පසු ගිය සෙනසුරාදා සිට මා මිට පෙර පෙළ ගැස්වූ ලිපි පෙලක් නැවත පළ කිරීම ඇරඹියෙමි. අද දින එහි දෙවන ලිපිය පළ කරමි. යම් කෙනෙකු හට යම් වැදගත් පණිවුඩයක් එයින් ලැබේ යැයි සිතන නිසාවෙන් මෙලෙසින් පළ කරන අතර පෙර ලිපි වල කිසිඳු වෙනස් කමක් කර නැත. මෙය අපි ජීවිත පන්නරය ලැබූ සැටි දැක්වෙන සත්‍යයම කථාව නිසා එය මා ලියා ඇති ආකාරයේ යම් නීරස ස්වභාවයක් වේ නම් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමි.
“සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” 02 කොටස
දවස් තුනකින් කිසිවක් පල කරන්න බැරි උනේ සති අන්තය නිසාවෙනි. තවද ඊයේ දිනයේ දි ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් නිසා හිටි හැටියේ නිවාඩුවක් දැමීමටද සිදු විය.
ඉතින් එදා නවතපු තැනින් අද පටන් ගන්නෙමි.
සමහර අවස්ථාවන් වලදී බොහෝ දෙනා තමන් ගත්ත තීරණය මත්තේම එල්ලී ගෙන සිටිනා අයුරැ දැක ගත හැකිය. එවිට ඔවුනට පෙනෙනුයේ ඒ තීරණය ඉතාමත් නිවැරදි වූත් බුද්ධි ගොචර වූත් තීරණය ලෙසිනි. මේ කථාවේදිත් අප සියලු දෙනා අප විසින් තනි තනිව එල්බ සිටි මතයන් ඉතාමත් නිවැරදි ම මතයන් බවට තීරණය කරගෙන තිබුනු නිසාවෙන් අනෙක් අයගේ අදහස් වලට කන් දුන්නද ඒවායේ අරැත් වටහා ගැනීමට උනන්දුවක් නොදැක්වීය. මගේ අම්මා සම්බන්ධයෙන් පවසනවා නම් ඇය අනෙක් අයගේ අදහස් කොහෙත් ම නොසැළකුවාය. “ඔය කොලුවා රජෙක් වෙලා ආවත් මම නම් කැමැත්ත දෙන්නේ නෑ නෑමයි” යන වදන අම්මා කිහිප සැරයක්ම දැඩිව අවධාරණය කර සිටියාය. එවැනි අවස්ථාවන් වලදී මා තුලද පහල වූයේ ආවේගශීලි අදහස් පමණි. එනමුදු එවන් බොහෝ අවස්ථාවන් වලදී මුවින් එක වදනකදු නොහෙලා සිටීමට තරම් මම පරිස්සම් වූයෙමි. එයට හේතුව මේ ප්‍රශ්නයේදී කෙසේ වුවද මාගේ ජීවිතයේ යම් සඵලතාවක් තිබේ නම් එයට සියයට අනූවකම දායකත්වය ලැබුනේ මාගේ අම්මාගෙන් නිසාවෙනි. එහෙත් සමහර අවස්ථාවන් වලදී මාගේ ඉවසීමේ සිමාවටද උන් හිටි තැන් අමතක වූ අවස්ථාද තිබෙන බව අද මා සිහි කරන්නේ මද නොසන්සුන්තාවයකිනි. ඒ එවන් අවස්ථාවන් වලදී අම්මා හා මා අතර ඇති වූ බහින්බස් වීම් සිහිවන නිසාය.
දැන් සිටින්නේ මීට මාස හයකට එහෙමත් නැත්නම් අවුරැද්දකට පෙර සිටි මා නොවේ. මා දැන් සිතන්නේ පෙර ආකාරයට නොවේ. ලෝකය දෙස ප්‍රශ්න දෙස බලන්නේද පෙර පරිදි නොවේ. අප වරෙක මහමෙරක් ලෙසින් හිස තබා ගෙන ගාලගෝට්ටි බවට පත් කර ගන්නා යම් යම් දෙවල් තුල ඇත්තේ හුදෙක් හිස් බවම පමණක් බව කාලයත් සමගම වැටහී යන විට පෙර අප හැසිරැනේ කෙතරම් මූඩ ආකාරයටද යන්නද ඒත් සමගම සිහියට එයි. අපගේ විවාහ දිනය වනතුරැ අපි දෙදෙනා මහත් වූ බලාපොරොත්තු රැසක් පොදි බැදගෙන බලා සිටියෙමු. එහෙත් විවහා දිනයේදී පිටත්ව යන මොහොත එළඹෙන විට එතැන වූයේ වෙනත්ම තත්ත්වයකි. සියලු නෑදෑ හිත මිතුරන් සමගින් අප දෙදෙනා හඩා වැලපුනෙමු. ඒ මොහොතේදීත් මා පෙලුවේ යුද්ධයක් කර දිනා ගත්තද ඒ ලෝකයට පිටත්ව යාමට නිවසේ සියල්ල හැර දා යාමට සිදුවීම කෙසේ නම් දරා ගන්නද යන්නයි. අවසානයේ පිටත්ව යන විට, කර තිබු රෑපලාවන්‍ය හැඩගැන්වීම් සේරම කදුළු වලින් සේදි තිබින. මාගේ සිතීමේ මානය වෙනස් වූයේ අප දෙදෙනා මධු සමයට පිටත්ව ගිය මොහොතේ පටන්මය. එතැන් පටන් එතෙක් මට නොපෙනුන මානයක් මා ඉදිරියේ දිස් වන්නට විය. අම්මා උත්සව දිනයේ මුළු දවසම හිටියේ වැහි බීරමෙන් යුතු අහස සේය. ඇයගේ කන්තෝරැවේ මිතුරියන් පැමිණි විටද ඇය හඩමින් පැවසුවේ “අනේ මට දරා ගන්න බැරි තරමට දුකයි දුව ගියාට පස්සේ මම කොහොම ඉන්නද” යනුවෙනි. අම්මා හැම දේම කලේ මාගේ ඉදිරි ජීවිතය වඩා යහපත් කෙරැමට බව මම හැමදා දැන සිටියෙමි. ඒත් අම්මාට මීට වඩා නම්‍යශීලි වන්නට තිබුනි. ඒ පාර්ශවය සමග වඩා සුහදව කථා කරනු වෙනුවට අම්මා කලේ ඔවුන් සමග බහින් බස් වීමය. එවිට තාත්තා ඉදිරිපත් ව අම්මාගෙන් ඇසුවේ “ඔහොම රණ්ඩුවෙලා ඊට පස්සේ මේ මගුලම කෙරැනොත් අපි කොහොමද මූණ දෙන්නේ” යනුවෙනි. එවිටත් අම්මා කීවේ “ඒවා කොහෙද කෙරෙන්නේ” කියාය.
අප දෙදෙනා සම්බන්ධයෙන් කියනවා නම් සමාජය විවහයකදී ගලපා බලන සාධක සියල්ල ඕනැවටත් වඩා ගැලපී තිබිණ. අධ්‍යාපන මට්ටම සමානය. රැකියා තත්ත්ව සමානය. කුළ ප්‍රශ්නයක් නැත. ආගම අතින්ද සමානය. කීමට නොගැලපීමක් නොමැත. පෙර භවයේ කරන ලද අකුසල කර්මයක් නිසාවෙන් මේ සියලු ප්‍රශ්න ඇති වූවා යැයි සිතීම හැර වෙන කිසිවක් සිතා ගත නොහැක.
ඉතින් මෙය කියවන අම්මේ, තාත්තේ, සමහර විට ඔබගේ දරැවාත් මෙවැනි හිතුවක්කාරී අදහසක සිටිනවා විය හැක. යම් පිළිගත හැකි නොගැලපීමක් තිබෙනවා නම් ආදරයෙන් වටහා දෙන්න උත්සහ කරන්න. කෙසේ වුවද දරැවෙකුගේ මෙවන් සම්බන්ධයකදී නොකළ යුතු කාරණා දෙකක් තිබේ. එනම්, එක් වරම විරැද්ධත්වය ප්‍රකාශ කිරීම හා එක් වරම කැමැත්ත ප්‍රකාශ කිරීමයි. එක් වරම කැමැත්ත ප්‍රකාශ කිරීමෙන්, ඔවුනට ඕනැවට වඩා ලිහිලක් ලැබීමෙන් සම්බන්ධයේ වටිනා කම් ගිලිහි යා හැක. දරැවාට කරදරයකින් තොරව සිය අනාගත ජීවිතය ගත කල හැකි පරිසරයක් තිබේ දැයි සොයා බලන්න. අධ්‍යාපන මට්ටම්, රැකියා තත්ත්ව අනුව ඔවුන්ට සිය ඉදිරි ජීවිතය තව තවත් සාර්ථක කර ගත හැකි වනු ඇති දැයි සොයා බලන්න. ඒ බවට තහවුරැ කරන්න ඔවුන්ව පොළඹවන්න. කැමැත්ත දිය යුතු අවස්ථාව එවිට ඔබට වැටහේවි.
ඒ වගේම ආදරණීය අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ. අද ඊයේ මුණ ගැහුනු කෙනෙකු නිසාවෙන් දෙමව්පියන්ගේ හිත් තලන්න එපා. මොන තත්ත්වයක් මත වුවත් දෙමව්පියන්ගේ දහදිය මහන්සිය නිසා අප අද මේ තත්ත්වයෙන් සිටින බව සිහි කරන්න. දෙමව්පියන් අකමැත්ත ප්‍රකාශ කරන්නේ ඇයි දැයි නුවනින් විමසා බලන්න. යම් අඩුපාඩුවක් වේ නම් එය නිවැරදි කරගෙන නැවත උත්සහ කරන්න. කිසිදාක කවර හේතුවක් මතවත් හිතුවක්කාර ලෙස (එනම් පැනලා යාමට) විවහා වීමට සිතන්න එපා. ඒ සදහා උපදෙස් දෙන්නට, පැනලා ආ දිනයේ නවාතැන් දෙන්නට, ඕනෑ තරම් මිතුරන් සිටිවී. එහෙත් පසදා පටන් ජීවිතයට මූණ දෙන්න ඕනේ ඔබයි. දෙමව්පියන් ඇහේ දාගෙන හැදූ දරැවන් එවන් දෙයක් කල දිනයට ඔවුනට කුමක් දැනෙනු ඇතිදැයි සිතන්න. අනෙක් අතට විවාහයක් යනු ඉතාමත් ලස්සනට සිදුවිය යුත්තක් යන්නයි මාගේ හැගීම. සියලු නෑ හිත මිතුරන් අභිමුව, පෝරැ මස්තකාරෑඩව, සියලු චාරිත්‍ර විධි ඉෂ්ට කොට, සිදු කරන විවාහයක් ලබන්නට පිං කළ යුතුය. ඒ හැගීම එතරම් වටනේය. විවාහ දිනයේ ගත් පිංතූරය දකින හැම විටම සිත සංතෝෂයෙන් පිරෙයි. හිතුවක්කාර විවාහයක් ඔබට උරැම කරන්නේ සැගවී සිටීමට ගොළුබෙලි කටුවක් පමණි. ලස්සන, චාම් විවාහ උත්සවයක් ඔබට අභිමානයක් ඇති කරනු ඇත. මා ඔබ හැම දෙනාටමත් පවසන්නේ ඒ අවස්ථාව මග හරින්න එපා. ඔබගේ ආදරණීය දෙමව්පියන්ගේ මහළු දෙනෙත් යුග වලට ඒ අවස්ථාව මග හරවන්නත් එපා යන්නයි.
අප දෙදෙනා ජීවිතය දිනා ගැනීමට ගත් ක්‍රියා මාර්ගයන් ඉදිරියේදී පවසන්නම්.
ඔයාට කොමෙන්ට් එකක් දමන්න මම ක්ලික් කරනකොට ඇඩ් එකක් ආව මම ඒවට ආස නෑ....
ReplyDeleteහිතන්න ඔනා දේවල්
ReplyDelete@ indi,
ReplyDeleteබොහොමයක් බ්ලොග් වල ඒ ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම එම ඇඩ් වලට මගේ අනුදැනුමක් නැහැ. සිදුවූ අපහසුතාවට මගේ කණගාටුව.
@ WAP,
ස්තුතියි