Monday, May 25, 2020

148. කැපකාර ෆ්‍රෙඩාගේ රැකවරණය ලත් සොහොන

     ෆ්‍රෙඩා ජීවත් වූ උතුරු තුඩුව, මුළු ලෝකයෙන්ම වඩා ම ශීතාධික පළාත බව එම ප්‍රදේශයට බොහෝ සේ ඇලුම් කරන ගැමියන්ට පවා පිළිගැනීමට සිදු වී ඇති කරුණකි. ඊසාන දිග රළු සුළං මුහුදු බොක්ක හරහා විසිල් හඬ නගමින් පැමිණ, මුහුදු බොක්කේ සිට ඉහළ නැගෙන උස් කඳු මුදුන කරා ඇදී යන්නේ මග හමුවන සියලුම දේ විනාශ කරමිනි. එමග බේරී සිටීමට සමත් ව ඇත්තේ කේතුකාකාර ගස් හා කුඩා කටු සහිත පඳුරු පමණි.


     කඳු මුදුනේ, ගිනිකොණදිග දෙසින් තිබූ සෙවණ සහිත නිම්නයක උතුරු තුඩු පල්ලිය පිහිටා තිබූ අතර මුළු උතුරු තුඩුවට ම තිබුණු දර්ශනීය ම ස්ථානය වූ සුසාන භූමිය එයට පිටුපසින් පිහිටා තිබුණි. උතුරු තුඩු වැසියන් මල් වලට ඉමහත් කැමැත්තක් දැක්වූවත් ඔවුන්ට සිය ගෙවත්තේ මල් වවා ගැනීමට හැකියාවක් නොමැති බැවින්, ඔවුහු එම අලංකාරය සුසාන භූමිය වෙත තිළිණ කරති. එහි තම පවුලට හිමිව ඇති බිම් කැබැල්ල, වල් පැළෑටි ඉවත් කර, මල් පැළෑටි නිසි ලෙස කප්පාදු කොට, අලංකාර මලින් සුසැදි ව පවත්වාගෙන යෑම ඒ ඒ පවුලේ සාඩම්බරය පිළිබඳ මෙතෙක් නොඇසූ කතාවකි.

     වසරේ මැයි මාසයේ තෝරාගත් දිනයක දී සුසානභූමිය සුද්ධ පවිත්‍ර කොට අලංකාරවත් කිරීම, මෙම පුංචි මිනිස් සමූහය විසින් පිළිපදින, ‘නීති පොතක සටහන් නොකෙරුණු නීතියක්’ වැනි යමකි. එය කිසිසේත් ම අසතුටුදායක රාජකාරියක් නොවීය. ඒ ආසන්න දිනයක දී වියෝ සංවේගයට පත් වූවන්ට පවා!

     සිය නෑසියන් සදාකාලික නින්දේ සුව ලබන බිම අලංකාරවත් කිරීමෙන්, ගම්වැසියෝ ඔවුන් වෙනුවෙන් තවමත් කැපවීමෙන් කටයුතු කරන බවක් අර්ථ ගන්වති.

    දරුවන් ‘සුසානභූමි දිනය’ වෙනුවෙන් මඟ බලා සිටියේ එය ආනන්දජනක සංවත්සරයක් ලෙස හඟිමිනි.

     "දන්නවනේ, හෙට සුසාන භූමි දිනය!" පාසලේ විවේක කාලයේ දී, සියලුම දැරියන් වැට මත වාඩි වී සිටින අවස්ථාවේ දී මැනී හචින්සන් පැවසුවාය. "නියමයි නේද? රොබට් මාමා නගරයෙන් ලොකු සුදු රෝස පඳුරක් එව්වා, මම ඒක හචින්සන් අත්තම්මගේ සොහොන උඩ ඉන්දන්න ඉන්නේ"

     "අපේ අම්මාත් රෝස පඳුරු දහයක් ලෑස්ති කරගෙන ඉන්නේ" නැන් ග්‍රේ සිය ආඩම්බරය පෑවා ය.

    "අපේ කෑල්ල වටේම ලිලී පේලියක් යවන්නයි අපි හිතාගෙන ඉන්නේ" ඒ කෙටී මොරිස් ය.

     කුඩා ෆ්‍රෙඩාට හැර අනෙක් සියලුම පුංචි ගැහැනු ළමයින්ට පාරට්ටු කියන්නට යමක් තිබිණ. කොනකට වී තනි ව වාඩි වී සිටි ඇයට සියල්ලෙන් ම වෙන්වී හුදකලා වූ ලෙසක් දැණින. ඇයට බිම් කැබැල්ලක හිමිකමක්වත්, සුසානභූමි දිනය වෙනුවෙන් කළයුතු යමක්වත් නො තිබිණ.

     "ෆ්‍රෙඩා ඔයා මොනවා හරි හිටවන්න ද ඉන්නේ?" නැන් ඇසුවේ අනෙක් අයට ඉඟි මරමිනි.

     ෆ්‍රෙඩා නිහඬ ව හිස දෙපසට වැනුවාය.

     "ෆ්‍රෙඩාට මොකුත් හිටවන්න බැහැනේ" විනී බෙල් හට කෲර වන්නට වුවමනා නොවූවත්, ඇය එය පැවසුවේ කුරිරු ලෙසිනි. "එයාට සොහොනක් නැහැ!"

     උතුරු තුඩුවේ වැසියෙකු හැටියට, එහි සුසාන භූමියේ බිම්කඩක හිමිකරුවකු නොවීම, ඔබව සදහට ම වංශයෙන් පිට කෙනෙකු සේ හංවඩු ගසන්නට ප්‍රමාණවත්! සිය මිතුරියන් මැද මේ මොහොතේ ෆ්‍රෙඩාට හැඟුණේ සොහොනකට හිමිකාරිත්වයක් නැතිකම අපරාධයක් ලෙසින් සේ ම අපකීර්තියකට හේතුවක් ලෙසිනි. අනෙකුත් ගැහැනු ළමයි ෆ්‍රෙඩා ගැන කණගාටුවෙන් මෙන් කතා කරන අතරේ ම, තමුන්ට පරම්පරාගත ව උරුම වූ සොහොන් බිම් තිබීම හේතුවෙන් හිමි ව ඇති සුසානභූමි දිනය සැමරීමේ අයිතිය ගැන උදම් ව, ඇය ව පහත් කොට සැළකුවෝ ය.

     තමාගේ අවාසනාවට නිමක් නැතැයි ෆ්‍රෙඩාට සිතුනි. අනෙකුත් දැරියන් සෙල්ලමට දිව යද්දී ඇය ඉතාමත් කණගාටුදායක ලෙස වැට මත වාඩි වී කල්පනාවෙන් බලා සිටියා ය. හවස් වූ පසු නිවෙස වෙත හුදකලාවේ ඇවිද ගියාය. ඇයට තවදුරටත් මේ කණගාටුව දරා ගැනීමේ හැකියාවක් නොවීය.

     ෆ්‍රෙඩා දස අවුරුදු වයස් දැරියකි. විල්සන් මහත්මිය නගරයේ වූ අනාථ නිවාසයෙන් ඇය මෙහි කැඳවාගෙන ආවේ මීට අවුරුදු හතරකට පෙරදීය. සුසාන භූමිය අසල වූ නිවසක ජීවත් වූ විල්සන් මහත්මිය උතුරු තුඩුවේ මිනිසුන් හැඳින්වූයේ ඔල්මාද කාරියක ලෙසිනි. නැතහොත් 'පිස්සු ගෑනියෙක,' ලෙසිනි. ඇය සමග සිටින්නට වන කවර දරුවකුට වුවද තමන් අනුකම්පා කරන බව ඔවුහු පැවසූහ. ඇයට හෝ ඔහුට මරණය තෙක් වහලකු මෙන් සේවය කිරීමට සිදු වනු ඇතැයි ඔවුහු සිතුවෝ ය.

     මුලදී ඔවුහු මේ පිළිබඳ ව ෆ්‍රෙඩා දැනුවත් කිරීමට උත්සාහ දැරුවත් ඕපදූප වෙත අවධානය යොමු නොකරන, කල්පනා බරිත විසල් දෙනෙතක් හිමි නිහඬ කුඩා ජීවියකු වූ ඇගේ අවධානය දිනා ගැනීමට එම කතන්දර සමත් නොවීය. එහෙත් යම් හෙයකින් ෆ්‍රෙඩා පැමිණිලි කළේ නම්, තම අනාවැකි සත්‍යය බව ඔවුන් නිසැකවම පසක් කොට ගන්නට ඉඩ තිබිණි.

     "විල්සන් නෝනා," රාත්‍රියේ දී ෆ්‍රෙඩා බයාදු ලෙස විල්සන් මහත්මිය ඇමතුවාය. "ඇයි අපිට සොහොනක් නැත්තේ?" මෙවැනි ප්‍රශ්න විල්සන් මහත්මිය වෙත පලා යාමේ උවමනාවක් ඇති කරවයි.

     "අපිට එහෙම එකක් නැති එක ගැන උඹ ස්තුති කරපං," ඈ බරපතළ ලෙස කීවාය. "ඔය සුසානභූමි දිනය කියන්නේ තනිකර ම මිත්‍යාදෘෂ්ටික චාරිත්‍රයක්. ඒ කට්ටිය ඒක අනිවාර්ය සවාරියක් කරගෙන, ඔක්කොට ම වඩා පිස්සු හැදෙන්නෙ ඉස්කෝලේ කෙල්ලො ටික තමන් මොනවද හිටවන්නේ කිය කියා අනිත් අයට වඩා ලොකුකම් පෙන්නන්න යන එකයි. මට සොහොනක් තිබ්බ නම් මම කීයටවත් ඒක මල්වත්තක් කරන්නෙ නැති වෙයි!"

     පසුදා නිවාඩු දිනයක් වුවත් ෆ්‍රෙඩා සුසාන භූමිය වෙත නොගිහින් සිටියා ය. නමුදු සන්ධ්‍යාවේ දී සියල්ලන් ම නිවෙස් කරා පිට ව ගිය පසු කඳු ගැටය දිගේ බඩ ගා, බීච් පඳුරු මැදින් එබී, සිදු වී ඇත්තේ කුමක්දැයි විමසිලිමත් වූවා ය. අලුතින් මල් පැල සහ මල් ගස්වල අල වර්ග සිටුවන ලද බිම් කට්ටි ඉතාමත් පිළිවෙලට, සිත් ඇදගන්නාසුළු ව හා නැවුම් ව දිස්විය. සමහර පැළෑටි වල දැනටමත් මල් පොහොට්ටු පෙනෙන්නට තිබූ අතර අවුරුදු හතළිහකට පෙර මියගිය කෙටි මොරිස්ගේ මාමාගේ සොහොන, දර්ශනීය ව පිපී හිනැහෙන දම්පාට පැන්සි මල්වලින් සම්පූර්ණයෙන් වැසී තිබුණි.

     ෆ්‍රෙඩා පුදුමයට පත් කරවමින්,කෙතරම් කුඩා වුවත් පැරණි වුවත් සියලුම සොහොන් සිය වාර්ෂික තිළිණ දිනා තිබිය දී, එකක් පමණක් වල් වැදීමෙන් පාලුවට ගොස් තිබිණ. හැදීගෙන එන පොප්ලර් ගස් මණ්ඩියකට මුවා ව, වෙනත් කිසිඳු සොහොන් කොතක් නොමැති පහළ කොනට වන්නට හුදකලාව තිබුණු එය, සරුවට වැඩුණු බ්ලූබෙරි පඳුරු රාශියක් දරාගෙන පොළොව මත ගිලී ගියාක් සේ දිස්විය. සමරු ඵලකයක් පෙනෙන්නට නොතිබුණු එහි, අත්හැර දැමීම නිසා උපන් දුක්මුසු පෙනුමක් දකින්නට තිබිණ. ෆ්‍රෙඩා ඒ පිළිබඳව කනගාටු වූවාය.

     ඇයට රැක බලාගන්නට සොහොනක් නොමැත. මේ සොහොන රැක බලාගන්නට කිසිවෙකුත් නොමැත.

     ඈ නිවසට ගිය පසුව ඒ සොහොන කාගේදැයි විල්සන් මහත්මියගෙන් විමසා සිටියාය.

   "හ්ම්... උඹට නහස්ති කරන්න තරම් වැඩිපුර කාලය තියෙනවා නම්, සොහොන් ගැන හොය හොයා ඇවිදිනවට වඩා හොඳ නැද්ද මැහුමක් ගෙතුමක් බලා ගත්තා නම්? මගේ ඇඟිලි ගෙවෙනකම් උඹට ඇඳුම් මහන්න ද කියන්නේ? මට දැන් හිතෙනවා උඹට ළමා නිවාසෙ ම ඉන්න ඇරියා නම් හොඳයි කියලා. ඔය කියන එක මං හිතන්නෙ, අර වැඩකට නැති බේබද්දා... ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන. අවුරුදු විස්සකට උඩදි මැරුණා. ඇන්ඩෘ මැසර්වේගේ ස්ටෝරුව කඩපු නිසා ඒකාට හිරේ යන්න වුණා. ඊට පස්සේ නිදහස් වෙලා ආපහු මෙහෙට ආවා. මෙහෙ ඉන්න ජේත්තුකාර, නම්බුකාර මිනිස්සුන්ට උන්දැ එක කරන්න දෙයක් තිබ්බේ නැහැ. මහ මඟට වැටුණා, මැරුණට පස්සේ රජයේ වියදමෙන් වළ දැම්මා. ඒකාගේ නෑයෝ කවුරුත් මෙහේ නැහැ. නැගෙනහිර තුඩුවේ කොග්ස්වෙල් පවුල එක්ක ජීවත්වුණු අවුරුදු දහයක නංගි කෙනෙක් හිටියා. හොඳ පෙනුමට හිටපු ඒ දැරිවි, ජෝර්ඩ් මැරුනට පස්සේ පෝසත් පවුලක කට්ටියක් එක්ක ගෙන ගිහින් තිබුණා. මං දන්නේ නැහැ පස්සේ මොනවා වුණාද කියලා, මට ඇති වැඩකුත් නැහැ. හා... හා... දැන් ගිහින් හරක් ටික අරන් වරෙන්!"

     එදින රැයේ නින්දට යනවිට ෆ්‍රෙඩා යම් තීරණයක් ගෙන තිබුණි. ඇය ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන, කැපකරුවකු සේ රැකබලා ගැනීමට යන්නී ය!

     එයින් අනතුරුව ෆ්‍රෙඩාගේ විවේක කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ගත වූයේ සුසාන භූමියේදී ය. මලකඩ කෑ පැරණි ලොකු කතුරකින් බ්ලූබෙරි පඳුරු කප්පාදු කර, වෙලී පැටලී තිබුණු තණ පඳුරු සියල්ල ගලවා අවසන් වනවිට, ඇගේ දුඹුරු පුංචි පාට අත් පුරා දිය බුබුළු නැගී තිබිණ.

    ඉන්පසුව ඈ සොහොන මත සිටු වන්නට වනයෙන් මීවන පඳුරු ගලවා ගෙන ආවා ය. නැන්ගෙන් ඇත්සොඬ මුලක් ඉල්ලා ගත් ඈ ලිලී පඳුරක් වෙනුවෙන් කෙටී හමු වූවා ය. රෝස අතු කැබැල්ලක් හමුවූයේ නෙලීගෙනි. මහලු බෙනට් මහත්මියගෙන් පැන්සි ඇට කිහිපයක් ලැබුණු අතර ජෙරනියම් ඉත්තක් ලැබුණේ මැනීගේ අක්කාගෙනි. ඈ පැළ සහ ඇට සිටෙවුවා ය. වතුර දමා උවමනාවෙන් සාත්තු කළා ය. අවසානයේ ඒ උත්සාහය සාර්ථක වෙමින් ඇගේ සොහොන අනෙකුත් සෑම සොහොනක් සේම අලංකාරවත් ලෙස දිස් වන්නට විය.

     කාලය ගතවිය. ෆ්‍රෙඩා හැර අන් කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැත. වැඩුණු පොප්ලර් යාය විසින් ඒ කොන අවට ලෝකයෙන් සඟවාගෙන සිටියි. සම්භාවනීය පුරවැසියෙකු නොවූ ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන ලොවට අමතක ව ගොසිනි. අවම වශයෙන් සිතුවොත් එලෙසින් පෙනෙන්නට තිබේ. නමුදු එක් හැන්දෑවක වතුර බාල්දියක් රැගත් ෆ්‍රෙඩා හිමින් සීරුවේ සුසාන භූමිය වෙත ඇදී, පොප්ලර් වැටිය වටෙන් ඇගේ සොහොන වෙත යද්දී කලු ඇඳුමින් සැරසුණු ආගන්තුක කාන්තාවක්, සොහොන අසල සිටගෙන කඳුළු සලමින් සිටියාය. ඇගේ මුහුණු දුටු මොහොතේ, තමා දැක ඇති ලස්සන ම මුහුණ එය යැයි ෆ්‍රෙඩාට සිතුණි.

    වතුර බාල්දියක් ගෙන එතැනට පැමිණි දැරිය දුටු මොහොතේ ඒ කාන්තාව හඬ අවදි කළාය.

   "මට කියන්න පුළුවන් ද කවුද මේ සොහොන රැක බලා ගන්නේ කියලා?" ඈ ඇසුවා ය.

    "ඒ... ඒ... මම," කාන්තාව තමා කෙරෙහි කෝප වේ දෝයි සිතමින් දැරිය පැටලෙමින් කීවා ය. "අනේ නෝනා! ඒ මම, ඒත් මම ඒකට මොකුත් නරකක් කරන්න හිතුවේ නැහැ. අනිත් හැම ගෑනු ළමයාට ම තමන්ගේ ම සොහොනක් තියෙනවා. මට නැහැ. ඉතිං මං හිතුවා මේ කාත් කවුරුවත් නැති සොහොනට කැපකරු වෙලා හදා වඩා ගන්න"

   "ඉතිං ඔයා දන්නවද මේක කාගෙද කියලා?" කාන්තාව මෘදු ලෙස ඇසුවා ය.

   "ඔව් නෝනා... මේක ජෝර්ඩන් ස්ලේඩ්ගේ. විල්සන් නෝනා මට කිව්වා"

   "ඒ මගේ අයියා," කාන්තාව පැවසුවා ය. "අපරාදේ, එයා නොමගට ගියා, ඒත් එයා කියන තරම් නරක කෙනෙක් නෙමෙයි. එයා හරි ම දුර්වල කෙනෙක්. කාට වුනත් නම්ම ගන්න පුළුවන්. මොන තරම් වැරදි තිබුණත් එයා හොඳ කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්... අනේ! මං පුංචි කාලේ එයා මට හරිම කරුණාවන්ත, හොඳ කෙනෙක් වුණා. මං මගේ මුළු හදින් ම මගේ අයියාට ආදරේ කළා. මට හැමදාම උවමනා වුණා මගේ අයියාගේ සොහොන දකින්න එන්න, මගේ ගේ ගොඩක් දුර ඈත තියෙන්නේ, ඒක නිසා මට අද වෙනකම් එන්න බැරි වුණා. මම හිතාගෙන ආවේ මේක වන වැදිලා මට හොයා ගන්නවත් බැරි වෙයි කියලා. මට වචන නැහැ, මේක මේ විදිහට ලස්සනට තියෙනවා දැක්ක ම මට හිතුණ දේ විස්තර කරන්න. මගේ ආදර දරුවෝ, ඔයාට සිය දහස් වාරයක් ස්තුතියි!"

  "ඒ කියන්නේ ඔයාට කේන්ති ගියේ නැද්ද?" ෆ්‍රෙඩා බැබලෙන දෙනෙතින් යුතුව උනන්දුවෙන් ඇසුවා ය. "ඒ කියන්නේ මට දිගට ම මේක රැක බලාගන්න පුලුවන්! අනේ කියන්න නෝනා! පුලුවන් නේද? එහෙම බැරි වුණොත් ඒක මට දරාගන්න බැරි තරමේ වේදනාවක් වෙයි!"
"ඔයාට කැමති කාලයක් මේක රැක බලාගන්න පැටියෝ. මමත් ඔයාට උදව් කරන්නම්. මුලු ගිම්හාන කාලය ම මම ඉන්නේ නැගෙනහිර තුඩුවේ. ඉතිං මේක අපේ සොහොන වෙන්නයි යන්නේ... ඔයාගෙයි මගෙයි!"

    එය ෆ්‍රෙඩාට ආනන්දජනක ගිම්හානයක් විය. හාලිඩේ මහත්මිය වෙතින් ඇයට බොහෝ සේ ලෙංගතු මිතුරු ඇසුරක් හිමිවිය. ඉතාමත් ධනවත් කාන්තාවක වූ ඇයට දරුවන් නොවී ය. ඇගේ සැමියා මියගොස් එතරම් කල් ගත වී නොතිබිණ. සීත කාලය එළඹිණ. හාලිඩේ මහත්මියට පිටත්වීමට කාලය උදාවිය. නමුදු ඇය පිට ව ගියේ තනි ව නොවේ. ‘සදහට ම ඇගේ පුංචි දැරිවිය වන්නට’ ෆ්‍රෙඩා ද ඈ සමග එක් වූවා ය. විල්සන් මහත්මිය අකමැත්තෙන් වුව ඇයට යාමට ඉඩ දුන්නේ ඉර්ෂ්‍යා පර්වශ ව, අකෘතඥ වීම පිළිබඳ ව අවලාද කියමිනි.

   පිට ව යෑමට පෙර, නව කැපකාර මවත් දියණියත්, දියණිය විසින් කැපකාරියක ලෙස රැකබලාගත් සොහොනින් සමුගැනීමට අමතක කළේ නැත. හාලිඩේ මහත්මිය විසින් එය රැකබලා ගැනීම පිණිස උතුරු තුඩු වැසියන් කිහිප දෙනෙකු සොයාගෙන තිබුණු නමුත් සමුගන්නා මොහොතේ ෆ්‍රෙඩා වැළපුණා ය.

   "ඒ ගැන දුක් වෙන්න එපා පැටියෝ," හාලිඩේ මහත්මිය ෆ්‍රෙඩා සැනසුවා ය. "අපි හැම ගිම්හානයකදී ම මෙතැනට එනවා. මේක හැමදාමත් අපේ සොහොන! ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ"
හාලිඩේ මහත්මියගේ අතට තුරුළු වුණු ෆ්‍රෙඩා කඳුළු අතරින් සිනා නගමින් හිස ඔසවා ඈ දෙස බැලුවා ය.



~ලුසි මෝඩ් මොන්ටිගොමරිගේ කෙටි කතාවක් ඇසුරින්,
පරිවර්තනය රන්දිකා රණවීර ප්‍රනාන්දු විසිනි~

5 comments:

  1. මට සුනීතල සෝපාකල මතක් වුණා ඉතා රසවත් කථාවක්
    විචාරක දියණිය

    ReplyDelete
  2. නෙත වගේම හිතත් තෙත් කරන කතා! තව ලියන්න!! ස්තුතියි!!!

    ReplyDelete
  3. ආයේ අක්කාට වෙලාව ලැබිලා ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...