Tuesday, June 11, 2013

193. කිරුළ සහ සෙනෙහස ……6







එදින ඒ තම්මැන්නා පුරවරයෙහි රත්හිරු කෙමෙන් අවර සයුර රළපෙලට මුවාව බැසගිය සැඳෑවේ සිට ගතවූ වසර පහකට ආසන්න කාලය පිළිබඳව සැකෙවින් සඳහන් කොට වත්මනට පිවිසෙන්නට මට අවසර ප්‍රිය සහෘදය / සහෘදිනිය... 

පසුදින අධිකරණය වෙත ඉදිරිපත් වූ විජය අභියාචනයක් ඉදිරිපත් කළේය. 

තම තීරණයට විරුද්ධව ඉදිරිපත්වූ අභියාචනයක් තමන් විසින්ම සළකා බැලීම සදාචාරශීලී නොවන්නේය යන පදනම මත කුවණ්ණා ඒ පිළිබඳව තීන්දුවක් දීම පියාණන් යළි තම්බපණ්ණියට සැපත්වූ ඉක්බිති ඔහුට පවරන බව පවසා එතෙක් විජය ඇතුළු පිරිසට යහපත් කල්ක්‍රියාවෙන් යුතුව හැසිරෙන බවට වූ එකම කොන්දේසියට යටත්ව තම්බපණ්ණියෙහි රැඳී සිටීමට අවසර දුන්නාය. 

වාසුගී යලි සැපත් වනතෙක් ගෙවුණු දෙසතියක පමණ වූ කාල පරිච්ඡේදය තුල කුවණ්ණා ඔහු සමඟ බොහෝ සන්ධ්‍යා කාලයන් ප්‍රාසාදයෙහි පිටාංගනයට ඔබ්බෙන් වූ සමුද්‍ර තීරයෙහි මෙන්ම ආලින්දයෙහි ද ගත කළාය. විජය පිළිබඳව ඈ තුල වූ පූර්ව නිගමනයන් බොහෝ සාවද්‍ය බව ඇයට පසක් වීමට දින කිහිපයකට වඩා ගත නොවීය. 

ඔහු අඳබාල නොදැමුණු තරුණයෙක් වශයෙන් වර්ගීකරණය කල ඇගේ තීරණය ඉඳුරාම සාවද්‍ය බවට වැටහෙන කල්හි විජය කෙරෙහි තම සිත් සතන් තුල නැඟෙනා බැඳීම කුමණාකාරදැයි වටහා ගැනීමට කුවණ්ණා බොහෝසේ උත්සාහ කළාය. 

" සිද්ධාර්ථ ගෞතමයන්ගේ දර්ශනය පදනම්ව ඇත්තේ අනාත්ම වාදය මත.මනුෂ්‍යයාහට නැවත ඉපදීමක් නැත. ඔබ කරනා සියළු හරි හෝ වැරදි ක්‍රියා මෙලොව මේ ආත්ම භාවය තුලදීම ඔබ කරා එලඹෙන්නේය.එබැවින් තම තමන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව තීරණය කිරීම සිතීමට සිතක් ඇති නිසාම මනස උසස් වූ නිසාම මනුෂ්‍ය යයි නම් ලද්දාවූ මිනිසාටම පැවරෙන්නේය. " 

විජය පැවසූයේ එක් සවස් භාගයෙක ප්‍රාසාදයෙහි ආලින්දයෙහි අසුන්ගෙන පියස්ස දරා සිටි කුළුණු වල රැඳි අයෝමය ධාරකයන්හි දැල්වෙනා විලක්කු ආලෝකයට රොදබැඳ ගත් මැසි සමූහයා ගින්නෙන් දැවෙමින් අංගනයෙහි අතුල සුදු වැලි තලය මතට පතිත වන අයුරු නරඹමිනි. 

සුදු පැහැරෙදිකඩකින් දෙවුර වසාගත් සේවිකාවක් බන්දේසියක තැබූ නොපැසුණු තල් වතුර පිරවූ රිදී ආලේපකල තඹලේරු දෙකක් ගෙනවුත් ඔවුන් දෙදෙන අතර වූ අටමුළු කනප්පුව මත තබා සෙමෙන් ඉවත්ව ගියාය. 

විජයගේ දෑස් යොමුව තිබුණු දෙස නෙත් යොමු කල කුවණ්ණාගෙ සිතෙහි ගිණි හුල වෙත ලඟාව අනවතරව පිළිස්සී මියයන්නාවූ කුඩා සත්වයින් පිළිබඳ හට ගත්තේ ශෝකය සහ මුසුවූ අනුකම්පාවකි. මේ නාඳුනන තරුණයා කෙරෙහි අනිච්ඡානුගව ආකර්ෂණය වන්නාවූ තම සිත පිළිබඳව නිමේෂයක් කල්පනාවේ යෙදුනු ඇය තුල තමාද ගිණි හුලට ආකර්ශනයව මියයන්නාවූ අසරණ සත්වයෙක් බඳු යැයි සිතුවිල්ලක් මොහොතකට ඉපිද යලි අතුරුදන් විය. 

" බොන්න කුමරුණි.....මේ තෙල පෙනෙන තල් ශාඛයන්හි නොපැසුණු ඵල අභ්‍යන්තරයෙහි වන්නාවූ සිසිල් දියරයයි. ඉතා පෝෂ්‍යදායකයි එමෙන්ම ප්‍රණීතයි. " 

ඇය එක තඹලේරුවක් සුරතට ගත්තේ ප්‍රාසාදයෙහි බිහි දොර අසල සිට ආරම්භව තම්බපණ්ණි පුරවරය දක්වා දිවෙන බොරළු අතුල මාර්ගයෙහි දෙපස සෘජුවූ උරස්කායෙන් යුතු ආරක්ෂක මුර සෙබළුන් සේනාංකයක් මෙන් නිසලව හිඳිනා තල් රුක් දෙපෙළ වමතින් දැක්වීමෙන් අනතුරුවය. 

Image Credit - T.G.
" ඔබට ස්තූතියි කුමරියනි……" 

විජය මද සිනහවකින් යුතුව තඹලේරුව සුරතට ගත්තේය. සෙමෙන් සෙමෙන් තල් පැන් තොල ගානා අතර තුර ඔවුන් අතර පැවතියේ නිහඬතාවයකි. 

කල්පනාවෙන් බරවූ කුවණ්ණාගේ සිත එක පැහැර දිව ගියේ වසර සතරකට පමණ ඔබ්බෙහි අතීතයටය. 

තම්බපණ්ණියෙහි සිට දඹකොළ පටුන දක්වා මුහුද ආසන්නයෙන් දිවෙන මාර්ගයෙහි මාතොට පසුවූ තන්හි යොදුන් තුනක් පමණ මඟ ගෙවූ කල්හි රට අභ්‍යන්තරයට විහිද ගිය මාර්ගයෙහි අසකු අරා අඩ හෝරාවෙක් පමණ වූ කාලයක් ගමන් කල ඉක්බිති ලවණ රස මුසු මුහුදු සුළඟ පොහෝනා නොපොහෝනා මානයේ වූ නූස් එක් කඳු ගැටිත්තෙක් වී. 

එහි කඳු මස්තකය ආසන්නයේම වූ එක් සුවිසල් ගල් ගුහාවෙක් විය. එහි වාසය කලෝ එක් බොහෝ වයස්ගත වූ යෝගිනියකි.ඒ අවට වූ දනව් වැස්සන් සපයන්නාවූ අහරින් යැපුණු ඇය කෙතෙක් වයස්ගතදැයි ඉඳුරාම කෙසේ වුවද ආසන්න වශයෙන් හෝ පැවසිය හැකි සමතෙක් එදවස නොවූහ.වසරක් පාසා තෙසතියක් හෝ ඊට බොහෝ සේ ආසන්න කාලයක් පුරා නොකඩවා ඇදහැලෙන මෝසම් වර්ෂාව කාලයෙහිදී දනව් වැස්සන්හට ඇයට අහර සැපයීමෙහි ලා දුෂ්කරතා පැණ නැඟුනද ඇය කිසිදු විටෙක අහර හිඟයකින් පෙළුණු බවෙක් නම් පෙනී ගියේ නැති. 

එළෙසම ඔහුගේ මුත්තණුවන්ගේ යුගයෙහි පවා ඇගේ ස්වරූපය කිසිදු වෙනසක් නොමැතිව මෙළෙසම වූ බැව් දනව්වෙහි වැසි වයෝවෘද්ධතමයා ශපථ කොට සිටියේ කිසිදු සැකයකින් තොරවය. 

මේ අපූර්ව යෝගිනිය වනාහී තම තපසෙහි බල මහිමයෙන් තුන්කල් දක්නා වක්තෘවරියක බවට පසල් දනව් වැසියන් අතර තුඩ තුඩ පැතිරි රාවය තම්බපණ්ණියට ළඟාවනු වස් බොහෝ කල් ඉක්ම නොගියේය. 

අද්භූත බලයන් පිළිබඳව එකහෙලා විශ්වාස නොකලමුදු වාසුගී එළෙසම එවන් දේ එකහෙලා බැහැර කිරීමටද මැළිවිය. 

" විවෘත මනසක් පවත්වා ගැනීම ඉතාම වැදගත් කුවණ්ණා..මා දියණිය..මේ ලොව අප නොදන්නා අපට වටහාගැන්මට උගහට වූ සහසක් සංසිද්ධීන් මෙන්ම ප්‍රපංචයන්ද ඉඳුරාමැ පැවති සහ පවතින බව උදක්මැ සිහිතබා ගත මැනවි. " 

දිනෙක උදෑසන හිමිදිරි හිරු රැස් තල් අරඹ සිපගැන්මට ද පෙරාතුව අසුන් දෙදෙනෙකු අරා පියා සහ දියණිය ඒ අපූර්ව යෝගිනිය හමුවනු වස් ගමනාරම්භ කළෝය. 

හිරු අවරට හැරී හෝරා දෙකක් පමණ ඉක්ම ගිය ඉක්බිති ඔවුහු අදාල ගිරි ශිකර මස්තකය වෙත ලඟා වූවෝය. බැසයන හිරුගේ රත් පැහැය තුඟු ගිරි මුදුනෙහි වූ විසල් ගල් කුළු මත පතිතව විස්මයාහව දසුනක් මවා පෑවේය. ගිරි හිස වූයේ කුඩා තැනිතලාවෙකි. එහි එක් කෙළවරෙක බෑවුමට පිටුපා නිල් අහසට නැඟි තුඟු වනස්පතියක සෙවණෙහි දෙදණ නවා පියාගත් දෙනෙතින් යුතුව යෝගිනිය භාවනාවෙහි යෙදී හුන්නීය. 

සෙල් පිළිමයක්මෙන් නිසලව හිඳි ඇගේ වත බැසයන හිරු එළියේ දිලිනි. නිහඬව තමා අසලින් හිඳගන්නා ලෙස කුවණ්ණාහට සුරතින් සන් කෙරෙමින් වාසුගී යෝගිනිය ඉදිරියෙහි වූ ගල් පොත්තක් මත අසුන් ගත්තාය. 

ඔවුන් දෙදෙන ඒ සන්ධ්‍යා කාලයෙහි නිහඬවම කොපමණ කාලයක් ගත කලේදැයි කුවණ්ණාහට ස්ථිරව කිව නොහැක.එහෙත් ඒ අඩ හෝරාවකට ආසන්න කාලයක් බව ඇගේ මතකයේ රැඳී ඇත්තේය. 

එක් වනම යෝගිනිය දෑස් විවර කලාය. 

" දියණිය….. තොප විසින් ගන්නාවූ එක් තීරණයක් හේතු කොටගෙන මේ දිවයිනෙහිම අනාගතය වෙනස් වනු ඇත. " 

මඳ වේලාවක් කුවණ්ණා දෙස බලා සිටි ඕ පහත් හඬින් තෙපළාය. 

" මෑණියනි.?...." 

විස්මයපත් වූ කුවණ්නා දෑස් විදහාගත්වනම විචාලාය. එහෙත් තම සුරත එසවූ යෝගිනිය ඇය වැළැක්වූවාය. 

" ඒ කෙසේද? ඒ වැළැක්වීමට කටයුතු කල යුත්තේ කෙසේද යන්න නොවිමසන්න. කාලය වනාහී නොනවතින ප්‍රවාහයකි. එම ප්‍රවාහයෙහි එක් දිය සුළියක් වෙනස් කිරීමට උත්සාහ කිරීම බරපතල විපාක ගෙන දිය හැකි අන්තරායකර කර්තව්‍යයකි.එබැවින් දෛවය එසේත් නැතහොත් ඉරණමට ඉඩ දීමට ඔබේ සිත එකඟ කරවා ගන්නට උත්සාහ කරන්න. " 

සුරත ඔසවා කුවණ්ණාට ආශිර්වාද කල ඇය යලි දෙනෙත් පියා ගත්තීය. ඇය යළි දෙනෙත් විවර කරනා තෙක් ඔවුහු ඒ ගිරි ශිඛර මස්තකයෙහි ස්වල්ප වේලාවක් පොරොත්තු වූ නමුදු භාවනාවෙන් යලි මිදීමට ඇය බලාපොරොත්තු නොවන බැව් සපුරා වැටහීගිය පසු කුවණ්ණාහට සන් කරමින් වාසුගී හිඳ සිටි ස්ථානයෙන් නැඟී සිටියේය. 

මධ්‍යම රාත්‍රියට ආසන්නව ආපසු මන්දිරය කරා පැමිණෙන තෙක් ඔවුන් අතර යෝගිනියගේ අනාවැකිය සම්බන්ධව කිසිදු කතාබහක් නොවිනි. 

පසුදින පාතරාසයෙන් පසු පොත්ගුලෙහි යම් ලේඛනයක් පරීක්ෂා කරමින් සිටි වාසුගී වෙත සෙමෙන් ලඟාවූ කුවණ්ණා ඔහු ඉදිරියෙහි වූ කළාලය මත හිඳ ගත්තීය. 

" පියාණනි......." 

වාසුගී හිස ඔසවා ඈ දෙස බලා සිටියේ දෙනෙතට ප්‍රශ්නාර්ථයක් කැටිකොටගත් බැල්මක් නඟා ගනිමිනි. 

" ඊයේ දින ගිරි ශිකරය මත දී ඒ යෝගිනිය පැවසූව මා සිතට මහත් සේ තැවුල් ගෙන දෙයි.ලක්බිමෙහි ඉතිහාසය වෙනස් කරවන තීරණයක් මවිසින් ගතයුතුය යනුයෙන් අදහස් වන යමක් ඇගේ මුවින් පිටවුවා නොවේද? පියාණනි, ඔබ ද එතැන මා සමඟ සිටි හෙයින් මම ඈ පැවසූව පිළිබඳව ඔබගේ අදහස් විමසනු කැමැත්තෙමි. " 

" කුවණ්ණා..අනාගතයෙහිදී සිදුවන්නේ කිමෙක්ද යනුවෙන් පුරෝකථනය කිරීමෙහි හැකියාවක් ඇත්දැයි මම ස්ථිරව පැවසීමට නොදන්නෙමි. එසේම එසේ නොහැකියයි එකහෙලා ප්‍රකාශ කිරීමටද ඉක්මන් නොවන්නෙමි. අප නොදන්නා සේම අපට කිසිදා දනගත නොහුණු බොහෝ දේ මේ විශ්වය තුල පවතින බව රහසක් නොවෙයි. එබැවින් එවන් අනාගතය දැකීමෙහි ඥාණය වර්ධනය කොටගත් තැනැත්තෙක් හෝ තැනැත්තියක් මෙළොව ජීවත්ව සිටීමටද කිසිසේත්ම නොහැකියාවක් නොමැත. එසේම ඒ යෝගිනිය පැවසූව ඔබට මහත් සිත් කළබලයට හේතුවන්නක් බවද මට රහසක් නොවෙයි.එහෙත් ඒ ගැන කිසිත් කල හැක්කක් ඔබට නැහැ නොවේද දියණිය? " 

වාසුගී ඉදිරියට නැවී කුවණ්ණාගේ හිස මුදුන මත තම සුරතින් සෙමෙන් පිරිමදිනට විය. 

" එහෙත් පියාණනි.. මගේ මව්බිමෙහි අනාගතයට බලපානා මවිසින් ගන්නා තීරණය වෙනස් කලොත්? " 

වාසුගී පිළිවදන් දුන්නේ මඳ සිනහවකින් යුතුවය. 

" අංක එක….." 

ඔහු වමතෙහි සුළඟිල්ල සුරතින් නවමින් කථා කලේය. 

" අංක එක…. ඒ අනාගතය වෙනස් කරවන තීරණය කුමන තීරණය දැයි පැහැදිලිව නොදැන ඔබ එය වෙනස් කරන්නේ කෙසේද? අංක දෙක....එලෙස දැන සිටියද අනාගතයට බල පානුයේ ඔබ දෙවනුවට ගන්නා තීරණය නොවන බවට ඔබට ඇති සහතිකය කුමක්ද? තෙවනුව මවිසින් ප්‍රකාශකල අන්දමට සියල්ල සිදුවනුයේ කාල ප්‍රවාහයෙහි ගලා යාමට අනුකූලව නම් ඉන් අදහස් වනුයේ අප සැමදෙනගේ එසේම සියළු ජාතීන්ගේ සහ එමෙන්ම රාජ්‍යයන්හි පවා ඉරණම කාලාරම්භයත් සමඟම තීරණය වී අවසානයි නොවේද? එසේ දැනටම තීරණය වී ඇත්තක් වෙනස් කිරීමට උත්සාහ කිරීම නිරර්ථක වෑයමක් නොවන්නේද? " 

බොහෝවිට සිදුවන අයුරු ලෙස පියාණන්ගේ තර්කයන්ට එරෙහිව කරුණු ගලපාගත නොහුණු කුවණ්ණා ඔහු දෙස නිරුත්තරව බලා සිටියාය. 

මේ ඒ යෝගිනිය පැවසූ ලක්බිමෙහි අනාගතය තීරණය කරවන මොහොතද? කිසිදු තර්කානුකූල හේතුවක් සිතාගත නොහුණු මුත් කුවණ්ණා ඒ එසේම බව හෙට උදෑසන හිරු නැඟෙන්නාක් මෙන් එක පැහැර පිළිසිඳ දැන සිටියාය. රාෂ්ට්‍ර පාලක තෙම දාරක සම්පත්තියෙහි වාසනාව නැත්තෙකි. ඔහුගේ එකම මල් බෑයාවූ වාසුගීද රාජ්‍ය පාලනය කෙරෙහි කිසිදු රුචියක් නොදක්වන්නෙකි.වාසුගීගේ එකම දියණිය වූ හෙයින්ම එබැවින් කුවණ්ණා ලංකාද්වීපයෙහි කිරුළට උරුමක්කාරිය වනුයේ නිතැනිණි. 

එසේ දැඩි වගකීමක් උර මත පැවරුණු කිරුළ හිමි රජ කුමරියක වූ තමා තුල මේ නාඳුනන වංග ජාතික තරුණයාහට, ඔහුම පිළිගත් පරිදි සිය පිය රජු විසින් පවා පිටුවහල් කල දාමරිකයා කෙරෙහි නිරායාසයෙන් ඇතිවන මේ ආකර්ෂණය, මේ බැඳීම කුමක්ද? මේ නිසැකයෙන්ම වසර කිහිපයකට ඉහත ඒ සන්ධ්‍යා යාමයෙහිදී යෝගිනිය පැවසූ අනාගතය වෙනස් කරවන මොහොත වන්නේද? 

" කුමරියනි........." 

විජය ඈ අමතන හඬින් කුවණ්ණා යලි පියවි ලොවට පිවිසියාය. 

" ඔබ අමනාප නොවන්නේ නම් යමක් පැවසීමට මට අවසරද? " 

විජය සිය සිනාසෙන දෑස් ඈ වෙත යොමුකොටගත් වනම පිළිවිසියේය 


මතු සම්බන්ධයි...... 

14 comments:

  1. හපෝ හපෝ... මට මග ඇරිල තියෙන පෝස්ට් ටික කියවල එන්නාං.....

    ReplyDelete
    Replies
    1. ජනූ,

      කොහෙද බං යන්නෙ?....මොකවත් ලියන්නෙත් නෑ..ලියන එව්ව කියවන්නෙත් නෑ...හෙහ්, හෙහ්,

      හරි, හරි....කියවල වරෙංකො එහෙනං :)

      Delete
  2. Replies
    1. සෑම්,

      එහමමත් නෑ බොලේ...මෙගාවක් කරන්ට බලාපොරොත්තුවක් නම් නෑ...තව දෙකකිං විතර ඉවර කරන්නයි හිතාගෙන ඉන්නෙ...:)

      Delete
  3. වෙන්ඩ තියනදේ වලක්වන්න බෑ කියන්නෙ ඕක තමා එහෙනම්. හැමදෙයක්ම තව අවුරුදු ලක්ශ ගානක් ඉදිරිඅට මෙහෙමයි වෙන්න ඕනා කියලා තීරණය වෙලා ඇති නේද ?

    >> සිද්ධාර්ථ ගෞතමයන්ගේ දර්ශනය පදනම්ව ඇත්තේ අනාත්ම වාදය මත.මනුෂ්‍යයාහට නැවත ඉපදීමක් නැත. ඔබ කරනා සියළු හරි හෝ වැරදි ක්‍රියා මෙලොව මේ ආත්ම භාවය තුලදීම ඔබ කරා එලඹෙන්නේය. <<

    මේක හරිද ? කරනා සියළු හරි හෝ වැරදි මේ ආත්මයේදිම අප කරා එන්නෑ නේද ? එහෙම එන ඒවට නේද දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නෙ. අනෙක් ඒවා භවයෙන් භවයට යනවා නේද ? අනාත්ම වාදය කියන්නෙ නැවත ඉපදීමක් නෑ කියන එකද ? මට මතක විදිහට ඕකට වෙන පැහැදිලි කිරීමක් තිබුනා.

    අර යෝගිනිය තාම ඉන්නවද දන්නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / වෙන්ඩ තියනදේ වලක්වන්න බෑ කියන්නෙ ඕක තමා එහෙනම්. හැමදෙයක්ම තව අවුරුදු ලක්ශ ගානක් ඉදිරිඅට මෙහෙමයි වෙන්න ඕනා කියලා තීරණය වෙලා ඇති නේද ? /

      ඒ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් මට හිතාගන්න බෑ සෙන්නා...:(

      ප්‍රශ්නෙ දෙපැත්තක් තියනව. හැමදෙයක්ම කලින් තීරණය වෙලානම් තියෙන්නෙ අපි යම් දෙයකට උත්සාහ කරන එකේ තේරුමක් තියනවද?...දැං විභාගයක් ගමු. අපි කොච්චර උත්සාහ කලත් කලින් නියම වෙල තියෙන්නෙ අපි අසමත් වෙන්න නම් ඒ උත්සාහය නිරර්ථකයි කියල හිතන්නත් පුළුවන්. ඒත් මම හිතන්නෙ එහෙම හිතන එක සර්ව අශුභවාදී සිතීමක් කියලයි.අපි උපරිම උත්සාහය දැරිය යුතුයි ඒත් අසමත් උනොත් හිත හදාගන්න අර විදිහට හිතල ආයෙත් උත්සාහ කලයුතුයි කියලයි මම හිතන්නෙ..

      අවුරුදු ලක්ෂ ගානක් ඉදිරියට වෙන්න තියනදේ නියම වෙලයි තියෙන්නෙ කියන කතාවත් විවාදාත්මකයි. දැන් හිතන්න මෙහෙම..අනාගතයෙන් කියමු තව අවුරුදු පන්සීයකින් කියල වර්ෂ 2500 න් කවුරු හරි අතීතයට ඇවිල්ල යම් සිද්ධියක් වෙනස් කලාය කියමු.එතකොට 2500 අර පුද්ගලය දන්න ලෝකය එහෙම පිටින්ම වෙනස් වෙන්න පුළුවන්ද? එතකොට ඒ පුද්ගලය ජීවත් වෙච්ච 2500යෙ ලෝකය ඇත්තටම තිබ්බද? නැත්නම් මායාවක්ද? එහෙමත් නැත්නම් වෙනත් මානයක රැඳී තියෙන සමාන්තර ලෝකයක්ද?

      / මේක හරිද ? කරනා සියළු හරි හෝ වැරදි මේ ආත්මයේදිම අප කරා එන්නෑ නේද ? එහෙම එන ඒවට නේද දිට්ඨ දම්ම වේදනීය කර්ම කියන්නෙ. අනෙක් ඒවා භවයෙන් භවයට යනවා නේද ? අනාත්ම වාදය කියන්නෙ නැවත ඉපදීමක් නෑ කියන එකද ? මට මතක විදිහට ඕකට වෙන පැහැදිලි කිරීමක් තිබුනා. /

      මේක පොඩ්ඩක් බලන්න සෙන්නා වෙලාවක් තියේනම්...

      ආත්ම (අත්ත) යන වචනයෙන් දක්වනු ලබන්නෙ , නැති නොවන සුලු, වෙනස් නොවන සුලු,යමි දෙයක් මිනිසා තුළ ඇති බවයි. බුද්ධ කාලයෙදි ත් ඊට පෙරත් දඹදිව පහළ වු දර්ශන වාදි බොහොමයක පදනම වුයේ ආත්ම වාදයයි.වෙනස්නොවන, නිත්‍ය වුයමක් මිනිසා තුළ ඇත යන පිළිගැනිමයි. නිර්මාණවාදි ඇතැමි ආගමි වලට අනුව ඊශ්වරයාවිසින් මවන ලද ආත්මයක් එක් එක් පුද්ගලයා තුළ පවතී. මරණයෙන් පසු එය මැවුමි කාර දෙව්යන්ගේ කැමැත්ත අනුව බ්‍රහ්ම ලොකයෙහි නිත්‍ය වාසය ලබයි. ඇතැමි ආගමි වලට අනුව ජාතියෙන් ජාතියට ගමන් කරන මේ ආත්මය සමිපුර්ණ පවිත්‍රත්වයට පැමණි පසු එහි මුල වු බ්‍රහ්මන් හට හෙවත් පරමාත්මයා හට එක්වෙයි. සිතිවිලි සිතන්නෙත් වේදනා විදින්නෙත් මේ මිනිසා තුළ පවතින  ආත්මයයි.

       බුදු දහම නිත්‍ය සදාකාලික ආත්මයක් නොපිළිගනි. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙම ආත්ම සංක්පය මාන:කල්පිත මිත්‍යා විශ්වාශයක් බවයි. මම ය මාගේ ය යන අහිතකර හැගිම් ද තෘෂ්ණාව , මානය,රාගය, ද්වේශය, අහංකාරයවැනි සියලු ක්ලෙෂයන් ද උපදින්නෙ මේ ආත්ම දෘෂිටිය නිසා ය. එබැවින් බුදු සමය එවැනි ආත්ම දෘෂ්ටියක් නොපිළිගන්නා අතර එය ප්‍රතික්ෂේප කරයි.

      මට හිතෙන්නෙ ඔය පන්සිය පණස් ජාතක කතා, ආත්මයෙන් ආත්මයට පව් රැගෙන යාම. අපාය, දිව්‍යලෝක, බ්‍රහ්ම ලෝක ඔව්ව ඔක්කොම පස් සෙ කාලෙක එකතු කරපුව. එව්ව ඇවිල්ල බෞද්ධ ධර්මය නෙවෙයි බෞද්ධ සාහිත්‍යය...පෘථග්ජන උපාසක උපාසිකාවන්ට බෞද්ධාගම පිළිබඳ හැඟීමක් ඇතිකරවන්න, යහ මාර්ගයේ යවන්න හිතාගෙන නිර්මාණය කරපු සම්‍යක් ප්‍රයෝග...

      / අර යෝගිනිය තාම ඉන්නවද දන්නෑ නේද ? /

      ඇති, ඇති නැතිවෙන්න බෑ..:)

      පහුගිය ටිකේ මයෙ හිතවතියක් ඔය පැත්තෙ කරක් ගැහුව..උන්දැට මම කිව්ව ටිකක් හොයාබලපංය කියල...." අනේ නෑ බං එහෙම යෝගිණියක් ගැන ඒ පැත්තෙ මිනිස්සු කිසි කෙනෙක් මොකවත්ම දන්නෙ නෑ..එවුං හිතුවෙ මට පිස්සුය කියල.." ඔන්න උන්දැ ඒ හොයා බැලිල්ලෙං පස් සෙ මට කියාපු හරිය ..:)

      Delete
    2. ඕකෙ වැඩේ මට හිතෙන්නෙ අපි දන්නෑනෙ කොහොමද තීරණය වෙලා තියෙන්නෙ කියන එක. ඉතින් හැමතිස්සෙම අපි වඩා හොඳ දේටම උත්සහා කරනවා. සමහරු නිකන්ම වගේ ඉඳලා මහ ඉහලින් විභාග පාස් වෙන්නෙත්, සමහරු මැරීගන පාඩම් කළත් ෆේල් වෙන්නෙත්, ඕක හින්දා වෙන්න බැරිද ? හැබැයි ඉතින් උත්සහවන්තයාට සියල්ල වෙනස් කරන්න පුළුවන්.. ඒත් එහෙම වෙනස් කෙරුවත් ඒ වෙනසත් තීරණය වෙලා තියෙන්න ඕනා.. නැත්නම් කොච්චර උත්සහා කළත් ගඟට ඉනි තමා..

      >> අනාගතයෙන් කියමු තව අවුරුදු පන්සීයකින් කියල වර්ෂ 2500 න් කවුරු හරි අතීතයට ඇවිල්ල යම් සිද්ධියක් වෙනස් කලාය කියමු. <<

      එහෙම අනාගතයෙන් පැමිණීමත් කලින්ම තීරණය වෙලා තියෙන්න වෙනවා නේද එතකොට ? එයා අතීතයට ( වර්තමානයට ) ඇවිත් කරන දේත්, ඒකෙ ප්‍රතිපලෙත් තීරණය වෙලා ඉවරයි... හැක් හැක්.. මේකනම් සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් රවී අයියේ... :D

      සබැඳියට තුති. හිමීට කියවන්න ඕනා..

      >> බුදු දහම නිත්‍ය සදාකාලික ආත්මයක් නොපිළිගනි. බුදුරජාණන් වහන්සේ වදාළේ මෙම ආත්ම සංක්පය මාන:කල්පිත මිත්‍යා විශ්වාශයක් බවයි. මම ය මාගේ ය යන අහිතකර හැගිම් ද තෘෂ්ණාව , මානය,රාගය, ද්වේශය, අහංකාරයවැනි සියලු ක්ලෙෂයන් ද උපදින්නෙ මේ ආත්ම දෘෂිටිය නිසා ය. එබැවින් බුදු සමය එවැනි ආත්ම දෘෂ්ටියක් නොපිළිගන්නා අතර එය ප්‍රතික්ෂේප කරයි. <<

      දැන්නම් හොඳටම පැටලිලා ඉන්නෙ. ඒක එහෙමනම් ;

      1. චුති චිත්තය මත හට ගන්නා ප්‍රතිසන්ධිය මොකක්ද ? ඒක ඊලඟ භවය/ආත්මය නෙමේද ?

      2. මේ භවයෙන් සියල්ල ඉවරනම්, නිවන් දකින්න වෙහෙසෙන්න ඕනා නෑනෙ. නිකම්ම ඔක්කොම ඉවරනෙ.

      අර වැඩේ බාර දීපු උන්දෑ වැඩේ හරියට කොරලා නෑ කියලා තමා මටත් හිතෙන්නෙ. එහෙම නැත්නම් එයාටත් යෝගිනියව හම්බෙලා සාත්තරයක් කිව්වද දන්නෑ.. :D

      Delete
    3. සෙන්නා,

      / ඒත් එහෙම වෙනස් කෙරුවත් ඒ වෙනසත් තීරණය වෙලා තියෙන්න ඕනා.. නැත්නම් කොච්චර උත්සහා කළත් ගඟට ඉනි තමා.. /

      ඔබ හරි කියලයි මට හිතෙන්නෙ මලේ...:)

      මෙහෙම හිතමු...මොකක්ද තීරණය වෙල තියෙන්නෙ කියල අපි නොදන්න නිසාම උපරිම උත්සාහ කරල බලන්නයි තියෙන්නෙ. එහෙම කරල සාර්ථක ප්‍රතිපලයක් ලැබුණොත් අන්න ඒකයි කලින්ම තීරණය වෙල තියෙන්නෙ..එහෙම උත්සාහ කරලත් අසාර්ථක උනොත් අන්න ඒකයි කලින්ම තීරණය වෙල තියෙන්නෙ...තේරුණාය බොට?

      / එහෙම අනාගතයෙන් පැමිණීමත් කලින්ම තීරණය වෙලා තියෙන්න වෙනවා නේද එතකොට ? එයා අතීතයට ( වර්තමානයට ) ඇවිත් කරන දේත්, ඒකෙ ප්‍රතිපලෙත් තීරණය වෙලා ඉවරයි... හැක් හැක්.. මේකනම් සෑහෙන බොන්න වෙන ප්‍රශ්ණයක් රවී අයියේ... :D /

      එහෙනං, එහෙනං,... බොන්න වෙනවා, බොන්න වෙනවා, අනිවා, අනිවා...මට ඔව්ව හිතෙන්නෙම යම් පමණකට ක්‍රියාකරල චිත්ත විසංවාදී කියන මනෝ භාවයට ලඟා උනහම තමයි. ඒ උත්තරීතර මනෝ භාවයට ලඟා වෙන්න වඩාත්ම උචිත වනුයේ පුෂ්පයන්ය...හෙහ්, හෙහ්,

      රයිට් දැං උඹ ඔය කමෙන්ට් එක ලියපු එකත් මම මෙහෙම උත්තරයක් ලියපු එකත් සෙන්නා කලින්ම තීරණය වෙලයි තියෙන්නෙ.අද ඊයෙක නෙවෙයි අවුරුදු බිලියන 14 කට ඉස්සෙල්ල මහා පිපුරුම සිද්ද වෙලා විශ්වය ඇරඹුනු දාමයි එහෙම තීරණය උනේ...කිව්වට විස්වාස කරපං ඔන්න මම ආය බොරුවක් මුසාවක් කියන්නෙ අර අහවල් දේකටද?

      / 1. චුති චිත්තය මත හට ගන්නා ප්‍රතිසන්ධිය මොකක්ද ? ඒක ඊලඟ භවය/ආත්මය නෙමේද ? /

      / 2. මේ භවයෙන් සියල්ල ඉවරනම්, නිවන් දකින්න වෙහෙසෙන්න ඕනා නෑනෙ. නිකම්ම ඔක්කොම ඉවරනෙ. /

      අර මම දුන්නු සබැඳියෙන් පිවිසෙන වෙබ් අඩවියෙ මෙහෙම තියනව මල්ලි..ඒ කියන්නෙ නිවන කියන්නෙ මේ ආත්මෙදිම ලබාගතහැකි/ ලබාගතයුතු දෙයක්....

      " මුල් බුදු සමයෙහි ඉගැන්වෙන මේ ආත්ම ශුන්‍යතාව වැඩි දුරටත් විස්තර කරන බුද්ධඝෝෂ අචාර්ය පාදයන් වහන්සේ විසුද්ධි මාර්ගයෙහි දී එය දෙසාලිස් ආකාරයකින් වටහා ගන්නා අන්දම පෙන්වා දෙති. දැව, වැල,මැටි තණ  ආදිය නිසා වැසුණු අවකාශය අගාරය යයි (ගෙය යයි) කියනු ලැබේ. එසේ ම ඇට, නහර,මස්,සමි නිසා වැසුණු අවකාශ රූප (ශරීරය) යයි කියනු ලැබේ. ඒ හැර භවයෙන් භවයට යව සත්ත්වයෙක් නැත. රෝද ආදි අංග එක් වු කල්හි රථය යයි කියනු ලැබේ. එසේ ස්කන්ධ ධර්ම පහ එක් වු කල්හි සත්ත්වයා යන ප්‍රඥප්තිය ඇතිවේ. ඇත්තේ ස්කන්ධ පමණක් බවත්, ඒ තුළ ආත්මයක් හෝ ආත්මය සමිබන්ධ වුවත් හෝ විද්‍යාමාන නොවේ යයි එහි විස්තර කොට ඇත. අනාත්ම දර්ශනය බුදු දහමෙ ගැඹුරැම ඉගැන්විමයි. නිවන් දැකීම යනු ද මෙ සත්‍ය වටහා ගැනිමයි. එහෙත් එය එතරමි පහසු කාර්යක් නොවේ. ආත්ම දෘෂ්ටිය හා සමිබන්ධ “මම වෙමී” යන මේ සියුමි හැගීම සෝවාන් ආර්ය මාර්ගයෙහි මුල් අවස්ථාවල සිටින ආර්ය ශ්‍රාවකයා තුළ ද ඇත. එහෙත් ආරය මාර්ගයෙ උසස් අවස්ථාවන්ට පත් ව ක්‍රමයෙන් “මම වෙමී”යන හැගීම නැති වී යයි.
      "

      දාර්ශනික වශයෙන් සලකා බලන විට අනිත්‍ය, දු:ඛ, අනාත්මයන ත්‍රිලක්ෂණය පිළබදව විදර්ශනා ඥානයෙන් ඇති කර ගන්නා වු අවබෝධ යනු නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ ක‍ර ගැනිමයි. එම අවබෝධය නිසා ම නාම රූප ධර්මයන්හි නො ඇලෙයි. ඒ පිළබදව පැහති තෘණාව දුරැ වෙයි. තෘෂ්ණාව මුලු මනින්ම දුරැ වු කල් හි මතු භවයෙහි නාම රූප ධර්මයන් හට නොනගී. මෙසේ විමෙන් දුකින් මිදිම සිදු වෙයි.

      පහත දැක්වෙන දේශනා පාඨ වලින් එම කරුණ වඩාත් පැහැදිලි වනු ඇත. 

       සබිබේ සංඛාරා අනිචිචාති- යදා පඤ්ඤාය පස්සති 
       අථ නිබිබන්දති දුක්ඛෙ- ඒස මග්ගෝ විසුද්ධියා

      (සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි යමි කලෙක විදසුන් නුවණින් දක්නේ ද එකල් හි නාම රූප ධර්ම සංඛ්‍යාත දුකෙහි කලකිරෙයි . මෙම කලකිරිම විසුද්ධියට , නිවනට මගයි. )

      සබිබේ සංඛාරා දුකඛාති - යදා පඤ්ඤාය පස්සති
      අථ නිබිබින්දති දුක්ඛෙ  - එස මග්ගෝ විසුද්ධියා

      (සියලු සංස්කාර දුක යයි යමි කලක විදසුන් නුවණින් දක්නේ ද එකල්හි නාම රූප ධර්ම සංඛ්‍යාත දුකෙහි කලකිරෙයි. මෙම කලකිරිම විසුද්ධියට , නිවනට මගයි.)

      සබිබේ ධමිමා අනත්තානි - යදා පඤ්ඤාය පස්සති
      අථ නිබිබින්දති දුක්ඛෙ       - එස මග්ගෝ විසුද්ධියා

      (පංචස්කන්ධය ආදි සියලු ධර්මයෝ අනාත්ම යයියමි කලෙක විදසුන්  නුවණින් දකින්නේ ද එකල් හි සසර දුකෙහි කල කිරෙයි. මෙම කලකිරිම විසුද්ධියට හෙවත් නිවනට මගයි.)

      Delete
  4. waiting for the next episode... :-)

    ReplyDelete
  5. දිගට ම ලියමු....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි....:)

      Delete
  6. අනේ දෙයියනේ..රවී.. ඔය ලොකු පැටලිල්ලක ඉන්නේ..
    බුදු දහමේ කවදාවත් කියලා නෑ.. මේ අපේ ආත්මය මේ ජිවිත කාලෙන් ඉවරයි කියලා..
    දෙන ඔය හිතයි.." අනේ ඔයා දන්න කෙන්ගෙඩිය " කියලා.. කමක්නෑ එහෙම හිතුවට.. මේ ටිකත් කියවන්නකෝ...
    එදා භාරත සමාජේ තිබුණ බමුණු ඉගැන්වීම් වල කියලා දුන්නේ 1. අපිට හැමදාම තියෙන ආත්මයක් (ජිවිතයක්)කියලා තියෙනවා.. අනික 2. එහෙම හැම දාම ආත්මයක් (ජිවිතයක්) නෑ.. මේ ආත්ම භවයෙන්ම අපේ ජිවිතේ ඉවරයි කියලා.. කියන දෙක. එයාලා එතැනදී "ආත්මය" කියල ගත්තේ මේ ජීවිතය කියන එක.
    ඒත් බුදු දහමේ "ආත්ම" කියන වචනයේ තේරුම"ජීවිතය" නෙවේ..
    අනික රවී.. // අර මම දුන්නු සබැඳියෙන් පිවිසෙන වෙබ් අඩවියෙ මෙහෙම තියනව මල්ලි..ඒ කියන්නෙ නිවන කියන්නෙ මේ ආත්මෙදිම ලබාගතහැකි/ ලබාගතයුතු දෙයක්....//
    ඔයා මෙතැනදී කිවූවේ නිවන කියන්නේ මේ ජීවිතේදී ලබාගන්න පුළුවන් කියන එකද..??
    එක අදාල වෙන්නේ බුදුවරයෙකුට හෝ රහතන් වහන්සේලාට විතරයි..
    මොකද නිවන අවස්ථා 2කින් යුක්තයි..
    1. සඋපදිසෙස නිබ්බාන = ජීවත්ව සිටියදී ලබන නිවන ( ඒ කියන්නේ කෙලෙස් ප්‍රහින කර පසු ලබන නිවන)
    2. අනුපදිසෙස නිබ්බාන = පිරිනිවන් පෑ පසු ලබන නිවන
    ඔයා අර සෙන්නාට දාලා තියෙන ලින්ක් එකෙන් මමත් බැලුවා.. ඒත් එකේ ගොඩක් ගැඹුරු දහම් කොටස් නිකන් උඩින් ඇත ගාලා විතරයි.. ඒකෙන් වෙන්නේ කියවන අය වැරදියට තේරුම් ගන්න එක..
    තරහ වෙන්න එපා හොඳේ.. දන්න ටිකක් ලියන්න හිතුනා.. :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      / අනේ දෙයියනේ..රවී.. ඔය ලොකු පැටලිල්ලක ඉන්නේ.. /
      / බුදු දහමේ කවදාවත් කියලා නෑ.. මේ අපේ ආත්මය මේ ජිවිත කාලෙන් ඉවරයි කියලා.. /
      / දෙන ඔය හිතයි.." අනේ ඔයා දන්න කෙන්ගෙඩිය " කියලා.. කමක්නෑ එහෙම හිතුවට.. මේ ටිකත් කියවන්නකෝ… /

      අපොයි නෑ..සඳා....මම කිසිදවසක එහෙම හිතන්නෙ නෑ අනේ ඔයා දන්න කෙංගෙඩියක් නෑ කියල....මම බොහොම විවෘත මනසකින් යුතු පුද්ගලයෙක්..මෙහෙම කියන එක පුරාජේරුවක් වගෙ පේන්නත් පුලුවන් සමහරවිට..ඒත් ඒක තමයි ඇත්ත..මම ඕනම වෙලාවක ලෑස්තියි මගෙ වරදක් පෙන්වල දෙනවනම් ඒ වගේම ඒ වරදක්ය කියල හේතු සාධක සහිතව ඔප්පු කරනව නම් ඒ වරද හදා ගන්ට එහෙම නැත්නම් මගෙ අදහස් වෙනස් කරගන්ට..ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ...

      ඔබ යන මඟ වැරදියි කියා ඔබටම සිතේනම් ඔබ කොපමණ දුරක් ගමන් කර තිබුණද ආපසු හැරෙන්නට කිසි විට බිය වන්නට එපා..මෙහෙම කිව්වෙ මට මතක විදිහට මහත්මා ගාන්ධි......

      බෞද්ධ දර්ශනය ගැන මම ඇත්තම කිව්වොත් ගැඹුරින් හදාරල නැහැ. ඒත් මම කියවපු දේවල් වලින් මගෙ තියනව යම් අදහසක් බුද්ධාගම ගැනත් ඒ වගේම බුදු හාමුදුරුවො ගැනත්...සඳා කියවල තියනවද ජයසේන ජයකොඩි මහත්මයගෙ අමා වැස්ස සහ ගෝතම ගීතය යන පොත් දෙක...සිද්ධාර්ථ ගෞතම චරිතය අලලා ලියවුනු මගෙ අදහසේ හැටියට ඉතාම සාර්ථක පොත් දෙකක්...එහි විස්තර වන්නෙ බුදු හාමුදුරුවො කියන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්..එහෙත් අසාමාන්‍ය ගතිගුණ සහ හැකියාවන්ගෙන් යුතු......

      මගේ අවංක අදහසේ හැටියට බුදු හාමුදුරුවො සහ බුද්ධාගම කියන්නෙ ජයසේන ජයකොඩි මහත්මය විස්තර කරපු විදිහටයි. ඒ කියන්නෙ ආත්මය කියන්නෙ මේ ජීවිතයෙන් ඉවරයි....

      මම අර සෙන්නට දුන්නු සබැඳියෙන් පිවිසෙන අඩවියෙ තියෙන කරුණු වැරදි වෙන්න පුළුවන්. ඔව්ව ලියන්නෙත් පෘථග්ජන මිනිස්සුනෙ. අපි හැමෝටම වැරදීම් වෙන්න පුළුවන්.අනික දෙකයි දෙකයි හතරයි කියල ස්ථිරවම කියනව වගෙ ජීවිතය, ආත්මය, නිවන වගෙ දේවල් ගැන ස්ථිරවම කියන්න බැහැ කියලයි මගෙ අදහස. අපි දහදෙනෙක් ගත්තොත් අදහස් දහයක්...ස්තූතියි සඳා ඔබගේ අදහස් දැක්වීමට....මට ඇත්තටම සතුටක් ඔබ මේ පිළිබඳව මෙතරම් උනන්දුවීම පිළිබඳව....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...