Monday, November 20, 2023

692. පුවක් එෂැණිං - 76 - ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු


ඊයේ පැවති ලෝක කුසලාන අවසාන තරඟයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දැක්වූ අනර්ඝ සහයෝගය පිළිබඳව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා තම සාතිශය කෘතවේදිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් වෙත පුදකර සිටී..

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඕස්ට්‍රේලියානු අගමැති කාර්යාලය පවසන්නේ එම අකලංක සහයෝගයට කෘතගුණ දැක්වීමක් ලෙස ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් නොපැමිණෙන ලෙස දන්වා ඕස්ට්‍රේලියානු රජය මඟින් පලකල විද්‍යුත් මාධ්‍ය දැන්වීම් දින තුනක කාලයකට අත්හිටුවන ලෙසද එතුමා උපදෙස් දුන් බවයි..

එලෙසම එම තුන් දිනක කාලය තුල ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සාදරයෙන් පිළිගෙන එරට පුරවැසිභාවය ලබාදී මෙල්බර්න්, සිඩ්නි, පර්ත්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණ අසල නොමිලයේ නිවෙස් ලබාදී පදිංචි කීරිමටද කටයුතු කරන ලෙසද අගමැති තුමා උපදෙස් ලබාදුන් බවය.  තවද ඔවුන්හට එම ක්‍රිකට් ක්‍රීඩාංගණවල රැකියාවන්ද ලබා දෙනු ඇත. 

මෙසේ පැමිණෙන්නන් ඕස්ට්‍රේලියාවට සහයෝගය පලකරමින් තමන් විසින් පලකල මුහුණු පොත් පෝස්ටුවල මුද්‍රිත පිටපතක් තමාගේම නිර්මාණයක් බවට  පසුගිය දින සාමදාන විශ්චයකරුවන්/කාරිනියන් ලෙස පත්වීම් ලද  කලාකාරිනියන්/කාරයින් විසින් සහතික කොට  රැගෙන ඒම අනිවාර්ය වේ.. 

ටං..... ටිං..... ටුං

****************************************************

මේ අතර ඊයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමෙන් පසු උද්ගතව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කීරිමට හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත..

ඉන්දියානු කණ්ඩායම පරදවා ඕස්ට්‍රේලියාව විසින්  ලෝක කුසලානය දිනාගනු ලැබූවද මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට පෙර මෙමෙ ලෝක කුසලාන තරඟාවලියේදීම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වී ඇති අතර දකුණු අප්‍රිකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායමට පරාජය වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම  විසින් නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කල හෙයින් සත්‍යය වශයෙන්ම සහ සාධාරණ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරයින් වශයෙන් නම්කල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වේ. 

එබැවින් එම තත්වය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කීරිමට අගමැති දනිස් ගූවාඩන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු අනුකමිටුවක්ද පත් කෙරෙනු ඇත...

යෝජිත අනුකමිටුව පහත සඳහන් සාමාජික/ජිකාවන්ගෙන්  සමන්විත වනු ඇත.

1. කමිටුවේ සබාපති අගමැති දනිස් ගූවාඩන

විදේස ඇමති පදවිය දරන සමයේහි ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කඩකීරිම සම්බන්ධයෙන් එ.ජා. සංවිධානයේදී යෝජනාවක් සම්මතවූ විට එහිදී ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් සංඛ්‍යාවද ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් ලෙස සැලකිය යුතුයැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් බොරළුගොඩ ප්‍රමේයය යනුවෙන් පෛතගරස් ප්‍රමේහයට අනතුරුව ලොව පුරා ගණිතඥයින්ගේ සම්භාවනාවට ලක්වූ ගණිත ක්‍රමයක් හඳුන්වා දුන් මෙතුමා මෙම යෝජනාවේ ගණිතමය තත්ත්වය පිළිබඳව සොයා බලනු ඇත.

2. හිටපු කීඩා ඇමතිවරයෙක් වන මෛන්දානම්ද  නිව්විලේජ්හවුස් 

2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විකුණා ඇති බව තම රහස් පර්යේෂණ මඟින් සොයාගත් මෙතුමා වනාහී කුප්‍රකට කිරීඩා විකාරදවරයෙකි.

3. හිටපු කීඩා ඇමතිවරයෙක්ව වන පේසන්න රානටුංග 

අයතා ගනුදෙනු මඟින් මුදල් ඉපයීම පිලිබඳව විශේෂඥ  දැනුමකින් හෙබි මෙතුමා අයිසීසී සංවිදානයට යම් මුදල් අතමිටමෙලවීමක් මඟින් හෝ ලෝක කුසලානය අප රටට ලබාගැන්මට හැකිදැයි සොයාබලනු ඇත.

4. විදේස ඇමති ආලි සබීරි 

හිටපු ජනාපෙතිතුමා ජනාපෙති පදවියට පත්වීමට පෙර ඔහුට විරුද්දව පවරා තිබූ දූසන සහ වංචා නඩු 23 කින් එකද දිනයක් හෝ රිමාන්ඩ් භාරයට පත්වීමට ඉඩ නොදී බේරාගත් දෙස් විදෙස් පතල කීර්තියකින් හෙබි නීති විකාරදවරයෙකු වන සබිරි මහතා ලෝක කුසලානය ලංකාවට ලබාදීමට කරන ඉල්ලීමෙහි තීතිමය තත්වය පිලිබඳව ඉතාමත්ම ගැඹුරින් සොයා බලනු ඇත.

5. නියෝජ්‍ය ඇමතිනී ඩෛනා විලේජ්හවුස් මහත්මිය..

කාන්තා අයිතිවාසිකම් පිලිබඳව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතද නිරන්තරයෙන් හඬ නඟන මෙතුමිය මෑතකදී අනුල්ලංඝනීය කාන්තා අයිතිවාසිකමක් වන පිරිමින්ගේ කලිසං ගැලවීමේ අයිතිය උදෙසා පාර්ලිමේන්තු ලොබිය තුලදීම සටන් කල වීරෝදාර කාන්තාවකි..ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදීම තරඟාවලියෙන් ඉවත්වීමට ඔවුන්ගේ කාන්තා අයිතිවාසිකම් කඩවීම හෝ ඔවුන්ට ත්‍රෛලෝක විජයපත්‍ර  භාවිතා කීරිමට ඉඩ නොදීම හේතුවිනිදැයි මෙතුමිය විසින් සොයාබලනු ලබන අතර මෙම යෝජනාවට අයිසීසී පා ලක මණ්ඩලය එකඟ නොවුවහොත් ඔවුන්ගේ කලිසම් ගැලවීමට ඇති හැකියාව පිලිබඳවද වැඩි දුරටත් සොයා බලනු ඇත.

6 comments:

  1. චැහ් අපරාදෙ. වත්පොත් පෝස්ට් එකක්වත් දාල තිබ්බනං පීනගෙන හරි ඔට්ටේලියාවට යන්න තිබ්බ.

    ReplyDelete
  2. ඕස්ට්‍රේලීයානු ක්‍රීඩකයන් වන Carry සහ Wade එකතුවී දඹදිව් පුත්‍රයන් හට නරක වැඩක් කල බවත් පුවතක් තියෙනවා _ Mayya- https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  3. නීල වර්ණ සිහින රැසක් නිති බොඳ කරලා
    ආල නිසා කිරිඩකයින් හට දොස් නගලා
    දාල නඩුව ගේ දොරවල් කඩලා බිඳලා
    පාල හිනා ඉන්නවාලු හොල්මන් විලා....
    ( අසල්වැස්සෝ.....)
    ජයවේවා !!!

    ReplyDelete
  4. ඕස්ට්‍රේලියාවේ සිට රවී වෙත ලියා දන්වන වගනම්:
    බෝට්ටුවෙන් හොරෙන් සංක්‍රමණය වීමේ තහනම ඉවත් කිරීමෙන් පසු ඉන්දියන් සාගරයේ අධි ශීඝ්‍රගාමී බෝට්ටු සේවයක් ආරම්භ කර තිබේ. ඒ සමගම Perth වරායේ වීසා නොමැතිව රටට ඇතුල් වීමටද ඉඩකඩ සලසා තිබේ.
    පත්කර තිබෙන දනිස් අමාරු ගුනාඩන සභාපති වශයෙන් සිටින කමිටුවේ සිටින නිව් විලේජ් හවුස් මහතා සහ නිකම්ම විලේජ් හවුස් මහත්මිය යන දෙදෙනා, සමාන වාසගමක් සහිත නිසා එකම වල්ලේ බඩු හෝ එකම පවුලේ අය විය හැකි බැවින් එතැන a conflict of interest - සබඳතාවය පිලිබඳ ගැටුමක් ඇති බැවින් ඒ ගැන බලවත් විරෝධය පළවී තිබේ.

    ReplyDelete
  5. ෂම්සි සිල්වර් සහ බීෆ්ලවර් වික්ටෝරියස්ෆ්ලෑග් නැතුව ක්‍රිකට් අනුකමිටු????

    ReplyDelete
  6. කම්මැලි වෙන්න බෑ රාළේ දිගටෝම
    දිගටම ලිවිය යුතු ඔබ, අපි වෙනුවෙන්ම
    යලට මහට කෙරුනාවේ වැපිරීම
    ලියමු සතියකට එක ගානේවත් මෙහෙම

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...