Wednesday, September 28, 2016

444. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 32 - අනවශ්‍ය දොස්තර ගෞරවය නොහොත් අශ්වයින්ට අං පැළඳවීම සමඟ Sethu Samudram, Miranda Warning, Dilscoop & Queen Closer








ජොස්තර වර්ජන නාඩගම ගැන ලියපු සටහනේ අන්තිමට මම කිව්වනෙ ජොස්තරු ගැන තව සිද්දියක් කියන්ට තියනවය, ඒත් සටහන දිගවැඩිවුන හින්ද ඒක පස්සෙං පහු කියන්නම්ය කියල. ඉතිං මම කල්පනා කලා ඒකත් මෙහෙම්මම කියල දැම්මනම් වැඩේ අහවරයි නෙවද කියල. අනික ඒ සිද්දිය සම්බන්ද වෙන්නෙ මගෙ ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවට හින්ද කාලෙකින් ඒ සීරීස් එකේ එපිසෝඩ් එකක් ලිව්වෙත් නැති හින්ද ලියන්ටම ඕන කියල හිතුන. ඔන්න ඉතිං මෙහෙමයි කතාව.

අපි දෙන්න දැනට ඔය ඇත්තං කාල නැත්තං කහට උගුරක් බීල දෙයියනේ කියල වැටිල ඉන්න පැල්කොටේ අටව ගන්ට ඉස්සර උන්දැට හම්බවුනු ඉස්කූල් කෝටස් එකේ හිටිය එක අවුරුදු හතක් තරම. මම ඒ කාලෙ ගැන බොහොම විස්තර ලියල තියනව ගුරුවරියක සමඟ මගේ ජීවිතය ලියද්දි. 

අර වීක් එන්ඩ් එකට ගෙදර තියන කොට්ට,මෙට්ට ඇඳ ඇතිරිලි,දොර රෙදි,ජනෙල් රෙදි,සර්වියට් පවා තොගේ පිටිං හෝදල වත්ත පුරා රෙදිවැල් ඇදල වනන්නෙ ඒ ඔය කෝටස් එකේ ඉන්දැද්දි තමයි. වීක් එන්ඩ් වල රිලැක්ස් එකේ දෙකක් දාගෙන පොතක් පත්තරයක් කියවගෙන ඉන්නෙ ඒ වෙන මිනිස්සු. මම කරන්නෙ වැස්සක් කඩාපාත්වෙනවද බලබල එලිපත්තට වෙලා ඉන්න එක, අර එලියෙ හෝදල වනල තියෙන රෙදි කන්දරාව තෙමෙන්ට ඉස්සරවෙලා ගෙට ගන්ට එපාය. අන්න ඒ ඉස්කූල් කෝටස් එකට එන්ට කලිං මාස තුනක් වගෙ අපි දෙන්න හිටිය හීරැස්සගල පාරෙ ඇනෙක්සියක.

ඒ මාස තුනත් බොහොම අමතක නොවන කාලයක්. අපි හිටපු ඇනෙක්ස් එකේ ඉඳල පයින් යන දුරක තිබ්බෙ සීතාදේවි බාලිකාව. ඒ දවස්වල අපෙ උන්දැට සීතාදේවි එකට ට්‍රාන්ස්ෆර් එකක් ලැබෙන කතාවකුත් තිබ්බ හින්ද ඒ ඇනෙක්ස් එක තිබ්බෙ හොඳම තැන. ම්ම්ම්..ඇත්තම කිව්වොත් ඒ පයින්යන දුර කියන ඩෙෆිනිෂන් එක නම් එතරම් සාර්තක නෑ. ඒ කියන්නෙ ලංකාවෙ ඉඳල ජර්මනිය ප්‍රංශෙ උනත් පයින් යන දුරක තියෙන්නෙ කියල කිව්වැහැකි අර ඉන්දු-ලංකා පාළම හැදුවට පස්සෙ. මොකක්ද ඒකෙ නම? ආ..මේ සේතු සමුද්‍රම් නේද? නෑ නේද? සේතු සමුද්‍රම් කියන්නෙ අර පෝක් සමුද්‍ර සන්ධිය ගැඹුරු කරල නැව් ගමනාගමනයට පහසුකම් සළස්වන ආතල් එකනෙ. හරි කොහොමහරි ඒ ගැඹුරු කිරිල්ලට අමතරව පාළමකුත් හැදෙනවලු. ඉන්දියාව සහ ලංකාව යා කරල පාළමක් හදන්ට ඉන්දියාවෙ අදහසක් තියනවයි කියල අවුරුද්දකට හමාරකට වගෙ ඉහත මම දැක්ක පත්තරවල දාල තියනව.

හරි හරි ඔය ඉන්දු-ලංකා පාළං ගැන කතන්දර දැනට පැත්තකිං තියමුකො. ඔව්ව කොයි කාලෙක කෙරෙයිද කියල එක අතකට කාටද කියන්ට පුලුවන් නැද්ද? ලංකාවෙ රජයයි ඉන්දීය රජයයි දෙකමත් එක පයිං කැමතිවෙලා වියදං සල්ලි හොයාගත්තත් ඉතිං අර ගොල්ල එපා කිව්වොත් ඕක කෙරෙන්නෙම නෑනෙ. දන්නවනෙ අර ගොල්ල කවුද කියල නේද? ඈ? දන්නෙ නෑ? එතකොට ලංකාවෙ ඕනම වැදගත් ආර්ථික සමාජීය තීරණයක් ගන්ට යද්දි එයාලගෙ අවසර ඕන වෙන සර්ව බලධාරින් කට්ටිය ගැන දන්නෙ නෑ නේද? ෂෙක්..ලැජ්ජයි ලැජ්ජයි..වෙන කවුරුත් නෙවේ වදේ...ජී.ඕ.එම්.ඒ. එක නොහොත් සර්ව බලධාරී අති උතුම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ආමෙන් සහ හලෙලූයා) ගැනයි මම මේ කියන්නෙ.

හරි ඒ පාළං කතා ඔය මදැයි. ඉතිං ඔය හීරැස්සගල ඇනෙක්ස් එකේ ඉද්දි හැමදාම හවසට සාලෙ ජනේලෙන් පේනව වවුලො එක ලක්ස ගානක් පියඹල යනව නුවර ටවුන් එක දිහාවට. ඒ කිව්වෙ බහිරව කන්ද උඩවත්තෙ කැලේ හන්තාන. ඊට පස්සෙ එව්වත් පහුකරල හුන්නස්ගිරිය දිහාවට.

"කොහෙන්ද ඒයි ඔය හැටි වවුලො කැටියක් ඔය එන්නෙ?"

අපේ උන්දැ මුලින්ම එක පොක්කරේට ඔහොම වවුලො පියාඹනව දැකපු දවසෙ ඇහුවෙ කටත් ඇරගෙන. ඒ වෙලාවෙ අපි දෙන්න හිටියෙ උණු උණු කිඹුලො දෙන්නෙක් රස විඳිමින්. හීරැස්සගල හන්දියෙම තිබ්බ ලලිතා බේකරිය කියල. හවස පහ වගෙ වෙනකොට ඒකට එනව අච්චු පාන්, තැටි පාන්, රෝස් පාන්, කිඹුලො, සීනි බනිස්,විස්කිරිඤ්ඤ, ඤාණකතා ඔය කොයිවත්. සුවඳ කියන්නෙ ආය ඉවසන්නම බෑ. "පාන් සුවඳ සිව් සිය ගව් දැනේයා" කියල කියන්නෙ ඉතිං කට කහනවටය?

ඔයිට කාලෙකට ඉස්සරවෙලා, ඒ කිව්වෙ හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ මම මේ කියන්නෙ, අපි ඔය කෑගල්ලෙ ඉන්න කාලෙ අපෙ තිබ්බ තඩි වේවැල් කූඩයක් . ඕකත් වන වන නාගොල්ලෙ අපි හිටපු කෝටස් වල ඉඳල පොලිසිය එහෙම පහුකරල මම කන්ද බැහැල එනව හැමදාම වගෙ පාන් ගෙනියන්ට. ඒ එන්නෙ කෑගල්ලෙ ටවුන් හෝල් එක එතකොට ලක්සල එහෙම පහුකරල ටවුම පැත්තට බඹ සීයක් හමාරක් යනකොට මහජන බැංකුව ඉස්සරහ පාරෙ දකුණු පැත්තෙ පිහිටල තිබ්බ මිරන්ඩා ඇන්ඩ් සන්ස් එකට. නොහොත් මිරන්ඩා සහ පුත්‍රයෝ සමාගමට. මිරන්ඩා එකේ තමයි ඒ කාලෙ ඒ පලාතෙම නමගිය පාන්, බනිස් සහ කේක් දැම්මෙ. 

"Miranda Warning" කියල එකක් අහල තියනවද? අමරිකාවෙ සැකකරුවෙකුගෙන් ප්‍රශ්ණ කිරීමට හෝ ප්‍රකාශයක් සටහන් කර ගන්නට පලමු සැකකරුට ඔහුගේ අයිතීන් පිලිබඳව මතක් කරල දෙන්න ඕන නිල වශයෙන්ම. එහෙම නැත්නම් සැකකරු දුන්නු පිළිතුරු හෝ ප්‍රකාශය නීත්‍යානුකූල නෑ සහ අධිකරණයකදි පිළිගන්නෙ නෑ. ඔය මිරන්ඩා වෝනිං එකට ඒ නම ලැබුනෙ මිරන්ඩා නම් සැකකරුවෙක් සම්බන්ධයෙන් තමයි අමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය ලබාදීල තියෙන්නෙ.අර තිලකරත්න ඩිල්ෂාන්ගෙ "ඩිල්ස්කූප්" ෂොට් එක වගේ තමයි හෙහ්,හෙහ්,

ඉතිං පාං ගන්ට එද්දි මම අරම වේවැල් කූඩෙ අරගෙන එන්නෙ මොකෝ දන්නවද? එහෙම නැත්තං පාං ගේන්ට තිබ්බෙ අම්ම මහන රෙදි බෑග්. ගනකම කාකි රෙද්දක් දෙපොට දාල කතිර මැස්මෙන් මැහුවම ආය නෑ කාලාන්තරයක් පාවිච්චි කලෑකි හෝද හෝද. ඉස්පිරිතාලෙන් අයින් කරන සේලයින් බට ගොතල අත්තම්ම හදනව ඒ රෙදි බෑග් වලට අල්ලු නොහොත් හැන්ඩ්ල්ස් දෙකක්. ඒ කාලෙ ෂොපිං මලු කියන එව්ව ගැන අපි දන්නෙවත් නෑ. බඩු ගේන්නෙ එක්කො ඔය වගෙ රෙදි මල්ලකට. එහෙම නැත්තං වේවැල් කූඩෙකට. එක පාර බඩු විසාල තොගයක් ගන්නකොට කඩේ ගෝලයම පෝර මල්ලකට හරි පැරකුම් උකුකිරි ටිං 24 පැක් කරල ආපු කාඩ්බෝඩ් පෙට්ටියකට හරි බඩු ටික සීරුවට අඩුක් කරල දෙනව.

පාන් පුච්චන්ට ගෑස්, කරන්ට් පෝරණු තිබ්බෙ නෑ එදවස. තනිකරම දර තමයි ඉන්ධන. ගින්දරට ඔරොත්තු දෙන ගිණි ගලෙන් හදපු පෝරණුවෙ කට අර්ධ කවාකාරයි. ඒක වහල තියෙන්නෙ ගණකම වානේ හෝ යකඩ තහඩුවකින්. ඒ දොර ඇරියගමං එළියට ගහනව රස්නයක් ආය නෑ අපායෙ දොර ඇරිය වගෙ. මෙහෙ රස්නෙ කාලෙට අපි වැඩකරන්නෙ ඒසී ෆුල් දාල තව ටිකකුත් දාලනෙ. හවස වැඩ ඇරිල ගෙදර යන්ට එළියට බැස්ස ගමං දවල් දවස තිස්සෙ රත් වෙච්චි අවට පරිසරේ රස්නෙ කෙලින්ම මූණටම වදිනකොට මට පටගාල මතක් වෙන්නෙ ඒ කාලෙ කෑගල්ලෙ මිරන්ඩා පාන් පෝරණුවෙ දොර ඇරියම රස්නෙ මූණට ගහපු හැටි.

ඉතිං ආයම එමු හීරැස්සගලට. හන්දියෙ පාන් කඩෙන් පාන් ගේන්ට ගෙදර හිටියොත් අනිවාර්යයෙන්ම මම යනව. ඒ යන පාරෙ අතරමඟ තරමක විතර ගෙයක් කුලියට අරගෙන ඒකෙ නැවතිල හිටිය ඒ අහල පහලම තියෙන ප්‍රයිවට් ඉස්පිරිතාලෙක හෙදියො හැටියට පුහුණුවෙන කෙල්ලො හත් අට දෙනෙක්.

මම ඔතිං ඔතනින් යනකොට මුලින්ම එවුං එක්ක මනුස්සකමට හිනාවෙලා ඊට පස්සෙ ආයම ඒත් මනුස්සකමටම කතාබහ කරල ඊටත් පස්සෙ ඒත් මනුස්සකමට බොහොම හිතවත් වුනා. පස්සෙ ඒ ගැටිස්සියන්ට පාන්, බනිස්, කිඹුලො, ඥනකතා, සව් බොර, යනාදී නොයෙක් ඔය තේ බොන්ට ගන්න කෑම වර්ග එහෙමත් ගෙනත් දෙන්ට මටම බාරවුනා. ඒත් මනුස්සකමට. පස්සෙ ඔය මනුස්සකමට පටන් ගත්තු සමාජසේවා වැඩේ තව පොඩ්ඩෙංනං මහ ජංජාලයක් වෙලයි කෙලවරක් වෙන්නෙ. හරි ඒ ගැන සවිස්තරව කියමුකො ආයම ගුරුවරියක සමඟ මගේ ජීවිතය කථාංගයක් කියන දවසක. මොකක්ද? ගුරුවරියක සමඟ මගේ ජීවිතය තව කොටස් තියද ඇහුව? මොනවද ලතා මේ කතා? තව අඩුම ලංසුවෙන් කථාංග තියනව එක දෙසීයකට එහා පැත්තෙ. ඒ හින්ද ඒ ගැන හිතේ කහටක් එහෙම තියාගන්ට එපල්ල.

හරි එහෙමනම් මම අර කතන්දරේ පටන්ගද්දිම කිව්වෙ ජොස්තරල ගැන තව පොඩි කතාවක් කියන්ට තියනවය කියල. ඒක කියල අද කතන්දරේ ඉවරයක් කරල දාමු. එහෙම හොඳයි නේද? හරි එහෙම තමයි හොඳ.

ඔන්න අපෙ උන්දැට හිටපු ගමන් හැදෙනව බොහොම දරුණු ඉසේරදයක්. ඕක හැදුනම ඔලුව පුපුරන්ට වගෙ අමාරුයිලු. ඒ වෙලාවට ඉතිං යන්තමට සද්දයක් ඇහුනත් ඉවසන්ට බෑ. ඉතිං කරන්නෙ ඒකට දීල තියන බේත් බීල කාමරේ ජනෙල් රෙදි එහෙම පාතට දාල පුලුවන් තරම් අඳුරු කරගෙන නිදාගන්න එක. ඕඩිකොලෝන් පොඟවපු ලේන්සුවක් නළලට දාපුවහමත් ගුනයක් තියනව.

ඉතිං අපි ඔය හීරැස්සගල ඉන්න කාලෙ දවසක මම ගෙදර එද්දි මෙතුමීට ඔන්න බෝම තදටම අර අසනීපෙ හැදිල. දොර අරින්ට ආවෙත් බොහොම අමාරුවෙන්. ඒ දවස්වල මම වැඩකලේ මීපිළිමානෙ. නුවරඑළියෙ ඉඳල පට්ටිපොළ පාරෙ යන්ට ඕන කිලෝ මීටර් හයක් හතක් වගෙ.

නමසිය හැත්තෑ ගණංවල සිරිමාවෝ මැතිණිගෙ ආණ්ඩුවෙන් පටන්ගත්තනෙ වගා සංග්‍රාමයක්. "උදළු අරං වරෝ...නගුලු අරං වරෝ,.... වරෝ, වරෝ, වරෝ, .....රට නඟන්න වරෝ," උදේ පාන්දර පහට පහමාරට විතර ගුවන් විදුලි සංස්ථාවෙන් එහෙම තමයි අපිට කිව්වෙ. පිටරටින් අල ගෙන්වීමත් තහනම් කලා. මේ රටේම අල වවන්න රජයෙන් ආධාර එහෙමත් දුන්න. ඔය හොඳ තත්වයෙ බීජ අල එහෙම ආණ්ඩුවෙන් නොමිලේ බෙදල දුන්න. ගුණතිලක කියල මහත්තයෙක් තමයි මේ බීජ අල නිෂ්පාදන වැඩේ මූලිකත්වය ගත්තෙ. එයාට කිව්වෙ "අල මහත්තය" කියල. බොරලන්දෙ සහ මීපිළිමානෙ මේ බීජ අල නිෂ්පාදනයට විශේෂ ගොවිපොලවල් දෙකකුත් ආරම්භ කලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්.

මට මතක විදිහට වැලිමඩ අර්තාපල් සහ නුවරඑළිය අර්තාපල් කියල දෙවර්ගයක් ආවෙ මේ බීජ ගොවිපොළවල් දෙක හින්ද. ඉතිං පස්සෙ කාලෙක ආර්ථිකය විවෘත වෙලා අර්තාපල් සහ බීජ අර්තාපල් ඔක්කොම ආනයනය කරන්ට ගත්තු හින්ද මේ ගොවිපොළවල් වල් බිහිවෙලා ගියා. 

දෙදාස් දෙකේ, තුනේ වගෙ මේ අත ඇරල දාපු,  පාලුවට ඇරිල තිබ්බ මීපිළිමාන ගොවිපොළේ ජපානයට අපනයනය උදෙසා ඕකිඩ් සහ කානේෂන් මල් වගා කරන්ට සූදානම් වුනා පෞද්ගලික සමාගමක්. ඒකට හරිතාගාර හදන්ට කඳු කපල පොළව ලෙවල් කරන කොන්ත්‍රාත් එක අරගත්ත මගෙ යාළුවෙක්. කුකුළේ ගඟේ අර මතකනෙ " සුරක්ෂිතතා පූර්ව උපක්‍රම" එහෙම. කැනරි කුරුල්ලන් වෙනුවට අවිච්චියන් යොදා ගැනීම. ඒ කටයුතු අහවරයක් වෙලා ගෙදර ඇවිදිල්ල ඉන්න කාලෙ තමයි මට ඔය මීපිළිමාන වැඩේ සෙට් වුනේ.

මම ඔය මීපිළිමානෙ ගියහම දවස් තුන හතරකට සැරයක් වගෙ ගෙදර එන්නෙ. මේ එහෙම ආපු දවසක්.

ඉතිං එතුමී ඔලුවත් අල්ලගෙන බැරි මරගාතෙ ඇවිල්ල ඉස්සරහ දොර ඇරල ආපහු ගිහිල්ල නිදාගත්ත.

"මොකද අනේ? ආපහු අර ඔලුව කැක්කුම ආවද?" මම ඇඳේ ඉඳගෙන ඇගේ හිස පිරිමැද්ද.

"ඒකනෙ..බලන්ටකො...උදේ ඉඳල ටික ටික තිබ්බ. පස්සෙ හවස් වෙනකොට හොඳටම වැඩි වුනා."

"ඉතිං අර ඕකට ගන්න කහපාට පෙත්ත බිව්වෙ නැද්ද?"

"හරි වැඩේනෙ. ඒ බෙහෙත ඉවරයිනෙ. මට මතක තව ඉතුරුවෙලා තිබ්බ වගෙ. ඒත් දැං සෑහෙන දවසකින් ඔලුවෙ කැක්කුම හැදුනෙ නැති හින්ද බෙහෙත් තියනවද කියල බලන්ටත් අමතකම වෙලා ගියානෙ. අද බලනකොට එකක්වත් නෑ."

"ඒක තමයි කියන්නෙ...පොඩ්ඩක් හොයල බලන්ට එපාය බෙහෙත් ඉවරද කියල. ඔය අසනීපෙ හැදුනම තියන අමාරුව ඔයාමනෙ දන්නෙ. අනික හදිස්සියෙන් මම අද ආවෙ එහෙම නැත්තං. කෝල් එකක්වත් දෙන්ට තැනක් තියනවද?"

අපේ මීපිලිමානෙ සයිට් එකට ටෙලිෆෝන් නෑ. ඒ හරියට සිග්නලුත් නෑ හරියකට. අනික ඒ කාලෙ මගෙ ගාව මොබයිල් එකක් තිබ්බට ඇනෙක්ස් එකේ ටෙලිෆෝන් නැති හින්ද මම ඒක තියලයි යන්නෙ.

"මම දන්නවනෙ ඔයා එනවමයි කියල. එන්නෙ නැත්තං මට කියනවනෙ." ඇය වේදනාබරව මහත් අපහසුවෙන් සිනා සුනාය.

"හරි, හරි යමු බෙහෙත් ගන්ට. ඔහොම ඉඳල හරියන්නෙ නෑනෙ. අතන අර හන්දියෙ එළවළු කඩේට එහා පැත්තෙ ඩිස්පෙන්සරිය තවමත් ඇරල මම හිතන්නෙ. යමු මම විනාඩියෙන් වොෂ් එකක් දාල එන්නං ඔයා ඇඳගන්ට"

හීරැස්සගල හංදියෙම වගෙ ඒ කාලෙ තිබ්බ ඩිස්පෙන්සරි එකක්. ඒක රෑ නමය දහය වගෙ වෙනකලුත් ඇරල. අපි දෙන්න ඔන්න ඇඳ පැළඳගෙන ගෙදර දොර වහල දොරට බැස්ස. 

"පයිං යන්ට පුලුවන්ද? මම ගිහිල්ල ත්‍රී වීලර් එකක් ගේන්ටද?"

"නෑ. මෙතන තනියම ඉන්න වෙලාවෙ හෙමීට යමු. මහ දුරක් නෑනෙ. මඟදි එකක් හම්බ වුනොත් නඟිමු."

කොහොම හරි ඩිස්පෙන්සරියට යනකල්ම ත්‍රී වීලර් එකක් හම්බවුනේ නෑ. අපි දෙන්න හෙමිහිට පයින්ම ගියා. යනකොටත් එලියෙ පුටුවල ඉඳගෙන ඉන්නව දහයක් දොළහක් විතර. අතන හිටපු නර්ස්ට නම දීල අපි දෙන්න ඉඳ ගත්ත.

"මේ ….ඔය වගෙ දරුණු ඔළුවෙ කැක්කුම් වලට දෙන බෙහෙත් බොහොමයක ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියනව. ඒ හින්ද මතක ඇතුව දොස්තරගෙන් අහන්න එව්ව ගැන" මම ඈ දිහාට නැමිල කිව්ව

"මෙතන තව සෑහෙන සෙනඟක් ඉන්නවනෙ ඒයි. අනික ගොඩක් ඩොක්ටර්ස්ල කැමති නෑ එහෙම ප්‍රශ්ණ අහනවට. මේ ඩොක්ටරුත් එහෙමයි කියල මට කවුද මන්ද කිව්ව."

"මොකක්? ඒක මාර කතාවක්නෙ. අපි නිකං නෙවෙයිනෙ බෙහෙත් ගන්නෙ. අපි ඩොක්ටර් කියන ගාණ ගෙවනව. අනික අපි කවදාවත් කඩේකට එළවළුවක් ගන්ට ගිහිල්ල කේවෙල් කරනව වගෙ ඩොක්ටර් කෙනෙක් එක්ක කෙවෙල් කරන්නෙ නැහැනෙ. දොස්තර මහත්තයො ඔහෙගෙ ගාණ නම් වැඩියි. එහෙම නෙවෙයි බැරිද තව කීයක් හරි අඩුකරන්ට කියල. අපි එහෙම නොකරන්නෙ අපිට පුලුවන් ඉක්මනට ලෙඩේ සනීප කරගන්ට ඕන හින්ද සහ එහෙම කේවෙල් කරන එක ඩොක්ටර්ගෙ වෘත්තිය හෑල්ලු කීරිමක් කියල අපි හිතන හින්ද. එහෙනම් අන්න ඒ වගේම දොස්තරත් දැනගන්න ඕන අපි ගෙවන මුදලට හරියන සේවයක් අපිට ලබාදෙන්ට."

"ෂ්..ෂ්..ෂ්..කෑ ගහන්ට එපා අනේ..අර මිනිස්සුත් බලනව මේ පැත්ත." ඇය වටපිට බලල හෙමිහිට කිව්ව. 

ඇත්තත් නම් තමයි. මගෙ කටහඬ නොදැනිම ඩිංගක් විතර උච්ච ස්වරයකට ගිහිල්ල. දෙතුන් දෙනෙක්ම අපි දෙන්න දිහා බලල ආපහු අහක බලාගත්ත. 

"හරි ඔයාටනෙ ඕක අහන්ට බැරි. මම අහන්නම්කො ඩොක්ටර්ගෙන්. කොහොමත් මමත් ඔයා එක්ක ඇතුලට එනවනෙ."

"මේ එකක් කියන්නං. අනේ පිං සිද්ද වෙයි මෙතන කෑගහන්ට විතරක් එපා ඔන්න. අර අතන කොණේම ඉන්න ලේඩි ඉන්නෙ අපෙ ගෙදරට ගෙවල් දෙක තුනකට මෙහා. උදේ මම ඉස්කෝලෙ යනකොට හැමදාම වගෙ කතා කරනව. ඔයා මෙතන කෑගහල එකක් කලොත් එහෙම මම කොහොමද ඒ මනුස්සයගෙ මූන බලන්නෙ?"

"හරි, හරි, මම නිකං නෙවෙයිනෙ කෑගැහුවත් කෑගහන්නෙ. සාධාරණය වෙනුවෙන් නෙ."

"හරි, හරි, හරි මම දන්නවනෙ ඒක."

ඔහොම විනාඩි විස්සක් වගෙ ගියා. ඇතුලට ගිය කට්ටිය විනාඩි දෙකයි තුනයි එලියට එනව.

"විනාඩි දෙකකින් තුනකින් දෙයියෝ සාක්කි ලෙඩාට හරි බරි ගැහිල වාඩිවෙන්ටවත් පුලුවන්ද? මේ දොස්තරය නම් මාර බඩුවක් තමයි." මම අපෙ උන්දැට විතරක් ඇහෙන්ට කිව්ව. ඇය නෑහුනා වගෙ තොල් හපාගෙන අහක බලා ගත්ත. 

ඒ එක්කම මගෙ අතේ තිබ්බ ජංගම දුරකථනය නාද වෙන්ට ගත්ත. අතේ තියාගෙන හිටියෙ ඒක සාක්කුවෙ දාගන්ට බැරි තරම් මහ විසාලයි. ආනබාදුවක් විතර ඇති කොටින්ම. ගොඩනැඟිලි ඉදිකිරීම් ශිල්පය ඉගෙන ගත්තු අය දන්නව ඇති ආනබාදුව කියන්නෙ ගඩොලක් දික් අතට හරි මැදින් කඩා ගත්තම ඒකට කියන නම (ඉංග්‍රීසියෙන් Queen Closer)

"හලෝ... මචං මම මේ ලලිත්….." ලලිත් කියන්නෙ මම අර කලින් කිව්වෙ මීපිළිමානෙ කොන්ත්‍රාත් එක ගත්තු මගෙ යාලුව.

"හලෝ ලලිත්. මම මේ දැන් ඇවිල්ල පැයක් වගෙ බං…"

"හරි හරි සොරි කරදර කලානං. මචං මේ අර Zone A එකේ කොච්චර විතර දැනට පස් කපල ඉවරද?..."

"ඒකෙ නම් ලලිත්……."

මම නැඟිටල එළියට බැස්ස අවහිරයකින් තොරව කතා කරන්ට. කොහොම හරි කතාව ඇදිල ගියා. ලලිත් පහුවදා කොලඹ යනවදවස් තුන හතරකට. ඒ හින්ද මිනිහට පහුගිය ටිකේ කරපු වැඩ ගැන සම්පූර්ණ විස්තරයක් ඕන වුනා.

"ඔව්..ඔව්....ක්ලයන්ට්ගෙ සර්වේයර් ආව අද දවල්. යස් ජොයින්ට්ලි තමයි ලෙවල්ස් චෙක් කලේ. අවුලක් නෑ." ඒ අතර මම දැක්ක නර්ස් ඇවිල්ල අපෙ එතුමීට කතා කරනව. මම අතින් කිව්ව එතුමීට ඇතුලට යන්ට කියල. කියල මම ලලිත් එක්ක සාකච්ඡාව කරගෙන ගියා දිගටම.

ඔහොම විනාඩි ඔන්නම් හතරක් පහක් වගෙ මම කතාකරකර ඉන්ට ඇති ලලිත් එක්ක. මෙන්න එතුමී එළියටත් එනව. ඒ එක්කම අන්තිම විස්තරෙත් ලලිත්ට කියල මම ෆෝන් එක කට් කලා. මම ඇතුලට යන්ට ඉස්සර එතුමී ඔන්න දනි පනි ගාල එලියට ආව. 

"මොකද ඒයි ඔච්චර විජහට ලෙඩ බලල බෙහෙතුත් දුන්නද?"

"හරි හරි යමුකො යමුකො යන ගමං කතා කරමුකො." ඈ ඒ ටිකට මිදුලට බැහැලත් ඉවරයි. 

මම එතනම ඉඳල ඈට කතා කලා."දැං අර මම කිව්ව විදිහට ආෆ්ටර් ඉෆෙක්ට්ස් ගැන අහගත්තද? "

"හරි හරි එන්ටකො, එන්ටකො, මම යන ගමං කියන්නංකො විස්තරේ."

"යන ගමං නෙවෙයි දැං කියන්ටකො. මොකෝ යන ගමං ආය?" මගෙ හඬ ආයම උස්වෙලාද කොහෙද. ලෙඩෙක් එක්ක ආපි මනුස්සයෙක්ද කොහෙද එළියට කර පොවල බැලුව.

"හරි හරි යංකො කිව්වම අහල." ඇගේ ආයාචනාත්මක ස්වරය හමුවේ මට වෙන කලහැකි කිසිවක් තිබුනෙ නෑ. 

"හම්ම්ම්..යංකො එහෙනං.." මාත් එහෙම කියල එළියට බැස්සා.

"හරි දැං කියන්නකො ඩොක්ටර්ගෙන් අර මම කියපු විස්තර අහගත්තද?" ගේට්ටුවෙන් එළියට බැහැල මම ඇහුව. 

"නෑනෙ……" ඇය බිම බලාගෙන කිව්ව. 

මම එතනම නැවතුනා. " මොකක්? මම අච්චර කියලත් ඔයා ඒ ටික අහගත්තෙ නෑ එතකොට? "

"නෑ අනේ මම ඩොක්ට මේ... කියල ඒ ගැන අහන්ට යනකොටම ඒ මනුස්සය කරපු වැඩේ අර මේසෙ උඩ තියන බෙල් එක ගහල නර්ස්ට කතා කරල කිව්ව ඊලඟ ලෙඩා එවන්න කියල."

" ඉතිං? …."

"ඉතිං මම වෙන මොකක් කරන්නද? නැඟිටල ආව එන්ට."

"ඒක මාර වැඩක්නෙ. ඔයාට තිබ්බෙ කියන්ට ඩොක්ට පොඩ්ඩක් ඉන්න. මට මේ බෙහෙත් ගැන විස්තර ටිකක් දැනගන්ට තියනව කියල."

"එහෙම කියන එක හරි නෑනෙ ඒයි."

"මොකක්ද හරි නැත්තෙ? අම්මප මට හිතෙනව ආපහු ගිහිල්ල අහන්ට මිනිහගෙං මොකක්ද මේ කරන වැඩේ තේරුම කියල."

"අනේ එපා ඒයි...ඔන්න ඔහෙ යමු යන්ට. අනික දැං මගෙ ඔළුවෙ කැක්කුම ටිකක් අඩුයිත් වගෙ."

"ඈ? ඒ කොහොමද ඒ? බෙහෙත් බොන්නෙත් නැතුව? මම ඔය ඇහුවමයි බෙහෙත් බොන්නෙ නැතුව අතේ තියාගෙන ඉන්නකොටත් ලෙඩ හොඳ වෙනව කියල. අර මිරකල් ඩ්‍රග්ස් කියන්නෙ එව්ව වෙන්න ඇති එහෙනං..දිව්‍ය ඖෂධ...හෙහ්,හෙහ්," කේන්තිය පිටම උනත් මට හිනාත් ගියා. 

" අප්පේ ඇති යන්තම් හිනාවුනා. යමු යමු ඇත්තටම මට දැං ටිකක් අඩුයි වගෙ. ගිහිල්ල මේ බෙහෙත් ටික බිව්වම හොඳටම අඩුවෙයි."

"නිකං හිස් බඩට බෙහෙත් බොන්ට හොඳ නෑ. දැං රෑට මොකවත් උයලත් නෑ නේද? ත්‍රී වීලර් එහෙක ධනසිරියට ගිහිල්ල රෑට කන්ට මොකවත් අරගෙනම යමු. මොනවද හොඳ? "

"යමුකො මොනවද තියෙන්නෙ බලන්ට." ඇය මා සුරතේ එල්ලෙමින් පැවසුවාය. "හෙට වැඩද? "

"නෑ. මීපිළිමානෙ යන්නෙ නම් නෑ. ඒත් වෙන වැඩකුත් නම් තියනව නුවර. කමක් නෑ. ඒක අනිද්දට කරමු. මම හෙට ගෙදර ඉන්නං. ඔයත් හෙට නිවාඩුවක් දාන්ට."

"හා....දැන්නම් මගෙ අසනීපෙ හොඳටම හොඳයි වගෙ..හිහ්..හිහ්…"

"හෙට හවස එන්ට ඕන මේ දොස්තරය හම්බ වෙන්ට. මොකක්ද මේ කරන වැඩේ කියල පැහැදිලි කරගන්ට. "

"ඔන්න ඉතිං ආයෙත් මගෙ ඔලුව කැක්කුම වැඩි කරන්ටයි යන්නෙ…"

"නෑ..නෑ..නෑ..මම එන්නෙ නෑ..මම එන්නෙ නෑ… මම බොරුවට කිව්වෙ හෙහ්,හෙහ්, "

පසුදින අවදිවන විට ඇහේ හිස රුදාව බොහෝදුරට සමනයවී තිබිණි. එදින නිවාඩුවක් දමා විවේකයෙන් ගතකල ඉක්බිති සවස්වන විට ඇය පූර්ණ ප්‍රකෘති තත්වයට එළඹ සිටියාය. 

එහෙත් ඉන් පසුවද මම ඇයට පැහැදිලි කිරීමට උත්සාහ කලේ වෛද්‍යවරුන් ද යෙදෙනුයේ අති ගෞරවනීය සේවයක නොව හුදෙක් වෙළඳ ව්‍යාපාරයක බවයි. වෙළෙන්දෙකුගෙන් ඔහු ලබාදෙන සේවය පිළිබඳ ප්‍රශ්ණ කිරීමට ඔහුට ඒ වෙනුවෙන් යම් නිශ්චිත මිලක් ගෙවන පාරිභෝගිකයින් වන අපට ඇති අයිතියම කිසිදු වෙනසකින් තොරව වෛද්‍යවරයකුගෙන් සේවය ලබාගැනීමේදීද අපට භාවිතා කල හැක. ඒ සඳහා අපට පූර්ණ අයිතියක් ඇත.

එහෙත් අවාසනාව නම් බොහෝ රෝගීන් පෞද්ගලික චැනල් සේවාවේ යෙදෙනා වෛද්‍යවරුන් පවා ඉටුකරනුයේ මහඟු සහ ගෞරවනීය සේවයකි එබැවින් ඔවුන්ගෙන් කිසිවක් විමසීමට ඔවුනට කරනා අගෞරවයකි යන මූඪ අදහසෙහි එල්බගෙන සිටීමය. බහුතරයක් වෛද්‍යවරුන්ද කරනුයේ පොදුජනයා අතර මුල්බැසගත් මේ වැඩවසම් අදහස්වලට පොහොර දමා තම වාසිය උදෙසා ඒ තවදුරටත් වර්ධනය කරවීමය. එහෙත් පසුගිය කාල වකවානුවෙහි වෛද්‍යවරුන් පිළිබිඹු කල නිහීන නිර්ලජ්ජී ක්‍රියා පිළිවෙත හේතුකොටගෙන ඔවුන් විසින්ම ඔවුන් නංවාගෙන තිබෙන පාදස්ථල වලින් ඇද වැටීම මහත් සතුටට කරුණකි.

37 comments:

  1. ලංකාවේ බොහෝ වෛද්‍යවරු රෝගියා සමග කමියුනිකේෂන් එක දුර්වලයි

    ReplyDelete
    Replies
    1. රුවන්,

      ඔබ හරි..බොහොම පොඩි දෙයක් ඔතන තියෙන්නෙ. මහාචාර්ය කොල්වින් ගුණරත්න ද කොහෙද එක පාරක් කියල තිබ්බ ඔය සන්නිවේදනයේ දුර්වලතාවය ලොකු හානියක් කරනව කියල වෛද්‍ය-රෝගී සබඳතාවයට.

      ඔය ගැන ඇත්තටම එකට සෑහෙන දෙයක් කරන්ට පුලුවන් GMOA එකට. අඩුගානෙ මම කියන්නෙ ඩියුටි ෆ්‍රී කාර් අරගෙන, ළමයි ජනප්‍රිය ඉස්කෝලවලට දාගෙන, සයිටම් එක වස්සවල දාල...ඒ වැඩ ටික ඔක්කෝම අහවරයක් වෙලා ඊට පස්සෙවත්...:)

      Delete
  2. දොස්තර නාඩගම විවිධ රස සමගින් කියල අලුත් සීරිස් එකක් පටන් ගත්තොත් මොකෝ.. ?

    ReplyDelete
    Replies
    1. දැනටමත් නාට්‍යයක් තියෙනවා " මෙඩිසිනා" කියළා.

      ජයවේවා!!!

      Delete
    2. අනේ මේ පැතුමො. තියෙන සීරීස් ටික කියෝල මඥ්ඤං වෙලා ඉන්නකොට බොලා හදන්නෙ තවත් එකක් පටලවන්නද?

      Delete
    3. පැතුම්,

      එහෙම දොස්තරල ගැන වෙනම සීරීස් එකක් පටන් ගන්න එකත් දොස්තරලට අනවශ්‍ය ගෞරවයක් දීමක් වෙනවනෙ මලේ...:)

      Delete
    4. දුමින්ද,

      සතිපතා ද දිනපතාද? බලල නම් නෑ බං

      Delete
    5. ප්‍රසන්න,

      හෙහ් නිකමට හිතපං ගොයියො කියවල බොලා මඤ්ඤං වෙලානම් ලියල මට කොහොම ඇද්ද?

      Delete
    6. ප්‍රසා,

      මම මේ කල්පනා කලේ මේ දොස්තරලා කාලෙන් කාලෙට දෙන ආතල් වලට මේ රවියා එක එක විදියට එකම කතාව ලියන්න ගත්තොත් එහෙම අපිට යන කල දවස ගැන.. දැන් එකම කැටගරියක් අස්සට ඕක දැම්මම මාතෘකාවෙන් ම අපි දන්නවා සිද්දිය..

      හිටපු මහ රජතුමා වෙනුවෙනුත් ඕනනම් වෙනම කැටගරියක් දාන්න කියලයි මම නම් කියන්නේ.. හෙහ් හෙහ්..

      Delete
  3. ලංකාවේ දොස්තරලාට දැන් ටිකක් නරක කාලයක් වගේ. හැමෝම දොස්තරලා ගැන තමන්ගේ හිතේ හිරකරගෙන හිටපු අමිහිරි මතක එලියට ගන්නවා. මේ වගේ දේවල් කලින් කිව්වි නම් මෙලහකටත් මේ අය හැදිලා. හැබැයි මේකත් අර කාපු මකුණයි නොකාපු මකුණයි වගේ තමයි. වැරදි කරපු කෙනයි නැති කෙනයි ඔක්කොම දැන් එක මල්ලේ.

    ReplyDelete
  4. දොස්තර හාමු ලා ගහයි ඔව්වා අහලා

    ReplyDelete
  5. Thank you Ravi..

    //මම ඔතිං ඔතනින් යනකොට මුලින්ම එවුං එක්ක මනුස්සකමට හිනාවෙලා ඊට පස්සෙ ආයම ඒත් මනුස්සකමටම කතාබහ කරල ඊටත් පස්සෙ ඒත් මනුස්සකමට බොහොම හිතවත් වුනා. පස්සෙ ඒ ගැටිස්සියන්ට පාන්, බනිස්, කිඹුලො, ඥනකතා, සව් බොර, යනාදී නොයෙක් ඔය තේ බොන්ට ගන්න කෑම වර්ග එහෙමත් ගෙනත් දෙන්ට මටම බාරවුනා.//

    මේ කථාව කලින් කොහෙදි හරි කිව්වනෙ. අර තුන්ඩුව 'ඒයි'ට මාටු වෙච්ච් එක නේද?

    ReplyDelete
  6. //ඔය මනුස්සකමට පටන් ගත්තු සමාජසේවා වැඩේ තව පොඩ්ඩෙංනං මහ ජංජාලයක් වෙලයි කෙලවරක් වෙන්නෙ. හරි ඒ ගැන සවිස්තරව කියමුකො ආයම ගුරුවරියක සමඟ මගේ ජීවිතය කථාංගයක් කියන දවසක.//
    නැතුවට කමක් නෑ අපි ඔය කතාව කලිං අහල තියෙනව. අනික ඔහේ බොරු කියනකොට ටිකක් කල්පනා කරල කිවුවොත‍් හොඳයි මීට පස්සෙ. නැත්තං සුපර් මාකට් ගිය මනුස්සය පාං ගේන්න යයියැ.

    444 /‍/හන්දියෙ පාන් කඩෙන් පාන් ගේන්ට ගෙදර හිටියොත් අනිවාර්යයෙන්ම මම යනව.//

    332 //මම ඉතිං ඔය දවස් දෙකෙකට වගෙ වතාවක් යනව මීටර් හාරපන්සීයක් එහා තිබ්බ සුපර් මාර්කට් එහෙකට බඩු ගේන්ට//

    මම ඔය කඩේ යන පාර පල්ලෙහා තිබ්බ ඒ අහල පහලම තිබ්බ ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නේස් නෝනල හත් අට දෙනෙක් නතර වෙලා හිටපු පොඩි ගේ කෑල්ලක්. පළවෙනි දවසෙ ඉතිං හිනා වෙලා. දෙවෙනි දවසෙ ගුඩ් ඊවිනිං අයියෙ කියල, තුංවෙනි දවසෙ අයිය මේ කිට්ටුවද ඉන්නෙ? ගමත් මෙහෙමයිද? කියල අහල අපි දෙගොල්ල ඔන්න හිතවත් වුනාය කියමුකො.

    ඉතිං පස්වෙනි හයවෙනි දවස් වෙනකොට අනේ අයියෙ, කඩේට යනෝනං මටත් ටූප්පේස් එකක් ගෙනැත් දෙනවද? කියල ඉරේෂා මගෙං අහපි. හෙහ්, මනුස්සයෙකුට උදව්වක් ආය මනුස්සයෙක් නැතුව සත්තු සරපයි කොරයිය එහෙම හිතල මම තනි පයිං ඒ වැඩේ බාර ගත්ත. ඒ පස්ට් ඩේ. සෙකන්ඩ් ඩේ ඉරේෂට ලස් කෑල්ලක් ඕනය කිව්ව. එතකොට නිමන්තිට ..ඔව්..ඔව්..නිමන්ති තමයි..හෙහ්..කොකොමද මහෙ මෙමරි කැපෑකුටි එක. දැං වෙනව ඔය නේස් ළමයි එක්ක ආස්සරේ කරල අවුරුදුම එක දොළහක් පාළහක් වගෙ. හෙහ්..අද ඊයෙ වගෙ මතකයි මට. හරි නිමන්තිට ..ඔය නිමන්ති ඉන්නව නේද? හරියටම අර මේ ඊයෙ පෙරෙයිද ගියේ අකඩවාරිය කියල ටෙලි චිත්‍රපටයක්. අන්න ඒකෙ ප්‍රධාන නිළිය වගේමයි..අර අංගම් පොර අල්ලන කෙල්ල....කවුද නම? ආ..හරි සුධීරා...අන්න ඒ ළමයා වගේමයි.

    හරි අකඩවාරිය ගැන ඒ ඇති. ඉතිං පස්සෙ පස්සෙ අර ලීලයි , කමලයි, චම්පයි, රේකයි බානුමතියි නයනයි සඳරේකයි දියගන්නට එන්නේ ලිඳ ළඟටයි කිව්ව වගෙ ඉරේෂයි, නිමන්තියි, තරුෂිකායි, නයනතාරයි ඔය ඔක්කොමල බඩුමුට්ටු ගෙන්න ගන්ට ගත්ත මට කියල. කොච්චර හරි අන්තිමට මට ඒ වෙනුවෙම්ම සුට්ටි පොත් පිංචකුත් ගන්ට වුනේ නැද්ද? එහෙම නැහ්නං ඔය කෙල්ලො හත් අට දෙනෙක්ට වෙන වෙනම බඩු ගේන්ට මතක තියාගන්ට පුලුහං මොන යකාටද? පස්සෙ ඔය නයනතාරද කොහෙද යාලු වෙලා හිටපු කොල්ල මට ගහන්ටත් ආපි. වෙන මොකවත් නෙවෙයි ඊරිසියාව ඊරිසියාව...හෙහ්.. අන්තිමට ඒ කෙල්ලො එක්ක ආස්සරේ නතර වුනේ ඒ වසවර්තිය මට ගහන්ට ආපු හින්ද නම් නෙවෙයි ..හෙහ්..එව්වට කවුද බය? අර මම කෙල්ලො ගේන්ට කියන බඩු ලිස්ටෙක ලියන පොත් පිංච..හෙහ්..මගෙ සෝට් බෑයෙ සාක්කුවෙ ඕක දවසක් අමතක වුනානෙ මට. සෝට හෝදන්ට ගිය වෙලාවෙ අපෙ උන්දැට ඔය පොත් පිංච අහුවෙච්චි.

    ආය මොනවද? එදා අපේ ඇනෙක්සියට හිරෝසිමා නාගසාකි නගර දෙකට දාපු පරමාණු බෝම්බ දෙකම එකට, එක විඩේට වැටිච්චි. ඒ එක්කම ඔපරේෂන් ඩෙසට් ස්ටෝම් සහ ඔපරේෂන් ඕවර් ලෝඩ් යුද මෙහෙයුම් දෙකම එක දවසෙ දියත් වුනා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඉතිං මොකද්ද හැල ගෙම්බො මෙතන තියන බොරුව? ඒ ලලනාවන්ට මම ඔය සබන් ටූත්පේස්ට් පාං බනිස්වි තරක් නෙවෙයි අර මක්කද ටවල් තියෙන්නෙ..අන්න එව්ව හිට ගෙනල්ල දුන්න.

      අන්න එහෙමයි අපි විස්වාසය සහ අවංකබාවය ආරක්සා කලේ..දන්නවද? මීට ඔඹේම අබංක කුසුමා..කියල අර ලියුමක් ලියපු කතාවක් එහෙම තියෙන්නෙ. (ඒ කතාව කිව්වෙ අර අපෙ මොකෑලන්තෙ නෝන මහත්තය)

      ඉතිං ආයම මේ ලලනාවියන්ගෙ කතාවට ආවොත් එහෙම එදා සුපර් මාර්කට් එක ගැන ලිව්ව හින්ද සබං ටූස්පේස් ගැන ලිව්ව. අද මේ කතාවට අදාල වෙන්නෙ පාං, කිඹුලා සහ විස්කිරිඤ්ඤ හින්ද අද ඒ ගැන ලිව්ව.හෙට අර කිව්ව තුවා ගැන කතාවක් ලියන්ට උනොත් හෙට එව්ව ගෙනත් දුන්න කියල ලියනව. ඉතිං බොල මීමින්නො මොකද්ද ඒකෙ තියන බොරුව? හා..කියාපං බලන්ට...

      Delete
    2. එතකොට ඔහේ මෙතන යන්නෙ සමූපකාර බේකරියට.

      http://ranrandil.blogspot.com/2012/09/134-thank-you-ama.html?showComment=1347974034294#c8179668583815148313

      Delete
    3. මේ පල්ලෙහ කොමෙන්ට් එක දානකොට රවී අයියගෙ රිප්ලයි එක තිබුණෙ නෑ.

      නෑ ඉතිං මං මේ නිකං කිවුවෙ. ඕකට ඔච්චර තරහ ගන්න ඕනයැ. ඔය උණු කිඹුලෙක් කාල තරහ නිවාගන්න එකයි ඇත්තෙ. හැක්..

      හොඳ වෙලාවට මේ මනුස්සය ෆාමසියකට ගියේ නැත්ත‍ෙ. නැත්තං මොනව ගේන්න කියයිද දන්නෑ. හපොයි...

      Delete
    4. අනික කො.කා.ස.ස. විදියට මේව පාඨකයන්ට පෙන්නල දෙන එක මගේ වගකීම.

      Delete
    5. ඔව්..ඔව් සභාපතිතුමා ..මෙව යුතුකම්. පාඨකයො මුලා කරන්න නොදී බලා ගැනීම ඔබ තුමාගෙ යුතුකං.

      Delete
    6. නයා ට දැන් කො.කා.ස.ස. පට්ටම මදි, ඉස්සරහට ජේෂ්ඨ කියලත් දාන්න වෙයි වගේ...

      Delete
  7. හොඳ වෙලාවට පොත ටීචර්ට අර පොත අහුවුනේ. නැත්නම් ඉතින් පරමාණු බෝම්බ වැටෙන්න තිබ්බේ වෙන තැනකට. පව් අප්පා. මොනා වුනත් හිත හොඳ , මනුස්සකම අඳුනන මනුස්සයෙක්.

    මොනවා වෙයිද ඔක්කොමලාම එකතු වෙලා දොස්තරලා වර්ජනය කලොත්?

    ReplyDelete
  8. //ආනබාදුවක්// මේ වචනෙ අදමයි ඇහුවෙ.

    රවී අයියට තිබුණෙ ඊට පහුවෙනිද ගිහිල්ල අර දොස්තරය හම්බවෙලා දෙකක් කතාකරල එන්න.
    ඔහේ මගේ නෝනට පොවන කහපාට පෙති වල සයිඩ් ඉෆෙක්ට් එතුමියගේ සාඩම්බර හිමිකරු හැටියට මට දැනගැනීමේ අයිතියක් ඇත ය. වහාම ඒ ගැන පහදා දෙව කියල.

    ReplyDelete
    Replies
    1. දෙකක් දාලා තමා යන්න වෙන්නේ , නැත්තං මියුට් නේ හැක

      Delete
  9. ඕකුනට තලන්ඩ ඕනෙ මඩු වලිගෙං , පස්සාත් බාගෙට.. අනික කට තලන්ඩ ඕනෙ .
    බේත් ගැන අහන කොට පොඩ්ඩක් විපරමින් ඉදල අහන්න ඕනෙ, තඩි පොතක් තියනව ' මලලසේකර ' ශබ්ද කෝෂය වගේ , ඒක නැති වෙලාවක ඇහුවොත් නම් අතට අහුවෙන ඉන්ජක්ශන් කට්ටකින් ඇනල දාන්නත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. දොස්තර නෝනල තමන්ගෙ ළමයින්ටත්, තමන්ගෙ වගේ ආදරේ ළමයින්ටත් බේත් ගන්නෙ වෙන දොස්තරලගෙන්. ඒ තරම් ඒ අය තමන්ගෙ සහෝදර වෘත්තිකයන්ව විශ්වාස කරනව...මේ අපිට අගේ නැති උනාට ඕඃ.

      Delete
  10. The revised Miranda rights

    You have the right to swing first. Anything you do can and will lead to an ass kicking.

    You have the rigth to have a priest and EMT pressent at the time of the ass kicking.

    If you don't have a priest one will be appointed to you, to read you your last prayer!

    ReplyDelete
  11. සිංහල වෙද මහත්තුරු එහෙම නෑ. එයාලගෙ බෙහෙත්වල ඇඩෝබ් ආෆ්ටර් ඉෆෙක්ට්ස් නෑ. ජොස්තර බෙහෙත් වර්ජනය කරමු. වෙදමහත්තයෙක්ගෙං බෙහෙත් ගමු.

    ReplyDelete
    Replies
    1. ඇඩෝබ් ආෆ්ටර් ඉෆෙක්ට් ආවොත් ඒව ඇඩෝබ් ෆොටෝෂොප් දාල හදාගන්න බැරියැ.

      Delete
  12. අපේ ජොස්තරලට ගරු කරනව මදි ආණ්ඩුවේ ඉස්පිරිතාල වලදි ලෙඩා දොරෙන් ඇතුලට එන්න හදද්දිම බෙහෙත් ටික ලියන්න පුලුවන් මට්ටමට සාස්තරේ ප්‍රගුණ කරපු ජොස්තරල මට හම්බවෙලා තියෙනවා :D

    ReplyDelete
  13. අඩේ ලංකාවෙ විතරක් නෙවෙයි මෙහෙත් ඉන්නවා. අපේ දොස්තර ලෙඩා කාමරේට ඇතුල් වෙද්දීම "නතිං ඉස්පැසල්" කියල අහල "යෙප්" කියපු ගමන් බේත් කොළේ ප්‍රින්ටරෙන් එළියට අරං අස්සනුත් කරලා වාඩි වෙද්දීං කොළේ අතට දීල තෑන්ක් යු බායි කියල අත දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතිං හැලපයියත් නතිං ඉස්පැසල් කියල අර බේත් කොළේ එහෙමම ඩස්බින් එකට දාල වයින් ස්ටෝ එකෙන් එක්ස්ට්‍රා ඉස්පෙසල් එකක් අරං ගෙදර යනව නේද?

      Delete
  14. ඔය ලෙඩේට කියන්නේ ඉරුවාරුදාව.

    ReplyDelete
  15. දොස්තරලා ගොඩක් අය ඔහොම හදිසි කාරයෝ තමයි.හැබැයි කලාතුරකින් ඉන්නවා ලෙඩාට හොඳට සාවධානව ඇහුම්කන් දෙන වෛද්‍යවරුත්.

    ReplyDelete
  16. පුදුම වැඩක් බං මේක....ලෙඩා බයයි දොස්තරට....මගියා බයයි කොන්දොස්තරට...පුරවැසියා බයයි මන්තිරියට.....පැමිනිලි කාරයා බයයි පොලිසියට.... ළමයි බයයි ගුරුවරුන්ට...දෙමව්පියෝ බයයි ප්‍රින්සිපල්ට...හාමුදුරුවෝ බයයි දෙයියන්ට....අපි බයටම යටවුනු බයියොමද මන්දා..

    ReplyDelete
  17. මගේ ජිවිතේ හම්බුන එකම එක දොස්තර කෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම දෙයක් ඇහුවොත් ඔක්කොම පැහැදිලි කරලා දුන්න අය.. ඒ වගෙ පැහැදිලි කිරිම මම බලපොරොත්තු වෙන බව දැන ගත්තට පස්සේ අහන්නත් කලින් කියපු අය.. එතන ලෙඩා හැටියට අපෙනුත් වෙන්න දෙයක් තියනවා රවී . .. අපි අහන්න ඕන.. ඒ පියවර අපි තියන්නේ නැත්නම් ලෙඩා විදිහට දොස්තර කොහොමද කියන්නේ.. සමහර වෙලාවට සමහර ලෙඩ්ඩු කැමති නැ කතා කරන්න.. ඒ නිසා හොඳම දේ තමන්ට වැඩි විස්තර ඔනේ නම් කතා කරලා බය පැත්තක තියලා අහන එක..

    මම නම් දකින්නේ ඕක දොස්තර එක්ක විතරක් නෙමේ අනිත් ඕනම තැනකත් තියන ප්‍රශ්නයක්... තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා දන්නේ නැතිකම.. කතා කලොත් වැරදේවි කියල තියන අහේතුක බය.. මේ වගෙ කරුනු තියෙන්නෙ අවකාශයේ නිසා කාටවත් වැරදියි කියන්නත් බැ...

    ReplyDelete
  18. ඕක මුළු ආසියාවේම තියන ප්‍රශ්නයක්. අපේ ජීපී (general practitioner ) දෙමල කෙනෙක්. ලංකාවේ ඉවර කරපු. ගියපු මුල් දවස් වල අපේ බිරිඳ ප්‍රශ්න අහනවා වැඩියි කියල මට කිව්වා. මම පොරට කිව්වා මේ ලංකාව නෙමේ. එයා ලෙඩ ගැන අහල බෙහෙත් ගැන අහල තීරණය කරන්නේ කියල. දැන් පොර අපි ගියහම විනාඩි 10 -15 අරන් ලෙඩේ ගැන විස්තරේ කියල තමා පටන් ගන්නේ. මෙහෙ ඉන්න පක්ස්ථාන ඉන්දියන් දොස්තරලා සමහරක් ඔය වගේ. ලෙඩ ගැන කියන්නේ නැහැ. ඒ වෙලාවට complain කරන එක තමා කරනන් වෙන්නේ. ලනක්වේ ඒකත් බැහැනේ.

    ReplyDelete
  19. //ඔයිට කාලෙකට ඉස්සරවෙලා, ඒ කිව්වෙ හැත්තෑව දශකයේ මැද භාගයේ පමණ මම මේ කියන්නෙ, අපි ඔය කෑගල්ලෙ ඉන්න කාලෙ අපෙ තිබ්බ තඩි වේවැල් කූඩයක්// හැත්තෑවේ මුල හිටියේ ඒ පැත්තේ

    ReplyDelete
  20. හලේ බොලේ.......... මිරැන්ඩා එකේ යට තට්ටුවේ තිබුණු 'රැස්තරෝන්' එක ගැන නොලිව්වේ ඇයි?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...