“අනේ අම්මේ! ඉන්න බැහැ. කොහොම ඉවසන්නද මේ අමාරුව!” සිය කාමරයෙහි වූ සෝෆාවට වී අමාරුවෙන් ඇඹරෙමින් පෙරළෙමින් සිටි නැන් වොලස් නොරිස්සුමින් හඬ නැගුවාය. “මං කවදාවත් හිතුවේ නැහැ දවසක් මෙච්චර දිග වෙන්න පුළුවන් කියලා”
“අනේ ඔයා හරි පව්!” ඇගේ සොයුරිය වූ මෞඩි කණගාටුවෙන් පැවසුවාය. ඇය යුහුසුලුව එහා මෙහා යමින් එමින් කාමරය පිළිවෙලක් කරමින් පසු වූයේ අම්මාගෙන් විසුමක් නොවන බව දන්නා බැවිනි. ඇත්තට ම එම සතිය තුළ කාමරය පිළිවෙලට තබා ගැනීම බාරව තිබුණේ නැන් හට වුවත් දින තුනකට පෙර ඇගේ කකුලක් ඇමැට්ටි වූ බැවින් සෝෆාවේ වැතිර කෙඳිරිගාමින් සිටිනු හැර ඇයට කළ හැකි වෙන අන් යමක් නොවීය. කඩිසර නව යොවුන් ගැහැණු දැරිවියක වූ නැන් හට එය ඉතාමත් වෙහෙසකර, එපාකරවනසුලු හිඳුමක් විය.
“ඒ අස්සේ අද හවස පික්නික් එක!” ඇය සුසුම් හෙලුවාය. “මං මුලු ගිම්හාන කාලය පුරාම බලාගෙන හිටියා. බලන්න අද කොච්චර හොඳ දවසක්ද? මට වෙලා තියෙන්නේ ගෙදරට වෙලා මේ කකුල බදාගෙන ඉන්නයි” නැන් රෙදිපටි ඔතා ඇති කකුල දෙස රවා බැලුවාය. මෞඩි ජනේලයෙන් එබී රෝස වැල ඇද මල් නෙලන අතරේ පාර දිගේ යන කිසිවෙකුට හිස වනන’යුරු නැන් දුටුවාය.
“කවුද ඒ?” ඇය ඇසුවාය.
“ෆ්ලොරී හැමිල්ටන්”
“පික්නික් එකට එයත් එනවද?” එතරම් උනන්දුවකින් තොරව නැන් ඇසුවාය.
“නැහැ. කවුරුත් එයාට එන්න කිව්වේ නැහැ. ඇත්තටම එයා එන්න කියයි කියලා හිතන්නත් නැතුව ඇති කියලයි මං හිතන්නේ. කොහොමත් එයා අපේ කාණ්ඩේ කෙනෙක් නෙමෙයිනේ. අනේ මන්දා! කොහොම ඉන්නවද කියලා ඉස්කෝලේ. ඔය විදිහට ඉන්න එක මහා එපා කරපු වැඩක් නෙමෙයි ද? මිස් බ්‍රැක්ස්ටන්ගේ ප්‍රයිවෙට් ස්කූල් එකට මේ ළමයාව එවන්න එයාගේ තාත්තාට පිස්සුද මන්දා. ෆැක්ටරි ඔවර්සියර කෙනෙකුගේ දුවක්!”
“එක අතකට එයා අපේ කාණ්ඩේ නොවුණට අපේ පංතියේ කෙනෙක් වෙච්චි කොට එයාටත් පික්නික් එකට එන්න කියන්න තිබුණේ” නැන් මද වේලාවකින් පැවසුවාය.
“ඇත්තට ම මං හිතන්නේ නැහැ ගියා වුණත් එයාට ඒක විනෝදයක් වෙයි කියලා. එයා අපි අතරට මුහු වෙන්න උත්සාහ කරන්නෙත් නැහැනේ. කාට හරි මේ ළමයාගේ හැටි දැක්කහම හිතෙන්න පුලුවන් ඒ කටේ දිවක් නැහැ කියලා” ඇය තවදුරටත් පැවසුවාය.
“එයා පංතියේ හොඳම ළමයා!” මෞඩි තමන් සැරසූ රෝසමල් බඳුන නැන්ගේ වැලමිට අසළ වූ මේසය මතින් තබන අතරේ පැවසුවාය. “ඒත් ඔය ආරාධනා කිරිල්ල ගැන නම් වග කියන්න ඕනෑ පැටී මොරිසනුයි විල්හෙල්මිනා පැටර්සනුයි තමයි. එයාලා එයාට ආරාධනා කරලා නැහැ. - මේ බලන්නකෝ මගේ ආදර නැනී, හරිම ලස්සනයි නේද? මං මේ ටික ඔයාගේ තනියට ලඟින් තියලා යන්නම් හොඳේ”
“අපොයි මේ. මං රෝස මල් එක්ක ඉන්නවට වඩා කෙනෙක් හොයා ගන්නවා!” කොට්ටයට වැරෙන් පහරක් ගැසූ නැන් පැවසුවාය.
“ඔයාලා හැමෝම පික්නික් ගිහින් විනෝද වෙද්දී මං මෙතනට වෙලා තනියෙම දුක් වෙවි ඉන්නද? මං වෙනුවෙන් ෆ්ලොරි හැස්ටින්ස්ට පුංචි පණිවුඩයක් ලියන්න පුලුවන්ද ඔයාට? මං ඊට වඩා ගොඩක් දේවල් කරන්න පොරොන්දු වෙනවා ඔයා කකුල අඹරාගෙන පුටුව බදාගෙන ඉන්න දවසට හොඳේ”
“හා... හා... ඒක එතකොටනේ. දැන් මොනවද මං ඒකේ ලියන්න ඕනෑ?” සිය ලිපි ගොනු අවුස්සන අතරේ මෞඩි ඇසුවාය.
“පොඩි දෙයයි. එයාගෙන් අහන්න කරකියා ගන්න දෙයක් නැතිව අසරණව ඉන්න කෙනෙක් ව සතුටු කරන්න, අද හවස් අතේ එන්න පුලුවන්ද කියලා. එයා එනවා, මං ඒක දන්නවා. ඒ වගේ ම එයා එක්ක ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නැහැ... ලියලා, දැන්ම ම ඩිකීට දෙන්න ඒක ගිහින් දෙන්න කියලා”
“අනේ මන්දා ෆ්ලෝරි හැමිල්ටන් එයාට පික්නික් එකට කියපු නැති එක ගැන හිත් අමාරු කර ගනීද මන්දා”යි තමාගෙන් ම විමසා ගනිමින් මෞඩි ලිපිය කවරය තුළට දමා ලිපිනය ලීවාය.
ඒ විමසිල්ලට හරියට ම පිළිතුරු දැන සිටියේ, ඒ නැවුම් උදෑසන දිලිහෙන හිරු එළියේ තනිව මාවතේ ඇවිද යමින් සිටි ෆ්ලොරි හැමිල්ටන් හැර වෙන කවරෙක්ද? ඇය පැහැදිලි ව තත්ත්වය වටහාගෙන සිටියත් හිතුවාට වඩා දැඩි වේදනාවක් ඇගේ සිත රිදවමින් තිබිණ. ඇත්තට ම ඇය ව ගණන් නොගන්නා කෙල්ලන් රොත්තක් සමගින් පික්නික් යෑම කාංසියක් දනවන දෙයක් බව ඈ දැන සිටියාය. නමුත් පාසලේ සියලු ම දැරියන් ආරාධනා ලැබ සිටියදි ඇය ව මග හැර තිබීම! ඒ ගැන සිතෙද්දී ඇගේ තොල් පෙති හද පාරවන දුකකින් සැලෙන්නට වී.
“ඉස්කෝල නිවාඩුවෙන් පස්සේ මාව රජයේ ඉස්කෝලේට දාන්න කියලා තාත්තාට කියනවා මං” ඇය තමාට ම මුමුණා ගත්තාය. “මට දැන් මේ මිස් බ්‍රැක්ස්ටන්ගේ තැන තිත්ත වෙලා”
ෆ්ලෝරි, වින්බරෝ පෙදෙසට ආගන්තුක තැනැත්තියක වූවාය. මෑතකදි, ඇගේ පියාට මේ කුඩා ටවුමේ පිහිටි විශාලත ම කර්මාන්තශාලාවේ තනතුරක් ලැබිණ. පියා කර්මාන්තශාලා සේවකයකු වීම නිසා පාසලේ වූ නපුරු දැරියන්ගේ කෙනෙහෙළිකම් වලට ලක්වන්නට ඇයට සිදු වූ අතර සමස්තයක් ලෙස ගත් කළ මුළු පාසලේ ම දැරියන් ඇය ව තනි කළ ලෙසක් පෙනෙන්ට තිබිණ. ඇත්තට ම ආරම්භයේදී මිතුරු දෑත් සමහරක් ඈ වෙත දිගු කෙරුණද, තමා වටා වූ අවකාශයට එක්වන ම යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට අපොහොසත් වූ ෆ්ලොරි උදාසීන, කනස්සලු සහගත සෝමාරි කෙනෙකු වශයෙන් මුලු ගැන්විණි. එන්න එන්න ම තනි වන්නට වූ ඇය පාසලේ දී හුදකලා පෙවෙතක් ගතකළේ කිසිවෙකු නොමැති දූපතක දිවි ගෙවෙන කෙනෙකු මෙනි.
“එයාලා මට කැමති නැහැ, මගේ මේ චාම්, මොස්තරයක් නැති ඇඳුම් නිසා, මගේ තාත්තා ඒ හැටි සල්ලි තියෙන කෙනෙක් නොවන නිසා” ෆ්ලෝරි කනගාටුවෙන් කල්පනා කළාය. සෑහෙන තරමේ ඇත්තක් වූ මේ කාරණය මිස් බ්‍රැක්ස්ටන්ගේ දැරියන් බොහෝ දෙනෙකු ඈ මග හැරීමට හේතුවිය.
“මෙන්න ඔයාට ලියුමක් තියෙනවා ෆ්ලෝරි,” දහවලේ ඇගේ සොයුරු ජැක් පැවසුවේය. “ගෙදර එන වෙලාවේ කන්තෝරුවේදි ලැබුණේ. කවුද අප්පේ ඔයාට ලියන කෙනා?”
ෆ්ලෝරි ඉමිහිරි සුවඳකින් යුතු වූ ලිපිය දිග හැරියාය. මුලින් වූ ගැටළු සහගත පෙනුම ඉවත් කරමින් මද වේලාවකින් ඇගේ මුහුණ බබලන්නට වී.
“මේ අහන්නකෝ ජැක්,” ඇය උද්යෝගයෙන් පැවසුවාය.
“ආදර ෆ්ලොරි,
නැන් අසනීපෙන්. එයාගේ කකුල ඇමැට්ටි වුණා. ඒ නිසා එයා ගෙදර කාමරේ සෝෆාවට කොටු වෙලා. ඉතින් අද හවස් වරුව එයාට තනියෙම ඉන්න වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන්ද ඇවිත් එයා එක්ක ඉන්න? එයාට ඔයාගේ පැමිණීම හරි ම වටිනවා. දැනටමත්, හවස පාලුවෙන් ඉන්නවෙයි කියලා කණගාටුවෙන් ඉන්න එයාට සතුට ගෙනෙන්න පුලුවන් එකම කෙනා ඔයා කියලා එයා හිතනවා.
මීට,
හිතවත් මෞඩි වොලස්”
“ඉතිං ඔයා යනවද?” ජැක් ඇසුවේය.
“ඔව්... මන්දා, මම දන්නේ නැහැ... මම ඒ ගැන හිතන්න ඔ්නෑ” අකල්පනාවෙන් මෙන් පැවසූ ෆ්ලෝරි විගස උඩු මහළේ සිය කාමරය වෙත දිව ගියාය.
“මම යනව ද?” ඈ සිතුවාය. “ඔව්. මම යනවා. මට ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන් නැන් මට කතා කළේ පික්නික් එකට මට නොකී එක නිසා මම අවුලෙන් ඇති කියලා හිතලා, කණගාටු හිතිලා. එහෙම වුණා වුණත් ඒකෙන් පේන්නේ එයාගේ යහපත්කම. මං හැමතිස්සේ ම හිතුවේ මේ වොලස් ගෑණු ළමයි එක්ක හිතවත්කමක් ඇති කරගන්න තිබුණා නම් කොච්චර හොඳ ද කියලානේ. ඒ ගොල්ල හැම තිස්සේ ම මට හොඳින් සැළකුවා. මට තේරෙන්නේ නැත්තේ ඒ ගොල්ල ඉස්සරහ මගේ දිව ගල් ගැහිලා මහා මෝඩයෙක් වගේ මාව පෙනෙන්න ගන්නේ ඇයි කියන එකයි. කොහොම වුණත් මම යනවා”
එදින සැඳෑවේ වොලස් මහත්මිය නැන්ගේ කාමරයට පැමිණියාය.
“නැන්, මගේ පැටියෝ, ෆ්ලොරි හැමිල්ටන් ඔයාව අහගෙන ඇවිත් ඉන්නවා”
“ෆ්ලොරි... හැමිල්ටන්...”
“ඔව්. ඔයා අද උදේ යැව්ව මොකක්ද ලියුමක් ගැන කිව්වා. මම එයාට උඩට එන්න කියන්නද?”
“හා... හා... එන්න කියන්කෝ” නැන් බිඳුනු හඬින් පැවසුවාය. අම්මා පිටව ගිය විගස පසුපසට වී කොට්ට මත හේත්තු වූ ඈ වේගයෙන් සිතන්නට වූවාය.
“ෆ්ලෝරි හැමිල්ටන්! හරිනේ! මෞඩිට වාසගම වැරදිලා ලියැවිලා. නමුත් ඒක එයාට දැන ගන්න තියෙන්න හොඳ නැහැ. පුංචි සැකයක්වත් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. අනේ අම්මේ! දැන් මොනවද මං එයා එක්ක කතා කරන්නේ? පුදුම තරම් නිහඬ ලජ්ජාකාරියක්නේ”
ෆ්ලෝරිගේ පැමිණීමත් සමගින් වැඩිදුර කල්පනා කිරීමට මග ඇහිරිණි. ඇය දුටු සැනින් නැන් ඉතාමත් මිත්‍රශීලි සිනාවක් දක්වා දෑත විහිදුවාය.
“ඔයාගේ හැන්දෑව, මේ කමකට නැති මං වෙනුවෙන් වෙන් කරපු එක ගැන බොහොම ස්තුතියි” ඈ හදවතින් ම පැවසුවාය. “ඔයා දන්නේ නැහැ මං කොච්චර පාලුවකින්ද හිටියේ කියලා මෞඩි ගිය වෙලේ පටන්. ඔය තොප්පිය ගලවලා තියලා, වැඩියෙම හොඳයි කියලා හිතෙන පුටුවේ වාඩි වෙන්නකෝ. අපිට කොච්චර දේවල් තියෙනවද කතා කරන්න!”
කොහොම නමුත් නැන්ගේ හිතෛශි පිළි ගැනීමෙන් ෆ්ලෝරිගේ ලැජ්ජාව තුරන් වී ඇයට තමන්ගේ නිවසේ සිටින්නාක් මෙන් හැඟීමක් දැනෙන්නට විය. මෞඩිගේ පැද්දෙන පුටුවේ වාඩි වී වටපිට බලන විට දුටු රෝස මල් වලින් පිරුනු බඳුන ඇගේ ප්‍රීතිය වඩවන්නක් විය. ඒ බව දුටු නැන් මෙසේ ඇසුවාය. “ඒවා හරි ශෝක් නේද? අපි වොලස්ලා, අපේ රෝස වැල් නිසා පුදුමාකාර සතුටක් විඳිනවා. අපේ අත්තම්මාගේ අත්තම්මා මීට අවුරුදු හැටකට කලින් එංගලන්තේ ඉඳන් මෙහෙට පදිංචියට එද්දි මේවා ගෙනත් තියෙන්නේ. මේ වර්ගයේ බිත්ති දිගේ ඇදිලා වැවෙන රෝස වැල් මේ රටේ වෙන කොහෙවත් හැදෙන්නේ නැහැ.”
“ඔව් ඔව් මං දන්නවා.” සිනාවකින් මුව සරසා ගත් ෆ්ලොරි කීවාය. “කාමරේට ආපු ගමන් මං ඒවා හඳුන ගත්තා. ඒවා හරියට ම එංගලන්තේ ඉන්න හැමිල්ටන් අත්තම්මාගේ ගෙදර තියෙන ජාතියමයි. මම ඒවාට බොහොම කැමැත්තෙන් හිටියේ”
“එංගලන්තේ? ඔයා එංගලන්තේ ඉඳලා තියෙනව ද?”
“අනේ ඔව්නේ” ෆ්ලෝරි සිනා පෑවාය. “මම ලෝකේ තියෙන හැම රටක් ගාවට ම ගිහින් තියෙනවා. අපි කියමු මෙහෙම, මම ගිහින් තියෙනවා නැවකට ලං වෙන්න පුළුවන් හැම රටක් ගාවට ම”
“ෆ්ලෝරි හැමිල්ටන්! ඔයා ඔය ඇත්තම ද කියන්නේ?”
“ඔව්. ඇත්ත ම ඇත්තයි. ඔයා සමහරවිට දන්නේ නැතිව ඇති අපේ ‘දැන් අම්මා’, ජැක් සමහරවිට කියන්නේ එහෙමයි, ඒ තාත්තාගේ දෙවැනි බිරිඳ. මගේ අම්මා මං පුංචි කාලෙ නැති වෙලා. බබාලා නැති නැන්දා කෙනෙක් එයා ගාවට මාව අරගත්තා. එයාගේ මහත්තයා මුහුදු නැවක කැප්ටන් කෙනෙක්. නැන්දා ඒ මාමාගේ සියලුම මුහුදු ගමන් වලට එකතු වුණා. ඉතින් මාත් එකතු වුණා. මම වැඩුනේ නැව් තට්ටුවේ. අපි බොහොම ප්‍රීතිමත් කාලයක් ගතකළා. මම ඉස්කෝලේ ගියේ නැහැ. නැන්දා බඳින්න ඉස්සෙල්ලා ටීචර් කෙනෙක්, ඉතිං එයා මට ඉගැන්නුවා. මීට අවුරුදු දෙකකට කලින් මගේ තාත්තා ආයේ කසාද බැන්දා. ඒ පාර තාත්තාට ඔ්නෑ වුණා මං ආයේ පවුලට එකතු වෙනවා දකින්න. මුලින්, නැන්දයි, අපේ පරණ නැවයි, ඔහේ පාවුණු ජීවිතෙයි දාලා එන්න ගොඩක් දුක හිතුණා. ඒත් මං ආවා”
“අනේ, මට එයාලා ගැන සේරම දේවල් කියන්න” නැන් බොහොම උනන්දුවෙන් ඉල්ලා සිටියාය. “ඇයි ෆ්ලෝරි හැමිල්ටන්? හිතන්නකෝ ඔයා ඔයාගේ ඔය තරම් ලස්සන, වටින අත්දැකීම් ගැන එක වචනයක්වත් කවදාවත් කියලා නැහැනේ. මං හරිම කැමතියි වෙනත් රටවලට ගියපු අයගෙන් ම ඒ රටවල් ගැන විස්තර දැන ගන්න. අනේ කියන්න, මම අහගෙන ඉඳලා ප්‍රශ්න අහන්නම්”
ෆ්ලෝරි මතක ඇති සියලු දේ කීවාය. ඇයට අගේ ඇති කතා ලතාවක් ඇති බව ද, ඇගේ සංචාරයන් ගැන හාස්‍ය මවමින් විශිෂ්ට ලෙස විස්තර කිරීමට හැකියාවක් ඇති බව ද වටහා ගැනීමෙන් වඩා විස්මයට පත් වූයේ නැන් ද ෆ්ලෝරි ද යන්න මට කිව නොහැක. බොහොම වේගයෙන් ගෙවීගිය සැඳෑව අවසානයේ, ගොම්මනේ ඇය පිටව යන්නට පෙර නැන්ගේ කාමරයේ දි පිරි නැමුණු ප්‍රණීත තේ බඳුන, හැකි ඉක්මනින් නැවත පැමිණෙන්නට කළ හෘදයාංගම ඇරයුමක් වැනි විය.
“ඔයා ආපු නිසා මං ගොඩක් සතුටු වුණා” නැන් සුහද වදන් තෙපලුවාය. “මට ඇවිදින්න පුළුවන් වුණු ගමන් මම එනවා ඔයා බලන්න. හැබැයි එතකන් ඉන්න එපා. අපි හැමදාමත් හොඳ යාලුවෝ වෙලා ඉමු. කිසි හේතුවක් උවමනා වෙන්නේ නැහැ ඔයාට මෙහේ එන්න. මං මග බලාගෙන ඉන්න එක විතරක් මදැයි” සතුටු සිනාවකින් මුව සරසාගත් ෆ්ලොරි සැහැල්ලු හදවතින් යුතුව පිටව ගියාය.
මද වේලාවකින්, හිරු රැස් වලින් දැවුණු දුඹුරු හමින් යුතු වූ මෞඩි, පික්නික් ගමනින් ප්‍රමෝදයට පත් සිතින් නිවසට ගොඩ වැදුණාය.
“අද නම් හරි ම සතුටු දවසක් අනේ!” ඈ හඬ නැගුවාය. “ඔයා මෙතන හිර වෙලා හිටපු එක තමයි මට තිබුණු එකම දුක! ෆ්ලෝරි ආවා ද?”
“එක ෆ්ලෝරි කෙනෙක් ආවා. මෞඩි, ඔයා ෆ්ලෝරි හැස්ටින්ස් ලියනවා කියලා වැරදිලා ලියලා තියෙන්නේ ෆ්ලෝරි හැමිල්ටන්ටනේ”
“මොනවා! නැන්, ඔයා ඔය ඇත්තම ද කියන්නේ? මට විශ්වාසයි...”
“ඔව්, ඔයා එහෙම තමයි කරලා තියෙන්නේ. මටත් එකපාර මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරි වුණා මෞඩි!”
“මම ලියන වෙලාවේ හැබැයි එයා ගැන තමයි හිත හිතා හිටියේ. හරි වැඩේ! ඒ ගමන් මම එයාගේ නම ම ලියන්න ඇති දෙයියනේ! සොරි අනේ!...”
“නෑ... නෑ... සොරි කියන්න උවමනාවක් නෑ. මතක ඇති කාලෙක ඒ තරම් සතුටු වෙලා නැහැ මං. ඇයි අනේ මෞඩි! එයා ලෝකේ වටේ ම කරක් ගහපු කෙනෙක්. අම්මේ! එයා වගේ විහිළුකාරියක්! හරිම ලස්සනට ඒ විස්තර කියවගෙන කියවගෙන යනවා අනේ! කොහෙත් ම අපි දන්න ළමයා නම් නෙමෙයි. එයා හරිම ආදරේ හිතෙන කෙල්ලෙක් මෞඩි!”
“අම්මෝ! ඇති යාන්තම් මට හරි සතුටුයි ඔයා සතුටින් හිටියා කියලා දැන ගත්තම. ඔයා දන්නවද? කිහිප දෙනෙක් සෑහෙන නෝක්කාඩු කිව්වා එයාට ආරාධනා නොකරපු එක ගැන. ඒගොල්ලො කියන්න ගත්තා ඒක හරිම කැත විදිහේ නපුරු කමක් කියලා. අන්තිමට පැටියි විල්හෙල්මිනායි වැරැද්ද තමන්ගේ බව පිළිගත්තා. මට හිතෙන්නේ මිස් බ්‍රැක්ස්ටන්ගේ ඉස්කෝලේ අපි පමණට වඩා උඩඟු වෙන්න පටන් අරං වගෙයි. දැන් ඒක තේරිලා කිහිප දෙනෙක් ම ලැජ්ජා වෙලා ඉන්නේ”
“ඉවසලා ඉන්නකෝ ඉස්කෝලේ පටන් ගන්නකම්!” නැන් පැවසුවාය. ඇය අදහස් කළ දේ මෞඩි වටහා ගත්තා විය යුතුය.
කොහොම නමුත් ඒ දෙදෙනාට පාසල් ආරම්භ වනතුරු ඉන්නට ඉඩ ලැබුණේ නැත. වොලස් දැරියන්, ෆ්ලෝරි හැමිල්ටන් සිය සමාගමයට එකතුකරගෙන ඇති බව වැඩිකල් නොයවා ම වින්බරෝ පළාතේ සියලු ගැහැණු ළමෝ දැන ගත්තෝය. වොලස් ළමයි කැමති වෙන්න, මුලදි හිතුවාට වඩා යමක් ෆ්ලෝරි වෙත තිබිය යුතු බව මිස් බ්‍රැක්ස්ටන්ගේ සිසුවියන් කිහිප දෙනෙකු තර්ක කරන්නට විය. වැඩි කල් යන්නට මත්තෙන්, ෆ්ලෝරි සිය කුලෑටිකමින් මිදුණු විට ඉතාමත් ප්‍රියජනක දැරියක බව ටිකින් ටික සියලුම දැරියනට වටහා ගන්නට හැකි විය. පාසල ඇරඹෙන විට පංතියේ ජනප්‍රිය ම චරිතය බවට ඇය පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නැතැයි මම සිතමි. ඇය හා නැන් වොල්ස් අතර ගොඩ නැගුණේ, ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම පැවතුණු, හෘදයාංගම වූත් ලෙංගතු වූත් ගැඹුරු මිතු දමකි.
“මේ හැමදේම මෞඩි වචනයක් වරද්දපු නිසානේ” දිනෙක නැන් මද සිනාවකින් යුතුව තමාට ම මතුරා ගත්තාය. නමුදු එම කාරණය ෆ්ලෝරි හැමිල්ටන් කිසිදාක දැන නොගනු ඇත.
~ලුසි මෝඩ් මොන්ටිගොමරිගේ කෙටි කතාවකි~
~පරිවර්තනය රන්දිකා රණවීර ප්‍රනාන්දු~
******************************************************
අපිට කෙනෙක් හොඳයි කියලා දැනෙන්නෙත් නරකයි කියලා දැනෙන්නෙත් අපේම අභ්‍යන්තර මිම්මකින් නිමක් නැතිව මිනිසුන් ව මනින නිසා. මිනිසුන්ගේ අපට පේන ගති ඇති වෙන්න කාරණා තුනක් හේතු වෙනවා මට හිතෙන විදිහට.
එකක් ඒ අය මෙච්චර කල් ගෙවාගෙන ආපු ජිවිතේ විඳිම් හා විඳවීම් ඒ අයට දැනෙන විදිහ.
තව එකක් ඒ දේවල් කොහොම වුණත් ඒ මිනිස්සු තමන් ම හිතලා තමන්ට උවමනා විදිහට වෙනස් වෙලා ඉඳීම.
අනිත් එක අපේ හැසිරීම.
හැම තිස්සේ ම තමන්ගේ කෝවේ දමාගෙන මිනිස්සුන් ව වෙනස් කරන්න නොයා ඒ අය එහෙම වෙන්න හේතුවුණු කාරණා හිමින් සීරුවේ හොයලා බලලා, කල්පනා කරලා බැලුවහම සමහර වෙලාවට ලොකු කම්පනයක් දැනෙනවා. මිනී මරුවෙක්, මංකොල්ලකරුවෙක් වුණත් ඒ තත්ත්වයට එන්නේ එකපාර නෙමෙයි කියන එක පැහැදිලි ව පෙනෙන්න ගන්නවා. සමහර වෙලාවට අපි කලින් හිටපු මතය සපුරා ම වැරදි බව වැටහෙන්න ගන්නවා. කාවවත් පිළිකුල් නොකර, ප්‍රතික්ෂේප නොකර එක් එක් අය තමන්ගේ ආරක්ෂිත සීමාවට ගතයුතු ප්‍රමාණය වැටහෙන්න ගන්නවා.
(කොහොම වුණත් මේ කාරණා වලංගු වෙන්නේ තනි තනි පුද්ගලයින්ටයි. යම් යම් අදහස් දරණ පුද්ගලයින් පිරිසක් එකතු වුණා ම ඇතිවන තත්ත්වය සපුරා වෙනස්. ඒ ගැන පසුව හිතන්න, හිතේ අරං තියා ගත්තා)
*******************************************
+++++++++
ReplyDeleteThis comment has been removed by the author.
Delete:) :) :)
Deleteරන්දිකාගේ ලියවිල්ලක් කාලෙකින් ...
ReplyDeleteඒකනේ නේද? :)
DeleteI don't understand why judges get paid so much, others judge me for free. - Anonymous
ReplyDeleteමමත් අහලා තියෙනවා ඒ කතාව. අමතක වෙලා තිබුණේ.
Deleteදෙවියන් වහන්සේ කෙනෙකුව විනිශ්චය කරන්නේ එයා මියගිය පසුවයි. ඒත් මිනිස්සු....
ReplyDeleteආයෙම පාරක් හිතේ හොල්මන් කරන්න ගත්තා, රස කතාවත්- විචිත්‍ර සිතිවිල්ලත් නිසා.
එක නෙවෙයි. බැරිද හැමෝම නඩුකාරයන් කරවන්න. එතකොට විනිශ්චය කිරීම් සෑහෙන්න අඩු වෙයි නේද?
හැමෝ ම වේලක් නැත්නම් වේලක් නඩු කාරයෝ තමයි නේද? හරි අමාරුයි ඒකෙන් මිදෙන්න. ඒත් බැරි නැහැ මං හිතන්නේ. :)
DeleteSuper story
ReplyDeleteThank You very much!
Delete