Friday, October 10, 2014

283. අනුලා, රජිතා සහ එවන් තවත් සහසක් ගැහැණුන්ගේ කතාව……1


අම්මාගේ එකම අයියණ්ඩිය, එනම් මගේ මාමණ්ඩිය, කඩුල්ල පැන පැමිනෙනු මා දුටුවේ මම වත්ත පහල තල වගාවෙහි වැඩී තිබූ වල් පැලෑටි උදුරමින් සිටියදීය. 



ඔහු රාජ සබාවෙහි සුළු මුලාදෑනි තනතුරක් දැරූවද, ඉහළ තානාන්තර දැරූවන් හා බොහෝ සමීපව ආශ්‍රය කල හෙයින්, රජ සබයෙහි සිදුවන්නේ කිමෙක්ද යන්න පිළිබඳව පැහැදිලි අදසක් ඔහු තුල වීය. 

ඔහු පැමිණි විට අනුරපුරයෙහි සිදුවන දෑ පිළිබඳව, නවතම තොරතුරු දැනගත හැකි බැවින්, වල් ඉදිරීම පසෙක ලූ මම හෙමිහිට නිවෙස බලා ඇදුනෙමි. 

වැඩිහිටියන්ගේ සාකච්ඡා වලට දරුවන් සහභාගීවීම, පිළිගත් චාරිත්‍රයක් නොවූ නමුදු, ඒ නොතකා මම මාමණ්ඩිය ඈඳි ගෙන සිටි පිල් කණ්ඩිය දෙසට ඇදුනෙමි. 

මා සිතූ සේම ඔවුන් සාකච්ඡා කරමින් සිටියේ, අනුරපුර දේශපාලන තත්වය පිළිබඳවය. 

" නගන්ඩිට කියන්ට මම මේ මහ වාසල සේවය කලාට, කොයි වෙලේ පරාණෙ අහිමි වෙයිද කියල පණ බයේ ඉන්නෙ, ඒ තරමට දැන් තත්වෙ භයානකයි," 

" අනේ දෙයියනේ, එහෙමෙයි? අයියණ්ඩි" 

අම්මා කම්මුලේ අත තබා ගත්තීය. 

" එහෙනං, මේ අපේ දේවින්නාන්සෙ............." 

මාමණ්ඩි කතාව නවතා වට පිට බැලූයේ බිය රැඳි නෙතින් වුවද, නිතැනින්ම පහල වූ සිනහව මම යටපත් කොට ගත්තේ ඉතා අසීරුවෙනි. 

" මේ අපේ දේවින්නාන්සෙ කරන වැඩ නිසා ඇඟේ ලේ නැතුවයි අපි කවුරු කවුරුත් මේ දවස්වල ඉන්නෙ........." 

" ඒ මොකොද අයියන්ඩි?..............අර රජවෙච්ච වටුකයත් හිටිහැටියෙම මලා කියලයි ඔන්න අපිට ආරංචි උනේ," 

" නිකම්ම  මළා නෙවෙයි නගන්ඩි........" 

මාමණ්ඩි යාන්තමට ඇහෙන ගානට හඬ පාත් කරලයි කතා කලේ.......

 " දේවින්නාන්සෙ ඒ මනුස්සයට වහ දුන්න. ඒකෙනුයි ඒ මනුස්සය මලේ" 

" සංදුක්කාරේ......." 

අම්මා නැවත වරක් කම්මුලේ අත තබා ගත්තීය........

" ඔහොම ආරංචියක් අපිටත් ආව......ඒත් මේ දවස්වල කට කතා කියන එව්ව එමට .....ඒ නිසා අපි ඔව්ව විස්වාස කොලේ නැතුවා........" 

" නැහැ....ඒක ඇත්ත......උඹල මෙව්ව තැන් තැන් වල කියනව එහෙම නෙවෙයි........" 

මාමණ්ඩි අම්මාගේද ඉන්පසු මගේද මුහුණු දෙස එක එල්ලේ බැලුවේය.

" දේවින්නාන්සෙට මොන යස්සය ආරූඩ වෙලාද මට නං තේරෙන්නෙ නැතුවා ..මීට ඉස්සර අර සිව......ඒ මිනිහට වහ දුන්න......තව කීදෙනෙකුට ඔහොම කරයිද දෙයියො තමයි දන්නෙ..... "

" ඉතිං අයියණ්ඩි......ඔහොම දේවින්නාන්සෙට ඕන ඕන මිනිස්සු රජකරවන කල් රාජසබාව බලාගෙන ඉන්නෙ මොකද?" 

" මේකනෙ නගන්ඩි වැඩේ.....ඔය කවුරු රජ කලත් රට පාලනය කරන්නෙ ඇත්තටම දේවින්නාන්සෙ......ඒ වැඩේ දේවින්නාන්සෙ යස අගේට කරනව නෙව.......කාටවත් කිසිම අසාදාරනයක් නොවෙන්ට.......දැන් බලන්ට කුඹුරු වතු පිටි එහෙමටහ් හරිම සරු සාරයි නෙව........ඒ නිසා කිසිම කෙනෙක් මොකවත් කියන්නෙ නෑ කටක් ඇරල......." 

" ඒක නම් සහසුද්දෙන්ම ඇත්ත අයියණ්ඩි............දැන් මේ අපේ වැවෙන් වතුර බෙදන වැඩේ බාරව හිටපු උදක රාළ අල්ලස් ගන්නවය......වතුර බෙදන වැඩේ සාදාරනව කරන්නෙ නැතය කියාල කොයි කාලෙක ඉඳන්ද අපි රාජ සබාවට පැමිණිලි කොලේ....කොයි වැඩක් උනාය......ඔන්න පහුගිය කන්නෙ දේවින්නාන්සෙට පැබිණිලි කොලා විතරයි.......විබාගයක් තිබ්බ.....ඒ වෙලාවෙම උදකයව තනතුරෙන් පහ කොලා.........දැන් කිසිම පුරස්නයක් නෑ......සාදාරණව කාටත් වතුර ලැබෙනව......" 

" අන්න ඒකනෙව කියන්නෙ රට පුරාම ඔහොම තමයි.....ඒ නිසානෙ කවුරුවත් දේවින්නාන්සෙට මොකවත් නොකියන්නෙ........" 

තවත් ටික වෙලාවක් කතාබහ කරමින් සිටි මාමණ්ඩිය පිටත්ව ගියේ හෙට උදෑසනම ආපසු අනුරපුර යායුතු බව පවසමිනි. 

" මේ දුවේ....උඹ එහෙම මෙව්ව තැන් තැන් වල කියනව එහෙම නෙවෙයි ඔන්න හොඳට මතක තියා ගනින්......" 

මාමණ්ඩිය පිටත් ගියපසු අම්මා පැවසුවාය. 

" මං ආයෙ කා එක්ක කියන්ටද...අපෙ අම්මා........."

මම නොරිස්සුමෙන් පැවසූයෙමි. 

" අර අසංක ළමය එක්කවත් ඔව්ව කියන්ට එපා..........ඒ ළමයත් වාසල රාජකාරියක් කොරන කෙනෙක් නෙව........

අසංක යනු මපියාණන්ගේ නැගනියගේ පුත්‍රයාය...එනම් මගේ ඇවැස්ස මස්සිනාය. මපියාණන් සහ නැන්දනිය අකලට මිය ගියමුත්, ඔවුන් ජීවතුන් අතර සිටි කාලයේ අසංක හා මම විවාහ වියයුතු බවට එකඟ තාවයකට පැමිණ තිබිණි. 

එසේ නොවුනද, වැලි කෙලියේ පටන් එකට වැඩුනු අසංක සහ මා අතර පෙම් සබඳතාවයක් හට ගැනුනේ නිරායාසයෙනි. 

යොවුන් වියට එලඹුනු වහාම, රජ වාසල සේවයට බැඳුනු අසංක, දැනට වාසල මුර සේනාංකයේ උප ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි. 

අසංකට නිවාඩු ලැබෙන්නේ මසකට වරකි. අද සවස ඔහු ගෙදර එන බව ඔහු හා එකට සේවය කරන මිතුරකු අතේ ඊයේ පණිවිඩයක් එවා තිබිණි. 

අප හමුවන සුපුරුදු ස්ථානය....එනම් වැව් ඉස්මත්තේ රූස්ස කුඹුක් ගස යටට, ඉර හැරී තුන් පැයක් ගෙවීගිය පසු මම ගියේ ඒ අනුවය. අපගේ නිවසේ දී හමුවී කතාබහ කරන ලෙස අම්මා කොතෙක් පැවසූවද, කුඩා කල සිටම අප දෙදෙනම ප්‍රිය කලේ මේ කුඹුක් ගස් සෙවනටය. ඒ එහි ඇති සිසිලස මෙන්ම අපට කැමති දෙයක් නිදහසේ කතා කිරීමට ඇති හැකියාවද නිසාය. 

මා එහි යන විටත් අසංක එහි පැමිණ සිටියේය.උඩුකය වසා සිනිඳු සළුවක් දවටා සිටි ඔහුගේ පැහැපත් මුහුණෙහි වී වෙහෙසකර ස්වභාවය මසිතට ශෝකයක් ගෙන ආවේ නිතැනිණි. 

" රජිතා......." 

මා දෙස බලා සිනාසුනු ඔහු හිඳසිටි අසලම කුඹුක් මුල මතම මමද අසුන් ගතිමි. 

" මොකෝ අයියණ්ඩි බොහොම වෙහෙස වෙලා වගෙ?" 

" ඇත්ත....නංගි,මෙ දවස්වල ගතට වගේම හිතටත් නෑ කිසිම සැනසීමක්......නංගිට ලොකු කතාවකුත් කියන්ට තියෙනව මට........" 

" වාසල තත්වෙත් එච්චරම සතුටුදායක නෑ නොවද අයියණ්ඩි මේ දවස්වල?...." 

ඔහු දෙස විමසුම් බැල්මක් හෙලමින් මම ඇසීමි. 

" මොනව කියනවද නඟා........අර වටුක රජවෙලා යන්තම් අවුරුද්දනෙ ගත උනේ.......මිනිහ මලා......මලා නෙවෙයි මැරුවා....." 

" දේවින්නාන්සෙ වහ දුන්නයි කියල නේද කියන්නෙ අයියන්ඩි?..." 

" ඔව්.......එහෙම තමයි කියන්නෙ......" 

" අනේ අප්පෝ, මේ දේවින්නාන්සෙ මොනව හිතාගෙන මෙහෙම අපරාද කරනවද, දෙයියො තමයි දන්නෙ " 

මම කිව්වෙ කම්මුලේ අත තියාගෙන. 

අසංක මා දෙස හැරී බලා නැවත ඈත වැව් දියෙහි පිහිනන දිය කාවුන් රෑනක් දෙස මොහොතක් බලා සිටියේය. 

ඉන්පසු ඔහු කතා කලේ මා කිසිදාක නෑසූ තැන්පත් ස්වරයකිනි, 

" රජිතා.....හැම දෙයක්ම මතුපිටින් පෙනෙන විදිහටම බාරගන්ට එපා.දේවින්නාන්සෙ වැරදියි කියල හැමෝම කියන එක ඇත්ත. ඒත් දේවින්නාන්සෙ එහෙම කරන්ට හේතු වුනු කාරණා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ....නැත්නම් හිතාමතාම ඒ කරණා අමතක කරල දාල හැමෝම." 

" ඒ කිව්වෙ අයියණ්ඩි?" 

" මම දේවින්නාන්සෙ සමීපව ආශ්‍රය කරනව දැන් සෑහෙන කාලෙක ඉඳල........" 

" අයියණ්ඩි?............" 

මගේ විශ්මය ගැබ්වුනු රාවය ඔහු එසැනින් මවෙතට හැරවීමට සමත් විය. 

" රජිතා.....කරුණාකරල වරදවා වටහා ගන්න එපා.......දේවින්නාන්සෙ ගැන පැතිරිලා තියන කතා මම දන්නව....ඒව ඔක්කොම අමූලික අසත්‍යයත් නෙවෙයි ඇත්තම කිව්වොත්.....මාව විශ්වාස කරන්න......ඉස්සෙල්ල මම කියන්ට යනදේ අහල ඉන්න." 

 ඔහු මගේ දෑතමගෙන මාදෑසට එබී පැවසුවේය. මඳ සිනහවකින් මම අනුමැතිය පලකළෙමි. 

" නංගි දන්නවනෙ, දේවින්නාන්සෙ මුලින්ම අවාහවෙලා හිටියෙ අර චෝරනාග කියන මංකොල්ලකාරය එක්කනෙ.ඒකත් බොහොම ලාබාල වියේදි දේවින්නාන්සෙගෙ අකමැත්ත පිට බලෙන්ම වෙච්ච කසාදයක්..........ඇත්තම කිව්වොත් කසාදයක් නෙවෙයි.......දේවින්නාන්සෙව ඒ මංකොල්ලකාරය පැහැරගෙන ගිහිල්ලයි තියෙන්නෙ.......දේවින්නාන්සෙගේ පියා රුහුණු පළාතෙ සාමාන්‍ය පුද්ගලයෙක්....ඒ නිසා චෝරනාගට විරුද්ධව මොකවත් කරන්ට හයියක් තිබිල නෑ.......ඒ නිසා එයාලත් අසරණ වෙලා ඒ වෙලාවෙ......." 

" චෝරනාග රජුට විරුද්ධව රටපුරා කැරළි ගහමින්, මංකොල්ල කමින් යද්දි, ඒ ලාබාල දැරිවිටත් සිද්ධ වෙලා තියනව, චෝරනාග එක්ක රටපුරා යන්ට.......නිකමට හිතල බලන්ට, සියුමැලි බොලඳ සොලොස් වියැති කුමාරිකාවකට, ඒ වගෙ ජීවිතයක් ගත කරන්ට වුනාම.............ටික කාලයක් එහෙම නෙවෙයි.....පුරා වසර හයක්.....එතුමිය ගත කරල තියෙන්නෙ ඔය වගෙ අහිගුණ්ඨික ජීවිතයක්......දින දෙක තුනකට වඩා එක තැනක රැඳෙන්ට බෑ......හමුදාව වැටලුවොත් කියල, කූඩාරම් ඔක්කොම අකුලගෙන වෙන තැනකට යන්ට ඕන..........හරි හැටි කෑමක් බීමක් නින්දක් නෑ.......හැම වෙලේම බයෙන් තැතිගත්ත ගමන් ඉන්නෙ..........ඒ ඔක්කොමත් හරි චෝරනාගගෙ අඩුම ගනනෙ ආදරයක් වත් තිබුනනම්........ඒ ආදරය වෙනුවෙන්ය කියල ඔය දුක් හිරිහැර ඔක්කොම ඉවසන්ට තිබුන.......ඒත් ඒ හොර දෙටුව මේ අහිංසක දැරිවි පැහැරගෙන ආව විතරයි....ඊට පස්සෙ උන්නද මලාද කියල ඇහැක් ඇරල බලල නෑ." 

" අයිය ඔය විස්තර ඔක්කොම දන්නෙ කොහොමද?......දේවින්නාන්සෙ කිව්වද?...." 

" ඔව් රජිතා............මට ඔය විස්තර කිව්වෙ දේවින්නාන්සෙම තමයි......ඒත් වරදවා හිතන්ට එපා......මගෙ කතාව ඔක්කොම අහල ඉන්ට." 

අසංක ඔහුගේ උකුල මතවූ මගේ සුරත් සෙමින් පිරිමදිමින් පැවසුවේ සිනාසෙමිනි. 

" හරි, හරි ඉතින් කියන්ටකො බලන්ට " 

මම කුඩා දැරියක් සේ සුරතල් වුනෙමි. 

" චෝරනාගට මේ දැරිවි උවමනා වෙලා තියෙන්නෙ, එයාගෙ උවමනා එපාකම් පිරිමහ ගන්ට විතරයි......ඒ වගේම හැමදාම රෑට, චෝරනාග තමන්ගෙ සගයො එක්ක පවත්තපු මධුපානෝත්සව වල සංග්‍රහ කටයුතු බාරවෙලා තියෙන්නෙත්, මේ අහිංසකීට............මුළු කඳවුරේම බොහෝවිට ගැහැණියක් විදිහට ඉඳල තියෙන්නෙ දේවින්නාන්සෙ විතරයි.නිකමට හිතන්න නංගි මත්පැන් බී ගත්තු සැඩ පරුෂ මංකොල්ලකාරයො දෙතුන් සීයක් අතරෙ ඒ වගෙ ලාබාල දැරිවියක් ගත් කරන්ට ඇත්තෙ මොන වගෙ ජීවිතයක් ද කියල." 

" ඔය අතරෙ තමයි දේවින්නාන්සෙගෙ ජීවිතේ ආයෙ වෙනස් කරන්ට බැරි විදිහෙ මාර්ගයකට යොමු කරපු එක්තරා සිද්ධියක් වෙලා තියෙන්නෙ.........මම ඒක නංගි කියන්නම්......දේවින්නාන්සෙගෙ වචන වලින්ම......" 

" අසංක.....මම හිතන්නෙ නෑ කවදාවත් අසංකට, මම ඒ ගත කරපු ජීවිතේ තේරුම් ගන්ට පුලුවන් වෙයිද කියල.............ඒ තරම් දුකින් පිරිච්ච ජීවිතයක් මම ගත කලේ.....දිවිනහ ගන්ට මට හිතුනු වාර අනන්තයි....ඒත් ආයෙම මට හිතුන, මේ වගෙ මංකොල්ලකාරයෙක් නිසා, මොකටද මම මගෙ ජීවිතේ නැතිකරගන්නෙ කියල........ඔය අතර තමයි, චෝරනාගගෙ කණ්ඩායමේ හිටපු එක තරුණයෙක් කෙරේ මගෙ හිත ඇදිල ගියේ..........එයාගෙ නම අජිත..........මංකොල්ල කණ්ඩායමේ හිටියට, අජිත අනික් අය වගේ ගොරහැඩි සැරපරුෂ කෙනෙක් නෙවෙයි......බොහොම ලාබාල පැහැපත් තරුණයෙක්......." 

මොහොතක් දෑස් පියාගෙන අතීතයට සමවැදි ඈ ඒ සුන්දර මතක අතර නිමේශයක් සැරිසැරුවාය. 

" අජිතට අගේට ගීත ගයන්ට පුළුවනි........ මමත් ඒ අංශයෙන් දක්ෂ නිසා බොහොමයක් වෙලාවට මධු පානෝත්සව වලදි ගීත ගයන්ට උනේ අපි දෙන්නට......චෝරනාග ඒකට කිසිම අකමැත්තක් දැක්වුවෙ නෑ........අපිව තව උනන්දු කලා......මම හීනෙකින්වත් හිතුවෙ නෑ මේ යක්ෂයා මේ වැඩේ කලේ යමක් යටි හිතේ තියාගෙන කියල." 

" එක දවසක් මධු පානෝත්සව අවසන් වුනේ වෙනද වගේම,, අජිතගෙයි මගෙයි ගායනයකින්......හැමෝම එදා අත්පොළසන් නඟල, සතුට පලකලා මට මතකයි. එදා හැබැයි අජිත ගී ගැයුවෙ බොහෝවිට මගේ ඇස් දිහාවෙ බලාගෙන.......මමත් එයාගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ, වශීවෙලා වගෙ.........අසංක,නිකමට හිතන්ට, මම වාගෙ ආදරයක් කාගෙන්වත් නොලබන අසරණ තරුණියකට, ඒවගෙ වෙලාවක මොනව හිතෙන්ට ඇතිද කියල.............එදා අන්තිමට මම මගෙ කූඩාරමට යන්ට යද්දි, එකපාරටම අඳුරෙ ඉඳල අජිත මතු උනා.......එයා මගෙ අත් දෙක හෙමිහිට අල්ලගෙන කිව්වෙ මෙච්චරයි " මම ඔයාට ආදරෙයි....අනුලා"ඒ කරල බොහොම ආදරෙන් නැවිල මගෙ නලල හෙමිහිට සිප ගත්ත......එච්චරයි, ඒ කරල එයා අඳුරෙම නොපෙනී ගියා.....එදා රෑ තමයි මම මගෙ ජීවිතේ ගෙවපු සුන්දරම රාත්‍රිය.........මම ජීවත්වෙනවයි කියල මගෙ ශරීරයෙ ඇට මිදුළු වලට පවා දැනෙන්ට ගත්තෙ එදා...........මම සිහිනෙන් මොනව දැක්කද කියල මට මතක නෑ අසංක......ඒත් ඒ හැම සිහිනයක්ම මගෙ දෙතොලට හිනාවක් කැන්දන් ආපු බව නම් මට අද වාගෙ මතකයි......පහුවදා මම උදේ පිබිදුනෙ අමුතුම ප්‍රබෝධයකින්." 

" ඒ ප්‍රබෝධයෙන්ම මම කූඩාරමෙන් එලියට ආවෙ, ගීතයකුත් හෙමිහිට මුමුණ මුමුණ......අසංක.......ඒ ප්‍රබෝධය හිරු දුටු පිණි වගේ වියැකිලා යන්ට ගත උනේ එක මොහොතයි.........." 

" අපේ කඳවුරු භූමිය මැද තිබුන විසාල නුග ගහක්.......මේ නුග ගහේ බැඳල හිටියෙ අජිත.........ඒ වටේට වළල්ලක් වගෙ රැස් වෙලා හිටිය අනික් කට්ටිය ඔක්කොම.......මොන තරම් දරුණු සැඩපරුෂ පුද්ගලයො උනත්, එදා ඒ හැමෝම හිටියෙ බිමට හැරවුනු නෙතින්....මොකද හැමෝම අජිතට කැමතියි ඒ වගේම චෝරනාගගෙ නීතිය අනුව අජිතගෙ ඉරණම මොකක්ද කියල හැමෝම දැනගෙන හිටිය......." 

" අනුලා......එන්න කුමරියනි ඉදිරියට......" 

ඒ චෝරනාග........................


************************************************ 

මේ කාලෙකට ඉස්සෙල්ල මම ලියාපු කතාවක්..හදිස්සියෙම මතක් උනේ මේ කතාවෙ කතා නායිකාව අනුලා රැජිනියගෙ උපන් දිනේ පහුගිය සතියෙ යෙදිල තිබ්බ හින්ද. ඒ නිසා මට හිතුන මේ කතාව පලකලානම් හොඳයි කියල.මේක මේ පොඩ්ඩි අනුලා ගැන ලියපු වියුණු සටහනකට මගෙ ටීකාව..නැත්නම් කමෙන්ට් එක. ඒ දවස්වල මම කමෙන්ට් ලියන්නෙ මාගල් වගෙ...හෙහ්,හෙහ්,...මම ලියපු හොඳම ටීකාවන් ලියවුනෙ පොඩ්ඩි සහ වත්ගෙ වියුණු සටහන් වලට. එහෙම ලියපු කතන්දර මම හිතාගත්ත විඩෙන් විඩේ දාන්න ඕනය කියල නිදහස් සිතුවිලි වියුණුවෙ.. ඔබට ස්තූතියි පොඩ්ඩි....:)

16 comments:

  1. උඹ ඒ කාලෙ ලියාපු මාගල් කමෙන්ට්ස් වලින් මම ආසම එක තමා මේ...

    ReplyDelete
    Replies
    1. බුරාස්,

      ආහ්...ඇත්තද ?...හෙහ්,හෙහ්,

      Delete
  2. පීරියඩ් කතාවක් නේ.නියමයි.හැබැයි මචං උඹ ලියපු වෙනත් කතාවක සෙවනැල්ලක් මේ කතාවට වැටිල තියෙනව මට පේනවා.ඒක ඇත්තද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      පීරියඩ් කතාවක් කිව්වෙ?

      මොකක්ද වෙනත් කතාව? මට නම එහෙම දෙයක් හිතෙන්නෙ නෑ...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අයිතිහාසික නවකතාවක් ලියන්න අදහසක් නැද්ද?
    ඊට ඉස්සෙල්ල memoirs පබ්ලිශ් කරන්න ඕනැනෙ ( පඳුරු තැලීම ටිකක් එඩිට් කරල ) නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔය කොයිව කොයිවත් ගැන හිතේ නං තියනව ප්‍රා.....බලමු නේද දෛවය කියන එක, ජීවිතය කියන එක මහ පුදුමයිනෙ...

      Never say never….Heh, heh…

      Delete
  5. ටීකාවක් මෙතරම් අගෙයි නම් නිදහස් සිතුවිල්ලක් කොහොම වෙයිද? මේ වගේ කුතුහලය දනවන අතීත කතා කියවන්න බොහෝ පාඨකයින් කැමතියි.. කොටස් වශයෙන් හෝ සවිස්තරව දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළ්‍යාණ....:)

      Delete
  6. රවී.....දැන් මේ කමෙන්ට් එක දාපු පෝස්ට් එක කොහොමද හොයා ගන්නේ, ලින්ක් එකක්වත් දීපන් මචෝ. මට දෙකම එකට තියලා කියවන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. අරූ,

      දැන් හරිනෙ....උත්තරේ පරක්කුයි..එතකොට වැඩේ කෙරිල....:)

      Delete
  7. පොඩ්ඩි අක්කගෙ මේ පෝස්ට් එකේ මාත් කතාවක් ලිව්වනේ. අයියගේ මේ කතාවට වඩා වෙනස් නිසා මම ඒක මෙතන දාන්නෙ නෑ, මගේ ඊලඟ පෝස්ට් එක විදිහට ඒක දාන්න ඕනේ. අයියට ඉස්තූතියි ඔන්න ඒක ගැන මතක් කළාට. :)

    මේ තියෙන්නේ පොඩ්ඩි අක්කගෙ පෝස්ට් එකේ ලින්ක් එක:
    ඇයද ගැහැනියකි

    ReplyDelete
    Replies
    1. සිත්තමීට ස්තූතියි!!

      Delete
    2. සිත්තමී,

      අඩේ ..මරු...දාහං...දාහං...සිත්තමී කතාවක් ලිව්වොත් ආය මොනවද?...හෙහ්,හෙහ්,

      Delete
  8. මම කමෙන්ට් එකක් දැම්මා. එය ඉවත් කලාද?

    ReplyDelete
    Replies
    1. විචාරක,

      නැහැ..කිසිම කමෙන්ට් එකක් ඉවත් කලේ නෑ. මේකතාවෙ කොටස් දෙකම මම පබ්ලිශ් කලේ එකම දවසෙ...ඒ කියන්නෙ පෙරෙයිදා..සිකුරාදා...ඔබගේ කමෙන්ට් එකක් තියනව කතාවෙ දෙවෙනි කොටසෙ..මට හිතෙන්නෙ ඔබට පෝස්ට් දෙක පැටලිලා වෙන්න ඕන...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි