Friday, December 27, 2013

237. නූපුර නිහඬවිය…. The Silent Anklet.


මහඇලේ ඉම නියර අද්දර රූස්ස නුග ගහ තාම තියනව. ඒත් අර තිබ්බ සරුසාර කොළපාට දැං ඇහැවෙලා ගිහිල්ල. මම වගේම තමයි කියල මට හිතුනෙ නිරාසායසෙන්ම. ජීවිතේ හොඳ හරිය ගෙවිල ගිහිල්ල අන්තිම කාලෙ මරණය බලාපොරොත්තුවෙං ඉන්නව එලොවත් මෙලොවත් අතර. මේ මහ නුගේට කතාකරන්ට පුලුවන් නම් මොන මොන දේවල් කියයිද හැබෑටම? 

ගස් ගල් කතා කරපු යුගයක් ඉස්සර තිබ්බලු. එහෙම කිව්වෙ මයෙ අත්තම්ම. අම්මයෙ අම්ම.අපෙ සිංහල උළු හොයපු ගෙයි ඉස්සරහ මුළු පලලටම තිබ්බෙ ඉස්තෝප්පුවක්. රවුං මිල්ල කණු අටකින් පලේ උහුලාන හිටියෙ. ඉස්කෝලෙ පහේ කැලෑසියෙ විතර දුටුගැමුණු රජ්ජුරුවංගෙ දසමහ යෝදයො ගැන මුදියන්සෙ මහත්තය ඉතිහාස පාඩමට කියල දුන්නු දවසෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එද්දි කඩුල්ල ගාව ඉඳල මම ඔය සද්දන්ත මිල්ල කණු දැක්කෙ හරියටම අර යෝදයො වගෙ.

ඉස්තෝප්පුවෙං සාලෙට ඇතුල්වෙන පලු දෙකේ බුරුත දොර කෙලිම්ම තිබිච්ච කණු දෙක ඇරෙන්න ඉතිරි කණු අතර වද්දල තිබ්බ මල් ලියකම් වැඩ දාපු ලී මෝස්තරේකින් හැඩ වෙච්චි ලී රාමු. ඉස්තෝප්පුව මැද්දෑවෙ කකුල් තුනේ කලුවර කනප්පුව. ඒක උඩ හැමදාම රාත්තිරියෙ පත්තු උනේ ගොලෝ ලාම්පුව. 

මං හීං එකා සන්දියෙ ඔය පහනෙ රාජකාරිය කලේ අපෙ අප්පච්චි. සතියකට සැරයක් බ්‍රාසො දාල රෙදි කෑල්ලකිං ලාම්පුවෙ තෙල් දාන ගෙඩිය වගෙ බඳ රත්තරන් පාටට දිස්නෙ වැටෙනකල් මදින එක, ලාම්පු අල්ලුවෙ දැලි සුද්ද කරන එක, ලාම්පු තිරේ ගිරෙං උල හැඩේට කපන එක, අන්තිමට ලාම්පු බඳේ පැත්තක තිබ්බ මූඩිය ඇරල භූමිතෙල් පුරෝන එක. ඔව්ව තමයි ලාම්පුවෙ රාජකාරි. තුනේ පංතියට මම ආහම අප්පච්චි මට ඒ වැඩ ටික බාර දුන්න.

" අනේ මේකට ඔව්ව පුළුවනිය දැම්ම?...." අම්ම හිනාවෙවී ඇහුවෙ කම්මුලේ අතකුත් තියාගෙන.

" මොකෝ බැරි?....දැං ඉලන්දාරියෙක් නෙව. " අප්පච්චි මයෙ බොකුටු කොණ්ඩෙ අවුල් කලා....

එදා ඉඳල ලාම්පුවෙ රාජකාරිය කලේ මම. අටවක හඳ පලුව දොරගමුව කඳු වලල්ල උඩින් යාන්තමට එල්ලිල වගෙ තිබ්බ.ලාම්පුවෙ එළිය ලීස්තරවල මල් කැටයම් අස්සෙං විහිදිල සුදු වැලි අතුරපු මිදුලෙ අපූරු රටාවක් මැව්ව.

මිදුලෙ පොල් අතු රටාවට තවම අපූරුවට පේන්ට තිබ්බෙ අපෙ අම්ම හැමදාම හවස පහ වගෙ වෙනකොටත් ආයම පාරක් මිදුල අතුගාන හින්ද.සූනියම් දේවතාවුන් වහන්සෙගෙ ගමන් මාර්ගයක් වැටිල තියෙන්නෙ මේ මිදුල මැද්දෙං..ඒ නිසා මිදුල කොයියම්ම වෙලාවක උනත් හැඩිවෙල තියෙන්ට හොඳ නෑ. අම්ම මා දැක්ක එහෙම කිව්වෙ දවසක් " හවහත් මිදුල අතුගාන්නෙ ඇයි අපෙ අම්මෙ " කියල මම උන්දැගෙන් අහපුවාමයි.

සූනියම් දේවතාවුන් වහන්සෙ වඩිනකොට මල් සුවඳක් හමනව.

" පුතේ උඹ එළි පෙහෙළියෙ ඉන්න වෙලාවට එහෙම දෙයක් දැනුනොත් එහෙම බිම බලාගෙන ගෙට වරෙන් හොඳද? "

අපෙ අම්ම ආයෙම කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන. කිව්වත් වාගෙ මට කීප දොහක් එහෙම අනීවාරතේ මල් සුවඳ දැනිල තියනව. මේ..රුක් අත්තන සුවඳ වගෙ හරියටම. ඒ වෙලාවට අම්ම කියාපු විදිහට මම බිම බලාගෙන ආපහු ගෙට ආව.

ඒත් ඔය හඳ පායපු දවසක් කියල මට මතකයි. අපුච්චි ඉස්තෝප්පුවෙ සාලෙට ඇතුල්වෙන මහ දොර ගාවම අයිනක තිබ්බ වේවැල් හාන්සි පුටුවෙ දිගාවෙලා. බාපත තිබ්බට ඒ වෙලාවෙ අකුලල තිබ්බෙ කියලයි මට මතක. ඔය කළුවර හාන්සි පුටුව මයෙ අම්මයෙ පරම්පරාවෙන් එන එකක්ලු. අම්මයෙ අපුච්ච, මයෙ අත්ත ඉන්දැද්දි රාත්තිරි බෝජනේ සප්පායං වෙලා ඔහොම ඉන්නව කියල අත්තම්ම මා දැක්ක කියල තියෙනෝ.

මයෙ අම්ම හිටියෙ ඉස්තෝප්පුව වටේට තිබ්බ මිල්ල කණුවකට හේත්තු වෙලා මිටි බංකුව උඩ ඉඳගෙන...මගෙ කාකි කොට කළිසමක් එළලනව.

" කොහේ රිංගනවද මන්ද මෙව්ව මේ හැටි බරු ගැහෙන්ට…මයෙ ඇස් දෙක පේන එකත් හොරයි දැං ඇඳිරි වැටෙද්දි…" අම්ම කිව්වෙ මා දිහා බලල

" හ්ම්ම්ම්. කිව්වට අහනවය..කී දොහක් කිව්වද මා එක්ක නුවර යමුය කියල සමරසිංහ සාප්පුවෙං කණ්ණඩි කුට්ටමක් ගන්ට.." ඒ අප්පච්චි

" හ්ම්ම්ම්...දවුල් හේනෙ බෝංචි ටික හෙට අනිද්ද කැඩෙයි නේද? එතකොට බැරිය…"

" ආය බෝංචි වගේද ඇස් දෙක...යමු හෙටම මගෙ ගාව සල්ලි තියනව. "

" කොහෙන්ද ඔහෙට සල්ලි? "


අප්පච්චි අම්මට කතා කලෙත් අම්ම අප්පච්චිට කතා කලෙත් ඔහෙ කියල. අපෙ අප්පච්චි පාත්තයෙක් කියල මම කිව්වද? නෑ නේද? ඔව්..උන්දැ අකුරැස්සෙ...අවුරුදු විස්සක විසිදෙහෙක ගජ ඉලන්දාරිය කාලෙ උන්දැ ඇවිත් තියනව ගුණ්ණෑපාන කඩමණ්ඩියෙ බේකරියක වැඩට. ඒ බේකරිය උන්දැගෙ බාප්පොච්චිගෙ.ඒකෙ කැසියර් කූඩුවෙ ඉන්දැද්දි තමයි අපෙ අම්මණ්ඩිව ඇස්සර වැටිල හාදවෙලා කාර බැඳගෙන බින්න බැහැල තියෙන්නෙ.ඒකත් අපූරු ආදර අන්දරයක්...

" ලොකු නිළමෙ පහුගිය සුමානෙ මම කොළ පෑගුවට ගිය වියදං කාසි අද දුන්න නෙව. "

ගම ඉහත්තාවෙ පන්සලත් එක්ක දෙයියන්නෙවෙලෙං එගොඩහ තිබ්බෙ අමුණුගම පහළ වලව්ව.ලොකු නිළමෙයි මැණිකෙයි ලොකු අප්පොයි, චුට්ටි මැණිකෙයි වළව්වෙ හිටියෙ. හිටියෙ කිව්වට ලොකු අප්පො කොළඹ ඔය මොකද්ද විස්ස විද්යාලෙද කොහෙද ඉගෙන ගත්ත. චුට්ටි මැණිකෙ නුවර ඉස්කෝලෙක පොඩි කාලෙ ඉඳලම නැවතිල ඉගෙන ගත්තෙ....අටේ පන්තියෙ...මගෙ වයසෙ...

මිදුලෙ කෙළවර ලාම්පු එළිය යන්තමට වැටෙන නොවැටෙන මායිමේ වගෙ ගඩොල් කෑලි හත අටක් වටකරල හදල තිබ්බ රෑ මනමාලි පඳුරෙ මල් හත අටක්ම පිපිල. හුලඟ හමන හමන විඩේ එන සුවඳ මිදුල පහු කරල ඉස්තෝප්පුව පුරාත් පැතිරෙනව.

දොරකඩින් මිදුලට බහින පඩි දෙකෙන් උඩ පඩියෙ මං වාඩිවෙලා හිටියෙ. අප්පච්චිගෙ පරණ කාකි කෝට් එක පොරවාන හීතලට. මම හරිම ආසයි ඒකෙ උණුහුමට. අනික ඒක පොරව ගත්තම මමත් ලොකු මිනිහෙක්ය කියල මට හිතෙන එකත් එක හේතුවක් වෙන්න ඇති.

" නිළමෙට දැන් හොඳටම අහේමයි….." අප්පච්චි කිව්වෙ පුටුවෙ කෙළිං වෙල පපුව අතගාමින්.

" ඈ???? ඇත්තද..අනේ අර මැණිකෙල දෙන්න ගැනයි මයෙ පපුව ඇවිලෙන්නෙ.." අම්ම නූල්පොට දතිං ඇදල කඩල දැම්ම.

" චුට්ටි මැණිකෙටත් ඉස්කෝල ගාස්තු ගෙවන්න බැහැයි කියල අස්කරවගෙන පෙරෙයිද ගෙදර එක්ක ආව. "

" දෙයි හාමුදුරුවනේ...."
අම්ම කම්මුලේ අතක් තියාගත්ත.

" ඔව්, ලොකු අප්පොටත් වියදං සැරයිනෙ. චුට්ටි මැණිකෙ හෙට ඉඳල මෙහෙ ඉස්කෝලට යයි.අපෙ ලොක්කගෙ පංතියෙ. "
අම්ම තාම කම්මුලේ අත තියාගත්තු ගමන

" ලොකු පුතේ…" අප්පච්චි මට කතා කලා..

" අප්පච්චි…" මම එහෙමම ඉඳගෙන හැරිල බැලුව.

" ලොකු පුතේ උඹ හෙට උදේ ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙලා පලයං වළව්වට. උඹට ටික දවසකට චුට්ටි මැණිකෙ ඉස්කෝලෙට එක්කං යන්ට වෙනව. ඒ ඇත්තිට ටිකක් විතර පාර තොට පුරුදු වෙනකල්. "

" හොඳයි අප්පච්චි…" මම හිනාඋනා.

දොරගමුව කඳු ඉහත්තාවෙ එක පාරටම උල්කාපාතයක් පුපුරල ගියා. පලාතම එළිය වුනා මොහොතකට.බිතක්කනේ ගුලි ගැහිල හිටපු කඩිය බුරාගෙන දිව්ව ඒ පැත්තට. අපෙ අත්තම්ම නම් කියන්නෙ එව්ව දේවතා එළි කියල.ඒත් ඉස්කෝලෙදි සුමනාවතී මෑම් අපිට කියල දුන්න එහෙම එළිය විහිදවාගෙන පත්තුවෙන්නෙ උල්කාපාතයි කියල.

" උඹ පුතේ ඔය කොණ්ඩෙ කපාගන්නෙ කවද්ද? " අප්පච්චි ආයෙම ඇහුව හිනා වෙවී.

මයෙ මුදු ගැහිච්ච කොණ්ඩෙ බෙල්ල ගාවටම වැවිල තිබ්බ. කඩ මණ්ඩියෙ බාබර් සාප්පුව කරගෙන ගියෙ ලොකු බණ්ඩ මාම. දෙතුන් විඩයක් උන්දැගෙ බාබර් සාප්පුව ළඟටම ගිහිල්ලත් මට බෑ කියල හිතිල ආපහු ආව. මගෙ මුදු කොණ්ඩෙට මම ආසයි.

පහුවදා පාන්දරම මම ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙලා දෙණි කුඹුර මැදිං ගිහිල්ල වළව්වෙ උයනගේ පැත්තට කිට්ටු කලා.සුදු පළාපු බැනියමයි සුදු සරමයි ඒ අපේ නිළ ඇඳුම. ගෑණු ලමයි ළමා සාරිය.

" කමළාවතී නැන්දෙ.." .උයනගෙයි පෑළදොර ගාව වළං මැස්ස ළඟ ඉඳගෙන මම කතාකලා. කමළාවතී නැන්ද තමයි වලව්වෙ උයනගෙයි රාජකාරි කලේ. අපෙ අම්මයෙ කිට්ටුම නෑයො.

" ජයසේන පුතේ...මොකෝ මේ පාන්දරම අද?.." කමළාවතී නැන්ද ඇස් දෙකත් පිහ පිහ එළියට ආව. උයනගෙයි දුමාරෙ ඇස් වලට අමාරුයි.

" මම..මේ..ආව අද චුට්ටි මැණිකෙ එක්කලා යන්ට කියල ඉස්කෝලෙට...."

" ආ, කවුද එහෙම කිව්වෙ? "

" අපෙ අප්පච්චි…"

" ආ..ඒකත් එහෙමද? ජයසේන පුතේ . එහෙනම් මේ ටිකත් හොඳට අහ........"


" කවුද කමළාවතී ඔය?...." එහෙම අහගෙන කුස්සියෙ දොරෙන් මතු උනේ චුට්ටි මැණිකෙ.

අපි එක වයසෙ උනාට ඇත්තටම මම ඔයිට කලින් චුට්ටි මැණිකෙ කිට්ටුවට දැකල තිබ්බෙම නෑ. අපෙ අප්පච්චි වලව්වෙ කුඹුරු වතුපිටි බලාගන්න නිසා උන්දැ නිතර වලව්වෙ ගැවසුනානම් තමයි ඒත් අපිට වළව්ව පැත්තෙ ගැවසෙන්ට උවමනාවක්වත් වෙලාවක්වත් තිබ්බෙම නෑ. ඒ ඇරත් චුට්ටි මැණිකෙ හෝඩියෙ ඉඳම්ම ඉගෙන ගත්තෙ නුවරනෙව.

" මේ කවුද මේ? …"

චුට්ටි මැනිකෙ ඇස් පුංචි කරල මගෙ ඉස් මුදුනෙ ඉඳල දෙපතුල දක්වාම බැලුව.

" මේ මේ..ජයසේන ...චුට්ටි මැණිකෙව ඉස්කෝලෙ එ..එ..එක්කල යන්ට ඇවිත් තියෙන්නෙ "

කමළාවතී නැන්දට ගොත ගැහෙන්නෙ මොකද? ඇස් දෙකෙත් තියෙන්නෙ බය වෙච්චි පෙනුමක්..

" හුහ්, අපේ ගමේ මාව ඉස්කෝලෙ එක්ක යන්ට කවුරුවත් මොකටද? මට කවුරුවත් ඕන නෑ...අනික මෙයාගෙ හැටි...කොණ්ඩෙත් වවාගෙන. මට බෑ මෙයා එක්ක පාරෙ යන්ට."

" අනේ මයෙ මැණිකෙ තාම පාරවල් එහෙම පුරුදු නෑනෙ මැණිකෙට.... එතකල්වත්…" කමළාවතී නැන්දට එච්චරයි කියන්ට හම්බ උනේ.

" මට බෑ කිව්ව නේද දැං සැරයක්? "

චුට්ටි මැණිකෙ දකුණු කකුළ උස්සල අඩිය පොලවෙ ගැහුව. මිණි ගෙඩියකවගෙ අපූරු නාදයක් උයනගෙයි පුරා පැතිරිල ගියා. අපෙ හඳය මැස්සො එලවන්ට ඔළුව හොලවනකොට උගෙ කරේ බැඳපු ගෙජ්ජි හෙල්ලෙනව වගෙ. ඒත් ඊට වැඩිය බොහොම මිහිරි නාදයක් මේක.මම පුදුම වෙලා චුට්ටි මැණිකෙගෙ අර මිහිරි නාදය ආපු ඇස්වටේ දිහාවෙත් මූන දිහාවෙත් මාරුවෙන් මාරුවට බැලුව.

" මොනවද මනුස්සයො ඒ පාර කටත් ඇරගෙන බලාගෙන ඉන්නෙ? "

චුටි මැණිකෙ කෑගහපු පාරට මම හිතන්නෙ මගෙ කට ඇරිල තිබ්බනං ඉබේම වැහෙන්ට ඇති.

" මම එදා ඇත්තටම කට ඇරගෙනද හිටියෙ? " බොහොම පස්සෙ දවසක මම චුට්ටි මැණිකෙහෙන් ඇහුව මේ නුගගහ යටදිම.

" හිහ්, හිහ්, මොකද නැත්තෙ?...මම කෑගහපු පාර ඔයා බය වෙලා කට වහගත්ත... එහෙම 
නැත්තං …" 

" ඔව් 
එහෙම නැත්තං මොකද වෙන්නෙ? " 

එහෙම නැත්තං එදා අර කුස්සියෙ පිරිල තිබ්බ දුං ඔක්කොම ඔයාට පෙවෙනව කට බලියාන හිටපු විදිහට..හිහ්, හිහ්.." 

චුට්ටි මැණිකෙගෙ හිනා සද්දෙ මම හිතන්නෙ ඈත කුඹුරු ඉස්මත්තටත් ඇහෙන්ට ඇති.

" හිනාවෙන්ට එපා අනේ ඔහොම….." මම කිව්වෙ දත්මිටි කාගෙන.

ඔව්..ඒත් මේ නුගගහ යටදිම තමයි.

වළව්ව පැත්තෙන් රතිඤ්ඤා සද්දෙ ඇහෙන්ට ගත්ත.ඒ එක්කම බෙර සද්දෙ ..දවුල ගහන්නෙ එගොඩහ ගොඩේ සුද්දප්පු මාම වෙන්ට ඕන. ඔය වැඩේ හැමදාම කලේ උන්දැම තමයි.පෙරහැර මෙතනට එන්ට තව පැය කාලක්වත් යාවි.

මම එහෙම්මම නුගගහට හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත.

" ජයේ..අපිට වෙන කරන්න දෙයක් නෑ....මේ අපි ලබා උපන් හැටි තමයි. ඉරණම වෙනස් කරන්න බෑනෙ . ඒ නිසා අපි වෙන්වෙලා යමු දෙපැත්තකට. ඒත් මගෙ හිතේ හැමදාම ඔයා ඉඳීවි මම මැරෙනකල්..සමහරවිට ඊටත් පස්සෙත්. "

දිග සුසුමක් හෙලල ඈ කිව්වෙ ඇස් දෙකේ කඳුළු පුරවාන.

" ඔව්..ඔයා කියන එක ඇත්ත. මේ අපේ ඉරණම.අපි ඒකට මුහුණ දෙන්ට හිත හදාගමු. හෙට මම යනව පොළොන්නරුවෙ. අප්පච්චිට එහෙ ඉඩමක් හම්බවෙලා."

" ඔව්..ඒකත් හොඳයි එක අතකට... ජයේ..ඔයාව උදේ හවස දකින්ට හිටියොත් මට හිත හදාගන්ට අමාරුවෙයි. ඔයාට මොනවද ඕන මාව මතක් වෙන්ට? "

" ඔයාව මතක්වෙන්ට නම් මට ආය අමුතුවෙන් මොකවත් ඕන නෑ….. ම්ම්ම්...මතකද අර අපි මුලින්ම හම්බ උන දවසෙ..අර වලව්වෙ කුස්සියෙදි ඔයා අඩිය පොලවෙ ගහල කෑගැහුවෙ?."


" ම්ම්ම්.. මතකයි ..මතකයි…" කඳුළු පිරුණු දෑසින් ඈ හිනාඋනා.

" ඒ වෙලාවෙ ඔයා කකුලෙ දාගෙන උන්නු ..අර..අර..ගෙජ්ජිය? "

" මොකක්?..." චුට්ටි මැනිකෙගෙ මූණ රතු උනා..තරහ ගියාම එහෙම තමයි.

" ගෙජ්ජි දාන්නෙ හරක්නෙ මනුස්සයො..ඒකට කියන්නෙ ගෙජ්ජි නෙවෙයි නූපුර….."

" හරි මොකහරි ...මට ඒක දෙනවද?..."

ඇගෙ මූණ අඳුරු උනා.

" හා……"

ආයෙම සුසුමක් හෙලල ඈ කිව්ව.

කළිසම් සාක්කුවට අත දාල මම නූපුර අතට ගත්ත. මගෙ අතටම මැදිල සිනිඳු වෙලා ගිහිල්ල. ඒත් තාමත් ඉන් නැඟෙන්නෙ එදා වලව්වෙ උයනගෙයිදි නැඟුනු මිහිරි නාදයමයි.

දවුල් සද්දෙ ලඟම ඇහෙනව. මම ඇස් ඇරල හැරිල බැලුව. සුද්දප්පු මාම තමයි දවුල ගහන්නෙ. අවුරුදු හත අටකට ඉහත මයෙ අප්පච්චිගෙ මළගමට ආපු වෙලාවෙ උන්දැ මට කිව්ව.ජයසේන ළමයො..මයෙ පලෝලෙ උන්දල ඔක්කොම දැං මිය පරළොව ගිහිල්ල. බේකරියෙ මළය විතරයි අන්තිමට ඉතුරු වෙලා උන්නෙ. ඔන්න උන්දැගෙ මළගමටත් මටම මළ බෙරේ ගහන්ට වෙච්චි හැටි. සංදුක්කාරේ...පරණ උදවිය බේකරියෙ මළය, බේකරියෙ අයිය කියල තමයි අප්පච්චිට කතාකලේ.

රතිඤ්ඤ දාන්නෙ කවුද නාදුනන කොළු ගැටව් දෙන්නෙක්. ගමේ ඉලන්දාරියො බාගෙට බාගයක් මම අඳුනන්නෙ නෑ. අවුරුදු තිහක් වෙනව නෙව මම ගමෙං ගිහිල්ල. කොල්ලො වීසි කරපු රතිඤ්ඤයක් නුගේ කිට්ටුවම පිපුරුණා. වෙඩි බෙහෙත් ගඳ මගෙ නාස් පුඩු හිරකරගෙන පපුවට ඇතුලු උනා.

කට කාරවන ගතියත් එක්කම මගෙ කටට කෙල ඉනුව. ඒත් දෑහැට කඳුළු ඉනුවෙ වෙඩි බෙහෙත් සැර හින්ද නෙවෙයි. අවුරුදු තිහක් තිස්සෙ මගෙ දෑතට මැදිවෙලා හිටිය නූපුරය ආයෙම පාරක් මම තදින් මිරිකගත්ත.

" ජයේ මම එහෙනම් යන්නම්……"

චුට්ටි මැණිකෙ මට කිව්ව.

" හොඳයි ..සුබා ..මමත් එනව..එතකල් ඔයා බලාගෙන ඉන්නව නේද? "

මම එහෙම කියල නූපුරය හෙමිහිට හෙලෙව්ව..ඒ මිහිරි නූපුර රාවය...අයෙමත් මගෙ සවන් සිසාරා ගිහිල්ල පපුව පතුලෙම තැන්පත් උනා.

එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා….

දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට පියේ

 

62 comments:

  1. අයියේ... මේකට අදාල මාතෘකාව දාලා නැති උණත්, පහුගිය දවස්වල සැරෙන් සැරේ මේ බ්ලොගේ පරණ් ලිපි කියෙව්ව නිසා මට මතක් උණා 'කොළරා කාලෙ ආලේ'... මේක ඒ කතාවලට, මැද හිස් තියලා ලියපු එන්ඩිං එකක් වගේ.

    මේ කතාවට අර පරණ කතාවට කෙලින්ම සම්බන්ධ කරලා නැති නිසා මට හිතුණා හැබෑ ලෝකෙ චුට්ටි මැණිකේ මියපරලොව ගියාද දන්නෙ නැහැ කියලා... මම දන්නවා උඹ කතා ලියන්නේ සීයට සීයක් ඇත්තම හරි සම්පූර්ණ මනඃකල්පිතයක් හරි නොවෙන වග.. අනේ මන්දා අයියේ, සමහර විට උඹ නිර්මාණය කරපු නිර්මාණ අතර අපි අතරමං වෙලා වෙන්න ඇති... උඹ දන්නවද ඒක හරිම සොඳුරු අත්දැකීමක්...

    ඒ වගේම තමයි මේ සිංදුවත්... අපි බජව්වක් දානකොට සාමාන්‍යයෙන් කරන්නේ ඉන්න අයට පිළිවෙළට සින්දු ඉල්ලන්න කියනවා... ඒ ඉල්ලන සින්දුව හැමෝම කියනවා.... ඒ විදිහට මේක මම නොවැරදීම ඉල්ලන සිංදුවක්. එහෙම කට්ටිය අතරේ එක එකාට රෙජිස්ටර් වෙච්ච සිංදු තියනවා. මේ සිංදුවට මම ගොඩක් කැමති ඇයි කියන්න මම දන්නෙ නෑ... මටවත් මගේ කිට්ටු හිතවතෙකුට හරි පවුලේ කාට හරිවත් මේ වගේ අත්දැකීමක් නැහැ. නමුත් මේකෙ තියන ශෝකී රාවය මාව පිස්සු වට්ටනවා කිව්වොත් හරි...

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඔය ශෝකී රාවයට මමත් මාර කැමතියි. මේ වගේම මම ආසම තව සින්දුවක් තමා රිච්ඩ් මාර්ක්ස්ගෙ One more time එක. ඒකත් බොක්කටම වදිනවා මටනම්. මලපොත කියද්දි අහගෙන ඉන්නත් මට හරිම ආසයි.

      Delete
    2. තිසර,

      / අයියේ... මේකට අදාල මාතෘකාව දාලා නැති උණත්, පහුගිය දවස්වල සැරෙන් සැරේ මේ බ්ලොගේ පරණ් ලිපි කියෙව්ව නිසා මට මතක් උණා 'කොළරා කාලෙ ආලේ'... මේක ඒ කතාවලට, මැද හිස් තියලා ලියපු එන්ඩිං එකක් වගේ. /

      ඔබ හරි..හරියටම හරි...මගේ මලගිය ( හෙහ්, මලගිහිල්ලත් නෑ එක අතකට ) අතීතයෙ කතාවට ඈඳුනු කතාවක් තමයි මේක.

      කොළරා කාලේ ආලෙත් එහෙම තමයි. මගෙ අතීතයට සම්බන්ධයි.

      ඔය ඔක්කොම එකතුකරල මම කතාවක් ලියමින් ඉන්නෙ . කුමරියකට පෙම් කළෙමි මේ ඒකෙ කොටසක්.....

      මම කලින් දවසක කමෙන්ට් එකක් හැටියට දැම්ම මේ කතාවෙ මුල...

      " කුමරියකට පෙම් කළෙමි "

      ගෙදර දොරකඩින් එළියට බැහැපු හැටියෙ මිදුල මැද්දෑවෙ තියෙන රූස්ස පළුගහේ අතු අස්සෙන් පෙනෙන්නෙ දිඹුලාගල කන්ද.පොළව කට්ට වෙලා පැලෙන තරමට ඉරු දෙයියො රැස්පොට් පෙන්නන ජූලි අගෝස්තු මාසවල පළුගහෙත් කොළ හැලෙනව.එතකොටනම් දිඹුලාගල කන්ද මුදුනෙ දාගැබයි ගන්ටාර කුළුනයි අත දික්කරල අල්ලන්ට පුලුවන් තරම් කියලයි හිතෙන්නෙ.පාළොස්වක දවස්වලට විශේෂයෙන්ම පොසොන් පෝය දවසට කන්ද පාමුල ඉඳං මුදුනටම ලයිට් පත්තුවෙනව කොච්චර බලා හිටියත් ඇතිවෙන්නෙ නෑ.පෙලක් වෙලාවට හුළං අත මේ පැත්තට හැරුනහම ගන්ටාර නාදෙත් ඇහෙන්ට ගන්නව. යාන්තමට සාදුකාරෙත් අහන්ට අහැකි හොඳින් කන්දිහෑව්වොත්.

      මේ දුරුත්තෙ හින්ද පළු ගහේ කොළ ඕසෙට. ඉල් මහ උඳුවප් මහ කියන්නෙ රජරටට බැඳගෙන වහින කාලෙ. හත්දා වැස්ස වහින්නෙ ඔය කාලෙට. මම මෙහෙ ආපු කිට්ටුව නම් ඒ කිව්වෙ අවුරුදු විස්සකට විතර එහාදි උඳුවප් මහේ වහින හත්දා වැස්ස කම්මුතුවක් වෙන්නෙ මනම්පිටිය ගල්ලෑල්ල දිහාවෙ මඩකලපු පාරත් ගංවතුරට යට වෙලා.පරාක්‍රම සමුද්‍රෙ හොරොව් ඇරියම දෙගොඩ තලා ගලන වතුරෙං මේ පළාතම යට වෙනව. ඒ වතුර බැහැල යන්ට ආයෙ අඩුම ගනනෙ තුන් දොහක්වත් යන එක යනවමයි.

      ඒත් දැන් මතක ඇති කාලෙක ඒ විදිහට දෙගොඩ තලා යන්ට වැස්සෙ නෑ. සොබාව දර්මයාත් දැං වැඩ ඕන ඕන විදිහට. මිනිස්සු වාගෙම තමා. හිතුනොත් වස්සනව.නැත්නම් නිකං ඉන්නව....හෙහ්, හෙහ්,

      පළුගහ යට පොඩි කනප්පුව උඩ බාගෙ බෝතලයක්....කනප්පුවෙ පොලිෂ් එක පිච්චිල තියෙන්නෙ අසෝක වීදුරුවෙ අඩියෙ ගානට රවුම් රවුම් සිය ගානකින්. පහුගිය අවුරුදු ගානට කී පාරක් අසෝක වීදුරුව මාතින් මේ කනප්පුවෙන් ඉස්සිල ආයෙම තියවෙන්ට ඇද්ද මේ කනප්පුව උඩින්.....

      නුවර ඉඳල ආවෙ අර්ධ සුඛෝපභෝගී බස් එකක උනාට මුළු සරීරෙම නිකං පොල්ලකිං තලාදැම්මහෙ කෙඩෙත්තුයි.සීට් උසට තිබ්බට දණිස් පොල්කටු දෙක නිකටෙ වදිනව නෙව ඒ සීට් වල ඉඳගත්තම.අම්මයෙ බඩේ ඉන්න විදිහ ආයෙම මතක් කරක්ල දෙන්නද කොහෙද ඔය විදිහට සීට් හදාල ඇත්තෙ...

      එකක් දාගත්තනම් අමාරුව ඔක්කොම යයි..හ්ම්ම්...බලමු එහෙමවත් කරල...

      මගෙ උරෙස්සට ෂර්ට් එකක් වැටුන. හැරිල බලද්දි වසන්ති....එයා මයියොක්ක පීරිසිය කනප්පුව උඩ තියල මා දිහා බලල හිනා උනා...කවදාවත් වරදින්නෙ නැති හිනහව.ජීවිතේ දාල පිස්සිල ගියත් හිත කීරි ගැහිල යන දුකකින් පිරිල තිබ්බත් වසන්තිගෙ මේ හිනාව කවදාවත් මැකුණෙ නෑ. මටත් බොහෝ වෙලාවට ජීවිතේට පන්නරයක් උනේ ඒ හිනාව. මෙච්චර ප්‍රශ්න තියාගෙන මේකිට හිනා වෙන්ට පුලුවන් නම් ඇයි මට බැරි?..එහෙම හිතල ඒ හිනාව මටත් බෝ කරගන්ට බැරිවෙයිද කියල බලන්ට මම ඇගෙ තොල් වැරෙන් සිප ගත්තු අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

      Delete
    3. " මහත්තය සීතලේ නිසා මම ෂර්ට් එක ගෙනාව. " 

      ඇගේ ස්වරයෙ තිබ්බෙ දැඩි සෙනෙහසක්. අම්ම කෙනෙක් තමන්ගෙ පොඩි එකාට දක්වන විදිහෙ නිරාමිස සෙනෙහසක්. මම යාන්තමට හිනා වෙනගමන් ඇගෙ ඉණ වටේ අත දාල මා ලඟට ඇදල ගත්ත. 

      " ඉන්නකො මහත්තය ලිපේ කිරි කොස් ඇතිළිය..මම ඒක බලල එන්නම්….."

      වසන්ති මගෙන් හෙමීට මිදිල ගෙට ගියේ හිනාවෙමින් ....රෑ හත අට වෙනකල් දෙවට දිගේ මිනිස්සු එහෙ මෙහෙ යනව. මිනිස්සුන්ට පේන්ට ඔය කෝලිත්තං කරනවට වසන්ති කැමති නෑ....

      මම ෂර්ට් එක ඇඳගෙන ඇඳි පුටුවෙ දිගා උනා. වේවැල් බැහැල හොඳටම.මේ පුටුවටත් දැං සෑහෙන වයසයි. ඔව්. ඉස්සෙල්ලාම මම මෙහෙ ඇවිල්ල ගේ යාන්තමට අටවගත්තු ගමන් කදුරුවෙල ටවුමට ගිහිල්ල සිරිසේන අයියගෙ නිසාන් වැනට් එකේ වහලෙ උඩ පටවං ආපු පුටු හතරෙං දැං ඉතුරු මේක විතරයි. දැං සිරිසේන අයියත් නෑ. වැනට් එකත් නෑ....

      ඊටත් කලින් ඇඳුම් කෑලි දෙක තුනකුත් අරගෙන මම මුලින්ම කදුරුවෙලින් නුවර ඉඳන් ඇවිදින් බැහැල රත්මල් තැන්නට ආවෙත් සිරිසේන අයියගෙ ඔය වැනට් එකේම තමයි. එදා ඒ ගමන මතකයට ආවම ඒ එක්කම ඊට කලින් සිදුවීමුත් එකින් එක පස්සෙ මගෙ මතකය එන්ට ගත්තෙ වැල නොකැඩී.

      හරි මගෙ කතාව මම පටන්ගන්නම් පහුගිය අඟහරුවාද ඉඳල..ඒ කියන්නෙ දවස් තුනකට ඉස්සරවෙල.

      ගෙදර හිටියොත්, ඒ වගේම කන්නෙ පටන්ගෙන බෙදුම් ඇලේ වතුර ඇරල තිබ්බොත් මගෙ අනිවාර්ය පුරුද්දක් උදේ නැඟිට්ට හැටියෙ දත් බුරුසුවත් කටේ ගහගෙන පල්ලෙහා බස්නාව ලඟට ගිහිල්ල මූණ කට හෝදල ඒ එක්කම ඇති පදං වතුරෙ ගිලිල නාගන්න එක.ඒ එක්කම ඔය ෂර්ට් කලිසං තියනව නං ඒ දෙක තුනකුත් හෝදල තුවායත් කරේ දාගෙන එනකොට වසන්ති උදේ කෑම ලෑස්ති කරල. ගොඩක් වෙලාවට සම්බෝලයක් මලවල කට්ට කරෝල කෑල්ලක් පුස්සල කැකුළු බත්,....... මට ඔය මොනව තිබ්බත් බත් ඩිංගිත්තක් විතර හරි යන්නෙ නැතිය කියල වසන්ති හොඳාකාරවම දන්නව.

      එදත් මම නාගෙන ඇවිල්ල කුස්සිය පිටිපස්සෙ දර මඩුව එපිටහ එරමුදු ගහයි දොඩං ගහයි අල්ලල බැඳපු වැලේ තෙත ඇඳුම් වනන්ට ගත්ත. සාලෙ තිබ්බ රේඩියෝ එකේ උදේ ප්‍රවෘත්තිවලින් පස්සෙ ප්‍රචාරය වෙන මරණ දැන්වීම් වල අන්තිම හරියයි මට ඇහුනෙ ඒ වෙලාවෙ.

      " …………………..අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 24 වන බ්‍රහස්පතින්දා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. පහළ වලව්ව, අමුණුගම , ගුන්නෑපාන "

      අතට ගත්තු තෙත කලිසම එහෙම්මම අතේ තියාගෙන මම ගල් ගැහිල බලා හිටිය. ඒත් මට කිසිම දෙයක් ඒ වෙලාවෙ පෙනුනෙ නෑ. වසන්ති කුස්සියෙ ජනේලෙන් බලල මා ලඟට ඇවිල්ල කලිසම මගේ අතින් ගන්න කල්ම මම එහෙමම ඉඳල තියනව ඒකත් මිරිකගෙන...වසන්තිමයි මට පස්සෙ කිව්වෙ.

      මරණ දැන්වීමෙ මට ඇහුනෙ අන්තිම කොටස උනාට ඒ ගැන මගෙ හිතේ කිසිම සැකයක් තිබ්බෙ නෑ.ඔව්. මගෙ ජීවිතේ එයා සම්බන්ධ අනික් හැමදෙයක්ම ගැනම මයෙ හිතේ තිබ්බෙ දෙගිඩියාවක් උනාට මේ ගැන නම් මගෙ හිතේ අබමල් රේණුවක තරම් වත් සැකයක් තිබ්බෙම නෑ.

      Delete
    4. / මේ කතාවට අර පරණ කතාවට කෙලින්ම සම්බන්ධ කරලා නැති නිසා මට හිතුණා හැබෑ ලෝකෙ චුට්ටි මැණිකේ මියපරලොව ගියාද දන්නෙ නැහැ කියලා… /

      නෑ බං එහෙම දෙයක් නෙවෙයි..ඉඳපං නිධාන කතාව කියන්ට. පපු කැනැත්ත කඩා වැටෙන කතාවක් බං ඒක.

      පහුගිය බදාදා අපිට නිවාඩු. මෙහෙ ජාතික දිනේ...මම පකිස්තාන ලංකා වන් ඩේ මැච් එක බල බල හිටියෙ..ඔන්න ෆෝන් එක රිං උනා..ලංකාවෙ නොම්මරයක්...මගෙ යාලුවො ඔක්කොගෙම වගෙ නොම්මර තියනව මෙමරි එකේ. මේ ඒකෙ නැති එකක්…

      " හෙලෝ..මිස්ට වීරසිංහ "

      " යස් ස්පීකිං …"

      " අඩෝ …..උඹට අපිම නොම්මර හොයල කතාකරන්න ඕන නේද? "

      මට ඒත් මීටර් නැහැ මේ කවුද කියල..

      " කරුනාකරල කියනවද ඔය කවුද කියල? "

      මට මල පැන්නෙ ඇන්ජලෝ ඇන්ඩ් දිනේෂ් යස අපූරුවට ගහගෙන යන වෙලාවෙ..මේ එකෙක් එනව ඒ අස්සෙ බබා හුකුං දාන්ට

      " උඹ මැච් එක බලනව නේද?"

      " කවුද මේ කියනවද? "

      " හෙහ්..උඹට ඒ කාලෙත් එහෙමයි..මැච් බලද්දි ඩිස්ටර්බ් කලොත් මල පනිනව කියන්නෙ...මචං වීරෙ..මම අසෝක.."

      " අම්මට උඩු අසෝක....ඉතිං බං අනේ සොරි..මට උඹේ කටහඬ අඳුනගන්න බැරි උනා…"

      ඊට පස්සෙ මම මැච් එක අතඇරියා....

      " ඉතිං? ඉතිං?...මොකද බං දැන් කරන්නෙ? අප්පච්චියේ කොච්චර කාලෙකට පස්සෙද?...."

      ඒ සතුටු සාමීචිය ඉවරයක් වෙන කොට ඇන්ජලෝයි දිනේෂුයි දෙන්නම අවුට් වෙලා..හෙහ්, හෙහ්,

      අසෝකගෙ ගම කැබිතිගොල්ලෑවෙ, හොරොව්පොතාන පාරෙ..ඕක බඳින්න හිටියෙ උගෙම ඇවැස්ස නෑන. 85 නැත්තං 86 වගෙ බිම් බෝම්බෙකට අහුවෙලා අසෝකගෙ නෑනයි නෑනගෙ අම්මයි දෙන්නම නැතිඋනා. අසෝකගෙ අම්ම මාසයක් වගෙ ඉස්පිරිතාලෙ ඉඳලයි ගෙදර ආවෙ. ඒ දවස්වල ඕකා වෙනුවෙන් අපිත් නොමැරි මැරුණයි කිව්වොත් බොරුවක් එහෙම නෙවෙයි.පස්සෙ අවුරුදු ගාණකට පස්සෙ අසෝකය උගෙ පොඩි නෑන..අර නැතිවෙච්චි කෙල්ලගෙ නංගි බැන්ද. දැන් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නව. දුවයි පුතයි...

      ආයෙම මතක් වෙච්චි අසෝකයගෙ කතාව මගෙ හිතෙන් මැකිල ගියේම නෑ. කොහොමත් " කුමරියකට පෙම් කළෙමි " අන්තිම සීන් එක ඔහොම ලියන්ට තමයි මම හිතාගෙන හිටියෙ. ඊට පස්සෙ කලේ මේ මූඩ් එක පිටම ඒ ටික ලියල දැම්ම.

      බොහොම ස්තූතියි මල්ලි…A Thousand Thanks Thisara :) :)

      Delete
    5. සෙන්නා,

      මළපොත කියල එකක් තියද? ඒ කාලෙ අපේ පැත්තෙ නම් මළගෙවල්වල රෑට කිව්වෙ වෙස්සන්තරේ....ඒකටම එක්ස්පර්ට් වයසක අය හිටිය. රෑ එළිවෙනකල් ඇදල පැදල කියනව බං ඇහෙනකොටත් හිත කීරි ගැහිල යනව.

      Delete
    6. මළපොත කියලා කියෙව්වෙ වෙස්සන්තරේ තමා නේද ? මළගෙවල්වල කියන හින්දා වෙන්නැති මළපොත කියන්නෙ. ඉස්සර ඉගන ගන්න කියන්නෙ මළපොත කියව ගන්න පුලුවන් වෙනකම්නෙ. මළපොත කියන්න පුළුවන්නම් ඌ තමා පොර. එහෙම නේද ? ආන්න ඒ කීරි ගැහෙන ශෝක ගතියට තමා මම කැමති...

      Delete
    7. සෙන්නා,

      / මළපොත කියන්න පුළුවන්නම් ඌ තමා පොර. එහෙම නේද ? /

      එහෙම නෙවෙයි නේද බං?..අඩු ගණනෙ මළපොතේ අකුරුවත් ඉගෙන ගනිං අන්න එහෙම නේද කියන්නෙ..ඌට මළපොතේ අකුරක්වත් බෑ...එහෙමත් කියනවනෙ. ඒ කියන්නෙ මළපොත කියන්නෙ අවම මට්ටම වගෙ අදහසක් නේද එන්නෙ?

      මාලිනී බුලත්සිංහලගෙ සිංදුවකුත් තියෙන්නෙ…..

      මළපොතේ අකුරු බෑ කී මිනිහා,
      ඉංගිරීසි පත්තරයක් අග ඉඳලා මුලට බලනවා, මුල ඉඳලා අගට බලනවා,
      කොහෙං ඉගෙනහත්තද මන්දා,
      මං කැන්දන් ආ දවසේ කණ අස්සන ගහපු කෙනා......

      ඔය මළපොතේ අකුරක්වත් බෑ කියන කතාව කොහොම හැදුනද මන්ද බං. පොඩි සර්ච් පාරක් දැම්ම ..ම්හු..මොකවත් නෑ..

      මට හැබැයි මෙහෙම සීන් එකක්නම් යන්තමට මතකයක් තියනව. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගෙ පොතක් තිබ්බ කියලයි මතක.

      රජකාලෙ යුද්ද වලදි (විදේශවල කෙරෙන යුද්ද වලදි විතරක් වෙන්නත් පුලුවන්. මොකද මේ කතාව තිබ්බෙ මට මතක විදිහට දෛව යෝගය පොතේ වෙන්න ඕන. ඒකෙ තියනව ලංකාවෙ හමුදාව දකුණු ඉන්දියාවට පහරදීල නගර කීපයක් යටත් කරගන්න කතාවක් ) යුද්දෙයෙන් මියගිය සෙබලුන්ගෙ නම් ලැයිස්තුව මිනිස්සු වැඩිපුර එක් රැස්වන අම්බලම්, කඩ මණ්ඩි වගෙ තැන්වල ප්‍රදර්ශනය කරල තිබ්බලු.

      ඉතින් ඒකෙ යුද්දෙට ගිය තමන්ගෙ ඥාතියගෙ නම තියනවද කියල දැනගන්ට අකුරු නොදන්න අය කලේ අකුරු දන්න අය ගාවට ගිහිල්ල පිංසෙන්ඩු වෙච්චි එක. මළපොතේ අකුරක්වත් බැරි මිනිස්සු කියල ව්‍යාවහාර වෙන්ට පටන් ගත්තෙ ඊට පස්සෙය කියල තමයි ඒ පොතේ තිබ්බෙ මට මතක විදිහට.

      Delete
    8. ඒ රජ කාලෙ කතාව නං පිළිගන්ට අමාරුයි නේද බංස්? ඒ කාලෙ කොහොමත් සාමාන්‍ය ජනයාගේ සාක්ෂරතාව නිල් නේ.. ඔය වගේ නම් ලැයිස්තු කඩමණ්ඩියේ දාන්ට කියන්නෙ නෑ රජාට මොළේ තියෙනවනං.. අ‍නෙක ඒ කාලෙ වැඩියෙම්ම පාවිච්චි වුනේ අණ බෙර නේද?

      Delete
    9. බූරා,

      ඇත්ත මල්ලි, මට හරියටම මතකත් නෑ ඔය කතාව තිබ්බෙ දෛවයෝගය පොතේමද කියලත්, ගෙදර පොත තියනව.අපෙ පිරියම්බිකාස්ට කිව්ව අනේ මේ දෛවයෝගය පොතේ මෙහෙම තියනවද කියල බලල කියන්ටෙයි කියල...උන්දැ මේ දවස්වල බිසේ බිසි.. හොයල කියන්නම්ය කිව්ව ඒක ඉතිං කවද වෙයිද මංද...:)

      අනික උඹ මතුකරන තර්කය වැදගත්.ඒ දවස්වල එහෙම අකුරු දන්න මිනිස්සු ඇත්තෙම නැතිතරම් කියල මාත් හිතනව. යස් ඊට ලේසියි අණබෙර කාරයෙක් යැව්වනම් ගම් දනව් පුරා..

      අසව්! අසව්!! අසව්!!! Hinges! Hinges!! Hinges!!!

      Delete
    10. දෛවයෝගයෙ එහෙම කෑල්ලක් නෑ රවී මට මතක හැටියට...

      Delete
    11. ඔව් රවී අයියා හරි. මළපොත කියන්නෙ අවම සුදුසුකම තමා. මට වැරදුනා...

      මමත් පොඩි සර්ච් පාරක් දැම්මා.. මෙන්න මෙහෙම ඒවා තමා මතනම් හම්බුනේ..

      ඉංග්‍රීසි ගැන මළපොතේ අකුරක්වත් දන්නැ....
      ප්‍රංශ බාසාව ගැන මළපොතේ අකුරක්වත් දන්නෑ....
      තාක්ෂණය ගැන මළපොතේ අකුරක්වත් දන්නෑ....
      බ්ලොග් ගැන මළපොතේ අකුරක්වත් දන්නෑ...

      බලාගෙන ගියාම මළපොත කියන්නෙ හැම ක්ෂේත්‍රයකම තියන අත්පොතක් වගේ එකක්නෙ... :D

      Delete
    12. @සෙන්නා - අහලා තිබ්බෙ නෑ බං ඒ සිංදුව... රිචර්ඩ් මාක්ස් ගෙ සිංදු කීපයක් අහලා තිබ්බට මේක දැනගෙන හිටියේ නෑ. ඒක ලස්සනයි තමයි.

      @රවි අයියේ - කුමරියකට පෙම් කළෙමි කියන එක බේසික් වැඩියි බං... සෑම ගැහැණියක්ම රැජිනක් කියලා රැජින පත්තරේ තියනවා නේද? (කුමරි පත්තරේ මොකද්ද දන්නෙ නෑ තියෙන්නේ?) ඒ වගේ සෑම යුවතියක්ම කුමරියක් කියලා අපිට කියන්න පුළුවන්නේ. එහෙම බලනකොට උඹ නිකම්ම යුවතියකට පෙම් කරලා තියෙන්නේ... ඕක ඉතිං කියන්නත් දෙයක්ද... අනික මේකෙන් තව කියවෙන දෙයක් තමයි උඹ මෙයාට විතරමයි පෙම් කලේ වගේ... කුමරියකට.. ඒක වචන... කුමරිය කියන වචනේ පොදු වැඩි නිසා, අපිට එහෙමත් හිතන්න පුළුවන් නේද? උඹ එකම එක කුමරියකට විතරමයි පෙම් කරලා තියෙන්නේ කියලා... උඹ ලියලා තියන කතා වල හැටියට උඹ අඩුම ගාණෙ කෙල්ලො දුසිම් එකහමාරකටවත් පෙම් කරලා තියන්න ඕනේ. ඒ නිසා මම යෝජනා කරනවා කතාවේ නම වෙනස් කරන්න කියලා... (මොකද දන්නෙ නෑ මට හදිසියේම "අලුත් මාළු විකිණීමට තිබේ" කියලා බෝඩ් එකක් ගැන මතක් වුණේ)

      Delete
    13. තිසර,

       (කුමරි පත්තරේ මොකද්ද දන්නෙ නෑ තියෙන්නේ?)

      කුමරි එකේ දැන් මොකක් තියනවද නම් මන්ද බං..අර මල් කුමාර ඒක පටන්ගත්ත කාලෙනම් කුමරි කියන නමත් එක්කම යටින් තිබ්බෙ " ඕන **** පණං අටයි" කියල

      / එහෙම බලනකොට උඹ නිකම්ම යුවතියකට පෙම් කරලා තියෙන්නේ…/

      ඔන්න මලේ උඹ පටලෝගෙන. මම නෙවෙයි බොල පෙම් කලේ ජයසේන..ජයසේන..වලව්වෙ චුට්ටි මැණිකෙ කියන්නෙ බාං ජයසේනට කුමරියක් තමයි. අන්න ඒකයි මම එහෙම නම දැම්මෙ. අනික ඔය උඹ කියන දුසිං එකහමාරකට පෙම් කල කතාව ජයසේනට කොහෙත්ම අදාල නොවේ. ජයසේන වනාහී පෙම් කලේ චුට්ටි මැණිකේටම පමණි.

      / ඒ නිසා මම යෝජනා කරනවා කතාවේ නම වෙනස් කරන්න කියලා../

      හරි,..උඹම නමක් යෝජනා කරපංකො සලකා බලන්ට.

      /  (මොකද දන්නෙ නෑ මට හදිසියේම "අලුත් මාළු විකිණීමට තිබේ" කියලා බෝඩ් එකක් ගැන මතක් වුණේ) /

      මාළු කඩේ නාම පුවරුවෙ සීන්ස් එක මෙතෙන්ට දැම්මොත් නම දාන්ට වෙන්නෙ " කළෙමි " කියල තමයි...හෙහ්,හෙහ්

      Delete
    14. ඒ මළ පොතයි මේ මළ පොතයි දෙකක් නෙමෙයිද? මළ පොතේ අකුරක්වත් බෑ කියද්දී අදහස් කරන්නේ නම් එකම අකුරක්වත් නැති පොතක් මගේ හිතේ. මළ ගෙවල්වල කියවන මල පොත එහෙනම් වෙස්සන්තරේ වෙන්ටැ

      Delete
  2. එක අකුරක් වත් මග නොහැර කියෙව්වා . අටුවා ටීකා ලියන්න දෙයක් නැහැ . අපුරුම ලියවිල්ලක් ..

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ස්තූතියි මැඩම්...:)

      Delete
  3. කතා දෙකක් නෑ ජාති ලියවිල්ල.අපූරුවට ගලාගෙන යනවා කතාව.අපූරුවට රස වින්දා.

    අපේ පැත්තෙ චාරිත්‍රය අනුව, කෙල්ල අවිවාහකවම මිය ගියා කියලා තමා හිතා ගන්න තියෙන්නෙ. අපේ පැත්තෙ වෙඩි ගහන්නෙ නොබැඳපු කෙනෙක් මැරුනම තමා.

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      අඩේ බං එහෙම චාරිත්‍රයක් තියද?...මම දන්න විදිහට ඔය ඉහල පෙලැන්තියෙ අය මලාම තමයි රතිඤ්ඤ දැම්මෙ ඒ කාලෙ. විවාහක අවිවාහක භේදයක් මම දැනගෙන හිටියෙ නෑ..අනික මේ කතාවෙනම් එහෙම නෑ. චුට්ටි මැණිකෙ කසාද බැඳල බං ලොකු දරුවො දෙන්නෙකුත් ඉන්නව...

      Delete
    2. අපේ පැත්තෙ එහෙමයි රවී අයියා. අවිවාහකයෙක් මැරුණොහ් වෙඩි ගහනවා.මම හිතන්නෙ ඒ එයා වෙනුවෙන් ආයෙ වෙඩි පත්තු කරන්න බඳින දවසක් එන්නැති නිසා වෙන්නැති. බැඳපු කෙනෙක් මැරුනම වෙඩි ගැහුවොත් තව මළ ගෙවල් දෙක තුනකට ගේම සෙට් වෙයි... :D

      Delete
  4. ඔබේ වදන් පෙළගැස්ම අර්ථ රසය ලබාදීම ඉස්තරම්... මමත් ආසම ගීතයක්........හදවත පතුළටම දැනෙනවා

    ReplyDelete
    Replies
    1. නලින්,

      බොහොම ස්තූතියි නලීන්....:)

      Delete
  5. පුදුමාකාර විදියට රස වින්දා. චිත්‍ර රූප මැවිලා පේනවා කියවගෙන යද්දී

    ReplyDelete
    Replies
    1. කළු පූමා,

      බොහොම ස්තූතියි පූමාස්...:)

      Delete
  6. ගීතයට තමා හිත ගියෙ. කලින් අහල තිබුණෙ නෑ නේ!

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්නත් අමාරුයි.

      Delete
    2. @ හැලප,

      කියල වැඩක් නෑ බං. මුංව තියන්න වටිනවද?

      @ දිලිනි,

      උඹ මට අහුවෙන්න එපා නුවරදි එහෙම..අම්මාපල්ල මාකට් එක ඉස්සරහ බෝ ගහ යට දණගස්සල තියනව පැය දෙකක්...කරන එකත් කරනවමයි...

      Delete
  7. මම අහල තීනෝ ඔය සිංදුව ඇත්තම අත්දැකීමකට ලීව එකක්ය කියල. ඒ කතාව ඇහුවට පස්සේ සින්දුව අහන අහන හැම වෙලේම පපුව හිර වෙනව...දැන් ඉතිං මේ නුපුරයක් ගැන කියල සින්දුව අහද්දී තවත් කීප ගුණයක් දුක හිතේවි.
    මට යාන්තමට මතකයි අයිය චුට්ටි මැණිකේ ගේ කතාවේ කොටසක් කලින් ලීව විත්තිය...මේ ලියල තීන ශෛලිය හරිම අපුරුයි. අර මොකද්ද වචනේ...nostalgia ද මොකද්ද...එහෙම එකක් එක්කල මුහු වෙච්චි දුකක්... හරියට ගොඩක් ඉස්සර දවසක පිපුණු මලක සුවඳ බැලුව මතකයක් වාගේ. මල පරවෙලා ඒත් සුවඳ තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. අමා,

      / මම අහල තීනෝ ඔය සිංදුව ඇත්තම අත්දැකීමකට ලීව එකක්ය කියල /

      ඔව් බං, ඇත්තම කතාවක් කියල තමයි කියන්නෙ. ඒ සීන් එක දැනගත්තට පස් සෙ ඔය සිංදුව අහනකොට පපුවත් එක්ක හිරවෙනව වගෙ අම්මප

      ගෙදර ඉස්තෝප්පුවේ විවේක සුවයෙන් ඉඳින පුද්ගලයෙකි. ඔහු හමුවට පැමිණෙන තරුණයෙක් “මට __________ මුණගැහෙන්න ඕනෙ”.

      “ඔව් මම තමයි”

      “මම ලියපු ගීතයක් තියෙනව. ඔබට ඒක ගායනා කරන්න පුළුවන්ද?”

      “කෝ බළමු”

      තරුණයා ඔහුගේ සාක්කුවෙන් කොළයක් ගෙන අනෙක් පුද්ගලයාට දෙන ගමන් “මේක මම ලියපු පළවෙනි ගීතය. ඒ වගෙම මම ලියන අන්තිම ගීතයත් මේක.”

      අනෙක් පුද්ගලයා තරුණයා දුන් ගිතය කියවා.

      “හොඳ ගීතයක්. ඇයි ඔයා කිව්වෙ මේක ඔයා ලියන අවසාන ගීතය කියල?”

      “මට තව ගීත ලියන්න හැකියාවක් නැහැ. මේකෙ තියෙන්නෙ මගෙ අත් දැකීමක්.”

      “මොකක්ද ඒ?”

      මේ තරුණයා තරුණියක් සමඟ ඇති කරගත් පෙම් සබඳතාවයට තරුණියගේ ගෙදරින් ඉතා දැඩි විරෝධයක් එල්ලවිය. ඒ සමඟම තරුණයාට දුර පළාතකට යන්නට සිදුවිය. (මගේ මතකය නිවැරදි නම් රාජකාරිය උදෙසා) මේ සමඟම පෙම්වතියගෙන් දුරස් වෙන්නට සිදුවූ අතර ඇය පිළිබඳ තොරතුරුද නොලැබී ගියේය.

      සැලකිය යුතු කාලයකට පසු තරුණයාට පෙම්වතියගේ පියාගෙන් විදුලි පණිවිඩයක් එයි. “වහාම පැමිණෙන්න!”

      තරුණයා පෙම්වතියගේ නිවෙසට යනවිට එහි අවමඟුලකි. ඒ අවමඟුළ තමාගේ පෙම්වතියගේ බව ටික වේලාවකින් ඔහුට වැටහෙයි.

      ඔහු ගීතයේ ලීවේ තමා මුහුණදුන් ඒ අවාසනාවන්ත අත්දැකීමය. විමල් ජයශාන්ත නම් ඔහුගේ ගීතය ගායනා කල ගායකයා අන් කවරෙකුත් නොව ශ්‍රිලාංකීය ගීත සාහිත්‍යයේ නොමැකෙන නමක් සටහන් කල මහාචාර්යය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතායි. සනත් නන්දසිරි මහතාට අනුව ඊට පසු මේ ගීතයේ රචකයා වන විමල් ජයශාන්ත ඔහුට නැවත මුණගැසී නැත. පසුව ඔහු ජීවතුන් අතර නොමැති බව ආරංචි විය.

      උපුටා ගැනීම - දියකැට පහන වියුණුවෙන්

      ස්තූතියි අමා...:)

      Delete
    2. හ්ම්ම් ඔව් අයියේ ඉස්තුතියි සබැඳියට. ඒ ගීතය ගැන තිබුණු මතකය තවත් අලුත් කළා. මට මතක් උනා තව විස්තර ටිකක්. ඒ ටිකත් මෙතන බෙදාගන්නම්...

      එදා ඒ තරුණයට විදුලි පණිවිඩේ ලැබුනම එයා හිතල තියෙන්නේ ගෙදරින් කැමැත්ත ලැබිල ඒ ගැන කතා කරන්ට එන්නයි කියල ලු. ඒ තරුණයා බොහොම හොඳට වැදගත් විදිහට අත් දිග කමිසයක් හෙම ඇඳලා, තෑගිත් අරගෙනලු පෙම්වතියගේ ගෙදරට ගිහින් තිබෙන්නේ (දන්නවනේ පිරිමි ළමයි ගෑනු ළමයගේ ගෙදර මුලින්ම 'කතා කරන්ට' යනකොට හෙන ඩීසන්ට් පිට යනවනේ )... :( පවු....ඒ පිරිමි ළමයට මොනා හිතෙන්ට ඇතිද? :(

      Delete
  8. මේ කලින් ලියපු කතාවක අග මුල එකට ගැට ගැසීමක් නේද මචං.මට මතක හැටියට කොළරා කාලේ ආලේ.
    එතකොට චුට්ටි මැණිකෙ තරුණ වයසේදීම මියැදුනා එහෙනං,එයත් ජයසේනගේ ජීවිතේ ටික වෙලාවකට ඒකාලෝක කරපු උල්කාපාතයක් නේද.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තරුණ කාලේදී මියැදුණා නෙවි. මට තේරුණු හැටියට චුට්ටි මැණිකේ මියැදිලා තීන්නේ ටිකක් වියපත් වෙලා. මේ ජයසේන ඉලන්දාරි කාලේදී ගමෙන් ගෙහුං දැන් අවුරුදු තිහක් කියනවනේ. හෙනම් ජයසේනටයි චුට්ටි මැණිකේ ටයි අවුරුදු පනහක්වත් වෙන්ට ඕනැ. චුට්ටි මැණිකේගේ අවමගුල දා තමා මේ ජයසේනගේ වර්තමානේ.

      ඕන් මට තේරිච්චි හරිය. මේක ලිව්ව උන්දැටම තමා හරිද නැද්ද කියල කියන්ට පුළුවන්.

      Delete
    2. @ හැලප,

      නෑ බං චුට්ටි මැණිකෙට දැන් පණහත් පැනල. දරුවොත් දෙන්නෙක් ඉන්නව. වියපත් වෙලයි මැරෙන්නෙ...

      @ අමාස්,

      උඹ හරි මැඩම්...හරියටම හරි :)

      Delete
  9. සුවඳ උරාගෙන පිපුනු මල් පෙති
    පින්න සොරාගෙන දිදුලන සැටි
    තවමත් දැනෙයි නුඹ සුවඳ මට
    දෙනෙත් කෙවනි කකියමින්..

    ReplyDelete
    Replies
    1. රූ…

      මල් සුවඳ මුකුලිතවු ළය පුරා පැතිරයත,
      නිල් නෙතක ඇඳි කඳුල මතකයේ තවම ඇත,
      විල් දියක ඇඳුනු රුව සිහිනයෙක බොඳව යත,
      කල් කපක් ගෙවෙනතුරු ඔබ මහද වෙසෙනු ඇත,

      බොහොමත්ම ස්තූතියි රූ...:)

      Delete
  10. ප්‍රේමයේ විරහව/වියෝව ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අදත් හෙටත්, වචනයේ පරිසමාප්තාර්යෙන්ම උසස් සාහිත්‍ය නිර්මාණ බිහිකරනවා. එයට එකම හේතුව වන්නේ ඒ විරහව/වියෝව තුල ඇති අපරිමිතවූ මානව දයාවයි.

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      Unfulfilled love is the most romantic form of loving somebody, because of its very nature of being unfulfilled. Fulfilled means love has reached its maximum capacity or the highest potential. In unfulfilled love its just the opposite. It has the potential to reach hitherto unknown heights.

      Delete
  11. මගෙ ආසම සින්දුවක්.ලස්සන කතවක් එකතුකරල.උපරිම ලස්සනයි බොල.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්...:)

      Delete
  12. හරිම ලස්සන සංවේදී කථාවක් රවී! මම ගොඩක් රස වින්දා. ඔබගේ බස හැසිරවීම පංකාදුයි. මම හරිම කැමතියි එක හුස්මටම කියවන්න පුලුවන් වුනේ ඒ නිසයි.
    මීටම සමාන සිද්ධියක් මුල් කරගෙන මෑතකදී මම ලියූ කවි පංතියක්. හොඳද බලන්න....

    ප්‍රේමයේ වියෝගය........

    දැනුත් ඉඳහිට දකින විට පුර පස සඳේ උණුසුම් කැළුම්
    මගේ මතකෙට හනික එන්නේ එදා දුන් ඔබේ පෙම් බැළුම්
    තාම මතකයි පාළු කමතේ සැදෑ යාමේ පෑ රැඟුම්
    කොහොම මං අද දරාගන්නද වෙනස් වූ හැටි ඔය තරම්

    එදා මා අත වෙලී සිටියා ලොවම අමතක කර ඔයා
    හිරැත් හොරැහින් බලා සිටියා වළා අතරින් කර පියා
    මිමිණුවා ඔබ වදන් සුමිහිරි පුරවමින් ආදර දයා
    එහෙම සිටි ඔබ සැඟවුනා මා පාළු අඳුරක බහා තියා

    ගොයම් පෑගූ කමතේ හමනා සුවඳ තවමත් එලෙසමයි
    දෙණියේ ළිඳ ළඟ කුඹුක් සෙවනේ සිසිල තාමත් සුමිහිරියි
    පහළ ඇල දිග රංචු ගැහෙනා දන්ඩි තවමත් හරි දඟයි
    එකම වෙනසට මට පෙනෙන්නේ ඔයා මේ ගම නැති එකයි

    ඔබේ සුකොමල බඳ වටේ සුදු සේලයක් ඔතනට නඟේ
    ලැමේ පිපි පෙති ගෝමරත් මුඳු සළුපටින් වසනට නඟේ
    ගෙලේ රේඛා වැසෙන්නට රන් පලඳවන්නට හරි අගේ
    හැම දොහේ මං හීන දැක්කා හැබෑ නොවුනේ ඇයි නඟේ

    ඔබේ මංගල ගමන බැලුවෙමි පාළු කමතේ තනි වෙලා
    වියළි සුළඟක් හමා ඇදුණා මගේ දුක ඔබ වෙත සලා
    හිතේ කහටක් නැහැ නඟේ මුළු හදවතින් මා පෙම් කලා
    තවම නොදනිමි ඇයිද ඔබ ගියේ මගෙන් මේ ලෙස වෙන් වෙලා

    ReplyDelete
    Replies
    1. හැබැයි මේකේ කෙල්ල මැරැනේ නෑ. බැඳලා වෙනතක ගියා.ඔයාගේ කථාව හරිම දුකයි. ඇය සදහටම යන්න ගිහින්....

      Delete
    2. චන්දන,

      අපූරුයි චන්දන ලස්සන කවි පෙළ...:)

      ඔය වගේම වියෝවක් ගැන කියවෙනව වික්ටර්ගෙ මේ ගීතයෙනුත්....

      අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට හඬන්න අවසර නැහැ
      වෙලෙන් එහා හිඳ නුඹේ සුවඳ වත 
      එතී ආ සුළං මගෙ මුව සිම්බා
      අහිමි වුණත් නුඹ ළ‍ඳේ 
      මට හඬන්න අවසර නැහැ

      Delete
  13. කතාව දුක හිතෙන තරමට අපිත් කඳුළු පෙර පෙර අඬ අඬ කියෝනව.. අපිට උනොත් කොහොම දරාගන්නද කියල හිතල... ඒත් ඇත්තටම අපිට මෙහෙ අත්දැකීමකට මුහුණ දෙන්න උනොත් අපි කොහොම හරි දරා ගන්නව...

    ඒත් ඒ හිතේ හිස්කමට අපි හරි ආසයි නේ.... නැත්තං මේ සින්දු ඇහෙද්දි කඳුළු එන්නෙ නෑනේ...

    රවීගේ මේ ලියවිල්ල මරු.. හරියට අපේ ආතා කතන්දර කියනව වගේ ඉස්සර... හි හි

    ReplyDelete
    Replies
    1. හිරු,

      / ඒත් ඇත්තටම අපිට මෙහෙ අත්දැකීමකට මුහුණ දෙන්න උනොත් අපි කොහොම හරි දරා ගන්නව…/

      ඔබ හරි, එහෙම තමයි වෙන්නෙ. 99.9% කොහොමහරි ආයෙම ජීවිතේට මූණදෙනව. අර ඉතිරි බොහොම සොච්චම තමයි දිවිනසාගන්නෙ.අපේ හිත හැඩගැහිල තියෙන්නෙ එහෙමයි. ඕනම දුක් වේදනාවක් දරාගන්න පුළුවන් විදිහට..We are Survivors. ඉතාම හිත කම්පාකරවන අත්දැකීමකට මුහුණ දුන්නම ස්වභාවධර්මයෙන්ම කරන්නෙ ඒ අමිහිරි අත්දැකිම එහෙම පිටින්ම අමතක කරවන එක.ඒත් ඔය Survival Mechanism එකක්.

      යකා අරමයි මෙහෙමයි අප්පට සිරි යකෙක් හම්බ උනොත් නම් මම බයටම මැරිල යාවි..එහෙමයි අපි හිතන්නෙ..ඒත් යකා හම්බ උන දවසටයි තේරෙන්නෙ යකා අත්තටම කියන තරම් කළු නෑ කියල. කළු උනත් අඩුගණනෙ යකා එක්ක සහජීවනයෙන් ඉන්නවත් අපි ඉගෙන ගන්නව.

      ස්තූතියි හිරු…:)

      Delete
    2. / කළු උනත් අඩුගණනෙ යකා එක්ක සහජීවනයෙන් ඉන්නවත් අපි ඉගෙන ගන්නව./
      Aiya akka 1 inna hita hada gatta wageda.....................

      Delete
    3. Sacheera,

      / Aiya akka 1 inna hita hada gatta wageda..................... /

      අම්මාපල්ල මේකි කිසි බයක් හැකක් නැතුව ඒක කියාපු ලස්සන බලාපල්ලකො..යකෙක් ඈ?? එතකොට මයෙ අර දවල්ටත් හඳ පායල වගෙ ඉන්න සිරියාකාන්තාව යකෙක් ඈ??...

      උඹට හම්බ වෙයි ඔන්න...මේක දැක්ක ගමං මයෙං කතාකරල ඇහුව කවුද අර මට යකෙක් කියල තියන තේඋඩිච්චි කියල..ඉතිං නොකිය ඉන්ටය? මම ඒ පාර විස්තරේ කිව්ව..ආ..එහෙමද? මම අල්ලගන්නම්කො නුවර ටවුමෙදි කියල බර බර ගාල දත්මිටි කෑවෙ ඔය. මයෙ ඇඟත් එක්කල හිරිවැටිල ගියා ඔන්න..අනෙ අම්මප..

      මේ ඒ නිසා නුවර එහෙම ඇවිදිනකොට ටිකක් පරිස්සමෙං ඔන්න...පස්සෙ අඬාගෙන මා ගාවට දුවගෙන එනව එහෙම නෙවෙයි ඔන්න...උඹව උස්සල පොළවෙ ගහන්ටත් බැරිකමක් එහෙම නෑ ඔවුන්දැ ඔර්ලෝසු කණුව ඉස්සරහම..මොකක් කිව්ව? ඒකට නම් ලේසි වෙන එකක් නෑ කිව්ව?? ආ . එහෙමද හිතාගෙන ඉන්නෙ? උන්දැ මධ්‍යම පළාත් කාන්තා බර ඉසිලීමේ සූරතාවෙ දෙපාරක් දින්න ...හරිද? උඹ උස්සල පොළවෙ ගහන එක උන්දැට නතිං...

      Delete
  14. ඇති යාන්තං.. මූට කට ගෙවෙනකං කියන්ට වුනා නෙවැ මේ කතාව ලියවගන්ට.. අර එකේක එලෝ විකාර ලිය ලියා හිටියා මිසක්කා...

    හැබැයි පුතෝ එකක් කියඤ්ඤා.. මේකෙ නං ඔය පඳුරු තැලිලි එහෙම තියාගන්ට එපා හරිය.. :)

    ReplyDelete
    Replies
    1. බුරා,

      හෙහ්, හෙහ්, කුමරියකට පෙම් කළෙමි තාම ලියනව බං තාම. ඒක කෑල්ල කෑල්ල ලියන්ට බෑ. එක දිගට ලියල ඒ දිගටම පබිලිස් කොරල ඉවර කොරන්ට ඕමනයි...හෙහ්, හෙහ්,

      නෑ, නෑ.. පඳුරු තැලිලි ඔක්කොම ලියන්නෙ වාං පතුල් කතා වලට.මේකෙ No Bush Beating…:)

      Delete
  15. වියෝව/වෙන්වීම ගැන ලියන ඒවලිනුත් රසයක් උපදින එක ගැන සමහර වෙලාවට මට පුදුමත් හිතෙනවා... ඒත් අපි වැඩි දෙනෙක් ඒ දේවල් කියවලා දුක්ඛ රසය හරි විඳිනවානේ නේද...??
    ලස්සන ලියවිල්ල රවී... :)
    මේ වගේ කතා ඇතුලෙන් මට හිතෙන්නේ රවී කියන්නේ කොච්චර නම් ආදරණිය පුද්ගලයෙක් වෙන්න ඕනෙද කියලා....

    ReplyDelete
    Replies
    1. සඳා,

      / ඒත් අපි වැඩි දෙනෙක් ඒ දේවල් කියවලා දුක්ඛ රසය හරි විඳිනවානේ නේද...?? /

      ඔය හැම එකක්ම එක්තරා විදිහට විඳීමක් නැත්නම් රසයක් තමයි මැඩම්....නව නළු රස වලින් එකක් ඇවිල්ල බීහත්ස රසය, ඒ කියන්නෙ පිළිකුල් රසය..හෙහ්, හෙහ්, ඒකත් රසයක්

      ඔබේ පැසසුමට මගේ අපරිමිත ස්තූතිය!!!

      Delete
  16. මේක ඔට්ටු නෑනේ. දැං කොයි කාලේ ඉඳංද මං ඒ චුට්ටි මැණිකෙගෙයි ජයසේනගෙයි කතාව කියවන්න බලං ඉන්නේ. ඉතිං ඔක්කොටොම කළියෙං කතාවෙ අවසානෙ මෙහෙම දැම්මහම කොහොමද ඉතිං කතාව දාපු කාලෙකදි රස විඳින්නෙ! දැං කතාවෙ එක කොටහක් දැම්මා කොළරා කාලේ ආලේ කියලා. ඊලඟට අවසානෙ දැම්මා මේ විදිහට. මට පේන්නේ මුන්දෑ කතාවෙ ඉතිරි ටිකත් තැං තැං වල අනෙක් කතන්දර වල ඉන්ටවල් හැටියට ලියයි වගේ. නැත්තං ඉතිං අපි සෝළි තියනවනේ මතු සම්බන්දයි කීව ගමං, නෙහ්? :P

    මේ කතාව මම කියවගෙන ගියේ හරි කලබලෙන්. එක සැරේම තේරුණෙත් නෑ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා. ඒත් අයියා ඒක ලියලා තියෙන විදිහ කොච්චර හිතට ඇල්ලුවද කිව්වොත් ඒ තේරුං ගැනිල්ල පස්සට දාන හිතුණෙත් නෑ. ඒ හන්දා ආයෙ මුල ඉඳංම කියෙව්වා. පස්සෙ තමයි තේරුණේ මේ රතිඤ්ඤා පත්තු කළාට අවමගුල් පෙරහැරක් එන්නෙ කියලා. මං එහෙම දෙයක් ගැන කළිං අහලම තිබ්බෙ නෑ. කමෙන්ට් කියෙව්වහම තමයි එහෙම චාරිත්‍රයකුත් තියෙනවා කියලා දැනගත්තේ.

    අයියා ලියන කතන්දර වල 'මම', 'රවි' නොවනවට මම ගොඩක් කැමතියි. එතකොට එක එක කතා මතක් කර කර කියන කතාව අස්සෙන් ඔබන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ඉතිං බැරිමත් නෑ. මොකද ඉතිං ලියන්නේ රවි අයියනේ. :D

    ReplyDelete
    Replies
    1. සිත්තමීස්,

      / ඉතිං ඔක්කොටොම කළියෙං කතාවෙ අවසානෙ මෙහෙම දැම්මහම කොහොමද ඉතිං කතාව දාපු කාලෙකදි රස විඳින්නෙ! /

      මේක ලියන්නෙ බොල අතීතාවර්ජන අනුසාරයෙන් තේරුණේ ඔය ළමයට?...එහෙමත් නැත්තං පැලෑස්බෑක් ඔලිං..එහෙමත් තියනව නෙව කතන්දර ලියන සයිලියක්...ජයේ දැං වයසයි. චුට්ටි මැණිකෙගෙ අවමඟුලට ගිහිල්ල ඇවිදිංහිට පොඩි සොට්ටෙකක් එහෙම දාගනිමින් ඉන්න අතරෙදි සිද්ද වෙන අතීතාවර්ජන තුලින් තමයි නෝනෙ කතාව දිග ඇරෙන්නෙ.

      මගේ කතාව ලිවිය යුතුයයි මම තීරණය කලේ ඊයේ රාත්‍රියෙහි මිදුලෙහි පළු ගස සෙවණෙහි හිඳ මත්පැන් ස්වල්පයක් තොල ගාමින් අතීතය මෙනෙහි කරමින් පසුවන අතරදීය. එහෙත් මගේ කතාවෙහි කිසිවෙකුට කිසිදු ලෙසකින් ගත හැකි ආදර්ශයක් නොමැතිබවට ඔබ චෝදනා කරන්නේනම් හිතවත මම ඊට එකහෙළා එකඟ වෙමි. පණස් වසරකට අධික මගේ ජීවිත කාලයෙහි මම කිසිදිනක කිසිවකුට අවශ්‍ය පරිදි ජීවත් නොවූයෙමි.සුදුසු සිංහල පර්යාය පදයක් නොමැතිබැවින් මගේ ජීවිතය බොහීමියානු ජීවිතයක් ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි. එහෙත් ඒ කොපමණ සත්‍යයදැයි මම නොදනිමි.

      එසේම මා මගේ ජීවිතය ගෙවුනු අන්දම සටහන් කලේ හුදෙක් මගේ ආත්ම තෘප්තිය උදෙසාම පමණි. කිසිවෙකුට ආදර්ශයක් වනු පිණිස නොවේ. වසර අඩ ශතකයක මගේ ජීවිතයේ ශේෂ පත්‍රය වනුයේ ඇයට බැඳි පෙම පමණකි. සැඩ සුළඟක ගසාගෙන යන වියළි පරඬැලක් හෝ එසේ නොමැතිනම් දිය සුළියකට හසුව කරකැවෙනා දර ඉපලක් මෙන් අයාලේ ගිය මගේ ජීවිතයේ ඒ සියළු විට අනවතර පහන් තරුවක් මෙන් නිබඳ බබළමින් මඟ පෙන්වූයේ ඈ කෙරෙහි බැඳි සෙනෙහසයි. නැතහොත් ඈ කෙරෙහි බැඳි සෙනෙසයේ මතකයයි.

      Delete
  17. රවි අයියා ඔන්න නොකීව කියන්න එපා බොට හරිද ? දෙයියන්ගේ නාමෙට මේකෙ එහම ඔය වැල් වටාරන් පඳුරු තැලිල්ල ගෙනිල්ල මේකෙ තියෙන සැන්ටිමෙන්ටල් ගතිය සවුත්තු කරනව් නෙවේ .එහෙම කරල අහුවුනොත් බලාගන් හරිද? පට්ට ගහනව ඇහේ ඉඳන් .බොට තේරුණානේ ?.නිර්නාමික තර්ජන කියල ලේසියට පාසුවට ගන්නව නෙවේ ඔන්න.හොහ් හොහ් :)

    අනික ට්‍රේලර් කෑලි දාලා ඊට පස්සේ වෙන බහුබූත ලියනව නෙවේ .මේක පිලිවෙලකට ඉවර කරහන් හොඳේ .

    ReplyDelete
    Replies
    1. / රවි අයියා ඔන්න නොකීව කියන්න එපා බොට හරිද ? දෙයියන්ගේ නාමෙට මේකෙ එහම ඔය වැල් වටාරන් පඳුරු තැලිල්ල ගෙනිල්ල මේකෙ තියෙන සැන්ටිමෙන්ටල් ගතිය සවුත්තු කරනව් නෙවේ .එහෙම කරල අහුවුනොත් බලාගන් හරිද? පට්ට ගහනව ඇහේ ඉඳන් .බොට තේරුණානේ ?.නිර්නාමික තර්ජන කියල ලේසියට පාසුවට ගන්නව නෙවේ ඔන්න.හොහ් හොහ් :) /

      එසේය නිර්නාමික ස්වාමීන් වහන්ස / අන්‍යාගමික පූජක තුමනි / මහතාණනි / මහත්මියනි / මෙනෙවියනි ,

      ඔබතුමාගේ/ ඔබගේ උපදෙස් උදක්ම පිළිගනිමි. පඳුරු තැලීමෙන් සපුරා වැළකෙමි. ගොමු තැල්මා වේරමණී සික්කා පදං සමාදියාමි. මම ගොමුතැල්මෙන් වැළකෙමි යනුවෙන්වූ ශික්ෂා පදය සමාදන්වෙමි.

      Delete
  18. mat mul tika kiyawaddi mathak une Ver-Sara Film1.....(Nupure Case1 hinda)eth anthima tika nam dukai.....minissu wenas wena ikmanata eyalage hith wala adare wayasata yanakamma tiyenawada kiyana 1i prashne................

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / minissu wenas wena ikmanata eyalage hith wala adare wayasata yanakamma tiyenawada kiyana 1i prashne................/

      තියනව බං තියනව, තියනව....තියන එකත් තියනව..ආය වයසට ගියාය කියල මතකයට මොකවත් වෙනවය? එහෙමනම් ඉතිං Dementia හැදෙන්න ඕන.

      Delete
  19. හප්පෙ අදත් මන් එනකොට කෝච්චිය ගිහින් ඉවරය්..අහන්න ඔනෙ එවත් අහල උත්තරත් ලැබිලා තියෙන්නෙ..ඇත්තමය් මාත් හිතුවෙ අය්යා කුමරියකට පෙම් කලෙමි ලියන්නෙ නැතිව කොලරා කාලෙ ආලෙට මුලය් අගය් දාල මේකෙන් ඉවරකරනව කියල..ඒ උනාට ඒක තව ලියනව සහ ඒ වගේම පඳුරු තැලිලිත් නෑ කිව්වා නිසා හිතට හරි ගියා ඕන්...මට පේන්නෙ මේකෙ ජයසේනත් ෆ්ලොරෙන්ටිනො වගේ ඉඳල හැඩය්.. කතාවට අදාල නම් නෑ..ඒත් මට මේක කියෙව්වට පස්සෙ එක පාරට ෆ්ලොරෙන්ටිනොය් දෙව්දාසුය් සන්සන්දනය කරන්න හිතුනා..ෆ්ලොරෙන්ටිනො ගෙ මෙතඩ් එක හොඳය් වගේ..
    කතාවය් සින්දුවය් ගැලපිල්ල නම් අපූරුය්.. මට මතක් උනෙ මගේ කසින් අය්යගෙ වෙඩින්ග් එකෙ ආපු බෑන්ඩ් එක වෙඩින්ග් එක වෙලවෙදි ඔය සින්දුව ප්ලෙ කරල කට්ටියටම මල පැන්න හැටි :)

    ReplyDelete
    Replies
    1. මෙකුවිස්,

      / ඇත්තමය් මාත් හිතුවෙ අය්යා කුමරියකට පෙම් කලෙමි ලියන්නෙ නැතිව කොලරා කාලෙ ආලෙට මුලය් අගය් දාල මේකෙන් ඉවරකරනව කියල..ඒ උනාට ඒක තව ලියනව සහ ඒ වගේම පඳුරු තැලිලිත් නෑ කිව්වා නිසා හිතට හරි ගියා ඕන්...මට පේන්නෙ මේකෙ ජයසේනත් ෆ්ලොරෙන්ටිනො වගේ ඉඳල හැඩය්.. කතාවට අදාල නම් නෑ..ඒත් මට මේක කියෙව්වට පස්සෙ එක පාරට ෆ්ලොරෙන්ටිනොය් දෙව්දාසුය් සන්සන්දනය කරන්න හිතුනා..ෆ්ලොරෙන්ටිනො ගෙ මෙතඩ් එක හොඳය් වගේ../

      යේස් මැඩම්, යූ ආර් කරෙක්ට්..මේක ඇවිල්ල මගෙ අතීතය...රවී, සුබා, වසන්ති, ෆ්ලොරෙන්ටීනෝ , ෆර්මිනා, දෙව්දාස්, චන්ද්‍රමුඛී, ඔය ඔක්කොමල සැරින් සැරේ ඇවිල්ල නොයෙක් භූමිකා රඟදක්වල කරළියෙන් බැහැල යනව.

      / මට මතක් උනෙ මගේ කසින් අය්යගෙ වෙඩින්ග් එකෙ ආපු බෑන්ඩ් එක වෙඩින්ග් එක වෙලවෙදි ඔය සින්දුව ප්ලෙ කරල කට්ටියටම මල පැන්න හැටි :) /

      මළපැනල නිකං හිටියද?...ගිටාර් අරුංගෙ ඔලුවෙ ගහල කුඩුකරන්ට වෙන තිබ්බෙ...හෙහ්, හෙහ්

      Delete
  20. කවි කාරියකගේ ප්‍රේමය සාර්ථකව අවසානයක් දැකපු හින්දා රවී අයියා කියන්නේ වගකීමකින් වැඩක් කරන්න ඇහැකි මනුස්සයෙක්ය කියල මං දැන් දන්නව. ඒක හින්දා අර අනිත් අය කියනව වගේ මේකේ මුලයි අගයි ගලපලා මැද කෑල්ලත් ලියාවි කියලා මං හිතනව. මේ කතාව ගැන මුකුත් කියන්න බැරි තරමට සෝක භරිතයි. සින්දුවත් එහෙමයි. :(

    ReplyDelete
    Replies
    1. සයුරි,

      / කවි කාරියකගේ ප්‍රේමය සාර්ථකව අවසානයක් දැකපු හින්දා රවී අයියා කියන්නේ වගකීමකින් වැඩක් කරන්න ඇහැකි මනුස්සයෙක්ය කියල මං දැන් දන්නව /

      අන්න ඒකනෙ බං කියන්නෙ..අපි එහෙමයි දන්නවද?..නිරතුරු දැඩි විශ්වාසය සහ අවංකභාවය තහවුරු කරමින් තමයි අපි කල් ගෙවන්නෙ..තේරුණය?

      / ඒක හින්දා අර අනිත් අය කියනව වගේ මේකේ මුලයි අගයි ගලපලා මැද කෑල්ලත් ලියාවි කියලා මං හිතනව. /

      එහෙනං..එහෙනං...ලියන එකත් ලියනව ලියන එකත් ලියනව..බඩේ බත් වගෙ තමයි...:)

      Delete
  21. අපූරුයි.............!

    ReplyDelete
    Replies
    1. නිශ්,

      ස්තූතියි මලේ..ඉතිං ආෆ්ට අ ලෝං ලෝං ටයිම් නෙහ්?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි