මුහුද දෙසින් එක වරම හමා ආ සුළං රැල්ල නයනිගේ කෙහෙ රැල් අවුල් කර දැමීය. කණිෂ්කගේ වමතට සිරවී තිබුණු සුරත මුදාගත් ඈ නොඉවසිල්ලෙන් කෙස් රොද හිස පසුපසට තද කලාය. එහෙත් ඇගේ ඇඟිලි වලින් මිදුනු කෙහෙරල නැවත ද දඟ කරන්නට වූයේ ඇයට කරදර කිරීමටම ඉටාගත් කලෙක මෙනි.
නොඉවසිල්ලෙන් අකීකරු කෙස් හා ඇය පොරබදන අතර හිටිහැටියේම හැමූ සුළඟ අතුරුදන් වූයේ යතුරක් ඔබා විදුලි පහනක් නිවා දැමූ පරිද්දෙනි.
සුසුමක් හෙලූ ඇය කණිෂ්ක දෙස නෙත් කොණින් බැලුවේ ඔහුගේ වමතෙහි මෙතෙක් දැවටි සුරත උකුල මත තිබූ පොත් කිහිපය මත තබා ගණිමිනි.
ඔහු ඉදිරියට නැවී දෙදණ මත රඳවාගත් දෑත මතට බරදුන් මුහුණින් යුතුව ඈත මුහුඳ දෙස බලා සිටියේය.
කොටු පවුර අසල වූ කොන්ක්රීට් අසුනෙහි එකිනෙකා ගැටෙන නොගැටෙන පරිදි හිඳ සිටි ඔවුහු තවත් මිනිත්තු දහයක් පමණ නිහඬතාවයේ වෙලී ගත කලෝය.
අවසන නිහඬ බව තවත් ඉවසිය නොහැකිවූ කල නයනී සිතට දිරිගෙන හඬ අවදිකලේ ඈත මුහුද දෙසට අරමුණකින් තොරවූ බලා සිටිමිනි.
'' කණිෂ්ක.....''
'' ම්ම්......'' ඔහු පිළිවදන් දුන්නේ ඇසෙන නෑසෙන හඬිනි.
'' අපි මොකද දැන් කරන්නෙ? ''
'' මට තේරෙන්නෙ නෑ නයනී...මට තේරෙන්නෙ නෑ...'' එවර ඔහුගේ හඬ මඳක් උස් වූවාසේම ඔහු කතා කලේ අසුනෙහි කෙළින් වී ඇගේ වත දෙස ඉඳුරාම බලමිනි
'' එහෙම කියල බැහැනෙ අනේ මේකට අපි මොනව හරි කරන්න එපාය....''
'' කරන්න ඕන නම් තමයි ඒත් අපි මොනව කරන්නද?...දැන් කොච්චර දවස්ද දින පහුවෙලා.....''
'' සුමාන තුනකටත් වැඩියි..මගෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ...මේ උනාමයි''
නැවත දෙදණ මතට වාරුකල දෑතට හිසෙහි බර දුන් ඔහු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට වූයේ ආවේශ වූ කලෙක මෙනි.
'' තාත්ති අද උදේ මගෙන් ඇහුව මේ ඉක්මනට ආයෙම ක්ලාස් පටන් ගන්නවද කියල...ටිකක් සැකෙන් වගේ තමයි ඇහුවෙ....''
'' .................................''
'' මට තව වැඩි කාලයක් මේ වැඩේ වසං කරගෙන ඉන්න බෑ.....කණිෂ්ක,''
'' .................................''
'' මට මැරෙන්න තමයි වෙන්නෙ මූදටවත් පැනල.....''
එක්වරම තිගැස්සුණු ඔහු නැවතද කෙලින් වී ඇගේ දෑස් දෙස බලා සිටියේ විපිළිසර වූ දෑසිනි.
ඔහුගේ හැඟීම් බර දෑස දෙස තවත් බලා සිටිය නොහැකිවූ ඇය දෑස ඉවතට ගෙන අරමුණකින් තොරව වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස බැළුවාය. ......9.25
****************************************
'' ජගත්, කවදද හරියටම නැකත තියෙන්නෙ?......'' කොටු පවුර අසල තණ බිස්සේ එලූ කලාලය මත හිඳසිටි පුෂ්පා ඇසූයේ ඒ අසල හිටගෙන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙන ප්රීතියෙන් සිනාසෙමින් එකිනෙකා හඹායන අන්දම සිනාමුසු මුහුණින් නරඹමින් සිටි තම සැමියාගෙනි.
'' ජනවාරි හයට දාගත්ත....බෘහස්පතින්දනෙ...දවසත් හොඳයි.....අනික දවස් දහයක් විතර තියනවනෙ වැඩ ටික කළබලයක් නැතුව හෙමිහිට කරගත්තෑකි.''
වසර හතකට පෙර වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්යයේ තනි කැමැත්තට විවාහ වූ ඔවුන්ගේ විවාහ දිවියේ මුල් වසර දෙක ගතවූයේ අනන්ත දුක් කම්කටොළු විඳිමිනි.හරි හැටි නිවෙසක් පවා නොමැතිව හිතවතුන්ගේ නිවෙස් වල කාමරයක දිවි ගෙවූ ඒ කාලය නිමා වූයේ ජගත් ට මැද පෙරදිග රැකියාවක් ලැබීමෙන් අනතුරුවය.වසර පහක් එහි ගතකල ඔහු මෙවර පැමිණියේ නැවත තම කුටුම්භයෙන් වෙන්ව නොයන්නෙමැයි යන අදිටනිනි. මුල් වසර තුනෙහි ඉතිරි කරගත් මුදල් නව නිවෙසක් තැනීමට වැයවූ අතර ඉතිරි වසර දෙකෙහි ඉපයූ මුදල් ඔවුන් දැඩි අරපරෙස්සමින් ඉතිරි කලේ තමන්ගේම වූ ව්යාපාරයක් ඇරඹීමටය.
කන්දක් නැඟිවිට අනිවාර්යයෙන් පල්ලමක් හමුවේය යන්න සත්යියක් බව ස්ඵුට කරමින් ඔවුන් සිතූ ලෙසම ප්රමාණවත් මුදලක් ඉතිරි කරගනීමට මේ අවසන් වසර දෙක තුලදී ඔවුහු සමත් වූහ. එහෙයින් සති දෙකකට පෙර ජගත් ආපසු දිවයිනට පැමිණියේ රැකියාවට සමුදීමෙන් පසුවය. තව සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්රයෙහි නියැලීමට ඉටාගත් ඔහු මිතුරන් දෙදෙනෙකුද හා එක්ව ඉඳිකිරීම් සමාගමක් ඇරඹීමෙහිලා යුහුසුළුවිය. නොබෝ දිනකින් එනම් ජනවාරි හයවන දින විවෘත වන්නේ ඒ සමාගමයි. ජීවිතය මෙපමණ විගස ජයගත හැකිවේයයි සිහිනෙනුදු නොසිතූ හෙයින් පුෂ්පාගේ සිත තුල වූයේ උතුරා ගලා යන තරමේ ප්රීතියකි.
නිදැල්ලේ දුව පනින කුඩාවුන් දෙදෙනාගේ සුරතල් සිනාපිරි වතින් යුතුව මොහොතක් නැරඹූ පුෂ්පාගේ නෙත යොමුවූයේ ඊට මඳක් ඔබ්බෙන් කොටු පවුර යබද බංකුවක හිඳ සිටි ලාබාල පෙම්වතුන් යුවල වෙතය. තවමත් පාසල් වියෙහි යයි නිසැකවම අනුමාන කල හැකි ඔවුන් දුටු ඇගේ සිත නිතැනින්ම බොහෝවිට සුන්දර එසේම විටින්විට අසුන්දර මතකයන්ද කැටිවුණු ඔවුන්ගේ අතීතය කරා මොහොතක් දිව ගියේය.
'' ජගත් අර කපල් එක දැක්කම ඔයාට මොනව හරි මතක් වෙනවද? ''
'' පව් අර අහිංසක කොල්ලා....'' ජගත් පැවසුවේ හඬ නගා සිනා සෙමිනි.
පුෂ්පා ද ඒ සිනහවට හවුල් වූවාය.....
'' ඒත් මට පේන්නෙ ඒ දෙන්න මොකක් හරි ප්රශ්නයකට මැදිවෙලා වගෙ....'' යුවළ දෙස මොහොතක් පරීක්ෂාවෙන් බලා සිටි ජගත් පැවසුවේ ඈ අසලම හිඳගනිමිනි.
'' ප්රශ්න නැත්තෙ කාටද?...ඒ කාලෙ අපටත් මොකෝ ප්රශ්න තිබ්බෙ නැතුවය?''
'' අපි යමුද එහෙනම්.....පුතා ....'' ජගත් දරුවන්ට අඬගසමින් නැඟීසිට අත් ඔරලෝසුව දෙස බැලීය.
උදෑසන නිවසින් පිටත්ව එද්දී ඔරලෝසුව අමතක වූ බව ඔහුට සිහි වූයේ හත්වන හෝ අටවන වතාවටය....'' කියද පුෂ්පා වෙලාව.....''
'' ම්ම්ම්....9.25 යි ...''තම අත් ඔරලෝසුවේ දෙස බැලූ ඈ එසේ කියමින් නැඟී සිටියාය...'' යමු එහෙනම්...''
***************************************
කළු පැහැති ප්රාඩෝ රථය කොටු බැම්ම පේන තෙක් මානයේ නතර කල රිචඩ් මුදලාලි අත් තිරිංග ද ක්රිපයාත්මක කොට, රියදුරු අසුනින් බැස රියේ බොනට්ටුවට හේත්තු වී කලිසම් සාක්කුවෙන් ගත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවෙන් සිගරටයක් ගෙන දල්වා ගන්නට උත්සාහ කලේය. දැඩි සුළඟ නිසා දෙතුන් වරක්ම උත්සාහය අසාර්ථක වූ ඔහු එවර දකුණු පස දොර විවෘත කොට රිය තුලට හිස රුවා සිගරටය දල්වා ගත්තේය.
එතෙකුදු රථයෙන් නොබැස වම් පස අසුනේ සිටි විල්බට් දෙස ඔහු හෙලූයේ නොපහන් බැල්මකි. '' මොකද බං තවත් මේක ඇතුලෙ කරන්නෙ. බැහැපං.. අද මේ වැඩේ කතා කරල ඉවරයක් කරන්න ඕනෙ.''
ඇල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය.
'' හරි ....මුදලාලි දැන් මොකද කියන්නෙ? ''
දුම් උගුරක් දෙකක් පිටකල රිචඩ් හාත්පස නීරීක්ෂණය කළේය. යම් දුරකින් සුදු පැහැති මෝටර් රථයක් අසල තණ බිස්සේ එලූ කලාලයක් වැනි යමක හිඳසිටිනා යුවලක් හැරුණු විට ඔහුගේ දෙනෙතට කිසිවෙකු හසු නොවුනද ඔහු කතාකලේ හැකිතරම් පහත් ස්වරයෙනි.
'' මට වැඩේ කෙරෙන්ඩ ඕන....හැබැයි මගෙ නම ගෑවිලාවත් තියෙන්න බෑ....ගෙදර කොල්ල කන්ඩ ගිහිල්ල වෙච්චි දෙයක් විදිහට වැඩේ කරපං..... දන්නවනෙ.....යසපාල ලබන සතියෙ සඳුද වෙනකොට ඉවරයක් කරල තියෙන්න ඕන,බාර් එකේ ටෙන්ඩර් එක සඳුද දෙනව....මම ලොක්ක එක්ක කතාකලා...ලොක්ක කියන්නෙ අපි දෙන්නම චන්දෙදි උදව් කරපු නිසා පැත්තක් ගන්ඩ බෑ කියල....යකෝ මම වියදම් කරපුව හම්බ කරගන්ඩ වෙන ක්රමයක් නෑ....''
'' මෙතන බාගයක් තියනව ..ඇඩ්වාන්ස්.....ඉතුරුව වැඩේ අවුලක් නැතුව කෙරුනට පස්සෙ....'' රියේ පසුපස අසුනේ රබර් කලාලය ඔසවා දුඹුරුපැහැ පාර්සලයක් ඉන් පිටතට ගෙන ඇල්බට් දෙසට දිගු කරමින් රිචඩ් වමතෙහි උදෑසන හිරු එළිය පතිතව දිදුලන රන් ආලේපිත ඔරලෝසුව දෙස බැලීය. ..9.25
****************************************
ක්රිස්ටෝපර් නොහොත් කිට්ටා ද තණ බිස්ස මත වැතිර සිටියේය.එහෙත් කාලය අවට සිදුවන දේ හෝ අවම වශයෙන් මුහුදු සුළඟ විටින්විට අඩු වැඩි වන හඬ හෝ ඔහුට නෑසුණි.දින දෙකකින් හරි හැටි අහරක් හෝ නින්දක් නොලැබුණ ද ඔහුගේ ගත මෙන්ම සිත් ද දඬු අඬුවකින් තෙරපා මිරිකා හරින්නක් මෙන් දැනෙන ඉවසිය නොහැකි වේදනාවට හේතු වූයේ ඒ එක කරුණක් හෝ නොවේ. කිට්ටා පෙළෙමින් සිටියේ නිෂ්ක්රමණ ලක්ෂණයන්ගෙනි. ( withdrawal symptoms )
ගාලු පුරවරයෙහි ප්රධාන බෙදාහරින්නා දින දෙකකට පෙර කිට්ටා සොයා ඔහුගේ නිවහනටම පැමිණියේ කිට්ටා අවදි වීමටද පෙරාතුවය.
'' අඩෝ, ************ පුතා, තෝ දැන් දවස් තුනක් සල්ලි නොදී බඩු ගත්තා, කෙඳිරි ගාන නිසා මමත් අනුකම්පා කරල දුන්න...අදිං පස්සෙ ඒ සෙල්ලං බෑ හරිද?.....හිඟ සල්ලි ඔක්කොම ගෙනත් දීපං එතකල් බඩු නෑ......''
ඒ තහනම් නියෝගය එලෙසම ක්රියාත්මක විණි. කිට්ටාට දිව ඔසුව බෙදාහරින සෑම තැනකම දොර වැසී ගියේය. ඒ දින දෙකකට ඔබ්බෙනි.
මුළු සිරුරම වෙව්ලන හෙයින් කිට්ටා නැඟී සිටියේ අසල තිබූ පහන් කණුවකට බර දීමෙනි. කෙමෙන් දැඩි වන උදා හිරු රැසින් රත් පැහැවී කඳුළු ගලන දෙනෙත් මුවාකර ගැනීමට සුරත දිගහැර නළලට තැබූ හෙතෙම අවසඟ දෙපා වාරුවෙන් පහන් කණුවට බර දී අවට බැලීය. කොටු බැම්ම අසල නවතා තිබූ කළු පැහැති වාහනයක් ඉදිරිපස දෙදෙනෙක් කතා කරමින් සිටියහ. එතරම් දුරක නොවුනද දැඩි සුළඟ හේතුවෙන් ඔවුන් කතාකරන හඬ නෑසිණි.සල්ලි කාරයෙක් වගේ, හෙමිහිට වාහනෙං මොනව හරි හොරකං කරගත්තොත් මිනිසුන් දෙදෙනා සිටියේ රථයේ ඉදිරිපස බැවින් ඔවුනට නොපෙනී වාහනයේ පසු පසට ලඟාවීමට නම් කොටු බැම්ම දිගේ ගමන් කල යුතුය.
කිට්ටා සෙමින් සෙමින් කොටු බැම්ම දිගේ පියවර තැබීමට පටන් ගත්තේය. කිසි දිනක ඔරලෝසුවක් භාවිතා නොකල ද වේලාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවූවද කිට්ටා ඒ මොහොතේ අත් ඔරලෝසුවක් පැළඳි යමෙකුගෙන් වේලාව විමසුවේ නම මෙසේ පිළිතුරු ලැබෙනු ඇත. 9.25 යි.
****************************************
ඔහුට නමක් නොවීය. මෙලොව කිසිදු ඥාතියකු හෝ මිතුරකු ද නොවීය. අතීතය පිළිබඳ පැහැදිළි කිසිදු මතක සටහනක් ද නොවුනු හෙයින් ඔහු කවුරුද යන්න අන් කිසිවෙක් තබා ඔහු ද නොදන්නේය. විටින් විට මිහිදුම් සළු අතරින් මතුවන අපැහැදිලි ඡායාවන් රැසක් මෙන් සුවිසල් මන්දිරයක්, විශාල වතු යායක් සහ යාන වාහන රැසක් ඔහු මනසේ මොහොතක් දිස් වී අතුරුදන් වුවද ඒ මොනවාද යන්න පවා ඔහුට හැඟීමක් නොවීය.කිසිදු දුක් දොම්නසක් නොවූ ඔහු මෙලොව ප්රීතිමත්ම මිනිසා විය.
අනුකම්පා කලවුන් බොහෝ වූ හෙයින් ඔහුට හාමතින් ගත කිරීමට සිදුවූයේම නැති තරම්ය.හාමතින් වේලක දෙකක් ගත වූවද එ ගැන ඔහුට කිසිදු හැඟීමක් නොවීය.
නත්තල් දින සවස් භාගය .....කොටුවේ දෙව් මැදුරේ ප්රධාන පියතුමා නත්තල් දේව මෙහෙයෙන් පසු විවේක ගනිමින් සිටියේය.
'' ඩේවිඩ්... අන්න අර මනුස්සය එනව,'' පියතුමා බිරිඳගේ හඬින් අසුනින් නැඟී සිටියේය.
'' කවුද? ''
'' හිහ්, හිහ්, නමක් නැති මනුස්සය...ඔයාගෙ යාළුව,''
'' එහෙමද?....සැන්ඩ්රා,....ලන්ච් එකෙන් ඉතුරු එව්වයින් පාර්සලයක් හදන්න.....''
බිරිඳ සකස් කරදුන් පාර්සලය සහ මත්පැන් බෝතලයක් ද රැගෙන පිටතට පැමිණි පියතුමා මෙලොව ප්රීතිමත්ම මිනිසා පියවරින් පියවර ලඟා වනු බලා සිටියේ සිනාමුසු මුවිනි.
කොටු බැම්ම පාමුළ රෑ කල ගත කල ප්රීතිමත්ම මිනිසා අවදි වූයේ මුහුණට පතිත වූ දැඩි හිරු රැස් කරණ කොටගෙනය.ඊයේ රාත්‍රිය ගත වූ අන්දම පිළිබඳව කිසිදු මතකයක් ඔහුට නොවීය. සාමාන්ය පුද්ගයයෙකු වුවද ඔහු පෙරදින රාත්රිය ගත කල අයුරු ගත කලේ නම් කිසිදු මතකයක් ශේෂ නොවන බවට කිසිදු සැකයක් නොමැති කල ඔහු පිළිබඳව කවර කතාද?...වැතිරී සිටගෙනම අතපත ගා අඩක් අවසන් වූ මත්පැන් බෝතලය සොය ගත ලොව ප්රීතිමත්ම මිනිසා සුන්දර සිනහවක් මුවට නගා ගනිමින් බෝතලය මුවට ඇල කොට ගත්තේය.
වේලාව යන්න පිළිබඳව හැඟීම මාත්රයකුදු ඔහු තුල නොවූ බව සැබෑවකි. ඒ එසේ වුවද මේ වන විට වේලාව උදෑසන 9.25 වූ බව ද ඒ ලෙසම සැබෑවකි.
****************************************
ගාළු පුරවරයට බොහෝ ඈත දේශ දීපංකරයකට එපිට සුමාත්රාව අසල කල්ප අසංඛ්ය සංඛ්යාවක් දැඩි නිද්රාවෙහි ගැලී සිටි මෘගයෙකු මේ වන විට තම අති දීර්ඝ කාලීන නිද්රාවෙන් අවදිව සත් සමුදුර තරණය කොට බටහිර දෙසට ගමන් කරමින් සිටියේය. ගාළු කොටු බැම්ම අසල තම විවිධ ප්රශ්න විසඳා ගැනීමට තැත් කරමින් හා / හෝ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුබ සිහින මවමින් හා / හෝ ඒ කිසිත් නොමැතිව ජීවිත සිතූ පරිදි විඳිමින් හා / හෝ සිටි කිසිවෙකු මේ මෘගයා පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි බව වෙසෙසින් පැවසිය යුත්තක් නම් නොවේමය.
****************************************
නොගිනිය හැකි කලෙක සිට නිසලව උන් සයුර එක් වරම සෙමින් සෙමින් ගොඩට ගලන්නට විය.
'' කණිෂ්ක...අර මුහුද ගොඩට ගලනව නේද?....'' නයනී ගේ බියපත් හඬින් හිස ඔසවා බැලූ කණිෂ්ක වහා නැඟී සිටියේය.
'' ඔව් නේද?......මේ මොකක්ද වෙන්න යන්නෙ? ''
****************************************
'' ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි.
****************************************
'' මුදලාලි අර මූද ගොඩට එනව නේද?......''
'' මොකක්?......අම්මප ඇත්තම නේද?.....මේ මොනවද වෙන්න යන්නෙ? නැගපං, නැගපං, යමං හනිකට මෙතනිං''
****************************************
මේ වන විට කිට්ටාගේ පූර්ණ අවධානය වාහනයේ පසුපස අසුන මත වූ කළුපැහැ ගමන් මල්ල දෙස යොමු වී තිබූ හෙයින් මුහුද ගොඩ ගැලීම පිළිබඳ ව ඔහු කිසිසේත්ම නොදත්තේය.
****************************************
මුහුද ගොඩ ගලනවා දුටුවද ලොව ප්රීතිමත්ම මිනිසාට එහි අරුමයෙක් නොවන බව නිසැකය. කෙසේ වුවද ඔහු මේ කිසිවක් නොදුටුවේය. වැතිරී සිටි අයුරින්ම මත්පැන් උගුරක් නැවත මුවෙහි ලාගත් ඔහු ඒ ගිල දමා මහත් ප්රීතියෙන් සිනා සුණේය.
****************************************
සුමාත්රාවේ සිට ගමන් ඇරඹූ යක්ෂයා ගාල්ලට ළඟාවී සිටියේය. අහිංසක ලෙස ඥාතීන් හමු වීමට පැමිණියාක් මෙන් ස්වල්ප දුරක් ගොඩ බිම අභ්යන්තරයට ගමන් කල හෙතෙම අහිංසක ලෙසම ආපසු සයුරු තෙරටම බැස ගියේය. සයුරෙහි මෙතෙක් රඳවාගෙන සිටි සීමා මායිම් පසුකොට බොහෝ දුරකට බැස ගියේය. මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ.
කිට්ටා ප්රාඩෝවෙහි පසුපස අසුනෙහි වු ගමන් මල්ල අතට ගත්තේය. ලොව ප්රීතිමත්ම මිනිසා තවත් මත්පැන් උගුරක් ගිල දමා නැවත ද සිනා සුණේය.
සමුදුරෙහි බොහෝ ඈතට ගමන් කල යක්ෂයා අවසන් ප්රහාරය සඳහා බලමුළු තරකරමින් ශක්තිය කුළුගන්වා ගනිමින් මොහොතක් ගත කලේය.ඉන්පසු කන් බිහිරිකරවන ඝෝෂාවකින් හාත්පස වෙවුලුම් කවමින් ගාළු පුරවරයට වැද හොත්තේය.
වේලාව - පෙරවරු 9.30..... දිනය - 2004 දෙසැම්බර් 26,
*****************************************
ඉනික්බිති දෙවන රළ පැමිණියේය.
Lo and behold...... there comes the second wave with the Fourth horseman on a pale horse named death riding on it,
මේ දවස්වල බ්ලොග් කිහිපයකම මේ ගැන විස්තරයක් තිබුනත්, එය වෙනස්ම රටාවකට කතාවක් හැටියට මෙහි ඉදිරිපත් කරලා තියනවා. එකම වෙලාවක, එකම තැනක විවිධ චේතනාවලින් උන් හැමදෙනාම එක පොදියකට ගහගන යන්නේ අන්තිමට මොනවා කලත්, මේ හැමදේම නිෂ්ඵලයි කියලා කියන්නා වගේ.
ReplyDeleteහිතට වදින කතාවක්....
//on a pale horse named death riding on it//
බයත් හිතෙනවා මේ ටික දැක්කාම...:D
අපූරු සිතුවිල්ලක්..ගොඩක් බලාපොරොත්තු සිහින වගේම ප්‍රශ්නත් මේ දෙවනි රළත් එක්ක ගහගෙන ගියා තමයි... :(
ReplyDeleteහ්ම්... හිතට හරි නෑ. අවුරුදු හතකට එහා ඒ දවසෙදි දැනුන හැඟීමම දැනෙනවා. රවි අයියාගේ කතාව ඒ තරමටම තාත්විකයි.
ReplyDeleteහපෝ බෝරින්...
ReplyDelete@ පොඩ්ඩි,
ReplyDeleteස්තූතියි පොඩ්ඩි,
පොඩි බයක් වගෙත් හිතුනද?.......හෙහ්, හෙහ්,
@ රූ,
ReplyDeleteඇත්තම ඇත්ත තමයි රූ, දෙවෙනි රල පහරේ සැඟවී ගිය කතා කී දහසක් නම් තියෙන්න ඇද්ද?
@ සිත්තමී,
ReplyDeleteස්තූතියි නංගි...
ඔයාගෙ තරමටම සමීප නොවුනත් මගෙ හිතවතුන් කිහිප දෙනෙකුත් එදා අතුරුදහන් වුනා.....
@ amila chathuranga,
ReplyDeleteහප්පච්චියේ කරුණා කරල සමාවෙන්න....
දෙවන රළකින්ම නොවුනත් කවදාහරි (අද හෙට වෙන්නත් පුළුවන් නේ) දවසක අපේ බලාපොරොත්තු හා සිහින ඔක්කොම අතඇරලා යන්න වෙනවා කියන එක මතක තියෙන්නෙ අපි කීයෙන් කී දෙනෙකුටද රවි අයියේ..
ReplyDeleteඅද අද එයි මරු..
හ්ම්ම් මම හිතුවෙම වෙන දෙයක්. අන්තිමට සිද්ද වුනේ තව දෙයක් :
ReplyDeleteඅගට යනකොට තමා හරිටම මේ මොකක්ද කියලා හිතුනෙ.එදා හුගක් අය කලේ ඔය වැඩේලු නේද?රල පස්සට ගියාම බලන්න ගිහින්. ඒ වැඩෙන් ගොඩක් ජීවිත නැති වෙන්න ඇති... :((
ReplyDelete@ වර්ණා,
ReplyDeleteසිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ...ඒකයි ලෝක සොබාවේ....හෙහ්, හෙහ්,
@ නිසුපා,
ReplyDeleteඇත්තටම ගොඩ දෙනෙක් මැරිල තියෙන්නෙ මුහුද හිඳෙන එක බලන්න ගිහිල්ල.....සුනාමියකදි වෙන්නෙ මොකක්ද කියල අපි කවුරුවත් දැනුවත් වෙලා හිටියෙ නැහැනෙ.....ඉතිං කවදාවත් අහලවත් නැති මූද හිඳෙනව දැක්කම හැමෝම ඒක බලන්න යන එක අහන්නත් දෙයක්ද?.....ඔයා හරි මම හරි ඒ වෙලාවෙ කරන්නෙත් අනිවාර්යයෙන්ම ඒ ටිකම තමයි.
පස්සෙ මම පත්තරේක ලිපියක් දැක්ක ත්‍රිකුණාමලේ කිට්ටුව කෙනෙක් ඔය වෙලාවෙ කෑගහල, මුහුද හිඳෙනව බලන්න යන කට්ටිය උස් තැනකට යවල ජීවිත බර ගානක් බේර ගත්තයි කියල....එයා කාලයක් ජපානෙ හිටපු කෙනෙක්..එහෙදි ලබපු අත්දැකීම් නිසා එයාට තේරුණා මේ සුනාමියක්...ඊළඟට දෙවෙනි රැල්ල එනවයි කියල.....
@ Buratheno,
ReplyDeleteඇත්ත මලේ...එහෙම ඉඳහිටලවත් නොහිතන එකේ වරද නෙව වෙලා ඇති හෙණේ.......
කුමන නැටුම් කෙළි කවට සිනා දා.....
මරුහට නැත කිසි දිනකදි බාදා....
ඔබට නොදන්වා මරු මෙහි ආදා....
ඉන්නට බැරි වන්නේ....යන්නට සිදු වන්නේ.....
නොතිර සසර සාගරේ....
ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]
ReplyDeleteWish You Both A Very Happy New Year filled with lots of love and joy ...
ReplyDeleteමුලින් කියවද්දි මේ දේ වෙයි කියලා හිතුනේ නැහැ.. දුක්බර මතකයක් ඒත් ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි අයියේ!!
ReplyDelete