දිනක් පුතෙක් සිය පියා කැඳවාගෙන රාත්‍රී ආහාරය සඳහා අවන්හලකට ගොඩ වැදුනේය. වයස්ගත, ඒ නිසා ම ඉතාමත් දුර්වල පුද්ගලයෙකු වූ පියා ආහාර ගන්නා අතරේ ඇඳුම පුරාම ආහාර කොටස් විසුරුවාගත්තේ ඒ කටයුත්තේ නිසියාකාරයෙන් යෙදීමේ හැකියාවක් නොවුණු බැවිනි. අවට සිටි අනෙකුත් පුද්ගලයින් මේ සිදුවීම ඉතාමත් අප්‍රසන්න දෙයක් ලෙසින් ගෙන එකිනෙකා දෙස බලන්නට වුවත්, පුතු සන්සුන්ව ආහාර ගනිමින් සිටියේය.
ආහාර ගෙන අවසානයේ, සිදු වූ දේ පිළිබඳ ව කිසිදු ලෙසකින් අවමානයෙන් නොසිතූ ඔහු, පියා කැඳවාගෙන නාන කාමරය වෙත ගියේය.
එහිදී ඔහු පියාගේ ඇඳුමෙහි වූ ආහාර කැබලි පිස දැමීය. පැල්ලම් සෝදා ඉවත් කළේය. හිස පීරා උපැස් යුවල ද පිසදා නැවත නිසි අයුරින් පැළඳුවේය. නාන කාමරයෙන් ඉවතට පැමිණෙන විට සියල්ලන් ම මුවින් වදනකුදු නොහෙලා ඔවුන් දෙස බලා සිටින්නට වූයේ එවන් අපහසුකාරී අවස්ථාවකට ඒ තරම් සන්සුන් ලෙසින් මුහුණ දෙන්නට කෙනෙකුට හැකි වූයේ කෙසේදැයි අවබෝධකර ගත නොහැකි වූ ලෙසිනි.
අයකැමි වෙත අදාළ මුදල් ගෙවූ පුතු සිය පියා සමගින් පිටතට පිය නගන්නට වූයේය.
අවන්හල තුල ආහාර ගනිමින් මේ සිදුවීම දෙස බලා සිටි එක්තරා වයස්ගත පුද්ගලයෙකු ඒ මොහොතේදි හඬ නැගීය.
“ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මොනවා හරි තියලා යනවා කියලා?”
“නැහැ මහත්මයා, මං මොකුත් තියලා යන්නේ නැහැ”
වයස්ගත පුද්ගලයා නැවතත් හඬ නැගීය.
“නැහැ පුතා, ඔබ තියලා යනවා,
පාඩමක් සෑම පුතෙකුට ම.
බලාපොරොත්තුවක් සෑම පියෙකුට ම !.”
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
.............................................................................................
දෙවියන් සැම තැන ම! ඔබ තුල ම!
එක් පුංචි පුතෙකුට දෙවියන් මුණ ගැසීමේ බලවත් උවමනාවක් තිබිණි. දෙවියන් සිටින ඉසව්වට යන ගමන බොහෝ දුර ගමනක් බව දැන සිටි ඔහු දිනක් ගමනට උවමනා කෑම බීම සුදානම් කර, ඒ සියල්ල සූට්කේසයක අසුරා, ගමන ආරම්භ කළේය.
නිවාස තුනක් පසුකර, උද්‍යානය අසලින් පිය නගන ඔහුට බොහෝ වයස්ගත වූ කාන්තාවක් දක්නට ලැබිණි. ඇය උද්‍යානයෙහි බිම වාඩි වී අසල උන් පරෙවියන් රෑනක් දෙස නෙත් යොමාගෙන සිටියාය.
පරෙවියන් දෙස බලමින් පුංචි පුතු ද ඇය පසෙකින් වාඩි වී සිය සූට්කේසය විවෘත කළේය. ගෙන ආ බීම බෝතලයෙන් ස්වල්පයක් කෝප්පයකට දමා ගත් ඔහු එය පානය කරන්නට යත්ම, මහළු කාන්තාව කුසගින්නේ සිටින්නේ යැයි ඔහුට හැඟෙන්නට විය.
ඔහු තමන් ගෙනා ආහාරයෙන් කොටසක් ඇයට පෑවේය. ඇය ඔහු හා සිනාසෙමින් කෘතඥපූර්වක ව එය පිළිගත්තාය. ඉතාමත් සිත්ඇදගන්නාසුළු වූ ඇගේ සිනාව නැවත දකින්නට සිතක් පහළ වූ පුංචි පුතු ඇයට සිය පානයෙන් කොටසක් ද ප්‍රදානය කළේය. නැවතත් ඇය ඔහු හා සිනාසුනාය. ඔහු එයින් බොහෝසෙයින් සංතෝෂයට පත් වූයේය.
එදින මුළු හවස්වරුව ම කමින්, බොමින්, සිනාසෙමින් කාලය ගතවී ගියේය. නමුදු එකඳු වදනක්වත් ඔවුන්ගේ ඒ ප්‍රීති සමාගමයට බාධාවක් වෙමින් හුවමාරු නොවීය.
අඳුරු වැටීගෙන එනවිට පුංචි පුතුට සිය නිවස සිහිවිණි. එබැවින් පිටව යන්නට නැගී සිටියත්, ඔහුට පියවර දහයකට වඩා ඉදිරියට යන්නට අපහසු විය. ආපසු හැරී මහළු කාන්තාව වෙත පිම්මේ දිව ආ ඔහු ඇය වැළඳ ගත්තේය.
ඇය එතෙක් පෑ සිනා සියල්ලට ම වඩා විසල් වූ සිනාවකින් ඇගේ සංතෝෂය පා ඔහු වෙත සතුට ගෙන ආවාය. අනතුරුව ඔහු පිටත් ව ගියේය.
නිවසට පැමිණි සිය දරුවාගේ සතුටින් පිරුණු මුව කමළ දුටු පුංචි පුතුගේ මව් පුදුමයට පත්ව මෙසේ විමසුවාය.
“ඔයා අද ඔච්චර සතුටින් ඉන්නේ, මොනවද ඇත්තට ම වුණේ?”
“මම අද දෙවියන් එක්ක දවල් ආහාරය ගත්තානේ”යි පිළිතුරු දුන් ඔහු සිය මව යමක් පවසන්නට පෙර එයට මෙසේද එක් කළේය.
“ඔයා දන්නවද අම්මේ? මං මෙච්චර කාලෙකට දැක්ක ලස්සන ම ලස්සන හිනාව තියෙන්නේ ඇයටයි!”
මේ අතරතුරේ මහළු කාන්තාව සංතෝෂය නිසා ම දීප්තිමත් වූ මුහුණින් යුතු ව ඇගේ නිවසට ගොඩ වැදුනාය. මතක ඇති දිනෙක දැක නොතිබූ තරම් සාමකාමී ප්‍රීතියකින් යුතු වූ සිය මවගේ මුහුණ දුටු ඇගේ පුතු තිගැස්මට පත්විය.
“ඔයා අද කවදාවත් නැති තරමට ඔච්චර සතුටින් ඉන්නේ, මොනවද ඇත්තට ම වුණේ?”
“මම අද දෙවියන් සමග දවල් ආහාරය ගත්තානේ”යි පිළිතුරු දුන් ඇය සිය පුතු යමක් පවසන්නට පෙර එයට මෙසේද එක් කළාය.
“ඔයා දන්නවද? මං හිතුවාට වඩා එයා බොහොම පුංචි, හුරුබුහුටි කෙනෙක් නෙව හැබෑටම!”
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
................................................................................................
හදවතට සවන් දෙන්න!
හදවතින් සවන් දෙන්න!
මේ කතාව වියට්නාම යුද්ධයට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටි සොල්දාදුවෙකු පිළිබඳවයි. ඔහු නගරයේ සිට සිය දෙමව්පියන් ඇමතුවේය.
“අම්මේ, තාත්තේ,
මම ගෙදර එනවා.
හැබැයි මට ඔය දෙන්නාගෙන් ලොකු උදව්වක් ඕනෑ.
මගේ යාළුවෙක් ඉන්නවා. එයත් මාත් එක්ක අපේ ගෙදර එනවා. කමක් නැහැ නේද?” කරුණාවන්ත සොල්දාදුවා අසා සිටියේය.
“අනේ ඒකට මක් වෙනවද? අපි බොහොම සතුටින් පිළිගන්නවා” දෙමව්පියෝ පිළිතුරු දුන්හ.
“නමුත් පොඩි දෙයක් තියෙනවා ඔයාලා දැනගතයුතු,” පුතු තවදුරටත් කීවේය.
“එයා ටිකක් දරුණු විදිහට තුවාල ලබලා ඉන්නේ. බිම් බෝම්බයකට අහු වෙලා එයාගේ එක කකුලකුයි අතකුයි විනාශ වුණා. එයාට යන්න කිසිම තැනක් නැහැ. බලාකියාගන්න කෙනෙක් නැහැ. ඉතිං ඒකයි මං කල්පනා කළේ අපි එක්ක ජීවත් වෙන්න එයාව එක්ක ගෙන එන්න. කමක් නැහැ නේද?”
මද නිහඬතාවකට පසු පියා හඬ අවදි කළේය.
“මට ඇත්තටම කණගාටුයි පුතේ ඒ සිද්ධිය ගැන. අපි බලමු එයාට හොඳ, ගැලපෙන තැනක් හොයලා දෙන්න”
“බැහැ බැහැ. මට එයා අපි එක්ක ම නතරකර ගන්න ඕනෑ”
“පුතා,” පියා ගැඹුරු හඬින් ඇමතුවේය.
“තමුන් දන්නවද ඔය මොනවද කියන්නේ කියලා? ඔය වගේ අබ්බගාතයෙක් මේ ගෙයි තියාගත්තහම ඒක මොන තරම් කරදරයක් වෙයිද කියලා නිකමටවත් හිතුවේ නැද්ද?
අපට අපේම ලෝකයක් තියෙනවා ජීවත් වෙන්න. අපේ ජීවිතවල තිබෙන සාමකාමී පැවැත්මට හානී කරන්න ඔය වගේ කෙනෙක්ට ඉඩ දෙන්න පුළුවන්ද?
මට හිතෙන්නේ ඔය මනුස්සයාව හිතින් අහක් කරල දාලා වහාම තමුන් ගෙදර ආවොත් හොඳා. අපි නැතුවට එයා මොකක් හරි ක්‍රමයක් හොයා ගනියි ඉදිරි ජීවිතේ ගෙවාගන්න!”
ඒ මොහොතේදී ම දුරකථනය විසන්ධි විය. එයින් මතු දින කිහිපයක් යනතුරු පුතුගෙන් කිසිඳු ආරංචියක් නොලැබිණි. අනතුරුව එළඹුණු දිනයේ නගරයේ පොලීසියෙන් ඔවුනට දුරකථන ඇමතුමක් ලැබිණි. උස් වූ ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් ඔවුන්ගේ පුතු මියගිය බව එයින් කියැවුණු අතර පොලිසීයේ විශ්වාසය වූයේ එය දිවිනසා ගැනීමක් බවටයි.
බලවත් ශෝකයෙන් පීඩාවට පත් වූ දෙමව්පියෝ නගරය වෙත ඉගිල ගියෝය.
ඔවුන්ට මෘත ශරීරාගාරයේදී සිය පුතුගේ මළ සිරුර දක්නට ලැබුණු අතර ඔවුන්ව මහත් වූ පශ්චාත්තාපයක ගිල්වමින් ඔවුන්ගේ එක ම පුතු එක් අතක් සහ එක් පාදයක් සහිතව සදාකාලික නින්දට පත්ව සිටියේය.
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
.............................................................................................
සුරතලාගේ අධිරාජ්‍යයා!
බොහෝ කලකට එපිට ඉතාමත් දරුණු, දුෂ්ට හා අධර්මිෂ්ට වූ අධිරාජ්‍යයෙක් සිටියේය. ඔහුගේ මේ කෘර ස්වභාවය නිසා රට වැසියෝ භය බිරාන්ත ව දිවි ගෙවූහ. ඔවුන්ගේ ජීවිත ලෝකුරු නරකයේ පැසෙන්නාක් බඳුවිය.
මේ කෘර අධිරාජ්‍යයාට සුරතල් බල්ලෙකු සිටියේය. ලොව සිටින කිසිම කෙනෙකුට වඩා, ලොව තිබෙන කිසිම දෙයකට වඩා ඔහුගේ සිත්ගත් යමෙක් වේ නම් ඒ මේ කියන සුරතල් බල්ලාය. ඔහු බල්ලාට තමන්ගේ ම පුතෙකුට මෙන් සැප සම්පත් දී ඇති දැඩි කළේය.
ඒ කෙතෙක්ද යත් අධිරාජ්‍යයා තරමට ම හෝ සමහරවිට ඊටත් වඩා ඔහුගේ සුරතලා රටවැසියන් අතර ප්‍රසිද්ධ චරිතයක් වී තිබිණ.
දිනක් උන්හිටි හැටියේ බල්ලා මිය ගිය අතර එයින් ශෝකයෙන් වියරු වැටුණු අධිරාජ්‍යයා සිය සුරතලා වෙනුවෙන් අවමංගල්‍යය මහෝත්සවයක් සංවිධානය කරන්නට අණ දුන්නේය.
රට වැසියන් වැල නොකැඩී බලු අවමගුලට එන්නට විය. අධිරාජ්‍ය්‍යාගේ සිතෙහි දුක අතුරුදන් වි සතුට රජයන්නට විය. අවසන් දිනයේ සුසානභුමිය රටවැසියන්ගෙන් අතුරුසිදුරු නැතිව පිරී ඉතිරි ගියේය. ජනතාව තමන්ට දක්වන ආදර ගෞරවයේ මහිමය පිළිබඳ ව උද්දාමයට පත් වූ අධිරාජ්‍යයා තමන් ලොව සිටින ජනප්‍රිය ම පාලකයා බව සිතා සතුටින් මුසපත් විය.
මද කලකින් අධිරාජ්‍යයා ද මිය ගියේය. බලු අවමගුලට ආ එකඳු රටවැසියෙකු තබා රටවැසියෙකුගේ බල්ලෙකුවත් ඒ අවමගුලට පැමිණියේ නැත.
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
..........................................................................................
නුඹේ සිහිනය ලොවට දකින්න ඉඩ හරින්න!
නුඹේ සිහිනය පැහැර ගන්න ඉඩ නොදෙන්න!
මට විශාල අශ්ව ගොවිපලක හිමිකරුවකු වන මිතුරෙකු සිටියි. එක් කලෙක, අවධානම් සහිත ව්‍යාපෘති වල නියැලෙන තරුණ තරුණියන්ට අවශ්‍ය ප්‍රතිපාදන එක්රැස් කිරීමේ ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට ඔහු ඔහුගේ විසල් නිවස මා වෙත ලබා දී තිබුණි.
දිනක් මගේ මිතුරා ව්‍යාපෘති කණ්ඩායම අමතා, අසා සිටින්නට කැමත්තක් ඇතිවන කතාවක් පැවසුවේය.
“ජැක්ට මගේ නිවස මේ කටයුත්තට භාවිතා කරන්නට ඉඩ දෙන්නේ ඇයිදැයි ඔයාලාට පහදා දෙන්න මට උවමනායි” ඔහු කීවේය.
“මේ කතාව තමන්ගේ තාත්තා ජීවිකාවට අශ්වයෝ පුහුණු කරමින්, ස්තාලයක් ස්තාලයක් ගානේ, තුරඟ තරඟ පථයක් පථයක් ගානේ, ගොවිපලක් ගොවිපලක් ගානේ, අවුරුද්ද පුරා ඇවිද්ද නිසා ඉස්කෝල ගමන කඩාකප්පල් වුණු තරුණ පුතෙකුගෙන් පටන් ගන්නේ. එක් වරක් ඒ ළමයා ඉස්කෝලේ ඉහළ පංතියක ඉන්දැද්දි, පාසලින් ඉවත් වුණාට පස්සේ කරන්න බලාපොරොත්තු වන දේ ගැන රචනාවක් ලියන්න ලැබුණා.
“එදා රැයේ එයා සම්පූර්ණ පිටු හතක රචනාවක් ලිව්වා. ඒ කවදා හෝ විශාල අශ්ව ගොවිපලක හිමිකරුවකු වීමේ තමන්ගේ ඉලක්කය, සිහිනය ගැන. ඒ ලියැවිල්ල පුංචි කරුණක් ගැන පවා සටහන් වුණු සවිස්තරාත්ම රචනාවක්.
කොටින්ම ඒ ළමයා අක්කර 200ක වපසරියක පැතිරුණු විශාල අශ්ව ගොවිපලක සිතියමක් පවා ඇඳ තිබුණා. අවශ්‍ය කරන සියලුම ගොඩනැගිලි, ස්තාල වගේම අශ්ව පථ ආදි සියල්ලම තිබුණු ඒ සිතියම ඉතාම අනර්ඝ තත්ත්වයේ තිබුණු බව මට අද වුණත් කියන්න පුළුවන්. ඒ සිතියමට ඉතාමත් සවිස්තරාත්මක ව ඇඳපු වර්ග අඩි 4000ක නිවසක් ද ඇතුලත් වුණා.
“ඔහු මුළු හදවතින් ම සිය සිහිනයට බැඳී සිටියා. පසුදා තමන්ගේ සිහිනය සටහන් වුණු සත් පිටු ව්‍යාපෘතිය ඔහු තමන්ගේ ගුරුවරයාගේ අතපත් කළා. දවස් දෙකකට පස්සේ එය නැවත ඔහුට ලැබුණා.
නිකං නෙමෙයි ඉස්සරහ පිටුවේ ලොකු එෆ් අකුරක් එක්ක. ‘පංතියෙන් පසු මා හමුවන්න’ කියලත් ඒකේ ලියලා තිබුණා.
“ඒ සිහිනය හිතින් අරගෙන, කිව්ව විදිහට ම ළමයා ගුරුතුමා හමුවන්න ගියා.
‘ඇයි මට එෆ් අකුරක් ලැබුණේ?’
ගුරුතුමා මේ විදිහට කිව්වා.
‘මේක තමුන් වගේ පොඩි කොල්ලෙක් හිතන්නවත් හිතන්න හොඳ නැති තරමේ වැඩක්නේ. තමුන්ට කොහෙද සල්ලි? තමුන් වගේ තැනින් තැන යන පවුලක කෙනෙකුට කොහෙන්ද සම්පත්? විශාල අශ්ව ගොවිපලක අයිතිකරුවෙක් වෙන්න ඕනෑ කරන මුදල් ප්‍රමාණය තමුන්ට හිතාගන්නවත් බැහැ ළමයෝ. මේ ඇඳලා තියෙන අක්කර දෙසීයේ ඉඩම ඔයා මිල දී ගන්න? හීනෙන්වත් පුළුවන්ද?
මේවා ආවාට ගියාට කරන්න බැහැ. ඉතාමත් හොඳ තත්ත්වයේ සත්තු මිලදී ගන්න ඕනෑ. උන් ව නඩත්තු කරන්න ඕනෑ. මේ වැඩේ තමුන්ට ජීවිතේටවත් කරන්න බැහැ.’ ගුරුතුමා කියවාගෙන ගියා. ‘හ්ම්... තමුන් වඩා යථාර්තවාදී ඉලක්කයක් ඇතුව රචනාව ආයේ ම ලියලා දුන්නොත්, එෆ් අකුරෙන් එහා ගිය අකුරක් ගැන සළකා බලන්න මට පුළුවන්’
“ළමයා ගෙදර ගියා. තදින්, ගැඹුරින් ඒ ගැන හිතුවා. කරන්න ඕනෑ මොකක්දැයි තාත්තාගෙන් ඇහැව්වා.
‘බලන්න පුතේ, ඔයාමයි ඔයාගේ හිත හදාගන්න ඕනේ. කොහොම වුණත් මේ තීරණය ඔයාගේ ජීවතයේ තීරණාත්මක කාරණයක් වනවා’ තාත්තා කිව්වේ එහෙමයි. කොහොම හරි අවසානයේ සතියක් කල්පනා කරපු ළමයා තමන්ගේ පළමු රචනාව ම ගුරුතුමාට දුන්නේ එක අකුරක්වත් වෙනස් නොකරයි.
‘ඔබතුමා ඔබතුමාගේ එෆ් අකුර තියා ගන්න. මං මගේ සිහිනය තියා ගන්නම්’ ළමයා ගුරුතුමාට කිව්වේ එහෙමයි.”
ව්‍යාපෘති කණ්ඩායම දෙස හොඳින් බැලූ ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය.
“මම මේ කාරණය ඔයාලාට කියන්න හිතුවේ දැන් ඔයාලා මේ ඉඳගෙන ඉන්නේ මගේ ඒ අක්කර දෙසීයේ ඉඩම මැද පිහිටපු, වර්ග අඩි හාරදාහේ ඒ ගෙදර බව කියන්නයි. හොඳට බැලුවොත් පෙනෙයි අර උදුනට ඉහළින් රාමු කරලා එල්ලලා තියෙන මගේ ඒ රචනාව.”
ඔහු තවදුරටත් පැවසුවේය.
“හොඳ ම සිද්ධිය කියන්නේ ගිම්හාන සෘතු දෙකකට කලින් ඒ ගුරුතුමා ළමයින් 30 දෙනෙකු එක්ක සතියක කඳවුරක් සඳහා මගේ ගොවිපළට ආවා. ඒ ඇවිල්ලා යනකොට එතුමා මෙහෙම කිව්වා.
“බලන්න පුතේ, මට මේ දේ නොකියා ම බැහැ. ඔයාගේ ගුරුවරයා ව උන්නු කාලේ මම මහා නරක, භයානක හොරෙක්, සිහින හොරෙක්.
ඒ කාලේ මං ගොඩක් දරුවන්ගේ සිහින හොරා ගත්තා.
දෙවියන්ට ස්තුතිවේවා!
ඔයාගේ සිහිනය හොරා ගන්න මට ඉඩ නොතියන්න තරම් ඔයා නුවණක්කාර වුණා”
පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු
කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
......................................................................................
සෑහෙන කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් පල කරන්න බැරි වුණා. ඉතිං පහුගිය දවස් වල පරිවර්තනය කරපු කෙටි ලිපි කිහිපයක් මේ විදිහට පල කරන්න හිතුණා.
Rasai...
ReplyDeleteAluth potha da?
අලුත් පොතකට පෙරහුරුවක් වගේ දෙයක් :)
ReplyDeleteලස්සනයි
ReplyDeleteස්තුතියි
Deleteහැක්... මම හිතුවෙ අර මාගල් රවී අයිය ගිය පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර දෙන්නැතුව තව එකක් දාල කියල. බලපුවම මේ රන්දිල් නෙ.
ReplyDeleteකියවල ඇවිල්ල ආයෙ කොමෙන්ට් එකක් දාන්නං.
මං මේ බයෙන් බයෙන් කොමෙන්ට් කියවාගෙන යන්නේ. කවුද බොලේ මේ ඇලිස් කියලා කවුරු ම හරි අහයි කියලා. මීට කලින් අන්තිම පෝස්ට් එක දාලා තියෙන්නේ 2014 නොවැම්බර් 14. සමහරවිට ඊට පස්සේ ඉපදුණු අයත් මේකේ ෆලෝවර්ස්ලාද දන්නේ නැහැ නෙව. :v
Deletehodai
ReplyDeleteඑහෙනං හොඳයි
Deleteලස්සන කතා ටික.
ReplyDelete"මේ කතාව වියට්නාම යුද්ධයට සහභාගී ... ..." මෙ කතව කියෙව්වම මතක් වුනෙ ටික කලෙකට ඉස්සර ගිය ගුවන් විදුලි නාට්‍යයක්. එකෙ සෙබලෙක් ගෙ ගෙදරට දවසක් එනව මූණ විරූපි වුණු තරුණයෙක්. ඔහු ඇවිත් ඒ ගෙදර දෙමහල්ලන්ට කියනව 'මං ඔබේ පුතා එක්ක එකට සටන් බිමේ හිටියේ, එයා යුද්දෙන් මිය ගියා, පණිවිඩය දැනුම් දෙන්න මන් ආවෙ' කියල.
කන බොන වෙලාවෙදි වුනත් ඔහුගෙ බොහෝ පුරුදු තම පුතාගෙ පුරුදු වලට සමාන නිසා අර මවයි පියයි මේ තරුණයට බොහොම සමීප වෙනවා. ඔහු කියනවා ඒ පුරුදු මට හුරු වුනේ ඔබේ පුතාගෙන් කියල. අවසානයේ මොකක් හෝ දෙයකින් රහස එලි වෙනවා.
ලස්සන කතාව ඒක, ඔබත් සමහර විට කියවලා/අහලා ඇති.
රුසියන් කතාවක ඇතුලෙ තියෙන කතාවක් වගේ මතක
Deleteමටත් මතකයි ඔය නාට්‍යය හරි රූපවාහිනි නාටයයක් හරි මාත් බලලා තියෙනවා වගේ. පුතා මැරුණට පස්සේද මන්දා රහස හෙළි වෙන්නේ. ස්තුතියි ඇනෝ
Deleteරුසියන් කතාවක් තමා.. තරුණයා යුධ ටැංකියක අණ දෙන නිළධාරියෙක්.. යුධ ටැංකියට පහර එල්ල වෙලා ඒක ගිනි අරන්, මෙයාව පිච්චිලා විරූපී වෙනවා.. එයා අර ගෙදර ඇවිල්ලා අර වගේ බොරුවක් කියන්නෙ මොකද එයා දකිනවා තමන්ව දකින දකින කෙනා - එයාගෙ ගමේ අය, යාළුවො, දෙමවුපියන් - කොච්චර අපහසුතාවට පත්වෙනවද කියලා තමන්ගෙ ස්වරූපය නිසා.. ඒත් අන්තිමේදි එයාගෙ පෙර ආදරවන්තිය එයාව අඳුරගන්නවා..
Deleteමේ හා සමානම කතාවක් තියෙනවා 'සැබෑ මිනිසෙකු ගේ කතාවක්' පොතෙත්.. මේකම ද කියලා මතක (ෂුවර්) නෑ..
සැබෑ මිනිසෙකුගේ කතාවක් ආයේ කියවන්න ඕනෑ. ඒකත් දැන් මක්සිම් ගෝර්කිගේ අම්මා වගේ ඒ සැබෑ මිනිසෙකුගේ කතාවක් කියන නමින් ම එක එක මුද්‍රණ ගොඩක් තියෙනවානේ.
Deleteසැබෑ මිනිසෙකුගේ කතාවක් ආයෙ කියවලා බැලුවා.මීට ලඟින් යන කොටසක් විදිහට යුද්ධ ටැංකි හමුදාවේ ලයිතන් තැන්පත් ග්වොස්දෙව් සහ ව්යිද්‍ය විද්යාලේ තුන්වන වසරේ සිසු අන්යූටා ගෙ කතාව නෙ ඒකෙ තියෙන්නෙ.ඇනෝ කියන කතාව ඒක නෙමෙයි.. බොහොම සැරට විස්තර කෙරුනු වෙන කතාවක්.
Deleteහරිම අපුරුයි නෝනා....ස්තූතියි...
ReplyDeleteඅර අන්තිම එක මම ප්‍රසිද්ද මෝටර් රථ සමාගමක හිමිකරුවෙක් සම්බන්ධයෙනුත් අහලා තිබුනා......
ස්තුතියි සෙන්නා. මට ඔයාව දැක්ක කාලේ ඉඳන් මතක් වෙන්නෙත් මෝටර් රථ සම්බන්ධ කෙනෙක්. අයර්ටන් සෙන්නා. හිටියා නං මේ 21 වෙනිදාට අවුරුදු 56ක්!
Deleteඅයර්ටන් සෙන්නා මගෙත් වීරයෙක්... ඔයා කැමතිනම් ඒ වෙනුවෙන් වෙන කෙනෙක්ට විශ් කරනන් පුළුවන් එදාට... හෙහ් හෙහ්
Deleteහැබෑට? මේ සෙන්නාත් එදාමද?
Deleteහ්ම්ම්ම්ම්ම්ම්
Deleteපළමු කටහ්ව දැක්කඊයේ පෙරේද මුණු පොතේද කොහෙද. අනිත් කතා ටික සැහෙන්න හොඳයි. අර පුංචි පුතාගේ කතාව නම් සැහෙන්න සිත් ගත එකක්.
ReplyDeleteස්තුතියි අජිත් අයියා. මේ කතා සේරම පහු ගිය සතියේ දිනපතා ෆේස් බුක් පළ කරපුවා තමයි.
Deleteහොඳ කතා එකතුවක්... පුළුවන් නම් අසිරි සිරිනි පොත් එකතුව කියවන්න.. මෙහෙම කතන්දර හුඟයි ඒකේ..))
ReplyDeleteස්තුතියි වැසි...
Deleteඅසිරි සිරිනි කියන්නේ චිකන් සූප් කතා නේද? තාම කියවන්න ලැබුණේ නැහැ. කියවලා බලන්න ඕනෑ.
ඔව් ඔව් චිකන් සුප් කතා තමා.. ලස්සනයි පරිවර්තන ටික.පී.බී.අල්විස් පෙරේරාගේ දුව තමා පරිවර්තනය කරලා තියෙන්නෙ..
Delete:)
Deleteමම ඔබගේ පෝස්ට් එකක කමෙන්ට් කරන පලමු වතාව. මේ පරිවර්ථන ටික එකකට එකක් දෙවෙනි නැහැ. බොහොම ස්තූතියි.
ReplyDeleteස්තුතියි ඉයන්. වෙලාව තියෙන විදිහට දිගටම කරන්නයි හිතාගෙන ඉන්නේ
Deleteහරිම ලස්සනයි . ස්තුතියි !
ReplyDeleteස්තුතියි ඔබටත් !
Deleteලස්සණයි, බොහොම ස්තූතියි.
ReplyDeleteස්තුතියි හසිත!
Deleteගන්න දේවල් බොහොමයි...
ReplyDeleteසංතෝෂයි :)
Deleteහදවතට සවන් දෙන්න!
ReplyDeleteඒක ලස්සන කතාවක්
ස්තුතියි අටම්!
Deleteඅප්පේ ඇති යාන්තං ඔය ඇවිල්ල ඉන්නෙ වල් හාවා විය ගහත් කරේ තියාන යද්දි යන්තමට හඳ දැක්ක වගෙ.. ..
ReplyDeleteකිව්වම මොකද මට මේ සුමේ කරල අපෝ වෙලයි තිබ්බෙ....:)
අපෝ වෙලා නං ඉතිං මක් වෙනවද? එපා වෙලා නං තමයි ගැටළුව. ඔහොම යං ඔහොම ම යං. මං මේ වියගහ අන්න අරහෙන් තියලා එඤ්ඤං.
Deleteමොකද්ද විය ගහ කියන්නෙ?
Delete"අපෝ කරනවා" කියනවා නේද පොඩි ළමයි නලවන එකට ?
Deleteඉයන්,
Delete//වියගහ කියන්නේගොවියන් කුඹුරු සී සාන විට හරකුන් දෙදෙනකු එකට ගැට ගිසීමට උපයෝගී කර ගන්නා ලී දණ්ඩක්. මේ විය දණ්ඩ හදන්නේ ඉතා ශක්තිමත් ලීයකින්. එය ලෙහෙසියෙන් කැඩෙන්නේ නෑ. ගොවීන් අවුරුදු ගණනාවක් එකම විය දණ්ඩ කුඹුරු සී සෑම සඳහා භාවිතා කරනවා. මෙය කැඩී බිඳී යන්නේ ඉතාම කලාතුරකින්. මේ වියදණ්ඩ යම් හේතුවක් නිසා කැඩුනොත් එක ගෙදර ගෙනැවිත් දර ලිපට දමන එකයි ගොවියන්ගේ සිරිත. එහෙමත් කලාතුරකින් තමයි කෙනෙක් මේ ලීය අතරමග කැලයකට විසි කරලා එන්නේ.//
-ඇල්කෙමියාගේ දිනපොත-
ඇත්තට ම විය ගහ කියන්නේ මොකක්ද? විය සිදුර කියන්නේ ඉඳිකටු සිදුර නිසා විය ගහ කියන්නේ ඉඳිකට්ට වෙන්ඩ බැයිද? :D
Deleteඅපෝ කරනවා කියන්නේ මොකක්දැයි මං නං දන්නේ නැත. ඒක වෙලා තියෙනවා කියන අයගෙන් ම ඇසිය යුතුව ඇත. :)
සෙන්නා,
Delete/ "අපෝ කරනවා" කියනවා නේද පොඩි ළමයි නලවන එකට ?/
නෑ නේද? පොඩි ළමයි නලවනවට කියන්නෙ පරක් කරනවා කියල නම් කියනවා. අපෝ වෙනව කියන්නෙ එපාම වෙනව කියන එක.
රවී අයියා, අපේ පැත්තේ එහෙම කියනවා බන්ස්...
Delete"අනේ මෙන්න මේ ළමයව පොඩ්ඩක් අපෝ කරගන්න.. බෙරිහන් දෙනවා ඉවරයක් නෑ...."
" අනේ මේ ගෑනිට මේ ළමයව අපෝ කර ගන්න බැරි හැටියක්..."
ඔන්න ඔය වගේ....
බොහොම අගේ ඇති කතා ටික.ඔය වගේම පොඩි පොඩි වීඩියෝ කෑලි ජංජාලෙන් අහු උනාම බලනකොට උගුරෙ ලොකු බෝලයක් හිරවෙනවා..ඒ ගතිය වගේ එකක් දැනෙනවා කියවනකොටත්..
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ගස්...
Deleteඑහෙම කියනකොට දරපු උත්සහය ඵල දරලා තියෙනවා කියලා හිතෙනවා
කතා ඔක්කොම වගේ හොඳයි...
ReplyDeleteවැඩියම හිත් ගත්තේ පුංචි පුතා ගේ කතාව...
///දෙවියන් සිටින ඉසව්වට යන ගමන බොහෝ දුර ගමනක් බව දැන සිටි ඔහු දිනක් ගමනට උවමනා කෑම බීම සුදානම් කර, ඒ සියල්ල සූට්කේසයක අසුරා, ගමන ආරම්භ කළේය.///
මෙතන "සුට්කේසයක" කියන වචනේ නැති උනානම් කියල හිතෙන්නේ මොකද මන්ද...
මේ කතාව පැරණි රුසියන් පරිවර්තන කතා ඌරුවට තව සුට්ටක් බර වෙලා තිබ්බනම් තවත් හොඳයි කියල හිතෙනවා...
ස්තුතියි ඔබට...
ස්තුතියි ලොකු පුතේ,
Deleteදෙවියනේ, මං හිතුවේ මේ වාක්‍යය කොපි කරලා තියෙද්දි රිපීට දෝෂේ පෙනිලා තමයි කියලා. පේනවා නේද මේ වැකියේ ගමන හතර පාරක් තියෙනවා. මාත් පස්සේ දැක්කේ.
ඔව් සූට් කේසයක නොකියා බෑගයක කියලාවත් කියන්න තිබුණා නේද? :)
හිතන්න දේවල් ගොඩක් ..
ReplyDeleteඔයාගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන පලවෙනි වතාව :)
ස්තුතියි.
Deleteපේනවා නේද මගේ වැඩ ඉතිං :)
ආ! රන්දිකා මැඩොං ඉන්නවා නේද බොලේ.. මං හිතන් උන්නෙ රවියට මේක සින්නකරම බාර දීලා උන්දෑ වෙන කොහේ හරි පැල් කොටයක් අටවං ඇති කියලා.. :-D
ReplyDeleteඉන්නවා ඉන්නවා. මං මේ දවස් වල බෝඩ් වෙලා ඉන්නේ ෆේස් බුහ් එකේ. මේ වීක් එන්ඩ් එකට ගෙදර ආපු ගමන්! :D
Deleteකවුද බං රන්දිකා කියන්නෙ? රවී උඹ උඹේ බ්ලොග් එක කුලියටවත් දුන්නද?
ReplyDeleteඔව් දුන්නානේ. කාලයේ ඇවෑමෙන් කුළි ගෙදර සින්න වුණා. දැන් කලින් අයිතිකාරයාට ආවහම ඉන්න පොඩි ගාණකට පොඩි කාමරයක් දීලා තියෙනවා, හිතවත් කොමට.
Deleteහිතට වැදුන කතා ටික
ReplyDeleteස්තුතියි. :)
DeleteMy favorite is the last one. :)
ReplyDeleteI know it very well. :)
Deleteහරිම අපූරු කතා ටික. රන්දිල්ගේ පෝස්ට් කියවලා තිබුනට අදහසක් දාන පලවෙනි වතාව වෙන්න ඕනේ. අපි ඒත් හිතුවා කුලීකාරයටම ගේ බාරදීල අයිතිකාරි ගම රට දාල ගිහින් දෝ කියල :)
ReplyDeleteස්තුතියි.
Deleteමෙහෙමනේ වැඩේ. වැඩි ගාණකට දෙන්න පුළුවන් ගේ දොර කුළියට දීලා, ඇනෙක්ස් එකක ජීවත් වුණාම අතට ගාණකුත් ඇවිත් ඉන්න හිටින්න තැනකුත් තියෙනවා නෙව. මේ වීක් එන්ඩ් එකට ගෙදර ආපු ගමන්! :D
කවුද ඩෝ අපේ රවියගේ බ්ලොගේ අනම් මනම් ලිව්වේ? අවුවෙන්ඩ එපා, අරී?
ReplyDeleteකාගෙන්ද ඩෝ එහෙම ඇහැව්වේ? :D
Deleteමේවා මුණුපොතේ ෂෙයාර් කළාද මීට කලින්. මම කියවල තියෙනෝ නේ...
ReplyDeleteආ මැඩම්.. අනුන්ගේ බ්ලොග් වල කුරුටු ගාන එක හරි නෑ නේද? හැක්..
ජය වේවා ඔය මදෑ ඉතිං 2014 න් පස්සේ හරි බ්ලොග මතක් උනා
ඔව් ඔව් සඳුදා සිට සිකුරාදා දක්වා මුහුණු පොත් කොටස් වශයෙන්,
Deleteසෙනසුරාදාට සති අග දෝණි... වැරදුනා සති අග බ්ලොග් පෝස්ට් :D