Wednesday, May 22, 2013

188. කිරුළ සහ සෙනෙහස ……3




තම්බපණ්ණිය පිහිටියේ වයඹ සමුද්‍ර තීරයේ බැවින් ගෝකණ්ණ වැනි ලක්දිවෙහි නැගෙනහිර සමුද්‍ර තීරයෙහි පිහිටි නගරයක වසන්නකුට නිසර්ගයෙන්ම දිනපතා අත්විඳීමට ලැබෙනා මහ සමුදුර අනන්තයේ ක්ෂිතිජයයෙහි උස් පහත් වෙමින් තරඟ නඟනා දල රල පෙල අතරින් වරෙක හිරු නැඟෙමින් වරෙක යලි රැලි අතරේ සැඟව යමින් කෙරෙන චමත්කාරජනක සූර්ය උදාව නැරඹීමෙහි භාග්‍යය කුවණ්නාවන්ට අත් නොවිණි. 

වසර සයකට පමණ එපිට, එවිට ඕ තුදුස් වියැති ළමා අවදිය සහ පෙර යොවුන් විය අතර අපැහැදිලි ඉම් පෙදෙසෙහි කල් යවන්නියක වූවාය,...ලංකාපුර රාජ්‍යයෙහි නැගෙනහිර වෙරළබඩ සේරුගංතොට දනව්වෙහි ප්‍රාදේශීය පාලකයා සහ එහි වැස්සන් අතර හටගත් අයබදු සම්බන්ධ අරගලයක් සංසිඳවනු උදෙසා එහි සංචාරය කල රාෂ්ඨ්‍ර පාලක තෙමේ ඒ චාරිකාවට වාසුගී සහ කුවණ්ණාවන්ද එක් කොට ගත්තේය. 

අයබදු පිළිබඳ පැනනැඟුනු ගැටළුව සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව දෙපාර්ශ්වයම සෑහීමට පත්වන පරිදි විසඳාලූ ඉක්බිති රාෂ්ට්‍ර පාලක ඇතුළු පිරිස ප්‍රාදේශීය පාලකයාගේ ප්‍රාසාදයෙහි ආගන්තුකයින් වශයෙන් දින කිහිපයක් නවාතැන් ගත්තෝය. 

" මලඬ...රාජ්‍ය පාලනය යනු කිසිසේත් මල් යහනාවක සැතපීමක් නොවේමය. ඒ වනාහී හිසට ඉහලින් එල්වනලද තියුණු කඩු පතක් යට සයනය කිරීමකි. තම්බපණ්ණියේ ප්‍රාදේශීය පාලකයා වශයෙන් ඔබටද ඒ පිළිබඳව පළමෝත අත්දැකිම් මොනවට ඇති බැව් මට කිසිදු සැකයක් නැත. කුවණ්ණාවන්ටද ඒ එසේම බව මම දනිමි. ඇය ඇගේ වයසට වඩා බොහෝ මුහුකුරා ගිය නැණවත් යුවතියක බව දැකීම පවා මට මහත් සතුටකි. ලංකා රාජ්‍යයෙහි අනාගතය ඇය අතෙහි රඳා පවතින දිනය තව බොහෝ දුරක නොවෙන බව මට නිතොරම හැඟී යයි. " 

රාෂ්ට්‍ර පාලක අවසන් වැකි කිහිපය පැවසූයේ කුවණ්ණා දෙස බලා මඳ සිනහවක් නඟමිනි. රාෂ්ට්‍ර පාලක එනම් කුවණ්නාවන්ගේ පියාණන්ගේ දෙටු බෑයාණන් හට දරුවෝ නොවූහ. ඔහුගේ භාර්යාව මීට වසර සොළොසකට පමණ පෙර දරුවන් නොලබාම එදවස ලංකාපුරයෙහි ජනගහනයෙන් තුනෙන් එකකට පමණ මරු කැඳවූ මාරාන්තික ජ්වර රෝගයකට ගොදුරුව මිය ගියාය.නියමිත කාලාන්තර වලින් දිවයින පුරා පැතිරයන මේ රෝගයට නියමිත නොවරදින ඔසුවක් එකල නොවූහෙයින් දස දහස් ගණනින් සාමාන්‍ය ජනයා මෙන්ම ප්‍රභූ, පාලක පැලැන්තියට අයත් වූවෝද ඊට ගොදුරුව අසරණව මිය ගියෝය. 

බිරිඳ මියගිය අනතුරුව දැඩි සොවින් පීඩිත වූ රාෂ්ට්‍ර පාලක තෙමේ තම ඇමති මඬුල්ලේ මෙන්ම පුරෝහිතයන්ගේද උපදෙස් නොතැකූයේ නැවත සරණ බන්ධනයකට ඇතුළු වීම එක හෙලාම ප්‍රතික්ෂේප කලේය. 

ඔහුගේ එකම මල් බෑයාවූ වාසුගීගේ එකම දියණිය වූ කුවණ්නාවන් සිරීසවත්ථු පුරයෙහි මීළඟ කිරුළු දැරූ රාජිනිය වන්නට බොහෝසේ ඉඩ ප්‍රස්ථාව තිබූයේ වාසුගී කිසිදු විටෙක බලය කෙරෙහි තෘෂ්ණාවක් නොදැක්වූ හෙයිනි. තම එකම සොයුරාගේ බලවත් ඉල්ලීම පිළිකෙව් කල නොහුණු නිසාම තම්බපණ්නියෙහි පාලක ධුරය භාර ගත්තද ඔහු බොහෝසේ ප්‍රියකලේ හැකි සෑමවිටකම නිසසල තුරු සෙවණක් යටටවී ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතුවල නිරත වීමටය. 

තම්බපණ්ණියෙහි පාලක තනතුර කැමැත්තෙන්ම භාරගැන්මට දෙටු බෑයාගේ ඉල්ලීම පිළිකෙව් කිරීමෙහි නොහැකියාව මෙන්ම ලක්දිව ප්‍රධාන වාණිජ නගරය සහ නැව්තොට වූ එහි එදවස ශිෂ්ඨාචාරවත් වූ සෑම දේශයකින්ම විද්වතුන් සහ ශාස්ත්‍රඥයින් එහි සැපත්වීම යන කාරණයද වාසුගීහට බොහෝසේ බලපෑවේය.ඈත පෙරදිග සීන දේශයේ සිට පැමිණි කොන්ෆියුසියස් නම්වූ ශස්ත්‍රඥයාගේ දර්ශනය උගත් සිහින් දිගැටි ඇස් වලින් යුතු කහ පැහැති පඬිවරයෝද ජම්බුද්වීපයෙහි උතුරු කෙළවරෙහි වසර මුලුල්ලේ ශ්වේත වර්ණ හිමෙන් වැසීගිය තුඟු කඳුමුදුන් වලින් යුතු හිමාලය කඳුවැටිය පෙනෙන තෙක් මානයෙහිවූ ගන්ධාර දේශයෙන් පැමිණි සිද්ධාර්ථ ගෞතම නම්වූ ශාස්තෲන් ගේ ධර්මය පරතෙරට හදාල කසාවන් වස්ත්‍රයන් හැඳී හිස මුඩුකොටගත් ශ්‍රමණයෝද හා සමඟ ප්‍රාසාදයෙහි පිටි අංගනයෙහි තල් තුරු සෙවනෙහි හිඳ ජීවිතය, මරණය ලෝකායත දහම පිළිබඳව සාකච්ඡා කිරීම සහ වාද විවාද කිරීම වාසුගීහට ඉමහත් ප්‍රීතියක් සහ ආත්ම තෘප්තියක් ගෙන දුන්නේය. 

ගෝකණ්ණ මුහුදු තීරයෙහි සය වසරකට පෙර ගතකල ඒ දින කීපය කුවණ්ණාවන්ගේ සිතෙහි ගල්තලාවෙක කෙටූ සෙල් ලිපියක් මෙන් රැඳී පැවැතීම අයට කිසිසේත්ම විශ්මයට කාරණයක් නොවීය. ඒ එපමණ ආහ්ලාදජනකවූ දින කිහිපයක්ම වීය. 

රැයපුරා පැවති මධුපානෝත්සවයෙන් ඉක්බිති රාෂ්ඨ්‍ර පාලක ඇතුළු සපිරිවර හිරු නැඟ හෝරාවක් පමණ ගතවන තෙක් සැතපෙද්දී වාසුගී සහ කුවණ්නා හිමිදිරියේම පිබිද මුව දොවා ඉක්බිති මුහුදු වෙරළ වෙත සැපත් වූවෝය. පෙරදිග අහස කෙමෙන් පැහැබර වෙමින් පැවැතියේය. වෙරළෙහි සුදු වැලිතලය මත එරමිණිය ගොතා හිඳගත් පියා සහ දියණිය දෑස නොපියා ක්ෂිතිජය දෙස බලා සිටියෝය. කෙමෙන් රළපෙළ මතුයෙන් ලාරත් පැහැහිරු මඬල උදාවිය.ලහිරු රැස් කිරණ ඔවුන්ගේ වත ආලෝක කලේ එක එල්ලේය.සෙමෙන් දෑත් එසවූ වාසුගී නැඟෙන හිරු මඬලට නමස්කාර කලේය.කුවණ්නා ද ඔහු අනුගමනය කලේ නිතැණිනි. 

ඉන්පසු සිතෙහි සියළු හැඟීම් විනිර්මුක්තකොට භාවනානුයෝගීව ඔවුහු නිල්වන් අහස යට රල බීඳෙන මුහුදු වෙරලෙහි සෙල් පිළිම යුවලක් මෙන් අඩ හෝරාවක් පමණ ගත කළෝය. ගෝකණ්න චාරිකාවෙහි මේ අසිරිමත් හෝරාව කුවණ්ණා ගේ මතකයේ තවමත් නොමැකෙන සේ රැඳී ඇත.ඉන් පසුවද එවන් අවස්ථාවක් යලි උදාකරගැන්මට ඇය කොතෙකුත් උත්සාහ කලද ඒ සාර්ථක වූයේ නොවේ. 

ගෝකණ්ණ වෙරලෙහිදී මෙන් හිරු උදාව නැරඹිය නොහැකි වුවද පියාණන් හා සමඟ හැකි සෑම විටම තම්බපණ්ණි වෙරළ තීරය වෙත හිමිදිරියේ පැමිණීම සහ එහි මඳ වේලාවක් භාවනානුයෝගීව පසුවීම ඇය සිරිතක් ලෙස පිළිපැද්දාය.මෙදින පියාණන් සිරීසවත්ථු පුරය බලා නික්ම ගොස් නමුදු සුපුරුදු ලෙස හිමිදිරියේ ඇය වෙරළෙහි පිටි අංගනය ඔබ්බෙහි පිහිටි රූස්ස තල් රුක පාමුල භාවනානුයෝගීව පසුවූවාය. 

දැහැනට සමවන් විට අවට ලොවෙන් මුළුමනින්ම වෙන්ව කිසිදු බාහිර රූපයක් හෝ ශබ්දයක් නෑසෙන, සිත විහඟ පියාපතක් මෙන් පාවයන තත්වයටකට එලඹේ.කුවේණියද එළෙසම සිතට නිදැල්ලේ සැරිසරන්නට ඉඩදී ඉක්බිති ක්‍රමයෙන් පියවි ලොව වෙත එළඹෙමින් සිටියාය. දෑස් පියන්පත් විවරකරන්නටද පළමු තමා ඉදිරියේ කිසිවකු සිටින බව දැනුනු ඇය එක්වරම දෑස් විවර නොකලා, මොහොතක් නෙතු පියාගත්වනම කල්පනාවෙහි නිමග්න වූවාය. මේ කිසිසේත්ම තමා පිළිබඳව තොරතුරු දන්නෙකු හෝ හිතවතකු විය නොහැක.තම්බපණ්ණියෙහි ප්‍රාදේශීය පාලකයාගේ දියණිය වන කුවණ්ණාවන් උදෑසන භාවනානුයෝගීව සිටින කල කිසිවෙකුත් ඇයට බාධා කිරීමට නිර්භීත නොවෙති.එසේනම් මේ තමා කවුදැයි නාඳුනන්නකු විය යුතුය. එසේම තම හැකියාව පිළිබඳ අචල විශ්වාසයකින් යුතු වූ ඕ කිසිදු චකිතයකින් තොරව සෙමෙන් දෙනෙත් විවර කළාය. 

විවරවූ ඇගේ දෙනෙතට පළමුව දිස් වූයේ පියවර හත අටක් පමණ ඔබ්බෙන් සිට තමා දෙස නොපහන් දෑසින් බලා සිටින හැඩි දැඩි තරුණයෙකි.ඔහු මුල්වරට ඇස ගැටුණු අවස්ථාවෙහි තම සිත තුල හටගත්තේ කුමනාකාර හැඟීමක්දැයි වටහා ගැන්මට ඇය මේ ගතවූ වසර කීපය තුල බොහෝවිට උත්සාහ දැරුවාය.එහෙත් ඒ හැඟීම පිළිබඳව ස්ථිර නිගමනයකට ඒමට ඇය සමත්වූයේ නොවේ.එහෙත් එදවස ඔහු දුටු වහාම ඇය සිත තුල හටගත්තේ සෙනෙහසක් කෙසේ වතුදු කිසිසේත්ම පහන් හැඟීමක් හෝ නොවන බව ඇයට සහතිකය. 

දින කිහිපයක් මුහුණ මුඩු කොට නොසිටි ඔහුගේ කොපුල් වැසීගියේ දෑඟුලක් පමණ දිගුවූ දළ රවුලිනි. ගෙල තෙක් වැඩුණු කාල වර්ණ කෙස් වැටිය අවුල් වී මුහුණෙහි අඩක් වසා ගත්තේය.පුළුල් නළල් තලය පසුකොට වැටුණු කෙස් රොද අතරින් දිසි දෑස් බොර රත් පැහැයක් ගත්තේය. 


උදෑසන ඇය ඉතා ප්‍රියකරන මේ නිසංසල මොහොත, මේ සංහිඳියාව බිඳ දැමීමට පමණ නිර්භය සහ අවිචාරශිලී වූ මේ නොදැමුණු පුරුෂයා කෙරෙහි ඇගේ සිත තුල කෙමෙන් මෝදු වන්නට වූ කෝපය මැඩපවත්වා ගැන්මට දැඩි වෙහෙසක් දරමින් ඇය එක එල්ලේ ඔහු දෙස බලා සිටියාය. 

ඇය දෙස සිය රත් දෙනෙත් බමවා බලාසිටි ඔහු පියවරක් ඉදිරියට තබා දෑත ළයමත බැඳගත්තේය. 

" තී කවුද?......" 

ඔහුගේ ස්වරයේ වූයේ අපැහැදිලි බැරෑඬි ස්වරයකි. රාත්‍රියෙහි සීමාව ඉක්මවා මධු පානය කල ඉක්බිති පසුදා උදෑසන පියාණන්ගේ ස්වරයද මිට සමාන බව එක වරම ඇගේ සිතට නැඟුනි. ඔහුගේ නොදැමුණු වදන් මෙන්ම එහි වූ ග්‍රාම්‍ය ස්වරූපයද ඈ ආයාසයෙන් මැඩපවත්වා හුන් කෝපය යලි ඈ සිතට කෙමෙන් ප්‍රවිශ්ට කරලීමට සමත් විය. එහෙත් ඈ වදනකුදු මුවින් නොබැණ නොසැලෙන බැල්මෙන් එක එල්ලේ ඔහු දෙසබලා සිටියාය. 

" වහා පවසව..කොහේද තී මගේ පිරිවර සත් සියය සැඟවූයේ?....තී මායාකාරියක්ද නැතහොත් ........" 

ඔහුට වැකිය අවසන් කරන්නට ඉඩ නොදුන් ඇය අධික කෝපය නිසා වෙව්ලන කටහඬ පාලනය කරගනිමින් කථා කලාය. 

" තොප කවුරුන්ද යනු දැන් පැහැදිලියි. ඊයේ රාත්‍රියෙහි තම්බපණ්නියෙහි බීමත්ව නොමනා ලෙස හැසිරෙමින් කලහ කිරීමට තැත්කලේ ඒ තොපගේ සහචරයින් විය යුතුයි.තොප ඔවුන්ගේ නායකයා නම් ඔවුන් පාලනය කර ගැන්ම තොපගේ වගකීමකි. තොප එය හරිහැටි ඉටු නොකරන්නේනම් ඒ කටයුත්ත ඉටු කිරීමට මම සූදානම්. මම ඔවුන් සියළු දෙන දඟ ගෙයි ලැවීමි.අද උදෑසන විනිශ්චය ශාලාවට ඔවුන් ඉදිරිපත් කොට ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කොට යම් දඬුවමක් ලංකාද්වීපයෙහි බල පවත්නා නීති අනුව නියම කලයුතු නම් ඒ නියම කොට ඔවුන් නිදහස් කරන්නෙමි. එකල්හි තොපටද අධිකරණ ශාලාවට පැමිණ ඔවුන් භාරගත හැක.එහෙත් ඉන් පෙර දැළි රවුළු සහ කෙස්ස කපා පිරිසිදුව පැමිණෙන්නට වග බලා ගනුව. " 

ඇගේ සන්සුන් පිළිතුර ඔහු දෙනෙත් කෝපාග්නියෙන් රත් කරවීමට සමත්විය.එක් වරම හිණ රැඳි කොපුවෙන් කඩුව සුරතට ගත් හෙතෙම පියවර කිහිපයකින් ඇය වෙත ලඟාව ඇගේ කෙස් වැටිය වමතින් ගෙන කඩුපතෙහි තියුණු දාරය ගෙල මත තබා ගර්ජනා කලේය. 

" තී මා කවුදැයි නොදැනයි මෙසේ අවමන් බස් තෙපලන්නේ...දනුව මම…" 

" මම දනිමි තොප කවුද යන්න...තම පිරිවර සත්සියය රැයක් පුරා දඟ ගෙයි කල් යැවූබව පහන් වනතෙක් නොදන්නා නායකයෙකි තොප. එසේම නිරායුධ ස්ත්‍රියකට තම ආයුධ බලය පානා නොදැමුණු පුරුෂයෙකි තොප..එහෙත් දනුව. තොප වැන්නවුන් පාලනය කිරීමට මට ආයුධ අවශ්‍ය නොවන බව....." 

මෙසේ පවසමින් කුවණ්නා සුරතෙහි දබරැඟිල්ලෙන් ඔහුගේ කඩුව රැඳි බාහුවෙහි වැලමිට පසුපස නිලයක් ස්පර්ශ කලාය. එකෙනෙහිම බාහුව පමණක් නොව මුළු උඩුකයම ගින්නක් ඇවිලෙන්නාවූ පරිදි වේදනාවෙන් පීඩිතවූ හෙතෙම කඩුව අතහැර පසෙකට පැන වමතින් ගිනිගෙන දැවෙන්නක් බඳුවූ සුරත දැඩිව මිරිකාගත්තේ අධික වේදනාව වතෙහි පලකරවමිනි. 

ඇය සන්සුන් ලෙස නැඟී සිටියාය. 

" තොපට තොපගේ සහචරයින් දැක ගැන්මට අවශ්‍යයයි පැවසුවෙහිය. එසේය මම ඒ ඉල්ලීම ඉටු කරමි. " 

වැල්ලෙහි පතිත කඩුපත දෙස බලාගත්වනම වේදනාවෙන් මිරිකෙන ඔහුට පිටුපා ප්‍රාසාදය දෙසට නිසංසලේ ගමන් කරන අතර එදෙසට දිව එමින් හුන් ආරක්ෂක භටයින් අමතා කුවණ්ණා මෙලෙස පැවසුවාය. 

" ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගත් කළහකාරීන් සත්සියය හා සමඟ මොහුද රඳවන්න. උදෑසන අධිකරණ ශාලාවට ඔවුන් සියල්ලන්ම ඉදිරිපත් කරන්න.ඊට පෙර බන්ධනාගාර වෛද්‍යවරයා ලවා මොහුගේ අතට ප්‍රතිකාර කරවන්න. " 

" එසේය කුමරියනි,.." 

ආරක්ෂක භටයෝ හිස් නවා පිළිවදන් දුන්හ. 



මතු සම්බන්ධයි...... 

28 comments:

  1. ශහ්..මේක නම් නියමෙට ලියල තියෙනවා.. අන්තිම හරිය තමය් නියමම..ෆිල්ම් එකක් වගෙ මැවිල පෙනුනා..හොඳ වෙලාවට විජය කුවෙනි ෆිල්ම් එක නොබැලුවෙ..නැත්තන් මෙච්චර හොඳ සීන් එකකට මැවෙන්නෙ අර ඩබලනෙ..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      ඉස්තුතියි..ඉස්තුතියි...:)

      / හොඳ වෙලාවට විජය කුවෙනි ෆිල්ම් එක නොබැලුවෙ..නැත්තන් මෙච්චර හොඳ සීන් එකකට මැවෙන්නෙ අර ඩබලනෙ.. /

      කවුද බං ඒ ඩබල?...ජැක්සං ගොයියයි අනාර්කෙලීයි නේද?...මරු ජෝඩුව...උඹ ඒක බලපු නැති එක හොඳා..ඕක බලල තමයි අර බූරයි තිසරයයි මාව කන්ට හැදුවෙ කුවේනිගෙ අර මොකක්ද එක ( මට ලැජ්ජයි බං කියන්ට..උඹ ඔන්න හිතාගංකො ) රෝස පාටය මම සුදු පාට එකක් දාල තියෙන්නෙ මොකදය. එහෙම ඉතිහාසය විකුර්ති කොරන එක ඉත්තේරුවෙම්ම වැරදියය..අරකය මේකය කියල...හෙහ්, හෙහ්.

      Delete
    2. නෑ නෑ..ඒකෙ හිටියෙ රොජරුය් දුලනි අනුරාධා කියන නිලියය්..අය්යෝ ඒ දවස්වල ජනප්‍රියම මාතෘකාව ඔය කියන ඇඳුමනෙ අප්පා..

      Delete
  2. හරිම අපූරුයි.. හරිම අපූරුයි.. බූරගෙ සොයා ගැනීමත් සම්බන්ධ කරළා නේද ?

    මොකක්ද ජ්වර රෝගය කිව්වෙ ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / හරිම අපූරුයි.. හරිම අපූරුයි.. බූරගෙ සොයා ගැනීමත් සම්බන්ධ කරළා නේද ? /

      එහෙනං..එහෙනං..අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී....අනික බූරාබිදාන වගෙ බහුස්සුරූතයෙක් කල සොයාගැනීමක් එහෙම නොතකා හරින එක හොඳ නෑ නෙව....:)

      / මොකක්ද ජ්වර රෝගය කිව්වෙ ? /

      ජ්වර රෝගය කියන්නෙ සෙන්නා උණ...මැලේරියාව සා සමාන මාරාන්තික උණ රෝගයක්

      Delete
  3. උඹ එහෙනම් කිවුවා වගේම බුදුහාමුදුරුවොයි කොන්ෆියුසියස් තුමාවයි මුනගැස්සෙවුවා නේද.?? එළ එළ.. :)

    පොඩි කොස්සක් තියෙනවා.. උඹේ ඔය 'සීන දේශයට' (අඩේ මට මතක් වෙන්නෙ 'සිහින දේශයෙන්') ඒ කාලෙ ඔය නම පාවිච්චි වුනේ නැහැ මං දන්නා තරමින්.. China කියන නම ආවෙ ක්‍රිපූ 3වන සියවසේදී රට එක්සේසත් කරපු Ch’in රාජධානියේ නමින්.. කමක් නෑ අපි ඒක අල්ලලා දාමු.. :)

    ReplyDelete
    Replies
    1. බුරතීනෝ,

      / උඹ එහෙනම් කිවුවා වගේම බුදුහාමුදුරුවොයි කොන්ෆියුසියස් තුමාවයි මුනගැස්සෙවුවා නේද.?? එළ එළ.. :) /

      එහෙමමත් නෙවෙයි බොල..By Proxy..මෙතන මුණගැහුනෙ කොන්ෆියුසියස් තුමාගෙ අනුගාමිකයකුයි බෞද්ධ භික්ෂුවකුයි ...

      / පොඩි කොස්සක් තියෙනවා.. උඹේ ඔය 'සීන දේශයට' (අඩේ මට මතක් වෙන්නෙ 'සිහින දේශයෙන්') ඒ කාලෙ ඔය නම පාවිච්චි වුනේ නැහැ මං දන්නා තරමින්.. China කියන නම ආවෙ ක්‍රිපූ 3වන සියවසේදී රට එක්සේසත් කරපු Ch’in රාජධානියේ නමින්.. කමක් නෑ අපි ඒක අල්ලලා දාමු.. :) /

      කතාව ඇත්ත මලේ..මම ට්‍රයි එකක් දුන්න ක්‍රි.පූ. පස්වන සියවසේ විතර චීනෙට කියාපු නම හොයාගන්ට..එහෙම එකක් හම්බ උනේ නෑ. කැතේ කියල චීනෙට කියල තියනව ..ඒත් ඒ මාකෝ පෝලෝගෙ කාලෙ... 13 වන සියවසේ විතර.හොං කොං වල Cathay Pacific Air Line එකට නම දාල තියෙන්නෙ ඒ අනුසාරයෙන්.

      Delete
    2. ඒ කාලෙ පුංචි පුංචි රාජධානි විස්සක් විතර එකාට එකා මරාගත්ත කාලෙ නෙවැ.. ඉතිං එහෙම තනි නමක් තියෙන්ට නැතුව ඇති... තිබ්බනං ඕක රෙකෝර්ඩ් නොවී තියෙන්නෙ නෑ..

      Delete
  4. සත්සියක් සක්වල සොයා මම ගෙන්වු කුමරුන් අද එතේ.. :)

    මේකනම් අතිවිශිෂ්ඨයි රවී අයියේ. වෙන කියන්න වචන නෑ මට. සිංහල සාහිතය පොතේ තිබ්බ පාඩමක් වගේමයි. කොහෙන් එන අයිඩියාස්ද මන්දා

    ReplyDelete
    Replies
    1. සයුරීස්,

      බොහොම ස්තූතියි නෝනා මහත්මිය බොහොමත්ම ස්තූතියි..:)

      සත්සියක් මායා බෙලෙන් මම,
      සත්සියක් බන්ධන බෙලෙන් මම,
      සත්සියක් සක්වළ සොයා මම,
      ගෙන්වු කුමරුන් අද එතේ!!!!

      Delete
  5. මුල ටික කියවගෙන යද්දි බය හිතුනා අයියා මේකත් අර දඩයක්කාරයගෙ කතාව වගේ දෙබස් නැති කතාවක් කරන්න යනවද කියලා. දෙවෙනි කොටසෙත් ගොඩක් තිබුණේ විස්තර විචාරනේ. ඔන්න අන්තිම හරියනම් නියමයි. කොටස් තුනක් ගියා, ඔන්න අද තමයි දෙන්නා හම්බුනේ. ඒ කියන්නෙ ඉතිං කතාව තව කොටස් බර ගාණක් යයි වගේ, සමහරවිට දඩයක්කාරයවත් පරද්දලා. :D

    ReplyDelete
    Replies
    1. සිත්තමීස්,

      / ඒ කියන්නෙ ඉතිං කතාව තව කොටස් බර ගාණක් යයි වගේ, සමහරවිට දඩයක්කාරයවත් පරද්දලා. :D /

      නෑ..නෑ...කරපු මෝඩකං දෙන්නට සරියේ..තවත් මෝඩකං නොකරං මරියේ කියලත් තියනවනෙ...තව කොටස් දෙකයි..ඌඌඌපරීඊඊඊඊඊඊම කොටස් තුනයි...කලාස්. එල්ලාම් මුඩිංජි :)

      Delete
  6. කතාව ඉවර වුනාමම මොනවා හරි කියලා යන්න එන්නම්...
    නැත්තං මේක ලියලා තියන විදිහ වර්ණනා කරන්න ගිහින් රවීව මුරුංගා අත්තේ තියලා අන්තිමට කතාව ලියන්නවත් ගහෙන් බහින්නැතිවේවි..!!

    ReplyDelete
    Replies
    1. නග්ගන්න මුරුංගා ගස් කොහෙද රූ ..පඳුරු තලද්දී එව්වත් බිමලු

      Delete
    2. රූ,

      / නැත්තං මේක ලියලා තියන විදිහ වර්ණනා කරන්න ගිහින් රවීව මුරුංගා අත්තේ තියලා අන්තිමට කතාව ලියන්නවත් ගහෙන් බහින්නැතිවේවි..!! /

      එහෙම හරි යන්නෙ නෑබොල..කොහෙ නැංගුවත් විජහට බැහැල කතාව ඉවරයක් කොරන්න ඕන...තව කොච්චරනම් තියනවද ලියන්ට ..හෙණ පෝලිමක්..අර මළගෙදර ගිය අපෙ කාණ්ඩෙ ( මතකයි නේද? ) උන්දල තාම කළාවැවේ ඉවුරෙ..එතන වෙච්චි එව්ව ලියල ඊට පස්සෙ මළගෙදර වෙච්චි සීන් එක ලියන්ට ඕන..අම්මප ඒක මතක් වෙනකොටත් හිනාවෙල පණයනව..ඊට පස්සෙ වාං පතුල් කතාව ඉවරයක් කරන්න ඕන...ඊට පස්සෙ තියනව කුමරියකට පෙම් කළෙමි..ඊටත් පස්සෙ තව තියනව ඉතිහාස කතා මහ ගොඩක්...සාලිය-අසෝකමාලා, දුටුගැමුණු-රංමැණිකා..එව්ව ප්‍රසිද්ධ කතා නෙව..තව තියනව කවුරුත් නොදන්න අප්‍රසිද්ධ පෙම් කතා කීපයක්...අපෙ අත්තම්මගෙ පෙට්ටගමේ තිබිල මට හම්බ උනා බොහෝම පරණ පුස්කොල පොත් වගයක්. එව්වයෙ තමයි ඔය අපූරු කතා තිබ්බෙ. කාශ්‍යප ගැන තියනව කතාවක්..එතකොට බිලීව් ඉට් ඕ නෝ..ශ්‍රී වික්‍රම රාජසිංහගෙ ප්‍රේම කතාවකුත් තියනව. හෙහ්, හෙහ්, පුළුවන් නම් කියාපං කවුරු එක්කද කියල.... ඔට්ටුද බැරුවට?

      Delete
    3. බින්දි,

      අඩේ හැබෑට පඳුරු තැලිල්ල අමතකම වෙල ගියා නෙවද? :(

      Delete
    4. @රවී,
      "Live as if you were to die tomorrow. Learn as if you were to live forever."
      මහත්මා ගාන්ධිතුමා මෙහෙම කියලා තියනවා කියලා මට එක පාරටම මතක්වුනා..මොකද දන්නෑ..!!


      @බින්දි,
      සහතික ඇත්ත..දාන්න පහක්..!!
      මේ පඳුරු තැලිල්ලේ හැටියට මුරුංගා ගස් විතරක් නෙවෙයි සද්දන්ත මාර ගස් බුරුත ගස් පවා ඉතුරු වුනොත් පුදුමයි..

      Delete
    5. රූ,

      / මහත්මා ගාන්ධිතුමා මෙහෙම කියලා තියනවා කියලා මට එක පාරටම මතක්වුනා..මොකද දන්නෑ..!! /

      මම දන්නෙ කොහොමෙයි බොල බොට එක එක එව්ව හිතෙන්නෙ මොකදැයි කියල..මොකෝ මට පුබ්බේ නිවාසානුස්මෘති ඥාණය තියනවයි කියල හිතුවය? :)

      Delete
  7. හරිම අගෙයි ..මොන නිර්මාණය කලත් අපේ කට කැඩිච්චි කතාවක් ඇරෙන්න බොට හොඳක් ලැබෙන එකක් යැයි .

    හැබෑටම අතීතය ස්පර්ශ කරමින් කතා මැවීමට ඇති සහජ හැකියාව බබලවිමින් නිමවුන මේ අනගි ලියවිල්ලට අප බොහෝ මනාප බව මෙයින් කියා සිටිමු .

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / හරිම අගෙයි ..මොන නිර්මාණය කලත් අපේ කට කැඩිච්චි කතාවක් ඇරෙන්න බොට හොඳක් ලැබෙන එකක් යැයි . /

      අනේ බාං ඒක දැං ගාණක්වත් නෑ...අර කම්මලේ බල්ලට වගෙ තමා...දැං අවුරුදුම අටළොසක් නෙව, සෙල්ලං කෙලියක්ද? වනිතා දෝසාරෝපන කියන එක මට දැං පත්තියං වෙලයි තියෙන්නෙ.අනික් අතට මොහොකට හරි කං පුරෝල බැණුං ඇහුවෙ නැත්තං අපෙ උන්දැගෙං ඕං මට එදාට නින්ද යන්නෙත් නෑ හරියකට...

      ස්තූතියි නෝනා මහත්මියනි.බොහොම ස්තූතියි....:)

      Delete
  8. Replies
    1. මංජු,

      ස්තුතියි :)

      Delete
  9. https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

    ReplyDelete
    Replies
    1. කෙන්ජි,

      ස්තූතියි :)

      Delete
  10. Replies
    1. සඳා,

      ස්තූතියි :)

      Delete
  11. මට තියනවනෙ ලෙඩක්.. මෙව්වගේ කතා කියවන්න මූඩ් එකක් එන්න ඕනේ... අද උදේ පාන්දරම ඔන්න හිස් බඩම මූඩ් එක ආවා... අර අන්තිම හරිය නම් පිල්ම් එහෙකට අගෙයි... මුල හරියේ දෙබස් අඩු වීම නිසා සූට්ටක් වගේ අයාසයක් දාන්න ඕනේ. හැබැයි ඉවර කරලා තියනවා නියමෙට.. දැන් ඉතින් ඊළඟ එක එනකං ඉන්නේ...

    කුවණ්නාගේ රූපය හිතේ මවා ගන්න හැදුවා හරි ගියේ නෑනේ... බැරිද ඒකට මොකවත් කරන්න...

    ReplyDelete
    Replies
    1. තිසර,

      කුවණ්ණාගෙ හැඩ රුව ගැන මොකවත් නොකිය හිටියෙ හිතලමයි....:)

      හිතේ මවා ගන්න පොඩි විස්තරයක් ඕනමද?...බලමු එහෙනං :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...