Wednesday, August 24, 2011

81. මායි මගේ අම්මායි - මග යද්දි වුනු දේවල් සහ තවත් දේවල්

පහුගිය දවස් වල ලිව්ව ඒවා

80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා
79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය


අද මට කියන්න හිතුනේ මායි මගේ අම්මායි ගමන් බිමන් ගිය හැටි ගැනයි. ඉස්සර මායි අම්මායි කෝච්චියේ කොළඹ එනවා. ඒ එන්නේ මං ඉස්කෝලේ යන්න අම්මා වැඩට යන්න. මේ කියන කාලේ නංගිලා දෙන්නා පුංචි නිසා එයාලා පාසල් නොගිය බවයි මට මතක.

අපි දෙන්නා ‍කෝච්චියට නගින්න සෙනඟ තද බදය අස්සේ ඇදිලා යනවා....එක් වරක් අම්මාගේ අතින් මගේ අත ගිලිහුනා........ අම්මා විගස නැවත අල්ලාගෙන මං බලාගෙන ඉද්දීම දුවගෙන දුවගෙන යනවා......... අම්මාට වැරදුනානේ..... අම්මා අල්ලාගත්තේ මගේ අත නෙමෙයි.......... වෙන අංකල් කෙනෙකුගේ අත........... ඇයට එක්වනම ‍වැටහෙන්න ඇති මේ අතේ වෙනසක් තියෙනවා කියලා......... හැරිලා බලපු ගමන් වෙච්චි දේ හොඳ හැටියට ‍වටහා ගත්ත අම්මා, අර අංකල්ගේ අත ගසා දාලා මං ගාවට දුවගෙන ආවේ ඒ මනුස්සයාට 'සොරි' කියන්නවත් පමා නොවෙමින්....... ඊට පස්සේ අපි දෙන්නා කොහොම හරි ඒ කෝච්චියට ම නැගලා කොළඹ ආවා........ අපි දෙන්නට මග දිගට හරි හිනා..................

*************************************

දවසක් හවස අපි දෙන්නා දුවගෙන ඇවිත් කෝච්චියට නැග්ගා........... හැම අසුනේම සෙනඟ......... එක තැනක විතරක් හිස් අසුනක් තිබුනා......... අම්මා මං පස්සට ඇදෙද්දී මාව එතැන වාඩි කෙරෙව්වා............. මං පස්සට ඇදුනු හේතුව ඇයට තේරුනේ නැහැ............ එතැන එහා පැත්තේ හිටියේ හිඟන මනුස්සයෙක්............ අම්මා හිතුවේ මගේ පුංචි කකුල් රිදෙයි කියලා විතරයි. එහා පැත්තේ උන්නේ කවුද කියලා අම්මාට කල්පනාවක් වුනේ නැහැ.හරිම ගඳයි මට එතැන ඉන්නත් බැහැ. ඒත් ඉතිං නැගිටින්න යද්දි අම්මා රවනවා. මට ඇඬෙන්නත් වගේ. මොනවා කරන්නද? ස්ටේෂන් 8ක් විතර එහෙමම වාඩි වෙලා ඇවිල්ලා, බැස්සට පස්සේ අම්මාට කිව්වා. "අනේ පුතේ ඇයි නොකිව්වේ? ඔයා ඇයි නැගිටලා ආවේ නැත්තේ? ඇත්තමයි මං දැක්කේ නැහැනේ" ඉතිං මොනවද මං දෙන උත්තර?

*************************************

පුංචි කාලේ වුනත් දුම්රියේ යද්දි ලොකු අංකල්වරු කරපු සමහර නරක වැඩ වලට මට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම අම්මාට මං ඒ දේවල් ඒ විදිහට ම කියන්න කිසිදාක අමතක කලේ නැහැ. එවැනි දේවල් දෙපාරක් වුනු පසු අම්මා දුම්රියේ යන්නේ මට සියලුම ආරක්ෂක විධිවිධාන යොදාගෙනයි. ඔය වගේ දවසක් හවස අපි එද්දි දුම්රිය මගී ජනතාවගෙන් පිරී ඉතිරි ගොස් තිබුනා. අම්මා කලේ මාව බදාගෙන තුරුලු කරගෙන මුළු ගමනම ආපු එකයි. දුම්රිය වංගුවකින් යද්දී අපි වැටෙන්න ගිය තරම්. ඒත් ඇය මා අත නොහැර බදාගෙන ම සිටියා. කෙසේ හෝ ගමනාන්තය ට ආවා. බොහොම නරක දෙයක් සිදුවී තිබුනා. අම්මාගේ අත්බෑගය කපා මුදල් පසුම්බිය හොරු ගෙන තිබුනා.

*************************************

පුංචි කාලේ ඉඳන්ම වළලු වලට මගේ කැමැත්තක් තිබුනේ නැහැ. 'බ්‍රෙස්ලට්' නම් වූ අත්පළඳනාවකටමයි හිත තිබුනේ. මම ඒ පිළිබඳව යම් විටෙක පවසා තිබුනත් අම්මා ඒ පිළිබඳව මතකයෙන් උන්නා යැයි මම දැන සිටියේ නැහැ. විභාගයක් සමත් වීම හේතු කොට ගෙන හෝ උත්සව දීමනාවක් ලෙස හෝ ලැබුනු රු.3000කින් ඇය දිනක් මට 'බ්‍රේස්ලට්' එකක් ගෙනැවිත් තිබුනා. එදින මම ඉතාමත් සතුටට පත් වූ බවත්, අම්මා ඒ පිළිබඳව දැන සිටි බවත්, ඒ පිළිබඳව නිරතුරු සිතා ඇති බවත් සිතා පුදුමයට පත් වූ බවත් මතකයි. කෙසේ හෝ එය මට මිලි කිහිපයකින් කුඩා වැඩි වුනා. එවිට අම්මා සිනහා වෙමින් පැවසුවේ, "මං හිතපු පුංචි කෙලී නෙමෙයි දැන් ඉන්නේ, දැන් නං එදා වගේ වෙන කාගේ හරි අත අල්ලා ගත්තත් වෙනසක් නැති වෙයි වගේ. අලි අතක් නෙව දැන් තියෙන්නේ" යනුවෙන්.

*************************************

මම පාසල් ගොස් අවසන් වී වෘත්තීය අධ්‍යාපනය ලැබ ඒ සඳහා වූ පුහුණුවන අවධියේ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යෑමට සිදුවුනා. එතැනදි ප්‍රායෝගික පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට සිදුවුනු අතර ඒ අය කියා සිටියේ ගෙදර ගොස් එය නිමකර පසුදින ගෙනැවිත් භාර දෙන ලෙසයි. මම ඒ සඳහා ගියේ අම්මා තාත්තා දෙදෙනාම සමගයි. ඉතිං එදින රෑ එළිවනතුරු මට ඒ කාර්යය කරන්න සිදු වුනා. අම්මා මුළු රෑම අවදියෙන් සිටිමින් මට විවිධ කෑම වර්ග ගෙනැත් දෙමින් තේ සාදා දෙමින් කාලය ගත කලා. පසුදින අම්මාත් මාත් නැවත එම ස්ථානයට ගොස් අදාල දේ බාර දී දුම්රියෙන් පැමිණෙමින් සිටියා. පෙරදින නිදි වැරූ විඩාවෙන් පසුවුනු අම්මා, ඇඳ සිටි සාරියේ පොට ගෙන ගෙල වටා දමාගෙන අඩ නින්දේ තමයි ගමන් කලේ. මමත් අම්මාට යාබද අසුනේ අම්මාගේ උරහිසට හිසතබාගෙන ගමන් කලා. එක්වරම දෙමටගොඩින් දුම්රිය ගමන් ආරම්භ කරනවිට යම් හේතුවක් නිසාවෙන් තිගැස්සුනු මම හැරී බලන විට, මිනිසකු දුම්රියෙන් යාබද රේල්පීල්ලට පනිනු දුටුවා. ඔහු අතේ කෙලවරක් රැඳී, මුදුන් වූ හිරුගේ ආලෝකයෙන් දිලිසී පැද්දී ගිය අම්මාගේ පවුම් දෙකක් පමණ වූ මාලය එයින් දින දෙක තුනක් යනතුරු හීනෙන් පෙනෙමින් මගේ නින්ද මට අහිමි කලා.

*************************************

8 comments:

  1. හ්ම්ම්ම්ම්...........

    මතක අහුරක්ම...... මාත් තාමත් ඉතින් කොහේ යතත් අතේ එල්ලෙන පුරුද්ද ඇරිලා නෑ. දවසක් මං එහෙම යනවා දැකපු ඉස්කෝලේ මිස් කෙනෙක් අපේ අම්මා ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාම අහලා දුව අරම යනකොට අමාරු නැද්ද. කියලා. අම්මා කියලා නැ පුරුද්දට ගිහින් කියලා.....

    ඒ ඇන්ටිටට ඉන්නේ 3 වසරේ පොඩි පුතෙකුයි ඊට බාලා දුවෙකුයි. ඒ ඇන්ටිට තරහා යනවලු අරම අතේ එල්ලිලා එද්දි. ඒකයි අහලා තියෙන්නේ......

    ReplyDelete
  2. පුංචි පුංචි කතා ගොඩකින් ලොකුම ලොකු කතාවක් කියවිලා තියෙන්නෙ...
    පෙම්මාදර නිසා රතු ලේ සුදු කිරට
    හරවා පොවා මා ඇතිදැඩි කළ යසට
    නිම්මා නොමැති දුක් වින්දා විටින් විට
    අම්මා මගේ අම්මා සිතුමිණකි මට!!
    (මගේ හිතේ තිබුණු කවියක්..කාගෙද කියල දන්නෙ නෑ ඔන්න)

    ReplyDelete
  3. අම්මාලාගේ ගුණ බ්ලොග් පෝස්ට් එකකින් දෙකකින් කියන්ඩ පුලුවන් යැ නේද?

    ඒක නෙමේ ඔයා හුගක් දවස් රෑ නිදිමරාගෙන වැඩ කරාද? අම්මත් ගොඩාක් කෑම ජාති හද හදා දෙන්ඩ ඇනි නේද? අර බ්‍රෙස්ලට් එකත් මදි උනා කිව්වේ ඒක වෙන්ඩැති.

    එතකොට "අනේ අම්මෙ අනේ අම්මේ" කිය කිය හරස් බිත්ති දිගේ ගියෙ කොයි කාලෙද?

    ReplyDelete
  4. ඉන්නෙ ලංකාවෙ නේ මේව අතිෂයින් ස්වාභාවිකයි....

    ReplyDelete
  5. සාවේදී සටහනක් අක්කේ

    ReplyDelete
  6. ගොඩක් සංවේදී සටහනක් අක්කේ

    ReplyDelete
  7. සුන්දර මතක ගොන්නක්ම

    ReplyDelete
  8. බොහොම ස්තුතියි අදහස් පල කල හැම දෙනාටම..............

    හා පැටික්කි සංවේදි මතකයක් සිහිපත් කලා නේද?

    ඉන්දික නර්ස් මහත්තයා ලස්සන කවිය හාද? මේක ඔබතුමාගේම අදහසක් වගේ මට පේන්නේ

    ඕන් ඇවිල්ලා තව එක්කෙනෙක් හොඳ දෙයක් මතක් කරගෙන. ඒකත් ලියන්න ඕනෑ බුද්ධි මං.

    ඔව් ඉන්දි අතිශයින් ස්වභාවිකයි. ඒත් දරුවෙකු හැටියට මේ දේවල් විශේෂත්වයෙන් දැක්කේ නැත්තං, අම්මා තාත්තාට සැලකීම අප අතින් ගිලිහෙයි ඉක්මනටම

    ස්තුතියි බ්ලොග් පුසෝ සහ ඩීන් අයියාට

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...