Monday, August 22, 2011

79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය

හිතුව ලෙසට ඊයේ දිනයේ යමක් ලියාගන්නට මට හැකියාවක් ලැබුනේ නැහැ. කාර්යය බහුලව ගෙවිලා ගිය නිවාඩු දිනයේ, පරිගණකය පණ ගන්නවන්නවත් වේලාවක් නොලැබීම එයට හේතුයි. ඉතිං අද ලද ඉසඹුවේ මෙසේ ලියන්නට යෙදෙනෙමි.

මායි මගේ අම්මයි නේ මගේ මාතෘකාව. මේ මාතෘකාව යටතේ ලියන්න නං කාරණා බොහොමයි. අප්‍රමාණයි. ඒ කාරණා හැම එකක්ම වෙනත් අයට කියවන්න තරම් කැමැත්තක් ඇති වේද යන්න පිළිබඳව විචිකිච්ජාවක් හිතේ කැරකෙන මේ වෙලාවේ, මතක්වෙන අමතක නොවනම කාරණා මේ අවකාශයේ සටහන් කරන්නට සිතුවෙමි.

අම්මා කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන අවධියේ, (එවිට, එනම් 1990දී, මම 3 වන වසර ඉගෙනුම ලබමින් සිටියෙමි) මහජන පුස්තකාලයේ තිබුනු පොත් ‍ප්‍රදර්ශනයක් නරඹන්නට අම්මා කෑම පැයේදි මා කැඳවාගෙන ගියාය. එහි තිබුනේ පොත් පත් පමණක් නොවෙයි. නොයෙකුත් අරුමෝසම් දේවල් ද තිබුණු බව මතකයි. මාත් ඒවා බොහොමයක් අත පත ගාමින් අම්මා එක්ක ප්‍රදර්ශනය පුරා ඇවිද්දෙමි. පංතියේ ළමයි ගොඩක් අය ගාව තිබුනේ, කාන්දමින් වැඩ කරන පැන්සල් පෙට්ටි. එවැන්නක් එතැන තිබුණු අතර එය දුටු ‍ ගමන් මගේ හිත ඇදිලා ගියත් අම්මා සතුව එය මිලදී ගන්න මුදල් නොතිබුණු බව මම දැනගෙන සිටියෙමි. ඉඳින් මම එම පැන්සල්පෙට්ටිය බොහොම ආසාවෙන් අතගා, විවෘත කර බලා, එහි තිබුනු පිංතූර හිතේ ඇඳගෙන අම්මාගේ අතේ එල්ලී නැවත එන්නට ආමි. අපි මොනවත් ගත්තේ නැති බවයි මට මතක. නිකමට කෑම පැයේ වෙනසකටත් එක්ක මාව එක්කාගෙන ගියාට මොකද මගේ හිත පැන්සල් පෙට්ටියෙන් බර වෙලා කකුල් දෙකත් උස්සගන්න බැරි තරමට ඇඟම බරවෙලා තමයි මම අම්මා සමඟින් ආවේ. ඒ වෙලාවේ ගිණි කාෂ්ටක අව්ව. ඇස් දෙක ඇරගෙන යන්නත් බැරි තරම්.

"මොකද ලොකු දුව, පස්සට අදින්නේ? එන්නකෝ ළමයෝ කකුල ඉක්මන් කරලා"

තව දුරටත් මගේ හිතේ බර දරා ගෙන ඉන්නට බැරිබව මං වටහා ගනිමිනුයි හිටියේ.

"අම්මේ........."

"ම්ම්ම්............"

"මං බඩ්ඩක් ඉල්ලුවොත් අරං දෙනවද?"

"මොනවද?"

"අනේ අම්මේ. කමක් නැද්ද?"

"කමක් නැද්ද බලන්න, කියන්න බලන්න"

පුංචි කාලේ ඉඳන්ම කිසිම දෙයක් බල කරමින් ඉල්ලලා අපි තුන්දෙනාටම පුරුද්දක් නැහැ. ඒ අපේ අම්මා අපිව හදපු විදිහ. කෑම කඩේකට ගියත් කන්නේ මොනවද, බොන්නේ මොනවද, කියලා අහගන්න අම්මාට දහදුකක් විඳින්න වෙනවා. ඇඹරි ඇඹරි ඉඳලා අන්තීමට තමයි කිව්වත් කියන්නේ. මේකත් ඉතිං ඒ වගේ. මට පුංචි කමට ඒක අම්මාට කියා ගන්න බැරි වුනේ, පුංචි කාලේ ඉඳන්ම අම්මා අපට, තිබෙන මුදල් වලින් කල හැකිදේ ‍කල නොහැකි දේ හොඳින්ම පහදලා දීපූ නිසායි.

"අර එතැන තිබුනා.................." මම අම්මාගේ අතද අදිමින් පැත්තට පැද්දෙමින් පවසමි.

"ඉතිං.............."

"පැන්සල් පෙට්ටියක්. ඒක කාන්දම් වලින් වැඩ කරන්නේ.... මේඛලා ගාවත් තියෙනවා. මේනකා ගාවත් තියෙනවා. ගොඩක් ළමයි ගාව තියෙනවා අම්මේ.................." මම අම්මාගේ වැලිමිටට හේත්තු වෙමින් ගමන් කරමි.

"අර ඔයා අත ගගා කරකව කරකව හිටපු එක නේද?" අම්මා මගේ නහයෙන් අදිමින් ඇසුවාය.

"හානේ........... අම්මා දැක්කද ඒක? ඒක ශෝක් නේද අම්මේ.............. " මට ඉතාමත් සතුටුය. අම්මා ඒක දැක තිබේ.

"ඒක රුපියල් 88ක් පුතේ. පඩි ගන්න කං ඉන්නත් බැහැ නේද? ප්‍රදර්ශනේ ඉවර වෙයිනේ. බලමු ඔෆිස් එකට ගිහින්" මගේ සිතේ බර බැලුමක් වි පාවී ගියා සේ ය. පදිකවේදිකාවේ ඇති අඩියේ අඩියේ ටයිල් කැට මත බට්ටා පනිමින් මම අම්මාගේ අතේ එල්ලී ගියෙමි. ගිණි අව්වද අමතක වූ සේය.

කන්තෝරුවට ගිය අම්මා ඇගේ මිතුරියගෙන් රු.100ක් ඉල්ලාගෙන මා රැගෙන නැවත ප්‍රදර්ශනය වෙත ගියාය. ඒ ගමනද මා ගියේ බට්ටා පනිමින් බව අම්මා අදද සිහිකරන්නේ සිනා සෙමිනි. මගේ සිත මටත් වඩා උඩ පනිමින් තිබූ බව මට ද අද මෙන් මතකය.

කෙසේ හෝ අප යන විට ඒ පැන්සල් පෙට්ටිය විකිණී තිබින. මගේ දෙනෙත් කඳුලින් බර වූයේ, "අනේ බබා ඒක මේ දැන් ටිකකට ඉස්සෙල්ලා කෙනෙක් ගත්තානේ." කියමින් වෙළඳ සේවිකාව මගේ දුක තුනී කරන්නට උත්සහ කල අවස්ථාවේදීය.

අම්මා මා අස්වසමින් නැවත කන්තෝරුව බලා පැමිණියාය. අම්මා වැඩිමහල් කෙනෙකු වුවද, මගේ සතුට වෙනුවෙන් ඒ ගිණි අව්වේ හතරපාරක් ඒ පාරේ ගමන් කලාය. සමහරවිට ඒ අම්මාගේ සාරි පොටින් මගේ හිස වසන්නට උත්සහ දරමින්ද විය යුතුය. එදින නැවත කන්තෝරුවට පැමිණෙන අතර අම්මා මට පැවසූවේ අදින් ප්‍රදර්ශනය අවසන් වන බැවින් පඩි ගත් දවසට පැන්සල් පෙට්ටියක් අරන් දෙන බවය. කන්තෝරුවට පැමිණ මිතුරියගේ මුදල් නැවත දුන් අම්මා මගේ හිස අතගා අසල පුටුවෙන් මා වාඩි කර සුපුරුදු පරිදි රාජකාරියේ නියුතු වන්නට ඇත.

අම්මා පොරොන්දු වූ පරිදිම, එකල සතොස ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වූ යෝක් වීදියේ පිහිටා තිබූ ස්ථානයෙන් මට, ඉතාමත් අලංකාර පැන්සල් පෙට්ටියක් මිලදී ගෙන දුන්නාය. එයත් රැගෙන පාසල් ගිය මම, ඉතාමත් ආඩම්බරයෙන් මගේ මිතුරියන්ට එය දැක්විමි.

******************************************************************************

මේ සිදුවීම අමතක නොවන සේ මගේ හිතේ රැඳුනේ මන්දැයි නොදනිමි. එහෙත් හෙට දිනයේ මගේ දියැණිය මෙවැනි දෙයක් ඉල්ලන තුරු නොසිට මිලදී ගෙන දෙන්නට තරම් අප දෙදෙනාට හැකියාවක් තිබේ. ඒ හැකියාව ඉබේ පහළ වුයේ නැත. අප දෙදෙනාගේම දෙමව්පිය වරුන් අපව අද මේ සිටින තැනට ගෙනත් ඇරලූ නිසාවෙන්, ඒ හැකියාව අප ලද බව පැහැදිලිය.

නැවතත් පවසන්නට ඇත්තේ, මෙය මහාලොකු සිදුවිමක් නොවන‍සේ කෙනෙකුට හැඟෙන්නට පුළුවන. එහෙත් මෙය මා සිතේ මා ජීවත්වනතුරාවට රැඳී පවතින සිතුවිල්ලක් බව කිවමනාය.





9 comments:

  1. අම්මලා හැමෝම ඔහොම තමයි... අවුව වැස්ස කියන ඒවා දරුවෝ ඉන්න තැන්වලදී ඒ දයට දැනෙන්නේ නෑ....

    ReplyDelete
  2. මහාම ලොකු සිදුවීමකි...

    කුඩා දරුවකුගේ හිත අඳුනාගන්නට...

    දරුවෙකුට දෙම්ව්පියන්ගේ කැපවීම කියාදෙන්නට..

    ReplyDelete
  3. අම්මට කරදර නොකරපු හොඳ බබෙක්.........

    ReplyDelete
  4. තිස්ස කිව්ව වගෙ පොඩි නෑ.....පුංචි හිතකට මහාම සිදුවීමක්........ඔන්න ඔය වගෙ බොහොම සුළු සිද්ධි තමයි රන්, ජීවිතේ පුරාවට නොමැකී රැඳිල තියෙන්නෙ.....

    ReplyDelete
  5. මම නම් අදටත් සල්ලි ඉල්ල ගන්නේ අම්මගෙන් ..මේක බලලා මට මාර අස්පට් ..

    ReplyDelete
  6. මෙය පොඩි සිදුවීමක් වෙන්න පුලුවන්, ඒත් එයින් ගෙනහැර දක්වන පණිවුඩය ගොඩාක් ලොකුයි. මේ සටහන කියවූ කරදන්ඩ උස් වූ කීදෙනෙක් තම මවගේ කැපවීම සෙනෙහසින් දයාවෙන් මතක් කර ඇද්ද? හිතලා බලන්න.

    නංගෝ ඔබේ මේ සටහන ගොඩාක් උනන්දුවෙන් මං කියවන්නේ. ඉන් අපි බොහෝ දෙනෙකුගේ අතීත කතාව කියවෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  7. මම ඉස්සර හුඟක් ආසාවෙන් ගන්න හිටපු දෙයක් තමා තුල් මාරු කරන පැනසලක්. ඒ කාලෙ ඒ වගේ විච්චූර්ණ දේවල් වලට වියදම් කරන්න අපි ගාව සල්ලි තිබ්බෙ නෑ. ඒත් දවසක් අම්මා පඩි අරගෙන මට ඒක ගෙනත් දුන්නා. ඒ වෙලාවෙ දැනිච්ච සතුට කියලා වැඩක් නෑ.

    ReplyDelete
  8. එහෙමට කියලා විශේෂයෙන් ගතපු දෙයක් ගැන මගේ හිතේ නැ. අපේ අම්මත් කියන්නේ මං කිසි දෙයක් ඉල්ලලා කරදර කරලා නෑ කියලා. හැබැයි ඒකටත් එක්ක දැන් නම් කරදර කරනවා...... වෙන මොනවත් නෙමෙයි ඕන් චොකෝ හෙම ඉල්ලලා.... හී.......

    ඔය යෑම ගැන නම් මොනවද අක්කා. මං පන්ති යන්න දෙපාරක් යද්දි අම්මා 4 පාරක් ආවා ගියා අවුරුදු 8ක් විතර තිස්සේ......

    ReplyDelete
  9. ඔබ සැමගේ අදහස් දැක්වීම් වලට ස්තුතියි. මගේ හිතේ රැඳුනු මේ පුංචි සිද්ධියේ මං දකින හැමදේම ඔයාලාත් දැකලා තියෙනවා දැක්කහම මට සතුටුයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...