Saturday, October 14, 2023

164. සිසිර අයාලයෙනි

 (පසුගිය වසරේ ලියන ලද සටහනකි)


සිසිර අයාලයෙනි,

නුබ කුස සිසාරා

දින සති සැරිසරා

මදක් රැඳෙන ගිමන් හරින

නුඹ නොදත්

බෝ අනතුරු

මෙහි වෙත්


ඔයාකාර සැහැල් සැරුම්

නූස් පඳුරු මුදුන් මත රැඳුම්

නොමනාය මෙබිම මත

කල්පනාවෙනි... පරිස්සමෙනි...


සිසිර අයාලයෙනි!

අප හිඳින්නේ

බෝ ආලයෙනි

යලිත් මතු දිනෙක

නුඹලා දකිනු රිසියෙනි


 මේ සිටින්නේ සයිබීරියානු ස්ටෝන්චැට් විහඟ මහතා ය. ඒ මහතාගේ මැතිණිය අපි නුදුටුවෙමු. විහඟ සංක්‍රමණ සංචාර ඇරඹී ඇති බැවින් අපිදු කාර්යය බහුල වී සිටිමු. පසුගිය දා ලංකාවේ පළමු වරට වාර්තා වූ විහඟ යුවලක් කෙරවලපිටියේ සිටින බවට ලද තොරතුර මත එහි ගිය ද අපට ඔවුන් මුණ ගැසුනේ නැත. කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝ නේ! එහෙම හිතන්නයි අපි කැමති. එයාලා කොහේ හරි යහතින් ඉන්නයි උවමනා.

 ඉතිං අපට ඒ යුවල මුණ නොගැසුණත් මේ පුංචි දඟ විහඟ හමුවිය. දැනට ලංකාවේ වාර්තා වෙලා තිබෙන්නේ 4 වාරයක් වැනි සුළු ප්‍රමාණයක්. සෑහෙන පිරිසක් වට වෙලා, විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ කැමරා මානාගෙන ඉන්නා හැටිය යස ප්‍රබෝධයක් ගෙන ආවා වාගෙයි එයාගේ හැසිරීම එදා. ඒ පඳුරු මුදුනින් මේ පඳුරු මුදුනට! බිමට! කම්බි තුඩක් උඩට! නැවතත් පඳුරු මුදුනකට! හරියට ‘මෙහෙම හොඳයි ද? මෙහෙමත් හොඳයි නේ ද? මෙහෙමත් එකක් ගනිමු නේ?‘ කියලා අපෙන් අහනවා වගේ. අපිත් ඉතින් එයා කියන කියන විදිහට ශටර් කවුන්ට් එක සට පට හඬින් වැය කරමින් සිටියෙමු.

 සයිබීරියානු ස්ටෝන්චැට් එහෙමත් නැත්නම් ආසියානු ස්ටෝන්චැට් (Saxicola maurus)... එයාට එහෙම නම ලැබෙන්නේ තිරිවානා කැට දෙකක් එකිනෙක ගැටීමෙන් නැගෙන හඬ හා සමාන හඬ කොටසක් එයාගේ නාදයේ තිබෙන නිසයි. උවමනා නම් වෙබ් සර්ච් කර හඬ හොයාගෙන අහන්න ඔයාලට පුළුවන්.

 එදා දවසේ ඒ භූමිය පුරා සැරි සරපු එයා පසුදා හිටියේ නැහැ.

 කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝ නේ! එහෙම හිතන්නයි අපි කැමති. එයාලා කොහේ හරි යහතින් ඉන්නයි උවමනා. ඒත් මෙයාගේ තිබුණු කුලෑටිකම අඩු සැහැල්ලු හැසිරීම නිසා හිතේ කුකුසක් නැතුවා ම නෙමෙයි






සිසිර අයාලයා: සාමාන්‍යයෙන් සිසිරය එළඹෙද්දි සංක්‍රමණය අරඹන කුරුල්ලන්ට නිශ්චිත ගමනාන්ත ඇත. ඒ වගේ ම අයාලේ යන අය ද නැත්තේ නොවේ. ඒ සඳහා විවිධ හේතු තිබේ. සමහර කෙනෙක් රංචුවෙන් මග හැරෙන්න පුළුවන්. තව කෙනෙක් කෙලින් ම ගමනාන්තය නොගිහින් තැන් තැන් වල සැරි සරා ගමනාන්තයට යනවා වෙන්නත් පුළුවන්. මග වැරදුණු කෙනෙකුත් අහම්බෙන් හෝ ඉන්නත් පුළුවන්.

Photos taken : October 2022

10 comments:

  1. Stone Plover ත් migratory නේද?

    ReplyDelete
  2. අංක එකට කියන්න තියෙන්නේ නැවත බ්ලොගය දෙසට නැඹුරු වූවාට මෙන්නම මගේ හද පිරි මෙව්ව එක! දැං ඔන්න සතියක්ම කල් තියෙනවා ඊළඟ ශනිදා දහයට කලබලයක් නැතිව පෝස්ට් එකක් දාන්න!

    මම බ්ලොග් සොයන සෙවුම් යන්තරේ sandhakadapahana.blogspot.com ! ඒකේ ඊයේ රාත්තිරියේ වත් අද උදැහැනැක්කේ වත් පෙනෙන්නට තිබුනේ නෑ කියලයි මට හොඳටෝම මතක! ඒ දෙවෙනි කාරණේ.
    තෙවනුව ලිපිය ගැන කතා කරණ්නම්කෝ!
    සතුන් (මනුසතා හැර ) සමහර සතුන් ගේ හැසිරීම් දුටුවාම ඔවුන්ගේ සිතුවිළිද; (නිදහස් සිතුවිලි නොවේ!) අපගේ සිතුවිලි සමග කෙතරම් සමීපද නො එසේනම් සමාන්තරදැයි සිතේ.

    මෙවර පොත් පොලෙන් මා මිළදී ගත්තා මහාචාර්‍ය සරත් කොටගමගේ "සිරිලක පොදුකුරුල්ලෝ හැඳුනුම් අත්වැල" කියලා පොත් පිංචක්! ඔයාලටනම් ඒක අරුමයක් නැතිව ඇති. ඒ පොත ගත්තෙත්මට නොවේ! අර "බුෂ්මන් ධම්මික"ට! එයා ඔයාලත් එක්ක කුරුල්ලන් බලන්න ගියාට පස්සෙ; එයාම කිව්වා කුර්ල්ලන් ගැන ඉගෙන ගන්න පොතක් ගෙනත් දෙන්න කියලා!

    ඉතින් මට ඇති පුදුමය තමයි මේ තරම් දුලභ කුරුල්ලෙක්; සිටිනා වග ඔයාලට දැනගන්නට ලැබීමත් එහි යන තුරු එයා එහි සිටීමත්.
    මොකද කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝනේ!!
    ඒත් ඔයාලා එනතුරු සිටියා කියන එක පුදුම දෙයක් මටනම් මොකද කුරුල්ලන්ගේ චරියාව පිළිබඳව මම දන්නා මෙලෝ අලබෝලයක් නැති හින්දා!
    (මම හොඳින්ම දන්නා එකම කුරුල්ලා බහිරා චිකන් නම් කුරුල්ලා ගැන පමණී
    කොහොම උනත් මෙච්චර දුර්ලභ කුරුල්ලෙක් ඇවේත් උගේ පොටෝ එකක් අල්ලන්න බැරි උනා නම් ඉතින් මට කියන්න තියෙන්නේ "ජීවිතෙන් භාගයක්ම ඉවරයි!" කියලයි.

    ReplyDelete
  3. ඔය සිසිරයගෙ හැටි ඔහොමම තමා. අයාලෙ යන එක තමයි උගේ වැඩේ. හැක්..

    අගෙයි විස්තරේ රන්දිකා මැතිණිය.

    ReplyDelete
  4. මූ දුර්ලබ එකෙක්ද..එතෝට මේ දවස්වල අපේ මල්බෙරි ගහෙත් ඉන්නවානේ මේ,සයිස් ඩබලක්.සයිස් එකට නෙවෙයි උන්ගෙ සද්දෙ හැබැයි. ඒ සූටික්කා,බට්ටිච්චා වගේ උන් වෙන්ටෑ හප්පා මං දන්නවා කියලයැ ඉතින් 🐦 ගැන.

    ReplyDelete
  5. කාලෙකින් මාත් අවා. ලස්සන පෝස්ට් එකක් සහෝදරයා . මතකද මන්දා. මම කවි දුමී. වෙලාවක කවියක් ලියන්නම්. නිදහස් වෙලාවක මගෙ අලුත් බ්ලොග් එක පැත්තේ එන්න.
    ජයවේවා !!!

    ReplyDelete
  6. එහෙට මෙහෙට පියා සලන හැඩැති කුරුල්ලා
    ඇහැට ප්‍රියයි දැකගන්නට මෙහෙට වරෙල්ලා
    සතුට තමයි උන්ගේ නිදහසම තියල්ලා
    හොදට මතකෙ තිබුනාදෝ දුමී කියල්ලා....

    ජයවේවා

    ReplyDelete
  7. හුම්... දැන් myනෙක්, කපුtalk ගැන ජහමනයා කතාබතා නැතුවදෝ මන්ද

    ReplyDelete
  8. මාර ලස්සනයි පින්තුර ටික. පසුබිම් කතාවත් නියමයි. 👏

    ReplyDelete
  9. මොකද්ද මනුස්සයෝ මේ වැඩේ තේරුම? අර අහිංසක සතෙක්ට සීතලෙං බේරෙන්ට පිටරටකට ගිහිල්ල එහෙදිවත් නිදහසේ ඉන්ට දෙන්නෙ නැද්ද? අර ආර්.පී.ජී. ලෝන්චර්ස් වගෙ එව්ව උරුක් කරගෙන වටවෙලා ඌට දසවද දෙනව..මම එහෙම සංචාරක පක්සියෙක්නං කරන්නෙ පස්ස හරවල පෙන්නනව ඉඳා පොටෝ අල්ලපල්ල කියල..

    ReplyDelete
  10. හරි ලස්සන ෆොටෝ ... ඔය කුරුළු ෆොටෝ ගන්නේ ආසාවට ද , නැත්නම් ඔය වගේ ෆොටෝ වලට විශේෂ ඉල්ලුමක් තියෙනවද

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...