ඔහු එලෙසින් මා අත්හැර ගියේය. ඔහු මා අත්හැර ගියේ ප්‍රේමය යනු පට්ටපල් බොරුවක් නිසාද, එහෙමත් නැත්නම් අප දෙදෙනා එකිනෙකාට පෑවේ සැබෑ ප්‍රේමය නොවන නිසාද, මා වෙතින් ලද හිතවත් කම ඔහුට මදි වූ නිසාද, නැතහොත් ඔහු වංචාවක් කලේද................., ඒ සියල්ලම එක පසෙක තිබියදී මා නොදත් වෙනත් ම හේතුවක් නිසාද යන්න පහදාගත නොහැකිව මම දිවා රෑ හඬා වැළපුනෙමි. ජීවිතය ගලින් ගල ඉහලට නැංවූ ආදරණීය නිවසක්ව, වහල සෙවිල්ලන්නට ඔන්න මෙන්න තිබියදී ඔහු මා අත් හැර ගියේය.
අම්මා මුලින් මා සැනසුවද පසු පසුව නෝක්කාඩු පවසන්නට වූවාය. එයිනුත් පසුව දෙස් දෙවොල් තියන්නට වූවාය. එයිනුත් අනතුරුව එළඹියේ ‘පාරේ බැස යෑමට නොහැකි’ නිසාවෙන් ආරම්භ වූ ගාලගෝට්ටිමය ස්වරූපයයි. මා පියා මේ සියලුම අවස්ථාවන්හි දී මුවින් නොබැන, සුසුමක් හෙලා සියලු දෙය දෙස නෙත් යොමා බලා සිටියේය.
“මෙයා හරියට වැලපෙන්නේ අම්මා අප්පා මැරිලා වගේනේ. ඔයාට ඔයිට වඩා හොඳ තැනකින් කසාදයක් කරගන්න බැරි කමක් නැහැනේ. ගිය මිනිහෙක් මත්තේ අඬන්නේ. නාඩා ඉඳින්. අපි ඒ කටයුතු තව ටික කාලෙකින් එකලස් කරලා දෙන්නම්” අම්මා දෙස් දෙවොල් අතරින් පැවසුවේ මෙවැනි දේය.
එවකට මට දැනුනේ මාගේ සිත මට අවනත නොවන බවයි. ඒත් පසු කාලීනව, මා ඉතාමත් බොලඳ ලෙස මාගේ සිතට අවනත වූ බව පසක් කර ගතිමි.
තාත්තා මා දෙස දුක්බරව බලා සිටියා මිස කිසිත් නොපැවසීමත් මගේ හිත, අම්මාගේ වදන් අවි වලට වඩා පාරවන්නක් විය. තාත්තා එක් වදනක් හෝ පැවසුවා නම් එය සහනයක් ලෙසින් දැනෙන්නට ඉඩ තිබුනු බව එකල එය බලාපොරොත්තුවෙන් සිටි මගේ සිතට දැණින.
කාලය දින සති මාස වලින් ගෙවෙන්නට විය. නොදන්වා සේවයට වාර්තා නොකිරීම නිසාවෙන් රස්සාව නැති වන්නට ඇත. එය මට ඒ දිනවල එතරම් නොදැණින. ඒ ගැන දන්වමින් ලිපියක් ආවාද, එය මා බැලුවාද යන්නද මට නිනව්වක් නොවින. ජීවිතයම කඩා වැටුණු කල, ඒ මතට තවත් පස් ටිකක් වැටුනා කියා වැඩි බරක් දැනේද?
මාස හතරකට පමණ පසු දිනක් උදෑසන, තාත්තා මගේ කාමරයට පැමිණියේය.
“දුව. ලැහැස්ති වෙන්න තාත්තාඅම්මලාගේ ගෙදර යන්න. එහේ ගිහින් මාසයක් දෙකක් ඉඳලා එන්න මැණිකේ. එතකොට ඔය හේබාපු ගතිය ඇරෙයි” වෙව්ලන අතින් මගේ හිස අතගාමින්, වෙව්ලන වදන් තරයේ අල්ලාගනිමින් තාත්තා පැවසූ ආකාරය මට අද මෙන් මතකය. මම තාත්තාගේ උරහිසේ හිස තියාගෙන හැඬුවෙමි. තාත්තා දිගටම මගේ හිස අත ගෑවේය. එලෙසින් ගත වූ කාලය කොපමණදැයි මට මතක නැත. අම්මා පැමිණි දොර උළුවස්සට හේත්තු වී හඬමින් සිටින අයුරු හිස ඔසවන විට දිටීමි.
“අම්මේ....... මං තාත්තාඅම්මලායේ ගෙදර යන්නද?” මම ඇඳ මත හිඳ ගනිමින් ඇයගෙන් විමසුවෙමි.
“ඔව් පුතේ ඔයා යන්න. ගිහින් ඉඳලා එන්න. එහේ ඉද්දි හිතට සහනයක් දැනෙයි” අම්මා ද මා පසෙකින් වාඩි වූවාය. තාත්තා මගේ මේස පුටුවේ වාඩි විය. තාත්තාත් අම්මාත් මාත් තිදෙන ත්‍රිකෝණයක මුළු තුනට වී බිම බලාගෙන සිටි ඒ මොහොතේ තිබුණු නිහැඬියාවත් ජනේලයෙන් කාමරයට ගෙනා මද ආලෝකයත් කාමරයේ වූ මද අඳුරත් එකට මුසුව ඇති කලේ ගුප්ත බවෙකි.
************************************
තාත්තාඅම්මා සියල්ල දැන සිටියාය. මා පසුව දැනගත් පරිදි මුල් දිනවලම තාත්තා පැමිණ මේ ගැන තාත්තාඅම්මා සමඟ පවසා ඇත. එදා ඇයත් තාත්තාත් අම්මාත් එක්ව ගත් තීරණයෙන්, මාස හතරකට පමණ පසු මා ඇයගේ සෙවනට පත්ව සිටි බව මට පසුව දැනගන්නට ලැබිණ.තාත්තාඅම්මා තනිව මහගෙදර විසුවාය. ඇයගේ සේවයට කුස්සියේ උයන අම්මා කෙනෙකුත්, වත්ත පිටිය වැඩකටයුතු බලාගන්න ඒ අම්මාගේම පුතාත්, පරණ කාරය පදවාගෙන යන්න ඉඳහිට එන සීයා කෙනෙකුත් හැර වෙන කිසිවකු ඒ නිවසේ දැකගත නොහැකි විය.
එහි වූයේ සීතල, තනි කමෙකි. බිම පවා පයට ගෙන ආවේ අමුතු සිසිලකි. ගස් කොලන් වලින් වටව තිබුණු මේ නිසංසල පරිසරයේ සුව විඳින්නට මීට පෙර මට නිවාඩු පාඩුවක් නොවින. ඒ තරමට කොළඹ රටේ කාර්යය බහුල වූ මා ඒ වනවිට නිකම්ම නිකම් නිකමියක නොවේදැයි සිතී මුල් දිනවල තනිව හැඬු අයුරු කිසිවකු දැන සිටියෙ නැත. මා එහි ගිය දින තාත්තාම්මා මා ආදරයෙන් පිළි ගත්තාය.
“කොච්චර දෙයක්ද මගේ මැණිකේ ආ එක. අපි දෙන්නට කරන්න කොච්චර වැඩ තියෙනවද?” ඇය මා සිඹිමින් පැවසුවාය. ඔසරියකින් සැරසී, පබළු මාලයක් පැළඳ, කොණ්ඩය ගැට ගසා, සිනා කටින් ඉන්න ඇය මට සිහිකලේ අයිරාංගනී සේරසිංහ මහත්මියවයි.
පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩු දිනවල දිනකට දෙකකට පැමිණියත්, අමතර පංති නිසා විගස නැවත කොළඹ දිව ආ අපි ඇයට බොහෝ සෙයින් ලං වූ දරුවෝ නොවීමු. මා මෙහිදී අපි යැයි පැවසුවේ බාප්පාගේ හා නැන්දාගේ දරුවෝ සහ මාය. එහෙත් එසේ ගතව ගිය කාලය ගැන මා හට අපමණ ලෝභ කමක් ඇති කලේ තාත්තාම්මා සමඟ මා ගත කල ඒ මාස එකහමාරක පමණ කාලයයි. ඇය ඒ තරමටම ලෙංගතු, ආචාරශීලි, ගුණවත් ස්ත්‍රියාවක් වූවාය. මගේ තාත්තාගේ ස්වභාවය ඇගෙන් උරුම වූවක් බව මම පසක් කලෙමි. ඇයව එලෙස තනිකර කොළඹ රටට වී ජීවිතය පසු පස දුවන අප ගැන මුලින් මා හට ඇති වූයේ කේන්තියකි. පසුව අනුකම්පාවකි.
එහි ජීවිතය සරළ විය. උදෑසන අවදි වන විට කුස්සි අම්මා උදෑසන ආහාරය පිළියෙල කර අවසන් හෝ අවසන් කරමින් සිටින්නීය. තාත්තාම්මාත් ඇයට උදව් වන්නීය. පසු පසුව අප තිදෙනාම එක්ව ආහාර පිළියෙල කලෙමු. උදෑසන කටයුතු අහවර ව පොත් පත් කියවමින්, මැහුම් ගෙතුම් කරමින්, කථා බහ කරමින් ගත කරන අප දෙදෙනා, බොහොම දිනවල ඉඩම කෙලවරින් ගලා බසින අතු ගඟට යන්නේ නැවුම් වූ සීතල වතුර ටිකක් හිස මත හොවා ගන්නටය.
සමහරවිට ඔබට මවිතයක් දැනෙනු ඇත. ප්‍රේමය අහිමිව හඬා වැලෙපෙමින් සිටි මා ඔය වාගේ කාර්යයන් වල නිරත වූයේ කෙලෙසින්ද යන වග ඔබ කල්පනා කරනු ඇත. එහෙත් ප්‍රේම වියෝගයෙන් මුලින් උද්වේගකර ලෙස වැළපුනු මා මේ කියන කාලය වන විට යොමුව සිටියේ ඇතිව තිබූ තත්ත්වයේ තව දුරටත් ඇලී ගැලී නොසිට කෙලින් කටින් සිට ගත යුතුය යන සිතුවිල්ලෙනි. එහෙත් තවත් ප්‍රේම කථා නම් මගේ ජීවිතයේ නොලියැවෙනු ඇති බව සක් සුදක් සේ පැහැදිලිව දකිමින් සිටියෙමි.
මට ඇවැසි වූයේ ලෞකික ජීවිතයෙන් ඔබ්බට ගිය සැනසුමක් දෙස තාත්තාම්මා සේම නෙත් හෙලන්නටය. මම ඇය සමග බණ දහම් පිළිබඳව කථා කලෙමි. ඇය මට මා නොදත්, මා වැරදි ලෙස වටහාගෙන සිටි, කරුණු බොහොමයක් පහදා දුන්නාය. අපි දෙදෙනා සැමදා හවස වතාවත් වල යෙදුනු අතර දින දෙකකට වරක් පන්සල් ගියෙමු. මෙවන් කාන්තාවක් මෙතරම් කල් මුණ නොගැසී මා කලේ මොන ‘බම්බුවක්දැයි’ මට ම සිතුනු වාර බොහෝ විය. ඇයගේ කාරුණික සෙවනේ මම නැවත ඉපදෙමින් සිටියෙමි.
ඇය බොහොම බැරෑරුම් කෙනෙක් යැයි ඔබට සිතෙනු ඇත. නැත, ඇය බොහොම සරළ තැනැත්තියකි. අතේ රැඳි සිහින් රත්‍රං වළලු සිහින් හඬින් ලෙලෙන සේම විටෙක විසුළු කථාවක් පවසා කිකිණි හඬින් සිනා සලන්නීය. ඇය මා නොසිතන දේ පවසමින් මා හට සිනා කැඳවූවාය.
ඇගේ ගෙමිදුලේ වූ අලංකාර මල් වගාව අප දෙදෙනා එක්ව තවදුරටත් මනස්කාන්ත දර්ශනයක් බවට පත් කලේ භාවනාවක යෙදෙන අයුරිනි. දිනක් මෙසේ ගෙමිදුලේ කටයුතු කරමින් සිටින විට මගේ සිතේ තිබුණු පැනයක් මම තාත්තාම්මාගෙන් විමසුවෙමි.
“ඇයි තාත්තම්මේ, සීයාතාත්තා මැරුණට පස්සේ තාත්තාම්මා ආයේ බැන්දේ නැත්තේ? ඒ කාලේ තාත්තම්මාට වයස 30ක්වත් නැහැ කියලා තාත්තා කියනවා” මම මුල්ලුවෙන් ගාර්ඩ්නියා ගහක් වටේ හාරන ගමන් ඇයගෙන් විමසුවෙමි.
“අනේ අනේ, මගේ මැණිකෙට මතක් වෙච්චි දෙයක්. අනේ හැබෑමට මට ඒක අමතක වුනානේ. දැන් බැරි වෙයිද දන්නේ නැහැ කෙල්ලට මට හොඳවැයින් නාකි කොල්ලෙක් හොයාලා දෙන්ට” ඇය ඉනට අත් දෙක තියාගෙන කිකිණි සිනා සලන්නට වූවාය.
මම ද ඇය සමග හවුලේ සිනා සීමි.
“බැරි වෙන එකක් නැහැ, යංකෝ කොළඹ. අපේ ගේ ඉස්සරහින් උදේට උදේට දුවන ග්‍රැන්ඩ් පපෙක් ඉන්නවා. එයා නං තාත්තාම්මාට කියාපු කෙනා” පැවසු මම දිවගොස් ගේ ඉදිරිපිට පිය ගැටයක් මත වාඩි වුනෙමි.
තාත්තාම්මාත් පැමිණ ඇගේ හාන්සි පුටුවේ වාඩි වූවාය. “එතනෝ, තේ කහට ටිකක් බොමු නේද?” කුස්සිය දෙසට හැරී පැවසූ ඇය, “දුව මෙතැනින් වාඩි වෙමුද?” යි මා දෙස බලා පැවසුවාය.
“සීයාතාත්තා මැරුණු දවස් වල මම ඔයා වගේම ඇඬුවා. මට දැනුනු තනිකම මෙච්චරයි කියලා කියන්න බැහැ. ලෝකෙම කඩා වැටුනා. දරුවෝ තුන්දෙනෙක් එක්ක මං තනි වුනා.” සාමාන්‍යයෙන් මෙවැනි කථාවක් පවසන විට, පවසන ගැහැණු කෙනා ඔසරි පොට ගෙන දෑස පිස දමනු ඔබට මැවෙනු ඇත. එහෙත් මගේ තාත්තම්මා නොහැඬුවාය. ඇය සෙමින් සෙමින් වෙනදා මෙන් කථා කරමින් සිටියාය. මම බණ කථාවක් අසන උවැසියක සේ ඇය දෙස නෙත් හෙලා සාවධානව අසා සිටියෙමි.
“මිනිස්සු නොයෙකුත් දේවල් කිව්වා. මගේ කාලකන්නි කම කිව්වා. මගේ කේන්දරේ බලවත් කිව්වා. එතකොට පිරිමියෙකුට යටත්ව ඉන්නේ නැහැ කිව්වා. ඔය මුල් දවස් වල කියපුවා. පස්සේ පස්සේ කණවැද්දුමි කියලා ඇහෙන්නම කිව්වා මැණිකේ. මක් කරන්නද ඉතිං ලබා උපන් හැටිනේ. මගුල් ගෙවල් වලට එහෙම මං නොයා බැරි කමට හැංගි හැංගි වගේ ගියේ. අසුභ කථා කියැවෙන්න පුළුවන් නිසා. ඔහොම ජීවිතේ ගත වුනා.” එතනා ඇවිත් තේ කෝප්ප දෙක ටීපෝව මත තබා යන්නට ගියාය.
“මේ ඉඩ කඩම් නිසා, දරුවෝ තුන්දෙනා ලොකු මහත් කරගන්න ඇති තරම් මිල මුදල් ලැබුනත්, ඒ කටයුතු නිසියාකාරව පාලනය කරගන්න ගොඩක් වෙහෙස වෙන්න වුනා. හැරුනත් පදයක් හැදෙන්න පුළුවන්. දරුවන්ට කැලලක් නැතිව, නැති වෙච්චි මගේ මනුස්සයාගේ නම කැත නොවෙන විදිහට ජීවත් වෙන්න වෙනමම උත්සහ කරන්න වුනා දුවේ.” තාත්තාම්මා මගේ අතින් තේ කෝප්පයක් තබා ඇයගේ කෝප්පය අතට ගත්තාය.
“තාත්තම්මා දැනුත් කෙල්ල වගේනේ. ඒ කාලේ ලස්සන ඇති. ගමේ සීයලා ආවේ නැද්ද අත පතාගෙන.” මම ඇසුවෙමි. ඇයගේ දුක්බර පෙනුමක් නැති නිසා මටත් විසුළු නොකල යුතු අවස්ථාවක් ලෙස නොහැඟිණි.
“මොකද නැත්තේ. එක විකාරයයි. සීයාතාත්තාගේ නෑයෝ මං අතින් වරදක් වෙනතුරු බලං ඉන්නවා. අපේ නෑයෝ මාව බන්දන්න හදනවා. බොරු කියන්නේ මොකටද සමහරවිට මටත් හිතුනා මේ තනිකමින් පිරුණු ජීවිතේ කොහොම ගෙවන්නද කියලා. ඒත් දරුවෝ තුන්දෙනා ගැන හිතලා, ඊටත් වඩා සීයාතාත්තා ගැන හිතලා මං කසාදයක් නොකරගෙන හිටියා. ඒ මොකද සීයාතාත්තා මේ ගෙදර ඉන්න බව මට නොයෙක් විට දැනිලා තිබුනා. එයා දරුවන්ට බලන බව, දරුවන්ට ඉගෙනුමට උදව් කරන බවට මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුනා. හැමදාමත් සීයාතාත්තාට කෑම පංගුව වෙන් කරලා තමයි අපි කෑවේ බීවේ. මම සීයාතාත්තා වෙනුවෙන් කැපවෙලා ඉදිරි ජීවිතය ගත කරන්න තීරණය කලේ, එයාත් ආත්මයක් හැටියට අපි වටාම ඉන්න බව දැනුනු නිසායි” තාත්තම්මා සෙමින් සෙමින් ඇගේ අතීතය දිග හැරියාය.
“දරුවෝ තුන්දෙනා හොඳින් ඉගෙන ගත්තේ, සීයාතාත්තාගේ බැල්ම නිසා කියලා ගමේ මිනිස්සු අද පවා කථා වෙනවා.” ඇය සිනා සෙන්නීය.
ඇයගෙන් කෙරුනු කොටස ගැන නොපැවසී, නොපෙනන බලවේග වලට ලකුණු දීම ගැන ඇයට කිසිම මනස්තාපයක් නොවීය. එහෙත් මට සිතුනේ ඇය අයාලේ ගියා නම් , බාප්පා තාත්තා හා නැන්දා යහපත් අයුරින් හැදෙන හැටි බලන්නට තිබුනා නොවේද යනුවෙනි. එහෙත් එවෙලේ ඇගේ විශ්වාසයට හිංසා කිරීමට අකමැති වූ නිසාවෙන් ඒ පිළිබඳ ව නොපැවසීමි.
“මැණිකේ, මං කාටවත් නොකී කථාවක් තියෙනවා මේ කථාවේ. ඔයා මේ කථාව දැන් ගන්න ඕනේ. ජීවිතේ අපි කොච්චර වැරදි මත වල පිහිටලා කටයුතු කරනවද කියලා ඔයා එතකොට හොඳින් තේරුම් ගනියි. හැබැයි මගේ කෙල්ලේ මගේ තරුණ කාලය ගෙවුනු හැටි ගැන අබ මල් රේණුවක තරම්වත් කණගාටුවක් දැන් මගේ හිතේ නැහැ” තාත්තම්මා මගේ හිස අතගාමින් පැවසුවාය.
මතු සබැඳි..................
අද මම 1 :))))))))))))
ReplyDeleteඅනේ අදත් මතු සබැදි... කවදා සම්පුර්ණයෙන් එක හුස්මට කියවන්න ලැබේදෝ.... අහෝ...
ReplyDeleteඅන්න ඔයත් වැටිල හරි ට්‍රැක් එකට....ඔහොමනෙ බොල කතා ලියන්න ඕන....මතු සම්බන්ධයි.....තියෙන්නම ඕන.....හෙහ්, හෙහ්,...ලියමු කෑලි දහයක් වත්......
ReplyDeleteවැරදි ආදුරුස දෙන්න එපා රවි අයියේ ... :D
ReplyDeleteලස්සන කතාවක් වගේ..ඉක්මනට අනිත් කෑල්ලත් දාන්න..මග බලන් ඉන්නවා..
ReplyDeleteමං මා ගැන ලියනවනම් එකවර කතාන්දර 4කින් ලියන්න වෙනව...ඒත් ඒකෙ තියෙන අතුරු කතා හැම එකක්ම ලියන්නත් බෑ.කවදාක හරි ලියයි.
ReplyDelete..ලස්සනයි සුන්දරයි හොඳයි..
රවී ගොයියට බැටේ දෙන්න වගේ මෙදා පොටේ නං. ආයෙ කාලයක් බලං ඉන්න වෙයි පෝස්ට් එකක් දාන්න. හොහ් හොහ් හෝ.... !
ReplyDeleteඔන්න ඔන්න අර ලව් බ්‍රේක් විඳවිල්ල මට ආයෙම මතක් උනා....
නියම කතාව. එක හුස්මට කියෙව්වා
ReplyDeleteමට හිතෙනවා මෙහෙම දෙයක් ..
ReplyDeleteඅර පරණ කාර් එකකින් එනවා කිව්වා සියා ආච්චිගේ පරණ යහළුවෙක් කියල.ඉක්මනට ලියන්
@ වර්ණා,
ReplyDeleteඅනේ මේ ලියාගෙන යද්දි කථාව දිග වුනා. කොට කොරන්න තැනක් ඇත්තේම නැහැ. වැඩියේ නැහැ තව කොටස් දෙකක් වගේ තමයි තියෙන්නේ. :)
@ Ravi,
ReplyDeleteහයියෝ.......... කලින් කියන්ට එපැයි...... දැන් ලියලා ඉවරයිනේ. ඊ ගාව එක ලියන්නම්කෝ දිගින් දිගට
@ නිමන්ති,
ReplyDeleteඒකනේ කියන්නේ, ආශ්‍රය කරන මිනිස්සුන්ගේ කෙරුවාව නිකම්ම බෝ වෙනවා වගෙයි නේද? :D
@ රූ,
ReplyDeleteස්තුතියි. ඔව් අදයි හෙටයි කොටස් දෙකයි. සමාප්තයි. :)
@ අමිල,
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීම ගැන
@ නවම්,
ReplyDeleteහපොයි ඔය රවි ගොයියාට බැටේ දෙන්න මං අලුතින් අත් දෙකකුත් හයි කරගන්න වෙයි, ඇයි බොලේ ඔහොම ටයිප් කරන්න පුළුවන් කාටද නැද්ද මං අහන්නේ......
හා හා ඔය පරණ එව්වා සිහි කරගෙන දුක් මනස්තාප වෙන්නේ මක්කටද? :)
@ චාමර,
ReplyDeleteස්තුතියි පැමිණීම ගැන හා අදහස් දැක්වීම ගැන
@ සහෝධරයා,
ReplyDeleteබලමු නේද? අද හෙට දැන ගන්න බැරියෑ
දැන් නිවුස් යන්නෙත් මතු සම්බන්දයි කියලනෙ....
ReplyDeleteඒක නිසා සමාව දෙන්න වෙනවා.....
@ අසේල,
ReplyDeleteසමාව දීලා හරියන්නේ නැහැ. භාජනේක දාලා ගෙදරට එවන්ට :)
ඉතුරු ටික.... ඉක්මනට ..............!!
ReplyDeleteපුදුමයි...,සතුටුයි...,ආඩම්බරයි..........
ReplyDelete