට ඒක ඇහුන වෙලාවත් බලපාන්න ඇති අහල බලන්නකෝ ඒක රෑ 10 ට විතර..... පුදුම විදියට හිතට වදින්නේ!!
Time is a healer කිව්වට අපි මතක් කර කර රස විඳින්න කැමති තුවාල කාලය හොඳ කරන්නේ නෑ... මම හිතන්නේ විරහවේ රසය ඒකයි කියලා... ඒ දැනෙන අහිමිවීමද, අහිමි වූ දේ මතක් කිරීමද, ඒ අහිමිවීම තුළ අහිමි වූ දේවල්ද කියන්නේ අහිමි උනත් විඳින්න පුළුවන් දේවල්... ප්‍රේමයක් තුළ කාපු බීපු, ගියපු, නැවතුනු තැන්, දැකපු දැනුනු දේවල්, කියපු කරපු දේවල් කියන්නේ ජීවිත කාලයක් තුළ විඳින දේවල්... අහිමි උනානම් ඒ මතකයන් කවදාවත් පරණ වෙන්නේ නෑ.. හිමි උනා නම් එදිනෙදා දේවල් වලින් පරණ දේවල් යටයනවා.. ආයිත් මතකයට එන්නේ නෑ... ඒකයි ඔය ලවු කරලා කසාද බන්දත් ලවු කරපු කාලේ හිටිය විදියට ඉන්න බැරි වෙන්නේ.. ඒකත් අහිමි වෙන්නම යනවා වගේ නම් ඔන්න මතක් වෙනවා පෝළිමට කලින් කරපු කියපුවා... හැබැයි අමාරුවෙන් හරි අර මතක, අමතක වෙන්න නොදී ඒවයේ රසය හිත ඇතුලේ තියාගන්නවා නං හිමීවීම ඇතුලෙත් ලස්සන රසයක් හොයාගන්න පුළුවන්...
ReplyDeleteසුබ පැතුම් .. හිතට වදින කතාවට... ඒ අස්සෙම රවියයියට දෙසීයයිලුනේ... හි හි...
හිරු,
Deleteඅහිමිවීමෙහි සහ වියෝවෙහි රසය සහ ඉන් ජීවිතයට ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳ අගැයුමක් සහ ප්‍රේමය විවාහයෙන් පසුවද එලෙසම පවතීද යන්න පිළිබඳව විශ්ලේෂණයක්
අඩේ මේ හිරු ගොයියො…...මේ මාතෘකාවෙන් නිබන්ධනයක් ලියහංකො…. අනිවා උඹට හම්බවෙනව ආචාර්ය උපාධියක්....:) :)
අර්ථ දැක්වීම අති විශිෂ්ටයි..ඒ වගේම මගේ හෘදයාංගම ස්තූතියත් ඒ එක්කම...
panidniyen nemei aiye oya bahinna one peradeniyen............
ReplyDeleteදෙයියෝ සාක්කි..ඇත්තම නේන්නං..පැණිදෙණියෙ තිබ්බට ස්ටේෂන් එක ඇවිල්ල පේරාදෙණිය නෙව...බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට....වහාම නිවැරදි කලෙමි....:)
Deleteකතාව පට්ටයි ! සිංදුවත් එක්ක වදිනවා ලෙසටම !
ReplyDeleteස්තූතියි සිංදුවා...:)
Deleteමුලින් ම ආපු දවසේ ම ලස්සණ කතාවක් . . . දිගට ම ඇවිත් යන්න එන්නං. 200 ට සුභ පැතුම්!
ReplyDeleteඑන්න..එන්න...සාදරයෙන් පිළිගනිමි.....ඒ එක්කම බොහොමතම ස්තූතියි ..ධාරා..:)
Deleteහිතට තදින්ම වැදුනා මේ කතාව.
ReplyDeleteමේ ගීතයත් මං හුගක් ප්‍රිය කරන ගීතයක්......
200 ට සුභ පැතුම්!
ස්තූතියි සමනළී.....:)
Deleteෂා මාර ලස්සනයි නෙ.බත් කන විදිය නෙමෙයි කතාව
ReplyDeleteස්තූතියි දමිත්...
Deleteඔයාකාරෙට බත් කන්නේ නැගෙනහිර ආසියාවේ මිනිස්සු . විශේෂයෙන් කොරියාව ජපානය වියට්නාමය . කුරු දෙකින් කද්දී හැමදේම වෙන වෙනම කන්නේ . හැන්දෙන් කනවා නම් හැන්දට බත් පොඩ්ඩක් අරන් අනික් දේවල් ටික ටික ඒ උඩින් තියා ගන්නවා . කෙලින්ම කටට . ඕන නම් සුප් හැන්දක් බොනවා කන ගමන් .
ReplyDeleteදකුණු ආසියාවේ අපි ඉතින් හොදි මාළු සේරම දාලා ආයේ තිබ්බේ මොනවද කියල හොයන්න බැරි කරගෙන නේ කන්නේ .. එතකොටයි අපේ කෑම රස .
[අම්මප මෙච්චර සංවේදී ආදර තුවාලයක් පාරද්දී මන් බත් ගැන කියන හැටි විතරක් ]
ඒකනෙව කියන්නෙ..කන එකම තමයි..කන එකම තමයි...:)
Deleteශතක දෙකට සුබ පැතුම් ..ටිකක් පරක්කුයි තමයි. බිලේටඩ් සුබ පැතුම්
ReplyDeleteආ..පරක්කු උනාට මක්කද අනේ....ස්තූතියි බින්දි...
Deleteමගේත් සුභ පැතුම පරක්කු වුනා නෙව..249වෙනි පෝස්ටුව ලීවම ඒකට මම මගේ සුභ පැතුම් එක්ක කොමෙන්ට් කරනවා..එතකොට පරක්කු වෙලා ආවට කාරි නෑනේ...
ReplyDeleteප්‍රේම පුරාණය ගැන නම් කියන්ට දෙයක් නෑ සුපිරි ලියවිල්ලක්..ලියවිලේල් රහ තරමටම හිතේ දුකත් තියෙන්න ඇති නේද?..
එව්ව ඉතිං එහෙම තමයි රූ......ස්තූතියි මැඩම් සුබ පැතුමට :)
Delete