Showing posts with label අංක 14 දරණ කුටියට....... Show all posts
Showing posts with label අංක 14 දරණ කුටියට....... Show all posts

Saturday, October 29, 2011

56. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි............2




කතාවේ මුල් කොටස

" අපි හඳ පානෙ ඔරු පදිමුද?...."

" අනේ පාලිත.....මට බයයි....අනික මට හොඳට පීනන්නත් බැහැනෙ...."

ඔහුගේ සිනා හඬ විල් තෙර පැතිර ගියේ ඉවුර අසබඩ වූ කුඹුක් ගසෙහි ලැගවුන් වවුලන් කීප දෙනෙක් බියපත්ව තටු විදහා අහසට නංවමිනි.

" ළමයො...... මම පීනන්න නෙවෙයි ඔයයිට කතා කලේ....ඔරු පදින්න.....ඔරු පදින්නෙ ඔරුව ඇතුලෙ වාඩි වෙලා....."

එහෙත් ඔහු දෙස බලා සිටි සුබාගේ දෑසෙහි වූයේ බියපත් බැල්මකි.

" අනේ පාලිත මම වතුරට බයයි, අනික මගෙ කේන්දරෙත් තියනව......"

" අයියෝ....ඔයා හරිම බය ගුල්ලියක්නෙ.....මම ඉන්නවනෙ ළමයො....එන්න එන්න....." ඇගේ අත අල්ලාගත් ඔහු හිඳ සිටි අසුනින් නැඟිට, ඇගේ බියපත් දෑස දෙස බැලූයේ සිනාසෙමිනි. ඔහු පසුපස ඔරුව වෙත ගිය ඈ ඔරුවට ගොඩ වී අසුන් ගන්නා තෙක් ඔහු ඔරු කඳ නොසෙල්වෙන සේ අල්ලාගෙන සිටියේය.

විල් තෙර හාත්පස පැවතියේ දැඩි නිහඬතාවයකි. ඉවුර අසබඩ කුඹුක් ගස් අතුපතර පොරකන වවුලන්ගෙන් නැගෙන රාවයෙන් පමණක් ඉඳහිට නිශ්ශබ්දතාවය බිඳීගිය ඒ සුන්දර රාත්රියෙහි ඔහු සෙමෙන් හබල් ගාමින් ඔරුව විල මධ්යයට ගෙන ගියේය.සඳරැස් පතිත ජල මතුපිට දිලිසුනේ කිරි ඇතුරුවාක් මෙනි.නෙත් වශී කරවන සුළු සුන්දරත්වයෙන් ඔදවැඩීගිය සුබා ද ඇගේ බිය අමතකව කුඩා දැරියක මෙන් හඬ නගා සිනා සුනාය.

මද වේලාවක් විල මැද ගත කල ඔවුහු ආපසු පැමිණෙමින් සිටියහ.

එක්වරම සුබා සුරත දිගු කරමින් කෑගැසුවාය " පාලිත, අනේ අර මොනවද අර මල්? හරිම ලස්සනයි....."

'' ඒ කුමුදු මල් " සුදු රේන්ද මෙන් සඳ එළියේ දිලෙන කුමුදු මල් යාය දෙසට ඔහු ඔරුව හැරවූයේය.

" අනේ පාලිත හරිම ලස්සනයි....ඉන්න මම මලක් කඩා ගන්නම් '' ඇය කුමුදු මලක් නෙලා ගැනීමට නොඉවසිල්ලෙන් ඔරුවේ නැඟිට මල් යාය දෙසට නැඹුරු වූවාය

'' සුබා....ඉඳගන්න...ඉඳගන්න.....බැලන්ස් නෑ ළමයො.....දැන් ඔන්න.....'' පාලිතගේ කෑගැසීම එකෙනෙහිම නතර වූයේ සමබර තාවය ගිලිහී ගිය ඔරුව පෙරලී ඔවුන් දෙදෙනාම සීතල ජලයට ඇද වැටුණු හෙයිනි.

" පාලිත......'' ඇගේ ආයාචනාත්මක හඬ එක් වරක් දියයට ගොස් මතුපිට පැමිණි ඔහුට ඇසුණේ සිහිනයෙන් මෙනි.

'' සුබා.....කොහෙද ඔයා?.......'' වියරුවෙන් මෙන් පාලිත ඒ හඬ ඇසුණු දෙසට පිහිනමින් කෑගැසීය.

ඒ මේ අත පිහිනමින් කෑගසන ඔහුගේ හඬින් බියපත් වූ ඉවුරුබඩ කුඹුක් අතු පතර ලැග සිටි වවුලෝ කෑ ගසමින් පියඹා අහසට නැංගෝය.විල් ජලතලය මත වූ සඳෙහි පිළිබිඹුව සියක් කඩකට, නැවත සහස්කඩකට නැවත දස දහස් කඩකට බිඳී ගියේය.

සඳ එක් වරම කොහේදෝ සිට පාව ආ වළාවකට වැසී ගිය හෙයින් විල් තෙර එක් වරම අඳුරේ ගිලී ගියේය.

'' සුබා''.......ඝන අඳුර විනිවිදිමින් පාලිතගේ හඬ දසත පැතිර ගියේය.

සඳ වසාගත් වලාව එක් වරම දුරුව ගොස් හාත්පස ඒකාලෝක විය.ඒ සඳ එළියේ එක් වනම ඇස ගැටුණු දසුනින් පාලිත ගේ මුලු සිරුරම හිරි වැටී ගියේය. කුමුදු මල් යායෙහි මැද සුබාගේ සුරත පමණක් දියෙන් ඉහලට එසවී තිබිණි එහි අතැඟිලි වල එවිට ද සුදු කුමුදු මලක් රැඳී තිබිණි. කතාකරගත නොහැකි පමණ බියෙන් අකර්මණ්ය වී ගිය පාලිතට කල හැකි වූයේ ඒ දෙස අයාගත් දෙනෙතින් බලා සිටීම පමණකි.

කුමුදු මල රැඳි ඇගේ අත ක්රමයෙන් ජලයේ ගිලී නොපෙනී ගියේය. අවසන මොහොතක් ජල තලය මත රැඳුනු කුමුදු මල ද ජලයේ ගිලී ගිය පසු පුන් සඳ නැවත වරක් වලාවකට වැසී හාත්පස යලිදු ඝන අඳුරෙක ගිලී ගියේය.

පාලිතට පැහැදිලි ලෙස මතකයේ ඇත්තේ එපමණකි.ඉන්පසු සිදුවූ දේ පිළිබඳව ඔහුගේ මතකය ව්යාකූලය. බොඳ වූ මිහිදුම් පටලයන් තුලින් දිස්වන අපැහැදිලි රූ ලෙස...පහත්ව සුබාගේ පියැවුණු දෙනෙත සිප ගන්නා දසුනක් සහ ඇගේ දෑතෙහි කුමුදු මලක් රඳවන දසුනක් විටින් විට මතකයේ රඟමින් නැවත බොඳ වී යයි.

ඉන්පසු ඔහුගේ මතකයෙ ඇත්තේ වසර විස්සක් තම නිවහන වූ මේ කුටියට පැමිණි දා ය. එදින ද දෛවෝපගත ලෙස පුන් සඳ අහසේ දිලි රාත්රියක් වූ අතර කව්ළුව අසල සිට එදෙස බලාසිටි ඔහුගේ දැහැන බිඳී ගියේ ඇගේ සෙනෙහෙබර හඬිනි.

'' පාලිත ''

'' සුබා ඔයා.........කොහේද ළමයො...මෙච්චර දවසක් ගිහිල්ල හිටියෙ.....මම ඔයා එනකල් කොච්චර නම් බලා හිටියද? ''

'' එදා ඔයා කුමුදු මලක් ඕනය කිව්ව නේද?....මම කුමුදු මලකුත් තියාගෙන ඔයා එනකල් බලා හිටිය...ඒත් ඔයා ආවෙ නෑනෙ සුබා...'' ඔහු කියවාගෙන ගියේ කුඩා දරුවකුසේය.

කුඩා දැරියක මෙන් සිනා සුණු ඇය මෙතෙක් පසුපසට කරගෙන සිටි සුරත ඔහුට පෑවාය...එහි වූයේ පිණි බිඳු තවමත් පෙති වල රැඳි කුමුදු මලකි.

'' කොහෙන්ද...අනේ?........'' ඔහු විමසූයේ විස්මය රැඳි හඬකිනි.

'' අර අපි ඔරු පැදපු විලෙන්....මම එදා කඩා ගත්තෙ...... ඒ මල තමයි මේ....''

ඈ වෙත පිය නැඟි ඔහු මහත් සෙනෙහසින් ඈ වැළඳ ගත්තේය.

'' සුබා ඔයා හැමදාම මා ළඟ ඉන්න,..... හොඳේ? ''

'' ඒක කරන්න බෑ පාලිත....'' ඇගේ හඬෙහි වූ ශෝකය ඔහුගේ හද පාරවාලීය...'' ඒක කරන්න බෑ...පුරා හඳ පායපු දවසට විතරක් මම එන්නම් ඔයා ළඟට.....කුමුදු මලකුත් අරගෙන......''

'' එතකොට අනික් දවස් වල මම තනියමනෙ.......''

'' ඒ දවස් ගැන ඔයාට හැඟීමක් නෑ පාලිත ඒ නිසා කාලය ගෙවෙනව ඔයාට තේරෙන එකක් නෑ...''

'' කොච්චර කාලයක් මෙහෙම මම ඉන්න ඕනද සුබා......'' ඔහු ඇසුවේ ඇගේ නලලත සිප ගනිමිනි.

'' අවුරුදු විස්සක් පාලිත.......අවුරුදු විස්සක්....ඒ කාලෙ ඇතුලත හැම පුරා හඳ දවසටම මම එන්නම් ඔයාව බලන්න...''

'' මාසෙ අනික් හැම දවසෙම ඔයාගෙ හිතේ තියෙන්නෙ පුරා හඳ පායන දවස ගැන බලාපොරොත්තුව විතරයි, බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ...අවුරුදු විස්සක් අපි දෙන්නට මෙහෙම ඉන්න වෙනව පාලිත...ඒක අපේ ඉරණම.''

ඒ අවුරුදු විස්සකට ඉස්සර....එදා ඉඳල හැම පුරා හඳ පායන දවසකම සුබා ආව පාලිත බලන්න.....නිකම්ම නෙවෙයි ....කුමුදු මලකුත් අතින් අරගෙන....

අදට හරියටම ඒ අවුරුදු විස්ස ගෙවිල යනව.......හදිස්සියෙම පාලිතට සිහියට ආව ඒ කතාව...

'' සුබා?..... ...... ''

සුපුරුදු පරිදි සුබා දැනගෙන හිටිය පාලිත කියන්න යන්නෙ මොකක්ද කියල....

'' ඔව්...රත්තරන්....අදට අවුරුදු විස්ස සම්පූර්ණයි....අද ඉඳල අපි දෙන්න වෙන් කරන්න කාටවත් බෑ...''

'' ඒ කිව්වෙ ඔයා මා එක්ක මෙහෙ නවතිනව? ''

'' නෑ...ඔයා එන්න මා එක්ක යන්න.....මම ඉන්න ලෝකෙට...ඒ ලෝකෙ අපි දෙන්නට සදාකාලිකවම එකටම ඉන්න පුලුවන්...ආයෙ කිසිම දාක වෙන් වෙන්නෙ නැතුව...''

'' හරි සුබා...මම ලෑස්තියි....අපි යමු......''

කුමුදු මල ද සුරතින් රැගෙන වමතින් පාලිතගේ සුරත අල්ලාගෙන ඇය කුටියේ දොරටුවෙන් නික්මුනාය.....වලාකුලක් මත පාවෙන්නාක් සේ ඈ පසුපස පාලිතද කුටියෙන් නික්ම බරාඳය ඔස්සේ පාව ගියේය.

රහස් පරීක්ෂක නව කථාවක් කියවමින් බරාඳය කෙලවර කුඩා මේසය පසුපස හිඳ සිටි රාත්රි මුරය භාර සේවකයා ඔබට මතක ඇතැයි සිතමි.

ඔහු තමා කියවමින් සිටි කතාවේ අවසානයට ළඟා වෙමින් සිටියේය.මියගිය තරුණියගේ ආත්මය මිනී මරුවා පසුපස ලුහුබඳිමින් ඔහු මරා දැමීමට අවස්ථාවක් සොයන උද්වේගකර අවස්ථාවට ඔහු ළඟාවෙමින් සිටියේය. එකවරම දැනුනු දැඩි සීතලක් සමඟ ඔහුගේ සියලු රෝම කූප ලම්බකව සිටගත් අවස්ථාවකට ඔහු පත්විය. කිසිසේත් මේ නම් හුදෙක් තමා කියවමින් සිටි කථාව පමණක්ම කරණ කොටගෙන සිදු විය හැක්කක් නොවන බව එකෙනෙහිම අවබෝධ කරගත් ඔහු සෙමින් හිස ඔසවා බැලීය.

ඔහු දුටු දසුන ජීවිත කාලයටම මතකයෙන් බැහැරව නොයන්නක් බව එකෙනෙහිම ඔහු සක්සුදක් සේ දත්තේය.

සුදු වතින් සැරසුනු රූමත් යුවතියක් ඔහු ඉදිරියට පාවී එමින් සිටියාය...එසේමය....ඈ පාවී එමින් සිටියාය....ඈ සමඟ ඇගේ අත ගෙන පැමිණියේ අංක 14 දරණ කුටියේ නේවාසිකයාය. තමා මෙහි සේවයට ඒමට ද බොහෝ කලකට පෙර සිට ඔහු අංක 14 දරණ කුටියෙහි වසන බව රාත්රි මුරය භාර සේවකයා පැහැදිලිව දැන සිටියේය.

තමාගේ සේවා මුරයේදී නේවාසිකයෙක් අනවසරයෙන් බැහැරව යාම තමන්ගේ සේවා වාර්තාවට අනර්ථයක් වනු සේම සේවය අහිමි වීමටද හේතුවක් විය හැකිබව හොඳින් දත් රාත්රි මුරය භාර සේවකයා වහා නැඟී සිටීමට තැත් කල නමුදු පුදුමයකට මෙන් කිසි ලෙසකිනුදු ඔහුට නැඟී සිටිය නොහැකි විය.

විස්මයෙන් සහ භීතියෙන් අයාගත් මුවින් සහ දෑසින් යුතුව ඔහු බලා සිටිද්දී පාලිත සහ සුබා ඔහු පසුකර ගොස් බරාඳය කෙලවර අගුළු ලා වසා තිබූ දොරටුව තුලින් පිටව අතුරුදන් විය.බරාඳය පුරා පැතිරී තිබුනු දැඩි සීතල ද ඒ සමඟ තුනී වී ගියේය.

වෙව්ලන ගතින් යුතුව තවත් ටික වේලාවක් අසුනේම රැඳී හුන් රාත්රි මුරය භාර සේවකයා අවසන අවසඟ දෙපා වලින් නැඟී සිට සෙමෙන් සෙමෙන් අංක 14 දරන කුටිය වෙත පිය මැන්නේය.

තමා වෙත වූ යතුරෙන් කුටියේ දොරටුව විවෘත කල හෙතෙම දුටු දසුනින් විස්මය පත්ව දොර උලුවස්ස තදින් ග්රහණය කොට ඊටම වාරුවිය.

අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලාඑමින් තිබිණි.එහි සයනය මත පුරා වසර විස්සක් එහි විසූ නේවාසිකයා අවසන් නින්දේ සැතපෙමින් සිටියේය.

*****************************************
විල්තෙර වූ අසුනෙහි එකිනෙකාට තුරුලු වී සිටියේ තම මධු සමයෙහි අවසන් රාත්රිය ගෙවනා තරුණ යුවලකි.

පෑයූ පුරා සඳ එක වරම වලාවෙකින් වැසී ගොස් දසතම ඝන අඳුරින් වෙලී ගියේය.

වලාවෙන් මිදී සඳ යලි පෑයූ ඉක්බිති ඔවුන් දුටුවේ විල් තෙර මධ්යයෙහි පාවෙනා ඔරුවකි. එහි වූ යුවතිය නැමී ජලය මත පිපුණු කුමුදු මලක් නෙලා ගත්තීය. ඒ ඔරුව හබල් ගෑමෙහි යෙදෙන තරුණයාට පෑ ඕ තොමෝ කිකිණි පරයන හඬින් සිනාසුනාය. ඊට පිළිතුරු සිනහවක් පෑ තරුණයා සෙමෙන් සෙමෙන් කුමුදු මල් යාය අතරින් විල් තෙර කරා ඔරුව මෙහෙයවීය.

යලිත් වරක් පුන් සඳ වලාවකට මුවා වී දසතම අඳුරින් වෙලී ගියේය. යළිදු සඳ කැනින් විල්තෙර ආලෝකමත් වෙද්දී තරුණ යුවල දක්නට නොසිටියෝය.

එහෙත් මදක් එපිටින් දිය රැලි රඟන රිද්මයට උස් පහත් වෙමින් තිබුනේ කුඩා ඔරුවෙකි.හබලක් ද ඔරු කඳ තුල ඇති බව සඳ එලියෙන් පෙණුනි.

ඒ දෙස මඳ වෙලාවක් බලාසිටි ඔහු තම උරහිස මත රැඳුනු ඇගේ මුහුණට එබී "සුබා "' යැයි කොඳුලේය.

ඇය හිස කෙලින් කොට ඔහු දෙස විමසුම් දෑසින් බැලුවාය.

" අපි හඳ පානෙ ඔරු පදිමුද?...."

Wednesday, October 26, 2011

55. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි......1


පොලවටම ඇල්ලූ ඇඳ සහ බිත්තියටම සවිකල මේසය හැරුණු විට මතක ඇති කලෙක සිට ඔහුගේ වාසස්ථානය වූ සුදු හුණු පිරියම් කල කුඩා කුටියෙහි වූයේ අවපැහැ ගැන්වුනු කමිස සහ කලිසම් කිහිපය තැන්පත් කල බිත්තියෙන්ම නිමැවූ කුඩා කබඩය පමණි.

කළු පැහැ තීන්ත ආලේප කල රෝහල්හි භාවිතා වන වර්ගයේ ඇඳෙහි විට්ටමට වාරුවී ලෑල්ලක් සේ තැලුනු කොට්ට යුගලයට හේත්තු වී ඉදිරි බිත්තියෙහි යකඩ කම්බි පාස්සා සැදුනු කොටු දැලකින් ආවරණය වූ කවුළුවෙන් ඔහු පසුබිමෙහි වූ සැඳෑ හිරුරැසින් ආලෝකමත් වූ සුදු පැහැ වළාවන් තරඟයට මෙන් පෑල දිග අහස කරා පලායනු බලා සිටියේය.

අද පුන්සඳ පායන රාත්රිය බව ඔහු කිසිදු සැකයකින් තොරව දැන සිටියේය.ඒ දිනය ස්ථිරව දැන සිටින්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට කිසිදු අවබෝධයක් නොවූවද ඔහු එබව දැන සිටියේය. ඔහුට අවශ්ය වූයේද එපමණකි. දින විසි අටකින් මත්තෙහි එළඹෙන පසළොස්වක පොහෝදින ඔහු මෙවරද උදක්ම බලාපොරොත්තු විය. සත්ය වශයෙන්ම ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව පොහෝදින රාත්රිය පමණි. ඔහු ජීවත් වූයේ ඒ එකම බලාපොරොත්තුවේ පිහිටෙනි.

පුන්සඳ කෙමෙන් කෙමෙන් මුදුන් වී කුටිය සඳරැසින් නැහැවීය.පිටත කවුළුවට මඳක් ඔබ්බෙන් පිහිටි අඹ ගසෙහි පත් මඳ සුලඟේ සැලෙන සිහින් රාවය ඔහුට ඇසුනේද යන්න සැක සහිතය.සෙමෙන් ඇඳෙන් බැස කවුළුව අසලට පියනැඟූ ඔහු කොටු දැල තරව ගෙන අඹ ගසට ඔබ්බෙන් පිහිටි සේපාලිකා පඳුරෙහි පිපි තැඹිලි පැහැ නටුවෙන් යුතු සුදු පැහැ මල් සඳ එළියේ දිලෙනයුරු බලා සිටියේය. එක් වරම සීතල සුලං රැල්ලක් හා මුසුවී හමා ආ සිත් මත් කරවන සුළු මල් සුවඳ පපුව පුරා පුරවා ගත්වනම දෙනෙත තදින් පියාගත්තේය.

ඇය පැමිණෙන හෝරාව සැකයකින් තොරව දත් හෙයින් හෙතෙම සෙමෙන් නැවත මේසය මත රැඳි දර්පණ කැබැල්ලෙන් වත නරඹා මඳක් දිගට වැඩුනු තැනින් තැන සුදු පැහැ ගැන්වුණු කෙස් වැටිය අතැඟිලි වලින් පීරා සකස් කොට ගත්තේය. නැවත පොඩි වුනු කමිසයද හැකි පමන රැලි සකස් කොට මුවඟ රැඳුනු තෘප්තිමත් සිනහවකින් යුතුව සයනයෙහි කෙලවරක හිඳ ඇකය මත බැඳගත් දෑතින් යුතුව මහත් අපේක්ෂා සහගතව කල් මැරීය.

" පාලිත "

කවුළුව දෙස බලාගත්වනම දැහැන් ගත වී හුන් ඔහු ආසන්නයේම ඇසුණු ඇගේ හඬින් තිගැස්සිණි.

'' සුබා ''

අප්රමාණ සෙනෙහසින් ඇය ඇමතූ ඔහු වහා නැඟිට ඈ වෙත ගොස් ඇය වැළඳ ගත්තේය.

" කවුරුවත් දැක්කෙ නැද්ද ඔයා එනව?........."

" නෑ, මම වෙනද වගේම හොරෙන්ම ආව....එයාල කොහෙද මාව අල්ලන්නෙ? " ඇගේ දඟකාර සිනහව, ඈ රූ නෙත් ගැටුණු පළමු දින සේමය.

" ඉතිං?........... " සයනයේ හිඳගත් ඇගේ වත දෙස එබෙමින් ඔහු විමසුවේ සිනා සෙමිනි.

" ඉතිං......ඉතිං කිතුල් " ඇය පැවසුවේ හඬ නගා සිනාසෙමිනි.

" ෂ්ෂ්........." ඔහු ඇගේ දෙතොලට දබරැඟිල්ල තබමින් වසාතිබූ දොරටුව දෙසට ඉඟි කලේය.

" බයවෙන්ට එපා අනේ.....කාටවත් ඇහෙන්නෙ නෑ......." ඇය පැවසූයේ ඔහුගේ උරහිස මත හිස රඳවමිනි.

කාමර පෙළ ඉදිරියෙන් දිවෙන බරාඳය කෙළවර කුඩා මේසයේ, පොතක් කියවමින් සිටි රාත්රී මුරය භාර සේවකයා 14 වන කාමරය දෙසින් ඇසුණු සිනහ හඬින් එක්වරම හිස ඔසවා බලා, මදක් වේලා නලල ද රැලි කර ගනිමින් හොඳින් කන් දුන්නේය.

පොත කියවීම පසෙක ලා මදක් සෝදිසි කල යුතුයැයි හුනස්නෙන් නැඟීසිටීමට තැත් කල ද, විවෘත කොට තිබූ කවුළුවෙන් නෙත ගැටුණු, පායා තිබූ පුන් සඳ ඔහුගේ නලලේ රැළි පහකලේය.ගැටළුවකට පිළිතුරක් සොයාගත් කල නැඟෙන තෘප්තිමත් මද සිනහවක් මුවගට නඟා ගත් හෙතෙම, නැවත පොත දිගහැර ලේ විලක් මැද මරා දමා තිබූ තරුණියගේ මළ සිරුර පරීක්ෂා කිරීමට පිටත් වූ රහස් පරීක්ෂකයාගේ සහයට එක් විය.

මේ අතර 14 දරණ කුටිය තුලට ද සඳ එළිය ගලා එමින් පැවතිණි.සයනය මතට පතිත සඳ කැන් ඔහු ද ඇය ද නහවමින් දෝරේ ගැලීය. ඇය තවමත් ඔහුගේ උරහිසට හිස තබා දෑස් පියාගත් වනම සිටියාය. සෙමෙන් හිස පහත් කොට නැඹුරු වූ ඔහු ඇගේ පියවුණු දෑස අපමණ සෙනෙහසින් සිප ගත්තේය.

ඔහුගේ මනසෙහි එක් වරම මෙසේ ඇගේ පියවුණු දෑස සිපගත් අවස්ථා දෙකක්, ඔව්, එකම දිනයේදී සිපගත් අවස්ථා දෙකක් සැනෙකින් ඇඳී ගියේය. ඒ කොපමණ කලකට ඉහත දැයි වටහා ගැනීමට ඔහු තැත්කලේ වමතින් නලල පිරිමදිමිනි.

" අවුරුදු විස්සක්..... " ඇය සෙමින් කොඳුලාය.

තම සිතැඟි ඇය එකෙනෙහිම වටහා ගත්තේ කෙසේද යන්න විමසීමට තැතක් නොදරාම හිස වනා ඔහු එකඟ විය.

" ඔව්, අවුරුදු විස්සක් "

නිසල විල් තලය මත පුන් සඳෙහි පිළිබිඹුව පිපි කුමුදු මල් අතර දිලුනේය. වරින් වර ජලයෙන් මතුවූ මසෙකු නිසා නැඟෙන රැළි, සඳ සහස් කඩකට වෙන් කල මුත්, නැවත ඒ සඳ කැබලි නිසල විල් දිය මත එකතුවී, පෙර ලෙසම සඳ වත මැවෙන අයුරු ඇය බලා සිටියේ මෙලෙසම ඔහුගේ උරහිස හිස තබාගෙනය.

පුරා වසර දහයක් නිදැල්ලේ ගලාගිය සෙනෙහස් අන්දරයකින් පසු, පෙම් ලොව කිරුළු පලඳා හරියටම ගෙවී ගොස් තිබුනේ තෙදිනක් පමනකි. මේ ඔවුන්ගේ මධු සඳ කාලයෙහි අවසන් රාත්රියයි.

සෙමෙන් ඈ වතට පහත් වූ ඔහු ඇගේ අඩවන් දෑස සෙමෙන් සිප ගත්තේය.

මදක් එපිටින් දිය රැලි රඟන රිද්මයට උස් පහත් වෙමින් තිබුනේ කුඩා ඔරුවෙකි.හබලක් ද ඔරු කඳ තුල ඇති බව සඳ එලියෙන් පෙණුනි.

ඒ දෙස මඳ වෙලාවක් බලාසිටි ඔහු තම උරහිස මත රැඳුනු ඇගේ මුහුණට එබී "සුබා "' යැයි කොඳුලේය.

ඇය හිස කෙලින් කොට ඔහු දෙස විමසුම් දෑසින් බැලුවාය.


අවසාන කොටස.............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...