Wednesday, March 4, 2015

307. විමලෙගෙ වාංපතුල් කතා - 27 - බහිරවකන්ද බුදු පිළිමය, දුම්බොන්නාගේ කතාව සහ Nothing About Anything But Something About Everything

Bahirawakanda Statue - Google Images

" වෝඩ් සෙවන්ටීන් එකේ වැඩ කරනව නේද සරෝජිනී කියල ගර්ල් කෙනෙක්?..."

" ඔව්..සරෝජිනී මගෙ බැච් මේට්..අයිය එයාව දන්නෙ කොහොමද? "


" ඒක ටිකක් දිග කතාවක්...මෙහෙමයි..අපෙ අප්පච්චි මාස හයකට වගෙ ඉස්සෙල්ල හාට් ඇටෑක් එකක් ඇවිල්ල ඔය වෝඩ් එකේ හිටිය සති දෙකක් විතර…"



" ඉතිං?........"

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

ඔය කාලෙ වෙනකොට අප්පච්චිට හෘදයාබාධ තත්වයක් මතුවෙලා තිබුන. මුල්ම පාර පේරාදෙණිය රෝහලෙයි දෙවෙනි පාර මහනුවර රෝහලෙයි දෙපාරක්ම අප්පච්චි නතරවෙලා හිටිය දවස් දහයක් දොළහක් විතර. ඒ දෙපාරම වැඩිපුර ලඟින් හිටියෙ මම. ජනූගේ සටහන් ලියන අපේ ජානිස් ගොයිය එයාලගෙ අප්පච්චි ගැන ලියාපු බොහොම හෘදයාංගම සටහනකට අවුරුද්දකට දෙකකට වගෙ ඉස්සර මම ලියාපු කමෙන්ට් එකක් මේක. 

රෑ දහයට වාට්ටුවෙ ලයිට් නිවනව.ඊට පස්සෙ දැල්වෙන්නෙ කොරිඩෝවෙ සිවිලිමේ අඩි තිහෙන් තිහට වගෙ සවිකරල තියෙන දිගටි හැඩැති මලානික එළියක් නිකුත් කරන ප්‍රතිදීප්ත පහන් පමණයි. ඒත් හැම ඇඳක් ළඟම බිත්තියෙ පොඩි විදුලි පහනක් තියනව හදිසියකදි අත දිගුකරල දල්වා ගන්ට හැකිආකාරයට.

පේරාදෙණියෙ රෝහල හැදුවෙ ජපානෙ මිට්සුයි සමාගම. ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉවරවෙලා ඒ එක්කම තමයි මේකෙ වැඩ පටන්ගත්තෙ. ජපනගෙ වැඩ දන්නවනෙ. හරිම පිළිවෙලයි. රෝගීන්ට ඕන හැටිය ඉරු එළිය එන්ට, ස්වභාවික වාතාශ්‍රය ලැබෙන විදිහට විශාල කවුළු තියනව හැම තැනම වගෙ. මේ වෙලාවෙ නම් වැටෙන්නෙ හඳ එළිය විතරයි. කොරිඩෝවෙ එහා කෙළවරට ගිහාම හන්තාන කඳුවැටිය අතින් අල්ලන්ට ඇහැකිය කියලයි හිතෙන්නෙ. හීතල හුළඟක් හමාගෙන ආව. ඇඳගෙන උන්නු කමිසෙ බෙල්ල ගාව බොත්තමත් දාල වහගෙන මම හැරිල කොට බිත්තිය උඩින් බැලුව අංක 31 ඇඳ දිහාවෙ.

සුදුපාට බොකුටු කොණ්ඩෙ විතරයි අඩ අඳුරෙ මෙතනට පේන්නෙ. බෙල්ල ගාවටම පොරෝනයෙන් වැහිල සරීරයම. ඒ මයෙ අප්පච්චි…මේ පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 23, හෘද රෝගීන් යම් තරමකට සුවය ලැබුවම රෝහලෙන් ඉවත්ව යනතෙක් මේ වාට්ටුවෙ තමයි රඳවන්නෙ. මේ පිරිමි වාට්ටුව. අංක 24 ගැහැණු වාට්ටුව. අප්පච්චි දවස් හතරක් දැඩි සත්කාර ඒකකයෙ ඉඳලයි මෙතනට ආවෙ.

" මිස්ටර් වීරසිංහ තාත්තගෙ තත්වය එච්චරම හොඳ මදි.මයිල්ඩ් ඇටෑක්ස් තුනක් එක පිට එක ඇවිල්ල තියනව. මයෝ-කාඩියල් ඉන්ෆාක්ෂන් "

" ඩොක්ටර්, ඔපරේෂන් එකක් කරන්න වෙයිද? " මම හීන් හඬින් ඇහුව.

" දැනට නම් ඕන නෑති වෙයි මම හිතන්නෙ. ක්‍රිටිකල් ස්ටේජ් එක පහුවෙලා තියෙන්නෙ. අපි බලමු. තව සතියක් වගෙ වෝඩ් එකේ හිටපුවාවෙ. "

හෘද රෝග විශේෂඥයයි මායි අතරෙ එහෙම කතාබහක් ඇතිඋනේ අද උදේ.

අප්පච්චි ළඟට හෙමිහිට ගිහිල්ල මම ඇඳ ලඟ තිබ්බ ප්ලාස්ටික් පුටුවෙ ඉඳගත්ත. වමත පොරෝණෙන් එළියට පැනල ඇඳෙන් පහලට එල්ලෙනව. මැණික් කටුවට ටිකක් උඩින් ගහල තියෙන්නෙ සේලයින් කටුව. මම හෙමිහිට අත ආපහු ඇඳ උඩින් තියල පොරෝණෙන් වැහුව.

අප්පච්චි එක්ක හුඟක් දේවල් මට කතා කරන්න තියෙනව. පොඩි කාලෙ ඉඳලම හිතේ පැහැව පැහැව තිබ්බ හුඟාක් දේවල්. ඒත් එව්ව කියාගන්ට මට කාලයක් නැතිවෙයිද? මහෙ හිතේ මහ බයක් හෝ දුකක් වගෙ හැඟීමක් ඇතිවෙලා උගුර හරහා ඇවිල්ල පිට උනේ දෑස් අග තෙත් කරමින්. මම හෙමිහිට අත දාල පොරෝනය අස්සෙන් අත දාල අප්පච්චිගෙ අත අල්ලල හෙමිහිට මිරිකුවා.

අප්පච්චි එක පාරටම ඇස් ඇරියා.

" පුතා……"

" අප්පච්චී …."

මම පුටුවෙන් නැඟිටල පාත්වෙල අප්පච්චිගෙ නළල හෙමිහිට අත ගෑව.

ඔය මම ලිව්වෙ ඉස්සරවෙලා පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ අප්පච්චි හිටපු සතියක හමාරක වගෙ කාලය ගැන. සනීප උනාට පස්සෙ අප්පච්චි ගෙදර ආව. ඒත් දරුණු හෘදයාබාධයක් ආවම ආයෙම පස්සෙත් ඒ වගෙ එකක් එන්ට තියන සම්භාවිතාව වැඩියි කියල කියනව. හරි ඒ කොහොමහරි පේරාදෙණියෙ ඉඳල ගෙදර ඇවිල්ල මාස හයක් වගෙ යන්ටත් ඉස්සර ආයෙම තත්වය දරුණුවුනා. ඒ පාර තමයි නුවරට ඇඩ්මිට් කලේ.

" ඉතිං මම තමයි වැඩිපුර අප්පච්චි ගාව හිටියෙ…" අසෝකා මා දිහා බලල ආයෙම බිම බලා ගත්ත…

" ඒ කාලෙදි තමයි මම සරෝජිනීව අඳුනා ගත්තෙ…"

ඒ කාලෙ නුවර ඉස්පිරිතාලෙ හෘදරෝග වාට්ටුවට යන්ට ඉස්පිරිතාලෙ බාහිර රෝගී අංශය ඉස්සරහිං දිවෙන තාරපාර දිගේ තරමක කන්දක් නැඟල යන්ට ඕන. 

" මේ කන්ද නැග්ගම ලෙඩ්ඩු බලන්ට එන මිනිස්සුන්ටත් හාට් ඇටෑක් නැහැදුනොතින් තමයි පුදුමෙ " සුදු කලිසමක් සහ කමිසයක් ඇඳගත්තු මැදිවියේ පුද්ගලයෙක් දවසක් හති දමමින් කන්ද නඟින අතරෙ ඒ එක්කම පිටිපස්සෙං යන මාදිහාට හැරිල කිව්ව. 

" හෙහ්, ඒකනං ඇත්තම තමයි.." මම හිනාවෙලා කිව්ව.

දාහතේ වාට්ටුවෙ විසිතුන ඇඳේ අප්පච්චි හිටියෙ. අයි.සී.යූ නොහොත් දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර කරල තත්වෙ හොඳ අතට හැරුනම සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනව.නුවර ඉස්පිරිතාලෙ ගෙවන වාට්ටුවකුත් තියනව.ඒකට කියන්නෙ ෆ්‍රේසර් වෝඩ් එක කියල.එහෙම කියන්නෙ ඇයිද කියන්න මම දන්නෙ නෑ. අම්මගෙනුත් ඇහුවට හරි විස්තරයක් අම්ම දැනගෙන හිටියෙත් නෑ. ආ..මම කලින් කිව්වෙ නැහැනෙ නේද? අපෙ අම්ම හෙදියක්. නුවර එන්.ටී.එස්. එකෙන් ඒ කිව්වෙ හෙද අභ්‍යාස විද්‍යාලයෙන් ඉගෙන ගෙන මුලින්ම අවුරුදු හතර පහක් වගෙ සේවය කරල තියෙන්නෙත් නුවරමයි.පස්සෙ බදුල්ල, මොණරාගල, මාතර, කෑගල්ල සහ අන්තිමට අනුරාධපුර රෝහලේ සේවය කරල තමයි විශ්‍රාම ගියේ.

ගෙවන වාට්ටුවෙ කාමරයක් ගත්තනම් හොඳට සැප පහසුවට ඉන්ට පුලුවන්. එක රෝගියට එක කාමරයයි. ඒකෙ රෝගියා ලඟ නතර වෙලා ඉන්න කාටහරිත් ඩිංගක් නිදාගන්ට පොඩි ඇඳක් එහෙමත් තියනව.කොහොමහරි ඒ දවස්වල ගෙවන වාට්ටුවෙ පුරප්පාඩු තිබිල නෑ.අනික ඇත්තම කිව්වොත් කොහොමත් නුවර සහ පේරාදෙණිය රෝහල් දෙකම හරිම පිරිසිදුයි. වැසිකිළි කැසිකිළි එහෙම උනත් නිතරම පිරිසිදු කරන නිසා කිසිම අවුලක් නෑ.

ඉතිං අප්පච්චි අයි සී යූ එකේ ඉඳල දහහතේ වාට්ටුවට මාරුකරපු දවසෙ හවස මම ගියා රෑට ඉන්ටත් බලාගෙන. අප්පච්චි ලෙඩ වලට හරිම බයයි. යන්තමට හෙම්බිරිස්සාවක් හැදුනත් ඇති ඔලුවෙ ඉඳන් පෙරවගෙන නිදාගන්නව. සීතලයි කියල සම්මත කෑම කට හරියෙ තියන්නෙ නෑ. සුප් හදල දෙන්ට ඕන රෑට පාන් ටෝස්ට් කරල.අපි පොඩි කාලෙ ටෝස්ටර්ස් තිබ්බ එකක්ය ඉතිං...පාන් ටෝස්ට් කරන්නෙ රොටි කබලෙ දාල තමයි. 

පහේ ශිෂ්‍යත්වයට බුද්ධි පරීක්ෂණය කියල විෂයයක් තියනවනෙ. තවම තියද කියල නම් නොදනිමි. ඒත් අවුරුදු පහළවකට විස්සකට වගෙ ඉහත නම් තිබුණ. මම එහෙම දන්නෙ අපෙ උන්දෙ බැඳපු අලුත දවසක් ඔය බුද්ධි පරීක්ෂණ ආදර්ශ ප්‍රශ්න පත්තර තියන පොතක් ගෙදර අරගෙන ඇවිල්ල මාත් ඒක පෙරලල බලපු හින්දයි. ඒකෙ තිබ්බ පාන් ටෝස්ට් කිරිල්ලට සම්බන්ධ ප්‍රශ්නයක්..ප්‍රශ්ණෙ මෙහෙමයි.

" ඔබ පාන් පෙති තුනක දෙපැත්තම කර කරගත යුතුය.ඔබට ලබාදී ඇති කබලෙහි එක් වරකට කර කර ගැනීමට ඉඩ ඇත්තේ පාන් පෙති දෙකකට පමණි.පාන් පෙත්තක එක් පැත්තක් ටෝස්ට් කිරීමට විනාඩි තුනක් ගතවේනම් පාන් පෙති තුනම ටෝස්ට් කර ගැනීමට වැයවන අඩුම කාලය කොපමණද? "

ඉතිං අප්පච්චිගෙ ඔය ලෙඩ වලට තියන බය හින්දම ඉස්පිරිතාලෙ හිටපු හැමදාම කවුරුහරි ලඟ ඉන්නම වුනා. මුල්ම දවස් දෙකතුනේ මම රාජකාරිය බාරගත්ත. කෝකටත් තෛලය කියල යන්ට කලින් නුවර මැකලම් එකෙන් හරි ගුණසේන එකෙන් හරි පොත් දෙකතුනකුත් ගත්ත.ඒ දවස්වල සරසවි පොත්හල නැත්නම් විජිත යාපා එක පටන් අරගෙන තිබුනෙ නෑ. ගත්තු එක පොතක්නම් මට හොඳටම මතකයි. ඒ කිට්ටුව නිකුත් කරපු ගුණදාස අමරසේකර මහත්තයගෙ පොතක් " ගල් පිළිමය සහ බොල් පිළිමය "

පොළොන්නරුවෙ ගල්විහාරෙ ගැනත් මේ පොතේ කියවෙනව. අවුරුදු ගාණක් තිස්සෙ මාස දෙක තුනකට වරක් වත් නොවරදවා පසළොස්වක දවසට ගල්විහාරෙ ගියපු නිසා පොත කියවද්දි සිතින් මම ගල් විහාරෙ වඳින්ට ගියේ නිරායාසයෙන්ම.

දහ හතේ වාට්ටුවෙ හිටිය ඇටන්ඩන්ට් එක්ක මම කලින්ම කතා කරල මිනිහව ෂේප් කරගත්ත. මිනිහගෙ නම සැම්සන්...ගම කිව්වෙ මේ හිඟුල. හිඟුල තියෙන්නෙ නුවර කොලඹ පාරෙ මාවනැල්ලට මෙහා. 

" ඉතිං සැම්සන් අයිය ..යමුද සිගරට් එකක්වත් බොන්ට? "

" හරි මහත්තය එහෙනං යමුකො.."

" හරි ඉන්න මම බලල එන්නම් අප්පච්චි නිදිද මොකද කියල..."

අයි.සී.යූ. එකෙන් ගෙනාවට එහෙදි දුන්න බෙහෙත්වල සැරටද මන්ද අප්පච්චි කොයිවෙලාවෙත් නිදාගෙනම තමයි හිටියෙ. ඒ වෙලාවෙත් හොඳටම නිදි. මම කෝකටත් කියල ඇඳේ දෙපැත්තෙ ගරාදි උස්සල පොඩි ලොක් එකක් වගෙ තියනව ඒකත් දැම්ම. නැත්තං නිදිමතෙන්ම පෙරලිල බිමට වැටුනොත් මහ ජංජාලයක් වෙන්නෙ. කොහොමත් ඉස්පිරිතාල ඇඳං සාමාන්‍ය ඇඳන් වලට වඩා උස හින්ද බැරිවෙලාවත වැටුනොත් එහෙම ආයෙ සොරි ඩොට් කොම් තමයි.

වාට්ටුවෙ එක පැත්තක් දිග කොරිඩෝවක්. වහලේ උසුලාගෙන ඉන්න හතරැස් කුළුණු අඩි දහයෙන් දහයට වගෙ පරතරෙන් තිබ්බ. ඒ අතර බට පැළලි එල්ලල. මේ රස්නෙ කාලෙ හින්ද ඒ පැළලි උඩට අකුලල රෝල් කරල තිබ්බට බැඳල තිබ්බ ළණු දෙපොට ලිහුව නං සර සර ගාල පාතට වැටිල සම්පූර්ණ කොරිඩෝවම ආවරණය වෙනව. වැහි කාලෙට එහෙමත් නැත්තං සීතල හුළං කාලෙට ඒ බට පැලලි වලින් තමයි වාට්ටුවෙ ඇතුලත ආවරණය වෙන්නෙ.

වාට්ටුවෙ මිදුලට බැස්සම අත දික්කලා වගෙ ඉස්සරහ පේන්නෙ බහිරව කන්ද. නුවර නගරයෙ කොහේ ඉඳල බැලුවත් ඉර අව්ව වැටිල සුදුම සුදු පාටට දිළිසෙන බහිරව කන්ද මුදුනෙ තියෙන යෝධ බුදු පිළිමය ඔය මම කියන දවස් වෙනකොට තවම වැඩ ඉවර නෑ. 

" යමු මහත්තය අතන පඩි පෙලෙන් උඩට. එතෙන්ට විසිතුනේ ඇඳත් හොඳට පේනව. ලොකු මහත්තයට ඇහැරුණත් ඒ හැටි ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අපිට විජහට ආපහු ආ හැකිනෙ. " 

වාට්ටු මිදුලෙ අයිනට වෙන්ට හදල තිබ්බ සුදු අරලිය ගහට එහා පැත්තෙන් ගඩොල් අල්ලල හදපු පඩි පෙළකින් සැම්සන් මාව උඩට එකකරගෙන ගියා.

පඩි පෙලේ කෙලවර වෙන්නෙ පොඩි මිදුලක් වගෙ තැනකින්. ඒ මිදුලෙ මැද කොන්ක්‍රීට් කණුවක් උඩ වීදුරු කූඩුවක් ඇතුලෙ තිබ්බ පොඩි බුදු පිළිමයක්. ඒ මිදුල වගෙ කොටස තිරිවාණ ගල් අතුරල බොහොම පිළිවෙලට හදල තිබ්බ. වැඩි කාලයක් ගිහිල්ල නෑ මේ වැඩේ කරල කියන එක බැලූ බැල්මට පේන්ට තිබ්බ කොන්ක්‍රීට් කණුවෙ ගාල තිබ්බ සුදු එනමල් තීන්තවල අලුත් පෙනුමෙන්.සැම්සනුයි ගිහිල්ල බුදුපිළිමෙට වැන්ද. මාත් ඒ පස්සෙන්ම ගිහිල්ල එහෙම කලා. පස්සෙ අපි දෙන්න ආපහු ඇවිල්ල පඩි පෙලේ උඩම පඩියෙ වාඩිවුනා.

" මේ අහල පහල වාට්ටුවල මිසීලයි දොස්තරලගෙනුත් සල්ලි එකතුකරල ඔය බුදු පිළිමෙ ඔතන තිබ්බෙ අපේ සරෝජිනී මිස්. "

" කවුද සරෝජිනී මිස්? ..." සැම්සන් දිහාට හැරිල මම එහෙම ඇහුවෙ නළලත් රැලි කරගෙන.

" සරෝජිනී මිස් මේ වාට්ටුවෙ වැඩ කරන්නෙ..අද නයිට්..තව ටිකකින් එයි. මහත්තයට හම්බ වුනෑකි. " සැම්සන් එහෙම කියල හිනාවුනේ නිකං ඔලොක්කුවට වගේ කියලයි මට හිතුනෙ..

" හ්ම්ම්......" එහෙම කියල මම ආයෙම ඉස්සරහ බලා ගත්ත. 

මෙතෙන්ට අපූරුවට පේනව බාගෙට හදාගෙන යන බහිරව කන්දෙ බුදු පිළිමෙ ..එතකොට ඊට පල්ලෙහයින් පුෂ්පදානෙ ගොඩනැඟිලි, එතකොට ඊටත් පහලින් නුවර පොලීසියෙ වහල.  බුදු පිලිමෙ හතර අතින්ම වැහෙන්ට පලංචි ගහල තිබ්බ උඩට යනකල්ම.ඒ පලංචිවල මිනිස්සු වැඩ කරනව පෙන්නෙ හරිය කූඹි රැලක් වගේ.

" දැන් කීයද මහත්තය වෙලාව? " සැම්සන් මගෙන් ඇහුව.

" ම්ම්ම්..පහට දහයයි. " .මම අත් ඔරලෝසුව බලල උත්තර දුන්න. 

" හෙහ්, තව ටිකකින් බලන්නකො අර මිනිස්සු එකා පස්සෙ එකා ඉණිමං දිගේ පාතට බහින හැටි ..පහටනෙ ඕෆ් එක. "

කලිසං සාක්කුවෙන් ගත්තු ගෝල්ඩ් ලීෆ් පැකට් එක මම සැම්සන්ට දික්කලා. 

" හැබැයි ගොයියෝ මා ගාව ලයිටරයක්, ගිණි පෙට්ටියක් එහෙමනම් නෑ.." 

" අහ්..එහෙමද.? ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ ....මහත්තය ඔහොම ඉන්ටකො. "

සැම්සන් නැඟිටල අර පොඩි මිදුල් කෑල්ලෙ මැද කොන්ක්‍රීට් කණුව උඩ තිබ්බ බුදු පිළිමෙ ගාවට ගියා. මම ඉඳ ගත්තු ගමන්ම එහෙමම ඔලුව හරවල බලා හිටිය මේ මනුස්සය මේ මොකද කරන්ට හදන්නෙ කියල. හෙමිහිට බුදු පිළිමෙ පිටිපස්සට අත දාල සැම්සන් ගිණි පෙට්ටියක් එළියට ගත්ත. ඊටපස්සෙ බොහොම උජාරුවෙන් හිනාවෙවී ආව මම ඉන්න තැනට. 

" මම දන්නවනෙ ඔතන බඩු තියෙන්නම ඕනෙ කියල." 

දුම්වැටි දෙකක් දල්වගෙන අපි දෙන්න කරබන දුම්බොන වැඩේ කරගෙන ගියා.කිව්වත් වගෙ හරියටම පහ වෙද්දි බහිරව කන්දෙ බුදු පිළිමෙ වැඩ කරපු සෙනඟ කන්දරාව ඉණි මං දෙක දිගේ පහලට බහින්ට ගත්ත. ඒකනම් අර කිව්වත් වගේ බලාඉන්ටම වටින වැඩේ.

දුම්බොන්නා කියල කුරුල්ලෙක් ගැන අහල තියද? බොහෝවිට වියළි කලාපයෙ ඉන්නෙ. දුඹුරු වගෙ පාටකින් යුතු පියාපත් තියෙන පොඩි කොට්ටෝරුවෙක් විතර කුරුල්ලෙක්. ඒ පැත්තෙ හේන්වැඩ කරද්දි ගස් පෙරලල වේලුනහම ගිණි තියනව.එහෙම ගිණිතියන්ට ඉස්සරවෙලා ගිණි හුලත් අතින් අරගෙන හේන් ගොවියා බොහොම සද්දෙට යාදින්නක් කියාගෙන හේන වටේ යනව. 

" දෙයියෝ, බුද්දු ඔක්කොම ආරක්සා කරල දෙන්ට ඕනා...දැං මේ හේන ගිණි තියන්ටයි යන්නේ. මේ අකුල ඇතුලෙ ඉන්න ලොකු සත්තු, පොඩි සත්තු, තරමක සත්තු, ඒ වගේම ඇවිදින සත්තු, බඩගාන සත්තු ඒ එක්කම පිහාබන සත්තු ඒ ඔක්කොම දැං මේ මොහොතේම මෙතනිං පිටවෙලා මහ කැලේට පලයල්ලා. මම මේ හේන ගිණිතියන්ටයි හදන්නේ. මගේ දරු පවුල ආරක්සා කරගන්ට උන්ට බඩගිනි වෙනකොට කන්ට දෙන්ට උවමනා නිසා මේ වැඩේ කරනවා මිසක උඹලගෙ වාසස්තාන නැතිබංග කිරීමේ අදහසක් මගෙ තුං හිතකවත් නෑ. මං අදහන ඔක්කොම දෙයියො බුද්දුංගෙ නාමෙන් දිවුරලා කියන්නං, ඔන්න මම මේ හේන දැං ගිණි තියන්නයි යන්නේ, මෙතනින් පිටවෙලා වහාම මහ කැලේට පලයල්ලා. "

මට මතක විදිහට චිත්‍රපටයෙ නම සෙයිලම වෙන්න ඕන. එච්.ඒ. පෙරේරා ඔහොම කිය කිය ගිණි හුලකුත් අරගෙන හේන වටේ යන දර්ශනයක් මට මතකයි. එතනම ගහක් යට ඉඳගෙන ඒ දිහා බලා ඉන්නව ස්වර්ණා මල්ලවආරච්චි. එච්.ඒ ගෙ බිරිඳ.

ඉතිං මම මේ කියන්ට ආවෙ ඔය දුම්බොන්නයි කියන කුරුල්ල හේන් එහෙම ගිණි තිබ්බම ඒ ගිණි මැලෙන් නඟින දුම් රොටු අතරෙන් එහාට මෙහාට පිහාබනව.ඒ සතා එහෙම කරන්නෙ දුම් බොන්නයි කියල හිතල තමයි ඒ පැත්තෙ මිනිස්සු එයාට දුම්බොන්නයි කියල නම දාල තියෙන්නෙ. ඒත් ඇත්ත කතාව ඒක නම් නෙවෙයි.ගිණි මැලේ  ගින්දරෙන් බේරෙන්න පොඩි සත්තු, ඔය කුරුමිණි වගෙ එවුං දුම අස්සෙන් උඩට පියාඹනව. එවුන් අල්ලගෙන කන්න තමයි දුම් බොන්නල ඔය දුම අස්සෙං පියාඹන්නෙ.

කොහොමද දුම්බීම ගැන කතාව ඇදිල ගිය දුර නේද? මම අර ඉස්සරෝම පුරාවිද්‍යාවට සම්බන්ධ ආයතනයක රැකියාව කලාය කියල කිව්ව මතකයි නේද? මේ පහුගිය සතියේ අභාවයට පත්වුනු මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහත්තය කියපු කතාවක් මට මේ වෙලාවෙ මතකයට එනව. එතුමා ඒ කාලෙ සීගිරිය සහ දඹුල්ල යන පුරාවිද්‍යා ව්‍යාපෘති දෙකේ අධ්‍යක්ෂවරයා. දවසක් අභයගිරි චෛත්‍යය ගාවදි කැණීම් වලින් හම්බ වෙච්ච වළං කැබලිත්තක් අතට අරගෙන එතුමා කිව්ව " හරියට පුරාවිද්‍යාව විෂයය හදාරල තියෙන කෙනෙකුට ඒ ගැන උනන්දුවක්, ඇල්මක් තියෙන කෙනෙකුට මේ වළං කැබලිත්ත හොඳටම ඇති ආචාර්ය උපාධියකට නිබන්ධනයක් කරන්න " කියල.

බැසයන හිරුගෙ රතුපාට රැස් පතිත වෙලා බහිරව කන්දෙ බුදු පිළිමෙ ලා රතු පාටට දිළිසුනා.පිළිමෙ පසුබිම් කරගෙන කපුටො රංචුවක් හන්තාන කඳු පංතිය පැත්තට පියඹලා ගියේ එක රොත්තට. උං තොර තෝංචියක් නැතුව කෑගහන සද්දෙ මට මෙතනට ඇහෙන්නෙ නැතිඋනත් මට හිතාගත්තෑකි. ඔලුව හරවල මම පල්ලෙහා වාට්ටුවෙ විසිතුන්වෙනි ඇඳ දිහාවෙ බැලුව. අප්පච්චි තවම එක සීරුවට නිදි. මම ආයෙම බුදු පිළිමෙ දිහාවෙ බලාහිටිය පොඩ්ඩ පොඩ්ඩ අඳුර ගලාගෙන ඇවිල්ල පිළිමෙ වැහිල යන අපූරුව. එහෙම කොච්චර වෙලා මගේම ලෝකෙ තනිවෙලා හිටියද කියල මට නිනව්වක් නැඇ. පඩිපෙල දිහාවෙන් සද්දයක් ඇවිල්ල මම ඔලුව හරවල බැලුව.හෙදි නිල ඇඳුමෙන් සැරසුනු යුවතියක් පඩි පෙල නැඟගෙන එනව දැකල මම හෙමිහිට ඉඳගෙන හිටපු තැනින් නැඟිට්ට.

පලි - මේ වැල්වටාරං එකතුකරල කවදක හරි පොතක් ගැහුවොත් මොකක්ද දන්නවද මම දාන්ට ඉන්න නම ? " Nothing About Anything But Something About Everything - My Life And Times In  Emerald Isle..."

64 comments:

  1. this very bad Ravi!!!!
    I'm in ksa & everyday I'm checking all blog reader's to chk whether u had post anything.
    this really short Ravi & u must post at least another 2 pgs

    ReplyDelete
  2. ෆ්‍රේසර් හෝල් එක උඹලෑ ගේ ගාවා ටීචර්ස් කොලේජ් එකෙත් තිබුණ බව ඕන්න උඹ කිව්වාමයි මතක් වුනේ. කවුද බං ඔය පුග්ගලයා?

    හිඟුල කියලා ගහලා තියෙන තැනින් තමයි නේද කඩුගන්නාව කන්ද නගින්න පට්ටාං ගන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      / ෆ්‍රේසර් හෝල් එක උඹලෑ ගේ ගාවා ටීචර්ස් කොලේජ් එකෙත් තිබුණ බව ඕන්න උඹ කිව්වාමයි මතක් වුනේ. කවුද බං ඔය පුග්ගලයා?  /

      එහෙමත් එකක්ද? ට්‍රේනිං කොලේජ් එකෙත් ෆ්‍රේසර් හෝල් එකක් තියනවද? මම පොඩ්ඩක් විස්තර හොදිවිසි කරල බැලුව.ඇලෙක් ගාර්ඩ්න් ෆ්‍රේසර් කියල 1904 - 1924 කාලෙ ට්‍රිනිටි කොලේජ් එකේ ප්‍රින්සිපල් කෙනෙක්ගෙ විස්තර නම් හම්බවුනා. මෝස්ට් ප්‍රොබබ්ලි එයා වෙන්න ඕන පොර...

      / හිඟුල කියලා ගහලා තියෙන තැනින් තමයි නේද කඩුගන්නාව කන්ද නගින්න පට්ටාං ගන්නේ? /

      යස් අන්න හරි හිඟුල බෝඩ් එක පහුවෙනවත් එක්කම තමයි පහළ කඩුගන්නාව පටන් ගන්නෙ.හිඟුල ටවුම මැදින් දකුණට තියෙන පාරෙ කිලෝමීටර් හතරක් වගෙ ගියහම තමයි තියෙන්නෙ අළුත්නුවර දේවාලය.

      Delete
  3. නම මොකක් වුනත් රවී පොතනම් ගහන්ට ඕනි . අර සෙයිලමේ උන්නු ජෝඩුව සිරිල් වික්‍රමගේ සහ අනෝජා වීරසිංහ ලෙස නිවැරදි වෙන්ට ඕනි . සරෝජනී ගැන ලබන පාරවත් අහගමු එහෙනං ඔය ෆ්රේසර් කියන්නේ joseph Fraser වෙන්නැති කොළඹ මැටනිටි හොස්පිටල් එකක් තියෙනවා උන්නැහැගේ නමින්

    ReplyDelete
    Replies
    1. තිලක්,

      / අර සෙයිලමේ උන්නු ජෝඩුව සිරිල් වික්‍රමගේ සහ අනෝජා වීරසිංහ ලෙස නිවැරදි වෙන්ට ඕනි ./

      සෙයිලම නෙවෙයි තිලක් මට වැරදීමක් වුනේ. නළු නිලියො දෙන්නෙ එච්. ඒ. සහ ස්වර්ණාම තමයි. ෆිල්ම් එක සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා ..නවගත්තේගමගෙ කෙටිකතාව..සුමිත්‍රා පීරිස්ගෙ චිත්‍රපටය.

      මේ විඩියෝ එකේ 6.38 - 7.12 අතර කොටස බලන්න

      /ඔය ෆ්රේසර් කියන්නේ joseph Fraser වෙන්නැති කොළඹ මැටනිටි හොස්පිටල් එකක් තියෙනවා උන්නැහැගේ නමින් /

      ඒකනෙව බොලේ ..එහෙම එකකුත් තියනව නේද ජාවත්තෙ? එහෙනම් මේ ෆ්‍රේසර් අර ට්‍රිනිටි ප්‍රින්සිපල් වෙන්න බෑ. වෛද්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන. ඒත් මම හිතන්නෙ ට්‍රේනිං කොලේජ් එකේ තියනවයි කියල හෙන් රි කිව්ව ෆ්‍රේසර් හෝල් එකනම් අර ප්‍රින්සිපල්ට බොහෝවිට සම්න්ධයක් ඇති.

      Delete
  4. //" ඔබ පාන් පෙති තුනක දෙපැත්තම කර කරගත යුතුය.ඔබට ලබාදී ඇති කබලෙහි එක් වරකට කර කර ගැනීමට ඉඩ ඇත්තේ පාන් පෙති දෙකකට පමණි.පාන් පෙත්තක එක් පැත්තක් ටෝස්ට් කිරීමට විනාඩි තුනක් ගතවේනම් පාන් පෙති තුනම ටෝස්ට් කර ගැනීමට වැයවන අඩුම කාලය කොපමණද? "//

    9 mins

    ReplyDelete
    Replies
    1. තිසර,

      පිළිතුර නිවැරදියි, ඔබ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටිම්හ.

      පලි - අර ගණං මැඩම් ලඟකදි ගණං ප්‍රශ්නයක් දුන්නෙ නෑ නේද මලේ?

      Delete
    2. නැහැ නේන්නම්.... දැන් එයා තමයි ගණන්...

      Delete
  5. මමත් අපෙ තාත්තට කැන්සර් එක හැදිල කරාපියෙ ඉද්දි එක දිගට නයිට් 14 ඇද්ද.මාත් එතකොට තාත්තට නින්ද යනකන් ඉදල ගිහින් සිගා ගහල එනව.පෙට්ටි කඩ කාරයො යාලුවො වෙලා හිටියෙ.කොහෙද බොට වගෙ මට ඔව ලස්සනට ලියන්න බැනේ.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      කරාපිටියෙ නයිට් ගහන එක හෙණ වාතයක්ය කියල එහෙම කරපු මගෙ යාලුවෙක් කිව්ව. රෑට හුළඟ හින්ද සීතල ඉවසන්ට බැරිලු..එහෙමද බං?

      Delete
  6. සරෝජිනී යන්තම් පඩිපෙළ නගින්න පටන් ගත්ත වත් මදැයි. ජපන හපන නේ. MRI ඉගෙන ගන්න කාලේ සර් කෙනෙක් හොඳ කථාවක් කිව්වා. ඔන්න ජපන බිල්ඩින් එක හදලා විවෘත කරන්න හදන වෙලාව. ඔය කොයි බිල්ඩිමේත් තියනවානේ වග විස්තර කියලා ගල් පුවරුවක් ඔයින් එකකුත් හදල ගෙනාවලු. ඒක ඉතින් දේශීය වැඩක්. මේ පුවරුව හරි ලස්සනයි. පොලිෂ් කරලා දිලිසෙනවා හෙමලු. මේක දැකල ජපන් කට්ටිය හරි ආස හිතිලා අගය කලාලු. අගය කරලා වටේටම ගොහින් බැලුවාලු. කිසිම නිමාවක් නැහැලු. කට්ටිය මුණට මුණ බලන් හිනා වුනාලු.

    ReplyDelete
    Replies
    1. Bindi,

      / MRI ඉගෙන ගන්න කාලේ සර් කෙනෙක් හොඳ කථාවක් කිව්වා. /

      MRI එකේ මොකද බොල කලේ? එතෙන්ට ගේන පිස්සු බල්ලංගෙ ඔලු හේදුවය?....:)

      / වටේටම ගොහින් බැලුවාලු. කිසිම නිමාවක් නැහැලු. කට්ටිය මුණට මුණ බලන් හිනා වුනාලු. /

      එතන හැබැයි මෙහෙම එකක් තියනව. ඔය සිහිවටන ඵලකය බිත්තියකට වගෙ තැනකට හයි කරනවනෙ බොහෝවිට. ඒ නිසා බිත්තිය ඇතුලට යන හරිය ඔප මට්ටම් කරල ෆිනිෂ් කරන්නෙ නෑ. ඉස්සරහ කාටත් පේන පැත්ත විතරයි කණ්ණාඩිය වගෙ ඔප මට්ටම කරන්නෙ..

      Delete
  7. //හෘද රෝග විශේෂඥයයි මායි අතරෙ එහෙම කතාබහක් ඇතිඋනේ අද උදේ.//

    ???

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      ඊට යටින් තියෙන මේ ඡේදය දැක්කෙ නැත? ඒ විශේෂඥය එක්ක මගේ දෙබස මීට මාස පහකට / හයකට කලින් සිද්ද වෙච්චි දෙයක්.

      / ඔය මම ලිව්වෙ ඉස්සරවෙලා පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ අප්පච්චි හිටපු සතියක හමාරක වගෙ කාලය ගැන. සනීප උනාට පස්සෙ අප්පච්චි ගෙදර ආව. ඒත් දරුණු හෘදයාබාධයක් ආවම ආයෙම පස්සෙත් ඒ වගෙ එකක් එන්ට තියන සම්භාවිතාව වැඩියි කියල කියනව. හරි ඒ කොහොමහරි පේරාදෙණියෙ ඉඳල ගෙදර ඇවිල්ල මාස හයක් වගෙ යන්ටත් ඉස්සර ආයෙම තත්වය දරුණුවුනා. ඒ පාර තමයි නුවරට ඇඩ්මිට් කලේ. /

      Delete
    2. //පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ //
      // හෘද රෝග විශේෂඥයයි //

      ???????

      කොයි කාලෙද?

      // හෘද රෝග විශේෂඥයයි //

      එහෙම අය පේරාදෙනි ඉස්පිටිතාලෙ හිටියද?

      Delete
    3. Sa rasa,

      මම මේ කියන්නෙ 92 වගෙ. අප්පච්චිට හාට් ප්‍රශ්නෙ ආපු පලවෙනි පාර ඇඩ්මිට් කලේ පේරාදෙණියට.එහෙ ඉඳල පස්සෙ නුවරට යැව්ව.

      Delete
    4. මහාචාර්ය ධර්මසේන තමා ඒ දවස් වල පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ හිටපු හෘද රෝග විශේෂඥයා. (නුවර මහා ඉස්පිරිතලෙ හා පේරදෙනිය දෙකේම හිටපු හෘද රෝග විශේෂඥයා)

      එයා වාට්ටුවට එන කොට ලෙඩ්ඩු විතරක් නෙවේ වාට්ටුවේ වෑඩ කරන ඔක්කොමලා (විශේශයෙන්ම intern doctors ලා ) හරිම බයෙන් තමා ඉන්නේ. (මට ඒ ඈසින් දුටු - අත්දෑකීම තියෙනවා) එයා ඒ තරමටම සෑරය් :D.

      එයා හෘද රෝග විශේෂඥයා උනාට සිගරට් අරක්කු වලට හොදටම (අම්බානකටම) ඈබ්බහි වෙලා හිටියේ. ඉතින් ලෙඩ්ඩුන්ට සිගරට්/අරක්කු වල ආදීනව ගෑන රූප සටහන් ඈදලා හොදින් විස්තර - තේරුම් කලත්, කිසි දිනක බොන්න එපා කියලා කියන්නේ නෑහෑලු :)

      හවස හතෙන් පස්සේ කිසිම දිනක එතුමා හොද සිහියෙන් නොසිටි බවත් ඉතා ප්‍රසිද්ද කරුනක් ඒ දවස්වල. මේ හේතුව නිසාම, මොනම කටයුත්තකටවත් හවස හතෙන් පස්සේ එතුමාට කතා කරන්නට එපා යෑය් එතුමාම ඉල්ලා සිටි බවත් අසා තිබෙනවා. (කතා කලත් ඉතින් වෑඩක් නෑතිලු....)

      මේ කාලේ දේශපාලුවන්ගේ පුත්තුන්ගේ වෑඩ වගේ, එයාගේ පුතත් ඉස්කොලේ (Trinity college) ගුරුවරයෙකුට ගහලා; මෙයත් ඒකට මෑදිහත් වෙච්චි "ජරා" කතාවක මතකයක් ලාවට තියෙනවා.

      මොනවා උනත් අති දක්ශ සෑහෙන සේවයක් කරපු දොස්තර මහතෙක් තමා එතුමා.

      Delete
    5. නිර්නාමික,

      අඩේ..මම ඔය මහාචාර්ය ධර්මසේන ගැන අහලම නැහැනේ. ඒත් ඔය ජාතියෙම තව චරිතයක් ගැන අහල තියනව. ඒ තමයි මහාචාර්ය සනත් රණතුංග..පේරාදෙණියෙ Production Engineering Section එකේ ලොක්කා. ඒ වගේම Engineering Faculty එකේ පීඨාධිපති වෙලත් හිටිය. අන්තිමට මියගියේ සිරෝසිස් හැදිල කියලයි කියන්නෙ.

      කොහොමත් මාස දෙහෙකට සැරයක් වගෙ අන්තිමට අමාරුවෙලා පේරාදෙණිය හරි නුවර හරි ඉස්පිරිතාලෙ අරං යනවලු. එක පාරක් එහෙම ගිහාම ඩොක්ටර්ස්ල කිව්වලු " ප්‍රොෆෙසර් ඔය බොන එක නැවැත්තුවානම් ඔක්කොම හරි " කියල. එතකොට ප්‍රොෆෙසර් කිව්වලු " යකෝ ඒක කියන්ට මොකටද බං FRCP කරන්නෙ. ඒක මටත් කිව්වැහැකි. එහෙම නෙවෙයි මට බොන්ටත් ඕන. බොන ගමන්ම මගේ ඇතුලෙ මැෂින් එකත් වැඩ කරන ක්‍රමයක් කියාපල්ල. අන්න ඒකයි හපංකම "

      ඔබගේ දීර්ඝ ප්‍රතිචාරයට සහ රසවත් මතක සටහනට ස්තූතියි ආයෙමත්...:)

      Delete
    6. රවි මහතා,

      සමා වන්න !! කලින් කොමෙන්ටුවේ බරපතල නිවරදි කිරීමක්. ඉස්කොලේ ගුරුවරයෙකුට පහරදුන් පුතා ධර්මසේන මහතෙගේ පුතා නොව ප්‍රසිද්ද අක්ශි ශල්ය වය්ද්යගේ පුත්‍ර රත්නයය්.

      පුදුමය් රවි මහතා, "මම ඔය මහාචාර්ය ධර්මසේන ගැන අහලම නැහැ" කීවාම. ඒ කාලෙම තමා ප්‍රොපෙස ශාන්ති මෙන්ඩිස් මහත්මිය, ප්‍රොපෙස නිමල් සේනානායක, ප්‍රොපෙස උපලි ඉල්ලගසේකර, ප්‍රසිද්ද අක්ශි ශල්ය වය්ද්ය සීමන් ව්ගේ ඉතා ප්‍රසිද්ද අය හිටියේ.

      මම මහාචාර්ය සනත් රණතුංග ගෙන් ඉගෙනගෙන තියෙනව. අපේ first year එකේදි අපට work shop technology (වෑඩ සාප්පු තක්ශනය විශයේ) අතෑම් කොටස් ඉගන්නුවේ සර් තමා. සර් ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ ආදි සිශ්යෙක්.

      පස්සේ සර් ගියා "ෆීජි අය්ලන්ඩ්" සෑබටිකල්. එහෙදි "මිනි හය්ඩ්‍රො පවර් ප්ලාන්ට්" කලාලු එහේ ආදිවාසින් සමග. (සර්ගේ පෙනුමත් ටිකක් එහේ ආදිවාසින් වගේ). සර්ට පුදුම විදිහට ආදරෙය්ලු එහේ මිනිස්සු. හේතුව තමා ඉතා දුස්කර පෑති වල හොද කට්ටක් කාලා ඒ මිනිස්සුන්ට උදව් කරපු එක.

      එතුමට රජ කෙනෙකුට වගේ පිලිගනුමක් තිබුනා කියලා තමා කියන්නේ ෆීජී ජනතාව අතර.

      අපි සෙට් වෙච්ච වෙලාවට සර්ගේ බොන කතා කිය - කියා අපිත් හිනා වෙනවා.:)
      ෆෑකල්ටි වර්ක්ශොප් එකේ අබේ අය්යා දවසක් අපිත් එක්ක කීවා.. සර්ගේ කාර් එකේ බොනට් එක ඈරියත් ඩිකිය ඈරියත් සර්ගේ ක්වාටස් එකේ සර් නිතර වාඩි වෙලා ඉන්න තන්වල මල් පදුරු අස්සෙත් කොට කෑලි නම් වරදින්නේ නතිලු :D.

      Delete
    7. ස්තූතියි ඇනෝ,

      ඒ ෆීජි කතාව මම දැනගෙන හිටියෙ නෑ...:)

      Delete
  8. සරෝජිණී කන්ද නගින්න පටන් ගත්ත එකවත් මදැයි.මම මෙහෙන් ටිකක් ඇල වෙන්නා.සරෝජිණී ආවහම කතා කරපං.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ඉඳපං පොඩ්ඩක්. මේ ගෝල්ඩ් ලීප්පෙකකුත් ඇදලම පලයං නිදිය ගන්නවනං...:)

      Delete
  9. ඔය වාට්ටුවට ෆ්‍රේසර් නම එන්න ඇත්තෙ ජෝසෙප් ෆ්‍රේසර්ගෙන් වෙන්නත් පුළුවන්, ඕක 1910 විතර පරණ එකක්නම්. මොකද ෆ්‍රේසර් නෝන එයාගෙ මහත්තය වෙනුවෙන් ජාවත්තෙ ෆ්‍රෙසර් ඉස්පිරිතාලෙ හැදුවෙ ඒ කාලෙලු.

    මට මතක විදිහට ජයවර්ධනපුර ඉස්පිරිතාලෙත් මිට්සුයිම තමා හැදුවෙ. ජපුර නර්සින් ස්කූල් එක මිට්සුයි හැදුව කියල බුදුෂුවර් මගෙ බැචෙක් වැඩ කල නිසා.

    ජපුරෙ කාඩියැක් වෝඩ් එක තියෙන්නෙ කෙලවරේ ඉස්පිරිතාලෙ උසම තැනක. හරියට උඩට ගියාම ඉස්පිරිතාලෙ කොළඹ නෙමේ වගේ!

    මොනව උනත් ඔය දෙකම පප්ප මහත්තය ජාතියට දීපු ( සැබෑ ) තෑගි!

    පුද්ගලික අදහසක් - උඹ සිගරට් එක බීම උත්කර්ෂයට නංඅපු එක මට ඇල්ලුවෙ නෑ ( සිගරට් බීල නවත්තපු මිනිහට නොබී උන්නු එකට වඩා ඕක අපුලයි : D )

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      / පුද්ගලික අදහසක් - උඹ සිගරට් එක බීම උත්කර්ෂයට නංඅපු එක මට ඇල්ලුවෙ නෑ /

      ඔන්න ඉතිං කිව්ව එකක්. කොහෙද බොල උත්කර්ෂයකට නැංගෙව්වෙ. වෙච්ච දේ ඒ හැටියටම කිව්ව එච්චරයි. ඔය ඕනම තැනක පොඩි එකෙක් ෂේප් කර ගන්ට ( පොඩි කිව්වෙ වයසිං එහෙම නෙවෙයි ) ලාබම සහ පහසුම ක්‍රමය තමයි දුම්පානය කරනව නම් එකට සිගරට් එකක් ගහන එක. ඉතිං මමත් එහෙම කලා..ඒ කරපු එක ලිව්ව..නතිං මෝ..නතිං ලෙස්...හෙහ්,හෙහ්,

      Delete
  10. ” මිස්ටර් වීරසිංහ තාත්තගෙ තත්වය එච්චරම හොඳ මදි.මයිල්ඩ් ඇටෑක්ස් තුනක් එක පිට එක ඇවිල්ල තියනව. මයෝ කාඩියැක් ඉන්ෆ්‍රාක්ෂන් “

    මයෝ කාඩියැක් ඉන්ෆ්‍රාක්ෂන් is incorrect. Correct Name is Myocardial Infarction
    http://en.wikipedia.org/wiki/Myocardial_infarction

    Also you have used inverted commas in incorrect form. Start and end should be changed.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      ස්තූතියි වැරදි දෙකක් පෙන්වල දුන්නට...:)

      Delete
  11. අදනම් භාෂාව සමගම ලිවිල්ලෙත් මොකක්හරි අවුලක් තියෙනවා කියල දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ලොකූ,

      එහෙම දැනෙනවය?...:)

      Delete
  12. ගෙවන වාට්ටුවට "ෆ්‍රේසර්"වෝඩ් කිව්වේ බිලේ ගාණට "ෆ්‍රේසර්"හැදෙන නිසාද දන්නේ නැහැනේ රවීයියේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අම්මප උඹටත් කල්පනා වෙන එව්ව...ඔහොම තව කතාවක් තියනව. එක මනුස්සයෙක් ඔන්න ප්‍රයිවට් හොස්පිටල් එකක ඉඳල සනීප වෙලා ගෙදර යන්ට යද්දි බිල කීයද කියල ඇහුවලු. ඒ පාර මිනිහ හිතුවෙවත් නැති අස්ප ගානක් කිව්වලු. අපි හිතමු අසූපන් දාහයි කියල.ඔන් ද ස්පොට් මේ මනුස්සය කලන්තෙ දාල වැටුනලු. ඒ පාර පට ගාල ආයම ඇඩ්මිට් කරල සේලයින් එහෙම දීල පහුවදා ආයම ටිකට් කපාගෙන යන්ට ගිහිල්ල බිල ඇහුවම ඒ පාර බිල අසූ අට දාහයිලු. අර සේලයින් වලට එව්වට මෙව්වට තව තුන්දාහක් එකතු කරල..මිනිහ ආයෙම....

      Delete
    2. ඔන්න මනෝජා කිව්ව කතාවට උඹේ රිප්ලයි එක බලලා මට එපේ තාත්තා කිව්ව කතාවක් මතක් වුනා. එක මනුස්සයෙක් දේවාලෙකට ගිහිල්ල අලුත්ම බයිසිකලේ දේවාලේ ඉස්සරහ නවත්තලා. පස්සෙ (අර මට වුනාවගේ) බයිසිකලේ අමතක වෙලා ගෙදර ගිහින් බස් එකේ නැගලා. පස්සේ බයිසිකලේ මතක් වෙලා ආපහු දුවගෙන ඇවිත් බැලින්නම්...

      හරි මනෝජ් හරි රවි හරි වෙන ඕනැම එකෙක්හරි කතාව සම්පූර්ණ කරපල්ලා බලන්න උඹලට හිතෙන විදියට.

      Delete
    3. පස්සේ බයිසිකලේ මතක් වෙලා ආපහු දුවගෙන ඇවිත් බැලින්නම්....

      ..........................

      දෙයියො දේවාල භූමියේ බයිසිකල් පදිනවලු....

      Delete
    4. Henry,

      /  පස්සේ බයිසිකලේ මතක් වෙලා ආපහු දුවගෙන ඇවිත් බැලින්නම්……………./

      පස්සේ බයිසිකලේ මතක් වෙලා ආපහු දුවගෙන ඇවිත් බැලින්නම් ජලා හුටා බයිසිකලේ මිසිං..මිනිහ ඒ පාර දාගෙන උන්නු සපත්තු දෙක එහෙම ගලවල එලියෙන් තියල දේවාලෙට ගිහිල්ල දෙයියංට යාතිකා කලාලු. අනේ දෙයියනේ..ඔබ තුමාට පුද සත්කාර කරන්ට ඇවිල්ල මගේ බයිසිකලේටත් කෙල වුනාය,ඒ නිසා ඔබ තුමාගෙ කරුණා මහිමය සහ බාල පාරාක්කරමේ යොමු කරල මට නැවත බයිසිකලේ ලබා දෙන්ටය කියල. එහෙම යාතිකා කරල දේවාලෙං එලියට එනකොට සපත්තු දෙකත් ඕල්සො මිසිං.....

      Delete
    5. Bura,

      දෙයියො බයිසිකල් පදිනව...මරු කතාව ඒක...:)

      මම අහල තියන ඔය වගෙ තව කතාවක් මේක. ගමේ පන්සලේ චෛත්‍යය තියෙන්නෙ පොඩි කඳුගැටයක් වගෙ උඩ. ඔන්න ගම පුරා ආරංචියක් පැතිරුනා මහ රෑ දෙගොඩ හරියට ඔය චෛත්‍යය වටේට දේවතා එළියක් ගමන් කරනවයි කියල. ගමේ හුඟ දෙනෙක් මේක දෑහින්ම දැකලත් තියනව.

      ඒත් ගමේ කොල්ලො කට්ටියක් එකතුවෙලා කතා කරගත්තලු මේකෙ ඇත්ත නැත්ත හොයා බලන්ට ඕනය කියල. ඔන්න කට්ටිය දවසක රෑ ටෝච් එහෙම අරගෙන චෛත්‍යය පල්ලෙහා රැකල හිටියලු. ටිකකින් ඇත්තම තමයි මෙන්න සුදු පාට එළියක් චෛත්‍යය වටේ ගමන් කරන්ට ගත්තලු. කොල්ලො බය උනේ නෑලු. විජහට චෛත්‍යය ගාවට දුවල ටෝච් ගහල " ඒයි ඔහොම ඉඳපං " කියල කෑගහගෙන අර දේවතා එළිය ඉස්සරහට පැන්නලු. දඩ බඩාං ගාල මොකක්ද ඇදගෙන වැටෙනව ඇහුනලු. ඊට පස්සෙ " අනේ අයියේ මේ මම මේ මම " කියල කෙඳිරි ගානව ඇහුනලු. ලඟට ගිහිල්ල බලනකොට පන්සලේ ඉන්න අවුරුදු දාහතරක විතර සාමනේර හාමුදුරුවො වැටිල ඉන්නවලු මලුවෙ. බයිසිකලේකුත් ඇඟ උඩ. වෙලා තියෙන්නෙ රෑට රෑට සාමනේර හාමුදුරුවො බයිසිකල් පදින්ට පුරුදු වෙනවලු චෛත්‍යයෙ මලුව වටේ. බයිසිකලේ ලාම්පුවෙ එළිය තමයි අර දේවතා එලිය වගෙ මිනිස්සු දැකල තියෙන්නෙ.

      Delete
    6. රවි, බුරා. එල එල.

      Delete
    7. මම ඇතුලෙ මල් පුදල බුදුන් වැඳල එන කොට ඒ පිනෙන් සෙරෙප්පු දෙක මට කලින් තනියමම රහත් වෙලාය කියන අපූරු කවියක් තිබ්බ මූණු පොතේ.

      Delete
    8. පස්සේ බයිසිකලේ මතක් වෙලා ආපහු දුවගෙන ඇවිත් බැලින්නම්,

      මෙන්න බොලේ බයික් එක නැහැලු,දැන් මොකැයි කරන්නේ ?දෙස් දෙවොල් තිය තියා මිනිහා ගියා දේවාලේ ඇතුලට කපු මහත්තයා හම්බු වෙන්ට.ගිහින් කිව්වා තමන්ගේ අවනඩුව.මිස්ට කපු මේ මිනිහාට කිව්වා "විස්සෝප වෙන්ට කාරී නැහැ,දෙයියන්ට බාර වෙමු බයික් එක ලැබෙන්ට කියලා.හැබැයි බයික් එක ලැබුණු සැටියේ බාරේ ඔප්පු කරන්ට ඕනේ" කියලා.
      ඔන්න දැන් ඉතින් මිනිහාත් බාර වෙලා දේවාලෙන් එළියට එන කොට මෙන්න යකෝ බයික් එක තියෙනවා.
      ඔන්න මිනිහාට මාර හැපී.ඊටත් වඩා උතුරා යන දේව භක්තිය.දුවගෙන ගියා පොර ආයෙමත් දේවාලේ ඇතුලට දෙයියෝ ඉස්සරහා බිම පෙරළි,පෙරළි ඉඳලා බාරේ ඔප්පු කරන්ට පොරොන්දු වෙලා.අවා දේවාලෙන් එලියට.

      හුටා!දෙයියෝ සාක්කි බයිසිකලේ

      Delete
    9. මනෝජ්, ඒක ඊටත් වඩා නිර්මාණශීලීයි. නියමායි!

      Delete
  13. දුම දාල අරව මේව ඔක්කොම ඉවර උනාට පස්සෙ අන්තිම මොහොතෙ හරි සරෝජනී කන්ද නැග්ග මදැයි.

    ඔය පොතේ අන්තර්ගතය පටං ගන්න ඉස්සෙල්ල මේකෙ කොමනේට් කරන කට්ටියගෙ අදහස් ටිකක් දාන්න වෝනිං එකක් විදියට. නැත්තං පොත කියෝන එකාටත් ICU එකේ තමයි නවතින්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      යස්, යස් දාන්න ඕන දැං අර සිගරට් පැකට් එකේ දානව වගේ..

      රජයේ අවවාදය - අධික රුධිර පීඩනයෙන්, ජලභීතිකාවෙන් සහ බාලක පක්ෂාඝාතයෙන් පෙලෙන්නන්ට අහිතකර විය හැක. Author's Warning - Read At Your Own Risk.

      Delete
    2. ඔහොම නෙවෙයි රවියො ඒවා දාන්ට ඕන.. දැන් ඔය paperback එකක් එහෙම ගත්තහම ඒකෙ මුල්ම පිටුවෙ දාලා තියෙන්නෙ මෙන්න මේ වගේ කෑලි..

      "The major fantasy of the decade... compulsively readable..
      -The Washington Post-

      "Such a splendid tale and such a fantostorical!"
      -Chicago Sun-Times-


      අපිත් දාමු ආන්න එහෙම කෑලි ටිකක්..

      "මූට පිස්සු නැත්තං අපට ෂෝක්!"
      -බින්දි-

      "කතාව පසෙක ලා මම නිදියෑමි. එතරම්ම උත්කෘෂ්ටය!"
      -හැලපෙ-

      "වාංපතුල දෙවන පොතේදීවත් ඒවියැයි මග බලා සිටිමු"
      -Dude-

      Delete
    3. මල් කඩන, කොස් කපන ගෑණු ළමයි ඊගාව ආත්මයේදිවත් නැවත හමුවේයැයි බලා සිටිමු.

      Delete
    4. Bura,

      " He has perfected the art of dancing around the maypole or shall I say dancing around the mulberry bush to a new height " - Bura

      " Unputdownable. I had to take it out & burn it to cinders. " - Pra Jay

      " Had to cry when I thought oh…what nonsense passes as memoirs these days" - Dude

      " I strongly recommend reading this book to anyone suffering from chronic constipation " - Thisara

      " When I reached the last page my only thought was thank God it's over" - Pathum

      Delete
    5. ප්‍රසන්න,

      ඊලඟට එන අටවෙනි ආත්මෙ ඉඳල තමයි බං ඒ කොස් කපන, මල්වලට වතුර දාන ගෑණු දරුවො ආස්සරේ කරන්න වෙන්නෙ. අපෙ උන්දැ මාව ඉසරහට එන ආත්ම හතකට බුක් කරලයි තියෙන්නෙ..:(

      Delete
  14. ඔක්කොමත් හරි මේ කාල ඉන්න බැරි නුවර ගැන කියල තියෙන ජාති කියෙව්වම!! දුර රටක් ගැන කියනවා වගේ දැනෙන්නේ මොකද රවියෝ? :-(

    ඔය හෘද වාට්ටුවට යන කන්ද ගැන මමත් එක පාරක් අපේ අම්මිට කිව්වා මතකයි. අම්මත් හිනා උනා මතකයි. නුවර සහ පේරාදෙණිය රෝහල්වල තියෙන පිළිවෙල ගැන නම් ඇත්තටම සතුටුදායකයි. එක අතකට හරි හමන් ප්‍රයිවට් හොස්පිටල් එකක් නැති ගානයි.

    බහිරව කන්ද ගැන නම්... එක්කෝ ඕනේ නැහැ.. ඉල්ලන් කන්න තව සතියක් පමා වෙමු..

    ReplyDelete
    Replies
    1. Upeksha,

      / දුර රටක් ගැන කියනවා වගේ දැනෙන්නේ මොකද රවියෝ? /

      මටත් ඇත්තම කිව්වොත් නුවර ගැන දැන් දැනෙන්නෙ එහෙම තමයි....:(

      Delete
  15. ලස්සනයි කතාව රවි. තාත්තා බලාගන්න ගිහින් නර්ස් නෝනෙකුට දැලක් දැම්මැයි?

    ReplyDelete
    Replies
    1. චන්දි,

      ස්තූතියි චන්දි....නෑ..නෑ..එහෙම එකක් උනේ නෑ..බලන්නකො ඉස්සරහට...:)

      Delete
  16. මේකට ඇවිත් ඉවරවෙනකන් කතාවක් බලන්න තියන ආශාවනම් අතැරලා ගොඩක් කල්.ඔය තාත්තා අසනීපවෙලා ඉස්පිරිතාලේ නවත්තලා ඉද්දී ඉස්පිරිතාලේ ඉන්න එකගැන ලොකු අත්දැකීමක් මටත් තියනවා.හැබැයි ඒක වුනේ කාත් කවුරුවත් අදුනන්නේ නැති පලාතක.ඒ රෑ ගැන මතක්වෙද්දිත් ඇග හිරිවැටෙනවා.

    ReplyDelete
    Replies
    1. කටුසු,

      / මේකට ඇවිත් ඉවරවෙනකන් කතාවක් බලන්න තියන ආශාවනම් අතැරලා ගොඩක් කල් /

      හපොයි එහෙම ඉවරයක් වෙච්ච කතා කීයක්නම් මම ලිව්වද? ඔය දකුණු පැත්තෙ තියෙන්නෙ ප්‍රවර්ග යටතේ..ඉඳහං බලන්ට එකයි, දෙකයි..තුනයි..හ්ම්ම්ම්..දොළහක් තියනව ඉවර කරපුව..

      එතකොට මේක ඇවිල්ල මගේ ජීවිත අත්දැකීම්..එව්ව එහෙම ඉවර වෙන්නෙ නෑනෙ..:)

      Delete
  17. රවි අයියේ, මම මේ නිකං අහන්නේ. මහේෂ් සත්සර මද්දුම ආරච්චි, අර මෙගා ටෙලි හදන මනුස්සයා, දන්න කියන කෙනෙක් ද? නෑදෑයෙක් ද?

    ReplyDelete
    Replies
    1. Kool,

      මහේෂ් ගෙ කතා මරු නේද?....

      Delete
  18. It is not only my preference to read printed paper that makes me urge you to publish in book form. Writing of your quality should go to the widest possible readership. Heh, having said that I must admit that I hate reading off a computer/phone screen for long, so I want to enjoy ur writing in my preferred medium.

    ReplyDelete
    Replies
    1. Pra,

      / I must admit that I hate reading off a computer/phone screen for long, /

      Same here Pra, as a member of BBC Generation ( Before Bloody Computers ) I still prefer to hold what I am reading in my hands to feel the it's weight, experience the crispiness of pages, inhale that unique smell coming out of freshly printed pages and when I am nodding off,( that happens increasingly frequently as I am getting older & older, passing through each milestone of my life ) to feel the book on my chest when suddenly awakening.

      Thanks so much Pra for your magnificent eulogy..that's one of the best acclamations I have ever received....:)

      Delete
  19. වෙලාවකට මට හිතෙනවා මේ නුවර උන් ඔක්කොටම මොකක් හරි පොදු අවුලක් තියෙනවද කියල ... ඒ කියන්නේ සිරාවටම ලිව්වට ලියන දේවල් වල මොකක් හරි මාන්දමික ගතියක් තියෙනවද මන් ද ... නිකන් අපේ නට් ලූස් වෙන ගතියක් වගේ ..හෙහ් හෙහ් .. අනේ මන්ද .. එක්කෝ අපිට අවුල් නැත්නම් එත් අපිට අවුල් වෙන්න ඇති ... :D

    අනිවාර්යයෙන් පොතක් නම් ගහන්න රවී අයියා ... අර කට්රොල් කතාව තව දිගට ඇදල ඔය විජයබා කොල්ලය වගේ ඓතිහාසික පොතක් ලිව්වොත් මොකද ? (පොඩ්ඩක් ෆැන්ටසි ටයිප් එකේ )..

    තාත්ත ඉස්පිරිතාලේ ඉන්න කතාව කියෙව්වම මටත් මතක් වුනේ මමත් කොළඹ මහා ඉස්පිරිතාලෙට උදේ හවස තාත්ත බලන්න ගිය හැටි .. ළඟ ඉඳන් සලකන්න නම් බැරි වුනා ...

    ඔය කොළඹ තියෙන ජෝසප් ෆේසර් එකට මම ගිහින් තියෙනවා .අපේ අක්කගේ බබා හම්බ වුනේ එහෙදි .. මරු ප්ලේස් එකක්

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / වෙලාවකට මට හිතෙනවා මේ නුවර උන් ඔක්කොටම මොකක් හරි පොදු අවුලක් තියෙනවද කියල ... ඒ කියන්නේ සිරාවටම ලිව්වට ලියන දේවල් වල මොකක් හරි මාන්දමික ගතියක් තියෙනවද මන් ද . /

      මාන්දමික නෙවෙයි මලේ..මාඤ්ඤමික, මාඤ්ඤමික, අර්ථ නිරූපණය ඇවිල්ල මෙන්න මෙහෙමයි. " යම් මඤ්ඤං තත්වයක් හැසිරීමෙන් හෝ ගතිගුණයන්ගෙන් ප්‍රදර්ශනය කරන්නේ වීනම් ඔහු හෝ ඇය මාඤ්ඤමික ලෙස වර්ගීකරණය කල හැක."( මාන්දමික කියන්නෙ මාන්දමෙන් පෙළෙන්නාවූ කියන අර්ථයෙන්. මාන්දම = මන්ද පෝෂණය.)

      මෙහෙම කවියක් අහල තියනවනෙ නේද?

      මාන්දමට උඩ ඉගිලෙන වැහිලේනී,
      ගොනුගෙ පිටේ පැටවූ වැනි බරගෝනී,
      වෙල ලඟ අම්බලම කාටත් පරවේණී,
      මට තනිනැත නුඹ නාඩන් උලලේනී.

      ඇත්තටම බලාගෙන ගියහම නුවර උං ඔක්කෝටම පොඩි නෙවෙයි බං ලොකු අවුලක් තියනවා තමයි..යූ ආ ඇබ්සොලූට්ලි කරෙක්ට්.

      දැං බලාපං නිකමට අරගෙන... අර දිල් මහගෙ.ලිව්වොත් ලියන්නෙම මේ ලෝකෙ යකෙකුට තේරෙන්නෙ නැති බහුබූතයක්...:)

      ඊළඟට අර උපේස්සා...පිස්සු කොටුවෙනුත් තියාගන්ට බෑ කියල ගහල එලවල දාපු අංගනාවියක් ඒක.උන්දැ එහෙ තියාගත්තොත් පිස්සංට ආයම පිස්සු හැදෙයි ඒ හින්ද ආය මේ පළාතෙ එක්ක එන්ට එහෙම එපයි කියලයි දොට්ට දාල තියෙන්නෙ.

      ස්තූතියි පැතුම් ..පොතක් ගැන සළකල බලමුකො ඉස්සරහට. හැබැයි ඉතිං උඹල ඔක්කෝටම ඉස්තූති කරන්ට ගිහාම ඒකටම පොත ඉවරවෙයි මට හිතෙන්නෙ....හෙහ්,හෙහ්, කතාව ලියන්ට වෙන්නෙ දෙවෙනි පොතේ ඉඳල...

      Delete
    2. රවියා:

      කය්ය නම් ඔරිජිනලි ලියපු එකා දැකල පපුව පත්තු කරගන්නවා....

      පෙනේද තරම? හුහ්... කාන්තා දිනේ පහු වෙලා වරු කීයද ගියේ? පෙනේද මෙතැන කාන්තාවන්ට අපහාස කරන හැටි? දිල්... නොපෙනේද දෙවියන්ටවත් මේ අවනඩුව?? ( දෙය්යෝ මේ දවස්වල වර්ල්ඩ් කප් බලනවා කියල ආරංචි... එව්වා ඉවර වෙනකල්ම කිව් එකේ ඉන්න වෙයි...)

      රවියට කියන්න රවියා..... ඔය කොටුව පිස්සන් කොටුව කියන්නේ පිස්සෝ මිසක්කා... එතැනට ගියාම තමයි එව්වගේ අගේ තේරෙන්නේ... එතන තමයි වැඩිම බුද්ධි ඝනත්වයක් තියෙන්නේ. ඝන මීටරයකට වැඩිම බුද්ධිමතුන්, ජනාධිපතිවරුන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ එහෙන්... කෝ කිව්වට විස්වාස කරන්නේ නැහැනේ... එහෙත් ඉන්නවනේ ඔය ලංකාව එක්සේසත් කරපු උන්දලා බර ගානක්, නෑ නෑ ... මැදමුලන එකාට අමතරව තව උන්...

      රවියෝ.. පොතක් නම් ලියන්න එපා... ලිව්වොත් ලියාපන් අගට හිස්පිටු 100-200 විතර ඉතුරු කරලා. නැත්තම් එක පොතක් කියෙව්වම ඔය අපිට හිතෙනවා වගේ හිත ඇතුලේ කැකෑරෙන වේදනාවල් එහෙම කියාගන්න බැරුව කි දෙනෙක් පිස්සු හැදෙයිද? කි දෙනෙක් සාරියෙන් බෙල්ලේ වැල දාගනිද ? ඒ වගේම අංක දමාපු කොලයකුත් අමුනපන් අගට. ඒක තමයි පොතේ සඳහන් ගෑනු පරාන වල නම් ලැයිස්තුව සහ අතුරු කතා වල නම් ලැයිස්තුව. එතකොට අර ඕකට ගැටපද විවරණ ලියන අනාගත පරපුරට පුදුමාකාර සහනයක් සහ අත්වැලක් වෙනවා... හා බොරුද?

      Delete
    3. සුද්ද අපරාදෙ බන් ගල විද්දෙ...

      මං මේ අලේ මොවුල් වෙන නිසා කමෙන්ට් උන්ෆොලෝ කරන්න කියල ආ ගමන්...එහෙනං ඕන් අපි දිව්ව..

      Delete
    4. Upeksha,

      / කය්ය නම් ඔරිජිනලි ලියපු එකා දැකල පපුව පත්තු කරගන්නවා.../

      යකෝ..එකා එකා කියල කියන්ට එපා බොල..ඔය කවිය ලිව්වෙ ටිබෙට් ජාතික එස්. මනින්ද හිමි.

      / පෙනේද තරම? හුහ්... කාන්තා දිනේ පහු වෙලා වරු කීයද ගියේ? /

      මමනං ඔය කාන්තාදිනේ කියල එකක් තියනවට බොහොම මනාපයි. එකක් නෙවෙයි අවුරුද්දකට සීයක් හමාරක් තිබ්බත් ඒත් වැඩි නෑ..මොකද අපෙ උන්දැ හට්ටියක් මුට්ටියක් අල්ලන්නෙ රෙද්දක් දෙකක් හෝදන්නෙ ඔය දවසට විතරයි. " හ්ම්ම් අද නේද කාන්තා දිනේ?..හරි අද මම ඉවුම් පිහුම් ඔක්කොම කරඤ්ඤංකො එහෙනං..අද විතරයි හැබැයි ඔන්න..හෙට ඉඳල ආයම ඔහේ වැඩ පටන් ගන්නව සුපුරුදු ලෙස..@

      / රවියෝ.. පොතක් නම් ලියන්න එපා... .................. /

      පොත් ලිවිල්ල ගැන උඹේ උපදෙස් නියමයි..සටහන් කොට තබා ගතිමි....ස්තූතියි.

      Delete
    5. Indika,

      / සුද්ද අපරාදෙ බන් ගල විද්දෙ.../

      හෙහ්, කියල වැඩක් නෑ බොලේ..සුද්දන්ටත් ඕනනැති මංගල්ලයක් නෑනෙ...:)

      Delete
  20. හරි වචනේ මාඤ්ඤමික තමයි .. මම ඔය වචනේ මේ ගුග්ල් ඉන්පුට් ටුල්ස් වලින් ලියන විදිය දන්නේ නෑ ... හෙහ් හෙහ් .. ඕනේ එකක් කියල මාන්දමික කියල ලියල දැම්ම ... අවුලක් නෑ අදහස පැහැදිලියි නේ ..:D

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අඩේ එහෙමත් එකක්ද? ඒ වගෙ වෙලාවට මම කියන්නද පිළිපැදියයුතු ආකාරය..මෙන්න මෙහෙම ලියහං..

      ඒ කියන්නේ සිරාවටම ලිව්වට ලියන දේවල් වල මොකක් හරි මාන්දමික ගතියක් තියෙනවද මන් ද ....

      ඒ වාක්‍යය ගාවට විතින් බ්‍රැකට්ස් තුල මෙහෙම දාපං.... කොහොමද?...මෙතන එන්න ඕන වචනෙ මාන්දමික නෙවෙයි මාඤ්ඤමික ..ඒත් මාඤ්ඤමික කියල ටයිප් වෙන්නෙ නෑ හරියට. අන්න ඒ හින්දයි මාඤ්ඤමික වෙනුවට මාන්දමික කියල ලිව්වෙ.

      Delete
  21. sagara jalaya madi handuwa oba handa film eka utube eke balanna puluwanda?

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි