Thursday, December 18, 2014

294. නිල් කට්රොල් මල්.......



 පියුමක් රැගත් ළඳ - අජන්තාවේ සිතුවමකි 

සූව දශකයෙහි මැදභාගයෙහි පමණ දඹුල්ලෙහි කාර්මික විද්‍යාලයක් ඇරඹුනු වහාම මම රැකියාවන්හි නියුක්තවූවන් උදෙසා එහි පැවැත්වෙන බවට රජයේ ගැසට් පත්‍රයෙහි පළකොට තිබූ අර්ධකාලීන වෘත්තීය පාඨමාලාවක් සඳහා අයදුම් කළෙමි. 


අපොස උසස්පෙළ විභාගයෙන් අනතුරුව සැලසුම්කරණය පිළිබඳ එක් අවුරුදු කාර්මික විද්‍යාල පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව මම රැකියාවක් කිරීමට තීරණය කළෙමි. මේ වනවිට මගේ මව්පියන් දෙදෙනාම විශ්‍රාම ලබා සිටියෝය. රජයේ සේවයෙන් ලැබුණු වැටුප හැරුණුකල වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොවූ ඔවුන්හට දරුවන් තිදෙනෙකුට ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ අධ්‍යාපනය ලබාදෙනවාට අමතරව තම පවුල් වෙනුවෙන්ද මාස්පතා යම් වියදමක් දැරීම අනිවාර්ය වූයෙන් සැලකියයුතු මුදලක් මහජන බැංකුවෙහි පවත්වාගෙන ගිය ඔවුන්ගේ හවුල් ගිණුමෙහි කිසිදිනෙක ඉතිරි නොවීය. 



එබැවින් විශ්‍රාම ලැබූ මතු එතෙක් පදිංචිව හුන් රජයේ නිල නිවස ආපසු භාරදුන් ඉක්බිති ඉඳුම් හිටුම් ගැටළුව මතුවන බව දත් ඔවුහු විශ්‍රාම යාමට වසරකට පමණ පෙර තමන් වැර වෑයමෙන් ඉතිරිකොට තිබූ සුළු මුදල සහ ඉඩමක් මිළදී ගැනීම උදෙසා එදවස රජයේ සේවකයින්හට රාජ්‍ය බැංකුවලින් ලබාදුන් ණය මුදල ද උපයෝගී කොටගෙන මවගේ පාරම්පරික නිවස ආසන්නයේම පැරණි මාදිලියේ නිවසක් සහිත කුඩා ඉඩම් කැබැල්ලක් මිලයට ගත්හ. 



1984 වසරෙහි ජූනි මස මුල් සතියේ දිනෙක පුරා සතළිස් වසක රජයේ සේවයට සමුදුන් මපියාණෝ සියළු රජයේ සේවකයින්ට පොදුවූ ස්ථානමාරු ලැබ දිවයින පුරා කල සංචාරයට තිත තබා වසරකට පෙර මිළදීගත් නිවසෙහි අඹුදරුවන්ද කැටුව පදිංචි විය. 



ඒ වනවිට මගේ කුළුඳුල් රැකියාවෙහි නිරතව හුන් බැවින් මම අනුරාධපුරයෙහිම නතර වූයෙමි. කාර්මික විද්‍යාල පාඨමාලාව හදාරන අවදියෙහි දැන හඳුනාගත් මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නිවසට යාබද නිවසෙහි මාස කිහිපයක් ද ඉන්පසු තවත් මගේ කාර්මික විද්‍යාල මිතුරකු හා සමඟ ඔහුගේ බන්ධනාගාර නිළ නිවසෙහිද මම කල් ගත කළෙමි.( දෙවනුව සඳහන් කල මා මිතුරා කාර්මික විද්‍යාල පාඨමාලාව අතරමඟ අතැර බන්ධනාගාර සේවයට එක්වූ බව මෙහි ලා සඳහන් කල යුතුය ) 



මාසය අවසානයෙහි සැළකිය යුතු මුදලක් අතට පත්වුනු, එසේම දෙමව්පිය අධීක්ෂණයකින් තොරව ගතවුනු වසර අඩකට ආසන්න ඒ කාලය සිහිපත් වන කල අදටද මසිතේ හටගනුයේ සියුම් සතුටක් හා සමඟ මුසුවුනු කණගාටුවක් වන් හැඟීමකි. 

යන්තමට අකුරු කියවිය හැකි අවධියට එළඹෙන්නාත් සමඟම අතට අසුවන ඕනෑම පොතක් දිවා රාත්‍රී නොතකා කියවීමේ පුරුද්ද හේතුකොටගෙන පුරාණ ඉතිහාස කථා කෙරෙහි මසිත හටගත් නොතිත් ඇල්ම වඩාත් වර්ධනය වූයේ එවකට රට පාලනය කල සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුතු සමගි පෙරමුණු රජය විසින් නව විෂයමාලා නිර්දේශය යටතේ සයවන පංතියෙහි පටන් ඉගැන්වීමට නියම කොට තිබුණු සමාජ අධ්‍යයනය විෂයය හේතුකොටගෙනය. 

නයිල් නදී ශිෂ්ඨාචාරයෙන් ඇරඹී දෙගංමැදි රාජ්‍යය, හොවැංහෝ නදිය අසබඩ පැනනැඟි චීන ශිෂ්ඨාචාරය හරහා මොජෙන්ජෝදාරෝ හරප්පා කරා ඇදී ආ මානව සංවර්ධනය ඉන්පසු ග්‍රීක සහ රෝම සභ්‍යත්වයන් වෙත යොමුවු අයුරු විෂයභාර ගුරුවරයා වූ ජයසේකර මහතා විස්තර කරනු තුදුස් වියේ පමණ පසුවූ අප අසා සිටියේ අයාගත් දෑසිනි. 

සමාජ අධ්‍යයනය විෂයයට අදාල එක් ක්‍රියාකාරකමක් ලෙස ඒ ඒ විෂයය ඒකකයට සම්බන්ධ රූප හෝ වෙනත් යම් චිත්‍ර සටහන් එක් රැස්කොට අලවා අප එකිනෙකා විසින් C.R.‍ ප්‍රමාණයේ පොතක් සකස් කිරීම අනිවාර්ය විය. ( ඒ හැඳින්වූයේ ක්ෂේත්‍ර පොත නොහොත් Scrap Book යන නාමයෙනි. ) 

ප්‍රධාන පොත්හල්වලින් මිළදීගත හැකි ජාතික වීරයින්ගේ රූප අඩංගු පත්‍රිකාව හැරුණු විට වර්තමානයෙහි මෙන් අන්තර්ජාලය මඟින් අවශ්‍ය ඕනෑම රූපයක් එකෙණෙහි බාගත කොට ගැනීමෙහි පහසුකම් පිළිබඳව සිහිනෙන් හෝ අසා නොතිබුණු අප බොහෝවිට කලේ චිත්‍රශිල්පයෙහි දක්ෂ වැඩිමල් සොහොයුරකු / සොහොයුරියක ලවා හෝ මව්පියන්ගෙන් කෙනෙකු ලවා අදාල චිත්‍ර අන්දවා ගැනීමය.මපියා චිත්‍ර ශිල්පයෙහි සැළකියයුතු නිපුණත්වයක් දැක්වූයෙන් ඒ කාර්යය ඔහුට භාරවූයේ නිරායාසයෙනි. 

ඔහු විසින් පැන්සලෙන් ඇඳ ඉන්දියානු තින්තෙන් හැඩ දැමූ සුමේරියානු පූජකවරයෙකුගේ උඩුකය පිළිමයක රේඛා චිත්‍රය මොහොතක් දෑස පියාගත් කල මට දැනුදු මැවී පෙනෙනුයේ දශක සතරක කාලය එක් සැනෙකින් නිමේශයකට හකුළුවා ලමිනි. 

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් පර්සියාවේ ඩේරියස් රජු තීරණාත්මකව පරාජයකල අර්බෙලා හි සටන පිළිබිඹුවන සිතුවම ද එලෙසම මගේ මතකයෙහි නොමැකෙන ලෙස සටහන්ව ඇත. 

මෙලෙස ඉතිහාසය පිළිබඳව මසිත පිරී ඉතිරුනු අසීමිත ආශාව සහ උනන්දුව නිසාම කුළුඳුල් රැකියාව ලෙස ඉතිහාසය සහ පුරාවිද්‍යාව අධ්‍යයනයෙහි සහ සංරක්ෂණයෙහි නිරත ආයතනයකට සම්බන්ධ වන්නට ලැබීම මම පෙරකල පුණ්‍ය කර්මයක් පළදීමක් ලෙස සැළකීමි. 

අනුරාධපුර අභයගිරි දාගැබ සහ ඒ අවට අක්කර දහස් ගනනක් පුරා පැතිරි සංඝාවාස, විවේක ශාලා, සන්නිපාත ශාලා, රෝහල් ආදියෙන් සැදුම්ලත් අභයගිරි විහාර සංකීර්ණයෙහි සංරක්ෂණ කටයුතුවලට සම්බන්ධව ජීවිතයෙහි අරුණෝදයෙහි ගතකල ඒ වසරකට මඳක් අධික කාලය පසු කලෙක මගේ ජීවිතයෙහි මහත් බලපෑමක් ඇතිකල බව කිවහොත් ඒ කිසිසේත්ම අසත්‍යයක් නොවේ. 

සඳ පහන් රැයක අභයගිරි දාගැබෙහි සළපතල මළුවෙහි එරමිණිය ගොතා හිඳින සඳ, සඳ රැසින් නැහැවී ගිය මළුවෙහි වසර දහස් ගණනකට පෙර සුදුවතින් සැරසුණු සහස් සංඛ්‍යාත උවසුන් උවැසියන් දොහොත් මුදුන් තබා හිටිපියවර සෙල්මුවා පිළිම මෙන් හිඳ සෑය නමදිනු මම දුටුවේ වරක් දෙවරක් නොවේ. එසේ වැඳුම් පිදුම් ලැබූ මේ අසහාය චෛත්‍යරාජයාණන් අද වල් බිහිව නටබුන්ව ගොස් ඇති අයුරු ජීවිතයේ අනිත්‍යය මෙනෙහි කිරීමට අපූර්ව නිමිත්තක් නොවේද? 

මහමෙවුනාවේ කොහොඹ තුරු පත් අතරින් පුන්සඳ එබී බලනා රාත්‍රියක සමාධි පිළිමය ඉදිරිපිට හිඳ බුදු හිමියන්ගේ ශාන්තවූ වත දෙස අනිමිස ලෝචනයෙන් බලා හිඳීමෙන් සිතට දැනෙනා නිරාමිස සුවය මෙදියත වෙන කිසිදු අයුරකින් ලබාගතහැකිවේ යයි මම කිසිසේත්ම නොසිතමි. 

භාරතයෙහි ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු තුමා දිවයිනට පැමිණි සෑම විටෙකම සමාධි පිළිමය අසල සුළු කාලයක් හෝ ගත කිරීමට අමතක නොකළේය.ඉන්දීය නිදහස් අරගලයේදී බ්‍රිතාන්‍යයන් විසින් සිරගත කල කල්හි ඔහුගේ සිතට මහත් සැනසුමක් ගෙන දුන්නේ සමාධි පිළිමයේ කුඩා අනුරුවක් බව නේරු චරිතාපදානයෙහි සඳහන්වන බව මගේ මතකයේ ඇත. 

මා හා සමකාලීනව සීගිරිය ව්‍යාපෘතියෙහි නේවාසික සැළසුම් ශිල්පී ලෙස සේවය කල සරත් අනුරාධපුර කාර්මික විද්‍යාලයෙහි මට එක් වසරක් ජේෂ්ඨයකි.නොයෙක් නේවාසික වැඩමුළු ආදියට සහභාගිවන කල අප නවාතැන් ගත්තේ සීගිරිය පැරණි පුරාවිද්‍යා සංචාරක නිවාසය පිටුපස පිහිටා තිබූ ඔහුගේ නිල නිවාසයෙහිය. 

මා පිය මිතුර/මිතුරිය, කාලය මෙසේ ගෙවී ගියේය. පුරාවිද්‍යා ආයතනයෙහි සේවයෙන් ඉවත්වූ මම අර්ධ රාජ්‍ය වාරිමාර්ග ආයතනක සේවයට එක්වූයේ ආර්ථිකය මෙන්ම මතු දියුණුවද සැළකීමෙනි. 

මේ වනවිට අප මිලදීගත් පැරණි පන්නයේ නිවසෙහි පදිංචිව හුන් මව්පියෝ එහි සැළසුම සම්පූර්ණයෙන් වෙනස් කොට නව නිවෙසක් ඉදිකිරීමේ කටයුත්තට මුල පුරා සිටියහ. වැර වෑයමෙන් ඔවුන් ඉතිරිකොටගත් මුදලින් මේ වනවිට සැලකියයුතු ප්‍රතිශතයක් වැයවී තිබුණෙන් බොහෝවිට නිවසෙහි ඉදිකිරීම් කටයුතු කෙරුණේ මවිසින් ඉතිරිකොට යැවූ මුදලිනි. එබැවින් මේ කියන කාල වකවානුව වනවිට මා සතුව සෑමවිටම පැවතියේ එදිනෙදා වියදමට ද නොසෑහෙන අයුරු ස්වල්ප මුදලකි. එහෙත් රැකියාවෙහි මතු දියුණුව උදෙසාම සහ අනාගත ආයෝජනයක් ලෙස මම දඹුල්ල කාර්මික විද්‍යාලයෙහි පාඨමාලාව හැදෑරීමට තීරණය කලෙමි. 

මා සමඟ සේවය කල මිතුරෝ කිහිප දෙනෙක්ද මා සමඟම පාඨමාලාවට අයදුම් කළෝය.දේශන පැවැත්වෙනුයේ සතියේ දින හතරක සවස්කාලයේ බව අයදුම්කිරීම පිළිබඳ විස්තර පළවූ ගැසට් පත්‍රයෙහි පළවිය.එහෙත් විදුහල්පති තුමා සමඟ සාකච්ඡා කොට පංති පැවැත්වීම සති අන්තයට යොදා ගැන්මට අපි සමත්වීමු. සෙනසුරාදා හිමිදිරියෙහි කඳවුරෙන් පිටත්ව දඹුල්ලට පැමිණ සම්පූර්ණ දවසම පංතිවලට සහභාගීවන අප බොහෝවිට එදින රාත්‍රිය ගත කලේ සීගිරියෙහි අප හිතවත් සරත් හා සමඟ ඔහුගේ නිල නිවාසයෙහිය. 

( සමාවන්න....මෙපවත් ඔබට පැවසීමට අතපසු විය. එකල මා හා සමඟ එකම පුරාවිද්‍යා ආයතනයෙහි සීගිරිය ව්‍යාපෘතියෙහි සේවය කල මා මිතුරු සරත් ද අප සමඟ පාඨමාලාව හැදෑරීමට එක්ව සිටියේය. ) 

පාඨමාලාවෙහි පළමු වසර ගෙවී ගියේ අසුරු සැණෙකිනි. දෙවන වසරෙහිද අඩක් පමණ ගෙවීයන්නට ඇත.එක් සතිඅන්තයක ඉරිදාව පසළොස්වක පොහෝ දිනයකි. සෙනසුරාදා පංති අවසානයේ මගේ මිතුරෝ සියළුදෙන තම නිවෙස් බලා පිටත්වූයේ කල් ඇතිවම ඊලඟ සතියේ මුල් දින දෙක හෝ තුන නිවාඩු අනුමත කොටගෙනය. ඒ ආසන්නම බෘහස්පතින්දා මාසික වැටුප ලබාදීම ද මේ නිවෙස් බලා යෑමට ඉවහල් විය. හදිසියේ මපියාණන් රෝගී වූ හෙයින් දින තුනක් නිවාඩු ලබා නිවෙස බලා ගිය මම නැවත සේවයට වාර්තාකලේ ඉකුත් බදාදා බැවින් යලි ගෙදර නොගොස් සෙනසුරාදා පංති අවසානයේ ආපසු වැඩබිම බලා යාමට මම තීරණය කොටගෙන සිටියෙමි. 

" දැං උඹ මොකටද බං මේ රෑ තනියම යන්නෙ? හෙට මොකවත් අත්‍යාවශ්‍ය වැඩක් තියෙනවද? " 

කදුරුවෙල බසයක් බලාපොරොත්තුවෙන් මා හා සමඟ දඹුල්ල මංසන්ධියෙහි රැඳී සිටි සරත් එක්වරම මදෙස හැරී බලා විමසීය. විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇරඹීම හේතුවෙන් දඹුල්ල නොනිදන නගරය යනුවෙන් විරුදාවලි ලැබීම තවත් වසර කිහිපයක් අනාගතයේ වූ එදවස රාත්‍රි හතේ කණිසම ආසන්න වෙද්දී සියළු කඩපිල් දොර ලෑලි වලින් ආවරණය වී තැනින් තැන වැතිර පසුවන අයාලේ යන ගවයින් කිහිප දෙනෙකු හැරෙන්නට දඹුල්ල නගරය නින්දට යන්නේය. 

" එහෙමට අත්‍යාවශ්‍ය වැඩක් කියලනං නෑ මචං..ඒත් මම යන්න හිතුවෙ උඹලගෙ ක්වාටර්ස් එකට ගියාය කියල ආය මොනව කරන්නද? සර්කිට් එකේ තියන දෙයක් කාල බුදියනව මිසක..ආය හෙට උදේ ආපහු යන්ට එපාය අලුතෙන්ම ලෑස්තිවෙලා...හෙහ්,හෙහ්," 

" මේ හෙට පාළොස්වක නේද?අද හඳ පායල තියෙයි නියමෙට..මට මතකයි උඹ ඒ කාලෙ ඉඳල කිව්ව පුරා හඳ පායපු පාළොස්වක දවසක සීගිරිය ගල උඩ පැය තුන හතරක් ඉන්ට ආසයි කියල. ඒ ගැන කොච්චරවත් කතා කලාට උඹට මචං ඒ අත්දැකීම විඳින්ට බැරිවුනානෙ. මොකද කියන්නෙ? අද යමු රෑ සීගිරි නඟින්ට හඳ පානෙ.." 

අනුරාධපුරයෙහි අභයගිරි ව්‍යාපෘතියෙහි සේවය කල සමයෙහි සිටම පුරා සඳ පෑයූ රාත්‍රියක සීගිරි පව්ව තරණය කිරීමට මා තුල වූයේ බලවත් ආශාවකි. ඒ ආශාව වඩාත් තීව්‍ර වූයේ හත් අට වරක්ම ඒ අත්දැකීම ලබාසිටි සරත්ගේ ඒ පිළිබඳ වර්ණනාව ඇසූ අනතුරුවය.එහෙත් පුරාවිද්‍යා ව්‍යාපෘතියේ සේවයෙන් ඉවත්වනතෙක්ම මට ඒ සඳහා අවස්ථාවක් නොලැබිණි. 

" අන්න මල්ලි වැඩේ...යමු..යමු..යමු...මගෙ ඒ කාලෙ ඉඳලම දොළ දුකක්නෙ ඕක...උඹට මතකනෙ.." 

සුරත සරත්ගේ ගෙල වටා යවා ඔහු තරව වැළඳ ගනිමින් මම පැවසූයෙමි. 

" බඩ පුරා බත්කාල සීගිරි නඟින්ට බෑ බං..ඉඳහංකො යන ගමන්ම සර්කිට් එකේ අප්පුහාමි අයියට කියල යමු රොටි හත අටක් හදල ලුණු මිරිසකුත් කොටල තියන්ටෙයි කියල. උණුවතුර බෝතලේට තේ එකකුත් දාගෙන යමු. ආ....මේ ගල උඩ මාර හීතලයි. හුලඟත් එක්ක. උඹට මම දෙන්නං ජර්සි එකකුයි කං වැහෙන්ට බූල් තොප්පියකුයි..." 

හබරණ මාර්ගයේ ධාවනය වූ අප රැගත් පෞද්ගලික බස් රිය ඉනාමළුව මංසන්ධියෙන් දකුණට හරවනවාත් සමඟම සරත් මදෙස හැරී බලා පැවසීය. 

සීගිරිය පැරණි සංචාරක බංගලාව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා තිස් හෝ හතළිස් වන දශකයේ වසර දහස් ගණනක් පොළව තුල වැලලී තිබූ සීගිරි ආශ්චර්යය යලි මතුකොට ගනු උදෙසා කැණීම් කරන අවධියේ ඔහුගේ නවාතැනයි.එහි ආලින්දයෙහි සිහගිරි පව්ව එක එල්ලේ දර්ශනය වන එක කෙළවරක ඒ මහා පුරුෂයා දවස පුරා කල කැණීම් වලින් වෙහෙසට පත්ව විවේකගත් වේවැලින් වියන ලද කළුවර දික් සඟලා පුටුවක් මා මේ කියන දශක දෙකහමාරකට පෙර ද එහි තිබිණි. 

සඳ කිරණින් නැහැවීගිය සිහගිරිය පර්වත මස්තකයේ මනහර දර්ශනය සිත අමන්දානන්දයට පත්කලේ නිරායාසයෙනි.සීගිරියට නැගෙනහිර දෙසින් සඳ රැසින් නැහැවෙමින් බබලන්නේ පිදුරංගල විහාරයයි.. සීගිරියෙහි වැනි වූ බිතු සිතුවම් බොහෝ ගනනක් එහි ලෙන් වලද ඇතිමුත් ඒවා බොහොමයක් කාලයේ රුදුරු ග්‍රහණයට හසුව විනාශවී ගොසිනි. හාත්පස නරඹමින් සිසිල් සුලඟෙහි පහස විඳිමින් බොහෝ වේලාවක් ගත කල මම ගඩොලින් බැඳි පියගැට පෙල තරණය කොට කාශ්‍යපයන්ගේ මාළිගා සංකීර්ණයට ඇතුල් වූයෙමි. එදවස ආලකමන්දාධිපති කුවේරයින් මෙන් සර්වාභරණ විභූෂිතව කාශ්‍යප රජතුමන් අහසේ දිදුලන විදුලි දහරාවන් සේ ලෙලෙනා රූමත් නාටිකාංගනාවන්ගේ අයස්කාන්ත රැඟුම් නැරඹීමට භාවිතා කලේ යයි ප්‍රචලිත පර්වත මස්තකයේ නැගෙනහිර දෙසට ආසන්නව පිහිටි ශෛලමය ආසනය මත බද්ධ පර්යංකයෙන් හිඳගත් මම උඩ සාක්කුවෙහි වූ කඩදාසියක එතූව ප්‍රවේශමෙන් දිගහැර කලිසම් සාක්කුවෙන් ගත් ගිණිපෙට්ටියෙන් කූරක් ගසා දල්වා ගතිමි. 

ළයපුරා ඉහලට ඇදුනු දුම බොහෝ වෙලා රැඳී සිට ඉක්බිති නාසයෙන් සෙමින් පිටවූයේ මා දෑස් තරව පියවමිනි. සුළං රැල්ලත් සමඟ පැතිර ගිය ඊටම ආවේණික නාසය විනිවිදින කටුක ගන්ධයත් සමඟ යාර දහයක පමණ මෑතින් වූ පොකුණ අසල හුන් සරත් වහා මදෙස හැරී බලා පියගැටපෙල නැඟ එන්නට විය. 

" කොහෙන්ද බං ඔය? " 

පියගැට පෙල මැදදීම ඔහු මහ හඬින් විමසීය. 

" කෑනොගහ මෙන්න මෙහෙ වරෙං බං...මේක මම සර්කිට් එකේ අප්පුහාමි අයියට කියල ගෙන්න ගත්ත. උඹ අර නාගන්ට කියල ගිය වෙලාවෙ. " 

" මල මඟුලයි..උඹත් කරන වැඩ..දැන් අප්පුහාමි අයිය සැක කරයි මාත් මේකට සම්බන්ධයි කියල…" 

" පිස්සුද බං ? අප්පුහාමි අයිය සැක කරන්නෙ නෑ.." 

" ඈ? ඒ කොහොමද උඹ ෂුවර් එකටම කියන්නෙ? " 

" ආය සැක කරන්ඩ දෙයක් නෑ බං .මම ඒ මනුස්සයට කිව්වෙ මෙව්ව උඹටයි කියල…" 

" තොගෙ *******……" 

සරත් මහ හඬින් සිනාසුනේය. ළය පුරා තවත් වරක් ඇදි දුමාරයෙහි බලපෑම දැඩිව දැනෙන්නට වූයෙන් මම ද ඔහු හා එකව හඬ නඟා සිනාසුනෙමි. 

" දියං මටත් උගුරක්….." 

සරත් සුරත දිගුකලේය. කමිසයේ උඩ සාක්කුවට වමතෙහි දබරැඟිල්ල සහ මැදගිල්ල සීරුවෙන් ඇතුල්කොට මම එහිවූ තවත් කඩදාසියක එතූවක් පිටතට ගෙන ඔහු වෙත දිගු කලෙමි. 

" අප්පට සිරි තව එකක් තියනවද? අප්පුව ගේන්නෙ පොල්අත්තාවෙ බඩු..ආය නෑ ඇපලෝ එකොළහ තමයි...හිහ්,හිහ්, " 

පොල්අත්තාව යනු පිදුරංගල විහාරයට නුදුරින් වන මැද පිහිටි කුඩා ගම්මානයකි. හේන් ගොවිතැන මෙන්ම දඩයමද එහි වසන අර්ධ වනචාරී ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වූහ.සිහගිරි ගමනට වසර දෙකකට පමණ පසුදිනක තවත් සඳපහන් රැයක පොල් අත්තාවේ වැව අසල වූ හේනක සුවිසල් පළු රුකක තැනූ දඩ මැස්සක හිඳ ගතකල අමතක නොවන රාත්‍රියක සුන්දර මතක සටහන්ද මේ ලියන මොහොතේදී මගේ සිහියට නැඟෙන්නේ නිරායාසයෙනි. 

කෙමෙන් දණිස් වේදනා ගෙන දෙන්නට වූයෙන් මම දණිස් දිගහැර ශෛලමය ආසනයෙහි හොඳහැටි හිඳගෙන පසුපසවූ ගඩොල් බිත්තියට හිස තබා දෑස් විවර කොට එක එල්ලේ හිස් මුදුනට ඉහළින් පායා දිලෙන පුන් සඳ මඬල දෙස බලා සිටියෙමි. කෙමෙන් මා දෑස් පියවෙන්නට වූයේ අනායාසයෙනි. 

තැනින්තැන විශාල රුක් ගොමු වලින් සමන්විත වුවද හිස ගිනිලන තරමේ උණුසුමක් නිකුත් කරමින් දැවෙන තැනිතලා මුඩුබිමක් ඔස්සේ දිවෙනා කරත්ත පාරක් ඔස්සේ ගමන් කරමින් හුන්නේ යොවුන් වියේ අපරභාගයට ලඟාවෙමින් සිටිනා තරුණයෙකි. කිසිසේත් පැහැපත් නොවූ ඔහුගේ ඡවි වර්ණය කළු සහ තළ එලලු අතර වූ වර්ණයක් ගත් අතර ඝණ බැම සඟල සහ මුහුණ පුරා වර්ධනය වූ මුදු ගැසුණු රැවුල ගෙන දුන්නේ ප්‍රතාපවත් එමෙන්ම දුටුවන් සිත්හි එක්වරම තැතිගැන්මක් ඇතිකරවන සුලු පෙනුමෙකි. 

ඉතා කලාතුරකින් දුර බැහැර වන්දනාවක වන් චාරිකාවක යෙදෙන කල්හි ඒකාංශ කොට උරපලා හඳිනා ශ්වේත වර්ණ සළුවක් හැරුණු කල උඩුකය නිරාවණිතව කල්ගත කරනා පුරුෂයින් වසනා මේ දේශයට මේ තරුණතෙමේ ආගන්තුක බව ඔහුගේ උඩුකය ආවරණය වූ මල්කම් කල තුනී රෙද්දකින් නිමවූ කංචුකයකට බොහෝසේ සමාන වූ වස්ත්‍රය කියාපෑවේය.එළෙසම ඔහුගේ දකුණු උරයෙහි රැඳි ඔලගුවක් වන් ඝන රෙද්දකින් නිමවූ පැස, දෙදණ තෙක් ආවරණය වූ සරුවාලය සහ දෙපය වැසුණු පදම් කල සමින් නිමැවුණු පාවහන් යුවල ද ඔහුගේ ආගන්තුක බවට අගුල්පත් තැබීය. 

දාහයෙන් දැවෙනා තැනිතලාව පසුකොට තුරුගොමුවෙන් මනා කොට සෙවණ වූ පෙදෙසකට පිවිසි පුරුෂ තෙමේ මාර්ගය අසලමවූ ගල් තලාවක හිඳගත්තේ තම උරයෙහිවූ ඔලගුවේ බරින් සැහැල්ලු වූයේ හමා එන සිහිල් මඳ නලෙහි පහස විඳිමින් විඩා නිවන්නට වූයේය. 

අනපේක්ෂිත ලෙස ඔහු හිඳසිටි ගල් තලාව පසුපස වන බූටෑව පීරාගෙන කරත්ත පාරට පිවිසියේ මැදිවයසේ පසුවූවෙකි. එක් උරයක රැඳි දුනු හී ඔහු දඩයක්කරුවකු බවද හිස් වූ දෑත අද දින දඩයම් අසාර්ථකවූ බවද කියා පෑවේය. නොහඳුනන අමුත්තා දෙස හකුළුවාගත් දෙබැමින් යුතුව මොහොතක් බලා සිටි අසාර්ථක දඩයක්කාරයා ගල් තලාවෙහි අසුන් ගත්තේ දුනුහී පසෙක තබමිනි. 

"මේ ඇත්තො මීට කලින් දුටු පුරුදු නම් නැතුවා.කොයිබකටද මේ ගිණි මද්දහනෙ? " 

දඩයක්කාරයා විමසූයේ හිස හරවා අමුත්තා දෙස බලා යලි ඉවත බලා හනිමිනි. 

" මම මේ පිදුරංගල ගම් දෙටුවගෙ ගෙදර හොයාගෙන යන්නෙ...තමුංට ඇහැකිද මට ඒ අයිරුව කියන්ට? " 

අමුත්තා ඔලගුවද කරට ගෙන නැඟී සිටියේ වැඩි කතා බහකට නොකැමැතිබව හඟවමිනි. 

" මේ පාර දිගටම ගියාම මහ විසාල නුගයක් හම්බ වේවි. ඒ නුගේ හෙවණෙ ඉඳල දකුණු අහ එක එල්ලේ බැලුවම ගල් බොරැල්ලට ඉහත්තාවෙ මාන හෙවිල්ලල ඇත්තෙ ගම් දෙටුවගෙ නිවහන්නෙ තමා." 

අමුත්තාගෙන් පැහැදිලිව ප්‍රකාශවූ සුහද කතාබහකට වූ නොකැමැත්ත හේතුකොටගෙන නොමනාපයට පත්වූ දඩයක්කාරයා පිළිතුරු දුන්නෙ ඉවත බලාගනිමිනි. 

දඩයක්කාරයාගේ නොමනාපය නුදුටුවාසේ අමුත්තා යලි මඟ වෙත පිළිපන්නේ ගම්දෙටුවාගේ නිවහන වෙතට යුහුසුලුව පියවර මනින්නට වූයේය. 

තවත් අඩ හෝරා අඩක් පමණ ඉක්ම ගිය ඉක්බිති යථෝක්ත වනස්පතිය වෙත ලඟාවූ ඔහුට ගම්දෙටුවාගෙ නිවස්නය දඩයක්කරයා අයිරු පැවසූ අයුරින්ම බොරැල්ල එපිටින් දර්ශනය වූයේය. උරයෙන් ගිලිහී යන ඔලගුව යලි සකස්කොටගනිමින් ආගන්තුකයා සෙමෙන් ගම්දෙටු නිවස්නයේ කඩුල්ල වෙත ළඟා වූයේය. කඩුල්ල එපිටින් වූ ගෙවත්ත පුරා මලින් ගැවසි මල් ගොමු යායකි. වතුසුද්ද, කොබෝලීල, දෑසමන්, සේපාලිකා ඈනොයෙක් මල් ගොමුවලින් හමා ආ මකරන්ද සුගන්ධය ආගන්තුකයාගේ ළය පුරා පිරීගියේ ඔහු මොහොතකට පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් ඔහුගේ නිවහන වූ ආශ්‍රම පරිශ්‍රයට යළි කැඳවා යමිනි. 

දෑස් පියාගත්වනම මකරන්ද සුගන්ධය විඳිමින් හුන් ඔහුගේ දැහැන් එක්වරම බිඳීගියේ නුදුරින් ඇසුණු සිහින් හඬින් ගැයුණු ගීයක හඬිනි. එකෙනෙහිම දෑස් හැර එදෙසට සෙමෙන් හිස හැරවු ඔහුගේ දෙනෙතට ලක්වූයේ ගීයක් මුමුණමින් දෑතින් ඔසවාගත් කුඩා මැටි කළයක් වැන්නකින් කටරොළු මල් යායකට ජලය වත් කරන පැහැපත් යුවතියකි. ලෝහිත වර්ණ රෙදි කඩකින් තුඟු පියයුරු තරව බැඳගත් ඕ දෙදණ යන්තමට ආවරණය වන පරිදි නොයෙක් වර්ණයෙන් රටා මැවුණු වස්ත්‍රයක් හැඳ හුන්නාය. 

අනපේක්ෂිත මේ දර්ශනයෙන් වික්ෂිප්තවූ ඔහු ඇසිපිය නොහෙලා ඈ දෙස බලා සිටින්නට වූයේය.තමා දෙස යමෙකු බලාසිටින බව සවනේන්ද්‍රියයකින් මෙන් වැටහුණු හෙයින්දෝ ඕ කරමින් හුන් කාර්යය නතරකොට හිස ඔසවා බැලුවාය. කිසිදින නොදුටු අමුත්තකු කඩුල්ල අසල සිට තමා දෙස ඇසිපිය කොහෙලා බලා හිඳිනු දුටු ඈඑක්වරම තැතිගත් නමුදු ඒ බවක් නොපෙන්වා කතා කළාය. 

" තමුන් කවුද? මොකද මෙතන කරන්නෙ? මොකක්ද උවමනාව? " 

කොතෙකුත් ඇසිපිය නොහෙලා ඈ දෙස බලා හිඳීම කිසිසේත්ම ආචාරශීලී නොවන බව දත් අමුත්තා එවර කතා කලේ ඉවත බලාගනිමිනි. 

" සමාවෙන්න, වරදක් සිදුවූයේනම්..මම බොහොම දුර බැහැර ඉඳල පැමිණෙන්නෙක්…" 

" එතකොට මෙහි පැමිණියේ කුමන අවශ්‍යතාවයකටද? " 

සුරතෙහි වූ කුඩා කළයක්වන් භාජනය කටරොළු ගොමුව ආවරණය වන පරිදි ඉදිකල ලී මැස්ස මත තැබූ ඕ එසේ විමසූයේ දෙබැම හකුළුවා ගනිමිනි. 

" මා මෙහි පැමිණියේ ගම් දෙටුවා හමුවීමටයි. " 

" ඒ මගේ පියාණන්...ඔහු යම් කාර්යයකට බැහැරක ගොසින්. එහෙත් තව හෝරා දෙකකින් පමණ ආපසු පැමිණෙන බව නිසැකයි. එතෙක් ඔබට පොරොත්තු විය හැකිනම් අර පෙනෙන ඇහැල ගස සෙවණේ තනා ඇති මැස්සක්. එහි ඔබට රැඳී සිටිය හැකියි මපියාණන් පෙරලා පැමිණෙනතෙක්. " 

" එහෙමයි, නැඟණිය. මම ඔබගේ පියාණන් පෙරලා පැමිණෙනතෙක් රැඳී සිටින්නම්. මම බොහෝ දුර බැහැර සිට පැමිණෙන්නෙක්. මට ඔහු හා සමග සාකච්ඡා කොට මා මෙහි පැමිණි කාරණය පිළිබඳව යම් තීරණයකට එලඹ මිස ආපසු යා නොහැකියි. " 

" ඔබෙන් මෙසේ විමසීම නොතරම් නොවේනම් ඔබට මපියාණන් හමුවන්නට අවශ්‍ය කාරණය මම දැනගැනීමට කැමතියි. " 

" අහෝ එහි කිසිසේත්ම සැඟවියයුතු යමක් නැහැ. පිදුරංගල විහාරයෙහි ලෙන් වල බිතු සිතුවම් අඳිනු උදෙසා ගම් දෙටුවා සිත්තරෙකු සොයමින් සිටින බව මට සැලවුනා. මා පැමිණියේ ඒ කාර්යය ඉටුකරදීමේ වගකීම මට පවරාගත හැකිබව පවසා ඊට ඔහුගෙන් අවසර ලබා ගැනීමටයි." 

එවර ඈ ඔහු වත දෙස දෑස් ඔසවා බලා සිටියේ මන්දස්මිතියකින් දෙතොල විකසිත වෙද්දීය. 

" ඔහෝ..ඔබ එසේනම් සිත්තරෙක්? ඔබ චිත්‍ර කලාව උගත්තේ කොහිද කියා විමසීමට..නැහැ , නැහැ සමාවන්න..මම එසේ විමසීම අයුතුයි..මපියාණන්ගේ අවශ්‍ය දෑ ඔබෙන් විමසාවි. එසේනම් ඔබ මා මීට ප්‍රථම පැවසී පරිදි අර ඇසළ ගස සෙවණෙහි විවේක ගන්න." 

එසේ පවසා ඕ තොමෝ යලිදු ජල බඳුන අතට ගත්තාය. 

" ඔබට බොහොසේ ස්තූතියි නැඟණියනි..ඔබගේ නම කුමක්දැයි විමසීමට මට අවසර.." 

" මම අහල්‍යා…" 

හිස ඔසවා ඔහු දෙස බලා සිනාසුනු ඈ යලි හිස පහතට නවා කරොළු මල් ගොමුවට ජලය ඉසින්නට වූවාය. 

" අහල්‍යා?? " 

එවදන ඔහුගේ මුවින් පිටවූයේ දුනුදියෙන් නික්මෙන්නාවූ හීයක් මෙනි. යලි හිස එසවූ ඈ උදක් ඔහුගේ වත දෙස බලා සිටින්නට වූයේ විමසුම් බැල්මක් දෙනෙතට නඟා ගනිමිනි. විළියෙන් බරව හිස පහතට නවාගත් ඔහුගේ දෑසට ලක්වූයේ ජලබිඳු පතිතව ප්‍රාණවත්ව එකිනෙකාට රහස් කොඳුරමින් සිනහසෙන්නාක් බඳු නිල් කටරොළු මල් සමූහයකි. 






70 comments:

  1. " නිල් කට්රොල් මලෙකැ ඇවුණු වැට්කොල් මල් සෙය් සැන්දැගැ සිහිවන්නෙය් මහනෙල් වනුන්හය් නිල්වනුන් "

    සීගිරි කැටපත් පවුරේ ලියැවුණු කුරුටුගීයකි. සිගිරියෙහි ඇඳි රන්වන් සහ නිල්වන් ළඳුන් එදවස ඔවුන් නැරඹීමට ආ කවියකු දුටුවේ කටරොළු සහ වැටකොළු මල් මෙනි.


    වියුණු සටහනේ අවසානයට ඉහත කොටස එකතුවෙන්ට ඕන. පබ්ලිෂ් කරනකොට ඒ ටික අමතකවෙලා පස්සෙ අගට එකතුකරන්ට බැලුව වැඩේ හරියන්නෙම නෑ. ක්‍රෝම් එකෙන් අවුලක් නෑ. ඒත් එක්ස්ප්ලෝරර් සහ ෆයර් ෆොක්ස් එකෙන් බැලුවම ඒ කොටසෙ දකුණු කෙලවර හොයන්ට ත්‍රී වීල් එකක් අරන් යන්ට වෙනව. ෆිලිප් හියුස් ගැන ලියපු පෝස්ට් එකෙත් මෙහෙම අලකලංචියක් උනා. :(

    ReplyDelete
  2. අප්පා රවී......

    මේක පිස්සු වැටෙන කතාවක් නේ..... මම ආසයි මේ ලියුම් රටාවට. ( අමුතුවෙන් කියන්ට නැහැ නේ ඕක... හෙහ්..) මොකද්දෝ රොමාන්තික ගතියක් තියෙනවා.. . හි.හි...

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      හෙහ්...බොහොම ස්තූතියි මැඩම්.....පොඩි රොමෑන්ටික් ගතියක් ගෑවිලා වගෙ ගිහිල්ල තියෙනවද?...හෙහ්,හෙහ්,

      Delete
  3. ඊයේ රෑ කලින්ම නිදා ගත්ත නිසා අද උදේම ඇහැරුනා.. (කොළයක එතූවක් නම් ගත්තෙ නෑ) කරන්න දෙයකුත් නැති නිසා උදේම පටන් ගත්ත බ්ලොග් කියවන්න.. ඇස් වහක් කටවහක් නෑ රවී අයියේ පපුව පුරවලා ගියා.. ඉවර වෙනවට ලෝබ කමින් කියෙව්වේ.. තාත්ත මරවපු පවින් දුක් වින්දේ නැත්නම් කාශ්‍යප රජ්ජුරුවන්ට කොච්චර සංතෝසෙන් මේ සීගිරි නිවහනේ ඉන්න තිබ්බද අන්න ඒ වගේ සතුටක් දැනුනා දවසටම ඇති.. සමහරවිට.. කාශ්‍යප සීගිරියක් කවදාවත් හදන එකක් නෑ ඒ වගේ පශ්චත්තාපයක් මිනිහට නොතිබුනානම්.. හ්ම්ම්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      කාශ්‍යපගෙ කතාව මල්ලි ලංකා ඉතිහාසයෙ බොහොම අනුවේදනීය එක් පරිච්ඡේදයක්. උඹේ කතාවට මම එකඟයි. ධාතුසේන රජ්ජුරුවො මැරෙව්වෙ නැත්නම් සමහරවිට සීගිරිය වගෙ විශ්මිත නිර්මාණයක් නොකෙරෙන්නත් තිබ්බ.ඒත් මගෙ හිතේ තියන කතාව වෙනස්....හෙහ්,හෙහ්, මලක් ගහන්ටම වෙනව ඉතුරුටික ලියන්ට.මෙහෙ ඔව්ව හොයාගන්ට බොහොම අසීරුයි. හූකා තමයි තියෙන්නෙ. ඒකෙ නෑ ඒ හැටි ගතියක්..:(

      Delete
    2. හුකා.. ඒක පට්ට අමාරු කෝස් එකක්නේ. ඕකට හූකා කියන්නේ නැතුව ශීෂා කියුවනම් එතනවත් පොඩි ගතියක් තියෙයි මගෙ හිතේ.. මොනා උනත් එළ තාත්තයි පුතයි.. ඒක නෙවෙයි මෙහෙන් ඇට ටිකක් ගෙනියල ට්‍රයි එකක් දුන්නේ නැතෙයි හැක් හැක්...

      Delete
  4. අපරාදේ කියන්න බෑ විශිෂ්ට ලේඛකයෙකුගේ නවකතාවක් කියවනවා වගේ තමයි .. බොරු බටර් නෙවෙයි ඔන්න .. සිරාවටම තියෙනවා ..

    අපි මේ ඊයේ හවසත් වැඩ ඇරිලා යන ගමන් කතා වුනේ .. ඔය දුමක් ඇදල , මලක් ගහල ඉන්න මිනිස්සුන්ට තියෙන ක්‍රියේටිවිටි එක ගැන ... අවංකවම හොඳ නිර්මාණයක් කරද්දී එන ඒ මත වෙච්ච වගේ නිර්මාණයටම සමවැදිච්ච ගතිය ඔය මත් වීමත් එක්ක එනවා ඇති ..

    ටික ටික මත් වෙන්න පටන් ගන්න ඕනේ අප්පා .. දැන් ගෙවෙන්නේ මහ බෝරින් කාලයක් කිසිම දෙයක් අලුතින් හිතල කලේ නෑ ..

    කට්රොල් /වැට්කොල් කියන වචන වල පොඩි වෙස්ටර්න් ගතියක් තියෙනවා නේද ? ඔය කවි පදය ඉස්සර සිංහල සාහිත්‍ය පොතේ තිබුණ .. ඒ දවස් වලත් අපි ඔය වචන දෙකේ තියෙන පොෂ් ගතිය ගැන කතා වුණා මතකයි .. හෙහ් හෙහ් .. කටරොලු වැටකොළු විදියට වෙනස් වෙලා තියෙන්නේ ඔර්ජිනල් ඔය විදියට තිබ්බ වචනද නැත්නම් ඒ කාලේ හිටපු බැක්පැකර් හිපි පොරක් වචනේ මොඩ් කරලා ගලේ ලිව්වද කියල හොයල බැලුවේ නැද්ද රවී අයිය.. :)

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඉස්සෙල්ලම බොහොම ස්තූතියි මල්ලි...:)

      / අපි මේ ඊයේ හවසත් වැඩ ඇරිලා යන ගමන් කතා වුනේ .. ඔය දුමක් ඇදල , මලක් ගහල ඉන්න මිනිස්සුන්ට තියෙන ක්‍රියේටිවිටි එක ගැන ... අවංකවම හොඳ නිර්මාණයක් කරද්දී එන ඒ මත වෙච්ච වගේ නිර්මාණයටම සමවැදිච්ච ගතිය ඔය මත් වීමත් එක්ක එනවා ඇති ../

      මේ මාතෘකාව නම් බොහොමත්ම මතභේදාත්මකයි, විවාදාපන්නයි. නිර්මාණාවේශය සහ මත්ද්‍රව්‍ය අතර ඇති සම්බන්ධය පිළිබඳ ප්‍රචලිත මතවාද එකිනෙකා තමන්ගේ දෘෂ්ඨි කෝණයෙන් අදහස් දැක්වීමක් මිස පිළිගත් අධ්‍යයනයකින් අනතුරුව එළඹි නිගමනයන් නොවේ. ( අනික් අතට ඉතිං හැමදෙයක් ගැනම අපි අදහස් දක්වන්නෙ අපේ අත්දැකීම් ආශ්‍රයෙන් තමයි. පිළිගන්න කෙනෙක් පිළිගනීවි නැති කෙනෙක් විකාර කියවන්ට එපා බං කියල නිකං ඉඳීවි )

      ඔය ගැන මගේ අදහස මෙහෙමයි. මම ගැන කිව්වොත් ඇත්තටම එහෙම උත්ප්‍රේරකයක් වගෙ ක්‍රියාකරනව මත්ද්‍රව්‍ය නිර්මාණයක් කරද්දි.ඒත් එහෙම වෙන්නෙ භෞතික සංසිද්ධියකින්ද ( ඒ කිව්වෙ මත්ද්‍රව්‍යවල තියෙන යම් රසායනිකයකින් මොළයේ යම් බලපෑමක් කරනව වගෙ දෙයක් ) එහෙම නැත්නම් තනිකර මානසික බලපෑමක්ද කියන එකනම් මට ප්‍රශ්නයක්. ඒ මොක උනත් මත්ද්‍රව්‍ය වලින් යම් බලපෑමක් තියන එකනම් ඇත්ත. ඒ නිසා ක්‍රම දෙකෙන් කොයි විදිහට උනත් වෙන්නෙ එකම දෙයක්. නිර්මාණාවේශයට පිටුවහලක් ලැබෙන එක. එච්චරයි මම ඒ ගැන කතා කරන්නෙ....:)

      / ටික ටික මත් වෙන්න පටන් ගන්න ඕනේ අප්පා .. දැන් ගෙවෙන්නේ මහ බෝරින් කාලයක් කිසිම දෙයක් අලුතින් හිතල කලේ නෑ ../

      මුනිවත රකින්නෙමි!!!!

      / කට්රොල් /වැට්කොල් කියන වචන වල පොඩි වෙස්ටර්න් ගතියක් තියෙනවා නේද ? /

      යස්..මටත් ඔහොම හිතුන...:) ඒත් ඒ කාලෙ ව්‍යාවහාර භාෂාව එහෙම වෙන්න ඇති මට හිතෙන්නෙ...අපේ සිංහල අටේ පොතේ තිබ්බ පනාකඩුව තඹ සන්නස කියල පාඩමක්. 1940 විතර පනාකඩුව ගමේ කුඹුරක තිබිල හම්බවෙලා තියනව තඹ සන්නසක්. ඒක තමන් බාල වියේදී සොලීන්ගෙන ආරක්ෂාකරල රැකවරණය දුන්නට ප්‍රති උපකාර විදිහට මහා විජයබාහු රජ්ජුරුවො බුදල්නා නම් රුහුණෙ ප්‍රභූවරයෙකුට දුන්නු වරප්‍රදානයක් ගැන ලියවුනු සන්නසක්.

      ඒත් ඒ සන්නසේ අපූර්වත්වය තමයි රජ්ජුරුවන්ගෙම වචන වලින් ලියවිලා තියන එක. ඒකෙ පරිවර්තනයකුත් තිබ්බ අපේ පාඩමේ. ඒ වචනත්හල් කිරිම් බහුලයි.අපි කියන වචනෙ තිබ්බෙ මට මතක විදිහට ඇප් කියල. රැක් කියල තිබ්බෙ රැකගත්ත කියන එකට. ඒ නිසා මල්ලි මම හිතන්නෙ පුරාණ සිංහල භාෂාව ඒ විදිහ වෙන්න ඇති. පනාකඩුව තඹ සන්නස ගැනත් වෙලාවක ලියනට හිතාගෙන ඉන්නව. පුෂ්ප හිඟතාවය තමයි තදින්ම බලපාල තියෙන්නෙ ..හෙහ්,හෙහ්,

      Delete
    2. කුඹුරෙන් මතු වූ නිධානය.. එහෙම නේද පාඩමේ මාතෘකාව තිබ්බෙ?

      ඔය තඹ සන්නස කුඹුරෙන් මතුවුන කතාව ගොතාපු එකක් කියලා ඊට සෑහෙන පස්සෙ කාලෙක කියෝපු ලිපියක තිබුනා.. මට හරියටම මතක නෑ කොහෙන්ද කියෙවුවෙ, කවුද ලිපිය ලියලා තිබුනෙ කියලා.. කොහොම හරි බුවාට සන්නස හම්බවෙලා තියෙන්නෙ කුඹුරු කොට කොටා ඉන්නකොට නෙවෙයි ය, එයා තවත් කීපදෙනෙක් එක්ක නිධානයක් ගන්ට කියලා වල්බිහිවෙලා ගරාවැටිලා තිබුන පුරාණ දාගැබක් ව‍ගේ මොකක් හරි නටඹුන් තැනක් හාරද්දි ය, මෙයා මේක ගෙදර ගෙනත් තියාගත්තා ය, ඒක ටික කාලයක් ඔහොම ගෙදර තිබිලා එක එක කරදර වෙලා ඊට පස්සෙ ඒ බයට තමා වනරතන හාමුදුරුවො ළඟට අරන් ගිහින් දීලා තියෙන්නෙ ය (කුඹුරෙන් හම්බවුනා කියලා) ආදි වශයෙන් තමා ලිපියෙ තිබුනෙ..

      Delete
    3. මේ මල් ගහන එවුන් , ආදී ගහන එවුන් එක වලටම සෙට් වෙන්නේ කොහොමොද කියල මන් මේ කල්පනා කලේ. අන්තිමට amsterdam ගියේ අවුරුදු ගානකට කලින්.

      Delete
    4. Bura,

      / කුඹුරෙන් මතු වූ නිධානය.. එහෙම නේද පාඩමේ මාතෘකාව තිබ්බෙ? /

      එහෙමද තිබ්බෙ බං?..වෙන්න ඇති මට හරියට මතක නෑ...:)

      / කොහොම හරි බුවාට සන්නස හම්බවෙලා තියෙන්නෙ කුඹුරු කොට කොටා ඉන්නකොට නෙවෙයි ය, එයා තවත් කීපදෙනෙක් එක්ක නිධානයක් ගන්ට කියලා වල්බිහිවෙලා ගරාවැටිලා තිබුන පුරාණ දාගැබක් ව‍ගේ මොකක් හරි නටඹුන් තැනක් හාරද්දි ය, /

      යස්..මමත් හිතනව ඒ නිධාන කථාව ඇත්ත වෙන්ට පුලුවන්ය කියල. මොකද ඔය වගෙ රජ කෙනෙක් දීපු වටිනා වස්තුවක් දාගැබක වගෙ තැන්පත් කරල තිබුනය කියල හිතන්ට ඉඩ තියනව නිකම්ම කුඹුරකින් හම්බුනාය කියල කියනවට වඩා. අනික මම ඔය ගැන පොඩ්ඩක් හොයනකොට දැක්ක ඒ වගෙ වටිනා වස්තුවක් හම්බ උනා උනත් ඒ වගෙ දේකට දෙන්ට නියම තෑග්ග ඒ මනුස්සයට දෙන්ට බැරිකමක් තිබුනයි කියල. මට හිතෙන්නෙ ඔය නිදන් සීන් එක වෙන්ට ඇති හේතුව. පස්සෙ කොහොම හරි අගමැති ඩී.එස්. සේනානායක මහත්තය එතුමාගෙ අතින්ම රුපියල් 500/= තැන්පත් කරපු පාස් පොතක් දුන්නලු.ඒ අකලෙ හැටියට රු. 500 කියන්නෙ මහ විසාල මුදලක්..

      Delete
  5. මල් සිහින විතර අලංකාරයක් ලෝකෙ කොහේවත් නෑ සහෝදරයා

    ReplyDelete
    Replies
    1. දිලාන් අකලංක,

      ආය මොනවද? නැද්ද?....මලක සුවඳ සිව් සිය ගව් දැනේයා..කියල කියන්නෙ කට කහනවටද?

      Delete
  6. එක හුස්මට කියෙව්වේ රවී අයියේ. කාව්‍යයක් වගේ.
    මතු සම්බන්ධයි... නේද?

    ReplyDelete
    Replies
    1. මධුමාධවී,

      ස්තූතියි..ස්තූතියි.... යස් මේ වනාහි කථාවට ප්‍රවේශයක් පමණි...:)

      Delete
  7. අැත්තටම රවී අයියෙ කියල වැඩක් නෑ මේකනං වල්ල පට්ට තමයි. අන්තිම වෙනකල් එක හුස්මට කියෝගෙන ඇවිල්ල ඉවර කරනකොට මලේ පවර් එක අපිටත් දැනෙනව වගේ.

    අම්මප ඒ කාලෙ කාශ්‍යප රජ්ජුරුවොත් රෑට ඕක උඩට වෙලා (මලක්) ((ඕකට කියන ශාස්ත්‍රීය වචනෙ පරණවිතාන මහත්තයටවත් අහුවෙලා නෑ මං හිතන්නෙ)) ඇදල ආතල් එකේ හඳ දිහා බලා ඉන්න ඇති නේද? මොකද ඒ කලෙ උනත් ඕව නොතිබෙන්න විදියක් නෑනෙ. අනික අර මුර භටයින්ට ඉන්න හදල තියෙන ඒවයෙ යංතං ඉඳගෙන ඉන්න විතරක් හදල තියෙන්නෙ ඇත්තෙත් උං මල් ගහල වැඩිවෙලා පිස්සු කෙලියොත් ගල පහලට ඇදගෙන වැටෙන්න වෙන්න ඇති. :D

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      / ඕකට කියන ශාස්ත්‍රීය වචනෙ පරණවිතාන මහත්තයටවත් අහුවෙලා නෑ මං හිතන්නෙ /

      පුරාණ ඉන්දීය වේද ග්‍රන්ථ වල සඳගන් වෙලා තියනව " සෝම " නම්වූ පානයක් පිළිබඳව. ඒ පානය කලවිට දෙවියන් හා එක්විය හැකිබවයි දැක්වෙන්නෙ. මේ සෝම පානය කියන්නෙ මල් වලින් තනාගත්තු පානයක්ය කියල එක් මතයක් තිබෙනව.

      To understand the significance of soma one must consider some of the oldest religious texts known to man. These are the ancient Vedas, Sanskrit texts that represent the oldest Hindu scriptures. The most ancient of these texts—the Rigveda, a collection of over a thousand hymns—was compiled in northern India around 1500 BC. A parallel but slightly later development in ancient Persia was the composition of the religious texts of Zoroastrianism, the Avesta

      In both the Rigveda and the Avesta there is frequent mention of soma (or haoma in the Avesta). In these episodes soma is described as a plant from which a drink or potion could be produced that was consumed by the gods, giving them fantastic powers which aided them in their supernatural feats. People who understood the identity of the plant soma could use it to empower themselves and to communicate more effectively with the deities.

      Consider the following from the Rigveda:

      We have drunk Soma and become immortal; we have attained the light, the

      Gods discovered.

      Now what may foeman's malice do to harm us? What, O Immortal, mortal man's deception?

      Or:

      Heaven above does not equal one half of me.

      Have I been drinking Soma?

      In my glory I have passed beyond earth and sky.

      Have I been drinking Soma?

      I will pick up the earth and put it here or there.

      Have I been drinking Soma?

      But what actually was soma? There were suggestions that it was ephedra or possibly cannabis, but Gordon Wasson concluded that it was Amanita muscaria. Amanita muscaria or the "fly agaric" is a large mushroom that is instantly recognizable. This is due to its strikingly attractive appearance and its wide use in popular culture. It has often appeared in animated films (such as the Nutcracker scene in Fantasia, or in Snow White and the Seven Dwarfs), as well as being used in numerous types of kitschy household products and for illustrations in children's stories.

      / අනික අර මුර භටයින්ට ඉන්න හදල තියෙන ඒවයෙ යංතං ඉඳගෙන ඉන්න විතරක් හදල තියෙන්නෙ ඇත්තෙත් උං මල් ගහල වැඩිවෙලා පිස්සු කෙලියොත් ගල පහලට ඇදගෙන වැටෙන්න වෙන්න ඇති. :D /

      ඔන්න කිව්ව කතාවක්..යකෝ ඒ ආසන එහෙම පටුවට හදල තියෙන්නෙ මලක් නොගහ එව්වයෙ ඉඳගෙන ඉන්ට කොහොමවත්ම බැරිවෙන විදිහට. මලේ උපරිමයට ගිහාම බාං පංචේන්ද්‍රියම තියුණු වෙනව. යන්තමට වේලිච්චි කොලයක් වැටෙන සද්දෙ උනත් ඇහෙන්න කණ ලඟ දවුලක් ගැහුවහෙ.අඩි විස්සක් තිහකට එහා යන කූඹි රංචුවක අන්තිමයට ඉස්සෙල්ල යන කූඹිය නොන්ඩි ගහන එකත් මේ අතලඟ වගෙ පේන්ට ගන්නව. වම් කකුලෙ මහපටඟිල්ලෙ කෙළවර උඩ බැලන්ස් වෙලා හිටියැහැකි වරුවක් මීක් කියන්නෙ නැතුව

      ඔන්න ඔය හින්ද මුර භටයින්ට ටෝටල් ඇලර්ට් එකේ ගාඩ් ඩියුටිය කරන්ට හොඳම ක්‍රමේ තමයි මලක් ගැසීම. කාශ්‍යප ඕක හොඳාකාරවම දන්න හින්දයි ඔය මුර ආසන ඔය විදිහට හදල තියෙන්නෙ...තේරුණා නේද උඹට?

      Delete
    2. අප්පද බොල, එහෙනං මේක ඩ්‍රින්ක් එකක් විදියටත් තිබිල තියෙනව.

      Delete
  8. Replies
    1. අනේ.. ඉවරයි කියල හිතුවට ඉවරම නෑ.. :D

      Delete
    2. තව එකක් පත්තු කර ගෙන .......

      Delete
    3. අර ළමය තාම කටරොළු මල් මල් වලට වතුර දානවා. කොහේ ඉවර වෙන්නද ?

      Delete
    4. අර කොස් කපපු ළමය වගේ මේ ළමයටත් තව කොච්චර කාලයක් වතුර දාන්න වෙයිද දන්නෑ. සමහරවිට කලා වැව හිඳෙනකල්ම දාන්න වෙයි වගේ.

      Delete
    5. //අර කොස් කපපු ළමය වගේ මේ ළමයටත් තව කොච්චර කාලයක් වතුර දාන්න වෙයිද දන්නෑ. සමහරවිට කලා වැව හිඳෙනකල්ම දාන්න වෙයි වගේ.//

      හෙහේ ,හෙහේ ...:D

      Delete
    6. Pra,Praසන්ன,Pathum & Manoj,

      කොස් කපන ළමයෙකුත් ඉන්නවා තමාය. ඒ අස්සෙ ඔන්න දැන් මල් වලට වතුර දාන ළමයෙකුත් ඇවිල්ලාය. දෙදෙනාටම හැකි විගස සාධාරණය ඉෂ්ඨ කිරීමට හිතේ තියාගෙනද ඉන්නවාය. දැනට එපමණය.

      Delete
  9. සිරාවටම මේක මරු බං. කතාව පටන් ගන්නත් කලින් උඹේ මුල් රැකියා ගැන කියද්දි මට හිතුනෙ උඹේ අපූරු භාෂා විලාශය සහ සාහිත්‍ය හැකියාව ගැන.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      බොහොමත්ම ස්තූතියි මල්ලි....:)

      Delete
  10. රවි,

    ගොඩක් දේ ස්න්දරව පේන්නෙ රෑටමනෙ. ඔය හින්ද වෙන්නැති ඉස්සර උඩරට රාජසභාව, අමුත්තො පිළිගැනීම එහෙමත් රෑ තිබ්බෙ.

    ඔය සීගිරිය ගැන මමත් ඔහොමම කතාවක් අපේ හාමිනේට කිව්ව. ඒ මීට අවුරුදු දහයකට විතර ඉස්සර දොහෙක සීගිරිය පිටිපස්සෙ හොටලෙකදි.

    "හඳපානෙ සීගිරි ගල නැගල, උඩදි ජොයින්ට් එකක් ගහල, ඇඳුන් නැතුව අර ඉන්ෆිනිටි පූල් එකේ නාල ස්ලීපින් බෑග් එකක් අස්සෙ දෙන්නටම නිදියන්න තිබ්බනං නේද" කියල.

    පිස්සෙක් කියල දැනගෙන උන්දැ මාව බැඳල හිටි නිසා අවුලක් උනේ නෑ...හෙහ් හෙහ්...

    උඹෙ රචනාව ගැන ඉතින් ආයි මොනා කියන්නද. හ්ම්..ඉක්මනට ඊළඟ කොටහ....

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      / ගොඩක් දේ ස්න්දරව පේන්නෙ රෑටමනෙ. ඔය හින්ද වෙන්නැති ඉස්සර උඩරට රාජසභාව, අමුත්තො පිළිගැනීම එහෙමත් රෑ තිබ්බෙ. /

      අඩේ එහෙමත් එකක්ද? සෙංකඩගල රාජසභාව පුරුද්දක් විදිහට රැස්වුනේ රෑටද? මම දැනගෙන හිටියෙ නෑ ඒ ගැන...වහාම හොයල බලන්ට ඕන ඒ ගැන...උඩරට රාජසභාව ආශ්‍රිත කතාවකුත් ලියන්ට හිතේ තියනව කාලෙක ඉඳල...

      බොහොම ස්තූතියි ඉන්දික...:)

      Delete
  11. ඉවරවෙනවට ලෝබකමේ කියවගෙන ආවට ඉවර උනා.හරිම ඉහළයි රවී.
    මධුවිත ගැන බොහෝ අත්දැකීම් ඇතත් පුෂ්පයන් ගැන කිසිසේත්ම අත්දැකීමක් නොමැති හෙයින් ඒ මිහිර සිතාගන්නට නොහැකිය.
    ඉතුරු හරිය ආයෙ කවද වගේද?

    ReplyDelete
    Replies
    1. ලොකු අයියේ මොකටද අප්පා ඔය ජීවිතේ

      Delete
    2. හැලප,

      බොහෝමත්ම ස්තූතියි මචං...:)

      ඉතුරු හරිය ලියන්නං ලියන්නං..කොස් කපන ළමයගෙ විස්තරේ ඉවර වෙලා හැබැයි...ඉස්සෙල්ල ආපු කණට වැඩිය පස්සෙ ආපු අඟ ලොකු කරගන්න එකෙක් නෙවෙයි මම...හෙහ්,හෙහ්,

      Delete
    3. //හැබැයි...ඉස්සෙල්ල ආපු කණට වැඩිය පස්සෙ ආපු අඟ ලොකු කරගන්න එකෙක් නෙවෙයි මම...හෙහ්,හෙහ්,//
      මේ මොකෝ බං දැන් එහෙම දෙයක් වෙලා තියෙනවද?

      Delete
    4. හැලප,

      නෑ..නෑ..බොලේ මම මේ කිව්වෙ කොස් කපන ළමය ගැනනෙ මම කලින් ලිවෙ..මල් වලට වතුර දාන ළමය ආවෙ ඊට පස්සෙ. ඒ හින්ද කොස් ළමය ඇවිල්ල කණ, මල් ළමය තමයි අඟ, කොස් ළමය ගැන ලියලයි මල් ළමය ගැන ලියන්නෙ කියලයි මම මේ කිව්වෙ..නතිං මෝ..නතිං එල්ස්..යූ අන්ඩර්ස්කර්ට් මයි ඩියර් හැලප?...හෙහ්,හෙහ්,

      Delete
    5. ඒක මිසක්,මම හිතුව ඒත් එහෙමද කියලවත්.කෝකටත් වැඩිදුර පැහැදිලි කරගන්න ඇහුවෙ.ඕකේ මචං නව් අයි අන්ඩස්කර්ට්,ටැන්කිව්.

      Delete
  12. (මේ කොමෙන්ටුව පල කරන්නට එපා. ) ඔබගේ ලිවීම් ඉතා හොඳයි. කීපයක් කියවා තිබෙනවා. මෙහි මේ ලිපියේ මෙතැනින් පටන් ගන්න හරිය විජයබා කොල්ලය පොතේ තිබ්බ කියල හිතෙනවා. //ඉතා කලාතුරකින් දුර බැහැර වන්දනාවක වන් චාරිකාවක යෙදෙන කල්හි ඒකාංශ කොට උරපලා හඳිනා ශ්වේත වර්ණ සළුවක් ....// මට මතක විධිහට 8 පන්තියේ සිංහල පොතේ වෙන්න ඕනේ මෙහෙම හරියක් තිබ්බ කියලත් මතකයි. මගේ මතකය වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි එතනින් නම් ගත්තේ සමහරවිට මුලාශ්‍රයක් දැම්ම නම් හොඳයි නේද. සමාවෙන්න වැරදි නම්.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      පලමුවෙන්ම ස්තූතියි ඔබට අජිත්....

      කමෙන්ටුව පළකරන්නට එපා කිව්වට මම අයින් කලේ නෑ.

      විජයබා කොල්ලයෙ මම ලියපු ඒ කොටසට සමාන කොටසක් තියනවා වෙන්න පුලුවන් අජිත් බොහෝවිට. පොඩි දවස්වල ඉඳලම මගෙ ප්‍රියතම ලේඛකයෙක් ඩබ්ල්යු.ඒ. සිල්වා මහත්මය. එතුමාගෙ සමහර පොත් මම කියවල ඇති දහ දොළොස් වරක් විතර.එහෙම වෙනකොට නොදැනීම ඒ බස් වහර එතනින් ගියාම සමහර යෙදුම් මගෙ ලියවිල්ලට එකතු වෙලාත් ඇති.ඒත් මම හිතාමතාම විජයබා කොල්ලයෙන් උපුටාගැනීමක් කලේ නම් නෑ.

      සමාව ඉල්ලන්න දෙයක් නෑ අජිත්...:)

      Delete
    2. What a coincidence ! or irony ! or whatever !

      සිල්වා මහත්තයටත් තිබුන චෝදනාව උපුටා ගැනීම, ඒ මහත්තයත් කිව්වෙ ඉන්ෆ්ලුවන්ස් වෙන්න ඇති ඒත් උපුටාගත්තෙ නෑ කියල. විජයබා කොල්ලයටම ඔය චෝදනාව තිබුන නේද? ශෙරිඩන්ගේ කියල. මං ඒ ගැන කියන්න දන්නෙ නෑ, ඒත් ලක්ෂ්මී නම් රයිඩර් හැගාඩ් දන්නවනම් තද වෙන ගානට ඉන්ෆ්ලුවන්ස් වෙලා. :-D

      මගේ කමෙන්ට් එක රවි ගේ ලියවිල්ල ගැන මගේ මතයක් නොව ( මට හරියට සිල්වා මහතාගේ පැසේජ් එක මතක නැති නිසා මතයක් කොහොමත් බෑ ) හුදෙක් මේ සංවාදය අපූර්ව ලෙස සිල්වා මහතාටද අදාල බව කීමක් නිසා සමාව ඉල්ලන්නේ නෑ , :-DD

      Delete
    3. ප්‍රා,

      විජයබා කොල්ලය මගෙ ලඟත් මේ වෙලාවෙ නැතිනිසා අජිත් කියන කාරණය ගැන නිවැරදිව අදහසක් ප්‍රකාශ කරන්න අපහසුයි.

      අද හවස අපෙ උන්දැ කතාකලාම මෙහෙම කියන්න තමයි වෙන්නෙ.

      " මේ මගෙ පොත් රාක්කෙක ඇති විජයබා කොල්ලය.."

      " මොන කොල්ලය කිව්ව?."

      " විජයබා කොල්ලය මෙයා..විජයබා කොල්ලය.."

      " ඉතිං? මොකද මේ හදිස්සියෙ ඔය කොල්ලෙ මතක් උනේ? එකත් එකටම කවුරුහරි අංගනාවියකට පොරොන්දු වෙන්ට ඇති ඒක එවනවයි කියල...දැං ඔය අංගනාවි මෙහෙට එනවද පොත ගෙනියන්ට? නැත්තං මම ගිහිල්ල තැපැල් කරන්ට ඕනද?"

      " ඕකනෙ ඉතිං කියන්නෙ...ඔහෙත් එක්ක කොහොමද මේ රාජ්ජෙ කරන්නෙ? ඔහෙම නඩු පවරනව..ඔහෙම සාක්කිත් දෙනව..ඔහෙම පැමිණිල්ලට කතා කරනව...ජූරියත් ඔහේමයි..අන්තිමට තීන්දුව දෙන්නෙත් ඔහේමයි.මරාගෙ සුපිරිං කෝට් එකත් සාදාරනයි මට පේන්නෙ ඔහේට වැඩිය.. "

      " හරි හරි ඔය හැටි කියවන්ට දෙයක් මම කිව්වද දැං නෑනෙ..ඔහෙට මට පේන්නෙ අර වැල් වටාරං කතා ලියලම දැං සරලව කෙටියෙං යමක් කියන්ටත් බෑ වගෙයි..හරි හරි එව්ව අතෑරලා දාමු. කාටවත් අංගනාවියකට පොත් එවන්ට පොරොන්දු උනේ නැත්තං කියමු බලන්ට මේ හදිස්සියෙ ඔය කොල්ලෙ මතක් උනේ මොකද කියල.."

      " හරි..මේකයි කෙරෙන්න ඕන..විජයබා කොල්ලය අරං බලන්ට මේ වගෙ ඡේදයක් ඒකෙ තියනවද කියල....ඉතා කලාතුරකින් දුර බැහැර වන්දනාවක වන් චාරිකාවක යෙදෙන කල්හි ඒකාංශ කොට උරපලා හඳිනා ශ්වේත වර්ණ සළුවක් හැරුණු කල උඩුකය නිරාවණිතව කල්ගත කරනා පුරුෂයින් වසනා මේ දේශයට මේ තරුණතෙමේ ආගන්තුක බව ඔහුගේ උඩුකය ආවරණය වූ මල්කම් කල තුනී රෙද්දකින් නිමවූ කංචුකයකට බොහෝසේ සමාන වූ වස්ත්‍රය කියාපෑවේය. එළෙසම ඔහුගේ දකුණු උරයෙහි රැඳි ඔලගුවක් වන් ඝන රෙද්දකින් නිමවූ පැස, දෙදණ තෙක් ආවරණය වූ සරුවාලය.................."

      " හෝව්..හෝව්..හෝව්...ඒ කියන්නෙ මම දැං ඔය කොල්ලය මුල ඉඳල කියවන්න ඕනද්? "

      " එහෙනං ආය..එහෙම නැතුව කොහොමද මෙහෙම ඡේදයක් ඒකෙ තියනවද කියල කියන්නෙ? "

      " මේ විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මම මේ තියන ව්ස්ඩ රාජකාරිවලට පැය විසිහතරත් මදි වෙලා ඉන්නෙ..ඒ අස්සෙ තව කියවපල්ලකො විජයබා කොල්ලෙකුත්…"

      උන්දැට කිව්වොත් අනිවාර්යයෙන් ඔහොම තමයි වැඩේ වෙන්නෙ..ඒක මම දන්නව සහසුද්දෙන්ම..හරියට අර මරා තුංවෙනිපාරට තරඟ කරන්ට පුලුවන්ද කියල සුපිරිං කෝට්ටෙකෙං ඇහුව වගෙ...අහපු දවසෙම මුලු රටම දන්නව තීන්දුව මොකක්ද කියල..යස් සර් යස් සර්..යූ කැන් සර්..වයි එවර් නොට් සර්.....:)

      එනිසාවෙන් අජිත්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්ටනම් මට ආපහු යන්ටම වෙනව...

      Delete
    4. ඔය "අංගය" ගැන කතා නොකිරීම ඇඟට ගුණය. කතා විතරයි..........

      Delete
    5. හා හා ඒ පෝස්ට් එක නම් මාරු. රවී පොස්ට් එක දානවනම් පල කරන්න එපා කියන කෑල්ල අයින් කරල දාන්න තිබ්බේ. මම කැමති නැහැ ලියන කෙනෙකුට කොස්සක් දාන්න. නමුත් සාමාන්‍යයෙන් කොහේ හරි තැනකින් ගත්තොත් අමතක වුනේ නැත්නම් දානවා. අර ප්‍රා කිව කතාව //ඒත් ලක්ෂ්මී නම් රයිඩර් හැගාඩ් දන්නවනම් තද වෙන ගානට ඉන්ෆ්ලුවන්ස් වෙලා. :-D// ඒක මටත් හිතිච්ච දෙයක්. යිඩර් හැගාඩ් ගේ "she" හා king Solomon's mines සංකලනයක් වගේ ලක්ෂ්මි.
      දැන් මේ කතාවේ ඔය කියන හරියේ නැති වචනය අර "කරත්ත පාර කියන එක " අනිත් වචනත් නැතුව ඇති. නමුත් මට මතක විධිහට අර පොතේ ඉන්නේ අශ්වරෝහකයෙක්. ගල් තලාවක (ඔබගේ) නෙමේ විඩා නිවන්න ඉඳගත්තේ ලොකු කොහොඹ ගහක් යට. ඉතින් දෙක එකම නොවේ. නමුත් හරි සමාන ගතියක් මට දැනුන කියවන කොට .ඒකයි මම ඇහැව්වේ. ඔයාටත් මට වගේම යටි හිතේ ඒක තිබෙන්න ඇති. එයින් මතු වෙච්ච නිර්මාණයක් වගේ.

      Delete
    6. //හා හා ඒ පෝස්ට් එක නම් මාරු//හා හා ඒ පෝස්ට් එක නම් මරු කියලයි කියන්න ඕනේ වුනේ. අර wife ට දෙන කෝල් එක.

      Delete
    7. @ R, AD and other classicists :-D ,

      විජයබා කොල්ලයෙ එඩිෂන් එකක ඩබ් ඒ සිල්වා පසු (හෝ පෙර) වදනක කියල තියනව සමහර විවේචකයින් පොත ශෙරිඩන්ගේ නාට්යයක් අනුසාරයෙන් ලියා ඇතයි චෝදනා කලයි කියල,
      මට සෑහෙන්න කුතුහලයක් තියනවා ලංකා ඉතිහාසයෙන් ගත් ප්ලොට් එකක් ශෙරිඩන්ට සමාන වුනේ කොහොමද කියල. මං ඒ එක නාට්යයක්වත් හරියට කියවල නෑ, නිකම් නම් හා විස්තර විතරයි, සමහරවිට පිසාරෝ වෙන්න ඇති.
      කවුරුවත් දන්නවද?

      Delete
    8. Really? But that's Greek, not Sheridan's.
      Anyway, other than the father being killed by son there aren't any similarities , are there?

      Delete
    9. True It was a Greek tragedy. Sheridan wrote plays. I think he(Sheridan) wrote a play on that. My Guess is that's what W A Silva was talking about. There are similarities. Father VII th Vijayabahu plotted to kill three princess. Then they killed the father. Two of the princess shared a same queen. (perhaps a Concubine of Vijayabahu).

      Delete
    10. Ah, yes there are similarities. Thanks. But, quite remote, no? Are they enough for allegations of plagiarism?

      Also, I don't think Sheridan wrote on that. Since I had a bit of time in hand just now, did some research. There is a funny sort of connection though.
      //1946, Laurence Olivier played the role of Mr. Puff in a famous production of the play (Sheridan's The Critic) at the Old Vic, alternating with Sophocles's Oedipus Rex.// - http://en.wikipedia.org/wiki/The_Critic_(play).
      Did Silva and/or his critic make a mistake because of a theater arrangement in which two plays were done together? Curious ! A mystery ? :-D.
      Thanks again

      Delete
    11. දැනුම ලෝකයක්.. ස්තූතියි හැමෝටම.. මං මේ විජයබා කොල්ලය නැවත කියවන්න යන ගමන්..

      Delete
    12. අජිත්,

      / රවී පොස්ට් එක දානවනම් පල කරන්න එපා කියන කෑල්ල අයින් කරල දාන්න තිබ්බේ. මම කැමති නැහැ ලියන කෙනෙකුට කොස්සක් දාන්න. /

      අජිත්, මම ඒ කොටසත් එක්කම දැම්මෙ කියවන අයට ඔබේ හැදියාව සහ නිහතමානිත්වය ගැන යම් අදහසක් ඉන් ඇතිවේයයි හිතලයි...:)

      අනික කොහොමත් ඔබ මතු කරපු අදහස කොක්කක් නෙවෙයි, ඔබේ අවංක අදහස් පලකිරීමක් පමණයි. එය පිළිගැනීම හෝ විරුද්ධවීම මගේ වැඩක්. ඉන් එහාට එතන කොක්කක් මටනම් පේන්නෙ නෑ...හෙහ්,හෙහ්,

      / නමුත් මට මතක විධිහට අර පොතේ ඉන්නේ අශ්වරෝහකයෙක්. ගල් තලාවක (ඔබගේ) නෙමේ විඩා නිවන්න ඉඳගත්තේ ලොකු කොහොඹ ගහක් යට. /

      අජිත් ඔබ මේ කියන්නේ විජයබා කොල්ලය ගැන නෙවෙයි...සුනේත්‍රා නොහොත් අවිචාර සමය ගැන...කතාව ඇරඹෙන්නෙ මන්නාරමේ පෘතුගීසි බලකොටුව දක්වා දිවෙන මාර්ගයේ ගමන් කරන අසරුවෙක් පිළිබඳ විස්තරයකින්. ඔහුගේ නම සේනාධීර..සීතාවක හමුදාවෙ සෙනෙවියෙක්. එහෙත් සීතාවක රාජසිංහ රජුට විරුද්ධව පෘතුගීසීන්ගෙ ආධාර පතා රහසිගතව දූත මෙහෙවරක යෙදෙන්නෙක්. ඒ සීතාවක අගමැති නවරත්නයන්ගේ නියමයෙන්.(මට මතක ඔහොමයි, සමහරවිට වැරදිඇති )

      අතරමඟ කොහොඹ ගහක් යට විඩා නිවාගන්නට නතරවන්නේ මේ සේනාධීරයි. අහ්...සමාවෙන්න ..ඔහු යන්නේ මන්නාරමේ පෘතුගීසීන්ගේ රැකවරණයේ සිටිනා කරල්ලියද්දේ කන්ද උඩරට රජු හමුවීමටයි. එහෙත් ඔහුට කරල්ලියද්දේ හමුවීමට නොහැකි වෙනවා. කරල්ලියද්දේ ඊට දින දෙකකට ප්‍රථම වසූරිය රෝගයෙන් මියයනවා. කරල්ලියද්දේගේ දියණිය කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනාය. ඇය උඩරට රජබවට පත් පළමුවන විමලධර්මසූරිය රජුගේ මෙහෙසිය වූවාය.

      / ඒකයි මම ඇහැව්වේ. ඔයාටත් මට වගේම යටි හිතේ ඒක තිබෙන්න ඇති. එයින් මතු වෙච්ච නිර්මාණයක් වගේ. /

      එහෙම වෙන්න පුලුවන් අජිත්..ඔබ හා එකඟයි...:)

      Delete
    13. Ajith & Pra,

      Yes, W.A. Silva was accused of plagiarism regarding his novel " Wijayaba kollaya " . But he was accused of stealing the plot of Sheridan's Pizarro not Oedipus Rex. Evidently the love triangle that was the cornerstone in Wijayaba kollaya was depicted exactly in the same format in Pizarro.

      In " Wijayaba Kollaya" the main protagonists were Nayanananda, Asanga and Neelamani. In Pizarro the corresponding characters were Alonzo, Rolla And Cora.Pizzaro became Laserda in Wijayaba Kollaya.

      But it seems W.A. Silva himself had admitted that the plot is from Pizzaro

      " කතුවරයා සඳහන් කරන ආකාරයට ෂෙරිඩන්ගේ “පිසාරෝ” නාට්‍ය ආශ්‍රිත ව විජයබා කොල්ලය නිර්මාණය කර තිබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ස්වකීය සිංහල නවකතා ඉතිහාසය හා විචාරය නමැති කෘතියේ මේ බව සඳහන් කර තිබේ. "

      Delete
    14. මේකෙන් නියම කරුණු ටිකක් දැන ගත්ත. ඒ වගේම මතක් වුනා. ඒ මතකයත් හරිම සුන්දරයි. ඒ නිසා ඔබ දෙදෙනාටම ස්තුතියි. රවී හා ප්‍රා හරි පිසරෝ ගැන. විජයබා කොල්ලයේ අර වගේ නම් ගම් තිබෙන්නේ කොහොමොද කියන එක ගැන මට මතකයක් නැහැ. මේ පොත් කියෙව්වේ මම අටේ පන්තියේ වගේ ඉන්න කා ලේ. අවුරුදු 36 කට විතර කලින්.

      Delete
    15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14986-2014-12-20-09-45-13

      Delete
    16. ඔබගේ නම මොකක්ද?

      Delete
    17. රවී වීරසිංහ

      Delete
  13. ෆිල් හියුස් ගේ පෝස්ට් එකට යමක් එකතු කරන්න තදින්ම ඕනකම තිබ්බා. ඒත් පහුගිය ටිකේ ගමන්බිමන් ටිකක් වැඩි වුණා.

    //ආය නෑ ඇපලෝ එකොළහ තමා// ඒ කියන්නෙ නවතින්නේ හඳේ?

    අපි දිහා කවුරු හරි බලන් ඉන්න බව අපිට දැනෙන එක නම්, සිද්ධ වෙන දෙයක් නේද? විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියනවද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තිසර,

      //ආය නෑ ඇපලෝ එකොළහ තමා// ඒ කියන්නෙ නවතින්නේ හඳේ? /

      ආය මොනවද මේ කියන්නෙ මල්ලි...හඳේ..හඳේ..හඳේ..කෙලින්ම බහින්නෙ හඳේ හාවගෙ වලිගෙත් පාගගෙන...හෙහ්,හෙහ්,

      ඔය රහතන් වහන්සෙලා කය මෙහෙ තියෙද්දි අසුරු සැණෙකින් දස දහසක් සක්වල චාරිකා කලාය කියල බෞද්ධ සාහිත්‍යයෙ තියනව කියවල තියනව නේද?

      " එකල්හි සාරිපුත්ථ මහ තෙරණුවෝ දිගුකල හස්තයක් වක් කරනා ඇසිල්ලෙහි සහස් සංඛ්‍යාත චක්‍රවාටයන්හි සැරිසැරූ සේක.දහසක් සූර්යයෝ එතුමන්ගේ ගෙල වටා පැළඳි මුක්තාහරයන්මෙන් බැබලුණෝය. කණකමය තාරකා පංතීහු එතුමන්ගේ චීවරය බබලවමින් දිලුණෝය."

      සැරියුත් හාමුදුරුවො එහෙම කලේ කොහොමෙයි කියලද උඹ හිතන්නෙ? හෙහ්...හෙහ්...හෙහ්,

      / අපි දිහා කවුරු හරි බලන් ඉන්න බව අපිට දැනෙන එක නම්, සිද්ධ වෙන දෙයක් නේද? විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියනවද දන්නේ නෑ./

      එහෙම කියනව මිසක මට නම් එහෙම දැනුනු බවක් මතක නෑ...විද්‍යාත්මක පසුබිමක් තියනවද කියල පොඩ්ඩක් හොයල බලන්ට වෙනව...

      Delete
  14. උඹේ නිර්මාණය මොකක් වුනත් බං, සීගිරියෙ ඉස්මත්තෙ, මලකුත් අතේ තියාන රෑ ගත කිරීම නං මාර අත්දැකීම...

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත. සීගිරියට රෑ කොහොමද නැග්ගේ කියන එකත් ප්‍රශ්නයක්. එතන මුර දාල නැත්ද? අනික රෑට පඩිපෙළ පේන්නෙත් නැහැ නේද? මටත් මාර ආසාවක් තියනවා. පුදුම ලස්සන ඇති උඩ හඳ එලියට.

      Delete
    2. @Ajith
      //මා හා සමකාලීනව සීගිරිය ව්‍යාපෘතියෙහි නේවාසික සැළසුම් ශිල්පී ලෙස සේවය කල සරත් අනුරාධපුර කාර්මික විද්‍යාලයෙහි මට එක් වසරක් ජේෂ්ඨයකි.නොයෙක් නේවාසික වැඩමුළු ආදියට සහභාගිවන කල අප නවාතැන් ගත්තේ සීගිරිය පැරණි පුරාවිද්‍යා සංචාරක නිවාසය පිටුපස පිහිටා තිබූ ඔහුගේ නිල නිවාසයෙහිය. //
      මම හිතන්නෙ ඒ නිසා සරත්ට ඔතන ප්‍රශ්නයක් තියෙන්න නෑ.

      Delete
    3. අජිත්,

      / සීගිරියට රෑ කොහොමද නැග්ගේ කියන එකත් ප්‍රශ්නයක්. එතන මුර දාල නැත්ද? අනික රෑට පඩිපෙළ පේන්නෙත් නැහැ නේද? /

      අපි ඒ කිව්වෙ සරත් ඒ වෙනකොටත් වැඩ කරපු සහ මම කලින් වැඩ කරපු ආයතනයෙන් ආරක්ෂක සේවයක් පවත්වාගෙන ගියා. ඒත් සරත් එතකොටත් ඒ ව්‍යාපෘතියෙ සේවය කරපු නිසා රෑ ගල උඩට නඟින්ට ප්‍රශ්ණයක් උනේ නෑ. හඳ එලිය තිබුන නිසා ආවරණය නොවුනු තැන්වල පාර බොහොම පැහැදිලිව පෙනුන. බිතු සිතුවම් හරියෙ විතරක් ටිකක් විතර අඳුරුයි. සරත් කලින් හත් අට පාරක් ඔය ගමන ගිහිල්ල තියන නිසා මිනිහ සීන් එක දන්නවනෙ. එයා ගෙනාව කෑලි තුනේ ටෝච් එකක්.ඒ නිසා අවුලක් උනේ නෑ.

      / මටත් මාර ආසාවක් තියනවා. පුදුම ලස්සන ඇති උඩ හඳ එලියට. /

      කියලා වැඩක් නෑ අජිත්.…You just have to experience it first hand to get that amazing feeling. You actually feel like you are Kuvera and this is Alakamanda….

      Delete
    4. ඩ්‍රැකී,

      ස්තූතියි...ඔබ හරි..ඒ වනාහී කිසිකලෙක අමතක නොවෙන අත්දැකීමකි...:)

      Delete
  15. නිල් කට්රොල් මල් අතු අග පිපිලා
    නිලට නිලෙන් සැරසෙන්නේ
    මල් මකරන්ද සුගන්ධ උරාලද
    පිනිබර සුළඟ හමන්නේ
    සුළඟට විසිරෙන කියුඹු තුඩින් තුඩ
    ළය මත නිතොර රඟන්නේ
    නිල් මල් සුවඳට මත් වුණු මුවරද
    මන්ද අමන්දැර යන්නේ

    කන්කලු නන්දන මිහිර සරින් සර
    මල්බර උයන ගයන්නේ
    උවන සුරංගන ගයනා ගීයට
    කවුරුද අතහැර යන්නේ
    මන්ද ඉතින් තව පෙම්බර හද මත
    නොනිදා තවම නිදන්නේ

    නයනග කැලුමට ගර්හිත තරු නුබ
    තිමිරත සැඟව ඉඳින්නේ
    අංජන කල්ක උලා රන් පුරසඳ
    පංකජ විලිබර වන්නේ
    මන්ද ඉතින් තව ගංතෙර දිය මත
    සළුව ලිහා නොනිදන්නේ

    ReplyDelete
    Replies
    1. කඳු,

      කට් රොල් මල්පෙත්තක නිල්පැහැ ගත්,
      දෙනුවන් කැලුම් දිලෙන්නේ,
      පංකජ රත්පෑ තැවැරුනු විලසින්,
      දෙකොපුල් මසිත් බඳින්නේ,

      මනකල් නුඹ සිත් අහසෙහි තරුමල්,
      මිහිකත් මතට වඩින්නේ,
      විල්තෙර ලවැලිතලාවෙහි හිඳිනෙම්,
      සුරඟන නුපුර ඇසෙන්නේ,


      බොහොමත්ම ස්තූතියි කඳු......:)

      Delete
  16. නියමයි රවීයියේ,සුපිරි රජ කතාවක පටන් ගැන්ම වගේ.යකඩෝ අර එක පිම්මේ ආපු /එන බඩකඩිත්තු රාජකීය චිත්‍රපටි පරදායි මේ ලියවිල්ලට.

    අහල්‍යා,කෙල්ලට නම දැම්මෙ අහුබුදු සුරින්ද මන්දා..:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      / අහල්‍යා,කෙල්ලට නම දැම්මෙ අහුබුදු සුරින්ද මන්දා..:D /

      අහල්‍යා කියන්නෙ අහුබුදු ලොක්කගෙ නමක් නම් නෙවෙයි.අහල්‍යා කියන්නෙ දිව්‍යාංගනාවක්. ලොව සියලු නාරි සුන්දරත්වය කැටිකොට මහා බ්‍රහ්මය ස්ත්‍රී රූප ශෝභාව පිළිබඳ මුදුන් මල්කඩ ලෙස අහල්‍යා මැව්වයි කියල තමයි හින්දු දේව කථාවල කියවෙන්නෙ.

      ඔය අහල්‍යාගෙ කතාවත් මරු. සක්කරයට දහසක් ඇස් තියනවයි කියල අහල ඇතිනෙ. එහෙම පොරට දාහක් ඇස් හම්බ උනේ ඔය අහල්‍යා කෙලී හින්දයි කියලයි කියවෙන්නෙ.සක්‍රය කියන්නෙ දෙයියංගෙ ලොක්කනෙ. හඳේ හාව එහෙම අර ඇන්දෙ..අන්න එයා...සක්‍රතෙමේ ඉන්නෙ බෞද්ධ සාහිත්‍යයෙනෙ.අපේ කතාවල ඉන්න සක්කරය බුදු හාමුදුරුවන්ගෙන් බණ කාරිය අහල සෝවාං වෙච්චි නොම්මර එකේ උපාසකයෙක්. ඒත් හින්දු දේවකතාවල එහෙම නෑ. එව්වයෙ ඉන්න සක්කරය ලෝක කුපාඩියෙක්.එතන පොරගෙ නම ඇවිල්ල සක්කර නෙවෙයි. ඉන්ද්‍ර.....

      රයිට් දැං කතාවට බහිමු. ඉතිං බ්‍රහ්මය ( ඔය බ්‍රහ්මයගෙ වැඩ ගැන කියවනකොට ඉන්ද්‍ර තව හොඳයි..තමන්ගෙම දුවට...රයිට් ඒ කතාව වෙන දවසක ...) අහල්‍යාව මවල ගෞතම කියල හිටිය බොහොම ධාර්මික සෘෂිවරයෙක්..අන්න එයාට සරණ පාවල දුන්න. දැන් දෙන්න ( දෙන්න කිව්වෙ ගෞතම ඇන්ඩ් අහල්‍යා )කැළේ අසපුවක වාසය කරනව. ඉන්ද්‍ර ගොයිය දවසක් දැක්ක අහල්‍යාව ..අප්පටසිරි අහල්‍යාව දැක්ක ගමං ඉන්ද්‍රට උන්හිටිතැන් අමතක උනා. එදා ඉඳලම පොරට ඕන උනේ අහල්‍යා එක්ක..දන්නවනෙ ඉතිං...හෙහ්,හෙහ්,

      ඉන්ද්‍ර කරපු වැඩේ ගෞතම නැතිවෙලාවට අසපුව පැත්තෙ ඇවිල්ල අහල්‍යා එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉන්න ගමං පොඩි වර්ඩ් එකකුත් දාල බැලුව. අර කියන්නෙ මුට්ටිය දාල බලනව කියල අන්න ඒක..ම්හු..වැඩේ හරිගියෙනෑ. අහල්‍යා එව්වට ඔට්ටු නෑ. ඒත් ඉන්ද්‍රට මේ වැඩේ අතාරින්නම බෑ.

      ගෞතම උදේ පාන්දර කුකුළා අඬලපු ගමම්ම අසපුවෙන් පිටත් වෙලා යනව ඒ ලඟම තිබ්බ ගඟට..ගිහිල්ල නාල කියල කාරිය භාවනාවෙ යෙදෙනව. ඉන්ද්‍රස් මේක දැනගෙන කලේ මහ රෑ දෙගොඩහරියෙ ඇවිල්ල අසපුව ලඟ හැංගිල ඉඳල කුකුළෙක් හඬලනව වගෙ සද්දයක් කලා. ගෞතම ඔන්න අම්මට උඩු කුකුලත් ඇඬලුව නේද කියල දනිපනි ගාල පිටත් උනා ස්නානයට. ඊට පස්සෙ ඉන්දරය කලේ ගෞතමගෙ වේශයෙන් අසපුවට ඇතුල්වෙලා අහල්‍යා එක්ක හිතේ හැටියට වැඩේ කරගත්ත. අහල්‍යාත් අනේ මේ තමංගෙ ස්වාමියාය කියල හිතාගෙන වැඩේට ඉඩ දුන්න. ගෞතම ගොයිය නාල ගොඩට ඇවිල්ල සබංගාන කොට පොරට තේරුනා අඩේ මේ තාම මහ රෑනෙවද? මට වෙලාව වරදිලා නෙවද මේ ඇවිල්ල නාන්නෙ කියල. පොර දනි පනිගාල ආපහු අසපුවට ආව. අප්පටසිරි අතේ කෝට් වැඩේ. ගෞතමට මල පැනපු පාර අහල්‍යාව එතනම ගල් රූපයක් කලා. ඉන්ද්‍රයට සාප කලේ උඹ ඔය වැඩේට ඔච්චර කැමතිනං ඉඳහං උඹට මම කොච්චරවත් ඔය වැඩේ කර කර ඉන්ට වැඩේ කරන්නං කියල සිරුර පුරා ස්ත්‍රී ලිංග මැවේවා කියල කියල සාප කලා.

      ආය මොනවද? එසැනින් ඉන්ද්‍රයගෙ ඇඟ පුරා ස්ත්‍රී ලිංග මැවුන. මේ මනුස්සය කලේ ඔලුවෙ ඉඳල පෙරවගෙන තමන්ගෙ විමානෙට වෙලා කාමරේ දොර වහගෙන හිටිය. මොහොකටවත් ආය අම්මෙ මුත්තෙ කිව්වත් එලියට නං එන්නෙ නෑ. දේව සභාව රැස්වෙන්ට අනිවාර්යයෙං ඉන්දරය ඉන්ටම ඕන. මිනිහනෙ ඒකෙ ප්‍රධානියා. ඉතිං දේවසභාව රැස් කරන්ට බැරුව අනික් දෙවිවරු ඇවිල්ල ගෞතම හම්බවෙලා කාරනේ කිව්ව. ඒ පාර ගෞතම කිව්ව රයිට් මම එහෙනං ඒ යකාගෙ ඇඟේ තියෙන ස්ත්‍රී යෝනි ඔක්කොම ඇස් කරන්නං කියල ඒ විදිහට කලා. එදා ඉඳල තමයි කියනව ඉන්ද්‍ර නොහොත් සක්‍රයගෙ ඇඟ පුරා ඇස් දාහක් ඇතිඋනේ.

      Delete
    2. මොනව උනත් ගෞතමය කරපු වැඩ දෙකම පට්ට චාටර්.. අහල්‍යාව ගල් රූපයක් කරපු එකයි ඉන්දරයගේ යෝනි ටික ඇස් කරපු එකයි.. ආයි ඉතින් ආසවකටවත්.. හෙහ් හෙහ්..

      Delete
  17. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14986-2014-12-20-09-45-13

    ReplyDelete
    Replies
    1. අජිත්,

      දහස්වරක් ස්තූතියි අජිත්.........:)

      Delete
  18. http://sinhala.lankanewsweb.net/news/15152-kjhu

    මිතුරනි, නිල්කට්රොල් මලටත් සම්මානයක් ලැබිලා. :)

    ReplyDelete
  19. හප්පා ඉතින් කතාව මෙතනින් ඉවරද තව කොටස් තියෙනවද? හොදම හරියෙදි නවත්තලනෙ.හරිම ලස්සනයි මේකනම්

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි