ඉතින් මීට අමතරව ඔය කාලෙදි ඒ කිව්වෙ මම ඔය විවාහ මංගලෝත්සවේට ලක ලැහැත්ති වෙන කාලෙ සිද්ද වෙච්චි අටෝරාසියක් සුලු සුලු අකරතැබ්බ, හුරස් පරස් තිබ්බ උනාට එව්ව ඔක්කොම මෙතන කියන්ඩ බැරුවා.
ප්‍රධානම සිද්ධිය විතරක් කියන්නම්, හොඳේ, මෙන්න මෙහෙමයි ඒ සීන් එක.
දැං ඔන්න අපි හැමෝම පොඩි කාලෙ ඉඳම්ම ජීවිතේ අපි මේ දේ කරන්නෙ මෙහෙමයි, අර දේ කරන්නෙ අරහමයි කියල චිත්‍රයක් හිතේ මවාගෙන ඉන්නවනෙ. එව්ව පස්සෙන් පහු කරන්ඩ බැරිවෙන එක වෙනම කාරණාවක්.......හෙහ්,.......හෙහ්, වැදගත් දේ එහෙම අපේ හිතේ මැවිල තියෙනව.....ම්ම්ම්, මොකක්ද ඒකට කියන්නෙ?....හරි දැනට කියමු පරමාදර්ශී සිතුවමක් කියල....අන්න එහෙම එකක්.
ඉතින් ඔන්න මගෙ හිතෙත් ඔය අවුරුදු 20-22 පිරිච්ච කාලෙ ඉඳම්ම තිබ්බ ඔන්න ඔය පරමාදර්ශී සිතුවමක් මගෙ විවාහය කෙරෙන්න ඕන මෙන්න මෙහෙමයි කියල.
කොහොමද? , රටේ ලෝකෙ ඔක්කොටම කියල බොරුවට වියදම් කරල හෝටල් වල මහ විසාල උත්සවයක් නම් ගන්නෙම නෑ. ගෙදරම ඔය චාමෙට ලඟම නෑදෑයො කීප දෙනාට කියල පොඩි උත්සවයක් ගන්නව. පහුවදා මගෙ යාලුවො ඔක්කොටමයි, නෑදෑ සනුහරේටමයි ඔන්න හෝටලේක දෙනව කන්ඩ බොන්ඩ නාන්ඩ ඇති වෙනකල්.විශේෂයෙන්ම බොන්ඩ. මොකද මගෙ යාලුවො එන්නෙ බොන්ඩම බලාගෙන. බොන්ඩ තිබ්බෙ නැත්නම් අනිවාර්යයෙන් උන් කරන්නෙ දෙන්ඩ ගෙනාපු එන්විලොප් එකෙන් කීයක් හරි අරගෙන ලඟ කොහාට හරි ගිහිල්ල මගෙ දෙමවුපියන්ගෙ ගුණ මතක් කර කර හොඳ හැටි ගහල මතක් උනොත් අර එන්විලොප් එක ඉතුරු සල්ලිත් එක්ක දීල,( බොහොම වෙලාවට වෙන්නෙ උන්ට ඒක මතක් වෙන්නෙ පහුවදාට ) ගෙවල් වලට යන එකයි. අනික් වැදගත් කාරණේ මම ඉතින් ඊට පස්සෙ රස්සාවට එහෙම නොගියට කමක් නැහැ.
අනිත් කාරණේ ඔය උඩරට සිරිතක් වන මුලු ඇඳුම් ඇඳිල්ලට නම් මගෙ කොහෙත්ම කැමැත්තක් තිබ්බෙ නැහැ.එදාට විතරක් කුළියට ඇඳුමක් අරන් ඇවිත් අඳින එක කිසිම තේරුමක් නැති මහ විකාර වැඩක් හැටියටයි මට හිතුනෙ. මගෙ කැමැත්ත තිබ්බෙ එදාට ජාතික ඇඳුම අඳින්න. ඔය වාගෙ සිහින මහ රාශියක් මගෙ හිතේ පැළපදියම් වෙලා තිබුන මගෙ විවාහය කෙරෙන්ඩ ඕන ආකාරය ගැන.
ඉතින් මේ ගැන සාකච්ඡා කරන්ඩ මමයි එයයි දවසක හමු උනා එයාලගෙ හිතවත් අක්ක කෙනෙකුගෙ ගෙදරදි.
කේක් කෑල්ලක් කාල, තේ එකක් කාරිය බීල හිට මම බැස්සා මාතෘකාවට රාහු කාලය කාරිය මඟ ඇරල හිට.
"මේ, මම ඔයාට පොඩි කාරණයක් කියන්ඩයි කියල උන්නෙ "
එයා මා දිහාට හැරුන, ඇස් දෙකත් උඩ තියාගෙන. දැන් සෑහෙන කාලයක් ආශ්‍රය කරල එයා දන්නව මගෙ පොඩි කාරණා කොහොම එව්වද කියල.
" මොකක්ද කිව්ව නම් බලන්ට ඔය පොඩි කාරණේ "
" නෑ මේකයි, කළබල වෙන්ට දෙයක් නෑ. අපෙ වෙඩිං එක ගද්දි මම මුලු ඇඳුම් අඳින්ඩම ඕනද? "
" නැතුව එහෙනං, අපෙ පවුලෙ ඔක්කොමල එහෙම තමයි මඟුල් දවසෙ ඇන්දෙ.ඇයි ඔයාගෙ ඒකට මොකක් හරි අකමැත්තක් තියනවද? "
" මම කැමති නෑ අනේ ඒ වැඩේට, ඔය එක දවසකට විතරක් ඇඳුමක් කුලියට අරං අඳින එක මහ විළි ලැජ්ජා නැති වැඩක් කියලයි මට හිතෙන්නෙ "
" ඒ කොහොමද? එතකොට ඔය එහෙම අඳින උදවිය ඔක්කොම විළි ලැජ්ජා නැති අය කියලද ඔයා කියන්නෙ "
ඔන්න ඇහුනෙයි?හොඳට අහගන්ඩ, Feminine Logic නැත්නම් ස්ත්‍රී තර්ක විධි ක්‍රමය කියන්නෙ ඕකට තමයි.
" එහෙම එකක් මම දැන් මෙතන කිව්වද? ඒ අඳින අය විළි ලැජ්ජ තියන අයද නැති අයද කියන එක මට වැඩක් නෑ. මම දන්නෙ මම ඒකට කැමති නෑ. එච්චරයි "
මගෙ කටහඬත් ටික ටික වොලියුම් වැඩිවෙන බව මටම තේරුනු නිසා මම කතාව එහෙම්මම නවැත්තුවා. ඒ කරල ඉස්සරහ ටීපෝ එක උඩ තිබ්බ රෝස මල් පොකුර දිහාවෙ බලාගෙන නිහඬවම ටික වෙලාවක් හිටියා. තවමත් එයාගෙ සද්දයක් නැති නිසා හෙමිහිට ඒ පැත්ත බැලුවා. හෙණ ගහපං, ගණං බලාපං කිව්වලු මෙන්න අඬනවා. අඬනවාම නෙවෙයි. අඬන්ඩ ඔන්න මෙන්න. අඬනවාට හපං ඒක.
තමන් ආදරේ කරන යුවතිය තමන් සමඟ ඇතිවූ සිත් තැවුලක් නිසා දෑසේ කඳුලු පුරවාගෙන සිටින දර්ශනය තරම් සිත් සසල කරවන තවත් දෙයක් ඇත්දැයි මම නම් දන්නේ නැහැ. මොකද මම තවත් ඒ වගේ දර්ශනයක් තියේද කියල හොයන්ඩ ගියේ නෑ ආයෙ කවදාවත්.....හෙහ්.....හෙහ්, එක් වරක් ඒ වගෙ තත්වෙකට මුහුණ දුන්නම ජීවිතේටම ඇතියි කියල මට ඒ මොහොතේම හිතුනා.එවන් අවස්ථාවකට මුහුණ දුන්නෙකුට ඒ පිළිබඳව විස්තර කිරීමට කිසිසේත් අවශ්‍ය නොවන අතර එවන් අවස්ථාවකට මුහුණ නොදුන්නෙකුට ඒ හැඟීම වචනයෙන් විස්තර කිරීමට සමතෙක් ඇත්දැයි මම දන්නේ නෑ. මට නම් ඒ හැකියාව නොමැති බව මම පැහැදිලිවම දනිමි.
චිරාත් කාලයක් මුලුල්ලේ මගේ විවාහයේදී මා සැරසිය යුතු ආකාරය පිළිබඳ මගේ සිතේ මැවී තිබුණු සිහිනය කඳුලු පිරි දෑසක් ඉදිරියේ සැනෙකින් කැප කිරීමට මම තීරණය කළෙමි.
" හරි, හරි, ඕකට ඉතින් අඬන්ඩ ඕනෙද? අඳින්ඩම ඕනෙ නම් මම මුලු ඇඳුම අඳින්නම් "
ඈ, මා දෙස බලා කඳුලු පිස දමමින් සිනාසුනාය. ඇගේ ඒ සිනහව මගේ බොඳවූ සිහිනයේ වේදනාව සැනෙකින් මසිතින් පළවා හැරියේය.
හෙහ්.....හෙහ්......., ඔන්න ඔහොම තමයි මගෙ මංගල්‍යය පවත්වන ආකාරය ගැන ගැන මගෙ හිතේ තිබුණු සිහිනය බිඳ වැටුනෙ. බිඳ වැටුනයි කියනවට වඩා මම කැමතියි ඒ සිහිනය මම ඇගේ සතුට වෙනුවෙන් පරිත්‍යාග කලයි කියල කියනවට.
ඔන්න ඊළඟට ආව විසඳ ගන්න තියන ප්‍රශ්න අංක 2, විවාහ මංගලෝත්සවයේදී මත්පැන් සපයනවාද නැද්ද?කියන ඉතාමත්ම වැදගත් කාරණේ. ඔයිට කලින් අපිදෙන්නගෙ කතාබහ වලදි මම මුට්ටිය දාල බැලුවා. දන්නවනෙ මුට්ටිය දාල බලනව කියන්නෙ මොකක්ද කියල.......දන්නෙ නැත්නම් ලැජ්ජාවට දන්නව වගෙ ඉන්න එහෙම එපා. කියන්න. එහෙම උනොත් ආයෙමත් ඒ ගැනත් පෝස්ට් එකක් ලියන්නම්කො.
ඉතින් මේ මුට්ටි දැමිල්ලට ලැබුනෙ එතරම් ප්‍රසාදජනක ප්‍රතිචාර එහෙම නෙවෙයි.ඒ නිසාම මමත් මුට්ටි දැමිල්ල නවත්තල දැම්මා.
මද්‍යපානය ගැන එයාගෙ හිතේ තිබුනෙ බුදු හාමුදුරුවන්ට පොඩි මිස්ටේක් එකක් වෙලා ආනන්තර්ය පාප කර්ම වලට ඇතුලත් කරන්න තිබුනු එකක්ය මේ පස්වෙනි සිල්පදේ හැටියට දාල තියෙන්නෙ කියල.එයාලගෙ පවුලෙ හැමෝමත් මත් පැන් මතක් කලත් කලන්තෙ දාන සයිස් එකේ කට්ටිය කියලයි මට කතා බහෙන් තේරුනෙ.
ඒත් දැන් තවත් ඒ වැඩේ කල්දාන්නම බැරි අවස්ථාවක් තමයි මේ ඇවිල්ල තියෙන්නෙ.කතාකරල දෙකින් එකක් තීරණය කරන්නම වෙනවා අදම.
මුලු ඇඳුම් ප්‍රශ්නෙ හින්ද එයා හොඳ මූඩ් එහෙක ඉන්න නිසා මට හිතුණා අදම තමා මහා මත්පැන් අර්බුදයත් විසඳා ගන්න හොඳම දවස කියලා.
" මේ.....තව පොඩි කේස් එකක් තියනව. "
එයා මා දිහා බැලුව. කඳුලු නම් දැන් නැහැ.
" බොන්ඩ දෙන එක කොහොමද? "
" අපොයි අපෙ ගෙදර කිසි කෙනෙක් බොන්නෙ නෑ. අප්පච්චි අයියල නෑදෑයො කවුරුත්ම ඒව පාවිච්චියක් නෑ.අනික අපේ ගෙදර තිබ්බ කිසිම උත්සවයකදි අරක්කු දුන්නෙ නෑ.එහෙම කියල කිසිම අඩුපාඩුවක් උනෙත් නෑ. "
" හරි, හරි........... ඔයාලගෙ කට්ටියට බොන්ඩ කියල මම කියන්නෙ නෑ. බොන්නෙ නැත්නම් නිකම් ඉන්න. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මගෙ නෑදෑයො, විශෙෂයෙන්ම යාලුවො ඒ අයට බොන්ඩ දෙන්නම ඕනෙ. "
" ඔය බොන එක හොඳ දෙයක්ද? මිනිස්සුන්ට දෙන්න ඕනෙ හොඳ දේවල්, "
" හරි, හරි ඔය මිනිස්සුන්ට දිය යුත්තේ මිනිස්සු කැමති දේවල්ද මිනිස්සු ඉල්ලන දේවල්ද කියන එක අවුරුදු තුන්දාහක් තිස්සෙ තාමත් එක තීරණයකට එන්ඩ බැරුව වාද කරන ප්‍රශ්නයක්. දැන් මේ පැය බාගයක් ඇතුලත අපි දෙන්නට ඕකට ස්ථිර විසඳුමක් හොයාගන්න ලැබෙන එකක් නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නෙ පැත්තක තියල වෙඩිං එකේදි අරක්කු දෙනවද නැද්ද කියල සරල ප්‍රශ්නෙට උත්තරේ හොයාගමු , දැනට ඒ ඇති හොඳටම."
" වෙඩිං එක දවසෙ නම් අරක්කු දෙන්නෙ නෑ. මට ඔය ගැන කොහොමත් අපෙ අප්පච්චි එක්ක කතාකරන්න බෑ. "
" හරි එහෙනම් මෙහෙම කරමු. වෙඩිං එක ඔයාලට කැමති විදිහට කරන්න.හෝම් කමිං එකටනෙ මගෙ නෑදෑයො වැඩි හරියකුයි, යාලුවො ඔක්කොමයි එන්නෙ. හෝම් කමිං එකේදි නම් මට අරක්කු දෙන්ඩම වෙනවා. ඒකෙ ආයෙ දෙකක් නෑ. "
" හ්ම්ම්ම්ම්......ඔයාට කැමති දෙයක් කරන්ඩ, අනික කල්පනා කරන්ටකො, අරක්කු දෙන්න ගිහාම වියදම උනත් සුලු පටුද? "
" නෑනෙ, අරක්කු නොදෙනවානම් තමයි මට වැඩි පුර වියදම් යන්නෙ, "
" ඈ......ඒ කොහොමද ඒ?" එයාහෙ ඇස් දෙකත් ලොකු උනා. කටත් ඇරුන බාගෙට.
" ඒක වෙන්නෙ මෙහෙමනෙ, දැන් මගෙ යාලුවො එනවා බොන්ඩ බලාගෙන, බඩු නැති උනාම උන් ටික අනිවාර්යයෙන් හෝටලේ දොර ජනෙල් වල එක වීදුරුවක් නෑර කුඩු සංසාර කරනවා. එතකොට ඒකෙ අලාබෙ ගෙවන්ඩ වෙන්නෙ කාටද? වෙන කාටද මේ මට, ඉතිං මට ඊට ලාබයි එවුන්ට අරක්කු දෙන එක. ඒත් එවුන් අන්තිමට වීදුරුවක් දෙකක් නම් කොහොමත් කුඩු කරයි. එහෙම නූනොත් ඒ බොන්ඩ දෙන එකෙන් ඇති වැඩකුත් නෑ.ඒත් වැඩේ ලාබයි මට. "
එයාට බකස් ගාල හිනා ගියා." හා....හා.....මරු යාලුවො ටිකක් නෙව ඉන්නෙ.ඔයත් මට පේන්නෙ කලින් මඟුල් ගෙවල් වල ගිහිල්ල ඔය විදිහට යකා නටල ඇති. ඒකනෙ විස්තර දන්නෙ. හරි මයෙ මොකෝ, ඔයාට ඕන එකක් කර ගන්න එකයි ඇත්තෙ."
ඔන්න යන්තම් එකඟතාවයකට ආව. අර 3 C සංකල්පය තමයි මෙතන මම ක්‍රියාත්මක කලේ.
Consultation, Compromise And Consensus,
සාකච්ඡාව,සමෝධානය සහ සම්මුතිය.
ඉදින් පිය සබඳ,මීට හරියටම සොළොස් වසරකට ඉහත වෙසක් පුන් සඳ මුදුන්වී දෙදිනක් ගෙවුනු ඉක්බිති ඇගේ සහ මගේ සරණ මංගල්‍යෝත්සවය දෙපාර්ශ්වයේ නෑදෑ හිතමිතුරන් මධ්‍යයේ පැවත්වුණු වග මෙසේ සටහන් කර සිටුම්හ.
මම ඔය ෆොටෝ එකට බොහොම සිරියාවන්ත විදිහට හිනා වෙලා හිටියෙ. ෆොටෝග්‍රෆර් කියාපි මුලු ඇඳුම් ඇන්දම හිනාවෙන්නෙ නැත. ගාම්බීර විදිහට ඉන්න ඕනය කියල. මම ඉතින් ඔය මම දන්න විදිහට ගාම්බීර කමට හිටිය හැටි තමයි.ගාම්භීර කොහොම වෙතත් හීනෙන් බයවෙල වගෙ කියලයි මට නම් හිතෙන්නෙ,.....හෙහ්, හෙහ්.....ඔයාලට මොකද හැබෑටම ඒ ගැන හිතෙන්නෙ කාරිය?
පිපුණු මල් ගොමු කුමකටද මට,
ඔබ අදත් හද පිපි මලයි,
ගලන දියරැළි කුමකටද මට,
සිහිල් දිය දෝතත් ඔබයි,
ඔබේ සෙනෙහස එදා වාගෙම,
අදත් මා හද සුවඳමයි,
තරු පිරුණු රෑ අහස කුමටද?
දිලෙන රන් තරුව ද ඔබයි,
නිල් නෙලුම් පිපි උයන් කුමටද?
හද විලේ නෙලුමත් ඔබයි,
ඔබේ සෙනෙහස එදා වාගෙම,
අදත් මා හද සුවඳමයි
,
අම්මප රවි අයියේ උඹ නම් හීනෙන් බය උනු ගානට තමා ඉන්නෙ හෙහ් හෙහ්.........:)
ReplyDelete*ඈ, මා දෙස බලා කඳුලු පිස දමමින් සිනාසුනාය. ඇගේ ඒ සිනහව මගේ බොඳවූ සිහිනයේ වේදනාව සැනෙකින් මසිතින් පළවා හැරියේය.*
හ්ම්ම් හොඳ පවුල් ජීවිතයක් ගත කිරීමට අව්ශ්‍යම දෙයක් මයෙ හිතේ.
එහෙම කැප කිරීමකින් පසු ලැබෙන හිනාව ඒක අර නැති උන දේට වඩා ගොඩක් වටිනවා මට නම්.
අනේ සඳා හරි ලස්සන, සිරියාවන්ත කෙල්ලක්නේ. එයා ලඟ මුල් ඇඳුම ඇඳගන ඉන්න සිරා පොර කවුද කියලා මම මේ තාමත් කල්පනා කරන්නේ???
ReplyDelete//ඔබේ සෙනෙහස එදා වාගෙම,
අදත් මා හද සුවඳමයි,//
ඔය දෙන්නට මුලු ජීවිත කාලයම ඔය විදියට ආදරෙන් ඉන්ට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
සඳක් වාගෙ ලඳක්නෙ හම්බවෙලා තියෙන්නේ රවි අයියේ. ඒක තමා ඔච්චර ලස්සන කවි සිතිවිලි පහලවෙන්නෙත් ඔයාට.
ReplyDeleteසුබ පැතුම් දෙන්නටම !
ඒ කාලේ හැන්ඩියෙක් නොවැ අප්පා.
ReplyDeleteහරීම ලස්සන ඉරයි , හඳයි.......උදේ පිපින රෝස මලක් වගේ ලස්සනයි...
ReplyDeleteඉර පායන කොට කුළු වැල් අතරින්
මල් පිපිලා ලෙල දෙන තාලේ
ඉර පායන කොට විහඟ කොබෙයියන්
ලස්සන ගී ගයනා තාලේ
යුවලක් වේ නම් ඉර , හඳ සේ ලොව
මුළු ලොව ලස්සන වෙන තාලේ
ඉර පායන්නේ නුඹල දකින්නයි
ලෝකය ඉන් සැනසෙන තාලේ
අයියා .... මම නම් වෙඩිමක් ගන්නෙ නැහැ. අපරාදේ නෙව සල්ලි. එයා හා කීවොත්, එයාලැගෙ ගෙදර කෙලින්ම ගිහින් නතර වෙනවා.හැබැයි රජෝ එයැයිටම කියල ගෙයක් තියෙනම් අගෙයි.
නැත්තම් ඉතින් එයැයි මායි එකතු වෙලා ගෙයක් හදනව.
අයියගේ පින්තූරයේ අයිය ඉන්නෙ බය වෙච්චි ගාණට තමයි.... හිහි ජාතික ඇඳුම ඇන්දනම් ජාති හිනාවක් දාලා ඉන්න තිබ්බ නේද?
හිහි... ඕව මොනාද අයියා..කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනවා. දැන් වෙඩින් එකක් කියන්නේ ,තනිකරම චිත්‍රපටියක් රඟපානව වගේ දෙයක් නෙව..
හිනා වෙනවා, තුරුල් වෙනවා, හාදු දෙනවා, වඩා ගන්නවා, මුහුදෙ වෙරළෙ යනවා... පඩි පෙල් නඟිනවා... හප්පා ..දෙන්නට , එයාලගේ වෙඩිමට ආපු අය එක්කවත් කතා කරන්න වෙලාවක් නැහැ.
හිහි......... මඟුලත් කලාවක් ලු....
කොහොම වුනත් සුබ පැතුම් ......
ඔය බෑ බෑ කිය කිය ඇන්දට අපූරුවට ඉන්නේ අයියා...... අනේ මංදා...... අයියගේ පොටෝව දැක්කම මට අපේ බාප්පා මතක් උනා නොවැ. සමහර විට ඔය විදියට රැවුල තියන නිසා වෙන්නැති.
ReplyDeleteඅර කිව්වා වගේ ලස්සන කවි ලියවුන්නැත්නම් තමා පුදුමේ. හැමදාමත් ඔය සඳ නෙළුම හැමදේම වුන අක්කියා එක්ක ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා පතනවා......!!!!
අප්පොච්චියේ!!!
ReplyDeleteඅපේ පෙම්බරයත් අකමැතිම දෙයක් තමා මුල් ඇඳුම් ඇඳිල්ල... මං නං කිව්වෙ අනේ ඔහෙ ඕනෙ එකක් කියල... අමාරුවෙං ඇඳල දුක් විඳින්නෙ මොකටද??
ඇරත් ඒක ඇඳල හිනා වෙන්ඩ බැරි නං ඇඳල වැඩකුත් නෑතත මොකද අපි දෙන්නට ඕනෙ පෝරුවෙදිත් දෙන්නට දෙන්න විරිත්තගෙන හිනා වෙන්ඩ
(පෝරුවෙ නගින්ඩ කැමති කරගත්තෙත් බොහොම අමාරුවෙන්)
අක්ක නං හරි ලස්සනයි!!! අයියත් හරිම හැම්සන්!! හි හි
බය වෙලා වගේ නෙමේ බයවෙලා තමා
ReplyDeleteඅනේ රවි අයියගෙ සිරියාව මූණේ. හික්ස්. ඔන්න විවාහ සංවත්සරේට මගෙන් සුභපැතුම්.
ReplyDeleteඒක වෙවෙයි රවි...මොකද ඔය බඩ උඩින් අතක් තියාගෙන..ආ..අහ්.
ReplyDeleteකාලා වැඩි වෙලාද..නැත්නම්..????
ඇත්තටම උඹලා දෙන්න හොදට මැච් වෙනවා ..මචං...
වාසනාවන්...!!!
හිරු සඳු සුසංයෝගය...
ReplyDeleteහප්පේ හීනෙන් බය වෙලා නේනනම්..
සුභ පැතුම් අයියාටත් අක්කාටත්..!!!
// තමන් ආදරේ කරන යුවතිය තමන් සමඟ ඇතිවූ සිත් තැවුලක් නිසා දෑසේ කඳුලු පුරවාගෙන සිටින දර්ශනය තරම් සිත් සසල කරවන තවත් දෙයක් ඇත්දැයි මම නම් දන්නේ නැහැ. මොකද මම තවත් ඒ වගේ දර්ශනයක් තියේද කියල හොයන්ඩ ගියේ නෑ ආයෙ කවදාවත්.....හෙහ්.....හෙහ්, එක් වරක් ඒ වගෙ තත්වෙකට මුහුණ දුන්නම ජීවිතේටම ඇතියි කියල මට ඒ මොහොතේම හිතුනා.එවන් අවස්ථාවකට මුහුණ දුන්නෙකුට ඒ පිළිබඳව විස්තර කිරීමට කිසිසේත් අවශ්‍ය නොවන අතර එවන් අවස්ථාවකට මුහුණ නොදුන්නෙකුට ඒ හැඟීම වචනයෙන් විස්තර කිරීමට සමතෙක් ඇත්දැයි මම දන්නේ නෑ. මට නම් ඒ හැකියාව නොමැති බව මම පැහැදිලිවම දනිමි. //
ReplyDeleteඅනේ බං උඹ අහුවුනානෙ ඒ මායමට.. ඔය අඩන්න වගේ ඉන්නව නේද, ඒක තමයි පලමුවෙනි ට්‍රික් එක.. ඒක හරි ගියෙ නැත්තං දෙවෙනි ස්ටෙප් එකට යනවා, ඒ කියන්නෙ ඇස්දෙකට කදුළු පුරෝගන්නවා.. ඒකත් හරිගියෙ නැත්තං තමා අන්තිම ස්ටෙප් එක, ඒ කියන්නෙ අඩන්නෙ..
මුලින්ම අයියටයි අක්කටයි දෙන්නටම සුභ මංගලම් කියලා කියනවා.
ReplyDeleteඅයියත් මාරම ගේමක් නේ දීලා තියෙන්නේ අරක්කු ගැන. බොන්න දෙනකොට කන්න දෙන එක අඩු වෙනවා. ඒ නිසා ගාන හුගක්ම අඩු වෙනවා.
කොහොමත් දෙන්නම කතා කරලා තීරණ ගන්න එක වටිනවා.
රවි අයියටයි සඳා අක්කටයි සුභ පැතුම්!.
ReplyDeleteඇත්ත නේන්නම් රවි අයිය බයවෙලාතමා....
අයියෙ ඔය ඉනේ ගහගෙන ඉන්න පිහිය කේක් කපන්න ගෙනා එකද???
ඒක නෙවෙයි දැන් රවි, චන්ද්‍ර ඉන්නව නෙව. එතකොට නවග්‍රහ මණ්ඩලයෙ ඉතිරි කුජ,බුධ,ගුරු,සිකුරු.......ල ගෙන් කීදෙනෙක් එක්කරගත්ත්ද?
අඩ්ඩඩ්ඩා.... රවී අයියගෙ මූනෙ තියෙන තේජස ! හික්.... අනේ අර කැමරාමන්ට කුද ගහගන්නෙයි කියල සිරික්කිය දාන්න නෙව තිබුනෙ.
ReplyDeleteඒක නෙමෙයි තව ඩිංගෙන් මටත් ඔයිං මුල් ඇඳුමක් අඳින්න වෙනව, අම්මප මං ඇඳනං නිකං තුත්තිරි ගහේ දෙබරෙ බැන්ද වගේ තියෙයි නේද? [වෙලාවට ඒ මඟුලට කෙලවෙලා ගියේ]
@ නිශ්,
ReplyDelete/ අම්මප රවි අයියේ උඹ නම් හීනෙන් බය උනු ගානට තමා ඉන්නෙ හෙහ් හෙහ්.........:) /
බයවෙන්නෙ නැද්ද මලේ, ඉස් ඉස්සෙල්ලාම හා පුරා කියල බඳින එක පැත්තක තියමුකො, සම්ම ජාතියෙ ඇන්දෙ නැති ඇඳුමක් පටලා ගන්ඩත් වෙච්චි කොට, උඹලට නම් මොකෝ, උඹලට හිනා.......හෙහ්, හෙහ්,
/ එහෙම කැප කිරීමකින් පසු ලැබෙන හිනාව ඒක අර නැති උන දේට වඩා ගොඩක් වටිනවා මට නම්. /
ඇත්තම ඇත්ත මල්ලි, දාහං පහක්........එක්කො දාහං දහයක්ම,...ආයෙ මොකටද අඩු පාඩුවක්.......
@ Podi Kumarihami,
ReplyDeleteස්තූතියි පොඩ්ඩියේ, ඔයාගෙ ප්‍රාර්ථනාව මට කෝටියක් වටිනවා,ස්තූතියි ආයෙම වතාවක්,
ඔයාටත් මුලු ජීවිත කාලෙම එහෙම ආදරෙන් ඉන්න ලැබේවා කියල මම හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා.
@ neetha,
ReplyDeleteඔයාටත් ස්තූතියි නංගියේ,හෙහ්.....කවි ලියවෙන්නෙත් ඒ නිසාමයි නේද?......හෙහ්, හෙහ්,
@ sithuvilimandiya,
ReplyDeleteමක් කිව්ව? අඩේ මලේ,උඹ හිතාන හිටියෙ මම අර දෙවිවරු දිව්‍යලෝකෙ ප්‍රාදුර්භූත වෙනව වගෙ මේ විදිහටම ඉපදුනාය කියලද?.......හෙහ්. හෙහ්,
@ සොඳුරු සිත,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි නංගි සුබ පැතුමට, ඔබගේත් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා!
@ හා පැටික්කි (MS)
ReplyDeleteඅඩේ නංගියේ, උඹලයෙ බාප්පත් එහෙනම් මං වාගෙම ගාම්බීර පොරක්.....හෙහ්, හෙහ්,
ස්තූතියි නංගි, සුබ පැතුමට,
@ hansakinkini,
ReplyDelete/ අපේ පෙම්බරයත් අකමැතිම දෙයක් තමා මුල් ඇඳුම් ඇඳිල්ල /
අනේ නඟේ, කොහොම හරි කොරල අන්දවහං, හෙහ්.......පුදුම ආතල් එකක් තියෙන්නෙ......ජීවිතේට ආයෙ අමතක වෙන්නෙ එහෙම නැහැ, ඔන්න,
/ ඇරත් ඒක ඇඳල හිනා වෙන්ඩ බැරි නං ඇඳල වැඩකුත් නෑ /
කවුද එහෙම හිනාවෙන්ඩ බැරි කතාවක් කිව්වෙ?, ඒ හිනා වෙන්ඩ එපයි කිව්වෙ අර පොටෝ අල්ලනකොට විතරයි,
පෝරුවෙදි අපි දෙන්න ඇතිවෙන්ඩ හිනා උනා, හිනා උනා නෙවෙයි හිනා වෙන්ඩ සිද්ද උනා කිව්වොත් තමයි හරි. ඔය මුලු ඇඳුමෙ එක එක වැඩ කෑලි තියනවනෙ හැටහුටහමාරක්. එව්වයෙ අර අම්මණ්ඩි බෙල්ලෙ එල්ලං හිටිය මාල හතක්ද දහහතක්ද කොහෙද අන්න එව්ව පැටලෙනව විනාඩි පහෙන් පහට,සොලෝක සජ්ජායනා ඔක්කොම නවත්තල එව්වයෙ පැටලුං අරිනව ඔන්න ඉතිං, වැඩේ උන්දැටත් එක විදිහකට ඉන්ඩ පුලුවනෑ, හෙහ්, හෙහ්,
අන්තිමට කොටිම්ම සොලෝක කිව්ව ලොක්ක මල පැනල දමල ගහල යන්ඩම ලෑස්ති උනා. බොහොම අමාරුවෙන් යාප්පු වෙලා නවත්ත ගත්තෙ....හෙහ්......හෙහ්, අනෙ අම්මප වෙනම පෝස්ට් එකක් ලියන්ඩ හිතෙනව වෙලාවක ඒ ගැන.
ඔන්නම් පොතක් ගහන්ඩත් ඇහැකි, '' ඔබ මුලු ඇඳුම් අඳින්නේ නම් පෝරුව මත දී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග - An Idiots guide to what you should do on poruwa if you are wearing mulu enduma ''
@ රත්ගමයා,
ReplyDeleteබයවෙන්නෙ නැද්ද මලේ, ඔය මම බැන්දමයි නෙව.
@ පිණිබිඳු,
ReplyDeleteඋඹ මේ සිරියාවක් ගැන කියනවා. ඔන්න අහපංකො විස්තරේ.
ඒ වෙලාවෙ මගෙ කරුමෙට ලයිටුත් ගිහිල්ල ඒ පලාතෙම. ස්ටුඩියෝ එකේ තිබ්බ ජෙනරේටර් එක මම හිතන්නෙ සිරි වික්කරම රාජසිංහ කාලෙ එකක්. ඒක විනාඩි පහෙන් පහට හුටස් ගාල හිටිනව. ඉතිං දාඩිය දෙකංසෙං පෙරෙද්දි ආයෙම මුල ඉඳලම ඔක්කොම පටන් ගන්න ඕනෙ. මට ඔය වෙලාවෙ මළ පැනල, බැඳිල්ලත් අපෝ වෙලයි හිටියෙ. හෙහ්........හෙහ්, උඹ මේ සිරියාවක් ගැන කියනව. ඔහොම වත් හිටිය ඇති, හෙහ්....හෙහ්,
ස්තූතියි නංගි, සුබ පැතුමට,
@ නිල් අහස,
ReplyDelete/ ඒක වෙවෙයි රවි...මොකද ඔය බඩ උඩින් අතක් තියාගෙන..ආ..අහ්. කාලා වැඩි වෙලාද..නැත්නම්..???? /
බඩ උඩින් අත තියාගෙන නෙවෙයි බොල ඒ මම අර බඩේ ගහගෙන ඉන්න කිරිච්චියෙ මිට අල්ලගෙන ඉන්නෙ, හෙහ්...හෙහ්, බලාහං හොඳට,
එහෙම තමයිලු ඒ කාලෙ ඔය නිළමෙ ගොල්ල හිටියය කියන්නෙ. හෙහ්.......හෙහ්, කවුරු දන්නවද බං? කියාපු විදිහට මමත් හිටිය, එච්චරයි.
ස්තූතියි ප්‍රාර්ථනාවට, නිල් අහස,
සා.... ඔය ඉන්නෙ ලස්සනට....
ReplyDeleteසයිකල් හැඩල් එකක් ගිලල වගේ...
පළවෙනි මායමටම මූ සලෙන්ඩර්...
දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගයපියෝ...
හත් වලාමෙ වෙච්ච දේට මක් කොරන්නද...?
ම්............... පින්තූරේ විදියටනම් ගෘහ මූලිකය නෝන වගේ...
ලස්සනයි... ඇත්තටම... උඹ නෙමේ බං.... නෝනා...
සුබස - අකුරු විනිස පිරික්සුව
ReplyDeleteමුල් පිටුව භාවිතයට උපදෙස් සුබස ගැන
මම පමා උනා රවී අයියේ ..අදනම් කවදාටත් වඩා පමා උනා .. සමාවෙන්ඩ දොරේ !
මුලින්ම මෙන්න මේ ටික කියන්න ඕන අයියා අමනාප වෙන්න එපා ..ඔයාගේ බිසව මාරම ලස්සනයි ..සිරියාවන්තයි..ඔයා මාර ලක් කාරයා .
ඇත්තම කීවොත් ඔයා නම් ටිකක් විතර මරුමුස් පාටයි ! ඒ කියන්නේ කැතයි කියන එක නෙවේ ! ඔයාව දැක්කම රවී අයියේ මට මතකෙට එන්නේ ටික්ටර් කියන අපේ ගමේ චරිතයක් ..ඔයා වගේමයි කපාපු පළුව ..ඔය ගාම්භීර පෙනුම , ඔය උල් පිහි වගේ බැල්ම ..100% එහෙම්මයි !
මතකද මම යකඩ බජාර් එක කියලා එකක් ගැන කීවා අන්න ඒකේ ඉන්න එපාම කරපු මට. ගහපු කෙනෙක් තමයි වික්ටර් . ඉතින් රවී අයියව දකිද්දීත් මට වික්ටර්ව මතකෙට එන එක නවත්ත ගන්න බෑ .. අදින් පස්සේ රවී අයියා එක්ක විහිළුවට යන්න ටිකක් විතර බයයි වගේ !
ආයෙමත් කියනවා ඔයා කැතයි කීවා නෙවේ හරි ..පෙනුමට බය හිතෙනවා කියලයි කීවේ ..ඒ මට හිතෙන අවංකම සිතිවිල්ල..
දැන් අපි ආවොත් කතාවට ..මේ කතාව මම කියවාපු කතා අතරින් හොඳම කතාව .. සේරටම වඩා මේකේ තියන හැපී එන්ඩිං එකට මම මාරම කැමතියි .ලියන්ඩ උපන් හපනෙක් තමයි ඔයා ..
දිගටම ලියන්ඩ රවී අයියේ .බය හිතුණේ නැද්ද මූන පෙන්වන්න .. මටත් හිතුණොත් මමත් ළඟදීම මුහුණ දෙනවා බ්ලොග් අවකාසෙට .මේක මම දාපු කමෙන්ට් අතරින් මෙතුවක් කාලෙකට දාපු දිගම එකලු .
@ priyantha,
ReplyDeleteස්තූතියි මල්ලි ඔයාටත්,
@ Buratheno,
ReplyDelete/ අනේ බං උඹ අහුවුනානෙ ඒ මායමට.. ඔය අඩන්න වගේ ඉන්නව නේද,.................... /
අම්මප මලේ, උඹ කියන්නෙ ඇත්තම නෙවෙන්නම්, කිව්වත් වගෙ මේ අම්මණ්ඩි තියන්ඩ වටිනවද?.......හෙහ්, හෙහ්,.......මට ඒත් ඔන්න එදා ඉඳම්ම ඔය හැකේ තිබ්බ නෙව මම අහු උනා වත්දෝ කියාල, උඹ කිව්වයිම් පස්සෙ තමයි ඔන්න හරියටම මීටර් උනේ.
@ මධුරංග,
ReplyDelete/ අයියත් මාරම ගේමක් නේ දීලා තියෙන්නේ අරක්කු ගැන /
මොනව කියනවද මල්ලි, බොහොම අමාරුවෙන් තමයි වැඩේ ගොඩ දාගත්තෙ,
/ බොන්න දෙනකොට කන්න දෙන එක අඩු වෙනවා. ඒ නිසා ගාන හුගක්ම අඩු වෙනවා. /
එහෙම නම් උනේ නැහැ මල්ලි, මොකද කලින්ම සහභාගි වෙන ගාණ අනුව හෝටලේට සල්ලි ගෙවන්ඩ ඕනෙ.කෑවත් නොකෑවත් ඒ ගාණ එහෙම්මමයි.
@ සනත්
ReplyDeleteස්තූතියි මල්ලි සුබ පැතුමට...
පිහියක් කොහෙද බං ඉණේ? ඒකට කියන්නෙ කිරිච්චිය බං කිරිච්චිය....
රාහු තමයි බං එකතු උනේ......හෙහ්, හෙහ්,
@ nawammawatha,
ReplyDelete/ හික්.... අනේ අර කැමරාමන්ට කුද ගහගන්නෙයි කියල සිරික්කිය දාන්න නෙව තිබුනෙ. /
කොහේද බං,යන්තම් දත් වහල්ල පෙන්නන්ඩවත් ඒකා ඉඩ දුන්නෙ නැහැ නෙව,එහෙම බැරිලු ඔය ඇඳුම ඇන්දම.
/ ඒක නෙමෙයි තව ඩිංගෙන් මටත් ඔයිං මුල් ඇඳුමක් අඳින්න වෙනව, අම්මප මං ඇඳනං නිකං තුත්තිරි ගහේ දෙබරෙ බැන්ද වගේ තියෙයි නේද? /
අපොයි, එව්වට ක්‍රම සහ විධි තියනව නෙව, බය වෙන්ඩ ඔනැන්නෙ නෑ. උඹ කෙට්ටු නම් මලේ ඉස්සෙල්ලම ඔතනව රෙදි යාර හත අටක් කඳ වටේට. ඒ කරල තමයි ඇඳුම අන්දවන්නෙ.
ගොඩක්ම කෙට්ටු නම් ඔය අන්දවන්න එන එවුන් ගාව තියනව තුනී කොට්ට වගෙ ජාතියක්, අන්න එව්ව තියල තමයි ඉම්පස්සෙ අන්දවන්නෙ.
@ මාතලන්,
ReplyDeleteහෙහ්....හෙහ්, ඉස්තූතියි බං,
/ පළවෙනි මායමටම මූ සලෙන්ඩර්... /
එහෙම කලාම ලේසියි බං, මොකටද නිකම් වද වෙන්නෙ, කොහොමත් අන්තිමට ඕක නෙව වෙන්නෙ......හෙහ්, හෙහ්,
/ පින්තූරේ විදියටනම් ගෘහ මූලිකය නෝන වගේ.../
ගෘහ මූලිකය එයා තමයි, හරියටම හරි, අම්මප කොහොමද උඹ පොටෝ එකෙන් ඒක කිව්වෙ ඇත්තට?
@ හිස් අහස,
ReplyDeleteමොකක්ද මල්ලි මේ සුබස කේස් එක?
ස්තූතියි උඹේ ප්‍රශංසාවට, මම කියන්නම් අපෙ හාමිනේට ඔන්න සඳරු කියල එකෙකුත් ඔයා ලස්සනයි කියල කිව්වය කියල.......හෙහ්, හෙහ්,
අඩේ, මම වාගෙ මරුමුස් පෙනුමක් තියෙන එකෙක් උඹලගෙ ගමත් ඉන්නවද? හෙහ්.....හෙහ්, අම්මප වෙලාවක එන්ඩ ඕනෙ බොලාගෙ ගෙදර ඔය කියන එකා හම්බ වෙන්ඩත් එක්ක.
/ බය හිතුණේ නැද්ද මූන පෙන්වන්න /
මොකට බය වෙන්ඩද බං, දැං බලාගෙන යනකොට උඹල නෙව බය වෙලා තියෙන්නෙ මගෙ මූණ දැකල......හෙහ්, හෙහ්,
සමහර ප්‍රතිපත්ති තියනවා මලත් වෙනස් කරන්නෙ නැහැ කියලා හිතාගෙන ඉන්න, ඒත් ඔය වගේ වෙලාවල් වලදි කරන්න දෙයක් නැති වෙනවා ......
ReplyDeleteකොහොම උනත් ඔයාගේ වෙඩින් ෆොටෝ එක නම් එලට තියනවා, රාජසිංහ රජ්ජුරුවො වගේ ...
@ කල්හාර දිසානායක,
ReplyDeleteස්තූතියි මල්ලි, ඇත්ත කතාව,ප්‍රතිපත්ති කියන එව්ව ඉස් මුදුනින්ම පිළිඅරගෙන ඉන්න ඕන නැහැ මම හිතන හැටියට නම්,අවශ්‍යතාවය අනුව,( මම මේ කියන්නෙ තනිකරම තමන්ගෙ වාසිය බලාගෙන එහෙම නෙවෙයි ) පොඩි නම්‍යශීලිත්වයක් තිබුනට වරදක් වෙන්නෙ එහෙම නැහැ.
රාජසිංහ කිව්වෙ කොයි රාජසිංහද බං?, කොයි එක්කෙනා ගැනද උඹ ඔය කියන්නෙ කියන එක අනුවයි තීරණය වෙන්නෙ උඹ කලේ ප්‍රශංසාවක්ද අපහාසයක්ද කියල.....හෙහ්.....හෙහ්,
සදා සුදිලෙනා හිරු සඳු විලසින
ReplyDeleteරැයත් දහවලත් එක ලෙස පැහැබර
සොඳුරු ලොවක හැමදාම හිඳින්නට
ආසිරි පුද දෙමි හද පිරි සතුටින
රවි අයියගේ කවි කතන්දර වගේම ලස්සන සොඳුරු ජීවිත කතාන්දරේකුත් ඔයාලා දෙන්නා අතර තියෙන බව හොඳින්ම පේනවා. හැමදාම ඒ සතුට එහෙමම රැඳිලා තියෙන්න කියලා සුභ පතනවා.
අපේ මඟුල් දවසේ මම ආසාවෙන් හිටියෙම මගේ මහත්තයා ජාතික ඇඳුම අඳිනවට. ඒ ඇඳුම සිංහල පිරිමි අයට හරි හැඩයි. මගේ මහත්තයා ඉතින් එදා මං දකින්න ආස වෙච්ච ඒ ලස්සන ඇඳුමෙන්ම හිටියා. මට හරි සතුටුයි.
හප්පට සිරි ගජ.... මං දැන් නෙව මේ බ්ලොගයට ගොඩ වැදුනේ...
ReplyDeleteහප්පොච්චියේ...නෝනා හරි සිරියාවන්තයි නොවැ... මුල් ඇඳුම මරු කට්ටක් කියලා මටත් ආරන්චියි...ඒ උනාට ඇන්දාම බලන්ටකො තියෙන උජාරුව.... මෙයත් මේ ඉන්නේ නිකං රජා වගේ...!(කොඉ රජාද කියලා අහන්ට එපා ඕං)
ඒ කාලේ ඔය පිහියක් ගහගෙන ඉන්ට ඇත්තේ... හදිස්සියකට වෙන්ටෑ... මනමාලිට කලිං ට්‍රයි කොරපු පොරක්වත් ගේමට ආවොත් හෙම.... නිකං වෙන්ට බෑ ඕක ඉස්සර ඉඳන්ම පැවත් එන ඇඳුමක් නේ නේද....
හෙනං මන් ඉතුරුවත් කියවඤ්ඤං.....ආයුබෝන් කිව්වා...
මොකද අප්පා මගුල් දාට මනමාලි පුරා හඳ වගේ ලස්සනට ඉද්දි මනමාලයෝ බය වෙලා වගේ ඉන්නේ. අපේ හබි නම් කිව්වේ බය හිතෙන්නේ නැතැයි ගත කරපු සුන්දර සමනල් කාලය ඉවරයි කියල මතක් වෙද්දී. අපේ photographer නම් කිව්වේ මනමාලයටත් හිනා වෙන්න කියල . ඔය යාර හත අටක් ඔතා ගත්තම මුණ ඇද වෙන එක අහන්නත් දෙයක්ද. සංස්කෘතිය නේ නේද.
ReplyDeleteමනමාලි නම් හරිම ලස්සනයි . මනමාලය ත් වරදක් නැහැ. [විහිළුවක්] ඕව මොකුත් වැඩක් නැහැ . මේ වගේ පොස්ට් එකක් දාන්න තරම් ආදරයෙන් ඉන්න එකට මගේ උණුසුම් සුබ පැතුම්.
අපේ වෙඩින් නාට්‍යත් මතක් වුනා. බොන එක ගැන ලොකු වාදයක් වුනේ නැහැ . මම උපතින් අමද්‍යප. මනමාලයත් ලොකු බේබද්දෙක් නෙමේ. ඒත් අර කියන්න වගේ ආපහු වැඩට ගිහින් කතන්දර අහගන්න ඕනය. අනික අපි නොදුන්නැයි කියල ඔය බොන කට්ටිය නොබී ඉඳියි .
හැබැයි ඔය ගෙවල් වල තියෙන මගුල් වලදී බොන්න දෙන්න හොඳ නැහැ. රණ්ඩු දබර ඉවරයක් නැහැ. හෝටලේ නම් කාල බිල යන්න එපැයි.
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteස්තූතියි, නංගියේ බොහෝම ස්තූතියි,
ඒකනෙ, ජාතික ඇඳුම අඳින්ඩ බැරුව ගියා නෙව එදා මට,මොකදෑ කොරන්නෙ ඉතිං?.....හෙහ්,හෙහ්
හැබැයි දැන් ඔය ජාතික ඇඳුම අඳින උදවිය නටන නරි නාටක දැක්කම නෑන්ද එකමයි කාරිය කියලත් වෙලාවකට හිතෙනව ඔන්න,
ඔයාටත් ඔයාගෙ සිත්තරාටත් අපි දෙන්නම සොඳුරු දිගු ගමනක් ප්‍රාර්තනා කරනවා,
@ Maneka
ReplyDelete/ හප්පට සිරි ගජ.... මං දැන් නෙව මේ බ්ලොගයට ගොඩ වැදුනේ /
ඒකනෙව කියන්නෙ, ඔයාල ඉතිං වලව්වල ගැවසෙනව මිසක් මේ අපෙ අගුපිල් වලට ගොඩ වෙන එකක්ය.....හෙහ්, හෙහ්,
විහිලුවට හොඳේ......හරි,හරි, ආයිබෝං කිව්ව......ඈඳිගත්තනම් බලන්ට තුං හතර පළකිංම,
/ ඒ කාලේ ඔය පිහියක් ගහගෙන ඉන්ට ඇත්තේ... හදිස්සියකට වෙන්ටෑ... මනමාලිට කලිං ට්‍රයි කොරපු පොරක්වත් ගේමට ආවොත් හෙම /
මොන විකාරද අනේ,එහෙම මොකෙක් වත් ඔහෙ ආපු එකක් නෑ, මාත් බල බලම හිටියෙ එහෙම එකෙක් හරි ඒවිය කියල, මොන? ඒකත් මගෙම වෙලාව....
@ Bindi,
ReplyDeleteබොහොම ස්තූතියි බින්දි, ඔයාගෙ සුබ පැතුමට සහ අදහස් දැක්වීමට,
ඔය මොනව ඇඳගෙන මොක කලත් අන්තිමට ජීවිතේ සෙනෙහසින් එක්ව ගෙවන්න බැරිනම් මොකක්ද ඇති වැඩේ නේද?
ආ.......ඔයා ඔන්න ඔය කොහෙද දුර ඈත රටක නෙවද ඉන්නෙ?, කොහොමෙයි ඔය අහටත් වහිනවය?
ඔව් අනේ ....උදේට ඉර පායනවා ...රෑට හඳ පායනවා...සමහර දාට වහිනවා. දැන් නම් ඔන්න ලස්සන වසන්තය. මල් පිපිච්ච පාරවල් දිගේ ඇවිදින්න නෙලුම් විල පැත්තේ ඇවිත් යන්න.හෙට අනිද්දට කට්ට අව්ව පායනවලු.
ReplyDeleteලියා කවි පද
දිනු සඳවත මනාවන්
විලයි පොකුණයි වගේ පෑහී...
ඉන්න මතු වාසනාවන්
@ Bindi,
ReplyDeleteස්තූතියි බින්දි, ඔබේ සුබපැතුමට,
මම ඔන්න ගියා නෙළුම් විල පැත්තෙ, අපොයි පොත් පිස්සො රැලක් නෙව එතන ඉන්නෙ......හෙහ්, හෙහ්, එන්ඩ හිතුනෙ නෑ ඔන්න ආපහු, ඒ තරම් අපූරුයි නෙළුම් විල, කමෙන්ට් එකක් දාන්න හැදුවා මොකක් හරි අවුලක් තියනව, කමෙන්ට්ස් පබ්ලිෂ් වෙන්නෙ නැහැ, හෙටවත් බලන්නම්,
අරකී පරිත්‍යාගයම නේද දෙඉවුර යාකරන පාලමේ; අත්තිවාරම, සම අසම පොළොවේ ඉහළට නැගී පාලම දරන ශක්තිමත් කුළුණු මෙන්ම අත්වැටත්. ඔබේ රචනයෙන් ලබාදුන් පණිවුඩය ඉතා අගේය.
ReplyDeleteජීවිතය සුන්දරයි, ඔබ දෙපලට සුබ පැතුම්!
පලි:කවදත් වගේ මෙදත් ප්‍රමාදයි.
@ ගල්මල්-Coral
ReplyDeleteඇත්ත ඩීන්, ඇත්තම ඇත්ත,
පදනම ශක්තිමත් නම් කිසි දේකට බයවෙන්න ඕන නැහැනෙ.ඔය එන භූමිකම්පා, කුණාටු වලට එහෙම නොසැලී මුහුණ දෙන්න ඒ සවිමත් පදනම බොහොම වැදගත්.
හෙහ්, පරක්කු උනාට මොකද? Better late than never කියලත් කියනවනෙ,
බොහොමත්ම ස්තූතියි ඔබේ සුබ පැතුමට,
අනේ රවි අයියේ මේ ලිපිය කියවන්න තුන් හතර පාරක් අවිත් ඕන් අද තමයි නිසකාංසුවේ කියවලා ඉවරෙටම ඉවර කලේ.
ReplyDeleteඇනිවසරිය වෙනුවෙන් මාසයක් පහුවෙලා සුභ පතලා වැඩක් නෑ තමයි බුදු අයියේ . . ඒත් අහිතක් හිතන්න එපා පහුගිය ටිකේ ගෙදර ඉන්ටැනෙට් කචල් . . අලුත් ඔෆීසියේ වැඩක් හිටි ගමන් වැඩි වුනා . ..
අර ගෑනු කස්ටිය ගන කියපු එක නම් හැබෑමයි අයියේ . .අපේ එක්කෙනාත් එහෙම්ම තමයි. ඔය පුරස්න මටත් ටික ටික තිබ්බා . . මුල් ඇඳුම නම් අඳින්න මමත් ආසාවෙන් හිටියේ. ඇයි අපේ ඔෆීසියේ සුද්දෝ ඔක්කෝම කටවල් ඇරන් හිටියා වෙඩිම පින්තූර ටික බලන්න . . ඉතිං අපේ රටේ සගිස්කුරුතියේ අගය පෙන්නන්ට ත් එක්කම ඒ ඇඳුම ඇන්දා . . බොන එක නම් සොරි ඩොට් කොම් . . .
ඒත් ඉතිං හෝම් කමින් එකේදි දුන්නා බොන උන්ට ඇති තරම් බොන්ට කියලා . ..
ගෙදර උන්දෑගේ මල්ලිගේ වෙඩිම වෙලාවේ ගිය අවුරුද්දේ තව පොඩ්ඩෙන් වෙඩිම හේදිලා යනවා . . මම කොල්ලෝ ටික එක්ක එකතු වෙලා ගොඩ දාලා දුන්නා . . පස්සෙන් පහු නම් කියනවා එහේම් වුනු නිසා වෙඩිම ෆුල් ජොලියේ ගියා කියලා . . හික් හික් හික් . .
බයිලා ගැහුව මිසක්කා අයියලගේ ඇනිවසරියට සුභ පතන්න බැරි උනානේ . .
අයියටයි අක්කටයි දරුමල්ලෝ හැමෝටමයි (සුභ ඇනිවසරියක වේවා කියලා වඩක් නෑනේ) සුභ අනාගතයක් වේවා එහෙනම් . . . (මහින්ද මාමාගේ සුභ මෙව්ව එක නීම්යි හොඳේ . . හදවතේ පතුලෙන්ම ආපු සුභ පැතුම්
අනේ බං අයියෙ මම දන්න රාජසිංහ කෙනෙක් නැහැ මට කියන්න ඕන උනේ රජ පෙනුමක් තියනවා කියලා අපහාසෙකට නෙමේ .....
ReplyDelete@ කල්හාර දිසානායක,
ReplyDeleteඅපොයි මල්ලියේ, මම විහිලුවට නෙව කිව්වෙ, හුදෙක් ආතල් එක පිණිස පමණි,
Don't take mathematics five cents, okay?.......heh, heh,
@ දුකා,
ReplyDeleteනෝ ප්‍රොබ්ලම් ඇට් ඕල් මල්ලි,පරක්කු උනාට මොකෝ?, වැඩ වැඩියිනෙ බං අපි කාටත්.....හෙහ්, හෙහ්,
ඔය බීල මගුල් ගෙවල්, මළ ගෙවල් වල කචල් යන එක තියනව නේද? ඒ වෙලාවෙ හතර විලි ලැජ්ජාව උනාට පස්සෙ මතක් කර කර හිනා වෙන්ඩ පුලුවන් බං,
උඹෙ කතාව ඇත්ත, අපෙ සමහර යාලුවො ගැන මෙහෙම කිව්වම තමයි මතක් වෙන්නෙ,
" කවුද බං අජන්ත? මට මතක නෑනෙ එහෙම එකෙක්,"
" ඇයි බං අර සමන්තය ඩෝප් මරගාතෙ මනමාලිගෙ තාත්තගෙ ඔඩොක්කුවට කබරයා දැම්මෙ? ඒ අජන්තයගෙ වෙඩිං එකේදිනෙ, මතක නෑ? "
" අඩෝ එහෙම කියන්න එපාය, මේ අපේ අජන්තය , දැන් නෙව මතක් උනේ...හෙහ්, හෙහ්, "
මමත් කයිය ගැහුව මිසක්ක ස්තූතියි කිව්වෙ වත් නැහැ නෙව,
ස්තූතියි මල්ලි,
හැමෝගෙම බ්ලොග් වල දිගම දිග පසුවදන් ලියන රවි බ්ලොග් එකක් ලියනවා ඇතිය කියා හිතිලා තිබුනට දැන් තමයි සහසුද්දෙන්ම තේරෙන්නේ හොරේ.
ReplyDeleteමේ රන්දිල් ගේ බ්ලොග් එක නේද? BUZZ එකේ ලින්ක් එක නැත්තං මේ ගැන දැනගන්නේ වත් නෑ.
විවාහ සංවත්සරයට මගේ සුභ පැතුම් නිලමේටයි, කුමාරිහාමිටයි දෙන්නටම.
මුළු ඇඳුම අඳිනවාය කියන්නේ ඇයි බාගෙට ඇඳගෙනත් ඉන්නවාද?
ReplyDelete.@ කතන්දර Kathandara
ReplyDeleteහෙහ්, හෙහ්,......... දැන් දන්නවනෙ කතන්දර,
මේ අපේ රන්දිල් මැඩම්ගෙ ගෙදර නෙව, අපි පරණ යාලුවො වෙච්චි, උන්දැ අනික් අතට බොහෝම ගුණ යහපත් ඉස්තිරියාවකුත් වෙච්චි, ඒ පාර මටත් කිව්ව ඔන්න ඔය ඇනෙක්ස් එකේවත් ඉඳිමු එහෙනම් බලන්ට කියල. එදා ඉඳන් ඉතිං මාත් මේකෙම තමයි........හෙහ්, හෙහ්,
ඔබේ සුබ පැතුමට බොහොම ස්තූතියි, කතන්දර,
මුලු ඇඳුම කියනවා, සමහරු මුල් ඇඳුම කියනවා, කෝක හරිද මම දන්නෙ නම් නෑ,
ඔය අවසේස නිලමක්කාරයො ඒ දවස් වල ඇන්ද ඇඳුම යටි කයට තුප්පොට්ටිය විතරයි, උඩුකය නිරුවත්, ඒ නිසා සම්පූර්ණ නිළමෙ ඇඳුමට මුලු ඇඳුම කියල කියනවයි කියල කවුද කියල තිබ්බ වගෙ පොඩි මතකයක් නම් තියනව.