Friday, October 3, 2014

282. අවන්හලක සැඳෑවක්…2

 

Google Images

අවන්හලක සැඳෑවක්....1

එක්වරම අනපේක්ෂිත ලෙස මගේ දකුණු පසින් නැඟුනු ලයිටරයක් දල්වන හඬ කණවැකුණු වහා මම ඒ දෙසට හිස හැරවීමි. මම මීට පළමු අසුන්ගෙන හුන් බරාඳයට පිවිසෙන දෙපළු ලී දොර අසල මුල්ලෙහි වූ කනප්පුවක් පසුපස අසුන්ගෙන හුන් ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක් තම අසුනෙන් මඳක් ඉදිරියට නැඹුරුව අඩක් විවරවූ දොර පියන් අතරින් හමාඑන සීතල සුළඟෙහි ලෙළදෙන ගිණිසිලක් සහිතවූ ලයිටරයක් මා දෙසට දිගුකොටගෙන සිටියේය. 



නිරායාසයෙන්ම දෙතොලග රැඳි දුම්වැටියද සමඟ හිස, නිවීයාමට ආසන්නව එහෙත් විවරවූ දොරපළු අතරින් හමා එන සීතල සුළඟ සමඟ පණ රැක ගැන්මට නිරර්ථක සටනක යෙදෙන ගිණි සිලෙන් යුතු ලයිටරය දෙසට පහත්වුවද අවසන් තත්පරයෙහිදී මම යලි හිස මඳක් ඔසවා ඔහුගේ මුහුණ දෙස මොහොතක් එක එල්ලේ බලා සිටියෙමි. 



මම එසේ මඳක් පසුබට වූයේ අවන්හල්හි හුදකලාව මත්පැන් පානයෙහිදී සමහරවිට මෙලෙස අනාරාධිතවම යම් උපකාරයක් කොට හිතවත්ව පසුව තම සැඟවුනු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනු වස් උත්සාහ ගන්නා පුද්ගලයින් හා සම්බන්ධ මගේ පෞද්ගලික අත්දැකීම් නොමැති වුවද එවැන්නන් පිලිබඳව මම කොතෙකුත් අසා පුරුදු හෙයිනි. එවැන්නන් බැලූ බැල්මට හඳුනාගත නොහැකි බැවින් ප්‍රසිද්ධ අවන්හලක මත්පැන් පානයෙහිදී නාඳුනන්නන් සමඟ අවම වශයෙන් වචන කිහිපයක කතාබහක හෝ නිරතවීමට පළමු ඒ පිළිබඳව දෙවරක් සිතීම මගේ පිළිවෙත විය. 

මා ඔහුගෙ දෑස දෙස එක එල්ලේ බලා සිටියදී ඒ ප්‍රාංශු දේහධාරියා ද ඇසිපිය නොසලා මදෙස බලා සිටියේය. තව දුරටත් එසේ පසුවිය නොහැකි කල මම හිස පහත්කොට දුම්වැටිය දල්වා ගතිමි. ඉක්බිති දුම්වැටිය සුරතට ගෙන ඔහු දෙස බලා සිනහසුණෙමි. 

" බොහොම ස්තූතියි. " 

මගේ ස්තූතිය ඔහු පිළිගත්තේ මඳක් හිස ඉදිරියට නැවීමෙනි. ඒ හැර කිසිදු වදනක් තෙපලීමක් හෝ අවම තරමින් සිනහවක් හෝ ඔහු කෙරෙන් විද්‍යාමාන නොවීය. ප්‍රාංශුදේහධාරියාගේ මේ උදක්ම අවිචාර සම්පන්න හැසිරීම වෙනත් ඕනෑම අවස්ථාවක මසිත නොමනාපයක් ඉපිදවීමෙහි සමත්වනවාට නිසැක වුවද යථෝක්ත මොහොතේ මසිත හටගත්තේ නොමනාපයක් නොව මහත් සැනසීමෙකි. 

නාඳුනන්නකු හා සාමීචියෙහි යෙදීමට වඩා උදක්ම මට ඇවැසි වූයේ එදින මිලදීගත් කථාවෙහි රස විඳීමටය.එබැවින්වැඩිමනත් භජනයකට පොරොත්තු නොවී මම පොත වෙත නැඹුරු වූයෙමි. 

කොතෙකුත් ගෙල නවාගත්වනම පොතක් කියවීම කිසිසේත් සුකර කාර්යයක් නම් නොවේමය. කුඩා අවධියේ සිටම ඇඳෙහි හෝ එසේත් නැතහොත් කුලිච්චම් අතුල කවිච්චියක දිගාවී පොත් කියවීමෙහිලා ඇබ්බැහීය හේතු කොටගෙන මට ඒ මහත් වෙහෙසක් ගෙන දෙන්නක් විය.මිනිත්තු පහළවකට පමණ පසු කියවමින් හුන් පිටුව නවා සළකුණු කොට පොත වසා කනප්පුව මත තබා කෙමෙන් උත්සන්න වෙමින් වේදනා ගෙන දෙන්නටවූ පිටිකර පෙදෙස වමතින් සෙමෙන් පිරිමදිමින් වේදනාව පිළිබිඹු වනසේ මුහුණ ද ඇඹුල් කොට ගනිමින් මම කොන්ද කෙළින් කොට ගනිමින් දිග ඇදුනෙමි. 

එසේ දිග ඇදෙමින්ම ගෙල සෙමින් දෙපසට හරවමින් වේදනාව සමනය කොටගනු වස් තැත් දැරූ මගේ දකුණු පස දුටු දසුනින් මොහොතක් පාෂාණිභූත වූයෙමි. 

සුරාසළෙහි බරාඳයට පිවිසෙනා පළු දෙකකින් සැදුම්ලත් සුවිසල් ද්වාරය අසල කනප්පුවක් පසුපස ප්‍රාංශු දේහ ධාරියා අසුන්ගෙන හුන් බව මම පැවසූබව ඔබට මතක ඇතැයි සිතමි. ඔහු මේ මොහොත වන විට දෑත් ළයමත බැඳගත්වනම පසුපසට බරවී තැනින් තැන් සායම් පතුරු ගැලවී කපරාරුව කඩතොලුවූ දුර්වර්ණ බිත්තියට බරවී සිටියේය.දෑස් තදින් පියාගත්වනම හිස සෙමෙන් ඉහළට සහ පහළට සොලවමින් ඔහු යම් නොපැහැදිලි කිසිවක් තොල මතුරමින් සිටියේය. ඔහු ඉදිරියේ වූ කුඩා කනප්පුව මත වූයේ අඩකට මඳක් අඩුවෙන් මත්පැනින් පිරුණු අසෝක වීදුරුවකි. ඒ අසළම විවර කල සෝඩා බෝතලයකි. 

මා ඔහු දෙස විදහාගත් දෙනෙතින් යුතුව බලා සිටියදී එක වරම ප්‍රාංශු දේහධාරියාගේ දෙනෙත් විවර වූයේය. මොහොතක් හිස හරවා මදෙස බලාහුන් ඔහු ඉනික්බිති දෙතොල් මඳක් විවරකොට සිනහසුනි. පෙනුම බොහෝසේ රළු පරළු වූ, එසේම දුටු මනත සිතෙහි අපුලක් හෝ ජුගුප්සාවක් විනා පහන් හැඟුමක් කිසිසේත්ම හට නොගන්නා මිනිසුන් හෝ ගැහැණුන් ඔබ කොතෙකුත් දැක ඇතිවාට මට සැක නැත.එහෙත් එවන් අප්‍රියකර වූ මුහුණක සිනහවක් හට ගත් වහා එහි වූ අපුල ස්වභාවය එක පැහැර වෙනස්ව මනබඳිනා ස්වභාවයක් පළ කරනු ඔබ කිසිදා දැක තිබේද? 

ප්‍රාංශු දේහධාරියා ද එවන් පුද්ගලයෙකි. සිනහව ඔහුගේමුහුණ සහ පෙනුම එසැණින් වෙනස්කලේ අදහාගත නොහැකි අයුරිනි 

ඔහු දෙස බලා සිනාසුණු මම මත්පැන් ස්වල්පයක් වීදුරුවට හලා ගතිමි. ලයන් ලාගර් බීර බෝතලය අතට ගෙන එහි පත්ලේ ඉතිරිව ටිබුණු බීර ස්වල්පය වීදුරුවට හලා හිස හරවා සාලය සහ පිටත බරාඳය දෙස විපරම් කලේ අප්පුහාමි පෙනෙන තෙක් මානයක හිඳින්නේදැයි දැනගනු උදෙසාය. 

මා ඔහු පිළිබඳව විපරම් කරන බව ඔහුට පංචේන්ද්‍රිය ඉක්මවා යන යම් අතීන්ද්‍රිය ක්‍රමයකින් එසැණින් දැනගත හැකිදැයි මම නොදනිමි එහෙත් මවිසින් විපරම් කරනු ලබන සෑම විටකම පාහේ කොහේ හිඳ හෝ ප්‍රාදුර්භූත වන සුපුරුදු ලෙස අප්පහුහාමි මා ඉදිරියේ පෙනී සිටියේය. 

" අප්පුහාමි, තව ලයන් ලාගර් එකක්..කූල් නැතුව. " 

එසේ පවසමින් මම හිස් බෝතලය ඔහු වෙතට දිගු කලෙමි. 

" ඕකේ සර් " 

එසේ පවසමින් අප්පුහාමි බෝතලය ගත්තේ ප්‍රාංශු දේහ ධාරියාවෙත දෙබැම හකුළුවා ගනිමින් නොපහන් බැල්මක් හෙලමිනි. අවන්හල වෙත පැමිණෙන සමාජයේ පහළ යයි සම්මත ස්ථරයන්ට අයත් ගණුදෙනු කරුවන් පිළිබඳව ඔහු තුල කවදත් පැවතියේ නොමනාපයකි. 

" බ්ලඩි රාස්කල්ස්...අයි ඩෝන්ට් ලයික් දෙම්..නොට් වන් බිට්.." 

ඔහු මෙසේ මා හා පැවසූයේ වරක් හෝ දෙවරක් නොවේ. ඒ ඔහු දීර්ඝ කාලයක් සේවය කල සුදු ජාතිකයාගේ ආකල්ප ඇසුරින් වූ ඇබ්බැහියක් බවට සැකයක් නැත. සමාජ සමානාත්මතාවය පිළිබඳව අප්පුහාමිට ඒක පුද්ගල දේශන පැවැත්වීම මම කාසල් අවන්හල වෙත යෑමේ පරමාර්ථය නොවන බැවින් මුවින් නොබැණ මම ඔහු දෙස බලා එවිට සිනාසුනෙමි. 

යලිදු එකවරම වැස්ස වැඩිවූයේ අවන්හල තුලටද සිහින් දුමාරයක් මෙන් වැසි බිඳිති පාව එන්නට විය. වරක් හිස ඔසවා බැලූ මම ඒ ගෙබිම පුරා පතිතවන පින්න ගණනකට නොගෙන යලි පොතෙහි හිස ඔබා ගත්තේ අමරසේකර මහතාගේ ලිවීම මාසිත ඒසා වශීකෘත කොට තිබුණු බැවිනි. 

" ගුණදාස අමරසේකරගේ මහත්තයගෙ පොත් වලට මමත් හරිම කැමතියි. " 

ප්‍රාංශු දේහධාරියගේ එවදන් මසිත දැහැණින් මුදවාලීය. 

ඒ වදන් හොඳින් ඇසුණු නමුදු මම තවත් මොහොතක් පොත දෙසම බලා හිඳ සෙමින් හිස හරවා ඔහු දෙස බැලූයෙමි. 

" මොකක්ද කිව්වෙ? " 

" නෑ..මම මේ කිව්වෙ ගුණදාස අමරසේකර මහත්තයගෙ පොත් වලට මමත් බොහොම කැමතියි කියල " 

ඉක්බිති ගුණදාස අමරසේකර මහතාගේ පොත් පිළිබඳව ඔහු සහ මා අතර පැවති සාකච්ඡාවෙහි සියළු විස්තර ඔබ හමුවේ තබා මේ සටහන සාහිත්‍ය විචාරයක් කරනු මම නොකැමැත්තෙමි.එමතුදු ඔබ අවම වශයෙන් අද දින හෝ මේ කථාවෙහි අවසානයක් දකිනු රිසි බවද මම හොඳහැටි දන්නෙමි.එසේ හෙයින් ඒ සාහිත්‍යය සාකච්ඡාවෙහි විස්තර පසෙක තබා ඉන් අනතුරුව සිදුවූව ඔබට පැවසීමට මට අවසර, 

අවන්හල්හිදී හමුවන නාඳුනන්නන් හා මිත්‍ර සමාගම් පැවැත්වීමෙහි ලා මසිත කොතරම් අකමැතිවුවද ඒ හා සමානව මා මෙන්ම පොත් පිළිබඳව රුචියක් දක්වන්නන් හා සමඟ ප්‍රිය සමාගමයෙහි යෙදීමටද මසිතෙහි රුචියක් පවතී. එසේ හෙයින් වීදුරුවෙහි වූ අවසාන මත්පැන් ස්වල්පය මුවෙහි හලාගත් මම මුහුණ ඇඹුල්කොටගෙන ඔහු ඇමතීමි. 

" අකමැත්තක් නැත්තං එන්න මෙතෙන්ට …" 

ඉදිරියේවූ අනෙක් පුටුව පෙන්වා මම ඔහුට පැවසුවෙමි. 

" හරි ප්‍රශ්නයක් නෑ.." 

එසේ පවසමින් ඔහු බිත්තිය පාමුල තිබූ රෙදි උරයක්ද සුරතට ගෙන වමතින් කනප්පුව මතවූ වීදුරුවද ගෙන නැඟී සිටියේය. 


" අප්පුහාමි.........." 

මඳක් ඔබ්බෙන් තවත් ගණුදෙනුකරුවකුගේ ඇණවුම නෝට් පොතෙහි සටහන් කොටගෙන බාරය වෙත යන්නට හැරුණු අප්පුහාමි අමතා මම ඔහුට සංඥා කලෙමි. 

" ඕල්ඩ් හොඳයි නේද? " 

එවර මම ඇසූයේ මා ඉදිරියෙහි අසුන්ගෙන හුන් ප්‍රංශු දේහධාරියාගෙනි.. 

" කමක් නෑ. " 

" හරි අප්පුහාමි ඕල්ඩ් හාෆ් එකක්, සෝඩා බෝතලයක්. හුරුල්ලො දෙන්නෙක්...ගෝල්ඩ් ලීෆ් තුනක්…" 

ප්‍රංශු දේහධාරියා දෙස නොපහන් බැල්මක් හෙලූ අප්පුහාමි සෘජු කොටගත් කයින් යුතුව නික්ම ගියේය. 

" මිනිහ කැමති නෑ මට.." 

ප්‍රාංශු දේහධාරියාගේ දෙතොලග නැඟුනේ සෝපහාස මඳ සිනහවකි. 

ඒක ගණං ගන්න එපා අයිසෙ ඉතිං අපිට මොකද? එසේ වදනින් නොපැවසූවද එලෙස හැඟී යන අයුරු මම සුරත ඔසවා සන් කලෙමි. 

" ඔව්ව ගණං ගන්නෙ කවුද මහත්තය ජීවිතේ මම මූණ දීල තියෙන දේවල්වල හැටියට ඔව්ව බොහොම සුළු දේවල්. " 

ඔහුගේ රළු දෑතට මැදිව වරක් වාමාවෘතවද වරක් දක්ෂිණාවෘතවද කරකැවෙන හිස් වීදුරුව දෙස මම බලා සිටියෙමි. 

" මගේ කතාව මහ අමුතුම එකක් මහත්තය. මම හතර පස් පාරක්ම උත්සාහ කලා මගෙ කතාව ලියන්ට. ඒත් මට ඒකට ගැම්මක් එන්නෙ නෑ..මහත්තය කතා ලියල නැද්ද?..

ඒ වනවිට මවිසින් ලියූ කෙටිකතා දෙකක් සතිඅන්ත පුවත්පතක පළවී තුබුණද ඒ බව ඔහුට පැවසීමට මම මැළි වූයෙමි. 

" ඔය කතා හත අටක්නම් ලියල තියනව.." 

කනප්පුව මතවූ පොත් කිහිපය එක මත එකක් වන සේ ගොඩ ගසමින් මම පැවසූයෙමි. 

ඇණවුම දෑතින් දරාගෙන අප්පුහාමි අප වෙත පැමිණියේ මේ අවස්ථාවේදීය.දැඩි නොපහන්බව මුහුණින් පලකරමින් නිහඬවම රැගෙන ආ කළමනා කනප්පුව මත තැබූ අප්පුහාමි මදෙස ක්ෂණික බැල්මක් හෙලා ආපහු හැරිණි. ඔහුදෙස ඉඟිමැරූ මම තොල සපාගෙන සිනහව වළක්වා ගැන්මට තැත් කළෙමි. ප්‍රාංශු දේහධාරියා අප්පුහාමි හා මා අතරවු මේ අභිනයෙන් වූ ගණුදෙනුව දෙස බලා සිටියේ දෑසින් සිනහසෙමිනි. 

" මම දොරගමුව කිට්ටුව… ' 

මවිසින් ඔහු අතට දුන් බෝතලය සුරතට ගනිමින් ඔහු පැවසීය. 

" අපෙ අප්පච්චිල ඒ හැටි සල්ලි කාරයො නෙවෙයි. ඒත් කරදරයක් නැතුව එදා වේල කාල හිටිය ගොවිතැන් කරල. දහයෙ පන්තියෙන් පස් සෙ මම ඉස්කෝල් යන එක නැවැත්තුව. ඒ දවස්වල ඉගෙන ගන්න එකේ අගයක්වත් ඒ ගැන උඅන්දුවක්වත් අපිට තිබුනෙත් නෑ ඒ ගැන අපිට කියල දෙන්ට කවුරුවත් හිටියෙත් නෑ. " 

කතාවට සවන් දෙන අතරම ඔහුගේ වයස කොපමණ වෙත්දැයි අනුමාන කිරීමට මම උත්සාහ කලෙමි. කෙසඟ උස් වූ සිරුර, හකුඇට පෑදීගිය මුහුණ සහ රළුවූ කටහඬ අනුව ඔහු වයස හතළිහක් හෝ ඒ ආසන්නයේ පසුවන බව මම උපකල්පනය කළෙමි.පසුව ඔහු පැවසූ සිද්ධීන් අනුව ඔහුගේ වයස හතළිහකට නොව තිස්පහක් පමණ විය හැකිබවට මම තීරණය කළෙමි. 

" පන්තියෙ මගෙ හොඳම යාලුව විජේසූරිය. ඉස්කෝලෙං අස් වනවත් එක්කම විජේසූරිය ගියා එයාගෙ මාමණ්ඩිලගෙ ගෙදර…. අරලගංවිල " 

" කොහෙ කිව්ව??..... අරලගංවිල?? " 

කොතෙකුත් ඇදහැලෙන අධික වර්ෂාවෙහි අනවතර ඝෝෂාව නිසා ඉදිරියට නැවී කනප්පුව මත දෙවැළමිටි රඳවා ඒ මත වාරුකොටගත් මුහුණින් යුතුව ඔහුගේ කථාවට සවන්දෙමින් හුන් මම සැණෙකින් විශ්මයපත්ව කෙළින් වෙමින් විචාලෙමි. 

අරලගංවිල යනු එකල මා සේවය කරමින් හුන් ව්‍යාපෘති කාර්යාලයෙහි සිට කිලෝ මීටර දොළහක් හෝ පහළවක් පමණ නුදුරින් පිහිටි මහියංගන මාර්ගයට මායිම්වූ පැරණි ගම්මානයකි.එහෙත් ඒ පිළිබඳව සත්‍යය එනම් අරළගංවිල ප්‍රදේශය ගැන මම දන්නා බව හෙලිකලහොත් පවසන්නට සූදානම් වන කථාව පැවසීමට ඔහු පසුබට විය හැකි බව කල්පනා වූ බැවින් මම ඒ බව වසන් කළෙමි.

" ඔව්,,ඇයි මහත්තය දන්නවද අරලගංවිල? "

" ආ..නෑ..නෑ..මේ කලින් කවදාකවත් අහල පුරුදු නමක් නෙවෙයි,,ඒකයි එහෙම ඇහුවෙ…" 

" විජේසූරියගෙ මාමගෙ තිබ්බ අක්කර ගානක කුඹුරු, ඒ එක්කම හේන්වැවිල්ලත් කලා. විජේ එහෙ ගියෙ මාමට උදව් වෙන්ට.මම අප්පච්චිගෙ ගොවිතැනට උදව් වීගෙන ගමට වෙලා හිටිය. ඔහොම ඉන්නකොට තමයි චේ ගුවේරා කලබලේ ආවෙ.මහත්තයට මතකද චේ ගුවේරා කලබලේ? " 

හිස ඔසවා මදෙස බැලූ ඔහු කනප්පුව මතවූ බෝතලය ගෙන වීදුරුවෙහි අඩක් පමණ පුරවා ගත්තේය. 

චේගුවේරා කලබලය යනුවෙන් අපේ වැඩිහිටියන් හැඳින්වූයේ 1971 වසරේ අප්‍රේල් මස එවකට රට පාලනය කල සමගි පෙරමුණු රජයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවුණු ආයුධ සන්නද්ධ අරගලයයි. එවකට ළමා වියේ පසුවූමුත් එවන් බිහිසුණු අත්දැකීමක් ළමා මනසෙහි ඇතිකරන බලපෑම කොතෙක්ද යන්නට නිදසුන් ලෙස මෙන් දෝ අදටද මා සිතෙහි එකල දුටු දසුන් නොමැකෙන සේ සටහන් වී ඇත. 

" ඔව් මට මතකයි. මම එතකොට බොහොම පොඩියි. ඒත් මට අද අද වාගෙ මතකයි…" 

" ඒ වෙනකොට මට වයස විස්සක් වගෙ ඇති. පොලිසියෙන් ඇවිල්ල ඒ වයසෙ කොල්ලො කෙල්ලො අල්ලගෙන යන්ට පටං ගත්ත නිසා මම ගියා ඒ කලබල මඟ ඇරෙනකල් කියල අරලගංවිල විජේ හිටපු දිහාට. එහෙ ගිහිල්ල විජේලගෙ මාමගෙ ගෙදර නැවතුන. මාමගෙ තිබ්බ මැණිකෙ ඇල ඉහත්තාවෙ මහ විසාල හේනක්. විජෙයි මායි තමයි මහත්තය ඔය හේන බලාගත්තෙ. අපි දෙන්න වැඩිපුරම හිටියෙ ඔය කැලේ මැද හේනෙ. සමහර වෙලාවට සුමානෙ දෙක අපි එහෙට වෙලා ඉන්නව. පුදුම සතුටකින් අපි එහෙ හිටියෙ ඒ මුල් කාලෙ. ඒත් ඒ සන්තෝසෙ තිබ්බෙ බොහොම කෙටි කාලයයි. " 

ඒ සමඟම මහ හඬින් පුපුරාගිය අකුණක ගර්ජනයත් සමඟම අවන්හලෙහි සියළු විදුලි පහන් සැණෙකින් නිවී ගියේය. මත්පැන් බෝතලය අතට ගෙන වීදුරුවට මත්පැන් පුරවමින් හුන් මම සීරුවෙන් බෝතලය යලි කනප්පුව මත තබා වීදුරුවද ප්‍රවේශමෙන් කනප්පුව මැදට කලෙමි. අඩ අඳුරේ ගතවූ මිනිත්තු කිහිපයකට පසු කුඩා පීරිසි වල සවිකල දැල්වූ ඉටිපන්දම බැගින් ගෙන ආ අප්පුහාමි ඒවා ගනුදෙනු කරුවන් අසුන්ගෙන හුන් කනප්පු මත තැබීය. 

" ඒ අකුණ ගහපු විදිහට ආයම සෑහෙන වෙලාවකට ලයිට් එන එකක් නෑ වගේ. නුවර ටවුමටම ලයිට් ගිහිල්ල කියලයි කියන්නෙ. " 

විදුලි බලය ඇණසිටින විට පුරවමින් හුන් මත්පැන් වඩිය ගිල දැමූ මම කථාව යළි ඇරඹනතෙක් ඔහුගේ ඉටිපන්දම් එලියෙන් දිලිසෙන දෑස දෙස බලා සිටියෙමි. 

" අපි හිටපු හේනට අල්ලපු බූටෑව කොටාගෙන පැලක් අටවගෙන පදිංචියට ආව හිඟුරක්ගොඩ පැත්තෙ කට්ටියක්. මිනිහයි ගෑනියි දුවයි..දුවට ඇති අවුරුදු දහතක් තරමෙ. එච්චර හැඩකුත් නෑ. කලුයි. කෙට්ටුයි. ඒත් ඒකිගෙ ඇස් දෙක තමයි මහත්තය ඇස් දෙක. මම තවම දැකල නෑ එහෙම ඇස් දෙකක්. අපි වගෙ හය හතර නොදන්න කොල්ලො නෙවෙයි තලත්තෑනි පිරිමි උනත් දැපනෙ වැටෙනව ඒ ඇස් දෙකට. ඒ කෙල්ලගෙ නම සුමනාවති. සුමන එහෙට ඇවිල්ල සුමාන දෙකක් යන්ට ඉස්සර මා එක්ක හිතවත් උනා. මම ඒකිට ආදරේ කලේ මගෙ පපුව පතුලෙන්මයි. " 

" මහත්තය තුනට දහයයි..බාර් එක වහන්ට යන්නෙ...ගන්න දෙයක් දැන්ම ගන්ට. අනික කෑම ඕනෙ නං ඕඩර් කරන්ටත් වෙයි. " 

අප අසලට පැමිණි අප්පුහාමිගේ පැවසූයේ කනප්පුව මත වූ හිස් බෝතලය සුරතට ගනිමිනි.

නගර සභාවෙහි මත්පැන් වෙළඳාම් නීතිරීති සහ රෙගුලාසි අනුව මහනුවර නගරයෙහි සියළු සුරාසල් එකල සවස තුනට වසා දැමිය යුතුය. වත්මනෙහිද මේ රෙගුලාසි එලෙසම ක්‍රියාත්මක වන්නේදැයි මම නොදනිමි. සවස තුනට පෙර මිලදීගත් මත්පැන් ඉදිරිපස ප්‍රධාන දොර වැසූ අවන්හල තුල හිඳ පානය කිරීමෙහි කිසිදු තහනමක් නොවීය.

" අප්පුහාමි තව දෙසීයක් ගේන්න. ෆ්‍රයිඩ් රයිස් දෙකකුත් ඕඩර් කරන්න."

කෑමක් හෝ බිමක් ඇණවුම් කිරීමෙහිදී අනෙකුත් අයගේ කැමැත්තද විමසීම සදාචාර සම්පන්න වුවද කථාවට සවන් දීමේ දැඩි උනන්දුව නිසාම මම ප්‍රාංශු දේහධාරියාගෙන් නොවිමසාම එසේ ඇණවුම් කලෙමි. 

" ඔහොම මාසයක් දෙකක් යනකොට මට තේරුණ මහත්තය සුමනගෙ වෙනසක්. ගෑණි මාව මඟ අරින්ට ගත්ත. ඒ අස්සෙ විජෙත් මට මූණ දෙන්නෙ නැතුව වගෙ කියලත් මට හිතෙන්ට ගත්ත. මේ දෙන්න අතරෙ මොකක් හරි දෙයක් තියනව කියල මට සහසුද්දෙන්ම තේරුනාට පස්සෙ තවත් මේක හංගගෙන ඉන්නෙ මොකටද කියල දවසක් රෑ පැළේ මැස්ස උඩ ඉඳගෙන ඈත බලාගෙන උන්නු විජේ ඉස්සරහට ගිහිල්ල මම කෙලින්ම කතා කලා.

අවසාන අරක්කු ස්වල්පය සමව වීදුරු දෙකට පිරවූ මම එක බත් පාර්සලයක් දිග හරින්නට වීමි. 

" ඔය චුට්ට බොන ගමං බත් කමු. කාල ඉවරවෙලා කතාවෙ ඉතුරු හරිය...." 

සවස හතරට ආසන්නව තිබූ හෙයින් අවන්හල තුල ඉතිරිව සිටියේ අප දෙදෙන හැරුණු කල තවත් ගණුදෙනු කරුවන් අතලොස්සක් පමණි. 

බත් කෑමෙන් අනතුරුව අප්පුහාමිගෙන් සමුගත් අපි අවන්හල ඉදිරිපිට පඩි පෙල බැස කොටුගොඩැල්ල වීථියට පිවිසුණෙමු. 

ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව මේ වනවිට නතරව තිබුණද තවමත් වරින්වර විදුලිය කොටමින් ඒ හා සමඟම උඩවත්ත කඳුවැටිය දෙසින් ගලාඑන අහස ගුගුරන හඬත් සමඟ පොද වැස්සක් සිරි සිරි හඬින් ඇද හැලෙයි. දළඳා වීදියෙහි පදික වේදිකාව ඔස්සේ අපි ඔරලෝසු කණුව දෙසට ඇවිද යන්න්ට වූයේ පොද වැස්ස කෙරෙහි කිසිදු තැකීමක් නොකරමිනි. 

" විජේ උඹ මගෙ හොඳම යාලුව. ඒ යාලුකමට දැං අවුරුදු පහලවකට වැඩි මිසක් අඩු නෑ. ඒ නිසා මට ඇත්ත කියපං..විජේ මා දිහාවෙ බලල ආයේ අහක බලාගත්ත.මට කියපං..මේ මං දිහාවෙ කෙලිං බලපං..උඹගෙයි සුමනගෙයි මොකක් හරි ඇයි හොඳයියක් තියනවද?....." 

" ඔව්...තියනව තමයි..උඹ මොකද ඉතිං කියන්නෙ? " 

" මහත්තය විජේ එහෙම කිව්වම මට මගෙ කන් අදහාගන්ට බැරුව ගියා. මේ මගෙ පොඩි කාලෙ ඉඳල එකට කාපු බීපු යාලුවද මේ කතා කරන්නෙ කියල. " 

" මට මොකද කියන්නෙ? උඹ හොඳටම දන්නව සුමනයි මායි අතරෙ තිබ්බ සම්බන්දෙ ගැන. එහෙම තියෙද්දි? " 

" ඉතිං එහෙම තිබ්බයි කියල මොකද කියන්නෙ? සුමන මට කැමතියි මම සුමනට කැමතියි එච්චරයි. මට ඒ වෙලාවෙ උන්න මලා පේන්නෙ නැතුව ගියා මහත්තයො. ඒ ලඟම තිබ්බ මොකක්ද පොල්ලක් මම අතට ගත්ත. ඒ එක්කම විජේ නැඟිටල ඉනේ තිබ්බ දිග පිහියක් වගෙ මොකක්ද අතට ගත්ත. මට ඒ වෙලාවෙම තේරුනා මිනිහ සූදානං වෙලාම තමයි ඉඳල තියෙන්නෙ කියල. මම එක පාරටම අතේ තිබ්බ පොල්ලෙන් ගැහුව මිනිහගෙ අතට. ඒ එක්කම පිහිය වැටුන.මම පිහිය අරගෙන විජේගෙ බඩට ඇන්න. ඒ එක්කම මිනිහ පැත්තකට පැන්න නිසා පිහිපාර බඩ හරහට දිග කැපුම් පාරක් හිටිය. ඒ කැපුං පාරෙං ලේ ගලනව දැක්කම මට මේ ඔක්කොම එපා උනා මහත්තය. මොන කෙහෙල්මලකටද අපි මේ මරාගන්නෙ කියල අට හිතුන..විජේ කියන්නෙ මගෙ හොඳම යාලුව. ගෑණියෙක් හින්ද මම උගෙ ලේ හෙල්ලුවයි කියල හිතෙනකොටත් මට මං ගැනම මහ පිළිකුලක් දැනුන. " 

" මම එහෙම්මම පිහිය අතඇරල ආපහු හැරුන. මම ආපහු ගමේ යනව බං...මට මේ මොකවත් ඕන නෑ..එහෙම කියල මම පැලෙන් එලියට බැස්ස. " 

පොද වැස්ස අතරින් මේ වනවිට අප ඔරලෝසු කණුව අසල බස් නැවතුම්පල වෙත පැමිණ සිටියෙමු. වේලාව සවස පහ පසුවී හෝ නොතිබුණද වැහි අඳුර හේතුකොටගෙන වීථි ලාම්පු දැල්වෙමින් තිබිණ. දොරගමුව බලායන බස් රථ පිටත්වන බස් නැවතුම්පලට අප ලඟා වුනෙමු. 

" හරි එහෙනම් මම යන්නං..මම යන්නෙ කඩුගන්නාව බස් එකේ. පල්ලෙහා ගුඩ්ෂෙඩ් ස්ටෑන්ඩ් එකට යන්ට ඕන. " 

මම ප්‍රාංශු දේහධාරියාගේ සුරත අල්ලාගනිමින් පැසසූයෙමි. 

" ආ...මෙච්චරවෙලා කතා කලා..මට නම අහන්ටත් බැරිඋනානෙ...ඇත්තටම මොකක්ද ඔහෙගෙ නම?

තම තියුණු දෑස් එක එල්ලේ මා දෙස යොමු කොට ඔහු මොහොතක් මදෙස බලා සිටියේය. 

" මහත්තය කලින් මගෙං නම අහපු නැති එක හොඳයි. එහෙම ඇහුවත් මම කියන එකකුත් නෑ." 

එසේ පැවසූ ප්‍රාංශු දේහධාරියා හැඳහුන් කමිසයේ බොත්තම් ගලවා තම පපුව ප්‍රදේශය නිරාවරණය කලේය. ඔහුගෙ බඩ හරහා දිගටම පිහිටි කැපුම් පහරකි. දෑස් හයාගත්වනම මම ඒ දෙසම බලා සිටියේ කිසිවත් පවසාගත නුහුණු බැවිනි. 

" එතකොට මේ..මේ...මේ.." 

අවසන මම ආයාසයෙන් පවසා ගතිමි. ප්‍රාංශු දේහධාරියා කිසිදු කලබලයකින් තොරව නිවීහැනේ කමිසයෙහි බොත්තම් පියවමින් කථා කලේය. 

" ඔව් මහත්තය..මම තමයි විජේ...බිම වැටිච්චි පිහිය අරගෙන පොඩි කාලෙ ඉඳල එකට හිටිය මගෙ හොඳම යාලුවට පිහියෙන් ඇනල මරපු විජේ තමයි මම. මම අවුරුදු පහළවක් හිරේට ගියා. බෝගම්බර ඉඳල අද උදේ තමයි නිදහස් උනේ... " 

************************************************ 

අහම්බෙන් ජීවිතයේ එක් වරක් පමණක් හමුවී සදහටම වෙන්ව ගියද ජීවිතයට කිසිදා නොමැකෙන සිහිවටන එක්කරන පුද්ගලයින් ඔබටද හමුවී ඇත්දැයි මම නොදනිමි. එහෙත් මගේ ජීවිතයෙහිදී මට හමුවූ එවන් සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳව මගේ මතකය මෙසේ සටහන් කළෙමි.

71 comments:

  1. අනුවේදනීය කතාවක් , ලිවිල්ල ගැන මොකට කියනවද මං

    ReplyDelete
    Replies
    1. අටම්,

      ස්තූතියි මල්ලි...:)

      Delete
  2. සංවේදී කතාවක් රවී. විජේගෙ යාලුවට තිබ්බ හැඟීම විජේට නොතිබ්බ එක ගැන මිනිහ පස්සෙ හිතෙන් දුක් වෙන්න ඇති.

    පලංචියේ.... ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට
    එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

    විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
    කුළුදුල් පෙම මෙයයි ඉන් අත් ‍මිදෙන්නද..
    පෙම්දම් නිසා.... මිතුදම් සිඳ දමන්නද..
    හොදහිත නු‍ඹෙ තරම් ලොවකින් ලබන්නද..

    පලංචියේ...

    දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
    හොර රහසින්ම.... එක සුවඳක් පැතු පවිනේ
    නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...

    පලංචියේ.../

    ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ

    ReplyDelete
  3. බෝ් අගෙයි රවියෝ.. ලයිටරයේ සුළගට සෙලවෙන ගිනි එළිය ප්‍රභල ආලෝකයක් කතාවට.. මදෑ කොලා. මගක් කියවන් යද්දි මටත් මතක් උනේ පලංචියේ තමා. අර හෝතඹුවට ඒක කලින්ම මතක් වෙච්චි එකටයි මට දුක..

    ආ මේ යකෝ. //මම අරලගංවිල සිය යලි කොටුගොඩැල්ල //
    ඔතන ඩිංගක් හදහං.. කියවං ආපු ස්පීඩ් එක බැස්සා සුරුස් ගාලා..

    ReplyDelete
    Replies
    1. අප්පමාදෝ අමර පදං කියන්නෙ ඕකට තමයි බොල.

      Delete
    2. දේශකයා,

      / ආ මේ යකෝ. //මම අරලගංවිල සිය යලි කොටුගොඩැල්ල // ඔතන ඩිංගක් හදහං.. කියවං ආපු ස්පීඩ් එක බැස්සා සුරුස් ගාලා../

      ස්තූතියි, එතන පොඩි අවුලක් තියෙනවයි කියල මටත් හිතුන ආයෙම කියවද්දි..ඔන්න පොඩි රිවිෂන් එකක් කලා....:)

      Delete
  4. //කොතෙකුත් ගෙල නවාගත්වනම පොතක් කියවීම කිසිසේත් සුකර කාර්යයක් නම් නොවේමය. කුඩා අවධියේ සිටම ඇඳෙහි හෝ එසේත් නැතහොත් කුලිච්චම් අතුල කවිච්චියක දිගාවී පොත් කියවීමෙහිලා ඇබ්බැහීය හේතු කොටගෙන මට ඒ මහත් වෙහෙසක් ගෙන දෙන්නක් විය.//

    රවිට තාම එහෙමද. මටත් තියන ප්‍රශ්නයක්. වෙන තැනක් නැති නිසා හෝ අවශ්යතාවයකට හෝ පුස්තකාලයක රිසර්ච් සඳහා පුටුවක හිඳ කියෙව්වත් පොතක් කියවීම රස විඳීම සඳහා නම් ඇඳක්, හාන්සි පුටුවක් අවශ්යවේ.

    ReplyDelete
    Replies
    1. Pra,

      / රවිට තාම එහෙමද./

      ආයෙත් අහල..තාම මම පොත් කියවන්නෙ ඇඳේ ඇලවෙලා..ඒ පුරුද්ද නම් කවදාකවත් නැතිවෙන එකක් නෑ..පොත් කියවනකොට කොට්ට දෙකයි...නිදියනකොට එක කොට්ටයයි.දෙකක් දාගත්ත වෙලාවට වගෙ එහෙම්මම පපුව උඩ පොත තියාගෙන නිදි.කොට්ට දෙකක් උස වැඩි හින්ද එහෙම නින්ද ගිය දවසට පහුවදාට බෙල්ලෙ ඇම්ම ඔන්න.

      Delete
  5. මට හිතුන.... ගොනා හැරෙන්නේ පොල් පැලේට කියල... හ්ම්ම්.... මගේ සිත් ගත්ත ජේද කීපයක්ම තිබ්බ. මෙහෙම කියවන්න තියෙනවා නම්.... මාව ආයෙත් ආපස්සට යාවි!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      ආපස්සට කිව්වෙ අතීතයට යනවයි කියලද බං?

      Delete
    2. අදහස් දෙකකින් කිව්වේ.. එකක් අතීතය... අනිත් එක වින්දනය ගැන... ඉස්සර මගේ වින්දනය මීටවඩා හොඳින් තිබ්බ. ආයෙත් ඒ වින්දනයට යන්න පුළුවන්ද මන්ද.. අතීතය කියන්නේ සිද්ධි සහ මතකයන්

      Delete
  6. මට නම් කතාව ටිකක් මදි කියල හිතුනා. ඒ කියන්නේ විජේ ගේ කතාවේ සිද්දිය. හැබැයි ඒක ඇත්ත සිද්දියක් නිසා කොහොමත් මිට වැඩිය විස්තර නැතිව ඇති කියල හිතුවා. ප්‍රබන්ධයක් වගේ ලියන්න බෑනේ.

    වැස්සේ ඇඳ උඩ ඉඳන් පොත් කියවීමේ ආතල් එක මම නම් හිටපු ගමන් ගන්නවා. බියර් එකක් බිබී බාර් එකක ඒ ආතල් එක නම් පැන්ෂන් ගිය කාලෙක තමයි ගන්න වෙන්නේ.. මොකද මම මේ දවස් වල බොන්න පුරුදු වෙන්න හොඳ බිමක් ගැන රිසර්ච් කරනවා. ඔය රිසර්ච් ඉවර වෙලා ප්‍රපොසල් දීල, බැනුම් අහලා, අපෘවල් ලැබිල මම බිබී ඇවිදන කාලේ වෙනකොට 60-70 පැනල තියෙයි.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒක කෙරෙන වැඩක් නොවෙයි,හඳහන් බල බලා ඕව කරන්න බෑ.එහෙම නෙවෙයි දවසක හැන්දෑවක නකතං වෙන්න ගහල ගෙදර ගිහිං බලපංකො පවුල කොච්චර ආදරේ වෙයිද කියල.ඔව්ව දෙමව්පියොවත් කියල දෙන්නෙ නෑ අපි වගේ අනුන්ගෙ දුක දන්න එකෙක් ඇරෙන්න.බොට තේරුණාද.

      Delete
    2. ඔන්න හැලපෙ කියල තියෙන‍ව කෙරෙන්න ඕන විදිය. පැතුම්ට තියෙන්නෙ ට්‍රයි කරල බලන්න විතරයි.
      ආෆ්ටර් ඉෆෙක්ට් වලට හැලපෙ වගකියන එකක් නෑ මයෙ හිතේ. :D

      Delete
    3. යස අගේට පවුලක් කාගෙන, වේලක් උයාගෙන ඉන්න එකාට, තුන් වේල නැති කරන්න තමයි මේ හදන්නේ.... පැතුම්.... විද්‍යා ප්‍රබන්ධවල නැද්ද ඔය ශිශිර නිද්‍රාවට පත් කරන එව්වා ( මම ආසම කොටස) ඔය අපූරු දැනමුත්තෝ දෙන්නව එහෙම කරලා දාන්න!

      Delete
    4. පේනවනේ හැදෙන කොල්ලෙකුට උදව් කරන්න කොච්චර කට්ටිය ඉන්නවද... හෙළ ජාතික අභිමානේ කියන්නේ ඔන්න ඕකට.. හෙහ් හෙහ්

      හැලපෙගෙ අදහස හොඳයි. හැබැයි මම තව බෝතලයක් අරගෙනම යන්න ඕනේ. මොකද වයිෆ් කියල තියෙන්නේ මම කවද හරි බොන්න පටන් ගත්තොත් එදා ඉඳන් එයත් මම බීපු ජාතියම ඒ ප්‍රමානේටම බොනවා කියල.. හෙහ් හෙහ්.. මට ලෙඩක් වැටුනොත් වැටෙන්නේ බිව්වට නෙවෙයි එයාට අරන් නොගියට.. :D

      ප්‍රසන්න කොහොමද හැබෑට ඔය ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලට මුණ දෙන්නේ... පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ බලන්න.. හැලප මාමත් හැබැයි දන්නවා ඇති.. :D

      මම හිතන්නේ උපේක්ෂා මේ රවී අයියලා, හැලප මාමල, ප්‍රසන්න අංකල් ල වගේ අය හැමදාම රෑට ශිශිර නිද්‍රාවෙන් තමයි නිදා ගන්නේ. එකම වෙනස පහුවදා උදේට වයිෆ් "ඕයි" කියපු ගමන් ඇහැරෙන එක.. හෙහ් හෙහ් හෙහ්

      Delete
    5. Pathum,

      / මට නම් කතාව ටිකක් මදි කියල හිතුනා. ඒ කියන්නේ විජේ ගේ කතාවේ සිද්දිය /

      එතන කේස් එක උනෙ මේකනෙ බං .මට ඕන විදිහට ලියන්ට ඉඩක් තිබ්බෙ නෑ...නැත්තං නියමෙට ලියන්ට තිබ්බ සුමනත් එක්ක ලව් කේස් එක සහ ඊට පස්සෙ මර්ඩර් සීන් එක. වැඩේ උනේ රෙස්ට්‍රික්ටිං ෆැක්ටර් එකක් තිබ්බනෙ. මේ කොටසින් කතාව කෙසේ හෝ ඉවර කරන්ටම ඕනය කියල මම එක හිත් හිතාගෙන හිටියෙ. තව කොටසකට අදින්ට කොහොමත් බෑනෙ. මෙහෙම කරලත් මෙතනත් වචන 2522 තිබ්බ. මම සාමාන්‍යයෙන් වචන 1600-1700 වගෙ තමයි පෝස්ට් එකකට දාන්නෙ...:)

      Delete
    6. පැතුම්: එක දෙයක් පැහැදිලියි පැතුම්. බයවෙන්න කාරියක් නෑ , බොන්න හිතෙන කොයිකාලෙක උනත් කමක් නෑ ඔයාට බොන්න සෙට් වෙන්න කෙනෙක් ගෙදරම ඉන්න හින්ද!

      රවී: මටත් හිතුන පැතුම් විදියටම ඒ කොටස තිබ්බනම් කියල, මම නොදන්නවය රවියා ඕක ලියන්න ගත්තනම් වෙන සන්තෑසිය කියල හිතල කට පියා ගත්ත. පණ පිහිටුවල ලියල, අපේ පණ යවනවා... හැබැයි රවියෝ.... රසය නම් අඩුවක් නෑ

      Delete
    7. Upeksha,

      Thanks Madam....:)

      Delete
  7. මචං උඹ 282. අවන්හලක සැඳෑවක්…2 කියන මාතෘකාව අර බොක්ස් එක ඇතුලෙ නෙවෙයි ලියලා තියෙන්නේ. ඒක නිසා ඒකට ලින්ක් එකක් නෑ. කෙලින්ම Home Page යන්නේ

    උඹ ඊට පහලින් ලින්ක් එකක් දාලා තිබුනට වැඩක් නැත්තේ ඒක බ්ලොග් රෝල් වල නොපෙන්වන හන්දයි. නම අර බොක්ස් එකේම අලවපං. කතාව කියෙව්වෙත් නෑ තාම

    ReplyDelete
    Replies
    1. Henry,

      තෑන්ක්ස් හෙන්රි, ඊයෙ යක්කු ගස් යන නෙවෙයි ආපහු බහින වෙලාවෙයි මේක ලියල ඉවර වෙල පෝස්ට් කලේ.මාතෘකාව නියම තැනට නොගියෙ ඒ නිසා වෙන්න ඕන. කොහොමහරි මොකක් හෝ අටමගලක් වෙලයි කියල මටත් තේරුනාට මොකක්ද සීන් එක කියල හොයාගන්ට බැරුවයි හිටියෙ...ස්තූතියි ආයෙමත්...:)

      Delete
  8. කොටස් දෙකම එක හුස්මට කියෙව්ව.. කොමෙන්ටුත් එක්ක..අද තමයි ඉස්සෙල්ලම නිදහස් සිතුවිළි දැක්කේ.. මං කෝඩුකාරයානේ.. රවී ගෙ ලියවිල්ලනම් අපූරුයි.. පොඩි ප්‍රශ්නයක් අවා.. ප්‍රාංශු දේහ දාරියා = 'කෙසඟ උස් වූ සිරුර, හකුඇට පෑදීගිය මුහුණ' ද? මං මෙච්චරකල් හිතං හිටියෙ වෙනස් විදියකට... දිගට කියවන්න අවසරද කියුවොත් බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,

      ස්තූතියි,,ප්‍රාංශු දේහධාරියා කියන්නෙ උස සිරුරක් ඇත්තා කියන එක. දිගටම කියවන්න ආය අමුතුවෙන් අවසරයක් මොකටද?....කියවන්න කියවන්න...ඔයාලට කියවන්න තමයි මම ලියන්නෙ...:)

      Delete
    2. එතකොට ඒ කියන්නෙ French body-bearer නෙමෙයිද?

      Delete
    3. ප්‍රා,

      අම්මාපල් එහෙමත් කිව්වැකි නේද? French body-bearer.....Heh,heh

      Delete
  9. උඹේ කතා ගැන ආයෙ අමුතුවෙන් වර්ණනා කරන්නේමොකටද? මම උඹෙන් සිංහල ටිකක් ඉගෙන ගන්නයි යන්නේ.

    ප්‍රාංශු දේහධාරියා (මේකෙ අදහස well build mascular person වෙන්න ඕනෙ කියලා මට තේරෙනවා. නමුත් මේ ප්‍රාංශු කියන වචනේ කෙහොමද ආවේ? ප්‍රංශු නම් French. ප්‍රාංශු?)

    සුකර කාර්යයක් (මේකත් context එකට අනුව සුළු දෙයක් කියලා හිතන්න පුලුවන්. නමුත් සූකර කීවාම මතක් වෙන්නේ ඌරු. මේ වචනේ කොහොමද උඹ විස්තර කරන්නේ?)

    කුලිච්චම් අතුල (ආයෙම context එකට අනුව මේ කියන්නේ කුෂන් වෙන්න ඕනේ. කොහෙන්ද බං මේ වචනේ හොයාගත්තේ?)

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ප්‍රාංශු දේහධාරියා කියන්නෙ උස් සිරුරක් සහිත පුද්ගලයෙකුට. ඒ වචනෙ මූලාරම්භය නම් මචං මම දන්නෙ නෑ. සුකර කාර්යයක් කියන්නෙ පහසු කාර්යයක්...කුලිච්චම් කියන්නෙ කුෂන්...ඒක හරි...මේ වචන බොහොමයක් මම ඉගෙන ගත්තෙ ඩබ්ල්යු.ඒ. සිල්වා මහත්මයගෙ පොත් වලින්. විශේෂයෙන් ලක්ෂ්මී, සුනේත්‍රා, දෛවයෝගය වගෙ පොත්...එව්වයෙ පොතේ අන්තිමට ගැටපද විවරණය කියල අමාරු වචන වල ලැයිස්තුවක් ඒ වචනෙට අදාල ඉංග්‍රීසි වචනෙත් එක්ක තියනව. හරිම පහසුවක් ඒක පාඨකයන්ට.

      Delete
    2. මං හිතාගෙන හිටියෙ ප්‍රංශයෙ අවමංගල අද්යක්ශකයෙක් කියලනෙ

      Delete
    3. ප්‍රා,

      මම ඔය වචනෙ මුලින්ම අහපු කාලෙ මට හිතාගන්ට බැරිඋනා අවමංගල්‍යයක් අධ්‍යක්ෂණය කරන්නෙ කොහොමද කියල. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වගෙ ඈක්ෂන්න්න්න්...කියල කෑගහල වැඩේ දෙනව ඇති කියල අන්තිමට හිතාගත්ත...ආ තව එකක්..ඔය මුෂ්ටි ප්‍රහාරක ක්‍රීඩාවෙ ( බොක්සිං කියන්නෙ ඔය..අන්න ඒක ) තෑග්ගක් දෙනවනෙ හොඳම පරාජිතයා කියල. මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ එහෙම ඒ තෑග්ග දෙන්නෙ එක ෂොට් එකකින්ම හතරගාතෙ දාල ඇදං වැටිච්ච එකාටයි කියල.

      Delete
  10. මම වැරදිලාවත් මේ බ්ලොග් එකට එන්නෑ... ආවොත් ඉස්සෙල්ලාම බලන්නේ ස්ක්‍රොල් බාර් එක... පට්ට ගැඹුරුයි... කමක් නෑ පෝඩ්ඩක් කියවලා ක්ලෝස් කරනවා කියලා පළවෙනි ඡේදේ පටන්ගන්නවා... ඇබ්බැහි වෙනවා... ඒක ඉවරවුන ගමන් සේරම වැඩ නවත්තලා අනිත් කොටසුත් කියවන්න වෙනවා... ඉතින් පැය එක හමාරකට විතර තට්ටු වෙනවා... හැමැදාම වෙන්නේ ඔහොමයි... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බීට්ල්....:)

      Delete
  11. ප්රාන්ෂු දේහ ධාරියා කිව්වම මට මතක් වෙන්නේ උස මහත මනුස්සයෙක්. ඒ උනාට වයස ගෙස් කරන තැන කියලා තියනවනේ මිනිහා කෙසඟයි කියලා. ඒ කියන්නේ ප්‍රාන්ෂු කිව්වම මහත නැද්ද?

    කතාවේ අන්තිම කෑල්ල කියවද්දී මටත් දැනුනේ නිකන් පිහියෙන් අනිනවා වගේ

    ReplyDelete
    Replies
    1. සයුරි,

      / ප්රාන්ෂු දේහ ධාරියා කිව්වම මට මතක් වෙන්නේ උස මහත මනුස්සයෙක්. ඒ උනාට වයස ගෙස් කරන තැන කියලා තියනවනේ මිනිහා කෙසඟයි කියලා. ඒ කියන්නේ ප්‍රාන්ෂු කිව්වම මහත නැද්ද? /

      අඩේ බං මම හිතාගෙන ඉන්නෙ ප්‍රාංශු දේහධාරියා කියල කියන්නෙ උස මනුස්සයෙකුට කියල.මහත කතාවක් අදාල වෙන්නෙ නෑ එතනට කියලයි මගෙ කල්පනාව. කෝකටත් කියල පොඩි රිසර්ච් පාරක් දැම්ම.ස්ථිරවම ඒ වචනෙ අර්ථ නිරූපනයක් හම්බ උනේ නම් නෑ. ඒත් යෙදිල තියන විදිහට නම් මම හිතන්නෙ මම හරි. තාගෝර් තුමා ගැන හඳුන්වල තියෙන්නෙ ප්‍රාංශු දේහධාරියෙක් කියල. එතුමා කොහොමටත් මහතයි කියල කියන්ට බෑනෙ.

      Thanks Sayuri…:)

      Delete
    2. මම හිතාගෙන හිටියෙත් රවීට කතාව කියන බුවා හෙණ උස මහත පොරක් කියලා.ඔය යෙදුම ගැන මමත් එහෙමයි අහන් හිටියේ. ඒකාගේ සයිස් එක මොක උනත් කතාව මසුරං විදිහට ලියලා.

      Delete
    3. අරූ,

      ප්‍රාංශු කිව්වම උස විතරයි මහතක් ගැන කියවෙන්නෙ නෑ කියලයි මම හිතාගෙන ඉන්නෙ. ඉඳහං ඒ ගැන තව දුරටත් හොයල බලල හරි තොරතුරක් දැනගන්ට ලැබුණොත් කියඤ්ඤං...:)

      Thanks Aru….:)

      Delete
    4. පාංශුදේහදාරි නොවේද ‍පුත එම වචනය?

      Delete
    5. මම හිතන්නෙත් එහෙමයි දේශක පුත! ඔය පු යන්නට එහායින් තියෙනේ 'ත' යන්න. 'ක' යන්න නෙමේ හොඳේ.

      Delete
    6. දේශකය / අරූව,

      උදක්මැ ගැටළු සහගත තත්වයෙක් පැණනැඟී ඇති තන්හි තවත් ගැටළුවක් ඇති නොකොට මුව තරවැ පියා සිටිනු යෙහෙකි. ප්‍රාංශු යනුවෙන් යෙදෙනුයේ උස් පමණක්ද නැතහොත් ඒ උස් සහ මනාව වැඩුණු යන අර්ථයෙන් යෙදෙන්නක්ද යන්න විසඳා ගත නොහී උකටලීවැ සිටින අතරට තොප තවත් ගැටළුවක් උත්පාද කරනු සැරසෙයි. නිවැරදි වදන ප්‍රාංශු ද නැතහොත් පාංශු ද යනුවෙන් ගැටළුවක් කිසේත්ම නැත්තේමය. ඒ වනාහි ප්‍රාංශු ම වෙයි, පාංශු යනු පස් යන වදනට සමවූ නිරුක්තියකි. " යූ කැන් සී සම් පස් කමිං අවුට්" අපගේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක මාස්ටර් බාස්ටඩ් තෙමේ වරෙක එසේ පැවසූවා මෙහිදී තොපගේ මතකයට කැඳවමි.

      Delete
    7. තාම ගැටළුව එමමද යක???

      Delete
  12. මං කතාව අවසාන හරියට එනකල් කියෙව්වත් මට හොයාගන්න බැරිවුනා බිල ගෙව්වෙ විජේද නැද්ද යන වග..
    මම කතාව කියවන්න මුල ඉදලාම ඇතිවුන කුතුහලේ තමයි බිල ගෙවපු කෙනා කවුදැ කියන එක?

    ReplyDelete
    Replies
    1. අමිල,

      අඩේහ්..ඔන්න බලාපං වැඩේ හැටි කියන්නෙ...උඹ කිව්වට පස් සෙ නෙව මතක් උනේ....එදා කාසල් එකේ බිල ගෙව්වෙ නෑනෙ...ප්‍රාංශු ගෙව්වෙත් නෑ මම ගෙව්වෙත් නෑ..බත් කාල තකහනියක් පාරට බැස්ස මිසක ඒක එහෙම්මම අමතක වෙල..තැන්කියු හොඳද?...උඹලම ඉන්ට ඕන ඉතිං ඔය වගෙ ඉතාම වැදගත් කාරණා මතක් කරල දෙන්ට....:)

      Delete
    2. දැන්වත් ගෙවල දැම්මොත් නරකද ඒක.

      Delete
    3. Praසන්ன,

      දැං කොහෙ ගෙවන්ටද බං? කාසල් බාර් එකත් නෑනෙ දැං...මම කලින් කිව්වෙ එතන දැං තියෙන්නෙ ඩිසයින් ක්ලබ් කියල නිමි ඇඳුං කඩයක්..අඩේ කිව්වත් වාගෙ ඊලඟ පාර අපෙ උන්දැ එක්ක ඕකට ගිහාම මැනේජර්ගෙං අහල බලන්ට ඕමනයි.

      " අනේ මේ මැනේජර් මහත්තයො, මෙතන කලින් තිබ්බෙ කාසල් බාර් එක කියල අරක්කු එහෙම විකුනන තැනක්. මගෙ ආතල් පොට් එකක්. ඕකෙදි මට නියම පොරවල් ටිකක් සෙට් වෙලා තියනව. එක පාරක් මම මෙතන බොන්ට සෙට් උනා මර්ඩර් කේස් එකක් එක්ක. ඒ කිව්වෙ මිනීමරුවෙක් එක්ක..ආ..එව්ව ඇරිච්චාවෙකො..මම මේ කියන්ට ආවෙ එක පාරක් මෙතන බිව්ව එව්වයෙ බිල ගෙවන්ට මට අමතක මතක බැරිඋනා නෙව.ඒකත් මගෙ මේ යාලුවෙක් මතක් කලේ..ඉතිං මහත්තයො බැරිද මට කාසල් බාර් එක ඒ කාලෙ අයිතිකාරයින්ගෙ ඇඩ්‍රස් එක හොයල දෙන්ට..වෙන මොකවත් නෙවෙයි අර පරණ බිල ගෙවල දාන්න්ට..බිලේ ගාණ මතකද ඇහුවා? මොකෝ අමතක. ඉස්සෙල්ලාම ලයන් ලාගර් බෝතලයයි, බැදපු හුරුල්ලො තුන්දෙනයි, ඕල්ඩ් දෙසීයයි, ගෝල්ඩ් ලීෆ් තුනයි, ඊට පස් සෙ තව ලයන් ලාගර් එකයි,ඊටත් පස් සෙ ඕල්ඩ් බාගයයි, හුරුල්ලො දෙන්නයි, ගෝල්ඩ් ලීෆ් තුනයි, සෝඩා බෝතලයයි..අන්තිම ලාස්ට් ඕල්ඩ් දෙසීයයි, ෆ්‍රයෙඩ් රයිස් දෙකයි...."

      අපෙ උන්දැ එක්ක ගිහිල්ල මැනේජර් එක්ක ඔව්ව කතා කරල අනිවා මට මාසයක්වත් තුන් වේලම කඩෙන් තමයි කන්ට වෙන්නෙ. ඒත් මොනව කරන්ටද? ණය තියාගන්ට මගෙ නෑ කොහොමවත් කැමැත්තක්....:)

      මේත් ඔය ඩිසයින් ක්ලබ් එකේදි මට වෙච්චි අකරතැබ්බක්....

      ඩිසයින් ක්ලබ් එකේදි දවසක් මම ඔන්න ජොක්කු තෝරනව. අපෙ උන්දැ ටිකක් එහායින් ටී-ෂර්ට් වගයක්ද කොහෙද අතගගා ඉන්නව.." ඒයි මේ මගෙ අන්ඩර්වෙයා සයිස් එක කීයද? " මම එතන ඉඳලම ඇහුව...ඇහුව තමයි...හෙහ්,හෙහ්, ඊට පස්සෙ සුමාන දෙකක් තුං වේලම කෑවෙ පැණිදෙණිය හන්දියෙ සමනල හෝටලෙන්.

      Delete
    4. අන්ඩවෙයා සයිස් අහන්න ගිහිල්ල අණ්ඩක් කඩාගත්තෙ නැතුව මදැයි. :D

      Delete
  13. පිෂ්ෂු හැදෙන කතාවක් නෙ. ඒ වගෙ හමුවීමක් නම් ඉතින් ජීවිතේට අමතක වෙන්නෙ නෑ තමයි.

    රවි අයියෙ, ප්‍රාංශු දේහධාරියා ද පාංශු දේහධාරියා ද ?

    ReplyDelete
    Replies
    1. චන්දන,

      මල්ලි හරි වචනෙ ප්‍රාංශු දේහධාරියා...පාංශු කිව්වම පස් සම්බන්ධ කියන තේරුම එන්නෙ..පාංශු ඛාදනය, පාංශු සංරක්ෂණය..අන්න ඒ වගෙ...

      Delete
    2. අහා.. ඔව් නේන්නම්. ස්තුතියි අයියණ්ඩි :)

      Delete
    3. චන්දන,

      සාදරයෙන් පිළිගනිමි!!! ( You are most welcome !!! ) ....:)

      Delete
  14. කතාවනම් නියමයි....
    මට මේ "ප්‍රාංශු" කියන වචනය ගැන පොඩි අවුලක් තියෙනවා
    සයුරි වගේම මමත් හිතාගෙන උන්නේ එහෙම කියන්න හොඳ උස, මහත අයට කියලා.
    එහෙම නැත්නම් උස අයට විතරනම් මේ වචනේ පාවිච්චි කරන්නේ, ඒක හැදුනේ කොහොමද කියන එක ගැන අදහසක් තියෙනවද.?
    ප්‍රංශ කාරයෝ එක්ක සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ....:)

    මේ වගේ එක පාරක් හමු වෙලා මතකයේ සටහන් තියල ගිය මිනිස්සු කීපදෙනෙක් ගැන මතකයන් මටත් තියෙනවා. කතාව ඉවර වෙලා දාල තියෙන කොටස නිසා තමයි මට ඒක මතක් උනේ
    වැඩේ කියන්නේ ඒ වගේ මිනිස්සු ගොඩ වෙලාවට හම්බ වෙන්නේ බාර් එකකදී තනියම බොන වෙලාවලදී, එහෙමත් නැත්නම් වෙන කොහේදී හරි බොන වේලාවකදී.
    ඒ මිනිස්සු ගැන බොහෝ දුරට මේ තරම් ලියන්න ලස්සන කතා නැති උනාට ඒ අය මගේ හිතේ නොමැකෙන සටහන් තියල ගියා.

    01. බොරැල්ල DS එක ගාව තිබ්බ(දැන් තියෙනවද දන්නේ නැහැ) ස්ටීම් බෝට් එකේදී බොන ගමන් හම්බ වෙච්ච පුනරුත්ථාපනය වෙච්ච කුඩු කාරයෙක්

    02. DS එකේ ට්‍රිප් එකක් ගිය පුතා එනකල් තනියම බොන්න ඇවිත් හිටපු සහ ඒ වෙලාව හිටපු හැමෝගෙම බිල් ගෙවපු සහ මම බීල ඉවර නිසා මට ආපහු බොන්න කතා කරලා එකට බීලා, පුතා ආවට පස්සේ මාව බෝඩිමටම ගෙනත් ඇරලවපු හමුදා කර්නල් මහතෙක්........ (නම මතක නැහැ)

    තව ඉන්නවා.... මතක් කරලා බලන්න ඕනෙ.... :)

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      / මට මේ "ප්‍රාංශු" කියන වචනය ගැන පොඩි අවුලක් තියෙනවා...සයුරි වගේම මමත් හිතාගෙන උන්නේ එහෙම කියන්න හොඳ උස, මහත අයට කියලා. එහෙම නැත්නම් උස අයට විතරනම් මේ වචනේ පාවිච්චි කරන්නේ, ඒක හැදුනේ කොහොමද කියන එක ගැන අදහසක් තියෙනවද.? ප්‍රංශ කාරයෝ එක්ක සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ....:) /

      ලොකු පුතා මෙහෙමයි .....මම මෙච්චර කලක් හිතාගෙන උන්නෙ ප්‍රාංශු කිව්වම උස මනුස්සයෙක් ගැන විතරයි කියවෙන්නෙ...මහතද කෙට්ටුද කියල එතනට අදාල වෙන්නෙ නෑ කියල. ඒත් මම වැරදි වෙන්න පුලුවන්..හොයල බැලුවට ඒ ගැන ස්ථිර පැහැදිලි කිරීමක් හම්බ උනේ නෑ.ඒත් ලැබිච්ච තොරතුරු අනුව මට හිතෙන්නෙ මම හිතාගෙන උන්නු විදිහ හරි කියල තමයි. මම තවත් හොයනව ඒ ගැන. අපේ භාර්යා තොමෝගෙ ඥාතීවෙන හාමුදුරු කෙනෙක් ඉන්නව සිංහල භාෂාව ගැන ශාස්ත්‍රපති උපාධියක් කරපු. මම කිව්ව ඒ හාමුදුරුවන්ගෙනුත් අහල මට කියන්ටෙයි කියල. අපි බලමු මොකක්ද හරි කියල...

      / බොරැල්ල DS එක ගාව තිබ්බ(දැන් තියෙනවද දන්නේ නැහැ) ස්ටීම් බෝට් එකේදී බොන ගමන් හම්බ වෙච්ච පුනරුත්ථාපනය වෙච්ච කුඩු කාරයෙක් /

      අඩේ ඩී.එස්. එක ගාවත් ස්ටීම් බෝට් එකක් තියනවය? මම ගිහිල්ල තියෙන්නෙ නාවල නාරාහේන්පිට පාරෙ ස්ටීම් බෝට් එකට විතරයි.....:)

      Delete
    2. DS එක ගාව තිබුනේ පුංචි ශාකාවක්... හැබැයි එතන කෑම රසයි නාවල තැනට වඩා.
      ඒත් දැන් මම ඉන්නේ නාවල නිසා ප්‍රධාන ශාකාවටම යනවා,

      Delete
    3. මම නම් දන්නා තරමින් එකේ මුල්ම බ්‍රාන්ච් එක තමයි DS එක ගාව තියෙන්නේ. අම්මෝ ඇතුල මට නම් ත්‍රාසය තියෙන ගුප්ත තැනක් වගෙයි දැනුනේ පළවෙනි දවසේ. ආයේ යන්න සෙට් උනත් ගියේ නැත්තේ ඇතුලේ පෙනුම අවුල් වගේ තේරුණා හින්ද. දැන් එතන වෙන මොකද්දෝ එකක් දාල තියෙනවා දැක්ක.

      Delete
    4. ලොකු පුතා / උපේක්ෂා,

      මම ගිහිල්ල තියෙන්නෙ නාවල එකට විතරයි. මටත් එතන ඇල්ලුවෙම නෑ...ගුප්ත කතාවක් නම් නෙවෙයි. ඒක මොඩර්න් වැඩියි මගේ ටේස්ට් එකට. විශේෂයෙන් බාර් එහෙක තියෙන්න ඕන සුපුරුදු ගෙදර වගෙ ෆීලිං එක මට එන්නෙම නෑ එතනදි. එහෙං මෙහෙං කණ්නාඩි හයි කරල ග්ලාස් ටොප්ඩ් ටේබල්ස්. ඒ ටේබල් එකේ වීදුරුව ඇතුලෙං බිමත් පේනව. ෂොට් එකක් දාල ග්ලාස් එක වීදුරුව උඩ තියන්නෙ පණ බයෙං. මට හිතෙන්නෙම ග්ලාස් එක සලාං යන අනුකරනයෙන් පොලව මත පතිතව සහස් කඩකට කැඩී බිඳී දසත විසිරී යයි කියලමයි. වදින්ඩ වදින්ඩ ඒ ෆීලිං එක වැඩි වෙනව. අන්තිමට මම කලේ ග්ලාස් එක මේසෙ උඩ තිබ්බෙම නෑ අතේම තියාගෙන හිටිය. ඒක ඊට එහා. එතකොට අනික් එවුං හිතන්නෙ මම මේ බොන්ඩ පෙරේත කමේ ග්ලාස් එක අතේම තියාගෙන ඉන්නවයි කියල

      කවුන්ටර් එකේ ඉඳගෙන බොන එක ඊට එහා. හෙණ උස බාර් ස්ටූල්ස් තියෙන්නෙ. පොඩි ඉණිමඟක් තියෙන්න ඕන ඒකට නඟින්ට. නැඟල ඉඳගත්තද මම නෙවෙයි ආය අම්මෙ මුත්තෙ කිව්වත් බිමට බහින්නෙ බීල ඉවරයක් වෙනකල්. අර හම්ටි ඩම්ටි සැටොන වෝල් වගෙ ඉන්නව ස්ටූල් එක උඩට වෙල. ආ.. ඒ මදිවට කවුන්ටර් එක උඩින් හයි කරල තිබ්බ මහ විසාල කන්නාඩියක්. අප්පට සිරි බැරි වෙලාවත් උඩ බැලුනොත් එහෙම ඇඟ හීතල වෙලා යනව. කවුන්ටර් එකේ වීදුරුවෙන් අර උඩ වීදුරුව පේනව. උඩ වීදුරුවෙන් ආය කවුන්ටර් එකේ වීදුරුව පේනව. ඔලුව කරකැවෙනව. එක පාරක් උඩබැලුවම කාලක විතර වෙරි නොමිලේ හම්බ වෙනව.

      Delete
  15. කතාව නියමයි.. විශේෂයෙන් ඔබේ රචනා විලාශය හරිම අගෙයි. ඒක කතාවේ රස තව තවත් වැඩි කරලා අපිට දෙනවා............. නියමයි රවී.....................

    ReplyDelete
    Replies
    1. කුරුටු ළමයි ( අරූගෙ වචනයක් )

      බොහොම ස්තූතියි ඔබ සියල්ලන්ටම....:)

      Delete
  16. ආයුබෝවන්ඩ මචෝ......කොටස් දෙකම එකපාර කියෙව්වා. උඹේ හැකියාව ගැන නම් කියන්න දෙයක් නැහැ. කූල් බියරුයි/බැදපු හුරුල්ලොයි වගේමයි. රසත් එහෙමයි, ලාවට ඇඟට පතට නොදැනී දෙන කික් එකත් එහෙමයි.

    රවී....තැනක් හෝ සිදුවීමක් විග්‍රහ කිරීමේදී ඒ ඩිටේල්ස්වලට යන්න උඹ තරම් රුසියෙක් නැහැ. (විශේෂයෙන්ම බාර් එකක් හෝ කට්ටිය සෙට් වෙන තැනක් ගැන ) අම්මපා බොන්නම හිතෙනවා ඒ වගේ තැන් කියවනකොට.

    මම තනියෙන් බොන්න ගියාම කැමතිම වැඩක් තමයි නොදන්න බුවෙක් එක්ක සෙට් වෙන එක. මම ආසයි උන්ට ඇහුම්කන් දෙන්න. පොකට් එකට අවාසියි. ඒත් ඒ මගේ ආශාවක්. අර ප්‍රොෆෙෂනල් කොකු කාරයෝ නම් මට හැරෙනකොට හඳුනගන්න පුළුවන්. උන් නම් නියම වාත. දෙහිවල පර්ලින්, නුගේගොඩ පුබුදු, කොම්'වීදියේ කාසල් එකේ එහෙම එවුන්ව තාම මතකයි. උන් අපිට වඩා ආතල් එකක් ගන්නවා නොමිළේ. ඉන් බොහොමයක් පරණ රජයේ සේවකයෝ. ඉංග්‍රීසියෙන් තමයි කතාව පටන් ගන්නේ. පව් බං බොන්න තියෙන ආසාවනේ.

    නුවර කැසමරා එකේ මම කිහිප විටක් බීලා තියෙනවා. කාසල් එකටත් වරක් හෝ දෙකක් ගිහින් තියෙනවා.
    මචං...ඔය වගේ අමතක කරන්න බැරි චරිත, මටත් හමුවී තියෙනවා. සමහර වෙලාවට බොන්න ගිය ආතල් එකත් සමහරු නිසා නැතිවෙලා තියෙනවා. මොනවා වුනත් ලංකාවේ අවන්හල සුන්දරයි බං. සිගරට් දුම, පල් අරක්කු ගඳ, තොරතෝන්චියක් නැති කියවිල්ල...මම ඒවාට ආදරේ කරා. ඒ අතින් බලපුවාම මෙහේ පබ්ස් පාළු සොහොන් පිටි වගේ. ඒක වෙනම සොමියක්. අශෝක වීදුරුව, ලෑලි මේසය, අත පිහිදන පත්තර කෑල්ල, බයිට් එක කන්න දෙන ටූත් පික් එක..මේවා ඔක්කොම සදාතනික මතකයන්. හිත එතන. ඒ තැන්වලට එක්කන් යනවාට උඹට ස්තූතියි!!!

    අපි දිගටම හමුවෙමු!!

    ReplyDelete
    Replies
    1. අරූ,

      ස්තූතියි මචං..පහුගිය ටිකේ උඹේ කමෙන්ට් එකක් නැතුව බොහොම ලොකු අඩුවක් තිබ්බා..

      මචං බාර් වල බොන එකේ තියන වින්දනය වෙන කෙනෙකුට කියල දෙන්න අමාරුයි. වෙන එකක් තියා මගෙ සුරා පානයෙහි යෙදෙන යාලුවොත් බොහෝ දෙනෙක් හිතන්නෙ මට පිස්සුය කියල...හෙහ්,හෙහ්, " තොට පිස්සුද බං...බොන්ට ඔව්ව අස්සෙ රිංගන්නෙ? සිගරට් දුං ගඳයි, එක එකාගෙ දාඩිය ගඳයි, ඒ මදිවට ගලුයි පොලුයි, ජිනුයි බියරුයි ඔක්කොම එකට මික්ස් වෙල එන ස්මෙල් එක...යකෝ බොන්ට ඕන නං යමං අපෙ ගෙදර, ගිහිල්ල නාගෙන එහෙම රිලැක්ස් එකේ බැල්කනි එකට වෙල හොඳ බයිට් එකකුත් හදාගෙන ගහමු ඇති වෙනකල්."

      එහෙම කියන එවුන්ට මොකක්ද මචං මම කියන්නෙ? ඒ බැල්කනි ආතල් එක වෙනයි මේ ආතල් එක වෙනයි කියල උන්ට මම තේරුම් කරන්නෙ කොහොමද? ඒක කවදාවත් පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම උංට තේරුම් ගන්න පුලුවන් නම් උං ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්නෙත් නෑ...විවිධ රස වින්දනය කියන එක බලෙන් දෙන්ට පුලුවන් දෙයක් නෙවෙයි. එක්කො ඒක ඇඟේම තියනව. නැත්තං නෑ..

      බොරැල්ලෙ ඩියුරෝයි එක කොටුව ස්ටේෂන් එක ඉස්සරහ වික්ටරි එක..ඒ තවත් මගෙ ප්‍රියතම පොට් දෙකක්.

      Delete
    2. නොබිපු තැනක් නැති ගානයි... හික්. හික්...

      Delete
    3. උපේක්ෂා,

      ඒක වෙන්නෙ මෙහෙමයි. එක්කො බාර් කාරයන්ට අපිව එපා වෙනව දවස් දෙකෙන්. නැත්තං අපිට බාර් එක එපා වෙනව. ඒ දෙකෙන්ම වෙන්නෙ අපි වෙන තැනකට යන එක. එහෙම ගිහිල්ල ගිහිල්ල හොඳයි කියල හොයාගත්තු තැන් තමයි ඔය කිව්වෙ...:)

      Delete
    4. මම හිතන්නේ රවී අයියගෙත් ඇල්කොහෝල් වලට බ්ලඩ් පොඩ්ඩක් මික්ස් වෙලා ඇත්තේ .. ලේ දෙනකොට පරිස්සමින් .. මිනිස්සු ඔටෝ වෙරි වෙයි .. :D

      Delete
    5. Pathum,

      / ලේ දෙනකොට පරිස්සමින් .. මිනිස්සු ඔටෝ වෙරි වෙයි .. :D /

      ලේ දෙන එක මම බොල එකල සිටම කරගෙන ආව..මගෙ තියනව අර ලේ හුඟක් පාරක් දුන්නම දෙන කාඩ් එහෙකුත්. ඒ කාඩ් එක තියන අයට, එයාලගෙ ඥාතී හිත මිත්‍රාදීන්ට රෝහල් ගත උනහම ලේ දෙන්ට උනොත් ප්‍රයෝරිටි දෙනව. ඒ වගේම ඒ වෙනුවට ලේ ඉල්ලන්නෙ නෑ. උඹටත් මල්ලි එහෙම ඕන කමක් උනොත් මගෙ නම කියපං..අර නිදහස් සිතුවිලි ලියන බුවා කිව්වම ඕන කෙනෙක් දන්නව.

      ලේවල ඇල්කොහොල් තිබ්බට මිනිස්සු එහෙම වෙරි වෙන්නෙ නෑ මයෙ හිතේ. දෙයියම්පල්ල එහෙම මගෙන් ලේ අරං කවුරු හරි වෙරි උනානං එහෙම මම උගෙං ඉල්ලනව අරක්කු කාලක ගාණ " අඩෝ මේ ලේ විතරයි නොමිලේ අරී...දීපං ඩෝ කාලක සල්ලි මම නරක මිනිහයි නොකිය "

      මිනිස්සු නම් නෙවෙයි මල්ලි, හොඳට දාල නෙට් එක දාන්ට අමතක වෙල නිදාගෙන රෑ ජාමෙ වතුර බොන්ට හරි බඩදිය බාන්ට හරි ඇහැරෙනව නේද? මෙන්න වැඩේ..ඇඳ වටේටම මදුරුවො බඩ පුරා ලේ බීල වැටිල ඉන්නව...අම්බානක ඩෝප්...හෙහ්,හෙහ්,

      Delete
  17. නියමයි රවි අයියෙ.මිනිහ එතකොට අනිකගෙ කොනෙන් කතාව කිවුවෙ නේ.මමත් හිතාන හිටියෙ පාන්ශුදෙහධාරි කිවුවම උස මහත දෙකම කියල.එහෙම නෙමෙයිවගෙ නේ.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      ස්තූතියි මල්ලි..ප්‍රාංශු කියන එකේ තේරුම ගැන තවත් හොයල බලන්න ඕන...:)

      Delete
  18. අදයි කියවන්න පටන් ගත්තෙ. මේ කතාවනම් පට්ටයි.

    ReplyDelete
    Replies
    1. බස්සි,

      අඩෝ..මොනාද ඩෝ මේ කතාව නම් පට්ටයි කියන්නෙ...ඔක්කොම කතා එහෙම තමයි ඩෝ හරී? ...ඔන්න විහිලුවට හොඳය? ස්තූතියි බස්සි....:)

      Delete
  19. මම නම් තනියම ගිහින් බීලා නෑ... සාමාන්‍යයෙන් මට මේ වගේ කට්ටිය සෙට් වෙන්නේ කෝච්චියේදි හරි බස් එකේදි හරි. ඒක කාලයක් මගේ බස් හෝ කෝච්චි ගමන අඩුම ගානේ පැය පහක් හයක් දිගයි. සිව්දෙස, මුතුහර, මනහර සඟරාවක් තමයි මම තෝරගන්නේ කාලෙ ගෙවන්න. ඒ වෙලාවට කතා කරන්න කෙනෙක් සෙට් වෙනවා කියන්නේ මහම මහ චාටර් වැඩක්. ඔය කතා නොකරන වැඩේ නිසා සමහර වෙලාවට පාඩුත් සිද්ධවෙනවා.

    මට මතකයි එක ලේඛකයෙක් ලියලා තිබ්බා ගුවන් ගමනක් අතරතුර ඒ වගේ එහා පැත්තේ සීට් එකට සෙට් වෙච්ච ප්‍රාංශු දේහධාරියෙක් ගැන. පොරගේ වැඩේ ඉල්ල ඉල්ල බොන එකලු. ඒ නිසා මෙයා කතා කරන්න ගිහින් නෑ වාතයක් වෙයි කියලා. පස්සෙ දැනගෙන තියෙන්නේ ඒ මහගමසේකර කියලා.

    ReplyDelete
    Replies
    1. තිසර,

      බස් කෝච්චි ගමන් වලදි ...විශේෂයෙන්ම කෝච්චියෙදි තමයි...අමර පොරවල් සෙට් වෙනව. ඒ එක්කම මහ එලොවටත් නැති මෙලොවටත් නැති වාතත් සෙට් වෙනව. ඒක ඉතිං තමංගෙ වෙලාව අනුව තමයි. සේකර ගැන අර කතාව මම කලින් අහල තිබ්බෙ නෑ.....:)

      Delete
  20. කතාවට අදාළ නොවන කොමෙන්ට් එකක් බව කරුණාවෙන් සකලන්න

    ඔයා අර කලින් ලියපු මොකක් හරි පොස්ට් එකක රොබට් නොක්ස් ගේ පල හිලව්වක් ගැන කතාවක් ලියන්න විස්තර හොයන සින් එකක් කිව්වා නේද ?

    මම අපේ ගෙදර තිබ්බ මිනිහගේ කතාව තියෙන පොත කියෙව්වා . මිනිහ හෙන හොඳ බුවෙක් . ඒ කියන්නේ හීනියට වගේ ළඟ ගෙදරක කෙල්ලෙක් ට පොඩි ලව් එකක් තිබුනට මිනිහට ආපහු එංගලන්තෙට යන්න තියෙන උවමනාව නිසා එතනින් එහාට අඩියක් තියල නෑ .. දුරින් සිට ඔබ දෙස බලන්නම් වගේ සීන් එකක් තමයි ඒ කතාවේ තියෙන්නේ .

    මමත් පොර ගැන හිතන් හිටපු විදිය සම්පුර්ණයෙන් වෙනස් වුණා එක බලපුවහම . අසරණ සුද්දෙක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලංකාවට හරිගියේ.. පෝස්ට් එකක් දාහං උඹ නොක්ස් ගැන හිතපු ඒවා ගැනයි ඇත්ත නොක්ස් ගැනයි

      Delete
  21. යකෝ රවීයියේ බ්ලොග පැත්තේ එන්නත් බයයිනේ බං.මේකේ දැන් එන්නෙම මර්ඩර් හවුස් ගැනයි,මර්ඩර් කාරයෝ ගැනයි,බොන්නෝ ගැනයි නේ...:D
    ඇත්තෙන්ම පුදුම කතාවක් මේක ඈ.සමහරවිට විජේට වුමනාව තියෙන්න ඇති කාට හරි මේ කතාව කියලා හිත නිදහස් කරගන්න.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි