Friday, December 14, 2018

619. මව් ගුණ සමර......අම්මා පෙව් කිරි සුවඳ මතක් වෙන්නේ....


පහුගිය නොවැම්බර් 25 වෙනිද පාන්දර මගේ මෑණියන් අභාවප්‍රාප්ත වුනා.

ඊට කලින් දවසෙ සෙනසුරාදා හවස මගේ බිරිඳ මට කතා කලා. "මේ..අම්මව ඉස්පිරිතාලෙ නතර කලානෙ…" ඇය කිව්වා..

"අප්පට සිරි…. ඒ මොකද?" මම එකපාරටම එහෙම ඇහුව. 

අම්මට වයස අසූ හතරක්. ඇය අභාව ප්‍රාප්තවී දින දෙකකින් ඇගේ අසූ හතරවන උපන් දිනය එළඹුනා. ඇය උපන්නේ 1934 නොවැම්බර් 27 වෙනිදා.

"මොකද මේ හදිස්සියෙම?" මම ආයෙත් බිරිඳගෙන් ඇහුව. 

මම එහෙම ඇහුවෙ වයසට යනකොට කාටත් ඇතිවන ඔය ඇඟේ පතේ අමාරුකම් ඇරුනම මගේ මෑණියන් ඇගේ අවසාන කාලය දක්වාම තමන්ගෙ වැඩ කටයුතු කිසි අඩුපාඩුවක් නැතුව තමන්ම කරගන්නට හැකිවන අන්දමට හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසුවුන හින්දයි. මේ ළඟක් වෙනකල් ඇගේ ඇඳුම් පවා ඇයම සෝදා ගත්තා.

ඇය මතක ඇති කාලයක සිට පීඩා වින්දේ ආතරයිටීස් නොහොත් සන්ධි ප්‍රදාහය රෝගයෙන් පමණයි. ඊට අමතරව වසර විස්සකට පමණ පෙර හෘදයාබාධයකටත් ගොදුරුවූ නමුත් නිසි ප්‍රතිකාර නොකඩවා ලබාගත් නිසා ඊට පසුව එවන් රෝගී තත්වයක් යලිත් ඉස්මතුවූයේ නැහැ.

ඇයට ආතරයිටීස් වැළදුනේ 1976 වසරේ. ඒ අපි අනුරාධපුරේ පදිංචියට ගිහිල්ල මාස හයක් ගතවන්නටත් ප්‍රථම. එදා ඉඳල අභාවප්‍රාප්ත වනතෙක් ඒ කියන්නෙ වසර හතළිස් දෙකක් ඇය ආතර් අයිය එක්ක ජීවත් වුනා. ආතරයිටීස් රෝගයට ආතර් අයියා කියල නම දැම්මෙ මම.

කොහොම හරි අන්තිමට රෝගය ඇගේ ශරීරයට පත්තියම් වුනා වෙන්න ඕන මට හිතෙන විදිහට. ඇගේ කකුල් සහ අත්වල ඇඟිලි බොහොම කාලෙකට ඉස්සෙල්ල ඇද වුනා. ඒත් ඒ ඇදවුනු ඇඟිලිවලින් ඇය කෙසේ හෝ තමගෙ කටයුතු තනිවම කරගන්නට පුරුදු පුහුණු වුනා. ඇය එහෙමයි. යම් පමණකට මාන්නාධික කාන්තාවක් වූ ඇය කිසිවකුගේ පිහිට පතන්නට කිසිසේත්ම කැමතිවුනේ නැහැ. යටත් පිරිසෙයින් ඇගේ දරුවන්ගේ පවා.

"නෑ අර අම්මට කන්න බැරි නිසා ඇඟ හොඳටම දුර්වල වෙලා. ඒ හින්ද අර ඩොක්ටර් සමන්තිට කිව්වම කිව්වලු එහෙනම් හොස්පිට්ල් ඇඩ්මිට් කරන්නෙයි කියල…"

ඩොක්ටර් සමන්ති කියන්නෙ අම්මගෙ අතිජාත මිතුරියකගෙ දියණිය. අම්මයි ඒ ඩොක්ටර්ගෙ අම්මයි බොහොම දීර්ඝ කාලයක් හෙදියන් විදිහට සේවය කලා මම හිතන්නෙ මුලින්ම මහනුවර මහ රෝහලේ සහ ඉන් අනතුරුව කෑගල්ලෙ රෝහලේ. ඔවුන් කෑගල්ල රෝහලේ සේවය කලේ 1968-1975 අතර කාලයෙ. ඒ මිතුදම ඊට පස්සෙත් නොබිඳී පැවතුනා මේ පසුගියදා මගේ මව මියයන තෙක්ම.

අම්මට ඔය කන්න බැරි අසනීපය හැදිල දැන් මාසයක්වත් නැහැ. මුලින්ම ඝණ ආහාර ගිලින්න බැරුව ගියා. එතකොට කැඳ වගෙ දේවල් විතරයි බිව්වෙ. ඒත් පස්සෙ එව්වත් උගුරෙන් පහළට යන්නෙ නැතුව ගියා. අන්තිම දවස්වල අර ඩ්‍රින්කිං යෝගට් විතරයි උගුරෙන් පහළට ගිහිල්ල තියෙන්නෙ. 

එහෙම යෝගට් විතරක් බඩට ගියාට කොහොමත් මදිනෙ මිනිස් සරීරයක් නඩත්තු කරන්න. ඒ හින්ද ඉස්පිරිතාලෙට ඇතුල්කලාම දොස්තරල උගුරෙන් පල්ලෙහාට බටයක් දාන්න උත්සාහ කරල තියනව. කොහොම හරි දෙතුන් පාරක් උත්සාහ කලත් ඒ වැඩේ සාර්ථක වෙලා නැහැ.

මට හිතෙන්නෙ නම් ඒ අසාර්ථක වීම පසුපස එහෙම බට දැමිල්ලට අම්මගෙ තිබ්බ දැඩි නොකැමැත්තත් හේතු වෙන්ට ඇති. කතා කරගන්ට බැරුව උනත් බැරි බැරි ගාතෙ අම්ම මගේ භාර්යා තොමෝ එක්ක කියල තියනව ..."මටනම්  ඔය බට එහෙම උගුරට දාන්න එපා දුව..එහෙම ජීවත් වෙනවට වඩා හොඳයි...

ඇය වසර විසිහතරක කාලයක් සේවය කල පල පුරුදු හෙදියක් නිසා මම හිතන්නෙ එහෙම උගුරට බට දාල කෑම බීම ඒ බටේ දිගේ බඩට යවල නිකම් ජීවත් වෙනව වෙනුවට ඇඳක් උඩ ජීවත් වුනු රෝගීන් ඉහේ කෙස් ගාණට දැකල ඇති. මම හිතන්නෙ ඇගේ ආත්මාභිමානය ඇයට එහෙම තත්ත්වයක් අත්වෙනවට කොහෙත්ම කැමති වුනේ නැතුවා වෙන්න ඕන. ඇයට ඒකට කිසිම දොසක් කියන්නත් බැහැ එක අතකට. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාඩම්බරව තම දිවිය ගෙවූ උඩරට වංශවත් කුළ කාන්තාවක්. මම හිතන්නෙ ඇගේ එකම ප්‍රාර්ථනය වෙන්න ඇත්තෙ ඒ සාඩම්බර කම රැකගෙන මියයන එක වෙන්න ඕන.

පහුවෙනිද ඉරිද..මෙහෙ සාමාන්‍ය වැඩ කරන දිනයක්..මම උදේ එලාම් එක තිබ්බෙ පහමාරට. ඒ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් නම් උදේ අටයි. එලාම් එකේ සද්දෙට මම නැඟිටල මොබයිල් එක ඔන් කලා.බිරිඳගෙන් මඟහැරුනු ඇමතුම් හයක්ම තියනව. Six missed calls from ..... 

ඒක දැක්කම මට හිතුන එකත් එකටම ....හ්ම්ම්ම්...මම එහෙම්මම ටෙලිෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන මිනිත්තු තුන හතරක් හිටිය ඇඳේ දිගාවෙච්චි ගමන්. 

ඊට පස්සෙ දිග සුසුමක් හෙලල බිරින්දෑට කෝල් එකක් ගත්ත.."මේ…. අද පාන්දර අම්ම නැතිවුනා ඒයි…" ඇය හෙමිහිට කිව්ව...

අපිට කොච්චර වයස ගියත් අපේ දෙමව්පියන්ට කොච්චර වයස ගියත් කවදක හරි අපිත් අපේ දෙමව්පියොත් අනිවාර්යයෙන් මියයන බව දැනගෙන හිටියත් ඒ ආරංචිය ඇහෙනකොට පපුව මොහොතකට නැවතෙන එක හුස්ම මොහොතකට හිරවෙන එක මම හිතන්නෙ අපි කාටවත්ම වළක්ව ගන්න බැහැ. අන්න එහෙමයි සංසාරෙ අපි පතාගෙන ඇවිල්ල තියෙන්නෙ...

ඉතිං මගෙ අම්ම ගැන මෙහෙම එක සටහනකින් ලියල ඉවරයක් කරන්න කොහොමවත්ම බැහැ. ඒ හින්ද ඇය ගැන මතක බණවර ආයමත් ලියන්නම්...

මේ ඊයෙ මම වත්පොතේ සැරිසරද්දි කියවපු හෘදයාංගම සටහනක්..කඳුළු යන්තමට වියලිලා තිබුනු මගේ දෙනෙත යලි තෙත්කල සටහනක්...

අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.

ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය.

බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි.

පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය.

හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?"

ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය.

"අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට"

"අම්මට මොකක් වෙලාද....?"

"නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ."

"එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?"

''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ"

"පවුලේ තව කවුද ඉන්නේ?"

"නංගිලා දෙන්නා විතරයි"

"ඉතිං අම්ම මොකද කරන්නෙ.....?"

"අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ."

ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය.

"පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්"

"අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව"

"කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්"

"ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ. මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ"

රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.."

රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොඳ වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය.

මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය.

භවයෙන් භවයේ පෙරුම් පුරා මම 
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම 
එතෙර කරන්නම් සංසාරේ..
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ 
ඉන්නම් කිරි සුවඳේ වෙලිලා..
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා..

බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට හිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ මැදින්
එන්න සිතයි නුඹ ලඟට සැනින්..

එතෙර කරන්නම් හතර වරියගම
සංසාරේ යන මේ ගමනින්..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහලුවන් හා සැණිනේ..
එහෙම ගියොත් ඒ අය පොඩි සාධු
කියා කියනවිට වැඳ වැටිලා..
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා..

උපුටා ගැනිම - චාමර වන්නිආරච්චි


59 comments:

  1. This remind me of my parents, I guess we as children do what we are capable for our elders. At the end it all comes down to their ‘Karma’. ‘Obe Mawata Niwan Suwa Athwewa’

    ReplyDelete
    Replies
    1. Wijebahu,

      Thanks so much Brother...You are correct... there is something called destiny & no one can go against that...

      Delete
  2. ඇ ගිය මග අප සැවොම යන්නෙමු. එය අදද හෙටද කියා කිව නොහැක ඉත සිතින් ඈ හට නිවන්සුව පතමු

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      බොහොමත්ම ස්තූතියි ඇනෝ...ඔබ හරි...අපේ දෛවය කුමක් දැයි කවරෙක්නම් දනීද?

      Delete
  3. ඈ ට නිවන් පතනවා රවී. දස ගණනක් ලෙඩුන් ට උවැටන් කළ පින ඈට ඇතිවෙන්න ඇති දුක් නොවිඳි මරණයක් ලබන්න.
    ඔබේ මේ සටහනට දෑස ට කඳුළු ආවා. ඔව් ඒ බැඳීම විස්තර කරන්න බැරි දෙයක්

    ReplyDelete
    Replies
    1. මලී,

      ඒක එහෙම තමයි මලී...පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...විශේෂයෙන්ම මව්පියන්ගෙන් කෙනෙකු වියෝවීම ඇත්තටම දුකක්..අපේ වයස හෝ මියගිය මව හෝ පියාගේ වයස ඒකට බලපාන්නෙ නෑ...

      Thanks so much....

      Delete
  4. මගේ අම්මාගේ මරණයට මම කෙසේ මුහුණ දේවිදෝ කියල මට නිතර කල්පනා වෙනවා. එහෙම වෙන්නේ තාත්තගේ මරණය කලින් සිද්ද වෙච්ච නිසා වෙන්න ඇති. රවී අයියගේ අම්මා ශක්තිමත් කෙනෙක් වීම නිසා ඇය හොඳින් ඉන්න ඇති. අපේ අම්මත් ඒ වගේ ඕනේ දේකට ඔරොත්තු දෙන්න පුළුවන් සවිමත් මනසක් තියෙන කෙනෙක් නිසා හිතට සහනයක් තියෙනවා.

    ජිවිතේ හැටි ඔහොමනෙ ඉතින්...

    අර සිංදුවේ කතාව ඊයේ රෑ මම කියෙව්වා... අපේ ජිවිත කොච්චර සැපයි ද කියල හිතෙනවා නේද ඒවා දකිද්දී

    ReplyDelete
    Replies
    1. Pathum,

      /මගේ අම්මාගේ මරණයට මම කෙසේ මුහුණ දේවිදෝ කියල මට නිතර කල්පනා වෙනවා. /

      අම්මට හැත්තෑ පහ පැන්න කාලෙ ඉඳලම මමත් ඔය ගැන කල්පනා කලා..එහෙම හිතල මම හිතාගෙන හිටියෙ හිත හදාගත්තය කියල. ඒත් එහෙම නෙවෙයි කියල තේරුනෙ අම්ම නැතිඋනහම...

      /අර සිංදුවේ කතාව ඊයේ රෑ මම කියෙව්වා... අපේ ජිවිත කොච්චර සැපයි ද කියල හිතෙනවා නේද ඒවා දකිද්දී../

      මොනව කියනවද බං? අපිට තියන ප්‍රශ්ණ මොනවද ඒ මිනිස්සුන්ගෙ ජිවිතත් එක්ක බැලුවම...

      Delete
  5. අම්මා කෙනෙක් කොච්චර වයසට ගිහින් මිය ගියත් දරුවන්ට හිතට දුකයි.
    හැබැයි ඇය වේදනා විඳිමින් සිටිනවාට වඩා මියයාම ඇයට සහනයක්.
    ඔබේ මවට නිවන් සැප අත්වේවා.

    ReplyDelete
    Replies
    1. Mal,

      ඔබ සඳහන් කල කරුණු දෙකටම සපුරාම එකඟයි...

      බොහොම ස්තූතියි...

      Delete
  6. මාත් රවී කියලා තියෙන කතාව ටික කාලෙකට කලින් මුහුණු පොතේ කියෙව්වා. එදත් ඒක කියවලා ඇඬුවා. අදත් කතා දෙකම කියවලා ඇඬුවා.

    හැමෝටම කවදා හරි මුහුණ දෙන්න සිද්ද වෙන අවස්ථාවක් උනාට, එහෙම අවස්ථාවකට කවදා හරි මුහුණ දෙන්න වෙන බව කොයි තරම් දැනගෙන උන්නා උනත් ඒ වේදනාවෙ අඩුවක් වෙන්නෙ නෑ. අර උඩ කියලා තියෙනවා වගේ මටත් කියන්න තියෙන්නෙ හෙදියක් විදියට රවීගෙ අම්මා අසීමිත පිං සම්භාරයක් රැස් කරගෙන ඇති නිසා, මේ ලෝකෙ එකතැන් වෙලා දුක් විඳිනවාට වඩා හොඳ තැනකට යන්න ඇති. ඈ ඒ දුකෙන් හරි මිදුනානෙ. අම්මට නිවන් සුව ලැබේවා කියලා පතනවා ආයෙමත්.

    ReplyDelete
    Replies
    1. මියුරු,

      ඔබ හරි...අම්ම ගැන එහෙම හිතල හිත හදාගන්න එක තමයි කරන්න තියෙන්නෙ...

      බොහොම ස්තූතියි මියුරු...

      Delete
  7. රවි
    ඔබේ දයාබර මවගේ අභාවය පිලිබඳ මගේ කණගාටුව.
    පද්මකුමාර

    ReplyDelete
  8. ඔබේ මව්තුමියට නිවන් සුව පතනවා රවී අයියේ.
    ඇයගේ සේවා කාලය තුල සුවහසක් රෝගීන්ට පිහිට වූ පිනම ඇති ඇයට සුගතියක් ලබන්නට.

    දෙවෙනි කතාවනං දෑසට කඳුලක් එක් කලා. ලෝකය කොතරම් කුඩා උනත් තවමත් අපේ රටේ එක පැත්තක ඇත්ත තත්වය තමයි ඔය.

    ReplyDelete
  9. A very moving tribute Ravi.

    RIP

    ReplyDelete
  10. ඔබගේ මෑණියන්ට නිවන් සුව පතන අතරම ඔබට මාගේ සාතිශය සංවේගය පලකරමි. ලංකාවෙන් පිටත ජීවත් වෙන උදවියට මුහුණ පාන්න වෙන ලොකුම ප්‍රශ්නය මේක තමයි. පොඩි හාමුදුරුවන්ගේ කතාව මීට පෙර දැනගෙන හිටියත්, විස්තරාත්මකව දැන ගත්තේ අදයි. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තූතියි සෑම්....

      ඔබ හරි..විදේශගතවෙලා රැකියාව කරන හැමෝටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනව අඩු වැඩි වශයෙන්..මොනව කරන්නද ඉතින්...

      Delete
  11. ඔබේ අම්මාට නිවන් සුව පතමි

    ReplyDelete
  12. අපිට කියවන්න දාහක් දේවල් ලියන රවීව බිහිකලාට ඇයට පින්.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      බොහොම ස්තූතියි ඉයන්..

      මට ඔය බ්ලොග් සම්මාන අරව මෙව්ව ලැබුනම ඇය බ්ලොග් කියන්නෙ මොනවද කියලවත් නොදන්නව උනාට බොහොම සන්තෝස වුනා..

      අම්මල එහෙම තමයි..දරුවෙකුගෙ ජයග්‍රහණයකදි අවංකවම සතුටු වෙනව...

      Delete
  13. අම්මාට නිවන් සුව පතමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය...

      Delete
  14. ඔබේ මව සතුටින් ජීවිතයෙන් සමුගත් බව මට විශ්වාසයි. මමත් ඔය දේ මීට අවුරුදු පහකට පෙර ලිව්වා. ඇයට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි හැලප...

      අවුරුදු පහකට කලින් ලිව්ව?...මතකයක් නම් නෑ..සිකුරාද දිහාට බලන්නම් බොගෙ පරණ ලියපුව අවුස්සල...

      Delete
  15. හරිම සංවේදී ලියමනක් රවී තුමා. මම පස්සේ හෙමින් සීරුවේ කමෙන්ට් එකක් දාන්නම් කෝ.

    ReplyDelete
    Replies
    1. අපිට හැම වෙලාවේම නොපෙනුණත්, ඇස් මානේ නොඉන්න නිසා හැම වෙලාවේම පේන්න නොහිටියත්, අම්මලා අපි වෙනුවෙන් වෙහෙසෙන විදිය දැක්කම මටත් නොයෙක් වතාවන් වල හිතිලා තියනවා, මවුවරු කියල කොටසක් මේ ලෝකේ නොහිටියා නම් අපි මොනවා කරගනීවිද කියල.

      බුදුහාමුදුරුවෝ කියල තියනවා සංසාරය පුරාවට අපි ආදරේ කරන අය වෙනුවෙන් හෙලපු කඳුළු එකතු කළොත්, සාගර ජලයට වඩා වැඩියි කියල.

      උඩරට කුල කාන්තාවක් විදියට, ඇයට ආඩම්බරයෙන් ජීවත් වෙන්න ලැබුණේ ඔබ ඇතුළු පවුලේ හැමෝම ඇයට හොඳ දරුවන් බවට පත් වුනු නිසා. ඉතින් ඇගේ ජීවිතේ හිතේ සැනසීමෙන් පිරුණු සැන්දෑ යාමයක් ගෙවලා, වැඩි දුකක් නොවිඳ, සාමයෙන් නික්මුණු එක, මට නම් පේන්නේ පිං කරලා ලබාගත යුතු යහපත් දෙයක් විදියට. පිංවන්ත ඇයට මමත් නිවන් සුව ප්‍රර්ථනා කරනවා.

      Delete
    2. මානවී,

      සහතික ඇත්ත..අම්මල අපි වෙනුවෙන් ජීවිත කාලෙම හිතනව..කරදර වෙනව..ඒක අපේ සංස්කෘතිය..අපේ හැදියාව..අපේ උරුමය...අපිට ඒකෙන් මිදෙන්න බැහැ..වෙලාවකට අපිට ඒක මහ කරදරයක් විදිහට දැනුනත් එයාල ඒක කරන්නෙ පූර්ණ සද්භාවයෙන්..එයාල හිතන විදිහට අපිට හොඳක් කරන්න..අපේ මතු දියුණුව වෙනුවෙන්..

      අපෙ අම්මත් ඒ වගේ කෙනෙක්..වෙලාවකට අම්මත් එක්ක මල පනිනව හැම එකක්ම හොයල බලල විස්තර අහල උපදෙස් දෙන්න ආවම..ඒත් මම කමක් නෑ අම්මනෙ කියල හිතල හිත සන්සුන් කරගන්නව.

      ඒ අතින් අපේ ප්‍රියම්බිකා තොමෝ මටත් වඩා ඉවසිලිවන්තයි.එහෙම නැත්නම් ඇත්තම කියනව නම් අපේ අම්ම එක්ක ඉහ ගහල ඉන්න අමාරුයි...:)

      Delete
  16. A Tree is known by it's Fruits ඔබගේ ආදරණීය මාතාවට නිවන් සුව පතමි.

    ReplyDelete
  17. අම්මා නොවැරදීම හොඳ තැනකට යන්න ඇති. අයියාගෙ අම්මානේ. අම්මාට සුබ ගමන්! <3

    මට අහං ඉන්න අමාරු ගීතවලින් එකක්. ඒ අර්තයේත් හඬේත් තියෙන අති සංවේදී බව නිසා. මේ පසුබිම් කතාව දැනගත්තාම තවත් ඒ සංවේදී බව වැඩි වුණා. :'(

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      බොහොම ස්තූතියි සිත්තමී...

      ඔබ හරි සනත්ගෙ හැඟීම්බර කටහඬ එක්ක ඒ ගීතය අහන් ඉන්න අමාරුයි..මෙතනින් පස්සෙ පසුබිම් කතාව දන්න හින්ද තවත් මගෙ හිත දුක්බර වෙයි..

      ගීතය අහන අහන වාරයක් පාසා අර අම්මට මොකද වුනේ? පොඩි හාමුදුරුවන්ට ඊට පස්සෙ සිවුරු ඇරල නංගිලාව බලාගන්න සිද්ද වුනාද කියල උත්තර නැති ප්‍රශ්න රාශියක් මගෙ හිතට වද දෙයි නොවැරදීම..:(

      Delete
  18. රවී මහතා,

    ඔබගේ මෑණියන්ට නිවන් සුව පතනමි!

    ReplyDelete
  19. රවිගේ දයාබර මෑණියන්ට නිවන් සුව පතමි.
    මව් ගුණ සමරමින් ඔබ විසින් ලියන ලද විස්තරයද අනර්ඝයි. එසේම තම මව වෙනුවෙන් පොඩි හාමුදුරුවෝ අලි සිටින කැලය මැදින් යන ගමනද, සිත් කම්පා කරවන සුළුයි.ඒ වෙනුවෙන් ප්‍රියානන්ද විජේසුන්දරයන් ලියා තිබෙන ගීතයද අති සංවේදී එකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයා මහත්මයා....

      Delete
  20. රවීගේ ආදරණීය මව්ට පතනා බෝධියකින් නිවන අවබෝධ කරගැනීමට ලැබේවායි පතමි.
    හැම දරුවෙක්ටම පේන නපුරු හීනේ හැබෑවුන එක ගැන මගේ කණගාටුව. ඔබ හොඳින් ඇති කියා සිතනවා..

    ReplyDelete
    Replies
    1. රූ,

      බොහොම ස්තූතියි රූ...ජීවිතේ එහෙම තමයි ...මොනව කරන්නද අනිත්‍යය මෙනෙහි කරල හිත හදාගන්නවා මිසක...

      Delete
  21. මව්තුමියට නිවන් සුව ලැබේවා......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සූටික්කා...

      Delete
  22. May your mother attain supreme bliss of nibbana.

    ReplyDelete
  23. Replies

    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      Thanks Brother...

      Delete
  24. ආදරණිය මවට නිවන් සුව පතමි. Yes its heartbreaking,,,,

    ReplyDelete
  25. ඔබගේ මවට නිවන් සුව පතමි.
    ඔබ විසින් යොදා ගෙන ඇති රූපයේ සඳහන් කරුණු ඉතා නිවැරදිය.
    අපි දරු මුණුබුරන් සිටින්නන් වුවත් අම්මට අපි ඇයගේ පුංචි පුත්‍රයා ය.
    නමුත් අපි හැම විටම පාට් දාන්නේ ද අම්මලාට.

    ReplyDelete
    Replies
    1. BW,

      අම්මල ජීවිත කාලෙටම හිතන්නෙ එහෙම තමයි..

      ඔබටත් බොහොම ස්තූතියි...

      Delete
  26. අම්මාට නිවන් සුව අත්වේවා... !

    අර පොඩි හාමුදුරුවන්ගේ කතාව ගොඩක් සංවේදියි රවී අයියේ...
    උදේ පාන්දර ඔෆිස් එකේ අනිත් අයට පේන්නේ නැතිවෙන්න කඳුළු පිහිදාන්න උනා...

    ReplyDelete
  27. රවි අයියේ, මේක කියවන්න ලැබුණේ පහුවෙලායි. අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. පොඩි හාමුදුරුවන්ගේ සටහනත් හරිම සංවේදීයි.

    ReplyDelete
  28. Please accept my deepest sympathies Ravi . When I read this, I remembered reading how your mother used to take you to the book store on her salary day to buy books for you

    ReplyDelete
  29. අම්මා ගැන ලියන්නට ගියොත් ඉවරයක් නැති වෙයි...ඔබේ මවුන්ට නිවන් සුවය අත්වේවා..ඇය ඉතා වාසනාවන්ත මවක්,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...