කිරුළ සහ සෙනෙහස…..1
රාජ සභාව රැස්වන සන්නිපාත ශාලාව පිහිටි පිටි නුවර ගොඩනැඟිලි සංකීර්ණයට මඳක් ඔබ්බෙන් එහෙත් තැනින් තැන් සම දුරින් දැල්වුණු කැකුණ තෙල් පහනින් ආලෝකමත් වූ පියවර එක්සිය සතලිසක් පමණ දිගු පටු වරංඩයෙකින් වහා පිවිසිය හැකිවූ කුඩා ප්‍රවේශ ශාලාවෙකින් ඔබ්බෙහි වූයේ රාෂ්ට්‍ර පාලක උදෙසාම වෙන්වූ නිදන මැදිරි, ආලින්ද බරාඳ සහ මැද මිදුල් වලින් යුතු වාස භවනයයි.
වරංඩය ඔස්සේ විජය ගමන්කලේ යුහුව වුවද ස්ථිර සාර පියවරිනි. සති කිහිපයක්...නැත මාස ගණනක් මුළුල්ලේ සිතට වදදුන් අවිනිශ්චිතතාවයකට දෙගිඩියාවකට ස්ථිරව විසඳුමකට එලඹි කල්හි සිත අභ්‍යන්තරයේ ගැඹුරෙහිම ඉපිද සිත පමණක් නොව ගත ද සනහාලමින් පැතිරයන ආශ්වාදයක සුමියුරු සුව පහස විඳිමින් ඔහු ගමන් කලේ සැහැල්ලු පියවරිනි. වරංඩය දෙපස රළු බිත්තියට පිටුපා තියුණු තුඩගින් යුතු විලක්කු ආලෝකයෙන් දිදුලන හෙලි සහ තෝමර දැරූ අංගාරක්ෂකයින් ඔහු පසුකරයනවිට තම සුරත් වම් පපුව මත තබා කල උත්තමාචාරයට විජය ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් දෑස දෙස එක එල්ලේ මොහොතක් බලා සිට මඳ සිනහවක් ද සමඟ හිස සැලීමකිනි.
විජයගේ පෞද්ගලික අංගාරක්ෂකයින් වූ ඔවුහු උපතිස්සයන් විසින් බොහෝ ප්‍රවේශමෙන් තෝරාගන්නා ලද්දාහු ඉතාමත් විශ්වාස කටයුතු එමෙන්ම මනා ලෙස ආයුධ සහිත මෙන්ම ආයුධ රහිත සටනෙහිද පරිචයක් ඇත්තෝ වූහ. අභ්‍යන්තර බල අරගල කැළඹිලි ගහන මෙවන් අවිනිශ්චිත කාල වකවානුවක මෙවන් විශ්වාසනීය සේනාංකයක අත්‍යන්ත වැදගත් කම වචනයෙන් කිව නොහැකි තරම් බව විජය මනා කොට දත්තේය.
නිරායුධ සටන් කලාව ඔවුන් ප්‍රගුණ කලේ ලක්දිවට පැමිණි පසුය. විජයගේ නිජබිම වූ බෙංගාලයෙහි ප්‍රචලිත නොවුනු එහි සමාරම්භකයෝ මෙන්ම හසල දැනුමැත්තෝ ද ලක්දිව යක්ඛ ගෝත්‍රිකයෝ වූහ.තම්මැන්නාපුර ප්‍රාදේශීය පාලක තනතුර හෙබවූ වාසුගී නම් යක්ඛ ගෝත්‍රික ප්‍රභූවරයාගේ එකම දියණිය වූ කුවණ්ණා ද යාන්තමට බහ තෝරන වියෙහි ඇද නොවැටී පිය නඟන්නට සමත්වූ වහාම තම පියාණන් පා සෙවණෙහි ඒ ශිල්පය මනාව උගත්තී නව යොවුන් වියට එළඹෙන කල්හි එමතුදු නොව සන්නද්ධ යුද සරඹයන්හිද මනා නිපුණත්වයක් පෑවාය.
තම්මැන්නාව යනු ලක්දිවෙහි වයඹ දිග කෙලවරෙහි ජම්බුද්වීපය හා ඉතාම ආසන්නව නොගැඹුරු එමෙන්ම වසරේ බහුතර කාලයක් නිසල මුහුදු තීරයෙහි පිහිටි එපමණ ජනාකීර්ණ නොවූ නගරයකි.උත්තර ලංකාද්වීපයෙහි මතු නොව දකුණේ ප්‍රත්‍යාන්ත ගම් නියම්ගම් වලින් පවා ශක්ති සම්පන්න ගවයින් බැඳි ගැල් සිය දහස් ගණනින් වසර පුරා තම්මැන්නාව කරා ඇදුනේ ඒ එකල ලක්දිව විදේශයන් හා සමඟ වෙළඳාම් කටයුතු සිදුකල එකම මධ්‍යස්ථානය වූ බැවිනි.
තම්මැන්නාවේ ප්‍රාදේශීය පාලක වරයා යනු ලංකා රාජ්‍යය වෙනුවෙන් තම්මැන්නාපුර වරායෙන් අපනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ සඳහා අය විය යුතු බදු අයකරගන්නා ප්‍රධාන බලධරයා ද විය.
එදවස ලක් රජයට ආදායම් ලැබුනු ප්‍රධාන මාර්ගය තම්මැන්නාවෙන් ලැබුනු සුංගම් වීය. අවරදිග පාරාවෝවරුන්ගේ දේශයෙහි එනම් මිසරයෙහි සිට ඈත පෙරදිග චීනය බලා ඔලීව් තෙල්, සුවඳ කපුරු, විසිතුරු කැටයම් කල අවි ආයුධ ආදිය රැගෙන යාත්‍රා කල පියවර හාරසියයකට නොඅඩු දිගකින් යුක්තවූ පැතිරුනු මහත් රුවලින් යුතු මහා නෞකාවෝ තම්බපණ්ණි වරායෙහි දින කිහිපයක් නතරව අරාබි මුහුද හරහා සතියක් පමණ කල යාත්‍රාවෙහිදී සිඳීගිය වියළි ආහාර සහ පානීය ජලය ගබඩා යලි පුරවා ගත්හ.
එළෙසම ලක්දිව එකල ඈත පෙරදිග චීනයෙහි පටන් අවරදිග යවන දේශය දක්වා ප්‍රකට වූයේ අගනා මුතු මැණික් සහ අලි ඇතුන් උපදිනා භූමියක් විලසිනි.කාර්තේජයෙහි අසහාය පාලකයා වූ හැනිබාලුන් රෝමයට එදිරිව කල ජයග්‍රාහී සංග්‍රාම වලදී ඇල්ප්ස් කඳුවැටිය තරණය කොට රෝමානුවන් සංත්‍රාසයට පත් කිරීමට යොදාගත් යුද ඇතුන් බහුතරයක් ලක්දිව තම්බපණ්ණියෙන් අපනයනය කලෝ වූහ.
අගනුවර සිරීසවත්ථු පුරයෙන් උපතිස්ස නුවරටද ඉක්බිති අනුරාධපුරයටද වෙනස් වූ නමුදු ශත වර්ෂ පහකට ආසන්න කාලයකට පසු මාන්තොට ලක්දිව ප්‍රධාන වරාය ලෙස පිළිගැනෙන තෙක් තම්බපණ්ණිය එකම වෙලඳ මධ්‍යස්ථානය ලෙස තම ස්ථානය රැකගත්තී අනායාසයෙනි.
මිසරයෝද, අරාබීහුද, සිරියානුවෝද, අවකන්නුද, පර්සියානුවෝද චීන්නුද වන් එදවස සත් සමුදුර තරණය කල සියලුම ජාතීන්ට අයත් නාවිකයෝ තම වෙළඳ බඩු භාරදියයුතු නියමිත වරායන් කරා ළඟාවීමට සුදුසු වෙලඳ සුළං හමනා තෙක් තම්බපණ්ණියෙහි විවේක සුවයෙන් පසුවූවෝය. සුකර වූ සුළඟ ඇරඹුනු වහාම රුවල් නංවා යතුරනු රිසිවූ හෙයින් ඔවුහු වරායෙන් බොහෝ සේ බැහැරව යාමෙහි මැළි වූවෝය.
මේ අතර කිසිවකුත් නොදන්නා බසක් කතාකල වස්සාන සමය ගෙවීගොස් සැඩහිරු බබලන නිල්වන් අහස්කුස වන් නිල්පැහැති දෙනයනෙන් සහ සැඳෑ කල අස්තගතවන මලහිරුගේ රත්වන් පැහැයෙන් යුතු කෙස්සෙන්ද යුත් එලෙසම පැහැපත් සමකින් යුතුවූ ආරෝහ පරිනාහ දේහයෙන් යුක්ත වූ නැවියෝද නොවූයේම නොවේ.
නියමිත දිශාවට හමනා සුළඟ බලාපොරොත්තුවෙන් නැවියන්හට වරාය අසලම රැඳී සිරීමට බලකරනු ලැබූයෙන් ඔවුනගේ සහසක් අවශ්‍යතාවන් මෙන්ම රුචි අරුචිකම් පියැවීම් වෙනුවෙන්ම කැපවුනු වෙලඳ පුරවරයක් තම්බපණ්ණි වරාය අවට බිහිවිය.රටතුලට පියවර දෙදහසකට ආසන්න දුරක් කාවැදුනු කලපුවක් වන් ආරක්ෂිත වරායට වයඹ දෙසින් පිහිටි අර්ධ කවාකාර හිරිගල් පරයක් ස්වාභාවික දිය කඩනයක්සේ ක්‍රියාකරමින් ආරක්ෂාව සැපයීය. අව අටවක අහසේ තල් ගස් කරටි ඉහලින් පායන අඩ සඳක හැඩය ගත් තම්බපණ්ණි වරායෙහි දකුණු අන්තයෙන් ඔබ්බට සමුද්‍ර තීරය ඔස්සේ වෙළඳ නගරය පිහිටියේය.
හුදෙක් භාණ්ඩ ගොඩබෑමේ සහ පැටවීමේ පහසුව උදෙසාම කටුක ලවණාධික මුහුදු ජලයට සෑහෙන පමණ කාලයක් ඔරොත්තු දෙන කුඹුක්, වෑවරණ, කිරිඳිය වන් වනස්පතීන්ගේ පිටපළු වලින් නිමැවුනු දොළොසක් පමණවූ තොටමුණු ( Jetty ) සහ වියළි තල් අතු සෙවිල්ලා වරිච්චි බිත්තියෙන් හාත්පස අවුරා නිමැවුනු ගුදම් සහ ගබඩාවන් වරාය ආසන්නයේම ඉඳිකොට තිබිණි. ඒ හැර නොයෙක් විසිතුරු භාණ්ඩ වෙළඳාමෙහි යෙදෙන සල්පිල්, එමෙන්ම රෙදිපිළි සහ විවිධ ආයුධ වෙළඳ සැල්, ආහාර පාන මිළඳී ගත හැකි බොජුන් හල් සහ සුරාසැල් හැරුණු විට වරාය නගරයක අත්‍යාවශ්‍ය අංගයක් වූ පුරඟනන් වෙසෙනා කුඩා කුටි රාශියකින් ද තම්බපණ්ණී වෙළඳ නගරය සමන්විත වූයේය.
ආයාත සහ නිර්යාත කෙරෙන භාණ්ඩ පිළිබඳව සටහනක් නඩත්තු කිරීම, ඒ ඒ භාණ්ඩ වර්ගය සහ ප්‍රමාණය අනුව නියමිත බදු අය කිරීම , වෙළඳ නගරයේ සල්පිල් සහ බොජුන් හල වලින් අයවිය යුතු බිම්බදු අය කිරීම මෙන්ම වෙළෙඳුන් සහ නගර වැසියන් අතර බොහෝ විටද වෙළෙඳුන් සහ වෙළෙඳුන් අතර කලාතුරකින්ද හට ගන්නා ආරවුල් ලක්දිවෙහි සම්මත නීතිය අනුව විසඳා යුක්තිය පිරිසිඳලීම සහ නීතිය කඩකලවුන්ට නියමිත දඬුවම් පැමිණවීමද රාෂ්ට්‍ර පාලකයාගේ පූර්ණ බලැති නියෝජිත ලෙස තම්බපණ්ණියෙහි ප්‍රාදේශීය පාලක තැනගේ වගකීම් සහ රාජකාරීන් අතර වූයේය.
ඒ අනුව මේ භාරදූර වගකීම නිරත්තරයෙන් දරණු ලැබූයේ රාෂ්ට්‍රපාලකයාගේ ඉතාම විශ්වාසවන්තයකු විසිනි. ඒ සම්ප්‍රදාය අනුවම මෙදවස ඒ තනතුර දැරූ වාසුගී යනු ලක්දිව රාෂ්ට්‍ර පාලකයාගේ මල් බෑයාය.
වසරකට තුන් වරක් පමණ තම්බපණ්ණියෙහි කටයුතු පිළිබඳ වාර්තා කිරීම, බදු ලේඛන සහ අයකොටගත් මුදල් සහ බදුවශයෙන් ලබාගත් භාණ්ඩ රජ භාණ්ඩාගාරයට භාරදීම උදෙසා වාසුගී ආයුධ සන්නද්ධ සේනාංකයක්ද කැටුව අගනුවරවූ සිරීසවත්ථු පුරය බලා පිටත් වන සම්ප්‍රදායක් පැවතුනි. මෙවර එම කාර්යය උදෙසා ඔහු පිටත්ව ගියේ දින තුනකට පෙර හිමිදිරියේය. මේ සම්පූර්ණ ගමනට දළ වශයෙන් දින අටළොසක් පමණ ගතවේ. ඒ කාලය තුල තම්බ පණ්ණියෙහි සියළු පාලන කටයුතු සිදු වූයේ කුවණ්ණාවන් අතිනි.
වෙලඳ නගරයෙහි ඝෝෂාව ප්‍රාදේශීය පාලක ප්‍රාසාදයට ඇසුණේ වරින් වරය.ඉන්දීය සාගරය සිසාරා හමා එන සුළඟේ දිශාව වෙනස් වීමේ ප්‍රවනතාව අනුව වරෙක සිහින් මිමිනීමක් බවට පත්වන ඒ වරෙක ඝෝෂාවක් බවට පත්වෙයි. නගරයෙන් මඳක් දුරස්ථව ඉදිවී තිබුණු ප්‍රාසාදයෙහි පිටි අංගනයෙහි කෙටි සළුවක් ඒකාංශ කොට හැඳි කුවණ්ණාවෝ කඩු සරඹ පුහුණු වෙමින් උන්නීය. කුඩා අවධියේ සිටම සටන් කලාවන් මනාව ප්‍රගුණ කොට සිටි ඇයගේ සුනම්‍ය දේහය වරෙක දුනුදිය මුදාලූ කලෙක පරිදි එකලාව හැරෙමින් කරකැවෙමින් යලි දිග හැරෙමින් වරෙක දිළිසෙන කඩුපත හිසවටා කරකවමින් වරෙක උරහිස මතින් අර්ධ චක්‍රාකාරව විදුලියක් මෙන් ලෙල දෙවමින් සරඹ අභ්‍යාසයෙහි යෙදුනී කිසිදු වෙහෙසකින් හෝ ආයාසයකින් තොරවය.
සමුදුර නිරතුරු නැඟෙන රැලි රත් පැහැගන්වමින් හිරු අවරදිගින් බැසයාමට ඉතා ආසන්නවූ බැවින් කුවණ්ණා සටන් අභ්‍යාස කරමින් හුන් පිටි අංගනය අඳුරේ ගිලීයන්නට ආරම්භ වෙමින් පැවතුනි. අංගනය පරිධියෙහි වූ කෙටි පවුර මත දැල්වූ විලක්කු රඳවමින් හුන් සේවිකාවක එක්වරම කාර්ය්‍ය නතරකොට කර ඔසවා බැලූයේ ප්‍රාසාදයට පිවිසෙන ප්‍රවේශ මාර්ගය දෙසින් කිසිවකු මහ හඬින් කතාකරනා ශබ්දයක් කණ වැකුනු හෙයිනි.
කුවණ්ණාවෝද සරඹ මඳකට නතර කලේ ඒ හඬ පැමිණි දිශාව දෙසට තම අවධානය යොමු කළාය.
" කුමරියනි..මට අවසරද?..."
මඳ අඳුරේ මුහුණුවර හඳුනාගත නොහැකි වුවද කට හඬින් කුවණ්ණා ඔහු වහා හැඳින ගත්තීය.
" ගුත්තික ඔබට අවසරයි..ඉදිරියට පැමිණෙනු මැන. "
ගුත්තික යනු නගරාරක්ෂක සේනාංකයෙහි උප ප්‍රධානියාය. නගරාරක්ෂක ප්‍රධානියා වාසුගී සමඟ සිරීසවත්ථු පුරය බලා පිටත්ව ගිය බැවින් නගරාරක්ෂාවෙහි මෙන්ම සාමය රැකීමෙහිද සම්පූර්ණ වගකීම පැවරී තිබුණේ ගුත්තිකගේ කරමතය.
" ඔව් ගුත්තික කියන්න. කිසියම් ප්‍රශ්නයක්ද?...."
කඩුපත කොපුවේ ලා අසලවූ ආධාරකයක් මත රඳවමින් ගුත්තික ඉදිරියට ආ කුවණ්ණා මඳ සිහවක් පාමින් ඔහු දිරිමත් කළාය.
" එසේය කුමරියනි...අද හිරු හැරී හෝරාවකින් පමණ බෙංගාලයෙන් පැමිණි නෞකාවක් වරායෙහි නැංගුරම් ලෑවා. ඉන් පැමිණි නාවිකයින් සත්සියයක පමණ පිරිසක් නගරයෙහි කලහකාරී ලෙස අනෙකුත් වෙළෙඳුන්ට සහ නගර වාසීනට මහත් හිරිහැරයක් වන පරිදි හැසිරෙනවා.ඒ බව ඔබ තුමියට දැනුම් දීමට සහ ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව උපදෙස් ලබා ගැනීමටයි මා මෙහි පැමිණියේ... "
නගරාරක්ෂක සේනාංකයෙගි පිරිස් බලය පිළිබඳව හොඳින් දැන සිටියද කුවණ්ණා යලි ගුත්තික අමතා ප්‍රශ්න කලාය.
" ගුත්තික අපේ සේනාංකයෙහි සම්පූර්ණ භටයින් සංඛ්‍යාව කොපමණද? "
" සක්‍රිය රාජකාරියෙහි යෙදී සිටිනුයේ සියයක් පමණි. විවේක සුවයෙන් පසුවන්නන් ද සේවයට කැඳවුවහොත් ඒත් ඒ උපරිම භටයින් දෙසිය පණහක් පමණයි කුමරියනි."
ගුත්තික හිස පහත් කොටගත් වනම තෙපලේය.
" මේ කළහකාරීන්...ඔවුන් බෙංගාලයෙන් පැමිණි බව ඔබ පැවසුවා..ඔවුන් වෙලඳාමට පැමිණියවුන්ද?....."
" ඔවුන් වෙළෙඳුන් බවක් පෙනීයන්නේ නැහැ කුමරියනි. එහෙත් ඔවුන් අත බොහෝ මුදල් ගැවසෙන බව නම් මට දැනගන්නට ලැබුණා. "
" හරි , තව එක ප්‍රශ්නයක්..ඔවුන් ආයුධ සන්නද්ධවද නගරයට පැමිණ සිටින්නේ?...
" බහුතරයක් නිරායුධයි..එහෙත් කිහිප දෙනෙක් කඩු සහ කිරිච්චි දරාසිටින බව සැලයි. "
හිස නවාගත්වනම කුවණ්ණා මඳ වේලාවක් සිතුවිල්ලෙහි නිමග්නව හුන්නාය. ඉනික්බිති හිස ඔසවා බැලූ ඕ කෙලින්ම ගුත්තිකගෙ දෑස් දෙස බලා පැහැදිලි සහ ස්ථිරසාර ස්වරයකින් කථා කලාය.
" ගුත්තික..... අවම බලය භාවිතා කොට ඔවුන් සියළු දෙනා අත් අඩංගුවට ගෙන දඟ ගෙයි ලන්න. ඔවුන් විරුද්ධ වුවහොත් වුවහොත් සුදුසු පරිදි කටයුතු කිරීමට මම ඔබට පූර්ණ බලතල දෙමි.බලමු හෙට හිරු උදාවතෙක් දඟ ගෙයි තැපීමෙන් පසුව වත් ඔවුන්ට විදේශයකදී ආගන්තුකයින් වශයෙන් හැසිරිය යුතු විධිමත් අන්දම සිහියට ඒදෝ කියා...."
කුවණ්නා සම දසන් දක්වා සුන්දර සිනහවක් පෑවාය.
මතු සම්බන්ධයි......
අපුරුම අඩවියක්නේ.... බොහොම ස්තුතියි මේ තොරතුරුවලට..
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
නලින්,
Deleteස්තූතියි නලින්...අඩේ මේ වැඩිය සීරියස් ගන්න එපා හොඳද?...මෙව්ව මේ මගෙ මනෝ විකාර විතරයි...හෙහ්, හෙහ්,
පුරා විද්‍යාත්මක සාධක ගැන බැලුවොත් මන්නාරමට පහලින් තියනව අරිප්පු කියල ස්ථානයක්. එතන කරපු කැණීම් වලින් විදේශ වෙලඳාමේ නිරතවුනු දියුණු වෙලඳ නගරයක් සහ වරායක් තිබ්බයි කියල සාධක හමුවෙලා තියනව.මට මතක විදිහට ආචාර්ය ශීරාන් දැරණියගල මහත්මයයි මේ කැණීම් කලේ.ඔය අරිප්පු කියන්නෙ තම්බපණ්ණිය කියලත් කියනව. අන්න ඒ සාධක මත පිහිටලයි මම මෙහෙම ලිව්වෙ..එච්චරයි...හෙහ්, හෙහ්,
මම කැමතියි මේකට..ඒ කියන්නෙ විජය එන්න කලින්ම ලංකාවෙ දියුණු ශිෂ්ඨාචාරයක් තිබිලා තියනවා..
ReplyDeleteතම්මැන්නාව තිබුනෙ නිරිතදිගද ? වයඹද ?
සෙන්නා,
Delete/ ඒ කියන්නෙ විජය එන්න කලින්ම ලංකාවෙ දියුණු ශිෂ්ඨාචාරයක් තිබිලා තියනවා /
ඔන්න ඔන්න ඉතිං උඹ ලෑස්ති වෙන්නෙ මාව අමාරුවෙ දාන්න..බොල මේක මේ මම හිතාපු එකක් විතරයි...ඇත්තටම මෙහෙම උනාද නැද්ද කියල සක්කරයගෙ පුතා වයිමා තමයි ඉතිං දන්නෙ...හෙහ්, හෙහ්,
/ තම්මැන්නාව තිබුනෙ නිරිතදිගද ? වයඹද ? /
බොහොම ස්තූතියි මලේ වරද පෙන්නල දුන්නට...නිවැරදි කලා ව.ක්‍රි. ප. ( වහාම ක්‍රියාත්මක වන පරිදි )
නෑ නෑ මම කතා කළේ කතාවට අනුකූලව විතරයි... වයිමටත් බැරිවෙය් මයෙ හිතේ.
Deleteආ මේ පටන් අරන් තියෙන්නෙ, මන් ඒත් එදා බැලුවා මේ ගොය්යා මේක කොටස් දෙකෙන් ඉවරකරය්ද කියල... මොන පිස්සුද දැන්නෙ පටන් අරන් තියෙන්නෙ,, මේකත් දෙය් අඩුගානෙ මාස දෙක තුනක්වත්..හැබය් අය්යෙ මේකටත් කැන්දන් එහෙම එන්න එපා ඔයාගෙ පූර්වජයො සෙට් එක..අන්තිමට විජය කොහෙ ගිහින් නවතීද දන්නෙ නෑ. කොහොම හරි කමක් නැ අපි පැවතෙන්නෙ විජගෙන් නෙමෙය් කියල ඔප්පු කරන්ඩ අප්ප..මට නම් ඔය අපි විජයගෙන් පැවතෙන කතාව අල්ලන්නෙම නෑ...
ReplyDeleteමම අද උදේ බාරෙකුත් උනා, අනේ මේකටනම් අර දඩයක්කාරයට වෙච්ච සන්තෑසියනම් වෙන්න දෙන්න ඵපා කියලා. :D
Deleteමෙකුවි සහ සෙන්නා,
Deleteබය නැතුව ඉඳපියව් බොලල්ලා...ආය දවල් වැටුන වලේ රෑ වැටෙන සිරිතකුත් තියනවද?...
මෙන්න මේවගේ ඉතිහාසය කාල් ගාන කතන්දර වලට මන් මනාපයි . දැන් නම් හොඳටම ෂුවර් නේද මහාවංශය ලිව්වේ කාගේ කවුද කියලා ..
ReplyDeleteලස්සනයි
ස්තූතියි බින්දි.....:)
Delete// මිසරයෝද, අරාබීහුද, සිරියානුවෝද, අවකන්නුද, පර්සියානුවෝද චීන්නුද වන් එදවස සත් සමුදුර තරණය කල සියලුම ජාතීන්ට අයත් නාවිකයෝ තම වෙළඳ බඩු භාරදියයුතු නියමිත වරායන් කරා ළඟාවීමට සුදුසු වෙලඳ සුළං හමනා තෙක් තම්බපණ්ණියෙහි විවේක සුවයෙන් පසුවූවෝය. සුකර වූ සුළඟ ඇරඹුනු වහාම රුවල් නංවා යතුරනු රිසිවූ හෙයින් ඔවුහු වරායෙන් බොහෝ සේ බැහැරව යාමෙහි මැළි වූවෝය. //
ReplyDeleteඋඹට කියන්ට රවියො, කතාවෙ මෙන්න මේ හරිය මං සිරාවටම රස වින්දා.. ඈත අතීතයේ පැවති, ඉතිහාසයේ වැළලී ගිය, අපි නොදන්නා මානව සම්බන්ධතා කොච්චර නම් ඇත්ද.?? කොච්චරක්නම් රසවත් කතා ඇත්ද.??
........................................................................
පහුගිය කාලෙ මං අන්තර්ජාලෙ පොඩි සර්ච් එකක් කලා.. බුදුහාමුදුරුවන්ගේ ජීවිත කාලය හා ඒ ආසන්න කාලයට සමාන්තර ලෝක ඉතිහාසය.. මෙන්න මට හම්බවෙච්චි ලැයිස්තුවෙන් පුංචි කොටසක්..
1. කාර්තේජය විසින් සිසිලය, සාර්ඩිනියාව හා කෝර්සිකාව යටත් කරගැනීම. මේ තමා කාර්තේජ් වෙළෙඳ අධිරාජ්‍යයේ ආරම්භක කාලය.
2. මහා සයිරස් විසින් බැබිලෝනියාව යටත් කරගැනීම හා එහි වහලුන් වශයෙන් රඳවාගෙන සිටි යුදෙවුවන්ට නිදහස ලබා දීම (මේ සීන් එක බයිබලයෙත් කියැවෙනවා.)
3. ස්කයිතියන් වරුන්ට එරෙහිව පර්සියාවේ ඩේරියස්ගෙ ජයග්‍රහණ
4. රෝම ජනරජය පිහිටුවීම
5. සෙන්පති සන් සූ (Sun Tzu) ගේ මෙහෙයවීම යටතේ චීනයේ Wu රාජධානියේ හමුදා ලබන ජයග්‍රහණ
6. කොන්ෆියුසියස් එතුමාගේ කොන්ෆියුසියන් වාදය දේශනා කිරීම.
7. මැරතන්හි යුද්ධයේදී ඇතීනියානු හමුදා විසින් ඩේරියස්ගේ පර්සියානු හමුදා පරාජය කිරීම.
මේ ඒ කාලයේ හිටිය ප්‍රසිද්ධ පුද්ගලයෝ..
ඉන්දියාවෙ- මහාවීර, පානිනි
බැබිලෝනියාවෙ- නෙබුකඩ්නසාර්
පර්සියාවෙ- මහා සයිරස්, ඩේරියස්, සවුරාස්ත්‍ර
චීනයේ- කොන්ෆියුසියස්, සන් සු, ලාඕත්සු
ග්‍රීසියේ- තේල්ස්, ඇනක්සිමැන්ඩර්, හෙරක්ලිටස්, ඊස්කිලස්, සොෆොක්ලිස්, හෙරඩෝටස්, යුරිපිඩීස්, පයිතගරස්
කොහොමද.?? පිස්සු හැදෙනවා නේද.??
උඹටත් හිතෙන ජාති ! ග්‍රීසියෙ දෙතුන් දෙනෙක් අැරුනම අනිත් අය ඔන්කොම මට අලුත්..
Deleteස්තූතියි බුරා මලේ,
Deleteමගෙ දෙවෙනි රස්සාව..දෙවෙනි කිව්වට දිග කාලයක් කල පලවෙනි රස්සාව..මොකද ඇත්තටම පලවෙනි රස්සාවෙ මම කලේ මාස තුනයි..ඒකත් පඩි රහිතව..එහෙම එකකට රස්සාව කියල කියන්ට පුළුවන්ද කියන එකත් මට ප්‍රශ්නයක්...හරි කොහොම හරි පඩියක් කියල කියල එකක් හම්බ වෙච්ච මගෙ පලවෙනි රස්සාව කියමුකො..ඒක ඔය අනුරාධපුරේ පුරා විද්‍යාව සම්බන්ධ ආයතනයක රැකියාවක්...අභයගිරිය තමයි මගෙ සේවා ස්ථානය..දන්නවනෙ ඉන්දියාවෙ නාලන්දා විශ්ව විද්යාලය තරමට දේශ දේශාන්තරවල සුප්‍රකට විශ්ව විද්යාලයක් අභයගිරියෙ පැවතුනා ක්‍රි. පූ. පළමුවන සියවසේ ඉඳල අවුරුදු දාහකට වැඩිය කාලයක් තිස්සෙ.
ඒ මගෙ ජීවිතේ අමතක නොවන කාලයක්...පාලොස්වක දවසට මායි මගෙ තව යාලුවො දෙන්නෙක් හිටිය ..අපි තුන්දෙනා අභයගිරිය දාගැබ ඉස්සරහම තියනව සන්නිපාත ශාලාව කියල..එතන හරි තව තියනව හාමුදුරුවරුන්ට නාගන්ට හදාපු විසාල පොකුණක් ඇත් පොකුණ කියල..ඔය පොකුණ අයිනෙ ගලක් උඩ වාඩි වෙල හරි ඔහේ ඉන්නව කල්පනාවට සම වැදිල...පොඩි මලකුත් ගැහැව්වම අන්න සොමිය අනන්තයි අප්‍රමාණයි...උඹ දන්නවද ඔය අභයගිරි විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්ට ඒ කාලෙ ශිෂ්ඨාචාරව තිබ්බ හැම රටකින්ම ගිහි පැවිදි ශිෂ්‍යයො ඇවිත් තියනව කියල.අභයගිරියෙ දියුණුම කාලෙ එකවර පන්දාහක් ඉගෙන ගත්තයි කියලයි කියන්නෙ..අඩේ ඉතිං අරම ඉන්නකොට හඳපානෙ ඔන්න මට පේනව චින බුරුම පර්සියන්..තව ග්‍රීක් එහෙම හාමුදුරුවරු එකට රැස්වෙලා බිම එලපු පැදුරු වල ඉඳගෙන සාකච්ඡා කරනව ධර්මය, තර්ක ශාස්ත්‍රය, ආණ්ඩු ක්‍රම, කලාව ඔය නොයෙක් දේවල් ගැන. මොකද මහා විහාරයෙ වගෙ නෙවෙයි අභයගිරියෙ බොහොම නිදහස් ඉගැන්වීමක් තිබිල තියෙන්නෙ. පැවිද්දන්ට අකැපයි කියල සම්මත වුනු ශාස්ත්‍ර පවා කිසි අවුලක් නැතුව එහෙ උගන්නල තියනව.
උඹට කියන්ට මල්ලි වෙලාවකට මට ඇහෙනව වගෙ ඒ හාමුදුරුවරු තර්ක කරනව මොකක් හරි කාරනයක් විසඳ ගන්න බැරුව..මගෙ ඉමැජිනේෂන් එක ඕවර් ඩ්‍රයිව් වෙලාද මලේ පවර් එකද දෙකම ද මන්දා හෙහ්, හෙහ්,
සුනේත්‍රා නෝනගෙ බුද්ධ දාසි කතාවෙ විස්තර කරල තියනව මම ඔය කියපු අභයගිරිය ගැන. ඒ පොත කියවද්දි මම ආයෙම ඒ කාලෙට ගියා ..ඒ වගේම ඔය කියන තැන්වල මම හැබැහින්ම ගතකරල තියන නිසා ඒ කතාව මගෙ පපුවටම කිඳා බැස්සා.
අඩේ බොලේ ඇත්තම නේන්නං බුදු හාමුදුරුවොයි කොන්ෆියුසියස් තුමායි එකම කාලෙ නේද ජීවත් වෙල තියෙන්නෙ.....හෙහ්, හෙහ්,
අඩේ බඩුම තමයි..අනිවාර්යයෙන් කොන්ෆියුසියස් තුමා සැවත්නුවර ජේතවනාරාමෙට ඇවිල්ල බුදු හාමුදුරුවො මුණගැහිල ජීවිතය , ලෝකය, මරණය සහ මරණින් මතු ජීවිතය ගැන සාකච්ඡා කරල තියනව..ආය ඒකෙ නෑ දෙකක්. ලියන්ට ඕන වෙලාවක ඒ කතාව..අනෙ අම්මප...
මං කියන්ට ආපු කතාවක් මෙකුවියි, සෙන්නයි දෙන්නම කියලා... කතාව චුට්ටක් ඇදෙනවා වැඩියි වගේ නගර විස්තරයට ගිහිල්ලා.. මේකටත් අර දඩ්ට කොරපු වැඩේ නම් කොරන්ට එපා බොලං.. :)
ReplyDeleteබුරා මලේ,
Deleteනෑ බොල ඒ නගර විස්තරය මම ලිව්වෙ මෙහෙම හිතලයි...මට ඕන උනේ කරුණු දෙකක් කියන්න..
එකක් දැං අපිට උගන්නල තියෙන්නෙ විජය ගොයිය එනකොට ලංකාව ඇවිල්ල යක්කුංගෙං පිරිච්ච බොහොම නොදියුනු රටක්ය. යක්කු කියන්නෙ වනචාරීන් වගෙ කොටසක්ය කියලනෙ ( කුවේණි කපු කටිමින් උන්නය කියලත් කියනව තමයි ) මට ඕන උනේ ඒ කතාව වැරදියි විජය එනකොටත් ලංකාව කියන්නෙ විදේශ එක්ක වෙලඳාම් පවා කල, සංවිධානාත්මක අය බදු ක්‍රමයක් පවා තිබුනු රටක්ය කියල කියන්නයි.
දෙවෙනි කාරනේ..අර විජයගෙ පිරිස කුවේනි හැංගුවට පස් සෙ විජේ පැනපු ගමං කුවේනිගෙ බෙල්ලට කඩුව තියල.........දන්නවනෙ හෙහ්, හෙහ්, අන්න ඒ විකාර කතාව පට්ට බොරුවක්ය කියල කියන්න..කුවේණි ඇවිල්ල තම්බපණ්ණිය වගෙ දියුණු නගරයක් පාලනය කල කුමරියක්ය කියල කියන්න.
නෑ බං කතාවට අවශ්‍යම විස්තරයක් ඇරෙන්න වෙන ආරළු බූරළු ලියන්නෙ නෑ...හෙහ්, හෙහ්,
මේක ලියල තියන ඉට්ටයිල් එකනම් නිකන් අර සිංහල සාහිත්‍ය පොතේ කතාවක් කියවනවා වගේ...ඒ තරමට අනර්ඝයි...විශිෂ්ඨයි.. :)
ReplyDeleteස්තූතියි සයුරි...:) :)
Delete