Thursday, August 25, 2011

82. මායි මගේ අම්මායි - මගේ දතයි

පහුගිය දවස් වල ලිව්ව ඒවා

81. මායි මගේ අම්මායි - මග යද්දි වුනු දේවල් සහ තවත් දේවල්
80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා
79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය


අම්මාට මල්ලී ලැබෙන්න ඉද්දී මට වයස අවුරුදු 2 1/2යි. ඇයි දිනක් හවස වැඩ නිමවා එද්දී මා බලා ගන්න හිටපු කෙනා මාව සෝදා පිරිසිදු කොට තිබී නැහැ. අම්මාට තිබෙන ශාරීරික අපහසුවත් එක්ක ගොඩක් කේන්තිත් ගිහින්. ඇය ඒ ඇත්තිට සැර කර පසුව මා සෝදා මාස 7, 8ක බඩත් එක්ක එක අතකින් මාවත් ඔසවාගෙන නිවස තුලට පැමිණිලා.

ඒ දිනවල අපි හිටියේ රද්දොළුගම නිවාස සංකීර්ණයේ. තිබෙන්නේ කාමර දෙකයි ඒ දෙකත් තිබෙන්නේ ඉහළ මාලයේ. අම්මා ඉතිං ඔසවාගෙන ආ මාව තවදුරටත් ඔසවාගෙන පඩි නගින්න අපහසු නිසා මුල් පඩියෙත් තැබුවාලු. මාත් ඉතිං හිංචි පැංචි කාලේනේ. උඩ පැන පැන යන්න ගිහින් දබොක් ගා දෙවැනි පඩියෙම වැටිලා. දන්නවානේ ඉතිං පැංචෝ පැංචියෝ......... වැටෙන්නත් කලින්නේ ඇඬිල්ල පටන් ගන්නේ. මාත් ඉතිං අඬන්න පටන් අරං.

"ඔයාත් මට වද දෙනවා" කියපු අම්මා මාව ඔසවාගෙන ම ඉහලට ගියාලු.

ඒත් මං තවත් අඬනවා. "බොරුවට නාඩා ඉන්න ළමයා. ළමයි වුනහම වැටෙනවා තමයි" කියා අම්මා මා දිහා බැලුවාලු. මගේ කට පුරවලා ලේ ගලනවා. ඒ අතරේ ‍චූටි පොල් කෑල්ලක් වගේ දත් කෑල්ලකුත් යටිතොලයි විදුරු මහයි අතර රැඳී තිබෙනවා. අම්මාගේ වදනින්ම කියනවා නං,

"මගේ පපුව හෝස් ගාලා ගියා. දෙය්යනේ දතත් කැඩිලා. මේ පැටියාටනේ මං බැන්නේ"

ඉතිං ඊට පස්සේ අම්මාට අම්මාගේ කඳුළු නවත්තගන්න බැරි වෙලා. අම්මා අඬන ගමන්,
"අනේ පුතේ සොරි. මං දැක්කේ නැහැනේ. පුතා නාඩා ඉන්න මයේ කෙල්ල" කියලා කියනවා.

"අම්මා අඬන්න අපා................. අපි දතක් කඩෙන් ගමු" කිය කියා මං අඬනවා.

මේවා අහලා අම්මා තවත් අඬනවා. ඔහොම දෙන්නාට දෙන්නා නලව නලවා අපි දෙන්නා ගොඩක් වෙලා ඇඬුවාලු.

ඔය සිද්ධියෙන් පස්සේ, මගේ ඒ කැඩුණු ඉදිරිපස දකුණු පස දතට ඉහලින් විදුරු මහේ පොඩි බිබිලක් ආවා. අදටත් ඒ බිබිල තිබෙනවා.

ඔහොම කාලය ගතවුනා. කිරිදත් එකින් එක වැටුනා. ඒත් ඒ දත වැටුනේ නැහැ. ලොකු දත් අතරේ ඒ දත එහෙමම තිබුනා.

පස්සේ අම්මා මා එක්කාගෙන කොළඹ දන්ත රෝහලට ගියා. වෛද්‍ය නිගමනය වුනේ දත ගැලවිය යුතු බවයි. එයට හේතු වුනේ එක්ස් කිරණ ඡායා රූපයක් ගත් විට ආ යුතු දත ඇවිත් මෙම දතට වැදී නැවති තිබුනු නිසායි. ඉතිං දත ගැලෙව්වා. දැන් එයි දැන් එයි කිය කියා හිටියත් ඒත් එන පාටක් නැහැ. නැවත අම්මා මා රැගෙන රෝහල වෙත ගියා.

එවර ද එක්ස් කිරණ ඡායාරූපයක් ගෙන බැලූ විට දත එහෙමම නොසෙල්වී තිබුනා. එවර තමයි මට තරු විසි වෙන තීරණය ගැණුනේ. එනම් සැත්කමක් මගින් දත පාදා ගැනීම.

ඒ තීරණාත්මක භයානක දිනයේදී එම සැත්කම කෙරුනා. ගැබිණි වෛද්‍යවරියකගේ අතින් තමයි එය කෙරුනේ. අම්මා මං ලඟින්ම හිටියා.

"නාඩා දඟලන්නේ නැතුව ඉන්න පුතේ. ඔයාගේම හොඳටනේ" අම්මා මා අස්වසනවා. මගේ දැඟලිල්ල වැඩි වෙනවා. ඇයි හද්දෙයියනේ, ඇස් ඉදිරිපිට පිහි, කතුරු, ඉඳිකටු අරං කට දිහාට අත දික් කරද්දි නේද ඉතිං? කාටද දඟලන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇරත් අම්මා ලඟ ඉඳන් ඔළුව අතගාද්දී.................

දොස්තර නෝනාට වැටහුනා මේ අම්මා දුගේ හුරතලේ. "අම්මා යන්න එළියට. මෙයාගේ දැඟලිල්ල වැඩියි ඔයා ඉද්දි"

ඒ අණ පරිදි අම්මා එළියට ගියා. වැඩේ යහතින්සිදු කෙරුනා.

අම්මා හිතලා තියෙන්නේ මං හත් අවුරුද්දකුත් හත්දවසක් නොකා නොබී ඉඳියි කියලා. අම්මා ඒ ගැන හිතලා ගොඩක් තැවිලා තිබෙනවා. හැබැයි පැයක් දෙකක් ඇතුලත අම්මාගේ ඒ දුක නැතිවෙලා. මොකද අම්මාගේ කන්තෝරුවට ආ සැනින්, දුන් බත් එක කටේ කොනින් ඔබාගෙන අන්තිම කට දක්වාම මං කෑවාලු. (ලූ කිව්වට මොකද මටත් මතකයි ඒක)

ඉතිං ඔන්න දත ආවා. ආවා තමයි, ඒකත් ආවේ රුහිතෙට. ආපහු අම්මාගේ හිතේ කනස්සල්ලේ. මට නං ඕක උඩින් ආවාත් එකයි යටින් ආවාත් එකයි. අම්මා එක්ක තමයි බැරි. ආයෙම මාව ඇදගෙන ගියා අම්මා දත් ඉස්පිරිතාලේ.

ඒපාර ඔන්න එපාම කරපු වැඩේ..................... දත්ටික අල්ලලා කම්බි දාන්ට........

හප්පා මට එපා වුනා. ඒත් අම්මා අත හැරියේ නැහැ වැඩේ....... ඔය කම්බි දැමිල්ලට කලින් දත් වල අච්චුව ගන්නවා. ඔය වැඩේට මොනවද මන්දා මළ ජරාවක් (ඒ කාලේ මට හිතුනේ එහෙමයි) ඔබනවා කටේ. වමනේ යන්නම එනවා. ඒත් ඕක් ඕක් ගගා දොස්තර නෝනලාගේ මහත්තයාලාගේ රැවුම් ගෙරවුම් මැද වැඩේ කර ගත්තා.

දැන් ඔන්න රන්දිකාගේ කටට වැට බැඳලා. කන්නත් බැහැ බොන්නත් බැහැ. අම්මාට නං හරි සතුටුයි. මාසයකට සැරයක් දින භාගේ නිවාඩුවක් ගෙන මාත් එක්ක දත් ඉස්පිරිතාලේ යන්න වුනත්, ගිහින් එතැන මගේ වැඩේ ඉවරවෙන තුරු ඉන්න වුනත් අම්මාට ගාණක් නැහැ. අම්මාට සතුටුයි.

වරක් ඔය පැලට් එකක් මං නැති කරගත්තා. මාත් සමඟ හරි හරියට ලොකු දොස්තර නෝනාගෙන් අම්මාත් බැණුම් ඇහැව්වා. විශේෂයෙන් මට බන්නලා මාව මට්ටු කරන්න ඕනේ නිසාම තමයි අම්මා බොහොම සතුටින් ඒ බැණුම් ඇහැව්වේ කියලා මං නොදන්නවා නෙමෙයි.

යමක් අමතක වුනා සටහන් කරන්න. මේ දතේ වැඩේට එනම් දත ගැන පවසාගෙන රෝහල වෙත යාමේ පටන් මෙම පැලට් පැළඳීම දක්වා මගේ සීයා තාත්තාත් (අම්මාගේ පියා) ‍මගේ තාත්තාත් බොහොම කළබලෙන් තමයි හිටියේ.

"ඔය නොදන්න මගුල් කරන්න ගිහින් කෙල්ලගේ කටට මොනවා හරි වුනොත්, එදාට තමයි බලාගන්නේ"

දෙන්නා හරි හරියට කිව්වේ එහෙමයි. ඒ දවස් වල නං මං ඒ දෙන්නාගේ පැත්තේ. කොහෙද අපේ අම්මාගේ ඒකමතික තීරණය ජයගත්තා. දැන් නං හිතෙනවා ඒක නිසා හොඳට ගියා කියලා.


ඉතිං මාව දැකලා තියෙන අය දන්නවා. දැන්නං මගේ කටේ දත් ටිකේ කියන්න තරම් ඇද කුදයක් නැති වග. කිසිම ලැජ්ජාවක් නැතුව කට ඇරලා හක්ක හක්ක හා කියලා හිනාවෙන්න මග පාදලා දුන්නේ මගේ අම්මා. නැත්තං ඉතිං "සිනා නොමසෙන් දසන් දක්වා" යන කවි පදය අකුරක් නෑර රකින කෙනෙක් වශයෙන් ලොකු නමක් ගන්නත් තිබුණා.

පස්සේ කාලේ, මගේ සැමියාගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධයට අම්මා තදින්ම විරුද්ධ වුනු කාලයක් උදා වුනානේ. ඒකාලේ අම්මා සමහර වෙලාවට මට, අම්මා කෙනෙක් දරුවෙකුට බණින්නේ නැති තරමේ වදන් පවා පවසමින් බැණලා තියෙනවා.ඒවා නං දැන් වැඩක් නැහැ. හැබැයි මේ කථාවට අදලා කොටස මෙතැන සටහන් කරන්න හිතෙනවා මට.

"ඔව් ඔව් ඌ බලයි උඹේ මූණ මේං කියලා, මං කුර ගාලා කුර ගාලා ඔය දත් වහල්ල හදලා දුන්නේ නැත්තං"

ඔව් අම්මේ, ඔයා එහෙම හදලා දුන්නේ නැත්තං එයා විතරක් නෙමෙයි, වෙන කවුරු වුනත් බලන එකක් නැහැ මගේ මූණ දිහා. අම්මා එහෙම හදලා දුන්නු නිසා, මුලටම, මගේ හිතට හරියනම කෙනා මගේ මූණ බැලුවා කියන එක අද ඔයා වුනත් පිළිගන්නවා නේද අම්මේ?. අම්මාට ගොඩක් පිං අම්මේ........................

3 comments:

  1. අම්මල තරං දරුවන් ගැන තමන් වත් හිතන්නෙ නෑ කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ
    ස්තුතියි බෙදා ගත්තට අපිත් එක්ක!

    ReplyDelete
  2. හික්ස්..... අන්තිමට අම්මා කියලා තිබුන එකටනම් හිනා.

    හැබෑටම..... මං නම් අම්මා නෙමේ සක්කරයා එක්ක ගියත් ඔය අඩු පඩු එක්ක වැඩ වලට බයයි. හාපෝයි.......

    ReplyDelete
  3. ඔය දත් වහල්ල දැන් හදලය තියෙන්නෙ.......කවුද බොල දන්නෙ?......කලින් කියන්ට එපාය.......හොඳ වෙලාවට කිව්වෙ.....මම මේ කියන්ටමයි හිටියෙ ඕක ටිකක් පිළිවෙලක් කර ගත්තොත් නාකද කියල........හෙහ්, හෙහ්,

    අම්මයෙ කතාව නම් කියල වැඩක් නෑ.......කියන්ට තියන ටික කියල තියනව බොක්කටම වදින්ට......අනෙ ඇත්තට අපෙ අම්මටත් ඔය හැකියාව තියනව, ඒ අර අපි අම්මලට ඒ තරම් ආදරේ නිසා මම හිතන්නෙ, සමහර විට කියන එව්ව වදිනව ආයෙ මදි නොකියන්ට......මොකදෑ කොරන්නෙ?......අම්ම නෙවැ........නෙවද?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...