Friday, August 28, 2020

654. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ මහදේවන් සතාසිවම්...............

ඩොන් බ්‍රැඩ්මන් දන්නව නේද? ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන්..ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරු...ඊයෙ ඒ කියන්නෙ අගෝස්තු 27 වෙනිද බ්‍රැඩ්මන්ගෙ උපන්දිනේ..ඔහු උපදින්නෙ 1908 අවුරුද්දෙ...2001 පෙබරවාරි 25 වෙනිදා ඔහු මියගියා..

බ්‍රැඩ්මන් වීරකෝන් ගැනත් අහල තියනව නේද? ඔහු අගමැතිවරුන් පස් දෙනෙකුගේ ලේකම් විදිහට සේවය කරපු කෘතහස්ත පරිපාලන නිලධාරියෙක්..ඔහුගේ පියාත් ඩොන් බ්‍රැඩ්මන් ලෝලියෙක්...1930 අවුරුද්දෙ ඩොන් බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයකින් පස්සෙ ආපසු ඕස්ට්‍රේලියාවට යන අතරමඟ කොළඹට ගොඩ බැහැල තියනව. 

ඒ දවස්වල මගී ගුවන් යානා එතරම් ප්‍රචලිත නැති නිසා ඔය ක්‍රිකට් කණ්ඩායම් ගමන් කරල තියෙන්නෙ නැව් වල.ඕස්ට්‍රේලියාවෙ ඉඳල එංගලන්තෙට යන නැව් වලට අතරමඟ වැදගත් නැවතුම්පොලක් තමයි කොළඹ වරාය...දවසක් දෙකක් කොළඹ රැඳිල ඉන්න අතරෙ ලංකා කණ්ඩායම එක්ක තරඟයකත් යෙදෙනව සාමාන්‍යයෙන් එංගලන්ත සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම්...Whistle stop tours කියලයි ඒ සංචාර හැඳින්වෙලා තියෙන්නෙ..ඉතිං 1930 ඔක්තෝබර් 20 වෙනිද බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයක් නිම කරල ආපහු තමන්ගෙ මව් රටට යන අතරමඟදි කොළඹට ගොඩ බැහැල තියනව.

හරියටම එදාම බ්‍රැඩ්මන් වීරකෝන්ගෙ පියා එඩ්මන් වීරකෝන්ට පුතෙක් ඉපදිල..තමන්ගෙ වීරය සිහිවෙන්ට ජේෂ්ඨ වීරකෝන් පුතාට නම දාල තියනව බ්‍රැඩ්මන් කියල...එහෙම ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් ආශ්‍රයෙන් තමන්ගෙ දරුවන්ට නම් දාන එක බොහොමයක් තාත්තල අම්මල කරල තියනව. 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෛත්‍රිපාල කියල නම දාල තියෙන්නෙ මෛත්‍රිපාල සේනානායක ගෙ නමින්. එතකොට ඔහුගෙ බාල සහෝදරයට ඩඩ්ලි කියල නම දාල තියෙන්නෙ ඩ්ඩලි සේනානායකගෙ නමින්..ලෙනින් මොරායස් කියල චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් අහල තියනව නේද? එතකොට ජෝසෆ් ස්ටාලින් කියල කියන්නෙ ගුරු සංගම් නායකයෙක්...අපේ බිරින්දෑ තොමෝ මුලින්ම වැඩ කලේ නාවුල සහ ඇළහැර අතර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ හතේ පන්තියෙ ළමයෙක් හිටිය දිවංගත බණ්ඩාරනායක කියල...හෙහ්...හෙහ්...

මම පහුගිය දවසක අර අපේ මහගෙදර තිබිල මගෙ පරණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ ඡායාරූප අලවපු පොත් කීපයක් හම්බවුනු විස්තරයක් ලිව්ව මතකද? ඒ එක්කම තිබිල මම අරගෙන ආව  මපියාණෝ ඒ කාලෙ බ්‍රැඩ්මන්ගෙ එහෙම පත්තරවල පළවෙච්චි ඡායාරූප කපල අලවපු පොතක්. 

ඔය පොත මට හම්බවුනේ අවුරුදු 45 වගෙ ඉස්සර අපි කෑගල්ලෙ ඉන්දැද්දි පරණ පොත් පත්තර සහ අනම්මනම් ලටපට දාල තිබ්බ පරණ පකිස් පෙට්ටියක් අවුස්සද්දි...ඒ පොතට දැනට වෙනව මම හිතන්නෙ අවුරුදු 72 විතර...මම හිතන්නෙ අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා පණත යටතෙ සංරක්ෂණය කලයුතු භාණ්ඩයක්..හෙහ්..හෙහ්...

පළවෙනි ඡායාරූපයෙ තියෙන්නෙ ඒ පොත. ඩොන් බ්‍රැඩ්මන්ගෙ ෆොටෝ එකක් තමයි ඔය අලවල තියෙන්නෙ…



දෙවෙනි ඡායාරූපය: 1948 අවුරුද්දෙ බ්‍රැඩ්මන් සහභාගිවුනු අවසාන ටෙස්ට් තරඟය ගැන විස්තරයක් අඩංගු ප්‍රවෘත්ති පත්‍ර වාර්තාවක්…



තුන්වන ඡායාරූපය: ඒ යුගයේ සුප්‍රසිද්ධ හින්දි නළු නිළි යුවලක් වන රාජ් කපූර් සහ නාර්ගීස් ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගිවන විස්තරයක් සහ සුප්‍රසිද්ධ ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහදේවන්  සතාසිවම් දකුණු ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 215 ලබාගත් ප්‍රවෘත්තියක්...



සතාසිවම් කියන්නෙ කුප්‍රසිද්ධ වංගෙඩිය මිනී මැරූ නඩුවේ චූදිතයා. ඔහු පසුව නිදහස් කෙරුනා. ඔහු වෙනුවෙන් නඩුවට කතාකලේ කොල්වින් ආර්. ද සිල්වා..මිනීමරුවෙක් වෙනුවෙන් කතාකරල ඔහුව නිදහස්කරගත්තයි කියල කොල්වින් කොච්චර ජන අප්‍රසාදයට පත්වුනාද කිව්වොත්  ඒ එක්කම පැවැත්වුනු මහ මැතිවරණයෙන් ඔහු වැල්ලවත්ත- ගල්කිස්ස ආසනයෙන් පරාජය වුනා... 



Saturday, August 8, 2020

653. පුවක් එෂැණිං - 53 - දිවුරුං දීමේ මහෝට්සවේ.......

මරාගෙ දිවුරුං දීම අස්සෙ කෝමද අර දැවැන්ත නාගය ආපහු මතු උනානං කැළණි ගඟේ දිය දෙබෑ කොරගෙන. ඇවිල්ල දීපිනං සර්වඥ දාතු තුනෙං දෙකක් සහිත රං කරඬුවක් ආතල් දෙකංසෙං බේරෙයි ..


අවසර කැළණි ලොකු උන්නැහේ..බැරිවෙයිද දන්නෑ රෙනෝ ගොයිය එක්කත් කතා කරල එහෙම ආතල් වැඩ කෑල්ලක් සැට් කොරන්ඩ..අනික හිරු එකනෙව ඔපීසියල් නාලිකාවත්...


බරපැන අවුලක් නෑ..අර සේනාපතියට කිව්වනං කියන පමාව විතරයි...පොර ඇවිල්ල තනි වචනෙ මිනිහ..කිව්වොත් කිව්වම තමයි. කොහොමද මිලියන පණහක් වියදං කරනව කිව්ව ඔය හත් අටදෙනෙක් පරද්දන්ට..මිනිහ කොහොම හරි දත කාල ගැහිල ඒ කිව්ව අයගෙං තුන් හතර දෙනෙක්ම පරද්දල පෙන්නුවනෙ..අන්න එහෙමයි බුවා...වන් වර්ඩ් මෑන්...


ඔන්නං නයා ලව්ව මරාට සංදේසයක් බාර දෙව්වන්ටත් ඇහැකි මනි අක්කිත නා රජුගෙං කාරුණික ඉල්ලීමක් අනීවාරතේ හිර කොරල ඉන්න ඩුමින්ඩ ෂිල්වා ටරුණ මහටා වහාම නිදහස් කොරන්ටෙයි කියල...


ඔන්නං ඒ වෙලාවෙම ඔන් ද ඉස්පොට් ගොට්ට මහත්තයට කියල ඩුමින්ඩ ෂිල්වා ටරුණ මහටාට ජනාදිපති සමාව බජනය කිරීමේ Proclamation එක නොහොත් අනඥාව අස්සං කොරව ගන්ටත් පුලුහනි.


අර මනි අක්කිතගෙ දූත නාග තෙමේට කියනව පෙණේ සුට්ටක් පාත් කොරගෙන ඉන්ටෙයි කියල. පෙණේ මේසයක් විදිහට පාවිච්චි කරල පෙණේ උඩ තියලම අස්සන ගැහුවැහැකිනෙ. අස්සන ගහල පෑන පෙට්ටියට දාල පෑං පෙට්ටිය නාගයගෙ කටේ කටේ තිබ්බනම් මරු පස්සෙ යනකොට මතක ඇතුව ගන්නකං...


අස්සන ගහන වෙලාවෙ කැලනි විහාරෙ ඊස්ටර්න් බෑන්ඩ් ලව්ව පසඟතුරු වාදනේකුත් කෙරෙව්ව නම් මල් හතයි..පහං දාහතරයි..හඳුං කූරු විසි අටයි...


ඒ අතර හතර වටේ රැස්වෙලා ඉන්න සැදැහැවත් ජනතාව තම ඇඳිවත පවා උනා හිස වටා සිසාරවමින් මෙසේ පීති ගෝසා නැඟූ සේක.


රට රකින අපේ බිරුවා...
දුමියට නිදහස දැං දුන්නා...
මයින්ද නම් උටුම් සොයුර සෙවනේ...
තුනෙන් දෙක ලැබගෙන සිත් සොඳසේ...

Wednesday, August 5, 2020

652. අඩ සියවසක මැතිවරණ මතක.....



මේක මේ 2015 පාර්ලිමේන්තු මැතිවරණය කාලෙ මම ලියපු සටහනක්..සමහර කොටස් අලුතින් එකතු කරල යාවත් කාලීන නොහොත් Updated කලා.. ඒ ඇරෙන්න ඉතිං මතක සටහන්වල එහෙමට වෙනසක් නැති හින්ද එව්ව එහෙම්මම තියෙන්ට ඇරිය.

අපි කතා කරමු මැතිවරණ ගැන මගේ අත්දැකීම්. ඉස්සෙල්ලාම මට හීනෙං වගෙ මතක තියෙන්නෙ 1970 මහ ඡන්දෙ. ඩඩ්ලි මහත්තයගෙ එ.ජා.ප.ය පරදවල සිරිමා මැතිණියගෙ සමගි පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුව ඒ මැතිවරණය ගැන මට මතක තියෙන්නෙ අපේ ගෙදර හතර පස් දෙනෙක් වටවෙලා ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකේ රෑ තිස්සෙ ප්‍රතිපල අහනව විතරයි. ඒ කවුද කියලවත් මට මතක නෑ ඇත්තම කිව්වොත්. මතක තියෙන්නෙ කොහොමද මට යන්තම් අවුරුදු 6යි එතකොට. දෙකේ පන්තියෙ හිටියෙ...අප්පච්චි ඡන්ද ගණං කිරීමේ කටයුතුවලට ගිහිල්ල පහුවදා උදේ නමයත් පහුවෙලා ආපහු ගෙදර ආවෙ. අන්න ඒකනං ඔන්න මට අපූරුවට මතකයි.

ඒ දවස්වල අපි හිටියෙ කෑගල්ලෙ රේට්ටවුස් එක නොහොත් තානායම ගාවින් උඩට තියෙන පාරෙ....රේට්ටවුස් එක ගාවිං පාර දෙකට බෙදෙනව....වම් පැත්තට යන්නෙ කුරුඳුහින්න හරහා නිල්වක්ක පාර. ඒ පාර මඟක් ගිහාම ආපහු දෙකට බෙදිල එයිං වම් පැත්තට තියන පාර කෑගල්ල ටෙක්නිකල් එක එහෙම පහුකරල සියඹලාපිටිය හරහා ආපහු ටවුම මැද්දෑවට වැටෙනව. 

ඉතිං රේට්ටවුස් එක ගාවිං දකුණට තියෙන පාරට කියන්නෙ නාගොල්ල පාර..ඒ පාරෙ පොඩි කන්දක් එහෙම නැඟල යනකොට වම් අත පැත්තෙ විසාල වත්තක් මැද්දෑවෙ තියනව දිස්ත්‍රික් නඩුකාරයා නොහොත් District Judgeගෙ බංගලාව. ඊට යාර දෙතුන් සීයක් එහායිං තමයි කළුගල්ල උන්නැහැගෙ ගෙදර තියෙන්නෙ. 

කළුගල්ල උන්නැහැ කිව්වෙ 70 ඡන්දෙන් දිනල සිරිමා මැතිණි පිහිටවපු සමගි පෙරමුණු ආණ්ඩුවෙ නාවික සහ සංචාරක කටයුතු පිළිබඳ ඇමති. ඒ වගේම කෑගල්ල ඡන්ද කොට්ඨාශයේ ජා.රා. නියෝජිත. ජා.රා. කිව්වෙ ජාතික රාජ්‍ය සභාව. 1972 නව ජනරජ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවෙ නම වෙනස් කලා. අලුත් නම උනේ ජාතික රාජ්‍ය සභාව නොහොත් National State Assembly ....ඉතිං ඔය රේට්ටවුස් එක ගාවින් දකුණට යන පාර කලුගල්ල උන්නැහෙගෙ ගෙදර පහුකරල කච්චේරි නිල නිවාස (අපි හිටියෙ අන්න එයිං එහෙක) එහෙමත් පහුකරල ආයම හෙණ වටයක් ගහල ඇවිල්ල වැටෙනව නුවර පාරට. එහෙම වැටෙන තැනට කියන්නෙ මාදෙයියාව හන්දිය.

ඊට පස්සෙ 1977 මහ මැතිවරණය. අවුරුදු පහෙන් පහට දිගටම තියාගෙන ආපු මහ ඡන්දෙ 1975 අවුරුද්දෙ තිබ්බෙ නෑ. 1972 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තු නිසා ආණ්ඩුවෙ නිල කාලය ගණං ගන්නෙ 1972 ඉඳල අවුරුදු පහක්ය කියල කොල්වින් ගොයිය ගෙනාපු කැකිල්ලේ තර්කයක් පිළිඅරගෙන (කොල්වියාගෙ අර ගොයං කොලේට මුවා වෙලා වෙඩි තියාපු කතන්දරේ එහෙම ඇත්තමදෝ කියල හිතෙන්නෙ වෙලාවකට මනුස්සයගෙ ඒ වගෙ කතා හින්ද තමයි) සිරිමක්කා කරපු වැඩේ 1975 තියන්ඩ ඕන චන්දෙ අවුරුදු දෙකක් කල්දාගත්ත. 

හැබැයි ඒ ගොං වැඩෙං උනේ ආණ්ඩුව හත්පලේ ගාගත්ත වගෙ වැඩක්. නියම කාලෙට 75 අවුරුද්දෙ චන්දෙ තිබ්බනං සමගි පෙරමුණ ඔය තරං කැත විදිහට පරදින්නෙ නෑ. 1977 දි අවුරුදු හතකට පස්සෙ චන්දෙ තියල සිරිමා නෝනට හම්බ වුනේ ආසන අටයි. ජේ ආර්. පප්පගෙ යූ.ඇන්.පී එකට මන්ත්‍රී ධුර 168 න් 140 ක් ලැබුණා. පප්පා බලෙං මත්වෙලා පිස්සු කෙලියෙ ඔය 5/6 බලය හින්දයි. එහෙම බලනවනම් පප්පා බලයෙං මත්වෙලා මේ රටට ඊට පස්සෙ කරපු විනාසෙට සිරිමා ලොක්කිත් අනියම් විදිහට වග කියන්ට ඕන.

1977 අවුරුද්දෙ මම ඉස්කෝලෙ ගියේ කොළඹ. මට හොඳටම මතකයි චන්දෙ තිබ්බෙ ජූලි 21 වෙනිදා. චන්දෙට දවස් තුනක් හෝ හතරක් ඉස්කෝල වැහැව්ව හින්ද මම කලින්ම ගෙදර ගියා. එතකොට අපි හිටියෙ අනුරාධපුරේ. එදා ඒ චන්දෙට ගෙදර ගිය ගමනෙ තවත් විශේෂයක් තියනව. ඒ වෙනකොට මම අවුරුදු දෙකක් වගෙ ගෙදරින් පිට හිටියට කවදාවත් තනියම ගමනක් බිමනක් ගිහිල්ල නෑ. වාරාවසාන නිවාඩුවට එහෙම නැත්තං දීර්ග සති අන්තයකට ගෙදර ගියේ, ඒ වහේම ගිහිල්ල ආපහු බෝඩිමට ආවෙ එක්කො අප්පච්චි එක්ක. එහෙම නැත්තං අපෙ ගෙදර හිටිය මාමා එක්ක.අම්මගෙ විවාහ නොවිච්චි අයිය කෙනෙක් අපේ ගෙදර හිටිය මම දන්න කාලෙ ඉඳල. අන්තිමට අපේ ගෙදරමයි ඒ මාම නැතිවුනෙත්.

ඉතින් ඔය 77 ජූලි මාසෙ මහ චන්දෙට ගෙදර ගිය ගමන තමයි මම හා හා පුරා කියල ඉස් ඉස්සෙලාම, නමෝ විත්තියෙන්, දෙයියනේ කියල තනියම ගෙදර ගියෙ. හවස 3.15 ට කොටුවෙන් පිටත්වෙන රජරට රැජිනෙ මම ගියෙ. ඒ යද්දි ස්ටේෂන් එක ඉස්සරහ පේව්මන්ට් එකෙන් ගත්ත චන්ද ප්‍රතිඵල සටහන් කරන්ට විශේෂයෙන් මුද්‍රණය කරපු පොතක්. මුල කවරෙ පරණ පාර්ලිමේන්තුවෙ චිත්‍රයක් තිබ්බ. ඇතුලෙ චන්ද කොට්ටාස අනුපිළිවෙලට තිබ්බ අපේක්ෂකයින්ගෙ නම් සහ ඉල්ලන පක්ෂෙත් එක්ක. ඊට අමතරව හැම චන්ද කොට්ටාසෙකම 1970 මහ මැතිවරණ ප්‍රතිපලෙත් සඳහන් කරල තිබ්බ.

ඔය පොතක මිල වුනා මට මතක විදිහට 1.50 වගෙ ගාණක්. නාවල ඉඳල කොටුවට බස් ගාස්තුව සත 30 වගෙ සහ කොටුව - අනුරාධපුර 3 වන පන්තියෙ දුම් රිය ගාස්තුව 8.50 වෙච්චි ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෙකුට ඒක ටිකක් විතර ලොකු ගාණක් වුනත් මම දෙපාරක් හිතන්නෙ නැතුවම එයින් පොතක් ගත්තෙ ඒ කාලෙ ඉඳලම මගෙ තිබ්බ දේසපාලන උනන්දුව හින්දමයි.

ජූලි 21 වෙනිද රෑ ඔන්න මම ලක ලෑස්තිවුනා චන්ද ප්‍රතිපල අහන්ට. අම්මගෙන් සල්ලි ඉල්ලගෙන දවල් කඩේ ගිහිල්ල එවරෙඩි රතු ලේබල් බැටරි කෑලි ගෙනාව හයක්ම. ඒ ඇවිල්ල හදිස්සියෙන් වත් ලයිට් ගියොත්ය කියල. පැන්සල් දෙකක් උල් කරල, අලුත් මකන කෑල්ලක්, පැන්සල් උල් කරන්ට කටර් එකක් එහෙම ලෑස්ති කරගත්ත. දවල්ට කාල නිදාගත්ත පැය තුන හතරක්. රෑ දහයට විතර සාලෙ තිබ්බ පොඩි වේවැල් මේස පොඩ්ඩ උඩ රේඩියෝ සෙට් එක තියල මගෙ මැතිවරණ සටහන් පොතයි පැන්සල් මකන කෑලිත් ඔක්කොම ලං කරගෙන හරි බරි ගැහිල ඉඳගත්ත.

අම්ම වඩේ වගයක් බැදල තිබ්බ. තව කඩල තම්බලත් තිබ්බ. ආ..උණුවතුර බෝතලේට කට කපල තේ එකකුත් හදල තිබ්බ. අප්පච්චි සුපුරුදු පරිදි ඡන්ද ගණන් කිරීමේ කටයුතු වලට ගිහිල්ල. රෑ දොළහ වගෙ වෙනකොට අම්ම, අත්තම්ම ඇතුලු අනික් අය නිදාගන්ට ගියා. මම ඇහැරගෙන එළිවෙනකල් චන්ද ප්‍රතිපල ඇහැව්වා. මුල්ම ප්‍රතිපලේ ආවෙ සමන්තුරේ ආසනයෙ. රෑ 1.30 ට වගෙ මට මතක. එජාපයෙ අබ්දුල් මජීඩ් සමන්තුරේ දිනුව. ඊට පස්සෙ එක දිගට ආසන තිහ හතළිහක්ම දිනුවෙ එජාපෙ. ඉස්සෙල්ලම ශ්‍රී ලංකා එක දිනුවෙ කොත්මලේ. ආනන්ද දසනායක.පහට වගෙ අම්ම එහෙම නැඟිටල එනකොට එජාපෙ ජයග්‍රහනය ඉස්තිරයි.

උදේ හයාමාරට වගෙ මහ සද්දෙට අහල පහල රතිඤ්ඤ පුපුරන්ට ගත්ත. "මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. මැතිවරණ කොට්ඨාශ අංක..... අනුරාධපුර බටහිර..කේ.ඩී.එම්.සී. බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂය ලබාගත් චන්ද සංඛ්‍යාව ......." අපි ඒ දවස්වල හිටපු හරිය ඒ කිව්වෙ අනුරාධපුර නගරය අයිතිවුනේ අනුරාධපුර බටහිර චන්ද කොට්ඨාශයට. කේ.ඩී.එම්.සී. බණ්ඩාර නොහොත් චන්ද්‍රා බණ්ඩාර කියන්නෙ මේ පාර ඔය ටැලිපෝං එකෙං අනුරාදපුරේට ඉල්ලන චන්ද්‍රානි බණ්ඩාරගෙ අප්පොච්චි.

මැතිවරණ රාජකාරි ඉවර වෙලා අප්පච්චි ආවෙ උදේ දහයට වගෙ. "අත්තනගල්ල ප්‍රතිපලේ කිව්වද?" අප්පච්චි එන ගමන් එළිපත්තෙ ඉඳලම ඇහුව.

"නෑ...අප්පච්චි....තවම නෑ.. " මම දෑතම ඔලුවට උඩිං දිග ඇරල ඇඟ මැලි කඩන ගමං කිව්ව.

"මැතිණිත් පැරදෙයිද මන්ද …" අප්පච්චි එහෙම කියල ගෙට ගියා. 

"මේ යන විදිහට එහෙමත් වෙයිද මන්ද..." මමත් හෙමිහිට මටම කියාගත්ත.

ශ්‍රී ලංකා එක ආසන අටට බැස්ස ඒ චන්දෙන්. මැතිණිනම් යන්තමට දිනුව. මැතිණි, මෛත්‍රීපාල (Not the joker but මෛත්‍රීපාල සේනානායක of reasonable use of Tamil by night fame), හලීම් ඉෂාක්, අනුර, සද්ධාතිස්ස වඩිගමංගාව (ආනමඩුව), ආනන්ද දසනායක (කොත්මලේ) එස්.ඩී.බණ්ඩාරනායක (ගම්පහ) ආර්.පී. විජේසිරි (හාරිස්පත්තුව) ඒ තමයි අට දෙනා...

අපිට සමහර වෙලාවට ජීවිතේ සමහර දේවල් ආයම මතක් කරනකොට ඒ හා සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැති දේවල් මතක් වෙනව නේද? දැං ඔන්න මට 1977 මැතිවරණය සම්බන්ධව එහෙම මතකයක් තියනව. ඒ තමයි සුජාතා අත්තනායක ගයන "බොලං පොඩි නංගි ටිකක් හිටපන් බුලත් විට කන්න නෙවෙයි" ගීතය. එදා රෑ මැතිවරණ ප්‍රතිපල විශේෂ විකාශයෙ ඔය ගීතය ප්‍රචාරය වෙනව මට මතකයි. ආ...ඒ එක්කම තව සිංදුවකුත් මතකයි.."සඳ මඬලේ සිට තරු මඬලේ සිට දිවැස් හෙලන පුතුනේ..බලා ගන්න පුත බලා ගන්න පුත ලස්සන ලක් දෙරණේ.." ඒ ඇවිල්ල හිට මාලිනී බුලත්සිංහල...

82 අවුරුද්දෙ තිබ්බ ජනාධිපතිවරණය වන් හෝස් රේස් එකක්ය, පප්පා නොවැරදීම දිනනවය කියල දැනගෙන හිටපු හින්ද මම නිකම් නිරපරාදෙ කඩල තම්බගෙන රෑ එලිවෙනකල් නිදි මරාගෙන චන්ද ප්‍රතිපල අහන්ට ගියේ නෑ. ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදියල උදේ නැඟිටල ටී.වී. එකේ ප්‍රතිපල බැලුව. ඒ වෙනකොටත් පප්පා දිනල. 

1982 ජනාධිපතිවරණෙ මට චන්දෙ තිබ්බෙ නෑ. ඒ කාලෙ ඡන්ද අයිතිය හිමි වුනේ චන්දෙ පැවැත්වෙන දවසට අවුරුදු දෙකකට එහා පැත්තෙ චන්ද හිමි නාම ලේකන අනුවයි. ඒ කියන්නෙ 1982 ජනාධිපතිවරණෙ චන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලැබුනෙ 1980 නාම ලේකනය අනුවයි. ඉතිං මට 80 දි 18 පිරිල නැතිහින්ද මම 82 දි චන්දෙ දැම්මෙ නෑ.

අවුරුදු පහෙන් පහට පර්ලිමේන්තු මැතිවරණ පවත්වන සම්ප්‍රදාය ජේ.ආර්. පප්පගෙ 1978 ව්‍යවස්තාවෙන් වෙනස්කලා අවුරුදු හයකට. ඒ අනුව ඊලඟ පාර්ලිමේන්තු චන්දෙ තියන්න ඕන හරිනම් 1983 අවුරුද්දෙ. ඒ වෙනකොට මම නීත්‍යානුකූල නිසි වයස සපිරුණු වැඩිහිටියෙක් සහ ඡන්ද දායකයෙක්. ඒත් පප්ප නටපු ලාම්පු කළගෙඩි නාඩගම හින්ද 1983 චන්දයක් තිබ්බෙ නෑ. නැක්සලයිට් කුමන්ත්‍රණයක් තියනවය කියල අල්ලෙ පැලවෙන පචයක් අතෑරල පප්පා චන්දෙ නොතිය මඟ ඇරියනෙ...හෙහ්,හෙහ්,

පප්පට වුනේ 5/6 ක පාර්ලිමේන්තු බලයකට හුරුවෙලා ඉඳල ඒක නැතුව බැරි වුනා. පප්ප දන්නව 1983 චන්දෙ තිබ්බනම් පප්පම ගෙනාපු සමානුපාතික ක්‍රමය අනුව යූඇන්පී එකට උපරිම ආසන 125 කට වඩා එන්නෙ නෑ කියල. ඒ හින්ද යැංකි ඩිකී කලේ අල්ලෙ පැලවෙන නැට්ටෙලයිට් (පප්පගෙ නැක්සලයිට් කුමන්ත්‍රණ කතාව ඇත්ත පත්තරේ හැඳින්නුවෙ නැට්ටෙ ලයිට් නාඩගම කියලයි) කුමන්ත්‍රණ කතාවක් ගෙනල්ල ඒ මුවාවෙන් ජනමත විචාරණයක් තියල චන්දෙ තව අවුරුදු හයකට කල්දාගත්තු එක.

ඒ අසමජ්ජාති වැඩේ කලේ කුප්‍රකට ලාම්පු කළගෙඩි සෙල්ලමෙන්. ඒක තනිකරම චන්ද මංකොල්ලයක්. ඒ දවස්වල මම අනුරාදපුරේ ටෙක්නිකල් එකේ ඉගෙන ගන්නව. අපේ පංතියෙත් හිටිය මගෙ හොඳම යාලුවෙක් තද යූඇන්පී කාරයෙක්. ඒ කාලෙ මට මතකයි මිනිහ ඇවිල්ල කියනව කළගෙඩිගෙ රැස්වීම් කඩා කප්පල් කරපු හැටි.."කළගෙඩි කාරයින්ට දුන්න බං රෙදි දාල දුවන්ට.." අපි ඒ කාලෙ වයස 20-22 වගෙ හිරිමල් කොල්ලො. ඌත් මම හිතන්නෙ එහෙම රෙදි දාල දුවන්ට ගහන එකේ බරක් පතලක් දැනගෙන නෙවෙයි කිව්වෙ..ඒත් මට මතකයි මම ඒ වෙලාවෙත් කිව්ව "යකෝ කැත වැඩ කරල තව කියවන්ටත් එන්ට එපා..." කියල.

මම ඉස්ඉස්සෙල්ලම හාහාපුරා කියල චන්දෙ පාවිච්චි කලේ 1988 ජනාධිපතිවරණෙදි. 

ඒ වෙනකොට අපි අනුරාධපුරෙන් ඇවිල්ල පිළිමතලාවෙ ස්ථිර පදිංචියට. මම රස්සාවක් කරනව. අප්පච්චි විශ්‍රාම ගිහිල්ල. අපෙ ගෙවල් පහුකරල ගම ඇතුලට කිලෝ මීටරයක් වගෙ යන්ට තිබ්බ චන්ද මධ්‍යස්තානෙට. අප්පච්චියි මායි නංගිල දෙන්නයි ගිහිල්ල චන්දෙ දාල ආව. ජේවීපී එක ඒ චන්දෙ වර්ජනය කලා. චන්දෙ දාන්ට යන මිනිස්සු මරන කතාවක් කිව්වට අපේ පැත්තෙ එච්චරම තත්වය දරුණු වුනේ නෑ. අහල පහල අපි දන්න හැමෝම වගෙ චන්දෙ දාන්ට ගියා.

මම චන්දෙ දුන්නෙ ප්‍රේමදාස මහත්තයට. ඒ වෙනකොට යූඑන්පී එක එපා වෙලා තිබ්බ වුනත් ප්‍රේමදාස ගොයිය මොනවහරි කරයි කියන විස්වාසෙ උඩයි එහෙම කලේ. අනික 70-77 කාලෙ මැතිණි එපා වෙච්චි එක, ඒ කාලෙ මම හිච්චි එකෙක් උනත් හිතෙන් මැකිල ගිහිල්ල තිබ්බෙ නෑ. ඒ එක්කම 1989 පෙබරවාරි මාසෙ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණෙදිත් මම චන්දෙ දුන්නෙ යූ.එන්.පී. එකට.

ඊට පස්සෙ ආවෙ 1994 පාර්ලිමේන්තු මැතිවරණය. ඊට කලින් දකුණු පළාත් සභා චන්දෙදි ආණ්ඩුව පැරදිලා තිබ්බ නිසා අවුරුදු 17 කට පස්සෙ මෙදා පොටේ වෙනසක් කරන්න පුලුවන් වේය කියන බලාපොරොත්තුව අපි හැමෝගෙම හිත් ඇතුලෙ තිබ්බ. ආය අමුතුවෙන් කියන්ට උවමනා නෑනෙ 1994 මහ චන්දෙදි මම චන්දෙ දුන්නෙ පොදු පෙරමුණට ඒ වගේම ඊට පස්සෙ තිබ්බ ජනාධිපතිවරණෙදි චන්ද්‍රිකාට.

ඊලඟට ආවෙ 1999 ජනාධිපතිවරණය. ඒ වෙනකොට මම බැඳල.

" මේ ඔයා කාටද චන්දෙ දෙන්ට හිතාගෙන ඉන්නෙ?" චන්දෙට සතියකට වගෙ කලින් අපෙ උන්දැ ඇහුව. ඒ වෙනකොට මම අර කාලයක් වැඩ කරපු අර්ධ රාජ්‍ය ආයතනයෙන් අයින් වෙලා පේරාදෙණිය - ගම්පල පාර හදන පෞද්ගලික සමාගමක වැඩ. 

"රනිල්ට තමයි. මට චන්ද්‍රිකාගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ. අනූහතරෙ අපි මහමෙරක් වගෙ බලාපොරොත්තු තියාගෙන 62% චන්දෙ දීල පත්කරගත්තු අම්මණ්ඩි ඊට පස්සෙ පිස්සු කෙළින්ට ගත්තනෙ" 

"ඒක තමයි මාත් හිතාගෙන ඉන්නෙ එහෙමයි. රනිල්ට දීල බලනව" ඈ කිව්ව.

චන්දෙට කලින් මම හිතන්නෙ අන්තිම රැස්වීමෙදිද කොහෙද චන්ද්‍රිකාට බෝම්බයක් ගැහුව. මේ අම්මණ්ඩි කලේ මැතිවරණ නීති අමු අමුවෙම කඩ කරල ඇහැකුත් වහගෙන ඇවිල්ල රූපවාහිනියෙන් ජාතිය ඇමතුවා.

"පව් දෙයියනේ…" අපෙ උන්දැ දකුණු අතේ පිටි අල්ලෙන් ඇස් පිහදැම්ම.

" හ්ම්ම්ම්..මොකද දැන් කරන්න හිතාගෙන ඉන්නෙ? චන්ද්‍රිකාටම දීල නිකා ඉන්නවද?" ජාතිය ඇමතිල්ල ඉවර වෙලා මම ඇහුව. 

" ඒක තමයි...අනේ මන්ද…" ඈ කිව්ව. " ඔයා? ……" 

" මේ අම්මණ්ඩි මේ තනිකර නීති විරෝධී වැඩක්නෙ කලේ ජාතිය අමතල. මගෙ තීරණේ වෙනසක් නෑ." 

රනිල් පැරදුනෙ ලක්ෂ හතකින් විතර. චන්ද්‍රිකාගෙ බෝම්බ සීන් එක හින්ද ලක්ෂ තුනහමාරක් අනික් පැත්ත ගැහැව්ව කියල හිතන්ට අමාරුවුනත් බොහෝවිට එහෙම වෙන්ට ඇති කියල මට හිතෙනව. එහෙම හිතුවොත් රනිල් පැරදුනෙ එල්.ටී.ටී.ඊ. බෝම්බෙ හින්ද. ආ..ගෝනි පඩංගුව අස්සට ගියාට පස්සෙ අපෙ උන්දැ චන්දෙ දුන්නෙ චන්ද්‍රිකාටද රනිල්ටද කියල මට කිව්වෙත් නෑ. මම ඇහුවෙත් නෑ. කොටිම්ම අද මේ වෙනකල් මම දන්නෙත් නෑ.

ඊගාවට ආවෙ 2000 ඔක්තෝබර් පාර්ලිමේන්තු මැතිවරණෙ. මම චන්දෙ දුන්නෙ සීනුවට. මේ දෙගොල්ලම එපා වෙලා මට හිතුන වෙනසකටත් එක්ක ජේ.වී.පී. එකට දීල බලන්ට ඕන කියල. ජේ.වී.පී එක චන්ද්‍රිකා එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුවක් ගැහුව වුනත් කට්ටියක් කඩාගෙන ගිය හින්ද ආයෙම චන්දෙකට යන්ට වුනා. 2001 දෙසැම්බර් ඒ තියපු චන්දෙන් රනිල් අගමැතිවුනා. ජේවීපී එකට දීල හරියන්නෙ නෑ කියල හිතුනු හින්ද මම ආයම අලියට දුන්නා. ඒ වෙනකොට මම කුකුළේගඟ වැඩ.

රනිලා පිස්සු කෙලියා. පිස්සු කෙලියා කිව්වෙ ආර්ථික කළමනාකරනය පැත්තෙන් එහෙම නෙවෙයි හොඳද? ඒ ටික පොර ගානට කරගෙන ගියා. පිස්සු කෙලියා කිව්වෙ ආන්ඩුව නියමිත කාලයට කලින් විසුරුවන්නෙ නෑ කියල පොරොන්දු වෙච්චි චන්ද්‍රිකාගෙ වචනෙ විස්වාස කරපු එකටයි. ඒ යෝදි යන්තම් අවුරුදු දෙකක් යද්දි යූඇන්පී ආණ්ඩුව ගෙදර යැව්වා. ඊට පස්සෙ 2004 අප්‍රේල් මාසෙ තිබ්බ චන්දෙන් රනිල් පැරදිලා මහින්ද අගමැතිවුනා. ඒ වෙනකොට මම වැඩකලේ පස්සර. මගෙ යාලුවෙක් තේ ෆැක්ටරි එකක් හදන්ට ගත්තු කන්ට්‍රෑක්ට්  එහෙක. 

ඒ ගමනත් මම චන්දෙ දුන්නෙ අලියට. ඒ වෙනමොකවත් හින්ද නෙවෙයි අවුරුදු හයකට අපි චන්දෙ දීල පත් කරපු ආණ්ඩුව යාන්තං අවුරුදු දෙකක් යනකොට විසිරුවල චන්ද්‍රිකා කරපු අලුගුත්තේරු වැඩේට මගෙ හිතේ තිබ්බ කේන්තියට. ඒත් ඒ පාර රනිලා පැරදුනා. රනිල ගොං අලියයි කියන්නෙ ඕකනෙ. මිනිස්සු චන්දෙ දීල පත්කරල දුන්නු ආණ්ඩුව අරගෙන ගියෙ වදෙං පොරෙං වගෙ අවුරුදු දෙකයි. චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවන්නෙ නෑ කියල දුන්නු පොරොන්දුවට මිනිහ රැවටුනා.

මට මතකයි ඒ කාලෙ රාජිත, එස්.බී.එහෙම දිගින් දිගටම කිව්ව චන්ද්‍රිකාට දෝෂාභියෝගයක් ගෙනල්ල පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුල් කරල තියමුය කියල. ඒ වගෙ දෝෂාභියෝගයක් ගෙනල්ල තිබ්බනම් ඇති. පාර්ලිමේන්තුව විසිරුවන්ට ජනාධිපතිට තියන බලය ඒ සැණෙන් අහෝසි වෙනව. මං හිතන්නෙ ඔය ගිණි පෙණෙල්ලෙන් බැට කාපු මිනිහගෙ සීන් එක හින්දම තමයි 2015 මෛත්‍රීපාල දිනල ගෙනාපු 19 වන සංශෝධනයට රනිල පාර්ලිමේන්තුවක් පත්වෙලා අවුරුදු 4 1/2 ක් යනකල් ජනාධිපතිට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරුවන්ට බැහැය කියල වගන්තියක් ඇතුලත් කලේ. 

මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම අවුරුදු 4 1/2 ක කාලසීමාවක් දැම්මෙ කියල. ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවන්ට තියන බලය එහෙම පිටින්ම නැති කරල දැම්මනම් අහවරයි නෙව. එහෙම උනානම් මේ කලින් තිබ්බ  පාර්ලිමේන්තුව අගෝස්තු දක්වා තියනව. එහෙනං මරා සහ ගොට්ටට ඔය හිතෙන හිතෙන සෙල්ලම් දාන්ට ලැබෙන එකක් නැහැ. 

ඇමරිකානු ව්‍යාවස්ථාවෙ අන්න තියනව ජනාධිපතිවරණයක් තියන්න ඕන කාලසීමාව දිනේ පවා නියම කරල. ජනාධිපති ධුර කාලසීමාවෙ වසර හතරක් ගතවූ කල එලඹෙන නොවැම්බර් මස දෙවන අඟහරුවාදාද කොහෙද...

ඔය වෙනකොට අපි දෙන්න හිටියෙ එයයි උගන්නාපු ඉස්කෝලෙම කෝටස් එහෙක. ඒ පැත්තට තියෙන චන්ද මධ්‍යස්ථානය තියන්නෙ ඒ ඉස්කෝලෙ. ගමනාගමන පහසුව සහ අදාල ප්‍රදේශයේ මැද වගෙ පිහිටා තිබීම හින්දයි හැමදාම ඒ ඉස්කෝලෙ තෝරගන්නෙ ඔය වැඩේට. ඉතිං අපි දෙන්නට පඩි පේළි දෙක තුනක් පාතට බහින එක විතරයි තියෙන්නෙ චන්දෙ ප්‍රකාස කරන්ට.

ආ..තව එකක්..නුවර ඇසළ පෙරහැර කාලෙට දුර බැහැරින් පෙරහැර රාජකාරි වලට එන පොලිස් නිලධාරීන් තිහක් හතළිහක් හැම අවුරුද්දෙම ඔය ඉස්කෝලෙ නවාතැන් ගන්නව. ඒ කාලෙට වෙනම කුස්සියක් පැත්තක හදනව තහඩු වලින්. ඉවුම් පිහුම් ඔක්කොම කෙරෙන්නෙ ඒකෙ. හවසට රෝල්ස්, එළවලු රොටී , පෑන් කේක් එහෙමත් හදනව. අපිටත් ඉතිං නොමිලේම එව්ව හම්බවෙනව හවස තේ වලට. ඒ පෙරහැර ඩියුටි සීන්ස් ටික ආය දවසක කියන්නංකො.

ඊට පස්සෙ 2005 ජනාධිපතිවරණය……

"කාටද මෙයා මේ ගමන චන්දෙ දෙන්නෙ?" අපෙ උන්දැ සුපුරුදු පරිදි ඇහුව.

"රනිල්ට තමයි" 

"ඇයි ඒ ?...මහින්ද හොඳ නැද්ද?" ඒ වෙනකොට මහින්ද ඔක්කොම ජාතිවාදී බලවේග එකතු කරගෙන රාජ්‍ය බලය උපරිමව යොදාගෙන කැම්පේන් එක ගෙනියනව. 

"මට ඒ මනුස්සය අල්ලන්නෙම නෑ. මහින්ද කොහොමහරි දිනන්ටයි බලන්නෙ. කිසිම ප්‍රතිපත්තියක් තියෙන මිනිහෙක් නෙවෙයිනෙ…. පේන්නෙ නැද්ද? චන්ද දහයක් හම්බ වෙයි කියල හිතෙනව නම්  ඕනම කාපාලුවෙක් ඕනම කයිතාඩුවෙක්ගෙ පස්සත් ඉඹියි. මම කැමති නෑ එහෙම මිනිස්සුන්ට" 

නීලකාස අපුච්චියගෙ බල ලෝභයෙ දිග පළල මට සක් සුදක්සේ පැහැදිලිවුනේ අදක ඊයෙක නෙවෙයි.

2005 ජනාධිපතිවරණෙදි තමයි මම අන්තිමටම ඡන්දෙ පාවිච්චි කලේ. ඊට පස්සෙ 2010 ජනාධිපතිවරණෙ සහ පාර්ලිමේන්තු මැතිවරණෙ ඒ වගේම  2015 ජනවාරි 8 තිබ්බ ජනාධිපතිවරණෙදි සහ ඒ අගෝස්තු මාසෙ තිබ්බ පාර්ලිමේන්තු මැතිවරණෙදි මම ලංකාවෙ හිටියෙ නෑ.

ගිය අවුරුද්දෙ නොවැම්බර් තිබ්බ ජනාදිපතිවරණෙදි මම චන්දෙ දුන්නෙ පුතාණෝට. ඒ පුතාණෝ ගැන තිබ්බ විශේෂ කැමැත්තක්වත් මේ යකා ඇවිල්ල මහ ලොකු දෙයක් කරයි කියල තිබ්බ කෙහෙම්මල් විස්වාසයක් හින්දවත් නෙවෙයි. ගොට්ට පරද්දන්ට ඒ වෙලාවෙ පුතාණෝට නෙවෙයි මම මර්වින් සිල්වට උනත් චන්දෙ දෙනව. ඒත් දන්නවනෙ වෙච්චි හරිය...ඇටනම ලස්සේ..ඇටනම ලස්සේ...

ඉතිං මේ අද තියන චන්දෙදි මම කතිරෙ ගහන්නෙ නිසැකවම නොහොත්  Obviously මාලිමාවට. අපේ ප්‍රියාම්බිකා තොමෝගෙ ඉතාම කිට්ටු මිත්‍රයෙක් මේ ගමන මාලිමාවෙන් ඉල්ලනව නුවරට. එහෙම නොවුනත් මම කොහොමත් මේ පාර මාලිමාවට තමයි දෙන්නෙ. අනික් එවුන් ඔක්කොම නීලකාස හොර තක්කඩි. මාලිමාවෙ විතරයි අඩුම ගණනෙ ජනතා නියෝජිතයො කියල ලැජ්ජාවක් නැතුව කියන්ට පුලුවන් ගොබිලො ටිකක් ඉන්නෙ. මේ රට වැටිල තියෙන ජරාජීර්ණ අගාධයෙන් ගොඩගන්ට පුලුවන් ජවිපාවුන්ට විතරක්මය කියලයි මගේ නම් ඒකායන විශ්වාසය...

පලි - 2015 පාර්ලිමේන්තු මැතිවරණෙදි මගෙ පුරෝකථනය අන්තිමට ආපු ප්‍රතිඵලයට බොහොම ලඟින් ගියා. මේ පාර මගෙ පුරෝකථනය මෙහෙමයි.

පෝට්ටුව - 118

ටැලිපෝං එක - 72

දෙමළ පක්ෂ - 16

මාළිමාව - 10

අලියා - 7

වෙනත් - 2

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...