Monday, May 20, 2013

110. මළපහ කන්ද

,.,


“අයියේ මෙන්නෝ......... ඔයාගේ බොගමන් අදත් වැඩේ දීලෝ” මල්ලීගේ හඬින් මගේ අඩ නින්ද මරු විකලෙන් පලා ගියේය.
අභව්‍ය වූ වදන් වැලක් මුමුණමින් ඇ‍ඳෙන් බිමට පීනූ මම ඉස්තෝප්පුව වෙත ගියෙමි.

මල්ලී ඉනට එක් අතක් තබාගෙන එක් අතක් ගෙබිම මායිමට දික් කරගෙන ඉදිරිපෙල දත් නැති කටින් හිනාවෙමින් මා දෙස බලා සිටින අයුරු දුටු විට ඔහු කෙරෙහි මා සිතෙහි පහළ වූ කෝප මුසු හැඟීම යටපත් කර ගත නොහී,

“දුවනවා ගස් ගඳයා ගෙට......... බොටත් ඕනේ නැති මගුලක් නැහැ”යි ඔහු වෙත කඩා පැනීමි.

“අම්මේ මෙන්නෝ........... මේ අයියා ගහනෝ”යි හඬ නගමින් කුස්සිය දෙසට දිව ගිය ඔහුගේ පස්සේ පන්නාගෙන යෑමේ වුවමනාවක් මා හට නොවීය.

දින කිහිපයක සිට ඇතිව තිබෙනා කරදරයෙන් ගැලවෙන්නේ කෙලෙස දැයි නැවත නැවතත් සිතමින් පහුගිය සතියේ ම මගේ උදේ වරුව නාස්ති විය. දිනක් රෑ එළිවනතුරු අවදිව සිටිමින් මේ හොරගෙඩියා අල්ලා ගනිමියි සිතා, කොස්සත් ලඟ තබාගෙන ඉස්තෝප්පුවේ පුටුවකට වී වාඩි වී සිටියෙමි. අම්මාට කියා තේ වතුර ටිකක් සාදවාගෙන උණුවතුර බෝතලයේ ලා, එය ද ලඟ තබා ගත්තේ රෑ පානේ ඇහැරී සිටින විට තේ වතුර ටිකක් බීමෙන් නිදිමත පළවා හැරිය හැකි බැවිනි. ඇය ද රෑ 9.30 පමණ වනතුරු මා අසලින් වාඩී වී මදුරුවන් තලමින් සිට,

“ලොක්කා නිදියන්න යනකොට දොර අගුළු බලන්න” යැයි කියමින් නින්දට ගියාය.

“හරි හරි............ එව්වැයේ බලන්න දෙයක් නැහැ, මං හෙට උදේට තමයි මෙතැනින් නැගිටින්නේ”යි පැවසූ මම නැගිට ඉස්තෝප්පුව හරහා එහා මෙහා වරක් දෙවරක් සක්මන් කලෙමි.

11.00 වන විටත් කිසිම වෙනසක් සිදු වූයේ නැත. නිදිමත වැට මතින් පැන ඉස්තෝප්පුවට ගොඩවී මොහොතකින් මගේ හිසට ගොඩවන්නට යන වග හැ‍ඟෙන්නට වූ විට තේ වතුර ටිකක් කෝප්පයට දමාගෙන පුටුව මතින් හිඳ ගතිමි.

“අයියෝ........... හරි මුරකාරයා.............” මල්ලීගේ ගෝරනාඩුවෙන් උඩ විසි වී නැවතත් පුටුව මතට වැටීමි. සැනෙකින් දෙපයින් සිට ගත්තද සිදුවන්නේ කුමක්දැයි එක් වරම වටහා ගැනීමට අපහසුවිය.

“තව ටිකෙන් මෙදා බොගමන් බෙට්ට දාන්නේ තමුසෙගේ ඔක්කේ”යි කියමින් මගේ මලයා උඩ පැන පැන සිනාසෙමින් මිදුලට දිව ගියේය.

ක්ෂණයකින් සියල්ල සිහි වූයෙන් විගස පුරුදු තැනට මගෙ දෑස් දිව ගියේය. නැත. එක දශමයකුදු වෙනස් වී නැත. ඒ මළපහ කන්ද පසුගිය දින කිහිපයේ ම සේ ම සුපුරුදු තැන සුපුරුදු ආකාරයෙන් වැද හොත්තේය. යහළුවන් අතරදී වීරයෙකු සේ දුව පැන ඇවිදන මගේ ශුද්ධ සිංහල වාග් මාලාව එහි දී එළි බසිනු නොහැකිව මුව තුල පෙරළි කරන්නට විය. සියල්ලට ම වඩා, මුරකරන්නට ගොස් ඇති කරගත් අවමානය නිසාවෙන්, මෙම සිදූ විමට හේතු වූ බලු නකුටා ඒ මොහොතේ හමු වුනි නං මරාගෙන මැරෙන්නට තරම් වූ කෝපයකින් වෙව්ලා ගියෙමි. කොස්ස වේගයෙන් ඉස්තෝප්පුවේ පොළොවේ දමා ගැසූ මම කුස්සිය දෙසට ඇවිද ගියෙමි.

සැබවින් ම එය සාමාන්‍ය සුනඛයකු හෙලන ප්‍රමාණයට වඩා විශාල වූ මළපහ ප්‍රමාණයකි. ඇත්තට ම මළපහ කන්දකි. ඒ වන විට පුරා සති දෙකක් නිති පතා මා, ඒ අප්‍රසන්න වූ ද්‍රව්‍යය ඉවත් කර, එතැන බිම පස් පිඩැල්ලක් කපා වත්ත කෙළවරට ගෙන ගොස් දමා, නව පස් පිඩැල්ලක් කපාගෙන විත් එතැන පුරවා, එම කටයුත්ත කරන විට දී ඉස්තෝප්පුවේ පිය ගැට මතට විසිවන පස් අතු ගා දමා ඒ පැත්ත පලාතම සුද්ද කර තිබිණ. පෙනුමේ අප්‍රසන්න කම පමණක් වුනි නම් අහක බලාගෙන ගොස් නොදැක සිටිය හැකිය. දරා ගත නොහැකි වූයේ විහිදුනු දුර්ගන්ධයයි. වැල වරකා ගෙඩි පිටින් ගිල, හෙලන ලද මළපහ මතින් වැල වරකා එපා කරවන තීව්ර වූ දුර්ගන්ධයක් පැන නැගින. කුඩා කල ඉමහත් ලෙස කැමත්තකින් පසු වූ එම පළතුරු මට අදටත් අතටවත් ගන්නට නොහිතෙන්නේ මෙම සිදු වීමේ අතුරුපලයක් ලෙස යැයි හඟිමි.

වරක්, විකිණීම සඳහා සුනඛයින්, මාළුන්, කුරුල්ලන් ආදී වූ සුරතල් සතුන් ඇති කරන අපේ පවුලට හිතවත් කෙනෙකු පැමිණි අවස්ථාවක මළපහ කන්ද විශ්ලේෂණය කර පවසා සිටියේ, එය සාමාන්‍ය සුනඛයකුගේ වැඩක් නොවන බවය.

“ඈ පුතේ මිනිහෙක්ද එතකොට මේ වැඩේ කරන්නේ?” යි එහිදී මගේ මව අසා සිටි පැනයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ,

“නැහැ නැහැ නැන්දේ, බල්ලෙක්ම තමයි. ඒත් නිකං ගමේ ගොඩේ හැදෙන බල්ලෙක් නෙමෙයි. ඔය කොහෙන් හරි එන ලොකු වර්ගයක එකෙක්. අනිත් එක පුරුද්දක් ඇති වුනාම ඒක දිගටම කරගෙන යන එකෙක්. මං ගාවත් ඉන්නවා එහෙම බල්ලෝ. පැටිකිරිය හොඳ වෙන්න වෙන්න, උන්ගේ වැඩත් අනිත් උන්ට වඩා වෙනස් වෙනවා”

“අනේ පලයං බං යන්න. පැටිකිරිය හොඳ නිසාද මේ වැල වරකා ගෙඩි පිටින් ගිලින්නේ? අර බලපන් කොස් ඇට ම කීයක්ද?” ඔහුගේ බලු වර්ණනාව ගැන නොරිස්සීමක් ඇති වුයෙන් හරහට යමක් කීමේ අවශ්‍යතාව මා කෙරෙහි උග්‍ර ලෙස පැන නැගින.

“හරි හරි......... කොහොම හරි මූ හොඳ වර්ගයක එකෙක් වෙන්න ඕනෑ. ගෙදරකින් මග හැරිලා හරි මොකක් හරි වෙලා වෙන්න ඇති. අපරාදේ කන්න නැතුව, බාල වෙන්නත් පුළුවන්. මට වෙලාවක් නැහැ නැත්තං මං අදත් ඉඳලා මේකාව කොහොම හරි අල්ලගෙන යනවා”යි සුනඛ වසුරු විශ්ලේෂනය කර බල්ලාගේ ජාතිය නිර්ණය කල ඔහු, පසු දිනෙක පැමිණෙන බව පවසා පිටව ගියේය.

ඔහු පැවසූ දෙයද සත්‍යයක් විය හැකිව තිබූණේ, අවටින් ලද තොරතුරු වලට අනුව, අසල වූ නිවෙසක විසූ පිරිසක් හදිසි තත්ත්වයක් මත ගම හැර යෑමේදී නිවසේ සුරතලයට ඇති කරන ලද සුනඛයා හා පූසන් දෙතුන් දෙනෙකු ගමට දයාද කර ගොස් තිබීමය. එම සුනඛයා ඩොබර්මන් වර්ගයට අයත් ප්‍රමාණයෙන් විශාල වර්ගයේ එකකු විය. කාරණා කාරණා අනුව විත්තිකරු මොහු ම වශයෙන් අප විසින් තීරණය කරගත්තද මෙම මළපහ කන්ද මිස සුනඛයකු පිළිබඳ හෝඩුවාවක්වත් නොවීය. මගේ මලයා ඔහු හැඳින්වූ නමට හේතුව පැහැදිලි ඇතැයි සිතමි. ‘බොගමන්’

මුල් දින සුද්ද පවිත්‍ර කිරීම් කරන්නට ගොස් හත් පලේ තවරා ගන්නට මා හට සිදු විය. උදැල්ල ගෙන එක් පහරින් ගන්නට ගොස් උදැල්ල මළපහකන්ද මැදින් වැදී කොටසක් උදළු තලය මතට පැමිණුන අතර තවත් පදාසයක් උදළු තලය යට පැත්තේ තැවරී ගියේය. කාර්යය වැරදී ගිය තැන, කලබලයෙන් උදැල්ල තබා තිබූනේ ඉස්තෝප්පුවේ පිය ගැටයක් මතය. එවර තුන් වන තැන ද තැවරුණ අතර නැවතත් පැන උදැල්ල ගන්නට ගොස් සමබරතාව ගිලිහී බිම තිබූ ඉතිරිය මත දකුණු පය රඳවා ගැනීමෙන් හතරවන තැනද, උදැල්ල ගෙන මිදුල මත තබන්නට ගොස් උදැල්ල මත තිබුණු කොටස බිමට හැලී යාමෙන් පස්වන තැනද, උදැල්ල මිදුල මත තැබීමෙන් හය වන තැනද වශයෙන් තවරා ගත් මා අවසානයේ විසුරුණු මළපහ කන්ද පත්තර පිටුවක් මතට එකතු කරගත්තේ පොල් මුඩු පොල් ලෙලි ආදිය භාවිතා කරමිනි. මුළු කාර්යය පුරාවටම දරාගත නොහැකි වූ අප්‍රසන්න භාවයකින් සිටි මට ‘ඕක් ඕක්’ ආකාරයෙන් වමනේ පිටවන්නට ම ගියේය. එයද ආයාසයෙන් දරාගෙන කාර්යය කෙසේ හෝ අවසන් කර, අවසානයේ පැයක් පමණ නාන කාමරයට වී ස්නානය කලෙමි.

එදිනෙන් පසු කිසි දිනෙක නැවතත් මෙවැන්නකට මුහුණ දෙන්නට නොසිතුවද, නොසිතූ දේම සිදුවන අයුරු කියා පාමින් තවද දින හත අටක් එම කටයුත්තේ නියැලෙන්නට මා කල පාපය කුමක්දැයි දහස්වර මගෙන් ම විමසන්නට ඇත. පසු පසු ව කටයුත්තට විශේෂ ප්‍රාගූණ්‍යක් ඇති වුවද, එවැන්නට ඇති වන විශේෂ ප්‍රාගූණ්‍යයකට වඩා කුසගින්නේ මිය යෑම යෙහෙකියි මා හට සිතුනේ වරක් දෙවරක් නොවේ.

කෙසේ හෝ අවසානයේ වඩා සුදුසු ම කෙමත් රැගෙන ඉස්කෝලේ මාමා පැමිණියේය. අවිවාහකයෙකු වූ ඔහු ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගෙන මහ ගෙදර නිවසේ තනිවම ජීවත් වූයේය. කොතරම් තනිව හිටියත් අප්‍රියෙල්, අගෝස්තු හා දෙසැම්බර් මාස වල හැර වෙනත් කිසිම මාසයකදී ඔහු ගෙදරින් පිට නොවීය. ඒ ඔහුගේ රාජකාරී ජීවිතයෙන් ඔහු ලද දායාදයයි. විශ්‍රාම ගෙන සිටියද, හිතුනු විට පෙර සේවය කල ගමේ පාසලට යන ඔහු ගුරුවරයෙකු නොමැති වූ පංතියක් වුවහොත් ඒ දරුවන් හට අකුරක් උගන්වන්නට ඉදිරිපත් වූයේ ඉමහත් කැමැත්තෙනි. ඒ කොතෙක්ද යත් ගුරුවරයෙකු නොමැති නං ළමයින්ගෙන් කෙනෙකු ගෙදරට පැමිණි ඔහු ව කැඳවාගෙන ගිය අවස්ථා ද ඇති වන්නට විය. ලෝකය පිළිබඳ විසල් දැක්මකින් පසු වූ ඔහු ඕනෑම කෙනෙකු කථා බහ කරන්නට කැමති වන අයුරේ ප්‍රියමනාප කරුණාවන්ත පුද්ගලයෙකු විය.

මා මුරකරන්නට ගොස් සවුත්තු වූ දා දහවල් ඔහු අපේ නිවසට පැමිණියේය. තාත්තා පුරුදු පරිදි නගරයට ගොස් යතුරුපැදියේ නංවාගෙන ඉස්කෝලේ මාමා කැඳවාගෙන ආවේය. මගේ අම්මාගේ වැඩිමහල් සහෝදරයා වූ ඔහු හැම සිංහල අවුරුදු නිවාඩුවට ම අපගේ නිවසට පැමිණීම අනිවාර්යය විය.

“මොකද ලොක්කා නිකං හේ බාලා ගිහින් වගේ?” එදින හවස් වරුවේ ඉස්තෝප්පුවේ පඩිය මත හිඳගෙන බලු සන්නියට කල යුතු පිළියම කල්පනා කරමින් සිටි මා අභියසට පැමිණි ඉස්කෝලේ මාමා මගේ හිස අතගාමින් ඇසුවේය.

“නැහැ මාමේ මොකුත් නැහැ. මේ නිකං.... යාළුවෝ හැමෝම වගේ නිවාඩුවට එහෙ මෙහෙ ගිහින්... මං මේ කම්මැලි කමට ටිකක් හිටියා” විගස නැගී සිටි මම පවසා සිටිමී.

“ඉෂ්කෝලේ මාමා දන්නේ නැහැනේ මෙයාට වෙලා තියෙන එක... මෙයා හැමදාම උදේට බලු බෙටි පුඩිං හදනවා”යි කියමින් මගේ මලයා පැමිණ මාමාට මුවා වී මට විරිත්තන්නට විය.               

“මක් කිව්වා පොඩි එකෝ...? බලු ‍බෙටි... මක් කිව්වා?” මාමා බක බක ගා සිනා සෙමින් තාත්තාගේ හාන්සි පුටුව මත වාඩි විය.

මාමා ඉදිරියේ මල්ලීට ගහන්නට පනින්නට බැරි හෙයින් තර්ජනාත්මක බැල්මකින් ඔහුට සංග්‍රහ කොට, නැවතත් පඩිය මතට කඩා වැටුනෙමි.

“නැහැ මාමේ, මේ කොහිද යන බල්ලෙක් ඇවිත් හැමදාම උදේට මෙන්න මෙතැන ජරා කරලා යනවා. ඒක මහා විසාල ජරාවක්. මට එපා වෙලා තියෙන්නේ ඒක අරං දාලාම. මට කද්දිත් මතක් වෙනවා, කන්නත් බැහැ හරියකට” මම මාමා ඉදිරියේ සත්‍යය ම පවසා සිටියෙමි. අනතුරුව මාමා සිද්ධිය මුල පටන් ම විස්තර ඇතුව අසා ගත්තේය.

“හා හා අපි බලමු හෙට උදේටත් අපේ හාදයා වැඩේ කොරලා තියෙයිද කියලා. පුතා කලබල නැතුව ඉන්නකෝ.” අවසානයේ දී මාමා ලබා දුන් පිළිතුරින් මා හට එතරම් දැනෙන සහනයක් උදා නොවීය.

පසු දින ද සුපුරුදු අපුල දර්ශනය කිසිම වෙනසකින් තොරව දක්නට ලැබිණ. මම ඉතාමත් අසරණව මාමා දෙස බැලුවෙමි. හාන්සි පුටුවේ අසුන්ගෙන සිටි මාමා, මළපහ කන්ද දෙස බලාගෙන කල්පනාවට වැටී සිටියේය.

“දැන් මේක බලං ඉඳලා මාමාටත් කන්න එපා වෙයි. මං අරං දාලා එන්නං” බලා සිට බැරිම තැන පුරුදු කාර්යයට පිටත් වන්නට සූදානම් වීමි.

“එපා... එපා පුතා...” මාමා මා වළකාලූයේය.

“ඔහේ තියෙද්දෙන්... ආයේ බලු බෙට්ටක් ඔච්චර තදට හිතට ගන්න එපා... අලි බෙට්ටක් නෙමෙයිනේ........ ඔහේ තියෙද්දෙන්...” මාමා සිනා වෙමින් සන්සුන්ව පැවසුවේය.

“ඉයෑක්කා........... මෙච්චර ගඳක් එද්දි කොහොමද මේක තියං ඉන්නේ........ මට නං බැහැ......... මං යනවා සීයලැයේ අහ” මල්ලී, දැනට ම මිදුලට බැස අවසන්ය.

“කොල්ලෝ වුනහම ඔහොම පුළුවන්ද? බලු බෙට්ටක් නිසා ගේ දාලා යනවද? ඔහේ හිටු ගෙරි පැටියා........ මිනිස්සු වුනහම ඔයිට වඩා අපහසු දේවල් වලට මුණ දෙන්න වෙනවා... මේ ගඳ මොකද්ද? දවසක් දෙකක් ඉවසාගෙන ඉන්න එකයි තියෙන්නේ...... එතකොට ගඳ ඉබේටම නැති වෙනවා” මාමා පිය ගැට බැස ගොස් මල්ලීගේ කරින් අල්ලා ගත්තේය.

මාමාගේ කීම පරිදි එදින දවස පුරාම මළපහ කන්ද තිබූ තැනම තිබෙන්නට හරින ලදී. හෙට උදෑසන සිහි වන විට උදේ කෑම පිඟාන දෙස බලන්නටවත් මට පිරියක් ඇති නොවීය.

“අයියේ, ඔයා කන්නේ නැහැනේ........ මං මේ කිරිබත් කෑල්ලක් ගන්නද?” මල්ලීට වගේ වගක් නොවීය.

“කාපිය........... කාපිය............ මාවත් කාපිය මදි හරියට” මල්ලීගේ කනට කර පැවසූ මම කාමර වෙත ගියෙමි.

මා හැර නිවසේ සැමදෙන පුරුදු පරිදි දවසේ කටයුතු වල නියුතුවිය. වෙනසකට තිබුනේ වෙනදා මෙන් ඉස්තෝප්පුව අසල ගැවසීම් අඩු වීම පමණි.  උදේ 10 පමණ වන විට මට අධික කුසගින්නක් දැනෙන්නට වුවද, කෑමේ කිසිම පිරියක් නොවීය. තදින් ඉර පායා තිබුණු බැවින් මගට බැස කොහේවත් යන්නට කැමත්තක්ද නැති වූයෙන් කාමරයට වී සිටිනු මිස මා හට කරන්නට දෙයක් නොවීය.

දහවල් ආහාර වේලාවේදී ද කෑම පිඟාන දෙස බලමින් එහා මෙහා යනු මිස අතට ගෙන අනුභව කරන්නට කිසිසේත්ම හිත හදා ගත නොහැකි විය. උදේ වරුවේ තරම් නැතද, මළපහකන්ද මගේ සිතෙන් පහ නොවී තවදුරටත් හොල්මන් කරමින් සිටියේය. එහි දුර්ගන්ධය නහය වටා පැලක් අටවාගෙන පදිංචි වූ සේය. කෑම පිඟාන වැසූ මම ඉස්තෝප්පුව හරහා කාමරය වෙත යන ගමනේ හොරැසින් මගේ සතුරා දෙසට නෙත් හෙලීමි. වමනය යන්නට පෙර විගස කාමරයට පැනගත් මා කොට්ටය බදාගෙන නිදන්නට උත්සහ දැරීමි.

හවස 4 30ට පමණ කුසේ අපමණ වූ වේදනාවෙන් අවධි වූ මම මද වේලාවක් ඇඳ මත අසුන්ගෙන සිට විගස කුස්සිය දෙසට දිව ගියේ කිසිවක් දෙස නෙත් නොහෙලමිනි. මගේ බත් පංගුව මා එනතුරු හඬමින් බලා සිටියි. විගස එය ගෙන ගිල දැමුවෙමි.

“ආ කොල්ලාට බඩගිනි වෙලා වගෙයි...” ඉස්කෝලේ මාමා සැඳෑ නින්දෙන් අවදිව කුස්සියට දෙසට එනුයේ, මා දැක නැවතිනි. බත් කටක් වෙනුවෙන් වතුර උගුරක් පානය කල මම මාමා හා අපහසුවෙන් සිනාසුනෙමි.

“හිමින් කන්න ළමයා, හිමින් කන්න”යි මගේ පිටට තට්ටු කල මාමා කුස්සිය දෙසට ගියේය.

පසු දින උදෑසන 4ට පමණ අහම්ඹෙන් වාගේ අවදි වූ මම පුරුදු කණස්සල්ලෙන් සැලෙන්නට වීමි. නමුදු එක්වනම සිහි වූයේ වෙනදාට වඩා අද දින වෙනස් විය හැකි බවය. එවර මට කාමරය තුලට ම වී මේ විකාර බලු සන්නිය මිය යනතුරුම සිටින්නට සිතුණි. එහෙත් මාමා පැවසූ පරිදි බල්ලෙකුට යටත් ව, නැත බලු බෙට්ටකට යටත් ව සැලෙන්නට නම් මා පිරිමියෙකු ව ඉපදුනේ මන්ද? ඔවැනි බරපතල දේවල් ගැන සිතමින් සිටින විට උදෑසන 4 30ට පමණ ඉස්තෝප්පුව දෙසින් යම් ශබ්දයක් ඇසෙන්නට වූ අතර ඇ‍ඳේ ඉඳගත් මා හොඳින් සවන් දෙන්නට වූ අතර එය බලු කෙඳිරියක් බව සක් සුදක් සේ පැහැදිලිවිය. හිමින් හිමින් ගොස් හඬ නොනැගෙන සේ දොර ඇරගත් මා සිදුවන්නේ කුමක්දැයි බලා සිටියෙමි. අප සිතුවා නිවැරදිය. ඒ අප සිතූ ඩොබර්මන් නොහොත් බොගමන් මය. දොර පොල්ල අතට ගත් මා ‘අප හාදයාගේ’ ඊ ලඟ පියවර දෙස සාවදානව බලා සිටියෙමි.

බල්ලාට පුරුදු කාර්යයේ නියුතු වන්නට නොහැකිව, වටේට වටේට කැරකෙමින් සිටියේය. කෙඳිරි ගාමින් වටයක් යන ඌ නැවතී මද වේලාවක් බලා සිටියි. නැවතත් කෙඳිරි ගායි. මද දුරක් පාර දිගේ යයි. නැවතත් එයි. මළපහකන්ද ඉවකර විගස හොම්බ ඉවතට ගනියි. එහි වූයේ එක් නළු දර්ශනයකි. දොර පොල්ල නැවතත් තිබූ තැනින් තැබූ මම තවත් හොඳින් දොර ඇර මේ දර්ශනය නරඹන්නට වීමි. කොතරම් වට ගණනක් කැරකුණද අවශ්‍ය කාරණය අද දින ඉෂ්ට කරගත් නොහැකි වන බව වටහා ගත් ඌ මහා කෙඳිරියක් නගා අශ්වයෙකු මෙන් පැන පැන පාර දිගේ දිව යන්නට විය. අප වත්තෙන් ඉවත් ව මහා පාර තෙක් දිව ගියද උගේ කෙඳිරිය නොනැවති ඇසුනු අතර මට දැනුනු සතුට මෙතැකැයි අදටත් විස්තර කළ නොහැකිය.

‘මෙච්චර කල් මූට බෙට්ට දාන්න තැන හදලා දීලා තියෙන්නේ මං නේ’

“මාමේ මාමේ............ වැඩේ හරි මාමේ................” යි කෑ ගසමින් මම මාමා නිදා සිටි ඇඳ වෙත දිව ගියෙමි.

“ඇයි ඇයි මොකද වුනේ පුතේ?” කලබලයෙන් අවදි වූ මාමා විගස උපනෙත් ගෙන පැළඳගෙන අසා සිටියේය.

“අර බලු තඩියා ආවා. අද බෙටි දැම්මේ නැහැ. ඊයේ එක එතැන තිබුණු නිසා අද ඌට බෙටි දාන්න බැරුව දඟලලා දඟලලා අඬ අඬා දිව්වා. මාර වැඩක් තමයි වුනේ. මාමා හිතුවද මෙහෙම වෙයි කියලා...........?” මම සතුටින් කියාගෙන ගියෙමි.

“ඔහොමම වෙයි කියලා හිතුවා කියන්නත් බැහැ නොහිතුවා කියන්නත් බැහැ. ඒත් හැමදාම එකම දේ එකම විදිහට වෙනවා නං අපේ ක්‍රමේ වැරැද්දක් තියෙන්න ඕනෑනේ. අපේ ක්‍රමේ වෙනස් කරලා බලන්නයි මං එහෙම කරන්න කිව්වේ. හිතුවාටත් වඩා වැඩේ සාර්ථකයි නෙව. කොහොම වුනත් කොල්ලෝ බලු බෙට්ටක් කියන්නේ, කොල්ලෙකුට කෙල්ලෙක් වගේ, නොකා නොබී, ඇඹරි ඇඹරි වමනේ තද කරගෙන ඉන්න දෙයක් නං නෙමෙයි රජෝ... ඔයිට වඩා හිත ශක්තිමත් කරගන්න ඕනෑ. ඔයි බෙට්ට ඔහොම ම තියෙන්න අරින්න. තව කාරණා වැටහෙයි එතකොට”

මාමා කිව් පරිදි ම මළපහ කන්ද එලෙසම තියෙන්නට හරින ලදී. දෙවැනි දින එහි දුර්ගන්ධය අඩු වූවාද, නැතහොත් මා ප්‍රතිග්‍රාහී අනුවර්තනයකට ලක් වූවාද කියන්නට නොහැකි ලෙසින් කාරණා සිද්ධ වූයේය. තුන්වැනි දින මගේ දඩබ්බර මලයා විසින් කෝටුවකින් ඇන, පාරා තිබීම හේතුවෙන් නැවතත් අමුතු තීව්ර ගන්ධයක් නිකුත් වූවද, එය මුල් දින තරම් නොවීය. “අහක තියෙන කුණු ගොඩවල් කූරු ගාන්න යන්න එපා ළමයා, තමන්ටමයි කරදරේ”යි මාමා පැවසුවෙන් මල්ලී නිහඬ ව පසෙකට විය.

කෙමෙන් කෙමෙන් මළපහ කන්දේ උසද අඩුවන්නට විය. කුරුමිණි පැමිණ බෝල ‍සාදමින් එයින් කොටසක් ගෙනගිය අතර, වේලෙන්නට වූ මළපහකන්දේ උඩ හරිය හුලඟට පාව යන තරම් විය. පස්වන සයවන දින වන විට එයට මළපහ කන්ද කිව නොහැකි තැනට කටයුතු සැලසී තිබිණ. අඩතැනිතලාවේ මතු වූ ශේෂ කඳුසේ දිරාගිය කොස් ඇට පමණක් ඉල්පී සිටින සේ මළපහකන්ද බිමටම සමතලා වී ගියේය.

“දැන් ඔය ටික අම්මා හෙට උදේට මිදුල අතුගාද්දි ඉදලෙන් අතුගාලා දැම්මා කියලාත් වෙනසක් ‍නැහැ නේද පුතේ? කොහොමද පළවෙනි දවසේම අම්මා ඉදලෙන් අතුගෑවා නං. එහෙම නැත්තං දැන් පුතාට පුළුවන් උදැල්ලක් අරං අරංදාන්න කිසිම අමාරුවක් නැතුව. එහෙමත් නැත්තං මං වඩාම කැමතියි මෙහෙම කරන්න. උදැල්ල ගෙනැත් ඊට ටිකක් එහායින් වලක් කපලා, ඔය කුණුටික ඒ වලට ඇදලා දාලා, අර වතුසුදු ගහෙන් අත්තක් කඩන් ඇවිත් ඒ වලේ හිටවලා පස් දාලා වහලා වතුර ටිකක් දැම්මා නං. බලු බෙට්ටක් වුනත් වැල වරකානේ. ගොම වලට වඩා වැඩි වෙනසක් නැහැ............ නැහැ එක්කෝ ඕනැන්නේ නැහැ. කොහොම වෙතත් පුතා මේ වෙච්චි දේ ගැන නිස්කාංසුවේ හිතලා බලන්න. ගොඩක් කාරණා වැටහෙයි”

 
 

30 comments:

  1. හපොයි
    බලු බෙටි විශ්ලේෂණේ....

    ඇත්ත,,, බලු බෙට්ටක් කියන්නේ ගන්නන් ගන්න දෙයක්යැ,,,,

    www.roadlk.blogspot.com

    ReplyDelete
    Replies
    1. මේ මගේ හොඳ ම යාළුවෙකුට මේ මෝටර් රථ දෙපාර්තමේන්තුව ගැන දොසක් කියන්න තියෙනවැයි කියලා ගිහින් ඇනෝනිමස් කොමෙන්ට් එකක් දාන්න ගියහම ඇනෝ වහලා කියලා දැකලා, මං කිව්වා වෙන්න බැහැ මේ ලිංක් එක දුන්නු කෙනෙත් ඇනෝ කොමෙන්ට් එකක් තමයි දාලා තිබුනේ කියලා, ඉතිං මාත් ගිහින් බැලුවා, ඇත්ත තමයිනේ කාරණේ. ඇයි වදේ ඔයා ඇනෝ කොමෙන්ට් දදා ඒකේ ඇනෝ වහලා තියෙන්නේ :D

      Delete
  2. මේකට නම දාන්න තිබ්බේ බලු බෙට්ටක් කතා කරයි කියලා. මම නම් ඕවා තඹේකට ගණන් ගන්නේ නැ. බත් පිගානේ පැත්තක තිබ්බත් ඇහැක් වහගෙන කනවා බත් එක.

    ReplyDelete
  3. :) මේ වගේ බලු බෙට්ටක් වගේ නොවටිනා දේවල් කොච්චරක් අපි හිතේ බරට තියාගෙන දුක් විඳිනවද නේද? ඒ දේවල් වලින් 90%ක් ම මේ වගේ මළපහ කඳු කියලා හිතෙන්නේ නැද්ද?

    හැබැයි බත් පිඟානේ පැත්තක තිබ්බොත් නම් කන්න ටිකක් අමාරුයි නේද? :D

    ReplyDelete
  4. Randil,

    ඔය වාගෙම බොහොම රසබර අත්දැකීමක් මටත් තියෙනව..ඔහෙට ඉතිං බලාගෙන යනකොට අත්දැකීම් නැත්තෙ මොනව ගැනද?...හරි එහෙම තොල මතුරල ඉවරනම් මෙන්න ඉතුරු ටික...

    ප්‍රධාන වෙනස්කම් තුනක් තියනව..1. සතා ඇවිල්ල කලවැද්දෙක් හෝ කලවැද්දන් කීප දෙනෙක් 2. බොග දැම්මෙ නෑ ඌ හෝ උං කලේ මූත්තරා කරන එක 3. වැඩේ කලේ මිදුලෙ නෙවෙයි අපෙ සිලිම උඩ ඉඳල

    ඔයාලගෙ සීන් එක බල්ල ඇවිල්ල ඇඟ උඩ රෙන්නෙ නෑනෙ. අපේ කේස් එක දරුණුයි. සාලෙ රෑ ටී. වී. බල බල ඉන්දැද්දි ආය නෑ කෙලිම්ම ඇඟටමයි හුජ්ජ පාර දෙන්නෙ....හෙහ්, හෙහ්,

    ඒ විස්තරේ සහ මම බොහෝ දුෂ්කර ක්‍රියාකොට ඒ මැඩපැවැත්වූ අන්දම ගැන ලියන්නම් කොටස් හතර පහක කතන්දරයක්..හොඳද? " මහා කළවැදි මෙහෙයුම -The Great Operation Polecat "

    ReplyDelete
    Replies
    1. රවියෝ මටත් තියෙනවා ඔය වගේම අත්දැකීමක්.... හාපෝ.. මතක් වෙනකොටත් දුවන්න හිතෙනව.... ලිව්වොත් කස්ටිය කියයි නේ රැල්ලට ඒ පාර බලු බෙටි කතා ලියනවා කියල... ඒක නිසා ලියන්නේ නෑ... හි හි.....

      Delete
    2. හික් හික් හික්............... ඉයෑක් නේද?

      Delete
  5. බලු බෙට්ටක් ගැන මෙච්චර රස පෝස්ට් එකක් මම කවදාවත් කියවලා නෑ රන්දිල්. :)

    ReplyDelete
    Replies
    1. අම්මප හෙන්රි අයියේ මට අර මී කුණක් විකුනලා පෝසත් උන සිටුතුමා මතක් උනා

      Delete
    2. ඔයා ඔය කිව්වේ ඇත්ත ම නම් මං ඔයාට එවනවා…………. එක්කෝ ඕනෑ නැහැ.... :D
      ස්තුතියි හෙන්රි අය්යේ

      Delete
    3. අනේ අප්පේ ඔව් ඔව් අටම්, මේක විකුණලා දැන් මං කෝටිපතිනියක් වෙලා ඉන්නේ........... :D

      Delete
    4. ඩූඩ් අයියෙ, මේ රන්දි අක්කා ඔයාට එවන්න හැදුවෙ මොකද්ද දන්නවද? නයි බනිස් ගෙඩියක්. ඒ බනිස් ගෙඩියෙ සුවඳට මී මැස්සො දෙන්නෙකුත් ඒ වටේට කැරකෙනවලු. :D :D :D

      Delete
  6. මේ මලයා නම් මාර මලයෙක්ම තමයි.... හි හි...

    ReplyDelete
    Replies
    1. කොයි මලයා ද හිරු? අර ගස් ගඳයාද? :)

      Delete
  7. අක්කා නිවාඩුවෙන් පස්සෙ ඇවිදින් ලියාපු ලිපිනම් හරිම අපූරුයි. සෑහෙන වටිනවා. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු.............. :)

      Delete
  8. ඕක ගමේ ගොඩේ සාමාන්‍ය බල්ලෙක් උනානං වැඩේ ඔයිට වැඩිය දරුණු වෙන්න ඉඩ තිබුණ.
    හැබැයි බලු බෙට්ටකට ඔච්චර බය වෙන්නනං ඕන නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, වැඩෙ කියන්නෙ ඒ තරම් වත් වටින්නෙ නැති දෙවල් වලටත් බය වෙනවා වෙලාවකට නෙද?

      Delete
  9. අපේ හෙන්රියාට කිව්ව නම් ලස්සන බලු බෙට්ටක් ඇඳලා දෙනවනේ පෝස්ට් එකට... රන්දිල් බලුබෙට්ට විස්තර කරන විදිහ දැක්කහම කියන්න පුළුවන් සෑහෙන බලුබෙටි එක්ක ගනුදෙනු තියන කෙනෙක් කියලා.... අන්තිමේ බලුබෙට්ට ක්ෂය වෙලා ගිය විස්තරේ නම් නියමයි.

    මම ගත්ත උපදේසය මේකයි. බෙටි ප්‍රශ්න සම්බන්ධව කටයුතු කිරීමට නම් මාමා එනකං සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නෙද? පස්සෙ කියලා බලමු

      අනෙ මට නං ඒව්වා ඒක්ක ගනුදෙනු නැහැ, මහත්තයාගෙ ලැහැස්තිය ගනුදෙනු හදලා දෙන්න බලු පැටියෙක් ගෙන්නයි, මං අහුවෙයි ඔවාට, :)

      Delete
  10. බලු බෙට්ට යටින් දිවෙන අනිත් කථන්දරයට හිත ගියා...

    ReplyDelete
    Replies
    1. අන්න මට සතුටුයි මයියා......... :)

      Delete
  11. එකම විදිහට කරාම එන්නෙ එකම ප්‍රතිපලේ නම් වෙනස් විදිහට කරන්න ඕන එක වැටහුනු හැටි නම් අපූරුයි රන්දිල්..

    මට නම් හිතගියෙම මල්ලිගේ කතා ගැන..තව ඒ වගේ ඒවා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ..........

      බලන්න ඔනෑ අද රෑටවත් හීනෙන් කථාවකට කථාවක් පෙනෙයිද කියලා........ :)

      Delete
  12. ඉස්කෝලේ මාම නම් නියමම මනුස්සයෙක් අප්පා. ඊට පස්සේ කවදාවත්ම ඌ ආවේ නැතුව ඇති එහෙනම්. මේක මම බැලුවේ තුන් හතර වතාවකට. රසේ පොඩ්ඩක් අඩු උනාද මන්දා ඒ නිසා. හිහි.

    ReplyDelete
    Replies
    1. හ්ම්....... මං හිතන්නෙ ඒන්න නැතුව අැති.......... :)

      ස්තුතියි සයුරි

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. බලු බෙට්ට යකාට ගියාවෙ.. බලු බෙට්ටකින් මෙච්චර රස කෑමක් හැදුවෙ කොහොමද කියලා මම මේ කල්පනා කොරන්නෙ.. ඕකට කියන්නෙ හැකියාව කියලද ?

    ReplyDelete
  15. මාහ ලොකු කතාවක් සරලව කියලා වගේ කියලයි මට හිතෙන්නේ. වෙනසම ආරක අපූරු ලියවිල්ලක් (y)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...