ඩොලී සහ මම කථා කරන්නට ආරම්භ කල මොහොතේම පම්මි ආන්ටි සහ මගේ මව ඔවුන්ගේ කථාව නතර කළෝය. ඔවුන් දෑස් විසල් කොට අප දෙස බලාසිටිනා බව දැනුනු විගස ඩොලී සහ මගේ කථාවද නතර විය.
"හරි හරි අපි හිටියට කමක් නෑ. ඔයදෙන්නා කතාකරගෙන යන්න" පිළිවෙලින් ඩොලීගෙ සහ මගේ මුහුණු දෙස බලා මුව පුරා සිනාසුනු මගේ මෑණියෝ ඉක්බිති පම්මි ආන්ටි දෙස බලා දකුණැස වසා ඉඟි මැරුවාය. පම්මි ආන්ටිද එසේ ඉඟි මැරූ අනතුරුව ඔවුහු දෙදෙන දෑත් එක්කොට ඇස් ඉහළට යොමුකොට දෙවියන්ට ස්තූති කළෝය.
මද වේලාවක් නිහඬව හුන් ඩොලී මගේ මව දෙසබලා සිනාසුණාය. "ආන්ටි තේ ටිකක් බොමුද?"
"එපා දුව... කරදර වෙන්න එපා. අපි අපේ දරුවො ලවා වැඩ කරවා ගන්නෙ නෑ" මහත් උදාරම් ලෙස එසේ පැවසූ මගේ මෑණියෝ පම්මි ආන්ටි දෙස බලා හිස සෙලවූවාය.
"අප්පේ මොකට කියනවද? පව් දෙයියනේ ..පුදුම විදිහට මහන්සි වෙනව...වැඩකාරයෙකුට තේ අරං වරේං කියල ගිරිය යටිං බෙරිහං දෙන එකම කොච්චර මහන්සියක්ද?" මම මටම තොල මතුරා ගතිමි.නර්මාලාප බිණීමෙහි මගේ හැකියාව ගැන හොඳින් දන්නා මගේ මව මා දෙස ඇස් කොණින් බලා තොල් තදින් පියාගත්වනම හිස වනා අනවශ්‍ය කිසිවක් නොපවසන මෙන් අනතුරු හැඟවූවාය.
"රාජූ....කෝ තේ ලෑස්තිනම් අරගෙන එනවා...." මා අනුමාන කල අයුරින්ම ඩොලී මගේ මවට සංග්‍රහ කිරීම් වස් බොහෝසේ වෙහෙස වූවාය . මගේ මෑණියෝ ඈ දෙස කෘතඥතා පූර්වක බැල්මක් හෙලුයේ ඉන් අනතුරුව මදෙසද බලමිනි. ඇය අනන්‍යා දෙස එවන් බැල්මක් හෙලනා දිනයක් කවදා උදාවේදැයි සිතමින් මම සුසුමක් හෙලුවෙමි.
"පුතා තේ ටිකක් බොමු" රාජු ඔසවාගෙන ආ තේ බඳුන් පීරිසි කෝප්ප පිරි බන්දේසිය දෙසට සුරත දිගුකරමින් පම්මි ආන්ටි විමසුවාය. මම මඳක් සිනාසී හිස දෙපසට වනා ඇරයුම ප්‍රතික්ෂේප කළෙමි.
"හා..හා..මම දන්නව..මම දන්නව.." පම්මි ආන්ටි තේ බඳුන සුරතට ගනිමින් මගේ සහ ඩොලීගේ මුහුණු දෙස බලා සිනාසුණාය. "ඔයාල මේ තරුණ පරම්පරාවෙ අයනෙ. තේ බොන්ට ආසාවක් නෑ..දන්නවද කවිතාජී මේ ගොල්ල යන්නෙ අර ඩිස්ට්‍රික්ට් සෙන්ටර් එකේ අලුතින් ඇරපු කෝපි කඩේට..මොකක්ද..මොකක්ද ..මේ නම මගෙ දිව අගම තියනව...ඩොලී මොකක්ද අර ගිණි ගානට කෝපි විකුණන තැන? අර...අර..හා..හරි බර්සාට් නේද?"
"බර්සාට් නෙවෙයි අම්මා බැරිස්ටා…"ඩොලී යටැසින් මාදෙස බලා තම නොපහන් දෑස යලි මව වෙත යොමුකොට පහත් හඬින් පැවසුවාය.
"අන්න හරි අන්න හරි..ඩොලී මේ ක්‍රිෂ් එක්ක යන්නකො ඔය දෙන්න එතනට.... ඔය බරිස්ටා ද මොකක්ද කියන තැනට..එතන කෝපි නම් හරිම ගණං...හත් අට දෙනෙකුට එතන කෝපි බොන්ට යන සල්ලි වලිං අපෙ ගම් පැත්තෙං කාමර දෙකක වගෙ පොඩි ගෙයක් ගත්තෑකි.කමක් නෑ..හැමදාම නෙවෙයිනෙ..ඔය දෙන්න යන්න...හොන්ඩා එක ඇති. ඒකෙ යන්න..දැක්ක නේද කවිතාජී..අපිත් මෙහෙම හිටියට අලුත් තාලෙට වැඩ කරන්ට දන්නව" මගේ මවට තේ බඳුනක් දිගු කරමින් පම්මි ආන්ටි පැවසුවාය.
"හිහ්, එහෙම වෙන එක කොච්චර එකක්ද? ලෝකෙත් එක්ක අපිත් අලුත් වෙන්ට ඕන. දැං මේ අපි උනත් එහෙමයි. රටේ ලෝකෙ වෙනස් වෙන විදිහට අපිත් වෙනස් වෙනව. පරණ ගති සිරිත් අතාරිනව." මගේ මවද පම්මි ආන්ටිට දෙවෙනි වීමට කැමතිවූයේ නොවේ.
"හ්ම්ම්ම්..ඔව්...ඔව්...කිසිම සාධාරණ හේතුවක් නැතුව මැඩ්‍රාසී මැඩ්‍රාසී කියල අනන්‍යා දෙකේ කොලේට දාල අපහාස කරන එකත් මම හිතන්නෙ ඔය කියන අලුත් ගති සිරිත් වලට අයිති එකක් වෙන්නැති" මම තොල මතුරාගතිමි.
තවත් පෙරැත්ත කරන තුරු බලා නොසිට මම හිඳ හුන් සෝපාවෙන් නැඟී සිටියේ මේ නීරස කතාබහෙන් ගැලවීමට මෙන්ම ඩොලී සහ කතා කරමින් ඔවුන්ගේ අලුත් හොන්ඩා මෝටර් රියෙහි නැඟී සැප පහසුව ගමන් කිරීමට එක්වනම ඇතිවූ ආශාවත් හේතුකොටගෙනය.
"ඩොලී..... මෙහෙ එන්නකො ළමයො.." පම්මි ආන්ටි පැවසූයේ ඇගේ උඩුකය වැසුනු කර පළල් කමිසයක් වන් ඇඳුමෙහි කර දෑතින්ම තවත් පළල් කරමිනි. මම දෑස් හයා එදෙස බලා සිටියදී ඇය ඇගේ සුවිසල් වු ළැමතුරෙහි වූ ගෘහස්ත ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් නෝට්ටු මිටියක් ඉවතට ගත්තාය. මේක ඇතුලෙ තව මොනව තියනවද මන්දා...ඒ මසිතට එසැණින් නැඟුනු සිතිවිල්ලයි.
මවගේ අතින් මුදල් නෝට්ටු මිටිය ගත් ඩොලී ඒ නොගැණම තම රන්පැහැ අත්බෑගයෙහි රුවා ගත්තීය.ඉක්බිති හිඳසිටි අසුනින් නැඟී සිටි ඇය හොන්ඩා මෝටර් රථය පිටතට ගැනීමට ගේට්ටුව විවෘත කරන ලෙස මුරකරුට කෑගසා අණකරන ලෙස රියදුරුට කෑගසා අණකරන ලෙස මෙහෙකාර රාජුට කෑගසා අණකළාය. මේ සියළු කෑගැසීම් වටයන් අවසානයේදී මම ඩොලී සමඟ හොන්ඩා රියෙන් නිවසින් පිටත් වූයෙමි.
(දිල්ලි නගරය පරිපාලන පහසුව උදෙසා දිස්ත්‍රික්ක නවයකට බෙදා ඇත.ඒ සෑම දිස්ත්‍රික්කයකම ඩිස්ට්‍රික්ට් සෙන්ටර් යනුවෙන් හැඳින්වෙන නොයෙක් බඩු භාණ්ඩයන්ගෙන් සපිරි වෙළඳසැල් වලින් පිරි පොදු වෙළඳ මධ්‍යස්ථානයක් වැන්නක් ඇත. මේ ඩිස්ට්‍රික්ට් සෙන්ටර් ශ්‍රී ලංකාවෙහි කොළඹ ලිබර්ටි ප්ලාසා, මැජස්ටික් සිටි හෝ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් යන වෙළඳ සංකීර්ණවලට බොහෝ සමාන යයි කිවහැක.)
අප ළඟාවූ එවන් වෙළඳ සංකීර්ණයෙහි බහුතරයක් වූයේ සල්වාර් කමීස් වෙළඳ සැල්, රූප ලාවන්‍යාගාර සහ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයන්ය. වහා ඇගේ ප්‍රියතම ඇඳුම් වෙළඳසැලට වැදුනු ඩොලී ඇඳුම් තෝරන්නට වූ අතර මම වෙළඳ සැළෙහි එහා මෙහා සක්මන් කරමින් සිරි නැරඹුවෙමි.
ඒ ඉදිරියෙන්ම වූ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය නෙත ගැටෙන විට අනන්‍යාට ඇමතුමක් දීමට මසිත පැනනැඟි ආශාව මැඩගත් මම ඇඳුම් තෝරන කාන්තාවන් නරඹමින් කාලය ගෙවාදැමීමි. සල්වාර් ඇඳුම් මිලදී ගත්තෝ බහුතරයක් තම දූවරුන් සමඟ පැමිණි මව්වරුන්ය. එසේත් නැතහොත් තම මව් වරුන් සමඟ පැමිණි දූවරුන්ය.
දියණියන් බහුතරයක් මද පවනකට වුව ඇදවැටෙන තරමේ සිහින් සිරුරැති වූ අතර මවුවරු සියල්ලෝම තරබාරු දේහධාරීන් වූහ.පන්ජාබි කාන්තාවෝ අනිවාර්යයෙන් මේ අන්ත දෙකෙන් එකකට අයත්වන්නෝ වූහ. ඒ බව හොඳින් දත් වෙළඳ සැල් හිමිකරුවෝ සිය ඇඳුම් රාක්ක ඒ අන්තයන් දෙකටම සරිලන ඇඳුමින් නිරතුරු පුරවා තැබීමට වග බලා ගත්තෝය.
"නෝන වගේ ටිකක් සෞඛ්‍යය සම්පන්න ශරීරයක් තියෙන අයට ගැලපෙන ඇඳුම් තියෙන්නෙ අන්න අර හරියෙ." එක් වෙළඳ සේවකයෙක් ඉතා මහත දෙහෙත සිරුරකින් යුත් කාන්තාවක් මා අසලින්ම සාප්පුවේ පසුපසට කැඳවාගෙන යන අතර පැවසුවේ පාරිභෝගිකයාගේ සිත් දිනාගන්නා කලාව සමඟ ස්ථානෝචිතව වදන් තෝරාගැන්මේ කලාවද ඔහු මැනවින් ප්‍රගුණ කොට ඇති බව මොනවට පෙන්වමිනි.
ඇඳුම් කට්ටල තුන්සීයක් පමණ සේවකයින් ලවා පිටතට ගෙන අතගා බලා ඉන් තිහක් පමණ සිරුරට තබා හැඩ බලා අවසානයේ ඩොලී ඇඳුම් කට්ටල තුනක් තෝරාගත්තාය. ඒ සඳහා මුදල් ගෙවීමට ඇයද සිය මව මෙන් ළැමතුරින් මුදල් නෝට්ටු ගනිතැයි මගේ අර්ධ අපේක්ෂාවක් වූ නමුදු ඇය මුදල් ගත්තේ ඇගේ අත්බෑගයෙනි.
"මේවට ඔයා කැමතිද?" ඇඳුම් වෙළඳ සැළින් පිටවූ ඉක්බිති ඇය ඇඳුම් බහාලූ බෑගය විවෘත කොට මට දැක්වූවාය.
"ආ..ආ..හොඳයි...හොඳයි…" මම එදෙස බැල්මක් හෙලා පැවසූයෙමි.
ඉන් අනතුරුව අප දෙදෙන බැරිස්ටා කෝපි අවන්හලට ඇතුළු වූයෙමු . බැරිස්ටාව අභ්‍යන්තරයේවූ වායු සමීකෘත සිසිලස සහ සිත නිවී සනහන සියුම් සංගීත රාවය පිටත පරිසරයේ අප පීඩාවට පත්කල අංශක හතළිහකට ආසන්නවූ දාහයෙන් මිදුනු දෙව්ලොවක් සේ මට දැණින.
"මට සීතල කෝපි එකක් එක්ක අයිස්ක්‍රීම් "...ඩොලී ඇනවුම් කලාය. "ම්ම්..ඔයාට මොනවද ක්‍රිෂ්? "
පාරිභෝගිකයින් උදෙසා පනවා තිබූ දිගැති ඩිවාන් පන්නයේ ආසනයක අප හිඳ ගත්තේ එකිනෙකාගෙන් හැකිපමණ දුරස්වය. එහි යම් මනෝ විද්‍යාත්මක ඇඟවීමක් ඇත්දැයි මම නොදත්තෙමි.
අප ඉදිරියෙවූ බිත්තියෙහි සවිකොට තිබූ පුළුල් තිර රූපවාහිනියෙහි පෙන්වමින් තිබූ රංගනයක් නරඹමින් නිහඬව ගත වූ මිනිත්තු කිහිපයකට පසු ඩොලී ඒ දෙස බලාගත්වනම කථා කලාය.
"අයි.අයි.ටී. එකෙන් උපාධියක් ගත්ත කෙනෙක් මට මීට කලින් මුණ ගැහිලම නෑ"
"ආ...ඒකෙ මේ ඇති දෙයක් නෑ... මම ඔයාට ඇත්තම කියන්නද? ඒක මේ ඔය කියන තරං මහ ලොකු දෙයක් නෙවෙයි.." මම පැවසූයේ එය ඉතා නොවැදගත් කරුණක් බව සුරතින් සන් කරමිනි.
ඇය එකවරම මදෙස හැරුනාය. ඇගේ සුරත වැදී ඇඳුම් බෑගය බිම වැටුණි. පහත්ව නැවී එය අතට ගෙන යලි ආසනය මත තබා ඇය මා ඇමතුවාය.
"සොරී ක්‍රිෂ්, ඔයා වගෙ උගත් කෙනෙක් ඉස්සරහ හැසිරෙන්න ඕන කොහොමද කියල මට එච්චර තේරුමක් නෑ"
"මොන පිස්සුද? අහවල් උගත්කමක්ද? රිලැක්ස් වෙන්න ළමයා. නිවී සැනසිල්ලෙ ඔයාගෙ කෝපි එක බොන්න. වෙන අනම් මනම් හිතන්න ඕන නෑ මේ වෙලාවෙ"
අප දෙදෙන නිහඬව තවත් මිනිත්තු කිහිපයක් කෝපි තොල ගෑවෙමු. මගේ සිත කෙමෙන් නිදහස්ව ඉහිල්ව යනු මට දැනෙන්නටවිය.
"ඔයාට යාලු ගෑණු ළමයෙක් ඉන්නව නේද? මේ..දකුණෙ ..දකුණු ඉන්දියාවෙ එක්කෙනෙක්?"
ඉහිල්ව යමින් තිබූ සිත එක්වරම යලි පොළවට කඩා වැටිණි. "මොකක්?... කවුද..කවුද ඔයාට කිව්වෙ?" වික්ෂිප්තව වහා ඇය දෙසට හැරුණු මම විමසූයෙමි.
"කිට්ටු මට කිව්වෙ"
කිට්ටු යනු මගේ මවගේ වැඩිමහල් සහෝදරිය වූ ෂිප්‍රා ලොකු අම්මාගේ දියණියයි. ෂිප්‍රා ලොකු අම්මාගේ ස්වාමියා එනම් කිට්ටුගේ පියා පම්මි ආන්ටිගේ ඥාති සහෝදරයෙකි. ඒ අනුසාරයෙන් ඩොලී යනු ලේ ඥාතීයකු නොවූවද මගේ ඥාති සහෝදරියකි.
"කිට්ටු? කොහොමද කිට්ටු දන්නෙ?" මම විශ්මයපත්ව විමසූයෙමි.
"ෂිප්‍රා ආන්ටි තමයි කිට්ටුට කියල තියෙන්නෙ. ෂිප්‍රා ආන්ටි දැනගෙන තියෙන්නෙ මම හිතන්නෙ ඔයාලගෙ අම්මගෙන්"
"මදැයි පුදන කොටම කාපි යකා කිව්වලු. ඒ කියන්නෙ දැන් අපේ හත්මුතු පරම්පරාවම මේ ගැන දන්නව ..එහෙම නේද?"
"එහෙම තමයි මට හිතෙන්නෙ" ඇය සිනාසෙමින් පැවසුවාය.
"තව මොනවද ඔයා එයා ගැන දන්නෙ?"
"වෙන මොකවත් නෑ" එහෙත් ඇය පිළිතුරු දුන්නේ ඉවත බලාගත්වනමය.
"ප්ලීස් ඩොලී මට කියන්න ඔයා දන්නෙ මොනවද කියල…" මම ආයාචනා කලෙමි.
"ම්ම්ම්ම්ම්..මෙහෙමයි...එයා ..මම කියන්නෙ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොහොම ...අපි කියමු ආක්‍රමණශීලී කියල...ඒ කියන්නෙ තමන්ගෙ කැමැත්ත කොහොම හරි ඉෂ්ඨ කරගන්න ජාතියෙ කෙනෙක්...ඒ වගේම බොහොම සට කපට ..ආ..ඒ වගේම ඔයාව සම්පුර්ණයෙන් එයාගෙ කැමැත්තට හැඩ ගස්වා ගෙනලු ඉන්නෙ දැනටමත්..ඒත් දකුණු ඉන්දියානු කෙල්ලො කොහොමත් එහෙමයි නේද?"
"එහෙම ස්ථිරවම තීරණය කරන්ට ඔයා දකුණු ඉන්දියානු කෙල්ලො කී දෙනෙක් ආශ්‍රය කරල තියනවද?"
"හිහ්..ඇත්තටම නම් මම දකුණු ඉන්දියානු අය කවුරුවත් ආශ්‍රය කරල නෑ. ඒත් එහෙමයි නේද එයාල ගැන හැමෝම කියන්නෙ?"
දකුණු ඉන්දියානු යුවතියන් පිළිබඳව කවුරුන්හෝ පැවසූවක් මත පදනම්ව එවන් අත්තනෝමතික නිගමනයකට එළඹීමෙහි අසාධාරණත්වය පිළිබඳව ඩොලීට දේශනයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මගේ තුන්සිතකවත් නොවූයෙන් මම මුනිවත රැකීමි.
"ඔයාල දෙන්නගෙ ඔය එෆෙයාර් එක සීරියස් ද නැත්තං නිකං ජොලියට වගෙ කරන එකක්ද?" අඩක් හිස් කල කෝපි බඳුන දෑතට මැදිකොටගෙන සෙමෙන් එහා මෙහා කරකවමින් ඩොලී විමසුවාය.
"දැං ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?" මගේ නොරිස්සුම පාලනය කර ගැනීමට තැත් කරමින් මම පෙරලා විමසුවෙමි.
"නෑ..නෑ..නෑ"..ඇය වහා හිස ඔසවා මදෙස බලා පැවසුවාය.
"නෑ..මම මේ ඇහුවෙ නිකං ජොලියට වගෙ කරන එකක්වත්?" ඇය මගේ මුහුණ දෙස විමසුම් බැල්මක් හෙලුවාය. ඇගේ චකිතය පහ කරනු උදෙසා මම ඇය හා සුහදව සිනාසීමි.
"ම්ම්ම්…. ඇත්තම කිව්වොත් එහෙම එක්කෙනෙක් නම් ඉන්නව" ඇගේ මුහුණ සිනහවකින් විකසිත විය. " අනේ ප්ලීස් අපෙ අම්මට එහෙම කියන්න එපා.ඔයාගෙ අම්මටවත්...අඩුගානෙ කිට්ටුටවත් කියන්න නම් එපා. "
"හරි හරි මම ඔය කාටවත්ම කියන්නෙ නෑ."
"එයා මේ පහුගිය වැලන්ටයින් දිනේට මට ලස්සන ටෙඩිබෙයා කෙනෙක් එව්ව."
"ෂහ් හරි ෂෝක්නෙ"
"මේ ඔයා කවුරුහරි කිස් කරල තියනවද? මම කිව්වෙ අර මේ ඔයාගෙ දකුනු ඉන්දියන් ගර්ල් එහෙම?" ඇය හදිසියේම විමසූයේ දෙබැම රැළි නංවාගනිමිනි.
සත්‍යය එනම් අනන්‍යා සහ මම නේවාසිකාගාරයෙහි මගේ කුඩා කුටියෙහි වසර දෙකක් එකට දිවිගෙවූ බව නොපවසා ඇයට කුමක් කිවයුතුදැයි මම මද වේලාවක් කල්පනා කළෙමි.
"නෑ" අවසානයෙදී මම පැවසුවෙමි.
"ඒක තමයි. ඒත් මේ මම කියන කෙනා මට බලකරනව එයාව කිස් කරන්නෙයි කියල. ඒත් මට බයයි ..මම කියන්නෙ මේ බබෙක් එහෙම හම්බ වෙන්ට ආවොත් එහෙම?"
"මේ...ඔය දෙන්න ඉස්සෙල්ලම මුණගැහුනෙ කොහොමද?"
"අනේ ඒක හරිම රොමෑන්ටික් කතාවක්…." ඈ මොහොතක් දෑස් පියාගෙන උන්නාය. "එයා එක දවසක් අපේ ගෙදරට ටෙලිෆෝන් කලා. ඇත්තටම රෝං නම්බර් එකක්. එදා ඉතිං අපි දෙන්න ගොඩක් වෙලා කතා කලා. තවම අපි දෙන්න ඇත්තටම හම්බවෙලා තියෙන්නෙ එකම එක දවසයි"
"මොකක්? ඔයා මේ එෆෙයාර් එකක් ගෙනියන්නෙ වැරදීමකිං රෝං නම්බර් එකකට කතා කරපු මනුස්සයෙක් එක්කද?"
"මෙහෙමයි. එෆෙයාර් එකක් කිව්වට එයා තවම මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්මත් නෙවෙයි. ඔයා දන්නවද ලුඩියානාවල මගෙ අක්ක කෙනෙක් ඉන්නව. එයා කසාද බැන්දෙ ඔහොම රෝං නම්බර් එකකට කතා කරපු කෙනෙක්ව. ඒ දෙන්නට දැන් ලස්සන දුවෙකුයි පුතෙකුයි ඉන්නව." ඇය විසල් කොටගත් දෑසින් යුතුව නොකඩවා කියවාගෙන ගියාය.
"නෑහ්? ඔය ඇත්තමද? …" මම ද ඊට ගැලපෙන ලෙස විදහාගත් දෑසින් යුතුව පිළිතුරු දුනිමි.
ඉක්බිති අප අතර මද නිහඬතාවයක් පැවතුනි.
"ඔයා මට කැමතිද?" ඩොලී හදිසියේ විමසුවාය. මම වහා හැරී ඇය දෙස බැලීමි. ඇය පසුවූයේ දෙනෙත් පහතට යොමුකොටගත්වනමය.
"මොකක්ද ඇහුවෙ?"
"නෑ මම කිව්වෙ ඔයා දන්නවනෙ අපි දෙන්න මෙහෙම මුණ ගස්සල මෙතනට එව්වෙ මොකටද කියල. අපෙ අම්මල බලාපොරොත්තුවෙනව අපි දෙන්න කසාද බඳියි කියල."
"ඩොලී මා එක්ක තරහ වෙන්න එපා. මට අනන්‍යා ඇරෙන්න වෙන කවුරුවත් කසාද බඳින්න විදිහක් නෑ."
"හා..ඒකයි එහෙනං එයාගෙ නම..අනන්‍යා..ලස්සන නමක්…"
"ස්තුතියි, නම වගේම එයත් ලස්සනයි. ඒ වගේම එයාගෙ ගතිගුණත් ලස්සනයි.. මම මේක සීරියස් කරන්නෙ. මට බොහොම කණගාටුයි අපෙ අම්මයි ඔයාගෙ අම්මයි එකතුවෙලා ඔයාව මෙහෙම කිසිම තේරුමක් නැති දේකට බලෙං ඇදල දැම්මට."
"ඔයා මේක සීරියස් කරන්නෙ කියල කිව්වට දැන් ටිකකට ඉස්සෙල්ල කිව්වනෙ එයාව කිස් කරලවත් නෑ කියල."
"මම ඒ වෙලාවෙ බොරුවක් ඒ කිව්වෙ. අපි දෙන්න මගෙ කාමරේ අවුරුදු දෙකක් එකට ජීවත් වුනා. හැබැයි කාටවත්ම කියන්න නම් එපා මම මෙහෙම කිව්වයි කියල හොඳද?"
"What? Like living together?" ඇගේ ඇහිබැම නලලද පසුකොට ඉහලගියේය. "ඒ කිව්වෙ? ඒ කිව්වෙ ඔයාල දෙන්න හැම දෙයක්ම කරලද ඉන්නෙ මේ වෙනකොට? "
"එව්ව ඕන නෑ. මම ඒ ටික කිව්වෙ මම ඔයාට අකමැති අන්න ඒ හේතුව හින්දය කියල ඔයාට පැහැදිලි කරන්න ඕන හින්ද. වෙන මොකටවත් එහෙම නෙවෙයි. තේරුණාද? "
"අවුරුදු දෙකක්?.... එකම කාමරේ?.... ඉතිං එයාට බබෙක් හම්බවෙන්න ආවෙ නැද්ද?"
"ඩොලී ප්ලීස් ඔය ඇති. අපි ඒ ගැන කතා නොකර ඉමු. අනික ඒ විස්තර වැදගත් නෑ කොහෙත්ම." මම පැවසූයේ කිසිවකු ඇසෙන මානයේ සිටින්නේදැයි වටපිට පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
"මට පුලුවන් ඔයාට එයාව අමතක කරවන්න…" පහත් හඬින් එසේ පවසමින් ඩොලී ඇගේ ඉඟ දක්වා දිගු කෙස් වැටිය ඉදිරියට ගෙන සෙමෙන් පිරිමදින්නට වූවාය.
"මොකක්ද කිව්වෙ?"
"මම දන්නව පිරිමින්ට ඕන කරන්නෙ මොනවද කියල."
"නෑ ඩොලී ඔයා ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. අනික මම තව දෙයක් කියන්නද? වැරදි නොම්මරවලින් කතා කරන අයගෙන් ටිකක් ප්‍රවේසම් වෙන්න. හරි අපි යමු එහෙනං, Thanks for the coffee, that was really great "මම නැඟී සිටිමින් පැවසූයෙමි.
ආදරය, සෙනෙහස වැනි කිසිවකු වැදගත්යැයි නොසලකන දේ පිළිබඳව විශ්වාස නොකරන්නේනම් බොහෝ නුදුරු අනාගතයේ මේ සුඛෝපභෝගී සුවිසල් මෝටර් රියේ හිමිකරු වීමට මට නිසැකවම හැකිවන බව ආපසු ඇගේ නිවස බලා පැමිණෙද්දී මට කල්පනා විය.
"අපෙ අම්මට මම මොනවද කියන්නෙ?" ඇගේ නිවස ආසන්න වනවිට ඩොලී විමසුවාය.
"ඔයා මට කැමති නෑ කියන්න"
"එහෙම කොහොමද? එයා අහයි මොකක්ද හේතුව කියල."
"ඔය මොනව හරි එකක් කියන්න. මම මහ බෝරිං මනුස්සයෙක් කියන්න. අලුත් සින්දු ෆිල්ම්ස් ඔය මොකවත් ගැන කිසි දෙයක් දන්නෙ නෑ කියන්න. ඔයාට කැමති දෙයක් කියන්න මට ප්‍රශ්නයක් නෑ."
"අපෙ අම්ම ඔය වගෙ හේතු පිලිගන්න එකක් නෑ."
"හරි මෙහෙම කියන්නකො. කියන්න ක්‍රිෂ් කිව්වයි කියල එයා ඔය බැංකු රස්සාව වැඩිකල් කරන්නෙ නෑ කියල. එතනිං අස්වෙලා ලේඛකයෙක් වෙන්නයි එයා හිතාගෙන ඉන්නෙ කියල ඔයාට කිව්වයි කියල කියන්නකො"
"මොකෙක්? ලේඛකයෙක්?"
"ඔව්……."
"අන්න ඒ හේතුව නම් අම්ම එකත් එකටම පිළිගනියි. අනික කොහොමත් දැන් මම දන්නව ඔයා මට ගැලපෙන්නෙ නෑ කියල."
මෝටර් රථය ඇගේ නිවසට හරවද්දි ඇය මදෙස බලා පැවසූයේ මගේ සුරත මිරිකා සිනාසෙමිනි.