Saturday, March 19, 2016

121. ගඟට ඉනි කපන නෙක විධි තියේ... සහ තවත් කතා




නැවක් හැබෑ නම්...!


දිනක් එළිමහනේ වාඩි වී හිරු එළිය විඳ ගනිමින් සිටි මවක අසලට ආ ඇගේ එකම පුතු මෙසේ අසා සිටියේය.

“අම්මේ, මං ප්‍රශ්නයක් අහන්නද?”

“අහන්න පුතේ... ඒක නම් ලොකු ම ලොකු ප්‍රශ්නයක් වගේ?” මව සිනා සෙමින් කීවාය.

“ඇයි අම්මේ අම්මටයි මටයි මොල්ලි තියෙන්නේ?”

“මේකනේ පුතේ, අපේ ජිවිත කාලෙන් වැඩි හරියක් ගෙවෙන්නේ කාන්තාරේ. ඉතිං වතුර නැති කාන්තාරේ ඉන්නකොට අපට උවමනා කරන වතුර එකතු වෙලා තියෙන්න තමයි අපිට මොල්ලි ලැබිලා තියෙන්නේ.

ඔයා දැනන් උන්නේ නැහැනේ, වතුර පොදක් වත් බොන්න නැතුව ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන් අය හැටියට අපි හරි ප්‍රසිද්ධයි” අම්මා ආඩම්බරයෙන් පැවසුවාය.

“හොඳයි, එතකොට මොකද මේ මෙච්චර දිග, කෝටූ වගේ කකුල් අපට ලැබිලා තියෙන්නේ? අර බලන්නකෝ අර අලින්ගේ කකුල්, ඒවා මහත, රවුම්, ලස්සන කකුල්!”

“ඇත්තට ම පුතේ, ඒකත් මුලින් කිව්ව කාරණේ වගේ තමයි. මේ වගේ දිග, ශක්තිමත් කකුල් තියෙන නිසා තමයි අපට කාන්තාර මැදින් ලේසියෙන් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අලින්ගේ වගේ කකුල් තිබුණා නං එහෙම යන්න වෙන්නේ නැහැ”

“හරි... ඒකත් එහෙමයි කියමුකෝ. එතකොට මොකද අපේ ඇහි පිහාටු මෙච්චර ඝණකම් වෙලා, මහා ගොඩක් දිග වෙලා තියෙන්නේ? මට නං ‍එපා වෙනවා. සමහර වෙලාවට මට හරියට පේන්නෙත් නැහැ මෙව්වා නිසා,”

“හා... හා... මගේ පුතේ එහෙම කියන්න එපා. මේ දිග, ඝනකම් ඇහි පිහාටු නිසා තමයි කාන්තාරේ යද්දි, හුළඟින්, වැල්ලෙන් අපේ ඇස් ආරක්ෂා වෙලා තියෙන්නේ. නැත්නම් අපේ ඇස් ඉක්මනට අන්ධ වෙනවා” අම්මා පැහැදිලි කළාය.

මද වේලාවක් කල්පනාවේ ගත කළ පුතු මෙසේ නෝක්කාඩු කියන්නට වන්නේය.

“කාන්තාරේ ජීවත් වෙන්න ඇති තරම් මොල්ලියේ වතුර තියෙද්දි,

එහෙදි ඇවිදින්න කදිමට ගැලපෙන කකුල් තියෙද්දි,

ඇස් පරිස්සම් කරගන්න ලොකුවට ඇහි පිහාටු තියෙද්දි,

අපි මේ සත්තු වත්තට වෙලා මොනවා කරනවද මන්දා,"




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

**************************************************************



පෙනීම සහ දැකීම!



ඉතාමත් ධනවත් පවුලක පියෙකුට, දුප්පතුන් සහ ධනවතුන් අතර වෙනස තම පුතුට පහදා දීමට උවමනා විය.

ඒ සඳහා ගම්බද ව ගොවිපොළක් පවත්වාගෙන යමින් ජිවත් වූ, දුප්පත් යැයි ඔහුට හැඟුනු පවුලක් හා සමඟ දින කිහිපයක් ගත කිරීමට කටයුතු සූදානම් කෙරිණ. 

ආපසු එන ගමනේ පියා පුතුගෙන් මෙසේ ඇසුවේය.

“ඉතිං, කොහොමද මේ පාර ගමන?”

“ඒක නං නියමයි තාත්තේ!” සතුටින් පිනා ගිය පුතු පිළිවදන් දුන්නේය.

“දැන් තේරෙනවා නේද දුප්පතුනුයි පෝසතුනුයි අතර වෙනස මොන වගේද කියලා”

“අපොයි ඔව්. හොඳට තේරුණා,”

“බොහොම හොඳයි පුතා, දැන් මට කියන්න බලන්න මේ ගමනින් ඔයා ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා”

පියා දෙස මද වේලාවක් බලා සිටි පුතු පිළිතුර පෙළ ගස්වන්නට වූයේය
.
“අපිට ගොඩක් සල්ලි දීලා ගත්ත, බල්ලෙක් ඉන්නවා. එයාලාට ගමේ ගොඩේ දුවලා පැනලා ඇවිදලා ඉන්න බල්ලෝ හතර දෙනෙක් ඉන්නවා,

අපට පිඟන් ගඩොල් අල්ලපු නාන තටාකයක් වත්ත මැද තියෙද්දි, එයාලාට නාන්න තියෙන්නේ ඉමක් කොනක් පේන්නේ නැති කලපුවක්,

අපේ මිදුලේ, තාත්තා පිට රටින් ගෙන්නපු ලාම්පු හයි කරලා තියෙද්දි, අහස පුරා පායපු තරු මහා ගොඩක් තමයි එයාලාට තියෙන්නේ,

අපේ ගෙදර අංගනය ගොඩක් වියදම් කරලා හදලා, අපට ම වෙන් වෙලා තියෙද්දි, ක්ෂිතිජයට ම විහිදිච්ච එයාලාගේ ඉඩමට මායිමක්වත් නැහැ,

අපට අපේ වැඩ කරලා දෙන්න වැඩට කට්ටිය ඉඳිද්දි, එයාලා වටේ ම අයට වැඩ කරලා දෙනවා,

අපි අපේ කෑම කඩෙන් මිලදී ගනිද්දී, එයාලා ඒවා තමන් ම වවා ගන්නවා,

අපේ ගෙදර වටේට උසම උස තාප්පයක් තියෙන නිසා කාවවත් පේන්නේ නැහැ, කාටවත් පේන්නෙත් නැහැ, ඒත් එයාලා සේරම එකම ඉඩමක හදපු ගෙවල් වල ඉන්නවා වගෙයි”

තම පුතුගේ හැදෑරීම පිළිබඳ ව බොහෝ සෙයින් සතුටට පත් වූ පියා දයාවෙන් ඔහුගේ හිස පිරි මැදීය.

“ඉතිං තාත්තේ, ඔයාට ගොඩාක් ස්තුතියි අපේ දුප්පත් කමේ තරම මට මෙච්චර හොඳට පෙන්නලා දුන්නාට,”







පරිවර්තනය:

රන්දිකා රණවීර ප්‍රනාන්දු



කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************



ගඟට ඉනි කපන නෙක විධි තියේ...





එක්තරා රටක, තම සේවකයින් හට හොඳින් සලකන, සාධාරණ වේතන ගෙවන ලී වෙළෙන්දෙක් සිටියේය. දිනක් තරුණයෙකු රැකියාවක් පතා මේ වෙළෙන්දා සොයා ආ අතර ඔහුගේ බලාපොරොත්තුව සඵල විය.

තමන්ට පැවරෙන කවර කාර්යය වුවද හැකි උපරිම අයුරින් ඉටුකිරීමට ඉටාගත් තරුණයා පළමු දින හිමිදිරියේ ම රැකියාවට වාර්තා කළේය.

ශක්තිමත්භාවය නිසාම ඔහුට පැවරුණ රාජකාරිය වූයේ ගස් කැපීමයි. වෙළෙන්දා පොරවක් දී ඔහුගේ සීමාව පෙන්වා දුන්නේය.

පළමු දිනයේ බොහෝ වෙහෙස වී වැඩ කළ තරුණයා හවස් වනවිට විසල් ගස් දහඅටක් කපා බිම හෙලීමට සමත්විය.

“බොහොම සංතෝෂයි, ළමයා බොහොම සංතෝෂයි.

මේ විදිහට දිගට ම වැඩකරගෙන ගියොත් තමුන් ඉක්මනින් දියුණු වෙනවා සිකුරුයි”යි පැවසූ සාධාරණ වෙළෙන්දා ඔහුට දෛනික වේතනය ගෙවන විට වැඩිපුර ගණනක්ද එයට එකතු කරන්නට අමතක නොකළේය.

එයින්, වියයුතු පරිදීම ‍තව තවත් ධෛර්යයට පත් වූ තරුණයා පසු දා පෙරදාටත් වඩා මහන්සි වී වැඩ කළේය. නමුත් එදින ඔහුට කපා ගත හැකි වූයේ ගස් පහළොවක් පමණි. එයින් ඔහු මදක් සිත් තැවුලට පත් වූවත්, ඊට පසුදා වඩා පාන්දරින් පැමිණ රාජකාරිය ඇරඹීමට ඉටා ගත්තේය.

අවාසනාවක මහත! කෙතරම් මහන්සි වුවද, එදින ඔහු සතු වූයේ ගස් දහයක වාර්තාවක් පමණි. දවසින් දවස කැපෙන ගස් ප්‍රමාණය අඩු විය.

“අනේ දෙවියනේ, එන්න එන්න ම මගේ ශක්තිය හීන වෙලා යනවද? මං මොකද කරන්නේ, මුදලාලි මං ගැන මොනවා හිතනවා ඇද්ද?”යි සිතමින් තරුණයා වික්ෂෝප වන්නට විය.

අවසානයේ ඔහු වෙළෙන්දා හමු වී මේ කාරණය පැහැදිලි කරන්නට සිතීය.

“මහත්තයා, මට සමා වෙන්න, මං පුළුවන් තරම් උත්සහ කළා මුල් දවසටත් වඩා හොඳින් දිගට ම වැඩ කරන්න, ඒත් මටත් හිතා ගන්න බැරි හේතුවක් නිසා එන්න එන්න ම කැපෙන ගස් ගණන අඩු වෙනවා. මට බොහොම කණගාටුයි ඒ ගැන,” තරුණයා වෙළෙන්දා හමු වී තමන් පත් වූ කලබැගෑනිය හැකි අයුරින් පහදා දෙන්නට වූයේය.

වෙළෙන්දා මද සිනාවක් නගමින් හිස සැලීය.

“පුතා... කණගාටු වෙන්න කාරියක් නැහැ, මීට කලිනුත් ඔය වැඩේ වෙලා තියෙනවා, දැන් තමුන්ටත් වුණා, ඉදිරියට තව අයටත් වෙයි,”

ඒ අසා තරුණයා පුදුමයට පත් වූ අතර දෙවනුව වෙළෙන්දාගේ පැහැදිලි කිරීම අසා සිය මෝඩ කම ගැන අතිශයින් ලැජ්ජාවට පත්විය.

“තමුන් බොහොම මහන්සි වෙලා, වෙන කිසිම දෙයක් කරන්නේ නැතිව, වෙන කිසිම දෙයක් ගැන හොයා බලන්නේ නැතිව, උදේ ඉඳන් රෑ වෙනකම් ගස් කැපුවා,

ඒක මං දන්නවා.

දැන් මට මේක කියන්න බලන්න,

මේ පොරොව මුවහත් තියන්න උවමනායි කියන එක තමුන්ට ඒ කොයිම වෙලාවකවත් සිහි වුණේ නැහැ නේද?”




පරිවර්තනය:

රන්දිකා රණවීර ප්‍රනාන්දු



කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************



සාධක, තීරණ හා පිමි!




එක් ගමක විසූ තරුණයෙකු එහි ම විසූ තරුණියක පිළිබඳ ව කලෙක පටන් ආල සිතින් පසු වූයේය. දිනක් ඔහු, ගොවියෙකු වු ඇගේ පියා මුණ ගැසී සිය සිතැඟි ප්‍රකාශ කළේය. තරුණයා දෙස හොඳින් බැලූ ගොවියා සිය තීරණය මෙසේ විස්තර කරන්නට විය.

“මං නුඹට මගේ දුව කරකාර බන්දා දෙන්නම්. හැබැයි මං මේ කියන දේ කෙරුවාට පස්සේ”

“නුඹ අන්න අර පේන කුඹුරේ කැමති තැනක හිටගෙන ඉන්දැද්දී, මම මගේ ගාව ඉන්න පට්ටියෙන් ගොන් නාම්බෝ තුන් දෙනෙක් නිදහස් කරලා එවනවා. නුඹ එයින් එකෙකු අල්ලා ගත යුතුයි. වෙනත් කිසිවක් හෝ කිසිවෙකුගේ උදව්වක් හෝ නොගෙන නුඹ මෙය තනිව ම කළ යුතුයි. අන්න එදාට පුතා, මගේ දුව නුඹෙයි”

තරුණයා කාරණයට එකඟ වූයෙන් එදිනම ඒ සඳහා සුදුසු දිනයක් තීරණය කෙරිණ. නිවසට ගිය ඔහු කල්පනා කළේ නිරායුධ දෑතින් කරන කාර්යයක් බැවින් සතාට තමා පසුකර යන්නට ඉඩ දී වලගයෙන් අල්ලා ගැනීම වඩා ම සුදුසු බවයි.

දිනය එළැඹිණි. තරුණයා කුඹුර මැද සිටගෙන සිටියදී ගොවියා ගාලේ දොරටුව විවර කර පළමු සතා නිදහස් කර එව්වේය. එතෙක් මෙතෙක් දැක තිබූ විශාල ම ගවයා තමා දෙසට පිම්මේ දුව එන අයුරු දැකීමෙන් සලිත වූ තරුණයා, ඒ අවස්ථාව මග හරින්නට ක්ෂණික ව තීරණය කර පසෙකට වී ගවයාට යන්නට ඉඩ හැරියේය.

දෙවන වරට ද ගාලේ දොර විවර විය. එවර වලිගය වනමින් පිටතට පැන්නේ පෙරටත් වඩා විශාල, වඩා රෞද්‍ර පෙනුමැති සද්දන්තයෙකි. තවත් අවස්ථාවක් ඇති බව සිහිකර වහා පසෙකට වූ තරුණයා දෙවැන්නාට තමා පසුකර යෑමට ඉඩ සැළසීය.

අවසාන වරට ගාලේ දොර විවර විය. එවර තරුණයාගේ මුහුණ විසල් හිනාවකින් පුරවා දමමින් පිටතට පැමිණියේ එතෙක් ඔහු දැක තිබූ දුර්වල ම ගවයාය. ගොවියාගේ කෙවිටෙන් පහරක් කෑ ගවයා වැනි වැනී හැකි උපරිම වේගයෙන් දිව එන්නට විය. නිසි වේලාව ලං වනවාත් සමග ම තරුණයා වහා ඉලක්කය වෙත පැන්න මුත්, ඒ සතාට වලිගයක් නොමැති බව වටහා ගන්නා විට ඔහු පිම්ම වැරදී පියවර කිහිපයක් විසි වී ගොස් බිම වැටී හමාරය.



පරිවර්තනය:

රන්දිකා රණවීර ප්‍රනාන්දු



කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************



අභිප්‍රේරණයේ ආදීනව...


අශ්වයෙකුත් එළුවෙකුත් මිතුරුව වාසය කළෝය. මේ දෙදෙනා ම එකම ගොවිපොළක දිවිගෙවූ අතර දිනක් උන් හිටි හැටියේ අශ්වයා අසනීප විය.

“ඔබේ අශ්වයාට වෛරස් ආසාදනයක් තියෙන්නේ. මං දවස් තුනකට බෙහෙත් දීලා හැමදාම හවස් අතේ ඇවිත් පරීක්ෂා කරලා බලන්නම්.

තුන් වෙනි දවස වෙද්දිත් ගුණයක් පෙනුනේ නැත්තං අපට ඌව මරා දමන්නයි සිද්ධ වෙන්නේ” අශ්වයා පරීක්ෂා කර බලා පිටතට පැමිණි පශු වෛද්‍යවරයාගේ වදන් ඒ ආකාර විය.

සිය කළණ මිතුරාට සිදුවන්නට යන නස්පැත්තිය අසා එළුවා අතිශයින් කණගාටුවට පත්විය. වෛද්‍යවරයා බෙහෙත් දී පිටව ගිය වහාම අශ්වයා වෙත ආ එළුවා මෙසේ පවසා සිටියේය.

“කොහොම හරි නැගිටපං මගේ යාළුවේ, නැත්තං උඹට ලොක්කා අතින් සදාකාලික නින්දට පත් වෙන්නයි සිද්ධ වෙන්නේ”

දෙවන දිනයේදීත් වෛද්‍යවරයා පිටව ගිය වහා ම එළුවා අශ්වයා ඉදිරිපිට පෙනී සිටියේය.

“නැගිටපං අශ්වයෝ නැගිටපං, මෙහෙම ගියොත් නං ලොක්කා මරන්න කලින් නිකම්ම මැරිලා යන්නත් පුළුවන්, කොහොම හරි දනිපනි ගාලා නැගිටපං...!”

තෙවැනි දිනය උදාවිය. අශ්වයා පරීක්ෂා කර පිටතට පැමිණි වෛද්‍යවරයා, ගොවියාට මෙසේ කියනු එළුවා අසාගෙනය.

“දැන්නං බලං ඉඳලා පලක් නැහැ, කිසිම ගුණයක් පේන්න නැහැනේ. හෙට ම වැඩේ සූදානම් කළා නං හොඳයි. නැත්තං නිරපරාදේ අනිත් අශ්වයින්ටත් මේක බෝ වෙලා රංචුව ම වඳ වෙලා යයි”

ඒ අසා භීතියෙන් මුසපත් වුණු එළුවා වහ වහා අශ්වයා වෙත දිව ගියේය.

“ඉවරයි ඉවරයි සේරම ඉවරයි. දැන් නැගිට්ටේ නැත්තං ආයේ නැගිටීමක් නැහැ.

නැගිටපං මේ දැන්ම!. ගනිං ඇඟට නැති හයිය හිතට!

ඉක්මන් කරපං. අන්න හරි! හිමින් හිමින්... අන්න එහෙම, අන්න එහෙම...

හෙමින් හෙමින් අඩිය තියපං...

ටික ටික වේගේ වැඩි කරපං... අන්න හරි... එකයි දෙකයි තුනයි... නියමයි!

දුවපං... තව වේගෙන්... තව වේගෙන්...

විශිෂ්ටයි... උත්කෘෂ්ටයි... උඹයි අද වීරයා...මගේ යාළුවේ උඹයි අද වීරයා...!”

සිය රංචුවේ වූ වටිනාම අශ්වයාට උදා වූ අවාසනාව පිළිබඳ ව මනස්තාපයෙන් පෙළෙමින් ගොවියා අශ්වගාල දෙසට ඇදෙන්නට වූයේ මේ අතරතුරේදිය. මැරෙන්න ඔන්න මෙන්න මෙන් වැටී පණ අදිමින් සිටි සතා ඉවක් බවක් නැතිව මිදුල පුරා දුවන ආකාරය දැකීමෙන් මුලින් පුදුමයටත් දෙවනුව අතිශයින් සංතෝෂයටත් පත් වූ ගොවියාගේ කෑ ගැසීම අසා නිවැසියෝ එතනට දිව ආවෝය.

“දෙවියනේ... ඔබ මට කන් දුන්නා,

ඒක ආශ්චර්යයක්... ඒක ආශ්චර්යයක්..

පුතේ මේ බලාපං මේ පුදුමේ... අද රෑ අපි මේ සතුට සමරන්න ඕනෑ...

ගෙනෙන් මහා පිහිය විගහට...

දැන්ම ම මේ එළු නාම්බා මරලා මස් කර ගත්තොත් අපට සාදයේ කටයුතු වේලපහ පිළියෙල කර ගත්තැහැකි”



පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

***********************************************************

පසු ලිවීම

තුන් අවුරුදු පාඨමාලාවක් හදාරමින් ඉන්න කොට දෙවැනි අවුරුද්දේ පුතා ලැබෙන්න ආවා.

දෙවැනි අවුරුද්දේ විභාගය වෙද්දි පුතා ලැබෙන්න මාස 2යි ඉතිරිව තිබුණේ. ඊට පස්සේ පුතා ලැබුණාට පස්සේ ආව ප්‍රථිඵල වලට අනුව මම හොඳින් සමත් ව හිටියත් තුන්වැනි අවුරුද්ද අත් හැරියේ අපට පසු කණ්ඩායමත් එක්ක ඊ ගාව අවුරුද්දේ තුන් වැනි අවුරුද්ද කරන්න හිතාගෙන. එහෙමම කළා. ඒත් යලට මහට ක්ලාස් ගිහින් හරි හමන් නෝට් එකක්වත් 80% පැමිණිමත් නැතුව මුහුණ දුන්නු අලකලංචියට පිහිට වුණේ ඒ පංතියේ හිටපු මගේ යාළුවා වුණු නංගි කෙනෙක්. 

එයා හැබෑ දක්ෂයෙක්. එයාගේ අකුරු මුතු කැට වගේ. පොත් ටික මුතු පොකුරු වගේ. කොටින්ම එයා මුතු බෙල්ලෙක්.

ඉතිං පංති හරියට ආපු පොත් ටික සම්පූර්ණව තිබුණු සමහර ළමයින් පවා වැඩි හොඳට එයාගේ පොත් ෆොටෝ කොපි ගහලා ලඟ තියා ගත්තා. මං ගැන කවර කථාද? මං විභාගේ සම්පූර්ණයෙන් කළේ එයාගේ පොත් වලින්. විභාගේ කිට්ටුව ගෙදර වැඩට හිටපු මනුස්සයා මාසයකුත් දවස් ගාණක් දීපවාලි සමරලා ආපු පිනෙන් කන්තෝරුවෙන් ස්ටඩි ලීව් කියන ඒවා ඉල්ලන්න දිව නමා ගන්න බැරිව ගිහින් තව තවත් අපහසුතාවට පත් වුණු මට සති අන්ත දෙකකදි අමාරුම විෂයයේ සියලුම අමාරු ගැටළු විසඳන්න කියලා දුන්නේ ඒ නංගි. දෙවැනියට අමාරුයි වගේ තිබුණු විෂයයන් කෙස් අග එල්ල ගන්නත් එයා මට ගොඩක් උපකාර වුණා. විභාගේ දවස් වල එයා හිටියේ අපේ ගෙදර. අපි රෑ එළිවෙනකම් පාඩම් කළා. අපි විභාගය හොඳින් කළා.

අවසානයේ ප්‍රථිඵල ආවා. අර අමාරුම විෂයයට පංතියේ තිබුණු උපරිම සාමාර්ථය 'C' සාමාර්ථය. එයින් දෙකයි පංතියට තිබුණේ. එකක් මට. අනිත් එක වෙන නංගි කෙනෙකුට. මට උපකාර වුණු නංගි ඒ විෂයයෙන් අසමත්ව හිටියා.

අද පළ කරපු කථා අතුරින් අන්තිම කථාව දුෂ්ට වැඩියි කියලා හිතෙනවා නං මේ ඇත්ත කථාව ගැන මොකද හිතෙන්නේ. ! 


33 comments:

  1. සෑම පරාජයක්ම ජග්‍රහණයක ආරම්භයක් කියනවනේ...අර නංගිට කැමතිනම් ආයෙ උත්සහා කරන්න කියන්න... නැත්නම් වෙන අතක් බලා ගන්න කියන්න.. මොකද එයාගේ සාර්තකත්වය තියෙන්නේ ඔය විෂයට ලබන සාමාර්තය මත නොවෙන්න පුළුවන්....දැනට මේ මොහොතේ එයා හීනෙන්වත් නොහිතන දෙයක් මත වෙන්න පුළුවන්.. ආන්න ඒ දේ හොයා ගන්න එක තමයි කරන්න ඕනා... කාලය කොයිකටත් හොඳ බේතක් තමා..


    හරි දැන් ගස් කපන කතාව කියවපුවම මට අම්තක් වුන කතාවකුත් ලියලා දාන්නම්...

    ඔන්න එකමත් එක රටක ඔය වගේම ගස් කපන්නෙක් හිටියලු. මෙයත් ඔය වගේම අවරෝහණ සාර්තකත්වයකින් පස්සේ මිනිහා ගියාලු කියත් කඩේ මුදලාලිව හම්බෙන්න.. ආ කියන්න අමතක වුනා මෙයා ගස් කපන්නෙ කියතෙන් හරිය පොරවෙන් නෙමේ...මුදලාලි ප්‍රශ්නේ අහලා කිව්වලු;

    "මහත්තයා මම දෙන්නම් ඔයාට මරු බඩුවක්. ඔයාගේ ප්‍රගතිය බලන් ඉඩ්දි වැඩි වෙයි" කියලා මුදලාලි දුන්නලු මෙයාට පෙට්‍රල් වලින් වැඩ කරණ කියතක්. දෙන ගමන් ඇහුවලු "දන්නවනේ පාවිච්චි කරණ හැඉටි " කියලත්.

    "හුහ් මට කියත් පාවිච්චි කරණ එක ගැන කියනන් එන්න එපා මුදලාලි, මම දන්න දා ඉඳන් කියත් වලින් තමා වැඩ කරන්නේ " කියලා පොඩි සත්තමක් එහෙම දාලා කියතත් අරන් යන්න ගියාලු..

    මේන්න පොර සතියක් යන්න හම්බුන්නෑ ආයේ ආවා මුදලාලිව හම්බෙන්න...

    "මුදලාලි මේක මුලදි හිඳට වැඩ කළා, මම ගස් පහලවක් කැපුවා පලවෙනිම දවසේ, දැන්නම් දවස්ට එකක්වත් කපන්න බෑ" කිව්වලු..

    "කෝ බලන්න" කියලා කියත අතට ගත්තු මුදලාලි ඒකෙ තිබුන ලනුවක් එක පාරටම ඇද්දම අරක බ්‍රාම් ගාලා ස්ටාර්ට් වුනාලු...

    "බුදු අම්මෝ මොකක්ද ඒ සද්දේ ? " කියාගන ගස් කපන්නා බයවෙලා පස්සට පැන්නලු...

    ඔන්න ඔහොමයිලු වුනේ......හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉතිං.. දැන් සෙන්නා චෙන්සෝ එකෙන් හොඳට වැඩකරනව ඇති නේද? හැක්..

      Delete
    2. ප්‍රසා,

      උඹේ මේ කමෙන්ට් එක දැකලා මට හිතුනා "සෙන්නා චේන් සෝ" නමින් චේන් සෝ ෆැක්ට්‍රියක් දාන්න... ඔන්න බලපන් මිනිහෙක්ගේ ජීවිතේ වෙනස් වෙන්න ඒ මිනිහට කොහෙත්ම සම්බන්ධයක් නැති මිනිහෙක්ගේ වචනයක් වුනත් ඇති කියන්නේ ඕකට තමා... හෙහ් හෙහ්.....

      Delete
    3. හා පුළුවන් නම් 'සෙන්නා චේන් සෝ' කියන එක දහ වතාවක් විතර එක දිගට වේගයෙන් කියාගෙන කියාගෙන යන්ට බලන්ට.. :-P

      Delete
    4. 'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      'සෙන්නා චේන් සෝ'
      :-P

      Delete
    5. චෙන්නා සේන් සෝ....
      චෙන්නා සේන් සෝ....
      සෙන්නා චේන් චෝ....
      සෙන්නා චේන් චෝ....

      Delete
    6. සෙන්නා චේන් සෝයි

      නගා නං ගොඩක් අප්සෙට් වුණා. අපිටත් අප්සෙට්. ගිය අවුරුද්දේ රිපීට් එක කරන්නත් බැරි වුණා. මේ පාරවත් අභිප්‍රේරණය කරන්න ඕනැ... හ්ම්

      Delete
    7. සෙන්නො,
      අතඅරින්ඩ එපා. කරගෙන යමං. අර “ගාමිණී ඇණ“ වගේ අැඩ් එකක් උනත් දාන්ඩ බැරියැ පත්තරේක.

      Delete
  2. අන්තිම කතාව කියලා මම හිතන්නේ පසු ලිවීම කියන එක. අන්න එතන තමයි නියම ඇත්ත තියෙන්නේ. දරුවන් දරමින් අම්මලා ජීවිතයට මුහුණදීම තමයි මේ ලෝකේ තියන ආශ්චර්ය අතරින් වඩාත් පුදුම හිතෙන දෙයක් වෙන්නේ.

    අර කතා ටිකටත් බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක... ඇත්තට ම දරුවන් දරාගෙන (බබාලා කකුලේ දාලා නලවන ගමන් පාඩම් කළා කිව්වා) පාඩම් කරලා මේ විභාගය කරපු අංකල් (සීයා) කෙනෙක්ගේ දිරිගැන්වීම නිසා තමයි මං කරන්න පටන් ගත්තෙත්. හැබැයි සමහර වෙලාවට හිතුනා මොකට මේවා කරනවද, පිස්සු මටත් කියලා.

      ඒත් දැන් හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. කොහොම හරි කරගත්තානේ කියලා.

      හැම තිස්සේම ඔළුවේ තිබුණා රිපීට් වෙලා නං බැහැ ගොයියෝ කියන එක. පංතියේ අනිත් ළමයින්ට සාපේක්ෂව වයසයි වෘත්තිය අත්දැකිම් පැත්තයි මගේ වැඩියි. ඒවාට ලැබුණු උපකාරයි (මහත්තයාගෙන් ලැබුණු උපකාරය ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඒ උපකාරේ නැත්තං මොන විභාගද?) එකතු වෙලා තුන් අවුරුද්ද ම එක පාරින් සමත් වෙන්න පුළුවන් වුණා

      Delete
  3. අද විශේෂ: රන්දිකාස් චිකන් සුප් ෆෝ දි සෝල්

    මෙන්න මේකත් ඇත්ත කතාවක් රන්දිකා..

    අන්තිම අවුරුද්දෙ ITPQM හෙවත් IT Project & Quality Management Module එකේ Coursework එකට මම යාළුවෙකුට උදවු කලා. උදවු කලා කිවුවට මම තමා සම්පූර්ණයෙන්ම coursework එක එයාට කරලා දුන්නෙ. එයාට ලකුණු 61යි, මට ලකුණු 56යි... :-D

    ReplyDelete
    Replies
    1. ඉතින් මදිද බොල... :-)

      Delete
    2. එව්වා නං එහෙම තමයි. මායි හබියි වෙන්න හබී කාලේ කරපු කෝස් එකක එයා තමයි මට සේරම කියලා දුන්නේ. මට 76 ඩිස්ටින්ෂන් එයාට 69 ක්‍රෙඩිට් :D

      Delete
  4. අන්තිමට කියපු ඇත්ත කතාව එහෙම්මම වගේ ගස්ලබ්බටත් වෙලා තියෙනවා.. අන්දෝ සංසාරයක් දන්නෙ නැති සබ්ජෙක්ට් එකක් බලෙන් කුප්පි දාල ගස්ලබ්බව හොඳින් පාස් කරල දීපු යාලුවා අසමත් උනා.ඌ රිපීට් එක ලියන්න ගිහින් එග්සෙම් දවසෙ පාන්දර ගෙදර ගියා..(හිත හදාගන්න බැරුව.)ඊටත් පස්සෙ වතාවෙ තමයි යන්තම් ගොඩ ගියෙ.. ඒවත් අර හරක් කතාවත් එක්ක එකට ඈඳෙන කතා ද මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොච්චර දැනුම තිබුණත් පේපර් බලන මිනිස්සු බලාපොරොත්තු වෙන දේ අනුමාන කරන්නේ නැතුව ලියන විභාග සමත් වෙන්න අමාරුයි. ඒක විභාග ක්‍රමයේ වැරැද්දක් ම නෙමෙයි. මං නිකමට මගේ අත්දැකීමක් කියන්නම්. සමහරවිට ඔයාලාත් එහෙම වෙන්න පුළුවන්.

      ඒ ලෙවෙල් කාලේ ඉඳන් සමහරවිට ඊටත් කලින් ඉඳන් අපේ ගුරුවරු අපට කීවා ගාණක් හදද්දි ඒකක එක්ක හදන්න කියන එක. මං එදා ඉඳන් එහෙම කළා. සමහර වෙලාවට අවසාන උත්තරේ ඒකකය වැරදි වුණා ම ගාණ වැරදිලා නේද කියන එක වැටහෙනවා. ආපස්සට ගිහින් වැරැද්ද හොයා ගන්න පුළුවන්. ඒ නැතත් පේපරේ බලන මනුස්සයා දන්නවා කීයටවත් මේක කොපියක් වෙන්න බැහැ කියන එක. ඒ වගේ අවස්ථා මග හරින්න නරකයි.

      Delete
  5. //අපි මේ සත්තු වත්තට වෙලා මොනවා කරනවද මන්දා// ඕක ඔතන ඉන්න ගොඩක් සත්තුන්ට කතාකරන්න පුලුවන්නං අහන එකක් තමයි.

    ලස්සන කතා ටික

    ReplyDelete
    Replies
    1. අපිත් මොනවා කරනවද මන්දා මේ කොම්පීටර් වලට එබීගෙන පුටු රත් කර කර, මොළේ කාගෙන

      Delete
  6. කතා ටික ඉතිං කලින් කියෙව්වා නේ..

    නංගිට උන දේ අහල මම ෂොක් උනා..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං... අමුඩෙයි අරකයි වගේ පස්සෙන්මයි. හැක්..

      Delete
    2. නංගිලාට වෙන දේවල් වලට මේ අංකල් සෝක් එකට සොක් වෙනවා කියලා මේ අපිලා දන්නවා :D

      Delete
  7. ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි, හැමෝම රඟපාන්නෙ කලිං ලියවුණ පිටපතකට අනුව කියන එක. කොච්චර මෝඩ හිතළුවක් වගේ වගේ පෙනුනත් ඒක එහෙම නෙමෙයි කියල හිතන්න මට බෑ. 'පසු ලිවීම' කියවද්දි ඒක තවත් තහවුරු වුනා .
    කවුද දන්නේ මේ කමෙන්ට් එකත් මේ විදිහට ලියවෙන්න නියම වෙලා තිබුනද කියල :)

    ReplyDelete
    Replies
    1. ඇව්රිතිංග් ප්ලෑන්ඩ්... ඇත්තට ම මටත් එහෙමම හිතෙනවා. ඒක එහෙම නං අපි දතකාගෙන වෙනස් කරගන්න සමහරදේවල් දතකාගෙන වෙනස් කරන්න ම ලියවිලා තියෙනවා ඇති නේද? අනිත් අතට පිං පව් කියන්නෙත් ඒවා ම නේද? හැබැයි පිං පව් පැත්තෙන් බැලුවොත් සමහර අවස්ථා වෙනස් කරගන්න පුළුවන්. ඇව්රිතිංග් ප්ලෑන්ඩ් කියන පැත්තෙන් එහෙම බැහැ නේද? :)

      Delete
  8. හැමදාම වගේ බොහොම ආදර්ෂමත් කතා ටිකක්. අර නංගිගෙ කතාව වගේ කතාවක් මටත් තියෙයි.

    ReplyDelete
    Replies
    1. බැලුවහ ම එහෙම කතාත් අපි ැමෝටම තියෙනවා නේද? ස්තුතියි කසුන්

      Delete
  9. මේ පොරොව මුවහත් තියන්න උවමනායි කියන එක තමුන්ට ඒ කොයිම වෙලාවකවත් සිහි වුණේ නැහැ නේද?”

    පොරොවේ මුවහත වගේම තවත් අමතක වෙන දෙයක් තමයි දර කපන්නාටත් විවේකයක් අවශ්‍යයි කියන එක

    ReplyDelete
    Replies
    1. අ ගුඩ් පොයින්ට් ඩූඩ්... අ ගුඩ් පොයින්ට් :)

      Delete
  10. අන්තිමට කියපු කතාවෙ ඒක කැම්පස් කතාවක් නං සහ කැම්පස් එක කැලනිය නං ඊටත් බාහිර මන්ඩලේ සිදුවීමක් නං උත්තරේ සරලයි
    උං එහෙම කරනව කොච්චර හොදට රිසල්ට් එක තිබ්බත් කෙලෝල දානව(වචනෙ නං අවුල්ද මංද) ඒක ප්‍රසිද්ධ රහසක්..
    එයැයිට තියෙන්නෙ ආපහු කරන්න ඕකම අපේ කීප දෙනෙක්ට වුනා...
    මැරෙන්නයැ රිපීට් වැදුනම කොච්චර මහන්සි වුණත් වැඩක් නැ සී කටුවකින් සේප් වෙනව ඇරෙන්න ඕකකටම වඩා ඒකයි හිතට අමාරු

    ReplyDelete
    Replies
    1. ඒ කැම්පස් එකේ කතාවක් නෙමෙයි මහේෂ්. ඒත් එයා ආපහු විභාගය කරන්න ඉන්නේ. බලමු අපි මේ පාර මොනවා වෙයිද කියලා

      Delete
  11. සමහර ඒවා කලින් කියවා තිබුනත් නැවතත් රසවින්දා. හැම කතාවේම හිතන්න යමක් තියෙනවා. අන්තිම කතාව ගැන අදහස නම් එතන තියෙන්නේ දක්ෂතාව සහ වාසනාව කියනදේ මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය...

      ඔව් සමහරවිට. ගුරුවරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියෙනවා. පේපරයක් බලන වෙලාවට වුණත්...

      Delete
  12. අඩේ මේ කතා වල දෙවැනි කතාව මට මිස් වෙලානේ හිටං.
    එහෙම බැලුවම අපිත් හොඳ පොහොසත්තු තමයි හරිය.:D

    ReplyDelete
  13. කතා ටිකනං පට්ට...........

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...