Friday, July 22, 2022

680. පුවක් එෂැණිං - 72 - අද අළුයම් කාලයේ ගෝටාගෝගමට එල්ලවූ හමුදා ප්‍රහාරය පිළිබඳව ගරු ජනාපෙති තුමාගේ විසේස ප්‍රකාසය.....

 


විසේසයෙන් කියන්ට උවමනයි මේ අරගලේ කස්ටියට පෑගිල ගෝල් පේස් එකේ වටිනා තණකොල මැරිල යනව..එව්ව බොහොම වටින තණකොල..වර්ග අඩියක් දාස් ගානක් වෙනව..

එතකොට මේ කාලෙට ගෝල් පේස් වෙරලට එනව බොහොම දුර්ලබ කැස්බෑවො ජාතියක් බිත්තර දාන්ට... අර පිට කලු කඳ සුදු කට රතු දාර කැස්බෑවද මොකාද කියල..උං රෑට එනකොට ගෝල් පේස් එකේ ලයිට් දාල කානිවල් එකක් වගෙ තියන කොට උං බයවෙලා ආපහු මූදට යනව..ඒ හින්ද ඒ සත්තු වඳ වෙලා යන්ට පුලුවෙනි..මට අන්තර් ජාතික රතු දත්ත පොතේ කට්ටිය ඒ ගැන පැමිණිලි කලා..

ඊගාවට මේ අරගල කරුවං කෑගහන සද්දෙට ශැන්ග්රිලා එකේ වහලෙ ඉන්න නීල කොබෙයියො බය වෙලා කූඩු අතෑරල යනව..ඔය ගොල්ලො දන්නවද ලංකාවට එන ටුවරිස්ට්ලගෙන් සීයට අනූවක් එන්නෙ ඒ නීල කොබෙයියො බලන්ට..හෝටල් වලින් එතකොට සංචාරක අධිකාරියෙන් මට ඒ ගැන පැමිණිලි ආව.

ඊගාවට තව එකක් තියනව..ජනාදිපති කාර්යාලෙ ඉස්සරහ දොරටුව මේ අරගල කාරයො වහගෙන ඉන්න හින්ද ඇතුලට යන අයට පිටවෙලා එන අයට යන්ට එන්ට වෙන්නෙ පිටිපස්සෙ දොරෙං..ඒ පිටිපස්සෙ දොරටුව ඉස්සරහම තියනව විසාල නයි කූඹි ගුලක්..එතනින් යන එන කොට නයි කූඹි කකුල් දිගේ නැඟල කනවයි කියල මට ජනාදිපති කාර්යාලෙ ස්ටාෆ් එකෙන් පැමිණිලි ආව..විසේසයෙන්ම කාන්තා පක්සයෙන්..

ඒ වගේම අපි දැං පෙට්‍රල් ඩීසල් එහෙම ඇති තරං ගෙනල්ල තියනව..එතකොට පෝලිම් වල ඉන්න ජනතාවගෙන් මට පැමිණිලි එනව මේ අරගල කාරයො කාර්, බස්, මෝටර් සයිකල් ගිහිල්ල පෝලිම් වල තියල අහකවෙලා ගෝල්පේස් එකට ඇවිල්ල අරගල කරනවය..එතකොට තෙල් ආවත් පිටිපස්සෙ ඉන්න අයට ඉස්සරහට යන්ට බෑය කියල...

ඔන්න ඔය සියලුම කාරනා හිතල බලල තමයි මම මේ තීරනය ගත්තෙ..

අරගලකරුවන් ඔක්කොගෙම්ම මම ඉල්ලා සිටිනව සාමකාමීව ගෙවල් වලට වෙලා දම්මපදේ කියවන්නයි කියල..

තෑම් කියු..

Monday, July 11, 2022

679. පුවක් එෂැණිං - 71 - අටිඝරු ජනාපෙතිතුමා ඉල්ලා අස්වීමට 13වන දින තෙක් කල්ගැනීම..


සමුගෙන යන්න මගෙන් තව මොහොතයි.....

අටි ඝරු ජනාපෙටි තුමා ඉල්ලා අස්වීමට 13 වන දින තෙක් කාලය ලබා ගත්තේ මක්නිසාද? යන ප්‍රශ්ණය පිලිබඳව ටටුඩට් විඩ්වටුන් ප්‍රකාස කරන අදහස් කිහිපයක් පහත දැක්වේ. ඒ පිළිබඳව ඔබගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි....

1. ඥාණක්කාට ගෙනයාමට සවේ ලවා ගෙන්වාගත් ඉතා අගනා කිතුල්පැණි බෝතලය ජනාපෙටි මංදිරේට අරක්ගෙන සිටිනා අපතයෙක් එතුමාගේ කුස්සියේදීම උණුකොට හකුරු සාදා ප්ලේන්ටී පානය කොට ඇති බැවින් සවේ ලවා තවත් කිතුල් පැණි බෝතලයක් ගෙන්වාගෙන ඥාණක්කට ගෙන ගොස් දී ඉල්ලා අස්වීමට සිතා සිටින නිසා........

Note - අරගලය දින කටුනායක එයා පෝට් එක දෙසට අධි වේගයෙන් ගිය රථ පෙලක් පිළිබඳව ඒ ජනාපෙතිතුමා පලායන බවට ආරංචි පැතිරගිය නමුදු ඒ වනාහි සවේ පිටරට සිට ආපසු පැමිණෙන විට ඔහු කැඳවාගෙන ඒමට ගිය රථ පෙලක් බවට දැන් සනාථවී ඇත. සවේ එසේ හදිසියේ ආපසු ආවේ "අනේ සවේ කොල්ලො..අර උඹ ගෙනත් දුන්නෙ අපූරු කිතුල් පැණි බෝතලයක්..මං මේ හිතා හිටියෙ ඒක ඥාණාට දෙන්ට කියල... කොහෙද බං බලපංකො අර මගෙ ගෙට රිංගං ඉන්න පිස්සු යක්කු ඒක උණු කරල හකුරු හදලනෙ. ඒ හින්ද බොල කොලුවො ඉන්න තැනකිං විගැහිං ආපහු ඇවිල්ල මට තව කිතුල් පැණි බෝතලයක් ගෙනැති දීහන්කො හොඳ එකා වගෙ..ඒක  ඥාණාට ගිහිං දීල තමයි මම ඉල්ලා අස්වෙන්නෙ.." යනුවෙන් අටිඝරු ජනාපෙටිතුම ඉතා හැඟීම්බරව කල බැගෑපත් ඉල්ලීම නිසා බවද සැළවේ..

2. එතුමා ඉතා සාර්ථක ලෙස පැවැත්වූ සහ එමෙන්ම රට පුරා හුදී ජන පහන් සංවේගය ඉතාමත් දරුණු ලෙස දිනාගත් ගම සමඟ පිළිසඳරවල් 69කදී හඳුනා ගත් ගැටළු ක්‍රමවත්ව ලැයිස්තු ගත කොට පයිල් 69ක් සාදා අලුතින් පත්වන ජනාපෙතිතුමාට බාරදෙනු පිනිස සකස් කිරීමට දින හතරක් ගතවන නිසා.....

3. එතුමාට තම පාලනකාලයේදී රටක් වටිනා මහාර්ග උපදෙස් මාලාවක් ලබාදුන් එතුමාගේ සංග උපදේසක සබාව වහාම රැස්කොට සැඟවී සිටින තැනින් සූම් තාක්සනයෙන් සම්බන්දවී තමන් ඉල්ලා අස්වන බව පවසා ඔවුන්ගේ ආසීර්වාදය ලබා ගැනීම සිණිස......

4. තම නිල නිවස ජර්මන් අරගලකරුවන් විසින් අත්පත් කරගත් අවස්ථාවේදී අටිගරු හිට්ලර් මහතා කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කලේද යන්න පිළිබඳව වේඬරුවේ හාන්දුරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට.....

5. ජනාපෙති පදවියේ දිව්රුම්දී අත්සන් කොට පෙට්ටියට දමා වැසූ පෑන අස්ථාන ගතවී ඇත. එම පෑන ඇමරිකාවේ වෙසෙන මනෝජ් පුතාට අයත් වූවකි. "තාත්තෙ ඉල්ලා අස්වෙලා මෙහෙ එන එකනම් අවුලක් නෑ..ලබන අවුරුද්දෙ විතර දුවත් මොන්ටිසෝරි දාන්නයි අපි හිතගෙන ඉන්නෙ..එතකොට තාත්තට පුලුවන් නෙව දුව මොන්ටිසෝරියට එක්ක යන එක එක්ක එන එක කරන්න..හැබැයි තාත්තෙ අර ජනාපෙති පදවියෙ දිව්රුම්දීල අත්සන් කරපු පෑන නම් අරන් එන්න හොඳද? ඒක මට සෑහෙන්න වටිනවා" කියා මනෝජ් පුතා ටැලිපෝන් කොට පැවසූ බැවින් කෙසේ හෝ එම පෑන සොයා ගැනීමට යම් කාලයක් අවශ්‍ය බැවින්......

6. ජනාපෙති පදවියේ දිව්රුම් දීම රුවන්මැලි සෑය අබියස කල පරිද්දෙන් ඉල්ලා අස්වීමේ ලියුමට අත්සන් තැබීමද රුවන්මැලි සෑය අබියසම උත්සවාකාරයෙන් පැවත්විය යුතු බව අටිගරු මහා සන්ගරට්නේ ඉල්ලා සිටින නිසා එම උත්සවය සංවිධානය කිරීමට දින කිහිපයක් අවශ්‍ය නිසා....

Note - මේ අවස්තාවේදීම රුවන්මැලි සෑයේ දේවතා කොටුවේ වැඩ සිටින සිය මෑණියන්ගේ ආශිර්වාද ලබාගැනීමට එතුමා බලාපොරොත්තුවේ.. "අනේ මද්දු පුතේ උඹ කරගත්තු නස්පැත්තියක්..."  යනුවෙන් දේවතාවිය විස්සෝපවේද යන්න පිළිබඳව විද්වතුන් අතර එකඟතාවයක් නැත....

7. තමන් රට පාලනය කල වසර දෙකහමාර තුල දැක්වූ අවංක සහ අනර්ඝ සහයෝගය වෙනුවෙන් පාදඩේ මහතා, අතන මෙතන රතන හිමි, ජේසුමන මහතා, ජේසුන්දර මහතා, කබ්බරාල් මහතා ඇතුළු කාරියසූර බුජ්ජිමත් මහත්වරුන්ට හිතාදර ඉස්තූතිය පලකොට සමුගැනීම උදෙසා සිංහල බාසාවේ මෙතෙක් භාවිතා නොවූ අසභ්‍ය වදන් නිපදවීමට පත්කල කමිටුවට ඒ කාර්යය උදෙසා යම් කාලයක් ලබාදිය යුතු බැවින්.....

8. හිටපු ජනාපෙති මයින්ද රාජපස්ස මහතා යහපාලන සමයේ විපක්ෂයේ සිටියදී තෙල් මිල රු. 5/= කින් ඉහල දැමීමට විරෝධය පලකරනු සඳහා පාර්ලිමේන්තුවට බයිසිකලයක් පැදගෙන පැමිණියේය. ඒ බයිසිකලය දැන් ඇත්තේ අටිඝරු ජනාපෙතිතුමාගේ මිරිහාන නිවසේය. "ලොකු මල්ලි..මේ...උඹ අස්වෙලා යනවනං අර බයිසිකලේ මට ගෙනල්ල දීල පලයං ..14 වෙනිද මට තියනව ඒකෙ නැඟල පාර්ලිමේන්තු යන්ට.." හි.ජ.කු.පා.ම. මයින්ද අයියා ජනාපෙතිතුමා අමතා එසේ පැවසූ බැවින් එම බයිසිකලය සොයා මයින්ද මහතාට බාරදීමට යම් කාලයක් අවශ්‍ය වීම...

9. පසුගිය දිනවලදී රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් රසදිය රික්තය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රමය සොයාගත් ඒ හෙල විරු තරුණයා තම සැඟව සිටින බංකරයට කැඳවා  ඔහුට "සිරි ලම්කා රසදිය විබූසන" ගෞරව නාමය සහ පදක්කම පිරිනැමීම සඳහා...

10. ජනාපෙති මන්දිරය සහ කාර්යාලය දැන් මහජනයාට විවෘත බැවින් අවසන් වරට ඒවා දැකබලා ගැනීම සඳහා සවේ ද සමඟ කොටු සරමක්, මේස් බැනියමක් සහ ජටාවක් ඇඳ  මැදමුලනේ ගැමියන් දෙදෙනෙකු මෙන් වෙස් වලාගෙන එහි ඇතුලුවී සිරි නැරඹීම උදෙසා...



Wednesday, July 6, 2022

678. පුවක් එෂැණිං - 70 - අතිගරු ජනාධිපති තුමාගෙ අනපේක්ෂිත පාර්ලිමේන්තු ආගමනය..


මේ.......ආදරයයි....


ඊයේ අතිගරු ජනාධිපතිතුමා කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව හදිසියේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වූයේ පහත සඳහන් කුමන හේතුවක් නිසාදැයි ඔබ සිතන්නේද?

1. මාස තුනකට ආසන්න කාලයක් බංකරයක සැඟවී දිවිගෙවීමට සිදුව ඇති බැවින් කෝපයට පත්වූ ආර්යාව "මීට වඩා දාහෙන් සම්පතයි ඕයි අර උන්නු විදිහට තෙල් ගහගෙන අරෙහෙ උන්නනං...අද මම දවල්ට උයන්නෙ නෑ..තමුසෙ ඕන තැනකින් කනවා.." යයි බැණ වැදී ඔලුවේ සිට පොරවාගෙන නිදාගත් බැවින් දිවා ආහාරය නොමිලේ පාර්ලිමේන්තු කැන්ටිමෙන්  හෝ ගත යුතුයැයි සිතුනු බැවින්ය.. 

2. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ජැන්ඩි පහට ටයි කෝට් වලින් සැරසී පාර්ලිමේන්තුවට සහභාගි වන වන බව අතිගරු මාධ්‍ය පකාසක කින්සිලී මහතා දැනුම් දුන් බැවින්  අගමැටිට  පමණක් නොව තමාටද ඉතා අගනා ලෙස ටයි කෝට් වලින් සැරසී පැමිණිය හැකි බව පෙන්වා දීමට අවශ්‍ය වූ නිසා..

3. තම දෙටු සොයුරු හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා  පසුගියදා ඔහු රෝගීව ප්‍රතිකාරගත් බව සැලවූ නමුදු ඔහුද තමා මෙන්ම දැනට බංකරයක දිවිගෙවන බැවින් හමුවී සුවදුක් විමසිය නොහැකි වූ බැවින් ඔහු හමුවී සුවදුක් විමසීම සඳහා.. 

4. "සර් කිසිදේකට බයවෙන්ට එපා..මගේ හෝටලේ ගිනි තියන එක කලින් කියන්න බැරිඋනාට කාලි අම්ම මගෙං සමාව ගත්තා.එහෙම උනේ පොඩි මිස් එකකින්ය ආයෙම එහෙම වෙන්නෙ නෑය කියලත් එතුමී මට පොරොන්දු උනා.. ඒ හින්ද සර් බය නැතුව මේ තෙල් කුප්පිය දෙපරැන්ද අස්සෙ ගහගෙන ඕන තැනක යන්ට..ඔය ගෝටා ගෙදර පල කියන ඔබතුමාගෙ විරුද්දකාරයො ඔබතුමාට දැපනෙ වැටෙන්නෙ මේං මෙහෙම බලා ඉන්දැද්දි,,..." ඥාණා මෑණියන් එසේ පවසා තමාට ලබාදුන් තෛල රාජයාගේ සත්ත බැලීමට අවශ්‍ය වූ නිසා..

5. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ කුණ්ඩ හට්ටියක් වගේ කරගෙන මුව කමල ඇඹුල්කොට "විසේසයෙන්ම මේකත් කියන්ටෝන..ඉදිරි සතිදෙක බොහොම අමාරුයි...." යනුවෙන් පවසන විට ඉතාම දැකුම්කලු බව ගරු කටානායක තුමා ගිය සතියේ දවසක හවසක දුරකතනයෙන්  ආගිය තොරතුරු කතා කරමින් සිටියදී පැවසූ බැවින් ගරු අග්‍රාමාත්‍ය තුමා අසළම වාඩිවී එම මනස්කාන්ත දර්ශනය සියැසින්ම දැක ගැනීමට අවශ්‍ය වූ නිසා...

6. "සර්..සර්..හිරුණිකා වගේ ගෑණු කෙනෙක් තව ගෑණු හත් අට දෙනෙකුත් එක්ක මේ පැත්තට එනව දැක්කයි කියල මේ දැං පොලීසියෙන් කෝල් කරල කිව්වා..." යනුවෙන් ශුදේව හති දමමින් දිවවිත් පැවසූ බැවින්  "නෝනෙ එහෙනං ගෙදට්ට වෙලා ජනෙල් දොරවල් වහගෙන ඉන්ට..මම පාර්ලිමේන්තුව පැත්තට මඟ ඇරල වහං වෙලා ඉඳල එඤ්ඤං..ඔපිස් යන්නත් බෑනෙ...එතන අර අරගල කාරයොනෙ..." යයි ආර්යාවට පවසා වහාම පාර්ලිමේන්තුවට පසු බැසීමට සිදුවූ නිසා...


Sunday, July 3, 2022

677. පුවක් එෂැණිං - 69 - දිරි දීමනා සහ දඬුවම් ලිහිල් කිරීම


කැබිනට් ඇමති රණතුංග...


ලංකා විදුලිබල  මණ්ඩලයේ මනු කියවන්නන්හට නිවැරදිව මනු කියවීම වෙනුවෙන් වැටුපට අමතරව දිරි දීමනාවක්ද  ගෙවන බව කෝප් කමිටුව ඉදිරියේදී හෙලිවූ බව වාර්තා වේ.. ඒ අනුව ඊයේ දිනයේදී රැස්වූ පහත සඳහන් වෘත්තීය සමිතිද එවන් දිරි ගැන්වීමේ දීමනාවක් තමන්ටද ගෙවන ලෙස  බල කරමින් වහාම උද්ඝෝෂණ පැවැත්වීමට ඒකමතිකව තීරණය කොට ඇත.

1. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  එක් එක් නිවසේ දී හමුවූ  ඩෙංගු මදුරු කීටයින් ගණන නිවැරදිව වාර්තා කිරීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටී.

2. ලංගම බස් රියදුරෝ  බස් හෝල්ට් වල බස් රථය නැවැත්වීම වෙනුවෙන් දිරි දීමනාවක් ඉල්ලා සිටිති.

3. පොල් කඩන්නන්ගේ සංගමය නිවැරදිව පැසුණු පොල් පමණක් කැඩීම වෙනුවෙන් විශේෂ දිරි දීමනාවක් ඉල්ලති.

(දැන් මේ හරියට මීටර් එක කියවනවට මීටර් රීඩර්ට දිරි දීමනාවක් ගෙවනවයි කිව්වම මට ආපු ප්‍රශ්නෙ තමයි අඩේ..හරියට මීටර් එක කියවන එක උගෙ රාජකාරියනෙ..ඌට පඩියක් කියල එකක් ගෙවන්නෙ ඌ රාජකාරිය හරියට කරනවට..හරියට රාජකාරිය කරනවට වෙනම දීමනාවක් ගෙවනවයි කියන්නෙ එතකොට රාජකාරිය හරියට නොකලත් ඒ කියන්නෙ මීටර් එක හරියට නොකියවුවා උනත් පොරට පඩිය කොහොමත් ගෙවනවයි කියන එකනෙ..මාරයි ඕයි මේ රටේ වැඩ..මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ...ඇත්තම තමයි..)


******************************************************


නඩුවක් විභාග කිරීමේදී චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුවද විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී පහත සඳහන් කරුනු අනිවාර්යයෙන් සළකා බැලිය යුතු බවට  විනිශ්චයකාර වරුන්ට උපදෙස් ලැබී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි..

1. විත්තිකරුගේ නිවස මෑතකදී ගිණි තබා විනාශ කොට ඇතිද? යන්න....

2. විත්තිකරුගේ දියණිය තම විවාහය ප්‍රමාදවීම නිසා විශාදයෙන් පෙලන්නේද?  යන්න...

3. විත්තිකරුට සිර දඬුවමක් නියම කලහොත් ඔහුගේ පරම්පරාවේ කීර්තිනාමයට ඉන් කැලලක් සිදුවේද ? යන්න.. 

4. විත්තිකරුගේ සුරතල් බල්ලා බත් කන්නේ විත්තිකරුගේ අතින් පමණක් නිසා විත්තිකරු බන්ධනාගාර ගත කළහොත් සුරතල් බල්ලා නිරාහාරව මියයයිද? යන්න... 

5. විත්තිකරුගේ ගෙදර මිදුලේ ඇති රඹුටන් ගසේ ගෙඩි කෑමට රාත්‍රියේදී පැමිණෙන වවුලන් එලවා දමන්නෙ විත්තිකරු බැවින් ඔහු බන්ධනාගාර ගත කලහොත් රඹුටන් පලදාව වවුලන්ටම සින්නවී යාවිද? යන්න...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...