Saturday, August 20, 2011
34. මගේ කතාව 4 - ............ ජීවිතය ගැන විමසුමක්.......
මගේ කතාව 1
මගේ කතාව 2
මගේ කතාව 3
" හෙහ්....හෙහ්......හෙහ්....." රංජිත් අයියගෙ හිනාවෙ සද්දෙ මිදුලෙ අඹ ගහ පහුකරල ගම්පල පාර දිහාවට විහිදුනා.
ඊට පස්සෙ ටික වෙලාවක් නිශ්ශබ්දව ගෙවුනා.......
මම වීදුරුවත් අතේ කරකවමින් ඔහේ කල්පනා කලා....මට වැරදුනෙ කොතනද?.......ඒ වැරැද්ද ආයෙම හදා ගන්නෙ කොහොමද?........ඔන්න ඔය වගෙ ................
" හපොයි දැන්නම් මාර සීතලයි.......තව ටික වෙලාවකින් ඉන්නම බැරිවෙයි මෙතන. රංජිත් යමුද ඇතුලට......" අක්ක කිව්වෙ අත්දෙකත් පොරවගෙන.....
" මොකෝ කියන්නෙ අජන්ත ඇතුලට යමුද?"
" හරි අයියෙ එහෙනම් යමු...." මම නැඟිට්ට......අපි අඩුම කුඩුම ඔක්කොම සාලෙට අරගෙන සඳළු තලේට විවෘත වුනු ලොකු දොර පියන් දෙක වහල දැම්ම.
" හප්පා........එළියෙ කොච්චර සීතලද කියල තේරෙන්නෙ ඇතුලට ආවට පස්සෙ නෙව....." අක්ක කිව්වෙ ස්වේටර් එක ගලවන අතරෙ.
අපි ඔන්න ආයෙම ටීපෝ එක වටේට ඉඳගත්ත.
" ඉතිං අජන්ත ඊළඟට........" රංජිත් අයිය එහෙම ඇහුවම, " අජන්තට මහන්සි වගේනම් අපි කාල නිදාගමු" .......අක්ක කිව්වෙ නැඟිටින ගමන්.....
" නෑ, නෑ, අක්කෙ මට කොහොමත් මේ කතාව අද ඉවර කරන්න ඕනමයි.....හෙටට කල්දාන්න බැරි තරමට මගේ හිත බර වැඩියි " මම කිව්වෙ ආයාසයෙන් හිනාවක් මුවඟට නංවා ගන්න ගමන්,
" හරි එහෙනම් කියන්න....ඉන්න මම තව මොනව හරි කන්න අරන් එන්නම්......මටත් දැන් බඩගිනියි ".........අක්ක ගියා කුස්සියට.
මම අසෝක වීදුරුව ආයෙම පුරවගෙන බිත්තියෙ එල්ලල තිබුනු ගල් විහාරෙ හිටි පිළිමෙයි, අවුකනයි පිංතූර දෙක දිහා බලා හිටිය.
" මම ගිය පාර පොත් ප්රදර්ශනෙන් ඔය දෙක ගත්තෙ, ලස්සනයි නේද? "
" ඇත්තමයි අයියෙ........ ගල්විහාරෙ පිළිමෙ දිහාවෙ ඕන තරම් වෙලා බලාහිටිය හැකි ඇහිපිය නොහෙලා......"
" මොකෝ දෙන්න ඒ පාර පිළිමෙ දිහා බලාගෙන......දැහැනකට සමවැදිල වත්ද?......හරි හරි අජන්ත කතාව.....කතාව........" ජානකී අක්ක ගෙනල්ල තිබ්බෙ පොළොස් වගයක්.
" අන්න මරු......අජන්ත දන්නවද මෙයා ඔය පොළොස් මාලුව උයනව දවස් තුනක්......හෙහ්, හෙහ්, ගෑස් සිලින්ඩරෙන් බාගයක් ඉවරයි."........රංජිත් අයිය කොක් හඬලා හිනා උනා.
" මේ බොරුනෙ මල්ලි......මට දවස් ගනන් පොළොස් උයන්ටම තමා වෙලාව තියෙන්නෙ......අපෙ අත්තම්ම නම් මම පොඩි කාලෙ මට මතකයි පොළොස් මාලුව මඳ ගින්නෙ උයනව දවසක් විතර.......හරි, හරි මල්ලි එව්වයින් වැඩක් නෑ.......කතාව .....කතාව,"
" හරි මම කොතනද නැවැත්තුවෙ අක්කෙ? "මම ඇහුවෙ ඇත්තටම කතාව නවත්තපු තැන අමතක වෙලා නෙවෙයි......
" අර සචිනි පොත් ප්රදර්ශනේ බලන්ට ගිහිල්ල......"
" ආ.....හරි, හරි, එතනින් ඒක ඉවර උනයි කියමුකො.....ඔහොම ටික දවසක් ගිහිල්ල ආයෙම ප්රශ්නයක් මතු උනේ......සචිනිගෙ නම ඒ කිව්වෙ වාසගම ගැන,අපෙ අම්මට ඕන උනා සචිනිගෙ නම වෙනස් කරවන්ට. "
" අපෙ අම්ම අයියෙ, අපෙ වාසගම ගැන පුදුම ආඩම්බරේකින් ඉන්නෙ.....ඒ නිසා එයාට ඕන උනා සචිනිගෙ වාසගම වෙනස් කරවන්ට."
" සචිනි කැමතිඋනේ නෑ?" ....ජානකී අක්ක හිනාවෙලා ඇහුව.
" නෑනෙ....එයාගෙ අප්පච්චිට සචිනි හරිම ආදරෙයි.......ඒ වගේම එයගෙ නම ගැනත් ලොකු ආඩම්බරේකින් ඉන්නෙ....ඒ නිසා එයා කැමති උනේ නෑ.....අන්තිමට මම කිව්ව හරි හරි බැරිනම් නිකම් ඉන්න කියල....ඒ ප්රිශ්නෙත් එතනින් යට ගියා."
" එහෙම ප්රෙශ්න යට ගියාට ප්රශ්න නැතිවෙන්නෙ නෑ මල්ලි.....අපි එහෙම ප්රශ්නෙ ඉවරයි කියල හිතුවට ප්රශ්නයකට විසඳුමක් හොයාගත්තෙ නැත්නම් ප්රශ්නෙ අළුයට ගිනි වගෙ තියනව මිසක් නැතිවෙන්නෙ නෑ."
" හෙහ්...හෙහ්.....සම්පූර්ණ ඇත්ත අයියෙ.....සම්පූර්ණ ඇත්ත....මම මගේ අත්දැකීමෙන්ම දැන් දන්නව ඒ කතාව සම්පූර්ණ ඇත්තෙයි කියල."
" හරි ඔයිටත් පස්සෙ දවසක් මට දැක්ක සචිනි ලියල තිබුනු කවි පෙලක් මේසෙ උඩ තියනව.......සචිනි පොඩි දවස්වල ඉඳල කවි ලියනව......පත්තර වල එහෙමත් පලවෙලා තිබිල මටත් පෙන්නුව එයා ලියපු කවි......''
" ඉන්නකො අක්කෙ මම ඒ කවි පෙල ගෙනත් දෙන්නම්.......මම මගෙ පර්ස් එකේ තිබ්බ කවි පෙල ලියපු කොලේ ගෙනත් අක්කට දුන්න."
සෙනෙහස අමාදිය පතමින් පැමිණියෙමි,
සඳවත සිහිල විඳිනට නිති පැතූයෙමි,
විහඟුන් ගයන ගී පද මැද නඳුනුයනේ,
ඔබ සුරතේ වෙලී ඇවිදිමි සිතූයෙමී,
සිහිලස සිඳීගිය කතරකි නෙත ගැටුනේ,
සඳවත දකින්නට නැත මේ අමාවකේ,
විහඟුන් නඳුනුයන් අත්හැර පළාගියේ,
සුරතින් ඔබේ මා අතැඟිලි ලිහීගියේ,
ජීවිත ගමන සිත් රිදවන කල මෙලෙස,
කෙලෙසක එකම මඟ යන්නෙද අප දෙදෙන,
විකසිත වුනේ කුසුමක් මුකුලිත වෙන්ට,
සෙනෙහස කුමක්දැයි සොයනෙමි මම තවම,
ජානකී අක්ක හෙමිහිට කවි පෙල තාලෙට මිමිණුවා....." ලස්සනයි.....හැඟීම බරයි.....සංවේදියි.....කඳුලු ආව ඇස් දෙකට...." අක්ක ඇත්තටම කඳුළක් පිහ ගත්ත.
" කෝ මටත් දෙන්නකො" .........රංජිත් අයියත් කවිපෙල කියෙව්ව....." පව්....මට ඒ කෙල්ල ගැන දුකයි........ඉතිං අජන්ත මොකද ඔයා කලේ කවි පෙල කියවල......."
අයියගෙ මූණ බලන්න බැරුව මම බිම බලාගත්ත......" මම සචිනිට කිව්ව ආයෙ කවි ලියන්න එපා කියල......"
මතු සම්බන්ධයි...............
Subscribe to:
Post Comments (Atom)
පැසවෙන දෙයක් දමා, පොලිතීන් කෑල්ලක එතූ යම්තම් පොඩි කිරල ඇබයකින් වැසූ බෝතලයක් සිහිවිය. පොලිතීන් කොළය නොවෙන්න පැසෙවෙද්දි ඇතිවෙන ගෑස් කිරල ඇබයෙන් සිහින්ව නිදහස් වෙන්න තිබුණි, එයත් ඇහිරී ඇතිකොට අතුලත එකතුවෙන () තෙරපුම ඇබය උඩට විසිකර පිට වෙනවා ඇති. බෝතලයේ ද සමතුලිත තාවය බිඳී පෙරලෙනවා ඇති.
ReplyDeleteඔබේ ඉදිරිපත් කිරීමේ ඇති ගැඹුරු විමසුම් ඇස බොහෝ අගේය රවී.
හ්ම්ම්ම්ම්.....
ReplyDeleteඅද කතාව කොට වැඩිද මංදා..........
මේ කතාව දැන් මම මේ බ්ලොග් එකේ කියවාපු හොඳම කතාව වෙලා ඉවරයි .. නියමෙට ලියලා තියනවා රවී
ReplyDeleteමම කොහොමත් සචිනීගේ පැත්තෙන් කතාව අහනවාට වඩා අජා ගේ පැත්තෙන් කතාව අහන්න කැමතියි මම හිතන්නේ මම ඒක මුලින්ම කමෙන්ට් එකෙන් කියන්නැති ..
මගේ කලින් කොමන්ටුවේ "ඇතුලත එකතුවෙන (build-up) තෙරපුම" හැටියට නිවැරදි විය යුතුයි.
ReplyDelete//මම අසෝක වීදුරුව ආයෙම පුරවගෙන බිත්තියෙ එල්ලල තිබුනු ගල් විහාරෙ හිටි පිළිමෙයි, අවුකනයි පිංතූර දෙක දිහා බලා හිටිය.//
ReplyDeleteමොකක්ද අනේ 'අසෝක වීදුරුව' කියන්නේ?
මම හිතන්නේ ඊලඟ කෑල්ලේ තමා හොඳම 'කොටස' තියෙන්නේ....බලාගන ඉම්මු...:)
@ ගල්මල්-Coral
ReplyDeleteස්තූතියි බොහොමත්ම ඩීන්......ඔබේ ජීවිතය ගැන ඇති ගැඹුරු දැක්ම මම බොහොම ගරු කරන දෙයක්......නිදර්ශනයත් අපූරුයි......පීඩනය නිදහස් වීමට ඉඩ කඩ නැහැ කියන්නෙ එතන තියෙන්න ඇත්තටම අවරෝහණ ගනනය කෙරෙන කාල බෝම්බයක්........A time bomb ticking away......only a matter of time before it will explode......Thanks again Deen,
@ හා පැටික්කි (MS),
ReplyDeleteහෙහ්...හෙහ්.....එහෙම ඔයාට තේරුණාද?.....කතාව ඇත්ත......උනේ මේකයි.....ඉතිරි හරිය එක පෝස්ට් එකකට දිග වැඩියි.....පෝස්ට් දෙකකට මදි වගෙ උනා............එකයි මේ කොටස ටිකක් කෙටි උනේ......
ඔයාල එක්ක කිසිදෙයක් කොරන්න බැහැ නෙව.......D,
ස්තූතියි නංගි ප්‍රතිචාරයට....
@ සඳරු,
ReplyDelete/ මම කොහොමත් සචිනීගේ පැත්තෙන් කතාව අහනවාට වඩා අජා ගේ පැත්තෙන් කතාව අහන්න කැමතියි මම හිතන්නේ මම ඒක මුලින්ම කමෙන්ට් එකෙන් කියන්නැති ../
හෙහ්...හෙහ්......මොකෝ නැතුව, මොකෝ නැතුව, කිව්ව නේන්නම්, මුලින්ම උඹ සචිනිගෙ කතාවට කමෙන්ට් කලෙත් නැහැ නෙව........හෙහ්, හෙහ්,
ස්තූතියි සඳරු.......අජන්තගෙ කතාව හැමදාමත් අහල මොනව හරි කියල යනවට.....
@ Podi Kumarihami,
ReplyDelete/ මොකක්ද අනේ 'අසෝක වීදුරුව' කියන්නේ? /
අසෝක වීදුරුව යනුවෙන් හඳුන්වනු ලබන්නේ විශේෂයෙන් මත්පැන් පානය කිරීම සඳහාම යොදාගනු ලබන 4'' පමණ උස කුඩා වීදුරු විශේෂයකි.වසර පනහක් හෝ හැටකට පෙර මේ මාදිලියේ වීදුරු නිශ්පාදනය හෝ ආනයනය කරන ලද්දේ Ashoka Glass Company නම් සුප්‍රසිද්ධ වීදුරු කර්මාන්තයේ නියැලි සමාගමක් නිසා එකල ඒ හැඳින්වුනු " අසෝක වීදුරු" යන නාමය අදට ද භාවිතා වෙයි. Got ot now, Poddi?
/ මම හිතන්නේ ඊලඟ කෑල්ලේ තමා හොඳම 'කොටස' තියෙන්නේ....බලාගන ඉම්මු...:) /
එහ්හෙන්නං.....එහ්හෙන්නං.....ඊළඟ කොටස තමයි ඇඬෙන කෑල්ල......බූල් තුවායක් කාරිය ලෑස්ති කොරගත්තට කමක් නෑ......පොඩ්ඩි.....හෙහ්, හෙහ්,
උද්වේගකරයි.....අසම සමයි......ශෝචනීයයයි.......ජුගුප්සාජනකයි.......The Climax.....හෙහ්, හෙහ්,