Thursday, December 22, 2011

75. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........4




ඕලු මලේ කතන්දරේ.........1

ඕලු මලේ කතන්දරේ.........2

ඕලු මලේ කතන්දරේ.........3

" ඇයි විජේ මම කිව්වෙ අද වීරෙගෙ උපං දිනේට හදනව කියල විසේස කෑමක්.....ඕළු මල් වෑංජනයක්...මතක නැද්ද? '' සෝමෙ අයිය කුස්සිය පැත්තෙ ඉඳල මතු උනා තිබ්බ ලොකුම පොල්කටු හැන්දත් වන වන....

'' හරි... ඒක හරි කියමුකො....දැං මොකටෙයි ඔය පොල්කටු හැන්ද? ''

'' මේ වගෙ හැන්දකිං තමයි මේක බෙදන්න ඕන.....හරි වීරේ ඉඳගන්නකො......'' සෝමෙ අයියම මට බත් හැඳි හතර පහක් බෙදල අර මහ පොල්කටු හැංදෙන් කට කපල තුනක් විතර ඒ උඩට බෙදුවනෙව ඕළු මල් වෑංජනේ.....

අනික් එවුන් වට වෙල බලාගෙන ඉන්නව ඇසුත් ලොකුකරගෙන මාදිහාවෙ......'' ඒයි උඹලත් වාඩි වෙයල්ල...'' මම බැගෑපත් උනා....මට බය හිතුනෙ මුං එකෙක්වත් වාඩි නොවුනොත් සෝමෙ අර ඕළු පළංගානම මට කවයි කියල.....ඔන්න කට්ටියම ඕළු මල් වෑංජනෙයි සෝමෙ අයියයි දිහාවෙ හොරැහිං බලන ගමං එකා දෙන්න වාඩි උනා......සෝමෙ අයිය උන්ටත් බෙදුව අර පොල්කටු හැංදෙං දෙක ගානෙ .....ඔන්න කට්ටියම කන්ට පටං ගත්ත....මම කෝකටත් කියල ඕළු මල් පොඩ්ඩක් බතුත් එක්ක යහමිං අනල හපල බැලුව...හප්පච්චියේ.....යාන්තමට ගම්මිරිස් රහක් විතරයි...වෙන මේ ලෝකෙ රහක් නෑ....ඒ මදිවට සෙවල උපත.....

වදෙං පොරෙං කටට ගත්තු ටික හපන ගමං හොරැහිං බැළුව සෝමෙ දිහා....මා ළඟම ඉඳගෙන ඉන්නව බොහොම උනන්දුවෙන් මගෙ ප්රතිචාරය දැන ගන්ට.....ඉතිං වෙන මක් කොරන්ටද?.....කටේ තියන ටික වදෙං පොරෙං ගිරියෙං පල්ලෙහාට යවල හිට සෝමෙ අයිය දිහාට හැරිල ලස්සනට හිනාඋනා....'' නියමයි අයියෙ.... අයියට කියන්න මේ බොරුවක් එහෙම නෙවෙයි......අපෙ හිච්චි නැන්ද ඉන්නවනෙ...අප්පච්චිගෙ බාල නඟා....එයයි උයන කෑම කෑවයිං පස්සෙ මේ ඒ විදිහෙ කෑමක් කෑවමයි '' කියල සෝමෙට වමතෙ මහපට ඇඟිල්ලත් උස්සල පෙන්නුව....පව් අප්පා....සෝමෙගෙ මූණ බලා ඉන්දැද්දි එළිය වැටුනෙ අපේ වොචර් හට් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කලා වගේ.....ඒත් මම නොකිව්ව කාරණේ තමයි අපෙ නැන්දගෙ ඉවිල්ල අන්තිමයි...... අන්තිම චාටර්.....කටේ තියන්ට බෑ... එයයිට කුස්සිය පළාතෙ යන්ට තහනං කරලයි තියෙන්නෙ..... හෙහ්, හෙහ්,

ඔන්න කොහොම හරි පිඟානට බෙදපු අර ගොසරෑව කාගෙන කාගෙන ගියාය කියමුකො....කාල ඉවර උනාම වැඩේ අහවරයිනෙ කියල.....මොන සමයංද?......'' වීරෙ මල්ලිටනං ඕලු වෑංජනේ අල්ලල ගියා වගෙ '' කියල සිනාමුසු මුවින් යුතුව සෝමෙ බෙදුවෙ නැද්ද තව පොල්කටුහැංදෙං දෙකක් මයෙ පිඟානට....මට අපෝ එපා සෝමෙ අයියෙ කියන්ටවත් විදිහක් නෑ ඔන්න කටෙත් පිරිල ඕලු වෑංජනේ.......ඔය අස්සෙ අපෙ අනික් එවුන් මම දැක්ක සෝමෙට නොපෙනෙන්ට බෙදාපුව වීසි කරනව ජනේලෙං එපිටට.......මම කොහෙ ඒ සෙල්ලං කරන්ටද සෝමෙ මගෙ ලඟම ඉඳගෙන......

ඔන්න කොහොමින් කොහොමින් හරි උපං දින බෝජන සංග්රදහයත් ඉවර උනා...වැඩේ ඉවරයක් වෙනකොට මගෙ වෙරි බැහැල.....සෝමෙ අයියට මාර හැපි....මූණෙං එකයි හිනාව......'' මල්ලි කොහොමද මගෙ ඕලු මාළුව ? '' කියල අහන්ට ඇති එක සිය වතාවකට වැඩිය...ඒ හැම වෙලාවෙම මම මගෙ සුපුරුදු හිනාව පානව....මාපටඟිලි දෙකම උස්සල පෙන්නනව....සෝමෙ අයිය ආයෙම හිනාවෙනව හඳ පෑව්ව වගෙ....

ඔන්න වදෙං පොරෙං සෝමෙගෙං ගැලවිල අපි හැමෝම ගියා ටිකක් නිදියාගන්ට.....මයෙ බඩ නිකං හුළං ගහපු බැළුම වාගෙ ....ඇයි අර වැවේ තිබ්බ ඕළු මල් වලින් තුංකාලක් මයෙ බඩේනෙව දැං.....වමනෙට ආව නං ඒකත් එකක්...කරුමෙට එහෙමත් නෑ....ඇඳේ එක විදිහකට ඉන්ටත් නෑ...එහාට පෙරළෙනව මෙහාට පෙරලෙනව අර ගෝන්නු ගිලපු පිඹුරො ඇඹරෙන්නැහෙ....කරූ මගෙ රූමා..... ඌට මැරෙන්ඩ හිනා.....

'' අම්මප වීරේ උඹට ලැබුවයිං ලැබුවෙ නැතුව ඇති මෙහෙම උපං දිනයක්.......දෙයියෝ සාක්කි උඹ කොහොමද බං අර ඕළු කැටිය කෑවෙ?.....කිඹුල කිරිමැටි ගිලින්නැහෙ...උඹ එව්ව කනහැටි දැකල මයෙ බඩ දගලන්ඩ ආව.....'' ඒක මුනිං අතට පෙරළිල කොට්ටෙත් විකාගෙන හිනා වෙනව.....මට ඌ කන්ට කේන්තිය......

'' නොකා කොහොමද බං අර ********* මයෙ ලඟට වෙලා ඕලු මයෙ පිඟානෙ ගොඩ ගහපු එකනෙ කලේ......උගෙ මූණට මොකවත් කියන්ටත් බෑ...මොනව උනත් හොඳ එකානෙ...කමක් නෑ....අසනීපයක් නොවී මදෑ ඕළු කේස් එක ඉවර උනා......'' මම දිග හුස්මක් පහලට හෙලල කිව්ව.

කොහොමින් කොහොමින් හරි මට නින්ද ගියා...ඇහැරෙන කොට වටින් ගොඩින් කළුවරත් පාත් වෙලා....යන්තම් බඩ එහෙම එක විදිහක්.....මම සාලෙට යනකොට අනික් කට්ටිය ඉඳගෙන කතාව...සෝමෙ පේන්ඩ නෑ.....මාතෘකාව ඉතිං වෙන මොකක්ද සෝමෙගෙ ඕලු වෑංජනේ තමා.....මම ඕලු කාපු හැටි කියල උං ටික හිනාවෙන්ඩ පටං ගත්ත ගේ දෙකක් වෙන්ට....මොනව කරන්ටද වැඩේ ඇත්ත කොට.....මමත් කට්ටිය එක්ක එකතුවෙලා හිනාඋනා.......හෙහ්, හෙහ්, හෙහ්, හෙහ්,

ඔන්න ටිකකිං කාටත් මතක් උනා සෝමෙව..... '' කෝ බං මේ යකා.....කොහේ ගියාද?.....ජයවර්ධන දැක්කෙ නැද්ද සෝමෙ මහත්තයව? ''

'' නෑනෙ..මමත් ටිකක් නිදාගත්ත...ඊට පස්සෙ දැක්කෙ නම් නෑ...'' ජයවර්ධන මට කහට එකක් දෙනගමන් කිව්ව...

'' වීරෙ අද රෑට කන්ට එපා ....කෝපි එකක් බීල නිදාගනිං '' ඒ විජේගෙ උපදෙස්...

'' ඔව්....ඔය ඕළු වල මොන මොන වස විස තියනවද කවුද දන්නෙ?.......'' කරූ අදහස ඉස්තිර කලා....

' පිස්සුද ?....ඕළු වල කොහෙද වස විස.... ''සෝමෙ අයිය ගෙට ගොඩවෙනකල් අපි කවුරුවත් දැක්කෙ නෑ......

අපි හැමෝම තුස්නිම්බූත උනේ සෝමෙ අයියගෙ අතේ තිබ්බ දේ දැක්ක පාර.....තවත්...ඔව්..තවත් මිටියක්.....මල් මිටියක්.....ඕළු මල් මිටියක්.....

'' මොකද සෝමෙ මේ?.....'' සිහි එලවාගත්තු ඇසිල්ලෙ ඇහුවෙ විජේ.....

'' නෑ.... විජේ දවල් අපෙ මේ වීරෙ මල්ලි බොහොම ආසාවෙං ඕළු කාපු හින්ද මට හිතුන රෑටත් ටිකක් හදන්ඩ ඕනය කියල.ඒ පාර මම ගිහිල්ල මේ ටික කඩාගෙන ආව.....'' සෝමෙ එහෙම කියාගෙන ගියා කුස්සිය පැත්තට.

ජයවර්ධන මම දැක්ක හිනාව නවත්ත ගන්ට බැරුව පිපිරෙන්ට තනනව. ඌට මොකෝ ඌට බැරිය හිනාවෙන්ට...මම රවල බැලුව....ඒ කරල අපි එකිනෙකා මූණින් මූන බලාගෙන හිටිය ටික වෙලාවක් ඉස්සෙල්ලාම නැගිට්ටෙ විජේ.. '' ජයවර්ධන මට රෑට කෑම එපා...මම පල්ලිය ගාව කඩෙං පාං කනව රෑට...''

මම අර කලිං කිව්වෙ මුස්ලිම් ගම්මානයක්.....ඒකෙ තිබුන පොඩි තේ කඩයක්....පාන්, රොටි...පරිප්පු වඩේ එහෙම ඒකෙ තිබ්බ....අපි හිටපු ගමං පොඩි චේන්ජ් එකකටත් එක්ක ඒකෙං රෑට කාල ජයවර්ධනටත් අරගෙන එනව. විජේ කිව්වෙ ඔන්න ඔය කඩේ ගැන.

'' මමත් එනව...'' කරුත් නැගිට්ට...අනික් එවුනුත් එකා එකා නැගිට්ට....මමත් නැඟිටින්ඩ හදනකොටම සෝමෙ අයිය ආව...'' වීරෙ මල්ලි පැය බාගයක් මට දෙන්න.... දවල්ට වැඩිය රහට මම හදන්නම්....ඔන්න බලන්නකො බොරුද කියල....'' එහෙම කියල මගෙ මූණ බලල හිනාවෙල ආපහු කුස්සියට ගියා....ඉතිං දෙයියනේ මොනවද මම කරන්නෙ?

'' ජයේ...වැව පැත්තෙ ගිහිල්ල අරං වරෙං බෝතලයක්....'' මම හෙමිහිට ජයවර්ධනගෙ කනට කෙඳිරුව.

***********************************

පසු වදන -

දැන් හැමෝටම ප්රශ්නයක් මතුවෙලා ඇති මම හිතන්නෙ ඕළු මල් කියන්නෙ ඇත්තටම කන්ට ගන්න දෙයක්ද කියල.....අපිටත් ඇත්තටම ඔය ප්රශ්නෙ ආව....සෝමෙලගෙ ගෙවල් අහ තව කීපදෙනෙක්ගෙන් අපි ඇහුව...ඒ හැමෝම කිව්වෙ ඕළු මල් කනවයි කියල අහලවත් නෑ කියල.

ඒත් සෝමෙ අයිය දහ අතේ දිවුරුව ඕළු ලපටි මල් උයනවයි කියල....කොහොම හරි වෙච්චි දේ වුනා....ඕළු මල් කියන්නෙ කන දෙයක් වෙතා නැතුවා මගෙ ජීවිතේට අමතක නොවන අත්දැකීමක් එකතු උනා.....ගිනස් වාර්තාවක් එහෙම තියනව නම් ඕළු මල් කෑම පිළිබඳව අනිවා මම ඉදිරිපත් වෙනව...ආයෙ නෑ කප් එක බුදු ෂුවර් ඇන්ඩ් ෂොට්.......

අහ්.....මේ කතාවෙ තව පසු කාලීන අතුරු කතාවක් තියෙනව කියන්ටම ඕනෙ.....මගෙ මංගල්ලෙ තිබ්බනෙ...සෝමෙ අයියට ඒකට එන්ට බැරිඋනා.....අපේ ඔපරේෂන් ඕළු මල් එකේ අනික් එවුන් ඒකට ආව....ඔන්න බලන්න මයෙම නරක වෙලාව කියන්නෙ දෙවෙනි දවසෙ හෝල් එකේ තිබ්බ මහ විසාල ඕළු මල් සැරසිල්ලක්.....අප්පට සිරි ගජ...නැන්දට කජු මද කිව්වලු...අපේ *********** ලට මදෑ ඕක.....මුං ඕළු මලේ කතාව අතිනුත් කෑලි දාල කියන්ට පටං ගත්ත.....

හතර විලිලැජ්ජාවයි......කියලා වැඩක් නෑ.....ඔක්කොමල අර ඕළු මල් දිහා බලනව ...මා දිහා බලනව ....හිනා වෙනව.මම ඉතිං මොනව කරන්නද?.....උන්ට රව රව හිටිය.......

ඔක්කොම සීන් කෝන් අහවර වෙලා ගෙදර ගියාය කියමුකො....මම අනෙ අප්පේ ඇති ඔයිං ගියා කියල සැනසුම් සුසුමක් පහල දැම්ම විතරයි...මගේ අළුත ගෙනා මනමාලි මාළඟට ඇවිල්ල " ඒයි අනේ මම මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ" කිව්ව. මමත් ඉතිං අනේ මොකක් හරි බොහොම ආදරණීය දෙයක් වෙන්න ඕන මේ අහන්න යන්නෙ කියල හිතල '' ඉතින් අහන්න අනේ'' කිව්ව පොඩ්ඩක් ඇදල පැදල එහෙම ..හෙහ්, හෙහ්,

'' කොහොමද අනේ ඔයා අච්චර කැටියක් ඕළු කෑවෙ?....අනික මම කවදාවත් කාල නෑ අනේ...මොන රහද එව්ව?...''

මුවන් පැලැස්සෙ කෝරලේ මහත්තය ඒ කාලෙ කිව්ව වගෙ...."ඈ....දීපල්ලකො පුළුවන්නං උත්තර.......''

ඕළු මලේ කතන්දරේ මෙතෙකින් සමාප්තයි........

17 comments:

  1. ඇති ඇති බඩේ අමාරුවක් නොවී ඔයින් ගියා....

    ReplyDelete
  2. හික් හික් හික්........
    හික් හික් හික්.................

    ReplyDelete
  3. බුහා හා...... ඇති අච්චර විසාල සෙවල ඕළු තැටියක්ම කාල බඩ ගියේ නැතුව. අම්මප ඔය බඩට ඕනෙම උලව්වක් යස අපූරුවට පත්තියං වෙනව වගේ. ඒකත් ඉතිං සඳා අක්කගෙම පින. නැතුව ආයෙ වෙන මොකක්වත් නෑ ඕං.

    ReplyDelete
  4. ඔන්න එක හුස්මට කතා හතරම හිනාවෙවී කියෙව්වා. නියම උපන්දින සාදයක් තමයි හම්බවෙලා තියෙන්නේ රවි අයියට. අර කළින් කොටසේ වෑංජනේ අපේ හිතේ මවාගන්න දීලා තිබ්බ උදව්වනං මරු!

    ReplyDelete
  5. ඈ බොල, ඔච්චර ඕළු මල් ගොඩක් කාලත් තොට බඩ ගියෙ නෑ කියන්නෙ ඉතිං ඒකනං ගිනස් වාර්තාවක්ම තමා.. :)

    ReplyDelete
  6. @ Sammani,

    / ඇති ඇති බඩේ අමාරුවක් නොවී ඔයින් ගියා..../

    මටත් ඒක නම් ප්‍රශ්නයක්.....ඒත් පස්සෙ හිතාගත්ත 1. සෝමෙ යහමිං ගම්මිරිස් එහෙම දාලා තිබීම 2. එදා උදේ සිටම මත්පන් පානයේ යෙදීම යන කාරණා දෙක හින්දයි අතුරු ආන්තරාවක් නොවුනෙ කියල....හෙහ්, හෙහ්,

    ReplyDelete
  7. @ නිශ්,

    මොන හික්ද බොල...හුළං හික් ද?

    ReplyDelete
  8. @ nawammawatha,

    / අම්මප ඔය බඩට ඕනෙම උලව්වක් යස අපූරුවට පත්තියං වෙනව වගේ. ඒකත් ඉතිං සඳා අක්කගෙම පින. නැතුව ආයෙ වෙන මොකක්වත් නෑ ඕං. /

    අම්මප ඒක නම් ඇත්ත මලේ....අවුරුදු දොලහෙ ඉඳම්ම ජීවිතෙං වැඩි කාලයක් ගෙදරිං පිට උන්නු නිසා තමයි මම හිතන්නෙ මට කෑම ගැන නෑ කිසිම විසේසයක්...ඒ වගේම ඕනම ජරාවක් ඇදල ඇරිය හැකි ඇස් පියාගෙන...අපෙ ලොක්කි ඔය ටී වී එකේ යන අර සරණියයි මේ සරණියයි තුං සරනෙයි බලා ඉඳල ඒ අනුව අලුතෙං හදන එව්ව ටැස් කොරන්නෙ මට ගිල්ලවල තමයි....හෙහ්,එහ්,

    ReplyDelete
  9. @ සිත්තමී,

    හෙහ්, හෙහ්, ස්තූතියි නඟේ....වැඩ රාජකාරි අස්සෙ ඇවිත් හිට කියෝන එකම මදෑ....

    ReplyDelete
  10. @ Buratheno,

    / ඈ බොල, ඔච්චර ඕළු මල් ගොඩක් කාලත් තොට බඩ ගියෙ නෑ කියන්නෙ ඉතිං ඒකනං ගිනස් වාර්තාවක්ම තමා.. :) /

    හෝව්, හෝව් පොඩ්ඩක් හෝව්...අර නවමත් කියල තිබ්බ බඩ යන කතාවක්...මෙන්න උඹත් ඒකම කියනව...මට පේන්නෙ බොලා ඔක්කොම මේ ඕළු මල් කාල තියනව...එකත් එකටම...නැත්තං දන්නෙ කොහොමද ඕළු කෑහම බඩ යනවය කියල?.....ඈ...දීපල්ලකො පුලුවන්නං උත්තර.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  11. apoy ane athata ayya matath ahane thiyenne kohomade ayya ochara olu mal hattiyak kawe ?? :O :P :D

    ReplyDelete
  12. // මට පේන්නෙ බොලා ඔක්කොම මේ ඕළු මල් කාල තියනව...එකත් එකටම...නැත්තං දන්නෙ කොහොමද ඕළු කෑහම බඩ යනවය කියල? //

    මට ඉතිං බොට දෙන්න තියෙන උත්තරේ, අර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො VI පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට දුන්නු උත්තරේම තමා.. :D

    ReplyDelete
  13. @ Buratheno,

    හෙහ්, හෙහ්.....ඒකත් ඇත්ත තමයි බොලේ බලාගෙන යනකොට.....

    ReplyDelete
  14. @ Glimmer Girl,

    උත්තර දෙන්ට බැරි ප්‍රශ්න අහන්ට එපා බොල.....මමවත් දන්නෙ නෑ ඇත්තටම කිව්වොත්...හෙහ්, හෙහ්,

    ReplyDelete
  15. මේකට ඉතින් හික් හික් නැතුව වෙන මොන උලව්වක් කියන්නද?මම නම් ඕලු මල් කාල නෑ ජීවිතේට..

    ReplyDelete
  16. පව් අප්පා මෙයාටත් වෙන වැඩ..

    ReplyDelete
  17. hodata liyala tiyanawa.aththatama hina giya.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...