Thursday, December 14, 2017

551. The Story Of My Marriage - 54 - "When I am really happy I have to cry" said Ananya's Mother with tears streming down her cheeks….

බිම වාඩිවී ආහාර ගන්නා දකුණු ඉන්දියානු පවුලක් 

අනන්‍යා මංජුගේ කුටියෙන් පිටව ගොස් තවත් මිනිත්තු පහකට පමණ ආසන්න කාලයක් ගතවූ ඉක්බිති මම ඉන් පිටතට පැමිණියෙමි.

ඒ වනවිට සාලයෙහි රැස්වහුන් පිරිස අතර හරිෂ් අරභයා කෙරුණු විටින් විට "ආහ්.....රියලි? ඊස් දැට් සෝ?..." යන විස්මයාන්විත රාවයන්ගෙන් සමලංකෘතවූ කතා බහ යම් පමණකට අඩුවගොස් තිබිණ. 

සුහද හමුවකදී අනිවාර්යයෙන් සාකච්ඡා කලයුතු මාතෘකාවන් පිළිබඳ සාකච්ඡා කොට අවසාන වූ පසු තමිල්නාඩු පුරුෂ පක්ෂයේ සාමාන්‍ය පිළිවෙත වූ පුවත්පත දිග හැරගැනීම වෙත වැඩිමහල් පුරුෂයින් යොමුව සිටි අතර කාන්තා පක්ෂය වෘත්තීය නාටිකාංගනාවන් තම රංගනයන් ඇරඹුමට ප්‍රථම ප්‍රේක්ෂකාගාරය වෙත හිස මඳක් නවා ඉදිරිපස සියළු දසන් දක්වා කෙරෙන සිනහවන් බඳු සිනහවන් සෑම මිනිත්තු පහකට වරක්ම පාහේ එකිනෙකා වෙත පාමින් සෝපාවන්හි හොඳහැටි දිගඇදී හුන්නෝය.

යෝජිත මනාල මහතා තෙමේ තම කලිසම් සාක්කුවෙන් පිටතට ගත් නවතම මෝටරොලා ස්ටාර්ටැක් ජංගම දුරකථනයට නෙතු යොමාගත්වනම විද්‍යුත් තැපැල් පණිවිඩ පිරික්සමින් සිටියේය. 

අනන්‍යාගේ මෑණියෝ ඇගේ සුපුරුදු පොසිලගත ආදිකල්පික නාගයින් විශේෂයක් සිහිගන්වනසුළු තෙලෙහි බදිනලද කටගැසුම් විශේෂයක් පිළිගන්වමින් අමුත්තන් අතර එහා මෙහා ගමන් කළාය. එම කටගැසුම් විශේෂය හඳුන්වනුයේ "මුරුක්කු" යන නමින් බව අනන්‍යා මා සමඟ පසු දිනක පැවසුවාය. 

සාලයෙහි අසුන්ගෙන හුන් කිසිවකු එකිනෙකා හා කතාබහ නොකලහ. අවකාශය පුරා පැතිරගිය දැඩි නිශ්ශබ්දතාවය වරින්වර බිඳී ගියේ පුරුෂ පක්ෂය කියවන පුවත්පත්වල පිටු පෙරළීමේදී පැනනඟින සර සර ශබ්දය සහ කාන්තා පාර්ශවය මුරුක්කු සැපීමේදී නිකුත්වන කටස් ශබ්දයෙන් පමණකි. පන්ජාබි නිවසක සාලයක මෙවන් පිරිසක් රැස්ව සිටියදී මෙබඳු නිශ්ශබ්දතාවයක් පවතීනම් ඔබට ඊට හේතුභූත විය හැකි කරුණු කිහිපයක් කිසිදු සැකයකින් තොරව මෙපරිදි අනුමාන කල හැක.

පළමුව බොහෝවිට ඒ රැස්ව සිටින්නන්ගේ ආසන්නතම ඥාතියෙකු හෝ හිතවතෙකුගේ අනපේක්ෂිත අභාවයක් විය හැක. 

එසේ නොමැත්තේනම් රැස්ව සිටින්නන් කිහිප දෙනෙකු අතර දුරදිග ගොස් නඩු මාර්ගයට පිවිසෙන්නට පමණ උග්‍ර ඉඩම් අර්බුදයක් පැවතිය හැක. 

එසේත් නැතහොත් දිවා ආහාරය පිළියෙල කරද්දී කිසිවකුහට පරිප්පු වෑංජනයට පනීර් යෙදීමට අමතක වීමද එවන් දැඩි නිශ්ශබ්දතාවයකට බොහෝ පහසුවෙන් හේතුවිය හැක.

(පනීර් යනු යොදය රහිත කිරි දෙහි ඇඹුල් හෝ විනාකිරි යොදා මුදවා සාදාගන්නා ඉවීමේදී බොහෝ වෑංජන වලටද එකතු කරගන්නා යෝගට් වැනි කිරි ආහාරයකි.උතුරු ඉන්දියානුවෝ සෑම ආහාර වේලකටම පාහේ පනීර් එකතුකොට ගනිති.)

එහෙත් මේ වනාහී අනන්‍යාගේ මව්පියන් ඇතුළු අතිමහත් බහුතරයක් චෙන්නයි නිවැසියන්ගේ සාමාන්‍ය චර්යාවයි. මහත් ප්‍රීතියට පත්ව ඉතා උනන්දුවෙන් යුතුව නිවට පිවිසෙන අමුත්තන් පිළිගන්නා ඔවුහු ඉතා ඉක්මණින් නීරස කටගැසුම් සපමින් පුවත්පත්වල පිටු පෙරළමින් වරින්වර එකිනෙකා දෙස නිහඬ සිනහවන් පාමින් නිසොල්මන්ව සෝපාමත හිඳගත්වනම සිටිනා ගොළු බිහිරි තත්වයට පත්වන්නෝය.

ඉතිං ඔන්න මම හෙමිහිට සාලෙට ඇතුලු උනයි කියමුකො. මුරුක්කු හපමිං පත්තර බලමිං මිනිත්තු පහකට සැරයක් විතර එකිනෙකා දිහා බලල යම්තමට තොල් විරිත්තා ගනිමින් උන්නු අමුත්තො හැමෝම එක සැරේටම මා දිහාට හැරුන. අනන්‍යාගෙ අම්ම මාව දැක්ක විතරයි පුදුම සතා දැක්ක වගෙ කටත් බාගෙට ඇරගත්ත. අනන්‍යා අම්මට එහා පැත්තෙ ඉඳගෙන හිටිය. ඈට මූණලා ඒ ඉස්සරහම හිටියෙ හරිෂ්ගෙ අම්මයි තාත්තයි දෙන්න.

මම ඉතිං හෙමීට ගිහිල්ල මංජු මට එයයිගෙ කාමරේට කතා කරන්ට ඉස්සරවෙලා අර මම ඉඳගෙන හිටිය කිව්වෙ සාලෙ මුල්ලක තිබ්බ පුටුවක. අන්න ඒකෙ ආයම ඉඳගත්ත.

"මේ තමයි අපේ මංජුගෙ ටියුෂන් මාස්ටර්……" අනන්‍යාගෙ අම්ම මාව කට්ටියට අඳුන්වල දුන්න.

මම සාලෙට ඇතුල්වෙනකොට හැරිල මා දිහා බලල ඒ එක්කම ආපහු තම තමන් නිරත වෙලා උන්නු ඉතාම වැදගත් රාජකාරිවලට ඒ කිව්වෙ මුරුක්කු හපන්ඩ එතකොට පත්තර වල පිටු පෙරලන්ට වගෙ දේවල්වලට ආයම යොමුවෙලා හිටිය සාලෙ හිටපු කට්ටිය එකපාරටම ආයම පාරක් හැරිල මා දිහා බැලුව. මයෙ හිතේ "මොකාද බොල මේ හිමිදිරි පාන්දර ටයි පොල්ලකි කෝට් බෑයකි එහෙමත් සැරසිල කොලු ගැටවුන්ට ටියුසං දිදී ඇවිදින ගොබිල?" කියල වෙන්ටැති බොහෝවිට.

"මේ අයිය අක්කත් එක්ක එකට ඉගෙන ගෙන තියනව අයි.අයි.එම්.ඒ. එකේ….." මංජු එහෙම කියල මගෙ නම්බු කටුව යම්තමට ආරක්සා කරල දුන්න. නැත්තං අර අනන්‍යාගෙ අම්ම කිව්ව විදිහට මේ මිනිස්සු හිතන්ට ඇත්තෙ මම නිකම්ම නිකං හාංචිපයිස් ටියුසං කාරයෙක් කියල වෙන්න ඕන එකත් එකටම.

"අහ්...තමුනුත් අයි.අයි.එම්.ඒ. එකේ ඉගෙන ගත්තද? මගෙ යාලුවො බොහොම දෙනෙක් ඉන්නව මම හිතන්නෙ තමුන්ලගෙ සීනියර්ස්ල වෙන්න ඕන බොහෝවිට…" හරිෂ් පොහොන් එකෙං ඔලුව උස්සල බුරුසුවට යටිං කිව්ව.

"ආ..එහෙමෙයි? ඒක හොඳයි…." මම එහෙම කියල හරිසා එක්ක යම්තමට විරිත්තල හිනාවුනා. නැත්තං හරි නැහැ නෙව. මොනව උනත් අයි.අයි.එම්.ඒ. එකේ ගහුරවේ තියන්ට එපාය දිවිහිමියෙං.

ඇත්තටම මට ඕන උනේ හරිසගෙ බුරුසුව එක අතකිං අල්ල පාත් කරල අනික් අතිං අනන්‍යාගෙ අම්ම හදපු මුරුක්කු තුන හතරක් උගෙ නාහෙ ඇතුලට යවල දබරැඟිල්ලෙං ඇති වීරියෙං පුලුවං තරං දුරකට ඇතුලට තල්ලු කරන්ට. එක පාරටම ඉඳගෙන ඉන්න පුටුවෙං නැඟිටල "ඔහෙ හිටපිය ගෙරි බුරුසුව ම තොට හොඳ වැඩක් කරන්ට...." කියල කෑගහල එහෙම කලොත් මොකක් වෙයිද කියල හිතල මට හිනායන්ටත් ආව.

අනන්‍යාගෙ තාත්ත හරිෂ්ගෙ තාත්ත දිහාට හැරිල දෙමළෙං මොන මොනවද කිව්ව…"චෙන්නයි සිටි... බෑන්ක් පෝස්ටඩ් ..පන්ජාබි ෆෙලෝ….." ඒ ටික විතරයි ඒ කියාපු විස්තරෙං මට තේරුනෙ. ඒ ජුංඩත් තේරුනේ එහෙම කිව්වෙ ඉංග්‍රීසියෙං හින්ද.

හැමෝම අනන්‍යාගෙ තාත්තගෙ කරුණු පැහැදිලි කිරීම අහල මං හිතන්නෙ සැනසුම් සුසුම් පිටකරන්ට ඇති. මම පන්ජාබි කියල කිව්ව ගමං එතනිං එහාට මම ගැන එයාලට කරදර වෙන්ට කිසිම හේතුවක් නෑ. මම කෙලිම්ම තනිකරම පිටස්තරයෙක්. "නතිං ටු ඩූ විත් අස් ඇටෝල්..හී ඊස් ඩෙෆිනීට්ලි ඇන් අවුට්සයිඩර්.." එයාල එහෙම තොල මතුරගන්ට ඇති. ඇත්තම කිව්වොත් මට එහෙම ඇහුන ඇහුන වගෙත් දැනුන.

"අනන්‍යා කතා කරන්නකො මේ හරිෂ් එක්ක.."

අනන්‍යාගෙ අම්ම අනන්‍යාගෙ කණට කරල රහසිං කිව්ව. රහසිං කිව්ව කියල ඒ අම්මණ්ඩි හිතාගෙන උන්නට ඒ අහල පහල උන්නු හැමෝන්ටම ඒක ඇහුන.

"ඔයා කොච්චර කල් මේ පාර ඉන්දියාවෙ ඉන්නවද?" 

අනන්‍යා හරිෂ් දිහාට හැරිල ඇහුව. ඇගේ දෑතෙ පැළඳගෙන උන්නෙ රත්තරං වළලු මිහිරි සංගීතමය හඬක් නඟමින් එකිනෙක ගැටුන. මොනවට මේ අම්මණ්ඩි අද මේ වළලු දැම්මද මන්ද. ඕනම නැති දෙයක්නෙ. එහෙම වළලු එහෙම දාගෙන ඉන්න කොට හරිෂ් උනත් හිතයි මෙයා එයාට බොහොම කැමතියි කියල. ඔය වළලු දැමිල්ල ගැන අහන්ටම ඕන පුලුවන් ඉක්මනටම. ඒත් ඉතිං වැඩක් වෙන එකක් නෑ. මම දන්නෙ නැද්ද මෙවුන්දැගෙ හැටි. ඔය මොකක් හරි කියල ලස්සනට ලිස්සල යාවි...

"සති දෙකයි මට ඉන්න වෙන්නෙ. අපේ වාර්ෂික සමුළුව මේ පාර තියෙන්නෙ බාලි දූපතේ. මට තව සති දෙකකිං අනිවාර්යයෙංම ඒකට යන්න වෙනව" හරිෂ් බුරුසුව හොල්ල හොල්ල කිව්ව. 

"බාලි? ඒ කොහෙද ඒ?" එහෙම ඇහුවෙ අනන්‍යාගෙ ආන්ටි කෙනෙක්.

"බාලි කියන්නෙ ඉන්දුනීසියාවට අයිති විසාල දූපතක්. චෙන්නයි ඉඳල සිංගප්පූරුව හරහ තමයි ප්ලේන් එකේ යන්න වෙන්නෙ. ගමනට හරියටම පැය අටක් යනව" හරිෂ්ගෙ අම්ම ඔලුවත් හොල්ල හොල්ල එහෙම කිව්වෙ සතියකට දෙපාරක් වගෙ බාලි ගිහිල්ල ඇවිල්ල හොඳ පලපුරුද්දක් තියෙන කෙනෙක් විදිහට.

හැමෝම තම තමාට අයිති ඔළුගෙඩි ඒ කිවෙ තමංගෙ බෙල්ලෙ උඩ වැජඹෙන ඔළුගෙඩි ඉතාම සීරුවෙන් ඒ වගේම ඉතාම කල්පනාබරව සිරස් අතට ඉහල පහල හොල්ලල බාලි දූපත පිළිබඳ ඒ තොරතුරු තම තමංට අයිති අදාල ඔලුවලට දාගත්ත. චෙන්නයි වාසීන්ගෙ තවත් ලක්සනයක් ඕන්න ඕක. ඒ කිව්වෙ දැනුම සහ තොරතුරු වලට බොහොම ලැදියි. අනන්‍යාගෙ පවුලෙ උදවියත් එහෙමම තමයි. තමන්ට කිසිම ප්‍රයෝජනයක් නොවුනත් දැනුම රැස්කරගන්ට බොහොම කැමතියි.

ඉතිං අපි කට්ටිය ඔන්න එකිනෙකා නැඟිටල කෑම මේසෙට ගියා. කෑම මේසෙ කියන්න බෑ ඇත්තම කිව්වොත් ඩයිනිං ටේබල් නෙවෙයි මේක ඇවිදිල්ල හිට ඩයිනිං ෆ්ලෝ. සාලෙ කෙළවරක බිම ලොකු කළාලයක් එළල තිබ්බ. ඒ වනාහී මේසයයි. ඒ කළාලෙ පැත්තක කෙහෙල් කොළ ගොඩගහල තිබ්බ. ඒ වනාහී පිඟං.

මට පෙනුනෙම ඒ කෙහෙල් කොළ වෙනදට වඩා තද කොළ පාටයි වගේ. ඒ මගේ හිතේ පැහැවන ඊරිසියාව හින්ද වෙන්න ඇති සමහරවිට. අර ඉංග්‍රීසි බාසාවෙ මෙහෙමත් කියනවනෙ. "I went green with envy" කියල. ඒ කියන්නෙ ඊරිසියාවෙ පාට කොළ පාට කියලනෙ කියන්නෙ.

ඉතිං බිම තප්පලං ගහල ඉඳගෙන ආන්ටිල ඔක්කොම එකතුවෙලා තරඟෙට වගෙ අර හරිස් ගොයියගෙ කෙහෙල් කොළේට තියන තරමක් කෑම ගොඩ ගැහුව.

"අයියෝ අයියෝ මට වැඩියි. අනේ මේ හොඳටම වැඩියි හොඳටම වැඩියි" හරිසා එහෙම කෑගහල "මේ බලන්නකො ඉඩ්ලිම හයක් මේකෙ. මේ හැටි කොහෙට්ට කන්ඩද අප්පේ? කාට හරි ඕනද? මටනම් ඇත්තටම වැඩියි…"

මිනිහ එහෙම කියල අනන්‍යා දිහා හොරැහිං බලල ඉඩ්ලි එකක් ඈගෙ කෙහෙල් කොලේ තිබ්බ. 

"අනේ හරිම ස්වීට් අනේ...ඩිඩ් යූ සී දැට්?..මයී...සෝ ස්වීට්.." ආන්ටිල දෙතුං දෙනෙක්ම හරියට කලිං කතා කරගෙන වගෙ එක සැරේ අත් උඩ විසික්ක කරල හීං අඬිං කෑගැහුව.

"දැක්ක නේද එයා ඔයාට දැනටම කොච්චර ආදරේද කියල?....ඔයා නම් පුදුම ලකී අනේ..වෙරි වෙරි ලකී ගර්ල්…" අනන්‍යා ලඟම හිටපු තප්ප දෝරුවක් වගෙ ආන්ටි කෙනෙක් අනන්‍යාගෙ මූණ අත ගෑව. 

මට නේද ඌරු ජුවල් ගියාය කියන්නෙ මෙහෙම වෙලාවට එන කේන්තියට වෙන්න ඕන. මට හිතුනෙම මගෙ ඉස්සරහ තිබ්බ කෙහෙල් කොලේ රෝල් කරල එක හුස්මට කාගෙන කාගෙන යන්ට. එහෙම නැත්තං?…... ඔව් එහෙම නැත්තං මොකක්ද හැබෑටම? ...මම කියන්ටම ඕනෙ නෑනෙ ඔබ තමුන්නාන්සෙල තමුන්නාන්සියොම හිතාගන්ට එහෙම නැත්තං මොකක්ද කියල…

ආ මේ තියෙන්නෙ කෙහෙල් කොලේ කනවට වඩා මේක කරානං කීයත් හොඳයි. කලාලෙ මැදම බැබලි බැබලි තිබ්බ සාම්බාර් බාජනේ දිහා බලාගෙන මම එහෙම හිතුව.....දෙයියම්ප මට හැටියක් නෑනෙ මේ සාම්බාර් අර යස්සයගෙ ඉස්මුදුනෙ ඉඳල හලන්න..මිරිස් කෑලියි, ලූනු කෑලියි, කරපිංචයි උන්දැගෙ සපාරි සූට් එක පුරාම ගලන කොට කොහොමද සනීපෙ...හෙහ්..හෙහ්...

ඉඩ්ලි එක අනන්‍යාගෙ කෙහෙල් කොලේට දැම්මම ඒකට සබාවෙන් ආව ධනාත්මක ප්‍රතිචාර හින්ද මම හිතන්නෙ හරිෂ් ගොයිය උෂාර් උනාද කොහෙද. ඒ කලවැද්ද ඊලඟට පටන් ගත්ත අර මෝඩ ගෑනු රොත්ත මිනිහගෙ කෙහෙල් කොළේට ගොඩ ගහපු ඔක්කොම එකින් එක අරගෙන අනන්‍යාගෙ පතට බෙදන්ට. උප්මා, පොංගල්, චට්නි එතිං ගිහාම යම්තමට තෙලෙං බැදපු කෙසෙල් පෙති එව්වයි මෙව්වයි ඔක්කොම මෙන්න මේ යකා පටංගත්ත අර කෙල්ලට ගොඩ ගහන්ට. 

අර ආන්ටිල කට්ටියත් මේ යකා මෝඩය වගෙ එහෙම කරන කරන පාරක් පාරක් ගානෙ ආහ් ඌහ් ගාන්ටයි ඉඟි මරන්ටයි ඇස් ගහන්ටයි ගත්තෙ නැද්ද? අනේ දෙයියම්ප මට මෙවුං ඔක්කෝටම කොණක ඉඳල තලන්ට නැති හැටියක් පිට හරහට අර මඩු වලිගයක්ද මොකක්ද එකකිංවත්...(ඔය මඩු වලිග ගැනත් මට කිව්වෙ මගෙ අර ලංකාවෙ යාලුව..ලොක්ක...)

"අපි මංගල්ලෙට දින තීරනේ කරනකොට ඇමරිකාවෙ නිවාඩු දවස් අල්ලල දින දාගත්තොත් හොඳයි නේද? නෑ මම මේ කිව්වෙ එහෙ ඉඳල හරිෂ්ගෙ යාලුවන්ට එහෙම එන්ට ලේසිවෙන්ට…"

ශෝභා ආන්ටි එහෙම කිව්වම මගෙ මාලු නටන්ට ගත්ත බලා ඉන්දැද්දි.

"කලබල වෙන්නෙ මොකටද ආන්ටි?..තව එව්වට කල් තියනව"

අනන්‍යා මගෙ දිහාවෙ හොරෙං බලල කිව්ව. "තෑන්ක්ස් අනන්‍යා මෙතන ඉන්න පිස්සො පිස්සියො රැලට එහෙම අවවාදයක් හරි දුන්නට.." මම හෙමිහිට මටම කියාගත්ත.

"අයිය ඔයාට නිකං සනීප නෑ වගේ නේද?"

මංජු මට ඉඩ්ලි දාල තිබ්බ තැටිය දික්කලා. මම ඔලුව දෙපැත්තට වැනුව. ඉඩ්ලි එපා කියන්ට සහ ඒ එක්කම මට අවුලක් නෑ කියල කියන්ටත් එක්කම. මංජු එක්ක මම දැං මාස දෙකක් විතර සතියට  අඩුම ගානෙ දවස් තුනක් විතරවත් ගත කරනවනෙ. කොල්ලට ඒ හින්ද මගෙ මූඩ් පට ගාල මීටර් වෙනව.

ඉතිං ඔය බහුරූ කෝලම් මැද උදේ කෑම වැඩේ හෙමිහිට ගලාගෙන ගියාය කියමුකො. මෙන්න වැඩේ අහවරයක් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මෙච්චර වෙලා මෙතන නටපු ජවුසං ඒ කිව්වෙ අර පිස්සගෙ ඉඩ්ලි බෙදිලි ඒ එක්කම වයසක ගෑණුංගෙ ඉඟි මැරිලි ආහ් ඌහ් ගෑවිලි ඔක්කොම දෙකේ කොලේට වැටෙන වැඩක් කලේ නැද්ද අපේ මේ අනන්‍යාගෙ මව් තුමිය. ඒ මොකක්ද දන්නවය? ඒ අම්මණ්ඩි එක පාරටම අනෝරා වැස්සක් කඩාවැටෙනව වගෙ අඬන්ට තියාගත්තෙ නැද්ද?

"අම්මා..ඇයි අම්මා?"

අනන්‍යා දනිපනිගාල නැඟිටල ඇවිල්ල අම්ම ලඟ දණ ගහගෙන ඇහුව. අම්ම ඒත් වචනයක්වත් කතා කලේ නෑ. එක දිගටම ඔලුව දෙපැත්තට වන වන එක සීරුවට අඬන්ට ගත්ත. කම්මුල් දිගේ කඳුලු බේරෙනව. මංජු අම්ම අඬනව දිහා බලාගෙනම තව ඉඩ්ලි කෑල්ලක් කටේ දාගත්ත. සපාරි සූට් අංකල්ල සෙට් එක නම් අම්මගෙ මේ වැලපිල්ල තඹ පයිසෙකට මායිං කලේ නෑ.

අම්ම ලඟම ඉඳගෙන හිටියෙ සුරුචි ආන්ටි..

"රාධා…. අනේ ඇයි රාධා?" එයා අම්මගෙ උරහිසට අතක් තියල හෙල්ලුව.

"මොකවත් නෑ අනේ……….." අම්ම අඬ අඬාම කිව්ව. "මට සන්තෝසෙ උහුල ගන්ට බෑ. එහෙම උනාම මට ඇඬෙන එක නවත්ත ගන්ට බෑ…."

අම්ම එහෙම කිව්වෙ කොපමණ හැඟීම්බර සහ ඒ වගේම දයාර්ද්‍ර වූ ස්වරයකින්ද යත් මටත් ඇඬෙන්ට වගෙ ආව ඔන්න ආය වෙන කතා කුමටද? අම්ම දිහා බයවෙලා වගෙ බලාගෙන හිටපු ආන්ටිල ඔක්කොම පිටි අල්ලෙං කඳුලක් පිහගත්ත. හරිෂ්ගෙ අම්ම ඇවිල්ල අනන්‍යාගෙ අම්මව වැළඳ ගත්ත.

මම හීන්සැරේ ඔලුව හරවල අනන්‍යා දිහාවෙ බැලුව. ඒ වෙලාවෙම එයත් මගෙ දිහා බලල ඇස් කරකවල දිග සුසුමක් හෙලුව. ඒ මට කිව්වෙ අම්මගෙ හැටි ඔහොම තමයි ඔව්ව ගණං ගන්ට එපා කියල....හෙහ්,හෙහ්,

"අනේ අපෙ දරුවො කොච්චරනම් ඉක්මනට ලොකු මහත් වෙනවද?" එක ආන්ටි කෙනෙක් එහෙම කියල හීල්ලුවා.

"දරුවො ලොකු වෙනව තමයි ඒ එක්කම ඔහෙලා වයසට යනව..ඒක තමයි ලෝක සොබාවෙ…" මම ඒ මනුස්සය දිහා බලාගෙන තොල් මැතුරුව.

"ඉඳපල්ලකො මම බොලා ඔක්කෝටම හොඳ වැඩක් කරන්නංකො ආය ජීවිත කාලෙටම මතක හිටින්ට…" කුස්සියෙ සින්ක් එකෙං අත හෝදන අතරෙ මම මටම සපථ කර ගත්ත...දිවුරා පොරොන්දු වුනා.

36 comments:

  1. සිරි ලාංකිකයෙක් විදිහට මොකක් හරි වර්ජනයක් කරන්න ඕන හිංදා මාත් ටික කාලෙකට නෙට් වර්ජනේ කරා. පිස්සු හැදෙයි පොතම ලියල වගෙයි සංතෝෂේ බැරුවා 😌
    හිමිං කියවගෙන එන්නම් ජයෙන් ජයම වේවා 👍👍

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      අම්මට වූඩු ඒකනෙ.... දැක්ක කාලයක් මතක නෑ.....ලෝං ටයිම් නෝ සී නෙව...

      Delete
  2. අඬනවා කියන්නෙත් විකාරයක්ම තමයි. බුකිය එකම මලගමක් වෙලා නිසා මුකුත් ලියන්න හිතෙන්නේ නැහැ රවියෝ

    ReplyDelete
    Replies
    1. අජිත,

      මොකෝ බොලේ ඒ බුකිය මලගමක් වෙලා තියෙන්නෙ?

      මේ දවස්වල බොහෝ දුර බැහැර නිරුදක කතරක මධ්‍යයේ තමයි රාජකාරි කරන්ට වෙලා තියෙන්නෙ. එනිසාවෙන් පාන්දර පානුපැයට ගෙදරිං දොට්ට බැස්සම බිං කලුවර වැටිල තමයි ආයම එන්නෙ. ඒ හින්ද බ්ලොග් සහ බුකී ආස්සරේ අවමයි..

      මේ පෝස්ට් එක දාන්ටත් සතියකටත් වඩා ගියේ ඒ හින්දමයි. එනිසා මලගම් ගැන නොදන්නෙමි.

      Delete
    2. සුදර්ශනගේ මලයා ඉන්දිකගේ මළගම නේ හෙට අර ටැටූ පොත ලිව්වේ. බුකියේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක් අපි වගේ විප්‍රවාසී උන් අතර නෙමේ

      Delete
    3. අජිත්,

      ආ ඒක නම් දැක්ක..ඉන්දික ගුණවර්ධන නේද? සුදර්ශනගෙ මල්ලිද? ඒක දැනගෙන හිටියෙ නෑ...

      Delete
  3. කෙසෙල් කොලේ කෑම ගන්න වෙලාවයි
    බලා සිටින්නට දේවල් බොහෝ වෙයි
    ක්‍රිෂ් ගේ තරහ ටික ටික දැන් නැගී එයි
    මංජු ක්‍රිෂ් ට ආදරෙ දක්වන හැඩයි

    මංජු ව යාලු කරගත්තොත් ක්‍රිෂ් ට වැඩේ ගොඩ දාගත්ත හැකි වෙයි පහසුවෙන් ම. මගේ බ්‍රදර් ඉන් ලෝ ටත් අපේ අම්ම අකමැති වෙච්ච කාලෙ, මට සිදු වුනා සාම දූත කම් කරන්නට සහ ඒවා සාර්ථක වුනා. දැන් නම් කල හොඳ පස්සෙන් එනව බොලේ බ්‍රදර් ඉන් ලෝ බලන් ඉන්නෙ මම මොකෙක් හරි හොයා ගත්තොත් උගේ ජාති කුල ආගම් ඔක්කොම බලල වැඩේ වන කරන්ට. (මම තනි පංගලමෙ විදේශගත නිසා කට්ටිය හිතන් ඉන්නෙ මම විදේශිකයෙක් සෙට් කරගනීවි කියල)

    ReplyDelete
    Replies
    1. Manawee,

      /(මම තනි පංගලමෙ විදේශගත නිසා කට්ටිය හිතන් ඉන්නෙ මම විදේශිකයෙක් සෙට් කරගනීවි කියල)/

      අන්න ඒකනෙ ආය මොනවද..අපිත් ඒත් කතා උනා උඹ අනිවා ජප්පෙක් සැට් කරගෙන ඒවිය කියල. ඔරිගතෝ සසුකොබකො ජිංගත්තෝ කලිමට්සු....

      තදා ඉමා කියන්නෙ මොකක්ද දන්නවද? මයෙ හිතේ මං ආවා කියන එක වෙන්න ඕන...තදා ඉමා කියල හැත්තැ ගණංවල තොම්සන් ඒ. වැන්දබෝනා මහත්මයා සිළුමිණ පත්තරේට ලිව්ව නව කතාවක්...

      පලි - හරි හරි ජප්පො අමතක කරපංකො..බැයිද ඈට කනට පේන සුද්දෙක් වත් සැට් කොර ගන්ට....ට්‍රයි එකක් දාහං බැරිවෙන එකක් නෑ...

      Delete
    2. මොකද්ද රවී කනට පේන සුද්දෙක් කියන්නෙ. හැක්.

      Delete
    3. රවී තුමා,

      අනේ මම වැඩියම ජපන් දන්නේ නෑ ඉතින්.
      බිසී කියල ලියල තියනවා දැක්ක. බිසී අතරෙත් මේක මෙහෙම ලියන එකට තුති.

      Delete
  4. අයියෙ මට මාර වැඩක් උනානෙ, දෙමල වෙඩින් එකකට ගිහින් ඔයවගේ බිම වාඩි වෙලා කනකොට පඩයක් ගියානෙ.
    පුක රැවටුනා බොගට තමයි සෙට් වෙන්නෙ කියල.
    මොනව කොරන්නද ඉතිම් නේද.
    අවුලක් උනේ නෑ ඉතින් විනාඩි කීපයක් සල්ෆර් ඩයොක්සයිඩ් සුවඳක් හැමුව එච්චරයි.

    ReplyDelete
    Replies
    1. පුක රවට්ටන එක හරි පවු වැඩක් නේද?

      Delete
    2. ඇනෝ,

      යකෝ පුක රැවටෙන්ඩ මොකෝ උඹ කෙලිං කටිං ඉඳන්ද කන්ට සැට් වුනේ? ඈ බොල?
      අනික අතට එහෙම නැතුව රැවටෙන්ඩ ඒක යකාගෙ පුකක් වෙන්ට එපාය...

      සබාවක් මැද්දෙ එහෙම සද්ද නෑහෙන්ට අධෝවාත පිටකරන්ට ක්‍රම සහ විධි තියනව දන්නව නේද?

      තව අර ප්‍රසිද්ධ කතාවත් අහල ඇතිනෙ නේද? "යකෝ ටොමියො ඔතනිං පල අහකට...නැත්තං තව ටිකකිං ඔය මහත්තය උඹේ ඔලුවටම රේවී නොවැරදීම..."

      Delete
  5. මොකක්ද දන්නෑ මේ උන්ද හිතා ගත්තෙ... ඒ වෙච්ච දේවල් හැටියට ඇති ඉවසන් හිටියා...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      හිතා ගත්තෙද? හිතා ගත්තෙ කෙහෙල් කොලේ රෝල් කරල අර බම්මන්නගෙ XX XXXXX ....

      මේ එක නෙවෙයි..අර ප්‍රෝග්‍රම් එකනම් මල් හතයි ...

      Really proud to know a couple like you two...Honest Injun

      Delete
  6. ඔය තියෙන්නේ වල්පල් නැතුව ගින්දර වගේ අද කොටස.ෆයිට් එක ඊගාවට වෙන්න ඇති නෙහේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      තෑන්ක්යූ තෑන්ක් යූ...:)

      Delete
  7. දැං ඔහේ ඇත්ත වශයෙන්ම අර කෙහෙල් කොලේට මොකක්ද කරන්න හිතාගෙන හිටියෙ. ඒක අරගෙන කුස්සියට ගිහිල්ල හීනියට ලියල මැල්ලුමක් හදල හරිසට කවන්නද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      කෙහෙල් කොලේට කරන්ට හිතපු එක අන්න උඩහ ලියද්දෙදි අපේ නිර්මාණි නෝන මහත්තැංගෙ කමෙන්ට් එකට උත්තරේ හැටියට කිව්ව...

      Delete
  8. The grass is always greener on the other side of the fence කියනවනේ.. ඒකයි හරිසගේ කොළේ තද කොළ පාටට පෙන්න ඇත්තේ.. :) අදනම් 'කතාව' ලියල.. නියමයි.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      ඔව් බං අද වෙන අනම් මනම් නෑ තනිකර කතාව පමණයි..බැණුං අහලම මට ඇතිම වෙලා..

      නැත්තං අර මරා ගොයිය පහුගිය ටිකේ පෝස්ට් එකක් නෙවෙයි දෙක තුනක් ලියන්ට වටින කතාවක් කියල තිබ්බ " මා ගාව හිටිය හොරු ටික දැං ඉන්නෙ ආණ්ඩුවෙ "

      Delete
  9. මේ කතාව නං කියවෙන්නේ නෑ. ලියන්නකෝ අඩියක් එහෙම ගහලා ජොලි කරපු කතාවක් දෙකක් ආයේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අපොයි එහෙම කතා තියනව අනන්තවත්..

      ඔන්න එක පාරක් අපි පිටත් වුනා මළගෙදරක යන්ට ..කොහෙද? වලස්මුල්ලෙ...මනම්පිටියෙ බාර් එකට ගියා පාන්දර පහට විතර ...ඒකෙ බාර් කීපර් අයිය අපේ යාලුව. මිනිහ බුදියන්නෙ බාර් එක පිටිපස්සෙම පොඩි කාමර කෑල්ලක. එදා දොරට ගැහුව ගැහුව පොර නෑ. ඒ පාර ඒ එක්කම ඉස්සරහ තියෙන පෙට්ටි කඩේ මුදලාලි නැඟිටල ඇවිල්ල කිව්ව බාර් අයිය ගෙදර ගියාය කියල. එදා පොලොන්නරුව දිස්ත්‍රික්කෙ බාර් ඔක්කොම වහලලු.

      තමන්කඩුව පොළොන්නරුව දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක හාමුදුරුවො අපවත් වෙලා එදාලු ආදාහනය.

      ඒ පාර ඉතිං මක් කරන්ටද? බොන එක අතඇරල අපි ගියා මල ගෙදර.... හෙහ්, එහෙම ද ආස? අපි නං යයි එහෙම...අපවත් වෙච්චි සාදුගෙ අම්මගෙ ගුණ සිහිකරමින් ඇද්ද කෙලිම්ම කොහාටද? දඹුල්ලට..දඹුල්ලට...හෙහ්..හෙහ්..

      එදා දඹුළු ගිහිල්ල අපිට මල ගෙදර යන්ට උනේ නෑ ඔන්න කොටින්ම.හවස් වෙනකොට මම අපි මල ගෙදර අරං යන්ට ගත්තු මල් වඩම කරේ දාගෙනලු නැටුවයි කියන්නෙ..හෙහ්..අන්න එහෙමයි අපි ..තේරුනාද?

      ඒ විස්තර පස්සෙ දවසක ලියන්නංකො නිවාඩු පාඩුව...හෙහ්..හෙහ්..මතක් වෙනකොටත් හිනා වෙලා පන යනව...

      Delete
  10. “Marble flooring is to a Punjabi what a foreign degree is to a Tamilian”
    ― Chetan Bhagat

    ReplyDelete
  11. /අර ආන්ටිල කට්ටියත් මේ යකා මෝඩය වගෙ එහෙම කරන කරන පාරක් පාරක් ගානෙ ආහ් ඌහ් ගාන්ටයි .../
    මේක කියෙව්වම මතක් උනේ අතුල රන්සිරිලාල්ගෙ හඬකැවීම්. එව්වයෙත් ගෑණු පිරිමි කස්ටිය තප්පර කීපයකට වතාවක් අඃ උඃ ගගා සුරතාන්තයට පත් වෙනව...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      කිව්වත් වාගෙ ඒක නම් මහ විකාරයක්...

      මම මේ දවස්වල "ඉසිවර වෙදැදුරු" නැවත විකාශය බලනව, ඒකෙ තියනව ලෙසටම ඔය අහ් උහ් ගෑවිල්ල...

      ඔය අහ් උහ් කෑලි දාන්නෙ මම හිතන්නෙ තොල් හෙලවෙනකොට මොකක් හරි සද්දයක් දාන්ට ඕනමයි කියල හිතල. ඇත්තම කියනවනම් මම හිතන විදිහට එහෙම අවශ්‍ය නෑ. අපි ඔක්කොම දන්නව මේක සිංහල හඬ කැවූ ටෙලි ෆිල්ම් එකක්ය කියල.

      ඒ හින්ද ශබ්දයක් නැතුව පොඩ්ඩක් තොල් හෙල්ලුනාට අවුලක් නෑ. අවුලක් තිබ්බ උනත් අර අහ් උහ් මහ්, පහ් ගෑවිල්ල ඊට වඩා අවුල්...හෙහ්,හෙහ්,

      Delete
  12. මේ අන්න අර බුරුසු.......

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඉතිං ඉතිං...මොකෝ බුරුසු කියන්නෙ?

      Delete
  13. අම්මපල්ලා බුරුහුවාට නෙන්ඩියක් දාන්නම බැරිවේද?

    ReplyDelete
  14. අයිශෙ මේක මාර කෙලියක්නෙ..14 වෙන්ද තප්පලං ගහං සැට් වෙච්චි උන් අද 19ත් වෙලා තාම කාල ඉවර වෙලා නෑනෙ. මේ සෙද්ද හරියන්නෑ අයිශෙ..

    ReplyDelete
  15. සියලුම පාටක පාටවිකාවන් වෙත දයාබරත්වයෙන් ලියා දන්වන වගනම්....

    මේ දවස්සොල අපේ ලොක්කි මෙහෙ ඇවිල්ල ඉන්නවාය...ඒ හින්ද පෝස්ට් එකක් ලියන්න තියා කොමෙන්ට් වලට උත්තර දෙන්නත් ඉස්පාසුවක් ඇත්තේම නැත.

    හැකි විගස ආයම මොකවත් ලියඤ්ඤම්ය.... හොඳේ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...