Thursday, July 4, 2013

199. කිරුළ සහ සෙනෙහස ……9












ඒ සොඳුරු සන්ධ්‍යාවට පසු පුන්සඳ දෙවරක් ලංකාපුරය ඉහල අහසේ මුදුන්ව යලි අවපස්ව ගියේය.ඒ කාළසීමාව වනාහී කුවණ්ණාගේ ජීවිතයේ මෙතෙක් ඉතාම සිත් තැවුලින් ගතකල කාලය බව ඇයට එකහෙලා සහතිකය. 

ඇය ජීවිතය තමනට රිසි පරිදි හැඩගස්වා ගැනීමෙහිලා රුචි එමෙන්ම එසේ කිරීමට නොපැකිලෙන ඉතිරියක වූවා තම ජීවිතයෙහි දිශානතිය තීරණය කිරීමෙහි පූර්ණ බලය පිටස්තර පුද්ගලයින් කණ්ඩායමක සිතැඟියාවන් මත රැඳී පවතිනු කිසිසේත්ම නොරිස්සීය. 

එහෙත් දෛවෝපගතව නැතහොත් ඉරණමෙහි ලියවී ඇති පරිදි ඇගේ ඉරණම තීරණය කිරීමෙහි පූර්ණ බලය ලංකාපුර රජ සභාවට පැවරී ඇත.ඇය ඒ කෙතරම් නොරිස්සූවද ඒ පිළිබඳව ඇයට කල හැකි කිසිවකුදු නැත. රාජ සභාවෙහි තීරණය ඇය පිළිගත යුතුමය. 

විජය ඈ කෙරෙහි බැඳි සෙනෙහස පිළිබඳ කිසිදු සැකයක ලේශ මාත්‍රයක් වුවද ඈ සිත් තුල නොමැත්තේ වුව රාජ්‍යය පිළිබඳ බොහෝ වැදගත් වූද එමෙන්ම අනාගතය කෙරෙහි වෙසෙසින් බලපාන්නා වූ ද මෙවන් තීරණයක් ගැනීමෙහිදී ඔහුට තම හැඟුම් වලට වහලෙක්ව නො එසේනම් හදවතට ඉඩදී රාජ සභාවෙහි තීරණය එකහෙලා පිළිකෙව් කිරීමෙහි ධෛර්යයක් ඇත්ද යන සැක සංකා මාත්‍රය ඇගේ සිතෙහි විටින් විට හටගත්තේ මේ වලාවන් පසුබිම් කොට වහා දිලී එකෙණෙහි නිවීයන අසනි සැරයක් පරිද්දෙනි. 

එසේ හෙයින්ම අවසන ඇය තීරණය කලේ තමනට පාලනය කල නොහෙන කටයුතු පිලිබඳ සිත් තැවුල් වීමෙහිලා කිසිදු ආදීනවයක් නොමැත්තේ වී හෙයින් ඒ පිළිබඳව කොතෙකුත් සිත් නොවෙහෙසා දෛවෝපගතව වියයුත්ත සිදුවනුවස් ඉඩ සලසා එදෙස හැඟීම් විරහිතව බලා සිටීමටය.අවසන වෙනත් කිසිදු විකල්පය පිළිබඳ සිතාගත නොහුණු කල්හි ඔබ, මම, අප සැම මෙලෙසින්ම සිතනා අවධියකට නිතැණින්ම පත්වන නමුදු ඒ කොතරම් දුෂ්කර කර්තව්‍යයක්මවේදැයි එවන් තත්වයකට සත්‍ය වශයෙන්ම මුහුණ නොදුන්නකුට වටහා දීම පවා එතරම් පහසු නොවේ. 

මේ තීරණාත්මක කාල සීමාව තුල මදුරාපුර කුමරිය අවාහ කරගැන්මේ යෝජනාව රාජසභාවෙහි න්‍යාය පත්‍රයෙහි වරෙක ප්‍රමුඛස්ථානයට පැමිණි අතර වෙනත් නොයෙකුත් රාජ්‍ය පාලනයෙහි එදිනෙදා ගැටළු අනපේක්ෂිතව පැන නැඟි කල්හි නොවැදගත්ව යටපත්ව ගියේය. එහෙත් ඒ අළුයට සැඟැවුණු පුළිඟුවක් මෙන්, සියුම් කෙස් ගසකින් හිස මතුයේ එල්ලූ අසිපතක් මෙන් එකලාව පහව නොගොස් රැඳී පැවතියේය. 

අවසන විජය මෙන්ම කුවණ්ණා ද බලාපොරොත්තු වූ එහෙත් කිසිදිනෙක උදා නොවේවායයි නිතොර පැතූ ඒ දිනය උදාවිය. 

බහුතරයක් යක්ඛ ගෝත්‍රිකයින් විජයගේ පාලනයට අනුගතව, ඉන් ලද පෙර ස්වකීය පාලිත අවධියෙහි දක්නට නොලැබුණු වරප්‍රසාදයන් මහත් සතුටින් යුතුව භුක්ති වින්දෝය. ඒ බොහෝතන්හි දක්නාපරිදි සාමාන්‍ය පොදු ජනතාවයි. එදිනෙදා ජීවනෝපාය සරිකොටගෙන තම සුතනඹුවන් හා දිවිගෙවන ඔවුහු ලංකාපුර කිරුළ දරන්නෝ කවරෙක්වෙත්දැයි බොහෝකොට සොයා නොබලති. සොයා බැලුවද ඒ ඔවුනගේ එදිනෙදා ජීවිතයට යම් අනිසි බලපෑමක් නොකරන්නේවී නම් ඔවුහු එතෙකින්ම තෘප්තිමත් වන්නෝය.කිරුළ දරනුයේ විජය ද කුවණ්ණාද යනු ඔවුනට බොහෝසේ සිත වෙහෙසවියයුතු වැදගත් පැණයක් නම් නොවන්නේමය. 

පොදු ජන සිත් සතන් අවුල්වා ඔවුන් කැරළි කෝලාහල කෙරෙහි යොමු කරවන්නෝ තමන් අත්විඳි වර ප්‍රසාද ගිලිහීමෙන් අතෘප්තියට පත් ප්‍රභු පැළැන්තියම වෙත්.ලංකාද්වීපය පුරා විජය ක්‍රියාත්මක කල පොදුජන හිතකාමී පියවර හේතුකොටගෙන පොදු ජනයා වෙතින් ඔහු ලද මහත් ප්‍රසාදය මෙතෙක් යක්ඛ ගෝත්‍රිකයින්ගෙන් රාජ්‍ය විරෝධී කැරැල්ලක් එල්ල නොවීමට මහත් පිටුබලයක් විය. 

එළෙසම බොහෝ දෙනෙකු පුරෝකථනය කල පරිදි විජය රාජ්‍යත්වය ලබා ගත් පසු කුවණ්ණා අත්හැර නොදමා ඇය තම සහකාරිය ලෙස නිල වශයෙන් පිළිගැනීම මෙන්ම ඈ හා සමඟ අපරිමිත වූ සෙනෙහසින් බැඳී සිටීම ද යක්ඛ ගෝත්‍රිකයින් තුල ඔහු කෙරෙහි වූ ගෞරවය සහ ප්‍රසාදය සහස් වරකින් වර්ධනය වීමට හේතු කාරක වූයේය. ඒ එසේමය..කුවණ්ණා තවමත් ලංකාද්වීපය පුරා සියළු යක්ඛ ගෝත්‍රිකයන්ගේ සදාදරණීය කුමරිය වූවාය.ඇය විජයගේ බිරිඳ ලෙස දිවිගෙවනාතෙක් ඇය කෙරෙහි දැක්වූ ඔවුන්ගේ භක්තිය කිසිදු අඩුවකින් තොරව විජයටද හිමි වූයේය. 

එසේමය!!! බැලූ බැල්මට ලංකාද්වීපය වනාහී කිසිදු අවුල් වියවුලකින් තොර උත්තර භූමිය හා සාම්‍ය දේශයක් සේ දිස්වූවද අභ්‍යන්තරයෙහි ඒ විදාරණය වීමට ආසන්න යමහලක් සේ පැසෙන්නේය. මේ අභාග්‍යසම්පන්න තත්වයට හේතුකාරක ඔබට උපකල්පනය කල නොහැක්කේද මා ප්‍රිය සහෘදය / සහෘදිනිය?.....එසේය, ඔබ නිවැරදිය..ඊට එකම හේතුවනම් අනාදිමත් කාලයක සිට මෙදියත යුද, කැරළි කල කෝලාහල සියල්ලටම හේතුවන්නාවූ ඒ එකම කරුණය. එනම් මනුෂ්‍යයින්ගේ කිසිදා තෘප්තිමත් නොවෙන අසීමිත බල තණ්හාවයි. 

වත්මනෙහිද එහි කිසිදු වෙනසක් ඇති බවක් ඔබට පෙනේද? සියළු සත්වයින් කෙරෙහි ආදරය සහ කරුණාව දක්වන්නාවූ නිරාමිස අල්පේච්ඡ දිවියකට මඟ පෙන්වනා සනාතන දහමක් දෙසූ ඒ අසමසම මාර්ගෝපදේශකයානන්ගේ සුපිරිසිදු ධර්මය රැඳී ඇති මෙදියත එකම දේශයයයි කටමැත දොඩන මේ දේශයෙහි පාලකයින්ගේ පටන් පූජ්‍ය පක්ෂය මතු නොව රට වැස්සන් පවා නිතොර බල ලෝභිත්වයෙන් පෙලෙමින් සුඛ විහරණයට ලොල් වෙමින් කරනා විප්‍රකාර දැකීම පවා පූර්වයෙහි කරන ලද මහා අකුශල කර්මයක් පලදීමක්ම නොවන්නේද? 

වන්නාටය! වත්මන අප දිවයිනට සිදුව ඇති අභාග්‍යය පිළිබඳ කනස්සළු වීම පසෙක තබා; කිසිදු ඵලක් නොමැති කටයුතුවල යෙදීම පවා කාළය නිකරුණේ අපතේ හැරීමකි; යළිදු විජය-කුවණ්ණා කථා පුවතට එලඹීමට මට අවසර..... 

එදවස ලංකාද්වීපයෙහි අහිමිවීගිය වරප්‍රසාද පිළිබඳව නිරතුරු සිතමින් රාජ්‍යයට විරුද්ධව නැඟී සිටීමට අවශේෂ යක්ඛ ගෝත්‍රිකයින් පෙළඹවීමට උත්සාහ දරන යක්ඛ ප්‍රභූවරුන්ගේ චර්යාව අවබෝධ කොට ගැනීම එතරම් දුෂ්කර නොවූවද විශ්මයට කාරණය වූයේ විජය හා සමඟම වංග දේශයෙන් පිටුවහල්ව පැමිණි ඔහුගේ එක්කුස ඔත් බෑයන් බඳුවූ මිතුරන් ඔහුට විරුද්ධ වීමය. 

එසේ විරුද්ධ වූවෝ එළිපිට එසේ නොකල මුත් ඔවුනගේ සිත්තුල ඒ මිත්‍රද්‍රෝහී අදහස් නිසල විල් තලයක අභ්‍යන්තරයේ කරකැවෙන දියසුළියක් පරිද්දෙන් නිරතුරු දඟකැවෙන බව කිසිවෙකුට රහසක් නොවීය. 

හා.... අප වනාහී එකටම වංග දේශයෙන් පිටුවහල් කරන ලද්දෝ වෙති. ඔහු ද අප වන්ම පිටුවහලෙකි. ඔහු රජකුගේ පුතකු බව සත්‍යයකි.එහෙත් ඒ කුමාරකම් වලංගු වනුයේ වංග දේශයෙහි සතර සීමාවන් තුලදී පමණි. ලංකාද්වීපයෙහි ඔහු වනාහී පිටුවහලෙකු පමණය. අප මෙන්ම පිටුවහලෙක් පමණය. කුවණ්ණාවන් වශී කොටගෙන ඔහු රාජ්‍යත්වය ලබාගත්බව සැබවි. එහෙත් මෙහි කිරුලට ඔහුට සමාන වූ හිමිකමක් අපටද පවතින්නේය. 

මෙසේ සිතූවෝ රාජ්‍ය අභ්‍යන්තරයෙහි වියවුල් ස්වභාවයක් උද්ගතකිරීම තම සිතැඟි මුදුන්පත් කොට ගැනීමෙහිලා ඒකායන මාර්ගය ලෙස දුටුවෝ ඒ වෙනුවෙන් සියළු උපක්‍රම යෙදුවෝය. යක්ඛ ගෝත්‍රිකයින් වෙනුවෙන් විජය යෝජනාකල ආර්ථික සහ සමාජයීය ප්‍රතිසංස්කරණ එලෙසම ක්‍රියාත්මක වීම පොදු ජනයා අතර ඔහුගේ ජනප්‍රසාදය ඉහළ නංවන්නක් බව වටහා ගත් ඔවුහු හැකි සෑමවිටම කිසිවෙකුට නොදැනෙන පරිදි ඒ කඩාකප්පල් කිරීමෙහිලා පසුබට නොවූහ. එසේම හැකි සෑමවිටම යක්ඛ ගෝත්‍රිකයින් නිකරුණේ තලා පෙලා ඔවුනට හිරිහැර කලේද ඒ සියල්ල විජයගේ ගිණුමට බැරව අවසන ඔවුන්ගේ වාසියටම කටයුතු යෙදෙන බව එක පැහැර දත් හෙයිනි. 

විජය මේ පිළිබඳව සපුරා දැනසිටියද අමාත්‍ය මණ්ඩලයේම සාමාජිකයින්වූ මේ මිත්‍රද්‍රෝහීන්ට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකිව කල් යැවූයේ අමාත්‍යවරුහු හුදෙක් ඔවුන්ගේ අණට පමණක් අඩංගුවන සෙබළුන් ගෙන් සැදුම්ලත් සේනාංක නඩත්තු කල හෙයිනි. එලෙසම සම්මත රාජ්‍යය සම්ප්‍රදාය අනුව විජය ක්ෂත්‍රිය කුමරියක අවාහ වී නොතිබීම කරණකොටගෙන ඔහුගේ ලක්දිව කිරුළට ඇති නීත්‍යානුකූල අයිතිය භාරතයේ රාජ සභාවන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ද අමාත්‍යවරුන්ගේ නොදැමුණු, අත්තනෝමතික ක්‍රියාකලාපයට තවත් හේතුවක් විය. 

රාජ සභාවෙහි ඒකමතික තීරණය විජය මදුරාපුර රජ කුමරිය හා සමඟ විවාහ වියයුතුය යන්න වුවද ඒ එකම තීරණය කරා ඇමතිවරුන් එලඹියේ කණ්ඩායම් දෙකකට බෙදී හාත්පසින්ම වෙනස් වූ අරමුණු සාධනය කොටගනු උදෙසාය.විජයට අත්‍යන්තයෙන් හිතවත්වූ ඇමතිවරු මදුරාපුර රාජ්‍යය හා සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගැන්ම අභ්‍යන්තර වියවුල් සහ කුමන්ත්‍රණ මැඩපැවැත්වීමට හේතුවනු ඇතැයි යන විශ්වාසයෙන් ද බල ලෝභී ඇමතිවරු මදුරාපුර කුමර හා විවාහවනු පිණිස විජය කුවණ්ණාගෙන් වෙන්වීම යක්ඛ ගෝත්‍රිකයින් අතර ඔහුගේ ප්‍රසාදය අතුරුදන්ව අභ්‍යන්තර කෝලාහල උග්‍ර වීමට හේතුවනු ඇතැයිද යන අපේක්ෂාවෙන් ද යෝජනාවට පූර්ණ සහය පලකළහ. 

හුදෙක් විජයගේ සහ ලංකාද්වීපයෙහි අනාගත ශුභසිද්ධිය අපේක්ෂාවෙන් වේවා නො එසේනම් තම නොයෙක් සැඟවුනු න්‍යායය පත්‍රයන් මුදුන්පත් කොට ගැනීමෙහි ඒකායන අභිලාෂයෙන් වේවා රාජසභාව ඒකමතිකව තම තීරණය දැනුම් දුන් කල්හි විජය ඉදිරියේ වූයේ විකල්ප දෙකක් පමණකි.එනම් එම තීරණයට එකඟ වීම නැතහොත් කිරුළ හැරදා කුවණ්ණා සහ දරු දෙදෙනාද සමඟ සමඟ අප්‍රකටව දිවි ගෙවීමය. 

විජය තීරණයකට එලඹියේය. තම සෙනෙහස වෙනුවෙන් කිරුළ කැපකිරීමට ඔහු තීරණය කළේය. 

එසඳ අතීත කථාව අවසන අප එනම් ඔබ සහ මම ...මා දයාබර සහෘදය / සහෘදිනිය වර්තමානයට සැපත්ව සිටින්නෙමු. විජය සහ කුවණ්ණාගේ ආදර අන්දරයෙහි සමාරම්භක කථාංගයෙහි අවසන් ඡේදය කෙරෙහි ඔබේ අවධානය යොමු කරවනු වස් මට අවසර.... 

" එසේනම් උපතිස්ස මම ඔබේ තීරණයට ගරු කරනවා. තව හරියටම හෝරා දෙකකින් රාජ අංගනයේ උතුරු පස බිහි දොර අසලදී හමුවෙමු. අසුන් තිදෙනෙක්, අවශ්‍ය ආයුධ සහ ආහාර ස්වල්පයක් පමණක් රැගෙන එන්න." 

" එසේය රජතුමනි," 

" මම තව දුරටත් රජතුමා නෙවෙයි උපතිස්ස. මේ කෙහෙල්මල් රජකමට පත්වීමට පෙර මට ආමන්ත්‍රනය කල පරිදි විජය කියා මා අමතන්න," 

පියවරක් ඉදිරියට තැබූ විජය දැඩි සෙනෙහසින් උපතිස්ස වැලඳගත්තේය. 

" උපතිස්ස වසර ගනනකින් නොදැනුනු සැහැල්ලුවක් මට දැනෙනවා උපතිස්ස......ජීවිතේ ඉදිරියට ගත කරන්ට තියෙන්නෙ කොපමණ කෙටි කාලයක් වුවත් මේ සැහැල්ලුව ඒකට හිලව්වට හොඳටම වටිනවා. හරි හරියටම හෝරා දෙකකින් හමු වෙමු. කුවණ්ණාට මේ සුබ ආරංචිය දැනුම් දෙනතෙක් මට ඉවසුමක් නෑ." 

මෙසේ පැවසූ විජය රජෙකු ලෙස නොව ආදරණීය පෙම්වතකු, සදාදර ස්වාමියකු ලෙස කුවණ්නා කුමරිය හමුවීමට ගියේ සැහැල්ලු උද්දාමයට පත් වූ සිතකිනි. 

රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පටු වරංඩයෙකින් වහා පිවිසිය හැකිවූ කුඩා ප්‍රවේශ ශාලාවෙකින් ඔබ්බෙහි වූයේ රාෂ්ට්‍ර පාලක උදෙසාම වෙන්වූ නිදන මැදිරි, ආලින්ද බරාඳ සහ මැද මිදුල් වලින් යුතු වාස භවනයයි. 

වරංඩය ඔස්සේ විජය ගමන්කලේ යුහුව වුවද ස්ථිර සාර පියවරිනි. සති කිහිපයක්...නැත මාස ගණනක් මුළුල්ලේ සිතට වදදුන් අවිනිශ්චිතතාවයකට දෙගිඩියාවකට ස්ථිරව විසඳුමකට එලඹි කල්හි සිත අභ්‍යන්තරයේ ගැඹුරෙහිම ඉපිද සිත පමණක් නොව ගත ද සනහාලමින් පැතිරයන ආශ්වාදයක සුමියුරු සුව පහස විඳිමින් ඔහු ගමන් කලේ සැහැල්ලු පියවරිනි. 

වරංඩය දෙපස රළු බිත්තියට පිටුපා තියුණු තුඩගින් යුතු විලක්කු ආලෝකයෙන් දිදුලන හෙලි සහ තෝමර දැරූ අංගාරක්ෂකයින් ඔහු පසුකරයනවිට තම සුරත් වම් පපුව මත තබා කල උත්තමාචාරයට විජය ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් දෑස දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මඳ සිනහවක් ද සමඟ හිස සැලීමකිනි. 

විජයගේ පෞද්ගලික අංගාරක්ෂකයින් වූ ඔවුහු උපතිස්සයන් විසින් බොහෝ ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද්දාහු ඉතාමත් විශ්වාස කටයුතු එමෙන්ම මනා ලෙස ආයුධ සහිත මෙන්ම ආයුධ රහිත සටනෙහිද පරිචයක් ඇත්තෝ වූහ. අභ්‍යන්තර බල අරගල කැළඹිලි ගහන මෙවන් අවිනිශ්චිත කාල වකවානුවක මෙවන් විශ්වාසනීය සේනාංකයක අත්‍යන්ත වැදගත් කම වචනයෙන් කිව නොහැකි තරම් බව විජය මනා කොට දත්තේය. 

තම ප්‍රාසාදයට ඇතුළු වූ විජය කුවණ්ණා පිටි අංගනයට ඇරුණු ද්වාරය අබියස කවිච්චියක අසුන්ගෙන හිඳිනු දුටුවේ සෙමෙන් ඈ වෙත ගියේ ඈ අසල අසුන් ගත්තේය. කුවණ්ණා හිස ඔසවා ඔහු දෙස නෙත් යොමු කළාය. ඒ දෑස් කඳුලින් බරවී නොතිබුණද මලානික විලක්කු ආලෝකයෙන් දිළිසුනු නියා කඳුලු එහි රැඳී ඇතිබැව් විජයට පසක් කලේය.පසුගිය සිව් වස මුළුල්ලේ ඇගේ දෑස් කොපමණ වරක් ඔහු නිවැරදිව කියවා ඇත්ද?...එහි රැඳි ආනන්දය, සෙනෙහස, දාරක ප්‍රේමය, සංවේගය මෙන්ම කෝපයද එක් පැහැර හඳුනා ගැන්මට ඔහු වන් සමතෙක් මෙදියත වෙනත් කොතැනක නම් සිටීද? 

ඇගේ දෙනෙත පිරි සංවේගය සහ බලාපොරොත්තු සුන් වූ ස්වභාවය ඔහු එක්වර හැඳින්නේය. 

" කුවණ්ණා.........." 

සෙමෙන් තොල මතුල ඔහු ඇගේ හිස පිරිමදින්නට වූයේ මුදුවූ දැඩි සෙනෙහසකිනි. කුවණ්ණා කඳුළු උනන දෑස් ඔහුගෙන් සඟවනු වස් ඔහු පුළුල් ළය මඬල මත මුහුණ හොවා ගත්තීය. 

" කුමරුනි..රජ සභාවේ තීරණයට මම එකඟයි. හෙට උදෑසනම දරු දෙදෙනාද සමඟ මම මේ ප්‍රාසාදයෙන් පිටවී යන්නෙමි. " 

" සොඳුර, හෙට උදෑසන වන තෙක් පොරොත්තු විය නොහැක, අද තව උපරිමව අඩ හෝරාවක් ඇතුලත අප මාළිගයෙන් පිටවිය යුතුය. " 

කුවණ්ණා වහා හිස ඔසවා ඔහු දෙස බලා සිටියාය. 

" මේ දැන්ම?....මේ මොහොතේම? අහෝ කුමරුනි, මේ මධ්‍යම රාත්‍රියෙහි දරු දෙදෙනාත් කැටුව මම කොයිබක යන්නද?..." 

" මම?...... මම කොයිබක යන්නද?...සොඳුර ඔබ මාපැවසූව හොඳින් ශ්‍රවණය කොට නොමැති බවක් හැඟීයයි. මා පැවසූයේ ඔබ මාළිගයෙන් පිටවියයුතු බවක් නොව අප මාලිගයෙන් පිටවිය යුතු බවකි. " 

" කුමරුණි……" 

විස්මයාහව දෑස් ඔහු දෙනෙත් වෙත එකලාව රඳවමින් ඈ පැවසූයේ හැඟීම් බර ස්වරයකිනි. 


මතු සම්බන්ධයි......

13 comments:

  1. කතාව ගලාගෙන යන හැටි අපූරු යි. වරංඩය කියන වචනෙ මෙතෙන්ට ගැළපෙනවද කියලා පොඩ්ඩක් බලන්න කෝ....

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      බොහොම ස්තූතියි දිලිනි.. :)

      ම්ම්ම්..වරංඩය නේද?....ඔයා අදහස් කරන්නෙ වරංඩය කියන වචනෙ ආවෙ Verandah කියන එකෙන් හින්ද දුරාතීතයක කතාවකට ඒ වචනෙ ගැලපෙන්නෙ නෑ කියලනම් මම ඒකට එකඟයි....ඒත් මට සුදුසු වෙනත් පරණ වචනයක් හොයාගන්ට බැරිඋනා නෙව…. :(

      Delete
    2. මම අදහස් කළේ ඒක තමයි :)

      Delete
  2. ඔන්න දැන් ඉතිහාසය වෙනස්වීම ඇරබෙයි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      Lo and behold my dear comrades, you are privileged indeed for you witnessth the history as we know being turned on its head. Take a ring side seat and don’t even blink cause this is a chance in a million

      Delete
    2. හතර පස් පාරක්ම කියෙව්වා තේරුන්නෑ අප්පා.. :(

      Delete
    3. මගේ දයාබර සහෝදර සහෝදරියනි, දෙනෙත් දල්වා බලා හිඳිනු මැන.අප දන්නා ඉතිහාසය උඩුයටිකුරු කරවනු දැකීමට පමණ ඔබ භාග්‍යවන්තයෝය.කරුණාකර අසුන් ගෙන ඇසිපිය නොහෙලා බලාසිටිනු මැන. මක්නිසාද මේ ඉතා කලාතුරකින් ලැබෙනා අවස්ථාවක් බැවිනි.

      Delete
    4. ස්තූති වේවා !.. ඔන්න එහෙනම් හොඳට හරි බරි ගැහිලා වාඩි වුනා... :D

      Delete
  3. ම්ම්ම්ම්.... මෙතැන් සිට ඉතිහාසය වෙනස්වීම ඇරඹේ..

    අය්යෝ... මොකක්ද රවී.. කියවගෙන ආව වේගය "දඩස්" ගාලා නැවතුනා.. මම හිතුවෙ කතාව ඉවර කරලා තමා අද නවතින්නේ කියලා... :)

    ඔයාට හරි ලස්සනට ආදර කතා ලියන්න පුළුවන්... හරිම අගෙයි... :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      / ම්ම්ම්ම්.... මෙතැන් සිට ඉතිහාසය වෙනස්වීම ඇරඹේ.. /

      ඊට වඩා මෙහෙම හොඳ නැද්ද? හෙහ්, හෙහ්,

      " මෙතැන් සිට ඉතිහාසය සත්‍ය වශයෙන්ම සිදුවූ අයුරු කියැවීම ඇරඹෙයි. "

      / අය්යෝ... මොකක්ද රවී.. කියවගෙන ආව වේගය "දඩස්" ගාලා නැවතුනා.. මම හිතුවෙ කතාව ඉවර කරලා තමා අද නවතින්නේ කියලා... :) /

      ටිකක් අර වටපිට..ඒ කිව්වෙ රටේ පැවතිච්ච් දේශපාලන තත්වය විස්තර කරන්ට උනානෙ සඳා..ඒක නොහිතූ විදිහට දුර දිග ගියා.විජය අවසානයෙ තමන්ගෙ හිතට දැඩිලෙස විරුද්ධව උනත් ඒ වගෙ තීරණයක් ගන්නෙ ඇයි කියල නැත්නම් ඒ වගෙ තීරණයක් ගන්නට විජයට බලපෑ කාරණා මොනවද කියල පොඩි විස්තරයක් හරි නොකලොත් ඒක විජයට කරන අසාධාරණයක් වගේම කතාවෙ ගොඩ නැඟීමටත් බාධාවක්ය කියල මට හිතුන.ඒකෙං මේකෙං උනේ තව කොටස් දෙකකට වගෙ කතාව දිග්ගැස්සුන එක :(

      ඔබේ පැසසුමට මගේ නොවක් තුති මැතිණිය!!

      Delete
  4. ඊළඟ කොටස තමයි කොටස.....

    ReplyDelete
    Replies
    1. තිසර,

      / ඊළඟ කොටස තමයි කොටස...../

      මේ මම අටේ පන්තියෙ විතර ඉන්න කාලෙ වෙච්චි දෙයක්.

      දවසක් ඔන්න මමයි මගෙ යාලුවෙකුයි යනව පාරෙ...සුද්දෙකුයි තව වයසක මනුස්සයෙකුයි පාර අයිනෙ මොනවද බර කතාවක්..අපිව දැකල අර වයසක මනුස්සය අපිට කතා කලා.

      " ලමයි මේ මහත්තයට ඉංග්‍රීසියෙන් කියන්නකො අර පුස්තකාලෙට යන පාර. "

      " හරි …" මගෙ යාලුව ඉදිරිපත් උනා. පුස්තකාලෙ තිබ්බෙ එතන ඉඳල හතරමං හන්දි දෙකක් පහුකරල ගියාම ඊළඟ හංදියෙ,

      මයෙ යාලුව ගියා සුද්ද ගාවට..අත දික්කරල පෙන්නුව ඒ ළඟම තියෙන හන්දිය.......

      " දැට් ජංසන්..නෝ ජංසන්....නෙක්ස්ට් ජංසන් ඕල්සො නෝ ජංසන්...නෙක්ස්ට් නෙක්ස්ට් ජංසන්..ආන්න ජංසන් "

      එහෙම කියල ආපහු ආව..සුද්ද කටත් ඇරගෙන බලා ඉන්නව..

      " කොහොමද මගෙ කඩ්ඩ එල නේද? " මිනිහ මගෙං ඇහුව.

      " කඩ්ඩ නං එලම තමයි. ඒත් මොකෝ බං අර සුද්ද කටත් ඇරගෙන බලා ඉන්නෙ තාමත්." .

      " ආ…. ඒ මං වගෙ කඩු කාරයෙක් දැකගන්ට ලැබීමේ සන්තෝසෙ හින්ද වෙන්ට ඕන එකත් එකටම.."

      Delete
  5. ඔය යන්නෙ නියමෙට. දැන්නම් හිතෙනව අර කලින් මං කරපු නිගමනේ වැරදෙයිද කියලා. කොච්චර ලගින් හිටියත් ඔය උපතිස්සවත් විශ්වාස කොරන්න පුලුවන්ද දන්නෑ නේද?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...