මම මොනවත්ම කිව්වෙ නැහැ.රන්බණ්ඩා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන් උත්තරයක් බලාපොරොත්තුව නොවෙන බව මම දන්න නිසයි ඒ.
එතනම දොරකඩ ගාව මල්ලි වැටිල හිටිය.පිහි ඇනුම් තුවාල වලින් ඒ වෙනකොටත් ලේ ගලන එක නතර වෙලා
මම එහෙම්මම කෙලින් වෙලා බිත්තියට හේත්තු වෙලා මල්ලි දිහාවෙ ටික වෙලාවක් බලන් ඉඳල ඔලුව උස්සල මලී දිහා බැලුවා.
ඒකි හෙමිහිට මා ලඟ වාඩිවෙලා මගෙ පපුවට ඔලුව තියාගත්ත. මලීගෙ ඉසකෙස් වලින් හමනා සුවඳින් මගෙ පපුව පිරෙද්දි මට හිතුනෙ මේ මොහොත ගැන මම කොච්චර හීන දකින්න ඇතිද, ඒත් අන්තිමට ඒ අවස්තාව ආවෙ මොන තරම් නොහිතපු විදිහකටද කියලයි." මහත්තයට නැත්ද ඒ වගෙ සිදුවීම් වලට මූණ දුන්නු අත්දැකීම්? "
" ඔය කියන විදිහෙම නම් නෙවෙයි, ඒත් නැහැමයි කියන්නත් බැහැ රන්බණ්ඩා, ඉතිං ඊළඟට? "
" ඔහොම බිම් කලුවර පාත් වෙනකල්ම, අපි දෙන්න එහෙම්මම හිටිය. ඒ හිටපු කාල සීමාව මගෙ ජීවිතේටම මට අමතක වෙන්නෙ නැහැ මහත්තය මම අවුරුදු සීයක් ජීවත් උනත් "
අන්තිමටම මලී ඔලුව උස්සල, කඳුලු පිරුනු ඇස් වලින් එක එල්ලේ මා දිහා බලාගෙන ඉඳල හෙමිහිට ඇහුව," ඇයි මයෙ අයියෙ අපිට මෙහෙම උනේ? මේ වෙන්ඩ තිබ්බ හොඳම විදිහ කියලද අයිය හිතන්නෙ?" කියල
" හොඳම විදිහද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මලී අද නෙවෙයි, තව අනාගතයේ දවසක.සමහරවිට ඇත්තටම මේ හොඳම විදිහ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්, කවුද හරියටම ඒ ගැන දන්නෙ. එකම දෙයක් නම් ඉස්තිරයි. මේ තමයි වෙන්න නියම වෙලා තිබ්බ විදිහ. වෙන විදිහක් නැහැ. අපිට ඉතින් ඒක පිළිගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ"
" මේ හැම දෙයක්ම උනේ මගෙ වැරැද්දෙන් කියලයි මම නම් තාමත් කියන්නෙ " මලී කිව්වෙ කම්මුල් දිගේ ගලන කඳුළු පිහදාමින්,
" නෑ, ඒකටත් මට කියන්න තියෙන්නෙ මේ තමයි වෙන්න නියම වෙලා තිබුනු විදිහ, එච්චරයි "
බිම් කලුවර ගෙට ගොඩ වෙද්දි අපි දෙන්න අවසන් වතාවට එකිනෙකාගෙ ඇස් දිහාවෙ බලාගෙන එතනින් නැඟිට්ටා. ඊට පස්සෙ ඒත් පළවෙනි සහ අන්තිම වතාවට මම මලීගෙ නලල සිප ගත්තා.මලී මොනවත් කිව්වෙ නැහැ. හීන් ඉකි බිඳුමක් විතරක් එයාගෙන් පිට උනා.එදා මම ගමේ යන්ඩ පිටත් වෙච්චි වෙලාවෙ වගේම "මලී, මම යන්නම්" කියල කිව්වා. ඒත් එදා වගේ නෙවෙයි මේ තමයි අවසානය කියල මමත් දැනං හිටිය, එයත් දැනං හිටිය. ඒ කරල අඩ අඳුරෙම මම එළියට බැස්සා.
මේ වෙනකොට රෑ දොලහත් පහුවෙලා මයෙ හිතේ. ටිකක් හීතල ගතියකුත් අවටින් දැනෙන්න පටන් අරන් තිබුනා. දන්නෙම නැතුව දෙවෙනි බෝතලෙත් සෑහෙන්න ඉවර වෙලා.රන්බණ්ඩා තව පොඩ්ඩක් වීදුරුවට වක්කරගන්න ගමන් මගෙ දිහා බැලුව. "නැහැ, මට එපා, ඔක්කොම දාගන්න, තව ඕන නම් තව එකකුත් තියෙනව " මම කිව්ව. මගෙ කටහඬ මටම ඇහුනෙ හීන ලෝකෙක ඉඳන් කතා කරන හඬක් වාගෙ.මට හිතුනෙ මම තාම පියවි ලෝකෙට ඇවිත් නැහැ වගේ කියල.
ඉතිරි හරිය දැන ගන්ඩ මට ලොකුවට ඕන කම තිබ්බට මම රන්බණ්ඩගෙන් ඇහුවෙ නැහැ. මිනිහටම කතාව ඉවර කරන්ඩ දීල මම බලා හිටියා.
" නඩුව තිබ්බෙ නුවර උසාවියෙ.ආත්මාරක්ෂාවට කියල ආණ්ඩුවෙන් මට කතාකරපු පෙරකදෝරු මහත්තය තර්ක කලාට අවුරුදු විස්සකට මම හිරේට නියම උනා. කොහොමත් නඩුව ඇහෙන දවස් වල මම හරි සිහියකින් හිටියෙ නැහැ මහත්තය, උසාවිය, නඩු කාරය, පෙරකදෝරුවො ඔක්කොම මට නිකම් හීනෙන් වගෙ තමයි මතක,අවුරුදු දොලහක් හිරේ ඉඳල අද පොසොන් හින්දා නිදහස් කරපු හිරකාරයො ගොන්නට මාවත් අයිති උනා.අද උදේ තමයි මම බෝගම්බරින් නිදහස් උනේ මහත්තය "
තව අරක්කු තිබ්බට බොන්ඩ අපි දෙන්නටම ආයෙ පිරියක් තිබ්බෙ නැහැ. එහෙම්මම හඳ එළිය, අඳුර, කණාමැදිරියන්, දිහාවෙ බලාගෙන ගත වෙච්ච විනාඩි දහයකට පාළහකට පස්සෙ මම හීනෙකින් අවදිඋනා වගෙ පුටුවෙන් නැගිට්ට.
" රන් බණ්ඩ, බත් ටිකක් කමු නේද? "
" කාරියක් නැද්ද? මටත් නම් බඩගින්නකුත් තියනව, දවල්ටත් හරි හමං කෑමක් නැහැ "
" හපොයි පිස්සුද, ඉන්න මම බත් එකක් අරන් එන්නම් "
මම බත් පිඟන් දෙකක් බෙදාගෙන ඇවිත් රන්බණ්ඩට එකක් දුන්න. හෙමිහිට හෙමිහිට බත් කාල ඉවර වෙලා රන්බණ්ඩ නැඟිට්ට.
" මම යන්නම් මහත්තය, මම මේ කතාව මෙහෙම සහසුද්දෙං කාටවත්ම මීට කලියෙං කියාල නැහැ. කොටිම්ම මා වෙනුවෙං කතාකරපු පෙරකදෝරු මහත්තයටත් මම මේ විස්තර ඔක්කොම කියැව්වෙ නෑ.ඒත් මොන දෙයක්ද මටම හිතාගන්ඩ බෑ, මහත්තය දැක්කම මට හිතුන පළවෙනි පාරටයි අන්තිම පාරටයි මගෙ මුලු කතාවම මහත්තයට කියන්ඩ ඕනය කියල "
" රන්බණ්ඩ දැන් කොහෙද යන්නෙ? දැන් මෙහෙ ඉඳල උදේ යන්න "
" බෑ මහත්තය බොහොම ස්තූතියි, ඒත් මම දැන්මම යන්න ඕනෙ, හඳ එළියත් තියනවනෙ.මම දැන් මයෙ ගෙදර යන්නයි යන්නෙ. අපෙ අප්පොච්චි එහෙම ඉන්නවාද දන්නෙත් නැහැ. මම ඒ අයට කිව්ව මාව බලන්න එන්න එහෙම එපයි කියල. අප්පොච්චි හිටියා නැතා මම ගමේ ඉන්නෙ නැහැ මහත්තය, ඊටත් එහා අන්න අර කන්දෙ තියෙන ආරණ්‍යයට යන්නයි මගෙ කල්පනාව"
" මගෙ ජීවිතේ දැන් වැඩි බලාපොරොත්තු කියල දෙයක් නෑ මහත්තය. හෙට දවස ඔහෙ කාටවත් කරදරයක් නොවී ගත කර ගත්තොත් ඊට පස්සෙ අනිද්ද ගැන හිතන්නෙ අනිද්දට. ඔන්න ඔහොමයි මම දැන් දවසින් දවස තමයි ජීවිතේ ගත කරන්න හිතාගෙන ඉන්නෙ.අපි ඉපදෙනකොටම අපේ ඉරණම තීරණය වෙලයි තියෙන්නෙ මහත්තය ඒ ගැන අකම්පාල විස්සෝප වෙලා වැඩක් නැහැ.මම යන්නම් මහත්තය, මහත්තය මට මුණ ගැහුනෙත් මම හිතන්නෙ මගෙ ඉරණමේ ලියවිලා ඇති.අපි ආයෙම හම්බ වෙන එකක් නැහැ මහත්තය.බොහොම පිං, මහත්තය කරපු උදව් වලට "
මමත් රන්බණ්ඩ එක්ක වැට ගාවටම ගියා.
අන්තිමට කම්බි වැටෙන් පැනල රන්බණ්ඩා " යන්නම් මහත්තය එහෙනම් " කිව්ව.
" ආ, රන්බණ්ඩ, මලීට මොකද උනේ කියල කිව්වෙ නැහැනෙ නේද? "
" මම හිරේ ගිහිල්ල සතියකට පස්සෙ, ඒ කෙල්ල වහ බිව්ව මහත්තයා " මේ කතාව කියද්දි කිසිම විටක මම නොදුටු කඳුලු බිඳු දෙකක් රන්බණ්ඩගෙ දෑසින් ගිලිහිල කම්මුල් දිගේ ගලා හැලුනා.
------------------------------------------------------------------------------------------------
රන්බණ්ඩා විසින් එක් පුන්සඳ පෑයූ නිසල රාත්‍රියක පූර්ව යාමයේ මා සමඟ පැවසූ පරිදි ඔහුගේ ශෝචනීය වූ කථාව මම මෙසේ ඔබ වෙත ඉදිරිපත් කලෙමි. මේ සිදුවීම් පිළිබඳව වගකිව යුත්තන් නොහොත් වැරදි කරුවන් නිශ්චය කිරීමට මම කිසිම විටක තැත් නොකලෙමි. ඒ මම රන්බණ්ඩා පැවසූ ලෙසම ඔහුගේ කතාව ඔබට පැවසූ කතාකරුවා විනා මිනිස් සිත්සතන්හි හට ගන්නා හැඟුම් හෝ සිතුවිලි වල නිරවද්‍ය භාවය විනිශ්චය කරන්නකු නොවන බැවිනි.
හිතවත / හිතවතිය, ඒ පිළිබඳ විනිශ්චයකට එළඹිය යුතුයයි ඔබ සිතන්නේ නම් ඔබට ඒ සඳහා පූර්ණ නිදහස ඇත.
සමුගැනීමට පෙර තවත් එක් කාරණයක් පමණක් පැවසිය යුතුය. රන් බණ්ඩා පැවසූ මේ අනුවේදනීය කතාව ඒ දිනවල මම මුහුණ දී සිටි දිවි එපාකරවන සුලු සිත් තැවුල් වලින් යම් තරමකට හෝ මිදීමට මට ඉවහල් විය.ඒ ගැන මම රන්බණ්ඩාට අදත් ණයගැති වෙමි.
"මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි, පායුග නැති ඔබ දකින තුරා,
කුංකුම චන්දන ඉල්ලා හැඬුවෙමි, නෙත් අඳ ඔබ නෙතු දකින තුරා"
අවසාන වශයෙන් රන්බණ්ඩා වෙනුවෙන්, ඔහුගේ කතාව අසාසිටි ඔබ සැමට ස්තුතිය පලකිරීමට මට ඉඩ දෙන්න.
නොසිතූ විදිහට කතාව ඉවර වෙලා. මලී තමන්ගෙ ජිවිතයෙන් වන්දි ගෙවයි කියල මම හිතුවෙ නැහැ. ඔහු වෙනුවෙන් ජිවත් වුනා නම් කොච්චර නම් වටිනව ද?
ReplyDeleteඒත් .. . .
අපි හිතන විදිහට නෙමෙයි , වෙන්න තියන විදිහටලුනේ වැඩ සිද්ධ වෙන්නේ..
කතාවට වඩා මම කැමති , රවි අයියා පසුව ලියල තියෙන කොටසට.. සිත දුකින් පිරෙනවා අයියා...
හරිම දුකයි....
ඒ දුක හඬා වැලපෙන දුකම නෙමෙයි. “ පහන් සංවේගය “ කියන්නේ ඒක ද මන්ද ?
මම ආයේ එනවා කමෙන්ට් කරන්නයි , ආයේ කියවන්නයි....
හිත හරි නැහැ... ගිහින් එන්නම්...
මේ වගේ කථා ලියන්නෙ ඇයි. පිස්සු හැදෙනව අප්ප කියවල ඉවර උනාට පස්සෙ. අපි හිතාගෙන හිටියට අපි තමා ලෝකෙ ඉන්න අවාසනාවන්තම මනුස්සයො කියල කාගෙ හරි කතන්දරයක් ඇහුවමයි හිතෙන්නෙ අපිට වෙලා තියෙන්නෙ හිතන්නවත් තරම් දේවල්ද කියල.
ReplyDeleteජීවිතේට හොඳ පාඩමක්.
අනේ අප්පේ....... අඹ සරණයි.........
මම කියවපු සංවේදීම කතා අතරින් එකක් .ජීවිතේ ඔහොමතමයි කවදාකවත් අපිට ඕන විදිහට කිසිම දෙයක් සිද්දවෙන්නේ නෑ .
ReplyDeleteඅන්තිමට ලියලා තියන දේවල් ටික කියවනකොට මගෙත් බඩ පපුව දාලා ගියා ..කියන්න දහසක් දේ මගේ හිතේ තිබුනත් ඇයිද මන්දා මට මේ මොහොතේ ඒවා ගලපන්න බැහැ.
ඔයාගේ ලිවිල්ලනම් කියලා වැඩක් නෑ රවි අයියේ .අති දක්‍ෂයෙක්
අයියේ. මම කලින් කීවා වගේම මිනිසුන්ගේ සිත් සතන් ක්‍රියා කරනා ආකාරය පෙන්වන කැඩපතක් මේ කතාව. අපි කල දේ තමා අපේ පසුපස එන්නේ. ඒක නම් වලක්වන්න බෑ.
ReplyDeleteඅයියාගේ ලිවීමේ හැකියාව උපරිමයෙන් පේනවා. නැවතත් මෙවැනි කතාවක් කියවන්න ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.
මට අහන්න තියෙන්නේ,
ReplyDelete'ඇයි අපට මෙහෙම වෙන්නේ'? කියන එක.
දැන් ප්‍රශ්න ගොඩයි හිතේ. ඇත්තටම හීං බංඩාව මැරුවේ රං බංඩද නැත්නම් මලීද? වගේ දේවලුත් ඔලුවේ පැත්තක කැරකෙනවා. ඒත් "වත්" කීවා වගේ හිතට හරි නෑ. කමෙන්ට් දාන්ට වෙන්නේ පස්සෙයි.
මගේ හිතට නම් හඬා වැලපෙන දුකම තමයි.
@ ප්‍රියන්ත,
ReplyDeleteඅනේ මට නම් බැහැ මේ වගේ කතා ආයම කියවන්ට.
හිත මහ පුදුම තැනක්
ReplyDeleteදිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක්
විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්
හිත මහ පුදුම තැනක්
නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මන රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත මහ පුදුම තැනක්...
අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත මහ පුදුම තැනක්.
අනේ මන්ද මොනා කියන්නද කියල....කොහොම උනත් අයියගේ කතා ලිවීමේ හැකියාව විශිෂ්ටයි...හදවතට දැනෙන විදියට හැම අකුරක්ම ගලපලා තියනවා.
ReplyDeleteමම හිතපු විදියට නෙමේ ඉවර වුනේ..... මම හිතුවෙ නැහැ මලි මැරෙයි කියලා.........
ReplyDeleteඑක හුස්මට කොටස් 4ම කියවූවෙමි. මටත් හිතුනා රණුබන්ඩා හිරේ ගිහින් එනකම් මලී රණ්බන්ඩගේ ගමට ගිහින් තාත්තවත් බලා කියන් ඉදී කියලා.......
ReplyDeleteඒත් ඉතින් අවසානේ....... බොහොම සංවේදී කතාවක් අයියා........
@ පොඩ්ඩි
ReplyDeleteමම අදහස් කලේ මේවගේ දුක හිතෙන ඒවා නෙවේ. හොඳට ගලා යන හොඳ කතාවක්. මෙකනම් ඔයා කියනවා වගේ හිතට බරක් ඉතුරු කරල ගිය කතාවක් තමා.
මම ඉල්ලන්නේ හොඳ නිර්මාණයක් දෙන්න කියල. සතුටු දායක අවසානයක් නැතත් මේ වගේ දුක හිතෙන එවා නම් එපා තමා.
හ්ම්ම්....... කතාව කියවලා ඉවර උන හැටියේ ලොකූ හුස්මක් පිට උනා. හිතට දැනුනේ දරාගන්න හරි අමාරු හැඟීමක්... රන් බණ්ඩගේ කතාව අහලා ඉවර උනාම රවි අයියාට දැනුනා කිව්වා වගේ තෝන්තුවාවකින් ටික වෙලාවක් ගෙවුනා... තමන්ට දැනෙන හැඟීම ඒ විදියටම පාඨකයට ලබා දෙන්නෙ ඒ කතුවරයගෙ දක්ෂකම. ඉතින් හිතට ඒ වගේ දෙයක් දැනුණහම මම නිතරම කරන දෙයක් ආයෙත් මං කළා. මේ තියෙන්නෙ ඒක.
ReplyDeleteහිත ගොළු වෙලා හදවත හඬනා වේලේ
දෙනෙතට නොනැගි කඳුලේ බර අපමණ වේ
දුක් සෝ සුසුම් සිත් ලතැවුල් සාගරයේ
අතරමංව මේ පද සටහන් කෙරුවේ
එක මලකට පෙම් බැඳි බඹරුන් දෙදෙනා
එක කුස උපන් අයියයි මල්ලියි බැවිනා
දමනය කළෙන් තම සිතුවිලි ලොකු සොයුරා
ආසිරි පතා ඔහු තනි මග යන්න ගියා
සැලෙනා සිතට අවනත විලා නෑනා
තෝරාගත්තු මග කඩතොළු වැඩි හින්දා
නැවතත් සිතට යට වී කටයුතු කරලා
පණිවිඩ ඇරියෙ ගිය අයියා කැඳවාලා
සැක සිත් පෙරටු කොටගෙන වෙරිමත් වීලා
සොයුරා සමග අමනාපෙන් කෝප වෙලා
දෝස මෝහ සිතුවිලි කැටි වූ මලයා
මිනී මරන්නට තැනුවේ මරු වැහිලා
අවසන නො එන ගමනක් යන්නට වූවා
අයියා නොකළ වරදට දඬුවම් ලැබුවා
සිතින් සමාවක් නොලැබුණු කළ නෑනා
මෝහෙන් මුලා වීලා රුදු වස බිව්වා
මලීගේ චරිතය ගැන කතාවට බාහිරව ඉඳන් බලන කෙනෙක් හැටියට මට දැනෙන්නේ අනුකම්පාවක්. මිනිස් සිතේ සැලෙන ස්වභාවය හරි හැටි තේරුම් නොගත්තු සිත කියන විදියට වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටුණු කෙනෙක්.
ඊලඟට හීන් බණ්ඩා. එයාගේ සිතේ තිබුණේ සැකයයි ක්‍රෝධයයි. ඒ දේවල් සිතෙන් ඈත් කරගෙන ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න එයාට බැරි උනා.
රන් බණ්ඩා ගැන කියන්න තියෙන්නේ උපේක්ෂාවෙන් පිරුණු චරිතයක්. එයාට කරන්න ඉතුරුවෙලා තිබ්බ හොඳම දේ එයා අන්තිමට තෝර ගත්තා. මුළු කතාවම කඳුලක් නොහෙලා කිව්ව රන් බණ්ඩගේ ඇහැට අන්තිමට මලීගේ ඉරණම ගැන කියද්දි කඳුලක් නැගුන හැටි හරිම සංවේදියි.
සිතේ ස්වභාවය ගැන අපට කියලා දෙන විශිෂ්ඨ කතාවක්. මේක ඇත්ත කතාවක් උනත්, හඳ දිහා බලාගෙන බෝතලෙත් ලං කරන් ඉන්න වෙලාවක රවි අයියගේ හිතට ඇතුල් වෙච්ච මනඃකල්පිත චරිතයක් වටා ගෙතුණ කතාවක් උනත් අයියගේ ලිවීම හැමදාමත් වගේ අති විශිෂ්ඨයි. පසුවදනෙන් කතාවේ සංවේදී බව තවත් වැඩි උනා කියලා හිතුණා.
හ්ම්ම්ම්... හරිම දුක හිතෙන කතාවක්, මලී ජිවත් වෙලා හිටියානම් හොදයි....
ReplyDelete@ සොඳුරු සිත,
ReplyDeleteමේ කතාවෙ අන්තිම හරිය ලියද්දි මගෙ හිතත් දුකින් බර වෙලා තිබ්බෙ නංගි ඇත්තම කිව්වොත්,
පහන් සංවේගය කියන්නෙ නම් සතුට කියන එකයි මට මතක විදිහට.දුකත් මිශ්‍ර වුනු සතුටක් සමහර විට. මාටින් වික්‍රමසිංහ මහත්මය ගම් පෙරළිය අවසාන කරන්නෙ, "හුදී ජන පහන් සංවේගය උදෙසා කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහ විසින් විරචිත ගම් පෙරළිය මෙතකින් නිමියේය" කියලයි.
බොහොමත්ම ස්තූතියි නංගි, For every thing you have done, thanks again and again,
@ හිස් අහස,
ReplyDeleteඔබට මගේ හෘදයාංගම ස්තූතිය සඳරු මල්ලි,මම කලිනුත් කිව්වා......ආයෙමත් කියන්නම්, මම ඔයා ලියන දේ කියවන්නෙ හරිම ආසාවෙන්,
@ ප්‍රියන්ත,
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි ඔබේ අගය කිරීමට. ඔබ සැමගේ දිරි ගැන්වීම් මට වචනයෙන් විස්තර කල නොහැකි ශක්තියක්.
@ Podi Kumarihami,
ReplyDelete/ මට අහන්න තියෙන්නේ,'ඇයි අපට මෙහෙම වෙන්නේ'? කියන එක./
ඔය ප්‍රශ්නෙට මට වැඩිය හොඳට උත්තරේ දන්නෙ රන්බණ්ඩා. මෙන්න එයාගෙ වචන වලින්ම.
" අපි ඉපදෙනකොටම අපේ ඉරණම තීරණය වෙලයි තියෙන්නෙ මහත්තය ඒ ගැන අකම්පාල විස්සෝප වෙලා වැඩක් නැහැ. "
/ ඇත්තටම හීං බංඩාව මැරුවේ රං බංඩද නැත්නම් මලීද? /
හීන්බණ්ඩව මැරුවෙ නම් මලී.
/ මගේ හිතට නම් හඬා වැලපෙන දුකම තමයි. /
හපොයි පොඩ්ඩියේ, මොකදෑ ඉතිං කොරන්නේ? මේක ඇවිල්ල ඛෙදාන්ත ආදර කතාවක්, සිංහලෙන් කිව්වොත් Tragic Love Story එකක්,එව්වයෙ හැටි ඔහොම තමයි,
බොහොමත්ම ස්තූතියි පොඩ්ඩි, ඔබේ දිරිගැන්වීම මට ලොකු ශක්තියක් ඇත්තටම.
@ අලුත් කොල්ලා,
ReplyDeleteලස්සන පද පෙලක්, කොල්ලා, හරිම ලස්සනයි,
මනෝ පුබ්බංගමා ධම්මා.........බුදු හාමුදුරුවො කිව්වෙත් ඔය ටිකම නෙව,
@ සිතුවිලි නිහඬයි,
ReplyDeleteමොකවත්ම කියන්ඩ ඕන නැහැ නංගි, කතාව රස වින්ද නම් මට ඒ ඇති. බොහොමත්ම ස්තූතියි ඔයාටත්.
@ කල්හාර දිසානායක,
ReplyDeleteමම හිතුවෙත් නැහැ අනේ අන්තිම වෙනකල්, ඒත් අන්තිමට එහෙම උනා නෙව, හත් වලාමෙ වෙච්චි දේට මක් කොරන්ඩද? ........හෙහ්, හෙහ්,
@ හා පැටික්කි ( MS ),
ReplyDeleteබොහොමත්ම ස්තූතියි නංගියේ, ඔයාගෙ අගය කිරීමට,මැහුම් ගෙතුම් වැඩ රාජකාරි අස්සෙ මේ පැත්තෙ ආවට ආයෙම පාරක් ස්තූතියි කිව්ව ඔන්න,
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteසෙනෙහස ජීවිතෙට ඇවැසිය,
ඒ සත්තයි,
ඉරණම නලලෙ කෙටු ලෙසමයි,
එද ඇත්තයි,
රන්බණ්ඩා කියුවෙ ඒ බව,
සත්තකමයි,
සිත්තම් නඟේ ඔබෙ කව් පෙල,
නම් ඉහලයි,
සඳ පායලා තිබු දිනකදි දුර ඈත,
හමුවිනි අමුත්තෙක් බැහැරක සිට ආව,
මදුවිත සමඟ බත් වේලක් රස බැලුව,
පසුවයි ඔහු ගියේ සමුගෙන යලි නාව,
මේ කතාවෙ නංගි ඇත්තම කියනවනම් නංගි 95% ඇත්ත. ඔය වගෙ මම තට්ට තනියම හිටපු දවසක නන්නාදුනන මනුස්සයෙක් ආපු එකත් ඇත්ත. ඒ මනුස්සයට මම මදුවිත සමඟ බත් වේලක් දුන්නු එකත් ඇත්ත. හැබැයි ඒ මනුස්සය මට ඔය වගෙ කතාවක් නම් කිව්වෙ නෑ. කොහෙදෝ ගිහිල්ල ගෙදර යන්න පරක්කු උනයි කියලයි කිව්වෙ. අපේ ක්වාටර්ස් එකේ උයාපු නිහාල් තමයි පහුවදා මට කිව්වෙ " මහත්තය දන්නවද අර ඊයෙ මහත්තය එක්ක බීපු හාදය මිනීමරුවෙක්, ගෑණි වෙන මිනිහෙක් එක්ක යාලුයි කියල ගෑණියි ඒ මනුස්සයයි දෙන්නම මරල හිරේ ගිහින් ඇවිත් දැන් මාස දෙකක් වත් නැහැ" කියල,
ඒ ගැන කල්පනා කරද්දි මගෙ හිතේ මැවිච්චි සිද්ධිය තමයි මම ඔය අකුරු කලේ.
ඔබටත් මගේ හෘදයාංගම ස්තූතිය නංගි, හැමදාම ඔබ ලියන ලස්සන පදවැල මට ලියන්නට ලොකු හයියක් ලබා දෙනව, මේ ඇත්තම ඇත්ත.
@ හසී,
ReplyDeleteස්තූතියි නංගි, මලී ජීවත් වෙලා හිටියනම් හොඳයි තමයි, මොකදෑ කරන්නෙ ඒ කරුමක්කාර කෙල්ල වහ බිව්ව නෙව,
රංබණ්ඩා හිරේ ගියත් එහේ කල් ගතකලේ හිතේ සන්තාපයකින් කියල උඩින් බැලූබැල්මට පෙනුනත් ඇතුලතින් හරිදේ කලා කියල සන්තෝසෙන් තමයි ඉන්න ඇත්තෙ. මං උනත් එච්චරයි. අනුන් වෙනුවෙන් කරනව කිව්වට හැමෝම හැමදෙයක්ම කරන්නෙ තමන්ගෙ සතුට වෙනුවෙන්මයි. හැබැයි පිටින් බලන කෙනෙක්ට විවිධ අර්ථකතන දෙන්න පුළුවන් තම තමන්ට සිද්ධිය වැටහෙන විදියට.
ReplyDeleteමලී මැරුනෙ නැත්නං රට්‍ටු කියයි රංබණ්ඩා මිනී මැරුවෙ මලී හන්ද කියල. දැනටත් මිනිස්සු එහෙම නොකියයි කියල සහතිකේටම කියන්න බැරි උනත් රංබණ්ඩා දිහා මරුමුස් විදියට බලන එකක් නෑ වැඩිය, ජීවිතේ පැරදිච්ච මිනිහෙක් දිහා බලනව ඇරෙන්න.
අතිවිශිෂ්ඨයි රවි අයියෙ කතාව.....
ReplyDeleteඒත්, මිනී දෙකක් මරපු මනුස්සයෙක් එක මිනියක් වත් නොමරපු ඒ මදිවට වෙනකෙනෙක් අතින් වෙච්ච දෙයක් තමා පිට පටවගෙන දඬුවම් විඳගත්තු කෙනෙක් කරේ ඇයි? ( උත්තර එපා අයියෙ )
අරක්කු (අතිවිශිෂ්ඨ) බෝතලේකට කරන්න පුලුවන් දේවල්.........එකක් නම් බරියැ හේහ්,හේහ්
@ nawammawatha,
ReplyDeleteකතාව ඇත්ත නවම්,අපි මොනදේ කරන්නෙත් අන්තිමට අපෙ හිතේ සතුට බලාගෙන. හොඳ දෙයක් කියල අපිට හිතෙන දේ කරන්නෙ එහෙම නොවුනොත් හෘදය සාක්ෂියෙන් ගැලවිල්ලක් නැති නිසා බොහෝ විට.අදහසට එකඟයි.
@ සනත්
ReplyDeleteබොහෝම ස්තූතියි මල්ලි බොහෝමත්ම ස්තූතියි,
/ ඒත්, මිනී දෙකක් මරපු මනුස්සයෙක් එක මිනියක් වත් නොමරපු ඒ මදිවට වෙනකෙනෙක් අතින් වෙච්ච දෙයක් තමා පිට පටවගෙන දඬුවම් විඳගත්තු කෙනෙක් කරේ ඇයි? ( උත්තර එපා අයියෙ ) /
උත්තර එපා කිව්වට තරහ වෙන්න එපා උත්තර දෙනව ඔන්න,
තමන්ගෙ බිරින්දෑයි, බිරින්දෑගෙ පෙම්වතයි මරපු සිද්ධියක් සාමාන්‍ය ගතානුගතික මිනීමැරුමක්ය කියලයි මට හිතුනෙ. ඒ නිසා තවත් ගත සිත දෙකම මත් වෙලා ගෙවූ සති අන්තයක රන්බණ්ඩ, මලී සහ හීන්බණ්ඩ මේ දුක්බර කතාව කියාගෙනම මගෙ හිත ඇතුලෙ උපත ලැබුවා. ඔන්න ඔහොමලු උනාය කියන්නෙ.....හෙහ්, හෙහ්,
/ අරක්කු (අතිවිශිෂ්ඨ) බෝතලේකට කරන්න පුලුවන් දේවල්....../
අතිවිශේෂ බං අතිවිශේෂ,
කිහිපවිටක්ම උත්සාහ කරලත් කතාව කොටස් වශයෙන් කියවන්න ඉඩක් ලැබුණේ නැහැ (මොනවා කරන්නද අපි ඉතිං ජීවිතය කාන්තාරයට උගස් තියලා නොවැ).
ReplyDeleteකතාව ගැන දුක්මුසු, සංවේදී හැඟීමක් ඇති වුනත් ඔබේ රචනා විලාශය දුෂ්කර පලාතක සුන්දර පරිසරයකට එක්ව ගොස් ඒ තුල ජීවත් කලේ බොහෝ සැහැල්ලුවෙන්. කතාව පෝස්ට් කර විදියටම කියෙව්වා නම් ඒ කාලය අතර තුර ඒ පරිසරය විඳින්න තිබුනානේද කියා ලෝබයක් ද ඇතිවුනා.
කතාව තුලින් කතා කල දේ බොහෝය, රන් බණ්ඩා ගේ වචන වලින් ගත යුතු දේ ද බොහෝය. ඔබේ ඉදිරිපත්කිරීම ගොඩාක් සිත්ගත්තා රවී මහත්මයා.
සමාවෙන්න ඕනෙ රවි අයියේ, මම කතාවෙ අන්තිම කොටස කියවල කමෙන්ට් එකක් දැම්ම වගේ මතකයි ඒත් ඒක නැහැනේ. කොහොම උනත් වෙන්ඩ තියනදේ කියනවනේ වෙන්නෙ. දයිවය කියන්නෙ ඕකට තමා මම හිතන්නේ.රවි අයියා ඒ කතාව ලියලා තියන විදිහනම් විශිශ්ටයි නෙවෙයි අති විශිශ්ටයි.
ReplyDelete@ ගල්මල්-Coral
ReplyDeleteඔබට ස්තූතියි ඩීන් මහත්මයා, හෙහ්...... කාන්තාරෙට උගස් වූ ජීවිත...... කියල වැඩක් නෑ, ඒක නම් සහසුද්දෙන්ම ඇත්ත,
ඔබ කතාව රස වින්දානම් මට ඒ හොඳටම ඇති, නැවතත් මගේ ස්තූතිය.
@ neetha
ReplyDeleteඅනේ අහවල් සමාවක්ද නඟේ,ආපු එකම මදෑ......හෙහ්, හෙහ්,
ඔයාටත් ස්තූතියි බොහොමත්ම, ඔබේ අගය කිරීම මට ලොකු ධෛර්යයක්,