Thursday, August 12, 2021

163. ඇල්බට් පාර, ඇල්බියන් පාර, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර සමග ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු





ඇල්බට් පාර - කොල්ලුපිටිය, කොළඹ 03
නව නාමය - ධර්මකීර්තියාරාම පාර

    කොල්ලුපිටියේ ගුණසිරි හෝටලය අසලින් ශාන්ත මයිකල් පාර ඔස්සේ ගොස්, වමට වන හඩ්සන් පාරේ යනවිට පළමුව වමට හමුවන කාමෙල් පාරේ යනවිට පළමුව දකුණට හමුවන මාර්ගය.

    ඇල්බට් චංද්‍රවංකය සේ ම ඇල්බට් කුමරු සිහිකරමින් නම් කරන ලද්දක් යැයි අනුමාන කෙරේ.


ඇල්බියන් පාර - දෙමටගොඩ, කොළඹ 09

    ඇල්බියන් යනු එංගලන්තය හෝ බ්‍රිතාන්‍ය හැඳින්වීමට අතීතයේ භාවිතා වූ නාමයකි. එය සුදුපාට යන තේරුම ඇති ග්‍රීක වදන වන ඇල්බා - Alba යන්නෙන් බිඳී ආවකි. (එංගලන්තයේ ඩෝවර් නගරයෙන් මුහුද වෙතට වන ධවල වර්ණ ප්‍රපාතාකාර බෑවුම විස්තර කෙරෙන බවක් විශ්වාස කෙරේ). කොළඹ නගරය තුල ඇල්බියන් යන නම රැගත් මං මාවත් තුනක් විය. දැනට ඉතිරි ව ඇත්තේ දෙකක් පමණක් වන අතර ඒ දෙක දෙමටගොඩ ප්‍රදේශයේ වේ. එයින් ඇල්බියන් පෙදෙස දෙමටගොඩින් කොලොන්නාව දෙසට යනවිට පළමුව දකුණට හමුවන පටුමග වන අතර ඇල්බියන් පාර දෙමටගොඩින් කොලොන්නාව දෙසට යනවිට වම් දෙසින් ශ්‍රී සරණාරාමය විහාරස්ථානය පසු වනවාත් සමග හමුවන පළමුවන මාර්ගය වේ. එහි නව නාමය ශ්‍රී ධර්මාරාම පාර වේ.


ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස - කුරුඳු වත්ත, කොළඹ 07
නව නාමය - C. W. W. කන්නන්ගර මාවත

    ඩී සොයිසා වටරවුමේ සිට 120 බස් මාර්ගය ඔස්සේ නිදහස් මාවත දක්වා වන මාර්ගය.

    1863 දී බ්‍රිතාන්‍යයේ අනාගත රජ වූ හත්වන එඩ්වඩ් රජතුමා සමග ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය විවාහ වූවාය. පසුව 1875-76 කාලයේ මාස 8ක් පුරා වේල්සයේ කුමාරයා බ්‍රිතාන්‍යයෙන් අතුරුදන් වූයේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය සෝ සයුරේ ගිල්වමිනි. කුමාරයා පිරිමින් පමණක් එකතු කරගෙන ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් සංචාරයක් සැලසුම් කර තිබුණේ වැඩි කාලයක් දඩයමින් කාලය ගත කරනු පිණිසය. චරිතාපදාන කතෘවරුන් අවධාරණය කරන්නේ, රාජ්‍ය කටයුතු වලට කුමරියගේ මැදිහත් වීම වළක්වාලනු පිණිස රජුගේ ලිපි ලේඛන පිළිබඳ කටයුතු වලිනුත් රජුගේ විදෙස් සංචාර වලිනුත් ඇය ව ඈත් කර තැබූ බවයි. ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය ගැන තවදුරටත් විස්තර කරනවා නම් ඇය ජර්මන් ජාතිකයින් ව තදින් අවිශ්වාස කළ බව පැවසිය හැකිය. ජර්මනියට වාසිදායක වන කවර දෙයක් හමුවේ වුවද ඇය සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙහි වූවාය. ඇයට ගෞරව පිණිස ශ්‍රී ලංකාවේ පාසලක් සහ පාරක් නම් කර තිබේ.


ඇලෙක්සැන්ඩ්‍රා පාර - වැල්ලවත්ත, කොළඹ 06

    කිරුළපන ඇල පසුකර වැල්ලවත්ත දුම්රිය පොළ දෙසට යන විට වමට වන පළමුවැන්න චාර්ලිමන්ට් පාර, දෙවැන්න ඇලෙක්සැන්ඩ්‍රා පාර, සහ තුන්වැන්න ෆ්‍රාන්සස් පාරවේ. ඇලෙක්සැන්ඩ්‍රා පාරේ ගාලු පාර අන්තයට ප්‍රතිවිරුද්ධ දෙසින්, ගාලු පාරෙන් ඇරඹෙන්නේ ෆෙඩ්‍රිකා පාරය. ෆ්‍රාන්සස් පාර පසුකර මද දුරක් යන විට වම් දෙසට වන කොලින්වුඩ් පෙදෙස හමුවේ.

    බර්ගර් ජාතිකයින් වන ගවුදර්වරු, 1796 දී ජර්මනියේ විටෙන්බර්ග් සිට ශ්‍රී ලංකාවට පැමිණි ජොහාන් ඇඩම් ගවුදෙක් යන අයගෙන් පැවත එති. වැල්ලවත්තේ, කිරුළපන ඇලෙන් දකුණු දෙසට වන්නට ඉඩම් සහ වර්තමානයේ සැවොයි සිනමා ශාලාව පිහිටා ඇති, ගාලු පාරින් බස්නාහිර දෙසට වන බිම් කඩත් අතීතයේදී ඔවුන් හිමිකම් කී ඉඩම් විය.

    චාර්ලිමන්ට් ජොනතන් ගවුදර්, ඔහුගේ පුත් ඇලෙක්සැන්ඩර්, ලේලිය ෆ්‍රාන්සස්, නැන්දනිය ෆෙඩ්‍රිකා සහ ඥාතිවරයෙකු වන ෆ්‍රෑන්ක් කොලින්වුඩ් යන සැමදෙන නමින් නම් වූ මං මාවත් වැල්ලවත්ත ප්‍රදේශයේ තිබේ. චාර්ලිමන්ට් පාර, ඇලෙක්සැන්ඩ්‍රා පාර සහ ටෙරසය, ෆෙඩ්‍රිකා පාර, ෆ්‍රාන්සස් පාර සහ කොලින්වුඩ් පෙදෙස ඒවා වන අතර මේ හැමට අමතර ව කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් පිටත, දෙහිවල ඇල ආසන්නයේ ගවුදර් ප්ලේස් යනුවෙන් මාවතක් ද තිබේ. ඇලෙක්සැන්ඩ්‍රා-Alexandra යන්නෙහි අකුරු වැරදි ලෙස යොදා ඇති බවක් පෙනෙන්නට තිබේ. ගවුදර් පවුල් ඉතිහාසයේ ඇලෙක්සැන්ඩර් හැර ඇලෙක්සැන්ඩ්‍රා යන නමින් කිසිවෙකු සිට නැත.


ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු - කොල්ලුපිටිය, කොළඹ 03

    ආර්. ඒ. ඩී. මැල් මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට යනවිට වම් දෙසින් වන රැජණ පාර පසු වූ පසු මද දුරකින් දකුණු දෙසට වන්නට ඇති මග.

    ඇල්ෆ්‍රඩ් හවුස් යන නම ලත් ගෘහයට හිමිකම් කීවේ චාර්ල්ස් ඩී සොයිසාය. කොළඹ කළාප යටත් කොල්ලුපිටිය පිළිබඳ විස්තරයේ දී අඹවෙල රාළ නමැති අය ගැන විස්තර කෙරුණි. ඇල්ෆ්‍රඩ් හවුස් ගෘහය පිහිටා තිබුණේ අඹවෙල රාළ හිමිකම් කී පොල්වත්තේ කොටසකය. 1840දී එම පොල්වත්තෙන් අක්කර 125ක් චාර්ල්ස් එඩ්වඩ් ලයාර්ඩ් විසින් මිලදී ගත්තේය. මැණික් හා කෝපි ව්‍යාපාරික, බලසම්පන්න ධනවතෙකු වූ ලයාර්ඩ් විසින් එම වතුයායේ අත්‍යාලංකෘත ප්‍රාසාදයක් නිමවා එය “බගතලේ” නම් කළේය. පොල්, කෝපි, භාණ්ඩ ප්‍රවාහනය සහ මත්පැන් වෙළඳාමෙන් කාලයක් තිස්සේ උපයා සපයා ගත් ධනයෙන් කෝටිපතියෙකු වූ ජෙරනිස් ඩී සොයිසා විසින් පසු කලෙකදී එම ගෘහය මිලදී ගත් අතර ඔහු විසින් එය කාමර 100ක අතිවිශාල මන්දිරයක් බවට පත් කරන ලදී. ඔහුගේ මරණින් මතු පුත් වූ චාර්ල්ස් හෙන්රි ඩී සොයියා හට එහි හිමිකාරීත්වය නතුවිය.

(ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු ඉතිරි කොටස ලබන සතියට)

14 comments:

  1. ඇල් ඇල් ඇල්වලින් එන සේරම වාගේ
    අල්ලාගෙන මිටට, ලියලා වෙනද වගේ
    තව කොච්චර ඇත්ද විස්තර මේ වාගේ
    වේගය මදිද ලියුමෙදී රන්-රන්දිල්ගේ

    ReplyDelete
  2. සුපිරියි. ඇල්බියන් කතාව කියවද්දි තවත් කතාවක් මතක් වුණා.

    සීයලා, ආච්චිලා ගමනක් යන්න සූදානම් වෙද්දි කොහේද යන්නේ කියලා ඇහුවොත් එයාලට තද වෙනවා, ඒ ගමන හරියන්නේ නැහැ කියන වගේ අදහසක් එතැන තිබුණේ කියලා දැන ගත්තේ පසු කාලෙක. ඒත් ඔවුන් කඩාපැන්නේ නැහැ, බැණ වැදුනෙත් නැහැ. අපේ දෙපැත්තේම සීයලා ආච්චිලා වගේම වැඩිහිටි උදවිය පාවිච්චි කරා "ෂීමෙකි පෝර" ඔවුන් ගෙදර දොරේ භාවිතා කල භාෂාවෙන් ඒ කිව්වේ "ෂීමෙට යනවා" ඒකත් හරියට "තූත්තුකුඩියට පල" කියන සිංහල යෙදුම වගේ පොදු යෙදුමක්.

    අපේ ගෙවල් වල පාවිච්චි වෙන්නේ දෙමළ වුණත් ඒ බස සැකසිලා තියෙන්නේ සිංහල, අරාබි වචන ආදිය දේශීයකරණය (localize) වෙලා. කොටින්ම ඒ කතා කරන ආභාසය අපිට උරුම වෙලා තිබුණ ද දෙමළ අකුරක් වත් කියවන්න ලියන්න මං දන්නේ නැහැ. අපේ පළමු බස සිංහල, දෙමළ ඉගෙන ගන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසාම බොහෝම ලස්සන කටවහරේ යෙදුම් අතෑරි ගිය එක ගැන නම් දැන් ඇත්තේ පසුතැවිල්ලක්.

    "ෂීමෙකි පෝර" වචනය දැන් අහන්නත් නැහැ, "ෂීමෙ" කියලා අදහස් කරලා තියෙන්නේ මහා බ්‍රිතාන්යය කියන එක.

    දෙමළින් ෂීමාන් වචනය රජු, අධිරාජ්‍යයා, ධනවතා යන අදහසින් ද දමිළ සූෆී කවි වල දැනුමින් අගතැන්පත් කියන අදහසින් ද යොදාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. +++++++

      https://en.m.wikipedia.org/wiki/Hubris

      Delete
    2. බොහෝම ස්තුතියි Pra Jay

      Delete
  3. Hamadamath wage ithama rasawath e wagema prayojanawath lipityak.

    ReplyDelete
  4. Amazing content, This post is very informative about to this topic. I hope Author shall be sharing more information about this topic. My blog is all about that Best_Hair_Transformation & Hair_Fall_Treatment. To Book Your Service 📞+91-9873152223, +91-9250504810 and be our Happy Client Click Here for Contact us at Whatsapp no: https://wa.me/919873152223. Address - Vardhman Diamond Plaza, First Floor D.B. Gupta Road Pahar Ganj New Delhi – 110055.

    ReplyDelete
  5. ඇල්ෆ්‍රඩ් හවුස් නමින් ප්‍රසිද්ධ ලන්ඩනයේ කතාවක්:
    https://ezitis.myzen.co.uk/alfredhouse.html

    ReplyDelete
  6. ඊළඟ කොටස් නෑ වගේ

    ReplyDelete
  7. කොලඹ පාරවල් වල ඇවිදිනව කියන්නේ, ඒක හරි අමුතු අත්දැකීමක් <3

    ReplyDelete
  8. ගොඩවෙලා තුටින් සිරි බලමින් ගිය පාර තොට
    එක සිය හැට තුනේ ඇයි අපි හිර වුණේ අතර මග

    ReplyDelete
  9. මේ පාරවල් වල නම් වෙනස් වෙන්න ඕනේ කියලයි මගේ විශ්වාසෙ. නමුත් හොඳ අධ්‍යනයක් සහ විස්තරයක්. පාසැල් දරුවන්ට වැදගත් වෙයි.

    ReplyDelete
  10. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...